Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දූෂනය හා වංචාව පිළිබදව ලෝක ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලංකාව සිටි‍නුයේ 91වන ස්ථානයේය. මහා බ්‍රිතාන්‍ය සිටිනුයේ 20වැනි ස්ථානයේය. [1] ලංකාවේ උසාවිය විසින් අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් වරදකරුවෙකු කරවනු ලැබූ මහනුවර හිටපු නගරාධිපතිවරයා වන කේසර සේනානායක වෙත ජනාධිපති සමාව ප්‍රදානය කොට තිබේ. [2] උසාවිය තුළ විභාගවන නඩුවක නොව මාධ්‍ය විසින් උලුප්පා දක්වන ලැබූ සිය වරදක් හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේ ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් ඉල්ලා අස්විය. ලංකාව ඇත්තේ කොතනද? තීරණය ඔබ අතේය.

පෙනෙන හැටියට ලංකාවේ ජනාධිපතිවරයාට රාජ්‍ය දේපොළ දූෂිත ලෙස පරිහරණය කිරීම එතරම් ගණනකට නොගත යුතු තත්ත්වයකි. කේසර සේනානායක උසාවියේ වරදකරු වුවත් සැබැවින්ම උසාවිය විසින් සාධාරණ නඩු විභාග පැවැත්වුවහොත් ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම මන්ත්‍රීවරුන් මෙන්ම අනෙකුත් පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවල නියෝජිත මන්ත්‍රීවරුද සිටිය යුත්තේ කේසරගෙ තැනය. ගැටළුවක් නැත, ජනාධිපති පොදු සමාව මේ සියළු අයටම ලැබීමේ ඉඩ ප්‍රස්ථාවක් ඇත. ලංකාවේ සම්ප්‍රදාය එයයි!

ලියම් ෆොක්ස් තම මිතුරාව සිය රාජ්‍ය ගමන් බිමන්වලට සහභාගී කරවා ගනිමින් බ්‍රිතාන්‍ය රජය විසින් ලියම් ‍‍ෆොක්ස්ට ලබාදී තිබු බලතල මිතුරාගේ ව්‍යාපාර කටයුතු සදහා යොදාගත්තේ එවා බ්‍රිතාන්‍ය නීතියට අනුව කෙසේ වෙතත් සම්ප්‍රදායට අනුකූල නොවන බව නොදැන නොවේ. එහෙත් තමාව රටේ මහජන නියෝජිතයෙකු ලෙස පත්කර ඇති බවත්, තමන් විසින් ඊට නොහොබිනා ආකාරයේ නිරතව ඇති බව ලොවට හෙළි වූ බවත් දැනගත් පසු මෙතෙක් තමන් විසින් දීප්තිමත්ව ඉදිරියට ඇදුනු දේශපාලන ජීවිතයට සමු දීමට ලියම් ‍ෆොක්ස් පසුබට වූයේ නැත‍. ඉල්ලා අස්වීමේ ලිපිය අගමැති ඩේවිඩ් කැමරන්ගේ අතට ලැබුණු පසු එය බාර නොගෙන සිටිමට ඔහු ක්‍රියාකළේ ද නැත. අල්ලසට හා දූෂණයට එරෙහි සම්ප්‍රදාය විය යුත්තේ එයයි. තමන් සිදුකළේ වරදක් බවවත් පිළිගැනීමට තමන් අවංක විය යුතුය.

ලංකාවේ තත්ත්වය අතිශයින්ම අවාසනාවන්තය. ජනාධිපතිවරයා විසින් වංචාව, දූෂණය, වරදක් ලෙස නොදකින බවට සංඥාවක් ලබාදී ඇත. එක අතකට එය පුදුමයට පත්වීමට කාරණයක් වන්නේද නැත. සුනාමි හොර වැඩ, ටකරන් හොරු, කෝප් වාර්තාවෙන් වරදකරුවන් වූ තක්කඩි, කුඩු ජාවාරම්කරුවන් ආදී සකලවිධ දුෂිතයින්, මංකොල්ලකරුවන් පාර්ලිමෙන්තුවේ රැස්වෙමින් ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගනිමින් හිඳිති. මිනී මැරීමට කොන්ත්‍රාත් ලබා දුන් බවට චෝදනා සහිත මහජන නියෝජිතයින් දුසිම් ගණනක් මේ පිරිස හොබවන්නෝය.

ලංකාවේ වැරදි පිළිගැනීමේ හෝ වැරදි පිළිබදව සදාචාරමය සීමාවක් ඇත්තේම නැත. සියල්ලට වඩා තීරණාත්මක බලය ය. බලය ඇති විට එළිපිට නීතිය හා සදාචාරමය වැරදි සියල්ල කරන අතරම බලය ඇති පාර්ශවය විසින් බලය නැති පාර්ශවයේ සිය‍ළු වැරදි නීතිය හමුවට ගෙන ඒමට පමණක් නොව වැරදිකරුවන් ලෙස දඬුවම් ලබාදීමට අවශ්‍ය කටයුතු සියල්ල සිදුකරයි. බලය ඇති විට රඟනු ලැබූ එක් අගවිනිසුරුවරයෙකුගේ ෆයිල් එළියට ඒමට නියමිත මේ නිසාය. ඊට හේතුව නීතිය කඩකිරීම නොව බලය ඇති පිරිසේ බලයට අභියෝග කිරීම නිසාය. නීතිය යනු ප්‍රජාතන්ත්‍රීය සමාජ සන්දර්භයක භාවිතා වන උපකරණයකි. ඊට නොගැලපෙන සමාජයකදී නීතිය යනු වඳුරාට දැලි පිහිය හසුවීමට වඩා බොහෝ භයානක තත්ත්වයකි.

නීතිය පිළිබදව මහජන විශ්වාසය බිඳීගිය පසු සිදුවන තත්ත්වය ඉතා බරපතලය. ඒ බව මැනවින් පෙන්වාදෙන සිදුවීම් ප්‍රමාණයේ සීග්‍ර ඉහළ යෑමක් පසුගිය කාලය පුරාවට දක්නට ලැබුණි.‍ කරන්දෙණියේදී හෝ දොම්පේ ප්‍රදේශයේදී සිදුවූ සිදුවීම් මෙම සිදුවීම් වල අවසාන ඒවා ද නොවේ. ඇමතිවරු රටේ ව්‍යවස්ථාපිත නිතිය කඩකරන ආකාරය පිළිබදව වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි තිබියදීත් ඒවා පිළිබඳව නීතිය ක්‍රියාත්මක නොකෙරෙයි. මුහුණට මුහුණ වෙඩි තබාගෙන කෙනෙක් මියගිය පසු අනෙකා වරදකරුවෙක් නොවන බව වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ කරන විට නීතිය පිළිබදව විශ්වාසය ඇත්තේ බලයේ ඉහළින් වැජඹෙන්නන්ට පමණි. ඔවුන්ට නීතිය තමන් සතු ආයුධයකි.

කිසියම් පුද්ගලයෙකුට තවත් අයෙකුගෙන් වරදක් සිදුවූ විට ඊට විරුද්ධව සාධාරණත්වය බලාපොරොත්තු වන්නේ පොලිසියෙන් හෝ අධිකරණ‍ය වෙතිනි. එකී ආයතන වල ස්වාධීනත්වය පිළිබඳව ප්‍රශ්ණාර්ථ මතුකරන සිද්ධි පසුගිය කාලය පුරාවටම බහුලව සිදුවිය. තමන්ට සාධාරණය ඉටු වේ යැයි මෙතෙක් පොලීසිය හෝ අධිකරණය කෙරෙහි පැවති විශ්වාසය බිඳ වැටුණු පසු තමන්‍ වෙනුවෙන් සාධාරණත්වය ඉටුකරගැනීමට තමන්ම ඉදිරිපත් වීම හැඟීම්බර මොහොතක දී වන අහුඹුවක් නොවේ. එහෙත් එතුලින් සිදුවන්නේ තවදුරටත් නීතිය කඩකිරීමම පමණි. එහෙත් නීතිය, සාධාරණත්වය තවදුරටත් වලංගු නොවන රටක තමන් වෙනුවෙන් තමන් පෙනී සිටීම හැර මිනිසුන් සතු විකල්පය කවරේ ද?

නීතිය හෝ සාධාරණත්වය පවත්වාගැනීම පිළිබඳ තව දුරටත් මිලිටරිමය උපක්‍රම දියත් කරමින් පවතින බවක් පෙනේ. ‍මහජනයා නීතිය අතට ගන්නා අවස්ථාවල දී පොලීසිය, එස්ටීඑෆ් සහ හමුදාව යෙදවීමත් තත්ත්වය සමනය වන තුරු පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් දිගින් දිගටම සිදු වෙමින් පැවති අතර ඒ එකදු සිදුවීමක් සම්බන්ධයෙන්වත් පසු-විමසීමක් කොට ප්‍රශ්ණයේ මූලය සොයා ඊට පිළියම් කිරීමක් සිදු නොකෙරුණි; හුදෙක් බලය ම අභ්‍යාස කිරීමෙන් සකල දෝෂ නිවාරණය වේ යැයි සිතන්නාක් මෙනි.

භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් අද වන තෙක් දුමින්ද සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැත.එක්තරා පුවත්පත් කතුවරයෙක් ඉතාම නිවැරදි ලෙස සටහන් කොට තිබූ අන්දමට ඔහු මේ රටේ නීතියට සිය ස්ථුල පශ්චාත් භාගය පෙන්වමින්, ඇතැම් විට එයින්ම සිනාසෙමින්, කටුනායකින් පුද්ගලික ජෙට් යානයක නැගී ඉගිලී ගියේය. ඒ සමග භාරත ඝාතනයෙන් අනතුරුව එළඹුනු කාලච්ඡේදය මුළුල්ලේ ම රට තුළ ඇති වූ සකල විධ චලනයන් නිශ්චල කරන ලද අතර ප්‍රශ්ණය තාවකාලිකව අපනයනය කෙරිණ!

මේ ආකාරයෙන් නීතිය හෝ සාධාරණත්වය පිළිබඳ පොදු සමාජ පිළිගැනීමක් ලබා ගැනීම උගහටය. ලංකාව වැටී ඇති ආගාධයෙන් ගොඩ ඒමේ මාර්ගයට වත් පැමිණෙන්නට නම් ලියම් ‍ෆොක්ස් ගේ කැපකිරීමට වඩා දැඩි කැපකිරීම් වලට ලාංකික සමාජය සුදානම් විය යුතුය. සම්ප්‍රදාය “සාධාරණත්වය” නම් ඒවා කිසිලෙසකින් වත් අපහසු දේවල් නොවේ. බලය ම: හුදු නග්න බලයම උපයෝගී කර ගනිමින් දුවන මේ දිවිල්ලේ කෙළවර කුමක් ද?

[1] Corruption Perceptions Index 2010 Results.
[2] Ex Kandy Mayor released on Presidents pardon

නද්යා භාෂිණී අමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails