Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිංහල භාෂාවේ "ප්‍රහසනය"යන්න අර්ථ දක්වා ඇත්තේ: "තදින් සිනාසීම", "කොක් හඬ ලා සිනාසීම", "විහිළුව", "උපහාසය" සහ "විකට නාටකය" යනුවෙනි. "විහිළුව" නමැති වචනයට ද වෙනම ම අර්ථකථන සපයා ඇත. ඒ මෙසේ ය: "ඔච්චම", "කවටකම", "කොලොප්පම", "පරිහාසය", "විගඩම", "විසිළුව" සහ "සරදම" යනුවෙනි. ඉංග්‍රීසි භාෂාවේ "Comedy" (කොමඩි) යන්න අර්ථකථනය කොට ඇත්තේ: "සතුට උපදවන නාඩගම සහ "ප්‍රසන්න අවසානයකින් යුත් නාට්‍යය" යනුවෙනි. අදාළ ප්‍රස්තුථයට අවතීර්ණ වීමට ප්‍රථම ඉහත සඳහන් වදන් වැල උපුටා දැක්වූයේ එහි අඩංගු වූ මූලික වචනවල මූළික හරයන් පිළිබඳ පාඨකයින් දැනුවත් කිරීම ලියුම්කරුගේ වගකීමක් වන බැවිනි.

2009 සැප්තැම්බර් 27 දින හැව්ලොක් ටවුන් හි ලුම්බිනි රඟහලේ දී මංගල දර්ශනය වේදිකා ගතකළ "බල්ලොත් එක්ක බෑ" වේදිකා නාට්‍යයේ උධෘත පාඨය වූයේ "වැරදීමෙන් මතුවන ප්‍රහසනය" යනුවෙනි. එම උධෘත පාඨය ම ඉංග්‍රීසියෙන් අර්ථගන්වා තිබුණේ "Comedy of errors and disguise" යනුවෙනි. Disguise නමැති වචනය සිංහලෙන් අර්ථ දැක්වෙන්නේ: "වෙස් මාරු කරනවා", "පෙනීම වෙනස් කරනවා", "ඇත්ත හෝ අදහස හංගනවා", "බොරු වේශය", "අපදේශය", "බොරු උපාය", "ව්‍යාජය", "ඡද්මය", "පටලය", "සිවිය", කණ්‍යාවන්ගේ යෝනි මුඛය වැසී තිබෙන තුනී සිවිය", "ප්‍රශස්ථරජ්ජුව", "කුමරිච්ඡේදය", "කපටිකම" සහ "වංචාව" යනුවෙනි.

මෙකී අර්ථකථන සියල්ල උපුටා දැක්වීමට සිදුවීම පිළිබඳ පාඨකයින් උරණ නොවනු ඇතැයි විශ්වාස කරන අතර දැන් අදාළ ප්‍රස්තුතය වෙත ප්‍රවිෂ්ට වීමට අවසර!

"බල්ලොත් එක්ක බෑ" වේදිකා නාට්‍යයේ මුඛ්‍ය තේමාව වන්නේ- එක්තරා රටක පැවති මහ මැතිවරණ දිනයේ දී පෙර පැවති ආණ්ඩුවේ සිටි ඇමතිවරයෙක් සහ ඔහුගේ ලේකම්වරයා මැතිවරණ ප්‍රතිඵල වෙත සවන් දෙති. අනතුරුව ඔවුන් පරාජයට පත්වී ඇති බව තහවුරු වෙයි. ඉක්බිති ඔවුන් දෙදෙනො රටහැර යාමට තැත් කළ ද එය අසාර්ථක වෙයි. එයට හේතුව වන්නේ ඔවුන් දෙදෙනාගේ ම ජංගම දුරකතන ක්‍රියා විරහිත වීම ය. එය ඉතාමත් ම අභව්‍ය හේතුවක් වන අතර අවසානයේ දී ඡන්ද ප්‍රතිඵල නැවත ගණන් කිරීමට ලක්කරයි. එහි දී පරාජයට පත් වූ ඇමතිවරයා ජයග්‍රහණය කොට ඇති බව දැනගන්නට ලැබේ. පරාජයේ දී ඉතාමත් කටුක දුක් දරාගනිමින් සිටි ලේකම්වරයා අවසන් මොහොතේ ජයග්‍රාහී පිල වෙත කරණමක් ගැසුව ද ඔහු නැවතත් සුපුරුදු ගරු ගාම්භීරත්වය මතුකරමින් අදාළ ඇමතිවරයා වෙත සමීප වීමට උත්සාහ දරයි. එහෙත් ඇමතිවරයා ඔහු පලවා හරී.

මෙම මහමැතිවරණය පැවැත්වූයේ අප රට තුළ යැයි උපකල්පනය කළත් එහි අන්තර්ගතව ඇත්තේ හුදෙක් "විගඩම්" මිස "ප්‍රහසනය" නොවේ. "ප්‍රහසනය" නමැති වචනය අප භාවිතා කළ යුත්තේ එහි සැබැ අරුත වටහාගෙන මිස එය වැරදි ආකාරයෙන් වටහාගෙන නොවේ. සත්‍ය වශයෙන් ම මෙහි ප්‍රහසනය මතුවන්නේ නම් ඒ වැරදීමකින් ම මිස නාට්‍යයේ එය අන්තර්ගතව නොවේ.

නාට්‍යයේ පිටපත් රචකයා නම් දක‍ෂ කතන්දරකරුවෙක් බව මැනවින් පැහැදිලි වෙයි. ඒ සඳහා හොඳ ම උදාහරණය නම්, ඇමතිවරයාට සහ ලේකම්වරයාට විටින් විට වෙස් මාරු කරගත හැකිවන්නේ පිටපත් රචකයා විසින් වේශ නිරූපණ ශිල්පියකු මෙම පිටපතට ඇතුළත් කිරීම හේතුවෙනි. එසේ නොවුණා නම්. කිසිම ආකාරයකින් අදාළ ඇමතිවරයාට සහ ලේකම්වරයාට පසුදා පහන් වනතුරු සිය ජීවිත රැකගැනීමට නොහැකිවනු ඇත.

සමස්ථ නාට්‍ය පුරාම විකාශනය වන්නේ හරසුන් බොළඳ වචන පමණකි. අවම වශයෙන් හෝ ගැමුරු අර්ථයක් මතුවන්නේ ගණිකාව විසින් පවසන ලද "ඇඳිරි නීතිය නොදැම්මත් අපි ඉතිං හැමදාම අඳුරෙ තමයි" යනුවෙන් පවසන දෙබස් ඛණ්ඩය පමණි.

නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා මෙහි ප්‍රධාන චරිතය සඳහා විජය නන්දසිරි රංගන ශිල්පියාව තෝරාගෙන ඇත්තේ ඔහු විසින් මීට පෙර ටෙලිනාට්‍ය කිහිපයක ම රඟපෑ ආකාරයේ චරිතයකට මිස අලුත් චරිතයක් සඳහා නොවේ. එබැවින් දක්ෂ වේදිකා නළුවෙක් ලෙස මතුවන්නට විජය නන්දසිරි අසමත් වී ඇති අතර දැනට විකාශනය වන ටෙලිනාට්‍ය බොහොමයක දුෂ්ටයාගේ චරිතයට පණ පොවන ගිහාන් ප්‍රනාන්දු තම රංගන හැකියාවන් ඔප්නංවා ගන්නට සමත්ව ඇත.

මෙතෙක් කල් සූදුවක්ව තිබූ දේශපාලනය (මතුවට ද එය එලෙස ම ය) "ප්‍රහසනයක්" ලෙසින් වේදිකාවට කැන්දාගෙන පැමිණිය ද එය දැන් දැන් "විගඩමක්" ලෙස භාවිතා කිරිමට කලාකරුවන් පෙළ ගැසෙමින් සිටිති. ප්‍රහසනය මතුකිරිම සඳහා අර්ථ ශුන්‍ය දේශපාලන කතන්දර අත්හැර මිනිසුන් ගේ සැබැ ප්‍රශ්න තුළින් ප්‍රහසනය මතුකොට ඒ ඔස්සේ ජනතාව දැනුවත් කරන්නේ නම් විගඩම් දේශපාලකයින් ද යම් පමණකට හෝ තමන් "ප්‍රහර්ෂකයන්" නොව විගඩම්කරුවන් බව වටහාගනු නොඅනුමාන ය. කලාකරුවන් ද "ප්‍රහසනය" සහ "විගඩම" අතර ඇති පරස්පරය වටහා ගන්නේ නම් ප්‍රේක්ෂකයා ගෙවන මුදලට සරිලන ආකාරයේ වින්දනයක් සහ දැනුමකින් සපිරි වේදිකා නාට්‍යයක් ඉදිරිපත් කිරීමට සමත්වනු ඇත.

රට තුළ කෙරෙන විගඩම් තුළින් පාඩම් ඉගෙන නොගන්නා තුරු කලාකරුවා ද හුදු "විගඩම්කරුවන්" බවට පත්වීම හැර කලාකරුවන් බවට පත්වන බවට නම් කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව "බල්ලොත් එක්ක බෑ" කදිම නිදසුකි. "බල්ලොත් එක්ක බෑ" නාට්‍ය තුළින් ඉහත සඳහන් උධෘතයට අදාළ කිසිවක් මතු නොවන බව පවසන අතර යම් නිර්මාණයක් හැඳින්වීම සඳහා යම් උධෘතයක් යෙදිමට ප්‍රථම එම උධෘතය පිළිබඳව දෙවරක් සිතා බලන්නේ නම්, ප්‍රේක‍ෂකයා ද කලාකරුවා ද යන දෙදෙනා ම රැවටිමට ලක් නොවනු ඇත. කලාකරුවා කලා නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරනු ලබන ඕනැම දහජරාවක් නැරඹීමට ප්‍රේක්ෂකයා ද නො පෙළඹෙනු ඇත.

පසු සටහන-

මෙම ලිපිය 2009 සැප්තැම්බර් මස 27 වන දින "ජනලංකා" පුවත්පතේ පළ වූවකි. නැවතත් එය පාඨක, පාඨක අවධානයට ලක්කිරිමට සිත් වූයේ පසුගිය 16 වන දින "රාවය" පුවත් පතට "බල්ලොත් එක්ක බෑ" නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කොට තිබු අදහස් සහ (නාට්‍යයේ 250 වන දර්ශනය වේදිකාගතවීම නිමිත්තෙන්) උදයසිරි වික්‍රමරත්න මහතා "බල්ලොත් එක්ක බෑ" නාට්‍ය සම්බන්ධයෙන් ලියූ ලිපිය කියැවිමෙන් අනතුරුව ය. මෙම විචාරය එදාට වඩා වැඩි වටිනාකමක් සපයන්නේ අදට යැයි සිතෙන බැවින් එය නැවත පළ කිරිමට අදහස් කෙළෙමි.


ජයසිරි අලවත්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails