Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කලාව ලෝක සමාජ හැසිරීමෙන් වියුක්ත කොට - ඒකලනය කොට හදුනාගත හැක්කක් නොවේ. එය අත්‍යන්තයෙන්ම සමාජ විපර්යාසය හා බැදී ඇත්තේ කලාව නිසා සමාජයත්-සමාජය නිසා කලාවත් ඉදිරියට තල්ලු වන දයලෙක්තික සම්බන්ධයක් ඇතිවය. මේ ලියමන අරමුණු කරන්නේ 19 වන සියවසේ කරළියට ආ යථාර්ථවාදය, ස්වභාවිකවාදය වැනි දාර්ශනික ආස්ථානයන්හි ප්‍රභාවෙන් ජන්මය ලබා හැදී වැඩී ප්‍රජනන කාර්යයේ නියැලුණු සුසාදිත නාට්‍ය කලාවට එරෙහිව කැරළි ගැසූ ප්‍රති-යථාර්ථවාදීමය එළඹුම - විසංගත නාට්‍ය කලාවට බලපෑ න්‍යායික පසුබිම ඇසුරින් නව යටත්විජිතකරණයට ලක් වූ ශ්‍රී ලංකාවේ අප ගත කරන මේ මොහොත ස්පර්ශ කර බැලීමයි.

යථාර්ථවාදය - ස්වභාවිකවාදය හා සුසාදිත නාට්‍ය කලාව

ස්වභාවධර්මය දේවත්වයට නැංවූ - මිනිස් පරමාදර්ශී බව පිළිබඳ සිහිනයක එල්බගත් රෝමාන්තිකවාදයේ අර්ථශූන්‍යත්වයට පහර දෙමින් අළු දූලි ගසා එළියට පැමිණි යථාර්ථවාදීන් මනුෂ්‍යයාගේ ප්‍රකෘති තත්වය විද්‍යාත්මකව හා වඩාත් නිවැරදිව ගවේෂණය කරමින් අනාවරණය කරගනු පිණිස වෙහෙසිණ. විශේෂයෙන්ම ඔගස්ට් කොම්තේගේ යථානුභූතිවාදී දර්ශනයත්, චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයත්, කාල් මාක්ස්ගේ ඓතිහාසික භෞතිකවාදයත් යන මූලික සිද්ධාන්තයන්ගේ එළිය උදුරා ගත් යථාර්වාදී නාට්‍ය කලාව සැබෑ ජීවිතය සත්‍යවාදීව ප්‍රතිනිර්මාණය කරන්නට පෙළඹුණේය. කනිෂ්ඨ ඇලෙක්සැන්ඩර් ඩූමා, එමිල් ඕගියර් ආදීන්ගෙන් ඇරඹුණු මේ නාට්‍ය කලාව හෙන්රික් ඉබ්සන්, ඇන්ටන් චෙකොෆ්, ආතර් පින්රෝ, හෙන්රි ආතර් ජෝන්ස්, ජෝන් ගැල්ස්පර්දි, ජෝර්ජ් බර්නාඩ් ෂෝ ආදී ප්‍රධාන කලාකරුවන්ගේ කර මතින් දුර ගමනක යෙදිණි. එහි වර්ධනය හා සමාන්තර එමිල් සෝලා වැනී ප්‍රවීන නාට්‍යකරුවන්ගේ ස්වාභාවිකවාදී ප්‍රවේශයත් සමගින් එක්තරා තීර්ණාත්මක මොහොතක් කරා මේ නාට්‍ය කලාව ළගා වෙයි.

මනුෂ්‍ය ජීවිතයේ එදිනෙදා සිදුවීම් හා අවස්ථා තත්වාකාරයෙන් නිරූපණය කරමින් - මනුෂ්‍ය ගැටුම් හා එම ගැටලු වලට තාර්කික හේතු ඵල දක්වමින් - තර්කානුකූල හා විශ්වසනීය නිගමනාත්මක අවසානයක් කරා එළඹීම සුසාදිත නාට්‍ය කලාවේ ස්වභාවයයි. නමුත් තත්‍ය යථාර්ථය මිනිසා විසින් සංජානනය කරගෙන එය යළි ප්‍රතිනිර්මාණය කරන්නාවූ මේ කලාවේ සීමාත්මකබවට එරෙහිව විවිධාකාරයේ කැරළි මතුවන්නට විය. “පරම සත්‍යය තර්කයෙන් අවබෝධ කළ නොහැකි හෙයින් එය තර්කානුකූල භාෂාවෙන් ප්‍රකාශ කළ නොහැකි බවත් එය හුදෙක් සංකේතාත්මක වස්තු වලින් හා ක්‍රියා වලින් ධ්වනිත කළ හැකිය”1 යන මතය දැරූ සංකේතවාදීන්, “යථාර්ථයේ බාහිර පෙනුම ප්‍රතිනිෂ්පාදනය කිරීම නොව සියලු වස්තු ක්‍රියා හා අත්දැකීම් මානුෂික විලාසයෙන් නිරූපණය කිරීම”2 කලාකරුවාගේ කාර්ය ලෙස වටහා ගත් ප්‍රකාශනවාදීන් හා “නිෂ්පාදනාත්මක සහභාගීත්වයක්” මගින් කෘතිය හා සජීවි විය යුතු යැයි පැවසූ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ රංග ක්‍රමය ඒ හා සමකාලීනව පැතිරී ගිය සමාජවාදී ආරේ “සමාජ ක්‍රියා රංගය”මේ සදහා සාක්ෂි සපයයි. මේ සියලු ආකාරයේ එළඹුම් අතික්‍රමණය කළ කලා භාවිතයක් ලෙස 1950 දසකයේ අසංගත නාට්‍ය කලාවේ ආගමනය සිදු වෙයි.


විසංගත නාට්‍යයේ න්‍යායික පසුබිම

විසංගත නාට්‍ය කලාවෙහි අඩිතාලම වැටෙන්නේ ෂෝන් පෝල් සාත්‍රෙ, ඇල්බෙයා කැමූ වැනි දාර්ශනිකයන්ගේ/සාහිත්‍යකරුවන්ගේ අදහස් ගැබ් වුණු සාංදෘෂ්ටිකවාදී- existentialism- දර්ශනය වෙතිනි. එය නාභිගත වී ඇත්තේ “මිනිස් පැවැත්ම” වෙතය. මිනිසා සම්පූර්ණයෙන්ම නිදහස් පැවැත්මක් ඇත්තෙකු බවත් - අරුත් සුන් ලෝකය තුළ වසන මනුෂ්‍යයාගේ සියලු ක්‍රියාකාරකම් වලට වගකිව යුතු වන්නේ ඔහු මිස වෙනත් කිසිවකු නොවන බවත් මෙම දර්ශනයේ හරයයි. විශේෂයෙන්ම මේ න්‍යායික පසුබිම පළමු ලෝක යුද්ධයෙන් පසුව රෝපණය වී දෙවන ලෝක යුද්ධයෙන් පසුව වැඩී වර්ධනය වෙයි. සමකාලීන ලෝක දේශපාලනික හා සමාජ හැසිරීම් මත පදනම් වෙමින් ඔවුන් ප්‍රකාශ කලේ ලෝකයේ සිදුවීම් හා ඒ මත බැදුණු කරුණු වල කිසිදු අර්ථයක් නැති බවයි. ඒවාට අර්ථ කවන්නේ මිනිසා විසින් වන අතර එකී අර්ථ කෙරෙහිද කිසිම ආකාරයකින් හේතුඵලවාදී සම්බන්ධයක් නොමැති බවත් ඒවා හුදු මිනිස් ප්‍රබන්ධ පමණක් වන බවත් ඔවුන් ප්‍රකාශ කරයි. මෙම දාර්ශනික ප්‍රවේශය හරහා නිර්මාණකරණයට එළඹෙන විවිධ කලාකරුවන් විසින් එහි විෂය පථය තවත් පළල් කරනු ලැබිණ. සැමුවෙල් බෙකට්, ඉයුජින් අයනෙස්කෝ, පිරැන්දලෝ, හැරල්ඩ් පින්ටර්, ආතර් ඇඩොමොව්, එඩ්වඩ් ඇල්බී, ජීන් ජෙනට් ආදීන් ඒ අතරින් කැපී පෙනෙයි.

ලාංකේය “මේ මොහොතේ” සංදිග්ධ ගතිකත්වය ඇස ගා බැලීම හා විසංගත න්‍යායේ එළියෙන් එහි ප්‍රතිබිම්බය දැකීම

නව යටත්විජිතකරණයේ ගොදුරක් වන මේ කුඩා දූපතෙහි ආර්ථික-සමාජයීය-දේශපාලනික ආදී වූ සියලූම සංස්කෘතික ව්‍යුහයන්ගේ ගතිකත්වය දෙස යන්තම් - උඩින් පල්ලෙන් ඇස ගහගෙන යාමෙන් පමණක් එහි ඇති අසංගතිකබව-අභූතරූපිත්වය වටහා ගැනීමට හැකිය. මේ වනවිට ඕනෑ තරම් සාකච්ඡාවේ පවතින පශ්චාත් යුද වාතාවරණය තුළ සිංහල-දෙමළ අති-සමාන්‍ය පුරවැසියාගේ සිට සියලු රාජත්‍රාන්තිකයින් හරහා පළමු පුරවැසියා දක්වා හැසිරීම තීව්‍ර කරන්නේ ඒ අභූතරූපිත්වයයි.

ප්‍රාථමික පවුල තුළට එබී අම්මා-තාත්තා-දරුවන්-සහෝදර සහෝදරියන් යන මානව සම්බන්ධතා ජාලයේ දැන් තත්වය පිළිබඳව වචන වියදම් කිරීම අවශ්‍ය කටයුත්තක් නොවේ. මෙය තවදුරටත් ප්‍රසාරණය කරන විට එදිනෙදා තත්‍ය යථාර්ථය තුළ මුණගැසෙන මේ චරිත (යහළුවෝ-නෑදෑයෝ-ගුරුවරු-වෛද්‍යවරු ආදී)-භූමිකා වෙත පවත්නා කාරකත්වයන්ගේ හැසිරීම් වල අතාර්කිකබාවය අපට විද්‍යමාන වෙයි. මිනිස් සම්බන්ධතා වල ද්‍රවශීලතාවයේ අගය එන්න එන්නම ඉහළ යන අතර තම වෘත්තීයමය භූමිකා (පොලීසිය, හමුදාව, වෛද්‍ය, අධිකරණ, ගුරු, සිවිල් පරිපාලන අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික වෘත්තීන්) තම සම්බන්ධතා ජාලය මත අවුල්ව යමින් තර්ක යුක්තියක් නැති කමත්, නිශ්චිත පැහැදිලි-සම්මුතිගත සාරධර්ම හා ආචාරධාර්මික ආස්ථාන තවදුරටත් නැති බවත් අපට මතක් කර දෙයි.

දේශපාලනයේ පවත්නා විසංගතිකත්වය කියාපානු වස් මර්වින්, එස් බී, දුමින්ද, අනර්කලී, උපේක්ෂා, සනත්, රංජන් ආදී ප්‍රසිද්ධ චරිතයන්ගේ විවිධාකාර ක්ෂේත්‍රගත හැසිරීම්-වැඩිහිටි දේශපාලන නායකන්ගේ හා රාජපක්ෂලාගේ ඇතුලු කී නොකී දේශපාලනික බල ව්‍යුහයේ උපරි කොටසේ සිටින්නන්ගේ සියලු හැසිරීම් ගැන මේ වන විට බොහෝ මාධ්‍ය මගින් ලාංකිකයා වුවමනාවටත් වඩා දැනුවත් බැවින් මෙහි පුනර්-රචනය නොකළද ඒ ගැන නැවත අවධානය යො‍මු කරනවිට අපේ උක්ත එළඹුම හා එය සමගාමී බව අමුතුවෙන් කිව යුතු නැත.

ක්‍රීඩාව, වෙළදාම, ජන මාධ්‍යය, කලාව හා ආගම ආදී වූ සියල්ල විසින් අපට මේ අභූතරූපිත්වය උගන්වනු ලැබේ. විශේෂයෙන්ම ජන මාධ්‍යය හා කලාව ගැන නැවත නැවත කතා කිරීමම ඒ විකාරරූපිත්වයේ ඇමිණීමකි. මාධ්‍යයෙහි එම හැසිරීම වෙත අප විසින් කැඩපත් අල්ලන්ට ගියහොත් සිදු වන්නේ රාජ්‍යය වේවා පුද්ගලික වේවා මාධ්‍යය වෙතම එල්ලී සිටින්නටය. (මෙහිදී වඩා කැපී පෙනෙන්නේ රූපවාහිනී මාධ්‍යයි.) ආගම නමැති දෘෂ්ටිවාදීමය උපකරණයද අපට මේ ගැන අන් සියල්ලකටත් වඩා හොදින් පැහැදිලි කර දෙයි. ඉතාම දුෂ්කර ගමක පන්සලක විහාරාධිපතිවරයෙකුගේ සිට ශ්‍රී මහා බෝධිය- අටමස්ථානාධිපති වැනි තනතුරු හරහා ඉහළ පෙළේ සංඝනායකාරකාදීන් ඇතුලත් වන සග පරපුර නිශ්චිත තනි සත්‍යය-පොදු සාර ධර්ම-ශික්ෂිතබව යන සියල්ලෙහි අතාර්කිකත්වය පිළිබදව ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටිති. ඒ අතරින් වෙනස්ව යමින් ඒ ගොඩේම ඇද වැටෙන “අසපු” භාවනාකරුවන්ගේද භාවිතාව මෙයින් වෙනස්ව නොයයි. “නිවන” වෙනු‍වෙන් සමකාලීන හාමුදුරු පැවැත්මට කැරළි ගසන මේ අසපු භාවනාකරුවෝ ගම් වලට යන්නේ තම මුහුණු මත රූප ලාවන්‍යයේ රහස් අතුල්ලාගෙනය.

මීට මාස කිහිපයකට ඉහතදී කහටගස්දිගිලිය ප්‍රදේශයේ අති දුෂ්කර ගම්මානයක් වන මගේ උපන් බිමෙහි මේ ආකාරයේ “අමුතු” ධර්ම දේශනාවක් පැවැත්විණි. මුළු පංසලම සුර පුරයක් මෙන් සරසා තිබිණි. එහි ආලෝකකරණය සදහා පමණක් බල්බ තිස් තුන් දහසක් ගෙනා බව සංවිධාක-මගේ තරුණ ඥාති සොයුරා මට පැහැදිලි කළේය. (දැන් ඔහු මහමෙව්නා අසපුවේ පැවිදි වීමේ අපේක්ෂාවෙන් අනගාරික-උපාසක ජීවිතය ගෙවයි.) සවුන්ඩ්ස් සෙට් උපරිම තාක්ෂණයෙන් යුක්ත විය. සියල්ලටම වඩා මා පුදුම වූයේ හාමුදුරුවන්ගේ බණ කියන ආසනය සරසා තිබූ අයුරිනි. (මම රජවරුන්ගේ ආසනයක් සියැසින් දැක නැතත් එය මෙසේ වන්නට ඇතැයි පරිකල්පනය කර ගත්තෙමි.) කෙසේහෝ නියමිත වේලාවට සුඛෝපබෝගී වාහනයකින් පැමිණි හාමුදුරුවෝ පාවඩ මතින් - ශ්‍රද්ධාසම්පන්න ගැමි උපාසක උපාසිකාවන්ගේ සාධුකාරය මැද්දේ ධර්මාසනයට වැඩම කර ධර්ම දේශනය පටන් ගත්හ. සංවිධායක මණ්ඩලයත් ශ්‍රාවකයෝත් හාමුදුරුවන්ගේ රූපශ්‍රීය හා දේශනා විලාසය ගැනත් පංසල් භූමියෙහි අලංකාරය ගැනත් බොහෝ කාලයක් යන තුරු සෑහෙන අමන්දානන්දයෙන් කතා කළහ. තම කටහඩ පවා වෙනස් කරමින් බණ කියන මේ භාවනාකරුවන් ගැන මම නම් කිසිදු අයුරකින් නොපැහැදුනෙමි. නමුත් අද වන විට අපේ ප්‍රදේශය පුරාම මේ ව්‍යාධිය බෙහෙවින්ම පැතිරී යයි. එහි අහිතකර බලපෑම ගැන මෙහිදී සාකච්ඡා කිරීමට ඉඩක් නැති අතර එය වෙනමම දීර්ඝව සාකච්ඡා කළ යුතු විෂයකි. කෙසේ හෝ ඒ ගැන මේ තරමක් දීර්ඝ ලෙස වචන මිඩංගු කරනු ලැබුවේ ඔවුන්ගේ මුවින් ප්‍රකාශ වන අභිමතාර්ථයන්ගේ ව්‍යාජත්වය ඔවුන්ගේ භාවිතාව තුළින් මතු වන හැටි පෙන්වීමටය. එනම් තමා දරන්නාවූ ලෝක දෘෂ්ටිය හා එම පරම සත්‍යයේ සාවද්‍යතාව දෙසට තමාගෙන්ම එල්ලවන ප්‍රතිපක්ෂ ක්‍රියාවන් මගින් තමා පරාජය වන සැටි පෙන්වීමටය. මේ පරස්පරය මගින් තවදුරටත් තහවුරු කරන්නේ මිනිසා තමාගේ තත්වය දියුණු කර ගැනිම පිණිස යොදන්නාවූ සෑම ආකාරයක්ම යුක්ති රහිත බවත් - තර්කානුකූල පදනමක් නැති බවත්ය.


පරම සදාචාර නීති හෝ සාරධර්ම නැති බවත් මිනිසා අරමුණක් නැති ලෝකයක එහාට මෙහාට පාවෙන සත්වයෙකු බවත් ෂෝන් පෝල් සාත්‍රෙ ප්‍රකාශ කොට ඇත. සාත්‍රේගේ දෘෂ්ටිය වඩාත් පළල්ව දකින්නට ඇල්බෙයා කැමූ නමැති විශිෂ්ට සාහිත්‍යකරුවාට - දාර්ශනිකයාට හැකි විය. ඔහු විසින් මිනිසුන්ගේ අභිමතාර්ථ, ආශාවන් හා තමා ජීවත් වන අර්ථ ශූන්‍ය ලෝකය අතර ගැටුමින් අභූතරූපිභාවය මතු වන බව ප්‍රකාශ කළේය. එවිට මේ දෙදෙනාගේම අදහස් වලින් කියවෙන්නේ මේ “පඹ ගාල්-ලෝකය” තුළ පරම හා නිශ්චිත සාරධර්ම හෝ නීති පැවතිය නොහැකි බවයි. එය විවිධ සංස්කෘතීන්හි - විවිධ පුද්ගලයන්ට ආවේනික වූ - සාර ධර්ම පද්ධතියක් සොයා ගැනීමේ අවශ්‍යතාව කියාපායි. නමුත් මෙහිදී තමා හුරු වූ සාරධර්ම ද පරම තත්වයක් නොවන බවත් එය අනෙකාගේ ද පැවැත්ම විය යුතු යැයි නොසිතිය යුතු බව වටහාගත යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ දාර්ශනික සෙවනේ සිට නාට්‍යකරණයේ නියැලුණු විශිෂ්ට කලාකරුවෙකි සැමුවෙල් බෙකට්. ඔහුගේ භාවිතාව වූයේ ජීවිතයේ සියලු අත්දැකීම් වල අර්ථයන්ගේ පවත්නා සංදිග්ධතාව තම ආකෘතිය හා අන්තර්ගතය තුළින් පිළිබිඹු කිරීමයි. මිනිසුන්ගේ අත්දැකීම් වල පවත්නා සංදිග්ධතාව ඒ ආකාරයෙන් නිරූපණය කිරීම “කලාව” තුළ නිරූපණය කරන්නේ ඇයි යන්න වැදගත් ප්‍රශ්නයකි. විශේෂයෙන්ම ඉයුජින් අයනෙස්කෝගේ (ඔහු ඔහුගේ නාට්‍ය කලාව හැදින්වූයේ ප්‍රති-නාට්‍ය/anti-theatre යනුවෙනි.) නාට්‍ය භාවිතාව මෙයට කදිමට පිළිතුරු සපයයි. ඔහුගේ නාට්‍ය වල වස්තු විෂය අර්ථ ශූන්‍යය. ඒ හා සමාන්තරව නාට්‍ය විධි ක්‍රමයද සකසා ගනියි. නාට්‍යයේ චරිත මුහුණ දෙන අත්දැකීම් සුසාදිත නාට්‍යයන්හි මෙන් තාර්කික - විශ්වසනීය අවසානයකින් කෙළවර වන්නේ නැත. (ඒ අර්ථයෙන් විසංගත නාට්‍ය ක්‍රමය සියල්ලට වඩා තථ්‍ය-යථාර්ථවාදී වෙයි.) නාට්‍ය සංවාද වල ගලා යෑම එකකට එකක් පටහැනිව යයි. මෙසේ විසංගතික ආකෘතියක් තුළ පිහිටුවන්නේ බෙහෙවින්ම විසංගතික අන්තර්ගතයක් නිසා ආකෘතිය හා අන්තර්ගතය අතර ඇත්තේ අතිශය සමීප සම්බන්ධයක් බව පෙනේ. මෙම ආකෘතියේ සංදිග්ධතාව හරහා ප්‍රේක්ෂකයා ඇද වැටෙයි. ඔහු වෙත නාට්‍ය හරහා නිශ්චිත - තනි - නිගමනාත්මක පණිවිඩයක් ලැබෙන්නේ නැත. ප්‍රේක්ෂකයා හා කෘතිය අතර ඇතිවන්නේ සජීවි සම්බන්ධයකි. ඔහු ඒ දෙස බලාසිටින්නෙක් නොවේ. ඔහු ඒ අත්දැකීමෙහි හවුල්කරුවෙකි.

මෙම භාවිතාව මගින් සම්මුතිගත - ව්‍යුහයන්ගේ පරමෝත්කෘෂ්ටත්වයට නැංවූ දෘෂ්ටිවාදාත්මක සාරධර්ම ප්‍රශ්න කරන නිසා ප්‍රේක්ෂකයා ඒවා මිනිස් පැවැත්මේ නියත සහ අනිවාර්ය අංග නොව එක් එක් සංදර්භයට අදාළව ඒ තුළින්ම ගොඩ නැගෙන්නාවූ කාරණාවන් බවට තේරුම් ගනියි. මේ කාරණා අපේ සංස්කෘතික ව්‍යුහ හා සසදන විට (පොලිසිය, හමුදාව, සිවිල් පරිපාලන ආයතන ඇතුලු රාජ්‍ය ආයතනිකගත ව්‍යුහයන් සේම අනෙකුත් ආර්ථික, සමාජයීය, ආගමික, දේශපාලනික ආදී සියලු සංස්කෘතික ව්‍යුහයන් ඇතුළත්ව) මිනිස් පැවැත්ම කිසියම් සංවෘත පැවැත්මක සිරකොට ඇති බවත් එමගින් ඇතිවන්නාවූ අනිෂ්ට ප්‍රතිවිපාක වෙතත් ඉගි කරන බවත් පෙනේ. මේ සාරධර්ම හෝ “පැවැත්මේ කොන්දේසි” අපට ලැබෙන්නේ අපේ පැවැත්මට අදාළව ඒ හා සමගාමීව ඒ තුළින්ම නොව වෙනත් කිසියම් දෘෂ්ටිවාදාත්මක-උපකරණමය තර්කණයක් යටතේ බව පෙනී යයි. එහි ඛේදය අපි විදිමින් සිටිමු. එබැවින් මේ න්‍යායාත්මක ප්‍රවේශය අපිට ඒ ගැන කතිකාවකට එළඹෙන්නට ඉතාම සුදුසු වටපිටාවක් සපයයි. ඕනෑම සමාජ ව්‍යුහයකට අදාළ ආචාර ධර්ම ආගමික හෝ රාජ්‍ය හෝ වෙනත් සංස්කෘතිමය උපකරණයක් මගින් බලාත්මක කිරීමට ගන්නා උත්සායන් නිසා ඇතිවන්නාවූ විකාරරූපිත්වය අපි ඕනෑතරම් අත් දකිමු. ඊට එරෙහිව කතිකාවට ගොඩ වෙමින් මිනිස් පැවැත්ම පිළිබදව මීට වඩා ගැඹුරින් හා වඩාත් සාධාරණ එළඹුමක් වෙනුවෙනුත් මේ විසංගත (absurdism) න්‍යායික ආලෝකයෙන් ඉදිරිය‍ට ගමන් කිරීම ප්‍රයෝජනවත් බව මම දකිමි.

1- සුචරිත ගම්ලත්, බටහිර නාට්‍ය හා රංග කලාව,229 පිටුව
2- එම,238 පිටුව


සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails