Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අධිරාජ්‍යවාදයට එරෙහි වීම සහ වාමවාදයක් වෙනුවෙන් පෙනී සිටීම රටක දේශපාලන නායකයෙකු විසින් නොකළ යුත්තේ කෙසේ දැ යි පෙන්වූ නූතන යුගයේ ආදර්ශමත් නායකයා ගඩාෆි ය. ඉතිං, ගඩාෆිට එරෙහි වීම යනු, ඇතැමුන් සිතන පරිදි, අධිරාජ්‍යවාදයට පක්ෂපාත වීමක්වත්, වාමවාදය පිටුදැකීමක්වත් වන්නේ නැත. හරියට, ස්ටැලින්වාදයේ අමානුෂිකත්වයට එරෙහි වීම මාක්ස්වාදයේ මානවවාදය ප්‍රතික්ෂේප කරන්නක් නොවන්නා සේ ය.

ඉතිං, බටහිර බලවතුන් ලිබියාවේ තෙල් සම්පතට ගිජුවීම පිළිබඳව සහ එම බලවතුන් ලිබියාව කෙරෙහි දක්වනවාට වඩා 'සහෝදරත්වයක්' සහ 'ඉවසීමක්' සෞදි අරාබිය, සිරියාව,යේමනය සහ බහරේනය වැනි වෙනත් ප්‍රතිගාමී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී අරාබි පාලකයන් කෙරෙහි පෙන්වීමේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම අපේ විවේචනයට හසු විය යුත්තේ, එම විවේචනය තුළ ගඩාෆිව 'ප්‍රජාතන්ත්‍රවාදී' හෝ 'ප්‍රගතිශීලී' පාලකයෙකු වශයෙන් අනික් අතට අර්ථ ගැන්වීමේ කිසි අවකාශයක් ඇති කිරීමෙන් නොවන බව පැහැදිළි ය. එහෙත් ලංකාවේ බොහෝ 'වම්මුන්ට' මෙය නොපෙනුණි. නොඑසේ නම් නොපෙනුනු බවක් පෙන්වුණි. රාජපක්ෂ පාලනය එක දිගටම ගඩාෆි වෙනුවෙන් පෙනී සිටියේ, තමන්ගේ පාලන අභිමතයන් සමග ගඩාෆිගේ පරමාදර්ශය සමපාත වීම හේතුවෙනි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මහින්ද රාජපක්ෂට මුළු ජීවිත කාලයම ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් වැජඹීමට ඇති 'අයිතිය', ගඩාෆි වැන්නන්ගේ අවුරුදු හතළිස් ගණනක රාජ්‍ය පාලන ප්‍රභාවෙන් බැබළුණේය.

ඇත්ත, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ වුවත් මහින්ද රාජපක්ෂ බලයට පත්වන්නේ, න්‍යායිකව ගත් කල, මහජන ඡන්ද බලයෙනි. (එම ඡන්දය කෙසේ පවත්වන්නේ දැ යි යන්න වෙනම ප්‍රශ්නයකි). ගඩාෆි එසේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාපරිපාටියක් අනුගමනය කෙළේ නැත. එහෙත් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තමන්ගේ ව්‍යවස්ථා මගින්ම, තනි පුද්ගලයෙකුට රටක නායකයා වශයෙන් බලයට පත්විය හැකි වාර ගණන, අවස්ථා දෙකකට හෝ තුනකට සීමා කොට ඇත්තේ ඇයි? ප්‍රජාතන්ත්‍රවාදයේ සකල කළමනා තීන්දුව 'ජනතා කැමැත්තට'පමණක් පවරන්නේ නම්, එවැනි වාර ගණනක සීමාවක් අවශ්‍ය නොකෙරේ. එහෙත් මේ කියන 'ජනතා කැමැත්ත' පවා රාජ්‍ය බලය හොබවන කූට පාලකයන්ගේ අතේ නැටවිය හැකි අසරණ රූකඩයක් බවට යම් අවස්ථාවක පත්විය හැකි ය යන උපකල්පනය නිසාම (වර්තමාන ලංකාවේ දී මෙන්) එවැනි වාර ගණනේ සීමාවක් දියුණු ව්‍යවස්ථාවන් තුළට ඇතුළත් කොට තිබේ. හැම අතකින්ම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී පාලන මාදිලිය කෙරෙහි වඩාත් දැනුවත් පුරවැසියන් සිටින බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල, ඇත්ත වශයෙන්ම, එම අවදානම අවම යි. එසේ තිබියදීත්, ඔවුහූ වාර දෙකේ සීමාව අයින් නොකරති. එහෙත්, හැම උප්පරවැට්ටියක්ම ගසා ඇති පාලන මාදිලියක් සහිත ලංකාවේ, එතෙක් තිබුණු වාර දෙකේ සීමාවත් අයින් කෙළේය. එයින් පෙන්නුම් කෙළේ කුමක් ද? ගඩාෆිගේ රජකම පිළිබඳ සංකල්පය, යම් මෝස්තරවාදී මැතිවරණ ක්‍රමයකින් සහ දූෂිත ආයතන ජාලයකින් සුජාත කරගත හැක්කේ නම්, ලංකාවේ පවා රාජ්‍ය සංකල්පය (යාවජීව පාලක ක්‍රමය) ක්‍රියාත්මක කිරීම වරදක් නොවන බවට වර්තමාන පාලකයන් දරණ විශ්වාසය යි. ලංකාවේ මහින්ද රාජපක්ෂ, ලිබියාවේ ගඩාෆිට සමාන වන්නේ එයාකාරයෙනි.

පසු ගිය හය මසක කාලය තුළ තමාට එරෙහිව නැගී සිටි කැරලිකාරී ජනයාව ගඩාෆි හැඳින්නුවේ "චප්ප කර දැමිය යුතු මීයන් රැළක්" වශයෙනි. එසේ වුව ද, මීයන් ලගින කාණු පල්ලක සැඟව සිටිය දී අත්අඩංගුවට පත් ගඩාෆිව ඝාතනය කිරීමේ අයිතියක් ඒ 'මීයන්ට' හිමි නොවන බව සටහන් කර තැබිය යුතුය. එබැවින්, එම සිද්ධිය සම්බන්ධයෙන් ලිබියාවේ වර්තමාන දේශපාලන අධිකාරය 'යුද අපරාධ' චෝදනා යටතේ ඊට වගඋත්තර කීමට බැඳී සිටී. මේ වන විටමත්, ඇතැම් බටහිර රටවල් ඇතුළු 'ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්' වැනි මානව හිමිකම් සංවිධාන ඒ සඳහා ජාත්‍යන්තර තලයේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටී.

එසේම, බොහෝ අය සිතා සිටි පරිදි, ගඩාෆි 'අවසාන ලේ බිංදුව දක්වා' සටන් කෙළේ නැත. ඒ අවසාන ලේ බිංදුව බේරා ගැනීම සඳහා අවසානයේ දී ඔහු යටත් වුණි. 'අප්‍රිකාවේ රජුන්ගෙත් රජු' වශයෙන් තමන් විසින්ම පවරාගත් විරුදාවලිය තිබියදීත්, ඒ පුස්ස පසෙකලා, ජීවිතය ඉල්ලා අවසාන මොහොතේ දී ඔහු තමාව නොමරන්නැ යි අර 'මීයන්ට' පින්සෙන්ඩු වුණි. ඒ නිසා, යුද අපරාධයකටත් වඩා මෙය 'මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්' ද විය හැකිය.

ඇත්ත වශයෙන්ම, ගඩාෆි යනු මහජන නැගිටීමක් තුළ ඝාතනය විය යුතු පුද්ගලයෙකු නොවේ. ඒ වෙනුවට, මහජන අධිකරණයක් ඉදිරියට පැමිණවිය යුතු අපරාධකරුවෙකි. ඉතිහාසයට වගකීමට මළකඳකට පුලූවන් කමක් නැත. එය ගැන කල්තියා තේරුම්ගෙන සිටි හිට්ලර්, ඉතිහාසයට මුහුණදීමේ කුරිරු අවමානය නොවිඳ ජීවිතය නැති කරගත්තේය. අනිත් අතට, ඉතිහාසයේ විත්ති කූඩුවට නැගීමට ගඩාෆි කැමැත්තෙන් ඉදිරිපත් වෙද්දීත්, ඔහුගේ ශරීරයෙන් පළිගැනීමට වැඩි වැදගත්කමක් ආරෝපණය කිරීම වූ කලී, ඇත්ත වශයෙන්ම, කැරලිකරුවන්ගේ පැත්තෙන් ගත් කල, ඉතිහාසයට ද්‍රෝහී වීමකි. ඒ සම්බන්ධයෙන් ලිබියාවේ වර්තමාන පාලකයන්ව වෙනම විත්ති කූඩුවකට නැංවිය යුතුව තිබේ.

"අන්ධයන්ගේ නිම්නයක, එකැස් මිනිසා රජෙකි." යැයි කියමනක් තිබේ. ලිබියාව, අන්ධයන්ගේ නිම්නයකි. එහෙත් ගඩාෆි, දෑසින්ම අන්ධයෙකි. තෙල් සම්පත හරහා ඉපැයෙන අතිවිශාල ධනය අතිනුත්, (ලෝකයේ තෙල් නිපදවන රටවල් අතරින් ලිබියාව නව වැනි තැනට ගැනෙන අතර, අප්‍රිකාවෙන් එය වැටෙන්නේ, පළමු හෝ දෙවන තැනට යි.) කුඩා ජනගහනය අතිනුත්, එය බටහිර ලෝකයේ දියුණුවෙන් අගතැන්පත් නෝර්වේ රාජ්‍යයට බොහෝ සෙයින් සමාන වෙයි. එසේ තිබියදීත්, වසර 42 ක රාජ්‍ය පාලන කාලයක් තුළ පවා, පසුගාමී ගෝත්‍රික සමාජය අතුගා දැමීමට අසමත් වීමේ පාපයම, ගඩාෆිගේ අවසානය කාණු පල්ලක සැඟවුණු 'මීයෙකු' බවට පත්කිරීම යුක්ති සහගත කරයි.

තමන්ගේ දේශපාලනික නායකත්වයේ නිසි අවසානය වටහාගෙන නියමිත කාලයේ දී දේශපාලනයෙන් විශ්‍රාම ගත් ටැන්සානියානු ජනාධිපති ජුලියස් නියරේරේ, අප්‍රිකාවේ දියුණු ජාතික රාජ්‍යයකට මුල්ගල තැබූවේය. ඔහු මියගියේ කාගේත් ගෞරවයට පාත්‍ර වූ නිදහස් නායකයෙකු වශයෙනි. නියරේරේ මෙන්ම අප්‍රිකානු නිදහස් අරගලයේ තවත් පතාක යෝධයෙකු වූ ඝානාවේ ප්‍රථම ජනාධිපති එන්කෘෘමා, ඊට වෙනස්ව, ජීවිත කාලයට තමාට ජනාධිපති පදවියේ රැඳිය හැකි සේ හැසිරෙන්නට ගොස් අවසානයේ දී උපන් දේශයෙන් ද පලා ගොස් මියගියේ පිටුවහලෙකු වශයෙනි.

අප්‍රිකානු නිදහස් ව්‍යාපාරයේ මුල් පරම්පරාවෙන් පසුවත්, අසාර්ථක අප්‍රිකානු ජාතික රාජ්‍ය ක්‍රමය තුළ ප්‍රචණ්ඩත්වයට සහ අධිකාරීවාදී බල අපහරණයට මුල් තැන දෙන නව නායක පැලැන්තියක් බිහි විය. අද දක්වාමත් බලහත්කාරයෙන් බලයේ සිටින සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපති රොබට් මුගාබේගේ සිට, මේ මෑතක දී (2010) පැවති ජනාධිපතිවරණයෙන් පැහැදිළිව පරාජය වූ පසුව පවා බලය අතහැරීම ප්‍රතික්ෂේප කළ සහ ඒ හේතුවෙන් අධිකරණයක් වෙත බලෙන් කුදලාගෙන යාමට සිදුවූ අයිවරි කෝස්ට් රාජ්‍යයේ හිටපු ජනාධිපති ලෝරන් ගැග්බෝ දක්වා වන, බල ලෝභයෙන් රෝගී වූ ප්‍රභූ කණ්ඩායමක් අප්‍රිකානු ප්‍රජාතන්ත්‍රවාදය කොල්ලකෑවේය. තවමත් කොල්ලකමින් සිටිති.

ලිබියාව ඉහත කී සියළු රටවල ඉතිහාසයට වෙනස් ය. ප්‍රජාතන්ත්‍රවාදයක් මූනිච්චාවටවත් තබා ගැනීමේ උවමනාවක් ගඩාෆිට නොතිබුණි. වෙන කිසි අප්‍රිකානු රටකට නැති තරමේ ධනස්කන්ධයක් තිබියදීත්, නූතන රාජ්‍යයක් වශයෙන් ලිබියාව ගොඩගැනීමේ සිහිනයට ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය තුළ අඟලකවත් ඉඩක් වෙන් නොවුණි. ඇත්තෙන්ම ඔහුගේ අභිප්‍රාය වුණේ, හැකි තාක් ගෝත්‍රික ක්‍රමයම ආරක්ෂා කිරීමයි. ඒ මගින් චිරාත් කාලයක් තමන්ටත්, තමන්ගේ දරුමල්ලන්ටත් බලය හෙබවිය හැකි පාලන ක්‍රමයක්, බටහිර බලවතුන්ගේ ද ආධාර ඇතිව නඩත්තු කිරීමයි.

දුර්දාන්ත පාලකයෙකු බලයේ සිටින කාලය වැඩි වන තරමට එම පාලකයාට එරෙහිව නැගී එන ජනතා අප්‍රසාදය ආපසු හැරවිය නොහැකි මට්ටමකට උග්‍ර විය හැකි බවත්, ප්‍රචණ්ඩ විය හැකි බවත්, මුලින් ඊජිප්තුවේ දීත් සහ පසුව ටියුනීසියාවේ දී සහ දැන් ලිබියාවේ දීත් පෙන්නුම් කොට ඇත. (මුලින් කී රටවල් දෙකේම, මැතිවරණ පැවැත්වුණි. එයින් පෙනෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළි පොරවාගත් පමණින්, දුර්දාන්ත පාලකයන්ට සමාවක් නොලැඛෙන බවයි.) මෙවැනි රටවල් ඉතා ශක්තිමත් රාජ්‍යයන් වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ලෝකයා ඉදිරියේ පෙනී සිටිය ද, සති ගණනක් ඇතුළත පෙලගැසෙන සිදුවීම් මාලාවක් හරහා එම මහමේරුව පුස්සක්, ව්‍යාජයක් බවට පත් කිරීමට තරම් මහජන නැගිටීම් පොහොසත් විය හැකි බවත් මේ රටවල් අපට පෙන්වා දෙයි. එහි දී පාලකයන් විසින් ප්‍රචණ්ඩත්වය පාවිච්චි කෙරෙන තරමට, නැගිටීමත් ප්‍රචණ්ඩ විය හැකි අතර, අවසාන ප්‍රතිඵලය වන්නේ, පාලකයාට රටින් පලා යාමට හෝ හිරේ ලැගීමට හෝ මියයාමට බවත්, මේ රටවල් තුනේ ඉතිහාස කතාව අපට කියා දෙයි.

(අවරදිග ආවර්ජනා. රාවය. 2011.10.30)


ගාමිණී වියන්ගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails