Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනෙකු අතර පසුගියදා මුල්ලේරියාව ප්‍රදේශයේදී ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූ ප්‍රචණ්ඩ ඝාතනය මුල් කොටගෙන සමාජ ක්‍රියාකාරීන් සහ බුද්ධිමතුන් පිරිසකගේ අත්සන් සහිත ප්‍රකාශණයක් ප්‍රසිද්ධ කොට තිබේ. එය නම් කොට ඇත්තේ "ගිනි අවි නොමැති මන්ත්‍රීවරුන් සමග පිරිසිදු පාර්ලිමේන්තුවක් සඳහා පුරවැසි ඉල්ලීමක්" වශයෙනි. මෙම ප්‍රකාශණය එළි දැක්වීම සඳහා ඔවුන් පෙළඹ වූ උදාර අභිප්‍රායයන් පිළිබඳව මා තුළ ඇත්තේ ගෞරවයකි. පුරවැසි මැදිහත් වීමක් ලෙස එය එළි දැක්වීමේ ක්‍රියාවෙහි දේශපාලනික සහ ආචාර ධාර්මික වැදගත්කම කිසිසේත් බැහැර කළ නොහැකිය. නමුත් මෙම ප්‍රසිද්ධ ප්‍රකාශණයෙහි සඳහන් "ගිනි අවි නොමැති මන්ත්‍රීවරුන්" සහ "පිරිසිදු පාර්ලිමේන්තුවක්" පිළිබඳ පරිකල්පනයෙන් අපගේ සමකාලීන යුගයේ අධිපති චින්තන රටාව ආශ්‍රිත ගැටළුවක් පිළිබඳ ඉඟි සැපයේය යන්න මගේ කල්පනාවයි. මේ කෙටි ලිපියේ අරමුණ ඉහත කී ප්‍රකාශණයේ වැදගත්කම අවප්‍රමාණ කිරීම නොව එමඟින් ආමන්ත්‍රණය කරන්නට ප්‍රයත්න දරන ගැටළුව කෙරෙහි වඩා විශ්ලේශණාත්මක ප්‍රවේශයක අවශ්‍යතාව පෙන්වීමය.

ප්‍රථමයෙන් ඉහත කී ප්‍රකාශණයෙන් ඉදිරිපත් කොට ඇති ප්‍රධාන ඉල්ලීම් දෙක වන්නේ (1) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ඉහළ රාජ්‍ය නිලධාරීන්ට ලබා දී ඇති සන්නද්ධ ආරක‍ෂාවන් පූර්ණ වශයෙන් ඉවත් කළ යුතුය සහ (2) අපරාධ ක්‍රියා සඳහා චෝදනා ලැබ තිබෙන සියලු මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් ඔවුන් අයත් දේශපාලන පක්ෂ වලින් නිල වශයෙන් ඉවත් කොට ඔවුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කළ යුතුය යන්නයි. සිත් ගන්නා සුළු කාරණය වන්නේ මෙම ඉල්ලීම් දෙකට වඩා අන්තර්ගතයෙන් වෙනස් උවත් ප්‍රවේශයෙන් සමාන අදහස් වත්මන් බලාධිකාරය වෙතින් ද ඉදිරිපත් වෙමින් පැවතීමයි. පසුගිය දිනවල බලාධිකාරයට අයත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වල පුනරුච්චාරණය වූ කාරණයක් නම් නීති විරෝධී ගිනි අවි තහනම් කොට දේශපාලන ලෝකය "පාතාල ලෝකයෙන්" නිදහස් කොටගෙන නීතිය හා පර්යාය ස්ථාපිත කළ යුතු බවයි. මීට අමතරව මාධ්‍ය අවකාශයේ සැරි සැරූ තවත් තේමාවක් නම් මැතිවරණ ප්‍රචණ්ඩත්වය මැඩලීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මනාප ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතුය යන්නයි. මෙම අදහස් එතරම් වෙනසකින් තොරව ඊනියා ස්වාධීන හා විද්‍යුත් මාධ්‍ය වලද එකසේ ප්‍රචාරය කෙරිණි. පළමුවෙන් සඳහන් කළ "පුරවැසි ප්‍රකාශණයත්" දෙවනුව කී "බලාධිකාරයේ ප්‍රකාශණයත්" අතර ඇත්තේ සමාන ප්‍රවේශයක් යැයි පැවසිය හැක්කේ මන්ද? මේ දෙකින් ඉදිරිපත් කරන අන්තර්ගතයන් එකිනෙකින් වෙනස් උව ද, ඒවා පදනම් වන මූලික අභ්‍යුපගමනයන් නැතහොත් පෙර සිතා ගැනීම් එකිනෙකට සමාන නිසාය.

එවන් මූලික පෙර සිතා ගැනීමක් නම් අප සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ යහ පාලනයට හෝ නීතියේ පර්යායට බාධා කරන, ඒවා අර්බුදයට යවන සුවිශේෂ පුද්ගලයන්, සම්බන්ධතා හෝ තත්ත්වයන් පවතින බවත් ඒවා හඳුනාගත හැකි බවත්, ඒවා ඉවත් කළ හැකි සහ යුතු බවත් ය. මෙය උපමාවකින් කිවහොත් නගරයේ රෝග සහ වසංගත වලට හේතු වන අපද්‍රව්‍ය විධිමත් ලෙස බැහැර කිරීමෙන් නිසි පිළිවෙල සහ නිරෝගී භාවය තහවුරු කර ගැනීම මෙන්ය; රූපලාවණ්‍ය පිළිබඳ රූපිකයක් අනුසාරයෙන් කිවහොත් එය මුහුණේ ලප කැළැල් මකා දමා සුරූපී පෙනුමක් ලබා ගැනීමකි. ප්‍රචණ්ඩත්වය, දේශපාලන ඒකාධිපතීත්වය සහ අනීතික ක්‍රියාකාරීත්වයන් හුදෙක් සමාජ දේහයට වැළඳුනු පිළිකා ලෙස සලකා ඒවා කුමන හෝ චිකිත්සක ක්‍රමයක් මගින් කපා ඉවත් කළ යුතුය යන අදහස ඉතාම පැරණිය. මිෂෙල් ෆුකෝ පර්යේෂණ කිහිපයක් මගින් පෙන්වා දී ඇත්තේ නූතනවාදී ශිෂ්ටාචාරය ගොඩනැංවීමේදී රෝගීන්, මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන්නන් සහ අපරාධකරුවන් නගරයෙන් විධිමත් ලෙස බැහැර කිරීම හා එය ආයතනගත කිරීම සඳහා තාක්ෂණයන් රැසක් ආදේශ වූ බවයි.

නමුත් නූතන ප්‍රබුද්ධත්ව ව්‍යපෘතිය තුළින්ම මතු වූ විවේචක න්‍යායික සම්ප්‍රදායක් ද තිබෙන අතර එම සම්ප්‍රදාය මගින් විශ්ලේෂණය කරන්නේ ඉහත කී සමාජ පිළිකාවන් නිර්මාණය වීමේ තත්ත්වයන් පවත්නා ඊනියා සමාජ පිළිවෙළ විසින්ම සකස් කෙරෙන්නේ හෝ ගොඩ නැංවෙන්නේ කෙසේද යන්නයි. මාක්ස්වාදය, මනෝවිශ්ලේෂණය, ස්ත්‍රීවාදය යනාදී චින්තන ක්‍රම එකී විවේචක න්‍යායික ප්‍රවේශය මත පදනම් විය. අප ජීවත්වන නව ලිබරල් ධනවාදී හෙජමොනියේ යුගය තුළ මෙම විවේචක ප්‍රවේශය යටපත් වී යමින් පවතින බව සමකාලීන රැඩිකල් දාර්ශණිකයන් කිහිපදෙනෙකු විසින් ම පෙන්වා දෙනු ලැබ තිබේ. සැප්තැම්බර් 11 සිද්ධියෙන් පසුව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රචලිත කෙරුණු "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය" නම් අදහස ගෝලීය බලපෑමක් ඇති කළේය. එහිදී ත්‍රස්තවාදය වනාහී යම් යම් පදනම්මය හේතූන් කෙරෙන් පැන නගින ප්‍රතිඵලයක් ලෙස නොව මූලික ගැටළුව ලෙසම දක්නා ලදී. ලංකාවේ එල්. ටී. ටී. ඊ. ය සමග පැවති යුද්ධයේ අවසන් අදියරේදී දෘෂ්ටිවාදීමය ආධිපත්‍ය දිනා ගත්තේ ද මෙම නිර්- විවේචනාත්මක "පිළිකා විශ්ලේෂණ ප්‍රවේශය"යි. නලින් ද සිල්වා විසින් සංකල්ප ගත කෙරුණු පරිදි "ද්‍රවිඩ ජනයාට ද්‍රවිඩ වීම නිසාම පවතින සුවිශේෂ ගැටළුවක් නොමැත" යන්න (මෙය නලින් ද සිල්වා නලින් ද සිල්වා වීම නිසාම සහ සිංහලයා සිංහලයා වීම නිසාම අසන ප්‍රශ්ණයකි) අද රාජ්‍ය දෘෂ්ටිවාදය බවට පත්වී තිබේ. එවිට ත්‍රස්තවාදය යනු ලාංකේය දේශපාලනයේ යම් ව්‍යුහාත්මක ගැටළුවක ප්‍රකාශණයක් හෝ ප්‍රතිඵලයක් නොව විසඳිය යුතු මූලික ප්‍රශ්ණය ම විය. පසුගිය වසර වලදී ක්‍රමිකව පාතාල කල්ලි මර්දනය කිරීම සඳහා අනුගමනය කළ අධිපති ප්‍රවේශය ද මෙයයි. පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මිය යාම් වලට අදාළව මාධ්‍ය මගින් නිර්මාණය කෙරුණු සම්මත කතා ආඛ්‍යාණ වලට එතරම් ජනතා විරෝධයක් එල්ල නොවීය. මන්දයත්, ත්‍රස්තවාදී කල්ලි මෙන්ම පාතාල කල්ලි ද සමාජ දේහයේ නිරෝගී බවට හානි පමුණුවන පිළිකා ලෙස දැකීමේ ප්‍රවේශය දැන් ග්‍රාම්ස්චියානු "පොදු හැඟීමක්" [common sense] බවට පත්වී තිබෙන බැවින්ය. දේශපාලනයේ සහ පරිපාලන ක්ෂේත්‍රයේ පවතින "දූෂණය" සහ අකාර්යක්ෂමතාව පිළිබඳ බොහෝ පුවත්පත් රචනා තුළ හඳුනාගැනීමට ලැබෙන්නේ ද මෙම අති සරල "පිළිකා ප්‍රවේශය යි". දේශපාලන ක්‍රමය "කුණු වී ගඳ ගසන තත්ත්වයකට පත්ව තිබෙන බව" යමෙකු පවසන විට සැබැවින්ම එහි අදහස ඔහු/ඇය කොතරම් දුරට දේශපාලන ක්‍රමය පිළිබඳවත් ඒ තුළ ස්වකීය ස්ථානගත වීම පිළිබඳවත් විවේචනාත්මකව සිතීමට අසමත් ද යන්නයි. එවිට කෙනෙකු සරල විසඳුම ලෙස යෝජනා කරනු ඇත්තේ දූෂිත නිලධාරීන් පළවා හැරීම, යහපත් පුද්ගලයන් බලයට ගෙන ඒම, ත්‍රස්තවාදීන් සහ අපරාධකරුවන් කුමන ක්‍රමයකින් හෝ මර්දනය කිරීම, ආයුධ හෝ මත්ද්‍රව්‍ය වෙළඳුන් දේශපාලනයට වැද්ද නොගැනීම යනාදිය යි.

දැන් ප්‍රචලිතව පවතින තවත් කතාබහක් නම් මනාප ඡන්ද ක්‍රමය හා සමානුපාතික නියෝජන ක්‍රමය වහාම අහෝසි කළ යුතුය යන්නයි. මෙය ප්‍රතිඵලය හේතුව ලෙස දකින "පිළිකා විශ්ලේෂණ ප්‍රවේශයේ" අතිසරලකමට කදිම නිදසුනකි. සමාජයේ සුළුතර හා කුඩා පක්ෂ වලට යම් නියෝජනයක් ලබා දෙන ආකාරයේ සමානුපාතික නියෝජන ක්‍රමය අහෝසි කොට සරල බහුතර නියෝජන ක්‍රමය හඳුන්වා දුන් විට ප්‍රචණ්ඩ දේශපාලනයට විසඳුමක් ලැබේ යැයි සිතන්නවුන් සැබැවින්ම මෙම අර්බුද විසඳීමට පමණක් නොව ඒවා තේරුම් ගන්නට ද අසමත්ය. පිළිකාවක් කපා ඉවත් කරන ආකාරයේ නැතහොත් ලප කැළැල් මකා දමන ආකාරයේ කොස්මෙටික් විසඳුම්වලින් ඔබ්බට සිතන්නට අප රටේ බුද්ධිමය ප්‍රජාව අසමත් වන්නේ නම් එය සැබැවින්ම සමාජ අර්බුදවල ව්‍යාප්තිය සඳහා ස්වකීය සවිඥාණික කැමැත්තෙන් නිර්මාණය නොවූ දායකත්වයක් දක්වනු ඇත.

"ගිනි අවි නොමැති මන්ත්‍රීවරුන් සහ පිරිසිදු පාර්ලිමේන්තුවක්" සඳහා නිකුත් කෙරුනු ඉල්ලීම, ගැටළුවම විසඳුම ලෙස යළි ඉදිරිපත් කෙරෙන අද දවසේ ආධිපත්‍ය උසුලන චින්තන ප්‍රවේශයකින් රාමුගත වී තිබේය යන්න මගේ අදහසයි. බුද්ධිමය ප්‍රජාවේ ස්වයං- විවේචනාත්මක මැදිහත්වීමක් උවමනා වන්නේ පවත්නා නව- ලිබරල් හා සිංහල වර්ගෝත්තමවාදී බලාධිකාරය විසින් ද පුනරුච්චාරණය කරන "පිළිකා විශ්ලේෂණ ප්‍රවේශයෙන්" ඔබ්බට ගොස් විමුක්තිවාදී දේශපාලනය හා බැඳුනු විවේචක ප්‍රවේශය යලි සොයා ගැනීම සඳහාය. සන්නද්ධ දේශපාලනය මෙන්ම අපරාධ හා මත්ද්‍රව්‍ය වෙළඳාම අයත් පාතාල ලෝකය වනාහී හුදෙක් දේශපාලන ක්‍රමයේ විකෘතියක් හෝ ව්‍යතිරේකයක් නොව ජාතිකවාදයේ දෘෂ්ටිවාදීමය සළුපිළි පැළඳගත් වත්මන් නව කොම්ප්‍රදෝරු පාලනයේ අශ්ශීල අර්ධයම බැව් වටහා ගන්නට එවන් ප්‍රවේශයක් අපට සහාය වනු ඇත.

සුමිත් චාමින්ද



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails