Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රෝස උයනට
පැමිණි කුමරිය
උයන්පල්ලා
දෙස බලා

සියලු වල් පැළ
උගුලගෙන ගොස්
පුළුස්සන්නට
අණ කළා

ළංව බැලුවොත්
මිසක් නොපෙනෙන
පුංචි තණකොළ
මල් දිහා

බලාගෙන සිටි
උයන්පල්ලා
තදින් සුසුමක්
පිට කළා....

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හිතින් සමනළ කන්ද වැඳලා
කඳු කපා බිම සැදුවා
උඳුවප් සඳ වගේ සැදෙනා
රාබු අල සිපගන්න සිතුණා

මල් තුහින වෙඩි වගේ වැටුණා
හීන හත ගල් ගැහී මිදුණා
කොළ දැවී නාරටියටත් රිදුණා
හීතල ද ගිනි අරන් තිබුණා

අල වගේමයි ගෝවා
කැරට් කහ පාට නැතුවා
ලේ පැල්ලමක් තියලා
බීට් වෙඩි වැදී හිටියා

මල් නොවේ ගල් තුහින මේවා
කිහිරඟුරු රැසක් මෙන් දැවුණා
මල් කඩා පාගලා දමලා
හිම වලින් සොහොන් කොත බැන්දා

ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



2009 වසරේ ගිම්හානයේ, ජර්මනියේ කාල්මාක්ස් පිළිරුව බලන්නට අප හා කැටුව ගිය, දිගු කෙහෙරැල්ලක් හා ඝන රැවුලකින් යුතු, මිලාන් කුන්දේරාගේ 'ජීවිතය අන්තැනක' පොතත්, කොළ කිහිපයක්, පෑනක්, සිගරට් පැකට්ටුවක්, වොඩ්කා බාගයක්, සහිත රෙදි බෑගයක් කරේදමා ඇවිදගිය නිහඩ උස් මිනිසා දෙවසරකට ආසන්න කාලයක් නිහඩව, පිටුවහල්ව වේදනාවෙන් හා කෝපයෙන් සයිබර් අවකාශයේ කළ කවිකම් අපි ඔබ වෙනුවෙන් සයිබර් අවකාශයෙහි පළ කළෙමු.

කවිය හා කවියා යනු සර්වකාලීන වස්තූන් යන සර්වව්‍යාපී සංකල්පයෙන් බැහැරව කාලීන සමාජය හා ගැටුන ඔහුගේ පන්හිදෙන් උපන් කවිකම් සම්ප්‍රදායනුකූලව මුද්‍රනද්වාරයෙන් එළිදැක්වීමට අපි කතිකා කර ගතිමු. සැලසුම් කළෙමු. අවසානයේ එය සැලසුමකටම සීමාවිය.

එහෙත් ඒ සද්කාර්යය කවරකු හෝ කරගසා ඉටුකර තිබෙනු දැක්ම අපට මහත් සොම්නස් ගෙනදෙයි. වෙඩ්ඩා ප්‍රංශයට පිටුවල් වූයේ අපගේ වාසනාවටැයි දැන් අපට සිතේ. මන්ද කොළඹ ජීවත් වූවානම් ඔහුට සිදුවන්නේ අන් බොහො කවීන් මෙන් නිහඩව සිටීමට හෝ මිය යන දස දහසක් මිනිසුන්ගේ මරණ නොදුටුවා මෙන් මිය ගිය අලියෙකු ගැන කවි ලිවීමටය. රාජපක‍ෂ ට්‍රොයිකාවේ මිලියන ගණනක පතුරම්වලට වඩා අපේ කවියාගේ එක් කවියක් කොතරම් ප්‍රභලදැයි අපට දැන් වැටහෙයි.

බටහිර රටක පිටුවල් වී රසමසවුලෙන් සන්තර්පනය වෙමින්, 'ප්‍රංශයේ කොනියැක්' නිම්නයේ මධු ඔඩමක ගිලි නැහැවෙමින් කාමසුඛල්ලිකානු යෝගීව විදීමට ඇති ජීවිතය තවමත් 'මාතෘකාවක් නැති මාතෘ භූමියේ' අදුරු අහුමුලු කරා මෙහෙයවන්නේ 'මානව ප්‍රේමය' නම් වූ උත්තුගම දහම නිසාය.

හෙට (ජනවාරි 30) වන දා ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය 'මාතෘකාවක් නැති මාතෘ භූමිය' ලංකාවේදී ඔහුගේම සහෘදයන් විසින් එළි දක්වනු ලැබීම අතිශය චමත්කාරජනක හා ඓතිහාසික අවස්ථාවක් වන්නේ එය 'මනමාලයා නැති මඟුල් ගෙයක්' බැවිනි. නැතහොත් කතානායකයා නැති ඔහු ගැන කියැවෙන 'පිරවි' ඝනයේ චිත්‍රපටයට එය සමාන වේ. පිටුවහල් වූ වෙඩ්ඩා ලංකාවේ ජීවත්වූ වෙඩ්ඩාට වඩා කෙතරම් ප්‍රභලදැයි ඔහුට මිනිසුන් මෙතරම් ආදරේ ඇයිදැයි දැන් අපට පසක් වේ.

වෙඩ්ඩාගේ කවිය අපට යළි යළිත් පසක් කරදෙන සනාථන සත්‍යනම් කවියාට වෙඩිතබා ඝාතනය කළ හැකි වුවද කවියට වෙඩිතැබිය නොහැකි බවයි.

2011.01.29
ගැමුණු සෙනවිරත්න
සංස්කාරක| 'සයිබර් පවුර'
ලංකා නිව්ස් වෙබ්

ගැමුණු සෙනවිරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මව්නි, මට ඔබට සුබපතන්නට ඉඩ දෙන්න
ඔබෙ පුතුගෙ උපන්දිනයට.
තැවෙයි ඔබ බොහෝ වර, ඔහු ගැන,
මෙහි ඇවිත් බොරු කියන,
සොච්චමක් උපයන, ඔහුගෙ හිතුවක්කාර විවාහය ගැන,
දින දින කෘෂව වැහැරීම ගැන,
නොබෑ රැවුළ ගැන, කලක් තිස්සෙම.
අහෝ, කෙතරම් දුක්බර- ස්නේහවත් බැල්මක්ද!

මව්නි, සුබපැතිය යුතුය මා ඔබට,
මා එසේ වූයේ නම්
ඔබේ දුක් තැවුල් වල උපන් දිනය දා....

ඔබෙ උරුමයෙන් ඔහු ලද
කාලයෙහි දයාවෙන් තොර ආත්ම පරිත්‍යාගය හා භක්තිය
ඔහුගෙ විශවාසයෙහි උඩඟු බව හා කැළඹුණු බව
ඔහු ඔබෙන් ලද ඇදහිල්ල.... විප්ලවය.

නොකළෙහිය ඔබ ඔහු භාග්‍යවත්,
නොකළෙහිය ඔබ ඔහු දිරිමත්
එඩිය ඔහු ලද සවිය.

කවුළු හැමෙකම විවර කල මැන
තුරුපතින් පිරි ඉති මතින් නගන,
සිහින් කුරුළු නදට - විවර වන ඔහු දෙනෙත
සිප ගන්න ඉඩ දෙන්න
ඔහුගෙ සටහන් පොතත් තීන්තත් යළි දෙන්න

කිරි පොදක් දී ඔහුට, ඔහු ගමන යන අයුරු නරඹන්න.

යෙව්ගිනි යෙව්තුෂෙන්කො
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හවසටත් සලපතල මළුව ගිනියම්
යටි පතුල් පුච්චන තරම්
සුදට, සිහිලට, උසට
මහ සෑය නම් හරි මනරම්

ලා රතු පතුල් තබමින් නොතබමින්
යන යුවතියන් හරි කඩිනම්
රතු, සුදු, නෙළුම් තබමින්, නරඹමින් උන්
මහ සෑය පැදකුණු කරන ඉක්මන්

සුදු වතින්, සුදු වුනු හිසින්
දන බිම ඇනන්, වැඳ වැටෙමින්
යළි නැගිටිමින්, ඉරි තැලුණු පතුලින්
අර අම්මලා යයි හරි හෙමින්

සුදු නෙළුම් හරි හෙමින් පුදසුන තබමින්
නෙතු පියන්, නලලතට අත් ගෙන බැතියෙන්
කල් ඉඩ අරන් ඇති තරම් ගාථා කියමින්
වඳින ඒ මව් වියට නොදැනෙ ද ගිනියම් ?

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මන්නාරම කතෝලික පදවිය වෙනුවෙන් උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම හමුවේ ඉදිරිපත් කෙරුනු පූර්ණ සාක්ෂි සටහන : තම හඬ නැගිය යුතු අයුරු නැගීමට අවකාශයක් නැති වන්නිකරයේ දෙමළ ජනතාව ගේ සමාජීය හා දේශපාලන ගැටළු හැම, ඔවුන් වෙනුවෙන් සිය සාක්ෂි සටහනට ඇතුලු කරමින්, එය උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම හමුවෙහි තැබූ, මන්නාරම කතෝලික පදවියේ පුජ්‍ය ආචාර්ය රයප්පු ජෝසෆ් රදගුරු තුමා ගේ සාක්ෂි සටහනෙහි සංස්කරණයකින් තොර සිංහල පරිවර්තනයකි මෙය. [පසු ගිය ජනවාරි 23 වන ඉරිදා රාවය පුවත් පතෙන් මෙය කොටස් වශයෙන් පළ කිරීම ආරම්භ කෙරුනි.]

2011 ජනවාරි 08 වන දින

අ. හැඳින්වීම

උගත් පාඩම් සහ ප‍්‍රතිසංධාන කොමිසම හමුවේ කරනු ලබන මෙම සාක්ෂි ඉදිරිපත් කිරීම, මන්නාරම දිස්ති‍්‍රක්කයේ ජනතාව වෙනුවෙන්, මන්නාරම කතෝලික පදවියෙහි අග රදගුරු තුමා සහ එහි පුජක පක්ෂය විසින් කරන්නකි.

මීට ඉහතින් පත් කෙරුනු කොමිසම් විසින් ඔවුන් වෙත පරීක්ෂණය සඳහා භාර කෙරුනු මානව හිමිකම් උල්ලංඝණ සහ ඝාතන සම්බන්ධයෙන් සත්‍ය හෙළදරව් කිරීමටත් ඒවායින් විපතට පත් හා අසාධාරණයට ලක් වූ පුද්ගලයින්ට හා පවුල් වලට සාධාරණයක් ඉටු කිරීමටත් අපොහොසත් වීම පිළිබඳව, ආරම්භයේදීම අපගේ නොසතුට ප‍්‍රකාශ කළ යුතු ය. බරපතල මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ චෝදනා සොයා බැලීමටත් පරීක්ෂණ පැවැත්වීමටත් බලය ඇතිව පත් කෙරුනු ජනාධිපති කොමිසමට බාර දෙනු ලැබූ සිද්ධීන් 16 ට අයත් වූ, ආරක්ෂව සඳහා සිවිල් වැසියන් ගොඩ වූ පේසාලේ කතෝලික පල්ලියට ප‍්‍රහාර එල්ල කිරීමත් ජිම් බ‍්‍රවුන් පියනම ගේ අතුරුදහන් වීමත් නිදසුන් ය. මේ දෙකම, 2006 වසරෙහි සිදුවීම් ය. ඒ සම්බන්ධව කෙරුනු කිසිවක් අපි තවම නොදන්නෙමු. එවගේම, මෙවායේ වාර්තා, ඒවා ඉදිරියේ සාක්ෂි දුන්, විපතට පත් හා ඔවුන්ගේ පවුල් වලට හා මහ ජනතාවට ඉදිරිපත් නොකිරීමත් කණස්සල්ලට හේතුවකි.

කෙසේ නමුත්, අති ගරු ජනාධිපති විසින් මෙම උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසම පත් කිරීම, ශී‍්‍ර ලංකාවාසි සියලු දෙනාට, ජාතික සමගිය උදා කර ගැනීම සඳහා අවස්ථාවක් කර ගත හැකි යැයි, අපි විශ්වාස කරමු. අනාගතය සඳහාත් ගැටුම් මග හැර ගැනීම සඳහාත් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීමේ වැදගත්කම අපි පිළිගනිමු. මේ කොමිසමට උදව් කිරීම පිණිස, අප ගේ ජනතාව ඒ සම්බන්ධව දැනුවත් කරමින් කච්චේරි සහ ග‍්‍රාම සේවා නිලධාරීන් සමග හවුල් වෙමින්, මෙම කොමිසම හමුවට අප පැමිණියේ, ඒ හේතුව නිසා ය.

අප ගේ ඉල්ලීම අනුව මන්නාරම් දිස්ති‍්‍රක්කයේ ජනතාව හමු වීම සඳහා මෙහි පැමිණි කොමිසමෙහි එම සාධනීය ප‍්‍රතිචාරය අපි අගය කරමු. මේ ජනතාව, විශේෂයෙන්ම වසර 2006 - 2009 වන යුද්ධයේ අවසන් කාලයේ විපතට පත් ජනතාවකි. එය එසේ වූවත්, දසක 03 ක් යුද්ධයෙන් විපතට පත් දස දහස් ගණනාවක ජනතාවක් ඉන්නා මන්නාරම් දිස්ති‍්‍රක්කයේ ජනතාවට සවන් දීම සඳහා වෙන් කෙරුනු ඉතා අල්ප කාලය ගැන, අපි අකමැත්තෙමු. කොමිසමෙහි නිල සැසි කාලයෙන් පසුව හෝ ජනතාවට කරුනු කීම සඳහා තව වැඩි පුර කාලයක් ලබා දෙන ලෙස අපි ඉල්ලමු.

එවගේම, ජාතික සමගියක් ගොඩ නැගීම සඳහා වන සැබෑ උත්සාහයකට නම්, 2002 වසරේ පෙබරවාරි මාසයට වඩා ඈත ඉතිහාසයකට යා යුතු යැයි අපි විශ්වාස කරමු. ගැටුමෙහි මූලය සහ අතිශය වේදනාකාරී විනාශයන් හා බෙදීම් සඳහා වන යුද්ධයට හේතු, ඊට බොහෝ ඈතට යන්නේ යැයි අපි විශ්වාස කරමු. ඇත්තෙන්ම, යුද්ධයත් එල්.ටී.ටී.ඊයත් අනෙකුත් දෙමළ සන්නද්ධ සංවිධානත් ගැටුමෙහි ප‍්‍රතිඵල මිස, එහි නිමිත්ත නොවේ. එල්.ටී.ටී.ඊය සහ අනෙකුත් දෙමළ සන්නද්ධ සංවිධාන විශාල වේදනාවන්ට හේතු වූ බව සැබෑ ය. ඔවුන් ගේ එවැනි කි‍්‍රයාකාරකම් වලට හේතු වන්නේ දෙමළ ජනතාව ගේ ප‍්‍රශ්න සඳහා සාමකාමී දේශපාලන විසඳුමක් ලබා ගැනීමට දෙමළ ජනයා දැරූ උත්සාහයන් හමුවේ, පැවති සියලු ආණ්ඩු අසමත් වීම ය. ජනතාව මුහුණ දුන් විපත් සඳහා එල්.ටී.ටී.ඊය සහ අනෙකුත් දෙමළ සන්නද්ධ සංවිධාන වගකිව යුතු බව අප පිළිගන්නා අතර, තම වේදනාවන් සම්බන්ධ වැඩි වගකීමක් ජනතාව තබන්නේ සහ වැඩි බියක් දක්වන්නේ හමුදාවට සහ ඔවුන් ගේ බුද්ධි අංශ නිලධාරීන්ට බව ද මෙහි දී සඳහන් කළ යුතුව ඇත.

ඇත්ත, දුර දිග යන ස්ථාවර ජාතික සමගියක්, එකඟත්වයක් සඳහා යුද්ධයෙහි සහ ගැටුමෙහි මූලයන්ට විසඳුම් ලබා දීම, ඉතා තීරණාත්මක යැයි අපි විශ්වාස කරමු. විශේෂයෙන්ම දෙමළ ජනතාවට බලපාන්නා වූ ඔවුන් ගේ දේශපාලන අනන්‍යතාවය, භාෂාව, ඉඩම්, අධ්‍යාපනය සහ දේශපාලන බල පංගුකාරිත්වය පිළිගැනීම, අවශ්‍ය වන්නකි.

ආ. සත්‍යයේ වැදගත්ක්කම ජතික සමගියක්, එකඟත්වයක් සඳහා වන ඇත්ත උත්සාහයන් සඳහා දසක ගණනාවක යුද්ධයෙහි සහ ප‍්‍රචණ්ඩත්වයෙහි විනාශකාරී සිදුවීම් සඳහා පසු බිම් වූ සත්‍ය, නොසඟවා පිළිගැනීමට සිදු වන්නේ යැයි අපි ඒත්තු ගෙන සිටිමු. සත්‍ය තහවුරු කිරීම ඔබට පැවරී ඇති නිශ්චිත වගකීමක් නොවුන ද, සත්‍යයෙන් තොර සැබෑ ජාතික සමගියක්, එකගත්වයක් නොතිබිය හැකිය යන අපගේ විශ්වාසය, ඔබ ද පිළිගන්නවා ඇතැයි අපි සිතමු. විශේෂයෙන්ම, ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝණය වීම පිළිබඳ සත්‍ය, නිදසුන් ලෙස බලහත්කාර අතුරුදන් වීම්, ඝාතන, අනිසි අත් අඩංගුවට ගැනීම්, වධ හිංසා, රෝහල් සහ ආගමික ස්ථාන ඇතුළත් සාමාන්‍ය පුරවැසියන් ගේ වාසස්ථාන වෙත එල්ල කෙරුනු බෝම්බ හෙලීම් හා ෂෙල් ප‍්‍රහාර ආදිය, ”අණ දීමේ වගකීම” පිළිබඳ සිද්ධාන්තය ද සිහි තබා ගෙන, නොසඟවා පිළිගත යුතු වන්නේ ය. අතුරුදන් වීම්, ඝාතන, අනිසි අත් අඩංගුවට ගැනීම්, වධ හිංසා, ස්තී‍්‍ර දූෂණ හා ලිංගික අතවර වැනි බොහෝ අපරාධ අතුරෙන් එක් සිදුවීමක දී (කි‍්‍රෂාන්ති කුමාරස්වාමී දූෂණය හා ඝාතනය) හැර, අනෙක් කිසිවක වැරදිකරුවන්ට නඩු පවරා නැති බව ද මෙහි සඳහන් කළ යුතු ය. වසර ගණනාවක් පුරා අපරාධ වෙනුවෙන් දඩුවම් නොලැබීමේ වරප‍්‍රසාදය සමග ඇති වූ මේ සංස්කෘතිය, ගැටුම්කාරී පසු බිමක දෙමළ ජනතාව වැඩි වැඩියෙන් අපරාධයන්ට ගොදුරු වීමට හේතු වූ බව, අප ගේ විශ්වාසයයි. සමාව දීම් හා නිදහස් කිරීම් සිදු විය හැක්කේ සිදු වූ වැරදි අවංකව පිළිගතහොත් සහ ඒ වෙනුවෙන් ඇත්ත කම්පාවක් ඇත්නම් පමණකි. සත්‍ය සඳහා ඉඩක් ඇත්නම් පමණකි.

ගැටුම් හා යුද්ධය අතරතුර සිදු වූ සත්‍ය සිදුවීම් සමාජයට ඉදිරිපත් කිරීමේ ඉහළ ප‍්‍රමුඛතාවක් වෙනුවෙන් උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසම පෙනී සිටිය යුතු යැයි අපි උදෙක් ඉල්ලා සිටිමු.

ඇ. දේශපාලන විසඳුමක වැදගත්ක්කම තමන්ටම ආවේනික වූ අනන්‍යතාවයකට හේතු වන භාෂාවක්, සංස්කෘතියක්, ආගමක් සමඟම සාම්ප‍්‍රදායික පදිංචියක්ද ඇති දෙමළ ජනතාවත් අනෙකුත් රට වැසියන් සමඟ එකම ශී‍්‍ර ලංකාවක කොටස්කරුවන් යන්න පිළිගත යුත්තකි. දේශපාලන කි‍්‍රයාදාමයන් ඔස්සේ ගැටුම් නිරාකරණය කිරීමේ ජාත්‍යන්තර නීති හා පිළිවෙත් ද සළකමින් ශී‍්‍ර ලංකාවේ මේ යතාර්ථය, ආණ්ඩුව විසින් පිළිගත යුතුව ඇත. බල පංගුකාරිත්වය සම්බන්ධ මූලික ප‍්‍රතිපත්ති හා සුඵතර ජනතාවගේ අයිතීන් ව්‍යවස්ථාගත කළ යුතුව ඇත. කිසියම් එක් ජන කොටසකට හෝ බහුතර ජනතාවටත් එක් ආගමකටත් ව්‍යවස්ථාවෙන් හා නීති පද්ධතියෙන් කුමන හෝ විශේෂයක් කරන්නේ යැයි වැනි හැඟීමක් ඇති වන්නට හෝ ඉඩක් නොතැබිය යුතු ය.

එම කි‍්‍රයාවලිය, සියලු ජන කොටස් නියෝජනය වන අයුරු, ශී‍්‍ර ලාංකීය විශේෂඥ සහාය ද ඇතිව, අදාල ජාත්‍යන්තර අත්දැකීම් මතින් ලබා ගත හැකි සියල්ලත් ඇතිව සම්පූර්ණ කළ යුතු කි‍්‍රයාවලියක් යැයි අපි විශ්වාස කරමු.

මෙය දිගු කි‍්‍රයාවලියක් බව අපි පිළිගන්නෙමු. වත්මන් ජනාධිපති විසින් පත් කෙරුනු සර්ව පාක්ෂික නියෝජන කමිටුව ද ඇතුඵව එවැනි කි‍්‍රයාවලීන් කිහිපයක් ම, මඟ දී අත හැර දැමුනු බව මෙහි සටහන් කළ යුතු ය. මීට ඉහතින් දේශපාලන විසඳුම් සඳහා ගනු ලැබූ උත්සාහයන් ද සළකමින් අවශ්‍ය අදාල සංශෝධන ව්‍යවස්ථාවට එකතු කිරීමෙන් දේශපාලන විසඳුමක් සකසා ගත හැකි ය.

පළමු පියවර වහා ගැනීම තීරණාත්මක යැයි අපි කියමු. ඒ සඳහාත් සමස්ථ කි‍්‍රයාවලිය සම්පුර්ණ කර දේශපාලන විසඳුම් කි‍්‍රයාවට නැගීමටත් කාල වකවානු පැහැදිලිව නියම කිරීමත් අත්‍යාවශ්‍ය වන්නකි.

ඈ. වහා විසඳිය යුතුතු ගැටළු මේ අර්බූදය නෙුවෙන් දේශපාලන විසඳුමක ඇති අවශ්‍යතාවය වගේම, ජාතික සමගියක්, එකඟත්වයක් වෙනුවෙන් අප ඉදිරියට යෑමේ දී වහා පිළියම් කළ යුතු ගැටළු කිහිපයක් අවධාරණය කිරීමට ද අපි කැමැත්තෙමු. යුද්ධයෙන් විපතට පත් ජනතාවගේ මේ ගැටළු වෙනුවෙන් පිළියම් ලබා නොදුනහොත් ඔවුන්ට ජාතික සමගියක් සඳහා පියවර තබන්නටත් ජාතික මට්ටමෙන් ඉදිරිපත් කරන ජාතික සමගියක් එකඟත්වයක් ගැන විශ්වාසයක් තබන්නටත් අපහසු වනු ඇත.

පහතින් සඳහන් වන්නේ එවැනි ගැටඵ කිහිපයක් සහ ඒ වෙනුවෙන් අප ගේ ප‍්‍රායෝගික යෝජනා කිහිපයකි.

1. බලහත්ක්කාර අතුරුදහන් කිරීම්

මේ සමග අතුරුදන් කෙරුනු පුද්ගලයින් 100 ගේ ලේඛනයක් අපි ඉදිරිපත් කරන්නෙමු. (ඇමුණුම්1-පළමු හා දෙවන කොටස්) ඒ ඔවුන් ගේ ආදරණීය ඥාතීන් වාර්තා කරනු ලැබූ අයුරු ය. ඇත්ත සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි ය. පවත්නා ව්‍යුවහයන් වන පොලිසීය, මානව හිමිකම් කොමිසම සහ ජනාධිපති විසින් මීට ඉහතින් පත් කරනු ලැබූ කොමිසම් වෙත බොහෝ පවුල් වල සාමාජිකයන් පැමිණිලි කර ඇතත් ඔවුන්ට ඒ කිසිවකින් අතුරුදහන් වූවන් සම්බන්ධව සහනයක් ලැබී නැත. මන්නාරම පදවියේ නොවුනත් මේ කාලයේ උතුරෙන් අතුරුදහන් වූ ජිම් බ‍්‍රවුන් පියනම හා ෆ‍්‍රැන්සිස් ජෝසෆ් පියනම සම්බන්ධව අපි විශේෂ අවධානයක් යොමු කරන්නෙමු. මීට ඉහතින් 2006 වසරේ දී පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට ලබා දී තිබූ වගකීමට ද ජිම් බ‍්‍රවුන් පියනම ගේ අතුරුදන් වීම අයත් විය.

යෝජනා :

1.1 විපතට පත් ජනතාව විසින් පිළිගන්නා වූත් රාජ්‍ය ආයතනයන් ගෙන් ස්වාධීන වූත් කඩිනම් විශේෂ කි‍්‍රයාකාරී යාන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීම

1.2 පුද්ගලයෙකු නිශ්චිත වශයෙන්ම සොයා ගැනීමට නොහැකි තන්හි, මරණ සහතිකයක් ලබා දීමට හා වන්දි ගෙවීමට පියවර ගැනීම

1.3 ඒ සඳහා වන පිළිවෙත විවෘත, නිශ්චිත කාල සීමාවක් නියම කෙරුනු, සරළ පිළිවෙතක් වීම


2. අත් අඩංගුවේ ඉන්නා එල්.ටී.ටී.ඊ සැක කරුවන්

අප වෙත වාර්තා කෙරුනු පුද්ගලයින් 274 කු ගේ ලේඛනයක් මෙහි අමුණා ඇත. ඔවුන් අත් අඩංගුවේ ඇතැයි වාර්තා වේ. ඇත්තටම අත් අඩංගුවේ ඉන්නා පුද්ගල සංඛ්‍යාව මීට වඩා වැඩි යැයි අපි නැවතත් කියමු. එල්.ටී.ටී.ඊ සැක කරුවන් දහස් ගණනක් රට පුරා, කොළඹ වැලිකඩ, නුවර බෝගම්බර, යාපනය, මඩකළපුව, වවුනියාව, අනුරාධපුර ආදි ප‍්‍රදේශයන් හි සිර ගෙවල් වල රඳවා ඇත. ඒ සියලු දෙනාම පාහේ දෙමළ ය. බොහෝ දෙනෙක් රඳවා ගෙන ඇත්තේ එල්.ටී.ටී.ඊය හා කුමන හෝ සම්බන්ධයක් ඇතැයි සැක පිට ය. වසර ගණනාවක් ගත වූවත් ඔවුන් බොහෝ දෙනෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර නැත. අනෙකුන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කර ඇතත් ඔවුන් ගේ නඩු වාර, වසර ගණනාවකට දැන් ඇදි ගොසින් ය. ඔවුන් සමහරකට, ත‍්‍රස්තවාදී කටයුතු පරීක්ෂා කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ඕමන්තායි හි රඳවා ඇති අයට මෙන්, නීතිඥ සහාය ලබා ගැනීමට, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හා ජාතික මානව හිමිකම් කොමිසම ඇමතීමට පවා අවසරයක් ලබා දී නැත. ඔවුන් ට ආගමික කටයුතු වල නිරත වන්නට ද අවසරයක් නැත. ඔවුන් දැක බලා ගැනීමට යන ඥාතීහු ද අනේක විද හිරිහැරයන්ට මුහුණ පාන කුඩා කාමරයක වරකට හිර කර ඉන්නා දස දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් හා ඔවුන්ට ඉතා අමනුස්සවිදියට කතා කරන්නට සිදු වන්නේ යකඩ දැල් අස්සෙන් ය. සෑම සිර කඳවුරකම, ඥාතීන්ට බලා ගැනීමට හැකි එක් පොදු නාම ලේඛනයක් නැත. එවගේම කුඩා අත දරුවන් ඇති හා ශාරිරික දුබලතාවන් ගෙන් පෙළෙනවුන් වැනි විශේෂ අවශ්‍යතා සහිත ඉතා අසරණ කණ්ඩායම් වෙත විශේෂිත අවධානයක් යොමු කිරීමත් ඉතා අත්‍යාවශ්‍ය වන්නකි.

යෝජනා :

2.1 ඥාතීන් ගේ දැන ගැනීම පිණිස සියලු රැඳවියන් ගේ නම් ඇතුළත් පුර්ණ ලේඛනයක් ප‍්‍රසිද්ධියට පත් කිරීම - එහි ඔවුන් ගේ නම්, ස්ථාන මාරු කිරීම් වෙතොත් ඒ වාර්තා හා රඳවා ඇති කඳවුර සඳහන් විය යුතු ය. එම ලේඛනයේ රඳවා ගැනීමට හේතුව සහ එසේ රඳවා තැබෙන්නේ කවර නීති වගන්තියක් යටතේ ද යන්නත් සඳහන් විය යුතු ය.

2.2 රඳවා සිටින පුද්ගලයින් හමුවීම සඳහා ඥාතීන්ට, ආගමික නායකයින්ට, නීතිඥයින්ට, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හා අනෙකුත් ව්‍යවස්ථාපිත ආයතනයන්ට හා පුද්ගලයින්ට සීමා බන්ධනයන්ගෙන් තොර අවසරයක්

2.3 චෝදනා නොමැති සහ නීතිමය පදනමකින් තොරව රඳවා ගෙන සිටින සියල්ලන් වහා නිදහස් කිරීම හා චෝදනා ඉදිරිපත් කර ඇති අයගේ නඩු විභාග ඉක්මන් කිරීම

2.4 කුඩා අත දරුවන් ඇති හා ශාරිරික දුබලතාවන් ගෙන් පෙළෙන වැනි විශේෂ පුද්ගලයින් හඳුනා ගැනීමේ නිශ්චිත විමසුම් පිළිවෙතක් ආරම්භ කිරීම හා ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා වෙනුවෙන් පහසුකම් ලබා දීම


3. ඝාතන

යුද්ධයේ අවසන් කාල වකවානුවෙහි දී ඝාතනය කරනු ලැබුවේ යැයි අප වෙත වාර්තා කෙරුනු පුද්ගලයින් 166 කුගේ නාම ලේඛනය (ඇමුණුම 03) මේ සමග ඉදිරිපත් කරමි. මෙය සම්පූර්ණ ලේඛනයක් නොවේ. දසක තුනක් වූ යුද්ධයේ දී උතුරු-නැගෙනහිර දහස් ගණනක් පුද්ගලයින් ඝාතනය කරනු ලැබිනැයි, වාර්තා වී ඇත. ඔවුන් ගෙන් බොහෝ දෙනෙකු 2007 වසරෙන් පසුව වූ අතර, විශේෂයෙන් 2009 වසර යුද්ධයේ අවසන් මාස 05 අතරතුර ය. ඉන් සැළකිය යුතු සංඛ්‍යාවක් මන්නාරම දිස්ති‍්‍රක්කයෙනි. අපගේ පදවියේ පාක්‍යරන්ජිත් පියනම ඝාතනය කරනු ලැබුවේ 2007 වසරේ සැප්තැම්බර 26 වන දින ය. ඔහු අනාථ වූවන්ට ආධාර රැගෙන යමින් සිටිය දී, තුන්නුකායි හි වෙල්ලන්කුලම් පාරේ දී ඝාතනය කරනු ලැබිණ. මන්නාරමේ සිය ගණනක් පුද්ගලයින් යුද්ධය ආරම්භ වූ 1980 දසකයේ මුලදී, හමුදාව විසින් ඕනෑකමින්ම ඝාතනය කර ඇත. මන්නාරම මැදවච්චිය පාරේ 11 වන කණුව අසළ 1984 දෙසැම්බර 04 වන දින කරනු ලැබූ සමූහ ඝාතනය, එවැන්නකි.

අප විශ්වාස කරන අයුරු, ඇසින් දුටු සාක්ෂි සළකතොත්, 2009 වසරේ ජනවාරි සිට මැයි මාසය වන යුද්ධයේ අවසන් මාස 05 ඇතුළත දහස් ගණනක් මැරෙන්නට ඇත.

කිලිනොච්චි සහ මුලතිවූ කච්චේරි (දිසා ලේකම් කාර්යාල) වලින් ලබා ගත් ජනගහන තොරතුරු වලට අනුව, 2008 වසරේ ඔක්තෝම්බර මස ආරම්භයේ එහි වූ ජනගහනය හා ඉන් පසුව ආණ්ඩුවේ පාලන පෙදෙස් වෙත පැමිණි ජනගහනය සැළකුවහොත් පුද්ගලයින් 1,46,679 දෙනෙකු ගේ අඩුවක් ඇත. කච්චේරි (දිසා ලේකම් කාර්යාල) වලට අනුව, 2008 වසරේ ඔක්තෝම්බර මස ආරම්භය වන විට වන්නියේ වූ ජනගහනය 4,29,059 කි (ඇමුණුම 4 සහ 5 බලන්න). එක්සත් ජාතීන් ගේ මානුෂික ආධාර සම්බන්ධීකරණ සංවිධානයේ (UN OCHA) 2009 වසරේ ජූලි 10 වන දින දත්ත අලුත් කිරීමට අනුව, යුද්ධයෙන් පසු, වන්නියේ සිට ආණ්ඩුවේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණි පුද්ගලයින් සංඛ්‍යාව 2,82,380 කි. (ඇමුණුම 6 බලන්න)

යෝජනා :

3.1 සියලු ඝාතන නිල වශයෙන් සඳහන් කිරීම

3.2 යුද්ධයේ අවසාන කාලයේ දී ඝාතනය කෙරුනු සියලු සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව ප‍්‍රසිද්ධියට පත් කළ යුතුය

3.3 2008 ඔක්තෝම්බර සිට 2009 මැයි අතර කාලයේ ආණ්ඩුවේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණි සංඛ්‍යාව හා 2008 ඔක්තෝම්බරයට පෙර වන්නියේ විසූ සංඛ්‍යාව ලෙස සඳහන් සංඛ්‍යාව අතර ඇති වෙනස වන 1,46,679 සම්බන්ධව පැහැදිලි කිරීමක් කළ යුතුව ඇත

3.4 මරණ සහතික නිකුත් කිරීමේ සහ වන්දි ගෙවීමේ පිළිවෙත් ඉක්මන් කළ යුතුව ඇත

3.5 ඒ සඳහා වන පිළිවෙත් ඉතා සරළ, පහසු සහ කාල සීමා සහිත විය යුතු අතර ඒවා ප‍්‍රසිද්ධියට පත් කළ යුතු ය


4. යුද්ධයෙන් විපතට පත් සාමාන්‍ය වැසියන් පුනරුත්ථාපනය

සාමාන්‍ය වැසියන් දහස් ගණනක් ද යුද්ධයෙන් තුවාල ලබා ඇත. විශේෂයෙන් 2009 වසරෙහි යුද්ධයේ අවසන් මාස කිහිපයේ දී, ඇතැමුන් බරපතල ලෙස තුවාල වී ඇත. සැළකිය යුතු සංඛ්‍යාවක් සදහටම අබ්බාගාත වූවන් ය. ඔවුන්ට විශේෂ සහායක් නොමැතිව, අධ්‍යාපනය, තම ජීවනෝපායට අදාල දෛනික කටයුතු වැනි දේ තනිව කර ගැනීමට නොහැකි තත්ත්වයක ඇත.

යුද්ධයේ සාක්ෂිකරුවන් වන තවත් සමහරු ඔවුන් ගේ පවුලේ දයාබරයින් ඝාතනය කරනු දැකීම, රෝහලත් ගත වීමෙන් පසුව, හමුදාව විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව, ඥාතීන් අතුරුදන් වීම නිසා, අධි මානසික කම්පනයට පත්ව ඇත.

යෝජනා:

4.1 ශාරීරිකව දුබලත්වයට පත් සියලු දෙනාටම, විශේෂ පහසුකම් හා සේවාවන් ලබා දිය යුතු ය

4.2 මානසික කම්පණයට පත්ව ඉන්නා සැමට, අවශ්‍ය මනෝ උපකාරක හා උපදේශන සේවා ලබා ගැනීමේ අවස්ථා සපයා දිය යුතු ය

4.3 ආණ්ඩුව මෙම සේවා පහසුකම් ලබා දීම සඳහා අවශ්‍ය තොරතුරු හා දත්ත ලබා ගැනීමේ අවකාශය හා පහසුකම්, රාජ්‍ය නොවන සංවිධාන හා ආගමික කණ්ඩායම් වෙත ලබා දිය යුතු ය.


5. එල්.ටී.ටී.ඊයේ සිටි කි‍්‍රයාකාරීන් පුනරුත්ථාපනය

කාණ්ඩ වශයෙන් එල්.ටී.ටී.ඊයේ සිටි කි‍්‍රයාකාරීන් නිදහස් කිරීම අපි අගය කරමු. එහෙත් රඳවා ගෙන ඉන්නා සහ පුනරුත්ථාපනය කෙරෙන එවැන්නන් ගේ සංඛ්‍යාව ගැන අපි නොදනිමු. (නිදසුනක් ලෙස, 2010 අගෝස්තු 01 වන දින සන්ඬේ ඔබ්සවර් පුවත් පත හා සාකච්ඡුාවක් කළ ඩිවු ගුණසේකර ඇමතිවරයා, එල්.ටී.ටී.ඊයේ සිටි සටන්කරුවන් ගැන සඳහන් කළ සංඛ්‍යාවන් වූයේ, යුද්ධය අවසන් වන විට සිටි 12,000 න් 7,000 ක් අත් අඩංගුවේ ඉන්නා බව ය. එනමුත් එම ඇමතිවරයාම 2010 සැප්තැම්බර 15 දින දිවයින පුවත් පතට කළ ප‍්‍රකාශයකට අනුව, 12,000 ක් වූ සංඛ්‍යාවෙන් 4,000 ක් පුනරුත්ථානයෙන් පසු නිදහස් කර ඇති බව ය. ඒ අනුව, 8,000 ක් අත් අඩංගුවේ සිටිය යුතු ය. ඇමති වරයා සන්ඬේ ඔබ්සවර් පුවත් පතට කියු ආකාරයට 11,000 ක් පමණ සැබෑ සටන්කාමීන් ය. එහෙත් ඇමතිවරයා දිවයිනට පවසා ඇත්තේ නඩු පැවරිය හැකි සංඛ්‍යාව 700 ක් පමණ බව ය.)

එවැන්නන් වර්ග කිරීම ගැන ද විවෘත පිළිවෙතක් නැත. සටන්කරුවන් ලෙස නම් කෙරෙන හා වෙනත් කාර්යන් හි නියුතුව සිටි (අරක්කැමියන්, සෞඛ්‍ය සේවා සහායකයින්, කාර්යාලීය සේවකයින් වැනි) පුද්ගලයින් අතර ඇති තේරීම කුමක්දැයි පැහැදිලි නැත. එවගේම, එල්.ටී.ටී.ඊයේ සිටි සටන්කරුවන් ගෙන් කොපමණ සංඛ්‍යාවකට විරුද්ධව නීතිමය පියවර ගන්නේ ද යන්නත් ඒ කවර නීති යටතේද යන්නත් පැහැදිලි නැත. ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන් ඒ සම්බන්ධයෙන් විටින් විට, වෙනස් සංඛ්‍යාවන් ද ඉදිරිපත් කරන්නේ ය (ආණ්ඩුවේ මන්තී‍්‍රවරයෙකු වන රජීව විජේසිංහ IRIN පුවත් වෙත අගෝස්තු 10 දින කළ ප‍්‍රකාශයක් අනුව, ආරම්භයේ වූ 11,000 කින් 6,900 ක් අත් අඩංගුවේ පසුවෙයි. ඔහුට අනුව නඩු පැවරිය හැක්කේ 690 ට පමණ ය).

ඒ අතර, නිදහස් කරනු ලැබූ එල්.ටී.ටී.ඊයේ සිටි සටන්කාමීන් කිහිප දෙනෙකු අප සමග පැවසූ යේ, ඔවුනට උපදේශන, ජීවන කුසලතා වර්ධන වැනි වැදගත් පුනරුත්ථාපන සේවා කිසිත් නොලැබුණු බව ය. එසේ නිදහස් කරනු ලැබූ ඇතැමුන් වාර්තා කළ අයුරු, ඔවුන් ගේ නිදහස සීමා කර ඇති අතර, සමහරුන්ට තර්ජන කෙරී ඇති අතර කිහිප දෙනා පැහැර ගෙන ගොස් ඇති බව ය.

යෝජනා:

5.1 පුනරුත්ථාපනයෙන් පසු නිදහස් කෙරුනු අය ගේ නිදහස හා ආරක්ෂාව සහතික කළ යුතු ය

5.2 එල්.ටී.ටී.ඊයේ සිටි සටන්කාමීන් ගේ සහ පුනරුත්ථාපනයෙන් පසු නිදහස් කළ වුන් ගේ මානසික අවශ්‍යතා වෙනුවෙන් පිළියම් කළ හැකි විශේෂඥතාවයන් ඇති ආයතන හෝ සංවිධාන සමගින් ආණ්ඩුව නිසියාකාර වැඩ පිළිවෙලක් දියත් කළ යුතුව ඇත

5.3 පුනරුත්ථාපන කාර්යන් නිසි පරිදි සිදුවන්නේද යන්න අධික්ෂණය කිරීමට හා පුනරුත්ථාපනයෙන් පසු යළි සමාජගත වීම (නිදසුනක් වශයෙන් පවුල් ලෙස යළි එකතුවීම් සඳහා උපකාරක සේවා) සොයා බලා එය හරියාකාරව ඉටු කිරීමේ වගකීම පැවරෙන ස්වාධීන ආයතනයක් හෝ අධිකාරියක් පිහිටු විය යුතුව ඇත


6. ස්ථිර නිවාස, ජීවනෝපායන්, සෞඛ්‍ය, අධ්‍යාපනය හා ප‍්‍රවාහනය

යුද්ධයෙන් අවතැන් වූ බොහෝ දෙනෙකුට නැවත ඔවුන් ගේ ගම් බිම් වෙත යාමට අවසර දීම ගැන අපි කෘතඥ වෙමු. විශේෂයෙන් එම ප‍්‍රදේශ වල බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්ය අපි අගය කරමු. එනමුත්, එසේ ගම් වෙත ගිය පුද්ගලයින්ට, වැදගත් ලෙස ජීවත් වීමේ ඉඩක් නැත. යුද්ධය අවසන් වී මාස 20 ක් ගත වී ඇතත්, අවතැන් වූ බහුතර පිරිසකට තවමත් නිවාස නැත. ඔවුන් ඉන්නේ ටාපෝලින් ඇතිරිළි යට ය. අනෙක් අය තාවකාලිකව අටවා ගත් තහඩු හෝ පොල් අතු වහල යට ඉන්නාහ. පිළිවෙළක, පුර්ණ නිවාස වැඩ සටහනක් ඇත්තේ නැත. උතුරු-නැගෙනහිර නිවාස ප‍්‍රතිසංස්කරණ වැඩසටහන (NEHRP) යටතේ ඉදි කෙරෙන ස්ථිර නිවාස සඳහා එක් ස්ථිර නිවසක් වෙනුවෙන් වැය කළ යුතු මුදල රු.3,25,000 ක උපරිම සීමාවකට යටත් කිරීම ගැන අපි කණස්සලූ වෙමු. වත්මන් මිල ගණන් අනුව, හොඳ තත්ත්වයේ ස්ථිර නිවසක් රු. 3,25,000 ක මුදලට ඉදි කිරීම, අපහසු කාර්යකි. ආණඩුවේ අනවශ්‍ය කොන්දේසි හා සීමාවන් හේතුවෙන් නිවාස ඉදි කිරීම සඳහා ඉදිරිපත් වන ආයතන සංඛ්‍යාවේද අඩුවක් තිබීම කණගාටුවට කරුණකි.

මෙම පසු බිමෙහි, ඉන්දියානු ආණ්ඩුව නිවාස 50,000 ක් ඉදි කිරීමට ඉදිරිපත් වීම ගැන අපි සතුට හා සැනසීමට පත් වීමු. මෙම අගනා පිරිනැමීමෙන් නිවාස නොමැති පුද්ගලයින්ට උපරිම වාසියක් අත් වන අයුරු අප ගේ ආණ්ඩුව, ඉන්දීය ආණ්ඩුවට සහාය ලබා දීම මෙහි දී වැදගත් ය. අලුතින් පදිංචි වූ පුද්ගලයින්ට ජීවනෝපායන් (ධීවර/වගා කටයුතු/සුලු වෙළඳාම් වැනි) ආරම්භ කිරීමේ ආධාර, පහසුකම් ද නැත. බොහෝ වෙළඳ සල් පවත්වා ගන්නේ හමුදාව විසින් ය. වෙනත් ප‍්‍රදේශ වලින් පැමිණ වෙළඳ සල් ආරම්භ කිරීම නිසා, ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ට, තම ජීවිතය නැවත ආරම්භ කිරීමට කුඩා වෙළඳ සල්, තේ කඩ වැනි ව්‍යාපාර කිරීමේ අපහසුවක් ද ඇත.

පානීය ජල පහසුකම්, පෝෂ්‍යදායි ආහාර සහ දරුවනට අවශ්‍ය කිරි පිටි ද සුලභ නැත. අධ්‍යාපන, සෞඛ්‍ය හා ප‍්‍රවාහන පහසුකම් ද ඉතා අල්ප ය. විපතට පත් පුද්ගලයින් සඳහා අපගේ සේවාවන් මේ මොහොතේ ලබා දිය හැකි මුත්, එවැනි සේවා පහසුකම් ලබා දීමේ දී අපි (කතෝලික පල්ලිය) අසීරුකම් වලට මුහුණ දුන්නෙමු. එවැනි සේවා පහසුකම් ලබා දීමට උනන්දු වන රාජ්‍ය නොවන සංවිධාන වෙත ජනාධිපති කාර්ය සාධක බලකාය හා ආරක්ෂක අමාත්‍යාංශය ඇතුලු විවිධ රාජ්‍ය ආයතන විසින් දැනටත් පැනවෙන සීමා තහංචි ගැන වාර්තා වන්නේ ය.


මන්නාරම කතෝලික පදවියේ ආචාර්ය රයාප්පු ජෝසෆ් රදගුරු තුමා

යෝජනා:

6.1 තම ගම් බිම් වෙත යළි පැමිණි ජනතාවට පිළිවෙලක, ස්ථිර නිවාස ලබා දීමේ මූලික වගකීම, ආණ්ඩුව විසින් බාර ගත යුතු ය.

6.2 එම කාර්ය ඉටු කර දීමේ හැකියාවක් හා පහසුකම් ඇති රාජ්‍ය නාවන හා ආගමික සංවිධාන වෙත සංකීර්ණ, ගැටළු සහිත පිළිවෙත් වලින් තොරව, එම කාර්යන් ඉටු කිරීමේ අවකාශය ලබා දිය යුතු ය

6.3 ඉන්දියානු ආණ්ඩුව ප‍්‍රතිඥා දී ඇති නිවාස 50,000 ඉදි කිරීමේ දී, දේශපාලනඥයින්, රජයේ නිලධාරීන් හා වෙනත් අතරමැදියන් ගේ දූෂිත මැදිහත් වීම් වලින් තොරව, එම ඉදි කරීම් කටයුතු සඳහා ඉඩ ලබා දිය යුතු ය

6.4 අලුත් පදිංචි කිරීම් සිදු කෙරුනු ප‍්‍රදේශ වන මන්තායි බටහිර, මඩු සහ මූසාලි වැනි ප‍්‍රදේශ වලට නොමැති සෞඛ්‍ය, අධ්‍යාපන හා ප‍්‍රවාහන පහසුකම් දියුණු කළ යුතු ය

6.5 විනාශ වූ හා අලාභ හානියට පත් වූ වත්කම් වෙනුවෙන් වන්දි ගෙවීම් කළ යුතු අතර, ඒ වෙනුවෙන් විවෘත, සරළ පිළිවෙතක් ප‍්‍රසිද්ධියට පත් කළ යුතු ය

6.6 නිවාස ඉදි කිරීමේ දී වැය කිරීම් සම්බන්ධයෙන් සීමා පැන වීම නොකළ යුතු ය


7. අවතැන් වූ මුස්ලිම් ජනතාවට නැවත පදිංචිවීමට පරිසරයක් හැදීම

එල්.ටී.ටී.ඊය විසින් 1990 දී මුස්ලිම් ජනතාව පිට මං කිරීම, මේ ගැටුමෙහි සෝචනීය සිදුවීමකි. ඔවුන් ගෙන් වැඩි පිරිසකට නැවත සිය ගම් බිම් වෙත පැමිණීමට ඉඩ ලැබීම ගැන, අපි සතුටු වෙමු. මන්නාරම දිස්ති‍්‍රක්කයේ අවතැන් වූ සියලු මුස්ලිම් ජනතාවට නැවත සිය වාසස්ථාන වෙත නිදහසේ පැමිණීමට අවසර තිබිය යුතු ය. අදාල බලධාරීන් ඔවුන්ට මන්නාරමෙහි සිය වට පිටාව හා සමාජගත වීමට අවශ්‍ය සහාය දිය යුතු ය.

මන්නාරමෙහි දිගටම රැඳී සිටිය අනෙකුත් ජනතාවට මෙන්, මුස්ලිම් ජනතාවට අනිසි අත් අඩංගුවට ගැනීම්, අතුරුදහන් වීම්, ඝාතන වැනි හිංසනයන්ට මුහුණ දීමට සිදු නොවීම ගැන අපි සැනසුමක් ලබන්නෙමු.

යෝජනා:

7.1 නැවත පැමිණීමට සූදානම් මුස්ලිම් ජනතාවට ඒ සඳහා අව්‍යශ පසුබිම සූදානම් කළ යුතු අතර, නැවත පදිංචි කිරීමේ දී අන් අයට ලැබෙන්නා වූ සියලු පහසුකම් ඔවුන්ට ද ලබා දිය යුතු ය

7.2 මුස්ලිම් හා දෙමළ ජන කොටස් සාමකාමී සහජීවනයක් පවත්වා ගැනීමේ දී, දෙපාර්ශවට අතර සංවාදයක් තිබීමටත් ආගමික නායකයින් හා ප‍්‍රජාව අතර සහසම්බනන්ධයක් තිබීමටත් අවශ්‍ය පරිසරයක් තිබීම වැදගත් වන්නකි

7.3 නැවත පදිංචි කිරීමේ දී දෙමළ හා මුස්ලිම් ජනතාවට එක සේ සැළකීමට ආණ්ඩුව වගබලා ගත යුතු අතර, තව දුරටත් නොරිස්සුම් තත්ත්වයන් ඇති වීමට හේතු විය හැකි සේ එක් ජනකොටසකට විශේෂයක් කරන සේ නොපෙනිය යුතු ය


8. ජනගහන රටා වෙනස් වීම් හා ඉඩම් ජනාවාස කිරීම

නැවත පදිංචිය සඳහා පැමිණෙන ජනතාව පදිංචි කිරීමේ උත්සාහයන් සහ ඔවුන්ට උදව් කිරීම් අප අගය කරන අතර, දිස්ති‍්‍රක්කයෙන් පිට ජනතාවක් සඳහා ඉඩම් ලබා දීමේ සැළසුම් ඇතැයි වාර්තා වීම, අප විමතියට පත් කරන්නකි. දිස්ති‍්‍රක්කයෙන් පිටත පුද්ගලයින් හා කණ්ඩායම් කිහිපයක් දැනටත් ඉඩම් ලබා ගෙන ඇතැයි ද (නිදසුනක් වශයෙන් මූසාලි කොට්ඨාශයේ) අපට වාර්තා ලැබී ඇත. එවැනි දේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු ගේ ආශිර්වාදය ඇතිව සිදුවන බවත් දැන ගන්නට ඇත.

මෙය මේ දිස්ත‍්‍රික්කයන් ගේත් සමස්ථයක් ලෙස උතුරු පළාතෙත් ආගමික හා වාර්ගික ජනගහන සංයුතියේ වෙනසක් ඇති කිරීමට ආණ්ඩුව විසින් කි‍්‍රයාත්මක කරන සැළස්මක් යැයි මෙහි වෙසෙන ඓන්ද්‍රීය ජනතාව තුල සැකයක් වර්ධනය වන්නේ ය. අතීතයේ දී එවැනි කි‍්‍රයාවන් විසින් ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වීමටත් ප‍්‍රචණ්ඩත්වයට හා යුද්ධයටත්, ප‍්‍රධාන සාධකයක් සැපයී ය. ජාතික සමගියක් ජාතික එකගත්වයක් සඳහා ඉදිරි පියවර තබන මොහොතක, අතීත වැරදීම් වලින් පාඩම් ඉගෙන ගැනීමත් ඒවා නැවත නොකිරීමට වග බලා ගැනීමත් ඉතාමත් තීරණාත්මක ය.


9. හමුදාව හමුදාව ඉඩම් අත් කර ගැනීම

හමුදාව විසින් භාවිත කළ පල්ලියට හිමි ඇතැම් ඉඩම් ආණ්ඩුව හා හමුදාව විසින් නැවත පල්ලියට බාර දීම අපි අගය කරමු. එනමුත් තවමත් ඇතැම් ප‍්‍රදේශ වල නිවාස හා ඉඩම්, හමුදාව විසින් අත්කර ගෙන සිටීම නිසා, ඒ ප‍්‍රදේශවල ජනතාවට සිය ප‍්‍රදේශයන් හි නැවත පදිංචි වීමට නොහැකිව සිටීම ගැන, අපි කණස්සල්ලෙන් සිටිමු. සන්නාර් සහ මුල්ලිකුලම් එවැනි නිදසුන් ප‍්‍රදේශයන් ය.

අපට (කතෝලික පල්ලියට) අයිති සහ අප (කතෝලික පල්ලිය විසින්) පරිපාලනය කළ මුල්ලිකුලම් හි ඉඩම් අප (කතෝලික පල්ලිය) හා කිසිදු සාකච්ඡුාවකින් හා දැනුම් දීමකින් ද තොරව, නාවික හමුදාව විසින් අත් පත් කර ගෙන ඇත. එහි මිනිසුන්ට අද වනතුරු විකල්ප විසඳුම් කිසිත් ඉදිරිපත් කර නැත.

යෝජනා :

9.1 ජනතාවට ඔවුන් ගේ ඉඩම් වල පදිංචි වීමට ඇති අයිතියට ප‍්‍රමුඛත්වය ලබා දිය යුතු ය

9.2 හමුදාව ඉඩම් අත් කර ගැනීම, අන්තිම විසඳුම විය යුතු ය. එවැනි අවස්ථාවන් හි ඉඩම් අහිමි වන පුද්ගලයින් හා සාකච්ඡුා කිරීමෙන් ද, ඔවුන්ට විකල්ප විසඳුම් හා ප‍්‍රමාණවත් වන්දි ලබා දීමෙන් ද පසු කළ යුත්තකි

10. පරිපාලනය හමුදාකරණය හා දේශපාලනීකරණය කිරීම

යුද්ධය අවස්න වී මාස 20 ට හා නැවත පදංචි කිරීමේ කටයුතු ආරම්භ කර වසරකට ද පසු, මන්නාරම දිස්ති‍්‍රක්කයේ, විශේෂයෙන්ම මෑතක දී පදිංචි කිරීම් සිදු වූ බටහිර මාන්තායි, මඩු සහ මූසාලේ කොට්ඨාශ වල, විශාල හමුදාවක් නතර වී සිටීම අප ගේ කණස්සල්ලට හේතුවකි. මෙය බොහෝ දෙමළ වැසියන් ගේ භීතියට හේතුවකි. අතීතයේ සිදුවු නීරස අත්දැකීම් හේතුවෙන් ඔවුන් එයට අකමැති ය. සිවිල් පරිපාලනයක් විසින් කළ යුතු කාර්යන් හා ගත යුතු බහුතරයක් තීන්දු තවමත් හමුදාව බාරයේ ඇත.

එවගේම, ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින් විසින් මන්නාරම දිස්ති‍්‍රක්කයේ පරිපාලනයට භයානක ලෙස ඇඟිළි ගැසීම් ද අපි දකින්නෙමු. පරිපාලනයේ වැදගත් තනතුරු සඳහා පත් වීම් ලබා දීමේ දී හා ස්ථාන මාරුවීම් කිරීමේ දී, විශේෂයෙන්ම සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි ඉතා සංවේදී අංශ වල දී, නිල පරිපාලන කි‍්‍රයාකාරිත්වයට පවා පිටු පාමින් දේශපාලනඥයින් විසින් ඒවා පාලනය කරන්නේ ය. රටේ අනෙක් ප‍්‍රදේශ වල වගේම මන්නාරම ද දේශපාලන සංස්කෘතියේ අනුග‍්‍රයට දැන් යට වී ඇති සෙයකි. ආණ්ඩුවේ බලසම්පන්න දේශපාලනඥයින්ට සමීප පිරිස් වෙනුවෙන් ඔවුන් අත හැරෙනු ඇතැයි හැඟීමක් ඇතිව තිබෙන හෙයින් මෙය ද බහුතරයක් දෙමළ ජනතාව අතර බියකට හා නොසන්සුන්තාවකට හේතු වී ඇත. ඉහළ හමුදා නිලධාරීන් සිවිල් පරිපාලකයින් ලෙස නොව, හමුදා පරිපාලකයින් ලෙස කි‍්‍රයාත්මක වීම ස්වභාවික වන හෙයින්, පශ්චාත් යුධ වකවානුවක උතුරු හා නැනෙහිර දෙපළාතෙම ආණ්ඩුකාරවරුන් ලෙස හිටපු හමුදා අණ දෙන නිලධාරීන් පත් කර තිබීම, ඇත්තෙන්ම ප‍්‍රශ්නයකි.

යෝජනා:

10.1 හමුදා රැඳවීම් අත්‍යාවශ්‍ය අවම ප‍්‍රමාණයෙන් විය යුතු ය

10.2 හමුදාව ඔවුන් ගේ කඳවුරු වල සිටිය යුතු අතර ප‍්‍රසිද්ධ ස්ථාන වෙත පැමිණිය යුත්තේ අවශ්‍ය ආරක්ෂක හේතුන් සඳහා පමණි

10.3 ආණ්ඩුවේ ඇමතිවරුන් හා ආණ්ඩුකාරවරුන් ඔවුන්ට ව්‍යවස්ථාවෙන් පවරා ඇති වගකීමට වඩා වැඩි මැදිහත් වීම් නොකළ යුතු අතර, සිවිල් පාලනයට අයත් කාරණා වෙනුවෙන් මැදිහත් නොවිය යුතු ය

10.4 සිවිල් පරිපාලනයේ පත්වීම් හා ස්ථාන මාරුවීම්, පිළිගත් ආයතනික පිළිවෙත් අනුව සිදු විය යුතු අතර, දේශපාලනඥයින් ගේ මැදිහත්වීම් වලින් තොරව සිදුවිය යුතු ය

10.5 සිවිල් පරිපාලනය ශක්තිමත් කළ යුතු අතර, පරිපාලන, සංවර්ධන හා පුනරුත්ථාපන කාර්යන් අවශ්‍ය විශේෂඥ දැනුම ඇති සිවිල් ආයතන වෙත පැවරිය යුතු ය


11. ගමන් යැමේ, සංවිධානය වීමේ, අදහස් ප‍්‍රකාශ කිරීමේ කිරීමේ සහ ආගමික නිදහස

යුද්ධය අවසන් වී මාස 20 ට පසුවත් මේ රටේ වෙනත් ප‍්‍රදේශයන් හි ජනතාවට පනවා නැති, අදහස් ප‍්‍රකාශ කිරීමේ, සංවිධානය වීමේ හා ගමන් බිමන් යෑමේ නිදහස, මෑතක නැවත පදිංචි කළ දෙමළ ජනතාව වෙත පැනවීම කණස්සල්ලට කාරණයකි. අතුරුදහන් ව ඇති හා මිය ගිය සිවිල් පුද්ගලයින් වෙනුවෙන් පැවැත් වීමට සූදානම් කෙරුනු ආගමික මෙහෙයන් පවා මෑතක දී හමුදාව විසින් තහනම් කරනු ලැබිණ. එවැනි ආගමික සේවාවන් සූදානම් කළ අප ගේ පූජකයින් කිහිප දෙනෙකුට ද තර්ජනය කරනු ලැබිණ.

ආණ්ඩුවේ අනුග‍්‍රහය ඇතිව යුද ජයග‍්‍රහණය සැමරීමේ උත්සව පැවැත් වූ අතර, සිය දයාබරයින් මිය යෑමෙන් අහිමි වූ, අතුරුදහන් වූ හා තුවාල වූ පවුල් වෙනුවෙන් තම කණගාටුව ප‍්‍රකාශ කිරීමේ දිනයක් යෝජනා කිරීමට ආණ්ඩුව කිසිදු උනන්දුවක් දක්වා නැත.

ඉඩම් පවරා ගැනීම් සහ අවම පහසුකම් හෝ නොමැති වීම සම්බන්ධයෙන් ඉතා සාමකාමී විරෝධයන් ඉදිරිපත් කිරීමට දැරූ උත්සාහ පවා බලපෑම් හා තර්ජනයන්ට ගොදුරු විය.

හමුදාවට ඇරයුම් නොකර, කිසිදු උත්සවයක් සංවිධානය නොකළ යුතු යැයි වවුනියාවේ දිසා ලේකම් හා මන්නාරමේ හමුදා නායකයින් විසින් ආගමික හා රාජ්‍ය නොවන සංවිධාන වෙත ලිඛිතව හා වාචිකව දැනුම් දී ඇත.

ගමන් බිමන් යෑමේ තහංචි තවමත් ඇත. පසු ගිය මාසයේ දී පවා මන්තායි බටහිර ග‍්‍රාමයන් හි ජනතාව හමු වීමට පැමිණි විදේශික ආගන්තුකයන්ට, අවසර නොදෙන ලදී.

එවැනි තහංචි විසින් මේ රටේ අනෙකුත් පළාත් හි ජනතාව බුක්ති විඳින අයිතීන් හා නිදහස නොමැතිව, තමන් හමුදා පාලනයක් යටතේ ජීවත් වන්නේ යැයි දෙමළ ජනතාවට සිතෙන්නේ ය.

සාමකාමී හා මානුෂික කි‍්‍රයාකාරකම් වෙනුවෙන් ද පැන වෙන සීමා තහංචි නිසාවෙන් නොසන්සුන් තත්ත්වයන් වැඩි දුරටත් නිර්මාණය වන අතර, ආණ්ඩුව හා දෙමළ ජනතාව අතර අනවශ්‍ය දුරස්ථ බවක් හැදෙන්නේ ය. මේ තත්ත්වයන් ජාතික සමගිය හා එකඟතාවක් වෙනුවෙන් යොමු වන්නේ නම්, මග හැර ගත යුතු ය. නැවත පදිංචි වූ ජනතාවට ආධාර කිරීමට උනන්දුවන විදේශිකයින්ට පනවා ඇති තහංචි නිසාවෙන් මේ ජනතාවට තව දුරටත් ආධාර ලබා ගැනීමට ඇති ඉඩ ප‍්‍රස්ථා ඇහිරෙන්නේ ය.

යෝජනා:

11.1 සාමකාමී කි‍්‍රයාකාරකම් හා රැස්වීම්, කිසිදු සීමා කිරීමකින් තොරව සංවිධානය කිරීමේ නිදහස ජනතාවටත් ප‍්‍රජා නායකයින්ට හා ආගමික නායකයින්ටත් තිබිය යුතු ය.

11.2 යුද්ධයෙන් මිය ගිය සිවිල් පුරවැසියන් සිහි කිරීමේ ජාතික දිනයක් ආණ්ඩුව ප‍්‍රකාශයට පත් කළ යුතු ය

11.3 මෑතක පදිංචි කෙරුණු ජනතාව පැහැ දැක ගැනීමේ ඉඩ ප‍්‍රස්ථා වෙනත් දිස්ති‍්‍රක්ක වල හා විදේශ මිතුරන්ට, ඥාතීන්ට හා හිතවතුන්ට සීමා තහංචි නොමැතිව හා ආරක්ෂක අමාත්‍යාංශයේ අවසර ලබා ගැනීමකින් තොරව, ලබා දිය යුතුව ඇත


12. සිංහල-බෞද්ධ සංස්කෘතික ආධිප්‍යයක් ගැන ඇති භීතිය

මන්තායි බටහිර ප‍්‍රදේශයේ ඇතැම් ප‍්‍රසිද්ධ දැන්වීම් පුවරු සිංහලෙන් පමණක් තිබීම ගැන අපි කණස්සල්ලට පත්ව හිඳිමු. ඇතැම් පාර වල් සඳහා අලුතින් සිංහල නම් පවා ලබා දී ඇත. මේවා, සාම්ප‍්‍රදායික දෙමළ ප‍්‍රදේශ, සිංහලකරණය කිරීමක් ලෙස දැක්වෙන්නේ ය. ජාතික සමගිය හා එකඟත්වයක් වෙනුවෙන් අපි ඉදිරිපත් වන්නේ නම්, මේවා අප මඟ හැරිය යුතු ය.

හින්දු කෝවිලක් තිබූ මුරුන්කන් නගරයේ බෞද්ධ පන්සලක් ඉදි කිරීම, සැළකිය යුතු අප‍්‍රසාදයක් සඳහා හේතු වී ඇත. විශේෂයෙන්ම ඒ ප‍්‍රදේශයේ කිසිදු බෞද්ධ ජනතාවක් නොමැති හෙයිනි.

හින්දු, කි‍්‍රස්තියානි හා ඉස්ලාමීය අති බහුතරයක් ඉන්නා මේ ප‍්‍රදේශ වල, උතුරේ ප‍්‍රසිද්ධ ස්ථානයන් හි අලුතින් බෞද්ධ පිලි රූ හැදීමත් අප ගේ ජනතාව තුල, බෞද්ධ ආධිපත්‍යයක් පිලිබඳ බියක් ඇත. බෞද්ධාගම පිළිබඳව අප සතු ඉතා දැඩි ගෞරවයක් ඇත. එවගේම, මේ රටේ ඕනෑම ප‍්‍රදේශයක වාසය කරන හැම ජනතාවකටම හා සියලූ ආගම් සඳහා තිබිය යුතු ආගමික නිදහස ද අපි විශ්වාස කරමු. එනිසා උතුරේ ප‍්‍රසිද්ධ ස්ථානයන් හි බෞද්ධ පිලි රූ ඉදි කිරීම, ජාතික සමගිය හා එකඟතාවන් ඇති කිරීමට ගන්නා උත්සාහයන් සඳහා උපකාර නොවන්නනේ ය. ඇත්තෙන්ම එවැන්න, විවිධ ආගමික ප‍්‍රජාවන් අතර තව දුරටත් බෙදීම් හා ගැටුම් ඇති වීමට හේතු විය හැකි ය.

ඉ. අවසාන සටහන

අප ගේ කණස්සල්ලට බඳුන් වන කාරණා හා අප ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් අවශ්‍ය අවධානය යොමු කෙරෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ජාතික සමගිය හා ජාතික එකඟත්වයක් වෙනුවෙන් මූලික වන සාධක තුන ලෙස,

1. ගැටුම් හා යුද්ධය පැවති සමස්ථ කාලය පුරා සහ විශේෂයෙන් ම යුද්ධයේ අවසාන කාලයේ දී සිදු වූ සිද්ධීන් සම්බන්ධ සම්පූර්ණ සත්‍ය හා පසුබිම පිළිගැනීමත්

2. නිශ්චිතව ප‍්‍රකාශයට පත් කරනු ලැබූ කාලයක් ඇතුළත, සහභාගිත්වයක් ඇති පිළිවෙතකට, යහපත් පාලනයක් සමග නීතිය හා සාමය රැකෙන අයුරු වාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් ලබා දීමත්

3. ආසන්නතම ගැටළු (යුද්ධයෙන් විපතට පත් ජනතාව ගේ වුවමනාවන්) සඳහා විසඳුම් ලබා දීමත් අවධාරණය කිරීමට අපි කැමැත්තෙමු.

මෙම අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුවටත් උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමටත් තව දුරටත් සහාය වීමට අපි සූදානමින් සිටිමු. එම උත්සාහයන් සාර්ථක කර ගැනීමට අපි ආශීර්වාද හා යාඥා කරමු.

මෙයට හිතාදර,

මන්නාරම කතෝලික පදවියේ ආචාර්ය රයාප්පු ජෝසෆ් රදගුරු තුමා
මන්නාරම පදවියේ අනු නායක, පූජ්‍ය වික්ටර් සූසෙයි පියනම
මන්නාරම පූජකවරුන් ගේ එකතුවෙහි නියෝජිත, සේවියර් කෲස් පියනම
පරිවර්තනය - කුසල් පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හඳගමයන්ගේ මීට පෙර සිනමා කර්ම බලා මා සිනමාහලින් එළියට ආවේ විස්මයෙන් තාන්තුවා වූ කලෙක මෙන් ය. එය ම කලා රසාස්වාදයේ සාරය ය යි 13 වැනි ශතවර්ෂයේ පමණ ඉන්දියාවේ ජීවත් වූ මහා පඬිරුවනක් වූ නරායණපාදයන් විසින් කියූ බව එතුමන්ගේ මුනුබුරු ''සාහිත්‍යදර්පණ''කාර විශ්වනාථ කවිරාජ පඬිතුමන් කියා ඇත: "රසයේ සාරය චමත්කාරය යි. සැම කලා කෘතියෙහි දී ම-

වින්දනය කරන්නේ එය යි. එහෙයින් රසය යනු අද්භුතය ම යැයි නාරායණ පඬිවරයාණෝ කීහ." මේ අනුව රසය යනු විස්මය යි; අද්භුතය යි.

මේ ගැන විවරණයක් කරන ඉතාලි ජාතික පඬිවර රෙනියේරෝ ඥෝලි මීට නිදර්ශනයක් කියයි:
ඉන්දියාවේ පුරාණ වලව් ඇත. ඒවායෙහි පරම්පරා ගණන් උරුමකරුවන් වාසය කර ඇත. ඒවායෙහි බොහෝ කලකින් ඇරලා වත් නැති අඳුරු කාමර ඇත. හදිසියේ ඒ කාමරයක් ඇර විවෘත කරන විට පරම්පරා ගණනක් පැරණි අනර්ඝ පුරා භාණ්ඩයක් හමු වෙයි. එවිට ගෙවැසියන් හා එය දකින්නන් තුළ අපරිමිත විස්මයක් උපදී. කලා කෘතියක් නැරඹීමෙන් ඇති වන විස්මය ද මීට සම වේ. මේ අනුව චමත්කාරය, විස්මය, අද්භුතය යන පද සමානාර්ථවත් ය.
බටහිර ද කලා කෘතියෙන් ලැබෙන විස්මය තම නිර්මාණය ම නැරඹූ කල්හි දෙවියන් වහන්සේ තුළ ඇති වූ විස්මයට සමාන කළ සෞන්දර්යවේදීහු සිටියහ.

කුමක් ද මේ කලා කෘති නැරඹීමෙන් උපදින විස්මය? එය පෙර මෙලොව නො පැවති දෙයක් දැකීමෙන් උපදින විස්මයක් ද?

පෙර නො පැවති කිසි දෙයක් නැත. නව නිර්මාණයක් යනු ඉබි ලොමින් කඹ අඹරන්නාක් මෙන් පෙර නො පැවති දෙයක් මැවීම නො වේ. එය පෙර තිබුණත් පියවි මිනිස් ඇසින් සැඟවී පැවති දෙයක් මිනිස් දැක්මට ගෙන ඒම යි.
කලා කෘතියක් නැරඹීමෙන් විස්මය උපදින්නේ මෙතෙක් සැඟවී පැවති දෙයක් දැන් නිරාවරණය වීම නිසා ය. එවිට උපදින විඥානය මේ රූප ගනී: මෙවැන්නකුත් මෙහි වී ද!

එසේ නිරාවරණය වන්නේ යථාර්ථය යි. එනම්, දෘශ්‍යමානයෙන්, ඥානයට බාධා කරන දැයින් වැසී පැවති යථාර්ථය යි. කලාකරුවා කරන්නේ ඒ වැස්ම ඉවත් කිරීම යි. ප්‍රේක්ෂකයා ද ඒ වැස්ම ඉවත් කිිරීමේ ක්‍රියාවට සහභාගි වෙයි. එනම්, නිර්මාණාත්මක ක්‍රියාවට සහභාගි වෙයි.

කලා ආස්වාදය එතරම් ම ආවේශදායී, උත්තේජනකාරී, සියලු ඉඳුරන් මෝහනය කරන දුර්ලභ අත්දැකීමක් වන්නේ එහෙයිනි.


මේ හේතු නිසා හඳගමයන්ගේ මීට පෙර සිනමා නිර්මාණ බලා මා ශාලාවෙන් එළියට එන විට මගේ සිත්සතන් ආලොකවත් ව, බුද්ධිය ප්‍රබෝධවත් ව, භාව ලෝකය සන්තර්පිත ව තිබිණ. ඒ මෙවැන්නක් අප සමාජයේ තිබේ යන නව ඥානය මා තුළ ඇති වීම නිසා ය; ඒ ඥානය ද උචිත මනෝභාව, මනෝගති, හැඟීම් යනාදියෙහි පැටලී ඇති වීම නිසා ය.

ඒ සිනමාවලින් හඳගමයන් හෙළිදරව් කළේ ධනවාදය වසා සඟවා තබන්ට තැත් කරන ජුගුප්සාජනක තතු ය. නිදර්ශනයක් කියත හොත් ''අක්ෂර''යෙන් විදහා දැක්වූයේ අප රටේ පාලක පන්තිය ආධ්‍යාත්මික වසයෙන් කෙතරම් පිරිහී කුණු වී ඇද්ද යන්න යි. එහෙත් ඔවුහු බෝසතුන් ලෙස පුම්බා පෙන්වීමට තැත් කරති. මෙලෙස කලාව නිතර ම කරන්නේ අපේ ජීවිතවලට සිටින සතුරෝ කවරහු ද යන්න විදහා දැක්වීම යි; අපට වඩාත් සුපරිපූර්ණ ව, සුපුෂ්පිත ව, ආඪ්‍යතර ව ජීවත් වන්ට නො හැක්කේ මන්ද යන්න අනාවරණය කිරීම යි. කලාව අපගේ බුද්ධි මණ්ඩලය ද භාව මණ්ඩලය ද ආඪ්‍ය කරන්නේ යැයි කියනු ලබන්නේ මේ අර්ථයෙනි. එහෙත් හඳගමයන්ගේ අභිනව සිනමා නිර්මාණය වන ''විදු'' නැරඹීමෙන් මට එවැනි වින්දනයක් ලැබිණැයි කිව නො හැකි ය.

මේ සිනමාව ගැන බොහෝ දෙනා ලියූ දෑ මම කියැවීමි.

හඳගමයන්ගේ සිනමා නිර්මාණ වෘත්තියෙහි පරිහානියක් පෙනේ යැයි එකෙක් කී ය. විදු ද ඔහුගේ මව ද දක්වන විරෝධය ඇතැම්හු උත්කර්ෂයට නැංවූහ. හඳගමයන් ජනප්‍රිය කලාව වෙත පැමිණ තිබීම සතුටට කරුණකැයි සමහරු කීවෝ ය. එහෙත් කිසිවෙකු ''විදු'' විශ්ලේෂණය කර ඒ ගැන සංයුක්ත අදහසක් ප්‍රකාශ කළේ නැත. මීට දින කිහිපයකට පෙර සුමිත්‍රා රාහුබද්ධගේ ''කන්දක් සේ මා'' යන කෘතිය සම්බන්ධයෙන් ඇති වූ සාකච්ඡාවේ දී මෙන් ම ය. දැන් ශ්‍රී ලංකාව තුළ සාහිත්‍ය කලා විචාර සිදු කෙරෙන ආකාරය මේ යැයි සිතමි.

විදු වියත් ඉංගිරිසියෙන් ද එතරම් ම වියත් සිංහලෙන් ද කථා පවත්වයි. ඔහුට සබකෝලය කියා දෙයක් ගෑවිලා වත් නැත. වැල්ල අසල මුඩුක්කුවක ඉපිද එහි ම වැඩුණු, පාසැල් නො ගිය දස හැවිදිරි දරුවෙකුට මේ කුශලතා කොහින් ලැබුණේ ද?


අද දින බොහෝ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට වත් මෙබඳු වියත් ඉංගිරිසියක් කථා කළ නො හැකි ය. ඔහු පාසැල් මුළුව අමතා කළ කථාව ද සොරා ගත් මයික්‍රෆෝනයෙන් ගැමියන් අමතා කළ කථාව ද සඳහා ඔහුට හැකියාව ලැබුණේ කෙසේ ද?

සිනමාවේ කථා වස්තුව පමණක් නො ව එහි විස්තර ද සත්‍යවාදී විය යුතු ය.
එසේ නො වුව හොත් එය ප්‍රේක්ෂකයාගේ ධ්‍යානය බිඳී; චිත්ත ඒකාග්‍රතාව බිඳ විසුරුවයි.
තව ද විදු ද ඔහුගේ මව ද දක්වන දෘඪතර, අප්‍රතිහත ප්‍රතිරෝධය ද අයථාර්ථවාදී ලෙස පෙනී යමින් ද වින්දනයට බාධා පමුණුවයි.
මව සිය ගත වෙළඳාම් කරමින්, ගැට කපමින් දස හැවිරිදි පිරිමි දරුවෙකු පෝෂණය කරමින් සිටී. එය ඉතා ස්වාභාවික ය.
එහෙත් ඇය දේශපාලනඥයා තමාට දෙන මුදල් ප්‍රතික්ෂේප කරන්නේ ඊනියා සදාචාර පදනමක පිහිටා ය.
ඇඟ විකිණීමේ දී ද ගැට කැපීමේ දී ද නැති සදාචාරයක් මෙහි දී ඇයට කොහෙන් පහළ වී ද? මේ චර්යා දෙක අතර පවතින නො ගැළපීම ප්‍රේක්ෂකයා ශමනය කරන්නේ කෙසේ ද?
ඇය දේශපාලනඥයා දෙන මුදල් ප්‍රතික්ෂේප කරන්නේ දේශපාලන විඥානය නිසා යැයි කිසිවෙකු කියන්ට පුළුවන. එසේ නම් ඇයට එබඳු විඥානයක් පහළ වූයේ උඩු ගුවනින් ද? දේශපාලන තබා කවර හෝ ඕපපාතික විඥානයක් තිබේ ද?

ඊළඟට වැදගත් කරුණ නම් විදු සහ ඔහුගේ මව ප්‍රදේශීය දේශපාලනඥයාට දක්වන ප්‍රතිරෝධය යි. දේශපාලනඥයා අපූරු කථීකත්වයක් තිබෙන බව දුටු විදු තම ඡන්ද ව්‍යාපාරය සඳහා ප්‍රයෝජනයට ගැනීමට හැකි සැම උත්සාහයක් ම දරයි. ඒ ඔහු ලවා මහජනයා රවටන වාචාල කථා පැවැත්වීමට යි.

විදු හා ඔහුගේ මව පාසැලේ සූදානම් කොට තිබෙන විශාල රැස්වීමක් හා දේශපාලනඥයාගේ ඡන්ද රැස්වීමක් අතර දෝලනය වෙති. අවසානයේ දේශපාලනඥයාගේ රැස්වීම වර්ජනය කිරීමට අදිටන් කර ගන්නා දෙදෙනා ම දෘඪතර ලෙස එම ආස්ථානයේ ම පිහිටා සිටිත්.

විදුහල්පති ද නම්මා ගැනීමට දේශපාලනඥයා දරන තැත ද ව්‍යර්ථ කෙරේ.

පළමු ව හොඳින් කියා, දෙවැනි ව පගාව දී, තෙවැනි ව බලාත්කාරකම් හා මැරවරකම් ද කඩාකප්පල්කාරී ක්‍රියා ද කොට දේශපාලනඥයාට මේ තිදෙනා නම්මා ගැනීමට, ඔවුන්ගේ බල බිඳීමට බැරි වේ.
එපමණක් නො ව දේශපාලනඥයාගේ පුතා හා විදුහල්පතිගේ දුව ද නොයෙක් ලෙසින් විදුට සහාය දෙති.
අවසානයේ දී මේ ගැටුමින් දේශපාලනඥයා පැරදී මේ පුද්ගලයෝ ජය ගනිති.
විදුගේ මව මුඩුක්කුවාසී ගණිකාවකි; තව ද ගැට කපන්නියකි. විදු වැල්ලේ කොලුවෙකි. මොවුහු ලුම්පිත කම්කරු පන්තියට අයත් ය.

තව ද විදු ද විදුහල්පතිගේ දුව ද දේශපාලනඥයාගේ පුතා ද දසවියේ පමණ දරුවෝ ය. මොවුන්ට මෙලෙස දේශපාලන විරෝධය පෑමට දේශපාලන විඥානයක් ද ප්‍රතිරෝධය පෑමට හා පිළිමල් වීමට චිත්ත ධෛර්යයක් ද ලැබුණේ කෙසේ ද?

රුසියාවේ පීඩිත ස්ත්‍රීන් පාන් බේකරිවලට පහර දීමෙන් 1905 පළමු රුසියානු විප්ලවය පුපුරා ආවේ ය. මුද්‍රණ කම්කරු ලියන් මුද්‍රණාලවලට රජය තැබූ මුද්‍රා කැඩීමෙන් 1917 රුසියානු විප්ලවය පුපුරා ආවේ ය. 1953 දී ශ්‍රී ලංකාවේ රත්ගම පීඩිත ස්ත්‍රීහු දුම්රියවලට ගමන් කරන්ට ඉඩ නො දී රේල් පාර මැද කිරිබත් උයාගෙන අනුභව කළහ.
1917 දී රුසියාවේ දුම්රිය පෝටර්වරු දුම්රිය ස්ථානාධිපතීන්ගේ ආසන ආක්‍රමණය කොට ඔවුන්ගේ වැඩ කළහ.
මේවා ගැන අසා හෝ කියවා ඇති අය මෙහි දී මෙසේ අසන්ට පුළුවන: ලුම්පිතයන්ට හා දරුවන්ට එවැනි ධෛර්යයක් ලැබෙන්ට බැරි ද? රුසියාවේ දී ලැබුණේ නම් මෙහි දී ලැබෙන්ට බැරි ඇයි?

සමානකම් පෙනෙන සැම දෙයක් ම සමාන ය යන තර්ක ක්‍රමයට අනුව නම් මේ ප්‍රශ්නය සරි ය. එහෙත් සමානකම් පෙනෙන සැම දෙයක් ම සමාන නැත. ඒ උණ රෝගියාත් මේ උණ රෝගියාත් සමාන නැත. මේ සීනි රාත්තලත් ඒ සීනි රාත්තලත් සමාන නැත. ග්‍රීක දාර්ශනිකයෙකු කියූ පරිදි එක ගඟට දෙවරක් බසින්ට බැරි ය. ස්ත්‍රීන් බේකරි කැඩීමත් මුද්‍රණාල මුද්‍රා කඩා ඇතුළු වීමත් සිදු වූයේ බාහිර ලෝකයෙහි විප්ලව ගිනිදැල් නැඟ එමින් තිබෙන අතර ය.

රත්ගම ස්ත්‍රීන් රේල් පාරේ කිරිබත් උයා ගෙන අනුභව කළේ මුළු ලංකාව පුරා හර්තාලය නැඟ එමින් තිබිය දී ය.
මේ ගැට කපන ගණිකාවට ඒ ධෛර්යය ආවේ කොහින් ද? එය අහසින් කඩා පාත් වී ද? විදුට හා අනෙක් ළමයින් දෙදෙනාට මේ මන්ත්‍රී ධුරාපේක්ෂකයාට විරෝධය දැක්විය යුතු ය යන විඥානය කඩා පාත් වූයේ කොහෙන් ද?
මෙවැනි දැයෙහි දීත් ළමයින් කරන්නේ අවිඥානක ව වැඩිහිටියන් අනුගමනය කිරීම යි. ඔවුන්ට අනුකරණය කිරීමට වැඩිහිටියන්ගේ එබඳු චර්යාවක් මෙහි වී ද? එබඳු කිසිවක් නැති ව මේ දරුවන් මෙසේ ක්‍රියා කරන්නේ කෙසේ ද?
''විදු'' පිළිබඳ ව මා සමඟ කථා කළ ඇතැම් අය පැවසුවේ හඳගමයන්ගේ චිත්‍රපටයේ හරය සම්මත යථාර්ථවාදී දෘෂ්ටිකෝණයට අසු නො වන බව යි; ෆැන්ටසි වැනි අධියථාර්ථවාදී රීතීන් ද චිත්‍රපටයේ පරිහරණය කොට ඇති බැවින් ඒ පිළිබඳ ව කරන විග්‍රහයක දී එම කරුණු ද සැලකිල්ලට ගත යුතු බව යි.

චිත්‍රපටයක හෝ වේවා වෙනත් ඕනෑ ම කලා නිර්මාණයක හෝ වේවා තමන් කැමති රීතියක් පරිහරණය කිරීමේ අයිතිය නිර්මාණකරුවාට ඇත. ඒ පිළිබඳ ව අපි ප්‍රශ්න නො කරන්නෙමු. එය කලාකරුවාගේ නිදහස යි. කලාව යථාර්ථය ඥානනය කිරීමේ සුවිශේෂ විධියකි. කලාව ජීවිතය ඥානනය කරයි. කලාවේ විධය ජීවිතය යි; මෙය ම යථාර්ථය යි. එහෙත් කලාකරුවා කුමන රීතියක් පරිහරණය කළත් කලා කෘතියකින් ලෝකය හා මිනිසා සම්බන්ධ සත්‍යය ප්‍රකාශ කළ යුතු ම ය. මේ සිනමාවේ දේශපාලනය ඇතැයි බොහෝ දෙනා කියා තිබෙනු දුටුවෙමි.
ඔවුන් දේශපාලනය ලෙස අනන්‍ය කොට ඇත්තේ ඡන්දාපේක්ෂකයාට සහයෝගය නො දී ප්‍රතිරෝධය පෑම යි.
මොහුගේ ප්‍රතිවිරෝධී අපේක්ෂකයා විප්ලවවාදියෙකු වූයේ නම් හෝ විප්ලවයට සේවය කරන සන්ධානයකට අයත් වූයේ නම් හෝ මේ දක්වන ප්‍රතිවිරෝධය ප්‍රගතිශීලී දේශපාලනයක් වන්ට ඉඩ තිබිණ.


එහෙත් එවැන්නක් දැන ගැනීමට නැත. ප්‍රතිවිරෝධී අපේක්ෂකයා කවරෙක් ද යන්නට ඉඟියක් හෝ හඳගමයන් දක්වා නැත. අඩු ගණනේ එවැනි අපේක්ෂකයෙකු සිටින බවක හෝඩුවාවක් වත් නැත.

ශ්‍රී ලංකාවේ ද දැන් කම්කරු විප්ලවවාදී පක්ෂයක් නැත. විප්ලවවාදී වීම කෙසේ වෙතත් තිබුණු කම්කරු පක්ෂවල ද දැන් තිබෙන්නේ බෝඩ්ලෑලි පමණ ය. ඒවා වෙනුවෙන් එකෙකු දෙන්නෙකු ඉදිරිපත් ව රාජපක්ෂ පාලනය පැත්තට පැද ඇත.

කම්කරු පන්තියට විරුද්ධ ව ආරම්භ කළ නමුත් සෑහෙන කම්කරුවන් සංඛ්‍යාවක් රවටා ගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂ පාලනය පෙරට ගෙනවුත් දැන් යුද්ධ නායකයා පිටුපස ගාල් වී සිටී. ධනපති පන්තියේ ඉල්ලීම් හැර අන් කිසිවක් එයට නැත.

දැන් මෙහි තිබෙන්නේ කම්කරු පන්ති දේශපාලනයේ දරුණුතම සෝදාපාළුවකි.

දැන් මැතිවරණ යනු ඉදිරි සය වසර තුළ රට ගසා කන්නේ ධනපති පන්තියේ කවර හොර කල්ලිය ද යනු තීරණය කිරීමේ සටනකි. එහි දී කොයි කල්ලියට වැඩ කළත් එයින් කම්කරු පන්තියට කවර කමක් වත් නැත.

මේ තතු තුළ එක හොරෙකුට විරුද්ධ වීම අනික් හොරාට උඩගෙඩි දීමකි.
එහෙයින් මෙහි ඇති හරවත් දේශපාලනය කුමක් ද?

වීරයෙකු ගැන කථාවක් ද සිනමාවේ කියවෙයි. තේමා ගීතයෙහි දී වීරයා සිටින්නේ තමා තුළ ම ය යි කියනු ලැබේ.
මෑත පළ වූ බොහෝ වාචාරවල ද විදු නමැති මේ වීරයාගේ ගුණ ගයා තිබුණි. විදු සුපිරි වීරයෙකු වසයෙන් ද තැනෙක සඳහන් කොට තිබුණි. හඳගමයෝ ද විදු වීරයෙකු ලෙස ඔසවා තබති. චිත්‍රපටය පිළිබඳ ව කෙරෙන ප්‍රචාරක කටයුතුවලින් ද ඒ බව සනාථ වෙයි.

පවතින විෂම සමාජයට යට නො වී සිටීම ශ්‍රේෂ්ඨ ගුණයක් විය හැකි ය. එහෙත් ඔවුන් වීරයන් වසයෙන් ඔසවා තැබීම හෝ වීරයන් වසයෙන් වන්දනා කිරීම වෙනස් දෙයකි.

අවශ්‍ය වන්නේ මහජනතාවන් ලවා තනි තනි පුද්ගලයන් වීරයන් වසයෙන් වන්දනාමාන කරවීම නො ව විෂම සමාජය වෙනස් කිරීම යි. පුද්ගලයා යනු පවත්නා සමස්තයේ කොටසක් විනා සමස්තය නො වේ. තනි තනි පුද්ගලයන් හුදෙකලා වීරයන් වසයෙන් නැඟී සිටීම විසඳුමක් නො වේ.

එසේ ම වීරයා සිටින්නේ තමා තුළ ම යැයි කීම ද ප්‍රගතිගාමී ය. එය ධනේශ්වර පුද්ගලවාදය ඔසවා තැබීමකි. මෙකල ජනප්‍රිය වී ඇති ධනාත්මක චින්තනය වැනි පච සංකල්ප ද මෙහි ම දිගුවකි. තැන තැන තනි තනි පුද්ගලයන් ස්වවීර්යයෙන් දියුණුවේ රන් දොරටුව කරා ළඟා වූවා විය හැකි ද?

අද අප කළ යුත්තේ අප තුළ සිටින වීරයෙකු සොයා යෑම ද? නැත හොත් සාමූහික ප්‍රයත්නයෙන් සමාජය වෙනස් කිරීම ද?

මෙහි වීරයා ලෙස පෙන්වා තිබෙන්නේ විදු ය. විදු මුඩුක්කුවාසී දරුවෙකි. කිසි අධ්‍යාපනයක් ලබා නැති ඔහු දස හැවිරිදි තරම් බාල වයසේ පසු වෙයි. මොහු වීරයා, නායකයා නම් පළමු ව ම මතු වන ප්‍රශ්නය වන්නේ හිටි අඩියේ, ඕපපාතික ව ඔහු නායකයා වූයේ කෙසේ ද යන්න යි.

නායකයෙකු පහළ වීමට පෙර බාහිර ලෝකයේ සටන් පැන නැඟී තිබිය යුතු ය. බටහිර ලෝකයේ පමණක් නො ව ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ද බෝල්ශේවික් ලෙනින්වාදී නායකයන් පහළ වීමට පෙර කම්කරු පන්තිය ස්වාභාවික ව ධනපති පන්තිය සමඟ සටනට එළඹ සිටියේ ය.

පළමු ව ලියොන්ස්හි ද රයින් ගංතෙර ද කම්කරුවෝ මැශින් කැඩූහ; පසු ව වැඩවර්ජනවලට අවතීර්ණ වූහ. මාක්ස් හා එංගල්ස් ද ලෙනින් හා ට්‍රොට්ස්කි ද අන්‍ය නායකයන් ද පහළ වූයේ මේ පසුබිමේ ය. නායකයන් (පක්ෂය) සවිඥානක ප්‍රකාශනයට ගෙන එන්නේ කම්කරු පන්තියේ අවිඥානක අවශ්‍යතාව යි. මෙසේ නැති ව කම්කරු පන්තිය මර්දනය කොට සිටිද්දී, බාහිර ලෝකයේ කම්කරු පන්ති අරගළ යට ගසා තිබෙද්දී රික්තයක් තුළ, ශුන්‍යතාවක් තුළ නායකයන් පහළ විය නො හැකි ය.

කෙසේ වෙතත් කටේ කිරි සුවඳ වත් නො ගිය දස හැවිදිරි දරුවෙකු තුළින් නම් නායකයෙකු පහළ විය නො හැකි ම ය. මෙවැනි නිරූපණ ගත යුත්තේ අධ්‍යක්ෂවරයාගේ මනෝ විකාර ලෙස ය. අනෙක් සැලකිය යුතු ප්‍රශ්නය නම් මෙකියන නායකයා පහළ වන්නේ කවර සමාජ පන්තියකින් ද යන්න යි. සිනමාවේ එන හැටියට නම් ඔහු පහළ වන්නේ ලුම්පිත නිර්ධන පන්තියෙනි (Lumpenproletriat). මෙය මෙතෙක් සිදු වූ පන්ති අරගළයන්ගේ ඉතිහාසය විකෘත කිරීමකි. ලුම්පිත නිර්ධන පන්තිය ''සමාජ රොඩුපොත්ත'' කියා ''කොමියුනිස්ට් ප්‍රකාශන''යෙහි හැඳින්වූ මාක්ස් හා එංගල්ස් එය ඉතා මත් භයානක පන්තිය ලෙස නම් කළෝ ය.

මීළඟට මාක්ස් මේ පන්තිය ගැන කථා කළේ "18th Brumaire" නම් කෘතියෙහි ය. එහි කියා තිබෙන පරිදි මේ පන්තිය ''අනික් පන්තිවල අහක දමන කුණුකන්දල් ය,'' ''විසිර ගිය ජන ගණයකි.'' එයට ඇතුළත් වන්නෝ නම් ''ධනපති පන්තියේ විනාශ වී ගිය, සාහසික අපශාඛාවකි; පාදඩයෝ ය; මුදා හළ සොල්දාදුවෝ ය; නිතර හිරේ වැටෙන්නෝ ය; ගැට කපන්නෝ ය; ගණිකා මඩම් පවත්වන්නෝ ය; කඩමාලු ආදිය අවුලා ජීවත් වන්නෝ ය.''
බලය සඳහා තම අරගළයේ දී ලුවී බොනපාට් රඳා සිටියේ මේ සමාජ ඛණ්ඩය මත ය. පසු කාලයේ දී ෆැසිස්ට්වාදය නැඟ ඒමේ දී ඊට මේ පන්තිය උපකාරී විය.

මධ්‍යම පන්තියෙන් ද ගොවි ජනතාවගෙන් ද කම්කරුවන්ගෙන් ද ගැලවී වීසි වුණු, යන එන මං නැති කොටස් මේ ඛණ්ඩයට අයත් ය. ෆැසිස්ට්වාදයට කත් ඇදීම, මංකොල්ල කෑම, කුලියට මිනී මැරීම, ගෙවල් බිඳීම, හොරකම් කිරීම ආදිය මේ පන්තියේ ඓතිහාසික වාර්තාව දිග හරී. සමාජ විප්ලවය පුපුරා එන විට මංකොල්ල කෑම, රජයේ දේපොළ හොරකම් කිරීම ආදිය හැර මේ සමාජ ඛණ්ඩයට වෙනත් කාර්යභාරයක් ඉතිරි නො වනු ඇත.

හඳගමයන්ගේ වීරයා මතු වී එන්නේ මේ සමාජ ඛණ්ඩයෙනි.

හඳගමයන්ගේ මේ ආස්ථානය වනාහි ධනවාදය පැවතුණා වූ ද තැන තැන පෙරළා දැමුණා වූ ද මුළු කාලය තුළ ම මේ සමාජ ඛණ්ඩයේ සැබෑ ඉතිහාසය විකෘත කිරීමකි. ධනවාදය බිඳලන්නේ සංවිධානගත වූ නගරබද කම්කරු පන්තිය ම යි. එහි නායකත්වය ඒ පන්තිය මප්‍රතිෂ්ඨා කොට ගෙන බෝල්ශේවික් පක්ෂයක් තුළින් මතු වී එනු ඇත. මේ තතු ඉරහඳ සේ සත්‍ය ය. මෙය අනික් පැත්ත හැරවිය හැකි ජගතෙක් මිහිපිට නම් නැත. මෙලෙස හඳගමයන්ගේ නව සිනමාවේ වස්තුවිෂය යථාර්ථය විකෘත කිරීමකි. එහි ආකෘතිය සිනමා ආකෘතිය විකෘත කිරීමකි.

සිනමාවේ භාෂාව රූප ය. එයට කලාවක් වසයෙන් අනන්‍යතාව ලැබෙන්නේ එහෙයිනි. මෙහි දී රූප භාෂාව බොහෝ සෙයින් කථීත, වාචික භාෂාවට මාරු වී ඇත. මේ සංක්‍රමණය හඳගමයන්ගේ සිනමා වෘත්තියේ ලිහිල් වීමක් නියෝජනය කරයි. හඳගමයන්ගේ දිරිබල සිදුණු සෙයක් ද දෘඪ ග්‍රහණය ලිහිල් වූ සෙයක් ද පෙනේ. ''තනි තටුවෙන් පියාඹන්න'' හා ''අක්ෂරය'' යන සිනමා කර්මවල පැවති දෘඪතර භාවය, අපරිමිත ධෛර්යය, නො නැමෙන පිළිමල් බව කොහි ගියේ ද?

තමන් තුළ සිදු වූ මේ සංක්‍රමණය, විපර්යාසය කුමක් දැයි හඳගමයන් දන්නවා ඇත. ''තනි තටුවෙන් පියාඹන්න'' හා ''අක්ෂරය'' යන කෘති දෙක ම එළිදැක්වූ වේලෙහි ප්‍රතිගාමීහු හඳගමයන්ට සදාචාර යගදාවෙන් සතර අතින් පහර දෙන්ට වන්හ. සාහිත්‍යකලාවට අයිති නැති මේ අවජාතක මිනුම් දණ්ඩ අතිශය නාශක කාර්යභාරයක් ඉටු කළේ ය. බොහෝ දෙනා ඉවබව නැති ව මේ මනුම් දණ්ඩට යට වූහ. ශ්‍රී ලංකාව සාහිත්‍යකලාදිය සඳහා ප්‍රතිරූප දේශයක් නො වන බව මනා ලෙස පෙනී ගියේ ය. සදාචාර කඩතුරාවෙන් ''අක්ෂරය'' මුවා කළ රාජපක්ෂ රජය තව මත් මහජනයාගෙන් එය සඟවා ගෙන සිටී. කලාවේ බලකනු රජයේ මේ කලා ප්‍රහාරය හමුවේ මළ මිනී මෙන් ඇද වැටිණ. හඳගමයන් හිරේ වැටීමෙන් බේරුණේ අනූනවයෙනි. මේ ප්‍රහාර හමුවේ හඳගමයන්ගේ දෘඪතර භාවයත් පිළිමල් බවත් ලිහිල් වී ගිය සෙයකි. ඔවුන් කර තිබෙන ඇතැම් ප්‍රකාශ ද මේ බව සනාථ කරයි:

මීළඟ චිත්‍රපටයේ දී සිගරැට්ටුවක් දල්වා ගෙන යන අයෙකුගේ දර්ශනයක් වත් හැට්ටයක කටු ගලවන දර්ශනයක් වත් ඇතුළත් නො කිරීමට තමන් හොඳහැටි වග බලා ගත් බව ඔවුන් කියා ඇත. ''නැවත කොහොම ද මම මගේ පැවැත්ම සහතික කරන්නේ කියන ගැටලුව ආවට පස්සේ ඊට මුහුණ දෙන්න කළ යුතු ආකාරයේ සිනමා කෘතියක් විදියට තමයි මම ''විදු'' දැක්කේ. මේක හරහා මම නැවත වරක් ලාංකික සිනමාව තුළ මගේ පැවැත්ම ප්‍රේක්ෂකයා අතර සහතික කිරීමට බලාපොරොත්තු වෙනවා'' ''විදු''සැබවින් ම එහි අධ්‍යක්ෂවරයා යට කී කලාවිරෝධී පීඩක යථාර්ථය අබියස දණ ගැසීමකි. මේ දණ ගැසීම ස්ථාපිතයේ සතුටට ම හේතු වන බව ස්ථාපිතයේ පතාක යෝධයන් වන ජැක්සන් ඇන්තනි, සෝමරත්න දිසානායක හා අශෝක සේරසිංහ යන තුන් දෙනා පළ කර තිබෙන පොදු ප්‍රකාශයෙන් පෙනී යයි:

''හඳගම දැන් තමයි නියම පාරට වැටිල තියෙන්නේ.''
පළමු කී දෙදෙනා ආණ්ඩුවේ, ධනපති සමාජයේ ස්ථාපිතයේ පිළිගත් සිනමාකරුවෝ ය. අන්තිමට කී පුද්ගලයා ''අක්ෂරයේ'' අලුගෝසුවා ය. තිදෙනා ම ආණ්ඩුවේ හොඳ පොත්වල ලියැවී සිටින අය යි.
මේ වැටෙන්ට යන මඩ වගුරෙන් බේරී ගැනීම හඳගමගේ කලා යුතුකම යි.

අතිපීඩක, මර්දනකාරී යථාර්ථයක් තුළ ජීවත් වන කලාකරුවාට ගත හැකි මාර්ග තුනක් රුසියානු විප්ලවයේ ලෙනින් සමඟ සමනායක ලියොන් ට්‍රෝට්ස්කි පෙන්වා ඇත:

(1) ඊට විරුද්ධ ව සටන් කිරීම
(2) එසේ කළ නො හැකි නම් හොර පාරෙන් හැරී ගොස් යථා කාලයෙහි එයට එරෙහි ව සටන් කිරීම සඳහා සේනා හා සම්පත් සම්පාදනය කිරීම
(3) එසේත් කළ නො හැකි නම් එය ඉදිරියේ දණ නො නමා සිටීමේ සිංහ වීරවික්‍රමය පෑම.

[රාවය- 2011.01.23]

මහාචාර්ය සුචරිත ගම්ලත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කොහු මෝලේ ආලින්දේ යට ලීය
කළු තෙල් ගාගෙන
කදිමට බැබලීය
කවුරු නොදනිත් ද
එහි බැඳි දඬු බෑය?
ඉන් හැමදාම එක මිනිහෙක් පැණි කෑය

කොහු මෝල ඇතුළත
දුම්බීම තහනම්ය
කුසගින්න ගැන කතා තහනම්ය
සමිති- උද්ඝෝෂණ ද
තහනම්ය
එයින් ගිනි හට ගන්න පුලුවන්ය

වැඩක‍ාර මැස්සෝ
හාමතේ වැඩ කරත්
දාඩියට මිශ්‍රවූ රොන් සලත්
සුසුම් ලා - තටු සලා
මි වදය වායු සමනය කරත්

සුළු සේවක පිරිමි ‍
කේළම් කියමිනා
රැජිනගේ කුටිය ළඟ ගැවසෙනා
වැඩකාර මැස්සන්ට අණ දෙනා

වළඳා රාජ ජල්ලිය
තේ පානය නිමා කොට
පස්වරු තුනට පෙර
ඉගිල්ලෙයි රැජිනිය
මෛථුන පියාසැරියට
අධ්‍යක්ෂ මන්දිරයට

දිනෙන් දින වැඩිවන
පිළාවද කෝෂ මිස
පැණි නම් නොපෙනේය
වැඩකාර පිළවුන්
යටලීය කෙළවර ම පොරකාය
මහ එවුන් නිකම් අත ලෙවකාය

කවුරු නොදනිත් ද එහි බැඳි මීය?
එහෙත් කිසි කෙනෙකු නුදුටුව සේය

[වස්සානේ- 1985]

රත්න ශ්‍රී විජේසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



'සෙනෙහසේ අරුණැල්ල' උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් වූ පාසල් වල පුස්තකාල සංවර්ධනය සඳහා කැප වුනු වැඩපිළිවෙළකි. ඔබ කියවූ පොත් මේ සඳහා පරිත්‍යාග කිරීමෙන් ඔබට ද මේ සඳහා දායකත්වය ලබා දිය හැකි අතර වැඩි විස්තර senahasearunella@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට ලිවීමෙන් ලබා ගත හැක.

ඇමතුම් | රඛිත- 71 909 6296, නවින්ද- 71 447 6276

'සෙනෙහසේ අරුණැල්ල' දැනුවත් කිරීමේ සටහන- මෙතනින් බලන්න.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කරන්ට් නුදුන්නෙන් ලැයිමක හිටි හන්දා
අඳුරු ගුහාවක හරියට දුක් වින්දා
තහඩු වහලෙ හිල් අතරින් නෙත් රන්දා
හඳට වැඩිය හඳ එළියට පෙම් බැන්දා

ඉර ද බඩ ගගා සැඟවෙන ඇසිල්ලේ
බරට අඩි තබා නුවරට විදිල්ලේ
කෙවිට ගසා ගෙන සෙනෙහෙන් කිහිල්ලේ
බුබුළු මලින් මල බඹරෙක් ඉගිල්ලේ

විදුලි කොටා වැසි වැස්සෙන් තෝන්තුව
විදුලි රැහැන් පට හෝන්දු මාන්දුව
කෙවිටි තුඩු අගින් විදුලිය කාන්දුව
උස්සා පොළවෙ ගැහුවයි අපෙ සාන්තුව

අඳුර ගලාගෙන විත් තැන තැන රන්දා
පඳුරු ලලා වැඩුනයි නුඹ නැති හන්දා
විදුලි සැරෙන් දිව එන රූ කොයිබින්දා
විදුලි කණුත් හිස බර කර ඉකි බින්දා

නිවන පතන මණ්ඩලයේ බැනර් වල
කඳුළු වැලක් ඇඳ තිබුණයි ගලන්නට
ලැයිමෙ අඳුර මැද වැළපෙන දෙ ඇස් වල
ගලන ගලන හැම කඳුළෙම කරන්ට් එක

මහත්තුරුත් දෙණ ළඟ ඇස් මහත් කර
රාත්තිරිය දුලවන්නයි පොරොන්දුව
ගහක් ගලක් වන් මිනිහෙක් වහන් කළ
ඉතින් නුදුන්නත් කම් නෑ කරන්ට් එක

[මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි- 2011]

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අප උණූසුම්
ඔහුත් මාත්
කල් මරයි ඔහුගේ දෙ අත ද
බියෙන්, නොඉවසිල්ලෙන්
මගේ දෑත මෙන්ම

මා මෙන්ම ඔහුත්
සිප ගන්නේ පළමු වරටයි
පිරිමි දෙතොලක්

මද මත් බවකි මේ
රහසින් පතා සිටි

වීනස්.............
ඔබ සතුව නැත
ම හද පිරිමදින අත්

නැවත පිටතට යන විට
පැළඳ ගන්නා තෙක්
එළියෙන් තබා ආවෙමි
සුපුරුදු වෙස් මුහුණ

නුහුරු ඇති ඔබට
එහෙත් නොබලන් ඔහොම
වීනස්..............

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සංහිඳියාව සහ රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ කතිකාව නැවත වරක් දේශපාලන කරලියේ උණුසුම් මුහුණුවරක් ගනු දැකීම, දේශයේ අනාගත උන්නතිය ගැන හිතන සියලු පුරවැසියනට සතුටු විය හැකි සංසිද්ධියකි.

මෙම ලිපියෙහි අරමුණ වන්නේ එම කතිකාව පෝෂණය කිරීම සඳහා තවත් කරුණු කිහිපයක් ගැන පාඨක අවධානය යොමු කිරීමයි.

හැඳින්වීම

තිස් අවුරුදු යුද්ධය අවසන, ශ්‍රී ලංකාව ප්‍රධාන අභියෝග දෙකක් අභිමුව සිටී. ඉන් පළමුවැන්න වන්නේ ජනවාර්ගික කණ්ඩායම් අතර සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම පෙරදැරි කර ගත් ප්‍රතිසන්ධාන ක්‍රියාමාර්ග පූර්ණය කිරීමයි. දෙවැන්න වන්නේ ආර්ථීක වශයෙන් රට නඟාසිටුවීම සහ සංවර්ධනයේ ප්‍රතිලාභ සමස්ත මහ ජනතාවට හිමිවන, තිරසර හා ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයක් බිහි කිරීමයි. සත්‍ය වශයෙන්ම මේ වූ කලී ශ්‍රී ලංකා රාජ්‍යය ගොඩනැඟීමේ (State building) ප්‍රධාන පැතකඩ ද්විත්වයයි. දිග් ගැසෙමින් පැවැති සිවිල් යුද්ධය අවසන් කොට ඇති මේ මොහොතේ, මෙම ද්විත්ව අභියෝග ජයගැනීම සඳහා යළිත් උදා නොවන අවස්ථාවක් (Opportunity) විවර කොට ඇත. දැන් එළැඹ තිබෙන්නේ එම අවස්ථාවෙන් ඵල නෙලා ගත යුතු කාලයයි. මේ, ඒ පිළිබඳව තබන සටහනකි.

ශ්‍රී ලංකාවේ රාජ්‍යය ගොඩනැඟීමේ උත්සාහය සහ එහි ඉතිහාසය

ශ්‍රී ලංකාවේ රාජ්‍යය ගොඩනැඟීම පිළිබඳ කතිකාව දේශපාලන තලයේ පුළුල් හා විවෘත මාතෘකාවක් බවට පත්වන්නේ නිදහසින් පසුව, බලය බෙදීමේ (Devolution of Power) සංකල්පයක් ද ඒ තුළට සම්මිශ්‍රණය කොට ගෙනයි. එම කතිකාව තුළ කියැවුණේ ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර බරපතල අනන්‍යතා අර්බුදයක් පවතින බවත්, එම අනන්‍යතා අර්බුදයෙහි සාධනීය විපරිවර්තනයක් දැකීම සඳහා කිසියම් ආකාර බලය බෙදීමේ සිද්ධාන්ත පාදක කොට ගත් පිළිවෙලකට ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රතිසංවිධානය විය යුතු බවත්ය.

මේ නිසා නිදහසින් පසුව රටේ බලයට පත් වූ සෑම පාලකයෙක්ම පාහේ රාජ්‍යය ගොඩනැඟීමේ උත්සාහයන්හි දී බලය බෙදීම පිළිබඳ සංකල්පය කෙරෙහි වඩවඩාත් නැඹුරු වන්නට වූහ. 1957 දී ඇති කරගත් බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම මඟින් ද, 1965 දී ඇති කර ගත් ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම මඟින් ද උත්සාහ ගත්තේ බලය බෙදාහදා ගැනීම සඳහා වූ වඩාත් යෝග්‍ය ආකෘතියක් (Model) හඳුනා ගැනීමටයි. බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම මඟින් ප්‍රාදේශීය ස්වයං පාලනය සහතික කරනු ලබන “රට සභා” ක්‍රමයක් යෝජනා කෙරුණු අතර ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම මඟින් “දිස්ත්‍රික් සභා” ක්‍රමයක් යෝජනා කෙරිණ. එහෙත් එම යෝජනා දෙකම ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂවල මැදිහත්වීම හේතු කොට ගෙන ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

1980 දශකයේ අගභාගයේ දී නැවතත් බලය බෙදීම පිළිබඳ කතිකාව දේශපාලන කරලියට පැමිණෙන අතර දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1987 දී එක්කරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව “පළාත් සභා” ස්ථාපිත කෙරුණේ එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියටයි. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් එමඟින් යෝජනා කෙරිණ. එහෙත් ආරම්භයේ සිටම පළාත් සභා ක්‍රමය අසාර්ථක එකක් බවට විවේචන එල්ල වීමට පටන් ගැණුනු අතර එයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කෙරිණ. පළාත් සභා සංස්ථාපනය කොට ක්‍රියාත්මක කිරීමේ දී එහි භාවිතාවේ දක්නට ලැබුණු සුවිශේෂ දුර්වලතාවය වන්නේ එය උතුරු හා නැගෙනහිර පළාත්වලම ක්‍රියාත්මක නොවීමයි.

පළාත් සභා සංස්ථාපනය කිරීමෙන් පසුව ද බලය බෙදාහැරීමේ අවශ්‍යතාව ගැන සමාජය තුළ කතිකාවක් ගොඩනැඟිණ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බලයට පත්වීමෙන් අනතුරුව ඇය මෙම කතිකාව සැලකිල්ලට භාජනය කළාය. ඒ අනුව 1995 දී එවකට පැවැති පොදුජන එක්සත් පෙරමුණු රජය විසින් බලය බෙදාහැරීම සඳහා වන යෝජනාවලියක් ඉදිරිපත් කළේය. එහෙත් එම යෝජනාවලිය බලාත්මක කිරීමට බලයේ සිටි පොදුජන එක්සත් පෙරමුණු රජය සමත් වූයේ නැත.

වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව බලය බෙදාහැරීම සහ රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ කතිකාව නැවත වරක් දේශපාලන කරලියට පැමිණෙන ආකාරයක් දැකගත හැකි විය. ශ්‍රී ලංකා මොඩලයේ පාලන ක්‍රමයක් ගැන ඔහු ඉඟි පළ කළේය. රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීමට නැතහොත් ශ්‍රී ලංකාවට වඩාත් ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවැසි යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ඔහු විසින් සර්ව පාක්ෂික නියෝජිත කමිටුවක් සහ විද්වත් මණ්ඩලයක් පත්කරනු ලැබීය. එම කමිටු මඟින් අවස්ථා කිහිපයක දී යෝජනා මාලා කිහිපයක් ඉදිරිපත් කරනු ලැබූ අතර ඉන්දියාවේ පංචායත් රාජ්‍ය ක්‍රමයෙහි යෝග්‍යතාවය ගැන ද පිරික්සා බැලීය. එහෙත් බලය බෙදාහැරීම පිළිබඳ කතිකාවට වැඩි වැදගත්කමක් හිමි නොවුණු අතර කල්යත්ම එම කතිකාව යටපත් වන්නට විය.

මෙයින් අපට එක් කරුණක් ගැන පැහැදිලි විනිශ්චයකට එළැඹිය හැකිය. එනම්, ජනවාර්ගික සංහිඳියාව අරමුණු කර ගෙන බලය බෙදාහැරීම සහ ඒ මඟ ඔස්සේ රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ඉතිහාසයේ ගෙන ඇති සියලු උත්සාහයන් මේ වන විට අසාර්ථක වී ඇති බවයි. එහෙත් අදත් රාජ්‍යය ගොඩනැඟීම සහ බලය බෙදාහැරීම හා සම්බන්ධ කතිකාව සමාජයෙන් සම්පූර්ණයෙන් මැකී ගොස් ඇතැයි කිව නොහැකිය. වරෙක වඩාත් උණුසුම්වෙමින් ද තවත් වරෙක මන්දගාමී ස්වරූපයෙන් ද මෙම කතිකාව නොනැසී විකාශනය වෙයි.

රාජ්‍යය ගොඩනැඟීමේ උත්සාහය අසාර්ථක වී ඇත්තේ ඇයි?

ජනවාර්ගික ගැටුමට විසඳුමක් වශයෙන් බලය බෙදාහැරීම සහ එය පාදක කොට ගෙන රාජ්‍යය ගොඩනැඟිය යුතුය; යන අදහස පරාජයට වීමට හේතු වී ඇති ප්‍රධාන සාධකය වන්නේ මෙරට ජනවාර්ගික ගැටුමෙහි පවතින ව්‍යාප්ති මට්ටමයි. මෙරට ජනවාර්ගික ගැටුම මූලික වශයෙන්ම රජය මුල් කොට ගෙන නිර්මාණය වී තිබෙන්නකි. රජයේ ස්වභාවය සහ එහි ව්‍යුහය මෙහි දී ප්‍රශ්නයට බඳුන් වී ඇත. එසේ නොමැතිව ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවතියාක් මෙන් සුදු-කළු ප්‍රශ්නයක් මේ රටේ පැවැතියේ නැත. රුවණ්ඩාවේ උද්ගත වූවාක් මෙන් හුටු-ටුට්සි වැනි ගෝත්‍රික ප්‍රශ්නයක් මේ රටේ පැවැතියේ නැත. ඉතාමත් සරල කොට දක්වන්නේ නම් ජනතාවගේ මට්ටමින් සිංහල-දෙමළ ජන කොටස් පිල්වලට බෙදී එකිනෙකා ඇණකොටා ගන්නා තත්ත්වයක් මේ රටේ නැත. ඇතැම් අවස්ථාවල දී එවැනි විරල සිද්ධීන් කිහිපයක් ගැන වාර්තා වී ඇති නමුදු ඒවා එසේ වූයේ කෙසේ ද යන්න ගැන අපි කවුරුත් අඩු වැඩි වශයෙන් දනිමු. ජනවාර්ගික එදිරිවාදිකම්වල උච්ඡතම අවස්ථාවක් ලෙස සැලකෙන '83 කළු ජූලිය අවස්ථාවේ සිදු කෙරුණු මිනිස් සංහාරය සඳහා එවකට පැවැති දේශපාලන හස්තයේ බලපෑම කෙතෙක් දුරට ඉවහල් වී තිබුණේ ද යන්න ගැන අද බොහෝ වාර්තා මඟින් හෙළිදරව් වී ඇත. අප ඒ ගැන මෙහි දී වැඩි දුරටත් සාකච්ඡා කරන්නේ නැත. (අවශ්‍ය නම් අපට ඒ ගැන තවත් ලිපියකින් සාකච්ඡා කළ හැකිය.)

අප මෙහි දී අවබෝධ කොට ගත යුතු කාරණය වන්නේ මෙරට ජනවාර්ගික ගැටුම රජය මුල් කොට ගෙන ඇති වී තිබෙන්නක් වන බවත්, ජනතාවගේ මට්ටමින් එහි බරපතල සංකීර්ණතා පැනනැඟී නොමැති බවත් සහ එම හේතුව කරණ කොට ගෙන බලය බෙදීමේ උත්සාහය අසාර්ථක වී ඇති බවත්ය. (මේ සඳහා හේතු වී ඇත්තේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවට එකිනෙකාගෙන් වෙන්වී වාසය කිරීමට තරම් බරපතල ජනවාර්ගික විරසකයක් මේ රටේ නොමැති වීමයි.)

ජනවාර්ගික සංහිඳියාව සහ බලය බෙදාහැරීම ඔස්සේ රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ගන්නා ලද උපාය මාර්ග අසාර්ථක වීමට බලපා ඇති තවත් අප්‍රධාන හේතු සාධක කිහිපයක් පවතී. ඉන් එක් හේතු සාධකයක් වන්නේ වෙනම රාජ්‍ය සංකල්පය පෙරමුණෙහි තබාගෙන එල්ටීටීඊ සංවිධානය විසින් ගෙන ගිය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ එකී ක්‍රියාකාරකම් ජනවාර්ගික ගැටුම සමඟ සමපාත වීමත්, එවැනි තත්ත්වයක් තුළ බලය බෙදාහැරීම බෙදුම්වාදයට රුකුල් දෙන්නක් විය හැකි බවට සමාජය තුළ ගොඩනැඟුණු අස්ථාන බියත්ය. තවත් හේතු සාධකයක් වන්නේ මෙරට බලය බෙදාහැරීම පිළිබඳ සංකල්පය අධිරාජ්‍යවාදීන්ගේ උවමනා සංසිඳුවීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන විසින් වපුරන ලද මතයක් බවට සමාජගත වී තිබීමයි. සිංහල, දෙමළ සහ මුස්ලිම් ජන කොටස් රටේ සියලු ප්‍රදේශවල අනෝන්‍ය වශයෙන් සම්මිශ්‍රව වාසය කිරීම ද ජනවාර්ගික සමඟිය අරබය බලය බෙදාහැරීමේ අවශ්‍යතාව ගැන ජනතාවගේ අවධානය අඩු කොට ඇත. මෙවැනි හේතු සාධක නිසා මෙරට බලය බෙදීම පිළිබඳ කතිකාව සහ ඒ ආශ්‍රයෙන් රාජ්‍යය ප්‍රතිසංවිධානය විය යුතුය; යන මතවාදය පරාජයට පත් වී ඇත.

බලය බෙදීමේ සංකල්පය මිය නොයන්නේ ඇයි?

මෙරට බලය බෙදාහැරීමේ උත්සාහය සහ ඒ ආශ්‍රයෙන් රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීමේ උපායමාර්ගය පරාජයෙන් පරාජයට පත්වෙමින් පවතින සංසිද්ධියක් වුවද අදත් එම කතිකාව සමාජයෙන් සම්පූර්ණයෙන් මැකී ගොස් නැත්තේ ඇයි ද යන ප්‍රශ්නය මෙහි දී පැන නැෙඟයි. සිදුව තිබෙන්නේ එම උත්සාහය අසාර්ථක වීම පමණි. එම අසාර්ථකත්වයට හේතු කිහිපයක් බලපා ඇත.

ඒ සඳහා බලපා ඇති ප්‍රධානම හේතුව වන්නේ බලය බෙදාහැරිය යුත්තේ ඇයි ද යන ප්‍රශ්නය සහ එහි ඇති අවශ්‍යතාවය කුමක්දැයි යන්න ගැන පුළුල් සහ විවෘත වශයෙන් සමාජය තුළ සංවාදයට බඳුන්ව නොතිබීමයි. මෙම කතිකාව ගොඩනැඟී තිබෙන්නේ එක් ආස්ථානයක සිට පමණි. එය නම්, අප මුලින් සඳහන් කළ ආකාරයට අනන්‍යතා අර්බුදයට නැතහොත් “ජනවාර්ගික ගැටුමට පිළියම් සෙවීම” නම් වූ ආස්ථානයේ සිටය; යන්නයි. සත්‍ය වශයෙන්ම රාජ්‍යය ගොඩනැඟීමේ ක්‍රියාවලියේ දී අවධානය යොමු කළ යුතු එක් ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ මෙයයි. එහි විවාදයක් නැත. එහෙත් අප එහි අනෙක් පැතිකඩ නොසලකා හැර ඇත. එකී පැතිකඩ නම් ආර්ථීක අර්බුදයයි; ආර්ථීක වශයෙන් රට ගොඩනැඟීම පිළිබඳව වූ සමාජ අවශ්‍යතාවයි.

දැඩි මධ්‍යගතවාදී පාලන ක්‍රමයක් තුළ ජනතාව දේශපාලන වශයෙන් දුබල තත්ත්වයකට ඇද වැටීම එහි සාමාන්‍ය ස්වභාවයි. එවැනි ක්‍රමයක පුරවැසියා ආණ්ඩුකරණය සඳහා සහභාගි කරවා ගැනෙන්නේ ඉතා මඳ වශයෙනි. මධ්‍යගත පාලන ක්‍රමය විසින්ම ඔහුට එම අවස්ථාව අහුරාලනු ලබයි. ස්වභාවයෙන්ම දේශපාලන සත්ත්වයකු වන මිනිසා දේශපාලන ගැන නිතැතින්ම උනන්දු වෙයි; ක්‍රියාශීලීවීමට කැමැත්තක් දක්වයි. එහෙත් පුරවැසියාට ඒ සඳහා වැඩි අවස්ථාවක් හා හැකියාවක් ලැබෙන්නේ පාලන ක්‍රමය වඩාත් විමධ්‍යගතවන ප්‍රමාණයටය. බලය බෙදාහැරීම හෝ බලය විමධ්‍යගත කිරීම පිළිබඳ කතිකාවට සමාජය තුළ වැඩි පිළිගැනීමක් ලැබී තිබෙන්නේ ඒ නිසාවෙනි. අනෙක් අතින්, බලය බෙදාහැරීමක් මඟින් පුරවැසියාට සංවර්ධන හා පරිපාලන ක්‍රියාවලියට දායකවීමට වැඩි අවස්ථාවක් ලැබෙයි. මේ නිසා ලෝකයේ සියලුම රාජ්‍ය කිසියම් ආකාර බලය බෙදීමේ හෝ බලය විමධ්‍යගත කිරීමේ ක්‍රමෝපායයක් අනුගමනය කිරීමට පෙළඹී සිටියි. ශ්‍රී ලංකාවට ද එම යථාර්ථයෙන් බැහැර විය නොහැකිය.

රාජ්‍යය ගොඩනැඟීමේ ද්විපැතිකඩ

ජනවාර්ගික සංහිඳියාව පාදක කොට ගත් බලය බෙදීම හා සම්බන්ධ කතිකාව දශක ගණනාවක් තුළ පරිණාමය වුවද අදත් එහි සැලකිව යුතු ප්‍රගතියක් පෙන්නුම් කර නැත. එදා මෙදා තුර ඒ සඳහා ගන්නා ලද කිසිදු උත්සාහයක් සාර්ථක වී නැත; එක්කෝ ප්‍රමාණවත් වී නැත. පළමු කොට අප එම යථාර්ථය පසක් කරගත යුතුය. එහෙත් එය එසේ වූයේ ඇයි ද යන ප්‍රශ්නයට නියමාකාර පිළිතුරක් සපයා ගැනීමට අප තවමත් සමත් වී නැත. ඒ සඳහා ප්‍රමාණවත් අධ්‍යයනයක් ද සිදු කෙරී නැත. එය අප ඉතිහාසයේ අත්හැර ඇති අවස්ථාවකි. අද්‍යතන ජනවාර්ගික සංහිඳියාව සහ රාජ්‍යය ගොඩනැඟීම හා සම්බන්ධ කතිකාව තුළ මේ ප්‍රශ්නය සංවාදයට බඳුන්විය යුතු බව අපගේ අදහසයි. ශ්‍රී ලංකා රාජ්‍යය ගොඩනැඟීම හා සම්බන්ධ කතිකාවේ එක් පැතිකඩක් වන්නේ මෙයයි.

මෙම ලිපියේ මුල් කොටසේ ඒ සඳහා ප්‍රවේශයක් අප විසින් සපයා ඇත. රාජ්‍යය ගොඩනැඟීම හා සම්බන්ධ කතිකාවේ අනෙක් පැතිකඩ වන්නේ ආර්ථීක අර්බුදයයි. ආර්ථීක අර්බුදය පිළිබඳ ගැටලුව ප්‍රථමයෙන් පැනනඟින්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාත කේන්ද්‍ර කර ගෙනයි. (එහෙත් මෙය දකුණු පළාතට පමණක් සීමා වූ ගැටලුවක් තරමට ලඝු කොට නොසැලකිය යුතුය. ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවට බලපාන ගැටලුවකි) 1971 වර්ෂයේ දී එහි පළමු පුපුරායාම සිදු වූ අතර 1980 දශකයේ අගභාගයේ දී එහි දෙවන පුපුරායාම ද සිදු විය. ජනතා විමුක්ති පෙරමුණ මේ සඳහා නායකත්වය දෙනු ලැබීය. විරැකියාව, දරිද්‍රතාවය හා බැඳුණු ගැටලු රාශියක් එම පුපුරායාම් මඟින් ප්‍රකාශ විණ. මෙම ආර්ථීක සාධකය අමතක කොට අපට රාජ්‍යය ගොඩනැඟීමේ සුබ සිහිනය සැබෑ කරගත නොහැකි වනු ඇත.

උතුරත් දකුණත් එක්ව විසඳුමක් සෙවිය යුතුයි

ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රතිසංවිධානය කළ යුතුය; යන අදහස අදත් පවතින අතර රාජ්‍යය පිළිබඳ අතෘප්තියෙන් පසුවන පිරිසක් ද සිටිති. එහෙත් ඒ අතෘප්තියෙන් පසුවන පිරිස උතුරු නැගෙනහිර දෙමළ ජනතාව පමණක් නොවේ. අප මෙය පටු කොට දැක්වීමට පුරුදු වී ඇත. පවතින දේශපාලන, අර්ථ ක්‍රමය ගැන අතෘප්තියෙන් පසුවන විශාල පිරිසක් උතුරේ මෙන්ම දකුණේ ද ජීවත් වෙති. තවත් පිරිසක් කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වෙති. රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීමේ කතිකාව තුළ අප ඒ පිරිස නොසලකා හැර ඇත.

වාර්ගික, ආගමික භේදයකින් තොරව රටේ බහුතර පිරිසක් අද පවතින මේ දේශපාලන, අර්ථ ක්‍රමය ගැන අතෘප්තියෙන් පසුවෙති. විරැකියාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස ආදී ක්ෂේත්‍ර හා බැඳුණු ගැටලු රාශියකින් උතුරේ දෙමළ ජනතාවත් දකුණේ සිංහල ජනතාවත් වෙලී ජීවත් වෙති. රාජ්‍ය සේවය තූළ, ආණ්ඩුකරණය තුළ පුරවැසියනට හිමිවිය යුතු සම අවස්ථා ඇහිරී ඇත. එහෙත් අප මේ පොදු සාධකය අමතක කොට දමා ඇත. ශ්‍රී ලංකා රාජ්‍යය ගොඩනැඟීමේ කතිකාව තුළ මෙම පොදු සාධකය ආමන්ත්‍රණය විය යුතුව ඇත.

එක් පැත්තකින් සිංහල, දෙමළ ජනතාවගේ සමාජ, ආර්ථීක දුක්ගැනවිලිවලට සංවේදී වන අතරම අනෙක් පැත්තෙන් මේ සියලු ජන කොටස්වලට සමානත්වයෙන් සහ ගෞරවයෙන් ජීවත්විය හැකි බහුත්වවාදී සංස්කෘතියක් (සමාජ ක්‍රමයක්) ගොඩනැඟීම අරමුණු කරගන්නා තැනෙකට මෙම කතිකාව පරිවර්තනය විය යුතුය. සාමය හා සංහිඳියාව ඇති කිරීමත් ආර්ථීක දුක්ගැනවිලිවලට පිළියම් යෙදීමත් එකම කාසියේ දෙපැත්ත මෙන් එකිනෙක හා බැඳි පවතින්නක් බව අපගේ වැටහීමයි.

මේ අනුව ශ්‍රී ලංකා රාජ්‍යය ගොඩනැඟීමේ ව්‍යාපෘතිය තුළ ජනවාර්ගික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ද, ආර්ථීක වෘද්ධි ඉලක්ක ළඟා කරගැනීමේ සැලසුමක් ද ඇතුළත් විය යුතුව ඇත. හුදෙක් මෙම කාරණා දෙක එකවර ආමන්ත්‍රණය වන ආකාරයේ පුළුල් සමාජ කතිකාවක් ගොඩනැඟිය යුතුව තිබේ. මන්දයත්, උතරත් දකුණත් යා වන තැනෙක විසඳුම් ලක්ෂ්‍යය පිහිටා ඇති බැවිනි.

2011 ජනවාරි 20

සංජීව මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අළුත වට හිම වැස්ස පිරුවටක් සේ අතුල
මිදුල බිම කෙත් යාය මහ මගත් වියපත්ව
සිනාසෙද හඩන්නෙද හෙමින් ඉකි බිඳින්නෙද
දිග ඇදී දිගාවී නිසසලව සන්සුන්ව

හිමාලය මුදුන උස සීතලට හාදු දී
හුමාලය වී විලේ දිය රඟයි බොඳ වෙවී
ගිනි නැතිව දුම් නැගෙයි විල් තලාවේ පිරී
හිම තලාවට ගලා කඳුළු හැදෙමින් මිදී

පහන් රුක පහන යට නත්තලට ඇණ ගැසුව
කොල පාට නොගිලහුනු රිකිලි මල් සැරසිල්ල
මලානික විදුලි නෙතු කම්මැලිව පිය සලයි
ජනේරුව ආ වගක් ගිය වගක් අමතකව

පවන් වැල් පටලැවී සසලවී කරකැවෙයි
නිල මැකී අඳුරු වූ අහස දෙස නෙත් හෙලයි
හිම බැඳී සුද මිදුණ වෙවුලනා අගිසි අග
යන්තමට පණ තියෙන රතු රිබන් සැරසිල්ල

හොටින් හොට ගාවමින් පුරුදු කිචි බිචි නැතිව
උණුහුමක ඉඩ හොයන ගේ කුරුළු තුඩගකට
ගී ගයන හඬ ස්වර අහිමි කර සිර කෙරුව
ජනේරු​වෙ සුදුම සුදු සීතලේ ගිනි දළුව


රන්සිරිමල් ප්‍රනාන්දු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පසින් නැඟ සුපුෂ්පිත කුසුම් ගත රඳන්නී
මායාවි ප්‍රකෘතිය සඳුන් තුර වන්නී
ආලෝක වර්ෂයක කිඳීගෙන
ජීවයම ගෙනියන්න හැකිවාට
පාශයේ බැඳුණු ශාපය ඇයයි
පුරුෂයින් දඬුවමේ බඳින්නී

රහස් හදවත රහස් ඉසියුම්ව රකින්නී
දණ නමමි අවනතව නුඹ නිසා කියන්නී
අහෝ මැය උකුල් ඇටයෙන් මැවුණ
ඒවා ද නුඹ සිතයි
ඉතින් නුඹ සදහටම ලුහු බඳියි

නුඹෙන් ඉපදී නුඹ ම පතන්නී විනම් ඇය
කෙලෙස දඬුවම් රැගෙන වඩින්නී
පසින් නැඟ පස නසා සදාකාලික වෙමින්
ජීවයම ගැබ පුරා දරන්නී

නාභිගත නාභියක ප්‍රේමයෙන් ගැට ගසා
අංශුවෙන් අංශුවට තනන්නී
වේදනාවේ ගිලී අංශුවට නැසෙන තුරු
ඇය ම වේ හද බැඳුම් සිඳින්නී

එසේ වුව මා තැනූ දෙවිඳුනී
මා ගෙනා ගින්දරට මම ම කපු සපයමී
ආකාස ගංගාව ගුගුරවයි
දේව නියමය නසා
සැබෑවට මිනිසෙකුට ලංවෙමී

2011 ජනවාරි

සුභද්‍රා ජයසුන්දර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එකල්හි විල් දියෙහි
නැගි නෙළඹු පතක් මත
හුදෙකලාව සැතපුනි ඔහු
ලාහිරු බැසගිය අහසක
ලා රත් වෙළපෙති අතර
පාව යති සියොත් රැළ
ඔහු අත වූ වස් දඬුව
සුළඟ හා සුසර විය
රෝතුර වූ මද ලයක

කඳු අතර මං පෙතක
බිඳුන නූපුර හඬවමින්
පිය නැගුවාය ඇය
මහලු වූ මෝහිනය
වසඟ කළ නිලන නෙතු
බොර පැහැවු දියත්තකි
ලතුල් කුංකුම අඳුන
දියව ගිය සෙයක් බඳු
අඩ සඳෙහි ලප නැගී
අඳුරු හේමැල පිරී
සැබැවින්ම වියපත්ව
මේ හංස රංගනය
සමාප්තිය එළැඹුමද

ඔහු වයයි වස් දඬුව
මහත් වූ ශෝකයෙන්
බිඳුනු තානය වැකී
බිඳුනු නූපුර සැළේ
කාලයේ දෘත ලයට
රැයේ සළු රැළි ලිහේ

පාළු මංසලක් ළඟ
කෙම්මුරේ මැද රැයක
ඔහු අතට පත් දැරිවි
හැරපියා ඔහු දිනෙක
සෙනෙහසින් ආතුරව
වැදි රජෙකු හා බැඳි
පළා ගිය දිනෙක ඇය
අජානය අසු අරා
එබස් ඇසි මහළු තෙම
සසල විය රෝතුරව

දිවි පැහැර ගත් බඳුය
කාලයේ සුළං රොද
ඍතු ක්ෂය කරන බඳු
ඒ සුළඟ හේ කරන
සියත පත් වස් දඬුව
සිත් රිදුම් තවනු වැනි
වස් දඬුව අතින් ගත් මහලු තෙම
නෙළඹු පත මත සැතැප
වස් දඬුව වයනු මෙන
ළසඳ ලත් ඇසිල්ලෙහි

උපුල් සේනාධීරිගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සැවොම මේ දිනවල ‘විදූ’ ගැන කතා කරති. හඳගම, තමන් බලාපොරොත්තු නොවූ ආකාරයේ චිත්‍රපටයක් තැනීම ගැන උරණ වූවෝ ද, ‘ගුහාවෙන් එළිය‍ටවිත්’ හඳගම යථා ලොවට පිවිසියේ යැයි ඔල්වර නගන්නෝ ද ඒ අතර වෙති. තමන්ගේ ලෝකය තුළ හඳගම ‘සුපර් මෑන්’ කෙනෙක් වෙනු ඇතැයි සිතා සිටි අයෙක් ‘අක්ෂරය’‍ට ආ තහනම හමුවේ ඒ ඉටු නොවුනු කල වේදනා-

විඳිනු පෙනේ. ‘විදූ’ ගෙන ඒමත් සමග තවත් කෙනෙකුට පෙනෙන්නේ හඳගම ‘ස්පයිඩර් මෑන්’ කෙනෙක් වී ඇති බව ය. ඒ අනුව ඒ සැවොම විදූ ගැන කතා නොකරති. කතා කරන්නේම හඳගම ගැන ය. සිනමා කෘතියක් පිළිබඳ කෙරෙන කතිකාවකදී හෝ විචාරයකදී එහි නිර්මාපකයා පිළිබඳ සාකච්ඡා කිරීම අත්‍යාවශ්‍ය බව සැබෑවකි. එහෙත් ඒ එක් උප අංගයක් පමණි. අනෙක් අත‍ට කෘතිය හා කෙරෙන සමාජ කතිකාව නිර්මාපකයා ගොඩ නංවන ලද මානයන් ඉක්මවනු ඇත. ඒ පිළිබඳ හඳගම විසින්ම වරෙක ගුවන් විදුලි නිවේදකයෙකුට දුන් පිළිතුරක් උදාහරණ ලෙස ගත හැක.

නිවේදකයා: ඇත්තටම ඔබට කියන්න පුළුවන්ද මොකක්ද ඔබ ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රප‍ටයෙන් කියන්න හැදුවෙ කියල...?
හඳගම: මේ චිත්‍රපටය දැන‍ට ලක්ෂයක් බලල නම් එක් ලක්ෂ එක් වෙනි කියවීම ගේන්න මම කැමති නැහැ.
(ය‍ට කී ‘විචාරකයෙකුට’ හෝ ‘දෙන්නං බැටයෙකුට’ වහාම පෙනෙන්නේ හඳගමගේ ප්‍රකාශයේ ‘ලක්ෂය’ යන්න විය හැක. ඔහුගේ චිත්‍රපටය ලක්ෂයක් දෙනා නොබැලූ බවට ඔවුන් වහාම කරුණු ගොණු කරනු ඇත!)

සිනමාව කියවීම යනු වඩවා ගත යුතු මෙන්ම අභ්‍යාස කල යුතු දෙයකි. සිනමා විචාරය සඳහා මනා වූ කියවීමක් අත්‍යා‍වශ්‍ය වේ. වෙසෙසින්ම, සංහතික මාධ්‍ය (භාවිත වචනයට අනුව ජන මාධ්‍ය) උදෙසා ලියැවෙන විචාර පාඨනය කරනුයේ සාමාන්‍ය ජනතාව නිසාම ඒ සඳහා වන වගකීම ද ඉහළ නගී. සාමාන්‍ය පාඨකයා උදෙසා ලිවීම සරල කොට තැකීමම සිනමා ප්‍රේක්ෂකයා වඩාත් වර්ධනීය තත්වයක් වෙත ගෙන යන මග අසුරා ලීමකි. එහෙයින් සිනමාව උදෙසා හෝ සිනමාව ගැන ලිවීම සරල හෝ ශාස්ත්‍රාලීය ලෙස ‍වෙන් කිරීම ප්‍රවේශමෙන් කළ යුතු ය. සැබැවින්ම සරල විය හැක්කේ වහරන ආකාරය හෝ තර්කය ඉදිරිපත් කරන ස්වභාවය මිස අන්තර්ගතය නොවේ.

වර්තමානයේ මෙරට මතු නොව සමස්ත ලෝකය ගෙන විමසුව ද ප්‍රශස්ථව සිනමා කෘතියක් විචාරයට ලක් කරන්නන් දුලබ බව සඳහන් වන්නකි. කෙසේ වුවද අප කොදෙව්ව දෙස බැලීමේ දී තත්වය වඩාත් බිහිසුණු බව නම් පැහැදිලිය. යම් චිත්‍රපටයක් සෑදෙන විටම (ඇතැම් විට මුහුරත් උළෙල තැබූ පමණින්) ඒ සඳහා ‘බැටය දීමට’ සූදානම් කවුදැයි වටහාගැනීම අපහසු නැත. හඳගමට ප්‍රතිපක්ෂ‍‍ව නලින් ද සිල්වා නිතරම කෑ මොර ගසද්දී චින්තන ධර්මදාස‍ට ප්‍රතිපක්ෂව දීප්ති ගුණරත්න ආම්පන්න රැගෙන එයි. නලින් හෝ දීප්ති, සිනමා විචාරය සබැඳිව සිදු කරන සොයා යෑම මෙහිලා කිසිවකුට නොවැදගත් වන අතරම ස්වකීය ‘විචාර වීරයාගේ’ ‘රජිනි කාන්ත් - ස්වරූප’ ප්‍රහාර වලට හුරේ දැමීමට පමණක් අන් අය නැගී එනු පෙනේ.

ප්‍රසන්න විතානගේ සාදන චිත්‍රපටය පිළිබඳ සාකච්ඡාවකට නොගොස් ප්‍රසන්නට ‘බැටේ දීමට’ නම් කළ යුත්තේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය වෙන් කො‍ට යට කී ස්වරූප විචාර වීරයන් කිහිප ‍දෙනෙකුට ආරාධනා කිරීමය. ශාලාවේ කිසිදු විසංවාදයකට ඉඩ නොතබාම ඔවුන් කාර්යය ඉටු කරනු ඇත.

වීරයාගේ භූමිකාව පණ නොපොවන විචාරකයින් බොහෝ දෙනෙකු සිදු කරන්නේ ‘සුදු සීයා’ කෙනෙකු වීමය. ඔවුන්ට අනුව නම්, එලෙස පහර දීම ‘පව්’ ය. හේතුව කෘතිය විමසන කළ එය සමාජ යථාර්ථය මනාව ග්‍රහණය කොටගෙන තිබීම ය; එහි නළු නිළියන් අපූරුවට භාව නිරූපණය කර තිබීම ය; සංගීත නිර්මාණකරු මැනැවින් අන්තර්ගතය හඳුනාගෙන පරිපූර්ණ සංගීතයක් නිර්මාණය කොට තිබීමය; කැමරා අධ්‍යක්ෂවරයා කෘතිය‍ට සාධාරණය ඉෂ්ට කොට තිබීම ය; අවසන නිර්මාණකරු ප්‍රතිභාපූර්ණව සිය නිර්මාණය විශිෂ්ට ලෙස සාදා තිබීම ය!!

සිනමා විචාරක ‘සුදු සීයලාගේ’ ඉහත ආකාර සඳහා උදාහරණ පුවත්පත් සින‍මා පිටුවල ගහණ ය. කරුණු කෙසේ වුව, පොදු ප්‍රේක්ෂකයා යට කී දෙයාකාරයෙන් තරමකට හෝ ලං වීමට කැමැත්තේ සුදු සීයා වෙත ය. ලෙස්ටර් යනු සිංහල සිනමාවේ ලකුණ බව ද, පතිරාජ සහ ඔබේසේකර සාදා තිබෙන්නේ ම වාමාංශික නැඹුරුවකින් යුතු යථාර්ථවත් කෘති බව ද, හඳගමගේ කෘති ‍යථාව ග්‍රහණය කරගන්නා මුත් සාමාන්‍ය ප්‍රේක්ෂකයා‍ට දුරස්ථ බව ද, විමුක්ති තවම දේශීය සිනමාවේ මානයන් හඳුනාගෙන නොමැති බව ද, සෝමරත්න දිසානායක සාර්ථකම ළමා චිත්‍රපට සාදාන්නා බව ද කලින් දිනයක සුදු සීයා කතන්දර සමග කියා දී ඇති බැවිනි.

තත්වය මෙසේ වද්දී සිනමාව පිළිබඳ කෙරෙන හරවත් විචාරශීලී කතිකාව ගමන් ගන්නා දිශානතිය පැහැදිලි ය. සිනමා නිර්මාණකරුවන් ගල් ගසා මරණ හෝ සුරතල් කෙරෙන විචාර වීරයන්‍ට සහ සුදු සීයලාට සිය ‘බැට දීම්’ හා ‘කතන්දර කීම්’ කරන්නට ඉඩ දී සැබෑ සිනමා විචාරය‍ට මග විවර කළ යුතු ය. ය‍ට කී දෙපාර්ශවයේ සිනමා විචාර නොවන ප්‍රහාර හා කතන්දරවල යථාව හඳුනාගැනීමට සාමාන්‍ය පොදු ප්‍රේක්ෂකයා මෙහෙයවිය යුතු ය. ඒ සඳහා ශාස්ත්‍රාලීය හා නොවන මට්ටම් වලින් ප්‍රවේශ විය යුතු ය. ඉහත කී පරිදි එහිලා සරල විය යුත්තේ වහරන ආකාරය හෝ තර්කයන් ඉදිරිපත් කරන ස්වභාවය මිස අන්තර්ගතය නොවේ.

ප්‍රියන්ත ෆොන්සේකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මා මේ ලියන්නට යන්නේ අත් විදීමට භාජනය වන සිනමා නිර්මාණයක් සහ එම සිනමා නිර්මාණය පිළිබඳව ලියැවුන සිනමා ග්‍රන්ථයක් පිළිබඳවයි. බඹරු ඇවිත්, අහස් ගව්ව, පාරදිගේ ජීවිතයට ඔබා ගත්ත යුගයේ පටන් පුරහඳ කලුවර, ඉර මැදියම, තනි තටුවෙන් පියඔන්න, සුළඟ එනු පිණිස කියවා ගත් යුගයේ පස්සේ හොඳ චිත්‍රපටයක් බලන්න DVD කඩවල රස්තියාදුවුන අයෙක් විදිහයට මට හැඟෙන දේ ලියන්නම අවශ්‍යයයි.

ඒක මගේ දැනීම සහ හැගීම (චිත්‍රපටය සහ ග්‍රන්ථය ආශ්‍රීතව) අක්ෂර ගත කිරීමකි. ඒ සඳහා සිංහල සිනමාවට එකතු වුන වෙනත් චිත්‍රපට උපමා කොට ගැනිම හෝ එවන් චිත්‍රපටයකට සමාන කිරීමක් උදාහරණයක් විදියට ගත යුතු නොවේ. එහෙම කියන්න හේතුවක් තියෙනවා. How I Wonder What You Are කියන්නේ වෙනම චිත්‍රපටයක්. ආදරයේ අංශුමාත්‍රයක් (මේක ඔවුනගේ හැදින්වීමක්).

How I Wonder What You Are විසිල් ගහමින් බලන්න පුලුවන් රුජිනිකාන්ත් වර්ගයේ චිත්‍රපටයක් නොවෙයි. පොප් කෝන් කන ගමන් පෙම්වතියගේ කරට අත දමාගෙන හාදූ දිදී බලන්න පුලුවන් වෙයි කියලත් හිතන්න අමාරුයි. අවංකමක් නැතුව සිනමාව රසවිදින අපේ චිත්‍රපට රසිකත්වයේ හෘද සාක්ෂියට අවංක වෙමින් සිනමා ශාලාවේ අසුනකට බරවෙන්න පුලුවන් මොහොතක් හදා ගන්න පුලුවන්. චිත්‍රපට කියවන්නන්ට මේ චිත්‍රපටය වෙනස් චිත්‍රපටයක් වේවි.

සිනමා භාවිතය තුලදී ආලෝකකරණය, රූපරාමුවේ කොම්පොෂිෂි න්, සංස්කරණයේ න්‍යායන් ගැන විග්‍රහ කරන්න මම උත්සාහ නොගන්නෙමි. ‘සිනමාව ඔබම වීම සහ ඔබම සිනමාව වීමේ තනිකම’ කෘතියේ අඩංගු බොහෝමයක් ලිපි වල ඒ කාර්ය ඉටුකර තිබෙනු කියවා ගත හැකිවිය. නමුත් නොලියා තිබුනේ සිනමාපටය ජනතාව අතරට ගෙන යාමට අධ්‍යක්ෂකවරුන්ට ලබා දිය යුතුව තිබෙන පන්නරයයි. (ඒ මට හිතෙන හැටිය).

ඇතැම් විට තම චිත්‍රපටය සමඟ කෘතිය එළිය දක්වන්නේ යයි සිනමා නිර්මාණය පිළිබඳව ප්‍රබෝදයක් චිත්‍රපට ප්‍රෙක්ෂකයන් අතරට කාන්දු කර නැවත එය How I Wonder What You Are නැරඹීමට පෙළඹවීමේ දීර්ඝ ව්‍යපෘතියක් ලෙසත් විය හැකිය. එය ඇතැමුන්ට නම් වෙනස් ආකාරයක තත්වයක් ලෙස දැකිය හැකි වුවත්, විවේචනයට මගක්හදාගත හැකි වුවත්, වර්ථමානයේ ටෙලිවිෂන් සහ FM නාලිකා නැරඹවීමට සහ ඇස්ස වීමට දෙනු ලබන තෑගි වල වපසරිය බලන විට තමන්ගේ සිනමා කෘතිය පිළිබඳව කෘතියක් මුද්‍රණය කිරීම ඔලුවලට හොද වැඩක් මිසක් ටෙලිවිෂනය සහ FM නාලිකා වගේ තමන්ගේ ශ්‍රාවක,ප්‍රේක්ෂකයින් ඇන්ද වීමක් එතන නැත.

How I Wonder What You Are මුලින්ම නරඹන්න පුලුවන් වුනේ චිත්‍රපට සංස්ථාවට අයත් තරංගනී ශාලාවේදියි. මේ කතාව මම මෙතැනට ගෙන්නේ ආදරයේ අංශුමාත්‍රයේ හෘදස්පර්ශිත වුන සිද්ධියක් ලියා තබන්නයි . How I Wonder What You Are චිත්‍රපටය බලන්න මගෙත් එක්ක ගියේ විධායක ශ්‍රේණියේ වෘත්තීමය ජීවීතයක් ගෙවන තරුණ හිතවතෙක්. නමුත් ඔහු ගැන මා දන්නා පරාසය තුලදී මේවගේ වෙනස් කියවීමක් තිබෙන සිනමාවක් ඔහුට කොහොම ජීර්ණය වේවිද කියන කාරණය පිළිබදව මගේ හිතේ තිබුණෙ කුකුසක්.

නමුත් How I Wonder What You Are නරඹා ශාලාවෙන් එළියට පැමිණි ඔහු ඒ ගැන වඩාත් තෘප්තිමත්ව තමන්ගේ අදහස ප්‍රකාශ කරන්නට පටන් ගත්තා විතරක් නොවෙයි ඔහු විසින් එය වෙනත් කිහිප දෙනෙකුට නැරඹිමට ද ආරාධනා කරන්නටද පෙළඹින. තව කාරණයක් වන්නේ ඔහු සරල සිනමා රසිකයෙක් මිසක් ගැඹුරු සිනමා කියවීමක් ඇති නරඹන්නෙක් ද නොවීමයි.

එහෙනම් ඔහුට How I Wonder What You Are අහු වෙන්නේ කොතැනින්ද? D ගේ බලාපොරොත්තුවක් සහිතව බලා හිදීමේ ක්‍රියාවලිය ඇතුලෙන් ද, නැත්නම් කැතීගේ ජීවිතය හරහාද, එහෙමත් නැත්නමි චිත්‍රපටියේ වැඩි ප්‍රමාණයක් පසුබිමෙන් ඇසෙන යුද්ධයෙන් ලද ප්‍රමෝදයේ ප්‍රචාරයන් ද ඔහුඑය කොතැනකින් අල්ලා ගත්තත් චිත්‍රපටය විදගැනීමට ඔහුට හැකිව තිබෙය. චිත්‍රපටය තුල මහේන්ද්‍ර ගේ චරිතයෙන් පැවසෙන පරිදි මේ දුපතේ කොයි පැත්තට ගියත් මුහුද එතනින් එහා අහිමි ජීවිත වලට මෙය නොදැනේවිද?

ලංකාවේ සිටින අලෙවි ප්‍රවර්ධකයින් හෝ අලෙවිය සම්බන්ධ අනෙකුත් චරිත සිතා සිටින පරිදි ඕනෑම කුණු හීනයක් පහල පාන්තිකයින්ට විකුණා ගත හැකි ඉලක්කයට වඩා තමන් විදවීමට භාජනය වුන ජීවිතය නැවත රිදී තිරයේ නැරඹීමට ප්‍රේක්ෂකයින් අකමැතිද?

තමන් ගේ ප්‍රශ්න සඟවා අනුන්ගේ විනෝදයට සිනාසීමට හැකි සිනමාවට වඩා තමන්ගේම ප්‍රශ්න තමන්ගේ ඉදිරියට ගෙනවිත් තමන් විසින් ම නැවත කියවීම ජීවිතයට කොයිතරම් වැදගත්ද?

How I Wonder What You Are හි D ගේ බලාපොරොත්තුව නරඹන්නාගේ බලාපොරොත්තුව වී තිබිය නොහැකි යැයි කියන්නට පුලුවන්ද?

එසේ කීමට හැකිනම් ඔහු තමන්ව තමන් තුලම කුහක ලෙස සඟවා ගෙන ඇතැයි විශ්වාස කල හැකිය.

චිත්‍රපටය පුරාම වාගේ නරඹන්නන්ට ඇසෙන 30 වසරක යුධ ජයග්‍රහණය තෙක් ඇදෙන මාධ්‍ය වාර්ථාකරණයෙන් හැගෙන්නේ කුමක්ද?

ඒ වෙන කොටත් ලාංකීය සමාජය තුලට යුද්ධය ජරාජීර්ණ ලෙස ප්‍රවිෂ්ඨ වෙලා මෝරමින් තිබුණෙ එක් පැක්තකින් සාමය උදෙසා ව්‍යාපාරයන්ද ,අනෙක් පැත්තකින් දේශපාලන අවශ්‍යතාවයන් උදෙසා යුද්ධය පාවිච්චි කිරීමටද සිදුවෙමින් තිබුණු අන්දම වටහා ගැනීමට අපහසු නොවෙයි. මේ මැද්දේ හිටපු සාමාන්‍ය නාගරික ජීවිත වලට කා වැදිලම තිබුණේ ඊළඟ නිමේෂය ගැන කිව නොහැකි තත්වයකි. ඒවා ඇතුලේ ජීවිතයට ලැබීම් සහ නොලැබීම් ගොඩ නගා ගැනෙමින් තිබුණ අපේක්ෂාවන්ට වඩා අපේක්ෂා භංගත්වයන්ද බලාපොරොත්තු මිසක බලාපොරොත්තු ඉටු නොවීමද ආදරය මත තිබිය යුතු බොහෝ සබඳකම් වෙනත් බාහිර සාධකයන් මත දී බිද වැටීම්ද D ජීවත් වුන නාගරික සමාජය තුල ඔඩු දුවමින් තිබුණ සිහින සැබෑවීමක් පෙනෙන මානයකවත් නොතිබිණ.

මෙය දකුණට සේම උතුරට ද පොදු කාරණයක් විය. ඒ නිසාම යුදධයේ අවසන් අදියර ගැන සහ යුදධයේ ජයග්‍රහණය ගැන ලොකු බලාපොරොත්තුවක් තිබිණ. (දැන් යුද්ධය අවසන්ව තුන් වසරකටත් ආසන්නය)

How I Wonder What You Are තුලදී D මේ හැම තැනකම ඇවිදිනවා වගේ හැගීමක් එන්නේ ඔහු තුල තිබෙන බලාපොරොත්තුව සහ යුධ ජයග්‍රහණය සදහා තිබෙන්නා වු බලාපොරොත්තුව චිත්‍රපටය තුල සමාන්තර ප්‍රේක්ෂකයාට අත්විදීමට ලැබෙන නිසාය.

කෙසේ වුවත් විකල්ප ධාරාවක් ඔස්සේ How I Wonder What You Are නැරඹීමට
අවස්ථාව උදාවෙන නිසාම බොහෝ දෙනෙක් චිත්‍රපටය නැරඹීමේ උනන්දුවකික් පෙලෙන බවත් කිව යුතුය. ඒ පෙලඹවීමට ඉඩක් හදාගන්න එක වටින බවත් ලිවිය යුතුය.

අනිත් කාරණය වන්නේ චිත්‍රපටය පුරාම නිතර ඇසෙන යුධ ජයග්‍රහණයට ප්‍රවේශ වීමේ මාධ්‍ය වාර්ථාකරණය වෙනුවට මේ වන විට සමාජය තුල තිබෙන වෙනත් අර්බුදයක් වුවද, උදාහරණයක් ලෙස බඩු මිල ඉහල යාම ගං වතුර තත්වයත්, දේශපාලන අර්බුද වුවත් D සමඟ ප්‍රේක්ෂකයාට අසන්න ලැබුණොත් කියවා ගන්නට ලැබුණත් තවමත් D ට ඇත්තේ බලාපොරොත්තුවක් මිස යුධ ජයග්‍රහණයෙන් පසුව ජනතාව බලාපොරොත්තු වුන සිහින රාජ්‍යය නොවන බවත් වටහා ගත හැකිය. එවිට ඒ ඔබම වනු දැනේ. නැතිනම් D වාගේ කෙනෙක් දැයි ඔබ ඔබ ගැනම සිතනු ඇත. How I Wonder What You Are නරඹලාම ඒ ගැන හිතලා බලන්න. එවිට ආදරයේ අංශුමාත්‍රයක් ඔබටම අසුවනුද ඇත. එමෙන්ම සිනමාව ඔබම විම සහ ඔබම සිනමාව විමේ තනිකම ඔබටද වටහා ගන්නට හැකියාව ලැබෙනු ඇත.

ඒ සදහා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගේ උස, පළල, දිග, කොණ්ඩයේ හැඩය, රැවුල වවලද,නැත්ද, පෞද්ගලික එදිරිවාදිකම් තියනවද, හොරෙක්ද, තක්කඩියෙක්ද, නැත්නං මේ අධ්‍යක්ෂවරුන් ආවොත් මගේ පැවැත්මට තර්ජනයක් විමට ඇති ඉඩ වැඩි යැයි කියා නොසිතෙනු ඇත.

එහෙම නං.....,
කුහකත්වය වෙනුවට How I Wonder What You Are.

පසු ලිපිය-
How I Wonder What You Are නරඹන්න, අධ්‍යක්ෂවරුන් දෙදෙනා ගැන සොයන්නේ නැතුව. එවිට ඔබට චිත්‍රපටය ඇතුලේ ඔවුන් දෙදෙනාව වඩාත් පැහැදිලිව හොයා ගැනීමට හැකිවනු ඇත.

පරාක්‍රම ඒකනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ප්‍රිය මහේන්ද්‍රන්,

මේ ලිපිය ඔබ අතට හමුවීමටත් නොවීමටත් ඉඩ තිබේ. ලැබුණත් ඔබ සිංහලෙන් ලියන ලිපිියක් කියවන්නේ කොහොම ද? සිර ගතව සිටින ඔබට අවසාන වතාවට ලියුමක් ආ දවසක් තිබේ ද? සමහර විට එවැනි දවසක් නැතිවා විය හැකි ය. එලෙස ලියුම් ලියන්නට කවරකු හෝ ඇත්නම් ඔබ වසර 18ක් ම නඩු නැතිව 'ලොකයේ උතුම් ම' රටේ සිර ගෙදරක තනි වී ඉන්නේ කොහොම ද? එය දැන දැනත් මා මේ ලිපිය ඔබ නමට ම ලියමි. මා ලියන්නේ ඔබට නොව මට ම විය හැකි ය. මා ද බොහෝ කලකට පෙර-

ඔබ මෙන්ම සිර ගතව සිටි නිසාත් සිර ගෙදර ලියුම් බෙදන වේලාවට පොදි කකා ගෙදරින් ලියුමක් එවා ඇත්දැයි දෙසවනින් පමණක් නොව ඇස්වලින් ද අසා සිටි සැටි මට තවම මතක නිසාත් ය. ලියන්නට අලුතින් දෙයක් නොතිබූ දවසකත් පරණ දේම කියමින් සහ අසමින් අම්මා එවූ ලියුම් ගෙන ආ සිසිල අදත් මහද පුබුදුව යි.

මා මේ ලියුම ලිවීමට හේතු වන ඊටත් වඩා වැදගත් තාරණයක් ද තිබේ. එනම් සමාජයේ හයි හත්තියක් නිසාම නැති බැවින් ම නඩු නැති මේ සා දීර්ඝ දඩුවමක් විදින ඔබ වැන්නන් වෙනුවෙන් අප වැනි පුරවැසියන් ද වග කිය යුතු නිසා ය.

අප සිරගෙදර ගියේ ද බොහෝ දෙමළ තරුණයන් මෙන් ආයුධ සන්නද්ධ අරගලයක් මගින් රාජ්‍ය බලය අල්ලා ගන්නට දැරූ උත්සාහයක් නිසා ය. ඒ මෙයට වසර 40කට පෙර ය. එනමුත් සිංහලයින් වූ අප කවරකුවත් නඩු නැතිව වසර දෙක තුනකට වඩා සිර ගෙදර සිටියේ ද නැත. සිංහල කැරලිකරුවන් ඊටත් වඩා දරුණූ අරගලයක් මගින් රාජ්‍ය බලය අල්ලා ගන්නට ඉන් වසර 18කට පසු යළිත් වතාවක් උත්සාහ දැරූහ. මරා දැමීම් එමට සිදු වූ නමුත් අත් අඩංගුවට පත් කිසිම සැකකරුවකු වසර පහ හයක්වත් නඩු නැතිව සිරගෙදර දමා සිටියේ නැත. එහෙත් දෙමළ ඔබ නඩු නැතිව වසර 18ක්ම සිර ගෙදරය.

ඔබ දන්නවාද දරුණූ යුද පාලනයක් තිබෙන මියන්මාරයේ වැඩිම කාලයක් දීර්ඝතම කාලයක් සිර ගතව සිටි දේශපාලන සිරකරුවා ඔබට වඩා හිරබත් කෑවේ එකම එක අව්රුද්දක් බව. ඒ ජනමාධ්‍යවේදියකු වූ වින් තින් ය. ඔහු නිදහස ලැබුවේ වසර 19කට පසු ය. ලොව පුරා දීර්ඝතම කාලයක් නඩු නැතිව දේශපාලන හේතූන් මත සිරගතව සිටින පුද්ගලයින් අතරට ඔබ එක්වන බව අවිවාදිත ය. ඉන් ඔබට ඇති වැඩක් නැති බවත් මම දනිමි.

ඔබ උදෑසන, දහවල් සහ රාත්‍රී කෑම පෝලිමේ හැමදාම එකම වේලාවට හත් දහස් වරක් තරම්වත් යන්නට ඇත. ඔබ ඇඟ සොදා ගන්නේ නලා හඬට ද? ඔබේ සිර මැදිරියේ තවත් කී දෙනෙක් සිටින්නේ ද? වැසිකිළි කොතරම් අපිරිසිදු ද? අවදිවන්නේත් නින්දට යන්නෙත් නියෝග කැරෙන වේලාවට ම නේද ? තීරණයක් නැතිව, එවැනි ජීවිතයක් වසර ගණනාවක් ගෙවීම පණ පිටින් වැළලීමක් වැනි මානසික වදයක් තේරුම් ගන්නට නම් කව්රුන් වුවත් සිරගෙදරක ම සිටිය යුතු ය.

ජීවිතාන්තය දක්වා එනම් විසි අව්රුදු සිර දඩුවමක් ලබන සිරකරුවකුවුවත් යහපත් කල් ක්‍රියාවෙන් ගත කළ විට අව්රුදු 15ක් ගතවන්නට පෙර නිදහස් වෙනවා ඔබ දැක ඇති. ඒ සෑම අව්රුද්දකට මාස හතරක් අඩුවන නිසා ය. ඔබට කිසිදු දඬුවමක් නැත. එහෙත් තවම සිර ගෙදර දමා සිටින්නේ කාගේ උවමනාවට ද? කාගේ නියෝගයකට ද? මේ අපරාධයට වගකිය යුත්තකු සොයා ගැනීමට නොහැකි වන බව නම් මට ඔබට කිව හැකි ය.

ඔබ ගැන ලියුම් කරදහියක් ලියා කොළඹ වැඩ වාසය කරන උතුමන්ලාට යවන්නට කෙනෙක් සිටියේ නැතිවා විය හැකි ය. එසේත් නැත්නම් අතුරුදහන් කළ සිය දරුවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලාඇඹිලිපිටියේ මාපියන් 1990 ගණන් මුල් භාගයේ යැවූ 200 ඉක්ම වූ ලියුම් කුණු කූඩයට ගියා සේ ඔබ වෙනුවෙන් මා පියන් කළ අභියාචනා රජ ගෙදර කුණුකූඩයට ගියා විය හැකි ය. මනුස්සකමක් ඇති බලධාරියකු අතට ඔබට කරනු ලබන අපරාධය දැන්වීමට ක්‍රමයක් නොතිබුණේ ද? එසේත් නැත්නම් දෙමළුන් වෙනුවෙන් උණුවන බලධාරී සිත් සතන් ශ්‍රී ලංකාවේ නැතුවා වත් ද?

සිරගත වීම වාසනාවක් වන්නේ කොහොමද? නමුත් මඩකළපු බන්ධනාගාරයේ ම සිරගතව සිටින්නට ඉඩ ලැබීම ඔබට ජීවත්වීමට ලද අවස්ථාවක් වූවා විය හැකි ය. ඔබේ වසසේම වූ ළමා සොල්දාදුවන් යැයි චෝදනා කොට අත් අඩංගුවට ගත් දෙමළ යෞවනයින් 26 දෙනෙකු 2000 වසරේ ඔක්තෝබර් 24 වන දින බණ්ඩාරවෙළ බිදුණවැව දී කපා කොටා මරා දැමුණූ බව සමහර විට ඔබ නොදන්නවා විය හැකිය. එම සාහසික අපරාධයත් අවසානයේ දී වරදකරුවකු නැති තවත් සමූළ ඝාතනයක් බවට පත් විය. පසුව දැන ගැනීමට ලැබුණේ එළෙස එල්ටීටීඊ සැකකරුවන් යැයි රඳවා සිටි ලාබාලයින් අතර යාචක වෘත්තියේ යෙදුණු දරුවන් ද සිටි බව යි. වැරදීමකින් හෝ පුනරුත්ථාපනයට යැයි ඔබත් එහි යැවුණා නම් අහෝෟ කුමක් සිදු වන්නට තිබුණි ද? එබැවින් ඔබ සිර ගත කර සිටින්නේ ඔබගේම ආරක්ෂාවට යැයි බලධාරියකු කීවෙත් ඊට උරණ නොවන්නෟ

මා කියැවූ පුවතට අනුව දහ හතර හැවිරිදි ලාබාලයකුව සිටිය දී ළමා සොල්දාදුවකු යැයි කියා ඔබ අත් අඩංඟුවට ගැනුණේ 1993 දී ය. කිසිදු චෝදනාවක් නැතිව ඔබ තවම මඩකළපුව බන්ධනාගාරයේ ය. වසර 18කි. සමහර ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් සිරගතව සිටින දේශපාලන සිරකරුවා ඔබ විය හැකි ය. ඔබට ඒ වාර්තාව හිමිවන්නේ සිංහල ආධිපත්‍ය රාජ්‍යක සුළුතර දෙමළ ප්‍රජාවෙහි සාමාජිකයකු වීම නිසා පමණක් නොවේ. එම දෙමළ ප්‍රජාවෙහි ද අනෙකකු වීම නිසා ය. නැත්නම් සොක්කකු වීම නිසා ය.

ඔබ ළමා සොල්දාදුවකු වූයේ යැයි කියන එකළ ඔබගේ නායකයා වූ කරුණා අම්මාන් අද රජ ගෙදර පරෙවියෙකි. අඩුවක් පාඩුවක් නැත. ඔහු අද, එදා ඔබ සටනට යැවූ රජයේ හමුදාවන්ගෙන් ආරක්ෂාව ද ලබයි. එමෙන්ම ඔබගේ තවත් නායකයකු වූ ළමා සොල්දාදුවකු ලෙසම සටනට බැදුණු පිල්ලෙයාන් අද ඔබ රදවා සිටින සිර ගෙදර අයත් මඩකළපුවේ බලගතු දේශපාලන නායකයෙකි. මහ ඇමති ය. ඔව්න් අද පෙනී සිටින් වෙනත් නම් වලිනි. ඔව්න්ගේ ඒ ඇත්ත නම් ඔබ දන්නේ නැතිවා විය හැකි ය. පුදුමයි නේද? ඔබ අව්රුදු 18ක් නඩු නැතිව සිර ගෙදරය. ඔබේ යුද්ධ නායකයෝ රාජ්‍ය පාලනයේ හවුල් කරුවන්ව රජ සැප විදිති.

මා ඔබ ළමා සොල්දාදුවකුව සිටියේ යැයි කියන්නේ නැත. එසේ කීමට මා කව්ද? එවැනි සාක්ෂිකවරකු විසින්වත් සපයා නැත. අධිකරණයකින් වරදකරුවකු කැරෙන තුරු ඕනෑම අයකු නිර්දෝශී ය. මහේන්ද්‍රන්, මා ඔබ සළකන්නේ නිර්දෝශී අයකු ලෙස ය.

එපමණක්ම නොවේ. ඔබ සිර ගෙදර තබා ගෙන සිටින්නේ නඩුවක් පැවරීමටවත් කරුණූ නැතිවය. දෙමළ ජනයාගේ අරගලය සහ වෙසෙසින් ම මඩකළපු දෙමළ ජනයා ගැන ලියූ ලිපි දෙකක් නිසාවෙන් තිසෙයිනායගම් නම් දෙමළ ජනමාධ්‍යවේදියකු නඩු අසා වසර 20කට සිර ගත කළ බව ඔබ දන්නවා ද? නමුත් ඔහුට ඔබගේ වාර්තාව බිදීමට අවාසනාවක් තිබුනේ නැත. ජනාධිපති උතුමණෝ පසුගිය ජගත් ජනමාධ්‍ය දිනය වෙනුවෙන් සමාවක් දී ඔහු නිදහස් කළෝ ය. ඒ ඔහුගේ නිදහස වෙනුවෙන් ඇති වූ දෙස් විදෙස් ව්‍යාපාර නිසා ය. එහෙත් මහේන්ද්‍රන් ඔබ කව්ද? ඔබ වැනි දෙමළ සොක්කකු වෙනුවෙන් මොන ව්‍යාපාර ද? ඔබ නිදහස් කර ගැනීම අවශ්‍ය කාටද? මොන එහෙකට ද?

අනෙත් අතට ඔබ වැනි සොක්කන් නිදහස් කරන සේ ව්‍යාපාර ඇති වුවත් ඒවාට සවන් දෙන්නේ කව්ද? පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රාසයියා ද්වාරකා ශිෂ්‍යාව පැහැර ගැනුණේ යුද්ධය අවසන් වූවාටත් පසු ය. ඇය නිදහස් කරන සේ වෙනුවෙන් සරසවි ශිෂ්‍ය පිරිස් රට පුරාම පෝස්ටර් ඇලවූහ. ලිපි ලියූහ. එහෙත් ඇය නිදහස් කරනු තබා ඇයට සරසවියේ විභාගයට පෙනී සිටීමේ අවස්ථාවත් බලධාරීන් ලබා දුන්නේ නැත. කිලිනොච්චියේ පදිංචිකාරියක වූ ඇය ඔබ වැනි ම අසරණියක බවට සැකයක් නැත. ඔබ ඊටත් වඩා පුදුම වනු ඇත්තේ එම අපරාධයට හවුල් වූ රටෙහි සියළු විශ්වවිද්‍යාල අයත් ප්‍රතිපාදන සභාවේ සභාපති ද කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් මෙන් කළකට පෙර ආයුධ සන්නද්ධ සිංහල අරගලයක නායකයකු වූ බව දැන ගත් විට ය.

මහේන්ද්‍රන් ඔබ නොදන්වාට මේ රටේ මිනීමරුවන් බවට අධිකරණය මගින් තීරණය වන බලපුල්වන්කාර පිරිස් ජනාධිපති උතුමාණන්ගේ සිත උණු වී නිදහස ලබා අපූරුවට වැජඹෙති. පසුගිය ජගත් ස්ත්‍රී දිනය වෙනුවෙන් එතුමාණෝ මිනීමැරුමකට වැරදිකාරිය වී සිරගෙදර සිටි දේශපාලන නායිකාවක් නිදහස් කර යැවූහ. දේශපාලන පවුලකට සම්බන්ධව සිටියේ නම් අඩු ගණනේ කරුණා අම්මාන්ගේ කාගේ කව්රු හරි වූවා නම් ඔබ අද සිර ගෙදරින් පිට ය.

ඔබ තවමත් සිරගෙදර දැයි මම නොදනිමි. සමහර විට ඔබ වැන්නකු සිර ගෙදර නැතැයි කියා බලධාරීන් කියන්නටත් ඉඩ තිබේ. එසේ වෙතත් ඔබේ කතාව තමන්ගේ කතාව වන සිය ගණනාවක් සමහර විට දහස් ගණනාවක් වන දෙමළ තරුණයින් අපේ රටේ බන්ධනාගාරයන්හි සිර කර සිටිති.

අනෙත් අතට ඔබ නිදහස් කළත් කොහේ යන්නද? කොහි ගියත් කාට මොකද? ඔබෙන් සම්මුඛ සාකච්ජා ගන්නට හෝ ඔබේ ජීවිත කතාව ලියන්නට ඕනෑ කාටද? ගෙදරක්, ගමක්, රටක් නැති මිනිස්සු. ඔබ අද මෙරට දහ දහස් ගණනාවක් දෙමළ ජනයාගේ සංකේතයකි.

මා මේ ලියුම ලීවේ ඔබ ගැන පළවූ පුවත දුටු සැණින් ඇති වූ අසරණ සමඟ මුසු වූ කේන්තිය නිසා ය. වරදක් ඇතොත් සමා වන්න.

මෙයට,
නොදුටු පුරවැසි,

සුනන්ද දේශප්‍රිය
ජීනීවා, ස්විස්ටර්ලන්තය

සුනන්ද දේශප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails