Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දශක ගණනාවක් මුළුල්ලේ සිංහල සාහිත්‍ය වංශයේ නොමැකෙන සලකුණු රැසක් සටහන් කළ කේ. ජයතිලක සැප්තැම්බර් 14 වන දා අපගෙන් සමු ගත්තේ ය. කෙටිකතාව සහ නවකතාව යන ද්විවිධ සාහිත්‍ය ශානරයන් අරභයා ඔහුගේ දායකත්වය සුවිශේෂී වන අතර ජයතිලක යනු නිසැක වශයෙන් ම සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ වත්මන් හැඩය නිර්ණය කිරීමෙහි ලා බලපෑ පුරෝගාමී සාහිත්‍යකරුවෙකි. නවකතා 16ක් සහ කෙටිකතා සංග්‍රහ 8ක් පමණ ලියා පළ කරමින් පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඔහු අතින් ළමා සාහිත්‍යයට සිදු වූ සේවය ද ඉමහත් ය.

පහත [1,2,3] එන්නේ ජයතිලකගේ වියමන් අතුරින් අහඹු ලෙස තෝරා ගන්නා ලද උද්ධෘත කිහිපයකි.
පහත [4]- කැමිලස් පෙරේරා කලකට ඉහත කේ. ජයතිලක සමග කරන ලද කතාබහකින් ලබා ගත් උද්ධෘත කිහිපයකි. උපුටාගත්තේ SrilankanArts වෙබ් අඩවියෙනි.


1.

"ගම්බද සමාජය මොන තරම් ශ්‍රේෂ්ඨ ද? වික්ටෝරියානු කුහක සදාචාර සිරිත් විරිත් මොකුත් නෑ. ඔවුන් අතරෙ පවතින්නෙ නිදහස් ලිංගික ජීවිතයක්!"

"රාළහාමි දවසක් කිව්වා නේද, රාළහාමි හුඟක් මේ කාන්තා පක්‍ෂය ආශ්‍රය කරනවා කියලා. රාළහාමි කොහොමද මේක නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියක් එක්ක ඈඳන්නේ?" එකෙක් නිල සාකච්ඡාවක දී මෙන් අසයි.

"ඇයි මහත්තයො, ඒක නේන්නම් නිර්මල බෞද්ධ සංස්කෘතිය. ඇයි මහත්තේල ඉතිහාස පොත් වල, බණ පොත් වල තියෙනවයි කියල අහලවත් නැද්ද, පුරාණ රජ දරුවන්ට බිසෝවරැ දුසිම් ගණන් හිටපු බව. ඒක තමයි සිංහල සඟිස්කුරුතියත්. බෞද්ධ සඟිස්කුරුතියත්."

"කදිමයි! විශිෂ්ටයි!" ඔවූහු තිදෙන එකවර ඉංගිරිසියෙන් මුර ගාති.

"ඒක සිංහල සංස්කෘතියෙ මහා සම්ප්‍රදාය!"

"එතකොට, චූල සම්ප්‍රදාය?"

"චූල සම්ප්‍රදාය තමයි, කසාද බැඳලා ගෙදරට ම සීමා වෙලා ඉන්න කුහක වත!"

-කාලො අයංතෙ 1968
(පිටුව 137)


2.

මෑත දී ඇති වූ සමාජ විපර්යාසය අල්පය යන මහේන්ද්‍රගේ කියමන මට යළි යළිත් සිහි වෙයි. සමහර විට ඔහු ජීවත් වූ, ජීවත් වන සමාජ තලය තුළ ඔහුට එය අර්ථවත් නොවන්නට පුළුවන. ඔහු ඒ තුළ ඉහළ නැංගේවත්, පහළ බැස්සේවත් නැත. පොල් කටු අඟුරු ඉස්තිරික්කයේ සිට ශීතකරණය දක්වා ගමන් කළ අනුන්ගේ පහත්ම බැල මෙහෙවර කරනු වෙනුවට, අනුන්ට ඉහළින්ම අණ දෙන තත්ත්වයකට පත් වූ තැනැත්තෙකුට කෙසේ නම් මේ විපර්යාසය අර්ථ විරහිත යැයි කිව හැකි ද? සමහරු සමාජය වෙනස් කිරීම සඳහා සංවිධානාත්මකව ක්‍රියා කරති. සමහරු තනි තනිව ක්‍රියා කරති. සංවිධානාත්මක ව්‍යාපාරයේ පරාර්ථකාමී බවක් පෙනෙන්නට තිබේ. තනි ව්‍යාපාරයන් හි දක්නට ඇත්තේ ආත්මාර්ථකාමී බවයි. සංවිධානාත්මක ව්‍යාපාරයට පුළුල් පසුබිමක් ඇති නිසා ඒ තුළ ඇති වන වෙනස වනයක උස මෙන් පැහැදිලි ව පෙනෙන්නේ නැත. තනි ව්‍යාපාරය සාර්ථක වූ කල්හි, තනිව පිහිටි පොල් ගසක් මෙන් පැහැදිලිව කැපී පෙනෙයි.

විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයෙකුව සිටිය දී, මම ද මේ පුද්ගලික ආත්මාර්ථකාමී වෑයම් හැටියට හෙළා දුටුවෙමි. අපේ සිතුවිලි හා ක්‍රියාවන් අතර ඇති සම්බන්ධය ද්විධාකාරය. ඒ ක්‍රමයකට අපි සිතුවිලි මඟින් අදහස් ඇති කර ගෙන ඒවායින් අපේ ක්‍රියාවන් පාලනය කිරීමට උත්සාහ කරමු. අනික් ක්‍රමයට, අපි ක්‍රියාවන් ආශ්‍රයෙන් අදහස් ඇති කර ගෙන ඒවා අනුමත කරන අදහස් මවන්නෙමු. විශ්ව විද්‍යාලය තුළ දී, අපි භෞතිකවාදීන් වී සිටියෙමු. භෞතිකවාදීන් වූ අපි අදහස් වලින් ක්‍රියාවන් පාලනය කිරීමට උත්සාහ කළෙමු. එය භෞතික වාදියාට ගැලපෙන්නේ ද? ගැලපෙතත්, නැතත් වඩා හරි නම් එය යැයි සිතේ. දැන් මම මගේ වැඩපල නැතහොත්, පරිසරයේ වහලෙක් වෙමි. එයට සිත වහල්ව පවත්නා තාක් කල් නිදහස් හැඟීමක් ඇති වන්නේ නැත.

-රාජපක්‍ෂ වලව්ව 1980
(පිටුව 148- 149)


3.

"තිසේරා, බෙක්ස් බියර් තුනක්!" මගේ මිත්‍රයා කීය. මම තිගැස්සී සිටියෙමි.

"බෙක්ස්?" නාට්‍යකරුවාද විචාළේ ය.

"ඔව්, මස්සිනා තව මාස හයයි ඕවා බොන්ඩ හම්බ වෙන්නෙ. ඒ කාලෙ ඇතුළත ඕවා බොන්ඩ ඕනැ."

"ඇයි හය මාසෙ මොකද?"

"හය මායෙ මොකද අහන්නෙ? ජීවන වියදම අහස උසට. මිනිස්සුන්ට රස්සා නෑ. ලැබෙන පඩිය ආප්ප කන්නත් මදි. ධනපතියන්ට ඕන තරම් සහන. විස්කි, බ්‍රැන්ඩි, ෂැම්පේන් ගලා ගෙන යනවා. ආර්ථික හෝදා පාලුව! ඉතිං, මේ ආණ්ඩුව තවත් ඉතුරු වෙයිද?"

"කවුද ඉතිං ආණ්ඩුව පෙරළන්නෙ?"

"පෙරළන කෙනා නැගිටලා ඒවි වෙලාවට."

"ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය?"

"එහෙම එකක් තවම මේ රටේ තියෙනවද?"

"සමසමාජ?"

"ඒක පණ ගන්වන්න ක්‍රිස්ටියන් බර්නාර්ඩ් ගෙන්වන්න ඕනෑ."

"කොමියුනිස්ට්?"

"යුද්ධ කරාවි. විප්ලවත් කරනවද?"

"ජේ.වී.පී?"

"එකක් කරල ඉවර වෙලා දැන් ඔය මුක්කු ගහන්නෙ."

"කව්ද එතකොට විප්ලවේ කරන්නෙ?"

"සහෝදරයා, ලෝකෙ කොහෙවත් විප්ලවයක් ඇති වෙලා තියෙනවද කම්කරු පංතිය නැතුව? අන්න ඒ කම්කරු පංතිය නැගිටල ඒවි නියම වෙලාවට."

-රාජපක්‍ෂ වලව්ව 1980
(පිටුව 172 -174)


4.

අපි වගේ මිනිස්සුන්ට නිකරුණේ ඉන්න හිත හදා ගන්න බැහැ.
-කේ. ජයතිලක


ඔබ නවකතා සඳහා පාදක කරගන්නේ ඔබේ අත්දැකීම් හා ඔබ ඇසුරු කළ චරිත පමණද?

මූලික වශයෙන් මගේ අත්දැකීම් හා මා සමීපව ඇසුරු කළ චරිත නවකතා සඳහා පාදක කර ගත්තත් ඒවා ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන්නේ නැහැ. එතකොට එය වාර්තාවක් විනා නිර්මාණාත්මක අගයක් ඇති කෘතියක් බවට පත් වන්නේ නැහැ. එහිදී නිර්මාණයක් වීම සඳහා යම් යම් කොටස් අලුතින් එකතු කරන්න ඕනේ. එතකොටයි කෘතියක් නිර්මාණාත්මක වේශයක් ගන්නේ.

මේ චරිත අතරින් ඔබේ සිත වඩාත් කම්පනයට පත් කළ චරිතයක් ගැන සඳහන් කළොත්?

කම්පනයක් ඇති කළ චරිතයක් ගැන විශේෂයෙන් සඳහන් කරන්න බැහැ. මා ඇසුරු කරන චරිත දිහා පසු කලෙක ඈත සිට විචක්ෂණව අවධානය යොමු කර ඒ ඔස්සේ නිර්මාණකරණයේ යෙදෙනෙවා. බොහෝ දෙනෙක් වඩාත් සාර්ථක චරිත නිරූපණය ලෙස අගය කරන්නේ මා විසින් නිර්මිත ගැමි චරිත. නමුත් අද අව්‍යාජ ගැමි ජීවිතය දකින්න නැහැ. හැම දෙයක්ම සංකරවෙලා. මිනිස්සු මේ විකෘතියෙන් මානසිකව කුරුවල් වෙලා. සියල්ලෝම නෙත් දල්වාගෙන ඉන්නේ නගරේ දිහාට. ඒ තරමට ගැමි ජනතාව පවා නාගරීකරණය වෙලා. පොල් ගහට නගින පොල් කඩන මනුස්සයා එක වල්ලක් කඩලා අනිත් වල්ලත් කඩන්නද කියලා අහන්නේ ගහ උඩ සිටම හෑන්ඩ් ෆෝන් එකෙන්. මිනිස්සු ඒ තරමට මානසිකව පරිවර්තනය වෙලා.

කල්පිතයක් ඇසුරෙන් නිර්මාණයක් කරනවාට වඩා තම අත්දැකීම් තුළින් වඩාත් සාර්ථක නිර්මාණයක් කළ හැකි බව ඔබ විශ්වාස කරනවාද?

සත්තකින්ම මම තරයේම එය විශ්වාස කරනවා. නමුත් අත්දැකීම් ඇසුරෙන් ලියූ පමණින් සාර්ථක කෘතියක් වන්නේ නැහැ. එම අත්දැකීම් සමග නිර්මාණාත්මකව තවත් දේ එකතු කළ යුතුයි. ඒ ඔස්සේ පමණයි සාර්ථක නිර්මාණයක් බිහිවෙන්නේ.

ඔබේ මීළඟ නිර්මාණය කුමක්ද?

එම ප්‍රශ්නයට මට නිශ්චිතව පැහැදිලි පිළිතුරක් දෙන්න අපහසුයි. සාමාන්‍යයෙන් පිළිගත් මතයක් තිබෙනවා ලේඛකයකුගෙන් සාර්ථක කෘති බිහි වෙන්නේ වයස අවුරුදු 30 සිට 55 අතර කාලය තුළ බවට. ඒ සම්මතයෙන් බැහැරව නිර්මාණ බිහි වන අවස්ථාද තිබෙනවා. මම නිර්මාණයට පිවිසුණේ මට අවුරුදු 30 ලබන්නත් කලින්. මම මට වයස අවුරුදු 70 දීත් නිර්මාණකරණයේ යෙදිල තියෙනවා. විලියම් ශේක්ෂ්පියර් නිර්මාණයට පිවිසුණේ ඔහුගෙ මැදි වයසෙදි. ඔහු ඉපදුණේ 1564 දි. වර්ෂ 1616 දක්වා වූ ඔහුගේ ජීවිතයේ පනස් දෙවසක කාලය පුරා ශේක‍ෂ්පියර් නාට්‍ය 36 ක් රචනා කලා.

ඔබ පරිවර්තන කෘති කෙරෙහි යොමු නොවුණේ ඇයි?

මම මුලින්ම කළේ පරිවර්තන කෘතියක්. ඒ විලියම් ශේක‍ෂ්පියර් ගේ 'මැක්බත්'

නාගරික මැද පංතියේ චරිත ඔබේ නවකතා සඳහා වැඩිපුර පාදක නොවුණේ ඇයි?

ග්‍රාමීය මැද හා පහළ පංතියේ චරිතයි බහුතර වශයෙන් මගේ නවකතා සඳහා පසුබිම් කර ගත්තේ. අපි ගමේ ජීවත්වෙන කොට පංතියක් හැටියට වැජඹෙන්න හෝ කැපී පෙනෙන්න උත්සාහ කළේ නැහැ. වතුර ටිකක් බොන්න ඕනෑ වුණොත් ගමේ ගෙදරක කුස්සියටම ගිහිල්ල කළගෙඩියෙන් නවාගෙන බොනවා. මේ කාලේ ගෙදරකින් බොන්න වතුර ටිකක් ඉල්ලුවොත් වීදුරුවක් හොඳට හෝදල වතුර එකක් ගෙනත් දෙයි. ඒ දවස්වල අපි ජීවත් වුණේ ව්‍යාජ බාහිර අලංකාරවලින් තොර සැබෑ විවෘත සමාජයක. ඔවුන් සමග ජීවත්වෙමින් ඔවුන්ගේ අත්දැකීම් ඔවුන් සමග බෙදා හදාගත්තා. ඒ චරිතයි මගේ නවකතාවලට පාදක වුණේ.

පේරාදෙණිය සාහිත්‍යය ගුරුකුලය විවේචනයට ලක්වූ අවධියේ ඔබ සිටියේ කවර පාර්ශ්වයේද?

මම හිටියේ මධ්‍යස්ථවයි. කිසිම ගුරුකුලයකට ඍජුව සම්බන්ධ වුණේ නැහැ. නමුත් පේරාදෙණිය ගුරුකුලයට මඳක් සමීපව සිටියා. පියදාස සිරිසේන හා ඩබ්ලිව්.ඒ.සිල්වාගේ කෘතීන් ඔවුන් හෙළා දකින විට මම ඊට තදින්ම විරුද්ධ වුණා. ඔවුන්ගේ කෘතිවල නොයෙකුත් දුර්වලකම් තිබෙන බව සත්‍යයක්. ඒත් සිංහල සාහිත්‍යය ගොඩනැගුවේ ඔවුන්. අප ඒ ගෞරවය ඔවුන්ට දිය යුතුමයි.

ජනතා ලේඛක පෙරමුණ නමින් සංවිධානයක් බිහිවුණා. එහි සමාජ සත්තා යථාර්ථවාදී සංකල්පය සමඟ සසඳද්දි ඔබේ නවකතා අයිති කවර අංශයටද?

සාහිත්‍යය සංගමයක් බිහිකිරීමේ අවශ්‍යතාව මා තරයේ පිළිගත්තා. ඒ සංගමයට සම්බන්ධවී බොහෝ සෙයින් ඇපකැපවී කටයුතු කළා. නමුත් ඔවුන්ගේ සංකල්ප මා පිළිගත්තේ නැහැ. ඒ විතරක් නෙවෙයි. එම සංකල්ප අනුව එකම කෘතියක්වත් බිහි කළේ නැහැ.

මේ අවධියේ ඔබ කාලය ගත කරන්නේ විවේක සුවයෙන්. මේ ආස්වාදය විඳින්නේ කොහොමද?

විවේක සුවයෙන් කාලය ගත කළත් අපි වගේ මිනිස්සුන්ට නිකරුණේ ඉන්න හිත හදා ගන්න බැහැ. මම පොත්පත් කියවනවා. සටහනක් දෙකක් ලියනවා.

පහුගිය කාලයේ මම බරපතල ලෙස රෝගාතුර වුණා. ඒ අවස්ථාවේදී මට බරපතල ශෛල්‍යකර්මයකුත් සිදුකළා. දොස්තරලා කිව්ව සියයට 25 ක් පමණයි විශ්වාසය තියන්න පුළුවන් කියල ජීවිතේ ගැන. සැත්කම කළේ නවලෝක රෝහලේදී මහ රෝහලේ වෛද්‍යවරුන් විසින්. ඔවුන්ගේ දක‍ෂකම හින්දයි අද මම ජිවතුන් අතර ඉන්නේ.

පොඩි කාලේ ඉඳලම පොත්පත් කියවන්න මා තුළ තිබුණේ බලවත් ආසාවක්. අපේ ගමෙන් පොත් හොයා ගැනීම දුෂ්කර වුණා. පිට ගම්වලත් ඇවිදල පොත් හොයාගෙන කියෙව්වා. බොහෝ අවස්ථාවලදී මට අවශ්‍ය පොත්පත් හොයාගන්න ලැබුණේ නැහැ. මේ අඩුව තදින්ම දැනුණා. මගේ හිත තුළ මේ සිද්ධිය තදින්ම පැලපදියම් වෙලා තිබුණා.

වර්ෂ 2004 දී මගේ මිතුරන් කීප දෙනෙක් මා වෙනුවෙන් උපහාර උත්සවයක් පවත්වා උපහාර කලාපයක් නිකුත් කරන්නට සූදානම් වුණා. මා මෙම අදහසට එකඟ නොවී මගේ සාහිත්‍ය සේවය ඉදිරියට ගෙන යාමට හැකිවන විදිහට පදනමක් ඇති කරන ලෙස යෝජනා කළා. සියල්ලන් එයට එකඟ වුණා. කේ. ජයතිලක පදනම හා නිදහස් පුස්තකාලය බිහිවුණේ ඒ අනුවයි. රදාවානේ කන්නිමහර මගේ පෞරාණික නිවස පුස්තකාලය සඳහා බාර දුන්නා. දැනට එහි පොත් 20,000 ක් පමණ තිබෙනවා.

දැන් උදේ 9.00 ට විතර කාර්යාලයට එන මම 12 වෙන්න කලින් ගෙදර යනවා. ටික කාලයකට ඉස්සෙල්ල මගේ අතින් කාර් එක අනතුරකට ලක් වුණා. දැන් මම කාර් එක එලවන්නේ නැහැ. රියැදුරෙක් යොදා ගන්නවා. මතකයත් ටිකෙන් ටික ගිලහී යනවා. ඒ හින්ද පරිස්සමින් ජීවිත ගමනේ යනවා.

[කැමිලස් පෙරේරා]
-srilankanarts.lk


More-
කුමාරණතුංග, ගුහාවල විසූ පුදුම සත්තු සහ තවත් කතා [ව්‍යංග්‍යා]

K Jayathilaka| The Living Icon of Sinhala literature



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails