Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එය සැබෑවට ම බුහුටි පොත් පිංචකි. සිත් ඇද ගන්නා කවර සිතුවමත්, එහි වර්ණ සංකලනයත් පොත් පිටු අතර ට සැණෙන් එබී බලන්නට අප පොළඹවන තරම්, වඩා හොඳ නිමාවකින් යුතු ය. "කවි - නො කවි වියමන්" ලෙසින් කතුවරයා මෙම පොත් පිංච නම් කරයි. එහි ඇතුළාන්තය තුළ ට වැදීමෙන් අප ට සිතුවම් කර ගන්නට සිදු වන්නා වූ නොයෙක් හැඩැති රූ, හදවත අගින් බිඳී සුසුම් රළ සේ පා කර අවසන, අප එහි සිරගත කරයි. සිත සසල කරවා බර කර දමයි. ඒ, "කම්පනය ට වෙන්න ඇති".

"කම්පනය ට වෙන්න ඇති", ප්‍රියාන් ආර් විඡේබණ්ඩාර ගේ නවතම කාව්‍ය නිර්මාන එකතුවයි.

කවිය යනු හදවතේ රිද්මය සහ බුද්ධිය අවුළුවාලන මාවත ට ඇති සංවේදී දොරටුව යි. සංවේදනා අකුරු කර බෙදා ගනු රිසිව මෙසේ එළි දකින කවීන්ගේ ආත්මීය ප්‍රකාශනයන් පිළිබඳ කටුක යථාර්ථය සමාජය තුළ සංවාදයට නඟන පෙරවදන චූලානන්ද සමරනායක ගෙනි. නව පරපුරේ කවි කිවිඳියන් වෙනුවෙන් වචනයක් සැපයීම ඇත්තෙන් ම අගය කළ යුතු වන්නේ, ප්‍රවීනයන් බොහෝ විට මඟ හැර යන තැන, එ තැන නිසාවෙනි.

තිසර පෝතකයෝ ඉගිලෙති (2003), ප්‍රියාන් ගේ පළමු කාව්‍ය නිර්මාන එකතුවයි. ඒ අතරට, මැක්කන් හා නිදි වදින්නට (2005) , මද්දහන ඇවිත් (2007), කෙටි කතා යුගලය එකතු වෙයි. 2010 වසරේ දී, "නෑ ඒ අම්මා නෙමෙයි" නම් යොවුන් නවකතාව ද ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහයට සමගාමී ව ප්‍රකාශය ට පත් වෙයි.

දේශපාලනීකරණය වූ උතුරේ සහෝදර ජනතාවගේ බිඳ වැටුණු සාමාන්‍ය ජීවන රටාව පිළිබඳ ව ලියැවෙන කවියක් දුටු සැණින් උරණ වන්නන් ද, ඊට දැඩි ප්‍රහාර එල්ල කරමින් කවියා ඝාතනය කරන්නන් ද, ඒ හා එකඟ වුව ද ප්‍රසිද්ධියේ සංවාදයට එකතු වීමට බිය වන්නන් නැතහොත් සිදු වන සියල්ල ඉදිරියේ මුනිවත් පිළිවෙත් රකින්නන් ද, සිදු විය හැකි ඕනෑම දෙයක් ඉදිරියේ තම අදහස් නො බියව ප්‍රකාශ කරන්නන් ද අප අතර වෙති. අවසාන කොටස මේ අතරින් දුලබ ද, සුවිශේෂී ද වෙයි. ඔවුන් අතරින් ද නිර්මානකරණයේ යෙදෙන්නන් අල්ප ය. මේ ඉතා ස්වල්ප වූ කණ්ඩායම තේරී වෙන් වන්නේ ශ්‍රී ලාංකික මුළු ජනගහණයෙනි. දේශප්‍රේමී මහජනතාව ට අනුව ඔවුන් අයත් වන්නේ සිංහල කොටි කණ්ඩායම ට හෝ එන්ජීඕ කණ්ඩායම් ලේබල වලට ය. එබැවින් පෙර කී අතලොස්ස ම ඇරෙන්න ට, කිසිවෙක් ඔවුන් ගැන කතා නො කරති. මංජුල වෙඩිවර්ධන ගේ මාතෘකාවක් නැති මාතෘ භූමිය ද, ප්‍රියාන් ගේ කම්පනය ට වෙන්න ඇති කෘතිය ද ඇස ගැසුණේ දෙතුන් දෙනෙකුට ම පමණි.

"කම්පනය ට වෙන්න ඇති" පොත් පිංචෙ හි, (අ) දේශපාලනික වූ සිවිල් සමාජය ප්‍රශ්න කරන්න ට, සහෝදර සමාජය ට සිද්ධ වුණු සහ සිද්ධ වන අසාධාරණය ගැන කතිකාවක් ගොඩ නඟන්න ට ප්‍රියාන් ගේ කාව්‍ය නිර්මාන බොහොමයක් වෙන් වෙයි.

****

දොන් නදිය නිසල ව ගලා යද්දී. තේක්ක යාය ට ඉහළින් සුපුන් සඳ පායා දිලෙයි. ග්‍රිගොරි සහ සෝන්යා එදෙස බලා හිඳී. ඔවුන් එ තැන තනි කර, ඔබ සදළුතලයෙන් බැස එද්දී එළා ඇත්තේ සිත කීරි ගස්සවා තළා පෙළා දමන කටුක පොළොව කි.

එහි අතිශයින් මුල් බැස ගත් පුරුෂෝත්තමවාදී සංකල්පය පිළිබඳ ව ප්‍රියාන් මොහොතක ට නැවතී ප්‍රශ්න කරයි. සුලබ තේමාවක් වුව ද ඔහු එම පැනය නඟනුයේ යෞවනත්වය අසළ ට පැමිණ ය.

මැහුම් ද ගෙතුම් ද කුස්සියේ වැඩ ද දත යුතු
ඕනම නම් ටිකක් වැඩිපුර ඉගෙන ගත යුතු
කොහේ ගියත් හොඳ නම රැක ගත යුතු
දෙගුරුන්ගෙ මූණේ දැලි නොගෑ යුතු
මං දැන් ලොකු ළමයෙක්
(පි. 23)


තමන්ගේවත් කිසිදු වැඩක් කර නො ගන්නා අයියාගේ, සියලු වැඩපල කර දෙන නංගී, දැන් ලොකු ළමයෙක් බව සමාජය පවසයි. ලොකු ළමයි වන්නේ නංගිලා පමණ දැයි නැවතී හිතන්න ට අපට සිදු වෙයි.

ගැහැණුන් සහ පිරිමින් අතර පවත්නා සදාකාලික නොගැලපීමත්, ආදරය යනුවෙන් අප කියව ගන්නා වූ ආදරය වන්, ආදරය නොවන වෙනත් දෙයත් නිසා විඳින්නට සිදු වන වේදනාවත්, දෙදෙනෙකුට තම තමන් තේරුම් ගැනීමට ඇති දුෂ්කරතාවත් පෙන්වා දෙන "සිගරට් අඩය සඟවමි" නම් කවිය, ත්‍රිකෝණ ප්‍රේමවන්තයෙකුගේ සිත තුළ සැඟවුණු වේදනාව පිළිබිඹු කරයි. ඉවරයක් නැති මේ පටලැවිල්ල සදාකාලික ය. එකිනෙකා අභිමුඛ වන ප්‍රමාණයට වඩා, විඳවමින් ජීවත් වන්න ට සිදු වන බව ඉන් උලුප්පා දැක්වෙයි.

කැමැත්තෙන් නොවූව ද
මා වඩා අකමැති අයෙකු හා
නුඹ මේ රාත්‍රිය පහන් කරන වග
දන්නා නිසා ම

හේතුවක් නොමැතිව විසිරෙන
දුම්රොටු අතර
ෆිල්ටරයෙන් සිතුවමක් අඳින්නට වෙර දරමි
එහෙත් ඒ රුව නුඹේ වන කල
ලජ්ජාවෙන් මුහුණ වසා ගනිමි
(පි. 30)


ප්‍රියාන් එහි දී, තුන් කොන් ප්‍රේමයේ වේදනාව උච්ඡතම තලය ට ගෙන, එම වේදනාවෙන් ම, සිත පිරිමදින හැටි අපූරු ය.

"රබර් හේඩාවේ පියා" ඉන් පිටස්තර ලෝකයකට පා නඟන්නට අකමැතිව රබර් යායට ම, තම ජීවිතය දිය කළ අයෙකි. ඔහු තම පුතු ට අනාගත පාර පෙන්වන ආකාරය ලෙන්ගතු ය. රබර් යායෙන් එහා වෙනත් ලෝකයක් ඇති බව ඔහු දැන උන් බවක් ඉන් හැඟේ. සරල ජීවිතය, රබර් යාය ඔහුගේ ලෝකය වුව ද, පුතුගේ ලෝකය එය විය යුතු නැති බව ඔහු පිළිගනියි.

මහා මල්ලක් ඉණේ තිබුණට
ඔට්ටුපාලු බිම්පාලු මිස
වෙනත් කිසිවක් නම් ඊට එකතු වෙන්නේ නෑ

ඒත් මයෙ පුතේ
හේඩාව දිගේ යන අඩි පාර
මහ අඩි පාරට වැටෙන්න ඒ තරම් දුර නෑ
රබර් හේඩාවේ අඳුර ඇත්තටම එහේ නෑ
(පි. 34)


අසූව දශකයේ අග භාගය භීම සමයක්ව අඳුර පතුරවා දැමූ අතර, භීතිය දෙ ගුණ කර වපුරා දැමුවේ ය. තාරුණ්‍යයේ සොඳුරු සිහින තලා දැමුවේ ය. "චන්දරේ" ලා ගේ ජීවිත දහස් ගණන් අහිමි කර දැමුවේ ය. අප්‍රේල් මාසයෙන් පසු කාලය කෙසේ ගෙවෙත් දැයි අතුරුදන් වන්නට පෙරවත් චන්දරේ දැන උන්නේ නැත. මාර්තුවෙන් පසු ගෙවුණු කාලය ප්‍රියාන් අත්දකින්නේ මෙසේ ය.

අපේ හීන වුණත් තාමත් ඒ වගේමයි
මල් පිපෙන්න හිතලවත් නෑ
කිරි වදින්න ඉස්සර අතුරුදහන් වෙනවා
අසූව දශකයේ අග භාගයේ අතුරුදහන් වූ
උඹ වගේමයි
කිසිම තොරතුරක් නෑ
ඇත්තමයි චන්දරේ...
කිසිම තොරතුරක් නෑ
(පි. 39)


මිනිස් ගුණාංග සිඳී යන සමාජයක ඌන පූරණය ට කර ගසා යන කවියන්, තම හෘද සන්තානයේ පිපිරී, ඉරිතලා යන සහෘදයාගේ ප්‍රකම්පිත මනස තම හිත අස්සේ උණුසුම ට සඟවා වැළඳ ගනී. ඔහු ගේ සුසුම තම පපුවේ සිර කර ගනී. සංවේදනා අභියස ඔහු කිසිවිටෙක පලා යන්නේ නැත.

ප්‍රියාන්, නන්නාඳුනන රටක දන්නා හඳුනන මිත්‍රයා ට ලියා යැවූ කව, ලාංකීය සමාජයේ දේශපාලනික පැතිකඩ හුවා දක්වයි. නවීකරණය වුණු සමාජ විෂමතාව ඉස්මතු කරයි. දූෂණය වී ජරපත් වුණු සමාජ ධාරාවේ කළු දුමාරයෙන් වැසී ගිය ලෙන්ගතුකමේ අළු විසුරුවා දමන්න ට ඔහු වෙහෙසෙයි.

මෙහේ මිනිස්සු හොයන එක දැන්
කළුනික හොයනවටත් වැඩිය අමාරුයි
ඔක්කෝම වගේ මියැදිලා
ගාලු පාරෙත් ඇවිදින්නෙ මළ මිනී විතරයි
ලිබර්ටි ප්ලාසා - මැජෙස්ටික් සිටි වල
මළ මිනී ගොඩ ගැහිලා
ඒත් දුඟඳක් දැනෙන්නේ නෑ
ඒරොප්පෙන් ආව සුවඳ විලවුන් වැහි වැහලා
ඒකයි..
(පි. 44)


රැල්ලේ ගසා යන සමාජය වරෙක හාස්‍යයට ලක් කරමින් ද, විටෙක පපුව අස්සේ කැකෑරෙන වේදනාව අමනාපයකට හරවා ගනිමින් ද, ඔහු එම කාව්‍යය පුරා, තම පැවැත්ම උදෙසා අඳ, ගොළු, බිහිරි පිළිවෙත රකින මහජනතාව නිරුවත් කර දමයි.

කව්රුවත් කාටවත් කතා කරන්නේ නෑ
කව්රුවත් කා දිහාවත් බලන්නේ නෑ
ඒ වෙනුවට දවසේ පැය විසි හතරම
සෙලියුලර් ෆෝන් කතා කරනවා
ටී වී රේඩියෝ වැඩ කරනවා
(පි. 44)


වා තලයට එක් වුණු සහෘදයින්ගේ සුසුම් රළ හැමවිට ම හදවතේ රිදුමක් ඇති කරවයි. සදාකාලිකවම ජීවමාන චරිත, බොහෝ කවි සිත් ඇහැරවන අතර ජීවිතයට සමීප කරවයි. "රාජිනි" ලා ජීවිතය පුද දුන්නේ යහපත් ලොවක් දකින්නට ය. ඒ සිහින තාමත් උතුරු අහසේ පා නො වන්නේ දැයි, දකුණු අහස ඊට යා නො වන්නේ දැයි, නොයෙක් වර අපි අපෙන්ම අසා ගන්නෙමු.

ගෙවී ගිය කාලවකවාණුව ම අප ට, සුනාමියකි. සුනාමියට ගසා ගෙන ගියේ මිනිසුන් සහ දේපළ පමණක් නොවේ. මිනිසා ගේ මනුස්සකම ය. මළකඳන් සමඟ රමණයේ යෙදුණු, මළමිනියක පැළඳි කනකර, රන් ආභරණ තම දෑත් අස්සේ මිටිමෙළවා ගත්තවුන් ගැන අපමණ වූ පුවත් තවමත් ගලා එන්නේ ය. උදම් රළ ගැන උදම් වූවෝ අනෙකා වෙනුවෙන් කඳුළු සැලුවේ එලෙස ය. ඒ අතරින් දෙකඩ වී ගිය පරපුරේ සිහිනය ද වෙයි. පෙරටුගාමී ව, දීප්තිමත් ව බැබළෙන කණ්ඩායම්, උන් හිටි ගමන් බිඳ වැටීම, තව දුරටත් පුදුම වන්න ට කාරණා නො වන්නේ ය.

බොහෝ උන්ගේ පයට පෑගී
තූ තූ ව ගිය අපේ පරපුරේ සිහිනය
කේඬෑරි වී ගිය අත්මිටින් ගෙන
තවත් උන්ගේ දහඩියෙන් තෙමා පදමට
වැලි මාලිගා සේම තැනුවේ අපමය
නිදහස් වෙරළ මත
(පි. 50)


ප්‍රියාන්, හිරු නැඟී බැස යන බව කියන්නට භාවිතා කර ඇති උපමා උපමේයන් එම නිර්මානයේ අරුත් වඩ වඩාත් තීව්‍ර කරයි. "බැටරි නැති බිත්ති ඔරලෝසුව ආනාපානා සතිය වඩයි." සිත් ගන්නා ලෙස අරුත් නිරූපණය කරන්නට යොදා ගන්නා අතර,. ඔහු තවදුරටත් ඒ හා ඒකාත්මික වෙමින් පරස්පරයන් උලුප්පා දක්වන්නට පහසුවෙන්, සරල වචන සපයා ගනියි.

පාඩම් පොතේ වකුටුව
පෙරදිග මුතු ඇටය නිදයි
පපුවේ නිදි බිඳින හඬට
අකුරුවැල් පසු නොබලා දුවයි
ගුරු ගෙදර පාර අද්දර
"සීරුවෙන් සිටින්"
බිම් බෝම්බ අණ කරයි
පහසුවෙන් සිටිය නො හැකි පවට
සිතිවිලි ඉකිගසා හඬයි
(පි. 54)


චක්ගුඩු පැනීම ක්‍රීඩාවක් බව අද බොහෝ දරුවන් දන්නේ නැතුවා වන්නට පිළිවන. එහෙත් හෙට අනිද්දාම "පරිඝනක තිරය මත", දරුවන් චක්ගුඩු පනින්නට ද ඉඩ ඇත. කෙසේ වුවද චක්ගුඩු පැනීමේ දේශපාලනික ක්‍රීඩාවක් ද වෙයි. මඩ ගොහොරුවක් බවට පත්ව ඇති ලාංකික දේශපාලන පොරපිටියේ එකිනෙකා කුළල් කා ගන්නා අප්‍රසන්න යථාර්තය කවකට ලඝු කිරීම පහසු වන්නේ නැත.

මැද ඉරේ ඉන්න බෑ
ඒක ඒ තරම් පළල් නෑ
කොයි මොහොතේ හෝ දෙපිළෙන් එකෙක්
ඇද ගන්නවා සිකුරුයි
දේශද්‍රෝහීන්ගේ පිළට/දේශප්‍රේමීන්ගේ පිළට
(පි. 61)


සදය උපහාසයට ලක් කරමින් ප්‍රියාන් "කුණුහරුප බයිස්කෝප් ලෝලියාගේ අවනඩුව" ගෙන එන්නේ ස්වයං විවේචනයකට රසිකයාව ඇද දමමිනි. ග්‍රීස් යකුන් කලින් කලට එහා මෙහා යන අතර මාධ්‍යය ඉදිරියේ ස්ත්‍රීවාදීන් වන්නන් ගෘහස්ත ප්‍රචණ්චත්වය, තම ගෘහයෙන් පිට දී මහා ඉහළින් හෙළා දකියි. මේවා සමාජය තුළ සිදු වන සැබෑ සිදුවීම් මිස, නිර්මාණයකට පමණක් කොටු කළ හැකි දේ නො වෙයි.

පසුගිය කාලය පුරා යුද්ධය, මහා මිනිස් සංහාරයක් සහ දේපළ කන්දරාවක් විනාශ කර දැමූ අතර, දේශප්‍රේමී ජනතාව දේශයට පෙමින්, අනෙකා මරා දමද්දී අත්පොලසන් දුන්නේ ය. මසින් මස දිගු වූ හදිසි නීතියට පක්ෂ ව ඡන්දය දුන් "සහෝදරවරු" සැබෑ දේශපාලනික විසඳුමක් යෝජනා කරනු වෙනුවට රජය යුද්ධය වෙතම තල්ලු කර ශක්තිය සැපයුවේ ය. යුද්ධයට ආ- වඩා, මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරන පරස්පර විහිලුව මැද, ප්‍රියාන්ගේ "මල් පහයි කොළ පහයි" කොටු තුළට කෝටුකිතයියන් තබා අවසන ඔවුනොවුන් තොණ්ඩුව දමා ගන්නා අයුරු අපි දකින්නෙමු.

සියළු කල්හි, බලයේ පැවැත්ම ආරක්ෂා වනු පිණිස බලවතුන්, සිය අවි අමෝරා පෙළ ගැසෙයි. "බලය", මිනිසා වෙනකෙකු බවට පත් කරන අතර, බලය විසින් අනෙකාගේ ඉහමොළ පමණක් නොව කශේරුව ද, උගුල්ලා විනාශ කර දමා රූකඩ බවට පත් කර ගනී. බල උන්මාදය, මනුස්ස වර්ගයාගේ විනාශයට ම මිස, අන් කිසිවකට හෝ නොවන බව මුළු ලෝක ඉතිහාසය ම සාක්ෂි දරයි. පශ්චාත් යුද සමය ද, අවතැන් වූ දහස් ගණන් ජීවිත තව තවත් අසරණ කර දමනවාට වඩා වැඩි යමක් කළේ නැත. උතුරේ පමණක් නොව දකුණේ ජනතාවගේ ප්‍රශ්නවත් විසඳුවේ නැත. මාධ්‍යවේදීන් ඝාතනය හෝ අතුරුදන් කර දැමීම නැවතුණේ ද නැත. මේ මහා ව්‍යසනය මැද්දේ කම්පනයෙන් හිරි වැටී, කිසිවකු, කිසිවෙක් හා කතා නො කරයි. කිසිවෙක්, කිසිවක් නො ලියයි.

"මහපාරේ කිරිබත් සුවඳ වියැකුණා වුණත්
කටු කම්බි වැට පිම්මෙ දලු දැම්මා තවත්
කටක් තිබු මිනිසුන්ට රිදී මුකවාඩම් ය
අතක් තිබු මිනිසුන්ට හිරිවැටුණු එන්නත් ය
තටු තිබුණු මිනිසුන්ට ඉගිලෙන්න අමතක ය
ඇවිදින්න ගියත් දෙපා හරි කම්මැළි ය

මගේ පෑන් තුඩ වුණත් විවේකයට හරිම කැමති ය
කම්පනයට වෙන්න ඇති!"
(පි. 44)


ඉදින්, මුනිවත රැකීමෙන් අප අපේක්ෂා කරන යහපත් සමාජය ගොඩ නැඟේවි දැයි අපි අපෙන් ම ප්‍රශ්න කරමු.

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails