Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


සටහන - චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි යනු සිංහල සාහිත්‍යයට අනුපමේය සේවයක් කළ, අප‍්‍රකටව විසූ, ලේඛිකාවකි. ඈ සිංහලයට නගන ලද මහඟු විශ්ව සාහිත්‍ය කෘති ගණනාවකි. එහෙත්, ඇගේ ඒ කාර්යයට කිසිදු ඇගයීමක් නොලබාම, ඈ සමුගෙන ගිය අන්දම පිළිබඳ සරත් විජේසූරිය ලියූ සටහනකි මේ; අප උපුටා ගත්තේ, චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චිගේ "ගෝ දානය" නම් පරිවර්තනයෙනි.

චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි ඉතා කෙටි කාලයක් තුළ දී ඉතා දීර්ඝ කාලයක් පවතින උසස් සාහිත්‍ය කෘති රැසක් පරිවර්තනය කළ දුර්ලභ ගණයේ ලේඛිකාවකි. පරිවර්තිකාවකි. ඇගේ සාහිත්‍ය පරිවර්තන කාර්යභාරය අද්විතීය වේ. ඉංග‍්‍රීසි භාෂාවෙන් සිංහලයට පරිවර්තනය කිරීස අද සාමාන්‍ය දෙයකි. චින්තා, වංග - උර්දු- හින්දි යන භාෂාවන්ගෙන් පරිවර්තන කටයුතු කළ නිසා ඇයට නූතන සිංහල පරිවර්තන ක්‍ෂේත‍්‍රයේ උරුම වූයේ ඉතා වැදගත් පෞරුෂයකි. නූතන සිංහල සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ නිර්ව්‍යාජ ලේඛිකාව චින්තා ලක්‍ෂ්මී බව මගේ අවංක පිළිගැනීමයි. එනිසාම ඇගේ මරණය නූතන සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයට බලවත් පාඩුවකි.

ඉතාම සරල ජීවිතයක්, ඉතාම අහිංසක ජීවිතයක් ගත කළ චින්තා ලක්‍ෂ්මී ගේ මරණය හා සම්බන්ධ ඇතැම් දේ අපගේ සංස්කෘතික ජීවිතයේ ශෝචනීය බිඳ වැටීම සංකේතවත් කළේ යයි මට සිතේ. ඇය මිය ගිය බව ඇගේ රසිකයන්ට දැනුම් දීමට තරම්වත් අපගේ සන්නිවේදන මාධ්‍ය ඇය ගැන දැන සිටියේ නැත. අගනුවරින් බැහැරව ගැමි කාන්තාවක ලෙස ජීවත් වීම, ඇගේ සැමියා සරම කමිසය හඳින ගැමියකු වීම නිසා ඈ වටා සිවිල් පවුරක් ඉදිවුණේ නැත. තතු කෙසේ වෙතත්, ජාතියේ අප‍්‍රමාණ කෘතවේදීතාව හිමිවිය යුතු, ස්වාධීන අනන්‍යතාවක් හා පෞරුෂයක් තිබූ කාන්තාවක් ලෙස ඇයට බුහුමන් දැක්වීම වැදගත් බැවින් ප‍්‍රමාද වී හෝ මේ ලිපිය ලියන්නට අදහස් කළෙමි.

චින්තා ලක්‍ෂ්මී වෘත්තියෙන් ගණිත ගුරුවරියකි. ඇගේ මළගමට වැඩියෙන්ම ආවේ ඇගෙන් ගණිතය ඉගෙන ගත් සිසු දරු දැරියන්ය. ගණිතය ඉගැන්වීමේ ඇගේ සහජ දක්‍ෂතාව ගැන ඇසූ බොහෝ දේ මට පසක් කළේ පරිවර්තන කාර්යයේදී මෙන්ම ගුරු වෘත්තියේ දී ද ඇය අද්විතීය පෞරුෂයක් හිමි කරගෙන තිබුණේය යන්නයි. ජනප‍්‍රිය පාසලක ගුරුවරියක් වීම බැහැර කරමින් ගම්බද කුඩා පාසලක ඇය කළ සේවය ගුරු වෘත්තියේ නිරත බොහෝ දෙනෙකුට ආදර්ශයකි.


චින්තා ජීවිත කාලයට, ගුවන්විදුලියට පැමිණ ඇත්තේ එක වතාවකි. රූපවාහිනියට පැමිණ ඇත්තේ එක වතාවකි. ඇය ජනමාධ්‍ය වලින් ප‍්‍රතිරූපයක් තනා ගැනීමට කිසිවියෙක කල්පනා කළේ නැත. කරන කටයුත්ත හැකි තරම් හොඳින් කිරීමට ඇය වගබලා ගත්තාය. සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයට මේ තැනැත්තිය පා තබා ඇත්තේ දැඩි අසීරුතා හා තාඩන පීඩන හිංසන මධ්‍යයේ ය. හින්දි - වංග - උර්දු යනාදී භාෂා ඈ ප‍්‍රගුණ කර ඇත්තේ ස්වශක්තියෙනි. මේ භාෂාවන් හොඳින් ඉගෙන ගැනීමට කිසිදු පහසුකමක් නොතිබුණ ද, සසර පුරා පතා ගෙන ආ බැඳීමක් නිසාදෝ, මේ භාෂාවන් හැදෑරීමේ නොතිත් ආශාව ඈ තනිවම මුදුන්පත් කර ගත්තාය. ඉන්දියාවට ගොස් භාෂා ඥානය ඔප මට්ටම් කර ගැනීමට ඈ නොයෙකුත් උත්සාහයන් දැරුව ද, උදව් පතා ගෙන ගිය සෑම ආයතනයකටම ඈව පෙණුනේ පිස්සු ගැහැණියක ලෙසිනි. ඇගේ භාෂා දැනුමට ගෞරවයක් ලෙසින් අවම වශයෙන් ඉන්දියාවට යන්නට ලේඛක භවතුන්ට ලැබුණු ඇයට ලබා දීමටවත් සංස්කෘතික අමාත්‍යංශය කිසිවිටෙක කල්පනා නොකළේ ය. අවසානයේදී, ඇය ඉල්ලා විශ‍්‍රාම ගෙන තමන් අතට ලැබුණු මුදල වියපැහැදම් කරගෙන ඉන්දියාවට ගියාය. එසේ ගොස් අදාළ විශ්ව විද්‍යාල සොයාගෙන ස්වකීය පරිවර්තන කාර්යභාරයට අවශ්‍ය ශික්‍ෂණය ඉමහත් වගකීමකින්, කැපවීමකින් හා හැඟීමකින් අත්පත් කර ගත්තාය.

ඇගේ පළවෙනි පරිවර්තනය වූයේ සත්‍යජිත් රායි මහා සිනමාකරුවකු බවට පත් කළ අපූ ත‍්‍රිත්වයට පාදක වූ විභූති භූෂණ බනද්‍යෝපාධ්‍යයාගේ ශ්‍රේෂ්ඨ වංග නවකතාවයි. කොටස් තුනකින් (මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය) පරිවර්තනය කළ මේ නවකතාවේ පළවෙනි කොටස මුද්‍රණය කර ගන්නට ඈ දැරූ වෑයම වෙනම පොතකට කරුණු සපයයි. එයට හැඳින්වීමක් ලියා දෙන්නට එක් ප‍්‍රවීණ ලේඛකයෙක් රුපියල් පන්දාහක (5000/-) අල්ලසක් ඉල්ලා සිටියේය. පොත මුද්‍රණය කරන්නට ප‍්‍රකාශකයකු සොයා දෙන්නට ඇය ගොදුරක් කර ගන්නට තවත් ප‍්‍රවීණයකු උත්සාහ කළේය. වයෝවෘද්ධ වියත් ලේඛකයකු මේ අත් පිටපත ප‍්‍රකාශයට පත් කරන්නට භාර ගෙන එය අස්ථාන ගත කළේය. මේ ආදී වශයෙන් අපේ සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ සිවිල් බලය හිමි උදවිය මේ තැනැත්තියට දොරගුළු වැසූ, නින්දිත හිරිහැර කළ කාලය වසර දහයකි. ඈ නොමරා මැරූ කාලය වසර දහයකි. සැබැවින්ම ඇයට මුල් අවස්ථාවේදීම නිසි අනුග‍්‍රහයක් ලැබුණේ නම් ඇගෙන් සිංහල සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයට උරුම වන අස්වැන්න කෙතරම් විශාල එකක් විය හැකිද?


සාහිත්‍ය ලෝකයේ දැවැන්තයෝ ඇයට කළ හැකි හැම හතුරුකමක්ම කළහ. බොහෝ විට ඇය ගැහැණියක වීමත් එබඳු සිදුවීම් වලට හේතු වූ සේය. එහෙත් ඇය වෙනුවෙන් ඉදිරිපත් වන්නට කිසිම කාන්තා සංවිධානයක් නොවීය. ඇය තමාගේ ශක්තිය ගැන පරම විශ්වාසයෙන් සියලූ බාධක වලට අභීතව මුහුණ දෙමින් මාවතේ ගීතය යළිත් පරිවර්තනය කොට ජාතික පුස්තකාල සේවා මණ්ඩලයට ඉදිරිපත් කොට මුද්‍රණ අනුග‍්‍රහයක් ලබා ගත්තාය. එහෙත් ඇයගේ පොත් පළ කළ ආයතන ඇයට තව දුරටත් පරිවර්තන කටයුතු තව දුරටත් එපා කරවන තරමේ අශෝභන ප‍්‍රතිචාර දැක්වීම නිසා ඈ කෙටි කලක් යළි නිහඬ වූවාය. එහෙත් අපූ ත‍්‍රිත්වය සම්පූර්ණ ඇයට ප‍්‍රථම වතාවට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් ප‍්‍රදානය කෙරිණි. ඇගේ සාහිත්‍ය ජීවිතය ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණය ඉක්බිතිවද මතු වූ නමුත් ඈ තරගයට බට හෝ ප‍්‍රතිරූපයක් තනා ගැනීමට හෝ වෙර නොගත් ලේඛිකාවක් නිසා ශක්තිමත්ව සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ දෙපා රඳවා ගත්තාය.

ඇගේ දෙවන ප‍්‍රයත්නය වූයේ වංග සාහිත්‍යයේ මහා පුරුෂයෙකු ලෙස සැළකෙන ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ ”ශ‍්‍රී කාන්ත” නවකතාව පරිවර්තනය කිරීමය. මේ දීර්ඝ නවකතාව ”ශ‍්‍රී කාන්ත” යනුවෙන් එක් කොටසක්ද ”ශ‍්‍රී කාන්ත හා රාජලක්‍ෂ්මී” යනුවෙන් අනෙක් කොටසද වශයෙන් කොටස් දෙකකින් අසංක්‍ෂිප්තව පරිවර්තනය කළාය. එම කෘතියේ පළවෙනි කොටසටම රාජ්‍ය සාහිත්‍ය සම්මානය ප‍්‍රදානය කෙරුණි. එය සැබැවින්ම මේ ලේඛිකාවට කළ බුහුමනක් ලෙස කිසිසේත් සැළකිය යුතු නැත.

චින්තා ලක්‍ෂ්මී නිතරම උනන්දු වූයේ ජනප‍්‍රිය කෘතියකට වඩා ගුණයෙන් පොහොසත් කෘතියක් පරිවර්තනය කිරීමටය. උර්දු බසින් ඇය සිංහලයට නැඟූ ඛලීල් ජිබ්රාන්ගේ ”ඉසිවරයා” ඇගේ සාහිත්‍ය දෘෂ්ටිය හොඳින් විදහා දැක්වීය. දාර්ශනික ගැඹුරකින් පොහොසත් කෘතියක් පරිවර්තනය කිරීම අසීරු කාර්යයකි. එහෙත් ඇය පරිවර්තනය කළ ඉසිවරයා ආයාසයෙන් තොරව කියවිය හැකි රමණීය ගද්‍ය කාව්‍යයක් ලෙස සම්භාවනාවට ලක් විය.

චින්තාගේ පරිවර්තන කාර්යයේ රමණීය සන්ධිස්ථානයක් සළකුණු වූයේ ”අරණකට පෙම් බැඳ” නම් වූ කෘතිය පළවීමෙන් යයි සිතමි. විභූති භූෂණ බන්ද්‍යෝපාධ්‍යායගේ ”ආරණ්‍යයක්” නම් වූ වංග නවකතාවේ අසංක්‍ෂිප්ත පරිවර්තනයක් වූ ”අරණකට පෙම්බැඳ” සිංහල පාඨකයන් විශ්මයට පත් කළ අසාමාන්‍ය ගද්‍ය කාව්‍යයකි. මිනිසා හා පරිසරය අතර ඇති අධ්‍යාත්මික බැඳීම පසුබිම් වූ මෙම නවකතාවෙන් නිරූපිත ජීවිත විවරණය කතුවරයාගේ ලෝක දෘෂ්ටිය විදහා දක්වයි. විභූති භූෂණ මෙයින්, මිනිසා, මිනිසාට ආදරය කිරීම හෙවත් මානව භක්තිය මහා ඝන වනාන්තරයක් ඇතුළට ගෙන ගොස් අපට විස්තර කරන්නේ මුනිවරයකු ලෙසිනි. ”අරණකට පෙම්බැඳ” විචාරකයන්ගේ අවධානයට ලක් නොවුණද ලංකාව පුරා අසාමාන්‍ය රසික පරපුරක් චින්තාගේ සාහිත්‍ය දිවියට එකතු කළ අන්දම අසිරිමත්ය. අගනුවරින් චින්තාට අවසන් ගෞරව දැක්වීමට ගිය එකම ලේඛිකාව වූ අනුලා විජේරත්න මැණිකේ මට කීවේ, ...මම මේ දුර තනියම බස් එකේ ආවේ ”අරණකට පෙම්බැඳ” කියවලා මම ලබපු වින්දනය මට වචනයෙන් විස්තර කරන්ඩ බැරි හින්දා. ඉංග‍්‍රීසියෙන්වත් කියවන්න නැති ඒ පොත කියවන්ඩ ලැබුණ එකට ගෞරව කරන්නයි... යන්නයි.

චින්තාගේ ජීවිතය කෙළවර වූයේ ඇය පරිවර්තිකාවක ලෙස මුහුකුරා ගිය අවස්ථාවේදී යයි මට සිතේ. ඇය බරපතල වැඩ කරන්නට අත ගැසුවා පමණි. රවින්ද්‍රනාථ ඨාකුරයන්ගේ ”ගෝරා” නවකතාව චින්තා පරිවර්තනය කළේ එයින් කුළු ගන්වන සමාජ, දේශපාලන අරුත අදට අන් කවරදාකටත් වඩා අදාළ වන හෙයින් යයි මම සිතමි. ගෝරා පරිවර්තනය අතරමඟදී චින්තා රෝගාතුර වූවාය. සැත්කමකට භාජනය වී ඉක්බිතිව සුවය ලබා පැමිණි ඇය ගෝරා පරිවර්තනය සම්පූර්ණ කළාය. ගෝරා එක අතකින් දරුණු යුද්ධයකට මැදි වී සිටික අපට මානව වර්ගයා පිළිබඳ ගැඹුරු මානයකින් ඉදිරිපත් කළ දාර්ශනික පණිවිඩයක් වැන්න.

”ගෝරා” නිසා අරණකට පෙම්බැඳ කෘතිය හරහා ගොඩ නැඟුණු රසික ප‍්‍රජාව වඩාත් පෘථුල වී යයි මට සිතේ. චින්තා දෙවන වතාවට අසනීප වූයේ පේ‍්‍රම් චාන්ද්ගේ ”ගෝදාන” නවකතාවේ පරිවර්තනය සම්පූර්ණ කිරීමෙන් ඉක්බිතිවය. එහෙත් එහි මුද්‍රිත පිටපතක් ඇගේ දෑසට ලක් නොවීය.


පරිවර්තන කාර්යයට චින්තාගේ අවුරුදු පනස් තුනක් (53) වූ ආයු කාලයෙන් වසර විස්සක් වෙන් විය. එහෙත් ඒ වසර විස්සෙන් දහයක්ම සාහිත්‍ය ලෝකයේ බලපුළුවන්කාරයෝ සොරකම් කළහ. ඇය තව වසර දහයක් ජීවත් වූයේ නම් ඉංග‍්‍රීසියෙන් කියවන්නට නොලැබෙන, වංග, උර්දු, හින්දි භාෂා වලින් නිර්මිත ගද්‍ය කාව්‍ය අප දෝතට තිළිණ කරනු නියතය. ඈ කළ කාර්යය කරන්නට හැකි කිසිවකු නොවීම කෙතරම් අභාග්‍යයක්ද? ඇගේ මරණය එක් අතකින් ජාතියේ අවාසනාවය.

චින්තා සිංහල පාඨකයාට තිළිණ කළේ අපූරු සාහිත්‍යයකි. ඇගේ කෘති සියල්ලෙන් උද්දීපනය වන්නේ මානව සම්බන්ධතා පිළිබඳ ගැඹුරු දහමකි. ස්ත‍්‍රී - පුරුෂ සම්බන්ධය, දාරක පේ‍්‍රමය, පුරුෂෝත්තම සමාජයෙහි ස්ත‍්‍රියට අත්වන ඉරණම, අධ්‍යාත්මික පේ‍්‍රමය, චින්තාගේ කෙටි ජීවිත කාලය තුළ පරිවර්තනය කළ කෘති හරහා අපගේ කල්පනයට නතු කෙරේ. ඇය මිය ගියේ අපිට ගැඹුරු දහමක් දෙසූ මුණිවරියක සේය. මිනිස්සුන්ට ආදරය කිරීම තරම් වටිනා තවත් දෙයක් මනුෂ්‍ය ලෝකයෙ නැත යන්න ඇගේ සාහිත්‍ය ජීවිතයෙන් දේශනා කෙරුණ දහමයි.

මේ ශ්‍රේෂ්ඨ ලේඛිකාව තම වගකීම් හා යුතුකම් උපරිම වශයෙන් ඉටු කළාය. එහෙත් ඇයට අප සැලකූ අන්දම කෙතරම් මානුෂිකද??

මේ ශ්‍රේෂ්ඨ ලේඛිකාව වෙනුවෙන් සුදු කොඩියක් එල්වා එන්නටවත් සංස්කෘතික අමාත්‍යංශය සංවේදී නොවීය. සංස්කෘතික අමාත්‍යංශය ඇයට කළ හැකි අවමන් උපරිම අයුරින් ඉටු කළ බව කිව යුතුය. ”රවීන්ද්‍රනාථ ඨාකූර් සහ බෞද්ධ සංස්කෘතිය” නම් වූ ඇගේ ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය සංස්කෘතික අමාත්‍යංශයේ පරිවර්තන ව්‍යාපෘතිය විසින් බාර ගෙන ඈ මිය යන තුරුම ඈට ආපසු නොදෙන්නට තරම් සාහසික වී ඇත.

ඇගේ මරණය, මම අමාත්‍යංශයේ ලේකම් ආරියවංශ රණවීර මහතාට දැනුම් දුනිමි. ඊට මුල් වූයේ රණවීර මහතා දරන තනතුරම නොවේ. ඉතා අප‍්‍රකට, අහිංසක ජීවිතයක් ගත කළ චින්තා ලක්‍ෂ්මී ගැන ඔහුට යම් අවබෝධයක් ඇතැයි සිතීම එක හේතුවකි. සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් වීමට පෙර ලංකා ලේඛක සංවිධානයේ සමලේකම් වූ ආරියවංශ රණවීර මහතාට චින්තා ලක්‍ෂ්මී අමතක වන්නට නොහැකිය. ලේඛක සංගමයේ ආරම්භයේ සිටම ඇය කාරක සභාව නියෝජනය කළාය. දුර බැහැර සිට පැමිණ ඈ හැම කටයුත්තකටම සහභාගී වූවාය. ඒ කෙසේ වෙතත්, ලේඛකයකු - පරිවර්තකයකු ලෙසින් රණවීර මහතා තුළ කිසියම් අවබෝධයක් මේ ලේඛිකාව පිළිබඳව ඇතැයි මම අවංකවම කල්පනා කළෙමි. එහෙත් රණවීර මහතාට කතා කළ මොහොතේ මට එක දෙයක් පැහැදිලි විය. එය නම් ඔහු අවම වශයෙන් ශෝකය පළ කොට ආණ්ඩුවේ වියදමෙන් විදුලි පණිවුඩයක්වත් නොයවන බවයි.

සංස්කෘතික අමාත්‍යංශය මේ වැදගත් ලේඛිකාවට කළ හැකි ඉහළම අවමානය සිදු කළ බව සංවේගයෙන් වුව කිව යුතුය. මීට එකම හේතුව චින්තා ලක්‍ෂ්මී, ගැමි කාන්තාවක ලෙස ජීවත් වීමය. ඇගේ සැමියා, සරම කමිසය හඳින ගැමියකු වීමය. මළ ගෙදරට සංස්කෘතික අමාත්‍යංයේ නිළධාරියකු ගොස් කළ දේ රටවැසියන්ගේ දැන ගැනීම පිණිස මෙහි සඳහන් කරනු වටී.

ඒ නිළධාරියා මිය ගිය ලේඛිකාවගේ සැමියාට කතා කොට නියෝගයක් නිකුත් කර තිබේ. එය නම් චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි මිය ගිය බව පවසා ආධාරයක් ඉල්ලා ලිපියක් ලියා ඊට මරණ දැන්වීමක් ද, කසාද සහතිකය ද අමුණාගෙන සංස්කෘතික අමාත්‍යංශයට බාර දෙන ලෙසයි.

මේ පහත් ක‍්‍රියාව ගැන මට බොහෝ දේ ලියන්නට ඇතිමුත් නොලියමි. සංස්කෘතික අමාත්‍යංශයේ කලා මණ්ඩලය, සංස්කෘතික දෙපාර්තුමේන්තු, සාහිත්‍ය අනුමණ්ඩලය යන ආයතන මෙරට කලාවට, සංස්කෘතියට ඕනෑම අවමානයක් කළ හැකි පහත්, නින්දිත ආයතන බව පමණක් නැවත නැවතත් කියමි.

ජීවිත කාලය තුළ ඉතා ස්වාධීනව, උදාරව ජීවත් වූ මේ වැදගත් ලේඛිකාවගේ මරණය සංස්කෘතික ලේකම්වරයාට දන්වා මා මේ ලේඛිකාවට කළ අවමානය ගැන මම මටම සාප කර ගනිමි. මා බෙහෙවින් අගය කරන ඇගේ ලේඛක දිවියට හැකි සෑම අනුග‍්‍රහයක්ම දැක්වූ මා ඇගේ මරණය සම්බන්ධයෙන් මේ නොමනා කටයුත්ත කළේ කවර පාපයක් නිසාදැයි මටම සිතා ගත නොහැකිය.

සරත් විජේසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails