Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඔරුවල බන්දු මිය ගිය පුවත ලැබෙන විට මම කැනේඩියානු ආධුනික ලේබකයෙකු වන රේගන් ඈශ්බි හට මොලියර් ගේ ටාටුෆ් සහ ජාතක කතා පොතේ එන සෝමනස්ස ජාතකය අතර මාටින් වික්‍රමසිංහයන් විසින් පෙන්වා දෙන ලද සමානත්වය අලලා ලිපියක් සම්පාදනය කරමින් සිටියෙමි. ඔරුවල බන්දු ගේ මරණයේ පණිවිඩයත් සමග මම ලිපිය ලිවීම නවතා රේගන් හට කෙටි විද්‍යුත් තැපැල් පණිවිඩයක් යැව්වෙමි. ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ලේඛකයෙකු මියගොස් ඇත. අදාල ලිපිය පසුව එවමි. ඉන්පසු මම ඔරුවල පිළිබඳව අනුස්මරණිය කෙටි ලිපියක් ලීවෙමි. මේ එම ලිපියයි.

කේ. ජයතිලකයන් දැයෙන් සමුගෙන ඉතා කෙටි කාලයකින් තවත් ලේඛකයෙකු අප අතරින් වියෝ වී ඇත. ඔරුවල බන්දු යනු සුවිශේෂී හැකියාවන් තිබු ලේඛකයෙකි. ඔහුට විදේශීය බස හැසිරවීමේ දක්ෂතාවය තිබුනේය. විදේශයන්හි ජිවත් වීම නිසා ඔහුගේ ජිවන අත්දැකීම් විශාල වපසරියකට අයත් විය. එම අත්දැකීම් මෙන්ම ඔහු තුල තිබු විදේශ සංස්කෘතීන් අවබෝධ කර ගැනීම සහ එම සංස්කෘතියනට අයත් මිනිසුන්ගේ සිතුම් පැතුම් ග්‍රහණය කර ගැනීමේ හැකියාව මත මෙතෙක් කිසිම සිංහල ලේබකයෙකු අතින් බිහි නොවූ ආකෘතියක කෘතීන් ඔහු නිර්මාණය කළේය. නැගෙනහිර යුරෝපයේ ජනතාවගේ සිතුම් පැතුම්, ජිවන රටා ස්වතන්ත්‍ර නිර්මාණ ඔස්සේ නවකතා මාධ්‍යයෙන් ලේඛනගතකොට ඒවා සිංහල පාඨකයාට ඉදිරිපත් කල එකම ලේඛකයා ඔරුවල බන්දුය.

ඔරුවල බන්දු පිලිබඳ මා සතු මතකය පාසල් අවදිය දක්වා විහිදෙයි. පාසල් සිසුවෙකු ලෙස මම ඔහුගේ පස් අවුරුද්ද, බිරියෝසා වැනි නවකතා රසවින්දෙමි. එසේම 1992 වසරේ ගිම්හාන කාලයේ රාත්‍රියක මොස්කව් හි ඔලිම්පික් ගම්මානයේ පිහිටි ලේඛක පියසේන මානිල්ගම මහතාගේ නිවසේදී අප ඔරුවල බන්දු ගේ පොත පත ඔහුගේ කුසලතාවන් ගැන කතා කළෙමු. එය ඉතා සොඳුරු රාත්‍රියක් විය. පියසේන මානිල්ගම මහත්මිය අපට ඉතා රසවත් ශ්‍රී ලංකික කෑම වේලකින් සංග්‍රහ කලාය. මානිල්ගම මහතා එම රාත්‍රියේ දී රුසියානු සාහිත්‍යය සහ ඔරුවලගේ නවකතා ගැන ඉතා අනගි විග්‍රහයක් කළේය. අද පියසේන මානිල්ගම මෙන්ම ඔරුවල බන්දු ද අප අතර නැත.

ඔරුවල බන්දු තම නවකතා තුලින් ඔක්තෝබර් විප්ලවය මගින් සෝවියට් ජනතාව ලැබූ ප්‍රතිලාභ, අධ්‍යාපන, නිවාස සහ සෞඛ්‍ය අංශ වලින් ඔවුන් ලැබූ ප්‍රගතිය මෙන්ම සෝවියට් සමාජවාදය යටතේ බිහි වූ පොලිස් රාජ්‍යයේ මානව අයිතීන් කඩවීම්, නිලධාරිවාදයේ රුදුරු බව බෝම්බ සහ බැලුන්, සෝවියට් සිර මැදිරියේ සිට, කේ.ජි.බී වැනි කෘතීන් මගින් නිර්දය විවේචනයන්ට ලක් කරන ලදී. නමුත් පෙරෙස්ත්රොයිකා ක්‍රියාදාමය මත සෝවියට් දේශය බිඳ වැටෙන විට ඔරුවල සැබවින්ම කණගාටු විය. ඔහුගේ පරම්පරාවේ සමහර තරුණයන් ආයුද අතට ගෙන ලේ ගලන සමාජ පරිවර්තනයකට මුල පුරන විට ඔරුවල බන්දු තුවක්කුව වෙනුවට පෑන අතට ගෙන සාහිත්‍ය තුලින් සමාජ මෙහෙවරක යෙදුනේය. ප්‍රචණ්ඩ ලේ හලන සමාජ පරිවර්තන මගින් මානව සාරාර්ථ සෝදා පාළුවකට ලක් වන බව ඔහු විශ්වාස කලේය.

ඔරුවල බන්දු රුසියන් සාහිත්‍යය රස වින්දේ වෙනත් විදේශීය භාෂාවක් හරහා නොව පුෂ්කින්, තෝල්ස්තෝයි, ගෝර්කි වැනි ශ්‍රේෂ්ඨ ලේඛකයන් තම සිතුම් පැතුම් ලේඛන ගත කල රුසියානු භාෂාව ඔස්සේය. ඔහු ගැඹුරින් රුසියන් සාහිත්‍ය හදාරා තිබුනා පමණක් නොව යුරි නිගිබීන් වැනි ලේබකයන් දැන අඳුනාගෙන සිටියේය. සිංහල බසින් රුසියන් බස ඉගැන්වීමට සමත් රුසියෙකු වේ නම් ඒ ඔරුවල බන්දු ය.

මට අවසන් වරට ඔරුවල බන්දු ලේඛකයා සමග කතා කිරීමට ලැබුනේ 2009 වසරේ මාර්තු මාසයේදී පමණය. අප දෙදෙනා දුරකථනයෙන් පැයකට වඩා අධික කාලයක් සාමිචියේ යෙදුනෙමු. "නිවාඩු වෙලාවක මේ පැත්තේ ඇවිත් යන්න එන්න, වේයන්ගොඩ ස්ටේෂන් එක ලඟට ඇවිත් මගේ නම කියල ඕනෑම කෙනෙක් ගෙන් අහන්න. ගෙදරට යන පාර පෙන්නයි. අපේ බිසවුන් වහන්සේ හදන කෑම ටිකක් කාලාම යන්න පුළුවන්." ඔහු මට කිවේය. ඔරුවල බිසවුන් වහන්සේ කිවේ ඔහුගේ බිරිඳටය. නමුත් ඉන් දෙමසකට පසු විදේශගතවීමට සිදුවූ නිසා මට ඔරුවල බන්දු හමු වීමට නොහැකි විය. ඒ පිළිබඳව අද මා පසුතැවෙමි.

ඔරුවල බන්දු ලේඛකයා සමග මම වාද කොට ඇත්තෙමි. රෝහණ විජේවීරට සැන්සිබාරයේ කරුමේගෙන් ලිපි ලැබුන බව ඔරුවල බන්දු සති අන්ත පුවත්පතකට පවසා තිබුණි. නමුත් එම කාලයේදී මම 71 කැරැල්ලේ ඉතිහාසය පිළිබඳව විමර්ශන කෘතියක් ලියමින් සිටියෙමි. එම කෘතිය සඳහා මම 71 කැරැල්ල විමර්ශනය කල සර්නි විජේසුරිය, උපාලි සෙනෙවිරත්න, ඇන්ටන් ජෙගනාදන්, ගයා පැටිකිරිකෝරාල, ඉයන් වික්‍රමනායක වැනි නිලධාරීන් ද රෝහණ විජේවීරට එම කාලයේ කිට්ටුවන්ත සගයන්ව සිටි ලයනල් බෝපගේ, කෙලී සේනානායක, කල්යාණ කරුණාරත්න ආදීන් සම්මුක සාකච්ඡාවන්ට ලක් කලෙමි. ඔවුන් කිසිවෙකු සැන්සිබාරයේ කරුමේගෙන් ලැබුණු එක ලිපියක් හෝ දැක තිබුනේ නැත. මම ඔරුවල බන්දුගේ මෙම ප්‍රකාශය අභියෝගයට ලක් කලෙමි. නමුත් ඔහු එය ශාස්ත්‍රීය වාදයක් මිස පෞද්ගලික කරුණක් ලෙස නොගත්තේය.

ඔරුවල බන්දු ජිවත් වුයේ සරල ආකාරයටය. 1988-89 භීෂණ කාලයේදී ඔහු රජයේ සහ කැරලිකරුවන්ගේ ඝාතන ලැයිස්තු වල සිටි විශ්ව විද්‍යාල සිසුන් තම නිවසේ පවා රඳවාගෙන ඔවුන්ගේ ජිවිත බේරා දුන්නේය. මිනිසත්කම ඔහු තුල සැමදා තිබුණි. සරල පුහු අටෝපයෙන් තොරව ජිවත් වු ඔරුවල ධනය බලය පස්සේ යාමට හෝ මැති ඇමතිවරු, බලවන්ත නිලධාරීන් පස්සේ පන්දම් අල්ලන්නට, තම කුසලතාවය ඔවුන් වෙනුවෙන් වන්දිහට්ටකමේ යෙදවීමට ඔහු ගියේ නැත. කියන දෙය ඔහු කෙලින් කිවේය. ලියන දෙය ඔහු කෙලින්ම ලීවේය. ඔහු මිය ගියේ නිදහස් මිනිසෙකු ලෙසටය.

අද ඔරුවල බන්දු අප හැර ගොසිනි. බිරියෝසා ගස සීතල සුළඟට වැනේ. හිම පියලි බිරියෝසා අතු අතර රැඳී ඇත. බිරියෝසා ගස යට ඇති බංකුව පාළුය. වෙනදා අළු පැහැති හිම කබාය ඇඳ බංකුව මත වාඩිවී පොතක් කියවන ලේඛකයා අද දක්නට නොමැත. ඔහු යලි නොඑන්නටම යන්නට ගියේය.

-වෛද්‍ය රුවන් එම් ජයතුංග
යෝර්ක් විශ්ව විද්‍යාලය
කැනඩාව

වෛද්‍ය රුවන් එම්. ජයතුංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails