
බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල [සුහර්ෂනී ධර්මරත්න, නන්දා මාලනී, එම්. ආර්. චූලසිංහ] - ගීතය අහන්න.
සුහර්ෂනී ධර්මරත්නගේ පද රචනයෙන් ද එම්. ආර්. චූලසිංහගේ ස්වර රචනයෙන් ද සමලංකෘත මේ ගීතය නිල- ධනේශ්වර ගීත විචාරය විසින් ඉහලින් ම වර්ණනයට පාත්‍ර කරනු ලැබූවකි.
"බලා එන්ට මහ පෙරහැර
සිදාදියට මං ගිය කළ..."
ගීතයෙහි කථකාව නගරයට පැමිණෙනුයේ හුදෙක් සංස්කෘතික සංදර්ශනයක් නරඹා ආපසු ගමට යනු පිණිස නො හේ.
පංති සමාජය තුළ දිවිගෙවන්නන්ට තම ජීවන පැවැත්ම තහවුරු කරගනු වස් ස්වකීය කැමැත්තට පිටින් නිශ්චිත සමාජ සම්බන්ධතාවන්ට ඇතුල්වීමට බල කෙරෙයි. මේ ගීතයෙහි කථකාව ද එසේ ධනේශ්වර සමාජ කොන්දේසි යටතේ ගමෙන් නගරයට ඇද දමනු ලබන්නියකි.
එබැවින් පද රචිකාව පෙරහැර නම් රූපකය මෙහි දී යොදා ගනුයේ නාගරික ධනේශ්වර සමාජ ජීවිතයෙහි යථාර්ථය රූපනය කරනු පිණිස විය යුතුය.
එහෙත් වැඩවසම් සමාජ පරිසරයී ය ධ්වනිතාර්ථ ගැබ්කොට ගත් පෙරහැර වන් රූපකයක් තුළින් නාගරික ධනේශ්වර සමාජ ජීවිතයෙහි රිද්මය කිසිසේත් ම මතු ව නො යේ.
නාගරික පරිසරය තුළදී කථකාව ලිංගිකව සූරා කැවෙයි.
එනමුදු මෙකී අත්දැකීම හා බැඟනු සමාජික විෂය තවදුරටත් සූක්ෂ්මාත්මතාවයෙන් යුතුව ගවේෂණය කරනු වෙනුවට, සුළු ධනේශ්වර රැඩිකල්වාදී දෘෂ්ටියක් වන ස්ත්රීවාදයෙහි පීඩනයෙන් මැඩී ගිය පද රචිකාව, කථකාව සමග අනන්‍ය වෙමින්, එම දෘෂ්ටිවාදාත්මක කුණපය යථාර්ථය මත බලෙන් පටවයි:
"පිලේ කඩ පිලේ අගුවල
දොලේ තොටුපොලේ බැදිවල
පැලේ වැඩපොලේ ඇවිලී
රාග ලැව්ගිනී..."
රචිකාවට අනුව කුදු මහත් සමාජ දේහය ම රාගාග්නියෙන් ඇවිලෙයි. සෙයිලමේ මතු නොව ගම් මැද්දේ ද බමර පිරිවර රොන් සොයා ඇදෙති. පන්ති පීඩා නැත. වාර්ගික පීඩා නැත.
'ග්‍රාම ධර්මය ම' ජීවිතය කොටගත් මේ පුරවරය (පුරිස සංහතිය) දවා හළු කරන ලෙස අවසන ඇය සිද්ධ පත්තිනිය යාදින්නී ය:
"කඩා තන මඩල සරොසින
දවා ගිනි ගැනුන පුරවර
දවාලනු මෙපුර සැනෙකින
සිද්ධ පත්තිනී..."
එපමණකුදු නොව මෙහි දෙවන හා තෙවන පාදයන් හි:
"දවා ගිනි ගැනුන පුරවර
දවාලනු මෙපුර සැනෙකින..."
යන තන්හි භාවය වනුයේ ගිනි ගැනුනු පුරවර දවාලනු යන්නයි. ගිනි ගැනුනු පුරවර යලි දවාලන්නේ කෙලෙසක ද? මෙය අර්ථ පුනරුක්තිය හෙවත් ඒකාර්ථ දෝෂය යි.
පුරුෂෝත්තමවාදය මෙන්ම ස්ත්‍රීවාදය ද පාලක පන්තික ව්‍යාජ විඤ්ඤානයකි.
ස්ත්‍රීවාදී විඤ්ඤානවාදීන්ට අනුව පන්ති සමාජයී ය ස්ත්‍රී පීඩනය යනු හුදෙක් පුරුෂෝත්තමවාදී සමාජයට හා පුරුෂයන්ට නෛසර්ගිකව ම ආවේනික දුෂ්ට චෛතසිකයක ප්‍රතිඑලයක් නිසා ඇතිවන දුගතියකි. එසේ ම පුරුෂෝත්තමවාදී විඤ්ඤානවාදය ද, ස්ත්‍රීය නෛසර්ගිකව ම පවිටු, චපල ආධ්‍යාත්මයකින් යුත් අධම ගණයේ සත්ව විශේෂයකැයි ද එහෙයින් ම ඇය දඬු ගසා යටත්කොට තබාගැනීම යුක්තියුක්ත වේ යැයි ද පවසයි.
ඊට විපරීතව ස්ත්‍රී පීඩනයෙහි මෙන් ම පුරුෂෝත්තමවාදයේ ද විෂයබද්ධ මූලයන් පවතිනුයේ මානව ඉතිහාසයේ පුද්ගලික දේපල ක්‍රමය බිහිවීමත්, එහි විකාශනයත් තුළ ය.
එබැවින් පන්ති සමාජයී ය ස්ත්‍රී පීඩනය නිරවශේෂයෙන් ම අහෝසි කළ හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්ති පෙරටු බලඇණිය යටතේ සංවිධානය වෙමින් පුද්ගලික දේපල ක්‍රමය මිහිමතින් අතුගාදැමීමෙන් පමණකි.
කරුණු මෙසේ වන හෙයින් සුහර්ෂනී ධර්මරත්නගේ මේ පද සරණියෙන් පන්තිසමාජයී ය ස්ත්‍රියගේ ඛේදවාචකය පිළිබඳ තථ්‍ය ඥානය අප හමුවෙහි සම්පාදනය නොවේ.
එහෙයින් ම, එම්. ආර්. චූලසිංහගේත් නන්දා මාලනීගේත් ප්රයත්නය ගැන කියනු ම කවරේ ද?
බලා එන්ට මහ පෙරහැර
සිදාදියට මං ගිය කල
පෙරළා එන්නට නොහැකිව
පාර වැරදුනි
සෙයිලමේ බමර පිරිවර
උදව්වට ඇවිත් කළ වින
කියන්නට ගියේ දෙවොලට
ගයා යාදිනි
ගොහින් මව්පියන් සමගින්
වැටී අඩදනින් බැතියෙන්
වඳින කල දෙවොල හිසමත
කැඩී පෙරලුනී
සිව්වරම් පතා ළසොවින
තිරෙන් මුවාවට ගිය තැන
අනේ ඳෙවිඳු පාමුල
ඉන සළුව ගිලිහිනී
පිලේ කඩ පිලේ අගුවල
දොලේ තොටුපොලේ බැදිවල
පැලේ වැඩපොලේ ඇවිලී
රාග ලැව්ගිනී
කඩා තන මඩල සරොසින
දවා ගිනි ගැනුන පුරවර
දවාලනු මෙපුර සැනෙකින
සිද්ධ පත්තිනී
විජය නන්දන පෙරේරා
MIYASI BOONDIYA | ගී කිය(ව)මු| 08| බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල - [විජය නන්දන පෙරේරා]
Posted by
BoondiOnLine
12.05.2011



