Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඒ කාලෙ මං තනිකරම හිස් බටයක්. එයා මාව ඇහිඳ ගත්තට පස්සෙ ඒ හිස් බටේ දිගට අවුරුද්දකට සිදුරු දෙක ගාණෙ අවුරුදු තුන හමාරක් ඇතුලත සිදුරු හතක් විද්දා. එයාගෙ ඇඟිලි වලින් මාව අල්ලගෙන ඒ තොල් දෙකට තියලා තදකරගෙන හා හා පුරා කියලා අර සිදුරකින් ඇතුලට එයාගෙ හුස්මක් කැටිවෙච්චි හීනි සුළං දහරාවක් එවපු වෙලාවෙ හිස් කුහරය අස්සෙ ඇතිවුනේ එසේ මෙසේ කම්පනයක් එහෙම නෙමෙයි. ඒ කම්පනය නහුතයක් සංගීත තරංග වලට පෙරළිලා ඒ පැත්ත පළාතම යට කරගෙන ගලාගෙන යන්න පටන් ගත්තා.

එයාට සංගීතය ගැන මූලික අවබෝධයක් තිබුනා තමයි. ඒත් එයා සංගීතය වැඩිදුර හදාරපු කෙනෙක් එහෙම නෙමෙයි. එයා මාව වාදනය කළේ හුඟාක් සරල, ඒත් පැය ගාණක් වුනත් එකම ඉරියව්වෙන් කණ තියාගෙන අහන් ඉන්න පුලුවන් සංගීත නාද රටා ඉපදෙන විදිහට. එයා රාග යොදාගත්තෙ හුඟක් අඩුවෙන්. ඒත් භාවත්මක ගතිය උපරිමයෙන් තිබුනා.

එයා ළඟ ඉතිරිවෙලා තිබුනෙ සීමිත සුළං දහරාවන් ප්‍රමාණයක් විතරයි. අන්තිමටම මාව වාදනය කරන්න නියමිත වෙලා තිබ්බ දවසෙ එයා මාව පාලු කඳු මුදුනකට එක්කගෙන ගියා. පල්ලෙහා මිටියාවත පුරාම ඇලවිලා තිබ්බ මීදුම කෑලි, කෑලි වලට කපාගෙන යන තරම් මහා දුක්බර සංගීත තරංග මතුවෙන විදිහට, එයා එදා එයාගෙ අන්තිම සුළං දහරත් අර සිදුරක් ඇතුලෙ තැන්පත් කළා.

බටනලාවක් වුනාට පස්සෙ ඔන්න මට යම්කිසි අගයක් වගේ දෙයක් එක්කාසු වුනා . කොහොමත් සංගීතය ගැන දැනුමක් නැති කෙනෙක් වුනත් බටනලාවක් දැක්කම එක පාරක් හරි පිඹින්න උත්සාහ කරනවනෙ. කීප දෙනෙක්ම මාව මිහිරි විදිහට වාදනය කරන්න උත්සාහ කළා . ඒත් ඒ හැමවෙලාවකම මම කළේ බටනලාවෙ සිදුරු ටික ඒකෙ ඇතුල් පැත්තෙ ඉඳගෙන මගෙ අතින් වහගෙන හිටපු එක විතරයි. අනික තමයි ඒ අයගෙන් හුඟ දෙනෙක්ට බටනලාව හරි විදිහට ග්‍රහණය කරගන්න බැරි වෙච්චි එක ග සමහරුන්ගෙ ඇඟිලි දිගයි . ඇඟිලි තුඩු වල උල් සහිත ගතිය වැඩියි. සමහරුන්ගෙ ඇඟිලි මහතයි. වටකුරුයි. තොල් වුනත් බටනලා සිදුරු මත හරියටම සමපාත වුනෙත් නෑ. අපැහැදිලි බොල් සද්ද කීපයකින් හෙම්බත් වුනාට පස්සෙ ඒ අය උත්සාහය අත ඇරලා දැම්මා.

අන්තිමටම මාව වාදනය කරන්න උත්සාහ කළේ රජයේ පාසලක සංගීත ගුරුවරියක්. එයා මාව අහුල ගත්තෙ ප්‍රසිද්ධ ගායකයෙකුගෙ ඒක පුද්ගල සංගීත සන්දර්ශනයක් බලන්න ඇවිත් හිටපු වෙලාවක. එදා මාත් ඒ සෙනග ගොඩේ හිටියා. එයා සංගීතය ගැන පර්යේෂණ මට්ටමෙන් නිබන්ධන ලියපු කෙනෙක්. තමන් සතු ස්වර හැසිරවීමේ හැකියාව ගැන එයා මුල ඉඳන්ම ලොකු විස්වාසෙකින් හිටියෙ. මේ කියන දවසෙත් වැව් තාවුල්ලක් ළඟ තිබිච්ච පොඩි කුටියක් ඇතුලෙ දි එයාගෙ හීනි ඇඟිලි වලින් මාව අල්ලගෙන, කීප සැරයක්ම යම්කිසි නිශ්චිත රාගයකට අනුකූලව වාදනයක් ඉදිරිපත් කරන්න එයා හුඟක් උත්සාහ කළා. ඒත් මම අර පරණ පුරුදු විදිහටම බටනලාවෙ හිල් ටික සේරම ඇතුල් පැත්තෙන් අතින් වහගෙන හිටියා. බොල් සද්ද ගණනාවකට පස්සෙ එයා මාව වැවට වීසි කරල දාලා යන්න ගියා.

මං ඒ වැවේ උඩුබැලි අතට පාවෙන්න පටන් ගත්තා. දකින කිසි කෙනෙක්ට මං බටනලාවක් කියලා අඳුනගන්න අමාරු වුනා. වතුර උඩ පාවෙන හිස් බට කෑල්ලක් කියලා විතරක් ඕන කෙනෙක්ට මාව පේන්න ඇති. වැවේ වතුර උඩින් පැන පැන මහා හයියෙන් කඩාගෙන බිඳගෙන ආපු මෝටර් බෝට්ටුවකට අහුවෙලා කුඩුපට්ටම් වෙනකම්ම මං ඒ විදිහටම වැව උඩ පාවෙවී හිටියා.

ශරීරයක් අපාහු ප්‍රකෘති තත්වයට පත්කරන්න බැරි විදිහකට සිදුවෙන බිඳීයාමකින් පස්සෙ වුනත් විඤ්ඤාණයට පැවත්මක් තියෙනවා. ඒ විදිහටම බටනලාවක භෞතික පැවත්ම නැති වීමකින් පස්සෙ වුනත්, ඒකෙන් වාතලයට මුසුවෙච්ච සංගීත තරංගයකට පැවත්මක් තියෙන්න පුලුවන්. මේ වෙනකොට මමත් බටනලාවක් වෙච්චි මුල්ම දවසෙ එයාගෙ සුළං දහරාවකට උද්දීපනය වෙලා ඇති වෙච්චි ඒ සංගීත තරංගයට සමාන තරංග ලක්ෂණ සහිතව වැව් පෘෂ්ඨයට ඉහළ අවකාශයේ නැවතිලා ඉන්නවා.

මේ මොහොතෙ ඉඳන් වැව හරහා හමාගෙන යන්න එන ඕනෙම සුළං රැල්ලකට මාව අහුවෙන්න පුලුවන්. ඊට පස්සෙ මාව කොහාට ගහගෙන යාවිද කියන්න මම දන්නෑ. හිත හිතා ඉන්න වැඩි වෙලාවක් ඉතිරි නැති හින්දා හදිස්සියට මම මේ කෙටි කතාවට "බටනලාව" කියලා නමක් දැම්මා. ඊට වැඩිය සුදුසු නමක් මේකට දාන්න සිහියට ආවොත් මම ඒ නම මේ කතාවට දානවා. මේ කතාව කොහෙහරි පළවෙලා තියෙන වෙලාවක මේකෙ නම "බටනලාව" කියන එක ම නම් ඒකෙ තේරුම මම දැනටමත් සුළං රැල්ලකට අහුවෙලා ගහගෙන යමින් ඉන්නවා කියන එකයි.

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails