Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


ජනතා විමුක්ති කතිකාව සහ විජේවීර උරුමය පිළිබඳ පශ්චාත්-මාක්ස්වාදී විශ්ලේෂණයක්| 1 කොටස| කියවන්න මෙතනින් යන්න. [මෙම ලිපිය මුල් වරට රාවය පුවත්පතෙහි කොටස් වශයෙන් පළ විය. [2011 ඔක්තෝම්බර්-නොවැම්බර්]]


සමීප නිරීක්‍ෂණයකදී පෙනී යන පරිදි ජ.වි.පෙ. ක‍්‍රියාකාරීන් බාහිර සමාජය තුළ සිංහල ජාතිකවාදීන් ලෙස හඳුනා ගැනෙන විට ඔවුන් විසින් තමන්ව සමාජවාදීන් ලෙස ස්වයං-හඳුනාගැනීමකට ලක් කෙරෙමින් තිබිණ. මෙම ස්වයං-හඳුනාගැනීම සහ බාහිර සංකේතීය අනන්‍යතාවය අතර පැවතියේ නිරන්තර ආතතියකි. මෙය මනෝවිශ්ලේෂණීය අරුතින් පරමාදර්ශී අහම (ideal-ego) සහ අහම-පරමාදර්ශය අතර (ego-ideal) අතර ආතතියකි. (මෙය ඉදිරි ලිපියකදී පහදමි.)

මගේ අදහස වන්නේ ප‍්‍රබුද්ධත්ව උරුමය නිසාම ජ.වි.පෙ. නෛසර්ගිකවම විමුක්තිවාදී වන බව නොවේ. ස්ටාලින්වාදයේ නිදසුන අනුව ද පැහැදිලි කෙරුණු පරිදි විමුක්තිවාදී අරමුණු සහිත ව්‍යාපාරයක් අතිශය මානව විරෝධී අපගමනයන්ට ළක් විය හැකිය. ජ.වි.පෙ.ට අදාළව ගත් විට අවාසනාවන්ත ලෙස ආරම්භයේ සිටම සිංහල-වාර්ගික ජාතිකවාදී කතිකාවෙන් ද එය හැඩ ගැස්විණ. සංක්‍ෂිප්තව කිවහොත් විවිධ කාලවල සහ විවිධ ඓතිහාසික සංසිද්ධීන් හමුවේ ජ.වි.පෙ. තුළ සමාජවාදයෙන් ජාතිකත්වය නිර්වචනය වීමට වෙනස්ව ජාතිකත්වයෙන් සමාජවාදය නිර්වචනය වීම නිරීක්‍ෂණය කළ හැකිය. තවමත් දෙමළ ජනයාගේ විමුක්ති අරගලය සම්බන්ධයෙන් ජ.වි.පෙ. කවර පාර්ශවයක් විසින් උවද ඉදිරිපත් කර තිබෙන උපරිම ප‍්‍රවේශය වන්නේ "ද්‍රවිඩ ජනයාගේ ප‍්‍රශ්ණයට සැබෑ විසඳුම බලය විමධ්‍යගත කිරීම නොව සමාජවාදය" බවයි. මෙම ප‍්‍රවේශය එහි ගැඹුරුම අරුතින් සිංහල වර්ගෝත්තමවාදය සමග රහසිගතව සම්මුතිගත වීමක් බව මගේ අදහසයි. ජ.වි.පෙ. විසින් නායකත්වය දුන් 17 වන ව්‍යවස්ථා සංශෝධනය, ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ව්‍යාපාරය, මාධ්‍ය නිදහස හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් උදෙසා වූ උද්ඝෝෂණ යනාදියෙන් ගම්‍ය වන්නේ සමාජවාදයට පෙර එනම් පවතින ධනවාදය තුළම යම් යම් ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණ දිනා ගැනීම ඔවුන් ප‍්‍රතික්‍ෂේප නොකරන බවයි. එසේනම් බලය බෙදා හැරීමේ විසඳුමකට පමණක් දෙමළ ජනයා සමාජවාදය එනතුරු බලා සිටිය යුත්තේ ඇයි? දෙමළ ජනයාගේ සාධාරණ ප‍්‍රජාතාන්ත‍්‍රික ඉල්ලීම් වෙනුවෙන් අරගල කිරීම සමාජවාදී අරගලයේ අත්‍යන්ත ආනුශංගික කොටසක් නොවිය යුතුද? "ජාතීන් එක් කරන ෆෙඩරල්වාදය- ජාතීන් වෙන් කරන ෆෙඩරල්වාදය" පිළිබඳ අති සරල තේරුම් කිරීම කිසිසේත්ම ඉහත ප‍්‍රශ්ණයට ප‍්‍රමාණවත් පිළිතුරක් නොසපය යි. එපරිදිම අප සමාජයේ පවත්නා විෂමලිංගික පුරුෂාධිපති සබඳතා, කුල පීඩනය, සම ලිංගික හා සංස්කෘතික ආන්තික වූවන්ගේ පීඩනය යනාදී පන්තිමය නොවන පීඩක සම්බන්ධතා සම්බන්ධයෙන් නවීකාරක විමුක්තිවාදී දැක්මක් ගොඩනගා ගන්නට ද ජ.වි.පෙ. අසමත් විය.


නමුත් ඉහත සියළු ගැටළු තිබියදීත් ලංකාවේ වර්තමානයේ ස්ථාපිත වී ඇති නව- කොම්ප‍්‍රදෝරු පාලනයත්, සිංහල වර්ගෝත්තමවාදයත්, නව- ලිබරල්වාදී හෙජමොනියත් සැබෑ ලෙස අභියෝගයට ළක් කළ හැකි සමාජ බලවේගයක් නියෝජනය කරන්නේ ජ.වි.පෙ. බව මගේ හැඟීමයි. එය ලංකාවේ ග‍්‍රාමීය හා අර්ධ නාගරික පීඩිත සමාජ කොටස් නියෝජනය කරන දැනට පවත්නා ප‍්‍රබලම පක්‍ෂය යි; පශ්චාත්- නන්දිකඩාල් ලංකාවේ (මෙහි අදහස නන්දිකඩාල් යන භූගෝලීය ප‍්‍රදේශයේ පසු තත්ත්වයක් නොව නන්දිකඩාල් ප‍්‍රදේශය ආශ‍්‍රිත අවසන් සංග‍්‍රාමයෙන් සළකුණු වූ ඉතිහාසයීය ඛණ්ඩනයේ පසු තත්ත්වයකි; "පශ්චාත්- වෙස්ට් ෆේලියන් ලෝකය" යැයි ශාස්ත‍්‍රාලීය සංවාදය තුළ භාවිතා වන සංකල්පය මෙන්ය) උතුර- දකුණ අතර විමුක්ති දේශපාලනයේ බැම්මක් ගොඩනගන්නට ප‍්‍රයත්න දරන සහ ඒ සඳහා ශක්‍යතාවක් සහිත ප‍්‍රබලම පක්‍ෂය ද එයයි. අද ජ.වි.පෙ. තුළින් මතුව ඇත්තේ ජනතා විමුක්ති දේශපාලනයේ පරමාදර්ශයන් යළි අවධාරණය කරන පමණක් නොව මහජන අවකාශයන් තුළ ස්වයං- විවේචනාත්මක වී සිය අතීත වැරදි නිවැරදි කරගන්නට සූදානම් රැඩිකල් ප‍්‍රවණතාවකි. මෙම ප‍්‍රවණතාව කෙරෙහි සාධාරණව ප‍්‍රතිචාර දැක්වීම වෙනුවට මෙරට පුවත් පත් සහ සෙසු මාධ්‍ය විසින් සිදු කර ඇත්තේ තවත් සන්නද්ධ කැරැල්ලක් පිළිබඳ පදනම් විරහිත වාර්තා රට පුරා පතුරුවා හැරීමය. තමන් සන්නද්ධ දේශපාලන විකල්පයක් කිසිසේත් පිළිනොගන්නා බව පුබුදු ජයගොඩ ඇතුළු පිරිස නැවත නැවතත් අවධාරණය කර තිබියදීත් තවමත් සිංහල පුවත්පත් තුළ ඔවුන්ව හඳුන්වන්නේ "කැරළිකාර කණ්ඩායම" ලෙසයි. ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවිය "ජ.වි.පෙ. කචල්කාර පිල", "කචල්කාර පුබුදු" යනාදී පහත් අපහාසාත්මක යෙදුම් පවා භාවිතා කර තිබුණි. පුබුදු ජයගොඩගේ දේශනයක් Daily Mirror පුවත්පතට වාර්තා කරන වාර්තාකරුවෙකු තම වාර්තාව අවසන් කරන්නේ "නමුත් ඔහු සන්නද්ධ අරගලය පිළිබඳ විකල්පය බැහැර කළේ නැත" යන තම පුද්ගලික තේරුම් ගැනීම මත පමණක් පදනම් වූ වගකීම් විරහිත ප‍්‍රකාශයෙනි. තමන් නම් සඳහන් කරන පුද්ගලයන්ගේ ජීවිත ආරක්‍ෂාවට ඍජුවම තර්ජනයක් එල්ල වන ආකාරයේ මෙවන් ව්‍යාජ ප‍්‍රවෘත්ති ලියා පළ කරන පුවත්පත් කතුවරුන් සහ වාර්තාකරුවන් සමාජයේ ප‍්‍රචණ්ඩත්වය හා හිංසනය පැතිරවීම සම්බන්ධයෙන් කොතරම් වග කිව යුතුද?

මගේ අවධාරණය වන්නේ පුවත්පත් කතුවරුන් සහ වාර්තාකරුවන්ගේ පටු ආකල්ප වලට වෙනස්ව, ජ.වි.පෙ. තුළ සිදුවෙමින් යන පරිවර්තනය පිළිබඳ ප‍්‍රබුද්ධ ප‍්‍රතිචාර දැක්වීමට මෙරට ප‍්‍රජාතන්ත‍්‍රික බුද්ධිමය ප‍්‍රජාව මැදිහත් විය යුතු බවය. එය කිසිදු කණ්ඩායමක් අවිවේචනාත්මකව වැළඳ ගැනීමක් විය යුතු නැත. නමුත් ජ.වි.පෙ. බෙදීම විසින් මතු කර තිබෙන මූලධාර්මික ප‍්‍රශ්ණ විවෘතව සමාජ සංවාදයකට ලක් කිරීමත්, වාර්ගික ප‍්‍රශ්ණය ඇතුළු සෙසු සමාජ අර්බුද සම්බන්ධ ඔවුන්ගේ ස්ථාවරයන් පිළිබඳ යළි සිතා බැලීමට ඔවුන් පෙළඹවීමත් ශිෂ්ට ප‍්‍රජාවේ අත් නොහළ යුතු වගකීම්ය. "ගුඩ්බායි ලෙනින්!" චිත‍්‍රපටයේ ආරාධනාව ලෙනින් අන්ධ භක්තියෙන් අදහන ආගමික වස්තුවක් කිරීමේ අතීතයෙන් වෙන්වී ලෙනින්ගේ විමුක්තිවාදී සහ මානුෂවාදී උරුමය සොයා යාම නම්, අප "ගුඩ්බායි විජේවීර!" යැයි පවසන්නට තරම් ධෛර්යමත් වන තැනකට, එනම් විජේවීරගේ උරුමය විසි එක් වන සියවස තුළ යළි අර්ථකථනය කරන්නට තරම් ඉදිරිගාමී වන තැනකට ජ.වි.පෙ. නව පරපුර රැගෙන යන්නට උත්සාහ කළ යුතුය. මන්දයත් මේ ප‍්‍රබල දේශපාලන ව්‍යාපාරයේ අනාගත දිශානතිය කවරාකාර වේද යන්න මෙරට දේශපාලන අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මකව බලපාන නිසාය.

"අප ගොඩනැගිය යුත්තේ අප පසුපස එන මිනිසුන් නොව අපව පසුකර යන මිනිසුන්" යැයි රෝහණ විජේවීර පවසා තිබේ. මෙය ස්ලේවෝයී ශීෂෙක්ගේ "ලෙනින් නැවත ක‍්‍රියාවට නැගීම" (Repeating Lenin) නමැති ප‍්‍රවාදය සිහි ගන්වන දේශපාලනික වූත් දාර්ශනික වූත් ප‍්‍රකාශයකි. ලෙනින්ගේ ක‍්‍රියාවේ පුනරාවර්තනයක් පිළිබඳව ස්වකීය විශ්ලේෂණය වරදවා වටහා නොගනු වස් ශීෂෙක් Revolution at the Gates (2004) කෘතියේ අවධාරාණාත්මකව පවසන්නේ ලෙනින් වෙත ආපසු යාමක් තමන් කිසිසේත් යෝජනා නොකරන බවයි. ඊට වෙනස්ව ලෙනින්ව පුනරාවර්තනය කරනවා යනු ලෙනින් මියගොස් තිබෙන බව පිළිගැනීමය (පි. 329). ලෙනින් ඉදිරිපත් කළ සුවිශේෂී විසඳුම අසාර්ථක වී තිබෙන බව පිළිගැනීමය. ලෙනින් පුනරාවර්තනය කිරීම සඳහා අප ලෙනින් සැබැවින්ම කළ දෙයත් ඔහු විසින් විවෘත කළා වූ "විය හැකි/කළ හැකි දේවල්වල" පුළුල් ක්ෂේත‍්‍රයත් (field of possibilities ) අතර වෙනස වටහා ගත යුතුය. නැවත ක‍්‍රියාවට නැගිය යුත්තේ ලෙනින් කළ දෙය නොව ඔහු කිරීමට අසමත් වූ දෙයයි; ඔහුට මග හැරුණු දෙයයි. මන්දයත්, ඔහු කළ දෙය ඓතිහාසිකව අසාර්ථක වී තිබුණ ද, ඔහුගේ ක‍්‍රියාව මගින් දල්වා තැබූ යුතෝපියානු ගිනි සිළුව රැකගත හැක්කේ ඔහු අසමත් වූ තැන අපගේ ක‍්‍රියාව පිහිටුවීමෙන්ය. ලෙනින්ගේ උරුමය යනුවෙන් යමක් පැවතිය හැකි නම්, මේ අරුතින් ගත් කළ ඒ උරුමය හිමි වන්නේ ආගමික අන්ධානුකරණයෙන් ඔහුව අදහන්නන්ට නොව, "ලෙනින් තුළ වූ ලෙනින්ට වඩා දෙය" සොයා යන්නන් හටය. තමන් පසුකර යන අනාගත මිනිසුන් ගැන පරිකල්පනය කරන විට විජේවීර වෙනත් වචන වලින් පවසන්නේ ඉහත කී ලැකානියානු මාක්ස්වාදී දාර්ශණික අදහසම නොවේද?

විජේවීර උරුමය යළි අර්ථකථනය කරන්නට නම් අප ඔහු සැබැවින්ම කළ දේවල්, ඔහුගේ සුවිශේෂී තෝරා ගැනීම්, ඔහුගේ උපායමාර්ගික හා උපායික ප‍්‍රවේශයන් යනාදිය පිළිබඳ ඒකාකාරී සංවාදයෙන් ඔබ්බට ගමන් කළ යුතුය. ජනවාර්ගික ගැටුම පිළිබඳ හෝ සන්නද්ධ දේශපාලනය පිළිබඳ විජේවීරගේ නිශ්චිත තෝරා ගැනීම් කොතරම් අසමත් වී දැයි පෙන්වා දෙන්නට උත්සුක වන විවේචකයන් කොතරම් සිටීද? මේ විවේචන වලට දිය හැකි උචිත පිළිතුර වන්නේ හරියට ආගමික ශාස්තෘවරයෙකු මෙන් විජේවීර නිවැරදි දෙයම කළ බවත්, ඔහු කිසි කළෙක අසමත් නොවූ බවත් පෙන්වා දීමට වැර වෑයම් දැරීම නොවේ. ඊට වෙනස්ව ඔහු කළ දෙයින් නොහොත් අසමත් වූ දෙයින් ඔබ්බට ගමන් කළ විට ඔබට අභිමුඛ වනු ඇත්තේ කුමක්ද? ශීෂෙක් ලෙනින් සම්බන්ධයෙන් පවසන අයුරින්ම විජේවීරගේ අසමත් වූ ක‍්‍රියාව මගින් ඔහු විවෘත කළා වූ "කළ හැකි/විය හැකි භාවයන්ගේ පුළුල් ක්‍ෂේත‍්‍රය" යි.


වඩා නිශ්චිතව කිවහොත්, ලංකාවේ අන්ත දරිද්‍ර ගම්බද තරුණ තරුණියන් මිනිස් වර්ගයාගේ අනාගත විමුක්තිය පිළිබඳ යුතෝපියාවක කර්තෘකයන් (Subjects ) බවට පත් කළේ විජේවීරය. ඊනියා පෙර කර්මයේ හෝ පරම්පරාගත දෛවයේ විෂය වස්තූන් බවට පත්ව සිටි දස දහස් ගණන් මිනිස් ප‍්‍රාණීන් ස්වකීය ජීවන ඉරණමේ සක‍්‍රීය සජීවී නිර්මාපකයන් බවට පරිවර්තනය කරන්නට ඔහු සමත් විය. 1930 දශකයේදී ලංකාවේ පැරණි වමේ ව්‍යාපාරය විසින් ගොඩනැගූ ජනතාවගේ විමුක්තිය පිළිබඳ කතිකාව ඔහු රැඩිකල්කරණය කළේය. එම විමුක්ති කතිකාව මගින් ප‍්‍රථම වරට ලාංකේය සන්දර්භයක් තුළ විමුක්තිය පිළිබඳ ආගමික අදහස ලෞකිකකරණය කරන ලදී. දේශපාලනය කිරීම පිළිබඳ ගතානුගතික ප‍්‍රභූ තේරුම් ගැනීම් බිඳ දමා එයට නව අරුතක් ආදේශ කරන ලදී. එම විමුක්ති දේශපාලන කතිකාව විසින් නව පරමාදර්ශ, සමාජ ඇගයුම්, ක‍්‍රියාකාරීත්ව රටාවන් සහ ජීවන භාවිතයන් ගොඩනංවනු ලැබීය. විජේවීර එක් අතකින් මෙකී ජනතා විමුක්ති කතිකාවට භෞතික පැවැත්මක් ලබා දෙමින් එය මූර්තිමත් කරන්නා වූ කාඩර්වරුන්ගෙන් යුත් ප‍්‍රථම ලාංකේය දේශපාලන පක්‍ෂය ගොඩනැංවීය. අනෙක් අතින් අතිශයින් පරිවාරයේ පිහිටි ගම් දනව් දක්වා විමුක්ති කතිකාව පුළුල් කළා පමණක් නොව, එතෙක් දේශපාලන ප‍්‍රබුද්ධත්වය නොදැන සිටි පරිවාරයේ ගැහැණුන් පිරිමින් රටේ දේශපාලන ක‍්‍රියාවලියේ කේන්ද්‍රයට රැගෙන ආවේය. ස්වකීය ජීවන පැවැත්මට වඩා ශ්‍රේෂ්ඨ වූ අරමුණු පැවතිය හැකි බව ව්‍යවහාරිකව විශ්වාස කරන පරම්පරාවකට නායකත්වය සැපයීය.

ලාංකේය සමාජ සැකසුම තුළ එතෙක් "කළ නොහැකි/විය නොහැකි වූ දේවල්" රැසක් "කළ හැකි/විය හැකි දේවල්" බවට පරිවර්තනය කරන්නට විජේවීරගේ ක‍්‍රියාව නොහොත් විජේවීර නමැති ක‍්‍රියාව (නොහොත් සංසිද්ධිය) සමත් විණැයි මා තර්ක කරන්නේ මෙනිසාය. විජේවීර නමැති සංසිද්ධිය නොපැවතියේ නම්, 1970 දශකයෙන් මෙපිට ලාංකේය ඉතිහාසය කවරාකාර වන්නට ඉඩ තිබිණිද? මම එය නොදනිමි. නමුත්, මට එක් දෙයක් පැහැදිළිවම කිව හැකිය. එනම්, ෆූකෝගේ වචනයෙන් කිවහොත් අපගේ "වර්තමානයේ ඉතිහාසයට" (history of the present - එනම් අපගේ වර්තමානයේ පවත්නා තත්ත්වය නිර්මාණය වී ඇත්තේ කවර ඉතිහාසයීය සිදුවීම් අනුවදැයි අධ්‍යනය කිරීම) විජේවීරගේ දායකත්වය අතිමහත් බවය. මන්දයත් අද දවසේ ඔහුගේ අතීත තෝරා ගැනීම් සහ ස්ථාවරයන් විවේචනය කරන පුවත්පත් කතුවරුන්, බුද්ධිමතුන්, දේශපාලකයන් ඇතුළු අප සියල්ලන්ම එක් හෝ තවත් ආකාරයකින් ඔහු විවෘත කළ "විය හැකි භාවයන්ගේ ක්ෂේත‍්‍රය" තුළ උපත ලැබූවන්ය. ඔහුගේ උරුමය එහි සැබෑ මානුෂවාදී සහ විමුක්තිවාදී අරුතින් නැවත සොයා ගත හැක්කේ සහ එය පුනර්- අර්ථකථනයට ළක් කළ හැක්කේ අපගේ වර්තමානයට වඩා අතිශයින්ම වෙනස් ඓතිහාසික සන්දර්භයක සිට ඔහු ලියූ, කියූ සහ කළ දෑ ආධානග‍්‍රාහීව ගාථාවන් සේ මැතිරීම මගින් නොවේ.

නිදසුනක් ලෙස විජේවීරගේ "දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?" කෘතිය කියවන විට ඔහු එය ලියූවේ බර්ලින් තාප්පය බිඳී යාමට පෙර යුගයක බවත්, ඊනියා තුන්වන ලෝකයක් පැවති සහ තුන්වැනි ලෝකයේ ජාතික විමුක්ති අරගල සහ සමාජවාදී දේශපාලනය අතර සම්බන්ධයක් පැවතිය හැකි වූ යුගයක බවත්, ලංකාවේ වාර්ගික යුද්ධය ඇවිලෙමින් තිබූ යුගයක බවත් අප සිහි තබා ගත යුතුය. එය සමාජවාදී පරිකල්පනය තුළ ම පරිවාරයේ රටවල ජාතිකවාදයේ යුක්තිසහගතභාවය අර්ථකථනය කරගත හැකි වූ යුගයකි. බර්ලින් තාප්පයේ බිඳ වැටීමත්, විජේවීරගේ සමුගැනීමත් සිදුවූයේ එකම වසරක ය. ඉන්පසුව අප "ඇදවැටුනේ" නව ඓතිහාසික සන්දර්භයක් තුළට ය. එය කෙවැනි සන්දර්භයක් ද යත්, දැන් "දෙමළ ඊළාම් අරගලයට විසඳුම" කෘතිය ආධානග‍්‍රාහීව එනම් සන්දර්භ විරහිතව සහ අවිවේචනාත්මකව කියවන ඇතැම් ජ.වි.පෙ. සාමාජිකයන් පවා සැබැවින්ම කරමින් සිටින්නේ විජේවීර දල්වා තැබූ විමුක්ති දේශපාලනයේ යුතෝපියානු ගිනිසිළුව සුරැකීම නොව එය සිංහල වර්ගෝත්තමවාදයේ අත් දඬු තුළ සිරගත කොට මරා දැමීමයි.

[මතු සම්බන්ධයි]

සුමිත් චාමින්ද



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails