Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අපි දෙන්න හිටියෙ එස්කලේටර් එක උඩ. ඈ හිටියෙ පාවෙන අභිනයක. කතාවට වඩා හිනා වෙවී හී.... හී.... හී.... මට දැනුනෙ මහ පොළොවෙන් මතුවුන විශාල කුහරයක- අපායට ගිලා බහින ප‍්‍රවාහයක ගසාගෙන යනව වගේ. උඩ- පහළ යන තරප්පු මැද මතුවුන සාංකාව ඔක්කාරයක් වෙලා බඩ දඟලවනව. ඉක්.... ඉක්... හික්.... හුක්.... ඉක්කයි මායි ගාලූ ගියා- ඉක්ක දාල මං ආවා- හී.... හී... හී......

ප‍්‍රවාහය කෙළෙවර ඈ මගේ අත ගත්ත. "අපි යමු කොෆී ෂොප්"

"හා"

අපි ගියා.

හී.... හී... හී......

"ඕනෑම ඔපරේෂන් එකකට කෝඞ් නම්බර් එකක් තියෙනවා" මම කිව්වා.

"අයියෝ හොස්පිට්ල් ගැන කතා කරන්නද එම්. සී. ආවෙ?" ඈ ඇහුව.

"නෙදකිං බූරු දෙන" මම හිතුව.

ලැප් එක තුරුළු කරන් බස් හෝල්ට් එකේ ඉන්නව දකිද්දි මම හිතුවෙ අඩුම තරමින් මගේ ජීවිතේ සාංකාව අවුරුද්දකට හරි ගොඩදාන්න පුළුවන් එකියක් කියල- ඉතින් මම සුනේ සුං. මම ෆලූඩා වීදුරුව කටේ තියාගෙනම උගුරු දෙකට සුරූස් ගාලා ඇදල දැම්ම ඉවර වෙන්නම.
ඒකි අන්දමන්ද වෙලා තොල ගානවා ෆලූඩා.

"කියන්නකෝ ආදරේ ගැන" ඈ අහනවා.

"ආදරේ කියන්නෙ කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝවෙන භයානක ලෙඩක්. මේ රෝගය ඉතාම දරුණු විදිහට මානව ශිෂ්ඨාචාරය ආරම්භයේ ඉඳන් ම මානව සමාජය තුළ පැතිරිලා- ඉතිරිලා තිබුණ. පූර්ව ධනේෂ්වර සමාජය තුළ ඇති වුන කාර්මික දියුණුව සහ ධනවාදයේ නැග ඒමත් සමඟ ආදරයේ රෝග කාරක ටිකෙන් ටික දුර්වල වෙන්න පටන් ගත්තා. ‘ආදරය’ නමැති රෝගය පාලනය කර ධනවාදී වෙළඳ සබඳතා වර්ධනය කිරීම තමයි පූර්ව ධනේෂ්වර ක‍්‍රමය විසින් මානව ශිෂ්ඨාචාරයට කරපු විශාල ම සේවය. පශ්චාත් ධනවාදී සමාජය ඒ කියන්නෙ මේ අපි ජීවත්වෙන සමාජය මේ රෝගයෙන් සියයට අනූවක් ම පාලනය කරල ඉවරයි. මේ රෝගය ටිකක් හරි වැළඳුණු අය ඉන්නව නම් සායනික තත්ත්වයන් යටතේ රෝගය මුළුමනින්ම පාලනය කරන්න දැන් හැකියාව තියෙනව. ඉතින් ඔයාගේ ශරීරයේ තාමත් ඒ රෝගය තියෙනව නම් මට කියන්න. මට පුළුවන් ඔයාව සායනික පරීක්ෂණයකට යොමු කරන්න. ඉන් පස්සේ අපිට පුළුවන් සියයට සීයක් ම රෝග කාරක විනාශ කරල දාන්න."

"අපෝ මෙයා නම් රියලි ලෙඩෙක්- කියන්නකො මමී හරි ඩැඩා හරි ඩොක්ටස්ලද- නැත්නම් ඒ ලෙවල් බයෝ කරල ඇන ගත්තද?"
මම ආයෙත් අර පොළොවෙන් මතුවුන කුහරය දිහා බැලූව.

"ඕනිම ඔපරේෂන් එකකට කෝඞ් නම්බර් එකක් තියෙනව. ඈ එක්ක ගතවෙන මේ දවස් කෝඞ් නම්බර් එකක් නැතුව කොහොමද මගේ හද මතකයේ තැන්පත් කරගන්නෙ. මූලිකම දේ යන්ත‍්‍රයක් වගේ තිබෙන මගේ හදවත මානුෂික දේවල්වලින් ඈත්කර තබන එක. ලයිෆ් එක පූර්ණ ටෙක්නෝ සේපියන් කෙනෙක් දක්වා හැඟීම් විරහිත කරන එක. විටින් විට අවදි වන ‘සාංකාව’ නමැති අර්ථ විරහිත මිනිස් හිස්කම අතුගා දමන එක" මම හිතුව.

"ඉතින් කියන්නකො මොනව හරි. ඔයාගෙ ඇස් විතරද කතා කරන්නෙ හරියට බස් හෝල්ට් එකේදි වගේ?" මාව එක සතියෙන් එම්. සී. එකට ගෙන්න ගන්න තරම් පැහැදිලිව- මගේ හදවතට කතා කරන්නෙ ඔයාගෙ ඇස් විතරද? මම නම් අහල තියෙන්නෙ ඇස් දෙකලූ මිනිස්සුන්ගෙ හදවත- ඒගොල්ලන්ගේ ආත්මය ඇස්වල ලියවිලා තියෙනවලූ. කියන්නකෝ ඇයි මට කැමති වුනේ... හී.... හී... හී......"

හුටා, ජෝතිගෙ මිල්ටන්ගෙ කාලෙ ආලයක්නෙ.

"පෙති තලා- තලා
රොන් උරා- උරා
පැන යාවී....
ඔබ මුලා වෙලා...."

මම සිංදු කෑල්ලක් කිව්ව කොෆි ෂොප් එකේ මේස වීදුරුවට සුදු යකඩ මුද්දෙන් තල- තල.
හී.... හී... හී......

අපි ගියා ආයෙත් අර කුහරය දිගේ උඩට. ඇගේ මුදු අත් මාව ඩැහැගෙන. කෘතීම සීතලෙන් උණුසුම් වීමට. උණුසුම් සුසුම් අප කොපුල් තල මත හාදු දෙනවා.

හී.... හී... හී......

වහාම මම මතකය නමැති දත්ත ගබඩාවේ ඇයට හිමි තැන වෙන්කර දිය යුතුයි. නොඑසේ නම් කුමන හෝ මොහොතක මතුවන සාංකාවේ කොටස්කාරියක බවට ඇයද පත්වෙනු නිසැකයි. මේ වීදුරු මත මතු වී බොඳ වී නොපෙනී යන අපගේ රූප මෙන් මතු වී- බොඳ වී- නැති වී යන මිනිස් ඉරණමක මායාවී නිමේෂයකි අප පසු කරමින් සිටින්නේ. මම ඇගේ මුදු දෑත් මගේ කොපුල් තල මත තබා තද කර ගතිමි. ඉවසිය නොහැකි හිස්කම මගේ දෑස්වලින් කඩා වැටේ. මගේ හදවත මීදුම පිරුණ පාළු මිටියාවතක් සේ මට දැනේ. හරියට අදින් සිවු වසරකට පෙර මිතුරන් සමඟ මහ රෑ ගණ මීදුම මැදින් පාරක් නොදැන කැළෑ මංඩියක අප කළ චාරිකාව මට සිහි වේ. අවසානයේ ඉර නැග එන විට අප සිටියේ කඳු මැද ගල් තලාවක පොකුණක් අභියසය. අපි හූ කියාගෙන පොකුණට පැන්නෙමු. ඇට මිදුළු ගල් වන තරම් සීතලේ අපි ස්නානය කළෙමු. ඉර එළියේ ගල් තලාව මත නිරුවතින් හිරු රැස් වින්දෙමු. අවසානයේ බුම්මාගෙන ඉතිරි වුන දුම් වැටි කිහිපය පෑනෙන් ඉරි ගසා කොටස් කර උරමින් පල්ලම් බැස්සෙමු. වහාම ඇයට හිමි තැන වෙන් කර දී පලා යා යුතුව තිබේ.....

"කියන්නකො අපි ආයෙ කවද්ද මීට් වෙන්නෙ... ?"

"කවදාවත් නෑ...."

හී.... ඉහි... ඉහි..... ඉහි....

පසු ලියමන
ඈ සායනික අත්දැකීමෙන් පසු මහත් සේ රෝගාතුර වී සිටියාය. ජීවිතයේ ලද පළමු හෝ අවසන් සායනික අත්දැකීම එය නොවිය හැකි වුවත් ඈ මා අත්හළ නොහැකි බව පවසා හඬා වැළපුණාය. ඇගේ ජීවිතයේ හිස්ව පැවති එක් අර්ධයක් අපගේ ඇස් ගැටුම් නිසා පූර්ණත්වයට පත් වූ බවත්, ඇගේ හදවත ඉන් දැවී අලූ වී ගිය බවත් ඈ පැවසුවාය. මේ නන්නත්තාර ජීවිතයේ ඈ ලද එකම අස්වැසිල්ල මාගේ දෑස්වල ලියවී තිබුණ බවද, ඉදින් ආයෙ නම් කිසිම පිරිමියෙක් දිහා නොබලන බවද ඈ සපථ කර සිටියාය.

"ගෑණියෙක්ගෙ හදේ වේදනාව දැනෙන්නේ ගෑණියෙක්ටම පමණයි" අවසානයේ ඈ කීවාය.

උප්පැන්නය අනුව මගේ වයස අවුරුදු 37 ක් බැවින් මා විසින් "ඔපරේෂන් එම්. සී. 37" කියා මෙම මෙහෙයුම අංකනය කරන ලදී.

මැරුණු අහසක් යට
ගල් ගැහුණු වට පිටාවක
පුස් බැඳුණු අඳුරු කුටියක
පොරවනය යට ගුලි වුන
හිස්ම හිස් මිනිසෙකි.....

විකා නියපොතු සැම
මසට පෑදුන අතැඟිලි
රිදුම් දෙන මතකයක
ලකුණුය....

ඇයි මේ හිස් බීර බෝතල් මැද
හිස් නොකළ අවසාන මධු බඳුන
ඉතිරි කර..... ?

බිඳෙන සිළු එළියට
බිඳි බිඳී පෙනෙන බිතුමත
මළ බැඳුන ඇණයක එල්ලෙන
පරණ දින දර්ශනය
කාලය නතර වුනු තැන කියයි.....

පැවැත්මක අවසන
හදවතක දිගු හුස්ම ඇදගෙන
සිළු එළිය පුහ් පුහ්
හඬ නගයි!

සංජීව මූණමල්පෙ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails