Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලා කහ පැහැති වට්ටක්කා මල් පිපුණු
අලුයම තුෂර පිනි මත
නුඹ මට දායද කළ... සිඟිති ගෙමිදුලෙහි
ඇඟිලි තුඩු මතින් දිව යමි මම
ඔබ උරුම කර ගිය අපමණ දෑ අතරට

සියොතුන්ට ලෙහෙනුන්ට බත් හුළු දන්දෙමින්
අයාලේ යන සතුන්ගේ පිපාසය සංසිඳුවන
පැන් බඳුන් පුරවමින්..
සුදෝ සුදු වතු සුදු මල් දෝත දරා
මා පිටව යන පෙරමග... හොරැහින් බලමින්
දවසැරඹූ නුඹ නැති කඩුල්ල පාළුය

මුළු ගම්මානයම නිසලව වැලපේ තවම
ගම්මානයටම ආදරණීය පියකු වූ බව නුඹ
මගේ හද පතුලට දැනුනේ
නුඹේ මලගම දා ගම්මානයේ දෝරේ ගලා ගිය
ආදරයේ කඳුළැලි අතරිනි.

සැඳෑ අඳුරේ ඇදී යන සුදු වෑන් රියකින් තැති ගැනී
දොරගුලු ලා මා රැකගන්න අපරිමිත වෙර දැරූ
ආදරණීය තාත්තේ
නුඹට අවැසි තරමට
කීකරු නොවූ මේ හිතුවක්කාරිය වෙනුවෙන්
හද පතුලේ වූ ආදරණීය ආඩම්බරය
මහ මෙරක් වූ ලෙන්ගතු කම
අප දෙදෙනා හැර අන් කවුරු දන්නෙද?

නුඹ මා අතැර ගොස් නැත
නුඹ සිටී පැතිරී මගේ දිවිය පුරාවට
මා වෙත ස්නේහයේ නෙතු හයාගෙන
මිනිස්කමෙහි අරුත් පමණක්ම සොයා යාමට
මරණයට එරෙහිව ජීවිතය පුදන්නට
දියණියක බිහිකර ලොවට දන් දුන්නාට
බොහොම ස්තුතියි තාත්තේ
සංසාරය පුරාවට!

2011.10.10

තිළිනා වීරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails