Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



උද්දීප්ත වූ හැඟුම් සහ උත්සන්න වූ පපු ගැස්ම වේග රිද්ම සංගීතයේ නිමාවත් සමඟ සමනය වුණා. ගල් ගහපු සිමියොන්ල- සිරිපාලල වගේම රම් බීපු තරුණ උදවියත් හති හල- හල ඇඳි පුටු වලට බර වුනා. මුළු සාද ශාලාවම අරක්කු- සිගරට් ගඳත් සමඟ මුසුවුන දහදිය ගන්ධයෙන් කැළතුනා. පංකාවන් හඬ දිදී කැරකුනේ වැසුනු දොර ජනෙල් විවර කරගනු නොහැකිව විලාප හඬමින් සමහරු විවර වුනු මුවින් හුස්ම පිඹිමින් බේබදු නින්දට වැටී සිටියා. හාත්පස පරිසරය මිනිස් අත් පා හි ප්‍රහාරයට ලක්ව විකෘති වී තිබුණා.

සක්දා සෙමෙන් පා තබා සාද භූමියෙන් එපිට මහපාර වෙත පා නැගුවා. මධුවිතට මැඩ පැවැත්විය නොහැකි වුන සාංකාව ඔහුගේ දෙපා ඉරියවු පවා වෙනස් කළා. ඒවා ඔහේ එස වී විසි වෙනවාත්- වාතයේ ගණකම තුනී වී ගියාක් මෙන් ඔහුගේ කය අවකාශය තුළ කුදු වීමටත් පටන් ගත්තා. ඔහු බෝක්කු කඳක් මත වාඩි ගත්තා. බෝක්කුව යට ජල දහර කොන්ක්‍රීට් විවරයක් තුළට වැදී අතුරුදන් වුණා. සක්දා බෝක්කු කඳ මත වාඩි වි අඩ නින්දකට වැටී නින්දේත්- නොනින්දේත් හීනයක් දැක්කා.

''ඔහුගේ නිදි යහන පොළොං රජ දහනක් වුනා. නිදන මෙට්ටය සිදුරු කරගෙන පොලොං පැටව් සිය ගණනක් මතු වුනා. මරල ඉවර කරන්න බැරි වුනු තැන සක්දා පොලොං පැටව් පොකුරු පිටින් කන්න පටන් ගත්තා. දත් වලට හිරවුනු පොලොං පැටව් ඔට්ටපාලු වගේ ඇද- ඇද, කෑලි - කෑලි කඩමින් උන්ව හප කරන්න පටන් ගත්තා. අමු මස් කන වනචාරියෙකුගේ මෙන්, ඔහුගේ කට දෙකොනින් පොලොං ලේ ගලා යන්න ගියා''

මහ පාර දෙදරවමින් ධාවනය වුනු වාහන සද්දයට සක්දා පොලොං හීනයෙන් අවදි වුනා. ඔහු බෝක්කු කඳ මත හිටියෙ අඩ නින්දේ හෙයින් ශරීර සමබරතාවය මිදී මහ පාර මත ඇද වැටුනා. නැවත නැගිට නා ගස් මැදින් අනන්තයට වැටී ඇති පාර දිගේ ඇවිද ගියා.

''ආදරේ කියන්නෙ මහා බොරුවක්''
ඔහු හිතුවා.

මේ සන්ධ්‍යාව වන තුරුත් ඔහුගේ ජීවිතාශාව දැල්වූයේ ප්‍රථම ප්‍රේමයේ මතකය සහ ඈ කෙරේ නොමැකී - ඇවිලෙමින් තිබුණු අනුපමේය ආලයයි. ඈ නොමැතිව ගතවුණු පහළොස් වසරම ඔහු ගෙවා දැම්මේ ඈ පිළිබඳව ඔහු හදේ දැල්වුනු අනුරක්ත හැඟීම් වලට පින් සිදුවන්නට. ස්ත්‍රීන් සමඟ ඔහු කළ සෑම සංවාසයක්ම අවසන ඔහුගේ හදවත මළානික කළ පරාජිත සිතිවිලිවලින් ගොඩ ආවේ ප්‍රථම ප්‍රේමයේ හැඟුම් මතකයන් මතින්. හැකිළුණු කයත්- මනසත් පුබුදුවාගෙන ජීවිතයට මුහුණ දුන්නේ අනුරක්ත මතකයන් මතින්.

ආලය අර්ථ විරහිත වූවක් යැයි සිතුන තැන ජීවිතය මහා බොරුවක් යැයි සිතෙන්න ගන්න බව ඔහු දැන සිටියේ නෑ. ඔහුට ප්‍රහේලිකාවක් වූයේ ආලය සහ ජීවිතය මහා බොරුවක් බව දැන දැනම මිනිසුන් ජීවිතය ගත කරන විදිහ ගැන.

''ඕව ගැන ඕනවට වඩා හිතන්න එපා බං. දරු මල්ලො හැදුනම උන් සෙක්කුවෙ බැඳපු හරක් වගේ දුවනව. ටිකක් හරි නිදහසක් ලැබුනම කෙළ පෙර පෙර, නින්ද යනකම් බීල නටනව. නැත්නම් කොටු පනිනව. '' සක්දා ඔහුටම කියා ගත්තා.

උදෑසන පතිත වන මීදුමට මහ පාර වැසී ගිහින්. මීදුම කපාගෙන කුදු කයින් සක්දා ඇවිද යනවා. සැහැල්ලුවේ සියළු ඉරියවු කැටි වුණු ඔහුගේ ගමන පාවෙන ලාලිත්‍යයක් නිරූපණය කළා.

''හානේ. . . . . සක්දා- කොච්චර කාලෙකට පස්සෙද අනේ. . . . මං හිතන්නෙ අවුරුදු පහළොවක්. නෑ ඊටත් වඩා වැඩියි. බලන්නකො අනේ ඔයාගේ කෙස් පැහිල- ඇස් ගිලිල- බොර පාට වෙලා- හොඳටම බොනව වගේ. ඉතින්- ඉතින්- නෝන ආවෙ නැද්ද? දරුවො කී දෙනෙක්ද? - අපිට නං එක්කෙනයි අනේ. . . . . ආ..පෝ ඇති. බියුටි එක නැති වෙනව අනේ. . . . . . ඉතිං. . . . . ඉතිං. . . . . . බබෝ. . . . . . . . ''

සක්දා නොපෙනී ගිය පසු මීදුමට වැසුණු පාරක් පමණක් ඉතිරි වුනා. මාර්ගය නිරූපණය සඳහා අඳින ලද සුදු පැහැ ඉරි සටහන් නොවන්නට එය පාරක් බවවත් හඳුනාගත නොහැකි තරම් මීදුම ඝන වුණා. සාද මිටියාවතින් සෙත් පිරිත අවකාශ ගත වුණා.

සංජීව මූණමල්පෙ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails