Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මා දන්නා රාජ්‍ය සේවයේ යෙදී සිටින එක්තරා පුද්ගලයෙක් නිරතුරුවම වාහන බලපත්‍ර නොමැතිව ගමන් යාමට පුරුදුව සිටියි. කිසියම් ආකාරයකින් පොලීසියේ නිලධාරියෙකු විසින් පරීක්ෂාවට ලක්කළ විට ඔහු සැකයකින් තොරව "රාළහාමි... මම ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ කරන්නේ. මේ ඒකේ වැඩකට හදිස්සියේ යන ගමන්" යැයි පවසා ආරක්ෂක අමාත්‍යාංශය යැයි සදහන් හැඳුනුම්පත ඉදිරිපත් කරයි. පූර්ව අත්දැකීම් ඇති පොලිස් නිලධාරියා කිසිදු ප්‍රශ්ණයක් වැඩිදුර නොඅසා ඔහුව නිදහස් කරයි. ආරක්ෂක අමාත්‍යාංශය යැයි කීවාට ඔහුට රටේ ආරක්ෂාව හෝ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සමග කිසිදු ගණුදෙණුවක් නැත. ඔහු රජයේ එක්තරා කන්තෝරුවක ලිපිකරුවෙක් පමණි.

ඉහත සිද්ධිය මගින් මිලිටරීකරණය විසින් රාජ්‍ය සේවය අවශෝෂණය කරගැනීමේ පරාසය පිළිබඳව උදාහරණ සපයනවා මෙන්ම ලංකාවේ මිලිටරි තන්ත්‍රය රටේ සමාජ අවකාශය අත්පත්කරගැනීම පිළිබඳ තව තවත් උදාහරණ ද අවශ්‍යතරම් ඉදිරිපත් කළ හැක. වසර තිහක කාලයක් පැවති යුද්ධයක් අවසානයේ තවත් වසර කිහිපයක් ගත වීමෙන් අනතුරුව ද තව දුරටත් හමුදාව සමාජය හා බද්ධ කරලීමට ශ්‍රී ලංකා රජය උත්සාහ දරමින් සිටී.

අතිශය භයානක යුද්ධයක පැටලී සිටි හමුදාවක් රටක සමාජයේ වගකීම් දැරීමට පත්කරලීම සමාජ විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක ගැටලු මතුකරන්නකි. සිවිල් ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය නැමැති ආයතනය නිර්මාණය කර තිබෙන්නේ මෙම ගැටළු මග හැරලීම සදහාය. එහෙත් රාජ්‍ය ආයතන වල වගකීම් හා අනන්‍යතාවය පිළිබඳව දැනුවත්කමින් තොරව සමාජය හමුදාකරණය කිරීම මගින් සමාජයට ලබ‍දෙනු ලබන්නේ වෙනත් අර්ථකතනයකි.

හමුදා වෙළදාම

යුද්ධය නොපවතින රටේ හමුදාව සම්බන්ධ වී සිටින ක්ෂේත්‍ර පළල් පරාසයක විහිද යයි. එළවළු මිල ගණන් ඉහළ ගොස් ර‍ටේ ජනතාවගේ ජීවන වියදම ඉහළ යන විට ආණ්ඩුව සිදුකළේ එළවළු වෙළදපොලෙහි එළවළු හිඟයට පිළියම් කිරීමවත්, එහි නිෂ්පාදනය වැඩිකරලීමට අවශ්‍ය කටයුතු කරමින් ඉදිරියේදී එවැනි ගැටළුවක් ඇතිවීම වැළැක්වීමට කටයුතු කිරීමවත් නොව එළවළු වෙළදාම සඳහා හමුදාව යෙදවීමයි. එහිදී නිෂ්පාදකයාගෙන් පාරිභෝගිකයන් අතළොස්සකට එළවළු අඩු මිලට ලැබුනු නමුත්, ප්‍රශ්ණයේ පරිමාව හා සසඳන කල පිළිතුර විහිළුවක් විය.

හමුදා අධ්‍යාපනය

ආණ්ඩුව විසින් පොරොන්දු වී තිබූ උසස් අධ්‍යාපනයට අදාළ ප්‍රතිපත්ති වෙනස් කිරීමත්, පොදුවේ පැවති අක්‍රමිකතාවන්ට එරෙහිවත් පැනනැග තිබූ ශිෂ්‍ය විරෝධතාවන් මැඩපැවැත්වීමට ආණ්ඩුවට අවශ්‍යව තිබුණි. එමෙන්ම විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවතින ජවිපෙ දේශපාලන බලය මැඩපවත්වමින් රාජ්‍ය මතවාදය ව්‍යාප්ත කරලීමට යන කරුණු ද්වය වෙනුවෙන් අවශ්‍ය උපාය ලෙස ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබූවේ සරසවියට සුදුසුකම ලැබූ ශිෂ්‍යයින්‍ වෙනුවෙන් සූදානම් කළ නායකත්ව පුහුණුවයි. එහි වගකීම බාරදෙනු ලැබුවේ ද යුධ හමුදාව වෙතය.

මේ වන විට විශ්ව විද්‍යාලයන්හි ආරක්ෂ අංශය ද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ පවතින පෞද්ගලික ආරක්ෂක අංශයකට ලබාදීමෙන් පෙනි යන්නේ උතුරු නැගෙනහිර පවතින මිලිටරි ආධිපත්‍ය විශ්ව විද්‍යාල තුළද ස්ථාපිත කිරීමට යන තත්ත්වයකි.

හමුදා විදේශ සේවය

ඉතා ඉහළ ජනප්‍රසාදයක් සමඟින් යුධ ජයග්‍රහණය සිදුකළත්, ඊට මිලිටරි නායකත්වය සැපයූ ජෙනරාල් ‍‍‍ෆොන්සේකා රජ‍යට විරුද්ධ දිශාවට යෑමත් සමගම හමුදා නායකත්වය පිළිබඳ විශ්වාසය පළුදු වූ බැවින් යුද්ධයට නායකත්වය සැපයූ හමුදා නායකයින් සියල්ලන්ම පාහේ විශ්‍රාම ගැන්වුණු අතර ඒ වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කළේ විදේශ රාජතාන්ත්‍රික තනතුරුය. වත්මන් ලෝකයේ වඩාත් තීරණාත්මක විදේශ සම්බන්ධතා විෂය හසුරුවනු ලබන්නේ ආණ්ඩුවට විවිධාකාරයේ බැලමෙහෙවරකම් කළ පිරිස් හා හමුදා නිලධාරීන්ය. රාජතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ ශාස්ත්‍රීය වශයෙන් හෝ වෘත්තීමය වශයෙන් හෝ ප්‍රායෝගික වශයෙන් දැනුවත් පුද්ගලයින් නොසළකා හැර ඇත.

හමුදා ක්‍රීඩාව

මිලිටරි භාවිතාව ක්‍රීඩාවට පැමිණෙන්නේ රගර් ක්‍රීඩාවත් සමගය. මීට ප්‍රධානතම හේතුව ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ පාසැල් රගර් ක්‍රීඩකයින් වීමය. යෝෂිත රාජපක්ෂ නාවික හමුදා නිලධාරියෙකු ‍වීමත්, ඔහු නාවික හමුදා රගර් කණ්ඩායම නියෝජනය කිරීමත් නිසා මෙතෙක් නාවික හමුදාව විසින් ඉදිරිපත් කළ රගර් කණ්ඩායම වෙනුවට සන්නද්ධ රගර් කණ්ඩායමක් ක්‍රීඩා පිටියට පිවිසුණි. එහි තාමත් අවසාන නොවුනු ප්‍රතිඵල අතර හමුදා සෙබළුන්ගෙන් ගුටිකන රගර් තරග ලංකාවේ මුල්වරට දිස්වුනි‍.



ඊට ආසන්නතම හේතුව ලෙස දැකිය හැක්කේ රගර් ආධිපත්‍ය දරාගෙන සිටින මහනුවර කණ්ඩායම ක්‍රීඩාවෙන් මෙල්ල කිරීමට නොහැකි වීම කරනකොටගෙන මිලිටරි බලය යොදා මෙල්ල කිරීමට උත්සාහ කිරීමයි. ක්‍රීඩාවේ නාමයෙන් සිදුවන මෙවැනි අකටයුතුකම් වලට නීතිය බල නොපානුයේ එය සමස්ත මිලිටරිකරණයේ තවත් එක් අංගයක් පමණක් වන නිසාය.

මේ වන විට ක්‍රීඩාංගණ වල භාරකාරත්වයද ත්‍රිවිධ හමුදාවන්ට පවරා ඇත.[lankaviews.com] තවත් ටික දිනකින් ක්‍රීඩා කිරීම සදහා ක්‍රීඩාවේ නීතිරිති නොව හමුදාවේ නීති රීති වලංගු වීමටද ඉඩ ඇත. සිදුවීම් වල අනුක්‍රමය නිරීක්ෂණය කරන්නෙකුට පෙනී යා හැක්කේ එබන්දක් සිදු වුව ද කිසිදු ප්‍රතිරෝධයක් මතු නොවනු ඇත යන්නය.

හමුදා පාතාලය

පාතාලය හා හමුදාව අතර ඇති සම්බන්ධතාවට ඉතා දිගු ඉතිහාසයක් ඇත. නිරතුරුවම පාහේ පාතාලයට අවශ්‍ය සන්නද්ධ ශිල්පීය දැනුම හා ආයුධ සැපයී ඇත්තේ හමුදාව හරහාය. ගෝනිබිල්ලන්, කවන්ධ, මළමිනී ගංගාවල පාවීම, සුදු වෑන් වැනි සංකේත සම්බන්ධයෙන් වන භීතිය දකුණේ ජනයාට අමතකව ගොස් ඇති බවක් පෙනුනද උතුරේ ජනයාට ඒ සම්බන්ධයෙන් වන භිතිකාව යටපත් වීමට තරම් කාලයක් ගතව නැත.

හමුදා පරිපාලනය

සිවිල් පරිපාලනයට හමුදාව යොදාගැනීමේ තත්ත්වය බහුලව පවතිනුයේ උතුරු ප්‍රදේශය ආශ්‍රිතවය. අල්ජසීරා රූපවාහිනියට අදහස් දක්වන බ්‍රිගේඩියර් රේනුක රොවෙල්ට අනුව දමිළ ජනයා අතර හමුදාව සිටිනුයේ ඔවුන් ස්ව ශක්තියෙන් නැගී සිටින තෙක් පමණි. ඔහුට අනුව දමිළ ජනයා හමුදාවට දැඩි කැමැත්තක් දක්වනු ලබයි.



එසේ වුවද දමිළ පාඨකයින් විශාල ප්‍රමාණයකගේ පැසසුමට ලක්වූ [The Continued Militarization of Sri Lanka] ගිබ්සන් බේට්මන්ගේ ලිපියෙහි දක්වන ආකාරයට දකුණේ ජනතාවට ලංකා රජයේ යුධ හමුදාව පිළිබඳව පවතිනුයේ වීරයින් පිළිබඳ හැගීමක් වන නමුත් දිගුකාලයක් එල්ටීටීඊ පාලනය යටතේ ජීවත් වූ උතුරේ ජනතාවට ලංකා හමුදාව සම්බන්ධයෙන් ඇත්තේ භීතියකි. එකී කරුනු කෙසේ වුවද සිවිල් පරිපාලනයක් උතුරේ බිහිකරලීමට ලංකා ආණ්ඩුවට අවංක වුවමනාවක් ඇත්නම් එය ඉටුකරලීමට සදහා මේ වන විට යුද්ධයෙන් පසු ඕනෑවටත් වඩා කාලයක් ගතවී ඇත. එදිනෙදා සිවිල් ජන ජීවිතයට, වෙළදාමට, පරිපාලන කටයුතු වැනි සියළු සමාජයීය අංගයන් වඩ වඩාත් මිලිටරීකරණයට ලක්ව ඇත්තේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලය.

මේ වන විට ලංකා හමුදාවට තව තවත් යුදමය නොවන වගකිම් රැසක් පැවරී ඇත. ඒ අතර හෝටල් ගොඩනැගීම, නගර අලංකරණය, ඩෙංගු මර්ධනය, මාර්ග සංවර්ධනය වැනි විෂයයන් අයත්ය. මෙසේ කටයුතු සිදුවන්නේ අදාළ විෂයයන් සදහා වෙනමම ආයතන ව්‍යූහයක් (උදා - නගර අලංකරණය සදහා වගකිව යුතු නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතන ඇත. ඩෙංගු මර්ධනයේ වගකීම මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය හා ඩෙංගු මර්ධනය සදහාම පිහිටුවා ඇති ඩෙංගු මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායක් ඇත.) රටතුළ පවතිද්දීය.

විද්වත් මැදිහත් වීම

ලංකාවේ හමුදාකරණය වීම හෝ අනෙකුත් සමාජ දේශපාලන ගැටළු සම්බන්ධයෙන් විද්වත් මැදිහත් වීම ඉතාම පහළ මට්ටමක ඇත. ඒ වෙනුවට දේශපාලන නායකයින් විසින් ගන්නා ලබන දිගුකල් නොදකින, ආත්මාර්ථකාමී තීරණයන් සාධාරණිකරණය කිරීමට බුද්ධිමතුන්ගේ බලකායක් දත කට මැද ගෙන පෙරමග බලා සිටිති. තවත් බුද්ධිමතුන් පිරිසක් ආණ්ඩුව ගන්නා කවර විනාශකාරී තීන්දුවක වුවද සැර බාල කිරීම සඳහා පෑන් ලෙලවමින් න්‍යාය සම්පාදනය කරමින් සිටිති. ඉන් ඉතාම නිර්ලජ්ජිත ප්‍රකට පුවත්පත් කතුවරයාගේ ක්‍රමෝපාය වන්නේ ආණ්ඩුව (ඇත්ත වශයෙන්ම නම් රාජපක්ෂවරු) කරන සියලු වැරදි ඉන් පෙර ආණ්ඩු විසින් ද සිදු කොට ඇතැයි නැවත නැවත සංගායනා කරමින් "වරදේ" තනි රැකීමට වෙනත් පැරණි "වැරදි"වලට අඬ ගැසීමය.

පසුගිය අගෝස්තු මාසය පුරාවට එංගලන්තයේ ලන්ඩන් නුවර මුලික කොටගෙන පැතිර ගිය දරුණු කෝලාහල තත්ත්වයේදී එය මැඩපැවැත්වීම සදහා හමුදාව යොදවන ලෙස බොහෝ මහජන ඉල්ලීම් සිදුකෙරුනි. මේ පිළිබඳව විද්වත් අදහස් විමැසුණු අතර එවැනි එක් අදහසක් පහත දැක්වේ.

"හමුදා සෙබළුන්ට කළ හැකි රාජකාරි තිබෙනවා. නමුත් සමාජයේ නීතිය ක්‍රියාත්මක කිරීමට විශේෂ කුසලතාවයක් තිබෙන්නට ඕන වගේම ඊටම අනන්‍ය කලාවක් තියෙන දෙයක්. හමුදා සෙබළු ලවා ඒ දේ ක්‍රියාවට නැංවීම බොහෝ ප්‍රශ්ණ ඇතිවීමට හේතුවෙන්න පුළුවන්‍"
-ඩොමිනික් බ්‍රයන්, අධ්‍යක්ෂක, අයර්ලන්ත අධ්‍යයන අංශය, ක්වීන්ස් විශ්ව විද්‍යාලය

සුමුදු තිවංක ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails