Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සාර සුබාවට මල් නොපිපෙන දෙරණ
ඈත බිමක දුක් කඳුළැලි පොහොණි කර
දෑත රිදෙන කටු අකුලක දා වැඩුණ
කරඹ මලක් විය දුප්පත් මෙ කවි කම


ආනන්ද බණ්ඩාර [මංගල වප්පැන-2007]

කොළඹ කේන්ද්‍රීය ලාකීය කවි විජිතය තුල අබිසෙස් නොලද තවත් ප්‍රතිභාන්විත දක්ෂ තරුණ කවියෙකුගේ කවිකම් රැඳි කෘතියක් හඳුන්වා දීමට වෑයම් කරමි.

බොහෝ ලලිත කලා ක්ෂේත්‍රයන් වලට මෙන්ම කවිය ද කොළඹ කේන්ද්‍රීයව ස්ථානගත වන බව නොරහසකි. යම් කෘතියකට කාව්‍ය සමාජය තුල පවා කතා බහක් අවැසි නම් අඩුම තරමේ අග නගරයේ ස්ථානයක එය එළි දැක්වීම වත් කළ යුතුය. එසේ නොවන නිර්මාණ කෘති සංවාදයට බඳුන් වීම විරල කරුණකි. එයින් අදහස් වන්නේ කොළඹින් පිටත වින්දනය කළ හැකි නිර්මාණ කෘති පල නොවන බව නම් නොවේ. එබඳුව පසල් දනවු වලින් ඉපිද සංවාදයට බඳුන් නොවී නිහඩතාවයේ ගිලී මිය යන කෘති බොහෝ ගණනකි.

එවැනි ඉරණමක් ලද කෘතියකි, ආනන්ද බණ්ඩාර කවියා ගේ දෙවන නිර්මාණ එකතුව වන 'ගබ් පෙළහර' නම් කාව්‍ය කෘතිය. ඉහතින් උපුටා දක්වනු ලැබුවේ ආනන්ද බණ්ඩාර කවියාගේ 'මංගල වප්පැන' කෘතියෙන් ගත් කවකි.

මෙකී ගබ් පෙළහර කෘතියේ අඩංගු වෙසෙස් ලකුණු තුලින් කරුණු කීපයක් පමණක් ගෙන හැර දක්වමි.

තම ජීවිත වපසරියේ එදිනෙදා අනුභූති භාවිතය.

ගුරුවරයෙකු ද ගොවි ජනපද වාසියෙකු ද සැම මෙන්ම අවවර්ධිත ධනවාදයේ සාමාජිකයෙකු ද වන අප කවියා තම ජීවන වපසරිය කවියකට ගොනු කොට ඒ අතර පියවර නගයි. කෘතියේ නමින්ම එන ගබ් පෙළහර නම් කවියද එබන්දකි. පාසල් සිසුවියක් ගැබ් ගැනීම විෂය කර ගත් එය සහෘදයා කම්පිත කරවයි.

නුඹේ සමත්කම් ගැන කිසිදා නොඇරී
කතා සාප්පුත් ඇරිලා හැම තැනම
කතා නැතිව සිටියත් නුඹ අද ගොලුවී
කතා තටු ඇවිත් බොල් හුළඟේ පාවේ

කඳුළැලි හනික පිසදා නෙතු අග රැඳුණ
සුදු බඳ පටිය ලිහිලෙන් බැඳ ගන් දියණී
බමුණන් තබන නම් කොතරම් උනත් හිමී
සිදුහත් කෙනෙකු වෙන්නට බැරි නෑ පුතණූ


මෙකී කවිය කියවන විට සිහිපත් වන්නේ එක්තරා සිංහල සිනමා පටයක ස්වර්ණා මල්ලවාරච්චි නිලිය සිය සුදු ගවුමේ බඳ පටිය ලිහිලෙන් බැඳ ගෙන පාසල් යන දර්ශනයකි. මෙකවෙහි දී ඔහුගේ බැල්ම කුහක සුචරිත වත වළකා දයාර්ද්‍ර බව වහනය කරයි. 'පමා වෙලා වැහැපන් වැහි වලාවේ' නම් කවිය ගොවි ජීවිත විෂය කර ගනියි. 'ජංගම කුරුල්ලෙක් ඇවිදින් විභාගෙට, ජනපද පාසලේ සාහිත්‍ය දේශනය' ආදී බොහෝ විඳිය හැකි කවි පෙරකී අනුභූති භාවිතය පිළිබඳ කරුණ සනාථ කරවයි.

ජන කවියේ ආභාෂය

ජන කවියේ ඇසුරද නොමඳව ලබාගෙන ඇති අයුරු දක්නට ලැබේ. එපමණක් නොව එ කවි තුලින් පීඩිත ගොවි දන දිවිය ද විවරණය කිරීමට හේ උත්සාහ දරයි.

වාන් කෙතේ බැත ගන්නා වෙලාවේ
වාන් දමන උණු කඳුළැලි හිනාවේ
හීන් හීන තෙත් වෙයි හත් වලාමේ
පමා වෙලා වැහැපන් වැහි වලාවේ


(-පමා වෙලා වැහැපන් වැහි වලාවේ)

ඔබද මොබද ඔබ සොරබොර වැවාණෝ
හඩා දිය වදින මහවැලි ගඟාණෝ
හිතේ සවිය ඇති මහ යෝදයාණෝ
බුලත නුඹද මහ වැව බැඳි රජාණෝ


(-සොර බොර වැව් බඳ මත හිඳ)

බුද්ධං සරණේ ද බලේ
ධම්මං සරණේ ද බලේ
සංඝං සරණේ ද බලේ
දැන්නං යන්තරේ බලේ


(-කමත් නැති කවි)

බොහෝ සෙයින් ජන කවියෙන් ලද බුහුටි බව මේවායේ විද්‍යාමාන වෙයි. අතීතකාමී බව තුලින් සහෘදයා මේවාට ආශක්ත වෙයි.

පුරාතන සාහිත්‍ය ඇසුර

වර්තමානයේ අප පරපුරේ බොහෝ කවීන්ගෙන් මග හැරෙන කරුණක් වන මෙය ආනන්ද කවියා මග නොහරියි. ප්‍රාදේශීය ජන ශ්‍රැති ඇසුර, විදග්ධ කාව්‍ය වල සෙවණැළි ද මෙහි බොහෝ තැන් වල අපට මුණ ගැසෙයි.

බාල තෙල් නුසුන් සුවඳැති වරලාන
ලාබ කන් තෝඩු අබරණ පළඳාන
පීන පයෝදර යට දුක සඟවාන
සීත පාන්දර ලිප මොලවන පාන


සීත පාන්දර ලිප මොලවන පාන යන්න ප්‍රබල අරුත් ජනනය කරන යෙදුමකි. සමස්ත කවිය රිද්මය අතින් සැළලිහිණි සංදේශය සිහිපත් කරවයි. ප්‍රාදේශික ජනශ්‍රැති ඇසුරට නිදසුන් 'සොර බොර වැව් බඳ මත හිඳ' කවිය තුලින් දැක්විය හැකිය. කවියාගේ මුල් කවි එකතුවේ එන 'පුත්තු හත් පොරෝවි කවි' යන කවිය මෙහිදී නිතැතින්ම සිහියට නැගේ. එය ප්‍රාදේශීය ජන කතාවක් අප ජීවිත අත්දැකීමකට කැටිකොට පබැඳූ අපූර්ව නිර්මාණයකි. එහි එක් පදයක් අනාරාධිතව මෙහි බහාලමි.

නිදිවැරුවේ ගුටිකෑවේ නැගිටින්ට
ගල මුදුනේ ළිඳ කැපුවේ පැන් බොන්ට
මග වැරදුණි තටු ගිලිහිණි සියොතුන්ට
මද්දුම පුතා මග දැවුණේ බුදු වෙන්ට


-පුත්තු හත් පොරෝවි කවි
[මංගල වප්පැන - 2007]

මෙසේ බොහෝ සාධනීය කවි අතර අසාර්ථක නිර්මාණ ද නැතුවා නොවේ.

'මලක් විතර නම් නුඹ' වැනි කවියක් ගෙන එන අපූර්වත්වයක් නැත. සරළ රොමෑන්තික බවක් මිස අන් යමක් ඉන් ජනනය නොකරයි. එය ඔහුට අහිමි මාවතක යෑමකි. 'හිත අරන් යන්න හිතුවක්කාරෙට බැඳුණු' යන කවියද එවැන්නකි.

කවියා බොහෝ ප්‍රවේශම් විය යුතු ඉසව්වක් පිළිබඳව මෙහිලා සටහන් කිරීම වටී. එ පූර්වයෙන් ඔහු පබඳින ලද කවි වල ඡායාවන් නව කවි වලද දක්නට ලැබීමයි. එය බොහෝ කොට සිදු වුවහොත් ඔහුගේ කවි පුනරුක්ති කවි වීම වැළැක්විය නොහැකිය. මේ කවි විමසන්න.

වේවැල් කෝටු නාරං සියඹලා අතූ
මෙහෙව් ඉපල් වල ඇමිණී ගුණය මතූ
අප ගුරුතුමාණෝ සැමදා පිදිය යුතූ
ආ ගුරු පාරෙන්ම ආපහු ගෙදර යතී


ඉසිඹුලන ගුරුතුමනි
[මංගල වප්පැන - 2007]


වේවැල් කෝටු නාරං සියඹලා අතූ
මෙහෙව් ඉපල් වල ඇමිණී ගුණය මතූ
උතුම් සිතින් වත් වේවැල නොගත යුතූ
ඉතින් ගුරුතුමනි නොදැනුනිද ඒ තතු


විසඳනු බැරි යුක්තිය
[ගබ් පෙරහැර - 2010]


අනුභූති අතර සාම්‍යයක් දක්නට නොලැබුණ ද මෙය කවියා අවධානය යොමු කළ යුතු කරුණකි. නව පරපුරේ කවියන්ගේ කවි වල අන්තර්ගතය පිළිබඳව අවධානය යොමු කරන විට පෙනී යන්නේ පණ ගැහෙන ජීවන අත්දැකීම් කම්පිත ස්වරයකින් සහෘදයා වෙත ගෙන ඒමට ඔවුන් දක්වන බුහුටි බවයි. පාෂාණිභූත සහ ආකාශගත කවි අමුණන සමහර ප්‍රවීණ කිවියරුනට ආදර්ශ සපයන මට්ටමේ නිර්මාණ නව කවි අතර දක්නට ලැබේ. නමුත් සමහර ව්‍යාජෝක්ති සහ පුහු රැඩිකල් බව හඟවන නිර්මාණ ද මේ අතර දක්නට ලැබේ. මේ පිළිබඳව මගේ අදහස් වෙනත් අවස්ථාවල ද දක්වා ඇත්තෙමි.
(කවිය කම්බස් කිරීමට එරෙහිව - රාවය, පශ්චාත්තාපී යුධ කවි පිළිබඳ සටහනක් - බූන්දි වෙබ් අඩවිය)

අනුභූතියට අදාළ ආකෘතියකින් නිමවා ඇති වුවද 'ගඟක් ළඟට ආ මවක් කී කවක්' නම් කවිය දෙස අවධානය යොමු කිරීමේ දී මෙවැනි ලකුණු පෙනී යයි.

වීරිය සිඳී ආ මුත් අපි බිලි වෙන්නට ගඟට
සූරිය සදිසි පුතුන් අරන් ආපහු යමි මගට
ලෙහෙණිය එදා මහ සමුදුරු ගොඩ කළෙ දරු දුකට
වීරිය ගෙන හදමි පුතුව උඩු ගං පිහිනන්ට


-ගඟක් ළඟට ආ මවක් කී කවක්

කවියාගේ පැතුම එය වුවද එය සමාජ යථාර්ථයෙන් එපිට ලඹ දෙන්නකි. තුඟු විසල් ප්‍රතිරූපධාරීන් පවා දියවී වැගිර ගිය මොහොතක, සමාජ ව්‍යාපාර පවා අනාථව සරණක් සොයන මොහොතක මෙවන්නක් සිදු වීම හාන්සිපුටු කල්පනාවක් පමණකි. සත්‍ය කතාන්දරය නම් දරුවන් ගඟට දැමීමය. මරා දැමීමය. මෙවැනි කවි 70 දශකයේ ඊනියා ජනතාවාදය වෙත පල්ලම් බැසීමකි. මෙම අනුභූතියම සිය සන්ධ්‍යා තීර්ථය පද්‍ය සංග්‍රහයේ රත්න ශ්‍රී විඡේසිංහයන් කවියට නගන්නේ මෙසේය. සමස්ත කවියම නොව කවියේ කිහිප පොලකින් උපුටා දක්වන්නේ ලිපියේ ප්‍රමාණය සළකාගෙනය.

......... සුරුවිරු පැණසර
දරුවන් වැඩු
සිරිලක් අම්මා
වැලට බර වෙලා
තව එක දරුවෙකු
ගංගාවට දැම්මා

බහ තෝරන දුප්පත්කම
හෙමිහිට පාවෙන්නා

....... තිත්ත කටුක කාඩි බිබී
ගිනි රස්නය දරනු නොහී
පපුව සිඳී
සිඟා ගත් බතින් දෙකටක්
අන්තිම වරටත් කැව්වා

ගෲෂා මෙන්
වැල් පාලම එතෙරව යනු බැරිවී
යකඩ අතින් දරුවා ඔසවා
ගංගාවට දැම්මා

කැඳ උගුරක්
බත් වේලක්
ඇඳුමක් උන්ට නොදුන්
සුදු ඇඳගත්
සජ්ජන පිරිවර
ඈට ගහන්නට
ඉස්තරම්ම ගල්
අසුලා
අසුලා දුන්නා

ගංගාවේ දිය රැළි උකුලේ
දිය බෙරලිය මල් තුරුලේ
කිසිදා නොසිඳෙන
කඳුළු බිඳක් තිබුණා
සෑ රදුන්ට පෙනුනා


මෙහිදී රත්න ශ්‍රී කවියා සහෘද හදවත් කම්පිත කර තවදුරටත් දේවල් පිළිබඳව සිතීමට ඔවුන්ව පොළඔවනවා විනා යා යුතු මාවත් පිළිබඳව නිර්ණයන් නොකරයි.

ආනන්ද බණ්ඩාර කවියා තම කවිය බුද්ධිවාදී වන්නේ නැතැයි නගන මැසිවිල්ල මෙවැනි සමහර කවි ලීමට ඔහුව පොළඹවන සාධකය විය හැකැයි සිතේ.

"මගේ කවිය හෘද සංව්දී ගුණය ඉක්මවා බුද්ධිමය ප්‍රකාශනයක් දක්වා වර්ධනය නොවීම පිළිබඳව මටද ඇත්තේ ප්‍රශ්නාර්ථයක්මය.."
-අවසරයි!
ගබ් පෙරහැර



කෙසේ වුවද ආනන්ද බණ්ඩාර කවියාගේ ගබ් පෙරහැර කෘතිය අවධානයට ලක් කළ යුතු මට්ටමේ නිර්මාණ ප්‍රමාණයක් අන්තර්ගත කෘතියකි.

පියුම් සත් පියුම් නොපිපෙන පාර දිග
සෙමින් මනිමි පියවර නොපියාම ඇස
ගමන් වාරු නැතිමුත් නොවැටී බිමට
කවෙන් කවට අමුණමි සුබ සිහින මම


-සක්මන (ගබ් පෙරහැර)

සඳුන් ප්‍රියංකර විතානගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails