Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන් බිඳීගිය කණ්ඩායමක් මේ දිනවල ලංකා දිවයින තුළත් ලොව පුරා විවිධ නගරවලත් උත්සව ශ්‍රීයෙන් ඉල්මහ විරුවන් සමරනු ලබයි. මේ සැමරීම්වලදී මේ අය කරන්නේ එදා එනම් දැනට වසර 22කට ඉහත මරා දැමීමට ලක් වූ අය ගැන ගුණ කියා ඔවුන්ගේ වීරත්වය ගැන කතා කිරීමයි. රතු කමිස හැඳ රතුවේදිකා සරසා රතුමලින් පුද දී විජේවීර සහ තවත් අය සිහිකරනු ලබයි. ඉතින් ඔවුන් මතක් නොකරන දෙයක් නම් මේ සමරන අය මරාදැමූවේකව්ද? යන්නයි. ඇත්ත නම් ලංකාවේ මිනීමරු හමුදා සහ පොලීසි විසින් මේ ඔවුන් පවසන "ඉල්මහ විරු" වන් වදයට ලක් කර මරා දමනු ලැබීමය.

ඒ දිනවල 87-90 දක්වා ලංකාවේ සිංහල ජනයා වාසය කරන ප්‍රදේශවල රජයේ මිනීමරු හමුදා විසින් මේ කියන "විරුවන්" සහ තවත් අය 60 දහසක් මරාදැමූ අතර ඉන් විශාල ප්‍රමාණයක් අතුරුදහන් කරවනු ලැබීය. ඒ දේවල් කළේ පිටරටින් පැමිණි අධිරාජ්‍යවාදී හමුදාවක් හෝ උතුරුකරයේ දෙමළ "ත්‍රස්තවාදීන්" (ජනතා විමුක්ති පෙරමුණ පවසන බෙදුම්වාදී ත්‍රස්තයන්) හෝ නොවේ. ජනතා විමුක්ති පෙරමුණ මල් මලා පලදවමින් බෝධි පූජා පවත්වමින් දීර්ගායු පැතූ සහ පතන, ඔවුන් විසින්ම "රණවිරුවන්" ලෙස අභිෂේක කරවනු ලබන ලංකාවේ මිනීමරු රජයේ හමුදා සහ පොලීසි විසිනි. මෙසේ මරා දැමීමට ලක්වුණ, අතුරුදන් කිරීමට ලක්වූණ අය ගැන ස්ටේජ් සරසා මහප්‍රාන කීවාට (ඒ මරාදැමීමට සහභාගි වූවනට මල්මාලා පලදන අතර) සැබෑ ලෙස සැමරුමක් එහි තිබේද යන්න සිතා බැලීමට ඔබට හෘර්ද සාක්ෂියක් තිබේද යන්න මා වෙත නැගෙන ප්‍රශ්නයයි. මා මෙසේ ඔබේ හෘර්ද සාක්ෂිය ගැන පැනය නගනවිට ඔබට කැමති නම් සමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණට සුපුරුදු විදියට "මූ ද්‍රෝහියෙක්", "මූ පාවා දෙන්නෙක්", "මූ මේ අධිරාජ්‍යවාදීන්ගේ ඔත්තුකරුවෙක්" ආදී සුපුරුදු ගීතය ගයා තම ආත්ම වංචාව තුළම ගිලී සිටිය හැක. නමුත් යම්කිසිවකුට හෘර්ද සාක්ෂියක් ඇත්නම් ඔහු හෝ ඇය මා මේ කියන කරුණු ගැන විමසා තමන් කරන ප්‍රෝඩාවෙන් එළියට පැමිණ තම මියගිය සොයුරු සොයුරියන් විකුණාගෙන කෑම දැන්වත් නවතා දැමිය යුතුය.

අපි එදා ඉල්මහ දෙසට යමු "ඉල්මහ විරුවන්" කළ කී දැ ගැන වෙනම කතා කළ යුතු මුත් අපි ඒ "ඉල්මහ විරුවන්" මරා දැමීමේ කාලයට ආසන්න පසු අවදිය විමසමු. 60,000 ඝාතනය වීමෙන් (ඝාතකයනට අද ඔබම පවසන නම "රණවිරුවන්ය." අපට නම් ඔවුන් මිනීමරුවන්ය. 71න් පසු මම නම් ලංකාවේ මිනී මරු, ස්ත්‍රීදූෂක, ජනඝාතක හමුදා මිස රණවිරුවකු දැක නොමැත.) පසුව අනූගණන් මුල හිරු පත්තරය ඇතුළුව තරුණ කොටස් නැවත ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගනු ලබයි. මේ අවදියේ ඔබ අප දන්නා පරිදි උතුර ගිනිගෙන තිබුණි. ඉතින් "උතුරේ පවතින්නේ ජනවාර්ගික ප්‍රශ්නයක් නොව ත්‍රස්තවාදයකි" යන ජනතා විමුක්ති පෙරමුණ මතයට එරෙහිවූ එහි ක්‍රියාකාරීන් කණ්ඩායමක් (භාෂන සහ හිරු පුවත්පත්) ඉන් ඉවත් කරනු ලැබීය. එදායින් පසුව ජ. වි. පෙ. සිංහල බෞද්ධ ජාතිවාදී මතයක් වපුරමින්ම තමන් මාක්ස්වාදීන් බවද පැවසීය. "දේශප්‍රේමය" යන සර්ව පිත්තල කඩදාසියේ ඇහිරූ ඔබලාගේ අමු සිංහල ජාතිවාදය ඔබලාට නොපෙණුනාට ලොවට එය රහසක් නොවීය.

උතුරුකරයේ දෙමළ ජනයා තම අයිතීන් වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරමින් සටන්කාමී මාවතකට පිවිසෙන විට එයට "ත්‍රස්තවාදී" ලේබලය ඇලවීමට මූලිකත්වය ගත් ඔබ පක්ෂය සිංහල ජනයා අතර එම මතය ප්‍රචලිත කිරීමේ හොරණෑව බවටද පත්විය. මෙහි ඇති අනෙක් ඛේදවාචකයනම් 71 දී එම කැරලිකරුවන්ට අනෙකුත් වමේ පක්ෂ ලේබල් ගැසුවේ (මමද එදා කැරලිකරුවෙක්ව සිටියෙමි) ත්‍රස්තවාදීන් ලෙසිනි. එයම පසුව පීඩිත ජනකොටසක් මර්ධනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ද යොදා ගන්නා ලේබලය වීම ඛේදවාචකයක් නොවේද? 71 දීත් ඉන් පසුව 87-90 දක්වාත් මිනීමරු හමුදා විසින් මරා දැමූ දස දහස් ගණනකට ත්‍රස්තවාදී ලේබලය අලවා තිබූ බව ඔබ පක්ෂය නොදන්නවාද? මේ මරා දැමූ තරුණ ජීවිත පිළිබඳව ඇති ඛේදවාචකය මතු නොකරමින් එම මිය ගිය සඟයින් ගේ ලේ ගංගාවන්හි ඇති කීර්ති නාමය උලුප්පා ඒ මත නැග ගත් පසුකාලීන ජනතා විමුක්ති පෙරමුණ වෙනත් කොටසකට ත්‍රස්තවාදී ලේබලය ඇලවීම ඔබට පෙනෙන්නේ කුමන අයුරකින්ද?

එපමණක්ද මෙම පසු කාලීන ජනතා විමුක්ති පෙරමුණ යුද්ධයට ආවඩන ආකාරය පිළිකුල් සහගත නැද්ද? සෝමවංශ අමරසිංහ "අපි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයට දක්කගෙන ගියේ හරියට බල්ලෙක් නාවන්න ගෙනියනවා වගේ" කියා පවසන විට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකුවන ඔබට ලැජ්ජාවක් ඇති නොවන්නේද? මෙවැනි කියමනක් ගැන ඔක්කාරයක් ඇතිනොවනවා නම් එය පුදුම සහගතයි නේද?

කෙසේ වුවද මා මේ පවසමින් සිටින්නේ "ඉල් මහ විරු" සමරු තුළින් ඔබලා ඔබවම ස්වයං රවටා ගැනීමකට ලක් කර ගනිමින් සිටින අයුරුයි. හැබෑවට ඉන් මිදී නිවැරදි දේශපාලනයකට යොමු වීමට උවමනා නම් ඉතිහාසීය වැරදි ගැන නැවත සිතා බැලීම සහ එම වැරදි හඳුනාගැනීම වැදගත්ය. නැතිනම් විජේවීරගේ සිට සෝමවංස - ටිල්වින් දක්වාම සුපුරුදු ලෙස ද්‍රෝහීන් "ප්‍රතිගාමීන්" යන ගීය ගයා ඒ තුළ චූන්වී තවත් දසදහස් ගණන් වලපල්ලට යන මං විවර කළ හැක.

1990 ගණන්වල අගභාගය වන විට ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් පළාත් සභා, පාර්ලිමේන්තු මන්ත්‍රීන් මෙන්ම ඉන් පසුව ඇමතිවරු බවටත් පත් විය. මෙම මන්ත්‍රීවරු, ඇමතිවරු තමා බලයේ සිටි කාලයේදී, තමන් රජයක කොටස්කරුවන්ව සිටි අවදියකදී "ඉල්මහ" මරා දැමූ තම අතීත සඟයන් ගැන යමක් ඉටු කළාද? අඩුම තරමින් තම නායකයා විජේවීරව පනපිටින් පුළුස්සා දැමූ උන් උසාවියක් හමුවට ගෙන ඒමට හඬක් නැගුවාද? අඩුම තරමින් අතුරුදන් වූ අය වෙනුවෙන් (35,000) කොමිසමක් පත් කිරීමට එම දෙමාපියන්ට තම වේදනාව කීමට හඬක් නැගුවාද? මන්ත්‍රීකම්වලින්, ඇමැතිකම්වලින් තාන්න මාන්න ලබාගැනීම හැරුණුවිට ඔහුන් එදා කළ කෙංගෙඩිය කුමක්ද?

එසේ කරනවා වෙනුවට පක්ෂයේ ප්‍රධානීන් (ඒ දිනවල) සෝමවංස, වීරවංස ඇතුලුව හමුදාවලට ආ වැඩූබව ඔබලාට අමතකද? ඔබලා සමරන "ඉල්මහ විරුවන්" ටයර් සෑ මත සැතපවූයේ, හිස්මත පරාල ඇණ ගැසුවේ දෙමළ "ත්‍රස්තයින්" නොවන බව ඔබලා නොදන්නවාද? හැටදහසක් බලු කපුටු දානයට මහ මඟ දමා තිබුණේ ඔබ පක්ෂය වසර ගණනක් තිස්සේ "රණවිරුවන්" ලෙස මහනිල් මල් පලදවමින් පුදන ලංකාවේ මිනීමරු හමුදා බව ඔබලා නොදැන සිටියාද? ඔබ සාමාජිකත්වය ඒ තරමටම බබ්බුද? "රණවිරු" වන්දනාව හා මානෙල්මල් පිදීම කොතරම් දුරදිග ගියාද යන්න නුඹලාගෙන් කොටසක් (වීරවංස කල්ලිය) අහිමි කරමින් නුඹලාට උරචක්‍රමාලයක් වුවා නොවේද? මිනී මරු හමුදාවකට "රණවිරු" කිරුලු පලදවා ප්‍රණාම පවත්වන අතරම එම මිනීමරුවන් අතින් දහසක් වදයට ලක්වී මිය ගිය අයට වසරකට වරක් "ඉල්මහ විරු" ලෙස සැමරීම අමුම අමු සෝබනයක් කියා ඔබට නොසිතෙන්නේද? ඔබලා අප්‍රියල් හෝ ඉල්මහ මියගිය උන් ගැන හැබෑවටම සමරනවානම් ඔබලාගේ පක්ෂය එහි සිටින සහ කැඩීගිය අය (වීරවංසත් ඇතුලුව) මුලින්ම කළ යුත්තේ යුද්ධයට ආවඩනා තමන් මහාපාප කර්මයක කොටස්කරුවන් වූ බව පාපොච්චාරණය කිරීමයි. නැතිනම් නුඹලා කරනුයේ ඒ මිය ගියවුන්ව විකුණාගෙන කෑමක් පමණි.

71 සිටම ජනතා විමුක්ති පෙරමුණ තුළ මත ගැටුම් නිසා ඉන් ඉවත්ව ගිය කණ්ඩායම් සහ පුද්ගලයින් විශාල ප්‍රමාණයකි. ඉවත්ව ගිය අය ගැන පක්ෂය සැමදාම කීවේ "ද්‍රෝහීන්", "පාවාදෙන්නන් සහ ප්‍රතිගාමීන්" කියායි. එමෙන්ම අලුතින් පක්ෂයට එක්වන ලා බාලයන් අර පැරණි දෙයම වැමෑරූහ. එපමණක් නොව 87-90 දක්වා කාලය තුළ මෙසේ ඉවත්ව සිටි විශාල පිරිසක් කපාකොටා මරාදමනු ලැබීය. 71 ට ප්‍රථම පක්ෂය ගොඩනැගීමට මුල් වූ අය සටන්වල අත්දැකීම් සහ දැනුම සම්භාරයක් මේ සමගම වලපල්ලට යවනු ලැබීය. මඩම්පැල්ලේ සෙල්ටන් සිරිපාල, ජේමිස් ඇතුගල, ටී. බී., මාරසිංහ, නන්දසේන ආදීහු මේ අතරය. නමුත් පක්ෂයේ නව සාමාජිකයන්ට මේ මරා දැමීම ප්‍රශ්නයක් නොවීය. එය සාධාරණීකරනය කරනු ලැබීය. නමුත් මේ ද්‍රෝහීන් කීම සහ ද්‍රෝහීන් විනාශ කිරීම අහම්බ සිදුවීම් නොව මෙය පක්ෂයේ සම්ප්‍රධායයි. මෙය පක්ෂයේ සංස්කෘතියයි. ඇත්තෙන්ම මෙය ලංකාවේ මෙවැනි දේශපාලනය තුළ උඩුදුවා තිබු පිළිකාවකි. දෙමළ 'විමුක්ති' කණ්ඩායම් තුළ ද මෙය මේ අයුරින්ම පැවතිණි.

එදා 1969 දී ධර්මසේකර, කුරුණෑගල ජයකොඩි, රත්නපුරේ පරාක්‍රම ආදීන්ට විජේවීර, ලොකු අතුල, පියතිලක ආදීන් විසින් ද්‍රෝහීන්ය පැවසීය. පසුව ලොකු අතුල ආදින්ටද මේ ඉරණමම අත්විය. කැරැල්ලෙන් පසුව හිරගෙවල (මා සිටියේ යාපනය සහ හැමන් හීල් දූපත් හිරගෙදරයි.) අපි අප පක්ෂය තුළ විවේචන ඉදිරිපත් කළ විට මට "චීනලයින්" කියා හන්වඩු ගැසීය. ද්‍රෝහීන් කියා පහර දෙනු ලැබීය. මේ පිළිබඳව මම "බක්මහ කඳුළු" පොතෙන් විස්තර කර ඇත. පසුව මම හිරගෙදරින් පැන ගොස් "පෙරදිග සුළඟ" නම් දේශපාලන ව්‍යාපාරය හා එක් වුණෙමි.

මාව නැවත අත්අඩංගුවට ගත්තාට පසුව මැගසින් බන්ධනාගාරයේ සිටින අවදියේදී වසන්ත දිසානායක, ප්‍රැටික් ප්‍රනාන්දු, ගලේවෙල සිරා, තඹුත්තේ කරු, තුල්හිරියේ ආරි ආදී සියයකට වැඩි ප්‍රමාණයක් දෙවන පෙළ නායකයින් පක්ෂයෙන් ඉවත්ව ගිය අතර ඔවුන්ගෙන් කොටසක් ජ.වි.පෙ. විසින් 87-90 තුළ මරා දමනු ලැබීය. මා මේ ඉතිහාසය කෙටියෙන් මෙසේ සඳහන් කරන්නේ පක්ෂයට අලුතින් එන අය මත ගැටුම් මත ඉවත් වූ පැරණි අය "ද්‍රෝහීන්" පාවාදෙන්නන් ආදී ලෙස නම් කිරීම ජ.වි.පෙ. තුළ සදා පැවති සංස්කෘතියක් බවත් එය විජේවීරගේ සිට ටිල්වින් දක්වාම අද දක්වාම ඇති බවත් ගෙන හැර දැක්වීමටයි. ප්‍රජාතන්ත්‍රවාදයක් මෙම පක්ෂය තුළ නොතිබුණ අතර අද වත් එය නිවැරදිකර ගන්න අවශ්‍ය නම් මේ වැරදි ඔවුන් දැකිය යුතුය.

-මත ඉදිරිපත් කිරීම, ප්‍රශ්න කිරීම ජ.වි.පෙ. ට ආගන්තුකවන අතර ප්‍රශ්න ඉදිරිපත් කරන අය කැපී යයි.

-මෙහි නායකත්වය වන්දනාවන අතර තර්කාන්විත සිතිවිලි සමාජීකත්වයට අකැපය.(වැඩවසම් ලක්ෂණයකි)

මෙම ලක්ෂණ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රතිවිරුද්ධ වන අතර එක්කෝඒකාධිපති, නැතිනම් වැඩවසම් ලක්ෂණයන්ය. ලංකාවේ පවතින සියලුම පාහේ පක්ෂයන්හි ඇත්තේ අඩු වැඩි වශයෙන් මෙම ලක්ෂණයන්ය. ලංකා සමාජය වැඩවසම් බැමිවලට ප්‍රේමකරන බව අද පවතින තත්ත්වය (රජය) මොනවට සාක්ෂි දරයි.

ඉතින් යමකු ඉල්මහ විරුවන් සමරනවා නම් කළ යුත්තේ අතීත වැරදි සමාලෝචනය කර එම වැරදි නැවත ඇතිනොවන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් තම දේශපාලන පක්ෂ සංවිධාන තුළ ඇති කර ගැනීමයි. තම පක්ෂයේ අයව මෙන්ම තම පක්ෂය විසින්ද මරා දැමූ අය මරාදැමීමේ ඇති වරද වටහාගෙන එම වරද නිවැරදි කිරීමක් නොකරන්නේ නම් මේ කරන සැමරීම් හර ශුන්‍ය වේ. ඒවානිකන් ලොවට කරන මවාපෑම් පමණි.

සුළු ජන අයිතීන් ඉල්ලා සිටි කණ්ඩායමකට දිය යුතුව තිබූ දේශපාලන සහය සහ එම කණඩායම් කරන දේශපාලනය තුළ ඇති වැරදි දේශපාලන වශයෙන් වවේචනයට ලක් කර ඒවා නිදොස්කර ගැනීමට දිය යුතු සහය වෙනුවට, ඔවුනට නිර්ධය ලෙස පහර දෙමින් ප්‍රතිගාමී මර්ධන යන්ත්‍රයක කොටස්කරුවන් වෙමින් ජ.වි.පෙ. කළ අපරාධය ඔවුන් වටහාගත යුතු වන අතර ඒ පිළිබඳ ස්වයං විවේචනයක් අත්‍යවශ්‍යය. සිංහල සමාජය තුළ සිංහල ජාතිවාදය වපුරමින් කළ ක්‍රියාව ගැන ස්වයං විවේචනයක් නොකරන්නේ නම් මේ කැරැලිකාර කණඩායමට ලංකාවේ මිනීමරු හමුදාවන් විසින් මරා දැමූ අය සමරන්නට ඇති අයිතිය කුමක්ද යන්න ප්‍රශ්නයකි. එක අතකින් තම සගයන් මරා දැමූ මිනීමරු හමුදා වනට "රණවිරු" ප්‍රනාම පුදන ඒ අතරම වසරකට වරක් ඒ වදයට ලක්ව මිය ගිය සඟයින්ට "විරුවන් ලෙස" පුදන පිදීම සිහිබුද්ධියක් ඇති මිනිසුන්ට නම් වටහාගත නොහැක. ඉතින් ජ.වි.පෙ. සාමාජිකයිනි, කැරලිකාර කණ්ඩායමේ සාමාජිකයනි, ඔබලා ඔය කරන විගඩම දකින විට අර මිය ගිය අයගේ දෙමාපියන්, දූ දරුවන්, සොයුරු සොයුරියන් කෙලෙස ඒවා දකිනවා ඇද්ද කියා ඔබට මොහොතකටවත් නොසිතෙන්නේද?

රංජිත් හේනායකආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails