Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රටේ මැතිවරණ ක්‍රියාවලිය, රජයේ සහ පෞද්ගලික මාධ්‍යය, රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය පමණක් නොව මෙතෙක් කල් යම් ස්වාධීනත්වයක් ආරක්ෂා කරගෙන සිටි අධිකරණයත් දේශපාලනීකරණයට ලක්කළ වර්තමාන ආණ්ඩුව, ව්‍යාපාරික ලෝකයත් තමන්ගේ පෞද්ගලික අණසක යටතට ගැනීමට ඉකුත් නොවැ. 9 දා පියවර ගත්තේය. ඒ අනුව, පාඩු ලබන ව්‍යාපාර වශයෙන් ආණ්ඩුව විසින් නම් කරන ලද ව්‍යාපාර දේපල තිස් ගණනක් රජයට පවරා ගැනීමේ පනතත් පාර්ලිමේන්තුවේ දී සම්මත කරගන්නා ලදි.

ජනසතු ව්‍යාපාරය යනු සමාජවාදය යැයි ගත් කාලයක් ලංකාවේ තිබුණි. පෞද්ගලීකරණය යනු ධනවාදය යැයි එවිට අර්ථකථනය කෙරුණි. ජනසතු ව්‍යාපාර වෙනුවෙන් පෙනී සිටියවුන් සමාජවාදීන් වූ අතර පෞද්ගලීකරණය වෙනුවෙන් පෙනී සිටියවුන් දක්ෂිණාංශිකයන් හෝ ධනපතියන් වශයෙන් සැළකුණි. 1956 බණ්ඩාරනායක ආණ්ඩුවෙන් දියත් කළ සාර්ථක ජනසතු ව්‍යාපාර කිහිපයක් හැරුණු කොට, පසු කලෙක ලංකාවේ සමාජවාදීන් බොහොමයක් ජනසතු ව්‍යාපාර දියත් කෙළේ පටු දේශපාලන පරමාර්ථ පෙරදැරිව බව පෙනේ. ඒ කෙතෙක් ද යත්, බුරියානි බත් කඩයක් වූ මරදානේ බුහාරි හෝටලයත් ජනතා සන්තකයට පත්කළ යුතු යැයි සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව තීරණය කෙළේය.

එක්සත් ජාතික පක්ෂය කවදත් පෙනී සිටියේ ජනසතුවට ප්‍රතිපක්ෂව, පෞද්ගලීකරණය වෙනුවෙනි. මෙය වඩාත් කැපී පෙනුණේ, 1977 දී බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙනි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා, රජයේ ලාබ ලබන හෝ ලාබ ලැබීමේ විභවයන් සහිත ආයතන එදා පෞද්ගලීකරණය කෙළේය. එනම්, ජනතාවට සෘජු වාසියක් සැලසුණු රජයේ ආයතන බොහොමයක් ව්‍යාපාරිකයන්ට ලාබ ඉපැයිය හැකි ඉල්ලම් කර ගැනීමට ධනපති පංතිය වෙත ඉතා අඩු මිළ ගණන්වලට භාර දුන්නේය. එසේ නොවන ඇතැම් අවස්ථාවක, ලාබ ලබමින් පැවති රජයේ ව්‍යාපාර තුළට මුලින්ම දේශපාලනික පරිපාලනය ඇතුළත් කොට ඒවා පාඩු ලබන ව්‍යාපාර බවට පත් කිරීමෙන් අනතුරුව, එම "අකාර්යක්ෂමතාව" සහ "අලාභය" අවසරයක් කර ගනිමින් එකී රජයේ ව්‍යාපාර පෞද්ගලික අංශයට පැවරුවේය. එම්. එච්. මොහොමඩ් ඇමතිවරයා යටතේ පැවති ලංකා ගමනාගමන මණ්ඩලය ඊට හොඳ උදාහරණයකි.

වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව අද කරන්නේ, පාඩු ලබන පෞද්ගලික ආයතන ජනතා අයිතියට පවරා ගැනීමයි. එය ද, ජේ. ආර්. ජයවර්ධනගේ දේශපාලනයට මොන විදිහකින්වත් දෙවෙනි නැත. මන්ද යත්, මෙසේ පවරා ගන්නේ පාඩු ලබන ආයතන නිසා, එකී පාඩුව මින් පසු ජනතාවගේ කර මතට පැටවීම සිදුවන බැවිනි. එනම්, මෙතෙක් කල් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ සාක්කුවෙන් පියැවූ පාඩුවක වියදමක් මින් පසු රටේ ජනතාවගේ සාක්කුවෙන් පියැවිය යුතු යැයි මේ ආණ්ඩුව තීරණය කොට ඇති බවයි. ලාබ ලබන ආයතන පෞද්ගලිකරණය කිරීම සේම, පාඩු ලබන ආයතන ජනතාකරණය කිරීමත් එකම මාදිලියේ ආර්ථීක කොල්ලයකි. ජනතා අයිතියකට අවශ්‍ය කරන්නේ, ලාබ ලබන ආයතන මිස පාඩු ලබන ආයතන නොවන බව මතුපිටින්වත් අප පිළිගන්නේ නම්, ජේ. ආර්. ජයවර්ධන සහ මහින්ද රාජපක්ෂ යන දෙන්නාම කොල්ලකාරී ධනවාදීන් වශයෙන් හඳුනා ගැනීමට කෙනෙකුට සිදුවෙයි. එක් කෙනෙක් එදා ලාභය පෞද්ගලීකරණය කෙළේය. අනෙක් කෙනා අද පාඩුව ජනසතු කරන්නේය.

ජේ. ආර්. ජයවර්ධනට සැබෑ ඒකාධිපතියෙකු වීමට කාලය මදි විය. අවුරුදු දොළහකින් යුත් වාර දෙකක් ඊට නොසෑහුණි. වැඩියත්ම, ඔහු නිර්මාණය කළ විධායක ජනාධිපති ක්‍රමය එදා ඉතා ළදරු මට්ටමක පැවති නිසා ඔහුගේ සිහිනය කුමක් වුවත් එය යථාවක් වුණේ නැත. මහින්ද රාජපක්ෂ යනු, ජේ. ආර්. ජයවර්ධනට වැරදුණු තැන් තමන්ට හැකි පමණින් හරිගස්සමින් සහ පිළිසකර කරමින් ඉදිරියට යන ටින්කර් රාජ්‍ය නායකයෙකු වශයෙන් හඳුනාගත යුතුව ඇත. එහෙත් මේ "හරි ගැස්සීම" කරන්නේ ජනතා සුභසිද්ධිය සඳහා නොව, රාජ්‍ය බලය තනි හස්තයක ස්ථාපිත කර ගැනීම සඳහා බවත් ඒ සමගම අප තේරුම්ගත යුතුය.

ජේ. ආර්. ජයවර්ධන තමන්ට අවශ්‍ය විනිශ්චයන් අධිකරණයෙන් ලබා ගැනීමට නොහැකි වූ විට එම විනිසුරන්ගේ ගෙවල්වලට ගල් ගැස්සුවේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එවැනි "ඔලමොට්ටල" වැඩ (දැනට) නොකරයි. ඒ වෙනුවට, විනිශ්චයකාරවරයෙකුගේ ඥාතියෙකුට [දරුවෙකුට, බිරියකට, සැමියෙකුට, ලේලියකට, බෑනෙකුට] රජයේ හෝ විදේශ සේවයේ ඉහළ තනතුරක් ප්‍රදානය කිරීම මොන තරම් "ශිෂ්ට සම්පන්න" ද? මොන තරම් ප්‍රතිඵලදායක ද? අගවිනිසුරුවරයෙකු විශ්‍රාම ගිය විට ඔහුව ජනාධිපති නීති උපදේශකයෙකු කර ගැනීම මොන තරම් "දූරදර්ශී" ද? අනිත් අතට, එවැනි වරදාන මාර්ග නොසෑහෙන විට, පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කොට තවත් හිටපු අගවිනිසුරුවරයෙකු අතීතයේ කළ වැරදි සම්බන්ධයෙන් විත්ති කූඩුවට නැංවිය හැකිය. (හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සම්බන්ධයෙන් මේ රටේ ශිෂ්ට සම්පන්න නීතිය සහ යුක්ති ධර්මය මීට කලින් ක්‍රියාත්මක නොවුණේ මන්ද යන්න, පාර්ලිමේන්තු දෝෂාභියෝග දෙකක් ඉදිරිපත්ව තිබියදීත් විවිධ අවසරයන් යටතේ ඔහු එදා නීතියෙන් 'නිරුපද්‍රිත' වුණේ කෙසේ ද යන්න ආපස්සට සොයාගෙන ගියොත්, නීතිය යනු කන්‍යාවකට වඩා වෛශ්‍යාවක් වශයෙන් හැසිරී ඇති බව පෙනී යනු ඇත. එය වෙනම කතාවකි.)

මෙවැනි අනියම් ක්‍රියාවන්ට අමතරව වර්තමාන ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන්මත් කළමනා සම්පාදනය කරයි. ජේ.ආර්. ජයවර්ධනගේ පාලනයේ තිබූ වඩාත් බරපතල නපුරක්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් යම් තාක් නිවැරදි කර ගැනීමට මීට කාලයකට පෙර මේ රටේ ප්‍රගතිශීලී ප්‍රජාව සමත් වූහ. මහින්ද රාජපක්ෂ එය ද ආපස්සට හැරෙව්වේය. ජේ.ආර්. ජයවර්ධනට ජනාධිපති පදවියේ වාර දෙකක් ඔහුගේ අධිකාරීවාදී සිහිනය සැබෑ කර ගැනීමට ප්‍රමාණවත් නොවුණු බව දැන සිටි වර්තමාන ජනාධිපතිවරයා කෙළේ, මුලින්ම ඒ වාර දෙකේ සීමාව කටුගා දැමීමයි. 17 කටුගා දමා ඇති කරගත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව, මුළු රාජ්‍යය පද්ධතියම අද වන විට ජනාධිපතිවරයාගේ නින්දගමක් බවට පත්ව ඇත. රාජ්‍ය තන්ත්‍රයේ සකලවිධ උසස් නිලතල ප්‍රදානය කරන්නා ඔහු ය. අවශ්‍ය වූ විට ඒවා ඉවත් කර ගැනීමට බලය ඇත්තේ ද ඔහුට පමණි.

ජනසතු කිරීම "සමාජවාදී" පියවරක් වශයෙන් සැළකීමේ වරදක් නැත. එහෙත් ඒ, එකී ජනසතුව රටේ ජනතාවගේ අභිවෘද්ධියට දායක වේ නම් පමණි. පෞද්ගලික ව්‍යාපාරිකයෙකු සන්තකයේ ඇති යම් වෙළඳාමක් හෝ වෙනත් සේවාවක්, පාඩු ලබන්නේ නම් එය ජනතා සන්තකයට පත්කිරීමේ අර්ථය කුමක් ද? එක පැත්තකින්, එම ව්‍යාපාරය වඩාත් සමාජ ලාභයක් අත්කරදෙන ලෙසින් ප්‍රතිව්‍යුහගත කිරීමක් තමන් අපේක්ෂා කරන බව, නිදහසට කාරණයක් වශයෙන් රජයට කිව හැකිය. එය බැලු බැල්මට වලංගු තර්කයකැ යි පෙනේ. එහෙත් තමන්ට ඒ සඳහා හැකියාව සහ නිපුණත්වය ඇතැ යි ආණ්ඩුව ප්‍රදර්ශනය කළ යුතුය. ඒ සම්බන්ධයෙන් රජයේ 'කැරැට්ටුව' කෙසේ ද? ඉතා කෙටියෙන් කිවහොත්, ප්‍රධාන ව්‍යාපාරික රාජ්‍ය ආයතන තුනක මසක පාඩුව රුපියල් බිලියන ගණන් ඉක්මවයි. ලේක්හවුස් ඇතුළු රජයේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවලින් පටන්ගෙන, ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව ආදී ප්‍රධාන පෙළේ සෑම රාජ්‍ය ආයතනයක්ම අර්ථවත් මට්ටමකට දියුණු කිරීමට මේ දක්වා ආණ්ඩුව අපොහොසත්ව සිටී. මේ සියළු ආයතන, එක්තරා කාලයක ප්‍රශස්ත ලාබ ලැබූ සාර්ථක රාජ්‍ය ව්‍යාපාරයන්ය. කලක් කෝටි ගණන් ලාබ ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සේවය දැන් කෝටි ගණන් පාඩු ලබද්දී, මිහින් ලංකා නමින් අළුත් ගුවන් සේවයක් ආරම්භ කොට තවත් කෝටි ගණනක පාඩුවක් මේ ආණ්ඩුව මාස්පතා ජනතාවගේ ණය බරට බැර කරයි. එසේ තිබිය දී, පාඩු පිට පවත්වාගෙන යන්නේ යැයි ආණ්ඩුවම කියන තවත් ව්‍යාපාර 37 ක බරත් අද පටන් ජනතාවට දරන්නැ යි ආණ්ඩුව කියද්දී පුරවැසියන් එය බාරගත යුත්තේ කෙසේ ද?

මහින්ද රාජපක්ෂ පාලනය බූවෙල්ලෙකු වැනි ය. අඩුපාඩු නැති තැනක් හොයාගන්නට නැත. අන්තර්ජාලයේ විද්‍යුත් අවකාශය, සාමාන්‍ය ආයතනයක් හෝ ගොඩනැගිල්ලක් වැනි කෙනෙකුට භෞතිකව ස්පර්ශ කළ හැකි තැනක් නොවෙතත්, එය පවා වර්තමාන ආණ්ඩුවේ අඬුපඬුවල ග්‍රහණයට යට වන්නේය. ඒ අන්තර්ජාල අවකාශය පවා තමන්ගේ පවුල් දේශපාලනයට අනුගත විය යුතු යැයි මේ ආණ්ඩුව විශ්වාස කරයි. නිදහසට කිසි තැනක නිදහසේ ඉන්නට ඉඩ නොදෙන ප්‍රතිපත්තියක් අද රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත්ව ඇති බව අපට පෙනේ.

අවාසනාව වන්නේ, රටක නායකයෙකු ප්‍රජාතන්ත්‍රවාදය පාවිච්චි කරමින් ඒකාධිපති අඩිපාරක ගමන් කරන අවස්ථාවේ දී එම ගමන ප්‍රජාතාන්ත්‍රීය මාර්ගවලින් අඩාල කිරීමට සහ අධෛර්යමත් කිරීමට උත්සාහ නොගන්නා හෝ එසේ උත්සාහ කොට අසමත් වන ජාතියකට, එම නායකයා ඒකාධිපති අඩිපාරේ සිට යම් දවසක අධිවේගී මාර්ගයට පිවිසීමෙන් පසු එය ආපසු හැරවීම සඳහා ප්‍රචණ්ඩකාරී මාර්ගවලට අවතීර්ණ වීමට සිදුවිය හැකි වීමයි. එය විනාශකාරී ප්‍රතිඵල ගෙන දිය හැකි බියකරු අනාගතයකි. විනාශයේ පරිමාණය අතින් ගත් කල, ලිබියාවේ ගඩාෆිගේ අද පුර්වාදර්ශය පවා එවැනි අනාගතයක දී ඛෙහෙවින් යල්පැන ගොස් තිඛෙනවා වන්නට පිළිවන. ගඩාෆි යනු, මහින්ද රාජපක්ෂ සමග සන්සන්දනය කරන විට ශාන්තුවරයෙකැ යි එවැනි දවසක කෙනෙකුට හැඟෙන්නටත් පිළිවන.

(අවරදිග ආවර්ජනා. රාවය. 2011.11.13)

ගාමිණී වියන්ගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails