Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


දේශපාලන විද්‍යාව පිළිබඳ සම්මාන මහාචාර්ය රංජිත් අමරසිංහ සමග රාවය වෙනුවෙන් ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර කරන ලද සාකච්ඡාව.


  • යුද්ධය අවසන් වී ගෙවී ගිය දෙවසර තුළ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගමන් මග පිළිබඳ ඔබේ තක්සේරුව මොකක්ද?

  • මේ වෙනකොටවත් අපි ආපහු හැරිලා බලන්න ඕනෙ දේවල් කිහිපයක් තියෙනවා. ඒ අතර ඉතාම වැදගත් කාරණය තමයි මේ කියූ යුද්ධය ආරම්භ වීමට පවා මූලික හේතු වූයේ මේ රටේ පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හිඟය කියන එක අපි අවබෝධ කරගෙන ඉන්න එක. යුද්ධය ඇතිවීමට මූලික හේතුව වුණේ දෙමළ ජනතාවට තිබුණු සාධාරණ ප‍්‍රශ්න. ඔවුන් ඒ විදිහේ ප‍්‍රශ්නවලට මුහුණ දුන්නේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හරිහැටි ක‍්‍රියාත්මක නොවීම තුළ.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන මාතෘකාවේ දී අපි කතා කරන සමානාත්මතාව පිළිබඳ මූලධර්මය, සියලූ ජන කොටස්වලට රාජ්‍ය පාලනයට සමාන ලෙස සහභාගි වීමේ වරප‍්‍රසාද විවිර කිරීම, වෙනස්කම් නොකිරීම, නියෝජනය වගේ කරුණු රට තුළ හරි හැටි ඉෂ්ට වුණා නම් මේ වගේ දීර්ඝකාලීන යුද්ධයක් ඇති වෙන්නෙ නෑ. ඒ විතරක් නෙමෙයි මේ කියන කරුණු මේ මොහොතේ පවා රජය නොසලකා හැරලා තියෙන්නේ. ඔවුන් එහෙම කරන්නේ තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොතකා හරිනවා- තමන් එයට විරුද්ධයි කියමින් නෙවෙයි. මොවුන් තම වැඩපිළිවෙළ තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන වචනය පාවච්චි කරනවා. ඒත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන සංකල්පය පිළිබඳ කිසිම සැලකිල්ලක් නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන වචනය මේ ආණ්ඩුව පාවිච්චි කරන්නේ තමන්ගේ සහ තම වැඩකටයුතුවල සුජාතභාවය හුවාදක්වන හුදු දවටනයක් විදිහට විතරයි.

    දැන් අවුරුදු තිහක විතර ඉඳලා කථාකරන මේ රටේ කේන්ද්‍රීය ප‍්‍රශ්නය ජාතික ප‍්‍රශ්නයනේ. මේ ප‍්‍රශ්නය විසඳීමට අවශ්‍ය මෙතෙක් නොතිබුණු ආකාරයේ අවකාශයක් මේ වනවිට ගොඩනැගිලා තියෙනවා. චන්ද්‍රිකා රජය වැනි රජයන් මේ ප‍්‍රශ්නය විසඳන්න උත්සාහ කරද්දී ඔවුන්ට මේ අවකාශය නිර්මාණය වෙලා තිබුණේ නෑ. මොකද එල්.ටීටී.ඊ ක‍්‍රියාකාරිත්වය යටතේ ඒ තත්ත්වය ඉටුකරගැනීම පහසු වුණේ නෑ. අද එල්.ටී.ටී.ඊ එක නෑ විතරක් නෙමෙයි පවතින ආණ්ඩුව කියන්නේ රටේ බහුතර කැමැත්ත අනුව පත් වූ විශාල නියෝජනයක් සහිත පක්‍ෂයක්. ඒ නිසා මේ වගේ විසඳුමකට එන්න ඔවුන්ට ඉතාම පහසුවෙන් ඉඩ තිබුණා සහ තියෙනවා. මොකද මේ ආණ්ඩුව ඒ වගේ විසඳුමකට ආවත් කවුරුත් කියන්නේ නෑ මේක රට පාවාදීමක් කියලා. සමාජය තුළ තියෙන ඒ හොඳහිත පාවිච්චි කරලා මේ තියන කේන්ද්‍රීය ප‍්‍රශ්නයට කල්පවත්නා විසඳුමක් දෙන්න මොවුන්ට හොඳටම හැකියාව තිබුණා.

  • මේ කියන කල්පවත්නා විසඳුම යන්න තුළ ඔබගේ මූලික යෝජනාව වෙන්නේ මොකක්ද?

  • මේකට තියෙන මූලික විසඳුම තමයි පළාත් සභා ක‍්‍රමය. ඒ තුළ විශාල අඩුපාඩුකම් තියෙනවා කියන එක ඇත්ත. නමුත් ඒ අඩුපාඩුකම් නිවැරදි කරමින් මේ ක‍්‍රමය තවදුරටත් ශක්තිමත් කර ක‍්‍රියාත්මක කරන්න පුළුවන්. සර්වපාක්‍ෂික සාකච්ඡාවල තීරණ ප‍්‍රකාශයට පත් කරන අවස්ථාවල තමන් එසේ කරන බව වර්තමාන ජනාධිපතිවරයාම ඕනෑතරම් ප‍්‍රකාශ කරලත් තියෙනවා. ඒත් අද වනකම් ඒ පිළිබඳව ප‍්‍රායෝගිකව සිදු කළ කිසිම දෙයක් නෑ. ජාතික ප‍්‍රශ්නය කියන එකට මූලික හේතුව ගෙවල් නැතිකමවත්, පාරවල් නැතිකමවත්, පිහිනුම් තටාක නැතිකමවත් නෙමෙයිනෙ. වසර ගණනාවක් යුද්ධය නිසා පීඩා විඳි අයට ඒ දේවලූත් ගොඩක් වැදගත් තමයි. නමුත් ප‍්‍රශ්නයට මූලික හේතුව ප‍්‍රාදේශීය ස්වයං පාලන බලයක අවශ්‍යතාව නිසා ඒ සම්බන්ධයෙන් ලබාදෙන විසඳුමක් ඒකට අදාළ වෙන්න ඕනෙ.

    මේ වනවිට උතුරේ බහුතර ජනතාව දෙමළ ජාතික සන්ධානය පිළිබඳ විශාල විශ්වාසයක් තියලා තියෙනවා කියලා ඉතා පැහැදිලියි. මේ නිසා මේ කියන විසඳුම් සම්බන්ධයෙන් ඒ පක්‍ෂයේ යෝජනාවලට කන්දීම ඉතාමත්ම වැදගත්. නමුත් ඒ පක්‍ෂය සමඟ අවංක සාකච්ඡාවක නිරතවීමට තවමත් රජය සූදානම් නෑ. ඒ අනුව ඉතා පැහැදිලිව කියන්න තියෙන දෙයක් තමයි දැන් වෙන්නෙත් යුද්ධය ආරම්භ වීමට කලින් සිද්ධවුණු දේම තමයි කියලා සාකච්ඡා කරමු කියනවා. විසඳුමක් දෙනවා කියනවා. අන්තිමට මොකුත් කරන්නේ නෑ. මේ කටයුත්ත සුබවාදී එකක් නෙමෙයි.

    දැන් අලූතින් යෝජනා කරලා තියෙනවා පාර්ලිමේන්තු කාරක සභාවක්. ඒක කිසිසේත්ම අවශ්‍ය දෙයක් කියලා මම කල්පනා කරන්නේ නෑ. මම දැක්කා ජනමාධ්‍ය මගින් ප‍්‍රචාරය කරනවා මේක ගොඩ නගන්නේ ජාතික ප‍්‍රශ්නය ගැන නෙමෙයි. එක්සත් බව ගැන කියලා. රටේ එක්සත් බව කියන්නේ ජාතික ප‍්‍රශ්නයටම තමයි. වෙන මොකටවත් නෙමෙයි.

  • එක් පැත්තකින් හදිසි නීතිය ඉවත් කිරීම වගේ පියවරකට රජය හදිසියේ අතගහලා තියෙනවා. නමුත් හදිසි නීතිය ඉවත්කිරීම මගින් අත් හළ දේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි දේ මගින් නැවත අත්පත් කර ගැනීමට රජයට හැකියාවක් තියෙන බවට චෝදනා එල්ල වෙනවා...?

  • හදිසි නීතිය ඉවත්කිරීම කියන කරුණ මේ දවස්වල හැමෝම සංතෝෂයෙන් කථා කරන දෙයක්. ඒක ඇත්තටම එක්තරා අතකට සංතෝෂ වෙන්න පුළුවන් දෙයක් තමයි. මොකද මෙතෙක් කල් තිබුණු මර්දනකාරී රෙගුලාසි බොහෝමයක් මේත් එක්ක ඉවත් වෙනවා. නමුත් ඒ රෙගුලාසි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ දේවල් මගින් ඔබ කිව්වා වගේ නැවත කරළියට එන්න ඉඩ තියෙනවා. ඇත්තටම මේ තත්ත්වය හදිසි නීතිය ඉවත් කිරීම තුළ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශයට ලැබුණු ඉඩකඩ පරිපූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක වීමට විශාල බාධාවක්.

    අපිට මතකයි පසුගිය කාලය තුළ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත තමයි වැඩිපුර පාවිච්චි කළේ. ත‍්‍රස්තවාදි නොවන කරුණු පාලනය කිරීමේදී පවා සංවිධානය වීම, අදහස් ප‍්‍රකාශ කිරීම සහ මාධ්‍ය ක‍්‍රියාකාරීත්වය කියන හැම දෙයකටම අවශ්‍ය නම් මේ පනත තුළින් බලපෑම් කරන්න පුළුවන්.

    මේ රටේ මේ දිනවල ඇතිවන යම් යම් හුදකලා සිදුවීම්, හමුදා කඳවුරු වැටලීම් ආදිය දිහා රජය බලන ආකාරය දිහා බලන්නකො. රජය මේ හැම හුදකලා සිදුවීමක්ම අර්ථකථනය කළේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන් විදියට. ඒවගේ සිදුවීම්වලට ත‍්‍රස්තවාදයට පිළිතුරු දෙන ආකාරයට පිළිතුරු දීමට තමන් සූදානම් බව ඔවුන් කියනවා. ඒ නිසා හදිසි නීතිය ඉවත්කිරීම තුළ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෑයමක් මල් ඵල ගැන්වීමට නම් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත් අහෝසි කරන්න ඕනෙ. මේ රටේ දෙමළ ජනතාව තදින් විශ්වාස කරන දෙයක් තමයි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවේ තමන් මර්දනය කරන්න කියන එක. ඉතින් ඒ පනත තියෙනකම් වෙන මොනවා තිබුණත් වැඩක් නෑ. මොකද රජයේ මර්දන අවිය තමන් වෙත දික්වෙලා තියෙන බවට ඔවුන්ගේ හිතේ තියෙන හැඟීම නැතිකරන්න එතකම් පුළුවන්කමක් නෑ. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත්කිරීම දෙමළ ජනතාවගේ හිත දිනාගැනීමේ මූලික කරුණක් වෙන එක ඉතාමත් විශ්වාසයි.

    අනෙක් කරුණ තමයි රජය ඒ වගේ තත්ත්වයකට ගියා කියලා රටේ ජාතික ආරක්‍ෂාවට ඉන් තර්ජනයක් වෙයි කියලා කොහොත්ම හිතන්න අවශ්‍යකමක් නෑ. මොකද මේ රටේ වර්තමාන ජනාධිපතිවරයාට පුළුවන්කම තියෙනවා තමන්ට අවශ්‍ය ඕනම වෙලාවක නැවත ඒ බලතල ලබාගන්න.

  • හදිසි නීතිය ඉවත් කිරීම පවා රජයේ අවංක චේතනාවක් මත සිදුවූවක් නොව ජාත්‍යන්තර බලපෑම් මත සිදුවූවක් බවයි බහුතර පිළිගැනීම?

  • මම විශ්වාස කරන්නෙත් ඒ විදිහට තමයි. හදිසි නීතිය ඉවත් කරන්න කියලා මෙච්චර කල් විපක්‍ෂය කියපු හැම වෙලාවකම ආණ්ඩුව කීවේ මේක අපිට දිගින් දිගටම තව බොහෝ කාලයක් තියාගන්න වෙනවා රට සාමාන්‍ය තත්ත්වයට එනකම් කියලා.

    ජාත්‍යන්තර හමුවේ රටේ ප‍්‍රතිරූපය නැවත සකස් කරගැනීමට නම් මේ වගේ දෙයක් කරන්න ඕනෙ කියලා රජය කල්පනා කරන්න ඇති. මොකද ජාත්‍යන්තරය විසින් නිතර නිතර රජයට ආපු බලපෑමක් තමයි හදිසි නීතිය ඉවත් කරන්න කියලා. අනෙක් අතට පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ මුහුණදීමට මේක ප‍්‍රධාන නිදහසට කරුණක් කරගන්න පුළුවන් බව ආණ්ඩුව කල්පනා කරන්න ඇති.

    අනෙක් කරුණ තමයි ජාත්‍යන්තර සමාජයේ වුවමනා එපාකම් සැලකිල්ලට අරන් අපේ ප‍්‍රතිපත්ති සකස් කිරීම ලැජ්ජාවට කරුණක් විදියට කොයිවෙලාවෙත් සලකන්න හොඳ නෑ. මොකද උගන්ඩාවටත්, සෝමාලියා වටත්, සූඩානයවත් ඉස්සර හිටියා වගේ ජාත්‍යන්තර සමාජයේ අන්‍යයෙක් වෙලා ජීවත්වෙන්න අපේ රටට උවමනාවක් නෑ.

  • රටේ සමාජ දේශපාලනික ව්‍යූහයන් තුළ දිනෙන් දින ඉතා පැහැදිලිව ඉස්මතුව පේන දෙයක් තමයි මිලිටරිමය ව්‍යාප්තිකරණය කියන එක. මේ තත්ත්වය ඔබ දකින්නේ කවර ආකාරයටද?

  • රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මිලිටරියට විශාල කාර්යභාරයක් තියෙනවා. නමුත් රටේ ආරක්‍ෂාව තහවුරු කරලා තමන් පැත්තකට වෙන එක තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සාමාන්‍ය ලක්‍ෂණය. එයි කිසිම දවසක රාජ්‍ය පාලනයේ උපකරණයක් වෙන්න අවශ්‍ය නෑ. නමුත් මේ රට තුළ මිලිටරිය තම කාර්යයන්ට අමතරව පාලනයට සම්බන්ධවීම විශාල වරදක්.

    සිවිල් තනතුරු සඳහා හමුදා නිලධාරින් පත් කිරීමට පටන්ගත් මුල් කාලයේ අපි හිතු දෙයක් තමයි යුද්ධය ඉවරකරපු ගෞරවය නිසා ඒ තනතුරු ලබා දුන්නා කියන එක. ඒත් දැන් පේනවා ඒක එතනින් එහා ගිය විශාල ව්‍යාපෘතියක් කියලා. රටේ ප‍්‍රධාන සේවාවන් සියල්ල මේ වනවිට ආරක්‍ෂක අමාත්‍යාංශ විසින් නිලවශයෙන් බාර ගෙන තියෙනවා.

    නිවැරදි ප‍්‍රජාතන්ත‍්‍ර වාදයක් යටතේ නම් හැම විටම කෙරෙන්න ඕනෙ සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයන් ඉස්මතු කිරීම. නමුත් මේ තත්ත්වය තුළ සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයන් යටපත් වෙනවා. ඒක ඉතාමත් ම නරක ප‍්‍රවණතාවක්. මොකද මිලිටරිය මේ ටමට්ටමින් දේශපාලනයට මැදිහත්වීම තියෙන්නේ ඉතාම දුර්වල රටවල විතරයි. යුද්ධය අවසන් කළ අද වගේ කාලයක කරන්න ඕනෙ මහජන සංවිධානවලට ඉදිරියට එන්න ඉඩ ප‍්‍රස්ථා ලබාදීම.

    අද මේ රටේ තරුණ සහ ශිෂ්‍ය සමාජය තුළ පවා මිලිටරි ආධිපත්‍යයක් පැතිරීම සඳහා රජය කටයුතු කරමින් සිටිනවා. විශ්ව විiාලවල ශිෂ්‍යයන් සඳහා හමුදා පුහුණුවක් ලබා දීම ඒකේ සංධිස්ථානයක්. මේක ඉතා කනගාටුදායක තත්ත්වයක්. අපි කථාවටත් කියනවානෙ සීසර්ගේ දේ සීසර්ටම දෙන්න කියලා. එහෙම කියන්නේ ආගමයි රාජ්‍යයයි වෙන් කරන්න ඕනෙ කියන අදහසින්. ඒ වගේම තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ආරක්‍ෂකයා ලෙස මිලිටරියට තියෙන තැන ඔවුන්ට දීලා. දේශපාලනයේදී සිවිල් සමාජයට ඒ වගකීම පවරන්න ඕනෙ.

  • නමුත් දැන් රජය පාර්ශ්වයෙන් ඇහෙන්න තියෙන අදහසක් තමයි ප‍්‍රජා පොලිසියක් පිහිටුවීම කියන එක?

  • ඔව්. ආරක්‍ෂක ලේකම්වරයා ඔය කථාව ප‍්‍රකාශ කරලා තිබුණා මමත් දැක්කා. නමුත් ගැටලූව තියෙන්නේ ලේකම්වරයා මේ දේ කිව්වේ ප‍්‍රජා පොලිසිය කියන සංකල්පය නිවැරදිව හඳුනාගෙනද කියන එක. ප‍්‍රජාව මත පදනම් වූ පොලීසියක් කියන්නේ පොලීසි සම්බන්ධ කටයුතු සඳහා ප‍්‍රජාවේද මැදිහත්වීම ලබන දෙයක්. ඒ අනුව පොලීසිය හඳුන්වන්නේ නිල ඇඳුම් සහිත පුරුවැසියෙක් විදිහට. මේක ජපානය වගේ රටවල ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක වන ක‍්‍රමයක්. ඒ නිසා මේ වගේ තත්ත්වයක් අපේ රටේත් ඇති කරන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. මේ වනවිට රටේ ක‍්‍රියාත්මක වන පොලීසිය යටත් විජිත යුගය තුළ ඒ සංකල්පයන් මගින් ඇති කර ගන්නා ලද එකක්නෙ. එය සම්පූර්ණයෙන්ම පවත්නා රජයේ හස්තයක් විතරයි.

    ආරක්‍ෂක ලේකම්වරයා මේ ප‍්‍රකාශය තුළින් අදහස් කළේ පොලීසියේ කටයුතුවලට මහජනතාව සම්බන්ධ කර ගැනීම වෙන්න පුළුවන්. ඒත් අපි බලන්න ඕනෙ මහජනතාව ඇයි පොලීසියේ කටයුතු සඳහා සම්බන්ධ නොවන්නේ කියලා. හේතුව තමයි මහජනතාවට මේ රටේ පොලීසිය විශ්වාස නෑ. ඔවුන් පොලීසිය දකින්නේ මර්දනකරුවෙක් විදිහට විතරයි. මොකද පොලීසිය මහජනයා වෙත එන්නේ ඒ අයුරින් වන නිසා. රටේ පොඩි සිදුවීමක් වුණත් මහජනතාව නීතිය තමන්ට ගන්න උත්සාහ කරනවා. ඒකට හේතුව තමයි මං කලින් කිව්වා වගේ පොලීසිය නිවැරදිව නීතිය ඉටුකරයි කියලා ඔවුන් තුළ විශ්වාසයක් නැතිකම.

    රටේ පොලිසියටත් පොලිසියක් තියෙන්න ඕනෙ. පොලිසිය පාලනය වෙන්න සහ ඊට විරුද්ධව පැමිණිලි කරන්න ක‍්‍රමවේදයක් අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් තිබුණු එක් ක‍්‍රමවේදයක් තමයි පොලිස් කොමිසම, නමුත් අද වනවිට ඒකත් නෑ.

  • ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ගොඩනැගෙමින් පවතින ගනුදෙනුව රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් එක්ක සැලකිල්ලට ගනිද්දී ඔබ කොහොමද තේරුම් ගන්නේ?

  • මේ ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන දක්වන සැලකිල්ල විග‍්‍රහ කරන්න පුළුවන් හොඳම තැනක් තමයි පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුව කියන්නේ මහජනතාවට ඉතාමත් සමීප නියෝජිතයන් ඉන්න තැනක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළින් බලාපොරොත්තු වෙන්නෙ මහනජතාවගේ වුවමනාවන්ට අනුව කටයුතු කිරීම නම් එය සපුරාගැනීමේ මූලික ස්ථානය තමයි ඒක.

    පාර්ලිමේන්තුව තුළ රාජ්‍ය බලය දරන කණ්ඩායමේ සාමාජිකත්වයන්ට අනුව විරුද්ධ පක්‍ෂවල සාමාජිකයනුත් ඉන්නවා. ඔවුන් අදහස් ප‍්‍රකාශ කිරීමේදී ඒ සඳහා ඉඩක් ලබාදීම ඉතාමත්ම වැදගත්. නමුත් විරුද්ධ පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් සඳහා අදහස් ප‍්‍රකාශ කිරීමේ ඉඩක් අපේ පාර්ලිමේන්තුව තුළ පේන්න නෑ.

    පාර්ලිමේන්තු කමිටු කියන කරුණ ගත්තත් එය ලෝකයේ හැම තැනම ක‍්‍රියාත්මක වන දෙයක්. ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ පවා පාර්ලිමේන්තුවල සැබෑ තීරණ ගන්නේ පාර්ලිමේන්තු කමිටු. නමුත් මේ කියන කමිටු අපේ රටවල ඒ ආකාරයෙන් ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි වෙනත් බොහෝ රටවල තියෙන පාර්ලිමේන්තු කමිටුවල සභාපතිත්වය දෙන්න ඕනෙ විරුද්ධ පක්‍ෂයේ සාමාජිකයකුට, නමුත් අපේ රටේ තියෙන නාමික කමිටුවකවත් ඒ වගේ සම්ප‍්‍රදායයක් දක්නට ලැබෙන්නෙ නෑ. විරුද්ධ පක්‍ෂය හඬා වැලපෙමින් ඉල්ලූවත්.

    මට මතකයි දවසක් ජනාධිපතිවරයා කියනවා මේ රටේ විරුද්ධ පක්‍ෂය ඉන්දියාවේ විරුද්ධ පක්‍ෂයෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනෙ කියලා. නමුත් මම කියන්නේ මේ රටේ රජය ඊට කලින් ඉන්දියාවෙන් පාඩම් ඉගෙනගෙන ඉන්න ඕනෙ කියලා.

    පාර්ලිමේන්තු සම්ප‍්‍රදායක් තුළ තියෙන තවත් ඉතාමත් වැදගත් කරුණක් තමයි ප‍්‍රශ්න ඇසීමේ අවස්ථාව. විරුද්ධ පක්‍ෂය විසින් ප‍්‍රශ්න අහද්දී අපේ රටේ පාර්ලිමේන්තුව තුළ ඒ සඳහා උත්තර දෙන්න අදාළ මැති ඇමැතිවරුන් ඉන්නේ ඉතා කලාතුරකිනි. ඒ හිටියත් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න නැතිව කල් ඉල්ලනවා. නැත්නම් ප‍්‍රශ්න ඇසීම පවා විවිධාකාරයෙන් යටපත් කරන්න උත්සාහ කරනවා. මේ තුළින් පේන්නේ වෙන මුකුත් නෙමෙයි අපේ දේශපාලන සංස්කෘතිය තුළ පාර්ලිමේන්තුව හෑල්ලූ කරලා තිබීම.

  • පසුගිය කාල තුළ රජය ගෙන ගිය මැතිවරණ සියල්ල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බවට විශාල වශයන් මත පළ වුණා.


  • රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කරුණු විමසීමේදී අවධාරණය කරන්න ඕනෙ තවත් වැදගත් දෙයක් තමයි මැතිවරණ රජයකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සුජාතභාවය ලබා දෙන්නේ මැතිවරණ මගින් මහජනයාගේ කිසියම් තීරණයක් මගින් නිවැරදි ලෙස බලයට පත් වූ ආණ්ඩුවක් සුජාත එකක් ලෙස සලකන එකේ වරදක් නෑ. නමුත් මේ මොහොත වන තෙක් පවත්නා රජය විසින් ගෙන ගිය මැතිවරණ කිසිවක් සාර්ව සාධාරණ නෑ. මොකද ඒවා හුදෙක් මැතිවරණ විතරයි. මැතිවරණ කඩින් කඩ පවත්වමින් මොවුන් සිදු කරන්නේ රාජ්‍ය බලය උපරිම යොදාගනිමින් සියලූ කරුණු තමන්ට වාසි වන ලෙස හසුරා පසුව ජයග‍්‍රහණය කිරීම.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක බලය දරන්නන් එය කරන්න ඕනෙ මහජනතාව වෙනුවෙන්. ඒක භාරකාරීත්වයක් විතරයි. තවත් අතකට බලය ලබනවා කියන්නේ මුළු බලයම දැරීම නෙමෙයි. ඒක එක්තරා විදිහකට කොන්ත‍්‍රාත්තුවක්. මහජනයා එක් ආණ්ඩුවකට බලය දෙන්නේ එක්තරා කාලසීමාවක් තුළ නිශ්චිත ප‍්‍රතිපත්ති රාමුවකට වැඩ කිරීමට විතරයි. ආණ්ඩුව කළ යුත්තේ ඒ කාලසීමාව තුළ අදාළ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම විතරයි.

    මැතිවරණයක් එක්ක ආණ්ඩුවකට. සිවිල් සංවිධානවලටත්, රාජ්‍යයේ සෙසු ආයතනවලටත්. වෘත්තීය සමිතිවලටත් බලය රජයට හිමි වෙන්නෙ නෑ. ඔවුන්ගේ මූලික කටයුත්ත තමයි පාර්ලිමේන්තුවේ නීති රීති සම්පදානය කරලා ඒවා ක‍්‍රියාත්මක කිරීම. කලින් කිව්වා වගේ අධිකරණයේ බලවත්, සිවිල් සංවිධානවල බලයවත්, රාජ්‍ය සේවයේ බලයවත්, ප‍්‍රාදේශීය සමිතිවල බලයවත් ඔවුන්ට අයිති නෑ මේ කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාරකාරීත්වයක් තුළ. ඒ තත්ත්වය මේ රටේ ජනාධිපතිවරයා ඉතා පැහැලිව දන්නවා. මොකද ඔහු බලයට පත් වුණු අවස්ථා දෙකෙහිදීම ප‍්‍රකාශ කළා තමන්ට තියෙන්නේ අයිතියක් නෙමෙයි භාරකාර්තිවයක් විතරයි කියලා.

    ඒත් ඒවා ක‍්‍රියාත්මක වීමේදී තත්ත්වය ඊට වඩා වෙනස්. එතකොට ඔහු කටයුතු කරන්නේ තමන්ට අයිතිකාරිත්වයක් ලැබුණු විදිහට. ඒ අනුව තමයි කෙනෙක් ජනාධිපති හා පාර්ලිමේන්තුවේ බලය ලැබුණම වොලිබෝල් සංගමයේ බලයයි, බයිසිකල් සංගමයේ බලයයි, ක‍්‍රිකට් සංගමයේ බලයයි, ක‍්‍රිකට් පරිපාලනයේ බලයයි, ප‍්‍රවෘත්ති පාලනයේ බලයයි හැම බලයක්ම තමන් වෙත සංකේන්ද්‍රණය කරගන්නේ. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සම්පූර්ණයෙන්ම පටහැනි දෙයක්.

    අපි කතා කළ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අර්බුදයට ලක් කළ සියලූ කරුණු වලට පදනම් වන මූලික කාරණා කිහිපයක් තියෙනවා. ඉන් ප‍්‍රධානතම කරුණ තමයි නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම. මේක තමයි ප‍්‍රාජාතන්ත‍්‍රවාදය කි‍්‍රයාත්මක වීමේ මැජික් පොල්ල මීට ස්වාධීන අධිකරණය, නීතිය ඉදිරියේ සමානත්වය, මහජනයාගේ සුභසාධනය මූලික කර නීතිය ක‍්‍රියාත්මක වීම සහ නීතිය හැමෝටම සමානයි ලෙස පැහැදිලිව පේන ආකාරයට නීතිය ක‍්‍රියාත්මක වීම කියන කරුණු මෙතැනදී ඉතා වැදගත් වෙනවා. නමුත් අදවන විට මේ තත්ත්වයන් ඔක්කොම බිඳවැටිලා ඉවරයි. ප්ලේටෝ කියපු දෙයක් තමයි හොඳම පාලනය සත්ගුණවත් බුද්ධිමතා කරන පාලනය කියලා. නමුත් ඔහුගේ ගෝලයා වන ඇරිස්ටෝටල් කියන්නේ හොඳම පාලනය ඥානවන්තම සහ සත්ගුණවත්කම පුද්ගලයා කරන පාලනය නෙමෙයි නීතිය මගින් කරන පාලනය කියලා. මොකද ඔහු මෙහෙම කියන්නේ නීතිය කියන එක කාලාන්තරයක් තිස්සේ සැකසුණු ගුණධර්ම සහ සදාචාර සම්ප‍්‍රදායන් ඇතුළත් වූ දෙයක් නිසා ඒ නිසා මේ රටේ නීතිය බලයට පත් කිරීම තමයි මුලින්ම කරන්න ඕනෙ.

    මෙතැනදී අමතක කරන්න බැරි කරුණක් තමයි මාධ්‍ය නිදහස කියන දෙය. මාධ්‍ය කියන එක එක පැත්තකින් වැදගත් වෙනවා පාලනයට තමන්ට කියන්න තියන දේවල් සමාජයට කීමට. අනෙක් පැත්තට ඒක වැදගත් ජනතාවට කියන්න තියෙන දේවල් පාලකයන්ට කීමටත්, මිනිස්සු මොනවාද දන්නේ, ඔවුන් මොනවාද කල්පනා කරන්නේ ඔවුන්ට මොනවද අවශ්‍ය කියන එක රජයක් දන්නේ නැත්නම් ඔවුන්ට නිවැරදි පරිදි ප‍්‍රතිපත්තියක් සකස් කරන්න පුළුවන්කමක් නෑ. ඒක දැනගන්න නම් මාධ්‍යවලට නිදහසේ අදහස් ප‍්‍රකාශ කරන්න අවස්ථාව ලබාදීම අත්‍යවශ්‍යයි. මේවගේ තත්ත්වයක් ඇති නොකර මාධ්‍ය මර්දනය කරන්න ගිහින් ලෝකයේ ශක්තිමත් රාජ්‍ය ඕනෑ තරම් කඩාගෙන වැටිලා තියෙනවා. මම කල්පනා කරන විදිහට පැරණි සෝවියට් දේශය කඩා වැටීමට මූලික හේතුවක් වෙන්නෙත් මාධ්‍ය මර්දනය කිරීම. මාධ්‍ය කියයන්නේ උඩින් කියන දේ පහළට ගමන් කරන සහ පහළ කියන දේ උඩට ගමන් කරවන දෙපැත්තට ගමන් කරන මාර්ගයක්.

    ඉස්සර කාලේ මේ රටේ මාධ්‍යකරුවෝ ජාතික නායකයෝය. ඔවුන් යමක් කියනකම් ජනතාව තීරණ ගැනීමට බලාගෙන ඉන්නවා. නමුත් දැන් එහෙම තත්ත්වයක් නෑ. මොකද ඔවුන්ගේ කටවල් සහ අත් රජයන් විසින් බැඳලා තියෙන නිසා. මෙතෙක් කල් ත‍්‍රස්තවාදය වැළැක්වීම වගේ කරුණු ඉදිරියට දාලා රටේ මාධ්‍ය මර්දනය කළා. නමුත් තවදුරටත් ඒ වගේ දෙයක් කිරීමේ හැකියාවක් රජයට නෑ. ඒ නිසා ඔවුන් දැන්වත් මාධ්‍ය නිදහස තහවුරු කරන්න අවශ්‍යයි.

    ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    Related Posts with Thumbnails