
ලතා ලපලු සේ සිරසට සෙවණ සදන්නෙම්මා
ඉතා නපුරු හීන යටින් මල් පෙති අහුලම්මා
රටා පැදුර ජීවිතයේ අහුමුළු පුරවම්මා
වටා කැකුළු මල් පිරිවර මමයි ගෙදර අම්මා
අඬා කඳුළු පැන්කොතලය කරවට ඉතිරෙන්නේ
කුඩා එවුන් රජවරු සේ පතුලෙන් හිනැහෙන්නේ
විඩා නිවන ඇල් පවනක් නෑ ගිනි දැල්වෙන්නේ
කඩා ගන්න පෙර මල් පෙති නටුවෙන් ගිලිහෙන්නේ
ඉර අවුදින් ඉපල් ඉරටු මිටියෙන් තලමින්නා
සඳ අවුදින් නැගි පලු වල කල්කය තවරන්නා
ගිර මහමෙර බර හිස මත නොසැලී ඉඳ ඉන්නා
අර ඈතින් කණා මැදිරි එළියන් දිස්වෙන්නා
හතුරු වෙසින් රකුසු ලෙසින් ඉරණම හිනැහෙන්නේ
කතුරු යටින් මහගිරිදඹ නැගගෙන අපි යන්නේ
අකුරු තරහ මාත් එක්ක දරුවන් යාලුයි නේ
ඉතුරු ටිකත් ඉවසන්නම් උන් එතෙරව යයිනේ
පද්මිණි ශ්රියාලතා



