Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"මුල්ලේරියාව වල්පොල හන්දියේදී වාහනයෙන් බැහැල ආව දුමින්ද සිල්වා භාරත මහත්තයට එකවරම පහර දුන්නා. මහත්තය බිම ඇදගෙන වැටුණා. ඒ වෙලාවෙ දුමින්ද සිල්වා ළඟ හිටපු කෙනෙක්‌ භාරත මහත්තයගෙ කකුලට වෙඩි තිබ්බා. එතකොට කවුදෝ කෑගැහුවා. ඕකගෙ ඔළුවට තියන්න කියලා. එතන හිටපු දුමින්ද සිල්වගේ කට්‌ටියෙ කෙනෙක්‌ භාරත මහත්තයගෙ ඔළුවට පිට පිට වෙඩි ප්‍රහාර එල්ල කළා" යෑයි ඝාතනයට ලක්‌ වූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ රියැදුරු තම ත්‍රාසජනක අත්දැකීම විස්‌තර කරමින් කියා සිටියේය.
-‘දිවයින’, 2011.10.10 දා


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය හා ඔහුගේ වටිනාකම් හා නො වටිනාකම් පිළිබඳවත් දුමින්ද සිල්වාගේ ජීවිතය, චරිතය, සෞඛ්‍යය හා අනෙකුත් නොයෙක් ක්‍රියාකාරකම් පිළිබඳවත් ඇති තරම් දේ දැනටමත් කියැවී හා ලියැවී ඇති අතර මේ සතිය අවසන් වෙන්නට පෙර තවත් බොහෝ දේ කියැවෙන්නට හා ලියැවෙන්නට හා පුනා පුනා කියැවෙන්නටත් නියමිත බව කිවයුතු නොවේ.

අපේ රටේ මිනීමැරීම ඉතා සුළු දෙයක් වී ඇත්තේ ඊයේ පෙරේදා සිද්ධ වූ අස්වාභාවික ග්‍රහ මාරුවක් නිසා නොවන බවත් මේ සියළු සංසිද්ධි මේ අයුරින් නො වන්නට කිසියම් හේතුවක් සොයා ගැනීම තරම් අමාරු කාර්යයක් නොමැති බවත් අපි හැමෝම දනිමු. කොටින්ම එකෙක් දෙන්නෙක්වත් වෙඩි කා, පිහිය ඇනුම් කා චූත නොවන්නා වූ මැතිවරණයක් නම් පන්සලක පල්ලියක දායක සභාවක් නිලධාරි පත් කරගන්නවා වැනි අවස්ථාවකවත් අහන්නට ලැබේදැයි සැක හිතෙන තරමට අපේ රටේ සංස්කෘතිය සර්ධාවෙන් හා මානුෂිකත්වයෙන් පෝෂණය වී තිබේ. මේ සිද්ධියේ සියළු අගමුල හොයන බවත්, රහස් පොලිසිය ඒ කටයුතු කරන බවත්, තරාතිරම නොබලා දඬුවම් දෙන බවත්, ජනාධිපති සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා ඇති බවත් පොලිසියෙන් ඇහෙයි. මේ කතා ටිකත් පටිගත කරන ලද නැවත ප්‍රචාරම මිස වෙනත් කිසි එකක් නොවන බව නො දන්නා කෙනෙකුත් ඇද්ද? මේ කතා ටික මේ විදිහට ම ප්‍රචාරය වූ මිනි මැරුම් කීයක් මේ වෙද්දී සිදුවී තිබේද යන්න අපි කවුරුත් දනිමු. ඒ කතාවල සත්‍ය අර්ථය මොකක්ද කියාත් මේ රටේ මිනිස්සු දනිති.

ඉහත ප්‍රවෘත්තිය පලවූ පත්තර පිටුවේ ම වත්තල ඇලක් අහල දමා ගොස් තිබූ මළ සිරුර අයත් ගුරුවරියගේ මරණය සිදුව ඇත්තේ රූප ලාවණ්‍යාගාරයක දී මුහුණේ ගැල්වූ ආලේපනයක් වීෂවීමකින් බවත් ආයතනය හිමිකාර යුවල සිරුර ඇල ලඟ දමා ගියා මදිවාට ඇගේ ජංගම දුරකතනයේ සිම් කාඩ් පත මාරු කර එය පාවිච්චියට ගෙන ඇති බවත් සඳහන් වී තිබේ.

කඩු පොළු ගිනි අවි එක්කම හැසිරෙන මිනිසුන් ඒවායේම ආනිසංශයෙන් මිය පරලොව යාම එකකි. මේ කඩු කුඩු සංස්කෘතිය රාජ්‍ය පාලන හස්තයේ පැළඳි පේරැස් මුද්දක් සේ ගරු බුහුමන් පුද පූජා ලැබීමේ ආනිසංශයෙන් ‘උන්ට හොඳ නම් අපට මොකෝ’ ප්‍රතිපත්තියේ පිහිටා කොල්ලා කුරුට්ටාගේ සිට බල්ලා පූසා දක්වාම මිනීමැරීම මෙන්ම මැරිච්ච එකාගේ ඉණ ඉහ අතගා ගැනීමත් කිසිම හිතේ ඔද්දලයක් නැතිව කරන්නට තරම් ම නිර්භීත වීම තව එකකි.

මුල්ලේරියාවේ ඝාතනයේ මූලික චරිතයක් වන දුමින්ද සිල්වා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකු වීමත්, ආණ්ඩු පක්ෂයේ කොළොන්නාව ආසනයේ ප්‍රධාන සංවිධායක වීමත් අහම්බෙන් සිද්ධ වූ දේ ‍නොවේ. තවත් මෙවැනිම වූ නොයෙකුත් පත්වීම් සැලකීම් හා බලගතු කිරීම් සමග එක් කොට සිතා බලා අපේ රටේ තැන ලබන්නා වූ සුදුස්සන්ට තිබිය යුතු එකම සුදුසුකම මොකක්දැ යි යන්න හිත හිතා කල්පනා කර හිතා ගතයුතු දෙයක් ‍නම් නොවේ.

අපේ රට ත්‍රස්තවාදය පරාජය කලේත්, යුද්ධය දිනුවේත් ‘මානුෂික’ මෙහෙයුමකින් ය කියන්නාවූ ලේබලය සෑහෙන්න පෙඟී, සායම් දියවී තිබුණත් තවමත් බිත්ති තාප්පවල මෙන්ම, ජාතික වූත් ජාත්‍යන්තර වූත් කතා බහේත් අලව අලවා බෙදා හරින ලේබලයකි. මේ මානුෂිකත්වයේ අන්තර්ගතයේ ජීවන සුවඳ නාස් පුඩු පුරා දැනෙන්නේ මේ වාගේ සිදුවීම් පිස හමා එන සුළ‍ඟේය.

ඉතින්, මහින්දට කෙසේ වෙතත් අපි බොහෝ දෙනෙකුට නම් ‍අපේ රට පුරා දරණ ලා සිටින ලේ මාපිලා හඳුනා ගන්නට ඇස් පිසදා බැලීමේ උවමනාවක් නැත. මේ ප්‍රශ්නයේ අග මුල හා අලගිය මුලගිය තැන් පිළිබඳ අඩ සිය වසකටත් වඩා ඇති පදම් කතා බහ කෙරී තිබේ. එක් එක් කාලවල එක් එක් කාණ්ඩ වල ගිණුම් වලට බැර කරමින් ජිල් බෝල ගැහුවත්, ජඩ කම, මැරකම, හා තක්කඩි කම මුල් කරගෙන රටේ බලය ඇල්ලීමේ ගුඩු සෙල්ලම නතර කරන්නට අපි නායකයන්ය කියන්නා වූ කිසිම එකෙකුට අවශ්‍යතාවයක් නැත. මේකටත් හේතුවක් තිබේ. වාසනාවට හෝ අවාසනාවට උන් සියල්ලන්ගේ ම රෙදි කම්බා අස්සේ මේ සර්පයින් සිටීමයි. රෙද්ද ගලවා හෙළුව පෙන්නීම වෙනුවට, ‘අද දවසේ ඡන්ද කරන්නට, ඡන්ද දිනන්නට, මෙහෙම නොකර බෑ.... ’යි කියන මන්තරය මතුරා රටේ මිනිස්සුන්ගේ ඇස් කන් නාසා වල ඇබ ගහන්නට මුන් සියළු දෙනාටම හැකි වී තිබේ.

අපි අපේ කටවල් වල ගැසූ මී පැණි ඇබ සූප්පු කරමින් හුරේ දමන අතර, බලය ඇල්ලූ උන් උන්ගේ බල පුළුවන්කාර කම තව තවත් පුම්බා ගන්නට උන්ගේ අධෝ මුඛ වලිනුත් හුලං පිඹිති. මේ බැළුම් පිපිරෙන සුගන්ධය තව තවත් විඳින්නට අද වාගේම ඉස්සරහටත් මේ රටේ මිනිස්සු වාසනාවන්තය, පින්වන්තය. මෙසේ කිරීම තුන්වැනි ලෝකයේ අපේ වාගේ රටවල සංස්කෘති‍යේ ම කොටසකි. අපේ ජන්ම අයිතියකි. මෙව්වා ඔය බටහිර රටවල මානුෂික නිදහස ගැන බයිලා කියන උන් දන්නේ නැත. ඉගෙනගෙන නැත. අත් විඳ නැත. ඒක නිසා අපේ මේ අයිතීන් චිරාත් කාලයක් රැක ගැනීම, අපේ මේ පරම්පරාවෙන් පසු, ඉස්සරහට එන පරම්පරාවටත් ලියා කියා උගන්නා රැක ගැනීම අපේ යුතුකමය.

සඳකාන්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails