Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



2011 අප්‍රේල් 05 වන දිනට යෙදෙන ලෙස්ටර් ජේම්ස් ගේ 92 වන ජන්ම දිනය නිමිත්තෙන්,
• නිධානය සිනමා දර්ශනය
• ආචාර්ය ලියනගේ අමරකීර්ති ගේ දේශනයක්
• සංවාද මණ්ඩපයක්
2011 අප්‍රේල් 04 වන ඉරිදා ප.ව.1 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී පැවැත්වේ.

සංවිධානය| ලඞ්කා අක්ෂය
විමසීම්| 71 810 7396, 7126 67592




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දුවලා දුවලා
පපුව උගුරෙන් එළියට පනින
මහන්සියකින්
අප්‍රාණික ශරිරය
විඩාබරව ඇද වැටුණේ
ආයෙමත් නැගිට්ටවන්න
හිතාගෙන නම් නෙවෙයි
ඉස්සර වගේ
එහෙම නැගිට්ටවන්න ඕනෑකමක්
තිබුණ අයත්
අද ළඟපාතක නැහැ
හැමෝම
තරගයට වැදිලා
හරි හරියට
තමන් ගැනවත් නොසිතා
හුස්මක් කටක්වත් නිදහසේ නොගෙන
දුවනවා
දුවනවා
සුසන්තිකාටත් වඩා වේගෙන්
දුවන අතරේ
හන්දි ගානේ ඉදෙන
කිරි බතේ රහ බලන්නත්
පොළිමේ හිට ගන්නවා
හැම පෝයකටම
පන්සල් යන ඔයා
දෙමල්ලු තොග ගණන් මැරුණම
කිරිබත් කෑවේ කොහොමද කියලා
හිත හිතා
කිරි බත් කන එක නැවැත්තුවා මං
ආඩම්බරයක් නෙවෙයි
ඔයාට තිබුණේ
කිසිම දවසක ආයේ
කිරි බතක් කන්න බැරිවෙයි කියන
පශ්චාත්තාපය
සිරි ලක දේ
සිරි සැප දේ
විදේශයක ඉදන්
ජාතික අභිමානය
ඊ මේල් මගින් මට උගන්වන
ඔයාට වෙලාවක්
කොහොම තිබුණද මංදා

මං ගැනවත් හොයන්නේ නැති
මැරෙන උන් ගැනවත්
උස්සන් යන උන් ගැනවත්
වද නොවී ඉන්න
කියලා කියලම
ඔයාට එපා වෙලා
ඔයා කිව්වේ
ඉස්සර වගේ
දැං ඔයා මට ආදරේ නැහැ කියලා
උන් ගැන හිතන එක අත් ඇරියම
මට මාව මග හැරැණා
මට එදා ඉදන් හතිය
අප්‍රණික ශරිර කූඩුව
ඔහේ වැටෙන් ඇරලා
මම හිටියේ
ආයෙමත් නැගිටින්න ඕනේකමක්
මේ සිස්ටම් එක තුළ නැති හින්දා
එත්
මං තාම මැරිලා නැහැ


අරවින්ද පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එළි කර අඳුරු අහුමුළු
එක තනි මොහොතකට
කෙටෙයි කෙටි විදුලි එළි

ඇදෙයි ඌ සෙමෙන් රහසින්
වෙලෙයි මා වටකර, තදින් සෙනෙහෙන්
බිඳෙයි ඉරිතැලෙයි මා
නැගෙයි පෙන ගොබ අහස සිඹිමින්

කැතයි සෙවලයි කීවද
විසයි, ඌ රැදු සපෙක් වූව ද
වැසි දියෙහි තෙමෙමින්
විඳිමි ඒ රැදු පහස නිතියෙන්

රිදෙයි හී ගඩු නැගෙයි
ගැට දදා පේ‍්‍රමෙන් වෙලෙයි
කොතෙක් හඬ හඬ ඇසූවද
මහරු නා මිණ මට නොදෙයි
තනිව හිඳ සිටිමි වන රුක් මුල
දනිමි ඔබ නැවතත් නොඑන වග
නැතද ඒ මහරු නා මිණ
දකිමි පෙර නුදුටු මා හද මිණ

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



විඩාපත්
හිරු නිවෙයි
සුසුම්ලන
හීගතුව
සියොළඟම
කිළිපොලයි

පරමල්ය
උයන් බිම
දොරගුල්ය
ලැගුම්හල

බඹර ගුමු
කොද මියුරු
නෙක විසුළු බස්
නපුරු
කකියවයි
ඇටමිදුළු

පිළිකුලෙනි
පින්වත්තු
පැන දුවති
සිල්වත්තු

උණ කුෂ්ඨ
වණ සැරව
පිරිපත ය.
ඇස කඳුළු
අසෙනි මැද
හාමතය

රැය එබෙයි.

හෙට ප‍්‍රභාතය
පිණිස
නම් නෙවෙයි.

විජය නන්දන පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කැළණියේ බෝසත් "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" නමින් බුදු වෙයි!
- පුවතක්


"මම මේ මළුවට යනවා එනවා
මාත් එක්ක කට පුංචත් යනවා
පගාව දී මගෙ පවු අරවනවා
ෆල්ලේගොම මට අවසර දෙනවා"

රූ තිර දුලවන විනිසුරු සාදූ
කැමරා මර සෙන් කුඩු කළ සාදූ
ජීප් එකෙන් නිවනට වැඩි සාදූ
අපිත් වඳිමු "කැළණියෙ බුදු සාදූ"

ඩප්පි ද දැලි පිහි සයිකල් මාලා
එක් කොට අටපිරිකොර සෑදේවා
හෙරොයින් කට්ට කුමංජල් වේවා
ගිලාන පච්චෙට නරකද "අරවා"?

කොලිටිය වැඩි "කහ මල්" පිබිදේවා
"කප්පම්" පිං කැට තව ඉතිරේවා
සජ්ජන මැර පිරිවර බෝ වේවා
කැළණිය බරණැස් පුරවර වේවා

තුන් දොර තද කොට වහගන් මාමේ
"ඇරගෙන" නොවැටෙවු සතර අපායේ
කැළණියෙ සිදුහත් බුදු වෙන යාමේ
"සුදොවුන් රජු" අරලිය ආරාමේ!

එම්බා පාඨකය, මෙ කව් පූජා ටියුන් වලට බෝධි ඉදිරිපිට ගයා වස් වද්දවා ගැනීමෙන් වලකිනු.

ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"Bonjour Cinema" the annual film festival of cinematic creations from French speaking countries will be held for the sixth successive year from March 30 to April 3 at the Punchi Theatre, Borella. A selection of 9 films from Belgium, Switzerland and France will be showcased at the festival which will have daily screenings at 2.30 pm for children and at 4.30pm and 7pm for adult film goers.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පරිවාර තරු
කවුළුවෙන් එබෙන විට
මා කවි ලිවිය යුතුමය
හැමදාම
නිමිත්තක් පුරනවා
රෑ අහස....
මේ මුර කුටිය අයිති
සඳවතියට
මගේ සේවය ඇයටය....
විරසක උනදාට
සළු උනා ඈ යන්න යනවා
දැන දැනම
මා අකමැති බව හිරුට....

දෑළවට තරු පොකුරු ගැහුනට
ළෙංගතුකම් කිති කැවෙන්නේ
දුරින් හිඳ අත වනන කොට
දන්නවා මගේ ආදරේ තරම
මා වටින්නේ
ඒ නිසයි ඇයට....
අනුන්ගෙම වස්තුව රකින
සංසාර ගමනකට
නිබද අත්සන තබන
ගනුදෙනුකාර ජීවිතයක
'තනිය'
මට දැනෙන්නේ අමාවකදාට....
අදුර දන්නවා යැ
ආදරේ පාට....

ඔබ ඔතැන - මා මෙතැන
කමක් නෑ
විසඳන්න පුළුවන් අපට
මේ නිශාචර
සෞන්දර්ය සමීකරණය
මා දන්නවා ඔබ දන්න බව
ආසන්න අගය....
අකුරු නැති කවි ලියයියැ
නැතිනම් ඔහොම....

තෑගි ලෙස - මල් පොකුරු
ඇගෑලුම් නැතිවට
තැවුල් සිත් නෑ අප ළඟ
නිබඳ සිහිවටන
'මාරු කර ගන්නෙ'
සොදුරු සැමරුම් නැති අය....

ලෝකය පංගුකර
නිසි - නිසි දේ
රිසි අයට බෙදන දවසක,
මහ පොළවයි - රෑ අහසයි අතර
හුදකලාවේ සියලු හිමිකම්
අපටය - අපටමය
නිශාචර රහස් දන්නේ
අපය - අප පමණය.....

[සාදය සූදානම්ය - 2009]

ඩී. එම්. ටීම්රාන් කීර්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කිසිවකු වෙඩි නොතබන බව කවියන්ට
කියූ බස ඔබ බොරු විය ඔබට ම

බොරු කී ඔබට උන් දුන් දඬුවම
වෙඩි තැබීමයි ඔබේ මිදි වැල යට ම

උන් වෙඩි තැබී කවියට
බර වැඩි බැවින් දිවියට
ගල් ගසන විලස දරුවන්
නිම් නැති විසල් සයුරට

කිසිවකු වෙඩි නොතබන බව කවියන්ට
කියූ බස ඔබ බොරු විය ඔබට ම

උන් වෙඩි තැබී ඔබ හට
තව තව උණ්ඩ වැය කර
සිටියේ ඔබත් ඔබ තුළ
කවියක් මැවෙන සෙවණක

ඝාතක මනස රස බොන තිබ්බා ඔබේ කවියට
මිය යන විය ය වෙඩි වැද ලීවේ පදය අන්තිම

[කිසිවෙක් කවියන් නොමරති- 2009]

එරික් ඉලයප්ආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඉදිකටු තුඩක ඇමිණෙන
නූලෙන් මැහෙන අපෙ ජීවිත
එම්බ්‍රොයිඩර් මැෂිං එකක
අපෙ ඇස් එක තැන එකම ලක්ෂෙක

ඕ ලෙවලූත් වැඩ ඔක්කොම පේල්
වැඩ දන්නා ඔයා මැෂිං ඔපරේටර්
ඒ ලෙවල් වැඩ තුනම ඒ තුනක්
කැඩෙන නූල අමුණන මම සපෝටර්

ටාගට් එක බැරි වේවිලූ බයෙන්
හිනා මේකප් මූණෙ තවරන්
වැඩ බලන දිහාවට මහත්තැන්
ඇයිද ඔය ඇස් ගහන්නේ ?

යා වෙනව අපෙ ඇස්
එකම තැන එක ලක්ෂෙට
බැරි ඇයිද අපෙ ඇස් දුන්න
මානන්න එක ඉලක්කෙට...

"අප්පච්චිට වකුගඩු ලෙඩෙ
අම්මත් දැන් ලෙඩිං
අක්ක ආයෙ බඩිං
මල්ලි තාම පොඩි එකානෙ
බෝයි ෆ්‍රෙන්ඞ්ට කුඩු සික් එක

ඔක්කොටමත් වඩා

හැමෝම වගෙ ලංසු විදින
මට වද දෙන මේ තුඟු කය
සින්නක්කර විකුණගන්න
සල්ලි හොයා ගන්න ඕනෙ...

ඔයා යයි කැම්පස් !"

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සිහින ගුබ්බෑයමේ වෙසඟන
වලප්නා හඬ - වනේ වන සිත
කොනිත්තා ගෙන-
ජීවිතය වී රලුව නැගිටී

රුපුන් විත් කා පලා ගිය
ගර්හිත නෑසියනි තොප-
කොයිබ මෙසමයෙහි?
බාලයේ රනින් කිරි නොබිව් වන්දිය ට
අපි,

වියරුවෙන් උර පැළඳි මුග්ධකම නොවෙයි
මගේ කටු වතල කවි සිත
ලේ ගලනවා සැබැයි මුත් කටු ඇනී
ඒ ලේමත් නොවෙයි-
පිළි ගන්නවා නම්
බලාපොරොත්තුවයි කියමු,
විත් කා නොමළ - සැඟවී සැඟවී අවුත්
ජීවිතය කූද්දන

අපි දන්නේ ඇහින් බිමට කපා හෙළා
පය ගගා ගොහොරු කළ කඳුලු බිම් තමයි
ඇසි පියක දැවටිලා - නොවැටෙන්න වෙර දරන
දූවිල්ල නොතැවරී - ඇසින් ඇසකට ම මං සෙවූ
කඳුළක් තිබේමයි

අහස් ගඟ සිහිනයේ මඟ හැරී
පිපිරි, පිපිරි වුණත් - හිනැහෙන්න වෙර දරන
දෙතොල් මත
දලුලන්න කල් බල බලා සිටි
හාදුවක් තිබේමයි

කාලයත් සුවඳ වී
අවසාන මිය ඇදෙන පැයෙහි වුව
ආ හැකියි

සිපිරි ගෙහි හිඩැසකින් දුටුවා නොවෙද
බියපත්ව වසං වුණ සඳ එළිය
සතුටු සිත කැබලි වී ගියාමයි-
නොසිතන්න

සඳ පහන් තිසා වැව රෑ ලෙසින්
සන්සුන්ව - පිරිපුන්ව
ආ හැකියි

[ගර්හිතයාගේ නිදි නැති සිත - 1988 මැයි]

ලීනා අයිරින් සපුතන්ත්‍රී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ප්ලේටෝ- ඒ කාලෙ මිනිස්සු විශ්වාස කළා ඈත තැන්වල වෙන දේවල්, ඒවා සැබෑ උණත් මනඃකල්පිත උණත්, තමන් දැනගත යුතුයි කියලා.

සිදෝනියා- ඒකෙන් මං හිතන්නේ හුඟාක් ප්‍රයෝජන තියෙන්න ඇති.

ප්ලේටෝ-
නැහැ. කොහෙත්ම නැහැ. ඇත්තෙන් ම වුණේ ඒවා නිසා මීනිස්සු හිත් කනස්සලු කරගත්ත එකයි. වියවුල් කරගත්ත එකයි විතරයි. ඒත් ඒගොල්ලන්ගේ මුල් බැහැපු ආකල්පයක් තිබුණා මේ විදිහට විඳවන එක ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් කියලා. ඒ අයට උගන්නලා තිබුණේ තමන් තමයි ලෝකෙ ඉන්න "පාරිභෝගිකයා" කියලා.

සිදෝනියා- ඒ වුනාට පාරිභෝගිකයෙක් කියන්නෙ කන කෙනෙක් නේ ද?

ප්ලේටෝ- ගිලින කෙනෙක්. අපි දන්න විදිහට පාරිභෝගිකයෙක් කියන්නෙ මේ මහ පොළොව දිහා තමන්ට සාපේක්ෂව බලන කෙනෙක්. එහෙම කෙනාට ඒ මහ පොළොව පවතින්නේ, ඒක රස විඳීමේ සහ ඒක ජීර්ණය කර ගැනීමේ ක්‍රියාවලිය තුළ පමණයි. අපි අතරත් මේ නගරයේ එහෙම කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඒත් ඒ විදිහෙ කපුටො වගේ සත්තුන්ගෙන් පිරිච්ච, ස්වයං තෘප්තිය ම මිසක් වෙන කිසි ම දෙයක් නො තකන මිනිස්සුන්ගෙන් පිරිච්චි මුළු සමාජයක් මොන වගේ වෙන්න ඇත් ද කියලා හිතාගන්න පුළුවන් ද?

සිදෝනියා- ඒ කියන්නේ පාරිභෝගික සමාජයක්? හිතාගන්නත් බැහැ.

ප්ලේටෝ- එහෙම වෙලත් මේ මිනිස්සු කවදා වත් තෘප්තිමත් උණේ නැහැ. සෑහීමකට පත්වුණේ නැහැ. ඒත් කෙළවරක් නැති මේ වැඩ කටයුතු වල නියැලිලා ඉන්දෙද්දි පවා ඒ අය දැනගෙන හිටියා, මේ හැම දෙයක්ම නිස්සාරයි කියලා........ දැනට තියන සාක්ෂි අනුව පෙනෙන්න තියන දෙයක් තමයි, මේ මිනිස්සු විනාශයට, අවුල් ජාලයට ආලය කළා කියන එක.

සිදෝනියා- නැහැ!

ප්ලේටෝ- යුද්ධ ගැන, මිනීමැරුම් ගැන අහන්න මේ මිනිස්සුන්ගේ තිබුණේ පුදුම ආශාවක්. හැම ආකාරයකම දූෂණයක් හැම ආකාරයකම කොල්ලකෑමක්, විනාශයක් ඒගොල්ලන්ට හරි සතුටක් උණා. මේ තොරතුරුවලින් මිනිස්සුන්ට ඉගැන්නුවේ ව්‍යාජ සතුටක්..... මේ කාලයේ සිද්ධ වෙච්ච් අවාසනාවන්ත ම සිදුවීම් හැම එකක් ම වාර්තා කරන ප්‍රවෘත්ති පත්‍ර කියලා ජාතියකුත් ඒ කාලෙ තිබුණු බවට සාක්ෂි තියනවා.

Plato Papers [ප්ලේටෝ පත්‍රිකා] නවකතාවෙනි. ක්‍රි. ව. 3700 දී ලන්ඩන් නුවර මහා කථීකයා ලෙස සේවය කරන ප්ලේටෝ නම් චරිතයක් පුරවැසියන්ට ඉතිහාසය කියා දෙයි. මේ උපුටනය ක්‍රි. ව. 1500-2300 අතර පැවතියා යැයි විශ්වාස කෙරෙන මෝල්ඩ්වර්ප් යුගය ගැන ප්ලේටෝගේ පැහැදිලි කිරීමකිනි.

[සිංහල පරිවර්තනය විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයකි.]

පීටර් ඇක්‍රොයිඩ්
පරිවර්තනය - ගාමිණී වියන්ගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|





පියඹා යනවා මා ආකාශයේ
අවසානයි "ප්‍රේමාදරේ"
ගිරවෝ පූසෝ මිදුනා මා ආතතියෙන්

"පෙම්" බැන්ඳ දා ඉඳන් උපන් රටේ
ජිල්මාල් චෝදනා තවත් නැතේ
ජීවිතේ පුරා පවන් සැලේ
මල් මල් වගේය ඉතින් ජීවිතේ

රෑ නින්ද යා නොදී හිතේ උපන්
නෑ ඉලෙක්ෂන් කියා දෙයක් ඉතින්
පෙම් වදන් සිඳී බිඳී ගිහින්
මල් මල් වගේය ඉතින් ජීවිතේ

[Cartoon- DailyMirror]

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වයස 14 ක දරුවෙක් මැර කල්ලියකට බැඳීම සඳහා තම සුදුසුකම පෙන්වීමට තවත් අහිංසක නව යොවුන් තරුණයකු මරා දැමුවේය. එම මිනීමැරුම් නඩුව අසනවිට වින්දිතයාගේ මව ශාන්ත නොඉවසිලි බවකින් උසාවියට වී නඩුවට කන් දීගෙන සිටියාය.

මිනීමරු දරුවා මරණයට වරදකරු විය. තීන්දුව ප්‍රකාශ කළ පසු එම මව සංසුන්ව නැගීසිට දරුවා දෙස ඍජුව බලාගෙන මෙසේ කීවාය.

"මම උඹව මරණව"

වේදනාවෙන් පෙළන මවෙග් මෙම ප්‍රකාශයත් සමග ම කලබලයට පත් හිර නිලධාරීහු වහාම දරුවා ඉවතට ගෙන ගියහ.

පළමු මාස හය ගතවීමෙන් පසුව මරණු ලැබූ දරුවාගේ අම්මා විශේෂ අවසරයක් ලබාගෙන මෙම හිරකාර දරුවා බලන්නට ගියාය. එම මිනීමැරුම කරන්නට පෙර දරුවා ජීවත්වී ඇත්තේ මහපාරේය. ඔහුට කිසිදු නෑදෑයෙක් නොසිටියේය. එබැවින් ඔහු බලන්නට හිරෙගදරට පැමිණි එකම තැනැත්තිය තමා අතින් මරණයට පත් වූ නව යොවුන් තරුණයාගේ ආදරණීය මව පමණි. දෙදෙනා ටික වෙලාවක් කතා කරමින් සිටියහ. අනතුරුව පිටත්වන්නට පෙර ඇය ඔහු අත මුදල් ටිකක් සහ සිගරට් කීපයක් තැබුවාය. අනතුරුව, ඇය නිතර නිතර මිනීමරු ළමා හිරකරුවා බලන්නට යන්නට පටන් ගත්තාය. ආහාර සහ තෑගිබෝග ගෙනෙගොස් දුන්නාය. බොහෝ වෙලාවක් ළමා හිරකරුවා සමග කතාබහ කරමින් ගතකළාය.

ඔහුගේ වසර තුනක හිර කාලය අවසන්වන්නට ළංවිය. ඒ අතර දිනක්, ඔහු පිටතට ආ කල කරන්නට බලාපොරොත්තු වන්නේ කුමක්දැයි එම මව දරුවාගෙන් විමසුවාය. දරුවාට ඊට දෙන්නට පිළිතුරක් නොවීය. ඔහුට යන්නට තැනක්වත් නොවීය. ඔහු උත්තරයක් දීගත නොහැකිව අසරණව බිම බලාගෙන සිටියේය. ඇය ඔහුට තම යහළුවකුගේ කොම්පැනියක රැකියාවක් සොයා දෙන්නට පොරොන්දු වූවාය. අනතුරුව ඕ ඔහුගෙන් නතර වන්නට බලාපොරොත්තු වන්නේ කොහේදැයි වමසුවාය. තමන්ට යන්නට තැනක් නැති බව ඔහු ඉතා අසරණ හඬකින් කීවේය. එවිට, ඒ මව තාවකාලිකව තම නිවෙසේ නතර වන්නැයි ඔහුට ඇරයුම් කළාය.

මාස අටක් තිස්සේ ඔහු ඇගේ නිවෙසේ ජීවත්විය. ඈ කරුණාවෙන් පිසින ආහාර බුක්ති වින්දේය. මේ අතර දිනක් ඇය ඔහුව සාලයට කැඳවා තමන් ඉදිරියෙන් අසුන් ගන්නැයි ඇණ වූවාය. මඳ වේලාවක් නිහඬව ඔහු දෙස බලාගෙන සිටියාය. අනතුරුව, නිහඬබව බිඳිමින් කතාකරන්නට පටන්ගත්තාය.

"ඔය ළමයට මතකද එදා උසාවියෙදි මං කියපු දෙය? මම උඹව මරණව?"

"ඔව් මට හොඳට මතකයි, මට ඒ මොහොත කවදාකවත් අමතක වෙන්නෙ නැහැ", දරුවා පිළිතුරු දුන්නේය.

"ඔව් මං ඒක කළා", ඇය තවදුරටත් කියා ගෙන ගියාය. "මගෙ පුතා නිරපරාදෙ මරාදාපු කොල්ල ජීවත්ව ඉන්නව දකින්ඩ මට කොහොමවත් ඕනැ වුණේ නෑ, මට ඒ මිනීමරු කොල්ල මැරෙනව දකින්ඩයි ඕනැ කෙළේ. ඒ හින්දමයි මම ඔයාව බලන්ඩ හිරගෙදරට යන්ඩ පටන් ගත්තෙ. තෑගි, කෑම වර්ග ගෙනිහිල්ල දුන්නෙත් ඒ නිසයි. රැකියාවක් හොයල දුන්නෙත් ඒ හින්දයි. ගෙදර නවත්ත ගත්තෙත් ඒ හින්දමයි. පුතේ ඔයාව වෙනස් කරන්ඩ මම පටන් ගත්තෙ ඒ විධියටයි. දැන් ඒ පරණ මිනිමරු දරුව නැහැ. මට මගෙ පුතාත් නැහැ! මේ ගෙදර දරුව හිටිය කාමරයත් තියනවා, මම කැමතියි ඔය පුතා මගේ ම පුතා වෙනවට. ඉතින්, මම ඔයාගෙන් ඉල්ලා හිටිනව මේ ගෙදර මාත් එක්ක නවතින්ඩ කියල! ඔයා දැන් මගෙ ආදරණීය පුතා! මම ඔයාගෙ ආදරණීය අම්මා!"

එම විසිවන සියවසේ පටාචාරාව, නූතන කිසාගෝතමිය දරුවාගේ අහිංසක දෑස දෙස එක එල්ලේ ම බලා ගෙන, කියා ගෙන ගියාය.

ඒ ආකාරෙයන් ඕ තම කුසින් බිහිකර, ගත දිවෙන රතු රුහිරු සුදුපාට කිරිකර පොවමින් තම පණටත් වඩා ආදරෙයන් හදාවඩාගත් දරු පැටවා මරා දැමූ, කිසිදාක මවකගෙ උණුසුම හෝ මව්කිරි බිඳක් තොලගා නොතිබූ ඒ අහිංසක දරු පැටවාගේ මව බවට පත් වූවාය.

[කලු අමෙරිකානු මවක සහ කලු දරුවකු සම්බන්ධ සත්‍ය කතාවක අනුවර්තනයකි]
පරිවර්තනය - මණ්ඩාවල පඤ්ඤාවංස හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එරබදු මලට අමතක වී හිනැහේ ද
කොවුලනි හඬන්නට ගී කඳ වෑහේ ද
අවුරුදු නැකත ගිනිලන සොහොනක සාද
කොවුළිඳු කොහිද අවුරුදු අමතක වී ද...

හදවත ගැහෙන උණුහුම කඳුළැලි වැස්සේ
නෙතදර පිපුණු කරඹ කැළෑ මල් අස්සේ
සුවඳැති කැකුලු පීදෙන්නට පැන් ඉස්සේ
ඇල්ලල මුල්ල අඳුරු ද දාවල තිස්සේ...

නො නැවත මියුරු හඬ සවනට ගලා එතී
නො සිතුව විලස නුඹ ඔය දුර ගියා මැකී
නො කියා කිසිත් මුව ඇඳි මඳහසක පෙතී
නො පියා දෑස නො සිටියෙ කිම කියන් සකී...

පපුතුර රැඳුණු සෙනෙහස අහසට උස ය
උස මිටි නො දැක බෙදුවේ සඳවත රැස ය
සුසුමින් පෙරී ආ මිනිසත්කම ගොස ය
සදලුතලා නොව පිල්කඩ දුන් තොස ය

පරයා ගියේ නැති මිතුරෙකි අනුන් නසා
නැඟුණා රැයෙක තරු පිරිවර ගුවන වසා
බිඳුණා නො වෙද සිහිනය නව ලොවක මුසා
සරනා කළල් දිය බොර කර නැති ද අසා

සගයෙක් නො වෙද අත අල්ලා ගෙන යන්ට
කවියෙක් නො වෙද සංතාපය අවුලන්ට
කොවුලෙක් නො වෙද නො ගැයූ ගීතය වෙන්ට
මිනිසෙක් කොහි ද නුඹ උන් තැන සම වෙන්ට!

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඔන්න කෙවිට දුන්නා ආයුබෝවන්ඩ
ආයේ කළක් යනතුරු අපි මඩවන්ඩ
පායේ දොරකඩට ආවම සළකන්ඩ
පෝස්ටරේ විදියට යළි හිනැහෙන්ඩ

ආයුබෝවන්ඩ දුක්ගැනවිලි ගන්ඩ
අපිත් මතක් කර බඩකට පුරවන්ඩ
පරණ ගේ කඩා මැදුරක් තනවන්ඩ
අපි ආවම තැනක් ඕනෑ ඉඳගන්ඩ

ගමන් බිමන් ඇතිනොවැ වාහන ගන්ඩ
ඉඳුන් හිටුන් වෙනුවෙන් බරපැන ගන්ඩ
යහන් විමන් තැන තැන ඉදිකර ගන්ඩ
ඇහෙන් කනෙන් මැතිඳුනි අපෙ රිංගන්ඩ

අනේ එපා අපි වෙනුවෙන් දුක්වෙන්ඩ
මල් තැලුනම මොකෝ උතුමො රොන්ගන්ඩ
කන බත් පතේ හිරිකිත නැතිවම රෙන්ඩ
අපි දුක් විඳිමු උතුමාණෙනි සැපගන්ඩ

පරම්පරා දෙක තුනකට ගොඩයන්ඩ
හතර වරිගයට සංග්‍රහ කොරගන්ඩ
බාගෙන කන්ඩ නැතිනම් ඉහගෙන කන්ඩ
කල්ප වෘක්ෂයට පිට දී බුදුවෙන්ඩ

ඌරු කටක් ලැබියං කුස පුරවන්ඩ
බූරු පිටක් ලැබියං බර ඇදගන්ඩ
නිවන් නොමැති සසරක දුක් උහුලන්ඩ
පවන් සැලෙන බොරු තව පැළ කරදෙන්ඩ

සැකකාරයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලෝ ප්‍රකට, බ්‍රසීලියානු ජාතික පාවුලෝ කොයියෝ විසින් රචිත සත් දිනෙක කතා පෙළෙහි නිමාව "යක්‍ෂයා සහ ප්‍රයිම් මෙනවිය" යි. එහි පළමු වැන්න, පියල් ජයරත්න සහ අනූෂයා කොල්ලුරේ විසින් සිංහලට නැඟූ "පියේද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි" (By the River Piedra, I sat down and wept) නම් නවකතාවයි. දෙ වැන්න, ගාමිණි වියන්ගොඩ විසින් සිංහලට නැඟූ, "වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි" (Veronika decides to Die) නම් නවකතාව වන අතර "යක්‍ෂයා සහ ප්‍රයිම් මෙනවිය" (The Devil and Miss Prym) චූලානන්ද සමරනායක ගේ පරිවර්තනයකි. මෙම නවකතා ත්‍රිත්වය ම, සත් දිනෙක දී නිමාවට පත් වෙයි. යමෙකුට තම ඉරණම ලුහුබැඳ, ජීවිතය ජය ගන්නට සතියක කාලයක් හොඳටෝම ප්‍රමාණවත් යැයි කොය්යෝ පවසයි.

The Alchemist (සන්තියාගෝ නම් සැරිසරන්නා) , පාවුලෝ කොය්යෝ නම් ලේඛකයා ගේ ඉරණම වෙනස් කළ කඩඉම වන අතර, එහි දී තම ජීවන අත්දැකීම් ද-

මුසු කර, "යමෙක් සිය ඉරණම ලුහුබැඳ යාමට එඩිතර වන්නේ නම්, ඔහුට ජය ලබාගැනුමට උපකාර කරනු වස් මුලු ලොවම ඔහු හා පෙළ ගැසෙන බව" පෙන්වා දුන්නේ ය. පාවුලෝ ගේ ලේඛන ශෛලිය, පාඨකයාගේ සිත තුළ නො සන්සිඳෙන කියවීමේ රුචිය අවුලුවාලන්නට සමත් වෙයි. එහි ත්‍රාසය ද, ප්‍රේමය ද මනාව කැටි කොට, උලුප්පා දමයි. මායාව සහ යථාර්ථය අතර පාඨකයා ගේ මනැස පුබුදුවයි. පාඨක සිත දැහැන් ගන්වා, විටෙක හකුලුවා දමයි. තවත් විටෙක උද්වේගයෙන් අවුස්සා දමයි. ත්‍රාසජනක සිදුවීම් පෙළගස්වා කියවන්නා යළි අවදි කරවයි. ඔහු, ලේඛකයකු සතු මනා නිපුණතාවෙන්, දක්‍ෂතාවෙන්, සාහිත්‍ය ලෝකය පොහොණි කරමින්, බ්‍රසීලයේ, රියෝ ද ජැනීරෝ නගරය සහ යුරෝපය වාසස්ථාන කර ජීවත් වන අතර, ඔහුගේ වෙබ් අඩවි හරහා ඔබට යාවත්කාලීන වන තොරතුරු සහ නිර්මාණ පිළිබඳව දැනගත හැකිය.[*]

යහපත සහ නපුර
ලෝකය පවතින්නේ යහපත සහ නපුර මත පදනම් වී ගෙන ය. යහපතට වඩා නපුර රජ වී පවත්නා අතර ඒ එසේ වූයේ කෙසේදැයි පුරාවෘත පවසයි. කර්තෘ, පොතෙහි දක්වා ඇති ආකාරය ට දේව කතා දෙකක් නිදසුන් ලෙස ගෙන ඇත. ලෝකය මැවීමෙන් අනතුරුව දෙවියන් වහන්සේ එහි අඩුවක් ඇතැයි කල්පනා කරන්නේ ය. ඒ, "ලෝකයෙහි ඇති සුන්දරත්වය බෙදාහදා ගත හැකි තාලේ සගයයෙකි" යි කියැවේ. පසුව උන්වහන්සේ, ඒ බෙදාගනු වස්, පුත්‍රයකු ජනිත කරන්නට වසර දහයක් තිස්සේ යාඥාවෙහි යෙදෙන අතර, අනතුරුව ගැබ් ගනී. ලෝකයෙහි පවත්නා සමබරතාව ට එය හානියක් වේ යැයි හැඟී යන්නේ ප්‍රමාදව ය. ගැබ් ගැනීමෙන් අනතුරුව ය. පසුව, උන්වහන්සේ පසුතැවිල්ලේ පසු වන බැවින්, කළලය දෙකඩ වී නිවුන් දරුවන් ව, වැඩෙන්නට පටන් ගනියි. ඉන් එක් කළලයක් උන් වහන්සේගේ යාඥාව හේතුකොට ගෙන යහපත (ඔර්මස්ද්) ලෙසින් ද, පසුතැවිල්ල හේතු කොට ගෙන, නපුර (අහ්රිමන්) ලෙසින් ද උපත ලබයි. නපුර පැමිණ මුලු ලෝකය ම කරදරයට ඇද දැමීම වළකනු පිණිස යහපත කලින් බිහි කිරීම උන් වහන්සේ ගේ අරමුණ වුව ද, යහපත පසෙකට තල්ලු කර දමා, නපුර පළමුවෙන් මෙලොවට බිහි වෙයි. කෙසේ හෝ විශ්වයෙහි සමබරතාව, යහපත පවත්වා ගැනීමේ අරමුණින් ඔර්මස්ද් ට සහාය පිණිස අනතුරුව උන් වහන්සේ මිනිසුන් නිර්මාණය කරයි. එලෙස, මානව වර්ගයා උපත ලබනුයේ, යහපත වෙනුවෙන් පෙනී සිටීමට වුව ද, එහි විලෝමය ගෙන හැර පාමින් මිනිසුන් නපුර වෙනුවෙන් පෙනී සිටින්නන් බව, අනෙක් පුරාවෘතයෙන් කියැ වේ.


යක්‍ෂයා සහ ප්‍රයිම් මෙනවිය

විස්කෝස් ග්‍රාමය ට යක්‍ෂයා පැමිණෙන්නේ, තම සැමියා මිය යාමෙන් පසුව ගෙවුණු සෑම දිනෙකම, මහලු බර්තා තම ඉස්තෝප්පුවට වී, නිසොල්මන් ව, ගමෙහි ආරක්‍ෂාව පිණිස, එහි සිදුවන්නේ කුමක්දැයි විපිළිසර වද්දී ය. ඈ කිසිවකු සමඟ හෝ සමාගමයක් නැත. තමන් සහ තම මියගිය සැමියා හැරෙන්නට, ඈ කතා කරන්නේ නම්, ඒ, ඉඳහිට තම නිවස අසළින් යන චන්තාලි සමඟ ය. එක්තරා දිනෙක, යක්‍ෂයා සිය ගමට පැමිණි වග පළමුවෙන් දැන ගන්නී, ඈ ය.

ආර්ජන්ටිනාවේ සිට පැමිණි යක්‍ෂයා, කාර්ලෝස් නමින් ගැමියන් ඉදිරියෙහි පෙනී සිටියි. ගෙන එන්නේ නපුර ය. ඔලොගුවෙහි සඟවා ගත් රත්තරං පොලු දහයකි. දෙසිය අසූ එකක් වූ විස්කෝස් වැසියන් විස්සෝප ගන්වන්නට තරම් කාර්ලෝස් නපුර පෙන්වයි.

විස්කෝස් වැසියෝ, තම පුංචි ගම්මානය මනාව පවත්වා ගෙන යන්නෝ ය. ඔවූහු අවංක, සුහද ගති ඇතියවුන් වෙති. ඉතා සරල දිවි පෙවෙතක් ගත කරන ඔවුන් සාමාන්‍ය වැසියන් ය. එවන් සුන්දර ගම්මානයක් නපුර සපථ කර ගැනීම සඳහා තෝරා ගත් අමුත්තා, මිනිස් සත්තාව සොයනු වස් සැළසුම් දරා හිඳියි. ඔහු අතැති රත්රන්, විස්කෝස් ගම්මානය ම, සුඛිත මුදිත කරන්නට සෑහේ. එහෙත් ඒවා තෑගි කරන්නට නොව, එහි මිනිසුන් ලවා මිනිමැරුමක් කරවා, එම අභියෝගය වෙනුවෙන් පිරිනමන්නට සූදානම් බව, ඔහු චන්තාලි මඟින් ගම්වැසියන්හට දැනගන්නට සලස්වයි. කවුරුන් හෝ, දින හතක් ඇතුළත එම ගම්මානය තුළ මිනීමැරුමක් කර ඇතැයි දැනගන්නට ලැබුණු විට, අමුත්තා තමන් රැගෙන ආ රත්රන් තෑගි දෙන්නට පොරොන්දු වෙයි. ඔහු අභිමතය පරිදි නො වන්නේ නම්. ඔහු ඒවා නැවත රැගෙන යන්නට යයි.

සහජයෙන් ම, මිනිසා තෘෂ්ණාධික ය. ආශාධික ය. අනුන් සතු වස්තුවට වුව ලොබ බඳින්නේ ය. එය එසේමැයි තහවුරු කරගැනීම, නැතහොත් කෙතරම් යහපත් ලෙස දිවි ගෙවූව ද, ලාභාෂාවන් මත මිනිසා නපුර සමඟ එකතු වන්නේය යන සිද්ධාන්තය සැබෑවක් බව තහවුරු කර ගැනුම, අමුත්තාගේ එකම අරමුණ වන්නේ ය. ඒ සඳහා, මිනිසා විසින් මිනිසා විනාශ කර දමන්නට, නසන්නට වුව ද, සූදානම් බව ඔහුගේ හැඟීම වන අතර, එය සැක හැර දැන ගැනීමට ඔහුට වුවමනා වෙයි. ඒ සඳහා ඔහු සතු ධනය මෙලෙස වියදම් කරන්නට ඔහු පෙළඹෙන්නේ සිය පවුලට සිදු වන විපත හේතුවෙනි.


"මොන තාලෙ සත්‍යයක් ද?"

"මිනිස් වර්ගයාගේ ගති ස්වභාවයන් ගැන. යක්‍ෂයාගේ පෙළඹවීමට අහු වුණාම, අපි හැම තිස්සෙම පරිහානියට ඇද වැටෙනවා කියන එක මං හොයා ගත්තා. හරිහමන් අවස්ථාවක් එළඹුණාම මේ මිහිපිට ඉන්නා ඕනෑම මනුස්සයෙක් පාපයේ ගැලෙන්න කැමති වෙනවා." (පිටුව 14.)

මෙම සත්‍යය, අප සමාජය ගැඹුරට විමර්ශණය කරගෙන යාමේදී අත්දකින්නට ලැබෙන්නකි. පණ නල රැක ගත හැකි අවසාන ම මොහොත එළඹියේ නම්, එතැන දී වුව ද මිනිසා තම ජීවිතය රැකගනු වස්, නපුරට පෙළඹෙන්නේ ය. විටෙක ඔහුට මරණය වැළඳ ගැනීම හෝ නපුර වැළඳ ගැනීම හැර අන් මඟක් නො තිබෙන්නට පුලුවන.

සිය හෘදය සාක්‍ෂිය සමඟ තරග වැද දිනනු ලබන්නේ තමන් තුළ වැඩ ඉන්නා වූ දෙවියන් වහන්සේ ද, සාතන් දැයි තීරණය කරන්නට හැකි වන්නේ තමන්ට පමණම ය. නැඟෙන දහසක් සිතුවිලි පරයා මොහොතින් මොහොත ගත වන්නේ යක්‍ෂයාගේ පැවැත්ම උදෙසා නම්, ලෝකයෙහි වැඩි පුරම පවත්නේ නපුර මිස අන් කුමක් ද? එහෙත් ඉඳහිට හෝ නපුර අභිබවා යහපත නැඟී නොසිටී යැයි කාට නම් කිව හැකි ද? එවන් පරමාදර්ශ ලොව වෙත්.

යක්‍ෂයා සහ ප්‍රයිම් මෙනවිය, චූලානන්ද සමරනායක විසින් බස බුහුටි කොට සිංහල පාඨකයා අතට පත් කරලීම, එය පරිවර්තනයකට වඩා තමන්ගේ ම කතා වස්තුව බවට, පාඨකයා සමීප කරවන්නට සමත් වෙයි. පාවුලෝ විසින් මෙම කෘතිය පසුකලෙක දී නිම කළේ නම් අවසන් භාගය මීට වඩා වෙනස් වන්නට තිබුණේ යැයි ද සිතේ.

"ඔන්න මගෙ කෙල්ලේ, කොහොම හරි අන්තිමේ දී උඹ මං කියපු විදියට කරන්නයි යන්නේ. ඒකාන්ත විශ්වාසයෙන් ම මට උඹට එක දෙයක් කිව්වැකි. ජීවිතේ හරිම දිගයි, නැත්නම් හරිම කෙටියි කියලා උඹට පේන්නේ, උඹ ඒ ජීවිතේ ගෙවන ආකාරය අනුවයි." (පිටුව 215.)

ජීවිතය සහ ලෝකය පවත්නා තුරු, යහපත සහ නපුර අතර අපි දෝලනය වෙමින් සිටිමු.

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඉතා අනගි හද මඬලකි නිසළ වුණේ
පතා නිදහසම හෙට දවස වෙනුවෙනේ
ගොතා සොඳුරු ගී නළු වීදි සෙනසුණේ
හතා නොමැති වීදිය කුමට සකියනේ

කඩ්ඩ මුවත් කැපුවේ නැති කිසි කෙනකු
පැත්ත ගියත් ඇත්තම කී රජ කෙනකු
යුද්ධ මැදත් උස් හඬ දුන් සෙනෙවියකු
ඇද්ද මෙවන් පාරට බට පියතුමකු

දෑස් පැළැන්ඳු යන එන මගියන්ට
කාත් කව්රුවත් නැති පීඩිතයන්ට
ඈත් කර දැමූ මහ මග දුගියන්ට
දෑත් විදාහළ අප වැනි කවියන්ට

වීදි කොණේ පිරිවර කැටුව හිනැහුණේ
පෑදි දියකි යට ගිලි නෙතු තුළ තිබුණේ
නාද නැගුණු අත් පොළසන් නො වියැකුණේ
සාදු !! දිසා පාමොක් වීදි ඇදුරණේ

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සමුගත් නාට්‍යවේදී ගාමිණී හත්තොටුවේගම අනුස්මරණය පිණිස "විදියේ සටන්කරුවා" වීදි නාට්‍ය දැක්ම සහ වීදි ගීත එකතුව එළි දැක්වීම 2011 මාර්තු 27 සවස 5:00-7:30 දක්වා කොළඹ සුදර්ශියේ දී පැවැත්වෙයි. මුඛ්‍ය දේශනය අශෝක හඳගමගෙනි.

සංවිධානය- සමාජවාදී කලා සංගමය




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිමිත්ත-:බොරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාව ඉදිරිපිටදී සමලිංගික තරුණයෙකු තරුණයන් කිහිප දෙනෙකු අතින් දරුණු ලෙස පහර කෑමට ලක්වෙයි.

දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ
සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ
(සුභාෂිතය)

මීර දෙන ලෙසට වත සරසා රුවට
පාර මග දිගට ඉඟි බිඟි පා සොඳට
දෝර යන සුවඳ කැටි කරගෙන ළයට
දාර සඳුන් ගස් ඇවිදින් රෑ වැඩට

අහුලා පිණි කඳුළු අමුණා මුතු ලෙසට
තනලා සිහින මුතු වැල ලා ගෙන කරට
බැසලා මෙහෙම වවුලන් ඉගිලෙන මගට
බලලා කුමරු එන මග වෙහෙස ද ඇසට?

ඉරෙන් හ‍ඳෙන් අහසෙන් කුමරු ඒවිදෝ?
දාර කඳ මිසක් සුවඳක් දකීවිදෝ?
පලා පපු තුරෙන් හද අරන් දේවිදෝ?
තලා සුවඳ විඳ දුර ඉගිල යාවිදෝ ?

ඇසින් ඇසට එබි එබි කාවද හෙව්වේ
රහසින් ඉඟි මරා මොනවාදෝ කිව්වේ
අඳුරේ සැඟවදෝ පහනේ සිල නිව්වේ
කවුදෝ මෙහෙම ඔය මූණට කෙළ ගැහුවේ

තොල පුපුරා රතු ලේ දෝ වැගිරෙන්නේ?
නෙත උතුරා සිහිනයදෝ දිය වෙන්නේ?
සිත සපුරා කුමරා කවද ද එන්නේ?
එළි පතුරා සඳ දෝ තනියට ඉන්නේ???

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රාත‍්‍රියේ නිසලතාව බිද දමමින් මෝචරි වත්තට ඇතුළුවූ වාහනය නිසා මුරකරු තමන්ගේ මනෝ ලෝකයේ සිට පියවි ලොවට පැමිණියේය. වාහනය පොලිස් ගිලන් රථයක් බැවින් ඔහු කඩිමුඩියේම නැගිට ගිලන් රථය වෙත ගියේය. එක අතකින් සරමේ ගැටයද අනෙක් අතින් විදුලි පන්දමද ග‍්‍රහණය කරගෙන සිටි මුරකරු රථයේ ඉදිරි අසුනේ සිටි පොලිස් නිලධාරියා දෙස බලා යටහත් පහත්ව හිස නවා සිනාසුනේය.

"අයිසේ මේ බොඩි එක ෆ්රීසර් එකට දානවා හෙට පෝස්මෝටම් එකට.." නිලධාරියා පැවසුවේ දුම්වැටියක් දල්වගනිමිනි. ඔහු පපුවට ඇද මුවින් පිටකළ දුමාරය මුරකරුවා ආශාවෙන් ආග‍්‍රහණය කළේය.

කඩිමුඩියේම වාහනයෙන් බට කම්කරුවන් දෙදෙනෙක් ඇලුමීනියම් ස්ටේචර් එකක දමා තිබු මල මිනියක් ගිලන් රථයේ පසුපස දොර ඇර ඉවතට ගත්තේ ශබ්ද නගමිනි. මළකඳ වසා තිබුනේ සුදු පාට එහෙත් කිලිටි ඉටි කොලයකිනි.

එහි තැනින් තැන කුඩා ලේ පැල්ලම් තිබේ. සමහර පැල්ලම් කළු පාටය. බොහෝ මෘතශරීර ආවරණය කිරීමට ගත් නිසාදෝ එයින් මළකුණු ගඳක් වහනය වෙයි. මෙවැනි ගන්ධයන්ට නාසය හුරුව තිබු මුරකරු ඊට කිසිත් ප‍්‍රරතිචාරයක් නොදැක්වීය.

මුරකරු මෝචරියේ දොර ඇරියේ කිහිප වතාවක් දොර අගුලට අතින් පහර දෙමිනි. අවසන් පහරත් සමගම මලකඩ අගුල පරාජය භාරගෙන යතුරට අවනත විය. මෝචරියේ දොර පියන් ඇරීමත් සමගම එලියට පිටවූ ෆෝමලීන් උෂ්ණය දරාගත නොහැකි වූ නිසාදෝ පොලිස් නිලධාරියා තම දහඩිය සහ පොල්තෙල් ගඳින් යුක්ත වූ හිස් වැසුම නාසයට ලං කර ගත්තේය. පේ‍්‍රත විමානයකට පැමිණි ආගන්තුකයෙකු සේ ඔහු සිමෙන්ති මේස මත තබා තිබු මලකදන් දෙස බැලුවේය.

දොරට ආසන්නයේ තිබු සිමෙන්ති මේසය උඩ බාවා තිබු මළකඳ ලේ වලින්නැහැවී තිබුණි. රේස් බුකියක පලහිලව්වක් නිසා කඩු වලින් කපා කොටා තිබු මිනිය තවමත් ඇස් ඇරගත් ගමන්ය. කම්මුල හරහා වැදී තිබු කඩු පහර නිසා එක් ඇසක් පෙනුනේ කුඩාවටය. එබැවින් සිමෙන්ති මේසය උඩ සිටි මිනිසා ඉඟි කරන්නාක් මෙන් පෙනුණේය.

"මේක අතන දාන්ඩ .." මුරකරු කම්කරුවන් දෙදෙනාට ශාලාව කොනේ පිහිටි හිස් සිමෙන්ති මේසයක් පෙන්වීය.

මිනියට ගරුසරුවක් නොපෙන්වූ කම්කරුවන් දෙදෙනා ලී කොටයක් අත අරින සේ ඇලුමීනියම් ස්ටේචර් එකේ දමා තිබු මළ මිනිය සිමෙන්ති මේසයට ඇල කළේය. මිනිය ඇලුමීනියම් ස්ටේචර් එකෙන් රූටා විත් සිමෙන්තිය මතට වැටුණේ බොල් හඬක් නගමිනි.

අනතුරුව එක කම්කරුවෙක් මිනිය වසා තිබු ඉටි කොළය ඉවතට ගත්තේ වටිනා සේද සළුවක් අමතක නොකර යලි ගෙන යන ගැහැනියක් මෙනි. ඔහු ඉටි කොලය ප‍්‍රවේසමට නැමීය. ඒ අතරවාරයේ අනෙක් කම්කරුවා ඇලුමිනියම් ස්ටේචර් එක අතට ගත්තේය.

මුරකරු අලුත ගෙනා මමළ මිනිය දෙස බැලීය. එය කාන්තා මමළ සිරුරකි. නිල් පැහැති සාරියක් ඇඳ සිටි ඇය උඩුකුරුව සිමෙන්ති මේසය මත නිදන්නීය. ඇය තවමත් තරුණ වයස පසු කොට නැත.

මරුවා වයසක් තරාතිරමක් ගණන් නොගන්න බව හොඳින් දැන සිටි මුරකරු යාබද සිමෙන්ති මේසය මත හොවා තිබෙන ළදරුවාගේ මළකඳ දෙස බැලුවේ ජීවිතය ගැන වටහා ගන්නට මෙනි. ඩෙංගු උණ සෑදීමෙන් මරණයට පත්වූ මෙම තුන් හැවිරිදි ළදරුවා ගෙන ආවේ අද සවස් වරුවේය. ළදරුවාගේ මවගේ විලාපය නිසා මෝචරිය පමණක් නොව අවට ගොඩනැගිලි වල උළු පවා සෙලවෙන්නට ඇත.

පොලිස් නිලධාරියා අදාල කොළ පුරවන අතර ඔහු යලිත් වරක් සිමෙන්ති මේසය මත තිබෙන කාන්තා ශරීරය දෙස බැලුවේය. අනෙකුත් මළ මිනී අතරින් ඔහු දුටුවේ ඇගේ උස්වූ ලයමඩලයි. ගැහැණිය තද නිල් පැහැති හැට්ටයක් ඇඳ සිටි නිසා මොචරියේ දැල්වී තිබෙන විදුලි බුබුළු වල ආලෝකය වැටී ඉන් දිස්නය හමන්නට වුයේය. මුසල දසුන් වලින් පිරී තිබු මෘතශරීරාගාරයේ එකම මනස්කාන්ත දර්ශනය ලෙස මුරකරු දුටුවේ එම දසුන පමණි.

"මොනා වෙලාද සර් ?" ඔහු කොළ පුරවන පොලිස් නිලධාරියාගෙන් ඇසුවේය.

"ඇක්සිඩන්ට් එකක් " පොලිස් නිලධාරියා කීවේ වියලි ලෙස හැගීමකින් තොරවය.

"අපරාදේ මොන වයසක්ද?" මුරකරු පැවසුවේ මෝචරියක මළවුන් සමග රැකියාව කලද තවමත් තමුන්ට මිනිස් හැගීම් ඇති බව පෙන්වීමට මෙනි.

මොනවා කරන්ඩද අයිසේ ඩෝප් දාල කාර් එළවනකොට , මිනිහා කුණුවෙන්ඩ බීල , ඇනලා තියෙන්නේ කන්ටේනරයක. හැප්පෙනකොට ඌ තමන්ගේ පැත්ත බේරලා වයිෆ් හිටපු පැත්ත වද්දලා. ඌ බේරුනා ගෑනි මළා. හෙට පෙරේරා මහත්තය වැඩද ?

"ඔව් සර් හෙට පෙරේරා මහත්තයා මිනිය කපයි."

"ඇති යන්තං , නැත්තං බොඩිය රිලීස් වෙන්න පරක්කු උනොත් අපිට එකසිය ගානට කෝල් එයි.

අවසන් කොළයද පිරවූ පොලිස් නිලධාරියා පිටත් වීම සඳහා මේසය මත තිබු තම හිස් වැසුම් අතට ගත්තේය. ඔහු වාහනය වෙතට ගියේ පොලිස් පෙරෙට්ටුවේ ඇවිදින මහලු පොලිස්කාරයෙකු සිහිගන්වමිනි. පිටත්ව යන වාහනයේ හඬ කෙමෙන් කෙමෙන් අඩුවී යත්ම රාත‍්‍රියේ නිසලතාවය , නිශාචරයන්ගේ හඬ, බල්ලන්ගේ මුසල උඩුබුරන හඬ යලි පරිසරය වෙලා ගත්තේය.

පොලිස් ගිලන් රථය පිටත් වූ පසු මුරකරු මෝචරියේ දොර වැසීම සඳහා යලිත් අගුල සමග ඔට්ටු වීමට සුදානම් විය. දොර වැසීමට පෙර යලිත් වරක් සිමෙන්ති මේසය මත නිදන ගැහැණිය දෙස බැලීමට ආශාවක් ඔහුට උපන්නේය. මෝචරියේ දොර අඩවල් කෙරූ මුරකරු ෆෝමලීන් සුවඳ පිරුණු ශාලාව තුල නිදන්නන්ගේ නින්දට බාදා නොකරනුවස් පයේ ඇගිලි තුඩු වලින් ගමන් කළේය.

සිමෙන්ති මේස මත නානා ප‍්‍රකාරයේ මළ මිනි තිබේ. එක මේසයක බඩ කපා අතුනුබහන් එලියට ගත් තරුණයෙකුගේ මළ සිරුරකි. වස පානය කොට දිවිනසාගත් ඔහුගේ අභ්‍යන්තර කොටස් හෙට රස පරීක්ෂක වෙත යැවීමට නියමිතය. එම මේසය අසල බිම මහේත්රාත් නියෝග මත ගොඩගත් මළසිරුරකි. මළසිරුර දිස්නයකින් තොර වූ දුඹුරු පැහැති ලී මිනීපෙට්ටිය තුල වැතිර සිටියේ පුස් ගන්ධය පතුරවමිනි. මළ මිනියේ මුහුණ හඳුනාගත නොහැක , එහි සුදු පැහැති පුස් වර්ගයක් බැඳී ඇත. මිය ගිය පුද්ගලයා ඇඳ සිටින්නේ අලුත් කෝට් එකකි. එහි රන් පැහැති බොත්තම් දිළිසුණේය. අත දෙකට දමා තිබෙන අත්වැසුම් සුදුම සුදු පාටය. මෘතශරීරාගාරයේ ශීතකරණ අක‍්‍රීය නිසා මෙම මිනිය කුණුවී යාමට පටන්ගෙන තිබේ. එහෙත් පුස් ගඳ නිසා මිනීමස් කුණු වෙන ගඳ යටපත් වී තිබෙන හැඩකි.

අප‍්‍රරසන්න වූ ජවනිකා මැද එකම ප‍්‍රරසන්න දර්ශනය වූ ඈත සිමෙන්ති මේසය මත තිබෙන කාන්තා ශරීරය දෙස ඔහු බැලුවේය. නිල් පැහැති දිලිසෙන ලැම ඔහුගේ දෙනෙතට අසු විය. ඔහු හඬ නොනැගෙන සේ ඇය වෙතට ගියේය. මුරකරු ඇවිදින විට අතේ තිබු යතුරු කැරැල්ලේ හඬ මතු නොවුයේ නම් සොහොන් ගෙයක් සේ මෝචරිය නිහඩය. යතුරු කැරැල්ලේ හඬ මතු නොවීම සඳහා ඔහු යතුරු කැරැල්ල තදින් ග‍්‍රහහණය කර ගත්තේය.

ඇය සිමෙන්ති මේසය මත සදාකාලික නින්දේ සිටියාය. ඇයගේ හිසකෙස් අලංකාරය. කළු පැහැති ලස්සන බූල් බල්ලෙකුගේ ලෝම මෙන් කෙස් දිස්නය ගෙන ආවේය. තරුණ කාන්තාව ඇඳ සිටියේ වටිනා සාරියකි. ඇය කෙරෙන් තවමත් සෙන්ට් සුවඳ හමයි. ෆෝමලීන් ගඳ පිරි මෝචරියේ එකම සුවදවත් ශරීරය තිබුනේ මෙම මියගිය කාන්තාවට පමණි. ඇයගේ මුහුණ රන් පාටය. මියගොස් තිබුනද රත් පැහැති දෙතොල් වල අහිංසක සිනහවකි. ඇය මියගොස්ද නැතොත් තවමත් පණ පිටින්ද යන කුකුස ඔහුගේ සිතන නැගිණි.

මුරකරුවා තම මුහුණ මියගිය ගැහැනියගේ මුහුණ අසලට ලං කොට ඇය වෙතින් එන සුවඳ ආග‍්‍රහණය කළේය. ඔහුගේ දෙනෙත් වැසුණි. ඉතාම සුන්දරජනක වූ හැඟීමක් ඔහු තුල පහල විය. එය වින්දනය කිරීමට මිසක් ඒ පිලිබඳ පැවසීමට වචන ඔහු සතු නොවීය. යතුරු කැරැල්ල හඬ නගමින් සිමෙන්ති පොලව මත වැටුණි. ඒ හඬින් ඔහුගේ දෙනෙත් විවර විය. ඔහු දුටුවේ මිය ගිය ගැහැනියගේ අලංකාර මුහුණයි. මුරකරුවා තම ගොරහැඩි අපිරිසිදු අතින් ඇයගේ මුහුණ අතගෑවේය. මියගොස් සිටියද ඇයගේ ශරීර උණුසුම තවමත් පහව ගොස් නැත. ඇයගේ මුහුණ අතගාන විට ඉතා සිනිදු මුදු පහසක් ඔහුට දැනුණි.

මුරකරුවාට උදුලාවතීව මතකයට නැගුණි.

කරකාර බැඳගෙන ආවත් උදුලාවතී ඔහු සමග සිටියේ මාස හයක් පමණි. පමණ ඉක්මවා කසිප්පු බොන නිසා උදුලාවතී සිටියේ සිත අමනාපයෙනි.

"උඹට තේරෙන්නේ නැහැ උදුලෝ මෝචරියේ රස්සාව කරනකොට සිහියෙන් කටින් කරන්ඩ බැරි බව.. අපි මිනී කපන්නේ කුදාර් වෙන්ඩ ගහලා."

ඔහු සැම විටම උදුලාවතීට කීවේය. එහෙත් ඇයට ඔහුව නොරිස්සිය. රෑ වැඩ නැති දවස්වලට ඔහු උදුලාවතී ළඟට ගිය විට ඇය ඔහුගේ ග‍්‍රහණයෙන් මිදුනේ පිළිකුල පාමිනි.

"කසිප්පු හුමාලය උගුරෙන් එකකොට මට ඔක්කාරේ" උදුලාවතී ඇඳෙන් නැගිට කුස්සිය පැත්තට යන්නීය. ඉන් උරණ වන ඔහු බෝතලයේ පතුල පේන තෙක් පානය කොට මෝචරියේ සිමෙන්ති මේස උඩ නිදන මළවුන් මෙන් ඇඳ උඩ නිදා ගනී. උදුලාවතී වැඩි කල් නොඉවසුවාය . ඇය ඔහු රාතී‍්‍ර මුරය කල දිනක නිහාල් සමග පැන ගියාය. ඔවුන් දැන් වේවැල්දෙනිය පැත්තේ සිටින බව කඩේ කබ්රාල් මුදලාලිගේ හාමිනේ වරක් ඔහුට කීවාය. එහෙත් උදුලාවතී ගිය පසු ඔහු ඇය ගැන සොයා බැලුවේ නැත. වඩ වඩාත් බෝතලයට කිට්ටු වුවා පමණි.

සිමෙන්ති මේසය මත වැතිර සිටින ගැහැණිය සහ උදුලාවතී පිලිබඳ මතකය නිසා ඔහුගේ හැගීම් උද්දීපනය වුයේ හිරු එළිය නිසා විකසිත වෙන මහනෙල් මලක් මෙනි. උද්දීපනය වූ හැගීම් නිසා ඔහුට බෝතලයේ අවශ්‍යතාව දැනුණි. ශාලාවේ කුණු වතුර බහින කාණුව අසල ඇති කොට බිත්තිය අද්දරට වෙන්නට සගවා තිබු බෝතලය සොයා ගිය ඔහු එය අතට ගත්තේය. බෝතලයෙන් කාලක් පමණ උගුරට හලාගත් පසු ඔහුගේ සිතට යළි ආවේ සිමෙන්ති මේසය මත වැතිර සිටින ගැහැණියයි. ඔහු ඇය වෙත ගියේ උදුලාවතී වෙත යන්නක් මෙන්ය.

ගැහැණිය නිහඬව සිමෙන්ති මේසය මත වැතිර සිටියාය. ඔහු ඇයගේ හිසකෙස් , මුහුණ අතගෑවේය. ඔහුට දැනුණේ ඇය පන පිටින් ඉන්නාක් මෙනි. ඔහුගේ අත මියගිය ගැහැණියගේ ලැම කරා ගියේය. ඔහුගේ සිතට අමුතු වින්දනයක් දැනුනි. බෝතලයෙන් තවත් උගුරු කීපයක් පානය කල මුරකරු අපිරිසිදු සිමෙන්ති මේසය මතට නැග කාන්තාව අසලින් වැතිරුණේය. ඇයගේඋදරයෙන් ගැලු ලේ ඔහුගේ සරම තෙත් කළේය. එහෙත් එය ඔහුට දැනුනේ නැත.

මළමිනී රැසක් හොවා තිබූනු ලෙයින් , මිනිස් පටක වලින් අපිරිසිදු වී කුණු ස්ථර මත ස්ථර බැදී තිබු සීතල සිමෙන්ති මේසය ඔහුට දැනුනේ සුවබර යහනාවක් මෙනි. සුවඳ විලවුන් වලින් නැහැවුණ කාන්තා ශරීරය බදාගත් මුරකරු ඇයගේ පහසින් ලැබුවේ ආත්මීය වින්දනයකි. කොතෙක් වෙලා ඔහු ඇයගේ සිරුර බදාගෙන සිටියේද යන්න ඔහුට කල්පනාවක් නොවීය. ඔහු ඇය සමග අනන්තය දක්වා ගියේය. කාලය සහ අවකාශය පිළිබඳව හැගීමක් ඔහුට නොවීය.

මුරකරුවා අවදි වන විට හොඳටම ඵළිය වැටී තිබුණි. මෝචරියේ සිමෙන්ති මේස මත වැතිරී සිටි මළකඳන් වලට පණවිත් ඔහු සහ ඇය සිටි සිමෙන්ති යහන වටා සිටිනු ඔහුට පෙනුණි. ඉන් තැතිගත් ඔහු හිස් බෝතලයද පෙරලගෙන නැගිට්ටේය. මේසය මත සිට බිමට වැටුණු බෝතලය කුඩු වී ගියේ වීදුරු කටු දසත විහිදුවමිනි. ඔහු අසල වැතිර සිටි ගැහැණිය කිසිදු කලබලයකින් තොරව දෙනෙත් පියාගෙන සිටියාය.

මුරකරු හොඳින් දෑස ඇර වටපිට බැලීය. සිමෙන්ති මේස මත හොවා තිබුණු මළකඳන් කිසිදු හැල හොල්මනක් නැතිව එලෙසම වැතිරී සිතති. එහෙත් පෙරේරා මහත්තයා ඇතුළු තවත් දොස්තර මහත්තුරු දෙදෙනෙක්ද, කන්තෝරුවේ විමලේද, වෛද්‍ය සිසුන් කිහිප දෙනෙක්ද විමතියෙන් යුතුව ඔහු දෙස බලා සිටිති.

(මෙම කෙටි කතාවට පාදක වූ වස්තු බීජය මගේ සිතේ තැන්පත් වන්නේ 1994 වසරේ අධිකරණ වෛද්‍ය පුහුණුව ලැබීමට ෆ්රැන්සිස් මාවතේ පිහිටි මෘතශරීරාගාරයට ගිය අවස්ථාවේදීය. අපගේ පුහුණුව පවත්වන ලද්දේ සුප‍්‍රකටට අධිකරණ වෛද්ය විශේෂඥයෙකු වූ වෛද්‍ය L B L අල්විස් මහතා විසිනි. මෙම මෘත ශරීරාගාරයේ දී අව්යක්ත කතා කියමින් මිනී කැපු සුළු සේවකයෙකු මගේ අවධානයට ලක් විය. කෙටි කතාවේ රාත‍්‍රී මුරකරුගේ චරිතය ගොඩ නැගෙන්නේ මෙම පුද්ගලයා ඇසුරෙනි. එහෙත් මෙම කතාව මනෝකල්පිත එකකි. එවැනි සිදුවීමක් සත්‍ය ලෙසින් සිදුවී නොමැත.)

වෛද්‍ය රුවන් එම්. ජයතුංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලියූවෙමි කවියක්
කලකට පෙර නුඹට
පත්පිටේ
සයිබර් අහසේ
පරාග පොතේ...

පරාග සේම
පැතිරී පැලවුනිද බෝ දුර
බැරිවුනා තවමත් මිතුරිය
වඩින්නට නුඹේ සිත් කෙම්බිමට

සැවුලෙක්, කොවුලෙක්, පරවියෙක්
කපුටකුවත් කොයිද
වසුරුලන්නට මිස,
කවි රැගෙන ඉගිලී යන්නට....
මඟ ලකුණු කියුමට
නොදත්තෙමි වගතුගද....
කෙටි මිතුරු දිගු මතක යෙහෙලියේ
දුටුව මුත් අහම්බෙන් පත්පිටක
අඳුනන්නේ කෝම නුඹ
කවියා මම වග
නිමිත්ත නුඹ වග
තමන්වත් නාඳුනන ලෝකයක

දැන හුන්නාද
කවි නිමිත්තක් අතැතිව
අකීකරු ළදැරියක සේ
ඇවිද ගිය වග නුඹ එදවස
බොරැල්ලේ..
කැලනියේ...
එකසිය පනස් හතරේ...
එක්සියක් මාවත් සරසමින

සිතුනු මුත් මට
හිරු සඳු පවා
යටහත් යැයි නුඹට...
දුටිමි නුඹ විඩාවෙන් යන සැටි
ගිනි විදින හිරු යට අසරණව...
ක්‍රෑෂ් හඬ, ක්‍රීෂ් හඬ
දහවලේ දුහුවිලි අතරේ
තැලුනු මුව මහනෙල ද කවියක්ය,
නොදත්තෙමි කෙලෙසින්
සුරැකිව තබා ගම්දැයි
දින දින දිරායන
එදවස මතක සිතුවම්....

පණ දී කවියකට
මියගියා සේ මැයි
වෙන් වී ගියේ නුඹ
නොසිතමි යළිත් එන වග

ආවාද නාවද
පණ තිබෙන තුරු මිහිලියට
සිතන්නෙමි
පණ ඇතැයි කවියට ද...

බලා ඉන්නෙමි මිහිරිය
ඇවිද යන සැටි නුඹ තවමත්
සහෘද කවි මිතුරු
අසුරුසන් එලුසන් අතරින්
නාඳුනන්නී....
බොහෝ අය හඳුනති දැන් නුඹ

ඉසුරු ප්‍රසංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පසු ගිය දා බැසිල් රාජපක්ෂ 'දි ඉකොනොමිස්ට්' සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් දෙමින්, නූතන ලංකාවේ රාජාණ්ඩු ක්‍රමයක ඇති අවශ්‍යතාව ගැන 'ප්‍රසිද්ධියේ' කතා කර තිබුණි. මෙය බටහිර ලෝකයා බෙහෙවින් කියවන සඟරාවකි. එහි දී ඔහු කියා තිබුණේ, ලංකාව වැනි රටකට රාජාණ්ඩු ක්‍රමයක් තව දුරටත් ගැළපෙන බවයි. ප්‍රසිද්ධියේ යන වචනය පෙරලූ කොමා සළකුණු යටතේ සටහන් කෙළේ, එවැනි කතාවක් රහසින්වත් කීම අශෝභන යැයි සැළකෙන ශත වර්ෂයක අප ජීවත් වන නිසා ය.

ලංකාවේ එකම සමාගමේ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් සිය පාඨකයාට දෙයාකාරයකට කරුණු ගෙනහැර පාන බව භාෂා ද්වයෙන් පුවත්පත් කියවන පාඨකයෝ දනිති. සිංහල ජාතිවාදයට වැඩියෙන්ම උඩගෙඩි දෙන සිංහල පුවත්පතක් සතු සමාගමෙන්ම මුද්‍රණය කරන ඉංග්‍රීසි පුවත්පතක් බොහෝ විට ජාතිවාදය කරපින්නා ගන්නේ නැත. මෙසේ සිදු වන්නේ, භාෂාව ප්‍රමුඛ කර ගත් වෙළඳපොළ යාන්ත්‍රණයක් මේ ජාතිකත්වය අස්සේම ක්‍රියාත්මක වන නිසාය. (ජාතිවාදයක් කෙරෙහි කෙනෙකු දක්වන නැමියාව සහ එම තැනැත්තා එම භාෂාවෙන් පමණක් ලෝකය දකින්නෙකු වීම අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තිබේ). බැසිල් රාජපක්ෂ යනු පත්තරයක් හෝ සඟරාවක් විකුණා ගැනීම ගැන උත්සුක වන්නෙකු නොවේ. ඔහුගේ එල්ලය වන්නේ, තමාට ලෙයින් සම්බන්ධයක් දක්වන අවශ්‍යතාවක් මතවාදී තලයක 'විකුණා' ගන්නටයි. සාමාන්‍ය වෙළඳපොල තර්කණය මෙහි දි තාවකාලිකව අත්හිටවෙයි. ඒ නිසා, බැසිල් රාජපක්ෂ ලංකාවේ සිංහලයන්ට කියන දෙයම බටහිර ප්‍රජාවටත් ඉංග්‍රීසියෙන් පැවසීම තුළ එක්තරා අව්‍යාජත්වයක් පෙනුණොත් එය අපූර්වත්වයක් වශයෙන් බාර ගත යුතු නැත. අනිත් අතට, එය සත්තකින්ම ඔහුගේ අව්‍යාජත්වය කියා පාන්නක් වුණත්, ඒ හේතුව නිසාම ඔහු කියන දෙය අසන්නාගේ හෝ කියවන්නාගේ ප්‍රසාදයට හේතු වන්නේ ද නැත. බැසිල් රාජපක්ෂ සිංහලෙන් කීවේ නම් නිතැතින්ම ඇතැම් (ජැක්සන් ඇන්තනි වැනි) සිංහලයන්ගේ ඉමහත් අමන්දානන්දයට හේතු විය හැකි එම කතාව, බටහිර පාඨකයා ඉදිරියේ ඉංග්‍රීසියෙන් පැවසූ විට ජනිත කරවන්නේ ජුගුප්සාව සහ හාස්‍යයම පමණි.කටට කාරම් ඇඹුලක් දනවන මෙවැනි නීරස අවශ්‍යතා පුළුල් පාඨක පිරිසක් අතරට ගෙනයාම සඳහා නූතන ලෝකයේ බුද්ධිමය මෙවලම් තනා තිබේ. ඒ මෙවලම් පාවිච්චියට ගන්නා පිරිස් ඒවා 'පොල්ලෙන් ගැසුවා සේ' නොකියති. ඒ වෙනුවට, එම පුද්ගල අවශ්‍යතාව ලස්සණට වෙළා, සිත් ගන්නා ඇසුරුමක බහා පාඨකයාට ඉදිරිපත් කිරීමට ඔවුහූ වගබලා ගනිති. එවිට, අර කී ජුගුප්සාව සහ හාස්‍යය ජනිත කෙරෙන්නේ නැත. එපමණක් නොව, තරමක් නතර වී, අදාළ කාරණය ගැන නැවත සිතා බලන්නට ද එහි දී පාඨකයා පෙළැඹිය හැකිය. මේ විශේෂඥ උපදේශකත්වය හරහා රාජ්‍ය නායකයන්ගේ පුද්ගල ප්‍රතිරූප ගොඩනැගීම සඳහා විශේෂ සමාගම් ද ඇත්තේය. ලංකාවේ පුවත්පත් පසු ගිය කාලයේ වාර්තා කළ අන්දමට, මහින්ද රාජපක්ෂ රජයේ කීර්ති නාමය බටහිර ලෝකයා ඉදිරියේ පිම්ඹීම සඳහා එංගලන්තයේ සමාගමකට වසරකට ඩොලර් මිලියන ගණනක් මහජනතාවගේ සල්ලිවලින් අපේ ආණ්ඩුව තවමත් ගෙවමින් සිටී.

එවැනි පුද්ගලික සමාගම් හැරුණු කොට, 'ස්වාධීන' බුද්ධිමතුන් සහ 'ස්වාධීන' ඥාන මණ්ඩල (විශ්ව විද්‍යාල වැනි) ද මේ කාර්යය සඳහාම යොදා ගැනේ. ඉහතින් කී, විශේෂිත වෙළඳ සමාගම් මාර්ගයෙන් පිම්ඹෙනු වෙනුවට ලෝකයේ නම ගිය බුද්ධිමතෙකුගේ ශ්‍රී මුඛයෙන් පිට වෙන වචනයක් හරහා යමෙකුගේ ප්‍රතිරූපය ගොඩනැගෙයි නම් එය තුළ මිළ නොකළැකි ගුණාත්මක වටිනාකමක් අඩංගු වන්නේය. උදාහරණයක් වශයෙන්, ''ඉතිහාසයේ අවසානය සහ අවසාන මිනිසා'' නැමැති සුප්‍රකට ග්‍රන්ථය ලියූ ෆ්‍රැන්සිස් ෆුකුයාමා වැනි විද්වතෙකුගේ කටින් තමන් පිළිබඳ වර්ණනාවක් ප්‍රචාරය කර ගැනීමට ලැබුණොත් ගඩාෆි වැන්නෙකුට එය මොන තරම් වටිනා දේශපාලනික ප්‍රාග්ධනයක් විය හැකි ද? මෙවැනි බුද්ධිමතුන්ගේ හුවාදැක්වීම් තුළ ගඩාෆි ප්‍රජාතන්ත්‍රවාදියෙකු වශයෙන් කෙලින්ම හඳුන්වා දෙනු නොලැබේ. ඒකාධිපති පාලන ක්‍රමයක් හෝ ඉස්සර කාලේ රාජාණ්ඩු ක්‍රමයක් නූතන ලෝකයට සෙතක් ශාන්තියක් ගෙන දෙතැ යි ද ඔවුහූ විහිළුවටවත් නොකියති. ඒ වෙනුවට ඔවුන් කරන්නේ, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නිවැරදිව ගණුදෙනු කළහොත්, ගඩාෆි හරහා පවා අරාබි ලෝකය තුළ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ නිර්මාණය කර ගැනීමේ ශක්‍යතාවක් ඇතැ යි බටහිර ලෝකයාට ඒත්තු ගැන්වීමට තැත් කිරීමයි. ඒ 'විශේෂඥ බුද්ධිමය උපදේශකත්වය' බටහිර ලෝකයා ඉදිරියේ සමාජගත කරනු වස් ඔවුන් ගඩාෆිගෙන් ලබා ඇති වැඩ කුලිය ඩොලර්වලින් මිලියන ගණන් ඉක්මවයි. මෙහි දී මේ කියන පිරිස හුදෙක් තනි තනි පුද්ගලයන් වශයෙන් පමණක් නොව, ඔවුන් නියෝජනය කරන සම්භාව්‍ය ශාස්ත්‍රාලීය ආයතන වශයෙන් ද ගඩාෆිගේ සල්ලිවලින් කඩේ ගොස් තිබීම තුළ, බැසිල් රාජපක්ෂ වැන්නෙකු සිය සහෝදරයා වෙනුවෙන් අහිංසක ආකාරයෙන් පෙනී සිටීම සමහර විට බරපතල දේශපාලනික අකුසලයක් නොවිය හැකිය.

බටහිර ලෝකයේ රාජාණ්ඩු ක්‍රමයක් හෝ ඒකාධිපති ක්‍රමයක් ගැන කතා කිරීමට අද ඉඩක් නැත. එම ලෝකයෙන් පිටස්තර කළාපවල දී පවා, බලය දරන්නේ තමන්ගේ හිතෛෂී පාලකයෙකු නම් මේ කියන බුද්ධිමත්තු අදාළ රටේ රාජාණ්ඩු ක්‍රමයේ හෝ ඒකාධිපති ක්‍රමයේ දුර්ගුණ ගැන වහෙන් ඔරෝ භාෂාවෙන් මිස කෙලින් කිසිවක් නොකියති. (සවුදි අරාබිය). අනිත් අතට, ඔවුන්ගේ සතුරු රාජ්‍යයන්හි සිටින ඒකාධිපතියන් සහ රාජාණ්ඩු ක්‍රම ගැන, (උදාහරණයක් වශයෙන්, එදා පැවති නැගෙනහිර යුරෝපීය සෝවියට් පාලන තන්ත්‍රයන් ගැන) කතා කරද්දී, තිස්තුන් පැයේම හුවා දක්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ හාස්කම් ය. එසේම, අවශ්‍ය වෙතොත් කෙලින්ම එම රටට ගොස්, (ඉරාකයේ දී මෙන්) 'ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්' එම පාලකයන්ව කුදලාගෙන එන්නටත් නොපසුබට වෙත්. බටහිර ලෝකයේ මේ දෙබිඩි පිළිවෙත මොන විදිහකින්වත් ඒකාධිපතියන්ගේ සහ අත්තනෝමතික පාලකයන්ගේ පාලන තන්ත්‍ර සුජාත කිරීම සඳහා අවසරයක් වශයෙන් යොදා ගත යුතු නැතත්, මුළු ලෝකයාම අහ්ලාදයෙන් යුතුව ප්‍රජාතන්ත්‍රවාදී සිහින දකිමින් සිටින ලෝකයක එවැනි දෙබිඩි ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න කිරීම නරක නැත.

'ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්' (ලන්ඩන් ආර්ථීක විද්‍යා සරසවිය) යනු ලෝකයාගේ ඉමහත් සම්භාවනාවට පාත්‍ර වන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ශාස්ත්‍රාලයකි. (මගේ මතකය නිවැරදි නම්, සුප්‍රකට දේශපාලන ආර්ථීක විද්‍යාඥ හැරල්ඩ් ලැස්කි යටතේ එන්.එම්.පෙරේරා සිය ආචාර්ය උපාධිය නිමා කෙළේ ද මේ සරසවියේය). පසු ගිය දා ඇතැම් විචාරකයන් විසින් මෙය 'ගඩාෆි ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්' (ගඩාෆිගේ ආර්ථීක විද්‍යා සරසවිය) වශයෙන් අවමානයෙන් භෞතීස්ම කරන ලදි. ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් කළමනාකරණය කරන ගඩාෆි පවුලේ අරමුදලකට අයත් ස්ටර්ලින් පවුම් මිලියන 2.2 ක මුදලක් ලබා, ගඩාෆි පාලනයට ගැති ලිබියානු සිවිල් සේවකයන් සහ ලිබියානු වෘත්තිකයන් පිරිසක් මේ කියන ලන්ඩන් ආර්ථීක විද්‍යා සරසවිය මගින් පුහුණු කැරැවීමට එම ආයතනයේ බලධාරීන් විසින් මීට වසර කිහිපයකට පෙර බාරගෙන තිබේ. ඒ මුදලින් සතයක්වත් එම ශාස්ත්‍රාලයේ ප්‍රධානී ශ්‍රීමත් හොවාර්ඩ් ඩේවිස් තමන්ගේ පෞද්ගලික ලාබ ප්‍රයෝජනයට යොදාගෙන ඇති බවට සාක්ෂි නැත. ඇත්තෙන්ම එම මුදල වැය කොට ඇත්තේ, ශාස්ත්‍රාලීය කටයුතු වෙනුවෙන්ම විය හැකියි. එහෙත්, ගඩාෆි වැනි ඒකාධිපති පාලනයකින් එසේ මුදල් ලබා ගැනීම මගින් එම දුර්දාන්ත පාලනය යුක්ති සහගත කිරීමක් සිදුව ඇතැ යි පිළිගත් එම අධ්‍යක්ෂවරයා පසු ගිය සතියේ සිය ධුරයෙන් ඉල්ලා අස් විය. ඔහු පමණක් නොව, එම විශ්ව විද්‍යාලයේ සමස්ත පාලක මණ්ඩලයම ඉල්ලා අස්විය යුතු බවට අද එහි ශිෂ්‍යයෝ ඉල්ලා සිටිති.

ගඩාෆිගේ පුතා මීට අවුරුදු තුනකට පෙර සිය ආචාර්ය උපාධිය අවසන් කොට ඇත්තේ ද මේ සරසවියේමයි. ඒ සඳහා ඔහු ඉදිරිපත් කළ ශාස්ත්‍රීය නිබන්ධනය පවා ලියා ඇත්තේ, වෙනත් අයවළුන් සතු මූලාශ්‍රයන්ගෙන් හොරෙන් සපයා ගත් තොරතුරු මත බවට චෝදනා එල්ල වෙයි. එපමණක් නොවේ, මේ ගඩාෆි පුතාගේ නිබන්ධනය අධීක්ෂණය කළ බුද්ධිමතුන් පවා, ගඩාෆි පවුලේ සල්ලිවලින් සප්පායම් වී ඇති බවට අළුත් තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් තිබේ.

තවත් උගත්තු ශ්‍රීමත් හොවාර්ඩ් ඩේවිස් තරම් සෘජු නැත. කළ වරදක වගකීම බාර ගැනීමට තරම් අවංක නැත. ගඩාෆි වෙනුවෙන් ඔවුන් බාරගෙන සිටි 'කොන්ත්‍රාත්තු' විවිධ නම් වාසගම් යටතේ අදටත් ඔවුහු යුක්ති සහගත කරති. එයින් කෙනෙකු වන, හාවර්ඩ් කෙනඩි සරසවියේ මහාචාර්ය ජෝසප් නෙයි, මේ ඒකාධිපතියා 'සෘජු ප්‍රජාතන්ත්‍රවාදය' වෙනුවෙන් උනන්දුවෙන් පසු වන බව වරක් 'නිව් රිපබ්ලික්' පුවත්පතට ලිපියක් ලියමින් කියා සිටියේය. ලන්ඩන් ආර්ථීක විද්‍යා සරසවියේ මහාචාර්ය ඇන්තනි ගිඩන්ස් ලිබියාව වර්ණනා කරමින්, එම රට යම් දවසක 'අප්‍රිකාවේ නෝර්වේ දේශය' බවට පත් වන බව 'ගාර්ඩියන්' පුවත්පතට ලියමින් කියා ඇත. රුට්ගර්ස් සරසවියේ මහාචාර්ය බෙන්ජමින් බාබර් 'වොෂින්ටන් පෝස්ට්' පුවත්පතට ලියමින් 'ගඩාෆිගේ පාලනය යටතේ පවතින ලිබියාව යම් දවසක අධිකාරීවාදී නොවන, ස්ථාවර ආණ්ඩුවක් බවට සාමකාමීව පරිවර්තනය වන ප්‍රථම අරාබි රාජ්‍යය' වන බව ලියා ඇත.

බෙන්ජමින් බාබර් යනු, "පරිභෝජනය: වෙළඳපොළ විසින් දරුවන් දූෂණය කරනු ලබන්නේ කෙසේද?", "ළදරු වැඩිහිටියෝ" හා "පුරවැසියන්ව එක කටට ගිලීම" වැනි, ප්‍රජාතන්ත්‍රවාදයේ උත්කෘෂ්ටත්වයත්, සමාජ සාධාරණත්වයේ හදිසි අවශ්‍යතාවත් වෙනුවෙන් ජනප්‍රිය පොතපත ලියූ මහාචාර්යවරයෙකි. මේ සියල්ලන්ම සැළකෙන්නේ ප්‍රතිගාමී දක්ෂිණාංශිකයන් වශයෙන් නොව, ලිබරල් මතධාරීන් වශයෙනි. කෙසේ වෙතත්, මේ සියළු විද්වත්තු එසේ ලියා ඇත්තේ නිකම් අත ලෙවකන්නට නොවේ. ඒ සඳහා ගඩාෆිගෙන් ඩොලර් කන්දරාවක කුලියක් ඔවුන් අය කොට ඇත. මේ වන විට සොයාගෙන ඇති තොරතුරුවලට අනුව එම කුලිය වසරකට ඩොලර් මිලියන 3 ද ඉක්මවයි.

වෙස්පේසියන් නැමැති රෝම අධිරාජයා රෝමයේ කුණු කාණුවල එක්කාසු වන මළ මූත්‍ර සුද්ද කිරීම වෙනුවෙන් රට වැසියන්ගෙන් බද්දක් අය කෙළේය. එවැනි බද්දක් අය කිරීම ගැන විරෝධය පෑ ඔහුගේ පුතා එය ගඳ ගහන ආදායම් මාර්ගයක් බව වරක් පියාට කීවේය. එවිට පියා කෙළේ, බදු ආදායමෙන් උපයා ගත් රත්තරන් කාසියක් අතට ගෙන එය පුතාට පෙන්වා එහි කිසියම් ගඳක් ඇත් දැ යි ඔහුගෙන් ප්‍රශ්න කිරීමයි.

[රාවය| 03.2011| අවරදිග ආවර්ජනා]

ගාමිණී වියන්ගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පසුගිය දිනක පලවූ පුවතකින් කියවුනේ මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි හිටපු LTTE කාඩර් වරියන් 374 දෙනෙකුගෙන් 270 දෙනෙකු සමත්වී දෙදෙනෙකු වෛද්‍යවිද්‍යාල සුදුසුකම් ලබා 44 දෙනෙකු විශ්වවිද්‍යාල සඳහා සුදුසු කම් ලබා ඇති බවය. එම පුවතට පසු වදනක් ලියන වාර්තාකරුවාම ප්‍රකාශ කොට තිබුනේ වැරදි මාවත් වෙනුවට-

නිවැරදි මාවත තුලින් ජීවිතය ජය ගැනීම සඳහා ඔවුන් උත්සුක වී ඇති බවය. අප අත්දැකීමෙන් දන්නා පරිදි මෙතරම් කරදර තිබියදී අපහසු තත්වයන් යටතේ විභාග සමත් වූ මොවුන් අන් අයට වඩා සුවිශේෂ දක්ෂතාවයන්ගෙන් හෙබි අය ලෙසින් සමාජය තුල සම්භාවනාවට ලක්වනු ඇත.

ස්වභාවික ඉතිහාසය තුලින් මිනිස් ඉතිහාසය වෙන්කිරීමත්, දෙවන ලෝක යුද්ධයෙන් පසුව පශ්චාත් කාර්මික සමාජයන් තුලින් වඩාත් තීව්ර වූ බුද්ධිමය ශ්‍රමයේ අතිප්‍රමුඛ භූමිකාවත් තුල මුළු මහත් ලෝකය තුලම පිලිගන්නවා ඇති සහ පිලිගැනෙන නව ලිබරල්වාදී දෘෂ්ඨිවාදයට අනුව මුලධර්මවාදී පිළිගැනීම වන්නේ, ඔබගේ දක්ෂතාවය අනුව ඒ ඒ දක්ෂතාවයේ හැකියාවන්ට නියම වී ඇති වටිනාකම් අනුව ඔබට සමාජයේ නිසි තැන ලැබෙනු ඇතැයි යන්නයි. එනම් ඔබ වඩාත් දක්ෂ නම් ඔබට වඩාත් සැප පහසු ජීවිතයක්ද, (ධනවාදය තුල පිලිගැනී ඇති දෘෂ්ටිවාදී ජීවිතයට අනුව) සමාජ වටිනාකම් සහ ඉහල පාරිභෝගික භාණ්ඩ අර්චනකාමී හැකියාවක්ද ලැබෙනු ඇතිය යන්නය. එම නිසා මෙම යුගය තුල ක්‍රම විරෝධී වාමාංශික දේශපාලන ක්‍රියාකාරිත්වයක් නොමැත. ඒ වෙනුවට අති මහත් බහුතරය පිළිගෙන ඇති ඉහත හෙජමොනික දෘෂ්ටිවාදයට අනුව කිසිවෙකුට ක්‍රම විරෝධී සටනක අවශ්‍යතාවයක් නොමැති අතර ඇති මහත් බහුතරයේ පිළිගැනීම වන්නේ නව ලිබරල්වාදී සමාජය වඩාත් හොඳින් කළමනාකරණය කල හැකි ආණ්ඩුවක් පිලිබඳවය. එවිට ඒ ඒ පුද්ගලයාට අදාළ ස්ථානය සමාජය තුල හිමි කරගත හැකිය යන්නයි. ධනවාදය වෙතින් එල්ලවන මෙම දෘෂ්ටිවාදී අභියෝගයට මාක්ස්වාදී න්‍යායික ව්‍යවහාරය නිසි අයුරින් මුහුණ දෙන බවක් නොපෙනේ. ඒ වෙනුවට ධනවාදය තුල බිහිවී ඇති සියලු නිෂ්පාදන සහ නිෂ්පාදන බලවේගයන් මෙන්ම ඒ තුල බිහිවී ඇති සියලු විද්‍යාවන් සහ තාක්ෂනයන් පිළිගනිමින් නිෂ්පාදන සබඳතා පමණක් අහෝසි කිරීම වෙනුවෙන් පමණක් පෙනී සිටින ඔවුන්,(බටහිර විද්‍යාව සහ ධනවාදය යනු දෙකක් නොව එකකි. එම විද්‍යාවන් තාක්ෂනයන් මෙන්ම සියලු නිෂ්පාදන සහ නිෂ්පාදන බලවේගයන් බිහිවන්නේද ඊට අදාල දෘෂ්ටිවාදයක් තුල හෙයින් මේවා එකට සම්බන්ධවන ආකාරයන් එනම් නිෂ්පාදන සබඳතා පමණක් එසේ නොමැති නම් නිෂ්පාදන මාදිලිය පමණක් වෙනස් කරන්නේ කෙසේද යන ගැටලුව මොවුනට නැත.) "ශ්‍රම විභාජනයේ ඉතිහාසය" තුල සිදු වූ සහ සිදුවෙමින් පවතින සියලු ආකාරයේ මිනිස් සහ සොබාදහම සුරාකෑම්, මර්ධනයන්, විඳවීම්, තුලින් ලෙයින් - යකඩින් ගොඩනගන ලද ශිෂ්ඨාචාරය තුල අත් පත් කරගත් දෑ (නිෂ්පාදනයන්) "මිනිස් ඉතිහාසය තුල මිනිස් ජයග්‍රහණයන්" ලෙස බාරගනී. එය තුල මුලිකම ශ්‍රම විභජනය වන කායික සහ මානසික ශ්‍රම විභාජනයද පිළිගනී. අද්‍යතන මාක්ස්වාදී සංවාදය තුල එය නිසි අයුරින් ප්‍රශ්න නොකරන තත්වයක් උද්ගත වී ඇත්තේ සමාජීයව විසඳිය යුතු ප්‍රශ්න වෙත විද්‍යාව සහ තාක්ෂනය මැදිහත් වීමෙන් විසඳුම් (ජීවන ආකෘතීන්) ලබාදීම, වෙළඳපොල සහ ප්‍රචාරණය හරහා දෘෂ්ටිවාදීමය ලෙස සියලු දෙනා බාරගෙන ඇති තත්වයක් තුලය. ධනවාදය තුලදී එම අකාරයෙන් ලැබෙන විසඳුම් වෙතින් සිදුවන්නේ ප්‍රශ්න තවත් ප්‍රශ්න බවට පත්වී අවුල් වී නැවතත් ගුණාකාරමය ලෙස වැඩිවීම සහ නැවත ඒ සඳහා ද විසඳුම් ඒ ආකාරයෙන්ම ඉදිරිපත්වීමකි. එනම් එම නිෂ්පාදනයන් පිළිගැනීම තුල එම නිෂ්පාදනයන් විසින් ඇති කරන ලද කොනක් පොටක් බේරිය නොහැකි සමාජ පාරිසරික අවුල් ජාලාව (සමාජ යථාර්තය) තුල මිනිසුන් ස්ථානගතවී ඇති ආකාරයන්ද පිළිගැනීමය. එවිට මෙම අවුල් ජාලය තුල ආහාර, ජලය, වාතය, සෞඛ්‍ය, පාරිසරික වැනි ක්ෂේත්‍ර තුල ඇතිවන ප්‍රධාන ප්‍රශ්න වලට සහ අනෙකුත් සෑම සමාජ අර්බුදයකටම ද විසඳුම් යෝජනා වන්නේ මෙම ශිෂ්ටාචාරය විසින් ගොඩනගන ලද නිෂ්පාදනය තුලමය. එම තත්වය (සමාජ යථාර්තය) ඒ අයුරින් පිළිගන්නේ නම් කායික සහ මානසික ශ්‍රම විභජනය මෙන්ම අනෙකුත් සියලු අකාරයන්ගේ ශ්‍රම විභාජනයන්ද නඩත්තු කර පවත්වා ගැනීම අනිවාර්ය වේ. එනම් පවතින යථාර්ථය වෙනස් කරනවා වෙනුවට එම යථාර්ථය පිළිගැනීමය. සමාජය ඉදිරියට වර්ධනය වනවාය යන්න පිළිගැනීම තුල (මෙම ඊනියා සමාජ සංවර්ධනය පිළිගැනීම යනු මුළු ඉතිහාසය සමග සංසන්දනය කල විට ඉතා සුළු නිමේශයක් වැනි වසර සියයක පමණ ඉතිහාසය, එනම් ඊනියා කාර්මික විප්ලවයෙන් පසු ලෝක විනාශය කරා යන ගමනද පිළිගැනීමය.) මෙම තත්වයට විසඳුම් ලෙස බොහෝ "බුද්ධිමතුන්" යෝජනා කරන්නේ ආචාරධර්මීය විසඳුම්ය. එනම් කායික සහ මානසික ශ්‍රම විභජනය "සත්‍යයක්" ලෙස පිළිගත යුතු බවත්, කල හැක්කේ ආර්ථික අසමානතාවය අහෝසි කිරීමත්, සමානාත්මතාවය පිළිගැනීමේ ආචාරධර්ම පද්ධතියක් ගොඩනැගීම තුලින් එම ශ්‍රමිකයන් දෙකොට්ටාශයම සමානයන් ලෙස පිළිගැනීමත් බවය. එවිට එම ආචාරධර්ම පද්ධතිය ගොඩනගන්නේද ඉහත සඳහන් බුද්ධිමතුන්මය. මේ පිලිබඳ මාක්ස් මෙසේ සඳහන්කොට ඇත.

"ශ්‍රම විභජනය සැබවින්ම එබන්දක් බවට පැමිනෙන්නේ, මානසික සහ කායික ශ්‍රමය අතර විභේදනය දිස් වන විට පමණි. (දෘෂ්ටිවාදීන්ගේ මුල් රුපකාරය වන පුජකයන් බිහිවීම ද මීට සමගාමීය) එතැන් පටන් ඉදිරියට, පවත්නා භාවිතය පිලිබඳව විඥානයට වඩා තමන් අන් යමක් බවට, සැබෑ යමක් නියෝජනය කිරීමෙන් තොරවම තමන් සැබවින්ම යමක් නියෝජනය කරන බවට විඥානයට සැබෑ ලෙසම තමන්වම පුම්බා ගැනීමට හැකිය. මෙතැන් පටන් විඥානය, ලෝකයෙන් තමන්වම ගලවා ගැනීමේ සහ ශුද්ධ න්‍යාය, දේව ධර්මය, දර්ශනය, ආචාරධර්මය නිර්මාණය කිරීමේ ස්ථාවරයක සිටී."(ජර්මන් දෘෂ්ටිවාදය)

මාක්ස් මූලික වශයෙන්ම එරෙහි වන්නේ ශ්‍රම විභජනය නිසා ඇති වන පරාරෝපනයටය. පරාරෝපනය යන්න එම යුගයේදී මාර්කස් ඒ පිලිබඳ සලකා බැලූ ආකාරයට වඩා පුළුල් ආකාරයකින් වර්තමානයේ සලකා බැලිය යුතුය. කාර්මික ධනවාදයට පෙර සහ කාර්මික ධනවාදයේ මුල් යුගයන්හි පැවති ආකාරයේ, එනම් මාක්ස් පෙන්වාදුන් ආකාරයේ, සමාජ විප්ලවයේ ගාමක බලවේගය වන තම බඩ වියත රැක ගැනීමට හා කම්කරු පන්තිය මියගොස් වඳ නොවීමට අවශ්‍ය වැටුපක් පමණක් හිමි වූ අචල කම්කරු පන්තියක් අද නොමැත. ඒ වෙනුවට නිශ්චිත කාල වකවානුවක් තුල පමණක් භෞතිකමය ලෙස පහල සමාජ පන්තිකයන් විය හැකි සහ තම බඩ වියත රැක ගැනීමට පමණක් නොවෙන, වෙනත් නිෂ්පාදනද මිලදී ගත හැකි ක්‍රය ශක්තියක් සහිත මෙන්ම ඔවුන්ගේ ඊළඟ පරපුරට තම පන්ති පදනම වෙනස් කර ගත හැකිය යන දෘෂ්ටිවාදීමය බලාපොරොත්තුව සහිත විවිධ ශ්‍රමික සමාජ පන්තීන් ඇත. ඔවුනගේ දුවා දරුවනට තම උපන් පන්ති පදනම වෙනස් කර ගත හැකි අවස්ථාව ප්‍රධාන වශයෙන්ම විවර වී ඇත්තේ අධ්‍යාපන ධාරාව තුලිනි. එම නිසා වහල් යුගයේ සැමදා වහලා වීම නිසාද වැඩවසම් යුගයේ සැමදා ප්‍රවෙනිදාසයා වීම නිසා ද අවශ්‍ය වූ සමාජ වෙනස වර්තමාන ධනවාදය තුල එම ආකාරයෙන් අවශ්‍ය නොවී ඇත්තා සේම ඒ සඳහා ඉදිරිපත්වන ගාමක බලවේගයක්ද නැත. විදු වැනි අන්ත දුගී දුප්පතුන් හැරුණු කොට මෙම යුගයේ අනෙකුත් අයට තම මුලික අවශ්‍යතා පිලිබඳ ප්‍රශ්නයක් නොමැත. සියලු දෙනා තමනට අදාළ මට්ටම් වල ඇති පාරිභෝගික භාණ්ඩ අර්චනකාමයේ අලී ගැලී සිටී.

ඉහත අප සඳහන් කල නව ලිබරල්වාදී මුලධර්මය ලංකාව තුල බහුතර පිළිගැනීමට ලක්වෙමින් තිබීම තුල වර්ෂ 1994 ට පමණ පෙර නිෂ්පාදනය වූ ගණයේ ජනප්‍රිය චිත්‍රපට දැන් නිපදවෙන්නේ නැත. 70 දශකයේත්, පසුව ඊට මදක් වෙනස් ආරකින් 80 දශකයේ නිෂ්පාදනය වූ බොහෝ ජනප්‍රිය සිනමා පට තුල මුඛ්‍ය තේමාව වී තිබුනේ සමාජ අසාධාරණත්වයට ලක්වී සිටින දුප්පත් එසේ නොමැතිනම් ලුම්පන් තරුණයාට පොහොසත් කෙල්ලෙකු සමග ඇති වන ආදර සම්බන්ධයයි. මේවා තුලින් ගම්‍ය වුයේ සමානාත්මතාවය ලබාගැනීමට සමාජ බාධාවක් ඇති බව සහ සිනමා පටය තුල බහුතර ප්‍රේක්ෂකයා නියෝජනය කරන කතා නායකයා සමාජ බාධාව මග හරිමින් ආදරය තුලින් තම පන්ති අසමානත්වය සමනය කර ගැනීමයි. 87-89 ජ. වි. පෙ. අරගලය පරාජය වීමත් සමග මෙවැනි චිත්‍රපට ක්‍රමයෙන් අභාවයට යන ලදී.

විදු සිනමා පටය තුල ප්‍රාදේශීය දේශපාලඥයා විසින් නියෝජනය කරන දේශපාලන ධාරාව වන්නේ ඉහත සඳහන් කල නව ලිබරල් මුලදර්මවාදී දේශපාලන ධාරාවයි. විදු තම නිවසේ කාමරක තුල සිරකරගෙන සිටියදී විදු රැගෙන යාමට පැමිණි මවට ඔහු පවසා සිටින්නේ, විදූ මෙහි කැමැත්තෙන් සිටින බවත්, විදු දක්ෂයෙකු බවත්, විදුට මෙම රටෙහි ජනාධිපති විය හැකි බවත්, එය එසේ වන්නේ දක්ෂයාට ඉහලට එනම් තමාට හිමි තැනටම යා හැකි සමාජයක් උදාකර කරමින් ඒ සඳහා වන බාධාවන් ඉවත් කිරීමෙන් පමණක් බවත්, තම නායකයා රටෙහි ජනාධිපති කරවීමෙන් එය සඵල කරගත හැකි බවත්ය. මුලදී විදු මුදලට විකිණීමට අකමැති වූ මව, දේශපාලඥයාගේ එම ප්‍රකාශයෙන් පසුව, විදූගේ අනාගත සාර්ථකත්වය තීරණය කරන මාවත් දෙක පිළිබද දෙගිඩියාවකින් යුතුව පාසල් වේදිකාව වෙනුවට දේශපාලන වේදිකාව වෙත විදු රැගෙන යාම නිහඩව අනුමත කරයි.

අප මෙතෙක් කියවා ඇති විදු පිලිබඳ බොහෝ විචාරයන්ට අනුව විදු තුලින් සංවාද ගතකරන මුඛ්‍ය කාරණා පෙනී ගොස් නොමැති බව අපගේ වැටහීමයි. බොහෝ විචාරකයන්ට අනුව සම්භාව්‍ය මාක්ස්වාදයේ විස්තර කෙරෙන අකාරයෙන්ම එම පැරණි අර්ථයෙන්ම පාලකයන්, පාලක පන්තීන් මෙන්ම කම්කරුවා සහ කම්කරු පන්තියද මාක්ස් අත්දුටු ආකාරයෙන්ම අදද පවතී. එම නිසා කලාවේ කාර්යභාරය වන්නේ මෙම හතුරු මිතුරු සම්බන්ධයන් හෙළිදරවු කිරීමය.

සමහර විචාරකයින් පෙන්වා දෙන්නේ ප්‍රේක්ෂකාගාරය පිලිබඳ අර්බුදයක ගිලී ඇති හඳගම ජනප්‍රියවාදය දක්වා පසු බැස ඇති බවය. තවද සිනමා පටයේ පදනම් දෘෂ්ඨිවාදය ලාංකීය නව සිංහල බෞද්ධ වාණිජ දෘෂ්ටිවාදය ලෙස ඔවුන් හඳුනාගනී.

විදු යනු කිසිදා පාසල් නොගිය වයස අයුරුදු 9 ක 10 ක ළමයෙකි. වැල්ලේ නිදහසේ ජීවත්වන නිරතුරුවම සුද්දන් ඇසුරු කරන ඔහුට ලැබෙන දැනුම යනු තම ජීවතයට අදාල ව්‍යවහාරිකත්වය තුලින් ලැබෙන දැනුමක් මිස ජීවිතයට ඓන්ද්‍රීය නොමැති ආයතන ගත අධ්‍යාපනය තුලින් ලැබෙන දැනුමක් නොවේ. ඔහුට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලැබෙන්නේ ද ඔහු දන්නා අනෙකුත් දේවල් පිලිබඳ දැනුම ලැබෙන්නේද ඔහුගේ ජීවිතයට, සමාජය සහ ඔහු අත්විඳින පරිසරය සමග ඇති ඓන්ද්‍රීය ජීවන-භාවිතාව තුලිනි. ඔහුට තිබෙන දැනුම සහ ව්‍යවහාරිකත්වය අවියෝජනීයව එකට බැඳී පවතින අතර ඔහු අත්විඳින සමාජ-පරිසරය ගැන, ඔහු ලෝකය දකින ආකාරය පිලිබඳව පාසල තුලින් හෝ වෙනයම් ආයතනයක් තුලින් ඔහු වෙත ඍජු අර්ථකතනයන් නොලැබේ. මේ පිලිබඳ එක් උදාහරණයක් සිනමා පටය තුලින්ම ගෙනහැර දැක්විය හැකිය. එක් ජවනිකාවක විදු තාප්පයක් උඩ වාඩිවී සිටියදී විදුහල්පති සහ ඔහුගේ දියණිය ඔවුන්ගේ කාරයෙන් එතනින් යන අතර තුර එය විදු ඉදිරිපිට නවත්වයි. එහි සිටින දියණිය විදුට මෙසේ පවසයි. "ඔතන හිටියොත් වැස්සට තෙමේවි දැන් ගෙදර යන්න" එම කාරය එතනින් නික්ම යනවාත් සමගම තවත් කාරයක් පැමිණ එතන නවත්වා, ඉන් එලියට බැස ගන්නා අයෙකු විසින් විදුගේ මව එම කාරය තුලින් එලියට ඇද බිමට දමා යන්න යන විට, "මගේ ගාන දීල පලයන්" යනුවෙන් ඇය බෙරිහන්දේ. පසුව විදු මවගෙන් විමසා සිටින්නේ හැමෝටම වටිනාකම් තියනවාද යනුවෙනි. විදු ඩොලර් එකක් වත් නොවටිනා කොල්ලෙකු බව වැල්ලේදී හමුවන සුද්දා විසින් ඊට පෙර පවසා තිබුණි. එවිට කාර් පිළිබඳව, කාර් වල යන අය සහ එම මිනිස් සම්බන්ධතා වල සුවිශේෂතා පිළිබඳව මෙන්ම මිනිසුන්ගේ වටිනාකම් තීරණය වන ආකාරයන් සම්බන්ධයෙන්ද විදුට ලැබෙන අවබෝධයන්ගේ සිද්ධි අනුභූතික වන ආකාරය එබඳුය. සමහර විචාරකයින්ට ප්‍රශ්නයක් වී ඇති විදුගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව සහ සබකෝලයක් නොමැති වීම ඔහු තුල පවතින්නේ මෙන්න මේ ජීවන භාවිතාව තුලිනි. ඔහුට මහජන රැස්වීමක් වැනි සභාවල් පිලිබඳ හැඟීමක් හෝ දැනීමක් අන් ළමුන්ට ඇති අර්ථයෙන් නොමැත. එම නිසා ඔහුට එවැනි සභාවක් යනු තම එදිනෙදා ජීවන ව්‍යවහාරය තුල අත්දකින තවත් එක් සංසිද්ධියක් පමණි. ඔහු කතා කරන්නේ එවෙලෙහි හිතට එන දේය. නමුත් තවත් පැහැදිලි කල යුතු දෙයක් ඇත. එනම් පාසල් නොගිය පමණින්, වැල්ලේ නිදහසේ ජීවත් වූ පමණින්, යම් ළමයෙකු විදු වැනි නොවී වෙනත් අය බවටද පත්වීම ගැනය.

අප එකිනෙකා විවිධාකාර වී ඇත්තේ අපගේ ජීවිතය තුල අපට හමු වූ අය, අපට ලැබුන අත්දැකීම් සහ සිද්ධීන්, ආර්ථික, සමාජ දේශපාලන දෘෂ්ටිවාදී සමස්තය තුල සංකරණ-සංයෝජන වූ අකාරයන්ගේ සහසබඳතා එකතුවක් ලෙසය. ආදිකල්පික සමාජයක මෙන් නොව ඉතා සංකීරණ ආර්ථික, දේශපාලන, නිෂ්පාදන, දෘෂ්ටිවාදීමය සම්බන්ධතා සහිත සමාජයක් තුල, කෙනෙකු අත්විඳින ඉහත සඳහන් කල සංකරන-සංයෝජන සංකීර්ණතා ඉතා විශාල අගයක් සහ විවිධත්වයක් ගැනීම තුල එකිනෙකාගෙන් බොහෝ වෙනස් විවිධ මිනිස් විෂයයන් බිහිවේ. විදු වැල්ලේ කුඩු කාරයන්, හොරුන් හෝ වෙනත් තක්කඩියන් සමග එකතු නොවීමට හේතුව විදුගේ මවගේ ස්වභාවය බව සිනමාපටය තුල පෙන්නුම් කෙරේ. ඇය කිසිඳු අවස්ථාවක විදු නොවිකුනයි. විදු පාසල් යැවීමට නොහැකි වූ එකම බාධාව උප්පැන්න සහතිකයි.

ගණිකා ගැට කපන්නියකගේ දරුවෙකු වන, දිළිඳු කෙසඟ සිරුරක් ඇති විදු වටිනාකමක් ඇත්තෙකු බවට පත්නොවුනි නම්, එනම් ඔහු "දක්ෂයෙකු" නොවුනි නම් ඔහු නොකා නොබී සිටියය ද කිසිවෙකුටත් එය ප්‍රශ්නයක් නොවේ. රිය අනතුරකින් හෝ වෙනත් අයුරකින් "දක්ෂ" සිසුවෙකු මිය ගිය විට ඒ පිලිබඳ බොහෝ දෙනා ඉමහත් කම්පාවට පත්වේ. මෙම නිසා මෙවැනි සිද්ධියක් වාර්තා කිරීමේදී සිද්ධියට අදාළ සිසුවා "දක්ෂයෙකු" නොවුවද ඉතා දක්ෂ සිසුවෙකු ලෙස පුවත් පත් විසින් ඒ පිලිබඳ රස කතා වාර්තා කරන්නේ, ඒ පිළිබද ප්‍රවෘත්තිමය වටිනාකම ඉහල යන නිසාය.

විදුගේ හැකියාවන් දකින විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන්, ළමුන් සහ වෙනත් අය විදු යනු "දක්ෂයා" ලෙස හඳුනා ගනී. එනම් මෙතරම් විධිමත් පාසල් වලදී මෙන්ම, විශ්වවිද්‍යාල තුලදී වත් හමු නොවන ගනයේ හැකියාවක් විදු තුලින් හදුනා ගැනීමයි. එවිට විදු යනු ඔහු තුල ඇති සුවිශේෂතාවයක් හේතුවෙන් මෙම ඉංග්‍රීසි සහ සිංහලෙන් කතා කිරීමේ හැකියාව ලබාගත් අයෙකු ලෙසට සිනමා පටය තුල සියලුදෙනාත්, සිනමා ප්‍රේක්ෂකයා මෙන්ම විචාරකයනුත් හඳුනා ගනී. එය ඉතා හොඳින් පෙන්නුම් කරන්නේ විදු සිනමාපටයේ ප්‍රචාරක දැන්වීම් තුලිනි. ඒ පිලිබඳ අදහස් දක්වන විදුහල්පති වරුන්, ගුරුවරුන්, සහ එය නරඹන සියලු දෙනාම එක හඬින් කියා සිටින්නේ "දක්ෂයා කොහේ හිටියත් එලියට එනවා" වැල්ලේ මුඩුක්කුවක හැදුනද ඔහු දක්ෂයෙකුනම් සමාජය තුල ඉදිරියට යා හැකි බවත්, එය අවබෝධ කර දෙන, එසේ නොමැතිනම් එම අසිරිමත් පණිවිඩය රැගෙන යන විදු සිනමා පටය ළමුන්ට ගුරුවරුන්ට මෙන්ම සියලු දෙනාට ආදර්ශයක් බව සහ දක්ෂයාට නිසි තැන ලබා දියයුතුයි වැනි උදාන වාක්‍යන්ය. මින් පෙන්නුම් කරන්නේ මෙම යුගයේ සියලු දෙනාට "සත්‍ය" ලෙස පෙනෙන සහ ඊනියා සම්භාව්‍ය මෙන්ම පශ්චාත් මාක්ස්වාදීන්ටද නිසි පිළිතුරක් ලබාදිය නොහැකි වී ඇති, ශ්‍රම විභජනය තුල අසමානතාවය නමැති සමාජ ප්‍රශ්නය වසන්කරන නවලිබරල්වාදී න්‍යාය ගත කිරීම (ඔබගේ දක්ෂතාවය අනුව ඒ ඒ දක්ෂතාවයේ හැකියාවන්ට නියම වී ඇති වටිනාකම් අනුව ඔබට සමාජයේ නිසි තැන ලැබෙනු ඇත....) අති මහත් බහුතරය පිළිගෙන ඇති ආකාරයත්, අනෙකුත් අයට මෙම තත්වය පිලිබඳ වැටහීමක් නොමැති බවත්ය. එම නිසා මෙම යුගය තුල ධනවාදය ආගමකි.

නමුත්, විශේෂයෙන්ම අධ්‍යාපන ධාරාව තුලින් සියලු දෙනා කරා පැමිණෙන මෙම නව ලිබරල්වාදී ආගමික මුලධර්මවාදයට විදු හසු නොවීම තුල ඔහු ලෝකය දකින අකාරය වෙනස් වී ඇත. අන් අය තමාව වටහාගන්නා අකාරය පිලිබඳ විදුට හැඟීමක් නොමැත. ඔහු දක්ෂයෙකු හෝ වීරයෙකු බව ඔහු නොදනී. විදුහල්පතිට අනුව දඩාවතේ ගොස් හදාගත් ළමයෙකු වන විදු, මුලදී උප්පැන්න සහතිකය පිලිබඳ ප්‍රශ්නය හේතුවෙන් පාසලට ඇතුලත් කරනොගනී. නමුත් පසුව විදු දක්ෂයෙකු ලෙස හඳුනා ගැනීම තුල විදුහලට ඇතුලත්වීමේ අවස්ථාව හිමි වේ. මෙම යුගයේ පන්ති අර්ථයන්, එනම් තමන් කිනම් පන්තියකට අයත් වනවාද යන්න නිශ්චය වීමේ ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ මෙම අධ්‍යාපන ධාරාව හරහාය. දැනට වසර සියයකට පමණ පෙර මෙන් නොව මෙම යුගයේ තම උපන් සමාජ පන්තිය වෙනස් කර ගැනීම සඳහා බොහෝ ක්‍රමවේදයන් ඇත. ඒ අනුව වෙනත් ආකාරයන්ගෙන් මුදල් උපයාගෙන තම පන්ති පදනම වෙනස් කරගන්නා අයට නොලැබෙන පිළිගැනීමක් අධ්‍යාපන ධාරාව තුලින් ඉදිරියට යන කෙනා සතු කොට ගත හැකිය. එනම් "මිනිස් වර්ගය" තුල "සුවිශේෂ මිනිසුන්" ලෙසය. ඒ ඒ අධ්‍යාපන මට්ටම් අනුව ඊට අදාල පිළිගැනීම් ඇත. (ව්‍යාපාර තුලින්, එසේ නොමැති නම් කූට මගඩි තුලින්, දේශපාලනය හරහා, හෝ වෙනත් ක්‍රම මගින් සමාජයේ ඉහලට නැගගත් බොහෝ දෙනෙකු තම දරුවන් හට ඉතා උසස් අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ ගන්නේත්, මුදලට ලබාගන්නා ආචාර්ය උපාධියක් හෝ උපාධියක් තම නමෙහි මුලට යොදා ගැනීමට උත්සුක වන්නේත්, වාමාංශික දේශපාලකයන් නීතිඥ, ආචාර්ය, මහාචාර්ය වැනි පට්ටම් තම නමෙහි මුලට යොදන්නේත් මේ නිසාය.) වර්ගවාදය (ජාතිවාදය) සහ මේ තත්වය අතර කිසිඳු වෙනසක් නොමැත.


තම දියණිය සමග සමීප සම්බන්ධයක් පැවැත්වීමට විදුහල්පති බාධා නොකරන "සත්‍යය" ඇත්තේ විදු වැනි දක්ෂයෙකු යනු නියත වශයෙන්ම අනාගතයේ බුද්ධිමය ඉහල මධ්‍යම පන්තිය නියෝජනය කරන සහලක්ෂණ ප්‍රකට කිරීම තුලය. ඉතින් මෙම සුවිශේෂී දක්ෂයාට සියලු දෙනාගේ මෙන්ම ජනමාධ්‍ය වලද අවධානය යොමු වීම තුල ඔහු සුපිරි තරුවක් බවට පත් කිරීමට සියලු දෙනා ඇප කැප වේ. මෙම යුගයේ ඇමෙරිකාව ප්‍රමුඛව ලෝකය පුරා ජනමාධ්‍ය හරහා නොයෙකුත් නොයෙකුත් ක්ෂේශ්ත්‍රයන් තුල සුපිරි තරු තෝරන්නෙත් ඒ සඳහා මිනිසුන් තුල ඇති කැමැත්තත් යනු අප ඉහත සඳහන් කල ආකාරයට ධනවාදය ආගමක් ලෙස සියලු දෙනා කරා පැමිණීමෙන් ඇති වන තත්වයක් තුල සමාජ සාධාරණය ඉටුවීමෙන් මිනිසුන් තුල ඇතිවන ෆැන්ටසිමය සන්තෘෂ්ටියයි. මෙම සාධාරණත්වය ඉටු කිරීම සඳහා SMS හෝ එවැනි වෙනත් මාර්ගයකින් තමාටත් දායක වී පහන් සංවේග උපදවාගත හැකිය. මේවා සමාජය තුල සමාජ සාධාරණය ඉටුවීමේ පරමාදර්ශ ලෙස ක්‍රියා කරයි. එම නිසා විදු සුපිරි තරුවක් බවට ඔසවා තැබීම සඳහා ක්‍රියා කරනන්ගේ තත්වයද එයමය.

මිනිසුන්ගේ වටිනාකම් පිලිබඳ මෙම නව ලිබරල්වාදී නිර්නායකයන් කිනම් ශිෂ්ටාචාරයක් අධිනිශ්චය වීම තුලින් ස්ථාපිත කරන ලද්දක්ද යන ඉඟිය සිනමා පටය විසින් අපට ලබා දෙන්නේ විදුට හමුවන සුද්දා තුලිනි. සුද්දාට අනුව විදු යනු ඩොලර් එකක්වත් නොවටිනා කොල්ලෙකි. නමුත් පසුව මෙම සුද්දාම ජනමාධ්‍ය මගින් විදුගේ වටිනාකම හඳුනා ගනී.

නමුත් විදු යනු විදුහල්පතිලා, ගුරුවරුන්, සමාජය මෙන්ම විචාරකයින්ද හදුනා ගන්නා ආකාරයේ "දක්ෂයා" නොවේ. එනම් එක ජවනිකාවක විදු ගුරුතුමිය වෙත කියා සිටින්නේ තමාට පාසලේ වැඩ (පාසල තුල විෂය කටයුතු) කල නොහැකි සහ නොතේරෙන නිසා තවත් පාසලට නොපැමිණෙන බවය. ඔහුගේ ජීවන ව්‍යවහාරය තුලින්, එනම් ඔහුට අනුභූතික වන සිද්ධීන් සහ දේවල් සංයුක්තව වටහා ගැනීම තුලින් විදුගේ ලෝකය නිර්මාණය වී ඇත. විදු අත්දකින ලෝකය තුල සමාජ පරිසරය සහ සිද්ධීන් සමග ඔහු අපෝහක වන ආකාරයත් පාසල් විෂය පද්ධතිය තුල ඔහුට පිහිටා සිටින්නට සිදු වන ආකාරයත් දෙකකි. එනම් පාසල තුල විෂයයන් ඉගැන්වෙන්නේ නිරපේක්ෂ අර්ථයෙන් සහ නීති රීතීන් ලෙස මෙන්ම වියුක්තවය. ඒ අතර ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප බොහොමයක් ඇති විෂයන්ද ඇත. වියුක්තව සිතීමට නොපුහුණු වූ සංයුක්ත ක්‍රියාකාරී ළමයෙකු වන විදුට, ඉතිහාසයක් මුළුල්ලේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් වියුක්තව මෙන්ම ආයතනගතව ගොඩනගන ලද දැනුම් පද්ධතීන් වන එම විෂයන් සහ සංකල්ප තේරුම් ගැනීමට අපහසුවීම පුදුමයක් නොවේ. ඔහුගේ "කතා" තුලින් ප්‍රකාශ වන්නේ ඔහුට ඓන්ද්‍රීය වන සංයුක්ත දැනුමකි. දේශපාලඥයාගේ පුත්‍රයා පාසැල තුලදී විදුට පහර දෙන විට විදු වෙතින් ප්‍රති පහර එල්ල නොකෙරේ. එසේ වන්නේ ඔහු අයත් නැති ඔහුට ඓන්ද්‍රීය නොවන පරිසරයකට (සමාජ යථාර්ථයකට) ඇති ආගන්තුක භාවය හේතුවෙනි. නමුත් ඔහු තුලින් වීරයෙකු බලාපොරොත්තු වන විදුහල්පතිගේ දියණිය, "හැමදාම ගුටි නොකා ගිහින් ගහනවා" යනුවෙන් පවසා ඔහුට පහර දීම සඳහා විදු තල්ලු කර දමයි.

මෙසේ විදු "දක්ෂයා" ලෙස හඳුනාගන්නා ප්‍රධාන පාර්ශවයන් දෙකක් ඇත. එනම් විදුහල්පතිගේ නායකත්වයෙන් යුතු ගුරුවරුන් ළමුන් දෙමාපියන් සහ ජනමාධ්‍ය ද ඇතුලත් පාර්ශවය සහ දේශපාලනඥයාගේ නායකත්වයෙන් යුතු පාර්ශ්වයයි. මෙම දෙපාර්ශ්වයේම අරමුණ විදු ලවා කතා පැවැත්වීමය. විදුහල්පතිගේ පාර්ශ්වයට ඔහු "සුපිරි දක්ෂයා" වනවිට දේශපාලනඥයාට ඔහු තම රැස්වීම් සඳහා සෙනඟ ඇද්දවීමට හැකි අයෙකු පමණි. විදුහල්පති ඇතුළු පිරිස මෙම විදු නමැති දක්ෂයාගේ විශ්මිත හැකියාව සහ එම සුපුවත අවට විදුහල්වලටත් මුළු රටටත් ප්‍රචාරය කිරීමට සැලසුම් කොට ඇත. මේ සඳහා දේශපාලනඥයා වෙතින් එල්ල වන බාධාව හේතුවෙන් එවැනි තත්වයකට අවශ්‍ය වන බාධාව නිර්මාණයවී ඇත. සියලු ජයග්‍රහණයන් සඳහා බාධාවන් අවශ්‍ය වීමත් යුගයේ හෙජමොනික දෘෂ්ඨිවාදය තුල ෆැන්ටසික සුරතාන්තය වැටී ඇත්තේ ඒ තුලින් වීමත් තුල ජනමාධ්‍ය කරුවාට ගිනි තබන ලද, විදු කතාව පැවැත්වීමට නියමිතව තිබු පාසලේ වේදිකාව යනු එය නරඹන හුදී ජනයා බලාපොරොත්තු වන අවශ්‍යම තත්වයයි. එම නිසා ජනමාධ්‍ය කරුවා විදුහල්පතිට පවසන්නේ නියම "Ideal වේදිකාව" නිමවී ඇත්තේ එය ගිනි තැබීමෙන් පසුව බවයි. සමහර විචාරකයින්ට අනුව නම් මෙම සිනමා පටයේ පදනම වන සිංහල බෞද්ධ වාණිජ දෘෂ්ටිවාදය විවේචනය කරනවා වෙනුවට එය උත්කර්ෂණයට නැංවීමක් ලෙස දකින්නේ දේශපාලඥයා පරදා මෙන්න මේ විදුහල්පති නියෝජනය කරන පාර්ශවයේ ජයග්‍රහණය යන්න සිනමා පටය තුල ආක්‍යාන ගතවී ඇතැයි යන සරල සහ වැරදි සහගත වටහා ගැනීම නිසාය. සිනමාපටයෙහි එන එකම ගීතයෙහි අර්ථය වන්නේද සියලු දෙනා වීරයන් සොයමින් සිටිනා බවය. නමුත් විචාර ලියු බොහෝ අය වටහා නොගත් ප්‍රමුඛතම කාරණය නම් මෙම සිනමා පටය තුලින් විදු වීරත්වට නැංවීමක් හෝ විදු "සුපිරි දක්ෂයා" ලෙස විදු තුල වන ගූඩ සුවිශේෂතාවක් ඉස්මතු කිරීමක්, ඉන් ප්‍රකට නොවන බවය. ඒ වෙනුවට සිදුව ඇත්තේ විදුට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති කතා පැවැත්වීම් සඳහා දෙපාර්ශවය විසින්ම ඔහුව දක්කාගෙන යාමකි. එය එම දෙපාර්ශවයේ අවශ්‍යතාවයක් පිරිමසා ගැනීම සඳහාය. එබැවින් සිනමා පටයේ ආකෘතිය තුලින් එම දෙපාර්ශවය, පවතින දෘෂ්ටිවාදය තුලම ප්‍රශ්න කිරීමකට ලක්කෙරේ.

මේ බව තවත් පැහැදිලිව පෙන්විය හැකිය. විදුගේ මව ක්‍රීඩා පිටිය තුල විසි කර දමා යන ගුරුවරයාගේ මුදල් පසුම්බිය රැගෙන කාර්යාලයට පැමිණෙන විදුහල්පතිගේ දියණියගෙන් "අර ළමයා දැන් කතාව පුරුදු වෙනවද" යනුවෙන් විදුහල්පති විමසීමෙන් පසු දියණියගේ පිළිතුර වන්නේ "එයා කියන්නේ පුරුදු වෙන්න දෙයක් නෑ එයාට එවෙලේ හිතට එන දේ කියනවා කියල" යනුවෙන් පිළිතුරු ලබා දේ. විදු කතා පුරුදු වෙනවා යනුවෙන් දෙයක් නොදන්නා අතර එවෙලෙහි දකින ඔහුට හැඟෙන දේ කිසිඳු ඉවක් බවක් නොමැතිව කියා දමයි. දේශපාලන වේදිකාවේ කතා කරනවාද පාසල් වේදිකාවේ කතා කරනවාද යන මෙලෝ නිනව්වක් විදුට නැත. හඳගම විසින් ඉදිරිගාමී විදුහල්පති කෙනෙකු පෙන්නුම් කරනා බවක් සමහර විචාරකයින් විසින් සඳහන් කොට තිබුණි. විදුහල්පති පිළිබඳව ඔවුනට එසේ පෙනෙන්නේ රාජ්‍යය තුල ආණ්ඩු පත්කරගැනීමට අදාළ දේශපාලන මොහොත සිනමා පටය තුල නිරීක්ෂණය නොකිරීමය. අදාළ දේශපාලඥයා තම උත්සාහයන් තුල කිසිඳු අවස්ථාවක ආණ්ඩු බලය උපයෝගී කරනොගනී. ආණ්ඩු බලය හොබවන දේශපාලනඥයෙකුට මෙවෙනි පාසල් උත්සවයක් නවත්වා දැමීමේ ලෙහෙසිම මග වන්නේ අධ්‍යාපන දෙපාර්තුමේන්තුව හරහාය. ඔහුට පොලිසියේ ආරක්ෂකයන් නොමැති අතර විදුහල තුල පවත්වන උත්සවය නැවැත්වීම සඳහා බලහත්කාර කම් කරනවා මිස ආණ්ඩු බලය උපයෝගී කරගනිමින් අධ්‍යාපන දෙපාර්තුමෙන්තුවේ ඉහල නිලධාරින් ලවා එයා නැවැත්වීමට උත්සාහ නොකරයි. ඒ තුලින් පෙන්නුම් කරන්නේ ඒ වන විට බලය හොබවන්නේ වෙනත් පක්ෂයක් බවය. බොහෝ විදුහල්පතිවරුන් බලයේ සිටිනා පක්ෂය නියෝජනය කරන අතර මෙම විදුහල්පතිවරයා එම පාක්ෂිකයෙකුමද විය හැකි බව පෙන්නුම් කරන්නේ ඔහු දේශපාලඥයා කෙරෙහි දක්වන චර්යාවන් තුලය. (කෙසේ වෙතත් "ඉදිරිගාමී" සහ "පසුගාමී" යන සහ සම්බන්ධ ප්‍රතිපක්ෂයන් දෙක තුල ලෝකය වටහා ගැනීම ඊනියා සම්භාව්‍ය සහ පශ්චාත් මාක්ස්වාදයට මෙන්ම ධනවාදයටද පොදු වන සංවාද භාෂාවට අයත් විධි ක්‍රමයකි.) මෙම දේශපාලන මොහොත හරියටම UNP යේ නායකයා වන රනිල් වික්‍රමසිංහ 2002 වර්ෂයේ අගමැති වන්නට නියමිතව තිබු අවස්ථාව වැනිය. එය එම අවස්ථාවමද යන සැකය මතු වන්නේ දේශපාලන වේදිකාවට ඉහලින් කොළ කොඩි වැල් කීපයක් දිස් වීමත් එකල රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අය හිස පැලඳු රතු පැහැය මිශ්‍රිත කැප් තොප්පි සිහිගන්වන තොප්පිම දේශපාලඥයා ඇතුළු පිරිස පැළඳ තිබීමත් ඔහු වෙතින් ප්‍රකාශ වන අදහස් එකල UNP දේශපාලන වේදිකාවල ප්‍රකාශ වූ අදහස්ම වීමත්, සාපේක්ෂව නව ලිබරල් මුලධර්මවාදය නියමාකාරයෙන් දරා සිටින ලාංකීය පක්ෂය එය වීමත් නිසාය.

මෙම දේවල් වටහා නොගන්නා බොහෝ දෙනෙකු තමන් දරනා ඊනියා මාක්ස්වාදී ස්ථාවරයන්ට අනුව කම්කරු පන්තියට ලැබෙන පන්ති විඥානයක් ගැන කතා කරයි. එවැනි ඊනියා කම්කරු පන්තියක් පිළිබඳව හෝ එවැනි ඊනියා කම්කරුපන්ති විඥානයක් පිලිබඳ විවරණයක් මෙම සිනමා පටය තුලින් ප්‍රකට නොකෙරේ. නමුත් ඔවුන් විදු හඳුනා ගන්නේ තම පන්ති පදනම තුලින් මතුවන වීරයා සහ නායකයා ලෙස සහ තව දුරටත් එය උදාහරණ මගින් පැහැදිලි කරමින් පවසා සිටින්නේ ලුම්පිත නිර්ධන පන්තිය තුලින් මෙවැනි නායකයන් බිහි නොවන බවයි. මෙම සිනමා පටය තුල විදු වීරයා හෝ නායකයා හැටියට අභිෂේක කිරීම සඳහා හඳගමට උවමනාවක් ඇති බව මොවුන්ට පෙනී යන්නේ සිනමාපටයේ ආකෘතිය විසින් එහි අන්තර්ගතය ප්‍රශ්න කරන ආකාරය ඔවුනට නොවැටහෙන නිසාය.

විදු වීරයා කරවීමට උත්සාහ දරනා "හොඳ" පාර්ශවය නියෝජනය කරන ළමුන් දෙදෙනා ජයග්‍රහණයක් කරා යාමේදී හමුවන සියලු ජනප්‍රියවාදී බාධා ජය ගන්නා ආකාරය, විදු සිරකොට ඇති කාමරයෙන් මුදා ගෙන වේදිකාව දක්වා රැගෙන යන දර්ශන පෙලින් පෙන්නුම් කරයි. නමුත් ඉතා අමාරුවෙන් වේදිකාවට නැගගත්, ඉතා වෙහෙසට පත් දුර්වල කෙසඟ සිරුරක් ඇති විදු වෙතින් කතාවක් බලාපොරොත්තු වන සියලු දෙනාට අසන්නට ලැබෙන්නේ ඔහුගේ ව්‍යවහාරය තුල නොමැති පාසල තුලින් ඔහුට ලැබුන එකම දෙය හැටියට සංකේතවත් කරන සාම්ප්‍රදායික ස්තුතියක් වන "මගේ කතාව අසාසිටින්නට පැමිණි ඔබ සැමට ස්තුතියි" යන්න පමණි. ඔහු කලින් කතා කල දෙවතාවෙදීම් ඔහු තුලින් එවැන්නක් ප්‍රකාශ නොවුනි. එනම් ඔහු එදිනෙදා ජීවන විවහාරය තුලදී මුහුණ දුන් ඔහුට අනුව සුවිශේෂතාවයක් නොමැති තවත් එදිනෙදා ක්‍රියාකාරකම් වලින් එකක් වූ ගහ උඩ කතා පැවැත්වීමත් පාසලේ කතා පැවැත්වීමත් යන ඔහුගේ ජීවිතය තුල සංයුක්ත ඓන්ද්‍රීය අනුභූතීන් තුල එවෙලෙහි හිතට එන දේ කියූ විදුට, ඔහුගේ ජීවිතයෙන් වියුක්ත සන්දර්භයක් තුල ගොඩනැගෙන සිදුවීම සහ පාසල් වේදිකාව යනු ඔහුට පුරුදු ජීවින ආකෘතියට බෙහෙවින් වෙනස් තත්වයකි. එම අවස්ථාව වන විට ඊට අදාලව ඔහුට සිදු වූ සහ ඔහුට මුහුණ දීමට සිදුවන සිද්ධීන් හැඟවුම්කරණය කර ගැනීමේ හැකියාවක් ඔහුට නොමැත. එම නිසා සිනමා පටය අවසානයේදී සිනමා පටය තුල විදුගේ ප්‍රේක්ෂකයින් සහ සිනමා ශාලාව තුල විදුගේ ප්‍රේක්ෂකයන් යන දෙකොට්ටාශයම බලාපොරොත්තු වන "දක්ෂයා" හෝ "වීරයා" ඔවුනට මුණ නොගැසේ.

ධනවාදය තුලදී මාක්ස්වාදීන් ඇතුළු සියලු දෙනාට "දක්ෂයා" ස්වභාවික වීම යන්න, ශ්‍රම විභාජනයේ ඉතිහාසය තුල "දැනුම" යන්න අධිනිශ්චය වීමෙන් පසු, "දක්ෂයා" බිහිවීමේ විශයමුලිකත්වය පිලිබඳ වාමාංශික අර්ථකතනයක් සහ සංවාදයක් නොමැතිවීම හේතුවෙන් විදු තේරුම් ගැනීමට නොහැකිවීම නිසා විදු පිලිබඳ විකාර ලිවීමට ඊනියා වම්මුන් පෙළඹී ඇත.

විදු යනු විදුට ඔහුගේ මව තැබූ නමය. එනම් එම නම සමාජය තුලදී අර්ථාන්විත වන්නේ ආර්ථික දේශපාලන සමාජ දෘෂ්ටිවාදයන් සහ ක්‍රියාකාරිත්වයන් තුලිනි. නමුත් එම අර්ථයෙන් හඳගමගේ විදු නමැති ළමයා එම නම අර්ථවත් නොකරයි. "විදු" යන්න නිශ්චිතවම අර්ථවත් වන්නේ ලෝකය පුරා පිළිගැනෙන සහ ව්‍යාප්ත වී ඇති ධනේශ්වර දෘෂ්ටිවාදී අධ්‍යාපනික ආයතන තුලය. (පාසල්, විශ්වවිද්‍යාල). එසේ බලන කල "නියම විදුලාට" විදු තේරුම් ගත නොහැකි වීම පුදුමයක් නොවන අතර එය වාම දේශපාලන අරගලය දුර්වල වී ඇති බව හඟවන කනගාටුදායක තත්වයකි.

විදූ අපට වැදගත් වන්නේ ඔහු පෙන්නුම් කරන සංයුක්ත සමාජ ක්‍රියාකාරිත්වය නිසාත්, අද ක්‍රම විරෝධී දේශපාලනය පවතින අධිපති කතිකාව තුල යටපත් වී ඇති නිසාත් හොදටම හීලෑවී ඇති නිසාත් භාවිතාව තුල තමා වෙනස් නොවී පවතින සියළු අගතීන් ස්වභාවික කරගනිමින් සමාජය වෙනස්කිරීමට උත්සාහ දැරීමත් නිසාය. හේතුවේ විශ්වීය නීතිය සියලු ආකාරයේ පීඩනයන්ගෙන් ගැලවීම සඳහා මග පෙන්වන්නේය යන ලිබරල් මානව වාදයටත්, ඊට අදාළ සියලු මානව හිමිකම් වලටත් එරෙහි වූ මාර්කස් විසින් යෝජනා කරන ලද්දේ මානවවාදී විරෝධයකි. (ප්‍රතිමානවවාදය) එය නව සුසමාදර්ශයකි.

"දහනවවන සියවසේ සමාජ විප්ලවයට තම කාව්‍යාත්මක බව අනාගතයෙන් පමණක් මිස අතීතයෙන් උකහාගත නොහැකිය. අතීතයට සම්බන්ධ සියලුම මිත්‍යාචාරයන් ගලවාදැමීමෙන් මොබ ඊට තමන් විසින්ම ආරම්භවිය නොහැකිය. මුල්ම විප්ලවයන්ට තමන්ගේම සාරය ආශ්‍රිතව තමන්වම මෝහනය කර ගැනීම සදහා අතීත ලෝක ඉතිහාසය පිළිබද මතක සටහන් අවශ්‍ය වූයේය. දහනවවන සියවසේ විප්ලවය, තමන්ගේම සාරය කරා පැමිණීමට නම්, මළවුන්ට තමන්ගේ මළවුන් වල දැමීමට ඉඩහල යුතුය." (මාක්ස් - එකතුකල කෘති)

මේ අනුව අරගලය තුලම සංයුක්ත විප්ලවීය මිනිසුන් ගොඩනැංවෙන සවිඥානික ප්‍රතිහෙජමොනික ක්‍රියාකාරිත්වයකට එහා ගිය ප්‍රති සංස්කෘතික (Counter Culture) ක්‍රියාකාරිත්වයක්, ව්‍යවහාරයක් යෝජනා කල යුතුව ඇත. එවිට, මේ විදූ අහම්භයක් වන විට ඒ විදූලා අහම්භයක් නොවනු ඇත.

"එම නිසා පුද්ගලික දේපොළෙහි මැඩපැවැත්වීම යනු සියලු මනුෂ්‍ය ඉන්ද්‍රිය සංවේදනයන්ගේ සහ ගති ලක්ෂණයන්ගේ සම්පූර්ණ විමුක්තියයි. මෙය විමුක්තිය වන්නේ හරියටම මේ සංවේදනයන් හා ගුණාංගයන් ආත්මීයව මෙන්ම විෂයබද්ධව ද මානුශීය බවට පත්ව ඇති නිසාමය. ඇස මානුෂීය ඇසක් බවට පත්ව තිබෙන්නේ එහි විෂය මිනිසා වෙනුවෙන් මිනිසා සෑදූ සමාජමය මනුෂ්‍ය විෂයක් බවට පත්ව ඇතුවාක් සමගමය. එමනිසා ඉන්ද්‍රියන් (Senses) තම අව්‍යවහිත නැතිනම් ක්ෂණික භාවිතය තුලදී න්‍යායඥයන් ලෙස කටයුතු කරති. ඉන්ද්‍රියන් උදෙසා ඉන්ද්‍රියන් යමක් සම්බන්ධ කරයි. එහෙත් එයම වනාහී තමන් කෙරෙහිම හා මිනිසා කෙරෙහි විෂයබද්ධ මානුෂීය සම්බන්ධතාවයක් වන අතර අනෙක් අතටද එසේම ම වේ. එම නිසා උවමනාවට හෝ සන්තෘෂ්ටියට ඒවායෙහි මමංකාරී (egoistic) ස්වභාවය අහිමිව ඇති අතර ස්වභාවධර්මයට එහි හුදු උපයෝගීතාව අහිමිව ඇත්තේ එහි භාවිතය මනුෂ්‍ය භාවිතය බවට පැමිණ තිබෙන්නේය යන අරුතිනි." (මාක්ස් - මුල්කාලීන රචනා)

මාධව රුවන්පතිරණ/ ගණනාත පතිරණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පීදෙන පැලේ නොදැක
පැල මදය බුදින්නට ගිජුව
මන්නෙකින් බිඳ
දෙපළු විය - අප දෙදෙන
පිරිමි පොල් බෑය මම
නාඬන්න දැන් සොඳුර

කැරකෙන හිරමණය අභියස
දැති අතර ඇඹරේවිය මස
ඉඳිමු අපි නොසැලීම
සිර වී උන්ගේ දෑතේම

යුහුසුලුව අප දමා ගෝනියක
ලෝකුරුවො - ගෙනියාවි
අපේ කටු කම්මලට

ඇද මයිනහම ඇතිවෙන්න
ගිනියම් කල මැනවි අප දෙදෙන
අඟුරු නොව - අළුවෙලා යන්නම
උන්ගේ මන්නයට
යළිත් පණ පොවන්නට

[අකුරු මල්වඩම - 2010]

අමිල තේනුවර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails