
කොළඹ ''ගමක්'' කර නොම ගත් කුරුල්ලා
කොළඹදි ගම හීනෙන් දුටු කුරුල්ලා
කොළඹ අතැර යන මං සෙවු කුරුල්ලා
ගම විත් කොළඹ ගැන හඬනා කුරුල්ලා
මකුණු, මදුරු, මූසික මිතුරන් පිරුණ
තනිකඩ බෝඩිමේ යහනට ගොඩ වදින
රෑ මැද උදා වෙන්නට පෙර ගෙවා යන
දුගු සන්ධ්‍යාව මධු බඳුනකි මඳ පමණ
නාටක, චිත්‍රපට, පොතපත එළි දකින
තැන, නෙක මිතුරු ඇසුරෙහි උණුසුම විඳින
සිත ලද සතුට ධනයකි මිල කළ නො හෙන
එද එම සතුට සුරකින්නට පින නො විණ
මාසේ පඩිය අඩ මාසෙන් දියව යන
''තෝසේ කඩය'' පිහිටෙන් නො මැරී රැකුණ
බෝසේ දුක් වින්ද දිවියෙන් ගැල වෙමින
රා.සේ. පිණිස! ගම ආවෙමි සිත් තුටින
ගම කොළඹක් කරගන්නට වෙර දරමි
කුටුම්භ හිර ගෙදර සතුටින් දිවි ගෙවමී
සකල කලා ඇසුරට ලොබ බැඳ සිටිමී
සකිසඳ කොළඹ! සිහිකර මේ කව ලියමී
[තෝරාගත් කෘති - 2010]
පියන්කාරගේ බන්දුල ජයවීර



