Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කකුල දිගේ ආ ලේ බිංදුවක් දැක
යකඩ කෑල්ලක් අතට දී කාමරයේ මුල්ලට දැම්ම
පිරිමින් ඇසගැටීම පාපයක් වෙච්චි
අඳුරු මුල්ලේ සිට නැකැතට ඇඟලි ගැන්න
මං දැන් ලොකු ළමයෙක්...

අප්පච්චි හැදුව නැකැතට
මල්ලි ගෙනත් දුන්නු කිරි අත්ත යට ඉඳන්
අම්ම තම්බපු කොළ වතුර නා
අයිය හදපු උළුවස්ස පැනපු
මං දැන් ලොකු ළමයෙක්...

මාමා බිඳපු පොල් ගෙඩිය ළඟ
ලොකු කෑලි ගොඩක් ඉතිරිවෙනු දැක
අම්ම ඇහිලුව බර කඳුළුත් එක්ක
දැල් කවුළුවෙන් පාර බලපු
මං දැන් ලොකු ළමයෙක්...

අප්පච්චිගෙ ඔඩොක්කුව තහනම් වුණු
මල්ලිත් එක්කවත් සෙල්ලම් නොකළ යුතු
සෙල්ලම් බඩු ටිකත් අකැප වුණු
කොට කලිසමත් දණ හිසෙන් පහලින් තිබිය යුතු
මං දැන් ලොකු ළමයෙක්...

පිරිමිත් එක්ක වැඩි කතාවට නොයා යුතු
තරුණ ගැටයින්ට මුහුණ නොදිය යුතු
සිනාසෙද්දිත් කීකරුකම පෙන්විය යුතු
බස් රියේ මහ මගේ නොපනත්කම් ඉවසිය යුතු
මං දැන් ලොකු ළමයෙක්...

මැහුම්ද ගෙතුම්ද කුස්සියේ වැඩද දත යුතු
ඕනමනම් ටිකක් වැඩියෙන් ඉගෙන ගත යුතු
කොහේ ගියත් හොඳ නම රැකගත යුතු
දෙගුරුන්ගේ මූණේ දැලි නොගෑ යුතු
මං දැන් ලොකු ළමයෙක්...

උයා දුන්නු බත් ටික බෙදාගන්නවත් බැරි
ඇඳන් ගිය ඇඳුම සෝදාගන්න බැරි
තමන්ගේ කාමරයවත් අතු ගා ගන්න බැරි
මිතුරියන්ටත් නොහොබිනාකම් නොකර බැරි
අපේ අයිය පොඩි දරුවෙක්...

අයියගේ වැඩ ටිකත් ඔක්කෝම කරදෙන
මං දැන් ලොකු ළමයෙක්..

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails