Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"ස්වර්ණා මිසී කිව්වා අද මහත්තයගෙ උපන් දිනේ කියලා ඉතින් ඇයි මේ තාම කන්තොරුවෙ ? අද ගෙදර පාටියක් එහෙම නැතෑ ? " අජිත් ඇහුවම මට හිනා ගියා.

"අපිට මොන පාටි ද අජිත් ?"

"ඇත්තටම දැන් මහත්තයගෙ වයස කීයද... තිස් පහක්, තිස් හතක් විතර ? " මට ආයෙමත් හිනා ගියා.

"මට තිස් පහයි මීට අවුරුදු දහයකට කලින් නම් "

"අපෝ මහත්තයට හතලිහකට වඩා නං පේන්නෙ නැහැ, කොහොම හරි, හැපී බර්ත් ඩේ කියලා අපිත් කියනවා ඔන්න " අජිත් කිව්වෙ හිනා වෙලා.

අජිත් අපේ ඔෆිස් එකට ලඟදි ආපු සිකුරිටි ගාඩ්. වයස විසි දෙකයි. තාම ඇවිත් මාසය යි වුණාට අපි හැමෝමත් එක්ක හොඳට යාලු යි. මිනිහා ටිකක් කලබල කාරයෙක් වුනත් පිලිවෙලයි. හොඳයි. අජිත් ගාව ඉන්නකොට මගෙ වයස මට දැනෙනව. මිනිහගෙ ඇඟෙන් තරුණකම බේරෙනවා. සමහර වෙලාවට මට මගෙ ඇහැ මිනිහා පැත්තට යනවා වැඩිදෝ කියලත් හිතෙනවා. ඉස්සර මගෙ උපන් දිනේ එනකං මං ආසාවෙන් බලං හිටියත්, තව දුරටත් ඒක ඒ විදියටම සිද්දවෙන්නෙ නැහැ. ඒක හරියට අවුරුදු හතලිස් හතරක් තිස්සෙ මම හැතැම්ම කණු හතලිස් හතරක් පහු කළා වගේ. ඒක ආයෙමත් හැරිලා යන්න බැරි වන් වේ පාරක්. ඈතින් පේන්නෙත් පාලු හිස් කමක්.

"මහත්තයා හැමදාම පරක්කු වෙලානෙ කන්තෝරුවෙන් යන්නෙ, ඉතින් අද වගේ දවසකවත් ඇයි ටිකක් කලින් නොයන්නෙ ? "
ඒ වගේ ප්‍රශ්නෙකට පොඩියට හිනා වෙනවා ඇර මම වෙන මොනවා කරන්නද? ඔව් මම හැමදාම පරක්කු වෙලා තමා කන්තෝරුවෙන් යන්නෙ . අනිත් අයට වඩා පැය ගානක් මම වැඩ කරනවා. ඒකෙන් කියන්නෙ නෑ මං මේ කම්පියුටර්, කඩදාසි මිටිත් එක්ක වැඩ කරන්න හුගාක් කැමතියි කියලා. වේලාසනින් මං මගෙ පාලු කාමරේට ගිහින් මොනව කරන්නද? ලා අන්දකාරෙත් එක්ක මම එලියට බහිනකොට අජිත් දොර ගාවට වෙලා බලං හිටියා. ඔරලොසුවෙ කටු කිව්වෙ වෙලාව හතයි කියලා. මට හතයි හතලිස් තුනේ කෝච්චිය අල්ලගන්න පුලුවන්. බස් එකේ මට කොච්චියට වඩා කලින් ගෙදර ගියෑකි. ඒත් මොකටද ?

ඉස්ටේසමේ පඩි නගිද්දි මට මහන්සියක් දැනුනා. ඒ මහන්සිය එන්නෙ ඇතුලෙන්. ටිකට් කවුන්ටරේ හිටිය මිනිහගෙ මූණෙ තිබුනෙත් මුලු දුම්රිය දෙපාර්තුමෙන්තුවෙම බර මිනිහට දීල වගේ පෙනුමක්. ජීවිත කාලයක් පුරා ටිකට් විකුණමින් හිටපු හින්දදෝ මිනිහා මං දිහා බැලුවෙ හරියට මං මිනිහගෙ ඇඟේ කොටසක් ඉල්ලුවා වගේ බැල්මකින්. මම ටිකට් එක අරන් ෆ්ලැට්ෆෝම් එකට ආවා. මුලු දවස තිස්සෙ වැස්ස හින්ද ලා සීතල ගතියකුයි තිබුනෙ. ලයිට් පත්තු උනේ මූසල පාන්ඩු පාටකට. හෝදන් යනවට දාපු ගල් කුට්ටි වල මූදු රැල්ල හැප්පෙන මහා ගෝසාව ඇරෙන්න තිබුනෙ නිස්සද්ද කමක්. හුළඟෙ ලුණු රහ මට දැනුනා.

වටේ පිටේ මිනිස්සු ටික දෙනයි හිටියෙ. සමහරු හිටගෙන. සමහරු ඉඳගෙන. මමත් බංකුවක වාඩි වෙලා කෝච්චිය එනකං ඇස් ලොකු කරං බලාගෙන ඉන්න මිනිස්සු දිහා බැලුවා. ඒ හැම මූණකම වගේ එදා දවසෙ මහන්සිය, ගෙදර යාමේ හදිස්සිය තැවරිලා. ඉස්කෝලෙ ඇඳුමෙන් හිටපු කොල්ලො දෙන්නෙක්ගෙ මූණු වලින් මහන්සිය වැක්කෙරෙනවා. එවුං හවස පංති ඇරිලද කොහෙද. වෙනස් වෙනස් මූණු වල වෙනස් වෙනස් විදි වලට හීන් දුකක් , මහන්සියක් ගෑවිලා. ඒත් තමන්ගෙ පොඩි එවුන් දෙන්න එක්ක වාඩි වෙලා හිටපු මනුස්සයගෙ මූණෙ මහන්සිය අමතක කරපු ආඩම්බර හිනාවක් පිපිල තිබුනා. අවුරුදු දොළහක් දහතුනක් විතර පේන ලොකු කොලුවා එදා සෙල්ලම් කරපු ක්‍රිකට් මැච් එකක තොරතුරු තොරතෝංචියක් නැතුව කියවමින් හිටියා. කොල්ලට තිබුනෙ තාත්තගෙ මූණුවර. ඒ තාත්තගෙ හිනාව මට නෑ. මේ හැම මූණක්ම ගෙදර ගියාම වෙනස්වෙයි. අම්මලා තාත්තලා, ගෑනු, දරුවො නිසා එයාලගෙ දවසෙ මහන්සිය නැතිවෙනවා ඇති. මගෙ පාලු ගෙදර විතරයි නේද මං එනකං බලාගෙන ඉන්නෙ කියලා හිතෙනකොට දැනෙනෙ හැගීම .... ඒක පතුලක් නැති එකක්..

තුනී වේගෙන යන කොන්ඩයක් තියන, D I බෑග් එකක් ගත්තු, රජයේ සේවකයෙක් කියන එක මුලු සරුවාන්ගෙන් ම පේන, මගෙ වයසෙම වගෙ මනුස්සයෙක් ෆ්ලැට්ෆෝම් එකේ අන්දකාර පැත්තෙ ඉඳලා ආවා. මිනිහා මගෙ වයසෙ ම වගේ වුනත් මට වයසට වඩා තරුණ පෙනුමක් තියනවා කියන හැගීම සතුටක් . මිනිහා ෆැලැට්ෆෝම් එක දිගේ ඇවිදන් එන ගමන් හැම කෙනාම දිහා හුඟක් උනන්දුවෙන් බැලුවෙ කාවහරි හොයනවා වගේ. මම ඒ බැල්ම අඳුනනවා. මං දන්නවා එයා මොනවද හොයන්නෙ කියලා. එයා හොයපු කෙනා මුණගැහුනෙ නැතුවම මිනිහා සෙනඟ අතරින් ෆැලැට්ෆෝම් එකේ අනිත් පැත්තෙ අන්දකාරෙ අතුරුදන් වුනා. මං දන්නවා ඒ අන්දකාරෙ ගැන, ඒ අන්දකාරෙ ඇතුලෙ වෙන දේවල් ගැන. ෆැලැට්ෆෝම් එකේ කෙලවර තියන අන්දකාරෙට මමත් ගිහින් තියනවා, ආලෝකෙ තියන පැත්තට වැඩිය එතන වෙන්නෙ වෙනස් දේවල්, ඒ අන්දකාරෙ එක විදියකට ටිකක් ආරක්ෂාකාරියි.

මම බංකුවෙ ටිකක් පහසු ඉරියව්වකට මාරු වෙලා මුලු අවදානෙම දීලා සිල්පර කොටන් ගනින්න පටන් ගත්තා. ෆ්ලැට් ෆෝම් එකේ කෙරවලෙන් අලුතෙන් මතුවෙච්ච මිනිහ දකිනකන් විතරයි මගෙ අවදානෙ ඒ වැඩේට දෙන්න පුලුවන් වුනේ. කලින් ගිය ආණ්ඩුවෙ රස්සාව කරන පෙනුමක් තියන කෙනාට වඩා මෙයා හාත්පසින්ම වෙනස්. තරුණයි. කෙට්ටුයි. පහයි හතක්, පහයි අටක් විතර උසයි. ඒ හම චොකලට් පාටට කිට්ටු ලස්සන දුඹුරු පාට නිරෝගී එකක්. ඇඟ පත හොඳට හැදිලා. හිර ඇඟටම කැපෙන කලු ටී ෂර්ට් එකකුයි ඩෙනිමකුයි ඇඳලා හිටියට මිනිහා දාල තිබුණෙ කකුලට ලොකු ස්පෝර්ට් සපත්තු දෙකක්. හොඳට රැවුල බාලා, යටි තොල යටින් විතරක් චූටි රැවුලක් ඉතුරු කරලා මේ දවස් වල මෝස්තරේට. කොල්ලට වැඩි වයසක් පෙනුනෙ නෑ, විසි ගණන් වල මුල හරියෙ වගේ ඇති කියලයි මට හිතෙන්නෙ. වම් අතේ කලු නූල් මහ ගොඩක් බැඳලා, ඒ මදිවට බලු දම් වැලක් විතර මහත රිදී පාට බ්‍රේස්ලට් එකකුත් දාලා, ඒ පාටටම තරමක මුද්දකුත් දාලා. හොඳ ගනකම්, ලාවට ක්‍රේල්, ජෙල් කරපු , දිලිසෙන කොන්ඩෙට තමා මගෙ ඇහැ වැඩිපුර ගියෙ. මිනිහා හැබෑවටම ලස්සනයි. එයත් ආවෙ ටිකක් උනන්දුවෙන් වටපිට බල බල. එයා හොයන්නෙත් අර කලින් ගියආණ්ඩුවෙ රස්සාව කරන පෙනුමක් තියන කෙනා හොයපු දේම ද කියලා මට පොඩි පුදුමයක් හිතුනා. මිනිස්සු අස්සෙන් අස්සෙන් ඇවිත් මිනිහගෙ බැල්ම එක පාරටම මං දිහාට ආවා. ඒ බැල්ම මාව පහු කරගෙන ගිහින් ආයෙමත් ඇවිත් මගෙ ඇස්වල පැටලුනා. එයාගෙ තොල් වල ලා හිනාවක් තැවරිලා. මගෙ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙනවා. එයා මං දිහා බලාගෙනම ඉස්සරහට ආවා. මාව පහු කරං යනකොටත් මං දිහා පැත්තට බැලුවා. අන්දකාරෙ පැත්තට යන ගමන් පිටිපස්ස හැරිලත් බැලුවෙ මගෙ දිහා. මගෙ මුලු ආත්මෙටම දරුණු විදියට ඕනෙ වුනේ ෆ්ලැට්ෆෝම් එකේ අන්දකාර පැත්තට යන ඒ කොල්ලව ෆලෝ කරන්න. සෑහෙන කාලෙකින් මම ඒ පැත්තට ගිහින් තිබුනෙ නෑ. ඒක අමුතු විදියෙ තැනක්, බලාපොරොතු පුරෝගෙන ගියත් ගොඩක් වෙලාවට වෙන්නෙ ඒ බලාපොරොත්තු කඩ වෙන එක. ඒත් මගෙ ඇස් ඉස්සරහින් මේ දැන් ලිස්සල ගිය ඒ අපූරු කොලුවා ගැන හිතනකොට, මට තව දුරටත් මොකවත් දැක්කෙ නැහැ වගේ මෙහෙම වාඩි වෙලා ඉන්න පුලුවන් කමක් නැහැ. මං ඒ අවදානම ගන්නවා. මට එයාව ළඟට බලන්න ඕනෙ. ඒ ඕනෙ කම මට ම නතර කරගන්න බෑ.

මම බංකුවෙන් නැගිටල හෙමින්, පුලුවන් තරම් ස්වභාවික විදියට අන්දකාරෙ පැත්තට ඇවිද්දා. කොයි තරම් පාරක් ඒ අන්දකාරෙට ගිහින් තිබුනත්, ඊ ළඟට යන වතාවෙ මට දැනෙන්නෙ බයක්. මං මහ මෝඩයෙක් වගේ මට ඒ වෙලාවට දැනෙන්න ගන්නවා. මට හිතෙනවා හැමෝම මං දිහා බලන් ඉන්නවා, හැමෝම ඇයි මං එතනට යන්නෙ කියන එක දන්නවා කියලා. ඒ එක්කම මට ඉක්මන් වෙන්නත් සිද්ද වෙනවා. මොකද එයා දිහා අන්දකාරෙ ඇතුලෙ තව ගොඩක් ඇස් බලන් ඉන්න බවත් මං දන්න නිසා. දවසෙම වැහැලා වළාකුලු ටික ඉවර කර ගත්තු අහසෙ තැන් තැන් වල තරු දිලිසෙන්න පටන් අරන්. ඒත් හඳ නෑ. අන්දකාරෙ හෙවණැලි. තැන් තැන් වල රතු පාට එළි තිත්. ඒ පත්තු වෙන සිගරට් අගිසි. ඒ රතු එළි තිත් සමහරක් තනියෙන්, සමහරක් දෙක තුන එක ළඟ. සමහරක් අවතාර වගේ එහාට මෙහාට හෙමීන් ඇදෙනවා. අන්දකාරෙට ආවට පස්සෙ මට මොකක්දෝ ආරක්ෂාවක් දැනෙනවා. කළුවරේ කිසි කෙනෙක්ගෙ මූණු පේන්නෙ නෑ. මං හොයපු කෙනා කොහෙද කියලා උවමනාවෙන් වටපිට බැලුවත් මට හොයා ගන්න බැරි වුණා. ටිකකින් වේගෙන් ගිය කෝච්චියක එළියට අන්දකාර කොටස තත්පරේකට එළිය වුණා. මිනිහා හිටියා. දෙය්යන්ට පින් සිද්ද වෙන්න මිනිහා තවමත් හිටියෙ තනියම. ගොදුර දැකපු තවත් එවුං ඉන්න බව දැක්ක නිසා මම අඩියට දෙකට ගිහින් එයා ගාවින් හිට ගත්තා. ඊළඟට ඒ දරන්න බැරි අතීරණේ නිස්සද්ද තප්පරේ. මිනිහා හෙලවුනා. හෙමිහිට අඩියක් දෙකක් ඉස්සරහට ගිහින් ආයෙමත් ඇවිත් මගෙ වටේ රවුමක් ඇවිදලා මගෙ පැත්තකින් හිට ගත්තා. එයාගෙ අත මගෙ අතේ ගෑවෙන නොගෑවෙන තරං. ආයෙමත් මගෙ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙනවා.

"අපි අර පැත්තට යං" එයා කෙඳිරුවා.

ඒ අත දික්වුණේ හෝදං යනවට කලුගල් දාපු වෙරළ පැත්තට. කළුවර නිසා මට ඒ මූණ කියවන්න බෑ. ඒත් ඒ හඬ උද්යෝගිමත්. ඕනෑවටත් වඩා උද්යෝගිමත්. මිනිහා දවස ගානෙ එන, වැඩේ ඉවර වුනාම සල්ලි ඉල්ලන එකෙක්ද කියලත් මට හීන් බයක් ආවා.
"මොකටද?" මං ඇහුවා.

"වෙන මොකටද ඉතිං ? " කරදර කටහඬකින් එයා උත්තර දුන්නා.

"මොකද මෙතෙන්ට ආවෙ?" ආයෙ මිනිහ අහද්දි මම නිස්සද්දව හිටියා. ඒකා එක පාරටම මගෙ අත අරගෙන ඒකගෙ කලිසම උඩින් තියලා තද කලා.

"බලන්න නියම ආතල් එකක් ගත්තැකි". මාව ගැස්සුනා. ඒ අත සීතලයි. මං මගෙ අත ඇදලා ගත්තා. මට තේරුණා මේක තනියෙන් යන්න තියන ගමනක් කියලා. අනික මේක වෙනින් දවසක් නෙමේ. අද මගෙ උපන් දිනේ.

"මට බෑ වගේ..." මම යන්න හැරුනෙ හිනාවකුත් එක්ක. ඒත් පපුව ඇතුලෙ මොකද්දෝ දුකක් උනමින් තිබුනා.

"පස්සෙ අපරාදෙ කියලා හිතෙයි, නියම ආතල් එකක් ඔයා අතාරින්නෙ..." මිනිහා ආයෙමත් කෙඳිරුවා. මං ඔහේ එළිය තියන පැත්තට ඇවිදන් ගියා.

"චුට්ටක් ඉන්නකො", මගෙ උපන් දින තෑග්ග කිව්වම ආයෙමත් මගෙ කකුල් නැවතුනා. මිනිහා ඇවිදන් ආවා.

" තියේනං රුපියල් පනහක් විතර ගන්න බැරි වෙයිද ? " එයා කෙඳිරුවා.

"ඒ මොකටද? " ටික වෙලාවක් මිනිහා අහක බලන් හිටියෙ ලැජ්ජවෙන් වගේ.

"අංකල්........ , මම දවල්ටත් කාලා නෑ, බඩගිනියි.. පොඩි උදව්වක් කරන්න.." මිනිහගෙ හඬ හීන් වෙලා. මං හිතුවා හරි, මිනිහා සල්ලි වලට එන එකෙක්. ඇඳුමෙන් පැළඳුමෙන් එයා කියන තරං දරුණු අහේනියක් මට පෙනුනෙ නෑ. කුඩු ගහන්න සල්ලි හොයනවා වෙන්නත් බැරි නෑ. ඒත් මට පුංචි කණගාටුවකුත් ඇති වුණා. ඒ මගෙ හැටි. මිනිහා ඇත්ත කියනවා වෙන්නත් බැරි නෑ.

"හරි දවල්ටත් කාලා නෑනෙ, මං රෑ කෑම අරන් දෙන්නං "

"න්.. න්.. නෑ.. නෑ.. එපා.. එපා.. මට ඔයාට කරදර කරන්න ඕනෙ නෑ...." ඒ කටහඬේ දෙගිඩියාවක් තිබුණා.

"මොන කරදරයක්ද අයිසෙ? මාත් රෑට කෑවෙ නෑ තාම.. එන්න යං." මිනිහා කල් මැරුවා..

"එනවද? " මං ආයෙත් ඇහුවා. මං යන්න පිටත් වුනාම මිනිහා ආවෙ මට අඩියක් පිටිපස්සෙන්. ඉස්ටේසමෙන් එලියට ඇවිත් පාරෙන් එහා පැත්තෙ හොටලේ මේසෙ මගෙත් එක්ක වාඩි වුනත් එයා වචනයක් වත් කිව්වෙ නැහැ.

"නම මොකක්ද?"

"අමිල"

"මොනවද කන්නෙ, බුරියානි? " මගෙ කටහඬ මොලොක්.

"හා" මිනිහා හිනා වෙලා කියලා ආයෙමත් ලොකුවට හිනා වුනා. හිටගෙන හිටපු වයසක පහේ වේටර්ට මම බුරියානි ගේන්න කිව්වා.
" එපා මං , විහිලුවට කිව්වෙ එච්චර ගණන් දෙයක් එපා, "

"පරක්කු වැඩියි දැන් ඔඩර් කරල ඉවරයි "

කෑම එනකං අපි නිස්සද්දව වාඩි වෙලා හිටියා, මොනවද අහන්නෙ කියලා මගෙ ඔලුවට ආවෙ නෑ. කන ගමන් ඔලුව උස්සලා අමිල මං දිහා උවමනාවෙන් බැලුවා.

" ඇයි අය්යෙ ඔයා මේක කරන්නෙ? .... මං කිව්වෙ ඇයි මට කෑම අරං දෙන්න හිතුවෙ.... ? එක පාරටම අංකල් අය්යා වෙලා. මං ඔහේ කල්පනා කලා. සමහර විට බඩ පිරෙනකොට දේවල් වෙනස් වෙලා පේනව ඇති.
"අය්ය හිතනවද දන්නෙ නෑ මාත් හිඟන්නෙක් කියලා? "

"නෑ අද මගෙ උපන් දිනේ, ඉතිං මං හිතා ගන්නං මේ මගෙ උපන් දින පාටිය කියලා. මෙහෙම සංග්‍රහයක් වත් කරන්න මට කවුරුවත් නෑ.."

" හැපී බර්ත් ඩේ අය්යෙ...." කන ගමන්ම අමිල මේසෙට උඩින් එයාගෙ වම් අත දික් කලා. මටත් දෙන්න උනේ මගෙ වම් අත.

"ඇයි ගෙදර අය? අය්යා බැඳලා නැද්ද?

"නෑ"

"අය්යට දැන් වයස කීයද? "

"හතලිස් පහයි අදට... "

"හතලිහකට වඩා නං පේන්නෑ "

"මං දන්නවා ඒක, ඔයාට කීයද?"

"විස්සයි" මං මේ කොල්ලට වඩා දෙගුණෙකටත් වැඩිය වැඩිමල්.

"ඉතිං ඇයි බඳින්නෙ නැත්තෙ?"

"මට ඕනෙ නැති නිසා..." ඒක කාලාන්තරක් තිස්සෙ ගොඩක් අය මගෙන් අහන් ප්‍රශ්නයක්. ඇත්තටම බලුවොත් මගෙන් වැඩිපුරම එක එක අය අහලා තියන ප්‍රශ්නෙ ඕක වෙන්න ඇති. හැබැයි හතලිහ පැන්නට පස්සෙ ඒ ප්‍රශ්නෙ අහන එක ටික ටික අඩු වෙනවා.

"අම්මෝ මං නං බඳිනවා.. මං මේක කරන්නෙ නිකන් ජොලියට .. කාටද ඕනෙ නාකි උනාම........................." අමිල කියෝගෙන කියෝගෙන ගිහින් එක පාරටම නැවැත්තුවා.

"මං වගේ වෙන්න? " මං ඇහුවෙ පොඩි හිනාවකුත් එක්ක.

"නෑ.. නෑ.. මං කිව්වෙ මට ඒක කෙල්ලොත් එක්කත් කරන්න පුලුවන්.... අනික මං කැමති එහෙමයි... ජොලියට මිනිස්සුත් එක්ක ගියාට.... මේ මගෙ කෙල්ල...." අමිල දඩි බිඩියෙ පර්ස් එක ඇදලා පින්තූරයක් පෙන්නුවා. පින්තූරෙ හිටියෙ අවුරුදු දාහතරක පහළවක හුරු බුහුටි කෙල්ලෙක්.

" ඔයා මිනිස්සුත් එක්කත් යනවා කියලා එයා දන්නවද?" මං ඇහුවෙ හීන් හිනාවකින්.

"ආපෝ... න්න්නෑ.. නෑ...."අමිල උත්තර දුන්නෙ ඇස් ලොකු කරලා.

"කෙල්ලෙක්ව ඇඳට ගන්න අමාරුයි අය්යෙ... අනික මං මේක දිගටම කරන්නෙත් නෑ..."

"ඔයා ඔය කියන ජොලියට විතරක්ම නෙමේනෙ මිනිස්සුත් එක්ක ඕක කරන්නෙ.. ඒකෙන් සල්ලිත් හොයනවනෙ.... ?" මිනිහා මූණ හිස් කරන් ඇස් ලොකු කරන් මගෙ දිහා බැලුවා.

"මෙහෙමයි.... මගෙ එකෙන් එයාලත් ආතල් ගන්නවනෙ.... මං එයාලව පාවිච්චි කරනවා... එයාලා මට සල්ලි දෙනවා..". මට හිනා ගියා.

"එහෙමද? ඔයා කරනවා වගේම එයාලත් ඔයාව පාවිච්ච් කරනවනෙ එයාලා කැමති දේට... එයාලා ඒකට ගෙවනවා.. එයාලා කටට ගන්න ආසා නං ඔයගෙ අහවල් එක සල්ලි දීලා ගන්නවා. ඔයාව විකිනෙනවා.. එහෙම නේද? " මිනිහා හොඳටම අවුල් වෙලා මගෙ දිහා බැලුවා මට හදිස්සියෙ මොකද වුනේ කියලා. සමහර විට මේ දැනුත් මාව පාවිච්චි වෙනවද කියන බයද මගෙන් ඒ එලියට පැන්නෙ? කැත වුනාම, වයසට ගියාම සමහර විට ඒ දේවල් සල්ලි වලට ගන්න වෙනවා.. ගණු දෙණු. එහෙම හිතනකොට මගෙ ආත්මෙට සාමයක් දැනෙනවා. ලොකු නිස්සද්දතාවයකට පස්සෙ අමිල කතා කලා.

" එවෙලෙ ඔයාට හිතුණ මං ඔයාගෙන් සල්ලි ඉල්ලයි කියලා, එකයි වැල්ලට ආවෙ නැත්තෙ නේද? "

"නෑ ළමයො මං දැනං හිටියා ඔයා සල්ලි ඉල්ලයි කියලා, මං ඔයාට සල්ලි දෙන්නත් ඉඩ තිබුනා... ඒක ම නෙමේ හේතුව..."

"එහෙනං? ඔයා එක හැමෝත් එක්කම කරන්නෙ නැද්ද?"

"නෑ, මං එහෙම හොයන්නෙ නෑ"

" එහෙනං ? ? ? ? ? ? ? මං කැතයි ද? "

"අපෝ නෑ, ඔයා හොඳ පෙනුමයි... , ඔයාව දැක්කම මට ඒක ඕනෙ වුනා, පස්සෙ මට හිතුනා ඒක ඕනෙ නෑ කියලා, කොහොමටත් අද දවසෙ ඒ වගේ දෙයක් සල්ලි දීලා ගන්න ඕනෙ නෑ කියල හිතුනා. "

වේටර් ඇවිත් ඇහුවා බිල ගේන්න ද? , සිගරට් ඕනෙ ද කියලා... ?"ඔයාට සිගරට් ඕනෙනෙ?" මං ඇහුවම අමිල හිනාවුනා. මං සිගරට් එකක් ඕඩර් කලා.

"ඉතිං අද දවල්ට ඇත්තට ම කෑවෙ නැද්ද?"

"අද දවස තිස්සෙ එක එක සාප්පු වල ගානෙ ඇවිද්දා, ඉතිං අතේ තිබ්බ සල්ලි ටික ඉවර වුනා"

"ඔයා රස්සාවක් කරන්නෙ නෑනෙ තාම? , ඉගෙන ගන්නව ද?"

"නෑ ඒත් මං කොම්පියුටර් ක්ලාස් ගියා..." මිනිහා උත්තර දුන්නෙ අහක බලාගෙන. මට හිතුනා මං මෝඩ විදියට අහන එක එක ප්‍රශ්න වලින් කොල්ලට රිදුනද කියලත්. ඒත් මිනිහා කතා කරන්න ගත්තා.

"දන්නවනෙ අය්යෙ මේ කාලෙ රස්සාවක් හොයා ගන්න හරි අමාරුයි, මට රට යන්න ඕනෙ. ඔය සවුදි වගේ රටකට. අපේ තාත්තත් ඉන්නෙ සවුදි , මං නිකන් ගෙදර ඉන්නකොට අම්මගෙ බර බරේ. ඉතිං යාලුවොත් එක්ක අවිදින්න යනවා, අපි MC යනවා ඒකෙ හැමතැනම AC දාලා.. මරු"

එයා සිගරට් එක බීලා ඉවර වෙනකන් අපි ඔහෙ සද්ද නැතුව වාඩි වෙලා ඉඳලා අපි එතනින් එලියට ආවා. "කොහොමද එතන කෑම ? "

"හොඳයි , මරු , තැන්ක් යු අය්යෙ .."

"එහෙනං අපි යමු නේද? ඔයාට දැන් ගෙදර යන්න පරක්කු වෙලත් ඇති? "
එක පාරටම අමිල මං දිහා ලොකුවට බැලුවා.

"එහෙම හරි නෑනෙ අය්යෙ, අය්යගෙ උපන් දිනේට අය්ය මට සැලකුවා, මං තෑග්ගක්වත් දුන්නෙ නෑනෙ..."

"මොන තෑගිද අමිල, ඔයා ගාව ඔයාගෙ වැඩ වලටත් සල්ලි නැතුව කොහොමද ඔයා මට තෑගි දෙන්නෙ?"

"ඇයි සල්ලි? මට මාව තෑගි දෙන්න පුලුවන්නෙ?"

"වැරදියට හිතන්න එපා, මට පුලුවන් අද අය්යට කවදාවත් අමතක නොවෙන විදියෙ උපන්දිනයක් කරන්න, හැබැයි අය්ය කැමතිනම් විතරක්...."

මං අමිල දිහා පුදුමෙන් බැලුවා. එයා හිනා වෙනවා. ඒ මූණෙ දෙගිඩියාවක් නෑ. මං ඒ තෑග්ග බාර ගන්න තීරණය කලා.

"හරි, ඒත් අපි කොහාටද යන්නෙ?"

"ඇයි රේල් පාරට ?" එයා යෝජනා කලා. එතෙන්ට යන්න මගෙ වැඩි කැමත්තක් නෑ, ඒ ගල් ගොඩේ මොනවා කරන්නද? එතන කිසි නිදහසකුත් නෑ. අමිලව ගෙදර ගෙනියන්න බැරි ඇයි කියලා මම වාසි අවාසි කිරුවා.

"මං තනියම ෆ්ලැට් එකක ඉන්නෙ, මොරටුවෙ. ඔයාට පරක්කු වෙන්නෙ නැත්තං අපි එහෙ යමු" මිනිහව මට හැන්ඩ්ල් කර ගන්න පුලුවන් කියලා තීරණය කරලයි මං එහෙම කිව්වෙ. මිනිහා ඔලුව වැනුවා. අපි ගෙදර ගියෙ බස් එකේ.

"ෂා ... මාර ම ලස්සන තැනක් නෙ...." ගෙට ඇතුල් වෙනකොටම එයා කිව්වා. එයා සාලෙ ඇවිද්දෙ හරියට කෞතුකාගාරයක් ඇතුලෙ ඉන්නවා වගෙ.

"අම්මෝ... අය්යා මෙච්චර පොත් කියෝනවද?..." මගෙ පොත් රාක්කෙ ඉස්සරහ නතර වෙලා මිනිහා ඇහුවා.

"ඔව් මගෙ පාලුව නැති කර ගන්න...." මගෙ සාලෙ එක එක කාල වල මං එකතු කරපු පොඩි පොඩි කෞතුක බඩු, ඉටි පන්දම් රඳවන, සුවඳ ඉටි පන්දම්, මං අමාරුවෙන් හොයා ගත්තු පරණ පිංතූර වගේ දේ වලින් පිරිලා. මං ඒ බඩු එක එක තැන් වල තියලා, ආයෙ කාලෙකින් තියන තැන වෙනස් කරලා සතුටක් ලැබුවා. ඒ දේවල් මගෙ තනි පාට ජීවිතේට වෙනස් පාටවල් ගේනවා කියලා මට හිතිලා තිබුණා.

"අය්යෙ මේ ඔයාගෙ ගෙදර කට්ටියද?" අමිල අපේ පවුලෙ අයෙගෙයි, මගෙ යාළුවන්ගෙයි පිංතූර එල්ලලා තිබුණු තැනක ඉඳන් ඇහුවා. ඒ පිංතූර මට ඉස්සර සතුටින් ගෙවුනු දවස් මතක් කලා, දැන් ඒවා මගෙ සාලෙ ලස්සන කලා ඇර වෙන දෙයක් කලේ නෑ.

"ඔයාට තිබ්බෙ අද එයාලව බලන්න යන්න අය්යෙ, බලන්නනකො ඔයාට යාළුවො ගොඩක් ඉඳලනෙ, අපරාදෙ ඔයාට තිබ්බෙ ඒ අයත් එක්ක පාටියක් දාන්න........"

අමිල කිව්වා.

"මගෙ යාළුවොත් දැන් මගෙ වයසෙමයි, අපි පාටි දාන එක නවත්තලා ගොඩක් කල් අමිල...."

"පිස්සු ඔයා ඔයාගෙ වයස ගැන ඕනවට වඩා හිතනවා, අපරාදෙ කිසි ජොලියක් ගන්නෙ නැතුව...."
බලන්න කව්ද ඔයාට උපදෙස් දෙන්නෙ කියලා, මගෙ හිත මට ඇඟිල්ලෙන් ඇන්නා. අපෙ සංවාදෙ ඕනෙ නැති තැනකට ඇදිලා යනවදෝ කියලා මට හිතුනා. අපි මෙතෙන්ට ආවෙ වෙන දේකට නෙමේ අහවල් වැඩේටනෙ.

"ඇයි හිටං ඉන්නෙ වාඩි වෙන්නකො අමිල". අමිල වාඩි වෙලා එයාගෙ ටී ෂර්ට් එක ගැලෙව්වා. මාර ඇඟක් ඒක. තද දුඹුරු පාට හම, හිර පපුව, සික්ස් පැක් බේරිච්ච බඩ, හොඳට මස් දාපු අත්. ඒ ඇඟේ මවිල් නෑ. මාර ලස්සන ඇඟක්.

"එන්න ඇවිත් වාඩි වෙන්න.." අමිල එයා ගාව ඉඩ පෙන්නලා මට කතා කලා. මම කලබල වුනා. මොනවා කරන්නද කියලා එක පාරටම මගෙ ඔලුවට ආවෙ නෑ. මං ගිහින් ටී. වී. එක දැම්මා. ඊළඟට මොකද්ද කරන්න ඕනෙ? මං හිතුවා.

"ඔයාට මහන්සිත් ඇති, නාගෙන එන්න අමිල..." අන්තිමට මං කිව්වා.

"හරි, " අමිල එක පාරටම නැගිටලා මිනිහගෙ ඩෙනිමෙ බොත්තම පැන්නුවා.

"න්න්.. න්න්. නෑ.. එන්න මං ඔයාට බාත් රූම් එක පෙන්නන්න." මිනිහා මං පස්සෙන් ඇවිත් දොර වහන්නෙත් නැතුව ඩෙනිමයි, යට ඇඳුමයි ගැලෙව්වා.

"එන්න අපි දෙන්නම එකට නාමු, වෙලාවත් ඉතුරු වෙනවනෙ..."මිනිහා කිව්වෙ බොහෝම සාමාන්‍ය විදියට. මං හිනා වුනා.

"දැන් ඔයාට ගෙදර යන්න බස් තියනවද? දැන් දහයටත් ළඟ ඇති "

"මං හිතන්නෙ නෑ දැන් බස් එකක් අල්ල ගන්න පුලුවන් වෙයි කියලා"

"කමක් නෑ ඔයා ඉස්සෙල්ලා නා ගන්නකො, තුවා ඇතුලෙ ඇති..." මං කාමරෙන් එලියට ඇවිත් ටී. වී. එක ඉස්සරහින් වාඩි වුනා. මට ඇහුනා වතුර වැටෙන සද්දෙ.

"නියමයි, මේකෙ උණු වතුරත් තියනවා". අමිල ඇතුලෙ ඉඳන් කෑ ගැහුවා. ටී. වී. එකේ පෙන්නපු චිත්‍රපටියෙ තිබුණෙ යුද්ධයක්. දෙපැත්ත හෝ ගාලා වෙඩි තියා ගන්නවා. ඒත් මගෙ ඔළුවට ඒකෙ පෙන්නපු දේවල් ගියෙ නෑ. මං ඔහේ බලා හිටියා. හදිස්සියෙ මම දැක්කා වෙලාව නමය හමාරයි කියලා. හැමදාම ගෙදරට ආපු ගමන් පුරුද්දට වගේ මං කරන්නෙ ටී. වී. එක දාන එක. වෙන කරන්න දෙයක් නැති කමටදෝ ඒ පිස්සු පෙට්ටියට මං ඇබ්බැහි වෙලා. ඉතිං ටී. වී. එකේ යන වැඩසටහන දැක්කම මට අනුමානෙට වෙලාව කියන්න පුලුවන්. මම හිතෙන් වෙලාව ගණන් හදලා බැලුවා. අමිලට නාන්න තව විනාඩි පහළවයි, මට නාන්නත් විනාඩි විස්සක් විතර යයි. දෙන්නට අර වැඩේ කරන්න විනාඩි තිහක් හතලිහක් විතර යාවි. එත්කොට වෙලාව එකොළහ විතර වෙලා තියෙවි. ඒ වෙලාවට එයාට ගෙදර යන්න බස් තියේවිද? මං එයාට අද රෑ මෙහෙ නතර වෙන්න දෙනවද? එක පාරටම ලොකු අත් දෙකක් මගෙ උරෙස් වටෙන් ඇවිත් එතුනා.

"අය්යෙ..."මං ඔලුව උස්සලා බැලුවා. එයා මගෙ දිහා බලාගෙන. ඒක කිස් එකකට නියමෙටම ගැලපෙන ඉරියව්වක්. එයා ගාවින් මගෙ ෂැම්පු සුවඳ යි, බොඩි වොෂ්වල සුවඳ යි ආවා. ඒ ඇස් දිලිසෙනවා. ලස්සන කැරලි කොණ්ඩෙ අවුල් වෙලා. ඒත් මට අහන්න පුලුවන් වුනේ

"හොඳට නා ගත්ත ද?" කියලා විතරයි.

"ඔව් අය්යෙ උණු වතුර ටික නියමයි" මං නැගිට්ටා. එයා ඇඳන් හිටියෙ තුවායක්.

"ඉන්න මං ඔයාට ෂෝටක් ගේන්නම්..." මං කිව්වා.

"අවුලක් නෑ , මෙහෙම හොඳයි, අපිට වැඩි වෙලා යන එකක් නෑනෙ..." මිනිහා හිනාවක් එක්කයි කිව්වෙ. මාත් හිනා වුනා.

"ඔව්, කමක් නෑ මං එකක් ගේන්නං, ඒත් ඔයා කැමතිනං අද රෑ ඔයාට මෙහෙ නතර වෙන්න පුලුවන්. ඒත් ඔයාලගෙ අම්මා කලබල වෙයි නේද? "

"නෑ අවුලක් නෑ, මං අම්මට කෝල් කරන්නං, තාත්තා ගිය මාසෙ ගෙදෙට්ට ෆෝන් එකක් එව්වා ඉතිං මට කතා කරන්න පුලුවන්, මං කියන්නං යාළුවෙක්ගෙ ගෙදර නැවතුනා කියලා. අය්යෙ ඔයාගෙ ෆෝන් එක දෙන්නකො මට ගෙදෙට්ට කතා කරන්න...."
මම ෂෝටක් ගෙනාවා. මිනිහා මගෙ ඉස්සරහම තුවාය ගලවලා ෂෝට ඇඳ ගත්තා. එහෙම එයාගෙ අම්මා එයාට නො දන්න තැනක ඉන්න දෙයිද ? මට හිතුනා.

"ඔයා ගෙදෙට්ට කෝල් කරලා ටී. වී. බල බල ඉන්න, මම ඉක්මනට නාලා එන්නං"

මං මගෙ කාමරේට ගිහින් දොර වහලා ඇඳුම් මාරු කලා. එක පාරටම මගෙ ඔළුවට ආවෙ අමිලව එහෙම තනියම තියලා එන්න තරං මම එයාව විශ්වාස කරනවද කියන දේ. මිනිහගෙ ඇඳුම් තිබුනෙ මගෙ කාමරේ, ඉතිං ෂෝටක් විතරක් ඇඳන් මගෙ ඩී. වී. ඩී ප්ලේයර් එහ හරි ටී. වී. එක හරි අරන් එයා දුවයි කියලා හිතන්න අමාරුයිනෙ. ඊටත් පල්ලෙහා සිකුරුටි එකෙනුත් හිටියා. මගෙ පර්ස් එක තිබුනෙත් කාමරේ නිසා එච්චර බය වෙන්න දෙයක් නෑ කියලයි හිත කිව්වෙ. මිනිහාගෙ ඩෙනිම මගෙ ඇඳ උඩ. මම ඒකෙ සාක්කු වලට අත දාල බල්ලද්දි එයාගෙ පර්ස් එක මට හම්බවුණා . ඒකෙ තිබුනෙ රුපියල් විසි පහක් විතරයි. දවල්ටත් කාලා නෑ කියන කතාව ඇත්තක් වෙන්න පුලුවන්. මට එයාගෙ වයසත් බලන්න ඕනෙ නිසා මං එයාගෙ අයිඩෙන්ටියත් ඇදලා බැලුවා. වයස ගැන එයා කියලා තිබුනෙ බොරුවක්. එයාගෙ වයස විස්ස නෙමේ විසි දෙකක්. නම ඇත්ත, අමිලම තමා. වයස වැඩි වෙච්ච එක හොඳයි කියලයි මට හිතුනෙ. බාත් රූම් එකට ගිහින් මම හොඳට නෑවා. උණු වතුර ඇඟ දිගේ ගලනකොට අමුතුම සනීපයක් දැනුනා. ඇඟේ හැම මස් පිඬුවක්ම ඒ සනීපෙන් කිලිපොලනවා. ඒ සනීපෙට හැම මහන්සියක්ම හේදෙනවා. ලයිට් බිල වැඩි වුනත් ඒ සනීපෙට ලෝබ නිසයි මං උණු වතුර ගත්තෙ. වෙනදට මෙහෙම නාන ගමන්ම මං තනියම සතුටු වෙනවා. එත් අදනං එහෙම බෑ කියලා මං මටම කිව්වා. ඇයි මං එහෙම කරන්නෙ, මං එනකං එයා සාලෙ බලා ඉද්දි? මං කණ්නාඩිය ඉස්සරහ හිට ගත්තා. ඒකෙ මතුපිට හීන් පටලය බැඳිලා. ඒක මම අතින් පිහදානකොට ටික ටික මගෙ මූණ පැහැදිලි වුනා. ඇයි? ඇයි? මගෙම මූණ මාව අවුල් කරනවා. මං කිසි එළියක් නැති නිකම්ම නිකං සාමාන්‍ය මැදි වයසෙ මිනිහෙක්. ඉතිං ඇයි එයා මෙහෙ ආවෙ? මගෙ මොන ලස්සනකටද? ඒ ඇත්ත මාව බයකරනවා. පරක්කු වෙලා හරි, ඉක්මනටම හරි නාකි වෙන්න කිට්ටු වෙච්ච කඳක් නේද මං? ඉතිං ?

ඒත් මේ අතට ආපු මොහොත, මේ සතුට අතඇරලා දාන්න මට බෑ. මම සරමකට බැහැලා පර්ෆියුම් ටිකක් ලාවට තවරගෙන එළියට ආවා. මං යනකොට අමිල සී. ඩී. රැක් එක ලඟට වෙලා සී. ඩී. තෝරනවා. මාව දැක්ක ගමන් කොල්ලා ගැස්සුනා.

"නාලා ඉවරද මෙච්චර ඉක්මනට? , අම්මෝ අය්යා ගාව මාර සී. ඩී. තොගයක්නෙ තියෙන්නෙ, මේ අලුත් ම සින්දු තියන ඒවත් තියනවා "

"ඔව්, මං ඔයාලා අහන අලුත් ම සින්දුත් අහනවා. එතකොට මට බොරුවට හරි ටිකක් තරුණයි වගේ දැනෙනවා.." මං කිව්වෙ හිනා වෙලා.

" අපෝ ආයෙමත් වයස කතන්දරේ ඇද ගත්තා..."
අපි ආයෙමත් ටී. වී. එක ඉස්සරහින් වාඩි වුනා. එයා සෙටියෙ, මම පුටුවෙ.
"අය්යෙ ඔයා ඔහොම ඉඳලා හරියන්නෙ නෑ. ටිකක් එහෙ මෙහෙ යන්න ඕනෙ ඔය පාටි වලට එහෙම"

"මං යනවා"

"මං කිව්වෙ ඔයගොල්ලන්ගෙ පාටි වලට, ඒවා තියනවනෙ?"

"තියනවා, තියනවා.... ඒත් ඒවා තියෙන්නෙ ඕගොල්ලො වගේ තරුණ අයට මිසක් මං වගේ අයට නෙමේ, ඊටත් ඕවයෙ තනියෙං යන්න මං කැමති නෑ...."

"ඇයි තනියෙං යන්නෙ, මාත් එන්නං. පාටිය ඉවර වෙනකනුත් ඔයත් එක්ක ම ඉන්නං, හැබැයි අය්ය මට ටිකට් එකක් අරන් දෙන්න ඕනෙ... ඒවයෙ ටිකට් හරි ගණන්නෙ... වැරදියට ගන්න එපා අය්යා ලව්වා මං ටිකට් ගන්න හදනවා කියලා.. අය්යා ඒ වගේ තැන් වලට ගිහින් යාළුවො අඳුන ගන්න ඕනෙ.... හරිනං අය්යට ඕවට යන්න තිබුනෙ මීට කලින්... තරුණ කාලෙ…." මට හිනා ගියා.

"අපි තරුණ කාලෙ ඕවා තිබුනෙ නෑ, ශොපිං මෝල්, ඉන්ටර් නෙට්.. එක එක සංවිධාන ඔය මොකවත්ම තිබුනෙ නෑ.. දැන් දැන් ගොඩක් දේවල් වුනාට අඩු තරමෙ , දැන් කට්ටියට මුණ ගැහිලා තේකක් බොන්න හරි පුලුවන්"

"ඉතිං ඒ කාලෙ ඕගොල්ලො හම්බවුණේ ?"

"අහම්බෙන් හම්බවුනොත් තමා ඉතින්..."

"අය්යා කාත් එක්කවත් යාලු වෙලා ඉඳලා නැද්ද? මං කිව්වෙ පිරිමි අය එක්ක සම්බන්දෙක? "

"පොඩි පොඩි සිද්දි කීපයක් තිබුනා ඒ දවස්වල "

"ඒ එකක්වත් දිගටම තියා ගත්තෙ නැත්තෙ? ඒකනෙ අවුල නේද? ඔක්කොම එවුං වටේ යනවනෙ...."

"හැමෝම එහෙම නෑ.. හැම දේම සදාකාලිකත් නැහැනෙ......"

"ඉතිං අය්යා තාම පරක්කු නැහැනෙ..."

"හරි කෙනා මුණගැහුනොත්..."

එයා මගෙ ඇස් දිහා ගැඹුරින් බැලුවා. සමහරවිට එයා බලපොරොත්තු වෙච්ච උද්යෝගෙ, දිලිසීම මගෙ ඇස් වල ඒ වෙලාවෙ තියෙන්න නැතුව ඇති. අන්තිමට අපි ආයෙමත් නිස්සද්දතාවකට ලිස්සලා ගියා. අපි ඔහේ ටී. වී. එක දිහා බලන් හිටියා. අනිතිමට ඒ නිස්සද්දතාව එයා කැඩුවා.

"අපි දෙයක් කරන්නනෙ ආවෙ... නේද? , දැන් ඔයාට ඒක ඕනෙ නැති වෙලා වගේනෙ?" මං හීන් හිනාවක් එක්ක එයා ගාවට ගියාම එයා ඔළුව උස්සලා මං දිහා බැලුවා. මං පාත් වෙලා ඒ අපූරු තොල් වල මෙලෙක බැලුවා.
පැහැදිලි ඉර එළිය දෝරෙ යන ලස්සන උදේ මං ඇහැරෙනකොට මගෙ එහා පැත්තෙ තිබුනෙ අමිලගෙ කඩවසම් මූණ. එයා පැත්තට හැරිලා නිදි. ඒ මූණ නෑඹුල්, ඊයෙ රෑ පාරෙදි දැක්ක මූණට වඩා මේ පෙනුම වෙනස්, මොකක්දෝ සාමයක්, අහිංසක කමක් ඒකෙ තැවරිලා. ඒක හීනයක් නෙමේ, අපි රෑ පුරා බෙදා ගත්තු සතුට... මොකද්ද ඒකට කියන හරි වචනෙ සතුටද... ? දැන් මගෙ පැත්තකින් එයා ගුලි වෙලා නිදි. ඒක හීනයක් නෙමේ. ඒ ඇඟේ උනුහුම මේ දැනුත් මගෙ ඇඟේ තැවරෙනවා. මගෙ ඔළුව ඇතුලෙ තිබිච්ච පැහැදිලි ගතියත් එක්ක මං ගිහින් එයාටත් එක්ක හොඳ උදේ කෑම වේලක් හැදුවා. ටිකකින් එයා ඇවිත් මාව හිර කරලා ඉඹලා ගුඩ් මෝනිං කිව්වා.

"යන්න යන්න මූණ හෝදං එන්න" මං එයාව හුරතල් විදියට එලෙව්වා.

"ම්ම්ම්... රහයි," කන ගමන් එයා කිව්වා. මං හිතන්නෙ මේ එයා ඉංග්‍රීසි පන්නෙට ගන්න පළවෙනි කෑම වේල.

"ඔයා රහට උයනවා" මං හිනා වුනා.

"උයන්න විතරක් නෙමේ අනිත් ඒවටත් හොඳයි..." එයා කිව්වෙ සද්දෙට හිනා වෙවී.

"මගෙ වයසට නරකම නෑ නේද? "

"ඔව් ඉතින් අවුරුදු ගාණක පලපුරුද්දනෙ ... ඊයෙ කොහොමද හොඳයිද?"

"ම්ම්ම්.. හොඳයි, මං හිතන්නෙ ඔයාටත් හොඳ පලපුරුද්දක් තියනවා"

"ඔන්න ඔන්න අය්යා හින්ට් පාස් කරන්න ගත්තා, මගෙ වයසට මං ඕනෙ තරං කරලා තියනවා තමා.... පලපුරුද්දක් තියන අය ගති...."අපි විනෝදෙන් බර දේවල් කිය කිය කෑවා. දැන් තියන්නෙ සරල පහසුවක්, වෙලාව වේගෙන් ගැලුවත් අමිල ගෙදර යන්න හදිස්සියක් පෙන්නුවෙ නෑ.

"අම්මා බලන් ඇති නේද....." කියලා මං මතක් කලාම එයා කඩිමුඩියෙ කාමරේට ගිහින් ඇඳන් ආවා. මම එයත් එක්ක දොර ළඟට ගියා.

"ඔයා කැමතිනං අපි ආයෙ දවසක ඒක කරමු... මෙන්න මගෙ නොම්බරේ.. ඕනෙ වෙලාවක කෝල් කරන්න.." එයා දිලිසෙන ඇස් වලින් බලලා කුරුමිනි අඬු අකුරෙන් එයාගෙ නමයි ටෙලි ෆෝන් නොම්මරෙයි ලියපු චූටි කඩදාසි කෑල්ලක් දුන්නා. මං ඒ කොළ කෑල්ල ගත්තෙ ආයෙ කෝල් කරන්නං කියලා පොරොන්දු වෙලා. එයා යන්න කලින් අපි දෙන්නා වැලඳ ගත්තා. ඒක නිකං ලිංගික ආසාවට කරපු දෙයක්ම නෙමේ. ඊට වඩා මොකද්දෝ බරක් එතන තිබුණා. එයා කොරිඩෝ එකේ ටික දුරක් ගිහින් ආයෙ හැරිලා හිනා වුනා. පඩිපෙළ බහින ගමනුත් නැවතිලා අත වැනුවා.

එයා නොපෙනී ගියාට පස්සෙ මං දොර වහද්දි මගෙ පපුව එක පාරට තේරෙන්නෙ නැති හැගීම් මහ හුඟකින් බර වෙලයි තිබුනෙ. ඒක වචනෙට ගන්න බැරි හැඟීම් ගොඩක්, නිකං දුකක් එක්ක කලවං වෙච්චි සතුටක්, ආලෝකයත් එක්ක කලවං වෙච්චි අඳුරක් වගේ දෙයක් ඒක. මට එයා යනවට දුකක් තිබුනත්, ඒක මගෙ තනිකම ගැන දුක ම නෙමේ වෙනදට කවුරුහරි මෙහෙම රෑට ඉඳලා උදේට යනකොට දැනෙන. මේක මොකක්දෝ නිශ්චල සතුටක් වගේ එකක්.
මං ගිහින් කෑම මේසෙ අස් කරද්දි දොරේ බෙල් එක වැදුනා. පුදුමෙට වගේ ඒ අමිල. එත් ඒ මූණ බර වෙලා.

"ඇයි මොකද වුනේ මොනවහරි අමතක වුනාද ?" මම ඇහුවා. එයා හිටියෙ නිස්සද්දව පොළව දිහා බලාගෙන.

"කියන්න ළමයො මොකද වුනේ.... ?"

"මං ඔයාට ලොකු වැරැද්දක් කලා අය්යෙ..."

"මොකක්ද... ?"

අමිල සාක්කුවට අත දාලා මොකක්දෝ පොලිතින් උරයක් දිග ඇරියා. මං අඳුන ගත්තා ඒක. ඒ මගෙ ඩිජිටල් ඩයරිය. ? එයා ඒක දුන්න ම මම ගත්තෙ පුදුමෙං ගොළු වෙලා.

"ඒක මහ බලු වැඩක්, ඇයි මං එහෙම කලේ... ? අනේ මට සමාවෙන්න අය්යෙ...."

මොකක්ද කියන්න ඕනෙ කියලවත් මගෙ ඔළුවට ආවෙ නෑ.

"ඔයා ඒක කොයි වෙලේද ගත්තෙ? , අද උදේ?... විකුණන්නද හිතුවෙ... ?

"නෑ, යාළුවන්ට පෙන්නන්න ගත්තෙ..."

"ඉතිං ආයෙ ගෙනාවෙ?"

"මට සමාවෙන්න අය්යෙ... ඔයා මට කොච්චර හොඳට සැලකුවද? , ඕක අරං යද්දි මට මං ගැනම අප්පිරියා හිතුනා.. ඔයා ආයෙ කවදාවත් මාව විශ්වාස කරන එකකුත් නෑ, මාව මුණගැහෙන එකකුත් නෑ... මං එච්චරට කැත වැඩක් ඔයාට කලේ..." ඊට පස්සෙ එයා නිස්සද්දව බලං හිටියා. මොනවද කියන්න ඕනෙ කියලා මාත් දැනං හිටියෙ නෑ. ඒ මොහොත හරි දිගයි.

"මං ඔයාට තවත් කරදර කරන්නෙ නෑ, මං යනවා..." අමිල හැරිලා කොරිඩෝ එක දිගේ ඇවිදං ගියා.

"යන්න එපා අමිල, පොඩ්ඩක් ඉන්න...." මට කෑ ගැහුනා. එයා ආයෙත් ආවා.

"මේක තියා ගන්න" මං ඒක එයාගෙ අතට දුන්නා. එයා ඒක ගත්තෙ නෑ. පුදුමෙන් මං දිහා බලං හිටියා විතරයි. "එ.. එපා.. මට ඒක ඕනෙ නෑ..."

"ගන්න මේක, මේක මගෙන් තෑග්ගක්, ඇත්තට ම ඕක මටත් හම්බවෙච්ච තෑග්ගක්.. ඒත් ඒක පාවිච්චි කරන හැටි මට ටිකක් තේරුම් මදි... මේක මෙහෙ තිබුනොත්... මේක දකින දකින සැරේට මට ඔයා මේක ගත්තා නේද කියලා මතක් වෙයි... අනික ඇයි අපි ලස්සන මතක අමතක කර ගන්නෙ... ඔයා මේක ගන්න ම ඕනෙ..."අමිල හෙමිහිට අත් දික් කරලා ඒක ගත්තත් කෙලින් ඇහැ දීලා මගෙ දිහා බැලුවෙ නෑ.

"ඔයාට ආයෙ කවදාවත් මාව දකින්න ඕනෙ නෑනෙ..." එයා බිම බලාගෙනම කිව්වා. මම හිනා වුනා.

"මොකෝ නැතුව.. ආයෙ මගෙවත් වෙන් කාගෙවත් දෙයක් හොරෙන් ගන්න එපා අමිල, ඔයා ඕක ඉල්ලුවනං මම අනිවාර්යෙන්ම දෙනවනෙ.. දැන් ඔයා යන්න, ඔයාට පරක්කු වෙනවනෙ... මම පස්සෙ කෝල් කරන්නම්.... "

"මට සමාවෙන්න අය්යෙ..." අමිල හෙමින් හෙමින් පඩි බැස්සා. එයාගෙ ඔළුව බිමට බර වෙලයි තිබුනෙ.

මම දොර වහලා, සාලෙ ජනේලෙ ඇරියා. හීතල හුළං පාරක් ඇවිත් මාව කිති කැව්වා. මොනවා වුනත් එයා ආපහු ආවනෙ... එයා තාම පොඩි එකෙක්.. මට ඊයෙ රෑ මතක් වෙලා හිනා ගියා. ජනේලෙන් මට පෙනුනෙ ඉර එළියෙ නැලවෙන සන්සුන් මුහුදක් වගේ එක යායට තියන වෙනස් වෙනස් වහළවල් දාස් ගාණක්. අහස පැහැදිලියි. දීප්තිමත්. සන්සුන්.

අසේල කරුණානායක
පරිවර්තනය - ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails