Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සුනිල් එදිරිසිංහයන් "මාතර ආච්චි" චිත්‍රපටයට ගැයූ වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් පෝෂිත වොලී නානායක්කාර ලියූ මේ ගීතය රසික විද්වත් දෙපාර්ශ්වයෙන් ම දහස් වර ප්‍රශංසනයට පාත්‍ර වූ එකකි. "මේ ගැන තවත් කුමක් නම් කතා කරන්නේදැයි" ඔබ සිතනු ඇත. මෙය අද දවසේ කළ යුතු ම එකකැයි මම සිතමි. මගේ රටේ ප්‍රවීණයන් විද්වතුන් හා රසිකයන් විසින් එතෙක් මෙතෙක් පවත්වා ගෙන යන ලද්දා වූ චාරිත්‍රයක් වෙයි. ඒ නම් අනුචිත ප්‍රවීණ වන්දනා මානයයි. වැඩිහිටියන් ජේ්‍යෂ්ඨයන් බහුමානයට ලක්කිරීම ප්‍රගතිලෝලී යුක්තිගරුක සමාජය විසින් පිටු දක්නා ලද්දක් නොවේ. අනුදක්නා ලද්දකි. එසේ වුවද එය අවිචාරයෙන් කළ යුත්තක් ද නොවේ.

අගෝචර ප්‍රවීණ වන්දනාව නිසා අප අහිමි කර ගනිමින් සිටින දෑ බොහෝය. විඳගැනීමට සිදුවී ඇති අලාභයන් ද බොහෝය. ගායකයෝ ද රචකයෝ ද පදනම් විරහිතව උස් අසුන් ගෙන සිටිති. ගෞරවයේ වලංගුභාවයත්, තේජවන්තභාවයේ අසිරියත් කරණ කොට ගෙන අපි වරදක් දුටුවද එරෙහිව කටක් නොඅරිමු. මේ චාරිත්‍රයෙන් නිර්මාණයක සැබෑ සෞභාග්‍යය දැක ගැනීමේ අවකාශය වැසී යයි. දෝෂය අනුමත වෙයි. මේ දුෂ් ප්‍රවණතාව නුදුරේදී නිමා විය යුතුය. නිමාව කොතැනින් හෝ ඇරඹිය යුතුය. සාහිත්‍ය කලා අඩවියේ සශ්‍රීකත්වය උදෙසා වන යත්නයක් බැවින් සංවර්ධන ලෝලී පාඨකයාගෙන් තමාට සමාව ලැබෙතැයි ලියුම්කරු සිතයි.

සම්මත පද සාධන රීති හා වියරණය අනුව ලියන්නේ නම් යම් වැකියක් බහු අර්ථ නූපදවයි. මෙය කවියට ද ගීත රචනයට ද ගද්‍ය ලේඛනයට ද එකසේ අදාළ වෙයි. "රට සෙමෙන් වැනැසෙයි" යන වැකිය ගනිමු. මෙහි අරුත් දෙකක් නැත. ඇත්තේ එකකි. යම් වැකියක් බහු අරුත් නගන්නේ නම් ඊට හේතු දෙකක් දැක්විය හැකිය.

1. වැකිය සම්මත පද සාධන නීති නොසලකා ලියා තිබීම.
2. උත්තර ලේඛකයා විසින් ව්‍යංගාර්ථ නගන සේ පද සංස්කරණය කර තිබීම.


ඉහත පද රචනයේදී මින් දෙවැන්න ඉවත් කළ හැකි බව පෙනෙයි. මේ ගීත රචනය දෙදෙනෙකුට දෙයාකාරයකින් වැටහී යා හැකිය. එසේ වෙතොත් වනුයේ පළමුවන හේතුව එනම් පද සාධන රීති දෝෂය නිසයි. එබැවින් රචනයේ පද වින්‍යාසය අනුව යමින් අරුත් කියන්නට අපට සිදු වේ. එවිට ලේඛකයාට ඒ ගැන එක එක අදහස් ප්‍රකාශ කිරීමේ අවකාශය වැළකී යයි. "මං කීවේ මෙහෙමයි" කියා ඔහුට බේරෙන්නට බැරි වෙයි. එබැවින් රචනයේ පද සංයෝජනයේ අනුසාරයෙන්ම අරුත් කීම නිවැරදි වෙයි.

මේ ගීත රචනය උදෙසා මා කියන්නේ එහි පද වියමනෙන් නිවේදනය වන අරුත්ම පමණි. එබැවින් "එය එසේ නොවේ මෙසේ යැයි" කියන්නට වෙනත් අයෙකුට හැකි වෙතොත් ඔහු ඊට පිළිගත හැකි සාධක දැක්විය යුතු වෙයි. මේ සාධක සම්මත භාෂා න්‍යාය ධර්මයන්ට අනුකූල විය යුතු ද වෙයි.

"සඳකඩ පහණක කැටයම් ඔප ලා" නම් වූ ගීතය තරම් අර්ථ සම්පත්තියෙන් විමුක්ත වූ පද රචනයක් මෑත කාලයේදී සොයා ගැනීම දුෂ්කරය.

"සඳකඩ පහණක කැටයම් ඔප ලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලැතුණු රසයක පැන ආ බුබුළක්
අකුරු වැලක් දෙහදක ලියැවේ

යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතට ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලැවෙද්දී"


"සඳකඩ පහනක කැටයම් ඔප ලා - පාවෙන දේදුනු ලැගුම් ගනී" මේ කුමක්ද? "දේදුනු ලැගුම් ගනී" යන්න නව්‍ය ප්‍රකාශයකි. එය අලුත් හැඟුම් ඇති කරයි. එහෙත් මේවා "පාවෙන දේදුනු" වෙයි. මැකී යන හා පායන දේදුනු ඇතත් "පාවෙන දේදුනු" ඇත්තේ කොහේද? මේවා දුටහොත් කුඩා ළමයින් මතු නොව අප ද බියපත් වනු ඇත. දේදුන්න සඳකඩ පහණට හැඩ රුවින් සමානය. එහෙත් මේ දේදුනු ලැගුම් ගන්නේ මේ අශ්ව ගව රූපාදිය ඔපලමිනි. මනහරය. දැන් දෙවැනි පියට යමු.

"කැලැතුණු රසයක පැන ආ බුබුළක් අකුරු වැළක් දෙහදක ලියවේ." අරුත් මෙසේය.

රසයක් කැලැතෙයි. ඉන් බුබුළක් පැන නඟී. ඒ බුබුළ ද අකුරු වැළක් ද දෙහදක ලියැවෙයි. බුබුළු දමමින් කැලතෙන රසයකින් එක් බුබුළක් ඉවත පැනනඟී. එය ලියැවෙන්නට හදවත් දෙකක් ළඟට එයි. එහිදී අකුරු වැළක් ද හමුවේ. දෙගොල්ලෝම හදවත් දෙකේ ලියැවෙති. එසේ ලියැ වුණු පසු හදවත් දෙක බලා ගැනීමට යම් ඉඩක් ලැබුණොත් එහි ස්වභාවය අනුමාන කළ හැකි වන්නේය. අර තරම් වර්ණිත දේදුනු දැන් කොහේවත් නැත. ඒවා එහි තිබියදී අකුරු වැළක් විත් හදවත් දෙකක ලියැවෙයි. වැළෙන් බාගයක් එක් හදකය. එනෙක් බාගය අනෙකේය. සුන්දර නැද්ද?

"යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලැ වෙද්දී"


මේ ප්‍රේමවන්තයා නුවණැත්තෙකි. ඔහු ආවාට ගියාට කෙල්ල අරන් යන්නේ නැත. යන්නේ "දිවියක පදනම මතු වෙද්දී" ය. එය ඉතා හිතකර ක්‍රියාවකි. රැකියාවක් ලැබී ඇති බවින් (දිවියක පදනම මතු වූ ඇත.) දැන් ඈ ගෙන ගිය හැකිය. මේ රක්ෂාව තරුණයාට ලැබෙන්නේ කොහේදී ද? "යුගයෙන් යුගයට නොමියෙන දහනක" දීය.

කෙතෙක් යුග පසු කළ ද අමරණීය වූ (රජ) දහනකි. එය නිර්වාණය හෝ ස්වර්ගය හෝ විය යුතු බවට සැකයක් තිබිය නොහැකිය. නිවනේ ජොබ් එකක් ලැබීම නිකම් නිවන් යනවාට වැඩි එකකි. නිවනට පිවිසීම හැරුණු විට එහි රැකියාවක් සුරක්ෂිත කර ගැනීමට හැකි වීමටත් වැඩි භාග්‍යයක් මනුෂ්‍යයෙකුට තිබිය නොහැකිය. ඈ ද එහි යන්නට වරම් ලබයි. එහෙත් ඈ ගෙන යද්දී "සියුමැලි කැකුළක් මැලැවෙයි" මේ සියුමැලි කැකුළ තරුණියගේ ලාබාල නැගණිය විය යුතුය. අක්කා ස්වර්ගයට ගෙන ගියද මේ සිඟිති දැරිය ශෝක වීම පුදුමයක් නොවේ. එහිදී රචකයා නිර්දෝෂී වේ.

"දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බින්දූ
ගව්වක් ඉහළට ගොනු කොට රඳවා
පොපියන කැකුළක් එහි කැන්දූ

අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හ මුසුවෙන වැහි බිංදූ
ඈගෙන යද්දී නටබුන් අතරෙක
තවකෙක් ඈ වෙත හද රැන්දූ"


වෙනත් යම් පෙම්වතෙකුට කරනවා තබා සිතීමටවත් දුෂ්කර වන විශ්මිත ප්‍රාතිහාර්යයන් සමූහයක් සිදු වන්නේ මින් ඉක්බිතිවය. ප්‍රථමයෙන්ම දහසක් පෙති මත රහසක් කොඳුරනු ලබයි. ලොවේ යම් තැනෙක "තුඩින් තුඩට ගෙන යන බින්දූ" සමූහයක් තිබේ. මේ බින්දු සමූහය දෑත් ගොනු කොට ගව්වක් ඉහළින් රඳවනු ලබයි. මේ සුපර් සොනික් ජෙට්යානයක් සාමාන්‍යයෙන් යන උසටත් වඩා ඉහළ තැනක් බව සිහිපත් කර ගැනීමෙන් පෙළහරේ තරම දැන ගත හැකිය. දිගු පුළුලින් නිමක් දැක්ක නොහෙන්නාව වූ නීලාකාශයේ ගව්වක් තරම් ඉහළ තැනෙක රඳවනු ලැබූ, ගොනු කොට ගත් බින්දු සමූහය වෙතට ඊ ළඟට කැන්දාගෙන එන්නේ කුමක්ද? පොපියන දෙතොලකි. පොපියන හෝ නොපොපියන දෙතොළක් පමණක් සිරුරේ අනෙක් අවයවයන්ගෙන් වෙන් කොට ගත නොහැකිය. එබැවින් මේ අසිරිමත් ගීත රචකයා අපට අඟවන්නේ ඒ දෙතොල් සහිත ඇය ගුවන් තලයේ ප්‍රස්තුත උත්තුංගස්ථානය වෙත ප්‍රවාහනය කළ බවය. අර තරම් උසෙක බින්දු ටිකක් ගොනු කොට එහි ස්ත්‍රියක් රැඳවීම බුදුන්වහන්සේගේ යමා මහ පෙළහරින් පසුව සිදු කරන ලද විශ්මිතම ආශ්චර්යය බව කිව යුතුව තිබේ. මේ පාර භෞතික ප්‍රාතිහාර්යයයෙන් පසු නොනවතින රචකයා අනතුරුව ඉහත පෙළහරට කිසි ලෙසකිනුත් නොපරදන භාෂා ප්‍රාතිහාර්යයකට ද යයි. ඒ තමන් ආරම්භ කළ වැකිය ඉවර නොකොට මඟ නවතා වෙනත් වැකියක් ඇරඹීමය. සිංහල සාහිත්‍ය වංශ කතාවේ එතෙක් මෙතෙක් කවර හෝ කෘතියක අන්තර්ගත නොවූ මේ බස් නියර අප ප්‍රථමවරට හඳුනා ගන්නේ මේ ගීතයෙනි. මෙය නිදර්ශනය කළ හැක්කේ පහත දැක්වෙන අයුරිනි.

"බල්ලා බත්
කෙල්ල දියට යයි"
වැන්නකි.

අප විසින් මුලදී කියවනු ලැබූ අනුපමේය වර්ණනයෙන් විභූෂිත ළඳ ගුවනේ එතැන් හිම සිටියදීඅහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා වැහි බින්දු මුසුවෙයි. මෙහි "ඒ හා" යන්න අවධාරණය විය යුතුය. ඒ නම් අන් කිසිවක් නොව අර ඉහළ අහසේ ගොනුකළ බින්දු සමූහය වෙත පැමිණි ළඳයි. දැන් ඒ ළඳ සමග වැහි බින්දු මුසුවෙයි. සාරාංශය මෙබඳු වෙයි. (ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන බැවින් පාථකයාට මෙහි සාරාංශය සකස් කර ගැනීම දුෂ්කර විය හැකිය. එබැවින් මම ඔබට උදව් කරමි.)

"බින්දු සමූහයක් ගව්වක් ඉහළ අහසේ තැනෙක ගොනු වෙයි. එතැනට පොපියන දෙතොළක් සහිත ළඳක් කැඳවනු ලබයි. අහසක් ගුගුරා වැහි බින්දු ඇද හැලෙයි. ඒ වැසි බිඳු ලිය ද බින්දු සමූහය ද හා මුසුවෙයි."

මේ සානුකම්පිත ව්‍යාඛ්‍යානය ගීත රචකයා ලියන්නට සිහිනෙකිනුදු අපේක්ෂා කළ එකක් විය නොහැකිය. එසේ නම් මේ වී ඇත්තේ කුමක්ද? සිතට එන සිත් කළු ඡේදයන් හා පදයන් අවිචාරයෙන් එකට ඇමිණීමේ අනිටු ප්‍රතිඵල මෙසේ වේ. මෙය පිස්සාගේ පලා මල්ල වැන්නකි. පිස්සා වර්ණවත් වීදුරු කටුවක් දුටුවහොත් එය ඇහිඳ මල්ලේ ලා ගනී. ඇණයක් මුරිච්චියක් වර්ණවත් කොළ කෑල්ලක් හෝ වයර් කැබැල්ලක් දුටු විට ද ඇහිඳී. තමාට වටිනා යයි හිතෙන සියල්ලෙන්ම මල්ල පිරී ඇත. මේ ගීත රචකයා ද එවැන්නෙකි. "පොපියන තොල්, නොමියන දහනක, රහසක් කොඳුරා, ලැගුම් ගන්නා දේදුනු, කැලැතුණු රස, පැන ආ බුබුළක්, අකුරු වැළක් දෙහදක ලියැවේ" ආදිය මේ රචකයාට මියුරු ඡේද වෙයි. ඔහු මේවා එකිනෙක ගැටගසා ගීතයක් ලියයි. ඉහත ගීතය නිර්මාණය වූයේ එසේය. මේවා අප මතු මාලයේ ලා සලකන ගීත නම් ඒ ගී රස විඳිනවාට වඩා වල් වැද දිවි තොර කර ගැනීම වඩා අගනේය. වික්ටර් රත්නායකයන් මීට මධුර ශබ්දාලේපනය කරති. සුනිල් එදිරිසිංහ මෙයට සිය කර්ණාලෝලී මියුරු කටහඬ සම්ප්‍රදානය කරයි.

මනහර වර්ණාලේපයෙන් සුසැදි දළ මැටියෙන් කම් කළ ළමයෙකුගේ වැඩක් බඳු පිළිරුවක් මෙන් මේ ගීතය මට දිස්වෙයි. මේ රමණීය ගීතය ගායක සංගීතඥ දෙපළට අයිතිය. රචකයාගේ සම්ප්‍රදානයක් ඇත්තේ ම නැති තරම් වන බැවිනි. අපතේ ගිය සංගීත හා ගායන කෞශල්‍යයකට උත්තර නිදර්ශනයක් සැපයීම හැරුණු කොට මේ ගීතයෙන් සිරිලක මියැසි අඩවියට පත් වූ ශාන්තියක් නොමැති බව සඳහන් කොට තබමි. ගීතයේ ඉතිරි කොටසට වියනක් සැපයීම මම අත්හළෙමි. එහි විනිශ්චය පාඨක සංවේගය උදෙසා මම ඉතිරි කරමි. ඉතිරි කර විඩා නිමා ගනිමි.

[2008 මාර්තු 08- රාවය]

බණ්ඩාර සෙනෙවිරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails