Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සාරධා ගේ සරණ මංගල්‍යයට මම සහභාගී වූයෙමි. එදා ඊට මම සහභාගී වූයේ මන්දැයි අද මම පුදුම වෙමි.

උදේ නවයට වැදගත් සාකච්ඡාවක් යෙදී තිබුණි. කොළඔ නගරයේ පෝලියෝ රෝගය නැවත හිස ඔසවන බවට බලගතු සාක්ෂි වාර්තා වී තිබුණ හෙයින්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා කාර්ය්‍යාලයේ මෙම සාකච්ඡාව පැවැත්විණි. ප්‍රජා සෞඛ්‍ය භාර වෛද්‍යවරුන්ගේ, උපදේශකයින්ගේ, සාත්තු සේවිකාවන්ගේ සංඛ්‍යා ලේඛන, වගු සටහන් හා දත්තයන්ගේ අවසාන නිගමනය වශයෙන් අවුරුදු හයකට වරක් පෝලියෝ රෝගය හිස ඔසවන බව පෙන්නුම් කොට තිබුණි. මෙම සටහන් හා නිගමන කුඩා දරුවන්ගේ අත් පා අතර පිළිසිඳ ගැනීම වැළැක්වීම ආපේ සාකච්ඡාවේ අරමුණ විය. මගේ වගකීම වූයේ, සන්නිවේදන මධ්‍යය ඔස්සේ මුඩුක්කු පැල්පත් වල ජීවත් වන ඔවුන් වෙත මෙම රෝගය පිළිබඳව අනතුරු හැඟවීමයි. මම කිසිදාක සංඛ්‍යාලේඛණ, වගු සටහන් හා දත්ත කියවීමෙන් කිසියම් ම ආකාරයක හෝ රසයක් භුත්ති නො විඳිමි. එසේ වුවද එදා නම් පිදුරු වැනි නීරස සංඛ්‍යා ලේඛන තුළ, ගැබ්ව ඇති අර්ථාන්විත නිගමන පිළිබඳව දිගින් දිගටම විස්මයට පත් වූයෙමි. කම්පාවට හා ශෝකයට පත්වූයෙමි.

සාකච්ඡාව අවසානයේදී, දහවල් එකොලහ හමාරට පමණ මම මගේ කාර්යාලයට පැමිණියෙමි. එන අතර මඟ දී හැම දා පුරුදු පරිදි බ්‍රැන්ඩි භාගයක් මිලදී ගතිමි. පළමුවන බ්‍රැන්ඩි වීදුරුව තොල ගාමින් සිටියදී මගේ ලේකම්වරිය දින පොත ද ගෙන මා ඉදිරියෙහි පෙනී සිටියා ය.

"මොකද ඉන්ද්‍රාණි"

"සර් ට හවස දෙකට වැදගත් උත්සවයකට සහභාගී වෙන්ඩ තියෙන්වා."

ඈ තතනන්නේ, අඩුවෙන් මත් පැන් ගත යුතු යැ යි මට යෝජනා කිරීමට ය.

"වැදගත් උත්සවයක්?"

"ඔව් සර්. මඟුල් ගෙදරක්!"

"මඟුල් ගෙදරක්? ඉන්ද්‍රාණි දන්නවනේ මං කවදාවත් අවමඟුල් මඟුල්වලට සහභාගී නොවන බව!"

"නමුත් සර්, මේකට නම් යන්නම ඕන කියලා සර්මයි ඩයරියේ ලියන්ටම කීවේ! මෙන්න කාඩ් එක!"

ඉතා අලංකාර ලෙස මුද්‍රණය කරන ලද සුභ මංගල්‍යාරාධනාවක් ඉන්ද්‍රාණි මගේ දෑස ඉදිරියේ දිග හරියි.

"සාරධා චම්මුගම් - සරත් වික්‍රමසිංහ"

සාරධා....... සරත්...... මම ඔවුන් ගේ නම් ඔස්සේ කිසිවක් සිහිපත් කොට ගැනීමට මහන්සි වෙමි. "සරත්" නම් ඔස්සේ බොහෝ දෙනෙකු මට මතක් වේ. සාරධා..... ? ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ආරාධනාවක් ලැබ මා සහභාගී වූ සාදයක් මට මතක් වේ. එහිදී මට සාරධා මුණ ගැසුණා මතක ය. ඈ ඇමෙරිකානු ජාතිකයෙකු හා විවාහ වී සිටියා ය. මට සාරධා වශයෙන් මතක් වන්නේ ඈ පමණකි. සමහර විට ඈ මට හඳුන්වා දුන් ඇමෙකානු ජාතිකයා සමග සැබැවින් ම ඈ විවාහ වී නොසිටියා වන්නට පුළුවන. ඈ චම්මුගම් බව මට කොහොමටවත් මතක නැත. ඈ ද්‍රවිඩ විදියට ඉංග්‍රීසී උච්චාරණය කෙළේ නැත. කොළඹ හැදී වැඩුනු ඇතැම් ද්‍රවිඩ අය ගේ උච්චාරණයේ ද්‍රවිඩ ගතියක් මිශ්‍ර නොවන වගද ඒ අතර මගේ කල්පනාවට එයි.

කොහොම වුණත් මෙබඳු මඟුල් ආරාධනාවක් නො ලැබුණු බව ඉන්ද්‍රණිට කියන්නේ කෙලෙස ද? ඇගේ අතේ සත්‍ය ආරාධනාවක් පැහැදිළිවම තිබේ.

"මං ඇඳුම් සූට් එක්ක මැදලා තිබ්බා - සර් - ගිය වතාවේ එංගලන්තෙන් ගෙනාපු නිල් පාට සූට් එක!"

"තෑග්ගක් නම් අරන් තියන්න අමතක වුණා රුපියල් පන්සීයක් විතර ඇන්විලොප් එකක දාලා දෙන්ඩ - මෙන්න සල්ලි. ඇන්විලොප් එකේ මම ලියලා තියෙනවා සර්ගේ නම. එහෙම හොඳයි නේද?"

ඈ ලියුම් කවරය මේසය මත තබයි.

..... බොහෝ වේලාවකට පසු ඉන්ද්‍රාණි නැවතත් මගේ කාමරයට ඇතුළු වූවාය. මම පුදුමයෙන් බලා සිටිමි. ඈ ඉතා අලංකාර මල් ගැවසුණු සාරියක් ඇඳ සිටියා ය. හිසකේ අමුතු මොස්තරයකට බැඳ ගෙන සිටියා ය. ඈ උදේ වරුවේ සිටියේ චාම් ගවුමක් ඇඳගෙනය. කොණ්ඩය කරල් දෙකක් වන්නට ගොතා ගෙන ය.

"මොකද මේ?"

ඈ විළියෙන් මෙන් පැකිළෙයි - කවදාවත් නැතිව රෝස පැහැයෙන් දෙතොල් ද ගා ගෙන ඇත. නිය ද රෝස පැහැයෙන් පැහැපත් ය. රෝස මල් වැටුනු සාරියක් භාරත ක්‍රමයට හැඳ සිටී.

"ඇයි සර් - එදා කීවේ මාත් එක්ක පාටියකට යන්ඩ හරි ආසයි කියල - අනික හැම දෙනාම ජෝඩු පිටින් ගිහින් ඉන්න කොට සර්ට හරි තනියි කියල කිව්වේ."

එසේ කීවේ කවදා දැයි සිහිකොට ගැනීමට මම තතනමි.

"බීලා හිටපු වෙලාවක ද එහෙම කීවේ!"

ඈ විළිබරව සිනාසෙයි. ඒ අතර මගේ දෑස මහත් ඕනෑකමින් ඇගේ සිරුර දිහා බලයි. ගවුම් ඇඳගෙන සිටිනවාට වඩා සාරිය ඇන්දාම ඈ වඩාත් ලස්සණ ය. නැඹ විවෘතව තිඛෙන සේ ඈ සාරිය හැඳ සිටිය ද කොහොමටත් ලස්සන ඇය භාරත සාරිය හැඳ සිටින අද කවදාටත් වඩා ලස්සනය. සාරිය නොව, කිසියම් හේතුවක් නිසා, ඊට යටින් වූ ඇගේ හැඩ වැඩ මගේ අවධානයට විවෘත වේ.

"සර් ඉක්මණට ඇඳ ගත්තොත් හොඳයි. ඩ්‍රයිවර් කියනවා වෙලාවට යන්ඩ බැරිවෙයි කියලා!"

"කොහේද මංගල්‍යය තියෙන්නේ"

"බේරුවල"

"බේරුවල?"

"ඔව් - බේරුවල රිවර් සයිඩ් හෝටලයේ"

"බේරුවලට කොහොමද පැය භාගෙන් යන්නේ"

"ඒක තමයි සර් - මටත් ඇඳ ගන්ඩ වෙලා ගියා"

මම එහෙන් මෙහෙන් මූණ කට සෝදා ගතිමි. අලූත්ම සූට් එක හැඳගෙන කාමරයෙන් එලියට ආවෙමි. කාර්යාලයේ කිසිම සේවකයකු නැත.
"ඔක්කොමලා අද නිවාඩු - ඉන්ද්‍රාණි කියයි. සියල්ලන් ම එක දවසෙහි නිවාඩු ගැනීම ස්වාභාවික කාරණයකැ"යි ඈ සලකන්නා සේය.

"අද හොඳ නැකත් දවසක් - හැම දෙනාටම මංගල්‍යාරාධනා ලැබිලා! "

ඒ අතරේ ඈ මගේ මූණ පුරා බලයි.

"සර් රැවුල කපලත් නෑ නෙ? අපෝ - අපෝ - ඔහොම යන්නේ කොහොමද වැදගත් මංගල්‍යකට!"

මම කබාය හා ටයි පටිය ඇඳගෙනම "ඩ්‍රයි ෂේව්" එකක් ගතිමි. ඈ තුවායක් ගෙන කබාය ගසා දමයි. ඉන්පසු අත් බෑගය ඇර සෙන්ට් බෝතලයක් ගනී. ඇගේ අතින්ම මගේ හිසේ හා කම්මුලේ සෙන්ට් තවරයි. මම විශ්මයට පත්වෙමි. ඈ කවදාවත් මෙසේ මගේ සිරුර ස්පර්ශ කොට නැත. වමනේ ගිය දිනක මගේ පිට ඇතිල්ලූවා යම්තම් මතකය.

කාර්යාලය වසා දැමූ අපි ගේට්ටුවෙන් පිට වූයෙමු. රියදුරු සෝමපාල වාහනය අසල වෙයි. තවත් පුදුමයක් විය. ඔහු පිටුපස දොර ඇර බලා සිටී. සාමාන්‍යයෙන් මා ගමන් කරන්නේ ඔහු සමග ඉස්සරහ ආසනයේය. අද පමණක් පස්ස ආසනයේ වාඩි ගන්නා ලෙස ආරාධනය කරන්නේ මන්ද? මේ ගැන පුදුම වන අතරම මම ඔහුට අවනත වූවා සේ පළමුකොට ඉන්ද්‍රාණිට ඇතුළුවන්නට ඉඩදී ඇයගාව පිටුපස ආසනයේ වාඩිගතිමි. දොර වැසූ පසු පිච්චමල් සුවඳක් අතර, මම ගොනු වීමි. මෙයද ඉතා අස්වාභාවික යැයි මට සිතේ. ඇගේ දෙතොල් නිය හා සාරියද රෝස පාටය. මගේ ඇගෙන්ද ඇගේ සිරුර පුරාද, වාහනය වන්නේ පිච්චමල් සුවඳකි. මටත් නො දැනීම පුරුද්දට වගේ සිගරැට්ටුවක් හා ගිනි පෙට්ටිය මගේ අතේ විද්‍යමානවිය. පිච්චමල් සුවඳ විසිර යතැයි බියෙන් මෙන් මම දුම්වැටිය නො දල්වා සිටියෙමි.

සෝමපාල ඉතා වේගයෙන් එය පදවයි. කිසියම් නුහුරු ගතියක් මට දැනෙන්නට වෙයි. හැමදාම ඉදිරි ආසනයේ ඉඳගෙන යන මට අද දැනෙන වෙනසට හේතුව පිටුපස ආසනයේ ඉඳගෙන යාම යැයි සිතන්නට වෑයම් කරමි. ඉන්ද්‍රානි සමඟ යාම දැයි විටෙක මට සිතේ. ඈ මගේ හඳුනාගෙන වගේ මෙසේ කියයි.

"සර්රුයි මායි මෙහෙම යනවා කවුරු හරි දැක්කොත් මොනව හිතයිද දන්නේ නෑ" ඈ සෝමපාලට ඇහෙතියි මගේ කනට කොඳුරයි. අගේ ප්‍රශ්වාසය මගේ කනට කිතියකි.

"මොනව හිතන්නද ? මම සිතමි. කිසියම් දෙපාර්තමේන්තුවක රජයේ සේවකයින්ට නම් මෙහෙම යන්නට වරමක් නැත. අප වැඩ කරන්නේ එක්සත් ජාතින්ගේ ළමා අරමුදලට අනුබද්ධ කාර්යාලයකය. දෙපාර්තමේන්තු රෙගුලාසිවලින් අපි බැඳි නො සිටිමු"

"ඒ වුනත් සර් මගේ බොස්! මම සෙක්‍රටරි! නීතියක් නැතත් විනය නීති තියෙනවා නේද? සාම්ප්‍රදායිකව අප පිළිපැදිය යුතු!"

"ඒ වුනත් ඉන්ද්‍රාණි ම නොවෙයි ද මේ ගමනට ලෑස්ති වුනේ ?"

මොරටු පාලම අසල අපේ වාහනයට නතරවීමට සිදුවිය. මගුල් රිය පෙරහරක් පාලම දිගේ එමින් තිබේ, ඉස්සරහ ඛෙන්ස් රථය සරසා ඇත. ඉන්ද්‍රාණි ඒ රියට එබී බැලූවාය. මනාල යුවල මට මනාව නො පෙනේ. ඇය රිය වෙත නැවී සිනාසුනාය. සිනාසෙන අතර, ඇගේ වම්අත මගේ අතෙහි තැවරෙයි. මා දිහා නො බලාම ඇය මගේ අතැඟිලි තදින් මිරිකුවාය. ඊලඟට මගේ මූණ බලා දෑස පුරා සිනාසුනාය. ඈ නැවතත් මිරිකාවි යැයි බලාපොරොත්තුව මෙන් මගේ අත තාන්තුවා වෙයි. ඇය එසේ කලේ නැත. ඒ වෙනුවට මගේ ටයි පටිය දිහා බලා හිඳගෙන සිටින ආකාරය වෙනස් කොට හැරී ටයි පටිය දෑතින්ම සකස් කළාය. ලේන්සුව ගෙන නිකට පිසදා ගත්තාය.

බේරුවල හංදියට ලඟාවන විට සවස හතර වී තිබුණි. "දෙකට කීවට මගුල් පාටියක් දෙකටම ඉවර වෙන්නේ නෑනේ" ඉන්ද්‍රාණි කියයි.
"කොහෙද සර් පාටිය තියෙනවා කීවේ?" සෝමපාල වාහනය නවත්වා අසයි.

"රිවර් සයිඩ් හෝටලේ"

පාර අයිනේ සිටි කිහිප දෙනෙකුගෙන්ම එම හෝටලයට යන පාර කොහෙදැයි ඔහු ඇසුවේය. එහෙම හෝටලයක් බේරුවල නැත. ඉන්ද්‍රාණි නැවත නැවතත් මගුල් ඇරයුම් පත කියවා බැලූවාය.

"මේකෙ තියෙන්නේ රිවර් සයිඩ් හොටෙල් බේරුවල කියල තමයි. පොලිස් කාරයෙකුගෙන් අහන්ඩ ! නැත්නම් කඩේකින් අහන්ඩ පාරේ යන මිනිස්සු පිට පලාත්වල අය වෙන්ඩ පුළුවන්"

සෝමපාල රථයෙන් බැස කඩ කීපයකටම යයි. පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු සමගද කතා කරයි. හිස සලමින් තමාටම කතා කරගනිමින් පැමිණෙයි.

"සර් රිවර් සයිඩ් කියල හෝටලයක් නෑනෙ මෙහෙ, අර කඩේ තේ බිබී හිටපු ලියුම් ඛෙදන පියොං කෙනෙක් කීවා. එහෙම නම තියෙන බංගලාවක්වත් නෑ කියල. "රිවරිනා" කියල නම් ටුවරිස්ට් හෝටලයක් තියෙනවලූ තව හැතැක්ම කාලක් විතර ගියාම".

"හරි වැඩේනේ මේ කාඩ් එකේ නම් තියෙන්නේ රිවර් සයිඩ් කියලා මේ දෙකේම තියෙන්නේ එහෙම. හොඳයි රිවරිනා වලටත් ගිහින් බලමු". අගේ කටහඬෙහි අවිනිශ්චිත භාවයක් ගෑවී තිබුණි.

"රිවරිනා" හෝටල් භුමියේ රියගාලෙහි මගුල් රථ කිහිපයක්ම නතර කොට තිබුණි. මහත් හරසරින් අප පිළිගත් සේවකයෙක් පිළිගැනීමේ නිළධාරිණිය වෙත කැඳවාගෙන යන ලදි. මගුල් ඇරයුම් පත ඇයට පෙන්වමින් ඉන්ද්‍රාණි යමක් කතා කළාය. මම ආලින්දයෙහි වූ විසිතුරු බැලූවෙමි. එහි වූ අපූරු හෝරා යන්ත්‍රය මගේ සිත් ගත්තේය. එය අන්තර් ජාතික හෝරාවකි. ලන්ඩන් නගරයේ වේලාව උදේ 12.30 බව එහි සටහන්ව තිබේ.

"මේක වැරදිමක්ලූ, මේ පළාතෙවත් නැහැල්ලූ මේ වගේ නම තියෙන හෝටලයක් ඛෙන්තොට නම් තියෙනවලූ "රිවර් ඉන්" කියල එකක්" ඉන්ද්‍රාණි මහත් සංවේගයට පත්ව ඇත.

"මේක කාගේවත් සරදමක්ද? අනික සාරධා කියලා බඳින්න හිටපු කෙනෙකුත් මං දන්නේ නැහැ. සරත්ල නම් කිහිප දෙනෙක්ම මං දන්නවා".
මම නැවත මංගලාරාධනා පත්‍රය බලමි.

මේ තියෙන්නේ ටෙලිපෝන් නොම්මරයක් ! දුරකථනය.......... මං කියන්නම් ඉන්ද්‍රාණි ගිහිල්ලා අහන්ඩ සරත් සහ සාරධා කියන දෙන්නා අද මෙතන බඳිනවද කියලා - අපි දැක්කනෙ මඟුල් කාර් නවත්තල තියෙනවා. අර ඇහෙන්නේ බෑන්ඩ් සංගීතයක්. චෙක් කරන්ඩ".
මේ වර ඈ සිනා සෙමින් මා වෙත ආපසු පැමිණියාය.

"සර් - මේ නොම්මරේ මේ හෝටලේ ටෙලිපෝන් නොම්මරයමයි, අනික මේ හෝටලේ තියෙනවා සාමාන්‍යයෙන් වෙඩිංස් ගන්න ශාලා තුනක්. එකක නම ‘Fairyland’. අනික ‘Wonderland’. තව ශාලාවක් තියෙනවලූ ඒකේ වෙඩිංස් ගන්නේ පිටරට හිපියොලූ. ඒකට කියන්නේ ‘The Pub’. කියලලූ!"

ඈ මගේ මුහුණ පුරා සිනාසුණාය.

මම ඉන්ද්‍රාණි සමග එම හෝටලයේ සියළු මගුල් උළෙලවල් තිබූ ශාලාවලට ගමන් කළෙමි. එහි කිසි තැනක සාරධා හෝ සරත් හෝ නොසිටියහ.

මම නැවත එම හෝටලයේ ආපන ශාලාවට පැමිණියෙමි. මම ඉන්ද්‍රාණි සමග එතැන හිඳගෙන සිටිමි.

අප ඇතුල් වන විට එහි විදේශිකයින් පස් දෙනෙක් වාඩි වී සිටියහ. සියළු දෙනාම ඉන්ද්‍රාණි දිහා හැරී බැලුහ. දිගින් දිගටම බලා සිටින්නට වූහ! ඔවුන්ට ඇය දිහා නො බලා නොසිටිය හැක්කා සේය. ඉන්ද්‍රාණි ඒ තරමටම පියකරු යැයි මට සිතුණි. ඇය දිහා කෑදර විදිහට ඔවුන් බලා සිටිම අශෝභන ක්‍රියාවකැයි මට සිතේ. මම බ්‍රැන්ඩි දෙකක් ඕඩර් කලෙමි.

මම ඈ දෙස බැලීමි. ඈ සඳහා පළතුරු යුෂ බඳුනක් ඇණවුම් කිරීමට මට සිතේ. මා මවිතයට පත්කරමින් ඈ මෙසේ කීවාය.

"මට කූල් ස්ටවුට් එකක් ! නැත්නම් බියර් "

"ඔයා බියර් බොනවාද ?" මම විශ්මයෙන් අසමි.

"නෑ - අද හිතුනා"

හෝටල් සේවකයෙක් අප වෙත එයි, ඔහු ලියුම් කෑල්ලක් මගේ අත තබයි. එය සෝමපාලගේ ලියුමකි.

"සර් හෙට උදේ 8.30ට මං එනවා"

"What the bloody hell". මට කියවුනේ කෝපයෙනි.

"කවුද මේ මිනිහා අපහු යන්ඩ කීවේ? මගේ සල්ලිත් කබි හෝල් එකේ."

ඉන්ද්‍රාණි කිසිම අමුත්තක් නුවූවාසේ සිනා සෙයි. බීර වීදුරුවක්ම එක දිගට හිස් කරයි. කහී.

"මම හිතුවට වැඩිය සැරයි නේ!"

දෙවැනි බ්‍රැන්ඩිය වහා මගේ හිස අවුල් කලේ යැයි සිතේ. සිවිලිමේ ඇති විදුලි බල්බ සහිත කලා භාණ්ඩ කැරකී ගොස් නැවතින. තව සේවකයෙක්ද පැමිණ අපට ආචාර කළේය. තවත් කාඩ් පතක්, එයද අපවෙත එවූ මගුල් ඇරයුම් පතට සමානය. එහි පිටුපස කිසියම් සටහනක් වේ.

"කරුණාකර අපේ කාමරයට පැමිණෙන්න - නොම්මර 11 සාරධා-සරත්"

මෙතනින් පිටවන්නේ කෙසේද? ගෙවීමට මුදල් නොමැත. මම සාක්කුව අත ගාමි. අපන ශාලාවේ කවුන්ටරය භාර සේවකයා Bartender සිනාසෙමින් බිල් පොතක් මා ඉදිරියේ තබයි.

"මෙතන අත්සන් කරන්ඩ සර්!". බිලෙහි "නොම්මර 11 කාමරය යැයි" සටහන්ව ඇත.

"යන්තම් ඇති මනාල ජෝඩුව හම්බුනා."

මගේ දෙකකුල් පැද්දෙයි. සේවකයා සමග අපි ගමන් කළෙමු.

කාමරයේ දොර හැර සේවකයා එකත් පසව සිටියි. අප ඇතුලූ වූයෙමු.

"ගුඩ් නයිට් සර්!" දොර වැසේ,

මම විශ්මයෙන් අවට බැලීමි. මේසය මත රෝස මලක් සවි කළ කාඩ් පතකි.

"මධු සමයට අපෙන් ආසිරි! සාරධා-සරත්"

ඉන්ද්‍රණි කිසිවක් නුවූවා සේ ඇඳ වෙත යයි. මෙට්ටය මත රෙදි දෙකක් නවා තිබේ. ඈ එය දිග හැර ඔසවා බලයි.

සුසිනිඳු රෝස පාට දුහුල් නයිටියක් - සරමක් -

ඈ ඉතා ප්‍රීතියෙන් නයිටිය තම ඇඟට තබා බැලූවාය. එය ඇගේ දණ ඉහ දක්වා දිග ය. නයිටිය තුළින් ඇගේ රෝස පාට සාරිය පෙනෙයි.
මා තුළ මේ වන විට කිසියම් සැකයක් මතු වී තිබුණි. මෙය ඉන්ද්‍රණීගේ කුමන්ත්‍රණයක් ද? මෙම සිතිව්ල්ල ඔස්සේ පැහැදිලිව සිතීමට ද මට බැරිය. ඇස් විවෘත කළ විගස මුළු කාමරයම බ්‍රැන්ඩි මතින් භ්‍රමණය වෙයි.

කෙසේ හෝ මා තුළ අනියම් ආසාවක් පැළපයම් විණි. ඉන්ද්‍රාණි මා යටතේ මා හා වසර පහක් සේවය කොට ඇත. මා වැඩ කරන්නේ ඉතා දිළිඳු පැල්පත් මුඩුක්කු වල ය. එහි සේවය මැනවින් ඉටු කිරීම සඳහා, හවස් වරුවේ ද, නිවාඩු දිනවල ද මම වැඩ කළෙමි. ඇය ද සතියකට දින හතක් ම වැඩ කළා ය.

ඈ ඉතා පියකරු ස්ත්‍රියකි. දිගටි අත් පා නිතර මගේ ඇස් වසඟ කොට ගනී. ඈ වසර පහක් ම තම රාගී කය හික්මවා ගෙන සිටියේ කෙසේ ද? සාරි රෙදි ගලවා, මෙම නයිටිය හැඳ ගතහොත්, මා මගේ කය වාවා ගන්නේ කෙසේ ද?

"ට්‍රීං - ට්‍රීං" හදිස්සියේ ටෙලපෝනය නාද විය.

"හලෝ!"

"හලෝ - හලෝ - ආ සනී - කොහොමද, කාමරය හොඳ ද? මං මේ සරත්. මතක නෑ නේද? කමක් නෑ - අපේ ආරාධනය- මං බොහොම පරිස්සම් වුනා- සනීට පිනසේ නෑ නේද? මං කීවා එයාකන්ඩිෂන් ටිකක් අඩුවෙන් තියන්න කියලා - ඕනෑ නම් වැඩි කර ගන්ඩ. ඕක මේ හෝටලේ තියෙන සැපපහසු වැඩිම කාමරයක් Diplomat Room එකක්. ඔය ප්‍රිජ් එකේ ඇති කෑමයි, විස්කියි, ඕනෑ දෙයක් කන්ඩ බෝන්ඩ - අපේ ගාණේ ඔක්කොම බිල්!"

මට කිසිවක් කීමට වුවමනා විය. "සරත් - මං දන්නෑ තමුසේ කවුද කියල - මේක හරි අස්වාභාවික..."

"හලෝ - සාරධා ට ඕනෑලූ ඉන්ද්‍රාණිට කථා කරන්ඩ !"

මම අප්‍රාණික වූයෙ මි. ඉන්ද්‍රණි රිසීවරය උදුරා ගත්තා ය. ඈ උද්යෝගයෙන් කථා කරයි. එසේ නමුදු ක්‍රමයෙන් ඇගේ මුහුණ වෙනස් විය. ඈ අඳුරු මුහුණින් රිසීවරය තැබුවාය. ටෙලිපෝනය දිහා බලාගෙන තමාට ම කතාකරගන්නවා වගේ කතා කළා ය.

"ඇයි මොකද?" මම සිහි එළවා ගන්නට තතනමින් අසමි.

ඈ මා දෙස නො බලා ම කතා කරයි.

"හරි වැඩේ! තාත්තයි අම්මයි මාමයි රිදී නැන්දයි හෙට උදේ එනවලූ - පවුලේ අයට නොකියා බැඳපු එක වැරදියි කියල ඔක්කොම කියනවලූ - නමුත් දැන් මොනවා කරන්ඩ ද? චාරිත්‍රානුකූල ව ඔක්කො ම එනවලූ"

මට මේ වන විට බ්‍රැන්ඩි බී වගවත් මතක නැතිව ගොස් තිබුණි.

"මොකද ඉන්ද්‍රාණි මේ කියන්නේ ? අපි බැන්දේ කවද ද? රිදී නැන්දා එක්ක එන්ඩ අපේ අම්මලා තාත්තලා නොවෙයි ද? මොකද්ද මේ කුමන්ත්‍රණය? හයියෝ..... මං ඔයා එක්ක කොච්චර විශ්වාසෙන් හිටියා ද? මගේ කාර්ය්‍යාල ජීවිතය ම ඔයා ට පවරලා තිබුණේ - දැන් මොකද?"

"මට තේරෙන්නේ නෑ සර්!" ඈ බොහෝ වෙලාවකට පසු කියයි.

"සර් දන්නවා මං සර් ගේ විශ්වාසයෙන් අයුතු ප්‍රයෝජන ගත්තෙ නෑ. අපි එකතු වෙලා දුප්පත් ළමයින්ට සේවයක් කළා. -"

ඈ නැඟී සිට කාමරය වටා රවුමක් ගියා. ශීතකරණය හැරියා ය. එහි වූ බෝතල් හා වෙනත් භාණ්ඩ දිහා බලා සිට, වීදුරුවක් ගෙන, විස්කි බෝතලයකින් ස්වල්පයක් වත්කොට මට දුන්නාය. ආපසු ගොස් බීර බෝතලයක් හැර, බොතලය පිටින් ම කට තබා මඳින් මඳ බීවාය. බිම බලාගෙන බොහෝ වේලා කල්පනා කරමින් සිට, නයිටිය ගෙන නැගිට්ටාය.

"මොනවා කරන්ඩ ද? මං ඇඟ හෝදා ගෙන නයිටිය ඇඳ ගෙන එන්නම් - හෙට රිදී නැන්දා එයි - පවුලේ නම්බුව බලන්ඩ"

පළමුකොට ඈ හිසකේ මුදා හෙළුවාය. දෙවනුව හැට්ටය ලෙහුවා ය. සාරිය ගලවා දැමුවා ය. දැන් ඈ හැඳ සිටින්නේ බ්‍රෙසියරය හා යට ඇඳුම පමණකි. ඉන්පසු ඈ නයිටිය ගෙන නාන කාමරයට ඇතුළු වූවාය. ඇතුළු වන අතර ඉතිරි ඇඳුම් ද ගලවමින් ගියා ය. හදිස්සියේ ඈ ඉතා අවිනීතව හැසිරෙන්නේ යැයි මට සිතිණ. කවදාවත් නැතිව බීර බිව් නිසාද? එතකුදු ඈ බීර බීවේ හැමදා මත්පැන් බීමට හුරු පුරුදු ගැහැණියක් ලෙස නොවේද? මට ක‍ෂණිකව එක්තරා කල්පනාවක් ඇති විය. මා ඈ පිළිබඳව දන්නේ කාර්යාලයේ කරන කියන දෑ තුළින් පමණකි. එයින් පිටත ඈ කුමක් කළාද? කෙසේ හැසිරුණා ද? මම කිසිවක් නොදනිමි. දිනපතාම දිවා කාලය කාර්යාලයේ ගත කළ බව ඇත්ත ය.

ඒ සමඟ ම මම භීතියෙන් සන්ත්‍රාසයෙන් නැගිට්ටෙමි. ඈ විලාප දීගෙන නාන කාමරයෙන් එළියට පැන්නා ය. ඈ සම්පූර්ණයෙන් නග්න ය. ඈ මා දෙස නො බලා නාන කාමරය දිහා බලා ගෙන වියරුවෙන් කෑ ගාන්නී ය.

"සර් - සර් - ටබ් එකේ කවුද කෙල්ලෙක් - මරා දාලා."

මම ඒ මේ අත වීසිවෙමින් වත්තම් වෙමින් ගියෙමි.

සියල්ල වටහා ගැනීමට මට මොහොතක් ගත විය. විසිරන මත්පැන් මතය සමඟ සියල්ල ක්‍රමයෙන් මගේ දෑසට පැහැදිලි වන්නට විය. එතැන මළ මිනියක් නොවීය. සාරධා කරවටක් දියෙහි ගැලී කිරිගරුඬ නාන බේසමෙහි හාන්සි වී සිටියා ය. මගේ මුහුණ පුරා ඇය සිනාසුණා ය.

"You remember me? Don’t you?"

"මාව මතක නේ ද? ඇයි මේ බය වෙලා වගේ - මාව මතක නැද්ද?" ඈ නැවත සිනාසෙයි. " හොඳට මතක් කරලා බලන්න.!"
වහා මම ඇය හඳුනා ගත්තෙමි.

ඉන්පසු ඉන්ද්‍රාණි, මට කිසිම ආකාරයකින් හෝ ප්‍රශ්නයක් වූයේ නැත.

සයිමන් නවගත්තේගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails