Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගම්මිරිස් කුරුල්ලා වාසය කරන්නේ ප‍ටු පාරේ පිහිටි බාගෙට කපා දැමූ දෙල් ගසේය. බොහෝ වැර වෑයමෙන් යාන්තමට මතු වුණු කුහරයක් ඇතුළත සාදා ගත් නිවසක හේ අල්පේච්ඡව දිවි ගෙවයි. ගම්මිරිස් කුරුල්ලාගෙ ජීවන රටාව සෙසු කුරුල්ලන්ට වඩා වෙනස්ය. ඔහුට ‍රැකියාවක් නොමැත. නෑදෑයෝ හෝ පියඹක් හෝ නැත. ප‍ටු පාරේ අන්තයේ පිහිටි නිවසේ ගෙහිමි කාන්තාව විනෝදය පිණිස සැකසූ මල් ගාලේ ප්ලාස්ටික් පිඟානක තැබෙන පළතුරු හා බත් ගුලි ගම්මිරිස් කුරුල්ලාගේ එකම ආහාර සැපයුම් මාර්ගයයි.

'... කෝ ඔහේ තාම නැගිටලා නැද්ද?
මේ පිගානෙ එක පළතුරු කෑල්ලක්වත් නෑ.
කෝ හැබෑට බත්?
ඇයි ඔහේලා රෑට කෑම කෑවෙ නැතුවැයි.... '

ගම්මිරිස් කුරුල්ලා හෝටලයකට ගිය උඩඟු පිරිමියෙකු මෙන් ඉර පායන්නටත් පෙර සිටම ගෝරනාඩු කරයි. ත‍ටු හප්පමින් ජනේලවල හැපෙයි. එහෙමත් නැත්නම් තර්ජනාත්මකව ගෙතුළටම පියාඹා විත් මිසිස් සමරසිංහ දෙස බලා හිදියි. ඈ කණ්ණාඩිය යටින් බලා ලජ්ජාවෙන් යුක්තව ගෙතුළට වදියි.

'... මේ ගම්මිරිස් කුරුල්ලා හරි මනමාලයා.
බලන්න එපෑයැ බලන විදිහ...
වෙලාවක මං කියනවා මිස්ට සමරසිංහට... '

මිසිස් සමරසිංහ මැද සාලයේ ඇති දිග කණ්ණාඩියට කියයි. කණ්ණාඩිය ද හිස සලමින් එය අනුමත කරයි.

'... විකාර... මනුස්ස දුවක් වෙච්ච එයා දිහා මං මොනාට බලන්නද? '

ගම්මිරිස් කුරුල්ලාද උජාරුවට හිස ගස්සමින් තනිව දොඩවයි.

'... එයා මොනා හිතං ඉන්නවද මන්දා... ගෑනුන්ගෙ මළ විකාර.... '

ගම්මිරිස් කුරුල්ලාට ඇගේ කතාවලට හරි තරහය. ඒත් බඩගින්න වැඩිකමට ගෑස්ට්‍රික් හැදෙන්නත් එනවාය. රස්සාවක් නැති එකේ සල්ලි දී කඩෙන් කෑමට ද මුදල් නැත. කුරුල්ලෙකු හෙයින් කුලියක්, මලියක්වත් දෙන කෙනෙකු සොයා ගන්නට නැත. හොරකමක් කරන්නත් උස මදිය. ඒ මදිවාට සල්ලි කොළ හරි බරය. හොටෙන් ගෙනියන විට සියුමැලි හොට දෙකට කැඩෙන්නට එනවාක් මෙන් දැනේ. හොටක් නැතිව මොන කුරුල්ලෙකුටවත් අනාගතයක් තිබිය හැකිද? ඉතිං හොට ‍රැක ගත යුතුය.

ගම්මිරි කුරුල්ලාට ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්න දෙකක් තිබේ. ඉන් පළමුවැන්න එහා ගෙදර ලේන්නු ඩබලයි. දෙවැන්න මුදල් නැති කමයි.

මේ ප්‍රශ්න දෙකෙන් මුලින්ම විසදා ගත යුත්තේ ලේන්නු ඩබල පිළිබද ගැටලුවයි. මිසිස් සමරසිංහ ප්ලාස්ටික් පිඟානට දමන කෑම කන්නට තමාට විතරක් හැකි නම් මේ කරදර ඔක්කෝම අහවර වී යනු ඇත. එහෙත් ප්ලාස්ටික් පිඟානට කෑම වැටෙන සැනින් තම නැටි, කොඩි මෙන් ඔසවාගෙන දිව එන ලේන්නු ඩබල එතරම් පහසුවෙන් ‍රැවටිය හැකි නොවේ. ඉතා ඉක්මනින් මේ ලේන්නු ඩබල මර දැමිය යුතුය. එයට මුදල් උවමනාය.

ලේන්නු ඩබලට ඇත්තේ එකම ප්‍රශ්නයකි. ඒ මෙහා ගෙදර දෙල් ගහේ වසන, උද්දච්ච ගම්මිරිස් කුරුල්ලාය. එක්කෝ ඔහුව මරා දැමිය යුතුය. නැත්නම් ත‍ටුවක් හෝ කඩා දැමිය යුතුය. ලේන්නු ඩබල මිසිස් සමරසිංහට කැමතිය. කිසිම දින කෑම පරක්කු යැයි කියමින් ඈට බැණ වදින්නේ නැති නැති හෙයින් ඈ ද ලේන්නු ඩබලට ආදරේය. කොහොමත් ගම්මිරිස් කුරුල්ලාගේ මෙන් මනමාලකමක් ලේනුන් ළඟ නැත.

මිසිස් සමරසිංහටත්, ගෙදර උදවියටත් ප්‍රශ්න කිහිපයක් ඇත. පළමුවැන්න ගම්මිරිස් කුරුල්ලාය. දෙවැන්න ලේන්නු ඩබලයි. තෙවැන්න සාවරියාගේ පියාගේ මුත්‍රා රෝගයයි.
මින් වඩාත්ම වැදගත් තෙවැන්නයි. සාවරියාගේ පියා කහ පැහැතිය. කාලයක පටන් සුව නොවන මුත්‍රා රෝගයකින් පීඩා විඳියි. එය එක්තරා අන්දමක මානසික ආතතියකි. මිසිස් සමරසිංහ බැණ වැදුණහොත් සාවරියාගේ පියාගේ රෝගය උත්සන්න වෙයි. මුළු ගෙයම නරක ගඳකින් වැසී යයි. එක්කෝ සාවරියාගේ පියාගේ නැට්ට කකුලට දමා බැඳ තැබිය යුතුය. නැත්නම් මී පාසානම් ලබා දිය යුතුය. දිනක් මිසිස් සමරසිංහ දැඩි තීරණයකට එළැඹුණි. ප්‍රශ්න තුනෙන් ම එකවර මිදෙන මඟක් ඇයට සිහිපත් විය. සාවරියාගේ පියා සමඟ සාම සාකච්ඡාවකට එළැඹි ඇය අපූරු අදහසක් ඉදිරිපත් කළේය.

'... ඔහේ මුලින්ම ගම්මිරිස් කුරුල්ලව කන්න. ඊළඟට ලේන්නු ඩබල. එහෙම කළොත් මං කවදාවත් තමුන්ට කරදරයක් කරන්නෙ නෑ. බනින්නෙත් නෑ. රෑට එළියට දාන්නෙත් නෑ. පු‍ටුවෙ නිදාගෙන ඉන්නකොට කොස්සෙන් ගහන්නෙත් නෑ. හොරා කද්දි මන්නෙන් ගහන්නෙත් නෑ....

සාවරියාගේ පියා කපටි ලෙස හිස වනා යෝජනාවට එකඟ විය. දෙදෙනාම පහක් දමා ගිවිසුමට එකඟ වුණි. මිසිස් සමරසිංහ උජාරුවෙන් ඉංගිරිසියෙන් අස්සන් තැබූ අතර සාවරියාගේ පියා තීන්ත බඳුනකට අත දමා ඇඟිලි පහම ගිවිසුමේ තැබීය. මේ අතර ලේන්නු ඩබල කාටදෝ කේලමක් කියා උපයාගත් රුපියල් 100 න් ගාලු යන්නට ලෑස්ති වූයේ ගම්මිරිස් කුරුල්ලාට මිරිස් අඹරන්නටය.

'.. මිගාර අයියෙ ගාල්ලට යන්නෙ කොහොමද කියන්නකො... '

දවස් ගණනාවක් මුළුලේම සිට මිසිස් සමරසිංහ නැති වෙලාවක් බලා ලේන්නු ඩබල ප්‍රශ්න කරයි.

'.. අනේ යනවා යන්න... තමුසෙලා කොහොමද ගාලු යන්නෙ?
පිස්සු මෝඩයො දෙන්නෙක්. අනික තමුසෙලා මොකෝ ගාලු යන්නෙ?... '

ලේන්නු ඩබල ඇඹරෙමින් පිළිතුරක් නොදී මඟාරින්නට හදයි. මිගාර අයියා යළිත් ප්‍රශ්න කරයි.

'... මේ.... ගම්මිරිස් කුරුල්ලට මිරිස් අඹරන්න කියලා.... '

අවසානයේ ලේන්නු ඩබල නැටි වනමින් පිළිතුරු දෙයි. මිගාර අයියා හිස වනමින් ගෙතුළට පිවිසියේ තරහනි.
ගම්මිරිස් කුරුල්ලාට ද රුපියල් 200 ලැබී ඇත්තෙන් මිසිස් සමරසිංහගෙන් ප්‍රශ්න අසයි.

'... ඔහේ දන්නවද සීනිගම යන විදිහ? '

මිසිස් සමරසිංහ නළල ‍රැළි කර බලයි.

'මොකෝ මං නොදන්නෙ? ඇයි තමුන්ට මොනාටද ඒවා?
ගම්මිරිස් කුරුල්ලො ඔය වගේ දේවල් දැනගන්න ඕන නෑ.... '

ඇය අවධාරණය කරයි.
'මට ඕන හන්දනෙ අහන්නෙ.
බස් එකේ යන්න ඇහැකියැ? කීයක් විතර යාවිද ටිකට්වලට? රුපියල් 200 ක්?.. '

ගම්මිරිස් කුරුල්ලා බොහෝ තැන්පත්ව විමසයි. විටින් විට ත‍ටු ගසයි. කකුලෙන් බෙල්ල කසන්නට උත්සාහ කරයි. බැරි තැන එක්තරා තාලයකට හිස සොලවයි.

'අපෝ එච්චර යන්නෑ... '

මිසිස් සමරසිංහ සියලු කෝන්තර අමතක කර උත්තර බදියි.

'.. අනේ මාව එක්කන් යන්නකෝ... මට තේරෙන්නෑ තනියම යන්න.
ඔයා කැමති නැද්ද මගෙත් එක්ක යන්න එන්න?.. '

මිසිස් සමරසිංහ යක්ෂාවේශව කෑ මොර දෙන්නට පටන් ගති.

'.. ගම්මිරිස් කුරුල්ලෙක් එක්ක සීනිගම යන්න. රට්ටු මොනා නොකියාවිද?
චික් විතරක්... තියෙන මනමාලකම.... '

ඈ ගම්මිරිස් කුරුල්ලාව දවා හළු කරවන බැල්මක් හෙළමින් පු‍ටුවෙන් නැඟිට කමරයට වැදුනාය. හිස බිමට ඔබා ගත් ගම්මිරිස් කුරුල්ලා දෙල් කොටයට වැදුණි. දැන් ගම්මිරිස් කුරුල්ලාට හරිහමන් කෑමක්, බීමක්වත් නැත. සීනිගම යන විදිහ අහන්න විස්වාසවන්ත කෙනෙකුත් ඇත්තේ නැත. මේ වැඩේ තව දුරටත් කල් දාන්න බැරි තරමටම හදිස්සිය. මිසිස් සමරසිංහට තමාගේ ප්‍රශ්න නොතේරෙන එක කවදාවත් ගම්මිරිස් කුරුල්ලාට තේරුම් ගත නොහැක. මිසිස් සමරසිංහට ගම්මිරිස් කුරුල්ලාට බැන්න එක ඉවසාගෙන ඉන්න බැරි තරමින් දුකකි. මිස්ට සමරසිංහ කන්තෝරු නිම වී නිවසට එනතෙක් ඈ සාලයේ සනීප පු‍ටුවක වාඩි ගත් ගමන්ය.

'මොකෝ ඔයාට වෙලා තියෙන්නෙ? මොකක් හරි ප්‍රශ්නයක්ද? '

'අනේ බලන්නකෝ සමරේ... ගම්මිරිස් කුරුල්ලට මගෙත් එක්ක සීනිගම යන්න ඕනලු.... '

'.. මොකාක්.... සීනිගම... අනේ හැබෑට ඔයාට පිස්සුද ඩාලිං...
ඔය මළ ඉලව් කුරුලු පිස්සුව තමයි හෙනේට හිටියේ...
කුරුල්ලොත් එක්ක කතා කරනවයි, කෑම දෙනවයි... මැදැයි ඉතිං කරගත්ත දේ...
මං එකපාරකුත් කිව්වා ඕක නවත්තන්න කියලා. ගම්මිරිස් කුරුල්ලා එක්ක සීනිගම යන්න...
.... එච්චරයි අඩු.... '

මිස්ට සමරසිංහ ගිරිය පුප්පමින් කුරුලු සනුහරේටම බැණ වදියි. මිසිස් සමරසිංහ වැළහින්නක මෙන් හඬා වැටෙයි. පැය ගණනාවක හැඩුමකින් පසුව දෙන්න දෙමහල්ලෝ කෑමකුත් නොගෙනම නින්දට වන්හ.

ගම්මිරිස් කුරුල්ලා තනිව සීනිගම ගොසිනි. ලේන්නු ඩබල ද පේන්න නැත. නිතර කරන්ට් වයරයේ වසා සිටින දෙමලිච්චා කී පරිදි ලේන්නු ඩබල ද ගාලු ගොසිනි.
මිසිස් සමරසිංහ උදේ පාන්දරම කෑම භාජනයට දැමූ එකදු පළතුරු කැබැල්ලක් කිසිවෙකු කා නොමැත. දෙමලිච්චා ද වයරයේ වසා සිටිනවා මිස පළතුරු කන්නට උනන්දු නොවයි.
හදිසියේම එතැනට පියාඹා ආවේ ගිල්මන් මාමලාගේ හෙණ ගැසූ පොල් ගහේ වසන ගිරව් හතර දෙනාය. බෙල්ලේ ලාවට මාල ඇති ගිරවු හතර දෙනාගෙන් වැඩිමහල්ලා හිමින් වයරය මතට පියාඹා ආවේය. අඩියෙන් අඩිය දෙමලිච්චාට ළංවී ,

'.. ෂෝක් කෑම පිගාන නේද?
ඇයි අනේ ඔයා ඒ පළතුරු කන්නෙ නැත්තෙ? බඩේ අමාරුවක්ද? '

දෙමලිච්චා වේගයෙන් නැට්ට වනන්නට වූයේ කෝපය පෙන්වීමටය.

'හහ්... ෂෝක් තමයි...
කාල බලපල්ලකො ඉතිං මගෙන් අහන්නෙ.
මෝඩ ගිරවො... ඕවට අර තඩි ගෑනි වහ දාලලු... '

මාල ගිරවා ක්ලාන්ත වී මල් ගාලට වැ‍ටුණි. සැනින් ගිරවාගේ බො‍ටුවෙන් අල්ලා ගත්තේ සාවරියාගේ පියාය. දැන් එතැන මළ ගෙයකි. වයරය තදින් සොලවමින්, වයරයේ හොටවල් ගසමින් ගිරවු තිදෙන දෙමලිච්චාට දෙස් දෙවොල් තබයි.

'.. මොනාද යකෝ අපෙ අයියට කු‍ටු කු‍ටු ගාල කිව්වෙ? අනික වයර් එකෙන් බිමට වැටෙන්න තරම් දෙයක්? '

දෙමලිච්චා තම නැට්ට ගස්සමින් පළමු ගිරවාට කී කතාවම අනෙක් තිදෙනාටම කීය.

'ඩහ්.... ඩහ්... ඩහ්... '

ගිරවු තිදෙනෙකු පිළිවෙලින් වයරයෙන් පොළොවට පතිත විය. සාවරියාගේ පියාට මෙය අදහාගත නොහැකි විය. දැනටමත් එක ගිරවෙකු කෑ හෙයින් තවත් ගිරවු තුන් දෙනෙකු කෑම අමාරු වැඩකි. අනික ලේනුන් ඩබලක් සහ ගම්මිරිස් කුරුල්ලෙකු ද කෑමට බඩේ ඉඩ තබා ගත යුතුය. මේ අතර ගම්මිරිස් කුරුල්ලා කාටදෝ කියා ලියා ගත් කොළ කැබැල්ලක් හොටින් ගෙන සීනිගමට ළඟා විය. තැ‍රැව්කාරයෙකුගේ සහය ඇතිව පූජා වට්ටියක් දේවාලය ළඟටම ගෙන්වා ගැනීමට හේ සමත් විය.

'හහ්... ගම්මිරිස් කුරුල්ලෙකුත් ඇවිත්...
ඕං රටකට ගිය කල... මිනිස්සු මදිවට කුරුල්ලොත් එනවා මිරිස් අඹරන්න... '

'.. හා.. හා.. මොකක්ද ඔහේගෙ ප්‍රශ්නෙ? මොකක්ද ඔය හොටේ ගහං ඉන්නෙ?
ආ... මේ තියෙන්නෙ ප්‍රශ්නෙ ලියලම...
මගේ මොකෝ ඉතිං... ඔහේ ඉල්ලන දෙයක්නෙ...
තමුන්ට කතා කරන්න පුලුවන්කම තියෙද්දි ඇයි මෙහෙම ලියාගෙන ආවෙ?
කවුද හැබෑට මිසිස් සමරසිංහ? '

'... ඔහේට ඒවයින් වැඩක් නෑනේ. වැඩේ කරමු. මට පරක්කු වෙනවා... '

'... යකෝ... ගම්මිරිස් කුරුල්ලන්ගෙ සැර...
අපෙත් ඉතිං කරුමෙ තමයි... එක එක හාල්පාරුවො කියන ඒවා අහන්න එපැයි... '

ගම්මිරිස් කුරුල්ලාගේ මිරිස් ඇඹරිල්ලට පැය භාගයක්වත් ගත නොවීය. හොටය පුරා මිරිස්ය. ත‍ටුවලත් මිරිස්ය. අසල තිබූ ටැප් එකකින් හොට ඇතුළු සියලු උපාංග සෝදා ගත් ගම්මිරිස් කුරුල්ලා නිවසට ඒමට පිටත් විය. ලේන්නු ඩබලද කාටදෝ කියා ගත් කොළයක් නැට්ටක බැදගෙන ගාල්ලේ අප්‍රකට දේවාලයකට ගොස් තිබිණි. කොළයේ ලියා තිබූ ආකාරයටම වැඩේ සිද්ධ වී ඇත. ලේන්නු ඩබල ද හිනැහෙමින් නිවස කරා එමින් සිටියහ. මිසිස් සමරසිංහලාගේ ගෙදර හරි කලබලයකි. සාවරියාගේ පියා අභාවප්‍රාප්ත වී මිදුලේ වැටී උන්නේය. මිසිස් සමරසිංහ ළිදෙන් වතුර අදිමින් සිටින අතර ළිඳ ළඟ පොල් ගසෙන් ගෙඩියක් හිසට වැටී පළමුව සිහිසුන්ව, දෙවනුව මියැදී තිබිණි. ලේන්නු ඩබලත්, ගම්මිරිස් කුරුල්ලාත් ඒවා කිසිත් නොතකමින් කෑම පිගානේ තිබූ පළතුරු කෑමට වූහ. මද වේලාවකින් තිදෙනාම කටින් සෙම වගුරමින් මිදුල පුරා දුව ඇවිදින්නට වූහ. මද වෙලාවකින් තණකොළ බිස්සේ වැතිරුණු තිදෙනා නැවත නැගිට්ටේ නම් නැති.

පසු සටහන්:

* මිසිස් සමරසිංහ කෑම පිගානට වසා දමා තිබූ බව පසුව සොයා ගන්නා ලදී.
* වයරයෙන් බිමට වැ‍ටුණු කුරුල්ලා කාටත් හොරා උදේ පාන්දරම පැමිණ පිගානෙන් කෑම කෑ බව බට්ටිච්චෙකු පසුව කියා තිබුණි.
* ගම්මිරිස් කුරුල්ලාත්, ලේන්නු ඩබලත් තම තමන් ගෙන ගිය කොළවල වචන ලියාගෙන තිබුණේ පිස්සු සුනිල් ලවාය. ඔහු මිසිස් සමරසිංහගේ ජම්මාන්තර තරහාකරුවෙකි.

" මිසිස් සමරසිංහ හැදිගෑවියන් !"

කාංචනා අමිලානි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails