Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඔහු බුද්ධ
දුක දිනා ප්‍රඥාව පිහිටුවා
අග්නි සමඟ ම ජලය මවන්‍‍නේ
සූර්යයා වී අසිරි ‍ගෙ‍නෙන්‍‍නේ

පුතුන් දුන් ඇය මවකි
නින්දාව දරන්නී
කිඹුල්වත වස්සාන නුරාවේ
පතුල් පහස ම ලබා සැන‍සෙමින්
අවතැන් වු පුරා සඳ වලප්නී

දිය ද ගින්න ද දෙමින් ඔහු ඇයට
නිවී සැන‍්නහෙන්න යැයි දෙසුවාද

අනුරාග රඟ රඟන
අනුරාග ශිව සිරස
ගිණි ගන්න දිය රැ‍ඳේ
දිය‍වෙනා ගිණි සමඟ
ප්‍රතිවිරෝධය ප්‍රභා මණ්ඩලය
සිත් ‍පෙලන දේවතා වරයක් ය

මෘදු බවට ගිණි තියා
පාර්වති හද දවා.......
දැවෙන හද පුන් සඳක පැහැය දැක
දිය ඉසියි ශිව නැවත අතර මැද

නියතයක් විලාසෙන් ලැව් ගින්න
අමරණීයව රැඳුණු කල්පයක
කිහිරඟුරු මත කුසුම් පළඳවන
මේ නියත සෘතුවයි නුඹ පැමිණ

අලු මතින් ජීවිතය සදන්නට
හිරු එළිය සමඟින් ම වැසි ඒ ය

මල් ‍රෙ‍හෙණු යලි දැවෙණු පෙරාතුව
නුරා දී රඟන්නට රේණුවට
සහස් මොණරුන් සඇස් ඇහැරවා
කුසුම් මේ නිමේෂය.......
නිමේෂයකට උනත් ඵල ගන්න

ජලය මතුපිට අග්නි රඳවන්න
බුදුන් ‍‍දෙවියන් නුඹට කුමකට ද
නග්න දෑසක විදුලි රේඛාව
නුඹ වෙතින් නුඹ වෙත ට හරවන්න

නම ‍නොදත් වර්ණයම
ඉන්ද්‍රචාපය වේද
නො පැවැත්ම පැවැත්ම ම කරගන්න
නිමේෂය සදාකාලික වේද

2011 අප්‍රේල්

සුභද්‍රා ජයසුන්දර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වැලි මලුව සිතුවම් කළ
කෝටියක් පා ලකුණු එ'දවස
කාලයේ දූවිලි තවරගෙන
අවසන් සාධුකාරයට සැරසෙන
මරණාසන්න අරලිය මලෙක
පරමල් හිනා ඇවිලෙන

දොරණ තෙල් පුසුඹ වියැකී
දුඹුළු පුස් ගඳ ම සුවඳ වුණු
ගොළු නිහඬ වෙහෙර ගෙය
මහා ඝෝෂාවක් ම විය

එ'අසල දිරූ පැදුරු කෙටියක
එරමිණිය ගොතා ගෙන හිඳින
වැහැරුණ හිමිනමක් එක'මෙක
ගනියි නවගුණවැල උපශාන්ත ව

නුදුරේ හිස් පාත්තරයට
හිස පොවා ඉවකරන
කලු කෙට්ටු පුරු පුරු බළලෙකු
අසල ම එ'හිමි තනියට

ලැහැබ ඔබ්බෙහි සුදු මහත
අලුත් සෑ ලද පන්සලට
දන්න හඳුනන දායක කැළ
පිට පාරේ ම සක්මන් කරන

පැරණි පුස්කොළ පොතේ
අක‍ෂරය වනපොත් කරනා'තර මඟ
මැදුම් බැල්මක් ලන උන් දෙස
වැහැරුණු කෙට්ටු හිමිනම

නිරාෂ ගුණසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පුංචි කාලේ බාලාංශ පංතිවලදී "භය" නිර්වචනය කරගන්නේ ශරීර ශක්තියට අනුව. ඒ කියන්නේ ඇඟපතින් වැඩි එකා හැමදාම පංතියේ චණ්ඩියා. එක්කෙනෙකුට දෙන්නෙකුට බිම වැටෙන්න ගසා තමන්ගේ ශක්තිය පෙන්වූ පසු ඒ හාදයා පංතියේ චණ්ඩියා වෙනව විතරක් නෙවෙයි පංතියේ අනිත් හැමෝම එයාට "භය" අය බවට පත්වෙනවා. පසුකාලීනව "භය" ගැන නිර්වචනයට වෙන දේවල් හේතුවෙනවා. එතැනින් පස්සේ චණ්ඩියෙක් වෙන්න ඇඟ විතරක් ප්‍රමාණවත් නැහැ.

මුල්‍යමය හැකියාව හා ක්‍රය ශක්තිය, මිතුරු පිරිසේ සංඛ්‍යාත්මක ප්‍රමාණය, දෙමාපියන්ගේ හයි ශක්තිය, දේශපාලන සම්බන්ධකම්, පාතාල සම්බන්ධකම්, තමන් සන්තක ආයුධ වල ස්වරූපය, සංවිධානාත්මකබව වගේ කාරණා අනෙකාව "භය" කරගැනීම සඳහා යොදාගන්නා මිනුම් දඬු බවට පත්වෙනවා.

කරදඬු උස්මහත් වෙලා යම් ආකාරයක ශිෂ්ඨ සමාජයකට යන්නට තරම් අධ්‍යාපනය, ආර්ථිකය ගොඩනැ‍‍‍‍ඟෙනවා නම් පොදුවේ පිළිගත්තු ප්‍රජාතන්ත්‍රවාදී ආචාරධර්ම ස්ථාපිත සමාජයක් වෙතට පියමං කරන්න පුළුවන් වුණත් ගෝත්‍රික මනෝභාවයන් පරිණාමයේ දී අත්හැර ගැනීමට නොහැකිවුණු අසංස්කෘතික මානවයින් සමාජයේ සිටින සිවිල් මනුස්සයින් "භය" කරගැනීමට මාන බලන බව අපි හැමෝම දන්නවා. මුළු ‍ලෝකයම එක්තරා ආකාරයක ශිෂ්ඨාචාරගතවීමක් ගැන දෙඩෙවුවත් කැලෑ නීතිය රට රටවල්, ජාතීන් අතර පමණක් නොව ජාත්‍යන්තර බල දේශපාලනය තුළත් ලැජ්ජා නැති විදිහට දකින්න පුළුවන්.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයට සිය අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතාව කොහොම වුණත් ජාත්‍යන්තර සම්බන්ධකම් වලදී ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කරන ගැඹුරට විහිදුණු භීතිකා ගණනාවක් තියෙනවා. ඒ අතරින් වඩාත්ම ප්‍රබල "ඉන්දියානු භීතිකාව" යැයි කිවහොත් හරි.

දැන් ලංකාව ඉන්දියාවට බයය. ඒත් ඉස්සර එහෙම නැහැ. එහෙම නැත්තං රාවණා විසින් සීතාව පැහැරගෙන එන්නේ නැහැ. අතීතයේ වැඩ කොහොම වුණත් දැන් නම් ලංකාවට ඉන්දියාව ගැන ඇත්තේ චූ යන්න තරම් ප්‍රබල භීතියක් බවයි පේන්න තියෙන්නේ.

එක අතකින් ලංකාව ඉන්දියාවට බිය වීම ගැන පුදුමකුත් නෑ. මොකද කියනව නම් අර කතාවක් තියෙන්නේ ඉන්දියාවේ ඉන්න සේරම මිනිස්සු ලංකාව පැත්තට ඇති මුහුදු වෙරළට ඇවිල්ලා චූ කළොත් මුහුද ගොඩගලලා ලංකාව මුහුදේ ගිලෙයි කියලා. එහෙම ශක්තියක් ඇති රටකට බිය වීම එක අතකට ලැජ්ජාවට කාරණාවකුත් නෙවෙයි.

තමන්ට හයිය ඇති විට අනෙකාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ගැන නොහිතන අය තමන්ට වඩා බලවත් තැන් වලට බය පක්ෂපාතී වීම (උස් තැන් දැක හැකිලීම හා මිටි තැන් දැක පිප්පීම) යටපත් කළ නොහැකි වූ ජාතික ලක්ෂණයක්. එහෙම සිද්ධ වෙන ජාත්‍යන්තර ගණුදෙණු වලදී නම් සිදුවන්නේ සිංහලෙන් වීරකම් පෑම හා ඉංග්‍රීසියෙන් දෙකට නැමීමයි. ඒත් චන්ඩිකම් සීරියස් ගෙන ඉන්දියාවට පොඩි පූස් පාට් එකක් දැමීමට පහුගිය දවස්වල ලංකාවේ ක්‍රිකට් ආයතනය විසින් උත්සාහ කළා. මේ දවස් වල ජාත්‍යන්තර ගණුදෙනු වලදී ඇති නරක ග්‍රහචාරයේ බලපෑම නිසාම වන්නට බලාපොරොත්තු වූ පරිදිම ඉන්දියාව ඉදිරිපිට දණගැසූ ලංකාවේ ක්‍රිකට් ඇමති නැට්ට පස්සපැත්තේ ගහගෙන නිතරඟ පරාජයක් භාරගත්තා.

ක්‍රිකට් නම් ක්‍රීඩාව රේස් ඔට්ටු දුවන අශ්වයින්ට ආදේශ කළ ඉන්දීය අයිපීඑල් තරඟාවලියේ ගුණාත්මකභාවය ගැන කතා කිරීම වෙනමම කළයුතු දෙයක්. විකිණීමේ සදාචාරාත්මකබව පිළිබඳ මෙලෝ හසරක් දන්නැති ක්‍රීඩකයින් සල්ලි වලට කෙළහලාගෙන සිටින ආකාරය පසුගිය කාලය පුරාවටම අප නිරීක්ෂණය කළා. ශ්‍රී ලාංකික ක්‍රිකට් කාලසටහන හා පරස්පරව අයිපීඑල් කාලසටහන පිහිටවුණු මුල්ම අවස්ථාව මෙය නොවේ. 2008 දී සල්ලි මල්ලට ලොබ බැඳි ක්‍රීඩකයින්ගේ සහයෝගයට ක්‍රීඩා ඇමතිවරයා පැමිණි අතර හතුරා වූයේ එවකට පාලක මණ්ඩල සභාපති අර්ජුන රණතුංග.

ක්‍රිකට් කන්‍යාභාවය බිඳගෙන කාලයකට පසුව අයිපීඑල් වලට කොක්ක දැමීමට ලංකාවේ ක්‍රිකට් පාලකයින් ක්‍රියා කරන්නේ එහි අළුත් තේරීම් කමිටුව පත්වීමත් සමඟයි. සැබැවින්ම ලංකාවේ ක්‍රිකට් ගොඩනැංවීමේ අදහසක් එහි කොනක වත් ගැවී නොතිබුණත් නවක තේරීම් කමිටු සභාපති දුලිප් මෙන්ඩිස් දේශප්‍රේ‍මයෙන් යුතුව කීවේ අයිපීඑල් ගහන ශ්‍රී ලාංකික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් අප්‍රේල් 5 වන දින සිට පුහුණුවීම් සඳහා සහභාගී විය යුතු බවයි. මෙකී බලපෑම් පිටුපස තිබූ ආසන්නතම හේතුව වශයෙන් ගත හැක්කේ ලෝක කුසලාන අවසන් තරඟාවලිය තුළදී ජනාධිපති මහින්ද රාජපක්ෂට හා ඔහුගේ පිරිසට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් සිදුකළ අකටයුතුකම්. ප්‍රමාණවත් ටිකට්පත් ප්‍රමාණයක් ලබානොදීමත්, ටිකට් ගැනීමේදී දුෂ්කරතාවයට පත්කිරීමත්, අවසන් තරඟය තුළ ලංකා ජනාධිපතිට ප්‍රමාණවත් පිළිගැනීමක් ලබානොදීමත් මේ අතර වෙනවා කියලයි කියන්නේ.

කොහොම වුණත් ජාත්‍යන්තරය සම්බන්ධයෙන් ලංකාවේ ගණුදෙනු සිද්ධ වෙන්නේ ලංකාවේ දේශපාලඥයින් විසින් එදිනෙදා භාවිතා කරන ග්‍රාමීය ස්වරූපයෙන් කියන එක ගැන ඕන තරං සාක්ෂි තියෙනවා. රාජතාන්ත්‍රික බව ගැන අංශුමාත්‍රයක විනයක් නැති පිරිස් වල ක්‍රියාකාරීත්වයේ අසාර්ථක බව අපි ඕනතරං අත්දැකලා තියෙනවා. නාවලපිටියට විරුද්ධ පක්ෂයකට තියා තමන්ගේම පක්ෂේ එකෙකුටවත්එන්න නොදුන්න ලංකාවේ ක්‍රීඩා ඇමති විසින් තමන්ගේ ඉෂ්ඨ දේවතාවාට සිදුකරපු නොපනත්කම් වලට උත්තර දුන්නේ ඉන්දියාවට දැනෙන පාට් එකක් දාන අදහසකින් වගෙයි පෙනුනෙ. අයිපීඑල් සිට යළි කැඳවීමේ නිවේදනය ඇතුළේ ඒ තරහ සැඟව තියෙන බව හොඳටම පැහැදිලියි. ආවේගයෙන් අන්ධ වුණු මහින්දානන්ද අලුත්ගමගේට හතුරගේ තරම පෙනුනේ නෑ. ක්‍රිකට් ක්‍රීඩකයින්ට දාපු සත්තම මාධ්‍යයටත් නිකුත් කරා. සමහරු තුෂ්නිම්භූතව ඉන්දියාවට රිද්දීම දිහා බලං හිටියත් රා කලයක් බීපු මීයගේ හැසිරීම ගැන දන්න අර්ජුන රණතුංග මාධ්‍ය සාකච්ඡාවකදි ලංකාවේ දේශපාලන තීරණ ගැන හොඳ අනාවැකියක් පළකරා.

එස් මහින්ද හිමියන්ගේ වචන වලට අනුවම නිවටුන් යැයි කියන උස් තැන් දැක හැකිලෙන සහ මිටි තැන් දැක පුප්පන පිරිසට විළිලැජ්ජාවක් නැහැ. රට ඉදිරිපිට, ලෝකය ඉදිරිපිට පොරටොක් දී, යම් යම් අසාර්ථකත්වයන්ට මුහුණ පෑම නිසාම තම තමන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වීම් ගැන උදාහරණ ඕනෑතරං ජාත්‍යන්තව තිබුණත්, ලංකාවේ නිවටයින් විසින් එසේ සිදුකළ එකම අවස්ථාවක් වත් හොයාගන්න බෑ. මේ වගේ නෝන්ඩි වීමක් ලංකාවේ ක්‍රීඩා ඇමතිවරයාට තමන්ගේ නිරින්දා වෙනුවෙන් දරාගන්න එක එච්චර අපහසු නැතිව ඇති.

ප්‍රතිපත්තියක් හැටියට ලංකාව තුළ ඉන්දියාව පිළිබඳව ඇති බය ගැන ක්‍රියාකාරීත්ව දේශපාලනයේ යෙදෙන හැමෝම දැන සිටිය යුතු දෙයක්. පන්දං අල්ලන, මුට්ටි අල්ලන කට්ටිය වගේම එන්න ඉන්න කට්ටියටත් මේක හොඳ පාඩමක්. ඔය කොඩි පිච්චිලි, මාරාන්තික උපවාස, තානාපති කාර්යාල වටකරන පුරුදු තියෙන කට්ටිය මේවගේ නෝන්ඩි වැඩ කරලා නිකං කිච වෙන්නේ මොකටද? ඒ කොහොම වුණත් එස්. මහින්ද හිමිගේ කවියෙන් ගන්න පුළුවන් ආදර්ශය ලංකාවේ දේශපාලනයට හොඳටම ගැලපෙනවා. ඔය මොන මොන ප්‍රශ්නේ ආවත් ‍මුහුණ දෙන්න පුළුවන් "කෝකටත් තෛලෙ" එතන තියෙනවා.

ගෝරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයා වන බෑන් කී මූන් මහතා විසින් පත් කළ උපදේශක කමිටුව නොහොත් විද්වත් මණ්ඩලය තම වාර්තාව පසුගිය දිනක ලේකම්වරයා අත පත් කරනු ලැබීය. එහි පිටපතක් ලංකා රජය වෙත ද භාර දෙනු ලැබුණි. ඒ සමගම ලංකාවේ විවිධ මාධ්‍යයන් තුළින් ඒ පිළිබඳ ප‍්‍රකාශ සහ වහසි බස් දෙඞීම ද ඇරඹුණි. වාර්තාව ප‍්‍රසිද්ධියට පත් කර නොමැති අවස්ථාවේ වුව ද,

එහි යම් යම් කොටස් සාරාංශ ගත කර පුවත්පත්වල ප‍්‍රසිද්ධ කරන ලදී. විද්වත් මණ්ඩල වාර්තාව ඉදිරිපත් කළ කරුණු සාරාංශ කර ගත් විට රජයට එරෙහිව චෝදනා පහක් ද, විමුක්ති කොටි සංවිධානයට එරෙහිව කරුණු හයක් ද ලෙස පුවත්පත්වල සම්පිණ්ඩනය කර තිබුණි. මගේ හැඟීමට අනුව, මෙම චෝදනාවන් සියල්ල ඉතා සාධාරණ ඒවායි. ‘දිවයින’ පුවත්පතේ සම්ප‍්‍රපලාපකරු වන කීර්ති වර්ණකුලසූරිය වැනි තුට්ටු දෙකේ මාධ්‍යකරුවන්ගේ සිට වාමාංශිකයින් යයි කියා ගන්නා ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්‍ෂ දක්වාත්, තවත් බුද්ධිමතුන් යයි කියා ගන්නා ජාතික උන්මාදකරුවනුත් එක හඬින් මෙම විද්වත් මණ්ඩල යෝජනාවනට එරෙහිව හඬ නඟති.

කොටි අතකොලූ ලෙසත්, අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක් ලෙසත්, මව්බිමේ ස්වෛරීබවට ඇඟිලි ගැසීමක් ලෙසත්, යුද විරුවන් කුදලා ගෙන යාමට කරන උත්සාහයක් ලෙසත් ආදී සුපුරුදු යාදින්න සෑම අතින්ම මතුවේ. විද්වත් කමිටු වාර්තාව තාමත් එළි දැක නොමැති වුව ද, එහි ඇති කරුණු පැත්තකින් තබා කොමිසමට, බෑන් කී මූන්ට සහ අධිරාජ්‍යවාදයට බැණ අඩ ගැසීම මේ හැමෝගේම ඇති සමානත්වයයි. කමිටු වාර්තාව ගැන නොදැන මට හරි හැටි ඒ ගැන යමක් තාම කිව නොහැකි වුවත්, සම්පිණ්ඩනය වී ඇති කරුණුවලට එකඟ වෙමි.

අපි මොහොතකට ලංකාවේ මෑත කාලීන ඉතිහාසයට අවධානය යොමු කරමු. 1971 සිට අද දක්වාම ලංකාව පාලනය වන්නේ හදිසි නීති යටතේ බව මේ ප‍්‍රකාශ නිකුත් කරන පක්‍ෂ සහ අයවලන් නොදන්නේ ද? 71 දීත් 87 - 90 දීත් උතුරේ වසර 25 පමණ යුද්ධයේදීත් දසදහස් ගණනින් සිවිල් වැසියන්, කැරලිකරුවන් සහ සොල්දාදුවන් මිය ගිය බව ලාංකිකයා නොදන්නේ ද? විශේෂයෙන් ම ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්‍ෂවල නායක මණ්ඩලය පමණක් නොව, එහි මුලූ සාමාජිකත්වය ද ඝාතනය කළ බව ජනතා විමුක්ති පෙරමුණට අමතක වීද? අදටත් රජයට එරෙහිව මත ප‍්‍රකාශ කරන අයගේ ශරීර සෞඛ්‍යයට එය අහිතකර බව ලාංකිකයා නොදන්නේ ද? විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයින්ට, මාධ්‍යවේදීන්ට ජීවිත තර්ජන නැද්ද? ඔවුන් හිතුමතේ අත් අඩංගුවට නොගන්නේ ද? දින දින පුද්ගලයින් අතුරුදහන් වීම් මේ වන විටත් නොවන්නේ ද? ඉඳ හිට භාගෙට පිළිස්සුන මල කඳන් අධි ආරක්‍ෂිත කලාපවල පවා හමු නොවන්නේ ද? එපමණක් නොව, ලංකාවේ සිංහල බෞද්ධයාගේ යුද ජයග‍්‍රහණයේ සෙන්පතියා පවා දේශපාලනය කළ වරදට හිර කර දමා නොමැති ද? (ෆොන්සේකා හිර කර ඇත්තේ ඔහු කළ යුද අපරාධ සම්බන්ධයෙන් නොවේ.) ඉතින් මේ සියල්ල සිදු වන්නේ ලංකාව නමැති කොදෙව්වේ මිස වෙනත් තූත්තුකුඩියක ද?

වයස 15 කට අඩු ළමයකුට මිස වැඩිහිටියකුට මේ දේවල් ගැන අවබෝධයක් නොතිබිය නොහැකිය. එසේ නොපෙනේ නම් ඔහු හෝ ඇය එක්කෝ මන්ද බුද්ධිකයෙකු විය යුතුය. නැතිනම් ඔවුහු තමනට හානියක් නොවන තැන අනෙකාගේ හානිය දැක තුටුවන්නෙක් විය යුතුය.

71 පේ‍්‍රමවතී මනම්පේරිගේ සිට පසුගිය දිනක යාපනයේ දී වෛiලිංගම් ඝාතනය දක්වාත් මේ ලංකා පිං බිමේ ඝාතනයන්ට, ලිංගික බලහත්කාරයට සහ දහසක් වදයට පත් කළ තරුණ තරුණියන්ගේ ප‍්‍රමාණය දස දහස් ගණනකි. එසේ නැති යයි කියන්නේ එම වධකයින්, ඝාතකයින් සහ ඔවුනගේ උදව්කරුවන් පමණකි. ලංකාවේ ඇත්තේ එහි ප‍්‍රධාන ආගම වන බුද්ධාගමේ මූලික මූලධර්මය වන කරුණාවේ, මෛති‍්‍රයේ සහ අවිහිංසාවේ අනුභාවය ඇති සමාජයක් නොව, මිනීමරුවන්, ඝාතකයින් සහ වධකයන් යහතින් වැජඹෙන සමාජයකි. ඒ වාගේ ම, එහි දේශපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හෝ මිනිස් අයිතීන්ට ගරු කරන යහ දේශපාලනයක් ද නොවෙති. මිනීමරුවන් සහ තක්කඩියන් මැති ඇමැතිවරු බවට පත් වී රට කරවන දේශපාලනයකි.

ඉදින් මෙය මෙසේ නම්, රට තුළ සිදු වී ඇති වැරදි ගැන සොයා බැලීමට ලෝකය ඉදිරිපත් වීම අසාධාරණ ද? වැරදි සිදු වූ විට එයට යම් කිසි වගවීමක් තිබිය යුතු බව ශිෂ්ඨාචාර සම්පන්න සමාජයක ගුණයකි. එසේ නම්, වැරැද්දක් ගැන සොයා බැලිය යුතු යයි කීම වැරදි වන්නේ ඇයි? වැරැද්දක් සිදුව ඇත්නම් එය සොයා බලා එයට පිළියම් යෙදිය යුතු නැද්ද? එකම වැරැද්ද නැවත නැවත වසර 40 ක් තිස්සේ ලංකා රාජ්‍යය තුළ සිදු වී ඇති බව අපි දනිමු. එසේ නම්, දැන්වත් එය නිවැරදි කර ගැනීමට අඩිතාලම් දැමිය යුතුය. නොඑසේ නම් එය නැවත නැවත සිදු වනු ඇත.

විද්වත් මණ්ඩල යෝජනා ලංකා සමාජයට නැවත ආපසු හැරී බැලීමට කරන මෙම අත වැනීම ලංකාවට ආශිර්වාදයක් කර ගත යුතුය. එසේ නැතිව ජාතිකවාදයෙන් උන්මාදයට පත් උන්මත්තකයන් මෙන් හඬ තැලීමෙන් ලංකා සමාජයට උපකාරයක් සිදු නොවනු ඇත. අපේ වැරැද්ද පෙන්වනවුන් කුමන වර්ගයේ උන් වුව ද ඔවුන් පෙන්වන වැරැද්ද අපි නිවැරදි කර ගැනීම අපට නිසි මඟ යාමට උපකාරී වනු ඇත.

විද්වත් මණ්ඩල යෝජනා කොටින්ගේ උවමනාවන් ඉටු කරතියි මේ දේශපේ‍්‍රමීන් හඬ නඟති. විද්වත් කමිටුව යෝජනා කර ඇත්තේ ලංකාවේ මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උල්ලංඝණය වී ඇති බවකි. මිනිසුන් මරා දැමීමට, වදදීමට සහ යටපත් කිරීමට එරෙහි වූ විට ඔවුන් කොටින්ගේ උදව්කරුවන් බවට හංවඩු ගසති. මෙතනදී මතු වන ප‍්‍රශ්නය නම්, මිනී මැරීමට, වදදීමට සහ අත්තනෝමතික ලෙස යටපත් කිරීමට එරෙහි වීම කොටිනට සහාය දීමක් නම් මිනී මැරීම, වදදීම සහ යටපත් කිරීම ලංකා සමාජය අගයන සමාජ වටිනාකම් ද? මා දන්නා තරමින් ලංකා සමාජය මේවාට එරෙහිය. ඉතින් ලෝකය ද එයට එරෙහිව කතා කිරීම වරදක් ද? ලෝකය ඒ වටිනාකම් ගැන කතා කළ විට ඔවුන් කොටි ත‍්‍රස්තවාදීන් වන්නේ කෙසේ ද? මේ කියමන්වල හාස්‍යය වටහා ගැනීමට උවමනාවක් නැතිකම ඛේදවාචකයක් බව මගේ වැටහීමයි.

ඊළඟට පැවසෙන්නේ අධිරාජ්‍යවාදීන් මේවා දඩමීමා කර ගෙන අප රටට ඇඟිලි ගසති යන්නයි. ලංකාවට පමණක් නොව, ලොව කිසිම රාජ්‍යයකට අද වන විට තනිව පැවතිය නොහැකිය. අපට තනිවම පැවතිය හැකි යයි බොරුවට තර්ක කළ හැකි වුවත්, අප රට ලොව වෙනත් රටවල් සමග විවිධ ගිවිසුම්වලට අත්සන් තබා ඇත. අපි ජාත්‍යන්තර ගිවිසුම්වල කොටස්කරුවන්ය. ඒ අතර ද්විපාක්‍ෂික ආරක්‍ෂක ගිවිසුම් වැනි ඒවා ද ඇති බව නොරහසකි. ඉතින් මෙසේ ගිවිසුම් සහ වෙළෙඳ එකඟතා මඟින් ලොව අන් රටවලට වුවමනාවටත් වඩා අප රට තුළ කි‍්‍රයාත්මකවීමට නීතියෙන් ම අප බැඳී සිටිමු. ඉතින් එසේ කළ ඔවුන් තම ‘ප්‍රෝඩා’ මගින් ඇඟිලි ගැසිය යුතු නැත.

අනෙක් කරුණ ලංකාවේ ඔය හැටි කඩා වඩාගෙන යාමට ඇති සම්පතක් ද ඇත්තේ නැත. ලිඳේ සිටින මැඩියන් මෙන් මෙසේ කෑ ගසන අපි මැද පෙරදිග සිට යුරෝපයේ අන්තිම රාජ්‍යය දක්වා ශ‍්‍රම බැලයන් ලෙස සිඟා යදින්නෙමු. මහා අභිමානවත් සංස්කෘතියක් ගැන මැත දොඩන අපි, ලොව පුරා සරණාගතයන් ලෙස යදින්නෙමු. තම රට තුළ දේශපාලකයින් සියල්ල යටිමඩි ගැසීම නිසා ලොව කොහේ හෝ බැල මෙහෙ කර දිවි පවත්වා ගැන්නා අතර, සිංහ කොඩිය වැනීමෙන් ජාතියක් උතුම් බවට පත් නොවේ. අප රට ණයවලින් පිරුණු රටකි. රටේ වුවමනාවන් සපුරා ගැනීමට නිෂ්පාදන දියුණු නොකර, පොල් ගෙඩිය පවා පිටින් ගෙන්වන රටක් බවට අපටම අමතක වී ඇත. ඉතින් මෙවැනි හිඟන රටකින් අධිරාජ්‍යවාදීනට ඇති වැඩය කුමක් ද?

මෙහි දී සමහරුනට ජනපි‍්‍රය තර්කයක් ඇත. ඉන්දියන් සාගරයේ මර්මස්ථානයක තිබෙන අප රට, නාවික ගමන් මාර්ග පද්ධතියක් ආසන්නයේ පිහිටීම නිසා වැදගත් බවත්, අධිරාජ්‍යවාදීන්ගේ ඇස ඒ වෙත යොමුව ඇති බවත්ය. මේවා වැදගත් කරුණු බව මම පිළිගනිමි. නමුත් අද ලොව ඇත්තේ 20 වන සිය වස මැද නොව, 21 වන සියවසේ බව අප අමතක නොකළ යුත්තෙමු. මෙම දූපතේ පැලපදියම් නොවුනාට අවශ්‍ය නම් ලොව ඕනෑම තැනකට තම රට තුළ සිටම බලපෑම් කළ හැකියාව අද මෙම බලගතු රාජ්‍යයන් සතු බව ද අප අමතක නොකළ යුතුය.

අපේ වීරෝධාර රණ විරුවනට අවමන් කිරීමට උත්සාහ කරනවාය යන්න ගැන ඔවුන්ගේ ප‍්‍රකාශය තුළ ගම්‍ය වන කරුණු දෙකකි. ලොව බලගතුම ත‍්‍රස්තවාදියා පැරදවීම ගැන අමනාප වූ ලෝකය ලංකාවේ යුද විරුවන් අවමානයට ලක් කිරීමට තැත් දැරීම. පළමුවෙන් මුළු ලොවම ත‍්‍රස්තවාදීන්ගේ පැත්තේ යන්නත් දෙවනුව එම විරුවන් අවමානයට ලක් කිරීම ලෙසත් ගැනේ. ලංකාවේ මුළු ජනගහනය මිලියන 21 කි. අපි හැරුණු විට ලෝකයම ත‍්‍රස්තවාදීන්ගේ පැත්තේය කීම තුළ අපේ මොළවල ආබාධයක ලක්‍ෂණ මතු නොකරයිද? යුද වීරයන් කියන අයවම දේශපාලන මත දැරීම මත හිර කර නැද්ද? ත‍්‍රස්තවාදීන් දේශපාලන වාසි සඳහා ඇමැතිවරුන් බවට පත් කර නැද්ද?

ඊළඟට ලංකාවේ, මේ කොදෙව්වේ, පසුගිය 40 වසර තුළ මරා දැමුණු මිනිසුන් මරා දැමුවේ ත‍්‍රස්තවාදීන් විසින්මද? 87 - 90 වසරවල මහ මඟ, ඇල - දොල - ගංගාවල පාවුණේ, ලයිට් කණුවලට මල මිනී ආභරණ බවට පත් කළේ, හිස සුන් මල කඳන්, භාගෙට පිළිස්සුන මල කඳන්, රිටිවල ඇමුණු හිස්, පරාල ඇණ ගැසූ හිස් සහිත සිසුවන්, තරුණ තරුණියන්ගේ ටයර් සෑ නිර්මාණය කරනු ලැබුවේ අඟහරු ලොවින් ආ අයද? මේ අපරාධකරුවන් කිසියම් දිනක නීතිය ඉදිරියට ගෙන එනු ලැබුවාද? මේ මිනීමරුවන් රට තුළ යහතින් ජීවත් නොවන්නේ ද? එසේ නම් මේ රට තුළ නීතියක්, සාධාරණත්වයක් තබා ඒවා ගැන වග විභාගයක්වත් නැති බව මෙයින් සනාථ නොවන්නේ ද?

එසේ නම්, ශිෂ්ඨසම්පන්න මිනිසුන් විදියට අපි මෙම විද්වත් කමිටුවට ආශිර්වාද කළ යුතු යයි ඔබට නොහැඟෙන්නේ ද? කව්රු හෝ මෙම පුංචි කොදෙව්ව තුළ සිදු කළ අපරාධ ගැන විමර්ශනය කිරීම අනාගතයේ යහපත් ලංකාවක් සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් නොවන්නේ ද? මම ඉත සිතින් ම මෙම මැදිහත් වීම අගය කරන අතර, එයට මගේ ආශිර්වාදය ද පුද කරමි.

ලිවිය යුතු දේ බොහෝ වුව ද, දැනට ජනතා විමුක්ති පෙරමුණට මේ ගැන මතක් කළ යුතුව ඇත. පසුගිය දිනවල ජනතා විමුක්ති පෙරමුණු නායකයින් තමනට වන අසාධාරණකම් ගැන, තම රට තුළ ඇති අත්තනෝමතික ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්ත්වය ගැන ජාත්‍යන්තරයට කරුණු ඉදිරිපත් කරනු ලැබීය. නමුත්, එම ජාත්‍යන්තරයම ඒ කරුණු ගැන සොයා බැලීමට ඉදිරිපත් වන විට ජනතා විමුක්ති පෙරමුණ එයට එරෙහි වෙමින් එය අධිරාජ්‍යවාදීන්ගේ මගඩියක් බව ප‍්‍රකාශ කරති. මෙය ඇත්තෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ‘දවල් මිගෙල් රෑ දනියල්’ දේශපාලනය නොවේද? තම නායක විජේවීර ඇතුළු දසදහස් ගණනක් සොයුරු සොයුරියන් ඝාතනයට, වදයට ලක් කළේ මේ ඔවුන් අද මල් පලදන යුද විරුවන්ම බව ඔවුනට අමතක වී තිබේ නම් ඒ හිසේ තෝන්තුවෙන් විය හැකිය. ඒ තරමට ම ඔවුන්ගේ හිස් යුද ජයග‍්‍රහණයෙන් තෝන්තු වී තිබේ. කණගාටුවට මෙන් ජාතිවාදී යුද්ධයකට ආවඩා තමන් කළ පාපයෙන් මිදෙන්නට කළ යුතු දෙය වෙනුවට තව තවත් බොරු ජාතිකත්වයකට ආවඩමින් ජනතා විමුක්ති පෙරමුණ ද අඳුරේම අතපත ගෑම ඛේදවාචකයකි.

අද ලෝකය අලූත් යුගයකට ගමන් කරමින් පවතී. සියලු යටපත් කිරීම් මැද වුව ද මිනිස් අයිතීන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ද පෙරමුණට ම ගමන් කරනු ලබවයි. ඒ වාගේම ලෝකය අද ළං වී ඇති තැනකි. ගෝලීයකරනය ලොවම එක යායක් බවට පත් කර හමාරය. ඒත් අපි තාමත් දූපතේ ය.

2011.04.23

රංජිත් හේනායකආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එක හීනයක පියවර
ඔබ හිටිය
දෑසම වසාගෙන
කෝ නින්දකට අවසර
කූද්දන්නටමය අදිටන

නිස්කලංකෙක දලුලන
උපහාසයේ ලතු තැවරුණ
ඇත්තමයි ඔබ හිටියෙම
දෑසම තදින් වහගෙන

පැඟිරි කටුවක් ලෙල්ලක්
උල් නියක් දිය බිඳුවක්
සිහිනයක මග අවුරන
ඇසිල්ලෙක නෙත් තෙත් කර
නැතිය කිසිවක්ම ඔබ ළඟ

සිහිනෙකට කොයි අවසර
නුඹ හිටියෙ
නෙත් කෙවෙනි පාමුල

හරි අධිටනකි නුඹ වත
වැසුණු දෑසක් පවසන
මගෙ සිහිනයේ පියවර
ඇස් කෙවෙනි යටම මියැදෙන

උපහාසයක ලතු තැවරුණ
ඔබ හිටියෙ
සිහිනයක පියවර

ගෙන්දගම් පාරක
පැකිලූණු පාද අහුරන
ඒ සිහිනයේ පිරිපත
සුළැඟිලි තුඩින් පාරන

නින්දකට කොයි අවසර
හෙමි හෙමින්
යළි යළිත් පෑරෙන

ඒත් නුඹ හිටියෙම
දෑසම තදින් වහගෙන

2011.04.08

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අඳුර ගුගුරන රාත්‍රියක
හදිසියේ නිදි සුව බිඳින
පාදඩ කිරණයක් නන්නත්තාර
විස්මිත මා වුවනතට ලිස්සා වැටෙන...

අමතක වසර වල පරණ
භීතිය පැමිණෙත නැවත
අපේ මේ සන්සුන් ජීවිත වලට
නැවතුම් තිත තියන....

මිනිස්සු යලිදු උඩ පැන
ආයුධ පිණිස පෙළ සැදෙත
නිශ්ශබ්දතාවය මෙ'දියත
කිරුළු ලූ නිසසල රැයෙක....

නින්නදව එයි ම'වෙත
දසුන් හා හඬවර මියැදුන
පිරික්සමින් මතක
පාණ්ඩු සඳ එළිය යට....!

නිකොලායි තීහනොව් [1967-1969]

1896 දෙසැම්බර් 3 දා රුසියාවේ සාන්ත පිතර්බුර්ගයේ උපත ලද නිකොලායි තීහනොව් පළමු පරම්පරාවේ සෝවියට් කවියන් අතර ප්‍රමුඛයෙකි. 1917 කාව්‍යකරණයට යොමු වූ ඔහු ග්‍රන්ථ 162 ක් පළ කර ඇති සාහිත්‍යධරයෙකි. කවියට අමතරව කෙටි කතා රචනයෙහිද රුසියෙක් වූ අතර රොමන්තිකවාදය මෙන්ම යතාර්ථවාදය ද සිය නිර්මාණයන්ට පාදක කොට ගත්තේය.

නිකොලායි තීහනොව්
පරිවර්තනය - ප්‍රභාත් එම්. අහංගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



  • අද වනවිට රටේ පවතින දේශපාලනික චින්තනය පරිණාමය වෙන්නේ කොහොමද?

  • මේ රටේ ජනතාව අද වනවිට ඉන්නේ යුද්ධය ඉවර කළ එකේ තෘප්තිය විඳිමින්. එහෙම රටක මිලිටරිමය ක්‍රියාමාර්ගයක් ඉවර වුණාට පස්සේ සිද්ධ වෙන දෙය තමයි ඒවා ඇතිවෙන්න තුඩුදුන් හේතු ගවේෂණය කරලා ඒවා සඳහා නිශ්චිත විසඳුම් ලබාදීම. නමුත් එහෙම තත්ත්වයක් මේ රටේ නෑ. ලෝකයේ සිවිල් සමාජය මේ තියෙන තත්ත්වයට එන්නේ ඓතිහාසික යුග-

    ගණනාවක් පසු කරලා. උදාහරණයක් විදිහට ගත්තාම පුනරුද යුගයේ ඉඳන් පටන් ගත්තු දේශ ගවේෂණය එක්තරා හේතුවක් වෙනත් යටත්විජිත ඇති කිරීම කියන කාරණයයි. ඒ විතරක් නෙමෙයි, යටත්විජිතවල හිටි පුරවැසියන් හෙවත් ඒජන්තයන් පාලනය කරන එක ප්‍රාග්ධන ක්‍රියාවලියක්.

    විශේෂයෙන් ඒ යුගය තුළ ලතින් ඇමරිකාව සහ ආසියාව තුළ ප්‍රධාන වශයෙන් තිබුණේ අඳුරින් වැසී ගිය එමෙන්ම දේවත්වය පුදන අතීතයක්. මට හිතෙන්නේ ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු සොයාගෙන යෑමේදී මාක්ස් වගේ අයටත් විශාල ගැටලු මතුවෙලා තියෙනවා. අපේ රටේ මේ තත්ත්වය මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, නිව්ටන් ගුණසිංහ, කුමාරි ජයවර්ධන සහ සුදර්ශන් සෙනෙවිරත්න වගේ අයගේ සියුම් ගවේෂණයට ලක්වෙලා තියෙනවා. මේ ඓතිහාසික තත්ත්වය හදාරණ එක සහ ඒ තත්ත්වයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම එක්තරා විදියක අපේ වගකීමක්.

    අපි ඒ වගේ හැදෑරීමක් කරද්දී අපිට පේන දෙයක් තමයි මේ රටේ සිංහල දෙමළ ජාතීන් දෙක අතර ඇතිවෙලා තිබුණු ගැටුම ප්‍රධාන වශයෙන් අවිශ්වාසය සැකය සහ ප්‍රාග්ධනය කියන කාරණා එක්ක ඇතිවෙලා තියෙනවා කියන කරුණ.

  • මෙතැනදී ථේරවාදී බුදුසමය සහ රාජ්‍යත්වය අතර ඇති ගනුදෙනුව කැපී පේනවා නේද?

  • ඔව්. මීට අමතරව ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ ථේරවාදී බුදුදහම සහ රාජ්‍යත්වය අතර තිබුණු සමීප ගනුදෙනුව තමයි. මේ ගනුදෙනුව කොච්චර බරපතළද කියලා කියනවා නම් අපේ සමාජයේ තිබුණු බහුත්වය කියන කරුණු සහ අපේ සමාජයේ තිබුණු විවිධ සංස්කෘතීන් තුළින් ඇති කැරුණු අන්තර් පෝෂණය කියන කරුණ සම්පූර්ණ වශයෙන් නැති කිරීමට ඒක හේතුවුණා.

    අනිත් පැත්තෙන් ථේරවාදී බුුදුදහමේ මේ ක්‍රියාකාරීත්වය මාර්ටින් වික්‍රමසිංහට පවා හරි පරිදි විග්‍රහ කරගන්න බැරිවෙලා තියෙනවා. අපි දන්න ප්‍රධාන කාරණයක් තමයි ලංකාව බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත් වුණේ නැත්නම් ඒක මුස්ලිම් රාජ්‍යයක් වෙන්න බොහෝ ඉඩකඩ තිබුණා කියන එක. බැරි වෙලාවත් ඒ වගේ තත්ත්වයක් වුණා නම් අපේ රටේ මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඒ විතරක් නෙමෙයි ශ්‍රී නේරු වගේ කෙනෙක් ඉක්මනින් මිය නොගියා නම් ලංකාවේ කොටසක් ඉක්මනින් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්න තිබුණා.

    අද වනවිට ගොඩනැගිලා තියෙන සිංහල බෞද්ධ රාජ්‍යය පිළිබඳ පදනම වැටෙන්නේ මුල් යුගයේ ඉඳන්. සාමාන්‍ය වශයෙන් ගත්තාම බෞද්ධ දර්ශනය තුළ මූලිකව ඉගැන්වෙන්නේ අතහැරීම කියන කරුණ. නමුත් ජනප්‍රිය බුද්ධාගම කටයුතු කරන්නේ ඕකෙ අනික් පැත්තට. උදාහරණයක් හැටියට ක්‍රිකට් කියන්නේ එක්තරා සූදුවක් මට්ටමට පත්වුණු ක්‍රීඩාවක්නේ. අපේ රටේ ක්‍රිකට් ටීම් එක පිටරට යද්දී සංඝරත්නය මොකද කරන්නේ? ඔවුන් කරන්නේ මේ තරගය දිනන්න කියලා සෙත් පතලා ක්‍රිකට් ක්‍රීඩකයන්ට නූල් බඳින එක.

    ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන ආයතනයන්හි පැවැත්ම මෙතනදි සලකා බලන්න ඕනෙ. අද වනවිට මේ ආයතන තුන ඇතුළේම ස්වාධීන බලපුළුවන්කාරකමක් පෙන්නුම් කරන්නේ නෑ. සෝල්බරි ආණ්ඩු ක්‍රමය වගේ ආණ්ඩු ක්‍රමයක් ගත්තත් ඒක සම්පූර්ණයෙන් රැජිනට වග කියපු ආණ්ඩු ක්‍රමයක්. ඒ විතරක් නෙමෙයි 72 සහ 78 ආණ්ඩුක්‍රම ගත්තත් මේවායේ සියුම් විදිහට අයිතිවාසිකම් සහ රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් තිබිය යුතු විනිවිදභාවය සංවරණය සහ තුලනය කියන කාරණා අවම වශයෙන් පවතින්නෙ.

    මිෂනාරී අධ්‍යාපනයත් එක්ක යාපනය වගේ ප්‍රදේශවල දියුණු වුණු තියුණු අධ්‍යාපනික ව්‍යුහ, කුලභේදය වගේ කරුණු කාරණා පවා මෙතනදි අපි අධ්‍යයනය කරන්න අවශ්‍යයි. අපි දන්නවා උදාහරණයක් විදිහට මාක්ස් ප්‍රනාන්දුට නාමයෝජනා දෙන්නේනැතිව දකුණේ නාමයෝජනා දෙන්නේ පොන්නම්බලම්ට. අද වනවිට තත්ත්වය ඒක නෙමෙයි. අද කම්කරුවා දන්නේ නෑ කම්කරුවා කියන්නේ කවුද කියලා. ශිෂ්‍යයා දන්නේ නෑ ශිෂ්‍යයා කියන්නේ කවුද කියලා. මේ තත්ත්වය ඇති කරන්න මූලික වශයෙන් කටයුතු කරන්නේ ජනමාධ්‍යය. මාධ්‍යවල ක්‍රියාපටිපාටිය සම්පූර්ණයෙන් ව්‍යාපාරයක් බවට පත්වෙලා ඉවරයි. ආදරය, මනුෂ්‍යකම, විප්ලවය, ජාතිය, ස්වාධීනත්වය වගේ සියලු දෙයම ජනමාධ්‍ය ඇතුළෙ සංකේත ගත කරලා විකිණෙනවා. ඒ තත්ත්වය ඇති කළේ සුළු ජාතිකයන් නෙවෙයි. මම සිංහලයෙක් නිසා මට සිංහල කඩවලින් ලාබෙට බඩු දෙන්නේ නෑ. දෙමළ මනුෂ්‍යයකුට දෙමළ වීම නිසා දෙමළ කඩයකින් ලාබෙට බඩු දෙන්නේ නෑ. සූරාකෑම කියන එක මේ තත්ත්වය තුළ ඒ විදිහටම පවතිනවා. සමහරවිට ඒක මහා පරිමාණ තෙක් ගමන් කරමින් ඉදිරියට යනවා. බහුජාතික සමාගම් කෙසේ හෝ මේ ඇතුළට ගමන් කරනවා.

  • මේ සියලු කාරණා තනි පුද්ගල ව්‍යුහයක් තුළ ගමන් කිරීම කියන කරුණ දේශපාලනික සහ ආර්ථීක වශයෙන් මොනවගේ නැමියාවක්ද පෙන්නන්නේ?

  • මේ රටේ මධ්‍යම පන්තිය ඉතා විශාල පීඩනයකට ලක්වෙලා ඉන්නේ. ඉදිරි කාලය වෙද්දී ඒ පීඩනය වැඩිවෙනවා මිස අඩුවෙන තත්ත්වයක් පේන්ඩ නෑ. මේ වෙලාවේ බර්ටෝල් බ්‍රෙෂ්ට් කිව්වා වගේ සාමයෙන් ප්‍රවේසම් වෙන්න ඕනෙ කාලයක්. ඒ තත්ත්වය පටු දේශපාලනික පක්ෂ සම්බන්ධ කරගෙන කරන්න පුළුවන්කමක් නෑ. සම්පූර්ණ සමාජයම නිර්වින්දනයකට ලක්වෙලා තියෙන මේ වගේ තත්ත්වයක් තුළ වැඩි වශයෙන් ප්‍රයෝජන ගන්නේ ධනේශ්වර සමාගම්. අපේ සිංහල බෞද්ධ සමාජය කොකාකෝලාවලට විරුද්ධ වෙන්නෙ නෑනෙ. එහෙම නැත්නම් පිටරටින් එන දුරකතන ජාලයකට විරුද්ධ වෙන්නෙත් නෑනේ. අද මේ රටේ ජංගම දුරකතන භාවිතය හිතාගන්න බැරි තරම් ඉහළ ප්‍රතිශතයක් ගන්නවා.

    මම මේ ළඟකදි මේ රට පුරා ඇවිද්දා. මේ රටේ තරුණ පිරිසට නාට්‍යකරණය පිළිබඳ තියෙන අදහස් මොනවද කියලා දැනගන්න. මේ ඉන්න අය ගොඩක් දෙනෙක් මනමේ වගේ නාට්‍යයක් එහෙමත් නැත්නම් තවත් මොකක් හරි එක නාට්‍යයක් විතරක් බලලා තියෙනවා. ඒ හැරෙන්න ඔවුන් වෙන එක නාට්‍යයක්වත් බලලා නෑ. මේ රටේ කොච්චර ගම්මාන තියෙනවද විකල්ප පත්තරයක්වත් යන්නෙ නැති. ඒ විතරක් නෙමෙයි මේ රටේ තවම තියෙනවා අයිටීඑන් එක විතරක් පේන ගම්මාන. ඒ නිසා මේ රටේ ජන සමාජය ඇතුලේ සත්‍යය පිළිබඳ තියෙන්නේ විශාල අර්බුදයක්.

    තවත් අතකින් මේ රටේ තරුණ පරම්පරාව මධ්‍යකාලීන යුගයේ අයින් කළ ආගම දෙසට ආපසු හැරෙමින් පවතිනවා. හැබැයි ඒ ඒකේ පිටපොත්ත විතරක් අල්ලා ගනිමින්. අනික් පැත්තෙන් මිනිමැරීම් සියදිවි නසා ගැනීම් වගේ තත්ත්වයන් දියුණුවෙමින් යනවා.

  • මේ කියන කරුණ පශ්චාත් යුදකාලීන ලෝක තත්ත්වයන් එක්ක සැසඳෙන්නේ කොහොමද?

  • ඇත්ත වශයෙන්ම මේක පශ්චාත් යුදකාලීන ලෝකය තුළ තරමක් පොදුවූ දෙයක් විදිහටයි මම හිතන්නේ. එවන් වටාපිටාවක් තුළ ජනතාව මෙන්ම රටේ නායකත්වයත් ඉතා සංකීර්ණ තත්ත්වයන්ට මුහුණ දෙනවා. මේ තත්ත්වය දහස් ගණනකගේ ජීවිතත් එක්ක ගෙනයන වැඩපිළිවෙළක්. එක්තරා විදිහකට මිනිස් ඉතිහාසය කියන්නෙම යුද්ධ ඉතිහාසයක්.

    සුබසාධිත රාජ්‍යයක මූලික කාරණා හතර විදිහට සැලකෙන්නේ ප්‍රවාහනය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ මාධ්‍ය කියන කාරණා හතර. ලංකාව තුළ මේ කාරණා හතරම අද ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය ව්‍යවසාය තත්ත්වය යටතේ. නමුත් ඒවා ඉතාමත්ම දුර්වලයි. මහ රෝහලේ බාහිර රෝගී අංශයට ගිහින් බැලුවොත්, මේ රටේ පාසල් සහ උසස් අධ්‍යාපනය දිහා බැලුවොත් මේ තත්ත්වය ඉතාමත්ම පැහැදිලිව පේනවා.

    මේ කියන රාජ්‍ය ව්‍යවසාය ලෝකය තුළ දියුණු වෙන්නෙම වාමාංශික ව්‍යාපාර නිසානෙ. මේවා දූෂණය වංචාව සහිත දේවල් බවට පත්වුණාම ඒක විශාල ප්‍රශ්නයක්. අනෙක් අතට මේ රටේ සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් ගත්තාම එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල වගේ තිබුණු වාමාංශික සහ දක්ෂිණාශික ව්‍යාපාර සමග ගොඩනැගී තිබුණු පෘථුල මධ්‍යම පන්තියක් අද ලංකාව තුළ නෑ. අද ලංකාව තුළ කලාව කියලා විශ්වාස කරන්නෙත් ගායනය සහ නර්තනය. මේ කියන ගායනා තුළින් මිනිස්සුන්ගෙ චින්තන සම්ප්‍රදායන් සකස් කරන්නෙත් නෑ. මේ දේවල් ප්‍රශ්න කිරීමට හෝ විමර්ශනය කිරීමට හෝ ඒ මගින් පොළඹවන්නේ නෑ.

    ඒ නිසා මේ වන විට ලංකාව තුළ ජීවත් වෙන සාමාන්‍ය ජනතාව ඕන විදිහට තම මතවාදයන්ට නම්ම ගැනීමට ඕනෑම කෙනෙක්ට හැකියාවක් ලැබිලා තියෙනවා. එක්කෝ සසර ගැන කතා කරලා මේ මිනිස්සුන්ව ඉක්මන්ට අන්දවන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන දෙයක් ගැන කතා කරලා ඉක්මනට අන්දවන්න පුළුවන්.

    මේ මිනිස්සු රාජ්‍ය කියන සංකල්පය පවා තේරුම් අරන් ඉන්නේ වෙනම විදියකට. ඒ අය හිතන්නේ රාජ්‍ය කියලා දෙයක් තියෙනවා. ඒක වෙනම එකක්. අපි ඒකට අයිති නෑ. අපි වෙනමම කොටසක් කියලා. තමන් රාජ්‍යයේ කොටස්කාරයෙක්ය, තමන් ගන්නා සියලුම ක්‍රියාමාර්ගයන්ගෙන් තමයි මේක සමන්විත වෙලා තියෙන්නේ කියන එක අද මිනිස්සු දන්නේ නෑ. ඒ නිසා පශ්චාත් යුදසමය කියන එක අමරසේකර මහත්මයා කියනවා වගේ වසල වෙළඳෙ කුලයේ යුගයක් බවට පත්වෙලා ඉවරයි. නමුත් මට පේන විදිහට මේවා ඔක්කොම සිද්ධවෙන්නේ බෞද්ධ මුහුණුවරකින්.

  • ජාතික ප්‍රශ්නය සම්බන්ධ කාරණයේදී ඇතැම් කලාකරුවන් ප්‍රකාශ කරන දෙය තමයි උතුරු නැගෙනහිර භෞතිකමය වශයෙන් සංවර්ධනය කළාට පස්සේ තමන්ට කලා කෘතිවලින් ඒ මිනිස්සුන්ගේ මනස සුවපත් කරන්න පුළුවන් කියන එක. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒ වෑයම හොඳටම ප්‍රමාණවත් බවයි ඔවුන්ගේ අදහස?

  • මෙතැනදි තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි අද අපේ රටේ කලාකරුවන් සහ කලා කෘතීන් ලෙස හඳුනාගෙන තියෙන්නෙ මොනවද කියන එක. අද මිනිස්සු කලා කෘතීන් විදිහට ගන්නේ ගායනය සහ නර්තනය. ටෙලිනාට්‍ය කියන එකත් එතනදි වැදගත් වෙලා තියෙනවා. නමුත් සැබෑ තත්ත්වය ඒක නෙමෙයිනෙ. ඒ නිසා ඔය වගේ අදහසක ඉන්නේ නියම කලාකරුවෝ නෙමෙයි. අපි දන්නවා මේ මිනිස්සු ඒ ඒ කාලවලට ඒ ඒ විදිහට අනුව සැකසෙමින් ජීවත් වුණු අය.

    කලාකරුවා කියන වචනයම නිර්වචනය කරගන්න අමාරුවක් තියෙනවා. මොකද විවිධ කලාකරුවන් ඉන්නවා. වැඩවසම් කලාවක් තියෙනවා ආගමික කලාවක් තියෙනවා. තවත් විවිධ කලාවන් තියෙනවා.

    කලාවේදී ප්‍රධාන වශයෙන් ස්පර්ශ කරන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සමාජ ප්‍රශ්න. අනික හැඟීම්. කලාව තුළ මේ දෙක අතර එක්තරා විදියක ද්වන්ධනාත්මක සම්බන්ධයකුත් තියෙනවා. සමාජ ප්‍රශ්න කතා කිරීම් තුළ ඒ තුළ සත්‍යවාදී බව තියෙන්න ඕනෙ. හැඟීම් එක්ක ගනුදෙනු කරද්දී මිනිසාගේ මනසේ අභ්‍යන්තරය ස්පර්ශ කරන්න ඕනෙ. ඒ නිසා කලාවක නියැලෙන්න යම් කිසිවකුට අවශ්‍යතාව තියෙනවා නම් ප්‍රධාන වශයෙන් කරන්න ඕනෙ මේවායේ තියෙන සත්‍යය සමග කටයුතු කරන එක.

    ඡායා- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

    ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    මගේ බාලම පුතු අසාද් ඔහුගේ හතරවැනි වියේදී පමණ මගේ ඇස්වලට කඳුළු ගෙනා යමක් පැවසීය. මගේ දියණියන් දෙදෙනා, හැනා සහ ලයිලා, මාත් මගේ බිරිඳ ලොනීත් නැවතී සිටි, ලොස් ඇන්ජලීස් හී හෝටල් කාමරය තුළට යමින් සිටියහ. අසාද් ඔහුගේ මව සමග යහන මත කෙළි- කවටකමින් පසු විය. එය ගිම්හාන සමයයි. අසාද් මුළු සතියම පිහිනුමේ යෙදී සිටි බැවින් ඔහුගේ සම වඩාත් කළු වී තිබිණි.

    කාමරයට ඇතුළු වූ ලයිලා, අසාද් දැක ඔහු වඩා ගෙන තදින් වැලඳ, සිඹ අහිංසක ලෙස මෙසේ කීවාය.

    "ආ!... අසාද් ඔයා අද කළු වෙලා."
    "මං කළු නෑ, මං පිරිසිදුයි." අසාදගේ පිළිතුර විය.

    ඔහු කියූ දෙය, මා ඔහුගේ වයසේ වූ සමයත්, එදවස ලෝකය කෙතරම් වෙනස් වී ද යන්නත්, සිහිපත් කළේය. අසාද් තවමත් ලෝකයට අලුත් කෙනෙක් විය. ඔහු තවමත් වර්ණයේ සංකල්පය ඉගෙන නොතිබිණි. ඔහුගේ සිත හා හදවත තවමත් අහිංසක විය. ළාබාල වියේ අහිංසකත්වයේම ඇලී ගැලී ඉන්නට තිබුණා නම් කොතරම් අපූරු දැයි මම මටම සිතා ගතිමි.

    1950, 60 දශකවල මා වැඩෙද්දී මගේ අහිංසකත්වයේම රැඳී සිටීම දුෂ්කර විය. මා වටා ඇති අසාධාරණය හා කොන් කිරීම වටහා ගැනීම ඇරඹුවෙමි. "සුදු අය පමණයි" සහ "කල්ලන්ට අවසර නැත" යනුවෙන් කියවෙන දැන්වීම් පුවරු සහිත ආපන ශාලා විය. කල්ලන්ට ඉඩ ලැබුණේ උල්පත්වලින් දිය බීමටත් "කල්ලන්ට" යන සඳහන සහිත විවේක ශාලා පරිහරණය කිරීමටත් පමණි. මගේ සහෝදරයාත්, මාත්, සුදු ළමයින් සමග කිසිදු ගැටුමකට නොගිය ද, "කල්ලා" යනුවෙන් අමතනු ලැබ, යම් අසල්වැසි සබඳතාවලින් අප දුරස් කරනු ලැබූ අවස්ථා තිබිණි. දකුණේ අනෙක් ප්‍රදේශවල බොහෝ කළු අය අත් විඳි අයුරේම සැහැසිකම් අප අත් නොවිඳිය ද ලුයිවිල් පෙදෙස කොන් කරනු ලැබිණි. නිවසේදී අභිමානයක් හා ස්වයං සවිඥානයක් සහිතව හදා වඩා ගැනෙන අතර, බැහැරේදී කළු මිනිසුන් දෙවැනි පංතියේ පුරවැසියන් ලෙස සැලකෙන ලෝකයකට යෑම අමුතු, නුහුරු දෙයක් විය. ලෝකයේ කුරිරුකම්වලින් අප රැක ගැනීමට මගේ දෙමව්පියන් සියලු වැර දැරූව ද සමහර ගැටලු නොවැළැක්විය හැකි ඒවා විය.


    මැල්කම් එක්ස් සමග මොහොමඩ් අලි


    මා අගතීන්වලට මුහුණ දුන් පළමු අවස්ථාවලින් එකක් සිදු වූයේ මතකයේ ද නොරැඳෙන තරම් කුඩා අවදියේය. එහෙත් අම්මා ඒ කතාව කියනු මම අසා ඇත්තෙමි. ඇයත්, මාත් බස් නැවතුමක සිටගෙන සිටියෙමු. එය බෙහෙවින් උණුසුම් දවසක් වූ අතර, මට දැඩි පිපාසයක් විය. එබැවින් අම්මා මා සමග ඒ ඉසව්වේ කුඩා බොජුන් හලකට ගොස් මා වෙනුවෙන් වතුර වීදුරුවක් ඉල්ලා සිටියාය. එහි සිටි තැනැත්තා එය ප්‍රතික්ෂේප කරමින් අපේ මුහුණටම දොර වැසීය. මට සිතින් මවා ගත හැක්කේ, ඒ මිනිසා මට වතුර වීදුරුවක් නොදුන්නේ මන්දැයි පැහැදිලි කරන්නට වචන සොයද්දී අම්මා විඳි වේදනාව පමණි. දැන් වුවද අම්මා කියන්නේ මෙසේය. "වෛර කිරීම වැරදි. වෛර කරන්නෙ කවුරුන්ද යන්න වැදගත් නෑ. එය සරලවම, පැහැදිලිවම වැරදි යි."

    මා මඳක් වැඩුණු ළමයෙකු කාලයේදී මගේ වයසේම කිය හැකි එමිට් ටිල් (Emmett Till) නම් ළමයකුගේ කතා පුවතක් පත්තරයක මුල් පිටුවේම පළවී තිබෙනු දුටුවෙමි. මිසිසිපිහි නිවාඩුව ගත කරමින් සිටි ඔහු සුදු කාන්තාවක් එල්ලේ සිවුරුහන් බෑවේය යන්න මත, විභාගයකින් තොරව, වදයට ලක් කර මරා දමා තිබිණි. මිනී පෙට්ටියේ සැතපී ඉන්නා ඔහුගේ පින්තූරයක්, ඔහුට කළ දෑ පිළිබඳ බිහිසුනු විස්තරයක් සහිතව පත්තරයේ පළ කර තිබිණි. එය මා අසහනයටත් බියටත් පත් කළේය. මසිත ශෝකයෙන් හා අවුලෙන් පිරුණි. ඇතැම් මිනිසුන් කොපමණ වෛරී විය හැකි දැයි එදින වන තුරු මම වටහා ගෙන නොසිටියෙමි.


    මා එමිට් ටිල් පුද්ගලිකව දැන හඳින නොසිටිය ද, එතැන් සිට සෑම කළු පිරිමි ළමයකු හා ගැහැනු ළමයකු තුළින් ඔහු දකින්නට වීමි. ඔහු සෙල්ලම් කරන හැටි, සිනාසෙන හැටි සිතින් මවා ගත්තෙමි. පත්තරයේ වූ ඔහුගේ පින්තූරය දෙස බලන විට මට හැඟුණේ, මෙය පහසුවෙන්ම මගේ හෝ මගේ සොහොයුරාගේ හෝ කතාව විය හැකිව තිබුණු බවයි. එය කළවුන් අල්ලා නඩු පවරනු ලැබූව ද, පූර්ණ සුදු ජාතික ජූරිය ඔවුන් නිදහස් කළේ ඔවුන් ළමයා පැහැර ගෙන යනු ඇසින් දුටු සාක්ෂිකරුවන් පවා ඉදිරිපත්ව සිටියදීය. එමිට්ගේ මව පැවසුවේ මෙයයි. "දකුණේ නීග්‍රෝවරුන්ට මෙවැනි දෙයක් සිදු වූ විට මා කීවේ, "ඒක සිද්ධ වුණේ ඒගොල්ලන්ට. මට නොවේ" කියලා. එදා මං කොතරම් වැරදි ද කියලා මට දැන් තේරෙනවා. අපේ කාට වුවත්, ලෝකයේ කොතැනක වුවත්, සිදු වන දෙය අප සියල්ලන්ටම අදාළ බව මගේ පුතාගේ මරණය මට පෙන්නල දීල තියෙනවා." මෙය සත්‍ය යැයි මම විශ්වාස කරමි.

    බොහෝ වේදනාවන්, අවුල් හා අසාධාරණයන් සහිත ලොවක මගේ හදවත මුරණ්ඩු විය හැකි බව මම දැන සිටියෙමි. කෙසේ වුවත්, ජීවත් වනවා නම් දැඩි නොවිය යුතු බව මම දනිමි. මට පෙරළා ආදරය නොකරන අයට පවා ආදරය කරන්නට සිදුවනු ඇත. සමාව නොදෙන අයට පවා සමාව දීම ඉගෙන ගන්නට සිදු වනු ඇත. නැතහොත් මගේ හද වියළෙනු ඇත.

    කැඩපතකින් බැලූ විට දුටු දෙය ගැන මම ආඩම්බර වීමි. එහෙත් තවදුරටත් කල්ලන් වීමට නොරිසි වූ බොහෝ කළු මිනිස්සු සිටියහ. කුඩා කළු ළමයින්ට පොදු ආදර්ශී චරිතයන් නොවිණි. පෙනුමෙන් අපට සමාන වීරයෝ අපට නොසිටියහ. තදාත්මිකව සලකනු ලබන්නට කිසිවෙකු අපට නොසිටි අතර අප ගැළපෙනුයේ කොතැනටදැයි අපි නොදත්තෙමු. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රූප පවා නිබඳවම වූයේ සුදු පැහැයෙනි. ජේසුස්, දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස මා ඉගෙන තිබූ අතර, දෙවියන් වහන්සේ ද ජේසුස්ගේ පෙනුමට සමාන වෙත් දැයි සැක කළෙමි. ජේසුස් හැම විටම නිරූපණය කෙරුණේ දිග, දුඹුරු පැහැ කෙස් සහ නිල්වන් දෙඇස් සහිතවයි. මගේ ඊළඟ නිරීක්ෂණය වූයේ පිංතූරවල සිටි සියළුම දෙවඟනන් සුදු වීමයි. කළු දෙවඟනකගේ පිංතූරයක් කිසිදා නොතිබිණි. අන්තිම රාත්‍රී භෝජනයට සිටි සියලුම දෙනා සුදු අය වූහ. එනිසා දිනක් මම අම්මාගෙන් මෙසේ ඇසුවෙමි.


    "අපි මැරුණාම අපට මොකද වෙන්නේ? අපි දිව්‍යලෝකයට යනවාද?"
    "ස්වාභාවයෙන්ම, අප දිව්‍යලෝකයට යනවා" ඇය පැවසුවාය.

    "එහෙමනම් පින්තූර ගන්න කොට කළු දිව්‍යාංගනාවනට මොකද වුණේ? ආ.... මං දන්නවා. සුදු අය දිව්‍ය ලෝකයට යනවා නම් කළු දෙවඟනන් කුස්යේ කිරි- පැණි ලෑස්ති කරමින් ඉන්න ඇති."

    කිරි- පැණි ගැන මගේ කිසිම කැමැත්තක් නොවූ නිසා එය මට කරුණක් නොවිණි. මට අවශ්‍ය වූයේ මොනවා හෝ පිළිතුරුය. සෑම හොඳ දෙයක්ම සුදෙන් දැක්වුණේ මන්ද යන්න දැන ගැනීම මට අවශ්‍ය විය. එක් "සියලු සාන්තුවර දින" සැඳෑවක (Halloween) එක් කුඩා කළු දැරියක් අසල්වැසියන්ට රැඟුම් පාමින් සිටියාය. ඇය සැරසී සිටියේ සුපිරි වීර චරිතයක ඇඳුමිනි. එහෙත් ඇගේ මුහුණේ සුදු වර්ණය ආලේප කර තිබිණි. ඒ ඇයි දැයි මා අයගෙන් විමසූ විට ඇය කීවේ, කළු සුපිරි වීරයෙකු ලෙස කෙනෙකු නැති බව ඇගේ සොයුරිය ඇයට කී බවයි. ඇය නිවැරදි වූවාය. මම රූපවාහිනිය දෙසට හැරුණෙමි. සෑම කෙනෙකුම, සෑම විටම සුදුය. සුපර්මෑන් සුදුය. නත්තල් සීයා සුදුය. ඔවුහු අප්‍රිකානු වනාන්තරයේ රජා වන ටාසන් පවා සුදු කළහ. නිබඳවම ඇමරිකානු රූ රැජිණත්, ඇමරිකානු ජනාධිපති නිල නිවසත් (ධවල මන්දිරය) සුදු බව මට පෙණිනි. කිසිදු හොඳ දෙයක් අපගේ රූපය පිළිබිඹු නොකළේය.

    යමක් ඉතා වැරදි සහගතව පවතින බව ඒ කුඩා කාලයේදී මම දුටුවෙමි. ඒ කුමක්දැයි මට වැටහීමක් නොවිණි. මගේ සම ලස්සනය යැයි මම සිතුවෙමි. මගේ සමේ වර්ණය ගැන මම ආඩම්බර විමි. එහෙත් සෑම කළු දෙයක්ම පහත් සහ අයෝග්‍ය ලෙස සැලකිණි. හරියටම කළු බළලුන් අවාසනාව ගෙනෙනවා මෙනි. යක්ෂයා කෑවේ කළු කේක් වූ අතර, දෙවඟන කෑවේ සුදු කේක් ය. මේවා සියුම් පණිවුඩ වූවා විය හැකිය. එහෙත් බලපෑම තියුණු විය, මා තුළත්, සුදු නොවෙන අනෙක් ළමයි තුළත් අපම පිළිබඳව තිබූ ප්‍රතිරූපය මෙම පණිවුඩ මඟින් දිනපතා හැඩ ගැන්විණි. කෙසේදැයි නොදත්තෙමි. එහෙත් මම අපේ මිනිසුන්ට උපකාර කරන්නට එළඹෙමින් සිටි බව දත්තෙමි. මම කවර ආකාරයෙන් හෝ ලෝකයේ වෙනසක් කරන්නට එළඹෙමින් සිටියෙමි. අසාධාරණය වඩ වඩාත් දකිත්ම මගේ හැඟීම් වඩ වඩාත් ශක්තිමත්ව වැඩුණි. එය, මා මෙහි සිටියේ යම් හේතුවක් නිසා බව මට දැනවීය.

    (ජගත් බොක්සිං ශූර, මොහොමඩ් අලි (කැෂියස් ක්ලේ) ගේ Do Blacks go to Heaven? ලියැවිල්ලේ පරිවර්තනයකි.)

    මොහොමඩ් අලි
    පරිවර්තනය - දේ. වි. ගාල්ලගේ



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    "ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේ ය." {18(1) ව්‍යවස්ථාව}

    "දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වන්නේ ය." {18(2) ව්‍යවස්ථාව}

    "සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේ ය." (19 ව්‍යවස්ථාව)

    "පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හෝ-

    පළාත් සභාවක මන්ත්‍රීවරයකුට හෝ පළාත් පාලන ආයතනයක සභිකයකුට පිළිවෙලින් පාර්ලිමේන්තුවේ හෝ ඒ පළාත් සභාවේ හෝ පළාත් පාලන ආයතනයේ හෝ ජාතික භාෂා දෙකෙන් කවර භාෂාවකින් වුවද තමාගේ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීමට හිමිකම ඇත්තේ ය." (20 ව්‍යවස්ථාව)

    "සියලුම නීති සහ අනු නීති පැනවීම නැතහොත් සෑදීම ද එකී සියලුම නීති සහ අනු නීති පළ කිරීම ද ඉංග්‍රීසි භාෂාවෙන් වූ පරිවර්තනයක් ද ඇතිව සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම විය යුත්තේ ය." {23 (1) ව්‍යවස්ථාව}

    ඉහත උපුටා ගැනීම්වල දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ භාෂා භාවිතය පිළිබඳව ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙන විධිවිධානයි. එහෙත් මෙම විධිවිධාන කොතෙක් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ ද යන්න අදත් බරපතළ ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නය මා සිතේ පැන නැඟුණේ පසුගියදා පාර්ලිමේන්තු විවාදයක් නැරඹීමට මා පාර්ලිමේන්තුවට ගිය අවස්ථාවේදීය. ඒ 2011 අප්‍රියෙල් මස 5 වැනි අඟහරුවාදාය. එදින පාර්ලිමේන්තුවේ දී පනත් කෙටුම්පත් දෙකක් විවාදයට ගැනිණ. එයින් එකක් වූයේ "පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන)" පනත් කෙටුම්පතයි. අනෙක වූයේ "පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන)" පනත් කෙටුම්පතයි. මේ පනත් කෙටුම්පත් දෙකම මීට පෙර, එනම් 2011 ජනවාරි මස 04 වැනිදා පළමු වරට පාර්ලිමේන්තුවේ දී විවාදයට ගෙන තිබිණි. අප්‍රියෙල් මස 5 වැනිදා පැවතියේ එහි දෙවැනි වර කියවීමයි.

    එදින පාර්ලිමේන්තු විවාදය පටන් ගන්නා අවස්ථාව වන විටත් අදාළ පනත් කෙටුම්පත් වල සිංහල සහ දෙමළ භාෂා පිටපත් ලබා දී නොතිබිණි. සියලු මන්ත්‍රීන්ට ලබා දී තිබුණේ ඒවායේ ඉංග්‍රීසි බසින් මුද්‍රිත පිටපත් පමණි. මේ ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රශ්න කර සිටියේය. එහි දී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ එම පනත් කෙටුම්පත් වල සිංහල සහ දෙමළ පිටපත් කඩිනමින් ලබා දෙන බවත් විවාදය පවත්වාගෙන යෑමට එය බාධාවක් කර ගත යුතු නැති බවත්ය. අමාත්‍යවරයා ප්‍රකාශ කළ ආකාරයටම ඒ වායේ සිංහල සහ දෙමළ පිටපත් විවාදය යන අතරතුර ලබා දුන් ආකාරය අපට දැක ගැනීමට හැකි විය.

    මෙය පාර්ලිමේන්තුවේ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන සංසිද්ධියක් වුව ද, මෙම සිදු වීමෙන් ප්‍රශ්න දෙකක් පැන නැෙඟයි. පළමු ප්‍රශ්නය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23(1) ව්‍යවස්ථාවේ දක්වා තිබෙන විධිවිධාන හරිහැටි ක්‍රියාත්මක වෙනවා ද යන්නයි. සියලුම නීති සහ අනු නීති සෑදීම ද, එම නීති සහ අනු නීති පළ කිරීම ද ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් සහිතව සිංහල සහ දෙමළ භාෂාවෙන් සිදු කළ යුතු බව එහි දක්වා තිබුණ ද, එදින සිදු වූ ආකාරයෙන් හැඟී යන්නේ එම නීති සහ අනු නීති ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කොට පසුව ඒවායේ සිංහල සහ දෙමළ භාෂා පරිවර්තනයන් ලබා දුන් බවයි. මෙහි දී මතු වන දෙවැනි ප්‍රශ්නය වන්නේ පාර්ලිමේන්තු විවාදයක් පටන් ගෙන එය යන අතරතුර අදාළ පනත් කෙටුම්පත් වල පිටපත් මන්ත්‍රීන් වෙත ලබාදීමෙන් එම විවාදය කොතරම් දුරට සාර්ථක වේවි ද යන්නයි. ඔවුන්ට එය කියවා බලා තේරුම් ගැනීමට හෝ අවස්ථාවක්, කාලයක් තිබේ ද යන්න මෙහි දී කල්පනා කළ යුතුව ඇත.

    පාර්ලිමේන්තු විවාදයක් පවත්වාගෙන යෑමට භාෂාව ඇතැම් විට ප්‍රශ්නයක් නොවිය හැකිය. මන්ද, පාර්ලිමේන්තුව ඇතුළත අදාළ භාෂා පරිවර්තන එම අවස්ථාවේදීම සිදු කෙරෙන බැවිනි. මේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තමන් කැමැති ඕනෑම භාෂාවකින් කතා කළ හැකි අතර අවශ්‍ය වෙතොත් භාෂා පරිවර්තන ද ලබා ගත හැකි ය. එහෙත් පනත් කෙටුම්පතක් වැනි දීර්ඝ එමෙන් ම සංකිර්ණ ලියවිල්ලක් කියවා බලා තේරුම් ගැනීමේ දී නම් පාර්ලිමේන්තුව තුළම ද භාෂාව ප්‍රශ්නයක් විය හැකිය. මන්ද, පාර්ලිමේන්තු මැති- ඇමැතිවරු සියලු දෙනා ඉංග්‍රීසියෙන්ම වැඩ කරන පිරිසක් නොවන බැවිනි.

    කෙසේ නමුත් එදින විවාදයේ දී අප අත්දුටු සංසිද්ධියෙන් පැහැදිලිවන ඉතා කණගාටුදායක කාරණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙන විධිවිධාන රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව ඇතුළතවත් හරිහැටි ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවයි. පෙර සඳහන් කළ ආකාරයට මෙය පාර්ලිමේන්තුවට එතරම් ප්‍රශ්නයක් නොවුණත් ඉන් පිටත, පොදු සමාජයට නම් බරපතළ ප්‍රශ්නයකි. මේ රට භාෂාව නිසා ඉතා සංකීර්ණ අර්බුද රැසකට මුහුණ දුන් රටක් බව අප මෙහි දී යළි යළි ත් සිහිපත් කළ යුතු නොවේ.

    සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල තොරතුරු භාෂා තුනෙන්ම පවත්වාගෙන යන ලෙස ජාතික භාෂා හා සමාජ එකාබද්ධතා අමාත්‍යාංශය මඟින් ඉල්ලීමක් කරනු පසුගියදා මාධ්‍ය මඟින් අපි දුටුවෙමු. භාෂා තුනෙන්ම නොහැකි නම් අවම වශයෙන් සිංහල සහ දෙමළ භාෂා ද්විත්වයෙන් පමණක් හෝ තොරතුරු පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා එහි දී අදාළ ආයතනවලින් ඉල්ලා සිටියේය. ජාතික සමඟිය සහ සහජීවනය ගොඩනැංවීමෙහිලා ද්විභාෂා භාවිතයේ ඇති වැදගත් කම අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබිණි. එහෙත් රටේ නීති සකස් කරන ආයතනය වන පාර්ලිමේන්තුව ඇතු ළතවත් එම නීති හරිහැටි ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ සමස්ත රටේ ද්විභාෂා භාවිතයක් ගැන කතා කිරීම කොතරම් ප්‍රායෝගික ද යන්න මෙහි දී නැවත නැවතත් සිතා බැලිය යුතු ප්‍රශ්නයයි.

    [2011-04-08]

    සංජීව මුණසිංහ



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    "තමන් දන්නා සත්‍ය කථා කරන කුමන හෝ මුග්ධයෙකු සෑම පරම්පරාවකම සිටිය හැක" -බොරිස් පැස්ටර්නැක්

    බොල්ෂෙවික් විප්ලවය පැවති අවධියේදී රුසියාවේ ඉහළ මධ්‍යම පාංතිය තුළ පැවති අවාසනාවන්ත ස්වභාවය පිළිබඳව අවධාරණය කරමින් "ඩොක්ටර් ෂිවාගෝ" නම් අර්බුදයට තුඩු දුන් නවකථාව රචනා කිරීම හේතුකොටගෙන නොබෙල් ත්‍යාගලාභී රුසියානු කවියෙකු හා ගත්කතුවරයෙකු වූ බොරිස් පැස්ටර්නැක් ලෝක ප‍්‍රසිද්ධියට පත්විය. පැස්ටර්නැක් "පරිකල්පනයට" අදාළ ශ්‍රේෂ්ඨ නිර්මාපකයෙකු විය. ඔහුගේ ශ්‍රේෂ්ඨ නවකථාව මානවවාදයෙන් පිරී ඇති අතර එහි චරිතයන් සකසා ඇත්තේ කාව්‍යාත්මක දැක්මකිනි. 1917 දී රුසියාවේ සිදුවූ දැවැන්ත සමාජ පෙරළිය ඔහු දුටුවේ නිරන්තරයෙන් වෙනස් වන සිත්ගන්නා රූ රටා මවන මානව ක‍්‍රීඩා භාණ්ඩයක් ලෙසිනි.

    මෙම නවකථාව රචනා කරන ලද්දේ විප්ලවය හා බැදුණු (1910-1920 අතර) වර්ෂවල වුවද-

    එය ප‍්‍රකාශයට පත්කරන ලද්දේ දශක කිහිපයකට පසුවය. බොල්ෂෙවික් විප්ලවයට අදාළ පැස්ටර්නැක්ගේ දැක්ම හා ජීවිතය කෙරේ මෙන්ම පුද්ගලයා කෙරේ ද දක්වන ලද දැඩි ඇල්ම මෙම නවකථාව තුළ ප‍්‍රශස්ත අන්දමින් ප‍්‍රකාශිත වී ඇත. එය රුසියානු ජීවිතය, රුසියානු විප්ලවය හා මුල් සෝවියට් යුගයට අදාළ ජීවිතය ද පිළිබඳ කදිම රූප රාමුවකි.

    "ඩොක්ටර් ෂිවාගෝ" නම් ඔහුගේ මෙම ශ්‍රේෂ්ඨතම කෘතිය මගින් නූතන සමාජ දේශපාලනික පැවැත්ම සම්බන්ධ ගැටලු පැස්ටර්නැක් අවධානයට ලක් කරවයි. රුසියානු විප්ලවය පැවති අවධියේ හා ඉන් අනතුරුවද පැවති සමාජ කැළඹිල්ල හා රුසියාවේ ඉහළ මධ්‍යම පංතිය ඉන් ලද අහිතකර බලපෑම්ද විස්තර කෙරෙන මෙම කෘතිය පුළුල් දර්ශනයක් විදහා දක්වන සමාජ හා දේශපාලනමය වෘත්තාන්තයකි. පැස්ටර්නැක්ගේ හෙලිදරව්ව අනපේක්‍ෂිත ප‍්‍රශ්නයක් කෙරේ අවධානය යොමුකරවයි. එය "සමාජීය මතවාදයක් වෙනුවෙන් තම පෞද්ගලික නිදහස හා පෞද්ගලික ජීවිතය ද කැප කිරීම සාධාරණද?" යන්නයි.

    "මතවාදය" (ideology) යන සංකල්පය සාමාන්‍යයෙන් සම්බන්ධ වී ඇත්තේ බලයට අදාළව වන අතර බොහෝ විට මිනිස් හැඟීම් කෙරේ සැලකිල්ලක් නොදක්වයි. මතවාදය යන්න මිනිසා ලෝකය ගැන සිතන ආකාරය හා ලොවෙහි ජීවත්විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ගේ පරමාදර්ශී සංකල්පය යනුවෙන් අර්ථකථනය කළ හැකිය. එය වුවමනාවෙන්ම ජනතාව මර්දනය කිරීමට හෝ ඔවුන්ගේ විඥානය වෙනස් කිරීමට තැත් කරන කණ්ඩායම් අතර පවත්නා බෙදී ගිය විශ්වාසයකි. මෙම ක‍්‍රියාවලියේදී ප‍්‍රචණ්ඩත්වය, කායික වදහිංසා පැමිණවීම, හා ත‍්‍රස්තවාදය වුවද යොදාගනු ලබන අතර, මිනිසුන් මනිනු ලබන්නේ ඔවුන්ගේ මතවාදී අදහස්වලට අනුවය.

    රුසියානු සමාජ සංවිධානයට අදාළ වූ මූලික වෙනස්කමක් බොල්ෂෙවික් විප්ලවය මගින් සිදුකර ඇත. සමාජය ගොඩනැංවීම හරහා "නව මිනිසෙකු ගොඩනැංවීම" යන බොල්ෂෙවික් අදහස යුරි ෂිවාගෝ වැනි පුද්ගලයින් හට දුරාවබෝධවූ උත්තමාදර්ශයක් විය. එබදු මිනිසෙකු එක්කෝ එම සමාජ ක‍්‍රමයට අනුගත විය යුතුය. නැතහොත් විනාශවිය යුතු හෝ ඉන් ඉවත් විය යුතුය. ක‍්‍රියාශීලී සමාජ පෙරළියක් සිදුවන විට එය පෞද්ගලික හැඟීම්වලට තැනක් නොදෙන අතර සාමූහිකව ජීවත්වීමට සෑම කෙනෙකුට පුරුදු පුහුණු විය යුතුවේ. මතවාදය හා සටන්පාඨ ජීවිතයේ කේන්‍ද්‍රස්ථානයක් බවට පත්වේ. මිනිසුන් මනිනුයේ දේශපාලනමය වශයෙනි. එබඳු පරිසරයක පුද්ගලයන් හට ලැබෙනුයේ අවම වරණයන්ය. ඩොක්ටර් ෂිවාගේ වනාහි මෙබදු සමාජ ක‍්‍රමයකට ගොදුරු වූ ගැණිය නොහැකි තරම් වූ පුද්ගලයන්ගෙන් කෙනෙකි.

    ලෙනින් ඔහුගේ පෞද්ගලික විවාහ ජීවිතය ක්රූප්ස්ක්යා සමගද, ස්ටාලින්, නාඩියා ඇලිලූයේවා සමගද සතුටින් ගත කළද යුරි ෂිවාගෝ සහ ලැරිසා ඇන්ටිපෝවා අතර පැවති පේ‍්‍රමය පෞද්ගලික කරුණක් වූ අතර බොල්ෂේවික් විප්ලවීය සංකල්පයන් තුල එයට ඉඩක් නොලැබිණ. රුසියාව තුල පෞද්ගලික ජීවිතය මියගොස් ඇති බව දැඩි රතු (කොමියුනිස්ට්) මතධාරියෙකු වන ස්ටෙ‍්‍රල්නිකොව් ප‍්‍රකාශ කළද මෙය සෑම කෙනෙකුටම අදාළ නොවිය.

    වෛද්‍ය යුරි ෂිවාගෝ යනු, තමන්ගේ පාලනයට ඔබ්බෙන්වූ බලපෑම් හේතුවෙන් අනපේක්‍ෂික අන්දමට දෙපසට ඇදුනු වෛද්‍යවරයෙකු හා සංවේදි මිනිසෙකු විය. වෛද්‍ය ෂිවාගෝ පෞද්ගලික මෙන්ම සාමුහික දුක්ඛාන්තයක ගොදුරක් බවට පත්විය. ඔහු කුඩා දරුවෙකුව සිටියදී යුරිගේ මව මිය ගියාය. ඔහුට ඉතිරිවූයේ "බලලයිකාව" පමණකි. තරුණ යූරිව ඔහුගේ මාමා විසින් ඇති දැඩි කරගන්නා ලදී. මොස්කව් නගරයේ ජීවත්වන ඔහුට කාව්‍ය කලාව පිළිබඳව අසීමිත උනන්දුවක් ඇතිවිය. රුසියානු සමාජය තුළ වෛද්‍ය යුරි ෂිවාගෝව වෘත්තිකයෙකු මෙන්ම කවියෙකු ලෙසින්ද පිළිගන්නා ලදී. එහෙත් ඔහුගේ ජීවිතය ඔහුගේ බිරිඳ වූ ටානියා ග්රොමිකෝ සහ පෙම්වතිය වූ රූමත් හෙදියක වූ ලාරා ඇන්ටිපෝවා කෙරේ හටගත් ආදරය අතර ගැටලූවකට මැදිවී තිබුණි.

    සිවිල් යුද්ධය අරුඹුනු පසුව රතු බෙදුම්වාදීන් විසින් වෛද්‍ය ෂිවාගෝව ඔහුගේ පවුලෙන් හා බිරිඳගෙන් බලයෙන්ම ඉවත් කරන ලද අතර, පසුව ඔහුගේ බිරිඳ වූ ටානියා තම දරුවන්ද සමගින් ප‍්‍රංශය වෙත පලාගියාය. ස්ටෙ‍්‍රලින්කෝව් අත්අඩංගුවට ගත් පසුව ලාරාගේ ජීවිතය අවදානමට ලක්වූ අතර, අවස්ථාවාදියෙකු හා අවකල් ක‍්‍රියාවෙන් යුත් මිනිසෙකු වූ වික්ටර් කමරොවොස්කි සමග යාමට ඇයට සිදුවිය. එනයින් වෛද්‍ය යුරි ෂිවාගොට ලාරා ද අහිමිව ඉතා දුබල පුද්ගලයෙකු බවටද පත්විය. ස්ටාලින් විසින් රුසියාවේ සිදුකල ගුලාර්ග් සංහාරයේදී ටානියා අතුරුදන් වූවාය. ආදරය හා අහිංසකත්වය අහිමි වූ ෂිවාගෝ අරමණුකින් තොර හිස් මිනිසෙකු බවට පත්විය. මොස්කව් නගරයේ වීදියක් දිගේ ලාරා යැයි සැක කළ කාන්තාවක් පසුපස හඹා යද්දී වෛද්‍ය ෂිවාගෝ හෘදයාබාධයකින් මිය යයි.

    විප්ලවයත් සමගම ඔහු වෙත සාමූහික ඛේදාන්තය බලපෑවේය. ෂැම්පේන්, කේවියර්, සහ වොඞ්කා පානය කරමින් ගතකල සාම්ප‍්‍රදායික, මධ්‍යම පන්තික මොස්කව් වැසියන්ගේ ඉහළ මට්ටමේ ජීවන රටාව රුසියානු විප්ලවය සමගම නිමාවට පත්විය. ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු විය. ෂිවාගෝගේ පවුලේ ධනය රාජසන්තක කරන ලද අතර නව සෝවියට් රජය මගින් ඔවුන්ගේ නිවාසය කුලී නිවාස පේළියක් බවට පත් කරන ලදී. ෂිවාගෝගේ පවුල කුඩා කාමරයකට කොටු කරන ලදී. ෂිවාගෝගේ සාම්ප‍්‍රදායික මධ්‍යම පන්තික මූලයන් නිසා බොල්ෂෙවික්වරුන් විසින් ඔහුව පිළිකුල් කරන ලදී. ඔහු ලියූ කවි, නොවැදගත් හා ආශාවන් සපුරාගනු පිණිස ලියූ ඒවා ලෙස සලකන ලදී.

    විප්ලවය ඔවුන් වෙත අවාසනාව හා බලාපොරොත්තු කඩවීම් ද රැගෙන ආවේය. දහස් ගණන් දෙනා වෙඩිතබා මරා දමන ලදී. විප්ලවයට විරුද්ධ වී යැයි නම්කොට ඕනෑම කෙනෙකුව අත්අඩංගුවට ගැනීමට හෝ මරණයට පත් කිරීමට විප්ලවවාදී කමිටුවට බලය තිබුණි.

    "කුලක්වරුන්" (Kulak) යනුවෙන් වර්ගීකරණය කොට ධනවත් ඉඩම්හිමියන්ව මුලුමනින්ම විනාශ කොට දමන ලදී. "කුලක්" යනුවෙන් හැඳින්වූවෙකු වෙන්කොට හඳුනාගත හැකි පැහැදිලි නිර්වචනයක් හෝ සලකුණු කිරීමක් නොතිබිණි. ඉඩම් හෙක්ටයාර් දහස් ගණනක් හිමි තැනැත්තෙකුව "කුලක්" කෙනෙකු ලෙස සලකන ලදී. ජෝසප් ස්ටැලින් යටතේ පැවති රාජ්‍ය ත‍්‍රස්තවාදයේ උච්ඡ අවස්ථාවේදි ධාන්‍ය රාත්තල් තුනක් අයිතිවූ ගොවියකු වුවද "කුලක්" වශයෙන් නම්කොට මරණීය දණ්ඩනයට පමුණුවන ලදී.

    නමුත් "පරමාදර්ශී රාජ්‍යයට" යන මාවත සොයාගෙන ඇති බැව් බොල්ෂෙවික්වරු විශ්වාස කළහ. ඔම්ලට් එකක් සෑදීමට නම් බිත්තර කිහිපයක් බිඳිය යුතු යැයි පවසමින් ඔවුන් විප්ලවයෙන් පසුව පැවති බලවත් කම්පනය සාධාරණීකරණය කලහ. තම කාතිය වූ ඩොක්ටර් ෂිවාගෝ හරහා බොරිස් පැස්ටර්නැක් බොල්ෂෙවික්වරුන් වෙත ප‍්‍රශ්නය වක‍්‍ර අන්දමින් ඉදිරිපත් කළේය. "මම බිඳුණු බිත්තර දකිමි. එහෙත් ඔම්ලට් එක නොදුටුවෙමි" යනුවෙන් පැස්ටර්නැක් ප‍්‍රශ්න කරන්නේය.

    විප්ලවවාදී මිණුම් දඬුවලට අනුව "නව මිනිසෙකු නිර්මාණය කිරීම" යන බොල්ෂෙවික් අදහස පැස්ටර්නැක් දැඩි ආවේගයෙන් යුතුව හෙළා දුටුවේය. එය ස්වභාවධර්මයට විරුද්ධ බව ඔහු දැන සිටියේය. "රෝගියාව ජීවත් කිරීමට හැකිවන්නේ නම් පමණක් පටකවල සැදී ඇති අසාධාරණය නමැති ගෙඩි ඉතා වේදනාකාරී ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කළ හැකි බවට" ඔහු තර්ක කළේය.

    ඩොක්ටර් ෂිවාගෝ නම් නවකථාව දිගු වෘත්තාන්තයකි. ඒ තුළ විවිධ විශ්වාසනීය චරිත හුවා දක්වමින් ෂිවාගෝගේ ජීවිතය, පුරාවටම පැතිර යයි. ඇලෙක්සැන්ඩර් බ්ලොක් නම් රුසියානු කවියාට, බොරිස් පැස්ටර්නැක් විසින් බෙහෙවින් ඇලුම් කරන ලදී. රුසියාව තුළ වඩාත්ම ජනප‍්‍රිය හා බලවත් කවියෙකු වූ බ්ලොක්ගේ සැබෑ ජීවිතයෙන් කොටසක් ඩොක්ටර් ෂිවාගෝ රචනා කිරීමේ දී පැස්ටර්නැක් විසින් පාදක කරන්නට ඇත. ඇලෙක්සැන්ඩර් බ්ලොක් වූ කලී දැඩි රූපාලංකාර සහිත භාෂාවක්, සරල, සුගම ලෙස යොදාගනිමින් පෞද්ගලික සංවේදී අත්දැකීම් ප‍්‍රකාශ කිරීමට උත්සාහ කළ සංකේතවාදී කවියෙකු විය. විප්ලවයට පසුව උදා වූ වසරවලදී බ්ලොක් සමාජීය හා දේශපාලනික ලේඛන කලාවේ හා විවේචනාත්මක ලේඛන කලාවේ දැඩි ලෙස නිරත වී සිටියේය. 1921 දී ඔහු විසින් රචිත "On the Poet's Calling" යන තියුණු හා ව්‍යක්ත රචනය මගින් සෝවියට් නිළධාරිවාදය හා වාරණයන් පිළිබඳව ඔහු තුළ පැවති කලකිරීම විදහා දැක්වින. වයස අවු. 37 දී බ්ලොක් මියගියේය. ඒ 1921 අගෝස්තු මස 01 වන දින Petrograd නගරයේදීය. ඩොක්ටර් යූරි ෂිවාගෝ නම් වෘත්තාන්ත චරිතය මෙන්ම බ්ලොක් ද මිය ගියේ දැඩි කළකිරීමකින් යුතුව සිට කායික හා මානසික අවපීඩනය හේතුකොටගෙනය.

    මෙම නවකථාවේ ද්විතීය චරිතය වන පාවෙල් ඇන්ට්පොව් නැතහොත් ස්ටෙ‍්‍රල්නිකෝව්ගේ පෞරුෂත්වය, ලියොන් ට්‍රොස්කිට (Leo Davidovich Bronshtein) බෙහෙවින් සමානය. පාවෙල් ඇන්ටිපොව් දුම්රිය කම්කරුවෙකුගේ පුතෙකි. ඔහු ලාරා විවාහ කොටගෙන යුරල් කඳුවැටිය පෙදෙස වෙත ගියේය. පළවන ලෝක යුධ සමයේ දී යුධ හමුදාවට බැඳී ජර්මන් ඉදිරි ආරක්‍ෂක වළල්ලේ සටන් වැදුණේය. සටනේ දී තුවාළ ලද ඇන්ටිපොව්, මිය ගිය බවට විශ්වාස කළ ද , පසුව ඔහු ආපසු පැමිණේ. පූර්ණ පෞරුෂ වෙනස්වීමක් ද සහිතව ස්ටෙ‍්‍රලින්කොව් යන අනවර්ථ නාමය භාවිතා කළ ඔහු තවදුරටත් උණුසුම්, කරුණාවන්ත මිනිසෙකු නොවීය. ලේ පිපාසිත, මිලිටරි කොමිසර් කෙනෙකු බවට ඔහු පත්විය.

    පාවෙල් ඇන්ටිපොව් මෙන්ම ලියොන් ට්‍රොස්කි ද මුල් අවධියේ දී බොල්ෂේවික්වරුන්ට විරුද්ධ වූ නමුදු පසුව බොල්ෂේවික්වාදය තරයේ වැළඳගත්තේය. සිවිල් යුද්ධයේ දී සුදු ආරක්‍ෂක හමුදාව සමඟ සටන් කළ රතු හමුදාව නිර්මාණය කළේ ලියොන් ට්‍රොට්ස්කිය. සිවිල් යුද්ධය පැවති අවධියේ දී නූතන සෝවියට් සංගමය හරහා දීර්ඝ ලෙස දුම්රියකින් ගමන් කළේය. නව කථාවට අනුව පාවෙල් ඇන්ටිපොව් නැතහොත් ස්ටෙ‍්‍රලින්කෝව් කුරිරු චරිතයකින් යුක්ත වූවෙකු වූ අතර ගම්මාන විනාශ කරමින් හා සුදු ‘‘හමුදාවන්ට උදව් උපකාර කළ මිනිසුන් සමූල ඝාතනය කරමින් විශේෂයෙන් ආරක්‍ෂිත වූ දුම්රියක ගමන් කළ පුද්ගලයෙකු ද විය.

    ස්ටේ‍්‍රල්නිකෝව්ගේ හොඳින් ආරක්‍ෂිත වූ දුම්රිය අහම්බෙන් මෙන් වෛද්‍ය ෂිවාගේට මුණගැසුණු විට ඔහුව අත්අඩංගුවට ගෙන ස්ටෙ‍්‍රලින්කෝව් ඉදිරියට පමුණුවන ලදී. ස්ටේ‍්‍රල්නිකෝව්, ෂිවාගෝව දුටු විගසම මෙම ප‍්‍රකට රුසියානු කවියාව හඳුනාගත්තේය. ෂිවාගෝගේ කවි හෙළා දුටු අවස්ථාවේ ස්ටෙ‍්‍රලින්කෝව් භාවිතා කල වචන පහත දැක්වේ.

    "මම ඔබගේ කවි අගය කරමින් සිටියෙමි. දැන් මවිසින් එසේ කළ යුතු නැත. අසම්මත ලෙස පෞද්ගලික වශයෙන් මා ඒවා දැකිය යුතු වේ. ඔබ එයට එකඟ නොවන්නේ ද? හැඟීම්, ප‍්‍රතිවේදයන්, ආදරය ....... මේවා දැන් හදිසියේම කුදු බවට පත්ව ඇත. මම ඔබට එකඟ නොවෙමි. ඔබ වැරදිය. රුසියාවේ පෞද්ගලික ජීවිතය මියගොස්ය. ඉතිහාසය විසින් එය මරා දමා ඇත. ඔබ මට ද්වේෂ කරනු ඇත්තේ මන්දැයි මට පෙනේ."

    ලියොන් ට්‍රොට්ස්කි හා ස්ටෙ‍්‍රලින්කෝව් යන දෙදෙනාම එකම ඉරණමකට ගොදුරු වූහ. ඔවුන් දෙදෙනාම ජනප‍්‍රසාදයෙන් පහතටම ඇද වැටුණි. බොල්ෂේවික්වරුන් විසින් මේ දෙදෙනාවම අත්හැර දමන ලදී. වෙඩි තැබීමේ භට කඳවුරකට රැගෙන ගිය විට ස්ටෙ‍්‍රලින්කෝව් සියදිවි නසාගත් අතර මෙක්සිකෝ නගරයේ දී ට්‍රොට්ස්කිව ඝාතනය කරන ලදී.

    මෙම නවකථාවේ දී පැස්ටර්නැක් හඳුන්වා දුන් තවත් චරිතයක් නම් යෙව්ග‍්‍රාෆ් (Yevgraf) ෂිවාගෝ නම් චරිතයයි. චෙකා රහස් පොලිසියට සේවය කරමින් සිටි යෙව්ග‍්‍රාෆ් වෛද්‍ය ෂිවාගෝගේ නීත්‍යානුකූල නොවූ සොහොයුරෙකි. "චෙකා" (Cheka) යනු විප්ලවයෙන් පසුව ඉක්මනින්ම අරඹන ලද රහස් පොලිස් බලකායකි. මිනිසුන් අත්අඩංගුවට ගැනීමේ බලය චෙකා සතු විය. මරණීය දණ්ඩනය ද ඇතුළුව සිරකරුවන්ට හා දඬුවම්වලට අදාළව වැරදිකරු බව හෝ නිවැරදි කරුබව තක්සේරු කිරීමේ කිසිඳු අධිකරණයමය ක‍්‍රියාවලියක් නොවීය. ඒවා අත්තනෝමතික ලෙස යොදාගන්නා ලදී. සුළු නඩු විභාග කිරීමේ හා මරණ දණ්ඩණය ක‍්‍රියාත්මක කිරීමේ බලය චෙකා බලකායට පවරා තිබුණි.

    බොල්ෂෙවික් රහස් පොලිස් සේවය වූ චෙකා පෙලීසියේ නිර්මාතෘ වූ Feeliks Dzerzhinsky හා යෙව්ග‍්‍රාෆ් ෂිවාගෝ අතර බොහෝ සේ සමානකම් තිබිණි. Dzerzhinsky රුසියානු නොව පෝලන්ත ජාතිකයෙකු විය. පැස්ටර්නැක්ගේ කෘතියෙහි යෙව්ග‍්‍රාෆ් ෂිවාගෝ අවජාතකයෙකු බව සඳහන් වේ. (රුසියානු නොවන?) Dzerzhinsky මෙන්ම යෙව්රොව් ෂිවාගෝ ද සැකකරුවන් මරණයට පත් කරමින් අභ්‍යන්තර දේශපාලනික තර්ජන මර්ධනය කරයි. වරක් Dzerzhinsky "අප නියෝජනය කරන්නේ සංවිධානය වූ ත‍්‍රස්තවාදයයි. මෙය ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කර යුතුය." යනුවෙන් ප‍්‍රකාශ කළේය. එමෙන්ම "ත‍්‍රස්තවාදය, අත්අඩංගුවට ගැනීම් හා පංති වර්ගීකරණය හෝ ඔවුන්ගේ පූර්ව විප්ලවවාදී භූමිකාවන් අනුව සතුරන් සමූලඝාතනය කිරීම සිදුවේ." යනුවෙන් ප‍්‍රකාශ කළේය.

    යෙව්රොව් ෂිවාගෝ ගේ වචන චෙකා සාමාජිකයන් සතුව පැවති බලයට අනුරූපී වේ.

    "සැබැවින්ම පොලිස් නිළධාරියෙකු ලෙස මා පවසන්නේ මිනිසෙකුගේ සොහොයුරෙකු අල්ලා ගන්න. ඔබ අඩක් නිවස වෙත ලඟා වී ඇත. මෙය මට වඩා හොඳ මිනිසෙකුට කරන ප‍්‍රශංසාවක් ද නොවේ. ඔහු වඩාත් හොඳ මිනිසෙකු ලෙස මම නොසිතුවෙමි. ඒ හැර මම, මට වඩා හොඳ පුද්ගලයන් මගේ කුඩා පිස්තෝලයෙන් මරා දමා ඇත්තෙමි."

    විශේෂයෙන් රුසියානු සිවිල් යුද්ධය පැවති අවධියේ තිබි ශාරීරික වධ හිංසා පැමිණවීම හා සමූහ ඝාතන ද ඇතුලු විශාල පරිමාණයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම හේතුකොටගෙන "චෙකා" සංවිධානය අප‍්‍රසාදයට පත්විය.

    මෙම නවකථාව තුළ සාපේක්‍ෂ වශයෙන් ගත් කළ සුළු එහෙත් ප‍්‍රබෝධමත් තවත් චරිතයක් හඳුන්වා දෙන ලදී. එනම් ලුතිනන් රාසින්ගේ චරිතයයි. රතු හමුදාවේ ගරිල්ලා ඒකකයෙන් වෛද්‍ය ෂිවාගෝව මුදාහැරීම සම්බන්ධයෙන් ඔහු නිශ්චිතවම විරුද්ධ විය. පොදු විවාදයකදී ඔහු තම අදහස පහත දැක්වෙන අන්දමින් විස්තර කරයි. හමුදා අරගලය එනම් යුද්ධය නිමාවට පත්වෙත්ම දේශපාලනික අරගලය ව්‍යාප්ත වේ. ජයග‍්‍රහණය ලද අවස්ථාවේදී හමුදාව එයට අවශ්‍ය කාර්යය ඉටුකර ඇත. අවසානයේදී ඔවුන්ගේ හමුදා වාර්තාවන් නොතකා ඔවුන්ව දේශපාලනමය අන්දමින් විනිශ්චය කරනු ඇත. (ශ‍්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා ජෙනරාල් සරත් ෆොන්සේකා අතර පවත්නා බල අරගලය සමග මෙය සසඳන්න. පැස්ටර්නැත් අසාමාන්‍ය බුද්ධිමතෙකු වීද?)

    ලුතිනන් රසීන් පළමු අශ්වාරෝහක බලකායේ කොමිසාර්වරයා වූ ක්ලිමන්ට් වොරෝෂිලොව් විය හැක. මොහු පසු කලෙක හමුදාවේ මහජන කොමසාරිස් හා සෝවියට් සමූහාණ්ඩුවේ විප්ලවවාදී මිලිටරි කවුන්සලයේ සභාපති බවට පත්විය. හමුදාවේ සේවය කළ ඔහුත් සමකාලීනයන් බොහෝ දෙනෙකුව හෙළා දකිමින් ඔහු 1930 සිදු කල ජෝසප් ස්ටාලින්ගේ මහා ශෝධනයට The Great Purge ඔහුගේ පූර්ණ සහයෝගය ලබා දුන්නේය.

    ජෝන් ලොක් හා ජෙරම් බෙන්ත්හම් සමාජය විග‍්‍රහ කළේ අලෙවිකරණ සබඳතා හරහා එකිනෙකා හා ප‍්‍රතික‍්‍රියා කරන පුද්ගලයින්ගෙන් සෑදුනක් ලෙසය. කෙසේ වෙතත් බොල්ෂේවික්වරුන්ට තවදුරටත් ඉදිරියට ගොස් විප්ලවය හරහා සහ පසුව ස්ටැලින් වාදය හරහා සමාජවාදී පරමාදර්ශී රාජ්‍යයක් නිර්මාණය කිරීමට අවශ්‍ය විය. එනමුදු බොල්ෂෙවික් විප්ලවය කෲරත්වය හා මර්දනකාරිත්වය සංකේත කොටගත් ගුලාර්ග් ශ‍්‍රම කඳවුරුවලට මිනිසුන් මිලියන ගණනක් එක් රැස් කිරීමට සිදු කළ යෝධ සමාජීය තෙරපීමක් ලෙස පැස්ටර්නැක් දුටුවේය.

    1957 දී පැස්ටර්නැක්ගේ නවකථාව වූ ඩොක්ටර් ෂිවාගෝ කෘතිය ප‍්‍රකාශයට පත් කිරීමට තැත් කළ අවස්ථාවේදී එම කෘතිය රුසියාවේ වසර 30 ක කාලයකට තහනම් කරන ලදී. එක් අවස්ථාවකදී සෝවියට් සමාජක‍්‍රමය මගින් පැස්ටර්නැක් බොල්ෂෙවික් සමාජයට නොගැළපෙන්නෙකු ලෙසින් සළකන ලදී. ද්‍රෝහියෙකු ලෙස සළකා රුසියානු බලධාරීන් විසින් ඔහුව වාරණයට ලක් කරන ලදී. 1958 වසරේ දී පැස්ටර්නැක් සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගන්නා ලදමුත් සෝවියට් රාජ්‍ය පාලනය මගින් ඔහුට කරන ලද දැඩි බලපෑම හේතුකොටගෙන ඔහුට එය ප‍්‍රතික්ෂේප කිරීමට සිදු විය. 1987 දී සෝවියට් ලේඛකයන්ගේ සංගමය මගින් ඔහුගේ මරණයෙන් පසුව පැස්ටර්නැක්ව ඇගයීමට ලක් කලේය. අවසානයේ දී සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීමෙන් පසුව 1988 දී ඩොක්ටර් ෂිවාගෝ කෘතිය රුසියාවේදී ප‍්‍රකාශයට පත් කරන ලදී.

    පිළිතුරු සෙවීමට ඇති සංකීර්ණ සදාචාරාත්මක ප‍්‍රශ්න ඉතිරි කරමින් පැස්ටර්නැක් අප හැර ගියේය. එහෙත් විප්ලවයට අදාළ පැස්ටර්නැක්ගේ අභ්‍යන්තර අදහස් ඇලෙක්සැන්ඩර් බර්ක්මන්ගේ ප‍්‍රකාශ හා සැසඳේ. කිසිඳු විප්ලවයකින් මේ වනතෙක් නිදහසේ සත්‍ය ස්වභාවය සොයාගෙන නැත. කිසිඳු කෙනෙකු ඒ කෙරේ සෑහෙන විශ්වාසයක් තබා නැත. මර්දනය, වධහිංසා පැමිණවීම, පළිගැනීම හා ප‍්‍රචණ්ඩත්වය යන මේවා අතීතයේ සිදු වූ සියලූ විප්ලවයන්හි ගුණාංග ලෙස පැවති අතර විප්ලවයට අදාළ මුල් අරමුණු මින් පරාජය වී ඇත. නව ක‍්‍රම හා විධි අත්හදා බැලීමට කාලය එළඹ ඇත. සමාජ විප්ලවයක් යනු නිදහස හරහා මිනිසාගේ විමුක්තිය ළඟාකර ගැනීම වන අතර, නිදහස කෙරේ අප තුළ විශ්වාසයක් නොමැති නම් විප්ලවය යන්න ඒ තුළම අසත්‍යයක් හා පාවාදීමක් බවට පත්වෙනු ඇත.

    ["Boris Pasternak -the Man who saw the other side of the Bolshevik Revolution" ලිපියේ පරිවර්තනය.]

    වෛද්‍ය රුවන් එම්. ජයතුංග
    පරිවර්තනය - ඒ. එම්. වික්‍රමසිංහ



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    පචිච වඩම් මල් පීදුනු සේල් වීදියෙ දිගටම
    Loan කිරිල්ලි හෙමිහිට පියා සලන්නී
    ලෝභ බැඳුනු සේලයකට හෙටිටු කරන්නී

    හිසට සෙවණ 'ණය නිවනකි'
    රෝද දෙකත් 'ණය පැදියකි'
    ඒ අතරට 'යුතුකම් වැසි' කඩා හැලෙන්නේ
    සීටිටු අතමාරු වලින් හිස නොතෙමන්නී

    ජංගමයගෙ විලාපයෙන් හිරු නොදකින උදෑසනින්
    ලාබ බත් පතට සෙනෙහස තියා ඔතන්නී
    පුතු ගෙ පොත් අතර ඈගේ පැතුම් තබන්නී

    ඉමිටේෂන් විලාසිතා අතර රැඳෙයි සුහද කථා
    කෑම පැයේ එලියට යන මගක් සොයන්නී
    බිල්පත් අත් බෑගය තුල සිරකරලන්නී

    අය වැය දින පොත ලියලා
    take-a-way කෑම තබා
    වාරික වශයෙන් ගෙවෙනා පුටුවෙ ඇදෙන්නී
    ණයට ගත්ත ටෙලි සිත්තම් වල කිමෙදින්නී

    උණුසුම දැනුනට පස්සේ
    සුපුරුදු ගෙරවුම් සද්දේ
    අඳුරේ නෙතු දල්වාගෙන සිහින මසන්නී
    ඉඳිකටු තුඩ ඇනුන සිතම පිරිමැද ගන්නී

    උද්‍යෝගී පලිහක්කාර



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    නා කපන වැසි මැද
    ගල් මුල් මතින් වැටෙමින
    මඟතොට අසාගෙන
    දිව එන ලඳුනි කොයිබ සිට?

    වග වලස් උවදුර
    විසකුරු සතා තන යට
    මැසි මදුරු අතවර
    මඟහැර යන්ට හැකිවෙද?

    ගොම්මන් සම‍යමෙහි
    තනිකම් දෝස අඩු නැති
    කැට මුගුරු අත රැඳි
    පල්හොරු ගමන අහුරති

    නුඹ මුවැත්තියක බඳු
    නෑඹුල් පුසුඹ ගත සතු
    පැලේ මා පමනකුදු
    වනේ මින් ඔබ්බට නොයා යුතු

    මුත් සිරුර හැඩි දැඩි
    මම කටුකැලේ ගොවි වෙමි
    අලි ඇතුන් එලවමි
    ගිනි ලෑ හේන වපුරමි

    නැත සුමුදු ඇතිරිලි
    ඉන අඳිමි රලු අමුඩ කෙටි
    උනා තෙත සලුපිලි
    කඩක් ඇත, ඉන් වසාගන් විලි

    අල කො‍ඬොල බුදිනට
    වෙනිවැල් සා පිපාසෙට
    කබල ගිනි තපිනට
    දිවි සම වැතිර නිදනට

    නුඹ නැගනියක මෙන
    නැත බියගන්ට කාරන
    රැය පහන් කල මැන
    ගමට යා හැක හෙට උදෑසන!

    [කඳුළු මිටියාවතින් නෙලූ කවි| 1992 දෙසැම්බර්]

    දර්ශන මේදිස්



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    දිවයිනේ සරසවි කිහිපයක්ම මාසිකව පැවැත්වෙන සනාතන සභා රැස්වීම් සඳහා ප‍්‍රමාණවත් ශාලා පහසුකම් නැතිකමින් බරපතල ප‍්‍රශ්නයකට මුහුණ පා ඇති බව මේ දිනවල වාර්තා වෙයි. 2009 නොවැම්බර් මාසයේදී මහාචාර්ය තනතුරු සඳහා අයදුම් කළ සියලූ දෙනාටම මහාචාර්ය තනතුරු පිරිනැමීම නිසා මේ ප‍්‍රශ්නය උද්ගත වී තිබේ. ප‍්‍රමාණවත් ඉඩකඩ සහිත රැස්වීම් ශාලා ඉදි කිරීමට වි. වි. ප‍්‍රතිපාදන කොමිසම භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා ඇතත් ඊට කැබිනට් අනුමැතිය ලැබී නැත්තේ විශාල කැබිනට් මණ්ඩලයක් ඇති රටකට මෙතරම් මහාචාර්ය පදවි අවශ්‍ය නොවන බවට අමාත්‍යවරු කීප දෙනෙක් කරුණු දක්වා ඇති බැවිනි.

    මේ හේතුවෙන් සරසවි කිහිපයක් ම තමන්ට ආසන්න මහජන ක‍්‍රීඩාංගන හා ශාලා සනාතන සභා රැස්වීම් සඳහා වෙන් කොට ගෙන තිබේ. කැළණිය සරසවිය මේ සඳහා ආචාර්ය මර්වින් සිල්වා ක‍්‍රීඩාංගනය වෙන් කොටගෙන ඇති අතර රුහුණු සරසවිය ඒ සඳහා-

    උයන්වත්ත ක‍්‍රීඩාංගනය තෝරා ගෙන ඇත. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඒ සඳහා නවනගර ශාලාව තෝරාගෙන තිබේ.

    ශ‍්‍රී ජයවර්ධනපුර සරසවියේ පීඨාධිපතිවරයෙක් පැවසුවේ ඒ සඳහා නුගේගොඩ ආනන්ද සමරකෝන් පිට්ටනිය තෝරා ගෙන ඇති බවයි. එහෙත් වැසි දිනවල එහි රැස්වීම් පැවැත්වීම අපහසු බැවින් මහරගම ජාතික තරුණ සේවා සභාවේ ප‍්‍රධාන ශාලාව වෙන් කර ගැනීමට සාකච්ඡා පැවැත්වෙන බවද ඔහු පැවසීය. රජරට විශ්වවිද්‍යාලය දැනට තාවකාලික පිළියමක් වශයෙන් මෛත‍්‍රීපාල සේනානායක ක‍්‍රීඩාංගනය තෝරා ගෙන ඇත. සනාතන සභාව ඓතිහාසික උරුමය කියා පාන තැනක රැස්විය යුතු බව රජරට සරසවියේ මහාචාර්යවරු වැඩි දෙනෙක් පෙන්වා දී ඇති බැවින් ඒ සඳහා ලෝවාමහාපාය ප‍්‍රතිසංස්කරණය කිරීමට යෝජනා වී තිබේ. මේ පිළිබඳව අටමස්ථානාධිපති හා පුරාවිද්‍යා කොමසාරිස් සමග සාකච්ඡා පැවැත්වෙන බව රජරට සරසවි ආරංචි මාර්ග සඳහන් කරයි.

    රජය මේ ප‍්‍රශ්නයට විසඳුම් නොදී සිටීමෙන් පිරිනැමූ මහාචාර්ය පදවි ඉවත් කර ගැනීමට බලධාරීන් ක‍්‍රියා කරනු ඇතැයි ආචාර්යවරුන් අතර බියක් ඇති වී තිබේ. එළඹෙන අපේ‍්‍රල් 01 දා අන්තර්විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ සංගමය පිහිටුවා ගනිමින් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට මේ අනුව මහාචාර්යවරු අදහස් කරති.

    රංජිත් අමරසිංහ



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    ලෝකෙ තියෙන ලොකුම පාර
    ගලහ පාර කියල මට හිතුණා
    දවසක් මම
    ඔයා බලන්න ආපු
    හැන්දෑවක

    එදා තමයි ලෝකේ තියෙන
    ලොකුම වැහි බිංදු වැටුණෙත්

    ලොකු මීදුම් පලසක් මත
    පාවෙවී තිබුණ
    ලෝකෙ තිබුණ ලොකුම සරසවිය
    තුම්මහලෙන් යුතු

    මං ඔයාට එව්ව
    ලෝකේ තියෙන ලොකුම පණිවුඩය
    "මං ඔයා බලන්න ආව" කියන

    ලෝකේ තියන
    ලස්සනම හිනාව මූණේ ගාගෙන
    ඔයා පාවෙලා ආවා මා දිහාට
    ලෝකෙ තියෙන වේගවත්ම ගමනින්

    හුදෙකලාවක් එළිපෙහෙළි කරල
    අපි හදා ගත්ත
    ලෝකේ තියෙන ලොකුම මොහොත
    ඒ හරහා ගලා ගියා
    සෙනෙහස පිරි
    ලෝකෙ තියෙන ලොකුම ගංගාව
    වචන රැළි මුදු සිනා පෙණ මුසු

    වැදගත්ම දේ තමයි
    ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්න ආව අපිට
    දුරස්වීම් තාප්ප හැදුන අපි අතරෙ
    ගේට්ටුවක්වත් නැති ඒ
    තාප්ප මුදුන් වල තිබුණ
    ලෝකේ තියෙන ලොකුම වීදුරු කටු

    මා පසුකර වයසට යන
    ලෝකේ තියෙන ලොකුම
    සැමරුම් සෙල් පිළිම මැද
    මට හිතෙන්නෙම
    ලෝකෙ ඉන්න පුංචිම කෙනා මං කියලා

    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    මහින්ද රාජපක්ෂ ටයිම්ස් බලගතු සියෙයන් ඉවතට!



    ඈ බං
    කෝ බං
    නෑ බං
    හිටියනෙ බං
    ඇයි බං
    මන්ද බං
    මැරුණා බං
    .......
    .......
    පව් බං

    නෝබොඩි බට් මී



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    පුතේ...... උඹ උපන් දා...
    "අහිංසක" උපන් දා වගේ
    ලෝකයේ හතරදිග්බාගයේ කඩු කිණිසි දිලිසුණිද නොදන්නෙමි!
    මුත් එදා....
    අපේ කුස්සියේ නම් මන්න පිහි දිලිසුණා - කියා උඹෙ නෑදෑයො බය වුණා....

    පුතේ උඹ ටිකෙන් ටික ලොකු වුණා - මලක් සේ පිබිදුණා
    "අහිංසක" වාගේම උඹ රුවින් නැණ ගුණින් සපිරුණා....

    දිසාපාමොක් ගුරුන් ලයිට් කණුවල එල්ලිලා ඉඳන්
    සිප් දෙන්ට උඹට ඇමතූ නිසා
    තක්සලා කඩේ උඹ සුවච ගෝලයෙකු වී ඉපදුණා
    දිසාපාමොකැදුරුට වත්සපන කෙරෙන්නට මිස උඹට සිප් ලබන්නට වෙලා මදි වුණා

    තක්සලා කඩේ අත ඇර දමා- පෑලදොර ළඟ උඹේ හිත තියා
    අහිංසක වෙස අතැර නික්මුණේ ඒ නිසා වෙන්ඩ ඇති

    උඹ බෝම දරුණුයිලු - දැන් අහිංසක නැතිලු
    ඇහෙන කොට මගේ හිත ඇවිලුණා
    කුරිරු වෙස හැර පියා අඟුල්මල් වෙසැති නුඹ - යළි අහිංසක කෙනෙකු කරන්නට
    බුදුන් නැති මේ සමේ කවුරු නම් සමත් වෙද?

    මුත් පුතේ....
    උඹෙ දෙවැනි බුදුන්ගේ ගෑණු හිත දැඩි වුණා..

    රතැති ලේ සුදු පාට කර පෙමින් උඹට පෙව්වෙම් මෙමම්
    පොඩි අතින් අල්ලලා බුදු සාදු වඳින්නට පුරුදු කෙරුවෙම් මෙමම්
    පළමු සිල්පදය ඒ අතින් උඹ කැඩු නිසා කඳුළු බිව්වෙම් මෙමම්
    උඹෙ අතේ රතු පාට, මගේ කඳුළකින් සෝදනු පිණිස අද මෙසේ ආමි මම්

    මගෙ පුතේ,
    අඟුල්මල් වෙස අතැර - යළි "අහිංසක" වෙන්ඩ
    නියත විවරණ ගනින් දැන් මගෙන්....

    [සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ
    10 වන ශ්‍රේණිය, මධ්‍ය මහා විද්‍යාලය- මහරගම]


    සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    එය නොයෙක් ආකාරයෙන් කියවිය හැකි සිනමා කෘතියක් බව පසක් කර ඇත්තෙමි. එය බොහෝ දෙනෙකු විසින් කියවන්නට ඉඩ ඇත්තේ මිනිසෙකුගේ අභ්‍යන්තරය පිළිබඳ සංකීර්ණ යථාර්ථයක් කියන චිත්‍රපටියක් ලෙසය. මනෝ විශ්ලේෂණීය සිනමා කියවීමකට ඇරයුම් කරන සංඥා එහි සෑම තැනකම ඇත. එහෙත් ඒ පහසු ප්‍රවේශය අත්හැර මේ විශිෂ්ට කෘතිය පශ්චාත් යටත් විජිත කතිකාව තුළ ස්ථානගත කර ඉන් නැවුම් අර්ථ මාලාවක් මුදා හළ හැකිදැයි බලන්නට මම තැත් කරමි. නිධානය සිනමා කෘතිය නොයෙක් වර නරඹා ඇති මම මේ රචනය කරන්නට සැරසෙන විට සත්‍යජිත් මාඉටිපේ එවූ-

    ඊමේල් පණිඩිඩයක අඩංගු වූ අචාර්ය ලෙස්ටර් ඡේම්ස් පීරිස්ගේ මෙම කියමන උපුටා දක්වමින් මෙම රචනය අරඹන්නට කැමැත්තෙමි.

    "I feel certain that film-makers of the future will be more subtle, more elliptical, more oblique in their narration and that all traces of the literary and the theatrical will be banished from their work"
    -Lester James Peries


    "අනාගත සිනමාකරුවන් සිය ආඛ්‍යයානයේදී වඩා සියුම් ද වඩා සංදිග්ධ හා වක්‍රෝක්ති ගුණයෙන් යුක්තද වෙනු ඇතැයි කියාද සාහිත්යිකත්වය පිළිබඳ හා නාට්‍යමයත්වය පිළිබඳ සියලු සලකුණු ඔවුන්ගේ සිනමා නිර්මාණවලින් පිටමං කරනු ඇතැයිද මම නිසැකව හඟිමි."
    -ලෙස්ටර් ඡේම්ස් පීරිස්


    ලෙස්ටර් අනාගත සිනමාකරුවන් වෙත දකිනු රිසි වූ මේ කරුණු නිධානය නම් ඔහුගේම විශිෂ්ට කෘතිවෙත මීට දශක ගණනාවකට පෙර දකින්නට තිබුණු බව කිව යුතුය. ඔහුගෙන් ධර්මසේන පතිරාජ හා ප්‍රසන්න විතානගේ හිමි කරගන්නා ඒ සිනමාත්මකතා හිමිකරගන්නා අලුත් පිරිසක් දකින්නට මා තුළ වන කැමැත්තද මේ රචනයෙන් ප්‍රකාශයට පත් වෙයි.

    කෙටිකතාවෙන් සිනමාවට

    නිධානය සිනමා කෘතිය හා එයට පාදක වන කෙටිකතාව හා සසඳා බලන විට ඇති වන්නේ පුදුමයකි. එය ඉතා දුර්වල කෙටිකතාවක් යැයි කිව හැකි අන්දමේ එකකි. එම කතාව පාදක කරගෙන කරන ලද මෙම සිනමා නිර්මාණය හා එම කෙටිකතාව අතර ඇත්තේ ශ්‍රේෂ්ඨත්වය හා අවිශිෂ්ටත්වය අතර වෙනසයි. එම සරළ කතාව විශිෂ්ට සිනමා කෘතියක් බවට පත් වී ඇති සැටි වටහා ගැනීමේදී අපගේ සිත වහාම ඇදී යන්නේ එම කතාව සිනමාකරුවා විසින් සංදර්භගත කරන ලද ආකාරය වෙතයි. එක් තනි පුද්ගලයෙකු වටා ගෙතුණු සරල කතාවක් එවැනි විශිෂ්ටත්වයක් ඇති කරගන්නා ලෙස අන්තර්- සංඥාර්ථවේදීමය පරිවර්තනයකට (inter-semiotic translation) ලක් වන්නේ කෙසේද?

    අන්තර්- සංඥාර්ථවේදී පරිවර්තනය යනු එක් සංඥා ක්‍රමයකින් රචිත පඨිතයක් වෙනත් සංඥා ක්‍රමයකින් රචිත පඨිතයක් බවට පෙරලීම බව රෝමන් යාකොබ්සන් කීවේය. කෙටිකතාව වාග් සංඥාවෙන් රචිත පඨිතයකි. සිනමාවේදී කෙරෙන්නේ එය ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංඥාවෙන් කෙරුණ පඨිතයක් බවට පත් කිරීමයි. මෙම පරිවර්තනය ඉතා විශිෂ්ට ලෙස කෙරී ඇති බව මා නිධානය නැරඹූ තුන් අවස්ථාවේදීම මට සිතිණ. මා එය තුන් වෙනි අවස්ථාවේදී නැරඹුවේ කලා කෘති කියවීමේදී භාවිත කළ හැකි න්‍යායික ප්‍රවේශ පිළිබඳ සෑහෙන තරම් අවබෝධයක් ඇත්තෙකු ලෙසය. ඒ නිසා මම එවර තවත් බොහෝ දේ ඒ සිනමා කෘතිය වෙත දුටුවෙමි. මෙම රචනයේදී මා කරන්නේ ඒ අලුතින් දුටු දේ සැකෙවින් විස්තර කිරීමයි.

    ඒ අලුතින් දුටුදේ ඔබට විස්තර කිරීමේදී මට ගත හැකි උචිතම න්‍යායික ප්‍රවේශය පශ්චාත් යටත් විජිත න්‍යාය යැයි මම සිතමි. විශිෂ්ට කලා කෘතිය වෙත විවිධ න්‍යායික කතිකා ඔස්සේ එළඹ ඒ කෘතියෙහි අර්ථමය විභවතා හෙළි කරන්නට පුළුවන. විවිධ කතිකා වෙත ආරාධනා කරන ගුණයම විශිෂ්ට කලා කෘතියේ ගුණයකි. නිධානය කෙටිකතාවට නැති එම ගුණය එම කෙටිකතාවේ අන්තර්- සංඥාර්ථවේදීමය පරිවර්තනය වන නිධානය සිනමා කෘතියට ලැබුණේ කෙසේද?

    කෙටි කතාවෙන් කථකයාට

    කෙටිකතාවේ ප්‍රථම පුරුෂ කථකයා තමා ගැන කියන්නේ තමන් ණය ගැත්තෙකු වුවද අසූ දහසක වත්කමක් ඇත්තෙකු බව පමණි. ඔහුට මෝටර් රථයක් ඇති බවත් අපි දැන ගනිමු. මෙම ඉතා කුඩා කරුණු දෙක දෘශ්‍ය මාධ්‍යයට පරිවර්තනය වන්නේ ඉතා සවිස්තරව පමණක් නොව සමස්ත සිනමා කෘතියම අලුත් ආකාරයකට සංදර්භ ගත කරන ලෙසය. මෙය ඇරඹෙන්නේ නාමාවලියේ සිටමය. සිනමා කෘතියේ අධ්‍යක්ෂකගේ නම වැටෙන තැනම වැටෙන්නේ කතා නායකයාගේ නිවසේ රූපසටහනකි. එය සිනමා ජායාරූපය නොවේ. රේඛා චිත්‍රයකි. ඒ නිසා එය වාග් සංඥාව හෙවත් කෙටිකතාව පරිවර්තනය වෙමින් පවතින අවස්ථාව අඟවයි. ඉන් අනතුරුව අප ආඛ්‍යයාන අවකාශයට එන විට, එනම් මීසොන් සේන් වෙත එන විට දකින්නට ලැබෙන්නේ කතා නායකයාගේ ඡායාවකි. කතා නායකයා නොහොත් නළුවා දකින්නට ලැබෙන්නේ ඉනුත් අනතුරුවය. ඔහු අප මුලින්ම දකින විට ඔහු සිටින්නේ ඔහුගේම කතාව ලියමිනි. මෙය අපූරු සිනමාත්මක උපක්‍රමයකි. ඔහු වචනයෙන් ලියන කතාව ඒ මොහොතේම සිනමාකරුවා රූපයෙන් ලියයි. ඔහු තම කතාව ලියා තබා සිය දිවි නසා ගන්නා බව කියා අවසන් වන විට කැමරාව නිවසින් ඉවතට විත් ඔහු සිටින නිවස අපට ඈත සිට දකින්නට ඉඩ සලසයි.


    තමා පැරණි දෙයට ආසා කරන බව කථකයා කියද්දීම අපට දකින්නට ලැබෙන්නේ පැරණි නිවසකි. සිනමා පටය මුලින්ම නිර්මාණය වූ 1972 වසරේ දැකිය හැකි පොදු ගෘහ නිර්මාණ ලක්ෂණවලින් මිණුවද පැරණි බවම අඟවන නිවසකි. ඉක්බිතිව කැමරාව හා නිවස අතරට එන දැවැන්ත ගසද ඒ පෞරාණිකත්වය තව දුරටත් තීව්‍ර කරයි. පැරණී බව නිසා සේම මේ නිවස අවට දවාලේද අන්ධකාර බව පවසන කථකයා ඒ නිවස තුළ හා අවට ගුප්ත බවක් ඇති කරයි. නැවතත් නිවස ඇතුළට යන කැමරාව එහි ඇතුළත වන පාලුවද පැරණි බවද ජන ශ+න්‍ය බවද අඟවයි. කලෙක සාද කතාවෙන් යුතු ප්‍රභූවරුන්- විශේෂයෙන්ම ස්ත්‍රීන් දරා සිටින්නට ඇතැයි සිතිය හැකි පුටු සෙටි දැන් හිස්ය. අහුමුළුවල සිටි මළ ගිය සතුන් පුළුන් පුරවන ලද සතුන් (stuffed animals) හිච්කොක්ගේ සයිකෝ චිත්‍රපටියේ වැනි ගුප්ත බවක් ගෙන දෙයි. එසේම ඒ පුළුන් පුරවන ලද සතුන් මගින් පෞරාණිකත්වය පිළිබඳ ඔහුගේ ඇල්මද සංකේතවත් කෙරේ.

    කථකයා කියන්නේ හොඳටම ණය වි මිය ගිය තාත්තාගෙන් තමන්ට උරුම වූ නිවස විකුණා ණය පියවීමට ඔහුට හිත හදා ගත නොහැකි වූයේ මන්දැයි ඔහුට සිතා ගත නොහැකි බවයි. ඊ ළඟට ඉතා වැදගත් තොරතුරක් ඔහු අපට කියයි. එනම් මේ ගෙයි නඩත්තුවත් තමන්ගේ පවුලේ නම්ඹුවට සරිලන සේ ජීවත් වීමටත් අවශ්‍ය මුදල් සෙවීමට ඔහු රජයේ කොන්ත්‍රාත් කරන බවය. ඔහු එසේ කියන විට ඔහුගේ කාමරයේ පොත් අතර තබා ඇති පාලමක රූපයක්ද අපට දකින්නට ලැබේ.

    ඉන් අනතුරුව කථකයාද කැමරාවට ඔහුගේ ළමා කාලයට යයි. එහිදී ඔහු කතන්දරයක් අසමින් නින්දට වැටෙනු අපි දකිමු. මේ කතන්දරයේ එන්නේ ඉපැරණි ලෝකයක් ගැනය. ඔහු යළි තරුණ වියට එන විට පුස්කොළ පොතක්- එනම් තවත් ඉපැරිණි දෙයක්- ගැන ඔහු අපට පළමු වරට කියයි. පැරණි නිවසක ජීවත් වන පැරණි බවට ආසා කරන ඔහු පැරණි කතන්දර අසමින් හැදුණු වැඩුණු ඔහු සිය උපදේශකයෙකු ලෙස තබා ගන්නේ පැරණි ජ්‍යෝතිෂ ඇඳුරෙකි.

    එහෙත් මෙම රූපාවලියට හසුවන ඔහුගේ ඇඳුම පැළඳුම පොත් පත් ආදියෙන් පෙනෙන්නේ යටත් බටහිර අධ්‍යාපනයෙහි පලයක් වන මිනිසෙකි. එහෙත් ඔහු ඒ ලෝක දෙකෙන් කිසිවකට සම්පූර්ණයෙන්ම අයිති නැති බවද අපට පෙනෙන්නට පටන් ගනී. සිනමා කෘතියේ ඉතිරි කොටස දිග හැරෙන්නේ මේ බිඳුණු විඥානය සහිත මිනිසාගේ ජීවිතයේ ඉතිරි කොටස අප හමුවේ තැබීමටයි. මෙම බිඳුණු විඥානය ඉතා සියුම් ලෙස එකිනෙක වෙලී පවතින බවද විටෙක ළං වන විටෙක ඈත් වන විටෙක සුව වන විටෙක යළි තුවාල වන පැල්ම සහිත මෙම විඥානය ඇඟවීමට සංගීතයද අපූරුවට භාවිත වෙයි. සංගීතය මගින්ද නිර්මාණය කරන්නේ වයලීනයත් බෙර හඟත් දෙකම මුසු වූ විඥානයකි. එය විලී අබේනායකගේ විඥානයේ අඩවි දෙකක් ශ්‍රව්‍ය සංඥා මාලාවක් බවට පත් කරන්නට සමත් වෙයි.

    පශ්චාත් යටත් විජිත මොහොත

    කෙටිකතාකරුවා විසින් සපයනු නොලබන මේ තොරතුරු සියල්ල සිනමාකරුවා විසින් ගොඩ නගන සංඥාර්ථවේදී පඨිතයට ඇතුළ් වෙයි. මේ සංඥාර්ථවේදී පඨිතය ඉතා සරල කෙටිකතාවක් නිශ්චිත ඓතිහාසික ව්‍යූහයක් තුළ ස්ථාන ගත කරන ලද ආඛ්‍යානයක් ගොඩ නැගීම සඳහා යොදා ගැනේ. මෙම ව්‍යූහය අන් කිසිවක් නොව මෙරට යටත් විජිතවාදයේ ඉහළ අවස්ථාවයි. ඓතිහාසික වශයෙන් සිනමා කෘතියේ එන මීසෝන් සේන්- හෙවත් අධ්‍යක්ෂවරයා කැමරාව ඉදිරිපිට තබා ඇති සියල්ල - ස්ථාන ගත කළ යුතු වන්නේ එක්කෝ 19 වැනි සියවසේ ඉතාම කෙළවරටය. නැති නම් විසි වැනි සියවසේ ඉතාම මුලටය. මේ වූකලි මීසෝන් සේන් වෙත දැකිය හැකි සංඥා ඇසුරින් මා බසින නිගමනයකි. තමාට මෝටර් රථයත් ඇති බව කෙටිකතාවේ කථකයා කියතත් සිනමා කෘතියේ දකින්නට ලැබෙන්නේ අශ්ව කරත්තයයි. එහෙත් ගංගා දෙපස යා කර පාලම් හැදෙමින් තිබෙන නිසා යටත් මහා මාර්ග ඵද්ධතිය ඉඳි වෙමින් තිබෙන අවස්ථාව අපට පෙනෙයි. ඉතා වියුක්ත සර්වකාලීන කතාවක් ලෙස කෙටිකතාකරුවා ඉදිරිපත් කරන කතාවක් ලංකා ඉතිහාසයේ යටත් විජිත සංදර්භය තුළ පිහිටුවීම මෙම කතාවේ අර්ථමය විභවතාව පෘථුල කිරීමට සිනමාකරුවා කරන වැදගත්ම කාර්යයි.

    යටත් විජිතවාදියා නිර්යුරෝපීය ලෝකයට එන්නේ ඒ ලෝකයට නූතනත්වයද ශිෂ්ටාචාරයද ගෙන විත් ඒ ලෝකය ඓතිහාසික සංවර්ධන ගමන් පථයේ ඉදිරියට තල්ලු කිරීමටය. ලෝකය ශිෂ්ටාචාරකරණය පිළිබඳ වගකීම යුරොපීය සුදු මිනිසාට පැවරී ඇති බව යටත් විජිතවාදියා විශ්වාස කළේය. ඒ නිසා ඔහු සැලකූයේ නිර්යුරෝපීය ලෝකය ශිෂ්ටාචාරය වෙත රැගෙන යාම ඉරණමින්ම තමන්ට පැවරී ඇති බවයි. යටත් විජිතවාදීයා යුරෝපයේ සිට ශිෂ්ටාචාර කරන ව්‍යාපෘතිය පිළිබඳ දෘෂ්ටිවාදය රැගෙන යුරෝපීය අග නගරවලින් පිට වන විට ඒ නගර සාපේක්ෂ ඉහළ ධනේශ්වර- කර්මාන්ත ආර්ථීකයට එළඹ තිබිණ. ඒ නගර සාපෙක්ෂ වශයෙන් ඉහළ නාගරික ජන ගහණ සංයුතියකින් යුක්ත විය. ඒ ප්‍රදෙAශවල ජනයා දේව නිර්මාණවාදය වැනි ආගමික ලෝක දෘෂ්ටියකට එරෙහිව මිනිස් තර්ක බුද්ධිය කේන්ද්‍ර කරගත් සාපේක්ෂ වශයෙන් ලෞකික යුගයකට එළඹ තිබිණ. මේ නිසා නිර්යුරෝපීය ලෝකයට යන විට යුරෝපීය යටත් විජිතවාදියාට දක්නට ලැබෙන්නේ එසේ යුරෝපීය ආත්මීයත්වය(self) සෑදූ සියල්ලේ අන්‍යයත්වය(Otoher) යි. ඒ නිසා යටත් විජිත ශිෂ්ටාචාර කරන ව්‍යාපෘතිය නිවැරිදි යැයි විජිතවාදියාට ඒත්තු ගැන්වීමට මේ නිර්යුරෝපීය යථාර්ථයට පුළුවන. ඔහුගේ දෘෂ්ටියෙන් බලන කල පෙනෙන්නේ යටත් විජිතයේ සියලු සංඥා ඉල්ලා සිටින්නේ ශිෂ්ටාචාරය බවයිි.

    මා ඉහතදී වචනයට නගා දැක්වූ නිධානය සිනමා පටයේ සංඥාර්ථවේදී පඨිතය තුළින් පෙනෙන හැටියට විලී අබේනායක මුළුමනින්ම පාහේ හැදී වැඩී තිබෙන්නේ යටත් විජිත ශිෂ්ටාචාරකරණ ව්‍යාපෘතිය තුළය. ඔහුගේ සුදු යුරෝපීය ඇඳුම, ඒ ඇඳුම විසින්ම ශික්ෂිත ගමන බිමන, හැසිරීම, ආචාර සමාචාර, සමහර තීරණාත්මක දර්ශනවලදී රූප රාමුවේ හරි මැදට එන මැනවින් මදින ලද සපත්තු අපට අඟවන්නේ යටත් විජිත නූතනත්වයේ දෘෂ්‍යමානය ඉතා පහසුවෙන්ද හුරුබුහුටි ලෙසද සිය ස්වදේශික ශරීරය මත දරා සිටින මිනිසෙකි. සමහර විට සිංහල සිනමාව තුළ බටහිර ඇඳුම වඩාම ශෝබන ලෙස දරා සිටි නළුවා විය හැකි ගාමිණි ෆොන්සේකා විලී අබේනායකගේ මේ බාහිර පෙනුම අප හමුවේ මවන්නේ ඔහුගේ- එනම් අබේනායකගේ- යටත්විජිත පසුබිම මැනවින් ඒත්තු යන පරිදිය. දැවැන්ත වලව්වක් වැනි ඔහුගේ නිවස යටත් විජිත වලව්වක් හෙවත් colonial mansion එකකි. මෙම නිවසද සිනමාපටයේ එන අප්‍රාණික නළුවෙකු වැනිය. විලීගේ පියා, මිය ගිය මවගේ ඡායාරූපය ආදිය මගින් මැවෙන්නේ යටත් විජිත නූතනත්වයේ පළමු වැනි පරම්පරාවේ ස්වදේශිකයන්ය.

    නිවස ඇඳුම පැළඳුම ගෙදරදොර පිළිබඳ "නූතන" සංඥා මාලාවකට පසු අපට හිටි වනම දකින්නට ලැබෙන්නේ පුස්කොළ පොතකි. ඒ පුස්කොළ පොතද නිධන් වදුලකි. යක්ෂයන් බහිරවයන් පිළිබඳ අඩවියක් සිහි කරන පුස්කොළ පොතකි. ත්‍රිපිටකය හෝ බුදු දහම හෝ සම්භාව්‍ය සාහිත්‍ය අඟවන පුස්කොළ පොතක් නොවේ. සිය පැරණි නිවස සිය විඥානයෙන් ඉවත් කර නිදහස් විය නොහැකි යැයි අබේනායකගේ කථනය ඔස්සේ කිීමද ඔහුගේ සුපිරිසිදු හා ශෝභාසම්පන්න නූතන බටහිර ඇඳුමද අතර අප මේ දක්වා දුටු නොගැලපීම උච්චස්ථානයකට එන්නේ මේ නිදන් වදුළ එළියට පැමිණීමත් ඔහුගේ නිරන්තර උපදේශකයෙකු ලෙස ජෙේ‍යා්තිෂඥයෙකු මතු වී ඒමත් නිසාය. විද්‍යාත්මක තර්කනය මිනිස් තර්ක බුද්ධිය ලෞකික ජීවිතය සහිත නූතනත්වය ගෙනැවිත් නිර්යුරෝපීය ලෝකය ශිෂ්ටාචාරකරණය කරන්නේ යැයි කියන යටත්විජිතවාදය මෙතැනදී අසමත් වී ඇති බව බාහිර පෙනුමෙන් ඒ ශිෂ්ටාචාරකරණයම සංඥාගත කරන විලී අබේනායක තුළම හමුවන මේ දෙබිඩි බවෙන් පෙනේ. මේ මතු පිට හා ඇතුළ අතර පරතරය යටත් විජිතකරණයේ පලයක් බව අපට වහා දැනීයයි.

    ඔහුගේ කායික චර්යාවේදී විලී අබේනායක ඉතා නූතනය; දැඩි සේ බටහිරකරණය වූවෙකි. ඔහු බිල්ලට යොදා ගත හැකි නියම තරුණිය සොයමින් ස්ත්‍රීන් සමග උයන්වල සැරිසරන්නේ ලන්ඩන් නගරයේ ස්ත්‍රී දඩයමේ යෙදෙන කැසනෝවා කෙනෙකු ලෙසය. චිත්‍රපටයේ මනරම් දර්ශනයක් කාල්පනික ආලිංගන නැටුමේදී සිය ශරීරය හසුරු වන ශික්ෂිත ශෝභාව මගින් ඇඟවෙන්නේ එවන් නැටුම් සිය ශරීරය වෙතට ඉතා මැනවින් උරාගත් නියම යටත් විජිත මධ්‍යම පාන්තිකයෙකි. එහෙත් ඒ බාහිර සංඥා මාලාවට යටින් ඇත්තේ ඉතා පූර්ව නූතන විඥානයක ශේෂයන්ය. මිත්‍යා දෘෂ්ටිය විද්‍යාත්මත දෘෂ්ටියෙන් විතැන් කරන්නට එන යටත් විජිත නූතනත්වය ඉතාම ආකර්ෂණීය යටත් විජිත වැසියෙකු වන විලී අබේනායක තුළම අසාර්ථක වී තිබීම පෙන්වන ඉතා සිනමාත්මක අවස්ථා කිහිපයක්ම මෙහි දකින්නට පුළුවන.

    මේ සිනමා කෘතියේ අවසානයේ බිලිපූජාව තෙක්ම අබේනායකගේ නිරුවත් උඩුකයවත් අපට දකින්නට නොලැබේ. ඔහුගේ රාත්‍රි ඇඳුම පවා නිසි පිළිවෙලට ඇඳි පිජාමාවකි. එහෙත් ඔහු උපන් ලප තුනක් ඇති කන්‍යාවක් සොයමින් කල් අරින කල දකින නපුරු සිහිනයකින් අවදි වන අවස්ථාවේ ඔහුගේ පජාමාව විවර වී පපුවේ ඇති රෝම කූප දකින්නට ලැබේ. මෙය ශිෂ්ටාචාරයේ දවටනයෙන් වැසී ඇති අශිෂ්ටාරවත් බව හා තිරිසන් බව ඇඟවීමක් වැන්න. ඔහු ඒ සිහිනය දැක දැක දඟලන විටත් පිටුපස බිත්තියේ ඇති ඔහුගේ මවගේ ඡායාරූපය ඔහු හා අප දෙස බලා සිටියි. ඔහු ඒ සිහිනයෙන් අවදි වී ඇඳෙහි හිඳ ගනියි. එවිට මවගේ රූප හා ඔහුගේ රුව එකිනෙක ගෑවෙන නොගෑවෙන තරම් ළංවෙයි. පෞරාණිකත්වය හා නූතනත්වය ඔහුගේ විඥානය තුළ ස්ථරගත වී ඇති බවත් බාහිර නූතනත්වය විසින් යටපත් කර තබන ලද විඥානයක් ලෙස ඇතැම් පූර්ව නූතන ලක්ෂණ ඔහු තුළ අඩංගු වන බවත් පෙනේ.

    යටපත් කිරීම හා එය යළි මතුපිටට ඒම මනෝවිශ්ලේෂණීය විචාරකයන්ගේ තේමාවක් නිසා මම එය මෙහිදී මගහැර යමි. එහෙත් පූර්ව නූතන හා නූතන වශයෙන් මෙවැනි විඥානමය අංගය එකක් යට එකක වශයෙන් තිරස් මානයක පෙළ ගැස්වීම සිදු වන්නේ යටත් විජිත සංදර්භයකදී යන ප්‍රශ්නය ඇසිය යුතුය. මිත්‍යා දෘෂ්ටිමය අදහස් හා නූතන අදහස් ධුරාවලී සම්බන්ධයකද හෙලන්නේ යටත් විජිත තත්ත්වයද? ඒවා තිරස් මානයක විඥානගත වන්නට බැරිද? මා නම් හිතන්නේ එසේ විය හැකි බවයි. "පූර්ව නූතන" ලක්ෂණ යැයි හඳුන්වන මිත්‍යා දෘෂ්ටිමය දේවල් සම්පූර්ණයෙන්ම නැතිව ගිය පූර්ණ තාර්කිකත්වයක් ඇති මිනිස් සමාජ ඇතැයිද ඇති විය හැකියිද විශ්වාස නොකරන මා සිතන්නේ සාමාන්‍යයෙන් "මිත්‍යා" යැයිද "විද්‍යාත්මක" යැයිද හැඳින්වෙන යථාර්ථයන් වර්ග දෙකම එකිනෙක ගැටුමකට නොයන ලෙස රඳවා ගත හැකි තරම් සුඛ නම්‍ය විඥානයක් මිනිසාට ඇති බවයි. යටත් විජිතවාදියා මිත්‍යා යැයිද පූර්ව නූතන යැයිද කියන ලක්ෂණවලට එරෙහිව ශිෂ්ටාචාරකරණ ව්‍යාපෘතිය පිහිටුවමින් එය සාධාරණීකරණ කරන නිසාය යටත් විජිත වැසියා තුළ විලී අබේනාකයකගේ වැනි බිඳුණු ආත්මීයත්වයක් නැත්නම් ඉරි තැලුණු විඥානයක් ඇති වන්නේ. ඒනිසා අබේනායක යටත් විජිත ව්‍යාපෘතියේ සාර්ථකත්වයද අසාර්ථකත්වයද එකම මොහොතක අඟවයි.

    සිනමාකරුවා හා තිර රචක විලී අබේනායකගේ විඥානයේ පැල්ම සිද්ධ වූ ආකාරය පිළිබඳ විවිධ හේතු දක්වයි. හිච්කොක්ගේ සයිකෝ සිහිගන්වන දර්ශනයකදී වෛද්‍යවරයා අයිරින්ට කියන්නේ චෛතසිකය සම්බන්ධ රෝගයක් විලීට කුඩා කල සිට තිබුණු බවයි. ඔහුගේ මව ඔහු කුඩා කල මිය යාම නිසා ඇති වූ හිඩැස ගැනද අපට අසන්නට දකින්නට ලැබේ. සංකේතමය වශයෙන් ගත් කල ඔහු බිලි දෙන්නට තැත් කරන කන්‍යාව අහිමිව ගිය මව පිළිබඳ ආශාව ඝාතනය කරන්නට ඔහු දරන තැතක්ද වැනිය. එය පැරණි දෙය පිළිබඳ ඔහුගේ ආශාවද දේශජ සංස්කෘතියෙන් තමා ලද සියලු දේ නූතනත්වයේ දඩයම් පිහියෙන් ඇන ඝාතනය කරන්නට දරන තැතක්ද විය හැකිය. ඝාතනය සිදු වන්නේ බටහිර භාවිත වන දඩයම් පිහියකින් හෙවත් හන්ටිං නයිෆ් එකකින් වීමද තීරණාත්මකය.

    යටත් විජිත නූතනත්වය හා දේශීය විශ්වාස

    විලී අබේනායක රජයේ කොන්ත්‍රාත් කිරීමෙන් මුදල් උපයන බව අපට දැන ගන්නට ලැබේ. මේ රජය යනු යටත් විජිත රාජ්‍යය බව ඉතා හොඳින් පෙන්නුම් කෙරේ. ඔහු නූතනත්වයේ කොන්ත්‍රාත් කරමින් මුදල් උපයන්නේ ප්‍රධාන වශයෙන්ම පැරණි ගෙය නඩත්තුවටය. රජයට අලුත් පාලම් හදන ඔහු තමාගේ වාසයට අලුත් ගෙයක් සාදා ගැනීමට කල්පනා නොකරයි. පාලම සෑදීමට මුල්ගල තබන තැනදී දෙවියන්ගේ පිහිට පැතීමද සඳහා මල් පහන් පූජා කරද්දී "මේවා මහපොළොව හා සම්බන්ධ දේවල්" යැයි කීමෙන් විලී අබේනායකගේ "පොළෝ ගතිය" අවධාරණය කිරීමට සිනමාකරුවා තැත් කරයි. එය නූතනත්වය නොව ප්‍රාථමිකත්වය අඟවන කියුමකි. බාහිර පෙනුමෙන් මුළුමනින්ම බටහිරකරණය වූ ඔහුගේ මෙම කියුම ඔහු ඔහුගේ මිත්‍ර මුඩ්ලියර්වරයාද ඉක්මවන පූර්ව නූතනත විඥානයක් සහිත කෙනෙකු බව අඟවයි. මුඩ්ලියර්වරයා කියන්නේ පිරිතක් කීම මීට වඩා හොඳ බවයි. විලීගේ මෙම විඥානය ව්‍යාජ විඥානයක් බව පෙන්වමින් පාලමේ ඉඳිකිරීම නවතියි. සමහර විට ඔහුගේ ඒ විඥානයට අවශ්‍ය වී ඇත්තේ පාලම ඉඳි නොවීමම විය හැකිය. යටත් විජිත ආණ්ඩුව හෙවත් යටත් විජිත ක්‍රමය පවතින්නේ දෙවියන්ගේ කැමැත්ත නොව තාර්කික පාලන නීති කි්‍රියාත්මක කරන්නටය. "උඹේ විකාර දෙය්යන්ට පුදපූජා තිබ්බ මිසක් පාලමේ වැඩ කිසිවක් කෙරී" නැතැයි ඒජන්තවරයා කියයි. යටත් විජිත ශිෂ්ටාරකාරකයා වන ඒජන්තවරයා හා අර්ධ- ශිෂ්ටාචාරවත් විලී අබේනායක අතර ගැටුමේදී විලී කියන්නේ "මගේ දෙවියන් මේකට ගාවා ගන්නට එපා" යනුවෙනි. මේ වූකලි ඉතා තීරණාත්මක කියුමකි. බැලුබැල්මට යටත්විජිතවාදියාගේ අංගසම්පූර්ණ කොපියක් වන විලී විජිතකරණයට හසුවන්නට ඉඩ නොදී රැකගන්නා දෙයක්ද තමා තුළ ආරක්ෂා කර තබා ගනී. නිදන් වදුල පිළිබඳ විශ්වාසය රැඳී පවතින්නේ මේ ආරක්ෂිත කලාපය තුළය. විජිතකරණයේ තර්කන සැතට හසු නොවූ මේ ආධ්‍යාත්මික කලාපය කුමක්ද? මේ ඔහුම කරන බාහිර අනුකරණය පිළිබඳ ඔහු තුළම වන වරදකාරී හැඟීමක් නිසා ඇති වන්නක්ද? තීරණාත්මක ඓතිහාසික පිම්මක් පැන සම්පූර්ණ වශයෙන් විකල්ප ව්‍යූහයක් ගොඩ නැගීම පිළිබඳ යටත් විජිත ස්වදේශිකයාගේ ඇති අකමැත්ත හඟවන්නක්ද? එහෙත් මේ ආරක්ෂිත කලාපය ස්වදේශිකයාගේ හිත සුව පිණිස වන්නක් නොවේ.

    යටත් විජිත කතිකාවෙන් නොකිලිටි පාරිශුධත්වය

    එහෙත් යටත් විජිතවාදියාගේ නූතනත්වයේ කතිකාවට හසු නොවූ එසේම විලීට වැනි ඉරි තැලුණු විඥානයක්ද නැති ස්වදේශික පවිත්‍රත්වය හා අහිංසකත්වය අඟවන චරිතයක් වෙයි. ඒ මාලිනී ෆොන්සේකාගේ විස්මයජනක රංගනයෙන් මතු වන අයිරින්ය. ඇවිදින විට, ගෙල හරවන විට, මඳ සිනා නගන විට, නැත්නම් මොනයම් දෙයක් හෝ කරන විට පවිත්‍රත්වයම මතු වන සේ ඇය රඟන සැටි රඟපාන්නට නොදන්නා ටෙලි නිළි රූපවලින් පරිසර දූෂණයට ලක් වූ මෙකල දෘශ්‍ය කලාවන්ට ආදර්ශයක් සේය. අයිරින් අඟවන මේ දේශීය පවිත්‍රත්වය හා අහිංසකත්වය විලීගේ කුරිරු සැලැස්මට හසු වීම නොයෙක් අරුත් නගයි. එය එක් තලයකදී යටත් විජිතකරණය සංකේතවත් කරයි. ඉතා රළු සමීකරණයට නැගුව හොත් යටත් විජිතකරණය යනු යටත් විජිතය බිලිදී නිධානය ලබා ගැනීමයි. නිධාන හෙවත් ටේ‍රෂර් සෙවීම යටත් විජිතකරණය ආරම්භ වූ යුගය පිළිබඳ සංකේතයකි. ආදිම යුරෝපීය ගවේෂකයන් ඇමරිකානු මහාද්වීපයට ගියේ රත්තරන් නම් නිධානය සෙවීමටය. යටත් විජිත නූතනත්වයේ නියම අනුකාරකයාට දේශීය සංස්කෘතියෙන් ලැබෙන අගතීන්ද එක් වූ කල සෑදෙන්නේ විකෘත ඝාතකයෙකි. මෙය ෆැන්සිස් ෆෝඩ් කොපාලා ජොස්ෆ් කොන්රඩ්ගේ හාට් ඔෆ් ඩාක්නස් කෘතිය ඇසුරින් නිර්මාණය කළ ඇපොකලිප්ස් නව් සිනමා කෘතියේ තේමාවට බෙහෙවින් සමාන වන්නකි. දෙවියන්ට පූජා තියා පාලම විවෘත කරන දාම එතනදීම හමු වන නියම නිධානය හා දෛවයේ ළඳ අයිරින්ය. දෙවියන් දුන් ඒ නිධානය බහිරවයන් වෙනුවෙන් බිලිදීම යටත් විජිත විකෘතියක්ද?

    සර්වකාලීනද සංදර්භගතද?

    ලිබරල් මානවවාදී විචාරකයන් යුරෝපීය මහා සාහිත්‍ය කෘති (ශේක්ෂියර් නාට්‍ය වැනි) හඳුන්වා දෙනු ලබන්නේ සර්වකාලීන හා සර්ව දේශීය උත්තර ඓතිහාසික අර්ථ අඩංගු කෘති වශයෙනි. එහෙත් විවිධ පශ්චාත් යටත් විජිත න්‍යායන් මගින් අපට ඉගෙන ගත හැකි දෙයක් නම් මානව හැසිරීම ගැන යුරෝපීය සාර්වත්‍රික න්‍යායන් ඓතිහාසික වශයෙන් සංදර්භගත කරන්නේ කෙසේද යන්නයි. ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතිවලට අකාලික අර්ථ ඇත යන්න මගින් ඇඟවෙන්නේ සංස්කෘතික, ප්‍රාදේශීය හෝ සමාජයීය වෙනස්කම් නොසලකා හැරීමයි. මෙම තර්කය කරන අතර යුරෝපය හා නිර්- යුරෝපය අතර ඓතිහාසික වෙනස හා සංවර්ධනයේ වෙනස යටත් විජිතවාදයට අත්‍යවශ්‍යය වේ. එසේ නොමැතිව විජිතකරණය සාධාරණිකරණය කළ නොහැකි බැවිනි. නිර්යුරෝපීය ලෝකය වෙත ශිෂ්ටාචාරය ගෙන ඒම පිළිබඳ අවසරය ලැබෙන්නේ වෙනස අවධාරණය කරන තරමටය. යටත් විජිතවාදියා මෙසේ වෙනස අධිඅවධාරණය කරමින් නූතනත්වය ගෙන ඒමට තැත් කිරීමෙන් අතැම් ස්වදේශික පුද්ගල මනස්වල ඇති විය හැකි අභ්‍යන්තරික පුපුරායාම විලී අබේනායක චරිතය ඔස්සේ පෙන්වන්නට සිනමාකරුවා සමත් වෙයි.

    මේ නිසා බාහිර වශයෙන් නියම ශිෂ්ටාචාරගත මිනිසා තුළ දැකිය හැක්කේ ඉතා අශිෂ්ටාචාරවත් මිනිසෙකි. අයිරින් කෙරෙහි ඇති වන ආදරයටවත් වැලැක්විය නොහැකි අශිෂ්ටාරවත් බවකි ඒ. දේශීයත්වයේ අගතීන් පිළිබඳ විශ්වාසය එනම් නිධන හා බහිරවයන් පිළිබඳ විස්වාසය- අතීතයෙන් එන උරුමයක් පිළිබඳ විස්වාසය- නිසා විලී අබේනායක විසින් ඝාතනය කෙරෙන්නේ වර්තමානයේ ඇති පිවිතරුම නිධානයයි. විලීගේ අනාගතය වෙත යහපත් මාවත අයිරින් ඔස්සේ දැනටමත් විවෘත වී තිබෙද්දීත් ඔහු තැත් කරන්නේ නොදන්නා අතීත සම්පතක් වෙත නොදන්නා දොරක් විවෘත කිරීමටය. ඒ අතින් මේ කෘතිය යටත් විජිතවාදයත් සීමාන්ති ජාතිකවාදයත් එකවර හෙළිදරව් කරන කෘතියකි. නියම පශ්චාත් යටත් විජිත කලාව විජිතවාදියාගේ අධිරාජ්‍යවාදයත් ජාතිකවාදියාගේ ජාතිවාදයත් එකවර ප්‍රතික්ශේප කරයි. නිධානයෙහි මෙම තේමාත්මක සම්පත අප හමුවේ යළි විවර විය යුත්තේ ඒ නිසාය.

    ලියනගේ අමරකීර්ති



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    උලුක්කුව වළලුකර තවනකොට
    සපත්තුව, අත් පපුවෙ ගසනවා.
    පරක්කුව ඉක්මන්ද
    ඔරොප්පුව සන්සුන්ද
    තුවක්කුවකින් වචන ගලනවා.

    කරුවලෙත් එළිය මුණ ගැහෙනකොට
    තරුවලත් වේදනා
    දරුණු ඇස් සෙනෙහසින් පිරෙනකොට
    කරුවලයි මේනකා,

    රැය තවම තරුණ බව ඇත්ත
    ඉක්ම ගිය මොහොතමය, මත්ත
    සඳ ලිහන මුහුලසෙහි තිත්ත
    ඔබ ඔබෙ ම හදවතින් ගත්ත.

    පිනි බිඳක්
    කොපුළ මත නාටකා
    ඇඟිලි තුඩ
    අරගන්න මේනකා.

    අත ඉරුණු හැට්ටය
    හරි හැඩයි
    නෙත දවන දිට්ටිය
    බැති වඩයි.
    අත හැරුණු වට්ටිය
    මල් ඉසියි
    කට කැඩුණු මුට්ටිය
    බත් පිසියි

    හිතක් පපුවක් නැති හුළගට
    කවිත් ලියන්න පුළුවනි
    අතක් බිඳ වෙලුම්පටි වෙල වෙල
    හිසත් සිඹින්න පුළුවනි
    ඇසක් යට පිරිත් පැන් ඉහිරන
    විරිත් තියෙන්න පුළුවනි
    බසක් නැතියෙන් තෙතක් උහුලන
    තිතත් තියන්න පුළුවනි.

    අමු මිරිස් පෑ රැගත් තාරුකා
    දැවිල්ලයි ඇස් දෙකට
    සමු අරන්, නවතිද්දි, මේනකා
    නිවිල්ලක් නෑ හිතට.

    ප්‍රේමයේ නිශ්ශබ්දකම් බින්ද
    මේ රැයේ ඉස්මත්ත කවුරුන්ද?

    අප්‍රේල් 20, 2011

    මංජුල වෙඩිවර්ධන



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    සිහින් දෑකැති තලයකි
    අඳුරු අහසේ ඇඳුණු
    මලානික සඳ ඉරුව

    ඉතා ඈතින් නිදන
    සිඟිති තරුවක් දෙකක්
    ඇස් ඇර බලති
    ඉඳහිට

    හුදෙකලාව ම වැදී සඳැල්ලට
    රැඳී ඉමි

    වම් පසින් පෙනෙන්නේ
    පිළිස්සී
    කලු ගැහුණු
    වහලක් අහිමි
    බිත්තිය
    ඒ මැදින්
    කලු පැහැ දුම් වළලූ
    තවමත් නඟී
    අහසට

    සාමා විසූ මැදුරය

    රජ මිදුලෙන් ගලා එයි
    උණු තෙලෙහි බැදි බැදී
    පිළිස්සුණු
    මිනී මස් වල දුගඳ
    ඊයේ
    අත රන් වනින්
    පය රන් වනින්
    බැබළුණු
    සිහින් සියුමැලි ළඳගේ

    ඈතින් පෙනේ
    දහස් ගණනක් මිනිසුන්
    එකට වැලලුණු
    හිස් බිම

    හිස තුළ ද
    හිත තුළ ද
    භ්‍රමණය වේ තවම
    මිනිස් පොදියක මුවින්
    එකවර නැඟී අවුදින්
    වා ගැබට මුසුවුණු
    කණ් රිදවන විලාපය

    පුවත් නොමදැන බමන මත් හිසින්
    සුරත් තඹරුව දිලෙන යුග නෙතින්
    ඔහු ඇති
    සුව යහන මත අවදිව
    සුරා පිරි විත අතැතිව

    ඇසෙත නූපුර හඬක්
    වෙවුලාය බියපත් සිත
    මිඩියක් ද ඒ මෙහි එන
    ඔහුගෙන් කැඳවුමක් ගෙන

    අදින් මතු
    පෙර සේ වැළඳ ගෙන ගෙල
    සිප ගත හැකිද ඒ වත
    අනුරාගයේ මුල් පොත
    කියා දුන් ඒ යුග නෙත
    දකිනු හැකි වේවිද
    යළි කිසි දිනෙක මාහට

    සජීවනී කස්තුරිආරච්ච්



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    නෙත් හෙලා සිටින්නේ මිනිසුන් දෙස
    මුනිවර වතිනි
    ජීවිතය හා කරන උන්ගේ පොර බැදුම
    නිති විමසමිනි
    උන් වැපුරූ නොමිනිස්කම් දෙන ලේ, කඳුළු අස්වනු
    ගැන සෝ සිතිනි
    අවාරේ උන් තොලක පිපෙන සිනා කුසුමක්
    සිතින් සිඹිමිනි

    බිඳ නිහඬ වත උස්ව නැගෙන්නේ ඔහු හඬ
    දැක්මෙනි අගතිය
    නිවුණු සැනහුණු සිතින් පසෙකට වන්නේ
    සැදුමෙනි යුක්තිය
    සියල්ලන් ඇති තැන නොව කිසිවකුත් නැති තැන
    ඔහු වේය අත්වැල
    පෑරුණු, රිදුණු හදවත් සෙනෙහෙන් පිරිමැදුමයි
    ඔහු මන දොළ

    දකිනු නැත දැන් ඔහු කිසි විට මේ විකෘති ලොව තුළ
    කීමි ඔහු රුව-ගුණ, දුටොත් මට දන්වනු මැන

    දේ. වි. ගාල්ලගේ



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    රීගල් හල අසල බේරේ වැව ගාව
    යනෙන දනා මුසපත් කරවන බෝම
    සුමට සිහින් ඉඟ සුඟ හද කිති කෑව
    ලියක් දුටිමි සිටිදැයි නොදනිමි තාම

    අන්ධකාර කැටි එළි ලැබ සරන විට
    යන්දෝ නොයම් දෝ හද ගැබ හඬන විට
    නින්දේ බඹර පිරිවර අත අදින විට
    නුඹදෝ ලියේ! සැරිසැරුවේ උන් අවට

    පාවඩ එළා කැඳවා ගෙන යන බඹර
    බාගෙට මරා නුඹ හැර යත් මෙපුර දොර
    ආදර නුරා පැන් විකුණන දිවි මිහිර
    කා සමගිනා වළදන්නෙ ද නුඹ ගෙදර

    පිනැත්තියේ පිනවන දනමන සෑම
    සුවත් සදා අනුනට මස දන්දීම
    පෙරත් කළෝ මහ බෝසත්වරු බෝම
    නුඹත් එසේ නොවෙතැයි පවසමි කෝම

    (නගරයේදී ලියැවුණු ගැමි කවි- 2010)

    චින්තක රණසිංහ



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |
    Related Posts with Thumbnails