Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



[මෙය 2009.10.11 වන දින රාවයෙහි පළ වූවකි.] විජය කුමාරණතුංගගේ 64 වන ජන්ම දිනය ඔක්. 09 වන දාට යෙදෙයි. ඔහු ඝාතනය වූයේ මීට වසර 21කට පෙරාතුවය. එවිට ඔහුගේ වයස අවුරුදු 43කි. අවුරුදු 43 දී විජය තරමට ජනප‍්‍රියතාවයෙන් අගට පැමිණි කිසිවකු ලක් ඉතිහාසය තුළ ඇත්දැයි සැක සහිතය. විජය කුමාරණතුංග ග‍්‍රීක පුරාණෝක්තීන්හි එන "ඇඩෝනිස්"(Adonis) නම් දැකුම්කළු දේවතා චරිතයට උපමා කරමින් විජය ඝාතන කොමිසන් වාර්තාව ආරම්භ වෙයි. ඇඩෝනිස් ඝාතනය වූයේ වල් ඌරකු අතිනි. විජය මරා දැමූ වකවාණුවද, වල් ඌරන් තම අණසක පැතිරූ අවධියකි.

මුල් කාලයේදී ප‍්‍රකාශයට පත් වූයේ කුමාරණතුංග ගේ රංගන ප‍්‍රතිභාව පමණි. එහෙත් ඔහු හදිසියේම ගායන ලෝකයට අවතීර්ණ වූ කල්හි ඔහුට ගායනා කිරීමේ අතිරේක නෛපුණ්‍යය ද ඇති බව ප‍්‍රකට විය. ඔහු දේශපාලනයට බට කල්හී, තවත් අතිරේක චරිත ලක්‍ෂණයක් මතු වී ඉහත කී කලා කුසලතා දෙකම යටපත් කරන්නට මාන බැලුවේය. මේ චරිත ලක්‍ෂණය නම් ධනපති පංතියේ කූට ඤාණයයි.

එනමුදු, පූර්ණ විකාශනයට පත් වීමට ඉඩ නොලබාම මේ කලාකාර ධනවාදී දේශපාලනඥයා ජනතා විමුක්ති පෙරමුණේ ගිනි අවි ප‍්‍රහාරයෙන් ප‍්‍රාණය පහ වී බිම පතිත වෙයි. ෆැසිස්ට්වාදයේ කෙරුම් එසේය.


1982 පැවැති ජනාධිපතිවරණය පළමු වටයේදීම දිනා ගැනීමට නොහැකි වුවහොත් ඉන් ඇති වන ප‍්‍රතිවිපාක ජේ ආර් ජයවර්ධන දැන සිටියේය. මේ නිසා ජේ ආර් නැක්සලයිට් කුමන්ත‍්‍රණයක් අටවා විජය සිරගත කළේය. මෙය සිරිමා බණ්ඩාරනායක ද දැන සිටි බව පසුව හෙළි විණි. විජය පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශ්වාස කළේය. එනමුදු කේවළ ආසන ක‍්‍රමය යටතේ පැවැති අතුරු මැතිවරණ වලදී එකදු ආසනයක්වත් දිනාගැනීමට, එජාපයත් ශ‍්‍රීලනිපයත් විසින් ඔහුට ඉඩ නොතබන ලදී. ඊට හොඳම නිදසුන මහර 83 මැයි මස පැවැති අතුරු මැතිවරණයයි. එය යුද පිටියක සිරි ගත්තේය. එහිදී විජයගේ ජීවිතය බේරුණේද අනූනවයෙනි.

විජය, ශ‍්‍රීලමප පිහිටුවීමෙන් වම තුළ විකල්පයක් නිර්මානය කළ බව කියති. එහෙත් ඔහු එකල නිර්මානය කළේ වමේ විකල්පයක් පමණක් නොවේ. ඔහු විකල්ප වමක් ද, නිර්මානය කළේය.

එකල පැවැති වම "සහේතුකවාදී වම" සහ "ම්ලේච්ඡ වම" යනුවෙන් වර්ග කළ හැකිව තිබුණි. විජය 1987 අග භාගය වන විට නිර්මානය කරමින් සිටියේ පෙර කළ සකළ විධ වාමාංශික කුලකයන්ට වෙනස් වූ වමේ බලයකි. "ම්ලේච්ඡ වම" නියෝජනය කරන ලද්දේ ජවිපෙ විසිනි. ඔවුනගේ වම හා, විජයවාදී වම අතර සතුරු ප‍්‍රතිරෝධයක් දක්නට ලැබුණි.

විජයට චරිතාංග නළුවකු හැටියට හා පුරා කියා සිය කුසලතා අවදි කරන්නට යාන්තම් ඉඩක් පෑදෙන්නේ 1974 දී ධර්මසේන පතිරාජ නිර්මානය කළ "අහස් ගව්ව" චිත‍්‍රපටයේ මහතුන්ගේ චරිතයෙනි. පතිරාජගේ "අහස් ගව්ව", 56 රේඛාවෙන් පසු ලාංකේය සිනමාව තුළ ගැසූ දෙවන කැරැල්ල ලෙස විචාරක අවධානයට පාත‍්‍ර විය. පුරා 18 වසරක් වූ විජයගේ සිනමා ජීවිතය තුළ ඔහු රඟපෑ චිත‍්‍රපට ප‍්‍රමාණය 110 ක් වූ නමුදු, චරිතාංග නළුවකු ලෙස ඔහුට ස්වකීය කුසලතා අවදි කරන්නට සහ ඒ ඔස්සේ සැබෑ රංග ප‍්‍රතිරූපයක් ගොඩනැංවිය හැකි වූයේ චිත‍්‍රපට කිහිපයකින් පමණි.


මෑත ඉතිහාසය තුළ පොදු ජනතාවගේ හිතවතකු වූ එකම කතෝලිකයා වූයේද විජයයි. විජයගේ අවමඟුළට සපැමිණි මර්සලීන් ජයකොඩි පියතුමා කිව යුතු දේ කවියෙන්ම කියා පෑවේය.

අහෝ ඇත්තට!
අහෝ ඇත්තට!
සරස්වතියේ
කිමද වෙන්නේ
අහෝ ඇත්තට මෙයට
ජීවිතය යැයි කියන්නේ
මලක් වාගේ
අද පිපෙන්නේ
හවස් වන විට
පෙති හැලෙන්නේ
වාසනාවට තම ගොදුර නොව
මිනීමරුවාමයි මැරෙන්නේ
කලාකරුවා අමරණීයයි
මරණ තරමට අමරණීයයි
සොබාදහමේ අණසකයි එය
වරද කිසිතැන නැත ජය අරන්!


විජය ජීවත් වූ නාරාහේන්පිට නිවස එකල කෞතුකාගාරයක්ව තිබුණි. නිවස ඉදිරිපස විජයගේ රුව දැක්වෙන සුධා ධවල පිළිරුවක්ද විය. දැන් ඒ කිසිවක් එහි නැත. සීදූවේ ඔහු නමින් ඇති රෝහලද, නොබෝ දිනකින් වෙනත් දේශපාලකයකුගේ නමට හැරුණොත්, එයද පුදුමයක් නොවනු ඇත.


"මට ආරක්‍ෂා කරන්න තියෙන්නෙ එකම දෙයයි. ඒ මගේ දුප්පත් අම්මාගේ බඬේ ඉඳලා අරගෙන ආපු මනුස්සකම විතරයි" ඒ විජයගේ වදන්ය. ඔහුගේ මනුස්සකමේ ප‍්‍රතිරූපයෙන් ප‍්‍රතිබිම්බ සාදා ගත් බොහෝ අය අතර, වැන්දඹු බිරිඳ ද විය. ඇය විජය පැතූ ලොව ගොඩ නඟන බවට ඔහුගේ ප‍්‍රාණය නිරුද්ධ දේහය අසළම සපථ කර සිටියාය. දැහැමි දැයක් ගොඩනඟන බවට පොරොන්දු වූවාය. ඇය ගොඩනැඟූ දැහැමි දැය පිළිබඳව වික්ටර් අයිවන් ද, ඓතිහාසික ග‍්‍රන්ථයක් සම්පාදනය කර ඇත. දැහැමි දැයක් නම් එහි පාලකයෝද ජනතාවම විය යුත්තෝ නොවේද? එහි මහජනයාට එරෙහිව කිසිදු හිංසනයක් නොවිය යුතුයි. එය ආහාරපාන, වස්ත‍්‍රාභරණ, යානවාහනාදී මේ කිසිවකින් අඩුවක් නැති දැයක් විය යුතුයි. එහි පීඩක හා පීඩිත කියා දෙපංතියක් නැත. මෙහි පවතින දැහැමි දැය තුළ කුල බල, ධන බල, රට බල, ප‍්‍රදේශ බල, ස්ත‍්‍රීන්ට එරෙහි පුරුෂ බලය, කන්‍යාභාව බල නම් බලවත් ලෙස පවතී. කොටින්ම මෙහි බහුලව ඇත්තේ දරිද්‍රතාවේ, නැතිබැරියාවේ බලයයි. බණ පද නම් එමටය. එහෙත් ඒවා පිළිපදින කෙනෙක් නැත. ඒ බණ පද ඇත්තේ නැතිබැරියවුන් පෙළීමටයි. නැත; බණ කියන අයගේ සුවපහසු වැජඹීමට ද ඒ බණ පද යෙදේ. ඊළඟ මැතිවරණයේ දී නම් විජයගේ ”මනුස්සකම” දැහැමි පැලකයන්ට සිහිවනු ඇත. වර්තමානයේදී විජය යනු හුදු ඡන්ද ගුණ්ඩුවක් පමණකි.

පසු සටහන-

අද මහින්ද අබේසුන්දර ලා ජනතා විමුක්ති පෙරමුණට තඩි බාන්නට "විමසුම " ට තෝරා ගන්නේ විජයයි. එනමුදු , මීට වසර 7 කට පෙර සන්ධාන ආණ්ඩුව හදන විට එම "විමසුම" පිටපත ම ලියු මහින්ද අබේසුන්දර එක්සත් ජාතික පක්ෂයට තඩි බාන්නට තෝරා ගත්තේද විජයයි! විජයගේ දේශපාලන ප්‍රතිරූපය අද මිය ගියද , රංගන ප්‍රතිබිම්බය යලි යලිත් ඒකාලෝක වෙමින් පවතී.

දේවක සිතාර ජයසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails