Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



‘එකෝමත් එක රටක හිටියා අර්ජුන කියලා කුමාරයෙක්. ඔහු කවදාවත් ප‍්‍රාර්ථනා කළේ නෑ හිමාලය තරණය කරන්න. අන්තිමේදී සිද්ධවුණේ ඒකයි’
හිමාලය තරණය කළ අර්ජුන කුමාරයාගේ කතාවෙහි පසු පිටෙහි සඳහන් වෙන්නේ එහෙමයි.

‘කුමාර වන්නි හත්පත්තුවේ හිටියා සයිමන් කියලා මිනිහෙක්. ඔහු කවදාවත් ප‍්‍රාර්ථනා කළේ නෑ මේ දූපතේ අග‍්‍රගණ්‍ය සාහිත්‍යධරයා වෙන්න. අන්තිමේ දී සිද්ධවුණේ ඒකයි’

සය වසරකට ඉහතදී නික්ම ගිය සයිමන් නවගත්තේගම නම් සොඳුරු මිනිසා ගැන කිවයුතු වන්නේත් එහෙමයි.

ගෙවී ගිය සැප්තැම්බරයේ නේකවිධ පොත් සල්පිල් කුටි අතරින් ඇවිදිද්දී අහම්බයෙන් නෙත ගැටුණු පොත් රාක්කයකින් හුරු පුරුදු කෘති තුනක නැවුම් පිටපත් මසිත් ඇඳ බැඳ ගන්නා ලදී.. ඒ සුබ සහ යස, දඩයක්කාරයාගේ කතාව, සහ සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා නම් කෘති ත‍්‍රිත්වයයි. සයිමන්ගේ කාබනික සිරුර යළි සොබාදහමට එකතුවීමෙන් සය වසරක ඇවෑමෙන් හෝ ඔහුගේ නිර්මාණ යළිත් අප අතරට පැමිණීම සැබිවින්ම සතුටට කරුණකි. මන්දයත් ඔහු නිවී ගිය පහන් තරුවක් නොව පරම්පරාවෙන් පරම්පරාවට මග කියන මග හැර යා නොහැකි පහන් කණුවක් ම වන බැවිනි.

සයිමන්ට මෝස්තරවාදී හෝ අරුමැසිවාදී යයි ලේබලය අලවා පසෙකට තැබූවන්ට ඔහුට ළංවීමට හැකිවීනම් ඔහු කළ කී දෑ පිළිබඳ නිවරදි තක්සේරුවක් කිරීමට උත්සාහයක් හෝ ගනුහැකිව තිබිණි. කෙසේ වෙතත් හෙතෙම තමන් කරමින් සිටින්නේ කුමක්ද යන්න මෙන්ම තමා සහ තම අවට දෑ පිළිබඳ සැලකියයුතු අවදියකින් සිටිය බවට ඔහුගේ ම ලියකියවිලි සාක්ෂි දරයි.

‘එක එක නිර්මාණකරුවාගේ දර්ශනය හැටියට විවිධ රීතීන් බිහිවෙනවා. ඒවා එකිනෙකට සම්බන්ධ කිරීමෙන් කිසියම් බුද්ධි ප‍්‍රබෝධයක් ඇතිවෙනවානම් ඒක සංවාදයට පාත‍්‍රවීමේ වරදක් නෑ. එහෙම සංවාදයක් ගෙනියන්න ඕන. ඒත් මාගේ කෘතියෙන් සිංහල බෙෘද්ධ උරුමයට පහරවදින බව සමහරු ප‍්‍රකාශ කරනවා. මේක මහ බොරුවක්. අපි ථෙරවාදයට කොටුවෙලා හිටියට අපේ දර්ශන ඉතිහාසය දිහා බැලූවම සෘග්වේද යුගයේ සිටම වේදාන්ත දර්ශනය, මහායාන සම්ප‍්‍රදාය දැකගන්න පුළුවන්. සිංහල බෞද්ධ ථෙරවාද කීවාට අපි මේ සියල්ල උරුම කරගත් පිරිසක්. අධිරාජ්‍යවාදය මගිනුත්, අරාබි වෙළෙන්දන් මගිනුත් අපට ලෝකයේ සියලූ ම චින්තාවන් උරුමවෙලා තියෙනවා.’
(2005 ඔක්තෝම්බර් 11. දිනමිණ)


තමන්ට රිසි පාට කණ්ණාඩියකින් ලෝකය බලන්නට හෝ තමා විසින් සීමා ලකුණු කොට රාමුගත වන්නට ඔහු අවැසි නොවීය. ඒ නිසාම ප‍්‍රගතිශීලියාගේ සිට අන්ත ප‍්‍රතිගාමියා දක්වා ම ඔහුගේ විෂය පථය පුළුල්විය. සයිමන්ගේ නිර්මාණ තුළින් විදාරණය වූ දිග පළල හා ගැඹුර ඔහුගේ රස්තියාදුවට සමපාත විය. රැකගන්නට තරම් වාමාංශික කන්‍යාභාවයක් නැති ඔහු වාමාංශිකයකු වන අතරම අන්ත දක්ෂිණාංශික ව්‍යාපෘතිවල ඒජන්තයකු විය. සෝවියට් සමාජ යථාර්ථවාදියකු ලෙස පෙනී සිටින අතරම අනෙක් පසින් ඉතා ලිහිල් චර්යාවකින් යුතු බොහීමියන්වාදියකු විය. ‘ඇත්ත’ පුවත්පතට විචාරාත්මක ලිපි ලියූ ඔහු (පසුව ඒවා සාහිත්‍ය, කලාව හා සමාජවාදය නමින් කෘතියක් බවට පත්විය.) එකී පෑන් තුඩින්ම ‘බුද්ධිය, ප‍්‍රඥාව හා ශුන්‍යත්වය’ගැනද ලිවීය. සමාජ වෙනසක් වෙනුවෙන් අපේක්ෂාවන් පෙරදැරිකරගත් කණ්ඩායම් වලට මහඟු කෘතියක් ලෙස සැලකෙන ෆවුලෝ ෆෙරේරේගේ Padagogy Of the Oppressed කෘතිය "සංවාදය, සංවිධානය හා විප්ලවය" නමින් සිංහලට පරිවර්තනය කළ ඔහු පේ‍්‍රමදාස යුගයේ ‘ජනසවිය’ ව්‍යාපෘතියේ රාජ්‍ය නිලධාරී තන්ත‍්‍රයේ මෙහෙයුම් නිලධාරියකු විය. පේ‍්‍රමදාස ආණ්ඩු කාලයේ මාළිගාවත්තේ පිහිටුවා තිබූ අධීක්ෂණ කාර්යාලයකට හිමිකම් කියූ ඔහු පැල්පත්වාසී දරුවන්ට හා අඩු ආදායම්ලාභී දරුවන්ට වේදිකාවක් තනාදීමට ද උත්සුක විය. මෙකී අඩු ආදායම් ලාභී පවුල් හා දරුවන් අතර සැරි සැරූ අත්දැකීම් ‘භාවනාව හාකාංසාව’යන කෙටිකතා සංග‍්‍රහයන්ට අත්දැකීම් වූ බව සයිමන් ම පවසා තිබේ. චන්ද්‍රිකා යුගයේ සමෘද්ධියේ උපදේශක වූ සයිමන් නවගත්තේගමට හැඳල ළමා නිවාසයේ උඩු මහලේ කාමරයක් ලබා දී තිබුණු අතර එකී කාමරයේ නවාතැන් ගෙන සිටියදී ‘සුද්දිලාගේ කතාව’ ලියා හමාර කළ බව ඔහු සමීපතමයන්ට පවසා තිබිණි.

සයිමන්ගේ නිර්මාණ තුළ අපට හමුවන සියල්ලන් වම- දකුණ, ගම- නගරය, පාදඩ පංතිය- මැද පංතිය, ඉදිරිගාමිත්වය- ශුන්‍යත්වය, සලෙළුකම හා බීමත්කම ආදී ප‍්‍රතිවිරෝධ නොතකා ඔහු කළ රස්තියාදුවක සංස්කෘතික වටිනාකම් විනා අන් යමක් නොවේ.

ඔහු මෙසේ කියයි.

"බොහෝ ගැහැණුද මිනිස්සුද ඔවුන්ගේ අල්ප ජීවිත වලින් මගේ වෘත්තාන්ත පෝෂණය කළහ. ඔවුන් හා ගත කළ සුළු මොහොතවල් මගේ කතාන්දර තුළ අමරණීයත්වය ලබයි. මට ළංවුණු සියලූම ගැහැණුන් මිනිසුන් සියලූම ළමා ළපටින් මගේ ජීවිතයෙන් පෝෂණය කොට මහා කාව්‍යයන් තුළ අමරණීයත්වයෙන් මහා පුරුෂයන් කිරීමට මං කොච්චර ආසද.. ? එවිට ඔවුන්, ජීවිතයේ සුළු මොහොතකට හෝ මගේ ඇසුර ලැබීමේ භාග්‍ය ලැබීම, වාසනාවක් කොට සලකනු නියතය. මගේ හුදකලාවට පිළියම එයයි."
(ප‍්‍රස්ථාවනාව- සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා)


අන් අයට ඇහුම්කන් දුන්නද සයිමන්ට තමන් කෙරෙහි වූ අභිමානයක් තිබිණි. සුදර්ශියේ නුග ගහ යට පැවති අවසන් සාහිත්‍ය සංවාදයට සේලයින් හා සිරින්ජර් කටු ද සහිතව රෝහලේ සිට පැමිණි ඔහු දඩයක්කාරයා වෙනුවෙන් බාල්දියක් ඇද ගත්තේය. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති අවසන් උපහාර උළෙලේදී ‘කට්ටිය මට සලකන්න නොවැ ආවේ.. ඉතිං මං දිගටම කතා කරනවා... අහන් ඉන්න එකයි ඇත්තේ’කියමින් බොහෝ වේලාවක් නො නවත්වා ම කතා කළේය. ඒ ඔහුගේ හැටිය.

සයිමන් විසින් විරචිත ‘සංසාරණ්‍යයේ දඩයක්කාරයා, දඩයක්කාරයාගේ කතාව, සංසාරණ්‍යයේ උරුමක්කාරයා, සංසාරණ්‍යය අසබඩ, සාපේක්ෂණී, ක්ෂීර සාගරය කැළඹිණි... ආදී සෑම කෘතියකටම පාහේ වැඩබිම වී ඇත්තේ කැලෑවයි. එහෙත් එය හුදු කැලෑවක් නොව සංස්කෘතිකකරණය වූ සමාජීය කැලෑවකි. සමකාලීනත්වය විසින් සලකුණු කරනු ලැබූ සීමා ජයගනු වස් පුරාණ කතාන්දරයක් ලෙසින් නූතනත්වය ප‍්‍රකාශමාන කිරීමකි. වරෙක ඔහු එහි දඩයක්කාරයාය. වරෙක ඔහු එහි උරුමක්කාරයාය. තවත් විටෙක ඔහු එහි මුණිවරයාය. අවසානයේ ඔහු ඔහුමය. කරුවලගස්වැව ප‍්‍රාදේශීය ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාරගේ හඬින් කියතොත්,

"මුල්ලේගම කන්දට වඩා ටිකක් ලොකු මිනිහෙක්. දඩයක්කාරයාව සිය දහස් වතාවක් ඇස වැටුණු මුල්ලේගම කන්දට වඩා ඔහු උත්තුංගය."

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails