
යාළු කරගෙන ගාලු මුවදොර
හවසක ගියෙමු අපි ඉඳහිට
කතා බහ කරන දහසක් අතර
කතා නොකරම බලා ඉන්නට.
ඉර බිත්තරය රැක්මට
තටු යටට ගන්නී - සයුරු කිකිළී.
අනඟ අඳුර පෙම්වතුනට
විදිත-තරු හී.
දෑත්වත් නොඅල්ලා - නොදොඩා
බලා සිටිමු අපි දෙදෙනා
විඳිමින් වෙන් වෙන්ව,
සිනිඳු වෙරළස - පිපෙන පෙණ රැස
සුළඟ දුර'හස - සරැළි අනුහස.
ශාන්තියෙන් නෙත් පියැවී
ළා හුස්මෙන් පපුව පිරෙන
සෞම්‍ය වූ අලුත් රැයෙක
නිසල ඈත ක්ෂිතිජය සේ
නිසල ව තනි රේඛාවෙක
සිත් පිහිටන හෝරාවෙක
නැඟිටිමු සිහිනයකින් ලෙස
යනු රිසියෙන් නවාතැනට
නිල් පැහැදිලි මිණි දිය සේ
බබළන සිත් දෙක ද රැගෙන.
නො එන්නෙ ද ඔබ දෙදෙන හවසක
යාළු කරගෙන ගාලු මුවදොර
කතා බහ කරන දහසක් අතර
කතා නොකරම බලා ඉන්නට.
[අමාවකේ සඳක් සිඹිමි-2006]
ලක්ශාන්ත අතුකෝරල



