Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඒ හරියට ම 1990 අවුරුද්දේ පෙබරවාරි මාසයේ 11 වෙනි දා. මැන්ඩේලා, අවුරුදු විසි හයකට ආසන්න කාලයක් දේශපාලන සිරකරුවෙකු හැටියට Robben දූපතේ ගෙවා දැමූ කඳවුරු ජීවිතය අවසන් කරන දවසින් Invictus සිනමා පටය පටන් ගනියි.

ඔහුගේ නිදහස, දකුණු අප්‍රිකානු ජනගහනයෙන් අති බහුතරයක් වූ ස්වදේශීය කල්ලන්ගේ පැත්තේ සිට බැලූ විට, සියවසකට ආසන්න කාලයක් තිස්සේ වර්ණභේදවාදයට එරෙහිව ඔවුන් ගෙන ගිය අරගලය විජයග්‍රහණය කිරීමකි. එමෙන් ම එය ඔවුන්ට - ඔවුන්ගේ ඒ අහිමි වී ගිය ගෞරවය, දේශපාලන බලය සහ ජාතික අනන්‍යතාවය යළි තහවුරු වීමකි. සුද්දන්ගේ පැත්තෙන් බැලූ විට, මැන්ඩේලා ගේ නිදහස,

මෙතෙක් කල් තමන් අතේ පැවති දේශපාලන බලය තමන්ගෙන් ගිලිහී යාමකි. සුදු ජාතිකයන් දකුණු අප්‍රිකාවට පැමිණීමත්, ඔවුන් එහි ජනාවාස පිහිටුවා ගැනීමත්, දාහත්වන සියවස තරම් මෑතක දී සිදු වූවක් වුවත්, දකුණු අපි්‍රකාවේ ජීවත් වන සුදු ජාතිකයන්ට දකුණු අප්‍රිකාව යනු වෙන කිසිවක් නොවේ., එය ඔවුන්ගේ ද මාතෲ භූමියයි. ඒ නිසාම ස්වදේශීය කල්ලන් අතට යළි බලය ලැබීමේ නිමේශය යනු සුදු මිනිසුන්ට ඔවුන්ගේ නිදහසත්, අභිමානයත් ජාතික අනන්‍යතාවයත් අර්බුදයට ඇද හෙළන තීරණාත්මක නිමේශයයි.

Robben දූපතේ සිට මැන්ඩෙලා රැගත් ආරක්ෂක රථ පෙළ හරියට ම එක් පසෙක වැරහැලි හැදගත් - කේඩෑරී වූ - ස්වදේශීය කලු අප්‍රිකානු දරුවන් පාපන්දු ක්‍රීඩාවේත්, අනෙක් පස සුදු ජාතික ක්‍රීඩකයන් රගර් ක්‍රීඩාවේත් යෙදෙන ක්‍රීඩා පිටි දෙකක් මැද්දෙන් වැටී ඇති මාර්ගයක් ඔස්සේ ඇදී යයි. සුද්දන් පුදුමයෙන් බලා සිටිද් දී ස්වදේශීය කලු ජාතිකයෝ මැන්ඩෙලා වෙනුවෙන් ප්‍රීති ඝෝෂා කරති.

"මේ දවස හොඳට මතක තියා ගන්ඩ", තමන් පසු කර ඇදී යන රථ පෙළ දෙස බලා සිටින සුදු ජාතික පුහුණු කරු එහෙම්පිටින්ම කළකිරීමට පත් වූ ස්වරූපයෙන් ඔහුගේ ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටියි. "මේ තමයි අපේ රට - දකුණු අප්‍රිකාව - බල්ලන්ගේ අතට පත් වෙන දවස....."

එහෙත් ඒ කිසිවක් සුද්දන් සිතූ ලෙස සිද්ධ නොවෙයි. සියවස් ගණනාවක් තිස්සේ තමන්ගේ ජනවර්ගය පීඩාවට පත් කළ සුද්දන්ගෙන් පළි ගන්නවා වෙනුවට - අහිමි වී යන්නට නියමිත සුද්දන්ගේ අභිමානය සහ ඔවුන්ගේ අනන්‍යතාවය රැක දීම වෙනුවෙන් මැන්ඩෙලා වෙහෙසෙ යි.


කෙටියෙන් සහ සරළව Invictus මැන්ඩෙලාගේ ඒ උත්සාහය පිළිබඳව කතාන්දරයයි.

යළි කිසි දිනෙක, එක් ජාතියකට තවත් ජාතියක් පාගා දමන්නට තමන් ඉඩ නො තබන බව ජනාධිපති ධූරය භාර ගැනීමෙන් පසුව කරන පළමු කතාවේ දී ම මැන්ඩෙලා ඔහුගේ ජනතාව ඉදිරියේ පොරොන්දු වෙයි. තවදුරටත් මැන්ඩෙලාට ඔහුගේ ජනතාව යනු ස්වදේශීය කලු ජාතිකයන් පමණක් නොවේ. මුලු ජනගහනයෙන් සියයට නමයකට ආසන්න සුලුතරයක් වූ සුදු ජාතිකයන් ද, තවත් ජන කණ්ඩායම් හා සියල්ලන් ම ඔහුට - ඔහුගේ ජනතාව යි. මැන්ඩෙලා ඔහු දුන්නු ඒ පොරොන්දුව වෙනුවෙන් වැඩ කරයි. ඒ වෙනුවෙන්, බැලූ බැල්මට ඉතාමත් ම අවදානම් සහගත යැයි පෙනෙන තීන්දු තීරණ ගැනීමට පවා ඔහු නො පැකිළෙයි.

එක්තරා දවසක දී, ජනාධිපති ආරක්ෂක අංශයට තවත් නිළධාරීන් කිහිප දෙනෙකු උවමනා යැයි ඔහුගේ කලු ජාතික ආරක්ෂක ප්‍රධානියා මැන්ඩේලාට දැනුම් දුන් විට මැන්ඩේලා, කලින් පැවති සුදු පාලනය වෙනුවෙන් සේවය කළ සුදු ජාතික ආරක්ෂක නිළධාරීන් හතර දෙනෙකු ගේ නම් ඒ සඳහා යෝජනා කරයි. කලු ජාතික ආරක්ෂක ප්‍රධානියා තමන්ගේ විරෝධය ප්‍රකාශ කරද්දී ත් - මැන්ඩේලා තමන්ගේ තීරණය වෙනස් නො කරයි.

මැන්ඩේලා, සිය ධූරයේ වැඩ භාර ගන්නට ජනාධිපති කාර්යාලයට පැමිණෙන දවසේ දී, පැවති වර්ගවාදී සුදු පාලනය වෙනුවෙන් සේවය කළ සුදු නිළධාරීන් තමන්ට අත් වෙන්නට නියමිත ඉරණම කල් තියාම තේරුම් ගෙන වාගේ ඔවුන්ගේ අඩුම කුඩුම අස්පස් කර ගනියි. එහෙත් මැන්ඩෙලා ඔවුන්ව වලක්වයි. "කිසි කෙනෙක් ව අස් කරන්ඩ මට උවමනා නෑ. මට ඕනෑ එකට වැඩ කරන්න....." ඔහු කියයි.


මේ ශ්‍රේෂ්ඨ මිනිසා, පරාජිතයාගේ අභිමානය ගැන කොයි තරම් නම් තදින් කල්පනා කළා ද කියනවා නම්, සුදු ජාතිකයන් ඉදිරියේ පෙනී සිටින්නට කලියෙන් - තමන්ගේ ආයුධ සන්නද්ධ කලු ජාතික ආරක්ෂක නිළධාරින් අතර මඟ නවතා යන්නට තරම් ඔහු ප්‍රවේසම් වෙයි.

සුද්දන් සහ කල්ලන් අතරේ සියවස් ගණනාවක් පුරා පවතින පසමිතුරු බව වෙනුවට - ඔවුන් අතර සමගිය ඇති කිරීම තමන් වෙත පැවරී ඇති විශාලතම අභියෝගය බව මැන්ඩෙලා හදුනා ගනියි. දෙගොල්ලන්ට ම තේරෙන එක භාෂාවක් හොයමින් සිටින මැන්ඩේලා ට එක්තරා දවසක අහම්බෙන් වාගේ ඒ යතුර හමු වෙයි. ඒ වෙන කිසිවක් නොවේ, ක්‍රීඩාවයි.

සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන රග්බි තරඟයක් නරඹන්නට යන මැන්ඩේලා එහිදී අත්විදින්නේ කෙබඳු අත්දැකීමක් ද...? තමන්ගේ ම රටේ ක්‍රීඩකයන්, එංගලන්තය හමුවේ පරාජයට පත් වෙද් දී කලු ජාතික ස්වදේශිකයෝ එංගලන්තය වෙනුවෙන් ප්‍රීති ඝෝෂා නගති. ඒ දකුණු අප්‍රිකානු Sprinboks රග්බි කණ්ඩායම එහෙම්පිටින් ම වාගේ සුදු ජාතික ක්‍රීඩයන්ගෙන් සමන්විත බැවිනි. අනෙක් අතට Sprinboks නිල ලාංඡනය - එහි වර්ණ සහ අනෙකුත් සියලු ම සංකේත පැවති වර්ණභේදවාදී සුදු පාලනය නියෝජනය කරන හෙයිනි.

ඒ හැම දෙයක් ම එහෙම්පිටින් ම වෙනස් කරන හැටියට අලුත් පාලනයේ ක්‍රීඩා කමිටුව මැන්ඩෙලාගෙන් ඉල්ලා සිටිද් දී ත් මැන්ඩේලා ඒ සදහා ඉක්මන් නොවී ඉවසිල්ලෙන් සිටියි. ඒ අන් කිසිවක් නිසා නොවේ, දැනටමත් හිත රිදී සිටින සුදු ජාතිකයන් අලුත් අප්‍රිකාවෙන් තව තවත් ඈත් වීමට එය පමණක් වුවත් හේතු විය හැකි බව ඔහු දන්නා බැවිනි.

මැන්ඩෙලා ඔහු ඉදිරියේ ඇති අභියෝගයට ආත්ම විශ්වාසයෙන් යුතුව මුහුණ දෙයි. එළැඹෙන ලෝක කුසලානය වෙනුවෙන් - තිස්සේ ම වාගේ පරාජය උරුම කර ගන්නා Sprinboks කණ්ඩායම සූදානම් කරන්නට ඔහු පෞද්ගලිකව මැදිහත් වෙයි.

ඒ අතරේ - අලුත් අප්‍රිකාවට ආදරය කරන්නට ඔහු සුද්දන්ට කියා දෙයි. එමෙන් ම සුද්දන් වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරන්නට ඔහු ස්වදේශීය කලු අප්‍රිකානුවන්ව පොළඹවයි.

එය අතිශයින් ම දුෂ්කර අභියෝගයකි. Invictus ඒ අභියෝගය පිළිබඳව කතාන්දරයයි.

තිස්යා ගුණවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



යුද්ධයෙන් පසුව බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ ජන වර්ග අතර සහජීවනය ගොඩ නැගීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙනි. දේශපාලන විසඳුම් වෙනුවෙන් දහස් සංඛ්‍යාත ආඛ්‍යාන ගොඩ නැංවූ සිවිල් සමාජ ක්‍රියාධරයින් ද ඒ වෙනුවෙන් පෙනී සිටි න්‍යායධරයින්ගේ ද අවධානය යොමු වී ඇත්තේ සහජීවනය ගොඩ නැගීම වෙනුවෙනි. සහජීවනය ලෙස අපේක්ෂා කළ දෙය තමන් දරන අදහස් අනුව වෙනස් වුව ද යුද්ධය යුද්ධයෙන් අවසන් කර ඇති පශ්චාත් යුධ සමයෙක ඉන් පසු කුමක් විය යුතු ද යන්න යුධ ජයග්‍රහකයාට තීරණය කළ හැකිය. එවිට ඉල්ලූ දෙයක් නොව තමන් කැමති දෙයක් දෙන්නටත් එය පිළිගැනීමට බල කිරීමටත් නැතහොත් බලෙන් පිළි ගැන්වීමටත් බලය සහිත අයට හැකි වෙත්. එවිට සහජීවනය එකිනෙකාට විවිධ අරුත් දැනවීම අහඹුවක් නොවේ.

සමහරු දේශපාලන විසඳුම සහජීවනය ඇති කිරීමේ ප්‍රථම සහ හොඳම කාරණය බව දකින අතර සමහර අය භෞතික සංවර්ධනය තුළින් සහජීවනය ඇති කළ හැකි යැයි අපේක්ෂා කරති. තවත් අයෙක් සහජීවනය ඇති කරන්නේ සංවර්ධනය හරහා සිදුවන සහජීවනය හරහා යැයි අපේක්ෂා කරති. මේ සියල්ලන්ම යුද්ධය ඇති වීමට බලපෑ හැකියැයි සැලකෙන එකිනෙකාගේ බුද්ධි ගෝචරවන විග්‍රහයන් තුළ හඳුනා ගත් ප්‍රශ්නවලට උත්තර බඳින්නට සුදානම් නමුත් යුද්ධය තුළ හටගත් සහ ඒ මගින් ගොඩ නැංවු පුද්ගල මානසිකත්වය ආමන්ත්‍රණය කෙරෙන ව්‍යාපෘති දැක ගැනීමට නොහැකිය. පාලිත ප්‍රජාවගේ බුද්ධියට නොව හදවතට කතා කිරීමේ හරඹය ප්‍රගුණ කර ඇති පාලක පිරිස් යුද්ධය නිසාවෙන් හෙම්බත් වු පශ්චාත් යුධ සමයෙහිද පීඩා විඳින ප්‍රජාවගේ හදවතට සාධනීය ලෙස ආමන්ත්‍රණය කෙරෙන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම සලකා බැලිය යුතුය.

යුද්ධයේ නේක ප්‍රචන්ඩත්වයට ගොදුරු වු සහ තව දුරටත් එහි ගොදුරු බවට පත් වන ප්‍රජාව සහ සොල්දාදුවන්ගේ පශ්චාත් යුධ මානසිකත්වය සොයා බැලීම සඳහා සැලකීමට ලක්වන කිසිදු ක්‍රියා මාර්ගයක් දැකිය නොහැකිය. අවම තරමින් උපදේශන සේවාවන්වත් ක්‍රියාත්මක වන්නේ අල්ප වශයෙනි. සංඛ්‍යාත්මකව ගත් විට යාපනය දිස්ත්‍රීක්කයටම සිටින්නේ එක් මනෝ වෙද්‍යවරයෙකි. මනෝ සමාජ යහ පැවැත්ම වර්ධනය සඳහා කළ යුතු බොහෝ දෑ අප සමාජවල දෙවෙනි තැන්හිලා සලකයි. මේ සම්බන්ධයෙන් සහ තවත් දහසකුත් එකක් ප්‍රශ්නවලට පිළයම් සොයනු වෙනුවට වග කිවයුත්තන් සිදු කරන්නේ යුද්ධය දිනවීම සඳහා භාවිත කළ වාර්ගික ජාතිවාදී මතවාදය තවදුරටත් පවත්වාගෙන යාමය.

සායනික වශයෙන් හඳනා ගන්නා පශ්චාත් ව්‍යසන ආබාධ කෙටි කාලීන මෙන්ම දිගු කාලීනද විය හැකිය. අහිමිවීම තුළ ඇති කෙරෙන දුක, කළකිරීම, පීඩාව, අනියත බිය, සැකය, පශ්චාත්තාපය සිත තුළ රඳවා සිටින, විවෘත වීමට ඉඩක් නොලද මිනිසුන් පිරි සමාජයකින් එම සමාජයට යහපතක් නම් සිදු නොකරනු ඇත. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගවට ගත් අය පදනම් කරගෙන කරන ලද අධ්‍යයනයකින් 86% පමණ පශ්චාත් ව්‍යසන ආබාධවලින් පෙළුනු බව පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් මැදිහත්වීම වැදගත් වන්නේ, පුද්ගලයා තුළ සහජීවනය, පුද්ගලයන් අතර සහජීවනය මෙන්ම ප්‍රජාවන් අතර සහජීවනය ද වැදගත් වන නිසාවෙනි. අඩු වැඩි වශයෙන් අප සියල්ලෝම යුධ වින්දිතයන් වෙමු. අප පමණක් නොව නූපන් දරුවන්ද එහි වින්දිතයෝය. මන්ද ඔවුන් යුද්ධය වෙනුවෙන් වැය කළ සම්පත් සහ එය විසින් නිර්මාණය කරන ලද මතවාදී ආඛ්‍යානවලට උරුමකම් කියන නිසාවෙනි.

පශ්චාත් යුධ සමයෙක තව දුරටත් සිදු නොවිය යුතු ප්‍රජාවගේ මානසික භීතිය වැඩි කෙරෙන බොහෝ දේ සිදු වෙමින් පවතී. එයට රාජ්‍ය මතවාදය මෙන්ම ඒ මත ගොඩ නැගුනු ජනතාවගේ ව්‍යවහාරික බුද්ධියද අනිසි ලෙස රුකුල් දෙයි. යුද්ධය අවසන් වීමත් සමග උතුරු නැගෙනහිර, දකුණෙහි බොහෝ දෙනාට සංචාරක ප්‍රදේශයක් බවට පත්ව තිබේ. වසරකට වරක් යැවෙන කතරගම නුවර සංචාරවලට (වන්දනා) අමතරව දැන් ඊට යාපනය ද එක් වී ඇත. එය නැරඹීමේ අර්ථයෙන් පමණක් නොව වෙළඳ ව්‍යාපාරික කටයුතු සඳහා ආයෝජනයටද මෙම සංචාරක සංකල්පය පහසුකම් සපයයි. එම ප්‍රදේශය දියුණු කිරීම, සංචාරය කරන්නන්ට ද පහසුකම් සැපයීම සඳහා ව්‍යාපෘති බොහොමයක් ඇති අතර ඒවාට බහුත්ව සබඳතා පවත්වන්නේ දකුණෙන් යන වෙළඳ ව්‍යාපාරිකයන්ය.

එහි සංවර්ධන ගොඩ නැගීම්වල ලාභ ලබන්නේ එම ප්‍රජාව නොවන බව එහි වෙසෙන්නන්ගේ විවේචනයකි. භාෂා ප්‍රශ්නයත් අනෙකා කෙරෙහි ඇති අනියත බියත් මීට බලපෑ හැකි යැයි කිව හැකි එහෙත් එසේ නොවන සාධක වෙයි. එමෙන්ම මේ තුළ සිදුවන අනෙක් දෙය නම් ආන්ඩුව විසින් එහි පැවැත්මට අවශ්‍ය මතවාදීමය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමයි. ඊට අදාල ව්‍යාපෘති යුහුසුළුව ක්‍රියාත්මක වේ. වසර තිහකටත් අධික කාලයක් පුරා යුද්ධයත් සමග දැඩිව වර්ධනය කළ “මෙම ප්‍රදේශය අපේය” යන මතය තව දුරටත් එහි පැවතීමට උතුරු නැගෙනහිරට අවකාශ නොසපයයි. ඒ පිළිබඳ තිබෙන සාක්ෂි නැති කිරීම නැතහොත් නව ඉතිහාසයක් ගොඩ නැගීම අරඹා ඇත. එසේත් නැතිනම් එම ඉතිහාසයෙහි අයිතිය ඔවුනට පමණක් නොව සිංහලයාටද ඇති බවට සාක්ෂි බෝ කිරීම අරඹා ඇත. ඒ සඳහා අවශ්‍ය යැයි සිතෙන නැතහොත් යුද්ධය දිනවු මතවාදය අනාගතයේදීද සාධරණිකරණය කළ හැකි සාක්ෂි ඉතිරි කළ ඉතිහාසයක් පමණක් ඔවුනට ඉතිරි කරන බව එහි යන කවරෙකුට වුව දැක ගත හැකිය. ස්මාරකවලට තව දුරටත් රුදී සිටිය හැක්කේ එය ස්මරණය කරන්නේ පවතින රටකරවන මතයට හානියක් නොවන දෑ නම් පමණි. එහිදී ඔවුන් තැනු දෑ නොව යුද්ධයේදී විනාශ කළ දෑ ස්මාරක වෙති. මෙය පුද්ගලයන්ට ද අදාලය. විරුද්ධ මත දරන්නන්ට එහි සිටිය නොහේ. මේ තුළ ඔවුන් අත් කරගෙන ඇති එකම දෙය නම් මානසික භීතියයි.

මෙය ඔවුනට පමණක් ආවේණික නැතහොත් උතුරට පමණක් අදාල වුවක් නොවේ. මෙම නිහඬ කිරීමේ නැතහොත් මානසිකව මෙන්ම ශාරීරිකවද සංවර කිරීමේ ව්‍යාපෘතිය දකුණට ද අදාල කර තිබේ. ඒ හා ක්‍රිකට් ක්‍රීඩාව නැරඹීම සඳහා පැමිණෙන ජාත්‍යන්තර ප්‍රජාවගේ ඇසට ප්‍රිය උපදවන ලෙසට පුරවැසියන්ගේ හැසිරීම සදාචාරාත්මක කිරීමේ ව්‍යාපෘතිය පසු ගමන් යයි. නිහඬව දක්වන සංවර සහමතියට අමතරව ශාරීරිකව ද ඒ සඳහා සහමතිය දැක්විය යුතු ව්‍යාපෘති අරඹා ඇත. මෙම ව්‍යාපෘතීන්ට මග පෑදු චින්තන මතයට සදාචාරය කෙලෙස විය යුතු ද යන්න කොන්දේසි පැනවීම අදාල නිසා මෙම සංවර කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ජනයා බැඳී සිටිති. මන්ද එය ගැමියා විසින්ම ගොඩ නගන ලද මතවාදයයි. එය ඔහුට ඇයට ඇවැසි වූ මතවාදයයි.

කාන්තාවන්ට කොට ඇදුම් වෙනුවට දනහිසෙන් පහලට වැටෙන සේ ඇඳුම් ඇන්ද වීම ද එම සදාචාරය සංවර කිරීමේ ව්‍යාපෘතීන්හි තවත් කොටසකි. මෙම සංවර කිරීමේ ක්‍රියාවලියට හැසිරිය යුතු ආකාරය, හඳින පළඳින ආකාරය, සංග්‍රහ කරන ආකාරය ද අයත්ය. මේවා නිසි ලෙස ක්‍රියාත්මක වන සංවර සමාජයක ජනයා විසින් තෝරා පත් කරනු ලබන පාලකයන් පිළිබඳ සුදු මහත්වරු නරකක් නම් නොසිතනු ඇත! උතුරෙහි බලහත්කාර මර්ධනය ද දකුණෙහි බලහත්කාරය යැයි බැලු බැල්මට නොපෙනෙන ලෙස මර්ධනය ද ක්‍රියාත්මක වේ. දෙමළ ජනයා තුළ මර්ධනය ලෙස වපුරා ඇති මෙම භීතිය ඔවුනගේ අද දවස පමණක් නොව හෙට දවසද අහිමි කර තිබේ. කිසිවෙකුට විවෘත නොවන ඔවුනගේ හඬ මතු වන්නේ ඔවුන් හරහා නොවීම මෙහි ප්‍රධානම ගැටලුවයි. එනම් තම අදහස් නොබියව ප්‍රකාශ කිරීමට හැකි සාමාන්‍ය ජනයා පමණක් නොව ඔවුන්ව නියෝජනය කළ හැකි අයද නිහඬව සිටී. යම් සමාජයකට කළ හැකි ප්‍රබලතම හානිය නම් එම සමාජයෙහි මතවාද තනන්නන් එම සමාජයට අහිමි කිරීමයි. එය අද දවසේ උතුරේ ජනයා අත් විඳිති. තම ජීවිත පිළිබඳ භීතිය හැරුණු කොට තවත් බොහෝ දේ ඔවුනගේ දුක් ගැනවිල්ලට අයත්ය. තරුණයන්ට රස්සා නොමැතිවීම, යුද්ධය නිසාවෙන් තම සාමාන්‍යපෙළ ප්‍රතිඵල අහිමි ව උසස් පෙළ හැදෑරීමට නොහැකිව ලතවෙන තරුණ තරුණයින්, ඉහළ අධ්‍යාපනය හැදෑරීමට මුදල් නොමැතිව තැවෙන තරුණ තරුණයින්, පාසලට දමා යාමට සපත්තු කුට්ටමක් නැතිව ලතැවෙන තිබෙන කුට්ටම දමා ගෙන ගොස් පාසලේ නිග්‍රහයට ලක්වන ළමුන්, පදිංචි වුව ද සිය ඉඩමට අයිතිවාසිකම් කිව නොහැකිව ලතවෙන මිනිසුන් එහි සිටිති. මේ ප්‍රශ්න ඔවුනට පමණක් අදාල වූ ඒවා නොවේ. එහෙත් මෙහි බර ඔවුනට වැඩිවන්නේ ඔවුන් ඔවුන්ව අනෙකා ලෙස හඳුනා ගත් ඉතිහාසයක සතුරා වීම නිසාවෙනි.

දකුණෙහි බොහෝ දෙනෙකුට උතුර යාපනය ලෙස ආඛ්‍යානගත වන නිසා ඔවුන්ට මුදල් ඇති බවත් එහි ජීවිත පහසු බවත් විශ්වාස කරති. එහෙත් යාපනයෙන් එපිටට යන විට අලුතින් සියල්ල ගොඩ නැගිය යුතුය යන අපේක්ෂාවෙන් අතු පැලවල්වල ජීවත්වන එදා වේල සරිකර ගැනීමට නොහැකිව වෙසෙනා ගැමියා හමුවේ. යුද්ධය නිසා තමනට නැතිවූ භෞතික දේපල පමණක් නොව සිය ජීවිත සරිකළ පුද්ගල ජීවිතද සොයා යන ගමනක ඔවුන් නිරත වේ. ඔවුනගේ දුක් ගැනවිලි කියන්නට හොඳම මාධ්‍ය ලෙස තෝරා ගත් දෙවියන් සඳහා සැප පහසු දේවාල සෑදීමට සිය ශ්‍රමය මෙන්ම එදා වේල පිරි මසන මුදල් කැප කරන ජනයා එහි වෙසෙත්. මේවා ඔවුනටම ආවේණික නොවුවත් රටේ අන් තැනෙක ඔවුනගේ මානසික භීතිය ඇතැයි කිව නොහැකිය. දෙවියන් යදින්නේ බොහෝ විටම තියන දේ වැඩි කරගැනීමටම නොව තිබු දේ නැවත ලබා ගැනීමටය. තමන් නොතැනූ සොහොන් ගෙවල්වල හෝ තිඹිරි ගෙයක සිටිනා සිය නෑ හිත මිතුරන් නැවත ලබා ගැනීම සඳහාය. ඒ ඔවුනගේ අද දවසේ ජීවිතයයයි. දිගින් දිගටම බිඳ වැටුනු විශ්වාසය දෙවියන් කෙරෙහි පමණක් තවදුරටත් ඔවුන් රඳවා සිටී. මෙම මානසික භීතිය, සාමුහික සමාජ ධ්‍රැවීකරණයක් ලෙස පෙනෙන්නේ තමා වින්දිතයෙකුය යන මානසිකත්වය දැඩි ලෙස ඔවුන් දරා සිටීමය. එම භීතිය විසින් නවතා දමා ඇති සමාජයට විවෘත වීම, තමා වෙනුවෙන් පෙනී සිටීම සමාජයට යහපතක් නම් සිදුකරන්නේ නැත. කතා කරන අය නිහඬ කිරීමට කෙතෙක් ව්‍යාපෘති තිබුනත්, ඒ නිසාම නිහඬ වීම සාධාරණීකරණය කළ නොහේ.

විශ්ව විද්‍යාල තරුණ තරුණයින් පවා සිය සමාජය වෙනුවෙන් අවම තරමින් ආර්ථිකමය සහ සමාජමය වශයෙන් දුක් විඳින ජනයා වෙනුවෙන් සිය හඬ අවදි කළ යුතුය. තමන් වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවය බලහත්කාර නිහඬ කිරීමේ භීතියට යටපත් නොකළ යුතුය. “අනෙකාගෙන්“ අප රකින සොල්දාදුවන් අතරේ ද මෙම මානසික භීතිය වගා වෙමින් පවතී. එයද අනෙකා කෙරෙහි ඇති වූ බියමය. ඒ තුළ වෙසෙන ඔවුන් සිය සමීපයන්ගෙන් ඈත්ව සිටීම, එම නිසා ඇතිවන හුදෙකලාව, නැවත අර්බුදයක් ඇති නොවෙතැයි යන්න පිළිබඳ ඇති අවිශ්වාසය, ගම් වැසියන් අතර සබඳතා සීමා කර තිබීම, භාෂාව නොදැනීම තවදුරටත් එහි තත්වය තීව්‍ර කෙරෙන සහ ඔවුන් සිය රාජකාරිය ඇතුලතදී වගා කරගන්නා දෑය. සුළු ගැටලුවකදී පවා ඔවුන් මුදා හරින්නේ මෙම මානසික ආතතියයි. නැතහොත් මානසික තෙහෙට්ටුවයි. මේ කාන්සියෙහි දිගු කාලීන ප්‍රථිඵල ගැන දන්නා අය සොල්දාදුවන් එළවලු විකිණීමේ රාජකාරියෙහි අනුයුක්ත කර ඇත. ඒ හරහා හුදෙකලා බව, කාන්සිය ඒ තුළ සිතන්නට ඇති කාලය අහෝසි කිරීමේ නැතහොත් සීමා කිරීමේ පිළියමක් ලෙස එය භාවිත කරයි. සීතීමට ඇති කාලය අහිමි කරන ව්‍යාපෘති රාජ්‍ය මතවාදය පවත්වාගෙන යාමට අවශ්‍යය. ඒ කෙරෙහි රට කරවන්නන් සවිඥානිකය.

උතුරු නැගෙනහිර සංචාරය සඳහා යන බොහෝ දෙනා හොඳ හිත රැගෙන යනවා වෙනුවට තව දුරටත් රැගෙන යන්නේ මහ ජාතිය ලෙස ගොඩ නගා ඇති ආඛ්‍යාන සමුහයමය. අප විසින් නුඹලා පරාජය කරන ලද්දේ ය යන්න එහි රැගෙන යති. කිසිදු වග විභාගයකින් තොරව ඕනෑම තැනෙක කෑකෝ ගැසීමටත් ඕනෑම ස්ථානයකට අවසරයකින් තොරව ඇතුළු වීමටත් ස්වයං වරයක් ඇතැයි ද එය ප්‍රදානය කර ඇතැයි ද එහි යන දකුණේ ජනයා විශ්වාස කරති. යුද්ධය නැවැත්වීම සඳහා භාවිත කළ මතවාදී කතිතාවන් තුළ තව දුරටත් ජීවත් වේ. ඒ නිසාම ඔවුන් පරාජය කරන ලද්දේ එල්.ටී.ටී.ඊ.ය පමණක් නොව දෙමළ ජනයා යන්න ද එනිසාම ඔවුන් අපට ඉඩ දිය යුතු යැයි ද මෙම කතිකාව විශ්වාස කරයි. ඉවත් තළ යුත්තේ, ස්මරණයෙන් අතුගා දැමිය යුත්තේ මෙම මතවාදීමය වැරදි අවබෝධයයි. පසුමිතුරු ආඛ්‍යාන ඉවත් කරන තෙක් අඩු වැඩි වශයෙන් සියල්ලෝම මුහුණ දෙන මානසික භීතියට පිළයම් නොවනු ඇත. ත්‍රස්තවාදයට නැවත දලුලන්නට ඉඩ දිය යුතු යැයි කිසිවෙකුත් කල්පනා නොකරනු ඇත. එහෙත් එසේ නොවන්නට ක්‍රියාත්මක කෙරෙන පසමිතුරු මතවාද සාධාරණිකරණය කළ හැක්කේ කෙසේද?

ගීතිකා ධර්මසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එතෙර හිටපු හොඳම කකුල කේ.පී.
පැකට් කරලා අරං ආපු කේ.පී.
අපිත් එක්ක හරි යාළුයි කේ.පී.
රහස මොකද? අපි ඇහුවා කේ.පී.

දැං ඔහෙලගෙ ඇණුම් බැණුම් නෑනේ
ඒකයි මං හිනා වෙලා ඉන්නේ
කඩෙන් බාල තෝසෙ නෙමෙයි කන්නේ
දැං අරලිය මෝලෙ හාල් කන්නේ


කොටන කොටන හාල නැගලා යනවා
කැවුනම සඳ මෝල් වෙලා එනවා
රස වැටුනම කවුරුත් ඉල්ලනවා
හඳටත් දැං මෝලෙ හාල් යනවා

******

පක්සෙ හිටපු බරවා කකුල වී.වී.
සෝඩා ටොනික් දාල දුවපු වී.වී.
අපිත් එක්ක හරි යාළුයි වී.වී.
රහස මොකද අපි ඇහුවා වී.වී.

ඇජිටේසොං රෙවලූසොං නෑනේ
ඒකයි දැං පාට වැටිලා ඉන්නේ
කැට හොලවලා කොහොමද ගොඩ යන්නේ
දැං අරලිය මෝලෙ හාල් කන්නේ


හාලෙ රහට කවුරුත් ලොබ වෙනවා
මෝලෙ බ්‍රාන්ච් තැන තැන ඉදි වෙනවා
කාලෙ අපේ කොහොමත් ජය වෙනවා
හාලෙ බලෙන් තුන් දොස් දුරු වෙනවා

[වෙළඳ දැන්වීමකි.]

ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මොනතරන් ඇත්තක් වුණත්
මොහොතකින් මැකී යන බව
අහසෙහි පායා තිබේ නම් ඉඳු දුන්න
ඒ දෙස නොබලා හිදින්නට පුළුවන් ද ඔබට...?

ඇතැම්විට ඒ ඇදී එන්නේ
මිය ගිය තාරුකාවක අවසාන ගිනි දැල්ල විය හැකි නමුත්
වැව් දියට වැටී ඇත්නම් තරු එළිය
ඒ දෙස නොබලා හිදින්නට පුළුවන් ද ඔබට...?

යළි කිසි දිනෙක ඔබ නො එන බව
ඉස්තීරෙට ම දන්නවා වුණත් මම,
තිස්සේ ම වාගේ ඇහෙනවානම් මට - මා අතහැර ගිය ඔබේ පියවර හඬ
ආපසු හැරී නොබලා හිදින්නට පුළුවන් ද මට...?

පියල් ජයරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"රජයේ නිළ ප්‍රකාශයන්ට අනුව උතුරු නැගෙනහිර යුද වැන්දඹුවන් සංඛ්‍යාව අසූදහසකි"?

මතකය දිගේ ඇවිද යමි
කටුවැට උඩින් එබී බලමි
අතහැරුණු ජීවීතය අරගෙන
මගේ සෙල්වම් ඒවිදෝ යළි

ෂෙල් වරුසා මැදින්
මගේ අත ගෙන තදින්
පවන සේ වේගයෙන්
අපි ගියා මතකද සෙල්වම්

ජිවිතය පමණක්ම යදිමින්
අඹුදරු සියලු සමගින්
ෂෙල් වරුසාව පායනකන්
දිවගියෙමු සෙල්වම්
අපේ උන් සමගින්

ඇසි පිය සැලෙන සැනෙකින්
ඇද වැටුණි නෙක සොයුරන්
දිව ගියෙමු නොනැවති
ජීවිතය පමණක් යදිමින්

නිදහස යැයි දුටුව සිහිනය
පෙනෙන නොපෙනෙන මානෙක
පිචිච මල් පරවුණා සෙල්වම්
නුඹේ පණ නළ සමගින්
රතුවෙමින් සැනෙකින් ලෙයින්
නුඹ වැනූ රෙදිකඩ සුදුවන්
නුඹ ලඟම සැතපුණා සෙල්වම්
ඉතිරිකර දෛවයේ සරදම්

මතකය දිගේ ඇවිද යමි
කටුවැට උඩින් එබී බලමි
ආයෙත් එන්න සෙල්වම්
එක්ව මියැදෙන්නට යළි

අජන්තා රොෂාණි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පසුබිම|
වැල්ලවත්ත මා මූද පිස හමන ලවණ මුසු වා තලය හැම ඉරිදාවකම පේ‍්‍රමයෙන් ආසක්ත වෙයි. ගිනියම් වෙයි. ඔවුහු වෙරළ තීරයේදී පොඩි කුඩයක අවකාශය යට ස්වකීය පේ‍්‍රමනීය හැඟුම් දියකර හරිති. "චාම් පෙම්වත්තු" කළු කුඩයට ප‍්‍රිය කරන අතරෙම ඉරත්-කළු කුඩයත් අමුතු ලෙංගතුකමකින් ඇලෙයි.


මල් කුඩේ වගෙ නෙමෙයි
කළු කුඩේ හරි චාම්
වයිවාරන සෝබන නෑ
ඉහලන අපිත් හරි චාම්

රැල්ල නගන ගෙරවිලි මැද
මුනින්තලාවෙන් බුදියන
ගල් ගෙඩි උඩ බඩගාගෙන
ඉර කිරණ ඇබින්දකුත්
ලූණු වතුරට සැන්ටින් කොට
හීනියට තොල ගාන
ගාල් උනා කුඩේ යටට

තනි කළු පොඩි කුඩේ යටට.......

ආලෙ පිම්බ එක හුස්මක්
ඉඹිනකොටම දෙසවන් අග
ඉර ඇවිදින් කුඩේ උඩට
හාදු දෙනව වරුසාවක්

ඉරත් දපනෙ දාගෙන
හිතත් ගිනිකන වට්ටන
චාම් කුඩේ මහ වදයක්
පේ‍්‍රම ගින්නත් මූදෙ ගිල්ලන

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සුදු වළාකුළු කිහිපයක් සහ
කන්ද මුදුනේ උන්නු පුරසඳ
කපා ගත්තෙමි කතුරකින්

හෙන්දිරික්කා මල් වගේකුත්
කඩා ගත්තෙමි පඳුරකින්

කළු පැහැති කඩදාසියක් මත
ඉහළ කෙළවර ඇලෙව්වෙමි සඳ
වළාකුළු සහ මල් ද අලවා
තබමි තැන තැන පුංචි පිනි කැට

පාට කූරක් අරන් ඇවිදින්
මෙන්න මේ කඩදාසියේ මැද
ඇඳලා දෙනවද මතක හැටියට
හිටපු හැටි අපි දෙන්නා සඳ යට....

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මාස දෙක තුනකට උඩදී පොළොන්නරුව සමීපයේ පිහිටි ස්ථානයක නටබුන් අධ්‍යයනය කර එම ස්ථානය දුටුගැමුණු මහරජතුමාගේ සටන් මධ්‍යස්ථානයක් වූ විජිතපුරය යැයි හඳුනා ගත් මහාචාර්ය අනුර මනතුංග පිළිබඳව තොරතුරු සෙවීමට මා තුළ කුහුලක් හටගත්තේය. ඒ අනුව මා එතුමා ලියූ පොතපත සොයා යද්දී 'නටබුමක් මත හිඳ ලියමි' නමින් වූ කවි එකතුව නෙත ගැටිණි. එහි වූ කෙටි කවි අතරෙහි තිබුණු එක් කවක් මගේ සිත අමන්දානන්දයට පත් කිරීමෙහි හේතු විය. එය නම් කොට තිබුණේ "සරසවි දේවී"යනුවෙනි.

එය අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ඛේදවාචකයක් කියා පාන්නකි.

සැතපුම් පණහක්
ඔබ්බෙන් උණත් කිම
ලියවිලි හදා ගත්තෝතින් නම්
කොලුවා එක වසරේ ය
ජාතික පාසලක
ලබ්බක්වත් නො දත්තාට
කිම ඇති කාරිය
ලියවිලි හදා ගත්තෝතින් නම්
මහැදුරුකම අතේ ය
සරසවියක
(නටබුමක් මත හිඳ ලියමි, අනුර මනතුංග, 43 පිටුව.)

උසස් යැයි කියන පාසලක පළමු වසරට දරුවකු ඇතුළත් කිරීමට දෙමාපියන් ගන්නා උත්සාහය දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට වඩා තමන්ගේ ලොකු කම පෙන්වීමට ගන්නා වෑයමක් සේ පෙනී යන්නකි. එක වසරේ සිට බොරුවෙන් ආරම්භ කරන අධ්‍යාපන ජීවිතය විශ්වවිද්‍යාලය තෙක්ම මෙන්ම ඉන් පසුවද බොරුවෙන් හා වංචාවෙන් ගෙවා දැමීමට ඇතැමුන් ගන්නා තැත කියාපාන නිදසුන් කිහිපයක් වරින් වර මගේ නෙත ගැටි තිබුණි. මේ වංචාව හා බොරුව තව දුරටත් ගෙන යා හැකිද යන ප්‍රශ්නය මේ වන විට මතුව ඇත්තේ සරසවි ඇදුරන්ට වැටුප් වර්ධක සඳහා පර්යේෂණ වල නිරත වීම අවශ්‍ය බවට හඟක් නැගෙන බැවිනි. පර්යේෂණ යනු කවරේද යන්නත් පර්යේෂණ මගින් කෙරෙන්නේ කුමක්ද යන්නත් මෙහි ලා සලකා බැලීම වැදගත්ය.

ඒ සමගම අවධානය යොමු කළ යුතු කරුණු වන්නේ පර්යේෂණ මගින් නිර්මාණය කරන නව දැනුම බෙදා හැරීමක් සිදු වේද යන්න හා ඒ දැනුම වලංගු හා විශ්වසනීය දැනුමක්ද යන්නයි. පර්යේෂණ මගින් නව දනුමක් නිර්මාණය නොකෙරේ නම්, ඒ දැනුම බෙදා හැරීමක් සිදු නොවේ නම් එවැනි උගතුන් හා ඔවුන් සිටින විශ්වවිද්‍යාලත් කුමකටද යන ප්‍රශ්නයද ආයාසයකින් තොරව මතු කළ හැකිය. මේ සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් පසුගියදා අන්තර්ජාලය අඩවි මඟින්ද ඉස්මතු කර තිබුණි. දින කීපයකට උඩදී පොත් දොරට වැඩුමක මූලාසනය ගනිමින් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් කළ ප්‍රකාශයක්ද මේ හා සම්බන්ධ කළ හැකිය. උන්වහන්සේ පැවසුවේ අද ආචාර්ය උපාධි ලැබූවන් තැන නොතැන සිටියත් රටේ සංවර්ධනයට ඔවුන් බොහෝ දෙනෙකුගෙන් අබ මල් රේණුවකවත් දායකත්වයක් ලබා ගත නොහැකි බවයි. බෙල්ලන්විල නාහිමියන් පැවසූ වචන ඇතැම් අයෙකුට අමිහිරි විය හැකි බැවින් මම ඒවා එසේම සඳහන් නොකළෙමි. කෙසේ වෙතත් මේ අයගේ පර්යේෂණකාමය හෙළි කරන නිදර්ශණ නම් කොතෙකුත් හමු වන නිසා උන් වහන්සේ පැවසූ වචන ඒ ආකාරයෙන්ම පිළිගන්නට අපහසුවක් නොමැත. සති අන්තවල පැවැත්වෙන එම්.ඒ.පන්ති වලට සහභාගීවන විශාල පිරිස් වලින්ම පෙන්නුම් කෙරෙනුයේ විශ්වවිද්‍යාල විවිධ රැකියා සඳහා සුදුසුකම් වශයෙන් පිළිගත හැකි සහතික නිකුත් කරන තැනක් වී තිබීමයි.

මේ තත්ත්වය තේරුම්ගත් සුඟ පිරිසක් හෝ සිටීම නිසා අපට සැනසුම් සුසුම් හෙළීමට ඉඩ ලැබී තිබේ. අඩසියවසකට පමණ පෙර පළ වූ විශිෂ්ට ශාස්ත්‍රීය සඟරාවක් වූ සංස්කෘති සඟරාව යළි අරඹා පවත්වා ගෙන යන විද්වත් පිරිස එයින් එක් කොටසකි. පසුගියදා නිකුත් වූ සංස්කෘති සඟරාවට මහාචාර්ය සසංක පෙරේරා ලියූ ලිපියක මේ තත්ත්වය සාකච්ඡා කර තිබුණි. උසස්වීම් ලබාගැනීමට විවිධ ''සූස් කට්ටකම්'' කරන අය හා එබඳු කට්ටකම් ගැන ඒ ලිපියේ කරුණු දක්වා තිබුණි. විවිධ ''උපහාර කලාප'' පළ කිරීමත් "ඇබ්ස්ට්‍රෑක්ට්" ලියමින් ලකුණු රැස් කිරීමත් එයින් අංග දෙකකි. ඇබ්ස්ට්‍රෑක්ට් එකක් යනු පර්යේෂණයකට එළඹුම හා එහි ප්‍රතිඵල පිළිබඳ සාරාංශයක් විනා පර්යේෂණයක් නොවේ.ඇබ්ස්ට්‍රෑක්ට් ලියූවත් එතැනින් එහාට අධ්‍යයනය කිරීම අවශ්‍ය නොවන්නේ අරමුණ පර්යේෂණය නොව ලකුණු රැස් කිරීම බැවින් එයින් එහාට යෑම අවශ්‍ය නොවන බැවිනි.මේ අන්දමට ඇබ්ස්ට්‍රෑක්ට් මඟින් උසස් වීම් ලබන අය ''ඇබ්ස්ට්‍රෑක්ට් ප්‍රොපෙසර්ලා''ලෙස ප්‍රසිද්ධ වී සිටිනබවද මහාචාර්ය සසංක පෙරේරා සඳහන් කරයි.

මහාචාර්ය තනතුරට උසස් කිරීම සඳහා කථීකාචාර්යවරුන් විසින් කරන ලද පර්යේෂණ හා ශාස්ත්‍රීය ප්‍රකාශන අගය කිරීමට ලක් කරනු ලැබේ. සහකාර කථීකාචාර්ය තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය තනතුරට යෑම සඳහා සමත් විය යුතු එම්. ඒ. හෝ පී.එච්. ඩී.පශ්චාත් උපාධිය සඳහා කෙසේ හෝ පොතක් ලියා ඉදිරිපත් කරන ආචාර්යවරුන් බොහොමයකගේ එම්. ඒ. හා පී.එච්. ඩී. නිබන්ධන කිසි දාක මිනිස් ලොව එළිය දකින ඒවා නොවේ.වි භාග අවශ්‍යතාව සඳහා ඉදිරිපත් කරන මෙවැනි ඇතැම් පොතක් මුද්‍රණය කිරීමට තබා පුස්තකාලයක තැන්පත් කිරීමටවත් සුදුසු නොවන අවස්ථා පිළිබඳවද වාර්තා වෙයි. එහෙත් මහාචාර්ය තනතුරට උසස් වීම සඳහා බොහෝ දෙනෙක් තමන් ලියූ පශ්චාත් උපාධි නිබන්ධනයේ පරිච්ඡේද කිහිපය වෙන වෙනම පොත් වශයෙන් පළ කරවා ගනිති. මේවාද පළ කෙරෙන්නේ පිළිගත් ප්‍රකාශන ආයතන මාර්ගයෙන් නො වේ.''කර්තෘ ප්‍රකාශන'' වශයෙනි. ඒවාද බොහොමයක් වෙළඳපොළෙන් මිලදී ගත හැකි ඒවා නොවේ. උසස් වීම සඳහා තමන්ගේ පරිගණකයෙන් මුද්‍රණය කර ගත් ඒවාය.මෙවැනි ඇතැම් පොතකින් මහාචාර්ය තනතුරට අවශ්‍ය ලකුණු ලබා ගැනීමටත් වඩා වෙනත් ලාබයක් උපයා ගත හැකිය. ඒ බාහිර උපාධි සඳහා නියම කරවා ගැනීමෙනි.ඇතැම් ආචාර්යවරු තමන්ගේ පොත්වල පිටකවර සටහනේ ''මේ පොත බාහිර උපාධියේ අසවල් ඒකකයට අදාළය'', ''මේ පොතේ කතුවරයා අසවල් විෂය ඒකකය බාරව කටයුතු කරයි'' යනුවෙන් වෙළඳ දැන්වීමක ස්වරූපයෙන් පළ කරවා ගනිති. සිසුන් දහස් ගණනක් සිටින උපාධි පරීක්ෂණ පැවැත්වෙන කාලයේ උපකාරක සම්මන්ත්‍රණ පැවැත්වීමත් එහිදී තමන්ගේ පොත එළිපිට අලෙවි කිරීමත් ගජ වාසි ගෙන දෙන ව්‍යාපාරයකි.

මේ පොත් කියවා බැලූ අයකුට ඒවායේ තත්වය වටහා ගත හැකිය. එහෙත් ඒවා නොකියවූ අයෙකුට ඒ ගැන හරි වැටහීමක් ලබා ගැනීම අසීරු විය හැකිය.එබැවින් ඒවායේ ගුණාත්මකභාවය ගැන යම් ඉඟියක් සැපයීම සුදුසුය.මේ ඇතැම් ආචාර්යවරයෙක් එක් වසරකදී පොත් තුන හතරක් තමන් නමින් පළ කරවා ගෙන තිබේ.පර්යේෂණාත්මක අගයකින් යුතු පොත් සම්බන්ධයෙන් පවත්නා සම්මතයක් වන්නේ හොඳ පර්යේෂණාත්මක ග්‍රන්ථයක් සඳහා අඩුම තරමින් වසර දෙකක් හෝ තුනක් ගත කළ යුතු බවයි.එහෙත් පොතකට වසර දෙකතුනක් නො ව වසරකට පොත් තුනහතරක් යන ඉලක්කයට පොත් ලියන්නකු අතින් නම් ගුණාත්මක ග්‍රන්ථයක් බිහි වනු දැකීම සිහිනයකි. විශ්ව විද්‍යාලවල තත්වය කියාපාන වැදගත් නිල ලේඛන කිහිපයක්ද මගේ ඇස ගැසිණි. ඒවා විශ්වවිද්‍යාලයන්හි තත්ව පාලන වැඩසටහන යටතේ ඒ ඒ විශ්ව විද්‍යාලය පෙර විමසුම් වලට ලක් කරමින් සම්පාදනය කළ ඒවාය. මේ තත්ව පාලන වැඩසටහන උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පාලනය කර ගැනීම සඳහා ලොව වෙනත් රටවලද ක්‍රියාත්මක වන්නක් නිසා එහිදී සලකා බැලෙනුයේ විශ්ව විද්‍යාලයක් කෙතරම් දුරට අන්තර්ජාතික ප්‍රමිතීන්ට එකඟද යන්න හෙවත් අපේ විශ්වවිද්‍යාල කෙතරම් දුරට 'විශ්ව විද්‍යාල' වන්නේද යන්නයි.මේ මට්ටම ගැන හෙළි කරන නිල ලියවිල්ලක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ප්‍රසිද්ධ කර ඇත. එය qaacouncil.lk යන අන්තර්ජාල ලිපිනයෙන්ද කියවිය හැකිය.

මෙහි කතා කරන්නේ ''ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය'' යටතේ පවත්වා ගෙන යන ''දර්ශනය හා මනෝවිද්‍යාව'' නම් උපාධි පාඨමාලාව ගැනය. මේ පාඨමාලාව වෙනම අධ්‍යයනාංශයක් බවට පත් කිරීමට ගෙනා යෝජනාව විශ්වවිද්‍යාලයේ සනාතන සභාව හා පාලක සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර යෝජනාව ඉදිරිපත් කළ මහාචාර්යවරයා ඒ සම්බන්ධයෙන් නඩු මගට බැස ඇතැයි වාර්තා වෙයි. වාර්තාව මේ අපූරු උපාධි පාඨමාලාව ගැන කියන්නේ මෙවැන්නකි.

''දර්ශනය හා මනෝවිද්‍යාව යන විෂය දෙක එකට ගෙන තනි විෂයක් වශයෙන් උගන්වනු ලැබේ.මෙයින් එක් විෂයක් ඉගෙනගැනීමට අපේක්ෂා කරන ශිෂ්‍යාටද විෂය දෙකම ඉගෙනීමට සිදු වන අතර අවසානයේ ඔහුට ලැබෙන උපාධියද ''දර්ශනය හා මනෝවිද්‍යාව'' උපාධියකි. මේ විශ්වවිද්‍යාල පද්ධතියේ කිසි තැනක අසන්නට නොලැබෙන තත්ත්වයකි'' මේ පාඨමාලාව ගැන දිගින් දිගට මේ වාර්තාවේ දී විවේචනය කෙරේ.එහි පෙන්වා දෙන එක් කරුණක් වන්නේ මේ සමෝධානය පළමු වසරේ ශිෂ්‍යයන්ට දැරිය නොහැකි තත්වයක් බවයි. අනික විෂය කරුණුවල ගුණාත්මක භාවය පිළිබඳ ගැටලුවයි. ඒ වචන මෙසේය:

"PHPY 2204: Sexuality and Society does not seem to fall within either philosophy or psychology.Nevertheless, judging by the number of students enrolled (2004/5: 246, 2005/6: 293, 2006/7: 291), the course unit looks popular." zzPHPY 2204: Sexuality and Society ලිංගිකත්වය හා සමාජය යනුවෙන් නම් කොට ඇති විෂය ඒකකය දර්ශනය හෝ මනෝවිද්‍යාව යන විෂය දෙකින් එකකටවත් අයත් වන බවක් නොපෙනේ. එහෙත් ඒ විෂය ඒකකය තෝරාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව අනුව පෙනී යන්නේ (2004/5 වර්ෂය: සිසුන් 246යි. 2005/6 වර්ෂය: සිසුන් 293යි. 2006/7 වර්ෂය: සිසුන් 291යි) එය 'ජනප්‍රිය' හෙවත් ශිෂ්‍යයන් වැඩි දෙනෙක් තෝරා ගන්නා එකක් බවයි."

මේ සඳහනින් පැහැදිලි වන්නේ විශ්වවිද්‍යාල ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන තැනකට වඩා ජනප්‍රිය කරුණු 'උගන්වන' තැනක තත්වයට පත්වී ඇති බවයි.දර්ශනය හා මනෝවිද්‍යාව යන විෂය දෙක සඳහා සුදුසුකම් ඇති ගුරුවරුන් නොමැති බවද ඒ වාර්තාවේ දැක්වේ. එහෙත් ''මේ විෂය දෙකටම මහාචාර්ය'' කෙනෙක්ද එහි වෙයි.එතුමාගේ නමින් පළ වී තිබෙන පොත්පත් සංඛ්‍යාව තිහකටත් වැඩිය. එක අවුරුද්දකට පොත් හතරක් බැගින් පළ කොට තිබේ. වර්ෂයකට පර්යේෂණ කෘති මෙතරම් සංඛ්‍යාවක් සම්පාදනය කළ හැකිනම් එය ආශ්චර්යකි. මෙතුමාගේ පොත් වල අන්තර්ජාලයෙන් ලබාගත් සුලබ කරුණු පරිවර්තනය කර ඉදිරිපත් කිරීමකට වැඩි දෙයක් නැත. සමහර විෂය ගැන ලියා ඇත්තේ ඒ ගැන මූලික අවබෝධයක්වත් නැතිව බව පෙනේ. එක් උදාහරණයක් නම් 2008දී පළ කළ පර්යේෂණ ක්‍රම විද්‍යාව නම් පොතයි. එය පර්යේෂණ ක්‍රමවිද්‍යාව ගැන නොව ''විද්‍යාත්මක ක්‍රමය'' ගැන ලියවුණකි. මේ මහාචාර්යවරයා මේ විෂය දෙකින් එකක්වත් අඳුනන්නේ නැති බව මෙයින් පෙනේ.

විශ්වවිද්‍යාලවල පර්යේෂණවල තත්වය හෙළි කරන නිදර්ශන කිහිපයක් පොතපත කියවද්දී මට හමුවිය. මේවා ආචාර්ය මහාචාර්යවරුන්ගේ හිස් බව හා බොල් බව මෙන්ම ඔවුන්ගේ අපරීක්ෂාකාරී බව ද පෙන්නුම් කරයි. මින් එකක් 19 වන සියවසේ යටත්විජිත ආණ්ඩුවේ සේවකයෙකුව සිටිමින් සිංහල සාහිත්‍යය ගැන ඉංග්‍රීසියෙන් ලියූ ඡේම්ස් ද අල්විස් ගැන අධ්‍යයනයකි. (නූතන සිංහල සාහිත්‍යයේ පුරෝගාමියා ඡේම්ස් ද අල්විස්) එය පර්යේෂණ ග්‍රන්ථයක් බව කර්තෘ මෙන්ම පසුවදන සැපයූ මහාචාර්යවරයාද පවසා තිබිණි. මෙහි කර්තෘ සිංහල අංශයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක බව කියා තිබුණත් ඇගේ සිංහල දැනුම ගැන ද මට සැක පහළ වූයේ අක්ෂර වින්‍යාසය මෙන්ම උක්ත ආඛ්‍යාත සම්බන්ධයද වැරැදි තැන් කීපයක්ම එහි තිබූ බැවිනි. පොත පළවීමෙන් පසුව දැක ගැනීමට ලැබුණු නිසා හෝ නැත්නම් කවුරුන් හෝ පෙන්වා දුන් නිසාදෝ ඇතැම් වැරදි තැන් 'ටිපෙක්ස්' ගා මකා පොත වෙළඳෙපොළට දමා තිබූ බව පෙනී ගියේය. එහෙත් එහි ආ කරුණුවල වැරදි නම් ''ටිපෙක්ස්'' ගා මැකිය හැකි ඒවා නොවේ. එක් උදාහරණයක් නම් "සිදත් සඟරාවට" බටුවන්තුඩාවේ පඬිතුමා කළ සන්නසක් ගැන එහි සඳහන් වීමයි. මෙය එකම ඡේදයේ දෙපොළකම එන නිසා මුද්‍රණ දෝෂයක් විය නොහැකිය. සන්නසක් යනු රාජ මුද්‍රාව තැබූ ලියවිල්ලකි. එවැන්නක් දෙන්නේ රජු විසින් ගම්වරයක් පිරිනමනු ලබන අවස්ථාවකදීය.සිදත් සඟරාවට සන්නසක් ලියුවේ ඇයි දැයි පැහැදිලි නැත.

මෙහි ආ එක් රසවත් වාක්‍යයක් පාඨකයන්ගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරමි."අල්විස් සිය පද්‍ය සාහිත්‍ය විචාරයට ක්‍රමයෙන් අවතීර්ණ වන්නේ යථෝක්ත සාහිත්‍යය පිළිබඳ හදවත පුරවා ගත් ප්‍රබල හැඟීමෙන් යුක්තවය."(107 පිටුව) පර්යේෂිකාව අල්විස්ගේ හැඟීීම් ගැන අධ්‍යයනය කරන්නේ කෙසේද?"හදවත පුරවා ගත් ප්‍රබල හැඟීම්" යනු මොනවාද? හැඟීම් ඇතිවන්නේ හදවතේ යැයි පවසන්නේ කවර මනෝවිද්‍යාඥයාගේ මතයක පිහිටාද? ඒ සියල්ලටම වඩා මෙහි ඇති ශාස්ත්‍රීය භාවය කුමක්ද?

මෙවැනි පොත් පශ්චාත් උපාධි පර්යේෂකයන්ට නම් වැදගත් වෙයි. ඒ පර්යේෂණ ග්‍රන්ථයක් නොලිය යුතු අන්දම ගැන මෙයින් උදාහරණ දැක්විය හැකි බැවිනි. පර්යේෂණයකදී ප්‍රාථමික මූලාශ්‍ර පරිශීලනය කළ යුතු යෑයි ඉගැන්වෙයි. එහෙත් මේ ලේඛිකාව තමාගේ ප්‍රස්තුතයට අදාළව හෝ ප්‍රාථමික මූලාශ්‍ර පරිහරණය නොකරන බව පෙනේ. මේ කෘතිය ඡේම්ස් ද අල්විස්ගේ සිදත් සඟරා හැඳින්වීම ගැන අධ්‍යයයනයකි. එහෙත් සිදත් සඟරා හැඳින්වීමෙහි ඡේම්ස් ද අල්විස් කියූ කරුණු ඇය ලබා ගන්නේ වෙනත් ලේඛකයන්ගේ පොත් වලිනි.මේ එවැනි එක් තැනකි."අල්විස් ද මේ පුවත ඔහුගේ සිදත් සඟරා ප්‍රස්තාවනාවෙහි ගෙනහැර දක්වන බව විමල් බලගල්ලේ පෙන්වා දෙයි."(205 පිටුව)

තවත් තැනක් නම් ඡේම්ස් ද අල්විස් බුද්ධාගම ලක් පොළෝ තලයෙන් අතුගෑවී යන බව කියන තැනයි. කතුවරිය එය පළ වූ මුල් ස්ථානය නොදනී. තමාගේ අධ්‍යයයනයට පාදක කර ගන්නා බව කියන පොතේ එය සඳහන් වන තැන නොදන්නා ඇය ඒ සටහනට අදාළව අධෝලිපියක් දක්වමින් මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ගැන ලියූ ලිපියක එය දැක්වෙන බව පවසයි.(33-34 පිටු) තමන්ගේ මූලික අධ්‍යයනයට ලක් වන පොතවත් කියවා නැතිව කරන මේවා අපූරු පර්යේෂණය.

මේ නිබන්ධනය සමෝධානය කරන අන්දමද අපූරුය. මෙන්න ඡේම්ස් ද අල්විස් ගැන ඇගේ නිගමනය:

''ශත වර්ෂ එකහමාරක් ගතවී ඇතත් වත්මන සාහිත්‍ය අධ්‍යයනයකදී කවර හෝ පාර්ශ්වයක් නියෝජනය කරන මහඟු මූලාශ්‍රයක් ලෙස අල්විස් තවමත් ජීවමාන බව සඳහන් කළ යුතුය.'' මේ කියන ''කවර හෝ පාර්ශ්වය'' කුමක්ද? මෙය ශාස්ත්‍රීය නිගමනයක් වන්නේ කෙසේද? ඡේම්ස් ද අල්විස්ගේ දායකත්වය නූතන සාහිත්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ අධ්‍යයනයකදී නිශ්චිතව දක්වා ලීමට නොහැකි නම් මේ පර්යේෂණය කළේ කුමක් අරබයාද? මේ ප්‍රශ්න පාඨකයකු වශයෙන් මා හට ඇති ඒවාය.

මේ ලංකාවේ විශ්වවිද්‍යාලවල ශාස්ත්‍රීය තත්වයේ දැන් පවතින මට්ටමයි.මේ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වීම නිසා විශාල සිවිල් තත්වයක්ද හිමි වෙයි. ඒ නිසා මාධ්‍යවලින් ශිල්ප දැක්වීමටද මං විවර වෙයි. ඒවායේ ස්වභාවයද අපට විටින් විට දැක ගත හැකිය.ඇතැම් ආචාර්යවරු තමන්ගේ විෂය අනන්‍යතාව සොයා ගත නොහැකි තරමට බහුවිෂයීක වී සිටිති. නවකතා, කවි, ගීත, දෘශ්‍ය කලා, සෞන්දර්යය, සන්නිවේදනය, ආගම, ජාතික චින්තනය, සමාජ විද්‍යාව, අපරාධවිද්‍යාව හා මානවවිද්‍යාව හරහා පෙරදිග හා බටහිර වෛද්‍ය විද්‍යාව තෙක් කවර ක්ෂේත්‍රයක වුවත් පොත් ලියන, රූපවාහිනී සාකච්ඡාවලට යන හා පොත් දොරටවැඩුම්වල දේශන පවත්වන ආචාර්යවරුන් හමු වන්නේ දැනුමට වඩා වැඩි සිවිල් තත්වය නිසා බව පෙනේ. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව හඟ නැගෙන්නේ මෙවැනි පිරිස් අතරින් විය යුතුය. එය තමන්ගේ බඩවියත රැක ගැනීමට ගෙනෙන පහසු සටන් පාඨයක් බව පෙනේ.

මා මේ ලිපිය ආරම්භ කළේ මහාචාර්ය අනුර මනතුංග මහතාගේ කවියකිනි. එහිම කොටසකක යළි උපුටා දක්වමින් මෙය අවසන් කරමි.

"ලබ්බක්වත් නො දත්තාට
කිම ඇති කාරිය
ලියවිලි හදා ගත්තෝතින් නම්
මහැදුරුකම අතේ ය
සරසවියක"

ආරියනන්ද සමරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලං ලංව ගෙන නරඹමි
ඈ එවූ සේයා රූ

දැනේ දැනේ
සුසුවඳ
බිත්ති මත අලෙවු දුන්
නෙක වර්ණ
සායමෙහි

පෙනේ
නිසි නිසි තැන
නිසි පිළිවෙලට
රැඳවූ
විසිතුරු අසුන්
සුව දෙන යහන්

සැලේ සැලේ
මුදු සේද තිර පට

දිලේ
නෙක මල්කමින් ආකුල
කදා රජනී පහන්


මා තැනූ නිවසළු

නිවා විදුලිය බුබුල
වැතිරෙමි දළ යහන මත
ගුලි ව ගන බොල් අඳුරට
එක් කරමි හිස් සුසුමක්
සීතල පාළු කුටියෙහි
කැකෑරෙන පාළුවට

ඈත එතෙර මට හිමි මව් බිමක්            වෙතී
බෝම වෙහෙස විඳ තැනු නිවසක් ද        ඇතී
පාර මතක මුත් නිල කරදාසි               නැතී
සිහිනෙන් මුත් හැබැහින් එහි යනු    නොහෙතී

සජීවනී කස්තුරිආරච්ච්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මේ දෙබස් සහ ගීත කොටස් උපුටා ගෙන ඇත්තේ ප්‍රකට වේදිකා නාට්‍ය තුනකින්. ඒ මොනවාද?

1. "....අස්පයෙක් වගේ හති හෙළන්න එපා මී හරක! කුළු මීමෙක් වගේ දිව්වට පොලිසියෙන් බේරෙන්න හම්බ වෙන්නෙ නෑ. ඉඳා මෙන්න පාන් කෑල්ලක්. මොකද ගොනෝ අර තරම් හයියෙන් දිව්වෙ! තොල කට ලෙවකන්න එපා මහා ආදිපාද කෙනෙක් වාගෙ...."

2. ".....පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා...."

3. ".....කන්ද දිගේ ලන්ද දිගේ
හතර දිගින් ගොඩින් මඩින්
දණ ගහන්න ඔබ හොයාන
එන මඟුලැතු උසීයේ
උසී- උසී- උසී යේ...."



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බුදින්නනි! ඇසුවාද කෝ - කියා
මේ මස් අවුළු පිසින කෝකියා

අවන්හල නෙක අහර
පිනවමින් රස නහර
බුදින'තර දෑස් හැර
බලව! සකි කුස්සි තෙර.

ගිනි සැරින් වකුටු වූ ඇස් - අතුල්
කළු ගැසුණු පපු - කකුල්
හිල් මෝස්තර ඉරුණු බැනියම් ද දැල් සරොම්
ඇස ගැසෙයි

උණු හොදි හැළුණු පිලිස්සුම්.
කැපුම් රැඳි දුබල'තින්
දුමෙන් - ලුණෙන් පදම් වූ රළු සමින්
ඇස වැසෙයි.

ඒ සියල් ලකුණු තුළ
දකිනු මැන ශෝකයෙන්
අපේ කුස් සනහනුව
බත සමඟ නිති ඉදෙන මනු සතුන්.

කෝ කියා නොඅසාම වැඩි වැටුප්
නාකියා වූවාට
සහසකට බත සදන
කෝකියා මා කියා උඩඟුවෙන්
කෝකියා වැඩ දැනුත්.

[අමාවකේ සඳක් සිඹිමි - 2006]

ලක්ශාන්ත අතුකෝරල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ප්‍රභාකරන්ගේ මව ආදාහනය කළ අළුගොඩ මත වෙඩිතබා මරා දැමූ බලු කුණු තුනක්
- (බුදුන්ගේ දේශයෙන් වාර්තා වූ පුවතක්)


බණේ දන්න උන්ගෙන් වෙඩිකා මියගිය බල්ලා
තනේ කිරි දුන්නු මව්ගේ සොහොනේ දැප වෙම්මා
අනේ අළු නොවී නොමැරී සිටියේ නම් අම්මා
මරා දැමූ බල්ලන්ටත් සෙනෙහෙ උපදවන්නා

අනේ බණෙන් අළුයම අපි ඇහැරෙන්නේ
ගුණේ හොඳ පිරිත් පැණියෙන් නාවන්නේ
කොනේ දත් අතර බුදුරැස් හප වෙන්නේ
කුසේ දඩමසිනි හිස්තැන් පුරවන්නේ

මුහුද තරම් අම්මාවරු වැලපෙන්නේ
අහස තරම් ලේකිරිකර පුද දෙන්නේ
මහ පොළොවටත් වැඩියෙන් දුක් උහුලන්නේ
ඉතිං මළ කුණෙන් කෝමද පලිගන්නේ

සෙනේ ඇති වෙනස කෝමද වෙනම කිරා ගන්නේ
තනේ කිරි එකයි අම්මගෙ පැටව් උරා බොන්නේ
ගුණේ මව්සෙනේ ලය ලේ කිරට පෙරී එන්නේ
අනේ එහෙව් අම්මට‍දෝ මෙහෙම නිගා දෙන්නේ

පිණේ ‍එකතුකර ඇත්තන් වනේ සැරිසරන්නේ
තුනේ පිටකයෙන් නිවනට පාර කපා ගන්නේ
කණේ ඇණ ඇණම බුදුබණ බොක්ක පුරෝ ගන්නේ
දෙණේ පළිගසන තිරිසන් රටකද අපි ඉන්නේ....?

සැකකාරයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



(බොහෝ කලකින් රෝහණ පොතුලියැද්දගේ කවියක් නොදිටිමි.)

වක් වතින් නොවක් කවියක් රැගෙන
නුඹ පැමිණි අතීතෙක දොරකඩම මල් පිපුණ
නොවක් ප්‍රතිපත්ති මත රැඳී ඇති විටක
වක් කවක්වත් නොලීවේ කිම සබඳ?

නොසෙල්වෙන සෙලක් ගැන සලිතවන හඳ නැතිව
ගලක රැඳි සෙවලකට කවි ලියමුද? කොහොම
මා ඔය හැර දමා පාන්දර බසයට නගින
නුඹ දෙස බලා කවි කැකුළු පරව යන

සඳ කිරණ පොරෝගෙන මා ඔයේ සැඩපහර
ආපසු එන මගට පාවඩ එළා හුළු අතින
මුමුණ මුමුණා කියන රහස ඇහෙනවද
හෙට උදෑසන කවියකට ඇහැරිය යුතුය

මුලට පෙම් බඳින විට ගසට මල් උරුම බව
කියාදුන් හිරුමඩල නුඹම වේ සකිසඳින
සැඩහිරුත් මැකී යයි විටක ගන වළාවක
ආයෙමත් නෙත් හරියි මහ පොළොව සිපගෙනම

[විල්තෙර.ලංකා| 2011.02.20]

දිලිප් කුමාර ලියනගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අන්ධ බව නොපෙනෙද
මහා මිනිසුන්ගේ
සෙයින් දෙවිවරු යන්නේ
නැමුණු පිට කොඳු මත දනන්නේ

කුලියට ලබා ගත්
මෙතෙක් කල් නොබිඳුණු
අවි බලයෙන් පමෝදව

මෙතෙක් කල් නම් දිගු වුව
ඒ සදාකාලික නොවන්නේ

අහා! බල මැන පෙරළිය
උදා වන යුගයකින් යුගයට
ලෝ වැසි දනන්නේ
එයම නො ම වන්නෙද උදානය!

(යදම් වලින් බඳිනු ලැබූ රජු වේදිකාවට ගෙන එයි. ඔහුගේ මුහුණ අඳූරුය.)

මහා පුරුෂය!
ගමන් නොකළැක්කෙද
හිස කෙළින් කොට?

මාළිගයෙ තොප වැසි
කවුළු අතරින් බලනා
දහසක් සතුරු නෙත් ඇත
බලා සිටිනා ඔබේ මෙගමන

නැත උවමනා දැන් නම්
ශිල්පියෝ නිර්මාණ ඔබහට
වඩුවෙකුට පුළුවනි
ඉතිරි වූ වැඩ නිමකරන්නට

නව මැඳුරකට නොව
සිදුරකට වේ බිම් මත
ඔබ මේ ගමන යන්නේ
යළිත් බලනුව වට පිට
අන්ධ වූ දෙනුවන් විදාලා!

සොම්නසක් නැග ඒ ද හද තුළ
දමා යන මේ ඉසුරු දැක්මෙන්?

අතර දෙව් මෙහෙයත්
පිස නිමා කළ රාජ බොජුනත්
ඔබ යන්නෙහිය දෙසකට
යළි නැඟී සිය එනු නොහැකි වූ.

(යුව රජු ඉවතට ගෙන යයි. අනතුරු හඟවන සක්නාදයක්. මැදුරු දොරෙන් එපිට කලබල.)

මහ උන්ගෙ මාළිග
බිඳී හැළෙනා විට
පොඩි උන්ද එහි ඇති
ඊට යට වී නැසී යේ

මහ උන්ගෙ මහිමය
නොලැබුණත් කල හොඳ කල
විපතෙහි දී නම් උන්ගේ
දිනති දීනයො එයින් කොටසක්

හෙළට යන අස් රිය
තුරඟුන් ද එහි බැඳි
සමග වැටෙනා මෙන් ප්‍රපාතෙට!

[හුණුවටයේ කතාවෙන්]

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
පරිවර්තනය - හෙන්රි ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මැරි මැරී වැටෙන මිනිසුන් අතර
නිවි නිවී දැල්වුනු පනකෙන්ද රැගෙන
මුක්තිය පතා මුක්ත කලාපෙට
කරන්නට යෙදුනු අභිනික්මන

හැපී පය කාගේ හෝ මළ කඳක
ලය කඩා වැටී ඉකිබින්ද බව
ජීවිතය ඉල්ලමින් මග වැටුනු
අයට පිළිතුරු නොදී පැමිණි බව

කළපුවල බැස එන විට
උණු කඳුළු සේදී ගිය බව
ගැඹුර මැනගනු නොහැකිව
දරු පැටව් කළපුවට භාර කළ බව

ෂෙල් වැසි වැටුනු තැනදී
ඔප්පු ගිනබත් වූ බව
බුක්තිය තිබුණු තැනකම
හිමිකම අහිමි වූ බව

කෆීර් පක්ෂීහු
දඩයමට වැද ගිය තැන
අපි තවම සිටින වග
වෘකයන් අතර නග්නව

අකුලා පැමිණි ජීවිතය
එලාගන්නට තැනක් නැතුවාම
වසන්තය එතැයි හීනෙකින්වත්
ඔබ සිතාගන්නේ කෝම.....?

දයා නෙත්තසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තිස් වසරක යුද්ධය අවසන් වීමත් සමගම සංවර්ධනයේ නව බලාපොරොත්තු දැල්වී ඇත. දේශපාලන අධිකාරිය ප්‍රකාශ කරන්නේ මෙහි ප්‍රතිඵල භුක්තිවිදීමට ශ්‍රි ලාංකීය ජනතාවට අවකාශය සළසාදෙන බවයි. මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය සමඟින් ලංකා‍ව ආසියාවේ ආශ්චර්යය බවට පරිවර්තනය කිරිමට යන වග ආණ්ඩුව දැනටමත් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ වි ඇති බව සැබෑවකි‍.

මෙය යථාර්තයක් බවට පත් කිරීමට ගෙන යන වැඩ පිළිවෙල පිළිබඳව විමර්ශනය කිරීමට සුදුසු යැයි තීරණය කළේ ඒ අනුවය. මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනය ශ්‍රී ලාංකිය ඉදිරි අනාගතය සැකසීමේ ත්‍රිපිටකය යැය පැවසිම සාවද්‍ය නොවේ යැයැ සිතමි. ජනාධිපති තුමන් එහි ඉදිරිපත් කරන ප්‍රධාන කරැණු කීපයක් පිළිබදව මුලින්ම අවධානය යොමු කරමු. ශ්‍රී ලාකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරිමට අවශ්‍ය මහා පරිමාණ ආයෝජන දැනටමත් සිදු වෙමින් පවතී. ඒ අතරින් හම්බන්තොට වරාය, කොළඔ මාතර අධිවේගී මාර්ගය ඇතුලු මාර්ග පද්ධතිය පුලුල් කිරීමේ ව්‍යාපෘතීන් හා බලශක්ති ව්‍යාපෘතීන් ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. පොදුවේ ය‍ටිතල පහසුකම් සංවර්ධන වැඩ සටහන් ලෙස මේවා සැළකිය හැකිය.

දකුණු ආසියාවේ සෙසු රටවල් සමග සංසන්දනය කිරීමේදි සීග්‍ර ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරමින් ආර්ථික වශයෙන් දියුණු වෙමින් පවතින රටක් ලෙස ලෝකය හමුවේ පිළිඹිබු කිරීමට කටයුතු කරමින් පවතී. මෙහි ප්‍රතිථලයක් ලෙස ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස උසස් වීමක් ද ලබා ඇත. 8% වැඩි දළ දේශීය නිෂ්පාදිත‍ෙය් වර්ධනයක් අපේක්ෂා කරන ආණ්ඩුව 2016 වසරේ දී ඒක පුද්ගල දළ ජාතික ආදායම දෙගුණයක් බවට පත්කිරීමයි. තවද ශ්‍රී ලංකාව "ගෝලීය පංච මහා කේන්ද්‍රය" (Global Hub), ආර්ථික, නාවුක, ගුවන් සහ දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට ද සැලසුම් කර ඇත.

මෙම අරමුණු ඉටුකරගැනීම සඳහා ඉහතින් ද සඳහන් කල පරිදි මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරමින් සිටී. මෙහි ප්‍රතිථල ක්ෂනිකව නොලැබෙන බව අවිවාදයෙන් පිළිගත යුතුය. එහෙත් මෙවන් කාර්යයන් සඳහා යොදවන ආයෝජන, විදේශ ණය ආධාර සහ ආර්ථික සැලසුම් සහ ප්‍රතිපත්තීන් ආසිය‍ාවේ ආශ්චර්ය බවට පත්කිරීමට පිටිවහලක් වන්නේ ද පිළිබඳව නැවත වතාවක් හැරී බැලිය යුතුය.

ඒක පුද්ගල ආදායම 2016 වසර වන විට ඇමරිකානු ඩොලර් 4000 සීමාවට ලගාවීමට නම් 10% පමණ ආර්ථික වර්ධනයක් අඛන්ඩව පවත්වාගත යුතුය. මෙලෙස වේගවත් ආර්ථික වර්ධනයක් පවත්නා චීනය හා ඉන්දියාව වැනි රටවල් දෙස බලන විට ඒ සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ව්‍යුහාත්මක කරුණු වල පවත්නා ගැටළුකාරී ස්වභාවයන් දැකගත හැකිවේ. ශ්‍රී ලංකාව 2007, 2008 සහ 2009 යන වසර වල පිළිවෙලින් 6.8% , 6.0% , 3.5% ක ආර්ථික වර්ධනයක් අත්කර ගන ඇත. චීනය සහ ඉන්දියාව ඉහල ආර්ථික වර්ධනයක් ලබාගැණිම සඳහා ආයෝජන දල දේශිය නිෂ්පාදිතයේ (ද.දේ.නි.) 40% ප්‍රතිශතයක අගයකට වර්ධනය කර ඇත. ආයෝජන සඳහා අවශ්‍ය ඉතුරුම් අනුපාතය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 30% කට ආසන්න අගයකට පවත්වාගන යයි. අනෙකුත් ආයෝජන, ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමෙන් සිදුකරයි. නමුත් ශ්‍රී ලංකාවේ ආයෝජන මට්මම ද.දේ.නිෂ්පාදනයෙන් 25% ක අගයක් ගන්නා අතර ඉතුරුම් 18% ක පමණ අගයක් ගනී. මහ බැංකු වාර්තාව පෙන්වා දෙන පරිදි 2009 වසරේ ආයෝජන ද.දේ. නිෂ්පාදිතයේ 24.5% ක් සහ ඉතුරුම් 23.9% ක අගයක් ගෙන ඇත. 8% ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට මෙම ආයෝජන අගයන් 40% ක පමණ අගයකට ගෙන ආ යුතුය. ඒ සඳහා එක් විසදුමක් ලෙස විදේශ ආයෝජන ආකර්ෂණය අතින් ශ්‍රී ලංකාව ඉතා පහල මට්ටමක් උසුලයි. සෙසු රටවල් සමග සංසන්දනය කිරීමේ දී මේ බව මනාව පැහැදිලි වේ. 2009 ලෝක ආයෝජන වාර්තාව අනුව ඍජු විදේශ ආයෝජන ආකර්ෂනය අතින් චීනය ඉදිරියෙන් ම පසුවේ. එය ඇමරිකානු ඩොලර් බිලියන 108.3 කි. ඉන්දියාව ඇමරිකානු ඩොලර් බිලියන 41.6 හා සමාජවාදී මුහුණුවරක් ගන්නා වියට්නාමය ද ‍ඇමරිකානු ඩොලර් බිලියන 8.1 ක අගයක් ගනී. නමුත් ශ්‍රී ලංකාවේ එය ඇමරිකානු ඩොලර් බිලියන 0.8 කි. මේ අනුව විදේශ ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ පවතින ආර්ථිකමය ස්වභාවය මනාව පිළිඹිබු වේ. මෙය තවදුරටත් 2009 වසරේ ව්‍යාපාර කිරීමේ දර්ශකය (Doing Business Index) විමර්ශණය කිරීමේ දී පෙනේ. මෙහි ප්‍රථම ස්ථානය සංගප්පූරුවට හිමිවී ඇති අතර ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 102 වැනි ස්ථානයයි. එහිදී ව්‍යාපාර ආරම්භ කිරීම, ව්‍යපාර සඳහා අවසර ගැනීම, දේපල ලියාපදිංචි කිරීම සහ ආයෝජකයන්ට සපයන සුරක්ෂිතතාව අතින් ඉතා දුර්වල ස්වභාවයක් පෙන්නුම් කරයි. මේ නිසා අප බලාපොරොත්තු වන ආර්ථික වර්ධනයට ලගාවීමට අවශ්‍ය ආයෝජන මට්ටමට ලගාවීමට ගැටළු පවතින බවයි.

මීට අමතරව රාජ්‍ය ආදායම වර්තන වියදම් (දෛනික) පියවා ගැනීමටද ප්‍රමාණවත් නොවේ. 2009 මහ බැංකු වාර්තාවට අනුව රාජ්‍ය ආදායම රුපියල් මිලියන 702,644 වන අතර වර්තන වියදම් සදහා පමණක් රුපියල් මිලියන 879,575 ක් වේ. එම වියදම් පියවා ගැනීමට ද ණය ආධාර ගැනීමට සිදුවී ඇත. සියළුම ආයෝජන ණය ගැනීම් සහ ආධාර මත තීරණය වේ. රාජ්‍ය අයවැය හිගය රුපියල් මිලියන 473,361 ක් වේ. ද.දේ. නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය අයවැය හිගය 9.8% කි. වර්තන වියදම් වලින් විශාල ප්‍රමාණයක් වැටුප් ගෙවීම් සහ ණය සඳහා වූ පොලී ගෙවීම් සඳහා වැය වේ. එය පිළිවෙලින් රුපියල් මිලියන 271,229 ක් හා 309,675 ක අගයක් ගනී. ද.දේ. නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම 14.6, වර්තන වියදම් 18.2, වැටුප් ගෙවීම් සඳහා 5.6 හා පොලී ගෙවීම් සඳහා 6.4 ක අගයක් ගනී. මේ හේතුවෙන් විශාල වශයෙන් ණය ආධාර ගැනීමට සිදුවේ. ඒ අනුව පොලී ගෙවීම් සඳහා වැය වන මුදල් ප්‍රමාණය ද වර්ධනය වේ. මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ද.දේ.නි. ප්‍රමාණයට ආසන්න මට්ටමක් ගනී. එය ද.දේ.නිෂ්පාදිතයෙන් 86.2% ක මට්ටමක් දක්වා වර්ධනය වී ඇත. සරල උදාහරණයක් ලෙස කුඩාම සමාජ ඒකකය වන කුටුම්භයක් (සරලව පවුලක්) ගෙන පැහැදිලි කරන්නේ නම් පවුලක් එදිනෙදා කටයුතු කරගන යාමට මුදල් ණයට ගැනීමට සිදුවුවහොත් කාලයක් යාමේදී ඔවුන්ට අත්වන ආර්ථිකමය ප්‍රතිවිපාක අමුතුවෙන් පැහැදිලි කලයුත නැත. මෙලෙස විග්‍රහ කිරීමේදී රාජ්‍ය මූල්‍ය පද්ධතියේ ව්‍යූහාත්මක වෙනස්කම් සිදුකිරීමට අව්‍යය බැව් පෙනේ. රාජ්‍ය මුදල් අයථා ලෙස යොදා ගැනීම් අවමකිරීමට පියවර ගත යුතුය. එසේ නොවුනහොත් බලාපොරොත්තු වන මට්ටමේ සංවර්ධන ප්‍රතිඵල අත්කර ගත නොහැකිවේ.

ඉන්දියාව සහ චීනය ලෝකයේ පිබිදෙමින් එන යෝධ ආර්ථිකයන් බවට පත්ව ඇත. නව කර්මාන්ත සහ සේවා අංශයේ ආයෝජනයන් වැඩිකරමින් ආර්ථිකයේ ව්‍යූහාත්මක වෙනස්කම් සදහා අවකාශ විවර කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික සංයුතිය ගතහොත් ද.දේ.නි. සඳහා කෘෂි අංශය 12%, කාර්මික අංශය 28% ක් සහ සේවා අංශය 60% කින් දායක වේ. නමුත් මෙම අංශ වල සේවා න්‍යුක්ති අනුපාතය ගතහොත් කෘෂි අංශ‍යේ 32%, කාර්මික 26% සහ සේවා අංශය 42% ක් වේ. මේ අනුව සේවා න්‍යුක්තිකයන් 32% දායක වන්නේ ආර්ථිකයේ 12% ක් සඳහා පමණි. එනම් කෘෂි අංශයේ ඵලදායිතාව පිළිබදව නැවතත් සිතා බැලිය යුතුය. තවද කෘෂි අංශයේ නියුතුවන්නේ බොහෝ සෙයින් ග්‍රාමීය ජනතාව වන අතර ඔවුන්ගේ ජීවන තත්වය වර්ධනය වීම හීනවීමට ඵලදායිතාවය අඩුවීම හේතුවී ඇත. මෙම සේවා න්‍යුක්තිකයන්ට කර්මාන්ත හා සේවා අංශයන්හි රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය වේ. මන්දයත් ආර්ථික වර්ධනය වේගවත් රටවල් දෙස බැලීමේ දී ඔවුන් ප්‍රාරම්භක අවධියේ කෘෂි අංශයේ වර්ධනයට අවධානය යොමුකර ක්‍රමයෙන් එය කර්මාන්ත හා සේවා අංශ සඳහා ව්‍යාප්ත කිරීමයි. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කිරීම ආර්ථික වර්ධනය සඳහා කටයුතු කරන පාර්ශවයන්ගේ වගකීම වේ.

1960 වසරේදී දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව ඒක පුද්ගල ආදායම අතින් සමාන අගයක් ගෙන තිබුණි. එය ඇමරිකානු ඩොලර් 152 ලෙස සටහන් විය. නමුත් 2005 වන විට දකුණු කොරියාව 15,380 ක් ලෙසත් ශ්‍රී ලංකාවේ 1241 ක් ලෙසත් පවතී. දකුණු කොරියාව අනුගමනය කල ආර්ථික සැලසුම් සහ ව්‍යුහාත්මක වෙනස්කම් තුලින් වේගවත් ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් අද වන විට ශක්තිමත් ආර්ථිකයන් බවට පත්ව ඇත. වෙනත් රටක ක්‍රියාත්මක කල ප්‍රතිපත්ති හා සැලසුම් අප රටට එලෙසම අදාල නොවන අතර එලෙසම අදාල කරගත යුතුද නැත. නමුත් අවශයෙන්ම කලයුතු වෙනස්කම් පවතී. ඉහතින් සදහන් කල ව්‍යුහාත්මක වෙනස්කම් වලට අමතරව මානව සම්පත සාක්ෂරතාව අභිබවාගිය කුසලතා සහ දක්ෂතා වලින් පිරිපුන් ප්‍රාග්ධන සාධකයක් බවට පත්කල යුතුය. යුද්ධය අවසාන වුවද මේ සඳහා වන පැහැදිලි වැඩපිළිවෙලක් තුලින් පමණක් බලාපොරොත්තු වන ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීම බලාපොරොත්තුවක් පමණක් නොව යථාවක් බවට පත්වනු ඇත.

චමීර පසන් මාරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නොකියා ම හිටියට
නුඹත් මා වාගේ ම
පපුතුරේ සඟවගෙන ගිනිකන්ද
සිටිනවා ඇති
කොහේ හෝ දුර ඈත

වටකුරු අත් අකුරින්
ලියූ එකමෙ'ක කවිය
පසෙක ලූ අත්වැරැද්දට
මහා දිගු පාලමක
වියල්වුණ
දෙකෙළවර නොවුණා නොවෙද
අප දෙදෙන

අදින දුම් උගුරක් පාසා ම
පපුව කලතා හද දවන
අරින බෝතලයක් ගානේ
මත් මධුර කවක් වී
නුඹ මැවෙන

කොහේ හෝ හද්දා පිටිසරක
පැටවුනුත් කිහිල්ලේ රුවාගෙන
උන්ව නහවනව ඇති
බත් උයනවා ඇති
රෙදි අපුල්ලනව ඇති
නුඹ තනිව
හනි හනික සටහන් ලිව්ව
පුංචි රතැඟිලි පොකුර
කරගැට ලිහී දැවෙනු ඇති
හිනා කට පිරෙන කොට
වලගැහුණු දෙකම්මුල්
තවම එලෙසම ඇති

කුණුහරුප කියාගෙන
බීගෙන ගෙට වඩින
කරදහියෙ ඔතන් ආ
පාන් ගෙඩිය
පැටවුන් දෙසට විසිකරන
දෑස් ඉදිමුණ
කසිප්පු ගඳගහන
රැවුල් කොට ඇනෙන
හිමි සඳට
තෙල් උලා, මග ඇද වැටුණ
වේදනා ගල් තැලුම් නිවනු ඇති

පොල් අතු සිදුරු අතරින් පෙරෙන
ලා සඳ එළිය දැක
තනිව ම හූල්ලනවද
හීනෙන් හිනා වෙන
නිදිගත් පැටව් දෙස බලා
නොහඬා ම හඬනවද

පින්න මල් පිපෙන පුසුඹට
බියවී නැගිට මැදියමේ
ඉතිපීසෝ කියවෙනවද
පාලු කනත්තක දුර ඈත
බලු උඩුබිරුමකින් ඇහැරී
ලිපට ගිනි පිඹිනවද
කහට වක්කරනවද

කිලුටු ගවුමේ අතක
අතීතය නොතවරා
හිමි සඳගෙ බත් මුලත් බඳිනවද
කඩුලු වැට පැන මැකී යන තුරු
උලුඅස්ස ළඟ මග බලනවද

කරදාසි කොලවලට දියවෙන්න
නුඹ කවි නිමිති මට දුන්නද
අතීතේ සුදු ගවුමක
සැවැන්දරා සුවඳ තැවරුණ
පුංචි දුක්බර කවියක්
හඳ පෑව්වා සේ පැමිණ
එළිවුණා සේ නිවී යන

කපා කොටා ලියවෙන දුක ම
යළි යළිත් කියවා බලමින්
පිරෙන අළු බඳුන ළඟ
රත්තරන් වතුරෙන් තෙමෙන තොල'ගින්
පෙරදා පසෙක ලූ පෙම් කවක
වචන හීනියට මුමුනම්

නිරාෂ ගුණසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හිරු මළ සොවින
නුබ ඇස හැඬු කඳුලෙනි
දුකඳුර පැමිණ
තුඟු කඳු සිරස ගිලගති

තැන තැන වැතිර
පරමල් තව ම වැලපෙති
ගොක් අතු පතක
සුසුමකි නිබඳ නිදි නැති

මතක අමු සොහොන් වැද
තනි වී
හිඳිනු කෙලෙසක
මෙහි ම ආමි

අඩ දැනිව හිඳිමි

ඔබ ඇස පියන බිම
මගෙ හද ගැහෙන හඬ
අසමි

විජය නන්දන පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඉදින් අපි එක්තරා සඳැති රැයක පල්ලම් සහිත වීථීයක් ඔස්සේ ගමන් කරමින් සිටිමු නම්, බොහෝ ඈත සිට පල්ලම ඔස්සේ අප දෙසට දිව එන මිනිසෙක් අපට පෙනේ නම්, ඔහු දුබලයකු වුව ද, ඔහු වැරහැලි ඇඟ ලා සිටිය ද, තවත් මිනිසකු කෑ ගසමින් ඔහු පසුපස එළවා එන්නේ වුව ද, අපි ඔහු නො අල්ලා,ඔහුට දිව යන්නට ඉඩ අරින්නෙමු.

මක් නිසා ද යත්,රෑ බෝ වී ඇත. වීථිය සඳ එළියෙන් පහන් වූවාට හෝ එය පල්ලම් සහිත වූවාට හෝ අපි වරදකරුවෝ නොවෙමු. කෙසේ වෙතත්,මොවුන් දෙදෙන දිවීමේ නිරත වී සිටින්නේ හුදෙක් විනෝදය තකා විය හැකිය. ඇතැම් විට ඔවුන් තුන්වැන්නකු ලුහුබැඳ යනවා විය හැකිය. ඇතැම් විට පළමු වැන්නා අහිංසක විය හැකිය.යම් හෙයකින් දෙවැන්නා ඔහු මරන්නට අදහස් කරන්නේ නම්, අප එයට හවුල්කාරයන් විය හැකිය. ඇතැම් විට ඔවුන් දෙදෙනාම, එකිනෙකාගේ පැවැත්ම ගැනතුමූම නොදැනුවත් ව,එක එකා සිය කැමැත්තෙන් ම, නින්දට යනු පිණිස තම තමන්ගේ නිවෙස් බලා දුවනවා විය හäකිය. ඇතැම් විට ඔවුන් නිශාචරයන් විය හැකිය. ඇතැම් විට පළමුවැන්නා අවි ගත්තකු විය හැකි ය.

කෙසේ වුව ද,තෙහෙට්ටුවෙන් හෙම්බත් වී සිටින්නට අපට අයිතිවාසිකමක් නැද්ද? අපි පමණ ඉක්මවා මත්පැන් නො බීවෙමු ද? තව දුරටත් දෙවැන්නා අපට පෙනෙන තෙක් මානයේ නොසිටීම ගැන අපි සතුටු වෙමු.

[බුහුමංසල් උයන සහ වෙනත් කෙටිකතා- 1995]

ෆ්‍රාන්ස් කෆ්කා
පරිවර්තනය - නිකලස් එම්. කුරේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



-තරුණ කාන්තාවක් හා පුරුෂයෙකු දින කිහිපයකට ඉහතදී අහවල් ගමේ නිවසක මරා දමා තිබිණි. එතැන තිබී අසභ්‍ය වීසීඞී තැටි කිහිපයක් ද සොයාගෙන තිබේ. මේ මරණයට පත්වූ කාන්තාව හා පුරුෂයා අනියම් පෙම්වතුන් බව ගම්මු කියති. මේ මරණය පිළිබඳව අදාළ කාන්තාව ගේ පුරුෂයා සැකපිට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරනු ලැබිණි.-

හඳ රවුමක් වෙන දවසේ
මායිය අපේ සිල් ගන්නව පංසලේ
මං ඩිංගක් දාගන්නව පාඩුවේ

ඉටිපංදං හඳුංකූරු නෙමෙයි හාඳුරුනෙ
මායිය උපාසකම්ම උනාට උනා
පිරිත් පොතයි - ආනාපානෙ සතියයි
හුස්ම පොදක් මගෙ - මායියගේ කණේ
හැප්පෙන මැස්සෙකුට මායිං නෑ හාඳුරුනෙ

බණපීස් බලන්ඩෝනැමයි කියල
කංකරච්චලේ හින්දමයි හැමදාම
ප්ලේයර්රෙක වගා ණයෙන් අරගත්තේ
හඳ රවුමක් වෙන දවසේ ඒක මගේ

ගෙනහැල්ල ගල් බාගයක්
අමුවටම තොලේ තිය තිය
අයිඩිංකාඞ්ඩෙකෙ ඇපේට
ගෙනහැල්ල ටවුමෙන් ත‍්‍රිබලක්
ඇහැලනව හතිලනව නිදිවරනව රෑ ගෙවෙනව

ඉටිපංදං හඳුංකූරු නෙමෙයි හාඳුරුනෙ

ඔය අනං මනං දෙඩවිල්ල
පැත්තකින් තියල
කියනව මේ මරණෙට මුල

ඔය කියන දවස ඕං
හඳ රවුමක් උන දවසක්
මායිය ගෙදර. සිල් ගත්තේ මං
දානමාන කටයුතුහෙම මායියගෙං හරි ඉහළිං

කෑලිපහත් හෝදාගෙන
ඇලෙන් ගොඩට සිල් මුදලා ආවා මං
කෑලි දෙකේ ටෝච්චෙකත් අතේ ඇරං
කිරිකිරියෙන් ඇඳ ඇඬුවා
ඇහැදැම්මා ඩිංගක් මං

...................

මගේ හිත හති ලෑව
නන්නත්තාරෙ පපුකැවුත්ත
ඩිඞ්ඩිඞ්ගගා
හුස්ම උඩගෙඩි දුන්න

මං.....

මං සිල් මුදල හිටියෙ හාඳුරුනෙ

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නීල කඳු ශිකර තැල්ලකින් වටව
රුසිරු දසුනකින් අතිඅලංකෘතව
අහා.... කෙතරම් සොඳුරුද
මෙවන් මනරම් පෙදෙසක විසුම

එහෙත්
සොඳුරු කඳු දසුනට පිටුපා සිට ගෙන
නෙත් විදාගෙන - මුව අයාගෙන
යනෙන මේ මග දෙසට
දුගී පැල්පත්ය එක පෙලට
නිසැකයෙන්
නුණුවන දනන් මෙහි ඇති
සොබා රූ සිරි දකින නෙත් නැති

රුසිරි කඳුදු දසුනින්
දෑස් ගිනිකන වැටී මේ ලෙස
මෙහෙව් ආඩපාලි නොකියන් අපට
විදත් මහතුනේ සැදී පැහැදී සොද

මාන මනා ඔය දුර දක්න
දුරින් සිට බල සැනසෙන
තොපට මෙන් අපට
රුසිරු විහිදන මිහිරි මී විතක්
පමනක්ම නොවේ මේ සොබාදම

අප වැදූ මව් කුසද
අප තැනූ පියහසරද
මගකියන ගමන් සගයාද
පමනක්ම නොව
නිතර දුක සැප අසන නිරිදෙකි
මේ සොබාදම් නිල් උඩුවියන

ඉතින් එහි රුව ගුන දකින්නට
අමුතුවෙන් කවුලු හා විවර
අපිට උවමනාවක් නම් නැත

එහෙව් අතිජාත කඳු තිර පසුබිමට ගෙන
කෙත්වතුද, අපේ දුගී මාලිගා පෙලද
එකපෙලට එකට සිරුවට හිටගෙන
අප මවන මේ මහා සිතුවමෙහි
අරුත රුව ගුන වරුන
මහතුනේ තොපට
නොතේරෙන එක පුදුම නැත

සුසන්ත මූණමල්පේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"සමාධි...තව වෙලා යයි ද?" මාලින්ද ඇහැව්වෙ වර්ණ එන්න පොරොන්දු වෙච්ච වෙලාවට වඩා දැන් සෑහෙන්න පරක්කු වෙච්ච නිසා.

"ම්ම්..තව ටිකක් ඉමු. ෆොරිනස් ල වගයක් ආව කිව්වනෙ හදිස්සියෙම..".

සමාධි උත්තර දුන්නෙ එතරම් තැකීමක් නැතිව. "හ්ම්ම්"

"ෂහ්.... මෙතනට මේ කඳු පංතිය පේන ලස්සන.

ඊසල් එකත් තියාගෙන අඳින්න ඇත්නම්." මාලින්දට එහෙම හිතුනා.

"මාලින්ද අර කඳු ටික හරි ලස්සනයි නේද? බලන්නකො පර්ස්පෙක්ටිව් එක. නැචුරල් කලස්. අනේ..බලන්න." සමාධි එහෙම කිව්වෙ මාලින්දෙගෙ සිතුවිලි දැනගෙන වගෙයි.

මාලින්දට පුදුමත් හිතුනා."සමාධි මගේ හිත කියවනවද?" මාලින්දට හිනා ගියා.

“ඇයි ඔයා හිනා වෙන්නෙ?” සමාධි ඇහැව්වෙ තරහින් වගේ.

"නෑ. මේ දැන් මම ඒගැන හිතුවා විතරයි. අ නදර් ටෙලිපති එක්ස්පීරියන්ස්"

"හම්".

ඒ හඬෙහි තිබුනේ වේදනාවක් ද සතුටක් ද කියලා හිතා ගන්න මාලින්දට බැරි වුනා. මාලින්ද ඇස්කොනින් සමාධි දිහා බැලුවා. ඇය අද පැමිණියේ ඇගේ පෙම්වතාව මුණ ගැහෙන්න. වර්ණ..ප්‍රසිද්ධ චිත්‍ර හා මූර්ති ශිල්පියා. ඔහු ඇකඩමියට පැමිණි දිනවල ඇයට වෙන කටයුත්තක් නැහැ. ඔහු යන යන තැන පස්සෙන් යෑම හැර. ඒ දිනවල මිතුරු මිතුරියන් අතරේද ඇය හැසිරෙන්නේ වෑයමෙන් සඟවාගත් ආඩම්බරයක්ද ඇතිව. එක් අතකට වර්ණ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙකුගේ පෙම්වතිය වෙන්න කවුද අකැමති. තමා තවමත් සමාධි ගැන මෙතරම් උනන්දුවීම ගැන මාලින්දට තිබුනේ තමන් ගැනම තරහක්. ඇය තමාගේ කවුද? ඇය තමාව ප්‍රතික්ෂේප කලා නොවේද? තමන්ට ඇය උරුම නැති බව දැන දැනම තමා තවමත් ඇය ගැන මෙතරම් වද වෙන්නේ ඇයි. අද ඇය හා මේ ගමන පැමිණීමම අනවශ්‍ය දෙයක් නොවේද? කමක් නැහැ. ආදරය කියන්නෙම පරිත්‍යාගයක්. මාලින්ද එහෙම හිතුවා.

"මාලින්ද...අපරාදෙ නේද අද ඔයාගෙ දවස...ඉන්න මම වර්ණ ආව හැටියෙම ඔයාව රිලීස් කරන්නම්.ඔයා මං නිසා කරදර වෙනවා ගොඩාක්."

සමාධි එහෙම කිව්වෙ ඇත්තටම තමා ගැන අනුකම්පාවෙන්ද නැත්නම් වර්ණව මුණගැසීමට ලැබෙන ප්‍රීතිය නිසාදැයි මාලින්දට හිතා ගන්න බැරිවුනා.

"නෑ කමක් නෑ. මම වර්ණ ආවම යන්නම්. දෙන්නට ඉතින් කතා කරන්න දේවල් නැතුවයැ."

සමාධි බිම බලාගෙන හිනා වුනා.

"ඉතින් දැන් කොයි කාලෙද වෙඩින් එක ගන්න ඉන්නෙ?".

මාලින්ද එහෙම ඇහැව්වෙ සිතේ මතුවෙමින් ආ වේදනාවක් යටපත්කරගැනීමේ අසීරු උත්සාහයක යෙදෙමින්.

“තවම තීරණයක් නැහැ මාලින්ද. දන්නවනෙ වර්ණ ගෙ හැටි. එයාගෙ මුලු ලෝකෙම චිත්‍රයි මූර්තියි. වෙන දෙයක් ගැන කතා කරන්න අල්ල ගන්න හරි අමාරුයි. ලෝකෙ ගැන එයාගෙ අදහස් හරිම වෙනස්.”

සමාධි කියවන්නෙ අර සඟවාගත්ත ආඩම්බරෙන් කියලයි මාලින්දට හිතුනේ. ඒකනෙ බිම බලාගෙන තනියම හිනාවෙන්නෙ.

“ආ අර එන්නෙ...ඇති යාන්තම්.”

සමාධි ඈත එන වර්ණ දිහා බලාගෙන කිව්වා.

අම්මෝ දැක්ක විතරයි ගෑනිගෙ මූණට ආපු එළිය. මාලින්දට සියුම් ඉරිසියාවක් ඇතිවුනා.

වර්ණ ළඟට එන්න කලින් සමාධි ඉදිරියට දුවගෙන ගියා.

මං මොකටද ඒ දෙන්නට බාධා කරන්නෙ. මාලින්ද බංකුවෙ වාඩිවෙලාම හිටියා.

ඒත් විටින් විට මාලින්ද වර්ණත් සමාධිත් කතා කරන දිහා බැලුවා. විනාඩි පහකින් විතර වර්ණ ආපහු හැරිලා ගොඩනැගිල්ල දිහාවට යනවා මාලින්ද දැක්කා. බිම බලාගෙන මැලවුනු මූණකින් සමාධි ආපහු මාලින්ද ඉඳ සිටි බංකුව වෙත ආව. හැබැයි ගියාට වඩා හරිම හිමින්. සමාධි ගේ ඇස්වල කඳුලු.

"ඇයි මුකුත් අවුලක් ද? මොකෝ අර හදිස්සියෙන් ආයෙත් දිව්වෙ?"

සමාධි මුකුත් නොකියා බංකුවේ වාඩි වුනා.

"ඇයි සමාධි මොකද්ද ප්‍රශ්නෙ? මට කියන්න සුදුසුනම් විතරක් කියන්න " .

මාලින්ද එහෙම කිව්වට සිදුවුනදේ දැන ගන්න ලොකු වුවමනාවක් නොතිබුනාම නෙමෙයි. සමාධි තව විනාඩි කිහිපයක් නිහඬවම හිටියා. ඒමුලු කාලෙම මාලින්දගේ ඇස් සමාධි ගේ ඇස් වෙත යොමුවී තිබුනා.

"එයාට අර ෆොරින් ආටිස්ට් ලා ලන්ච් වලට ඉන්වයිට් කලාලු. මාව එක්කගෙන යන එක හරි නැහැල්ලු. බලන්න මාලින්ද? මාස ගානකට පස්සෙ මට එයා මුණ ගැහුනේ. එදාටවත් එයාට මං වෙනුවෙන් වෙලාව නැහැ. එයා ඒ කට්ටියත් එක්ක ඩෙන්මාර්ක් යනවලු අනිද්දා.ඒකවත් මට කලින් කිව්වෙ නැහැ. එන්නෙ මාස 4කට පස්සෙලු. අනේ බලන්න මාලින්ද? මං.. මං අද ආවෙ එයා දවසම මා එක්ක ඉඳී කියල හිතාගෙන."

මාලින්ද මුකුත් නොකියා ඈත කඳු පංතිය දිහා බලාගෙන හිටියා. කඳු පංතිය, මාලින්ද සහ සමාධි අතර කාලය මිදිලා තිබුනා .

"සමාධි".

මාලින්ද බොහෝ වේලාවකට පසු නිහඬතාවය බින්දා.

"අපි යමු."

මාලින්ද බංකුවෙන් නැගිට්ටා.

සමාධිත් බිම බලාගෙන නැගිට්ටා.

"මාලින්ද"

“ ඇයි”

“ අර කඳු පංතිය...ඒක හරි ලස්සනයි නේද?”

මාලින්ද ජීවිතයේ පළමුවෙනිපාර ඒ කඳු පංතිය දිහා බලනවා වගේ බලාගෙන හිටියා. දැන් ඒමත හිරු රැස් වැටී ඇති විදිහ කලින් තිබුනාට වඩා ලස්සනයි කියා මාලින්දට හිතුනා.

"ඔව්. හරි ලස්සනයි. "

අනුෂ්ක තිලකරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මහින්ද ආචාර්ය පදවිය දිනාගත්තේ හිතේ වීරියත් සමග එකතු වූ වාසනා ගුණ මහිමය ඇතිවය. යුද්ධය දිනා දුන් පසු ඒ දිනා ගත්තේ කොහොමදැයි කොපියක් ලියූ තවත් මහින්ද කෙනෙක් ආචාර්ය පදවිය දිනාගත්තේය. ජනප‍්‍රියතාව එක සේ ආරක්ෂා කරගන්නට තරම් උපායශීලී ආචාර්ය මහින්ද පිට පිටම දෙවතාවක් තනතුර ආරක්ෂා කර ගත්තා පමණක් නොව ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එමින් ජීවිතාන්නතය දක්වා බලයේ ඉන්නට අවස්ථාව හදා ගත්තේය. කවුරුත් එයට විරුද්ධ වන්නට අසමත් වූහ. විරුද්ධවාදීන්ට කටක් අරින්නට ඉඩ නොදී තමන්ට උවමනා දේ කර ගැනීම ආචාර්ය මහින්ද ගේ සමත් බවකි. මහින්ද ගෙදර යවන්නට තවත් මහින්ද කෙනෙකුම බිහිවිය යුතුය.

ගිය නුවන ඇද ගත යුතු ඇතුන් ලවාය. ගසක් නසන්නට ගසක් ම අවශ්‍යය. අපි නැති වන්නේ අපේ රැහේ එකෙකු නිසාමය. මහජනතාවගේ හිත පතුලේ නිධන් වන්නට මහින්ද කළේ තිස් අවුරුද්දක් තිස්සේ පැවැති ත‍්‍රස්තවාදය අවසන් කිරීමේ තීන්දුව ගැනීමයි. එය හුදෙක් තනි තීරණයක් ම නොවේ. එයට පොළඹවන ලද නොයෙකුත් කරුණු කාරණා එයට සහසම්බන්ධය. ඒත් ආචාර්ය මහින්ද නොවුනා නම් අදත් මහජනතාව ඉන්නේ බයෙන් සැකෙන් බව නොකියා නොහැකිය.

ටියුනීසියාවේ හා ඊජිප්තුවේ මෙන් තිස් හතලිස් අවුරුද්දක් බලයේ ඉන්නට ආචාර්ය මහින්ද සමත් වුවහොත් බලය අල්ලා ගන්නට බලාගෙන ඉන්නා හැම දෙනාගේම සිහින බොද වෙයි. මේ නිසා ගහ නසන්නට අල්ලා ගත යුත්තේ රැහේ ම කෙනෙකි. ආචාර්ය මහින්ද ඒ කාරණය හිතට ගෙන ඇත. නොදන්නා තැනකින් නම ගම වාසගම නැතිව දුන් ආචාර්ය මහින්ද බලයෙන් පහ කිරීම හෙවත් ජනප‍්‍රිය තාවයෙන් බිංදුවට ඇද දැමීම ආචාර්ය මහින්ද ගේ අභිප‍්‍රායාත්මක කුමන්ත‍්‍රණය වී ඇති බව පෙනේ.

ආචාර්ය මහින්ද සිංහල බෞද්ධ නායකයෙකි. කූල්ටූර් සංස්කෘතියට එය ඇහැට ඉදිකටු අනින්නාක් වැනිය. මහින්ද ගේ ඇගේ ඇති සිංහල කම පන්සලට අදින ගතිය නැති කල හැක්කේ සිහල බෞද්ධ මුදුන් මුලට පොරව පහරක් එල්ල කිරීමෙන් පමණකි. ආචාර්ය මහින්ද ඒ ගැන දැන ගෙන ඇත්තේ නිල කබායේඇති පුදුමාකාර ඉවෙන් බව පෙනේ.

එහු ඒ සදහා තෝරා ගත්තේ අවුරුද් එකසිය විස්සක ඉතිහාසයක් ඇති බෞද්ධ කාන්තා විදුහලකි. නිදහස් සටනේ පුරෝගාමීන් ආරම්භ කළ අදටත් ශික්ෂණයෙන් යුතු බොදු කාන්තාවන් තනන මේ විදුහල ඇත්තේ කොළඹ නගරය මැදය. එහි දරුවන් අට දහසකට වඩා ඉගෙන ගනිති. ඒ දරුවන්ගේ දෙමාපියෝ බොදුනුවන්ය. එපමණක් නොවේ. සමාජයේ මතයක් පතුරවන්නට හැකි මධ්‍යස්ථව සිතන කණ්ඩායමකි.

දැන් මාස කිහිපයක සිට මේ පාසගේ දරුවන් ගන්නට එන දෙමාපියන්ගේ වාහන වලට පාසල ඉදිරිපිට අවට හා ඒ මාර්ගයේ කොතැනක හො වාහනය නවතා දරුවන් ගන්නට ඉඩ දෙන්නේ නැත. පසුගිය දහ අට වැනිදා පාසල් බස් වලටවත් දරුවන් ගැනීමට නතර කරන්නට ඉඩ දුන්නේ නැත. නතර කර තිබූ වාහන වලට දඩ ගැසූහ. අතින් කටින් බෑග් උස්සාගත් දරුවෝ තම පාසල් බස් හොයමින් නගරය පුරා සැරිසැරූහ. එදා පම්ණක් නොව දැනි මාස දෙකක පමණ කාලයක් තිස්සේ සතියකට දෙතුන් වරක් මේ මියුසියස් විදුහල ඇති ප‍්‍රධාන මාර්ගයක් නොවන අතුරු පාරේ නවතා ඇති සියලූම පාසල් වාහන දෙමාපියන්ගේ වාහන වලට දඩ කොළ නිකුත් කරති.

මියුසියස් විදුහල පෙනෙන මානයේ ඇති මුස්ලිම් පල්ලියට සිකුරාදා යාඥා වෙනුවෙන් දෙන ඉඩ හිතන්න. වර්ණ සංඥා අක‍්‍රිය කරයි. පාරේත් පදික වේදිකාවේත් වාහන ගාල් කරයි. ගංගාරාමයේ පෙරහර දා එහෙම ඉඩක් දෙන්නේ නැත. ආගම් බේදයක් නොවේ. මේ අපට පෙනෙන මහින්ද ගේ න්‍යාය පත‍්‍රයයි. මියුසියස් විදුහලට ඇති බාධා රෝයල් විදයාලයට නැත. එහි සිංහල බෞද්ධ බලවේගයක් නැතැයි කී ම වැරැදිය. එහෙත් එහි ඇත්තේ මිශ‍්‍ර සංස්කෘතියකි. රෝයල් සංස්කෘතියට බාදා සිදුවීම මහින්ද අරාජික කරන්නක් නොවේ. එහෙම දෙයක් වුනොත් රිදෙන්නේ කොල්ලූපිටියේ සංස්කෘතියට මිස රුහුණට නොවේ. අගමැති කාර්යාලය අසල දහවල් පාසල් අවසන් වන අවස්ථාවේ දී ඇති ඉඩ ගැන නිරීක්ෂණය කරන්න. ජනාධිපති මන්දිරය ඉදිරිපිට මාවතේ ප‍්‍රසිද්දියේ වාහන නතරකර දරුවන් ගන්නා සංස්කෘතිය ගැන අවධානය යොමු කරන්න. ඒවාට දඩ කොළ ලිවීමෙන් සිංහල බෞද්ධ බලවේගය කළ කිරීමට පත් නොවේ. එයින් ආචාර්ය මහින්ද ගෙදර යවන සේව නූල පත්තු වන්නේ නැත.

ආචාර්ය මහින්ද බටහිර ගැත්තෙක් නොවේ. එහු ඉන්දියාවට අත දිගු කරයි. ඒ අතරවාරයේ චීනය සමග අත්වැල් බැද ගනී. ඇමරිකාවට යන්නේ බෙහෙත් ගන්නටය. ඉරානය ලෙන්ගතු මිතුරෙකි. චීන ලංකා මිතු දම කොතරම් ද යත් එය ආචාර්ය මහින්දගේ ගමනට උදවු කරන හිතෛශීවන්තයාගේ තැන අරගෙන තිබේ. ආචාර්ය මහින්ද මේ ගැන ද දනී.

පසුගිය පෙබරවාරි දහ වැනිදා චීනයෙන්පැමිණි සංස්කෘතික කණ්ඩායමක් කොළඹ ටවර් රගහලේ සංදර්ශනයක් ඉදිරිපත් කළේය. එය බලන්නට ආ හැම දෙනෙකුම වාහන ගාල් කළේ ටවර් රගහල ඉදිරිපිටය. කාලයකට පසු අලූත්වැඩියා කර ඇති රගහලේ විචිත‍්‍රවත්ව තිබූ දර්ශනය නිමවා රාත‍්‍රී වාහනය ගන්නට පැමිණි හැම රියැදුරෙකුටම උසාවි නියෝග නිකුත් කරන්නට ආචාර්ය මහින්දගේ මරදාන පොලීසිය කි‍්‍රයා කළේය. පොලිස් පොඞ්ඩෝ කියා සිටියේ අපට කරන්න දෙයක් නෑ. ලොක් දෙන ඕඩර් කියමින් තම රාජකාරිය ටවර් රගහලේ චීන ලංකා මිතු දම කිළිටි කළ ආචාර්ය මහින්ද එයින් ඔබ්බේ පංචාකාවත්ත දක්වා වාහන ගාල් කර ඇති රියැදුරන්ට කිසිම දඩ කොළයක් නිකුත් කළේ නැත. ටවර් හා එල්පින්ස්ටන් රගහල් වල වෙනදා වෙනත් විකාර නාට්‍ය දකින්නට එන පේක්ෂකයන්ට මෙයට පෙර දඩ කොළ නිකුත් කර නැත. චීන ලංකා සංස්කෘතික දැක්ම ආචාර්ය මහින්දගේ තියුණු ඉවට දැණුන කාරණයකි.

ආචාර්ය මහින්ද ගේ සුදානම ආචාර්ය මහින්ද ඉක්මනින් ගෙදර යැවීමයි. බලය ගොඩ නැගෙන විට ඒ බලය විනාශ කරන බලවේගයත් ගොඩ නැගෙන්නේ ස්වභාවිකවය. එය ලෝකයේපොදු ධර්මතාවයයි. මියුසියස් දරුවන්ගේ හිත් පෑරීම හා චීන ලංකා හිතවත්කමට ගැරහීම එකම කාසියක දෙපැත්තකි. මේ කාසිය කොයිපැත්ත වැටුනත් ආචාර්ය මහින්ද ගේ ලකුණු අඩුවෙයි.

හම්බන්තොට කි‍්‍රකට් පටන් ගන්නාවිට ම පපර බෑන්ඞ් බැනර් එපා කියන්නේ වැරදිලාවත් එහි ආචාර්ය මහින්ද වර්නණා කරන සංගීතයක් වාදනය වුවොත් නරකට හිටීවි යැයි බියටද? අනේ ආචාර්ය මහින්ද නැතිනම් අපට කි‍්‍රකට් කොයින්දැයි හම්බන්තොට කලපුවේ මිනිහෙකු බැනර් කෑල්ලක් ගෙනාවොත් නරකට හිටී යැයි හිතාගෙනද? මේවා වැඩිදුර නොයා හිතා බැලිය යුතු ආචාර්ය මහින්ද පමණක් නොවේ. කොළඹ නගර සභාව අක‍්‍රීය අවස්ථාවේ එහි බලය අතට ගෙන ඇති ආරක්ෂක ලේකම්වරයා ද තමන් යටතේ සිටින ආචාර්ය මහින්දගේ ගමන ගැන අවධානයෙන් සිටිය යුතුය. නැතිනම් පොලව යටින් හාරා ඇති උමග ගිලා බසින විට හුරේ තබන ආචාර්ය මහින්ද දෙස තමන්ට ද බලා සිටින්නට වෙන්නේ ඉතා අසරණවය.

හිතුවක්කාරයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කියවමි නැවත
'නපුරු පාලකයෝ තුන්දෙනා'*
ආසාවෙන් කියවූ කුඩා කල..

කතාවේ මෙවර
නටන පාද ලා බොහොම ය
භූගෝල ගුරුවරුද අසරණව..
නහය උඩ
කුරුලෑව පමණක් ඇතිව..
ඔටුන්න හිමි ටුට්ටි
තවමත් ළපටි පාට ය..

අව්ගුස්ටෝ කොහිද?
මහළු මඩමක නිදි ද
සැප හීන දැක දැක..?
ටිබුල් සර්කස්කාර
අතුරුදන් වී වත් ද?
සුන්දර සුවනී
නොමැත ඉපදී තවම.

අහසේ තරු අල්ලන්ට
වැලි මිරිකා වතුර ගන්ට
පුළුවන් අර්නේරිලා
නැත
යන්නට ගොසිනි රට හැර.

ප්‍රොස්පේරෝ
එන්න
බලා ඉන්නෙමු අපි
එනතුරා ඔබ
නිල් ඇස් සහිත
සෙබළා ද කැටුව...

* "නපුරු පාලකයෝ තුන්දෙනා"- යූරි ඔලේෂා ලියූ රුසියානු ළමා කතන්දරයකි. ['Three Fat Men' by Yury Olesha (1924)]

සචී පනාවල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails