Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


සුනිල් එදිරිසිංහගේ නවතම ගී නිර්මාන එකතුව "මල් වැහි පොද" එළි දැක්වූ දා, කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවනාගාරයේ දී මහාචාර්ය රාජ් සෝමදේව කළ දේශනය.

ගෞරවණීය ස්වාමීන්වහන්ස සම්භාවනීය අමුත්තනි රසික සහෘදයනි,

මෙරට කලාකරුවන්ගේ සහ කලාකාමී බොහෝ දෙනාගේ ආදරයට සහ සම්භාවනාවට පත් වී සිටින සුනිල් එදිරිසිංහ සංගීතවේදියාගේ තවත් සිත්කළු නිර්මාණයක් එළිදක්වන මේ මොහොතේ ඒ වෙනුවෙන් සහභාගී වීමටත් මෙසේ අදහස් දැක්වීමටත් ආරාධනා කිරීම ගැන මම මෙම උත්සවයේ සංවිධායකවරුන්ට පළමුව මගේ කෘතඥතාව පළ කරමි. මෙරට සිටින කෘතහස්ත කලාකරුවකුගේ නිර්මාණයක් එළිදක්වන මොහොතක එවැනිම කලාකරුවකු හෝ කලාවට සම්බන්ධ ප්‍රවීණයකු එහි ප්‍රධාන දේශනය පවත්වනු ඇතැයි යන්න ඔබ සියලු දෙනාගේ අපේක්ෂාව සහ ප්‍රාර්ථනය බව මම දනිමි. එහෙත් වෘත්තියෙන් පුරාවිද්‍යාඥයකු වන මගේ අදහස්වලට කන් දෙන්නට අද ඔබට සිදු වී තිබෙන අතර නුහුරු සභාවක් ඇමතීමට අද මට ද සිදු ව තිබේ.

මා වඩා හොදින් දන්නේ පුරාතනය සම්බන්ධ දේ නිසා මගේ කෙටි දේශනය සඳහා කලාවට වඩාත් අදාල තේමාවක් අතීතයෙන් සොයා ගත යුතු යැයි මම කල්පනා කළෙමි. සංගීතය, ගායනය, නර්තනය, චිත්‍රය, මූර්තිය මේ කුමක් සම්බන්ධයෙන් හෝ වේවා ඒවායේ පවතින භෞතික වෙනස්කම් අබිබවා යන පොදු ඒකමිතියක් තිබේ. ඒ වනාහී රිද්මයයි. රිද්මය මනුෂ්‍ය නිර්මාණයක් නොව එය ස්වභාව ධර්මයේ අන්තර්ගතයකි. මිනිසා ස්වභාව ධර්මයෙන් උකහා ගත් රිද්මය සංස්කෘතීකරණය කළේ ය. පරිණාමයේ ඈත කාලයක සිට මිනිසුන් සියලු දෙනාට පොදු සාධකයක් වූයේ රිද්මයයි. එහෙයින් ගීයක් ගයන්නාත්, ඊට සවන් දෙන්නාත් යන දෙදෙනාම යා වන්නේ ඔවුන් දෙදෙනාම රිද්මයෙන් ඒකාත්මික වන නිසා ය. සහෘද යන වචනයට නියම අර්ථයක් ලැබෙන්නේ එලෙස දෙදෙනෙකු අතර සමාන හෘදයක් ඇති වූ විට ය.

1996 වසරේදී විද්‍යාව සහ කලාව පිළිබඳ ස්ලෝවේනියානු ඇකඩමියේ පුරාවිද්‍යාඥයෙකු ලෙස කටයුතු කරන ඉවාන් ටර්ක් නමැත්තා අපුරු සොයා ගැනීමක් කළේ ය. ස්ලොවේනියාවේ පිහිටි දිව්ඡේ බේබ් නමින් හැඳින්වෙන ගල්ගුහාව කැනීමට ලක් කළ ඔහු එහි තිබී සිදුරු විදින ලද සතෙකුගේ අස්ථී කැබැල්ලක් සොයා ගත්තේ ය. එය පැරණිතම නලාවක් බව පසුව ටර්ක් විසින් වටහා ගැනිණි. විද්‍යාත්මක විශ්ලේෂණවලින් පසුව එම අස්ථීමය නලාව මීට අවුරුදු 50, 000 ක ඉහත කාලයකදී අපගේ ආසන්න පුර්වජයා වූ ආද්‍ය හෝමෝසාපියන් විසින් නිපදවන ලද්දක් බවට නිර්ණය කෙරිණි. තව නොබෝ මොහොතකින් මෙහි වාදන වෘන්දය වයන්නට නියමිත විවිධාකාර සංගීත භාණ්ඩ අතර වන බට නලාවේ ආරම්භය එතරම් පැරණි ය. ඇත්ත වශයෙන්ම මිනිසුන් රිද්මය සමග ගනුදෙනු කරන්නට පටන් ගත් කාලය ඊටත් වඩා පැරණි යුගයකට අයත් ය.

රිද්මය පිළිබඳ ස්වයං අත්දැකීමක් නොවන්නට කිසිදු දිනෙක මිනිසාට දෙපයින් ඇවිදීමේ හැකියාව නොලැබෙනු ඇත, යන කරුණ පරිණාම ජීව විද්‍යාව තුළ අද පිළිගත් සිද්ධාන්තයකි. මේ ශාලාවේ සිටින ඔබ සියලු දෙනා ඇවිදින ආකාරය වෙන් වෙන් වශයෙන් රූපගත කොට ඒවා මන්දගාමී චලන වේගයෙන් නිරීක්ෂණය කළ හොත් ඔබ සියලු දෙනා ඇවිදින්නේ ඔබටම ආවේණික රිද්මයකට අනුව බව පෙනෙනු ඇත. ඔබ සියලු දෙනාම ඇවිදින විට කකුලේ වළලුකර දණහිස, ඉඟටිය සහ උරහිස යන සන්ධිවලින් කිසියම් යතියක් තිබෙන රිද්මයක් ඔබට ලබා දෙයි. මෙම රිද්මය උත්පාදනය කිරීම සඳහා අප සියලු දෙනාගේම මොළයේ අභ්‍යන්තර ඩමරුවක් නිර්මාණය වී තිබේ. එය පරිණාමයෙන් අපට ලබා දුන් උරුමයකි. ඉතා දුරක වැයෙන තත් පෙළක ස්වරයකට ඔබ සෙමින් ඇඟිලි ලෙලවන්නේ ඔබ තුළ තිබෙන මේ අභ්‍යන්තර ඩමරුව ඊට වහා සංවේදී වන නිසා ය. එක් අතකින් ජීව විද්‍යාත්මක වූත්, තවත් අතකින් මනෝවිද්‍යාත්මක වූත් මෙම අභ්‍යන්තර ඩමරුව මිනිස් මොළය තුළ වර්ධනය වූයේ මීට අවුරුදු දශ ලක්ෂ තුනහමාරකට ඉහත කාල වකවානුවකදී බව ටැන්සානියාවේ - ලැටොලි නම් ස්ථානයෙන් සොයා ගෙන තිබෙන ගිනිකඳු අළු මත ඝනීභවනය වූ ඔබේත්, මගේත් අති පුරාණ ඥාතින් යුවලගේ පා සටහන් අනුව තේරුම් ගෙන තිබේ.

නූතන මිනිස් වර්ගයට අයත් අප සියලු දෙනාට මෙතරම් දියුණු ලෝකයක් තනන්නට ඉඩ හසර ලබා දුන් භාෂා නිපුනත්වයත්, සංගීතයේ සහ ස්වභාව ධර්මයේ රිද්ම රටා අනුකරණය කිරීමේ හැකියාවත් ලැබී තිබෙන්නේ සියවස් දහස් ගණනක් තිස්සේ අප පුරුදු පුහුණු වීමේ ප්‍රතිඵලයකිනි. සුනිල් එදිරිසිංහ සංගීතවේදියාණන් තව නොබෝ වේලාවකින් ඔහුටම ආවේණික වූ මධුර ස්වරයෙන් ගයන්නට නියමිත මල් වැහි පොද නමින් හඳුන්වා ඇති මෙම ගීත සමුච්චය රචනා කළ ප්‍රවීණ සහ නවක ගී පද රචකයන්ට එලෙස ඒ වියමන් ගොඩ නගන්නටත් ඒ වියමන්වල මාධූර්යය ඔබේ සවනට ගලා එන නාලිකාව වූ භාෂාව කවදා කොතැනක කෙලෙසක හට ගත්තේදැයි කෙනෙකු ඔබගෙන් ඇසුව හොත්, සංගීතයත් ස්වභාවික රිද්මයත් අනුකරණයත් අනුසාරයෙන් එය ප්‍රභවය වූ බව ඔබට අසන්නට ලැබෙනු ඇත.

ප්‍රිය සහෘදයිනි, අවුරුදු දශලක්ෂ ගණනක් තිස්සේ එක් අතකින් ජීව විද්‍යාත්මක ලෙසත් තවත් අතකින් මනෝවිද්‍යාත්මක ලෙසත් මිනිසුන් වශයෙන් අප රිද්මය උරුම කර ගත් නිසා කලාත්මක ප්‍රතිනිර්මාණ වෙත ඇදී යාමේ සහජ නැමියාවක් අප කා තුළත් නිදන්ගත ව තිබේ. සප්ත ස්වරය විවිධ ශ්‍රීත හරහා මුසු කොට සංවිධානය කළ විට රොනට ඇදෙන බමරුන් සේ අප ඒ වටා නිතැතින් යොමු වන්නේ ඒ සහජ පෙළඹවීම නිසා ය. අද ඔබ සියලු දෙනා මෙතැන රැස්වන්නට පදනම් වූ විවිධාකාර හේතුන් අතර මේ සහෘද කලාකරුවාට කෘතවේදීවීම පමණක් නොව මා සඳහන් කළ සහජ පෙළඹවීමද සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇති බව නිසැක ය.

1973 වසරේදී සඳකඩ පහණක කැටයම් ඔපලා නම් ගීතයෙන් ගායකයකු ලෙස අප අතර නමක් සටහන් කරමින් ජන ප්‍රසාදය දිනන දිගු ගමනක් ආරම්භ කරන සුනිල් එදිරිසිංහ මා දකින්නේ වසර දහස් ගණනක් තිස්සේ මෙරට පැවැති සංස්කෘතික සම්ප්‍රදාය මගින් බිහි කළ අප අයත් වර්තමානය හොබවන කලාකරුවකු ලෙස ය. ගලෙන් නෙළු සඳකඩ පහණක වරුණ ගයමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ සුනිල් අද අපෙන් දයාද්‍ර ලෙස අසන්නේ මේ තරම් සියුමැලිද කලුගල් සිතන්නටවත් බැරි නිසා යනුවෙනුයි. මීට අවුරුදු එක් දහස් අටසියයකට පෙර ඔබ වැනිම ගාන්ධර්වයෙක් තිස්සමහාරාමයට ආසන්න පිහිටි කිරින්දේ රළු ගලක උද්ගීතී නම් වූ විරිතෙන් ගීතවත් කවක් රචනා කළේ ය. අපරිමිත වූ ලෝක ධාතුවේ බුදුන් හා සමාන කෙනෙකු නොමැති බවත්, බුදු කෙනෙකුගේ පහල වීම දුලබ බවත් ඔහු ප්‍රකාශ කළේ ඔබ මෙන්ම ළයාන්විතව ය. සිංහල ප්‍රාකෘත භාෂාවෙන් ලියු ඒ ගීතවත් පද මෙසේ ය.

අපරිමිතෙ ලොකහි බූධ
සමේ නති අඨානෙ පරම දුලබෙ
සවඤුතෙ පතෙ
අනුතරෙ සතෙ


ඇත්ත වශයෙන්ම මල්වැහි පොද නම් වු මෙම ගීත සමුච්චය ගාන්ධර්වයකුගේ ඓතිහාසික පුනරාගමනයක් ලෙස මට පෙනේ. ඒ කුමන ගාන්ධර්වයාද?

පීන පයෝධර භාරා
ලීලිත සාරස තනු මධ්‍යා
නීලේන්දීවර නයනා
කේයං මනෝ රමා රමං


යනුවෙන් සීගිරී කැටපත් පවුරේ ගීතවත් වැකි ලියූ ගාන්ධර්වයාද?

එසේත් නොවේ නම්,

මුළු ලක්හි පැළබෙන සඳ
සිරිකතට උවිදුවන්
විසිකතට බඹහුවන්
පළතෙදට හිරුහු වන්
සොමිලෙසට සිසිහු වන්


යනුවෙන් වෘත්ත ගන්ධි ශෛලියෙන් මිනිපේ පුවරු ලිපියේ එන ගද්‍ය පාඨය ලියු ගාන්ධර්වයාද?

මල් වැහි පොද ගී සමුච්චයේ පස්වන අංකයේ ඔබ ගයන,

ළමා කලය අකුරට හුරු
යන්නට එය නිකම් නොහරු
හොඳට පිහිට වෙති ගුරුවරු
වන්නට බල උන් හට ගුරු
යන ගී පද කිහිපය මගේ සිතට නගන්නේ,

දෙගුරුන් තම දරුවනට
දෙන නොමඳ දන නම්
වියතුන් සබා මැද
ඉන්ට සරිලන ශිල්ප දෙනු මැයි


යනුවෙන් කියැවෙන අපේ සම්ප්‍රදායික ඇගැයුම යි.

සමාජයට ඵලදායී දායකත්වයක් දැක්වීමට සමත් කිසිදු සාර්ථක කලාකරුවෙකුට අත්මිදිය නොහැකි බැදීම් දෙකක් තිබේ. ඉන් පළමුවැන්න එකී කලාකරුවා අයත් සංස්කෘතික සම්ප්‍රÞයට දක්වන බැදීමයි. දෙවැන්න ඔහු ජීවත්වන සමාජ දේශපාලන සන්දර්භය මගින් ඔහුට ලබා දෙන අත්දැකීම් සමුච්චය වෙත තිබෙන බැඳීමයි. සුනිල්ගේ කටහඩ සහ ඔහු සියුම් ලෙස තෝරා බේරා ගන්නා පදමාලා ඔහු කෙතරම් දේශීය සංස්කෘතික සම්ප්‍රදායෙන් හික්මීමක් ලබා ඇත්තේද යන්න අපට හොඳින් පැහැදිලි කරයි. වර්තමාන සමාජ- දේශපාලනික කලකෝලාහලවලින් කම්පනය වන ඔහුගේ කටහඩ මීට පෙරත් විවිධ අවස්ථාවල ඔබත් මමත් අසා ඇත්තෙමු. අමල්බිසෝ, පලංචියේ, අනේ මෙහෙම තන්හාවක් ආදී ඔහුගේ ගීත ඊට සැපයිය හැති හොද නිදසුන්ය. අප කවුරුත් මෙන්ම සුනිල් සහ ඔහුට පදමාලා රචනා කළ සියලු දෙනාද අපේක්ෂා කරන කේතුමතී රාජ්‍යයක් තිබේ. ඒ අලුත් ලෝකයකි. මල් වැහි පොද ගී සමුච්චයේ තේමා පාඨයෙන්ම ඔහු මහා පින්කමක් ලෙස සලකා අලුත් මහපොළවකට අප සියලු දෙනාට ආරාධනා කරන්නේ එහෙයිනි. නන්දිකඩාල් කලපුවට වට සඳඑළියේත් දකුණේ යෝධකණ්ඩිය වැවට වට සඳඑළියේත් වෙනසක් නොදකින සමාජයක ජීවත් වීම ඔබගේ ප්‍රාර්ථනය මෙන් අපගේ ද ප්‍රාර්ථනය යි.

අවසාන වශයෙන් නුහුරු සභාවකට ඇමතීමේ කාර්යය මම මෙසේ නිමා කරන්නෙමි. ඔබ සියලු දෙනාට අප්‍රමාණ ප්‍රහර්ෂණයෙන් යුත් සන්ධ්‍යාවක් වේවා!

2011 සැප්තැම්බර් 01

මහාචාර්ය රාජ් සෝමදේව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails