Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ "ගාමනි" චිත්‍රපටයෙන් පුළුල් මානවීය දැක්මක් බලාපොරොත්තු වීමට මෙම ලියුම්කරුට කිසිදු සාධාරණ හේතුවක් නොවිණි. මන්ද කිසිදා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය නොකළ ඔහු මෙම චිත්‍රපටයට අතගසන්නේ, යුද්ධය හා දෙමළ ජනතාවගේ ගැටලුව පිළිබඳ සබුද්ධිකව නිර්මාණය කළ, අශෝක හඳගමගේ "මේ මගේ සඳයි" විමුක්ති ජයසුන්දරගේ "සුළඟ එනු පිණිස" වැනි චිත්‍රපට වලට එරෙහිව පුවත්පත් මගින් වෛරී ලෙස පහරදීමෙන් ඉක්බිතිව බැවිණි. ගාමනී චිත්‍රපටයේ ඇතුළත දේශපාලනය සාකච්ඡාකිරීමට මෙලෙස චිත්‍රපටයෙන් පිටතදී මුණගැසෙන දේශපාලනය යතුරක් සපයයි.

යුද්ධය ආශ්‍රිතව තැනු ඉහතකී චිත්‍රපට අද්මිරාල්වරයා දකිනුයේ සිංහලයාට ගරහන, සිංහල ජාතිය පාවාදෙන, සිංහල සෙබලා හෙලා දකින, සිංහල කාන්තාවට නිග්‍රහ කරන කෘතීන් ලෙසය. මෙය ජාත්‍යන්තර තලයේදී ත්‍රස්තවාදියාගේ ප්‍රතිරූපය නංවන්නක් බැවින් තමා මෙහිදී මාධ්‍යයට අදහස් දක්වන්නට ඉදිරිපත් වන්නේ ඊට එරෙහි සොල්දාදුවකු ලෙස මිස, චිත්‍රපට විචාරකයකු ලෙස නොවන බව අද්මිරාල්වරයා එවක ලියා තිබිණි. වීරසේකරගේ මේ උමතු අර්ථ දැක්වීම විශේෂයෙන් සුළඟ එනු පිණිස වැනි චිත්‍රපටයක් පිළිබඳව විවිධ මානයන්ගෙත් මතුවිය යුතුව තිබූ සංවාදයන්ට වල කැපූ අතර, ඊනියා දේශප්‍රේමී අවතාර කළ තර්ජන හේතුවෙන් එහි මෙරට නිෂ්පාදක සන්නස්ගල විසින් චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කර ගත් හැටි ද අපට මතකය.


මෙහිදී ගාමනි අධ්‍යක්ෂණය කෙරෙනුයේ ද සිනමා නිර්මාපකයකු ලෙස නොව මිලිටරිකාරයකු ලෙස බැව් නිශ්චය කිරීම කිසිසේත් අසාධාරණ නැත. ඔහු යුද්ධය වස්තුවන චිත්‍රපටයක් කෙසේ විය යුතුදැයි නිශ්චය කොට ගෙන ඇත්තේ සුළඟ එනු පිණිස පිළිබඳව පෙර ඔහු විසින් මෙසේ ලියූ අයුරින්මය.

"එම නිෂ්පාදනයෙන් ජාතිය පාවා දී සෙබළා අමනයෙක් කොට, සෙබළ බිරිඳ වෛශ්‍යාවක් කරමින්, ත්‍රස්ත ප්‍රචාරක කටයුතු වලට උඩ ගෙඩි දී ඇත්නම්, එම නිෂ්පාදක වරයාගේ ඔලුව පරීක්ෂා කළ යුතුය. එසේ පරීක්ෂාකොට ඔහු සිහිමද ගතියෙන් පෙළෙන්නේ යැයි තහවුරු වුවහොත් ඔහුගේ ඊළඟ නිෂ්පාදනයට පෙර ඔහුට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුය. ඔහු එය මනා සිහි බුද්ධියෙන් යුතුව කර ඇත්නම් එය පැහැදිළිවම දේශයට ද්‍රෝහී වීමක් සේ අපි දකිමු. මන්ද පෙර විස්තර කර ඇති පරිදි එයින් වක්‍රව හෝ රටේ ත්‍රස්තවාදය සාධාරණීය කිරීමට රුකුල් දෙන නිසාය. දේශදෝහීන්ට දණ්ඩ නීති සංග්‍රහයට අනුව සෑම රටකම මෙන් ම ලංකාවේ ද දෙන එකම දඩුවම මරණීය දණ්ඩණයයි. ජාතියේ පැවැත්ම උදෙසා එවැන්නෙක් දුටු තැන වහාම අත්අඩංගුවට ගෙන අදාළ නීතිමය කටයුතු කොට අවසානයේදී රටේ නීතියට අනුව එල්ලා මැරිය යුතුය."
(රියර් අද්මිරාල් සරත් වීරසේකර, උපුටා ගැනීම "කවුළු දොරරින්න සුළඟ එනු පිණිස මාධ්‍ය කතිකාව", නොවැම්බර් ව්‍යාපාරය)


"ගාමනි" යනු වීරසේකර විසින් එසේ පිටු දක්නා ලද චිත්‍රපට අබිබවන මහා සිනමා විප්ලවයක් නොවේ. අති සරල නොගැඹුරු කතන්දරයකි. සාමාන්‍ය ජන නිර්වචනයට අනුව මරු පිච්චර් එකකි. නමුත් එය විනෝදාස්වාදය සපයන අහිංසක තැනම නතරවන්නක්ද? ප්‍රශ්නය ඇත්තේ එතැනයි. ඒ, දෘෂ්‍යමානයෙන් ඔබ්බෙහි ගාමනි තක්කඩි බැවිණි.



එල්ටීටීඊය ඕපපාතිකව බිහිනොවූ මුත් ඔවුන් මිනිස් ඝාතන සිදු කළ බැව් අප දනිමු. නමුත් චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයා දන්නේ එල්ටීටීය මිනීමැරූ බව ම පමණි. ඊට වඩා කිසිවක් නොදනී. එල්ටීටීඊය විසින් කිරි දරුවන් පොළොවේ ගැසීම, මවගේ පියයුරෙන් කිරි බොමින් සිටින ලේකැටියන් පොළොවේ ගැසීම, අතිශෝත්තිගත ලෙස පෙන්වීමට වැඩි බරක් දෙන අතර, අවසානයේ අංගම්පොර කරුවෙකු ලවා ප්‍රහාර එල්ල කිරීමත්, ග්‍රාමාරක්ෂකයින් හමුදා නිළධාරීන් විසින් පුහුණුකිරීම අතර තුර ගැහැණුන්ගේ පියයුරු රහල් හිමියන් හංසයින්ට උපමාකළේ ඇයි දැයි, වාචික විහිලු සැපයීමත් මිස ගාමනී තුළ සිනමා මාධ්‍යයේ සුවිශේෂතා භාවිතයෙන් ගොඩනගන සුවිශේෂ ප්‍රකාශනයක් නැත. අවසාන හැඟවුම "කොටි නරකයි, අපි හොඳයි, මීට පස්සෙ දෙමළ අයට අපේ පිහිටයි" යන්න යි.

ගාමනි ගේ පිට පොත්තට යටින් ඇත්තේ අන් කිසිවක් නොව යුද්ධය පිළිබඳ පාළක පන්තියේ ස්වෝත්තම දෘෂ්ටිවාදයයි. මිලිටරි යාන්ත්‍රණය යනු පාලක පන්තියක ආරක්ෂණ උපකරණයයි. එනයින් පාලක හා මිලිටරි ද්විපක්ෂය අතිපිහිත වේ. නොඑසේනම් එකිනෙකා මත යැපේ. එවන් අවස්ථාවක මතවාදී දේශපාලනය හෙවත් පාලක පන්තියට අවශ්‍ය දෘෂ්ටිවාදය ජනතාවට එන්නත් කරනු ඇත්තේ තම බලයේ පැවැත්ම වෙනුවෙනි. දේශප්‍රේමය නැමති අයිසිං තට්ටුවෙන් සරසා ඇති තාක් පාලකයාගේ මේ කෙප්පය ජනතාවට නොපෙනේ. මිලිටරියක් තුළ සිටින්නෙකු කිසියම් දේශපාලන සංසිද්ධියක් පිළිබඳ තම පාලක මහා අනෙකා පරයා නොසිතයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ තිස් වසරක් තිස්සේ පැවති යුද්ධයේ පැනනැගීම, කළු ජූලිය, දෙමළ ජනයා තුළ ඇති කරන ලද සුළුජාතික මානසිකත්වයේ වේදනාව, ගාමනී හි ප්‍රකාශමාන කෙරෙනුයේ ඕපපාතික ප්‍රපංච ලෙසය. සිංහලයාගේ අනුකම්පාව පමණක් දෙමළා සුවපත්වීමට ප්‍රමාණවත් බැව්ද හැඟවුම් කෙරෙයි.

ගාමනි හි රංගනයට හඳගම හා විමුක්තිගේ පෙරකී චිත්‍රපට වල රඟපෑ නළු නිළියන් ගෙන් වැඩි පිරිසක් හා සෙසු ශිල්පීන් යොදගැනීම ද අහම්බයක්ම නොවේ. විශේෂයෙන් හඳගම සුනාමි පුනරුථාපන සිදුවීම් ඔස්සේ නිර්මාණය කළ "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යයෙ, භික්ෂු චරිතයේ මතු පිට හැඩය වීරසේකර විසින් ගාමනී ට යොදාගෙන තිබේ. මෙහිදී හඳගම විසින් ගොඩනංවන ලද චරිතය තුළ තිබූ තර්කානුකූල, මානවප්‍රේමී භික්ෂූත්වය වෙනුවට ගාමනී හි ඇත්තේ චෝල, පාණ්ඩ්‍ය, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණයන්හිදී රටබේරාගත් සිංහලයන් ගැන කියමින් ලොමුදැහැගැන්වෙන ලෙස ජනතාවට මොරාල් සපයන යුධකාමී විපරීතයකි.



කෙසේ මුත් අධිපති මතවාදය හෙවත් පාලකපන්තියේ දෘෂ්ටිවාදය කලාව ආක්‍රමණය කිරීම පිළිබඳ ගාමනී එක් සාක්ෂියක් පමණක් වන අතර, තිරගතවූ, තිරගතවන තිරගතවීමට නියමිත, හා නිෂ්පාදනය වන චිත්‍රපට බොහොමයක් මේ අගතියෙන් යුතු බැව් මේවන විට පෙනෙන්නට තිබේ. එහි සැබෑ අනතුර කිසියම් දැක්මක් සහිත සැබෑ කලාකරුවන්ට අභිමුඛ විය හැකි අතර, එහි පූර්ව වාචික ප්‍රකාශනය ගාමනී හි භික්ෂුවගේ මුවට නංවා තිබේ.

"යුද්දෙ ගැන ලියපු එවුං ලිව්වෙ කොම්පඤ්ඤ වීදියෙ ඉඳලා. යුද්දෙ ගැන චිත්‍රපටි හදපු එවුං ඒව හැදුවෙ ප්‍රංසෙ ඉඳලා"

මෙය චිත්‍රපටයක චරිතයක් ප්‍රකාශ කරන හුදු සරල අදහසක් පමණක් ලෙස ගෙන බැහැර කළ හැකිද?

එහෙත් රාජ්‍ය මතය ඉක්මවන කලාකරුවකුට අවසානයේ වියහැක්කේ කුමක්ද? එක්කෝ බොහෝ ප්‍රවීනයන් මෙන් හීලෑ වීමට සිදු වීමය. නැතහොත් උඩුගං බලා පිහිනීමය. පළමුවැන්න පහසුය. සුවදායකය. වරදාන සහිතය. දෙවැන්න කටුකය. අනතුරු සහිතය. අපි දැනට ඉතිරිවී ඇති කලාකරුවන් අතලොස්ස දෙස බලා හිඳින අතර කිවයුත්තේ,"ඇසින් දුටුවන් ගේ හෘද සාක්ෂිය" නම් ප්‍රචාරක පාඨයෙන් හඳුන්වන ගාමනි චිත්‍රපටය සිංහලයාගේ වංචනික හෘද සාක්ෂියේ පිළිබිඹුවක් ද බවයි.


[මේ මගේ සඳයි]


[සුළඟ එනු පිණිස]


[ගාමනි]

විකුම් ජිතේන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails