Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මිනිසුන් සිනහ ගැන්වීම අසීරු කරුණකි. එහෙත් මිනිසුන් සිනාසෙති. ඔවුන් සිනා වෙන්නේ කුමක් සඳහා ද නොදැන ම සිනහසෙති. ඇතැම් අවස්ථාවන් හි දී හැඬිය යුතු නිමිත්තට ද සිනහසෙති. සිනහ වියයුතු නිමිත්තට හඬති. මේ හඬන්නෝ ද සිනහසෙන්නෝ ද අනෙකා දුකට පත්වූ මොහොතේ සිනහසෙන්නටත් අනෙකා සතුටට පත්වූ මොහොතේ හඬා වැළපෙන්නටත් දක්ෂයෝ වෙති. මෙහි උච්ඡත ම අවස්ථාව දක්නට ලැබුනේ ප්‍රභාකරන් සාධකය නන්දිකඩාල් කලපුවෙන් අවසන් කළ මොහොතේ ය.

මේ මොහොතේ ද පිරිසක් සිනහසෙන අතර තවත් පිරිසක් වැළපෙති. වැළපෙන්නෝ ද සිනහසෙන්නෝ ද අතීතයේ එක් මොහොතක අනෙක් සියලු දෙනාට සිනාසුනු අය ම වෙති. අද ඔවුන් තමන්ගේ ම අනෙකාට සිනහ වෙති. හුදී ජනයා ද පසෙකට වී මේ සියල්ල දෙස බලා සිනහසෙති. නමුත් මේ කිසිවකු තමන් සිනාසෙන්නේ තමන්ට ම බව නොදනිති.

එජාපයේ එක් පිරිසක් ඔවුන් ගේ ම තවත් පිරිසක් විහිළුවට ලක් කරන අතර ඉන් පරිබාහිර වැසියෝ මේ දෙපාර්ශවයට ම සිනාසෙති. ජවිපෙ ද තමන්ගේ ම පිරිසක් විහිළුවට ලක් කරන (දෙපාර්ශවය වෙන වෙන ම) අතර ඉන් පරිබාහිර වැසියෝ මේ දෙපාර්ශවයට ම සිනාසෙති. මේ සිනාසෙන කිසිවකු තමන් සිනාසෙන්නේ තමන්ට ම බව අවබෝධ කොට නොගැනීම, හදවතින් වැළපෙමින් මතුපිටින් සිනාසෙන සියලු දනන්ගේ අවාසනාව ය. එමෙන් ම එය මහත් ඛේදජනක තත්ත්වයකි.

2011 නොවැ. මස 13 වන දින සැමරෙන්නේ රෝහණ විජේවීර සොයුරාගේ 22 වන ගුණ සැමරුම යි. මෙරට පීඩිත, තැලෙන පොඩිවන ජනතාව කෙතරම් ඛේදජනක ඉරණමකට මුහුණ පා ඇද්දැයි වැටහෙන්නේ එක ම පක්ෂයක දෙපිරිසක් එක ම දිනක දෙතැනක රෝහණ විජේවීර සොයුරා සැමරීම ය. ජනතාව ඒකරාශී කරනවා වෙනුවට ජනතාව බෙදා වෙන්කිරීමට වමේ පක්ෂ ද තම ඍජු දායකත්වය සැපයීම ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කරමින්, දේපළ අහිමි කර ගනිමින්, තම දෙමාපියන් සොයුරු සොයුරියන් වැඩිහිටියන් ඥාතීන් අහිමි කර ගනිමින් දේශපාලනයේ නියැලි සහ නියැලෙමින් සිටින සියලු දනන් හට කරනු ලබන්නා වූ ඉහළ ම අවමානය යි. රෝහණ විජේවීර සොයුරා වෙත කරනු ලබන ඉහළ ම අවමානය යි.

වමේ බලවේගයේ අභිමානය සුරැකි විජේවීර සොයුරාගේ රුව මුද්‍රිත එක් පෝස්ටරයක් වසා ඔහුගේ ම රුව මුද්‍රිත තවත් පෝස්ටරයක් කලින් ඇලවූ පෝස්ටරය මත අලවන්නට තරම් මුග්ධභාවයට පත්වන්නට ජවිපෙට සිදු වූයේ කුමක් නිසා ද? ඒ ජවිපෙ පැවති සහ අදත් පවතින ඒකමතික, අත්තනෝමතික තීන්දු තීරණ හේතුවෙනි. ඉතිහාසයේ සිට ජවිපෙ තම දේශපාලන සතුරා සහ මිතුරා වෙන් කොට හඳුනා ගැනීමට අසමත් විය. මතුවට ද එය වෙනස් නොවන බව සහතික ය.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී විවිධ පුවත් පත් හරහා කරලියට පැමිණි "ඕපාත" සොයුරා මෙම ලියුම්කරු හඳුනාගන්නේ 1987 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ජවිපෙ ගෙන ගිය විරෝධතාව අවස්ථාවේ දී ය. එතැන් සිට ලියුම්කරු ජවිපෙ සමඟ කළ සියලු ගනුදෙනු සිදුවන්නේ එම සොයුරා හරහා වන අතර එදා ඔහු අප ඉදිරියේ පෙනී සිටියේ වෙනත් නමකිනි. අනතුරුව 1989 දී අප වෙත පැමිණි දරුණු මර්දනය හමුවේ මෙම සොහොයුරා ද අස්ථාන ගත විය. දහස් ගණනක් සොයුරු සොයුරියන් අතුරුදන් වූ, ගංගා ඇළ දොළවල මළකඳන් පාවූ, ලේ වැගිරෙන මිනිස් හිස්, හිස් තැඹිලි කෝම්බ සේ තැන තැන වැට ඉනි මුදුනේ ප්‍රදර්ශනය වෙද්දී මේ සොයුරා පිළිබඳව තිබූ බලාපොරොත්තු ද අප වෙතින් කෙමෙන් කෙමෙන් ගිලහී ගියේ ය. මෙම ලියුම්කරු ද විවිධ වධ බන්ධනයන්ට ලක්ව කුමක්දෝ හේතුවකින් නැවතත් මේ සමාජයේ පය ගසා ඉන්නට වරම් ලැබීය.

අනතුරුව 1992 - 93 පමණ වන විට මොහු ලියුම්කරුට හමුවිය. එතැන් සිට වරින් වර ඔහු හා එක්ව පක්ෂයේ කටයුතු සඳහා දායක විය. නැවතත් මාස කිහිපයක් අතුරුදන්ව සිටි මොහු අහම්බෙන් මෙන් මෙම ලියුම්කරුට මුණ ගැසුණි. ඒ 1994 මහ මැතිවරණය ආසන්නයේ දී ය. මෙම මැතිවරණයට අප පක්ෂය මල්බඳුන ලකුණින් ඉදිරිපත්වන බව මෙම සහෝදරයා පවසද්දී මෙම ලියුම්කරු විශ්මයට පත්විය. එහෙත් ඉහළින් ලැබෙන අණ පිළිපැදීම හැර අන් කිසිවක් නොකිරිමට වගබලාගෙන සිටි ලියුම්කරු එතැන් සිට 1997 පළාත්පාලන මැතිවරණය දක්වා පක්ෂයේ කටයුතු සඳහා දායක විය. නමුත් ඒ හිතට එකඟව නොවේ. විවිධ පුද්ගලයන් සමග පක්ෂයේ කටයුතුවල නියැලුන ද කිසියම් ගැටලුවක් මතු වු මොහොතේ ඒ පිළිබඳව කතා බහ කළේ මෙම සොහොයුරා සමග පමණි. මෙම ප්‍රශ්න කිරීම් ඔහුට ගැටලුවක් විය. ඔහු ලියුම්කරු දෙස පමණක් නොව එබඳු අදහස් දැක්වූ සියලු සොයුරු සොයුරියන් දෙස සැකයෙන් බලන්නට විය. ලියුම්කරු අතුළු තවත් සොයුරු සොයුරියන් පක්ෂයේ හතුරන් ලෙස සලකන්නට විය.

මේ සියල්ල පවසන්නට සිදු වූයේ එදා එම සොහොයුරා සමඟ ලියුම්කරු ඇතුළු අනෙක් සොයුරු සොයුරියන් වාද කළේ වමල් විරවංශ ඇතුළු එබඳු ම වු තවත් සගයන් පිළිබඳව ය. අද ඔහු මතු කරන ප්‍රශ්න පිළිබඳව ය. අද ඔහු දෙන පිළිතුරු ලියුම්කරු ඇතුළු තවත් සගයින්ගේ ප්‍රශ්න බවට පත්ව තිබූ බැවිනි. එහෙත් දෛවයේ සරදමක් ලෙස අද ඔහු මතු කරන්නේ ද අද ඔහු පිළිතුරු සපයන්නේ ද එදා අප ඔහුගෙන් විමසු ප්‍රශ්න සහ ඒ සඳහා අප ඔහුට යොමු කළ පිළිතුරු ම ය.

දැන් නැවතත් ලිපියේ ආරම්භය වෙත යොමු වෙමු. එදා ඔවුන් අප විහිළුවට ලක් කළෝ ය. අපට අපහාස කළෝ ය. අප කොන් කළෝ ය. එහෙත් කිසිදු මොහොතක අප මිතුරු ප්‍රතිවිරෝධයක් මිස සතුරු ප්‍රතිවිරෝධයක් නොදැක් වුහ. එහෙත් ඔවුන් එළඹෙන සෑම මොහොතක ම අප පිටුවහල් කළෝ ය. ඉඳින් සොයුර, සොයුරිය අද අප කුමක් කරන්න ද? සිනහසෙන්න ද? හඬන්න ද? නැත. වර්තමාන තත්ත්වය හමුවේ සිනහසෙන්නට තරම් අප මුග්ධ නැත. එමෙන්ම හඬා වැටෙන්නට තරම් ලද බොළඳ ද නැත. පසෙකට වී බලා සිටින්න ද සූදානම් නැත. එසේ නම් කළ යුත්තේ කුමක් ද?

තව දුරටත් පක්ෂය තුළ පවත්නා වැඩවසම්, පරවේණි ගති ලක්ෂණ ඉවත් කිරිම සඳහා දායක වීම ය. වසර එකොළහක් තිස්සේ බලාපොරොත්තු වූ සමාජය බිහි කිරිම සඳහා දායක වීම ය. ජනතාව වෙනුවෙන් යැයි සිතා 1983 සිට වර්තමානය දක්වා ජවිපෙ වෙනුවෙන් කළ කැපවීම සැබෑ ලෙස ම ජනතාව වෙනුවෙන් කැපකිරිම සඳහා දායක වීම ය. දැන් එය එසේ කළ හැකි ද? සැබවින් ම එබඳු වාතාවරණයකට මේ මොහොතේ ද ඉඩකඩක් නොමැත. ඒ මන්ද යත් වැඩවසම් මානසිකත්වය අත්හැරීමට වෙන් වු කණ්ඩායමට ද නොහැකි වී ඇති හෙයිනි. ඒ සඳහා ආසන්නතම උදාහරණය මෙන්න.

පසුගිය දින කීපයේ දී වෙන් වු කණ්ඩායම දිවයින පුරා පැවැත්වූ "රෝහණ විජේවිරයන්ගේ අප රක්නා උරුමය" නමැති මාතාකාව ද වැඩවසම් වීම ය. "රෝහණ විජේවීර සහෝදරයා" වෙනුවට ඔවුන් එතැනට ආදේශ කරන්නේ "රෝහණ විජේවීරයන්" ය. "රෝහණ විජේවීරයන්" අපට අනවැසිය. අවැසි වන්නේ "රෝහණ විජේවීර සොහොයුරා" ය. ඒ "විප්ලවවාදී සහෘදයා" ය.

ඉතින් සබඳ වෙන් වී ඇරඹි ගමන වෙනස් වී ගමන් කරමු. වෙනස් නොවේ නම් වෙන්වීමෙන් කුමන ඵලයක් ද?

ජයසිරි අලවත්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails