Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයකගේ කැමැත්ත වුවද එයින් සුළුතර ප්‍රජාව අත්තනෝමතික ලෙස මර්දනය කිරීමක් අදහස් නොකෙරෙයි. එහෙත් එය අදාළ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමනා ප්‍රජාතන්ත්‍රවාදී රටවලට විනා ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වූ ප්‍රෝඪාතන්ත්‍රවාදීන්ට නොවේ. මේවන විට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරණ තීන්දුවක් මගින් බහුතරයකගේ ආගමික නිදහස වෙනුවෙන් සුළුතරයකගේ ආගමික නිදහස උදුරාගෙන ඇත. වෙනත් අයුරකින් සඳහන් කරතොත් මුන්නේශ්වරම් කාලි කෝවිලේ වාර්ෂික දේවමංගල්‍යයට සමගාමීව පැවැත්වෙන බිලි පූජාව අධිකරණ තීන්දුවක් මගින් අත්හිටුවා තිබේ. එය ක්ෂණයකින් උණුසම් පුවතක් වී මේවන විට අතීතයට එකතුවී ඇතත් එකී ක්‍රියාදාමයට තබා ඇත්තේ කොමාවක් විනා නැවතීමේ තිතක් නොවේ.

30 වසරක ශාපලත් යුද්ධයෙන් පසුව රජයේ හමුදාවන් විසින් මුදාගත් ප්‍රදේශවල ඉඩම්හිමිකරුවන් සරණාගත කඳවුරුවලට ගාල් කෙරුණු අතර එයින් වැඩි පිරිසක් පසුව වෙනත් ස්ථානයන්හිද, අඩු පිරිසක් තමන්ගේම ඉඩකඩම්වලද යළි පදිංචි කෙරුණු අතර තවත් පිරිසක් තවමත් කඳවුරු ජීවිතයේ අපා දුක් විඟති. හිමිකම් කීමට තරම් ලියවිලි නොමැති හෝ බලය ඇත්තන් තමන්ට සුදුසු යයි හඟින ලද, ඉඩම් අත්පත් කරගනිමින් හමුදා කඳවුරු ඉදිකිරීමට හෝ බහුජාතික සමාගම්වලට ආයෝජන සඳහා පිරිනමන ලදී. පාරම්පරික හින්දු සංස්කෘතික ස්ථානවල සිංහල බෞද්ධ උරුමය දනවන නාම පුවරු සවිකෙරෙයි. යුද්ධමය පරිසරයක පරපීඩක මානසිකත්වය උත්කර්ෂයට නැංවුණු විරුවන් යුද්ධයෙන් පසුව තමන්ට පශ්චාත් යුද මනෝ චිකිත්සක ප්‍රතිකාර නොලැබීම නිසා පශ්චාත් යුද සමාජය තුළ ග්‍රීස් යකුන්, විරු මැරයන්, මංපහරන්නන්, මිනී මරුවන්, ස්ත්‍රී දූෂකයන් බවට පත්වෙයි. ඊනියා සංවර්ධනයේ නාමයෙන් කොළඹ පැල්පත්වාසීන් පළවා හැරෙයි. අත්පත්වන කොළඹ ඉඩම් සංචාරක හෝටල් සඳහා කුණු කොල්ලයට විදේශීය සමාගම්වලට අලෙවිකරනු ලබයි. හදිසි නීතිය ඉවත් කළ බවට වන පුවතට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබෙන අතරේ අපරාධ නඩු විධාන සංග්‍රහයට, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ඉවත් වූ නීතියේ කොන්දේසි යළි එකතුවීම පිළිබඳ හෝ ඒවාද ප්‍රමාණවත් නොවන්නේ යයි හඟින නිසා 'මව්බිම සුරැකීමේ පනත'යනුවෙන් නව නීති සංග්‍රහයක් ගෙන ඒමට පිඹුරුපත් සැකසීමේ පුවතට ඒ තරම් ප්‍රසිද්ධියක් නොලැබෙයි. එය සංවාදයට ලක්නොවෙයි.

රටේ ඉහළම අධ්‍යාපනය පවත්නා ආයතනයේ අධ්‍යාපන පාඨමාලා නවීකරණයවීම කිරීම වෙනුවට ප්‍රවේශවන සිසුන් මිලිටරිකරණය කෙරෙයි. එහි දැනුම හා අවබෝධය විහිළුවක් බවට පත්කොට පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා මංපෙත් විවර කරනු ලබයි.

ආගමික පූජා බිම් සාප්පු සංකීර්ණ බවට හෝ ගණිකා මඩම් බවට පත්වී ඇති අතර නාවික හමුදාවේ දීප්තිමත් විරුවෙකු වූ නේවි සුරංග පාතාලයෙකු වූ පසු දෑතේ මාංචු සහිතව පීනන්නට බැරි බව අමතක වීමෙන් කැලණි ගඟේ ගිළී මරණයට පත්වෙයි. කැලිඩෝ වෙරළ තීරයේ නිරුවතින් සිටින්නට ඉඩ ප්‍රස්ථාව දීමට නීති සම්පාදනය වන අතර අසභ්‍ය වෙබ් අඩවි තහනම්වෙයි. එච්. අයි. වී ආසාදනය වැළකීමට මිලියන ගණන් වියදමින් ව්‍යාපෘති සම්පාදනය කරන අතර උපත්පාලන කොපුවක් බෙදීමේ වරදට රාජ්‍ය නොවන සංවිධානයකට එරෙහිව අවි අමෝරා ගැනෙයි.

මේ පශ්චාත් යුද ශ්‍රී ලංකාවයි.

2009 වසරේ මැයි මස 17 වෙනිදායින් පසුව සිටිය හැක්කේ දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් නම් දෙකොට්ඨාසයක් පමණක් බැවින් විමසිලිමත් වීම, ප්‍රශ්න කිරීම, මෙයින් අවාසි සහගත කොටසකට වර්ගවීමේ අවදානම බාරගැනීමකි.

දහවල්ට නොපෙනන නමුත් ඒ බව හඟවන්නටත් ප්‍රකාශ කරන්නටත් අකමැති බකමූණා වීදි බසින්නේ මෙවැනි සමාජ දේශපාලනික පසුබිමක බැවින් එය අවැසිම මොහොතක අවැසිම ආගමනයකි.

'බකමූණා වීදි බසියි'.. ඒ රාජිත දිසානායක නාට්‍යවේදියාගේ නවතම වේදිකාවතරණයයි.

එතෙක් උද්‍යානය ඇතුළු ප්‍රදේශය පුරා පැතිර පැවති පොළොං උවදුර මර්දනය කළ රණකාමී පිරිසට නායකත්වය දුන්නු හෝ එකී පිරිසේ පාලනාධිකාරිය මෙහෙයවන්නා වන්නේ සේනක නමැත්තෙකි. නාට්‍යය වේදිකාවේ දිගහැරීමේ ආරමභය සනිටුහන් කෙරෙන්නේ ඔහු පුද්ගලිකත්වය නොතකා අනවසරෙන් තරුණියකගේ නිවසට ඇතළුවීමේ ජවනිකාවකිනි.

එැතැන් සිට දෙදෙනා අතර දිවෙන සංවාදය හා ක්‍රියාකාරිත්වය රාජ්‍ය බල අධිකාරිය හා පුද්ගලික නිදහස අතර ඇතිවන ගැටුමයි.

රාජ්‍ය බලය(සේනක) - - - - - - - - කුටුම්භය(සුජාතා)

ඉනික්බිතිව එය සීමිත පාලක පිරිසකගේ පුද්ගලික අවශ්‍යතාව හා සමාජයේ පොදු නිදහස අතර ගැටුමක් බවට නිතැතින් පත්වෙයි. තමන්ගේ කොල්ලන් මේ බිම රැක දුන් හෙයින් උන්ගේ ඕනෑ එපාකම් ගැන සැලකිලිමත් විය යුතු බවත්, උන්ගෙන් සිදුවන ගැහැට රටට කළ සේවය වෙනුවෙන් ඉවසිය යුතු බවත් සේනක අපට උගන්වයි.

උද්‍යානයේ ගස් තිබියදී සෙවණ තිබුණා වුවද කොළ වැටී එක් රොක්වුණු කුණු රොඩු අස්සේ සිටි පොළොංගුන්ගේ එදිනෙදා පැවැත්මට එය සහනයක් වී තිබිණි. දැන් සේනකලා විසින් පොළොංගුන් මුළු මනින් විනාශ කර ඇතිවා මෙන්ම ගහ කොළ සියල්ල ද කපා කොටා විනාශ කර දමා තිබේ.

එහෙත් එරෙහිවිය හැකි නොවේ. තීන්දු තීරණ ගැනීමේ මෙන්ම ක්‍රියාත්මක කිරීමේ අයිතියද බලයද පොදු ජනයා විසින් සේනකලාට පවරා තිබේ.

'මෙහේ ඉන්න සුජාතා කියන එකී.. ඒකිත් ගාණට වැඩියි.. දැන් ගස් කොළං නැති නිසා රස්ණෙයි කියලා එයා කියලා තියෙනවා'


සේනකගේ ප්‍රධාන චර පුරුෂයා ඔහුට ඔත්තු සපයයි. එසේ කීම පවා දැවැන්ත ද්‍රෝහීකමක් ලෙස සැලකෙන අතර එය පසෙකින් තබා කිසිවක්ම නොකියා නිහඟවම සිටින පුද්ගලයින් පවා තමා පාලනාධිකාරියට එරෙහිවන භයානක පුද්ගලයින් ලෙස හංවඩු ගැසෙන අතර ඔවුන්ගේ ඉරණම සේනකලා බාරගනියි.



උද්‍යානයේ ගස් කැපීමට එරෙහිව 'ගස් රකිමු අපි' නම් සංවිධානයක් විසින් බෙදාහරිනු ලබන පත්‍රිකා නිසා කලබලයට පත්වන සේනකලා තමා හමුවන්නට පැමිණෙන මහාචාර්යවරයාගෙන් හා නාට්‍ය රචකයාගෙන් මෙසේ අසයි.

'මේ වැඩේ කරේ කවුරු කියලද ප්‍රොපෙසර් හිතන්නේ.. ?

'හරියටම කියන්න බෑ සර්'

'හරියටම ඕන නෑ.. නම් පහක් කියන්න.. '


ඒ දේශද්‍රෝහීන් හෝ අපරාධකරුවන් සොයනා ආකාරයයි. සේනකගේ මුවින් පිටවන එවැනි වදනකට ප්‍රේක්ෂාගාරය එක හඬින් සිනාසෙයි. එහෙත් ඒ සිනාසෙන්නේ තමන්ටම වග ප්‍රේක්ෂකයාට මොහොතකට අමතකවෙයි. රංග ශාලාවෙන් මෙපිට එදිනෙදා අපට හමුවන්නේ මේ ආකාරයේම ඇතැම්විට මීටත් වඩා හාස්යෝත්පාදක ලෙස තීන්දු තීරණ ගන්නා පොලීසියයි. බලඅධිකාරියයි. එහිදී අප අත්දකින්නේ අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලීසිය දෙසට අත්බෝම්බ වලින් දමා ගැසීම නිසා පොලිස් වෙඩි පහරින් මරණයට පත්වන අපරාධකරුවන්ය. නාවික හමුදාවේ පිහිණුම් පාඨමාලාව හැදැරූ නමුත් මාංචු දමාගෙන පිහිනන්නට බැරි බව නොදත් නේවි සුරංගලාය. ආගම දහමට අනුව යුද්ධ කළ නිසා ආරක්ෂක අංශ සාමාජිකයින්ට පශ්චාත් යුද මනෝ චිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය නොවන බව කියන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුය. නඩු චෝදනා ගොනු නොකොට නොකළ වරදකට වසර ගණන් රඳවා තබා ගන්නා දේශපාලන සිරකරුවන්ය. ඉදින් රාජිත අපට එදිනෙදා අප අත්දකින එහෙත් නොදුටුවා සේ සිටින සමාජ යථාර්ථයේ හරස්කඩක් මහ පාරෙන් වෙන් කොට ගෙන වේදිකාව මත තබයි. එබැවින් ඇතැම්විට වේදිකාවෙන් මෙපිට මහ පාර 'බක මූණා වීදිබසියි'නාට්‍යයටත් වඩා නාටේ‍යා්චිත අවස්ථාවන්ගෙන් ගහණ බව අමතක කරන ප්‍රේක්ෂකයා මොහොතින් මොහොත කොක් හඬලා සිනාසෙමින් රංග ශාලාව දෙවනත් කරයි.

ලෝකයේ කිනම් රටක වුවද දැවැන්ත සංහාරයකින් පසු සිදුවිය හැක්කේ සංවර්ධනයේ නාමයෙන් ධනපති පාලක පංතියේ ව්‍යාපාරික හෝ දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමයි. ජන සංහාරක අවි ඇති බවට චෝදනා නඟමින් බුෂ් පාලනය විසින් ඉරාකයට බෝම්බ දැමීමෙන් පසු යළි නඟා සිටුවීමේ කොන්ත්‍රාත්තුව බාර වන්නේ බුෂ්ගේ මිත්‍ර සමාගම්වලට බැව් මෙහිදී සිහිපත් නොකොට බැරිය. අනෙක් අතට ඉණේ රෙදි කඩට පමණක් සීමා වී අවතැන් වූවන් වැඩි වූ තරමට තුට්ටු දෙකේ වටිනාකමට ඔවුන්ගේ ශ්‍රමය සූරාකන්නට බලඅධිකාරියට හැකියාවක් ලැබේ. බත්පතට බැල මෙහෙවර කරන තැනට මෙකී ජනයා තල්ලු කර දැමීම නීච ලෙස සිදුකෙරෙයි. ධනවාදයට යැපෙන්නට ව්‍යසන අවශ්‍යයව ඇත. ස්වභාවික විපත් මහත් ආශිර්වාදයක් වන අතර එසේ නොවන විට යුද්ධය හෝ වෙනයම් මාර්ග තෝරාගැනීමට පාලක පංතීන් යුහුසුළු වීම අහම්බයක් නොවේ. සුනාමි ව්‍යසනයෙන් පසු ගෝලීය බලවතුන්ගේ උපාය උපක්‍රම පිළිබඳ අධ්‍යයනයක නිරත වූ නෙයෝමි ක්ලෙයින් කළ දේශනයක් ඇසුරෙන් සකස් කළ පොත් පිංචක මෙසේ සඳහන් වේ.

'අවතැන් වූ ලක්ෂ ගණනක ජනතාව වෙරළින් එතෙර තැනූ මිලිටරි පන්නයේ කූඩාරම්වල හෝ තාවකාලික මඩු කූඩාරම්වල රඳවා ඇත. තායිලන්තයේ කොන්ක්‍රීට් පෙට්ටිවල අසුරා ඇත. අචේ ප්‍රාන්තයේ හමුදා කූඩාරම්වල ගාල් කර ඇත. දැල් ආම්පන්න කුඩා ඔරු හා බෝට්ටු වලින් පිරී ගිය මුහුදු තීරයේ ධීවර ගම්මාන වෙනුවට සංචාරක උයන්, ක්‍රීඩා පිටි හා මහා පරිමාණ පෞද්ගලික ධීවර වරායන් යෝජනා කර ඇත. මේ සියලු දෑ ණය මුදල්වලින් ඉදි කළ යුතු අතර මහා මාර්ග හා ගුවන් තොටුපළවලටද මෙම ඉරණම අත්වෙනු ඇත....... තායිලන්තයේ සුනාමියෙන් පහර කෑ හා සහයෝගිතා කණ්ඩායම පවසන පරිදි, ව්‍යාපාරික ප්‍රජාවේ දේශපාලකයින්ගේ යාඥාවට සුනාමිය ප්‍රතිචාර දක්වා ඇත. ඔවුන්ගේ සදාකාලික සිහින වූ සංචාරක නිවාස, විවේකාශ්‍රම, කැසිනෝ ශාලා හා ඉස්සන් ගොවිපළ මධ්‍යස්ථාන සඳහා වෙරළ සුනාමිය විසින් පවිත්‍ර කර ඇත. ඔවුන්ගේ ඒකායන ප්‍රාර්ථනය පරිදි වෙරළ දැන් විවෘත භූමියකි. ආපදාව එකෙකුට අලාභයකි. අනෙකාට විශාල ලාභයකි.'

(පරිවර්තනය- සුනිල් රණසිංහ: ව්‍යසන මත යැපෙන ගෝලීය ධනවාදය)

වරෙක සුනාමියෙන් බැට කෑ රටක තවත් විටෙක යුද්ධයෙන් බැටදීමෙන් පසු අලංකාර වචන හරඹයකට මුවා වූ සංවර්ධන ව්‍යාපෘතියක හරය මෙහි මනාව ගම්‍ය වේ. 'බකමූණා'හි උද්‍යානය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශුද්ධ කළ පසු ඉදිකෙරෙන්නේ දැවැන්ත සාප්පු සංකීර්ණයකි. එය අයත්වන්නේ සමාගමකට වුවද එහි කොන්ත්‍රාත්තුව උද්‍යානය සඳහා බිම හෙළිපෙහෙළි කර දුන් සේනකලාටය. වෙනත් අයුරකින් කිවහොත් එය ධනපති පංතියේ ගනුදෙනුවක් පමණකි. මේවන විට යුද්ධය නිමා කිරීමේ ආනිසංසයෙන් සංචාරකයන් ගෙන යාම සඳහා සිංහරාජය දෙපලු කරමින් මහා මාර්ගයක් තැනෙයි. සෝමාවතිය පුද බිමට අයත් වනෝද්‍යානයෙන් කෙසෙල් වගාව සඳහා යුද හමුදාපතිවරයා විසින් ලබාදුන් අවසරයකින් දැනටමත් අක්කර 5000 ක් එළි පෙහෙළි කර ඇති අතර තවත් අක්කර 6,600 ක් එළි පෙහෙළිකරන්නට සූදානම්ය. යුද හමුදාපතිවරයාට රටේ වනෝද්‍යාන විකුණා දමන්නට බලය පැවරුවේ කවුරුන්ද යන්න නොවිමසිය යුතුය. මන්දයත් එසේ විමසීමෙන් ඔබ අප දේශද්‍රෝහීන් වන බැවිනි. සේනකලා දෙකට බෙදුණද ක්‍රමයේ වෙනසක් සිදුනොවේ. සේනක නාට්‍ය අවසන් කරමින් මෙසේ විමසයි.

'බකමූණාගෙ ගමන අවසන්වෙයි කියලා හිතනවද.. ?'

පිළිතුර 'නැත'යන්නයි.



මේ සියල්ල සාධනීය ලෙස තිබියදී රාජිත දිසානායකගේ නාට්‍ය නිර්මාණ අතර වීරයා මැරිලා මෙන්ම හංසයන්ටත් මං ආසයි වැනි නිර්මාණයන් විසින් ඉහළට ඔසවා තබනු ලැබූ කලාත්මක අගය, නව රංග වින්‍යාසයන් අභ්‍යාස කිරීම, නැවුම් බව මෙවර 'බකමූණා'තුළින් මඳක් පසුබෑමට ලක්ව ඇති බව පෙනේ. ඔහු එදා අලුත් ප්‍රේක්ෂාගාරයකට ආමන්ත්‍රණය කළද මෙදා තම ප්‍රේක්ෂාගාරය පුළුල් කරගැනීමට සමත්වීදැයි සැක සහිතය. (සෙනඟ පැමිණීම නොව පැමිණෙන පිරිස අයත්වන්නේ කුමන සමාජ ස්ථරයන්ට හෝ සමාජ කණ්ඩායම්වලට ද යන්නයි.) පවත්නා ක්‍රමය පිළිබඳ සවිඥානක අවබෝධයක් අත්පත්කරදීම හෝ ගැඹුරු පරිකල්පනයට මං පෙත් විවර කිරීම වෙනුවට හුදු ආණ්ඩු විරෝධීන්ට සටන් පාඨ සපයාදීමක් සිදුව ඇති බවට ඇතැමුන් නඟනා චෝදනා මුළු මනින්ම අසත්‍යය නොවේ. එහෙත් මං මේ නාට්‍යයට බෙහෙවින් කැමතිය. ඊට තවත් හේතුවක් තිබේ.

සිදුවෙමින් පවත්නා දේ අර්ථ ගන්වා ගන්නා සේම සිදුවූ දේ දෙස නැවත හැරී බලනා කලාවකට හා නව දේශපාලනික කතිකාවකට මොහොත උදා වී තිබේ. පශ්චාත් යුද සාහිත්‍යාංගයක් ලෙස කවිය අවියක් ලෙස තරමක් ඉදිරියට පැමිණියද වෙනත් කිසිදු සාහිත්‍යාංගයක් හෝ කලා මාධ්‍යයක් ගොඩනැඟන සේයාවක් හෝ දක්නට නොලැබෙයි. එහෙව් මොහොතක පශ්චාත් යුද නාට්‍ය කලාවක් වෙනුවෙන් ආරම්භක වෙඩිමුරය තබන්නට රාජිත තැබූ පියවර බෙහෙවින් අගය කළ යුතුය. තමන් සමග ක්ෂේත්‍රයට බැස්ස බොහෝදෙනා කෙටි කලකින් වේදිකාව අතහැර වඩා ලාභදායි කලා වෙළඳපොළක් සොයා යද්දී වේදිකාව කෙරෙහි තම ප්‍රකාශන මාධ්‍ය ලෙස තවදුරටත් විශ්වාසය තැබීම පිළිබඳ ඔහු අපගේ නොමඳ ගෞරවයට පාත්‍රවෙයි.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails