Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඔන්න දැන් ආයෙමත් අලුත් දවසක් ඇවිත්
තරු වැලට ඉලක්කය මාරු කර අරන්
උතුරේ ආයුධ දකුණේ දිලෙනවා බොලං

වෙඩි තියන වෙඩි තියන වාරයක් බැගින්
ආඩවනේ නොවේ අද බුදු අම්මෝ අසන්
වචනේ වෙනසයි ඇත්තේ වෙඩි කනවා බොලං

වෙඩි තියන වෙඩි තියන වාරයක් බැගින්
නිවි නිවි තරු වැලම ඔච්චමක් කරන්
වෙඩිතියා තරු වැලම නිවන්නද බොලං

වෙඩි තියන වෙඩි තියන වාරයක් බැගින්
තරු වැලේ දීප්තිය වැඩි වෙනවා බලන්
වෙඩි තියන උන් උනත් තරු වැලේ බොලං

ඔන්න දැන් ආයෙමත් අලුත් දවසක් ඇවිත්
"වෙනත්" දවසක් උදාවෙයි හෙට සැනෙන්
"වෙනස්" දවසක් ගන්න බලපන් බොලං

විරාජ් ලියනාරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මව් කුස සිටන් විදිනා දුක් නිමක් නැත
ටකරං කාමරේ නින්දක් යන්නේ නැත
මහ මග යන්නටත් කිසි නිදහසක් නැත
වපර ඇසින් බලනා නෙත් කොතෙක් ඇත

උන්නෙ දුම්බරයි කටු මැටි පැලක් තුල
කන්නේ පරිප්පුයි පානුයි තුන් වේල
පඩිය සොච්චමයි වැඩිපුර අතිකාල
ඒකට කෙලින්නට එයි ලොකුගේ රාල

තියපන් බලන්නට අත අපගේ ඊ.ටී.එෆ්
යන්නෑ පසුපසට ආවත් එස්.ටී.එෆ්
පොලිටික්කෝ ගෙන එයි රජ ගෙදර පෘෆ්
අපි කවදත් නැත කෙරුවේ වැඩේ හාෆ්

ආවත් අරන් මැඩලන්නට බැටන් පොලූ
දුන්නා රිටන එක තාමත් දුවනවලු
එකක් දෙකක් පැලුවත් උන් අපේ ඔළු
පැලුවා ලොක්කන්ගේ මොල නොමැති ඔළු

පාවා දෙතේ ළොක්කන් ළඟ දනින් වැටී
මහා ආචාරියන් කරනා දේ බලු නොවටී
නැගිටින අයුරු වැටුනත් අපි කකා ගුටී
බලලා ඉගෙන ගත්තොත් මසුරන්ම වටී

මසන්නේ අපි වසන්නට විලි
ගැලෙව්වා වාසුගේ සළුපිළි
සටන් දිනුවා නගා ජයකෙලි
වරෙව් එක්වී නගමු සැනකෙළි

මාතලන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



‘නායකත්ව පුහුණුව’ පිළිබඳ දැවැන්ත අර්බූදයක් රටේ පැන නැගී තිබුණි.

නායකත්වය යනු කිමැයි විශාල විවාදයක් රටේ සියළු තැන්හි පැන නැගෙමින් පැවතීම මීට හේතු වුණි. මේසා විශාල වාදයක් මෙරට තුළ මෑත ඉතිහාසයේ කවර කළෙකවත් ගොඩනැගී නොතිබුණෙන් මිනිස්සු සියළු කාර්යයන් නවතාලා දමා මේ විවාදයට පිළිපන්හ. ගොවියෝ නගුල් ද ගෙවිලියෝ ඇඹුල් ද කරණවෑමියෝ දැලිපිහි ද-

බක්කරේලා පිටි මෝල්ලි ද කම්මල්කරුවෝ මයිනහම් ද තැබෑරුම්කරුවෝ බෝතල් ද පැවිද්දෝ සිවුරුද වෙද්දු නාඩි ද කොස්සන් සම්තින් ද අතහැර දමා මේ මහා විවාදයට පිළිපන්හ. කාලවේලාවක් නොසොයා- ලාභාලාභයක් නොසලකා නොයෙකුත් විද්‍යුත් ප්‍රචාරණ මාධ්‍යයෝ ද මේ මහා මංගල සාකච්ඡාවේ උච්ඡතම අවස්ථාව තම තම මාධ්‍ය ආයතනය වෙත පවරා ගනුම්හයි වහසි බස් දෙඩෙමින් නගරාන්තර දැවැන්ත උළෙලවල් සංවිධානය කරමින් සිටියහ. නායකත්වය කිමැයි පසිඳන්නෙකුට ඇතෙක් බරට යුරෝ දෙන ත්‍යාග මාලාවන් ද නායකත්වය කිමැයි ප්‍රදර්ශනය කරන්නා වූ තෙදැතියන් වෙත ගම්භාරකම්- කලපු සහ සානු මෙන්ම සුසාන යනාදී භූමි භව භෝගාදිය ඉදිරිපත් කෙරෙමින් මහා නායකත්ව වගා සංග්‍රාමාභිමුඛ කොම්පැනි තරග වදින්නට වීයැ.

රජ මැදුරේ ද මේ සංවාදයම වඩාත් උත්කර්ෂවත් ලෙස ඝෝෂා නැගුණි.

රජතුමා එකත්පස්ව බටඅත ෆාම් එකෙන් පාන්දර නෙලා හෙලිකොප්ටරයකින් අගනුවර වාසල වෙත ගෙනා ඩ්‍රැගන් ෆ්‍රැට් ගෙඩියක් හැදිගාමින් ද අග්‍ර පුරෝහිතයාද යුද මැති ඇමැතිවරු මෙන්ම දේශදේශාන්තර කුලපතීහු කුඩා දරු පැටවුන් රැලක් මෙන් එක පෙළට මේ සංවාද ගැබෙහි අසුන්ගෙන සිටියහ. නොපෙනෙන දුරක හුන් රාජකීයයෝ ද ටෙලිපති - ටෙලි ප්රො ම්ප්ටර - ටෙලි කොන්පරස් මෙන්ම ස්කයිප්- ගූගල් - යාහූ ඔන්ලයින්- චැට්- සැටලයිට් විඩියෝ සම්මන්ත්‍රණ හරහා යාවී - මුසු වී- සබැඳී - ගැට ගැසී - යාවත්කාලීන වී - සහභාගි වෙමින් සිටියහ. මෙගා ටෙලියක සිරිය මුළු රජවාසලම සසල කොට බැබලවීය.

"මොකද්ද මේ නායකත්ව පුහුණු ප්‍රශ්නය? "

රජතුමා ඩ්‍රැගන් ෆ්‍රැට් ගෙඩියේ බෑ දෙකේ ලෙලි සී මැදුරු කවුළුවෙන් එලියට වළයාකාර ලෙස ප්‍රක්ෂේප කරමින් ගාම්භීර ලෙස ඇසීය.

"ස්වාමීනි රටවැසියෝ ඉමහත් පීඩාවට පත්වී සිටින්නේ නිසි නායකත්වය පිළිබද දැනුමක් අත්දැකීමක් අවබෝධයක් නැති නිසාවෙනි."

අග්‍රපුරෝහිතයාගේ වම් ඇස නැටවෙයි. දකුණු ඇසේ මාංෂ පේශි නලියයි. නළල් තලයේ භූමිකම්පා වැනි තිර්යක් තරංගයෝ හරහට ගමන් කරති. එනමුත් සංයමයෙන් කතා කරයි.

"මේ නායකත්වයක් නැතිකම නිසාවෙන් ඔවුහු හොඳින් දත් කිසිදු ඥානයකින් නිසිඵලයක් නොලබන්නාහු වෙති. එනයින් ඔවුහු දෛනික වැඩකටයුතු සියල්ල අවුල් කරගෙන ඉමහත් ණය බරින් ජීවන වියදමෙන් යටපත්ව දුකසේ කල් ගෙවන්නාහ. නිසි නායකත්වය පුහුණුවක් ලදොත් ඔවුන් දිනකට යුරෝ හාරපන්සියයක් උපයා යෙහෙන් කාලය ගත කරනා බැව් අපගේ මහභාණ්ඩාගාර පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත්තේ වසර දහස් ගණනක් පැරණි පුස්කොල පොත් ආශ්‍රෙයනි."

"ඉතිං දැං අපි නායකත්වයට පැමිණ බොහෝ කාලයක් ගත වී ඇතත් ඇයි මේ ජනපදිකයන් වෙත ඒ නායකත්වයට පැමිණීමේ සරසවි දැනුම නොලැබී ඇත්තේ? අප බාල කාලයේ අධ්‍යාපනය පිණිස ගිය තක්සලාවන් දැං අකර්මණ්යව වී ඇති නිසාදෝහෝයි මට සැක ඇත්තේය. වහා ඒ පිළිබද මා දැනුවත් කරනු."

"අන්න ඒක තමයි ස්වාමීනි අප මේ තකහනියක් නැවත ප්‍රතිස්ථාපනය කරන්නට සැළසුම් කරන්නේ. ඔබතුමා කුඩා කල ශිල්ප පිණිස ගිය සියළු තක්සලාවෝ දැං දූරින්භූත වී ඇත්තාහ. ඒ හේතුවෙන් ඔබතුමා වැනි නායකයන් අනාගතයේ නිර්මාණය කරගැනීමේ අතිශය දුෂ්කරතාවය වර්තමානයේ දිසාපාමොක් ඇදුරු සංසද විසින් වටහා ගෙන ඇති බැවින් ඔවුහු එකහෙළා හඩනගන්නේ ඒ පැරණි තක්සලා ක්‍රෙමෝපායන් නැවත ගොඩනැගිය යුතු බවකි."

අග්‍රපුරෝහිත තෙමේ සංවාද සන්නිවේදකයේ හඩ තීවෘර කොට වැඩිකරන්නට එහි යතුරු කරකවයි.

"අහා අහන්නත් විශ්මය දනවන සුළුයි. කිමද මා වැනි නායකයන් බිහි වූ ඉපැරණි සාකල්‍යෙයන් පරිපූර්ණත්වයට පත් සරසවි වැනසී ගොස් ඇත්තේ? මා එකල ගාල්ලේ සරසවියේ දහයයි තිහේ ‘කස්තුරි සුවඳ’ නරඹා ලද ඇඟකිලිපොලා ගිය ශාස්ත්‍රෝත්පාදන කම්පනය දැනුදු සිහිවේ. එවැනි අති විශිෂ්ට සරසවි දැං අකර්මණ්‍ය ඇයි? මට වහා පංච පුද්ගල වාර්තාවක් ඒ අරභයා ඉදිරිපත් කරන්නට කමිටුවක් පත් කරනු."

"ස්වාමීනි සිනමා කර්මාන්තය අබල දුබල වීමෙන් අපගේ තරුණ පරම්පරා කීයක් නම් විශිෂ්ට දැනුමෙන් අවතැන්ව නන්නාත්තාර වී ඇත්දැයි කීමට ඔබගේ අතීත මතකය අපට සිහි කැඳවුම් කරයි. දැන් මේ විද්වත් සභාව අනුදත් නායකත්ව ගැටළුව පිළිබඳ සර්ව- ඥානයේ නිල් ඉරට ඔබගේ අවබෝධය ද සමපාත වී ඇති හෙයින් අපගේ නිර්දේශ සංයමයෙන් අසා සිට ඔබතුමාගේ රාජ ආඥාවෙන් ඒවා ක්‍රියාත්මක කළහොත් රටේ සියළු දැවෙන ප්‍රශ්න මින් නිම වනබැව් දන්වන්නට කැමැත්තෙමු."

"සංතෝෂයි අග්‍රපුරෝහිත සංතෝෂයි! කිව කිව වහා කිව! ඇවැසි නම් ස්කයිප් - යාහූ - ඔන්ලයින්- සැටලයිට් ඕෆ් කර දැමුවද කම් නැත."

"ස්වාමීනි කලබල විය යුතු නැත. සැටලයිට් ඕෆ්කර දමන්නට තව කල් ඇත. මේ අප එකත්පස්ව ගත් තීරණයෝය. අපේ ඉපැරණි තක්සලාවෝ යුද පුහුණුව- අත් පා සටන් - අංගෝපාංගහරණ කලාවෝ පිළිබඳ ප්‍රමූලිකත්වය දී ශිල්ප පාඨමාලා සැකසූහ. එහෙයින් එකල රජකුමරුවෝ සියළු සටන්කලාවන්හි නිපුණයෝ වූහ. එනමුත් අද වනවිට තක්සලාවෝ තුන්ලෝකෙට වැඩක් නැති අර්ථ ශාස්ත්‍ර කලාදිය උගන්වමින් දිසාපාමොක් කාලය මෙන්ම රටේ සම්පත්ද විනාශමුඛයට ගෙන යති. උදාහරණයක් ලෙස ජයවඩනපුර තක්සලාවේ කලා ශිල්ප උපාධියෙන් ඥානය ලද්දේ තුනේ පංතියේ කොලුවෙකුට කලිසමේ හුජ්ජ පොදක් යන්නට මුෂ්ටි ප්‍රහාරයක් දීමෙහි අසමත්යහ. මෙවැනි උපාධිපාඨමාලාවලින් අප ජනපදයට ඇති සෙතක් නැත්තාහ. "

"ඒක හැබැයි- හැබැයි- හැබැයි!"

රජතුමා කනස්සල්ලෙන් සිය වකුගඩුව ආශ්රි- තව තැන්පත් කර ඇති දියමන්ති ග්‍රෑම් පන්සීයට මැදැඟිල්ලෙන් ටක් ටික් ටුක් යනාදී වශයෙන් තට්ටු කර බැලීය.

"එහෙයින් මේ තක්සලා පාට- මාලා අදට උචිත ලෙස නවීකරණය නොකළ හොත් ළඟ එන ඊළඟ යුද්දයට අප සැළසුම්සහගතව මුහුණ දීමෙහි අසමත් වන්නාහ. එම යුද්දයෙන් කිසිදු ලාභයක් උපයා ගත නොහැකි වනු ඇත. දැනට ඇති සියළු පාට- මාලා මෙසේ වෙනස් කළ යුතු යැයි අප වැනිසියුලාවේ කොංගෝ ජනපදයේ අධ්‍යාපන ප්‍රතිපත්ති ගැඹුරින් හදාරා මතුකර ගත් න්‍යායන් ඔස්සේ මෙසේ සංක්ෂිප්තව දක්වමු. අංක එක- රසායන විද්‍යා පාට- මාලා වහා වෙනස් කළ යුත්තේ එම දැනුම භාවිතා කර අඩු වියදමෙන් විශාල සතුරන් ප්‍රමාණයක් දූරින්භූත කළ හැකි අවි ආයුද නිපද වීමට පර්යේෂණ කිරීමටත් ඒ සඳහා පශ්චාත් උපාදි නිර්මාණය කිරීමටත්ය. අංක දෙක - ජනමාධ්‍ය පාට- මාලා වෙනස් කළ යුතු වන්නේ බංකර ඔස්සේ බිම්ගෙවල් හරහා සතුරු සීමා දෙසට ගොස් යුද වාර්තා කිරීම ඔස්සේ සතුරන්ගේ ලැප්ටොප් අත්කර ගෙන ඒවා නැවත ලෝකල් මාකට් එකට රැගෙන විත් වැඩිමිලට විකිණීම පිළිබඳ පශ්චාත් උපාධි දක්වාය. අංක තුන- ඉංජිනේරු වර්ණමාලා සකස් විය යුත්තේ දිගුදුර කෙටිදුර අවි ආයුද ඔස්සේ සතුරන් විනාශ කිරීමට ඇවැසි තාක්ෂණ සංවර්දනය කිරීමටය. ඉලෙක්ට්‍රොනික විද්‍යා පාට- මාලා සකස් විය යුත්තේ දුරකතන ජාල- අන්තර්ජාල සංවාද රහසිගතව ඇසීමේ උපක්‍රම දියුණු කිරීම සඳහාය. මේ ආකාරයෙන් සියළු ජනපදිකයන්ගේ යුද
දැනුම අංක එකට සංවර්ධනය කළ විට අපට යුද කිරීම යනු කිරිටොයිස් වැඩක් බවට පත්වන බැවින් අපගේ අවි ආයුද සහ යුධ දැනුම අපතේ යාම වළක්වා ගැනීම උදෙසා වහා යුද්දයක් ද නිර්මාණය කරගැනීමට අවශ්ය යය. යුද ස්වාභාවිකව එනතුරු බලා සිටීම ආර්ථික වශයෙන් ඵලදායක නොවේ. ඒ සඳහා ඇවැසි පසුබිම් වඩාත් හොඳින් නිර්මාණය කළ යුතුය. ‘කිසි ලාභයක් නැත්නම් යුද කර වැඩක් නැත’ යන සංකල්පය ඉස්මත්තට ගත යුතුය."

"යුද්දයක්?" රජතුමා වම් අතින් බිත්තියේ වූ සිතියමට සන් කර වැදගත් දෙයක් පෙන්වන්නට මෙන් ඇස් දල්වා දකුණු අත සරම අස්සට කාටවත් නොපෙනෙන සේ දමා කසන්නට විය.

"ඔව් ස්වාමීනි නැත්නම් මේ තරම් ආයෝජනයක් කර ලැබිය හැකි ප්‍රතිඵලය කුමක් ද? අප ලෝකයට දිය යුත්තේ අපගේ හැකියාවෙන් උපයා ගත් දේ මිස අන් කවරක් ද?"

"හා ඒකත් කදිම අදහසක්. බැරිද අපට අපගේ යුද දැනුම වෙනත් රටවලට බද්දට දෙන්නට වැඩ පිළිවෙලක් හදන්න?"

"පුළුවන් ස්වාමීනි. ඊට පෙර අපගේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි මා කලින් කීවා සේම."

"ඉතිං මේ තියෙන පිරිවෙන් ආශ්‍රිත අධ්‍යාපන ක්‍රමය එකපාරටම පුළුවන් ද මේ කියන ආකාරයේ යුදකාමී අධ්‍යාපනයක් බවට හරවන්නට ඔය කියන තරම් ලෙහෙසියෙන්?"

රජතුමා මෙවර ප්‍රසිද්ධියේම සරම අස්සට අත දමා හයියෙන් කසන්නට විය. පරිවාර මැති ඇමතිවරු තමන්ට ඇස් යැයි කියා ජාතියක් නැත්තා සේ උඩබිම බලාගත් වනම මුව නොසොල්වා ගල්භීතව සිටියහ.

"ස්වාමීනි ඒකටත් වැඩ පිළිවෙලක් තියෙනවා. පිරිවෙන්වලටත් අප හඳුන්වා දෙනවා අලුත් පාට- මාලා."

"පිරිවෙන්වලටත් අලුත් පාට- මාලා? මොනවද ඒ?"

රජතුමා අතසෝදා ගැනීමට සල්පියුරික් ඇසිඩ් මංජුසාව ළංකර ගත්තේය.

"ස්වාමීනි. යුදයක් පවතිද්දි මිනිස්සුන්ට කිව යුතු බණ වර්ග සහ යුද බණ ගැන පාටමාලා. යුදයක් ධාර්මිකව කරන්නේ කෙසේද යන්න ගැන බුදුන් දේශනා කළ සියළු විනය සහ සූත්‍ර! ඒ ආකාරයෙන් යුදයකදි විය හැකි සියළු පාපක්‍රියා කර්මානුකූලව විසඳන ආකාරය ගැන බයෝ ඉංජිනේරු විද්‍යාත්මක බණ වර්ග ගැන උපාධි. මේවා අපි පිරිවෙන් ඔස්සේ නවීකරණය කර යුදයට ඇවැසි ආකාරයට සකස් කරගන්න ඕන. "

"කදිමයි! කදිමයි! මේ සියළු වැඩපිළිවෙල ඉතා කදිමයි! මේ ආකාරයෙන් සැළසුම්සහගතව යුද කරන්නේ නම් අපට ඉන් ඉතා විශාල ප්රතිලාභ ලැබිය හැකි බැව් මගේ අන්නස්‍රෝතයේ කම්පනයෙන් දැනේ."

"ඉතිං ස්වාමීනි මේ පවතින අධ්‍යාපන ක්‍රමය අපට අවැසි පරිදි යුදකරණය කරන්නට තව කාලයක් බලා සිටින්නට සිදුවන බැවින් අප ඒකට කදිම උපායක් දියත් කළා."

"කදිම උපායක්? "

අග්‍රපුරෝහිතයා සැටලයිට් දුරකතන විඩියෝ සහ ටෙලිප්‍රොම්ප්ටර - ටෙලිපති සියල්ල එක බොත්තමකින් ඕෆ්කර දමා වටපිට බලා සෙමෙන් කොඳුරන්නට විය.

"ඔව් ස්වාමීනි. අපි ඒක නම් කරා ‘නායකත්ව පුහුණුව’ කියලා.... ඒක ගැන නොවැ මේ රටපුරා ජනපදිකයන් මෙතරම් උනන්දු වෙලා තියෙන්නේ..."

නැවතත් සැටලයිට් දුරකතන විඩියෝ සහ ටෙලිප්‍රොම්ප්ටර ටෙලිපති සියල්ලෙන් රජමැදුර ඒකාලෝක විය.

"හා හා හා දැං නෙව මට තේරුණේ... කදිමයි අග්‍රපුරෝහිත අති උත්කෘෂ්ටයි! ඔබගේ ඥාන මණ්ඩලය ක්ෂිරපථය සේමයි. දිදුලයි! බැබලෙයි!"

"දැං ස්වාමීනි මතකයි නේ හෙට උදෑසන පත්‍ර කතෘ රැස්වීමෙදි කියන්න ඕන දේ? "

"ඔව් ඔව් මතකයි මතකයි... 'අනේ මේගොල්ලො මේ කරන දේවල් මටවත් කියන්නේ නැහැනේ..'"

24.05.2011

රොහාන් රණවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වල් අල්ලලා ටික දොහෙන්
පොද ගෙඩි වැටුණ ආකහෙන්
යාය එකට ගිනි ගත්තෙත්
නෑනෙ සොම්නසින්

මැලත් පිච්චුවා
කරච්චල් අස්සෙම
කඩමලං උනත්
උණුහුම ඉල්ල ඉල්ලා
කණු මදු අස්සෙම
තැග්ගැහෙන හැටි

දැක දැක....

සොබාදහමත් හරි වසයි
චපලයි....

ඇස් අරින්නටත් කල් තියා
මහ මෙරක් ඉහේ බැඳගෙන
වැරහැලි බිම් රෙදිකඩ ඉරාගෙන
එබි එබී වැහි එතැයි
රන් බීජ ඉන්දුව
අර ! පේනවාද
මතුවෙන්ඩ තතනන ?

සුමානෙකට කල්තියා
වැව් ඉස්මත්තෙ කැරකුන
පිලිහුඩුව දැක්කද
තම පියඹ එක්කම
අර ! අන්දර ගහ
මුදුනෙ පොරකන ?

................

හිතත් ඉගිලිල
නියං ආකහෙ අනන්තෙට
කඳුළුත් හිරිවැටිල
හීතලේ ගිනියමට
ඇයි මයෙ දෙයියො පිල්කඩ උඩ
කල්පනාවෙ ඇන තියාන

සොබාදහමත් හරි වසයි
චපලයි....

ඉක්මනින් හැව අරිනව.

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අහසට අරක්ගත් දැඩි ගණඳුරක් වන්
මා වසාගත් රාත්‍රිය පරදවා
තුති පුදමි කවර හෝ දෙවිවරුනට
යටත් නොකළැකි මා ආත්මය උදෙසා

ඉරණමෙහි රුදු නිය පහර වැද
නොහැකිළුණෙමි‍, නොහැඬුවෙමි හඬ ගා
අවස්ථාවේ දැඩි මුගුරින් පහර විඳ
රුධිරය වැකුණුමුත් ‍නොනැමුණිය හිස මා

වෙරෙන් කඳුළෙන් පිරුණු මෙතැනින් එහා
ඇත්තේ ගණඳුරෙහි භීතියම පමණකිය
එනමුදු මා ‍නොබියව සිටින වග
පෙනෙනු ඇත වසර ගණනක් ඉකුත් වුව

ද්වාරය කෙතරම් පටුවුවද කම් නැත
පවු‍ පොතෙහි දඬුවම් මහත් වුව කම් නැත
මාගේ ‍දෛවයේ හිමියා මම ම වෙමි
මාගේ ආත්මයේ නියමුවා මම ම වෙමි

[විලියම් අර්නස්ට් හෙන්ලි (1849-1903)ගේ Invictus කවියේ පරිවර්තනයකි.]

විලියම් අර්නස්ට් හෙන්ලි
පරිවර්තනය - නිලූක කදුරුගමුව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



  • පශ්චාත් එල්ටීටීඊ සමයත් එක්ක ගොඩගැගුණ ලංකාවේ ගතිකයන් ඔබ කොහොමද දකින්නෙ?

  • මේ රටේ බොහෝ දෙනෙක් අදහස් කළදෙයක් තමයි පශ්චාත් එල්ටීටීඊ සමයත් එක්ක අපි අපේ ඉතිහාසයේ වඩාත් අවස්ථා බහුල තත්ත්වකට එළැඹිලා ඉන්නවා කියන එක. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා අපිට සංවර්ධනය කරා යන්න හොඳ ප්‍රස්ථාවක් උදාවෙලා තියෙනවා කියලා. ආණ්ඩුව අදහස් කරනවා වගේ භෞතික සංවර්ධනයක් විතරක් ඔවුන් එතනදි අපේක්ෂා කරන්නෙ නෑ. සංවර්ධනය කියන සංකල්පය තුළ මේ ප්‍රගතිශීලී ජනතාව භෞතික සංවර්ධනයට අමතරව ජාතියක් විදිහට සමාජීය අතින්, දේශපාලනික අතින් සහ සංස්කෘතික අතින් සංවර්ධනයක් සිදුවෙයි කියලා කල්පනා කරනවා.

    මම වුණත් කල්පනා කරනවා එහෙම සුළු අවස්ථාවක් අපිට තියෙනවා කියලා. නමුත් එච්චර සුබවාදී විදිහට මට මේක දකින්න බෑ. අවුරුදු තිහක යුද්ධය පිළිබඳ මේ රටේ බොහෝ දෙනා කල්පනා කළ දෙයක් තමයි යුද්ධය හැර මේකට වෙන විසඳුමක් නෑ කියන එක. ඉතින් ඔවුන් සාධාරණීයකරණය කරන්න උත්සාහ කරනවා එල්ටීටීඊ සංවිධානය ඉතා ප්‍රචණ්ඩකාරී ආකාරයට රජය විසින් පරාජය කළ එක. නමුත් මම හිතනවා මෙතන විශාල ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද මේක අපේ අතීතය පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි තවත් අතකින් මේක අපේ අනාගතය පිළිබඳවත් ප්‍රශ්නයක්. අපිට සදාචාරාත්මක සමාජයක් විදිහට ඉස්සරහට යන්නනම්, අපි පසුගිය අවුරුදු පිළිබඳ බලන විදිහ සහ ඒ දේවල් අපි අනාගතයට යන්නේ කොහොමද කියන කරුණටත් ඉතා තදින් බලපානවා.

    මම හිතන විදිහට අපිට ප්‍රභාකරන්ව පරාජය කරන්න අවස්ථා ගණනාවක් තිබුණා. හැබැයි ඒ යුදමය වශයෙන් නෙමෙයි අවශ්‍ය නම් මේ රටේ රජයට අවස්ථා ගණනාවක් තිබුණා දේශපාලනික වශයෙන් ඔහුව පරාජය කරලා, ඔහුව ලෝකය තුළ සහ ලංකාව තුළ තනි කරලා එල්ටීටීඊ සංවිධානය සම්පූර්ණයෙන් විසිරෙන තත්ත්වයකට පත් කරන්න.

  • යුදමය ක්‍රියාදාමයෙන් තොරව එල්ටීටීඊ සංවිධානය පරාජය කරන්න දකුණේ රාජ්‍යයන්ට හැකියාව තිබුණා කියන එකෙන් ඔබ අදහස් කරන්නේ කුමන පිළිවෙතක්ද?

  • ප්‍රභාකරන්ව පරද්දන්න තිබුණු පළමු ක්‍රමය තමයි අද දක්වා විසඳිලා නැති, මේ රටේ දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්න සඳහා ලෝකයටත් පේන එල්ටීටීඊ එකටත් පේන ඉතා සාධාරණ විසඳුම් ලබාදීම. අපි කවදාවත් මේ වගේ විසඳුමක් ලබා දෙන්න උත්සාහ කරලා නෑ. එහෙම උත්සාහ නොකර තමයි අපි කියන්නේ යුද්ධය හැර මේකට විසඳුමක් නෑ කියලා. යුද්ධය හැර මේ ප්‍රශ්නයට තිබුණු අනෙක් විකල්පයන් අපි ඉටු කරලා තිබුණා නම් අපිට බලන්න තිබුණා මොකක්ද වෙන්නේ කියලා.

    අපිට මතකයි චන්ද්‍රිකා රජයෙන් සාම ගිවිසුමක් ගේද්දි මේ රටේ දෙමළ ජනතාවගේ බලාපොරොත්තු කොතෙක් දුරට වැඩි වුණාද? ඔවුන් මේ ගැන කොච්චර උණුසුම් පිළිගැනීම් ලබා දුන්නද කියලා. මේ තත්ත්වය එල්ටීටීඊ එකටවත් පාලනය කරන්න පුළුවන් වුණේ නෑ. චන්ද්‍රිකා තම අවසන් යුගයේ ප්‍රකාශ කළ දෙය වුණෙත් මේක කෲර, අසාධාරණ යුද්ධයක් කියන එක. ඇය කිව්වා මේ යුද්ධයට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒක නවත්වන එක කියලා. ඒ කතාවේ හැටියට යුද්ධය නවත්තලා පැහැදිලි විසඳුමකට ගියා නම් මේ රටේ දෙමළ ජනතාව කොච්චර දුරට ඒ නායකයා පිටුපස යයිද, ජාත්‍යන්තර ප්‍රජාව සහ ජාත්‍යන්තර සංවිධාන කොච්චර එකඟවෙයිද කියලා අපිට හිතාගන්න අමාරු නෑ. ඉතින් ඒ වාගේ තත්ත්වයක් ආවොත් ප්‍රභාකරන්ට කරගන්න දෙයක් නෑ. ඔහුගේ පැවැත්ම ඒත් එක්කම ඉබේම අහෝසිවෙලා යන්න තිබුණා.

    එල්ටීටීඊ සංවිධානය එක් අවස්ථාවක බිඳෙන්න පටන් ගත්තෙත් මේ වගේ සාම ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විදිහට. ඒ විතරක් නෙමෙයි මේ තුළ දෙමළ විද්වතුන් විසින් ඉතා වැදගත් සංවිධාන පවා ගොඩනැගුවා. එහෙම වුණත් අපි අන්තිමට කළේ ඒ සියල්ල අතහැරලා මේකට තියෙන එකම විසඳුම යුද්ධය කියලා කියන්න පටන් ගන්න එක. අපිට තියෙන අවස්ථා සියල්ල මඟහරිමින් යුද්ධය මෙච්චරකල් දිග්ගැස්වීම සම්බන්ධයෙනුත් අවසන එය ඉතා ප්‍රචණ්ඩ අයුරින් පරාජය කිරීම සම්බන්ධයෙනුත් මේ රටේ දකුණේ ජනතාව හා දකුණේ රජයන් වග කියන්න ඕන.

  • ලෝකයේ විනයගරුක හමුදාව ඉන්නේ අපේ රටේ. ලෝකයේ මානුෂිකම මෙහෙයුම වුණේ මේ රටේ කියලා එක පැත්තකින් කියද්දි තවත් පැත්තකින් මේ රටේ යුද සදාචාරය ඉතා බරපතළ විදිහට ජාත්‍යන්තරය ඉදිරියේ ප්‍රශ්න කෙරෙනවා.?

  • දෙවැනි ලෝක යුද්දෙදි ලෝකයට අභිමුඛව ප්‍රධානත්වය අරන් කටයුතු කළ කෙනා වුණේ හිට්ලර්නෙ. ඒ මීට අවුරුදු හැටකටත් වඩා කලිං. මොවුන් ජපානය සහ ඉතාලිය එක්ක එකතුවෙලා අතිශය නාසිවාදී වැඩ පිළවෙළකින් මුළු ලෝකයම යටත් කරගැනීමේ ව්‍යායාමයක යෙදිලා හිටියේ. අවසානයේ හිට්ලර් පරාජය කළා. ඒත් අද වනවිට විද්වතුන් කථා කරනවා හිට්ලර්ව පරාජය කරන්නත් තව ක්‍රම තිබුණා කියලා.

    මොනව වුණත් මෙතනදි අවුරුදු පහක දරුණු යුද්ධයක් කරලා මිලියන ගණනාවක ජනතාව විවිධාකාරයෙන් ඝාතනය කෙරුණා. මේ යුද්ධයේ අවසාන මොහොතේ දී එක පැත්තකින් සෝවියට් දේශයත් අනිත් පැත්තෙන් ඇමරිකාවත් ජර්මනියට ඇතුළු වුණා. අන්තිමේදී හිට්ලර් ගෝරින් වගේ ඉහළම පිරිසක් සිය දිවි නසා ගැනීමත් ඝාතනය වීමත් තවත් පිරිසක් රට අතහැර පැනල යෑමත්, තවත් පිරිසක් අත්අඩංගුවට පත්වීමත් මේ මොහොතේ දී සිදුවුණා. නමුත් මෙසේ අත්අඩංගුවට පත් කිසිවෙක් ඝාතනය කළේ නෑ. ඔවුන් කළේ මේ පිරිස ජීවග්‍රහණයෙන් අල්ලලා නිවුරන්බර්ග් නඩුවිභාගයට ඉදිරිපත් කරන එක. මේ අනුව ෆැසිස්ට්වාදය නියම ආකාරයෙන් පරාජය වුණා. ඒ නඩු විභාගයත් එක්ක තමයි ජර්මන් ජනතාවත් නිවැරදි පරිදි සත්‍ය වටහා ගන්නෙ.

    ඔවුන් මෙසේ නඩු විභාගයකට ගෙන අතිශ්‍ය බුද්ධිමත් ලෙස ඔවුන්ට දඬුවම් නොදී ඔවුන් විනාශ කළා නම් හිට්ලර් වීරයෙක් කරගෙන ජර්මනිය තුළ තවත් ආකාරයේ නැගිටීමක් ඇති වෙන්න ඉඩ තිබුණා. මෙතනදි අපි අමතක කරන්න හොඳ නැති දේ තමයි මේ දේවල් වුණේ ලෝකයේ යුද්ධය පිළිබඳ අද තරම් ජාත්‍යන්තර යුද සදාචාරයන් පිළිබඳ ප්‍රඥප්ති ඇති වුණ යුගයක් නෙමෙයි. අඩුතරමේ එක්සත් ජාතීන්ගේ සංවිධානයවත් පිහිටුවලා තිබුණේ නෑ. නමුත් ශ්‍රී ලංකාව යුද්ධය මෙහෙයවන අද දවස එහෙම නෙමෙයි. මොනවා වුණත් ඒ වගේ බැඳීම් අඩු ලෝකයක් තුළ පවා හිට්ලර්ගේ අනුගාමිකයන් සම්බන්ධයෙන් ලෝකය කටයුතු කළ ආකාරය ඉතා ප්‍රසංශනීයයි.

  • ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරුණු ආකාරයත් එක්ක එක පැත්තකින් මේ කියන සදාචාරය ප්‍රශ්නයකට නැගිලා තියෙනවා. තවත් පැත්තකින් ඒ සදාචාර විරෝධී බව සාධාරණීයකරණය කරමින් එය ශ්‍රී ලංකාවේ වාසියට ගැනීමට මේ රටේ බොහෝ පිරිසක් උත්සාහ කරනවා?

  • බින් ලාඩන් සම්බන්ධයෙන් අමරිකානු රජය ක්‍රියා කරපු ආකාරය කොහොමත්ම අනුමත කරන්න පුළුවන් කමක් නෑ. තමන්ට සියලු බලය තියෙනවා ඒ නිසා තමන්ට ඕනෙ දෙයක් කරන්න පුළුවන් කියන ආකාරයට තමයි දැන් දශක ගණනාවක ඉඳන් ඇමරිකාව කටයුතු කරන්නෙ. බැලූ බැල්මට බින් ලාඩන් අවසන් වුණත් මේ ඝාතනය එක්ක අනාගතයේදී ඇමරිකානු ජනතාවට විශාල වන්දියක් ගෙවන්න සිදුවෙයි කියන එක ඉතාමත් නිශ්චිතයි. මෙතනින් මම අදහස් කරන්නේ මේ කණ්ඩායම් නැවත මතුවෙනවා කියන එක නෙමෙයි. මේක්‍රියා පටිපාටිය නිසා තමන් හිටියාට වඩා සදාචාර වශයෙන් කොතරම් පිරිහිලාද කියන එක ඇමරිකානු ජනතාවගේ හෘදය සාක්ෂියෙන් මකන්න පුළුවන්කම කවදාවත්ම ලැබෙන්නෙ නෑ. අනෙක් අතට ඇමරිකාවේ විශාල බුද්ධිමත් පිරිසක් මේ කරුණ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන එක නවත්වන්ඩ බැරිවේවි. විශේෂයෙන් බරක් ඔබාමා වගේ ජනාධිපතිවරයකු බලයට ගෙනා දැවැන්ත ප්‍රගතිශීලී බලවේගයන් මීට විරුද්ධව කටයුතු කරයි.

    අපේ රටේ ප්‍රශ්නයත් ඒ වගේ තමයි. අවුරුදු පනහකට කලිං හිටියාට වඩා අධ්‍යාත්මික වශයෙන් අපි ඉතා පිරිහිලා ඉන්නේ කියන යථාර්ථය අපි කාටවත් මඟහැරලා යන්න බෑ. අපි මේ ක්‍රමය තුළ දේශපාලනයේ තියෙන අතිශය දුෂ්ඨ දේවල් සහ අතිශය අධම දේවල් සාධාරණීකරණය කරන්න හරි ඉවසන්න හරි පුරුදුවෙලා තියෙනවා. මේක රාක්ෂයයි පරාක්ෂයයි අතර සටනක් වගේ පරාක්ෂයා දිනලා තියෙනවා. නමුත් සංස්කෘතික වශයෙන් සහ අධ්‍යාත්මික අතින් අපි පැරදිලා ඉවරයි.

    දරුස්මාන් වාර්තාව ප්‍රතික්ෂේප කරන්න ඔබාමා පිළිබඳ ප්‍රශ්නය අපි කොහෙත්ම අදාළ කර ගත යුතු නෑ. මේ වාර්තාව තුළින් ශ්‍රී ලංකාවෙන් අහන ප්‍රශ්න ඉතා බරපතළයි. ඇත්ත වශයෙන්ම මේ වාර්තාව හැකිනම් සිංහල භාෂාවට සහ දෙමළ භාෂාවට පෙරළලා සමාජගත කරන්න අවශ්‍යයි. මොකද එල්ටීටීඊ එක සම්බන්ධයෙන් රජය විසින් හෙළිදරව් නොකළ කරුණු රාශියක් මේ මගින් ඉස්මතු වෙනවා.

    මේ සම්බන්ධයෙන් තියෙන දෙවැනි ගැටලුව තමයි, දරුස්මාන් වාර්තාවෙන් ඉදිරිපත් වෙන්නේ මාධ්‍ය සමාජය නොදන්නා කරුණු නෙමෙයි. මේ ඔක්කොම දේවල් අපි කලින්ම දැනගෙන හිටියා. මොළයක් තියෙන බුද්ධිමත් සමාජයක් සහ රජයක් කරන්න ඕනෙ බොරු විරෝධතා පවත්වන එක නෙමෙයි. ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ඇමරිකාව විසින් සිදුකරන ලද දේවල් ලෝකයේ අනෙකුත් රටවල් එක්ක එකතුවෙලා ප්‍රශ්න කරනවා, හැර ඒවා සාධාරණීකරණය කරමින් ඒක අපේ වාසියට ගන්න උත්සාහ කරන එක සම්පූර්ණ වැරදියි.

    එක්සත් ජාතීන්ගේ සංගමයට විරුද්ධව පඹයෝ ගිනි තියලා උද්ඝෝෂණ කරන එක ලෝකයේ කොහෙවත් රටක වෙන්නෙ නැති තරම් ප්‍රාථමික එකක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක් විදිහට අපි කරන්න ඕනෙ එක්සත් ජාතීන්ගේ රාමුව රැකගන්න එක. ඒ නිසා පශ්චාත් යුද සමයේ අපිට සිදුකරන්න ඕනෙ වැදගත් කරුණු කාරණා ගණනාවක් තියෙනවා.

  • යුද කාලීන වශයෙන් මේ රටේ සාමය හා සංහිඳියාව පිළිබඳ කල්පනා කළ බොහෝ විද්වතුන් පෙන්වා දුන් ප්‍රධාන කරුණක් තමයි මේ රටට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව. යුද්ධය අවසන් වීමත් එක්ක 18 වන ව්‍යවස්ථා සංශෝධනය ආවා. දැන් 19 වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා වෙනවා. මේවා ඒ විදිවතුන් අදහස් කළ බලාපොරොත්තු ඉටු කරන මට්ටමේ ඒවද?

  • ඇත්තටම ඒක දුරදිග කල්පනා කරන්න ඕනෙ ප්‍රශ්නයක් තමයි. මෙතනදි මතුවන මූලික කරුණ තමයි, රජය කියන්නේ ව්‍යවස්ථාවද නීති පද්ධතියද කියන එක. මම හිතන විදිහට ව්‍යවස්ථාව හා නීතිපද්ධතිය කියන එක රජය කියන එකේ තාක්ෂණික ස්වරූපය මිසක් රජය නෙමෙයි. රජය කියන්නේ මේ රටේ ජීවත්වන මිනිස්සු ලක්ෂ ගණනාවක් වැඩ කරන ස්වරූපය. මෙතනදි අපි බලන්න ඕනෙ ඒ අය වැඩ කරන්නේ ව්‍යවස්ථාවට අනුවද කියලා. එතනදි අපිට පේන්න තියෙනවා ඉතා විශාල පරතරයක්. ඔවුන් කිසිවෙක් වැඩ කරන්නේ නීත්‍යනුකූල විදිහට නෙමෙයි.

    ව්‍යවස්ථාව කොච්චර වෙනස් කළත් වැඩක් නෑ මේ පිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ වෙනම විදියකට නම්. එහෙම බලද්දි මිනිස්සු කල්පනා කරන, හැදුණු වැඩුණු පිළිවෙළ, දෘෂ්ටිවාදී සමාජය වශයෙන් බෙදිලා තියෙන හැටි, සංස්කෘතික වශයෙන් හැඩ ගැහිලා ඉන්න විදිහ වගේ කරුණු ව්‍යවස්ථාවකට වඩා රටක ගමන කෙරේ බලපාන බව ඉතා පැහැදිලියි.

    අනෙක් පැත්තෙන් ගත්තාම අපේ ව්‍යවස්ථාව මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවක් සහිත එකක් වෙලා තිබුණත් අපි ක්‍රමයෙන් ඒක වෙනස් කරලා අපේ රටේ දේශපාලන සංස්කෘතියට ගැළපෙන එකක් අපි හදාගෙන ඉන්නවා. එතනදි අපි මූලික ව්‍යවස්ථාවන් තුළ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී විභවයන් හෙමි හෙමින් අතුගාලා දාන එකයි කළේ. අපේ රටේ ව්‍යවස්ථාව ඉන්දියාව වගේ වෙනත් රටක ව්‍යවස්ථාවක් එක්ක සන්සන්දනය කරලා බලද්දි ඉතා පැහැදිලිව පේන්නෙ අපි ශතවර්ෂ ගණනාවක් ආපස්සට ගිහින් ඇති බව.

  • මේ වගේ තත්ත්වයකින් ගොඩ ඒමේ මූලික පියවර විදිහට ඔබ කල්පනා කරන්නෙ මොකක්ද?

  • මූලික වශයෙන් අපි මේ වැටිලා ඉන්න තත්ත්වය අපේ රටේ හැම දෙනාටම ඉතා හොඳින් පැහැදිලි කරලා දෙන්න ඕනෙ. එතනදි මේ රටේ ඉන්න සංනිවේදකයෝ පස් වර්ගයක් ඉතා වැදගත් වෙනවා. ඒ තමයි, මාධ්‍යකරුවෝ, කලාකරුවෝ, ගුරුවරු, ආගමික නායකයෝ සහ ජනමත නායකයෝ. ඒ පිරිසට විශාල හැකියාවක් තියෙනවා මහජනයාට ඒත්තු යන විදිහට යම් බලපෑමක් කරන්න. මොකද ඒ අය තමයි මාධ්‍ය පවත්වාගෙන යන්නේ, ඒ අය තමයි කලාව නිෂ්පාදනය කරන්නේ ඒ අය තමයි පන්සලේ පල්ලියේ මිනිස්සු අමතා කථා කරන්නේ. ඒ නිසා මොවුන් අතරින් සමාජ වෙනස්වීමක වස්තූබීජ පැන නගින්න ඕනෙ. අපි පුනරුද ව්‍යාපාර කියලා සලකන්නේ ඒ වගේ දේවලට.

    ඒ නිසා පෙරමුණු බලවේගය හැටියට සමාජයේ විඥානය සකස් කිරීමට මේ කියූ පිරිසට තියෙන වගකීම ඉතා විශාලයි. එතනදි ඔවුන් මූලික වශයෙන් අලුතින් හිතන්න අවශ්‍ය වෙනවා. ඒ විදිහට අලුතින් හිතලා වැඩ නොකර හුදෙක් ව්‍යවස්ථාමය කඩදාසි වෙනස් කළා කියලා අපි මේ ඉන්න ශිෂ්ටාචාර අර්බුදයෙන් අපිට ගැළවෙන්න බෑ. නමුත් මේක ඉතා පහසුවෙන් සහ කෙටි කලකින් ජය ගන්න බෑ. එතනදි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ගුරුවරුන්ට තියෙන වගකීම ඉතාමත් වැදගත්. මොකද ඔවුන්ට තමයි පුළුවන් වෙන්නේ මේ ගොඩනැගෙමින් පවතින වැඩවසම් රාජ්‍යයට වඩා වෙනස් විදිහට හිතන අනාගත පරපුරක් ගොඩනගන්න.

    ඡායා - ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
    [රාවය 14.05.2011]

    ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    කවක් ගැබ වැද වදන් විළිලයි සිර වෙවී
    ඇසක් රතු වෙත වෙරළු මල් හිත දිය නොවී
    මලක් යැයි පෙම් බැන්ද කටුවට වසඟ වී
    රළක් නොනගන සයුර ඉහිනා හිතවතී

    ගිමත් කල් ඇඳි වසත් වත රැඳි පෙම් කවි
    තිතක් අරගෙන කොමාවක් නුඹ හැදු හැටී
    තතක් නොබිඳ ම වෙණ වැයූවෙක් ලොව නැතී
    විසක් පුරවා විතක් මග කෙළවර ඇති

    විරිත් නොමදැන මැවූ පද ළඟ පටලැවී
    සඳක් බව නුඹ අමතක ද ළඟ තරු එළි
    රැය ත් මිය යා යුතු යි ඉර ඇවිදින් යළි
    ගෙනත් දේවි ද කවුරු බිම ලූ හසරැළි

    සමු අරන් දුර ඇවිද ගොස් බර හදවතින්
    තබා සී පැස කාලයේ සෙවණැලි මතින්
    මතක පින්සල රැගෙන දවසක සෙනෙහසින්
    අඳිමි අහසෙහි බිඳුණු බඳුනක රුව සෙමින්

    මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    දසවෙනි ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය නොබෝදා ඉන්දු උප- මහද්වීපයෙහි දී නිමාවට පත් විය. එහෙත්, කි‍්‍රකට් උනුසුම මැකී ගොස් නැත. තදනන්තරව, ඉන්දියානු අයි. පී. එල් තරගාවලිය ඇරැඹුනු බැවිනි. නුදුරු අතීතයෙහි මාස කීපයකට පමණක් සීමා වූ කි‍්‍රකට් සමය මෙකල වසර පුරා ම රඳවා ගැනුමට ක‍්‍රීඩා පරිපාලකයන්, අනුග‍්‍රාහක සමාගම් ඇතුලු සියලූ පාර්ශ්වයෝ වග බලා ගනිත්.

    ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අතරතුර ක‍්‍රිකට් විචාරකයෝ ද, විස්තර කථකයෝ ද, මාධ්‍යවේදිහු ද, ක‍්‍රීඩා ලෝලීහු ද, සුපුරුදු පරිදි, නොවැදගත් සංවාදයන්හි පැටලී සිටියහ. අසවල් ක‍්‍රීඩකයා කපා හැරියේ මන්ද? අසවල් ක‍්‍රීඩාංගනයට තරගයක් නොදුන්නේ මන්ද? අසවල් දුර්වලතා සහ අක‍්‍රමිකතා සිදු වූයේ කාගේ වරදින් ද? යනාදී වසයෙනි. රාවය පුවත් පතෙහි පල වූ ඇතැම් ලිපියකින් ක‍්‍රිකට් විශයයෙහි බල පැවත්වෙන කලාපයීය දේශපාලනය, වර්ගවාදය හා වානිජ්‍යය ප‍්‍රශ්න කෙරී තිබුන ද, සමස්තයක් ලෙස, යට කී සියලු විශ්ලේශන, ඒ හෝ මේ කාරණාව විවේචනය කිරීමෙන් සෑහීමට පත් වූවා විනා වත්මන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙහි ජුගුප්සාජනක මුහුනුවර ගෝලීය සංස්කෘතික ඛාදනයේ හා පරිහානියේ ප‍්‍රකාශනයක් ලෙස දැක ගැනුමට අපොහොසත්ව තිබුනි. එබඳු වටහා ගැනීමක් සඳහා අදාල ප‍්‍රස්තුතය ඓතිහාසික වූත් ජාත්‍යන්තර වූත් සන්දර්භයක් තුල සාකච්ඡා කළ යුතු ය.

    ලෝක කුසලාන තරගාවලියෙහි කෙටි ඉතිහාසය දෙස හැරී බලන කල්හි එය ඉතා ඉක්මනින් ජනපි‍්‍රය වූ අන්දම දශක දෙක තුනක් ඇතුලත එහි පේ‍්‍රක්ෂක සංඛ්‍යාවෙහි දැවැන්ත ආරෝහනය යමෙකුට පෙනී යයි. තරගාවලිය නිමිත්තෙන් නිකුත් වන නිල සමරු භාණ්ඩ ලැයිස්තුව පමනක් පිටු ගණනාවක් පුරා දිවෙයි (1975 ප‍්‍රාරම්භක අවස්ථාවෙහි නිකුත් කෙරුනේ සිහිවටන තුන හතරක් පමනි). තරගාවලියට පෙර සිට ම, ඊට සහභාගි වන සෑම රාජ්‍යයක ම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන්හි ප‍්‍රධාන සිරස්තලය වනුයේ කි‍්‍රකට් ය. අනෙක් අතට, කි‍්‍රකට් පවතිනුයේ රටවල් ස්වල්පයක පමණක් හෙයින් ‘ලෝක කුසලානය’ යන නම පවා උචිත නැතැ යි යමෙකු පැවසුවහොත් එය ද අසාධාරණ නොවේ. එසේ නම්, ප‍්‍රස්තූත තරගාවලිය අලලා ගත් ඝෝශාවෙහි හා උන්මාදයෙහි අරුත කිම?

    වෙලඳපොල ග‍්‍රහනය

    අප ජීවත් වන මේ ධනේශ්වර යුගයෙහි කී‍්‍රඩාව සුලු පිරිසකගේ වරප‍්‍රසාදයක් මිස මහජනතාවන්ගේ උරුමයක් නොවේ. ලෝක ජනගහණයෙන් අති බහුතරයකට කී‍්‍රඩා කිරීමෙහි ඉඩප‍්‍රස්ථා නොමැත. ඔවුන් විනෝදාස්වාදය ලබනුයේ ක‍්‍රීඩාව නැරඹීමෙනි. එහෙත්, ධනපති ක‍්‍රමය එම අවස්ථාව වුව ධනෝපායනයෙහි යොදවයි (නා නා ප‍්‍රකාර වෙළෙඳ දැන්වීම් සඳහා ඉඩ සලසනු වස් රූපවාහිනී තිරයෙහි ක‍්‍රීඩාව දිස්වන රාමුව ප‍්‍රමානයෙන් කුඩා වන අයුරු නිරීකෂනය කරන්න). ක‍්‍රිකට් ප‍්‍රවර්ධනය පිණිස ඉදිරිපත්ව සිටින අනුග‍්‍රාහක සමාගම් විසින් එය අධික ලාභ උපදවන ව්‍යවසායයක් බවට - කී‍්‍රඩාව ද, කී‍්‍රඩකයින් ද උණු කැවුම් මෙන් විකිණෙන හුවමාරු භාණ්ඩ බවට පත් කෙරී ඇති බව නොකිවමනා ය. ඔවුන්ට, කී‍්‍රඩාව යනු තම නිපැයුම් අලෙවි කර ගැනුමෙහි ද, තම ප‍්‍රතිරූපය ගොඩනඟා ගැනුමෙහි ද, බදු සහන ලබා ගැනුමෙහි ද වාහකයකි. මෙලෙස, ඔලිම්පික් උලෙලෙහි සිට පාසල් ‘බිග් මැච්’ දක්වා සකල සියලු කී‍්‍රඩා උත්සව අනුග‍්‍රාහකයින් අතර තරගයක් බවට පෙරලී තිබෙන තතු යටතේ, ඊනියා ‘කි‍්‍රකට් වසන්තයක්’ පිළිබඳව කෙරෙන දැවැන්ත ප‍්‍රචාරයෙහිත් ඉරිදා පොලකින් නැගෙන ගාලගෝට්ටියෙහිත් වැඩි වෙනසක් නැත. සත්තකින් ම, මේ කාලකන්නි අවධියෙහි වෙළඳපොල නීතියට අවනත නො වන මොනයම් කී‍්‍රඩාවකට වුව පැවැත්මක් නොමැත. කෙටියෙන් කියතොත්, නූතන කි‍්‍රකට් කර්මාන්තය වටා මුදල් ගැවසෙනුයේ ඩොලර් කෝටි ගනනිනි.

    මූලාරම්භය හා වර්ධනය


    ඩබ්ලිව්. ජී. ගේ‍්‍රස්


    "Cricket Lovely Cricket" - ඒ මා කුඩා කල කියවන ලද පොතක නම ය. කි‍්‍රකට් යනු අධිරාජ්‍යවාදයෙහි - බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයෙහි නිපැයුමකි. එහෙයින් ම, එය උපතේ සිට ම මුදල් ගනුදෙනු සමඟ බැඳී පැවතින. 1697 දී සසෙක්ස් හි සංවිධානය කෙරුනු මංගල කි‍්‍රකට් තරගය මත් ගිනි පනහක් වෙනුවෙන් පැවැත්වූවක් බව බි‍්‍රතාන්‍ය විශ්වකෝශය පවසයි. නූතන කි‍්‍රකට් කී‍්‍රඩාවේ පියා හැටියට පිලිගැනෙන ඩබ්ලිව්. ජී. ගේ‍්‍රස් (1848-1915) මත් වෘත්තීය ක‍්‍රීඩාවෙහි නිරත විය. එසේවතුදු, එවක කි‍්‍රකට් කී‍්‍රඩාව මුදලේ ආධිපත්‍යයට මුලුමනින් නතුව තිබුනේ නැත. පෙර කී ගේ‍්‍රස් ලකුනු නොලබා දැවී ගිය අවස්ථාවක, කී‍්‍රඩා ලෝලීන් රැස්ව සිටින්නේ තම පිති හරඹය නැරඹීමට බැවින් තමාට නැවතත් පන්දු එවන ලෙස කියා සිටි බැව් පැවසේ! සත්තකින් ම, අඩ සියවසකට පෙර පවා කි‍්‍රකට් සංසන්දනාත්මකව සුන්දර කී‍්‍රඩාවක් ලෙස පැවතින. වාද්‍ය සංගීතය එහි දැවැන්ත වැදගත්කමත් පූර්න වර්ධනයත් සාක්ශාත් කලේ ධනවාදය යටතේ බැව් (ජර්මානු සංගීතඥ) හාන්ස් අයිස්ලර් සඳහන් කලේ ය. එසේ ම, කි‍්‍රකට් කී‍්‍රඩාව එහි ඉහල ම තාක්ශනයත් පරිපූර්න රූපාකාරයත් අත්පත් කොට ගත්තේ ධනවාදය යටතේ ය.

    13වෙනි සියවසෙහි පටන් වැඩවසම් එංගලන්තයෙහි ප‍්‍රත්‍යන්ත පෙදෙස්වල පැතිර තිබුනු ‘ක‍්‍රයිස්’ ක‍්‍රීඩාව කි‍්‍රකට් යනුවෙන් බෞතීස්ම කෙරුනේ 17වෙනි සියවස අග දී ය. ඒ වූ කලි ධනවාදයෙහි ආරම්භක (ප‍්‍රගතිශීලී) අවධිය යි. අනතුරුව ක‍්‍රමිකව වර්ධනය වූ කි‍්‍රකට්, ධනවාදයෙහි ඉහල ම අදියර ලෙස ලෙනින් හැඳින්වූ අධිරාජ්‍යවාදය යටතේ එහි ඉහල ම රූපය - ටෙස්ට් කි‍්‍රකට් - අත්පත් කොට ගති. ඒ වන විට, විධිමත් කි‍්‍රකට් කී‍්‍රඩාව ග‍්‍රාමීය ජනතාව වෙතින් ලන්ඩනය කේන්ද්‍ර කොට ගත් වරප‍්‍රසාදිත ධනපති පන්තිය අතට මාරු වී තිබින. දැවැන්ත ප‍්‍රාග්ධනයක හිමිකරුවන් ද, හිරු නොබසින අධිරාජ්‍යයෙහි පාලකයන් ද වූ මේ ධනපතීන් හට කි‍්‍රකට් වෙනුවෙන් වැය වන ධන සම්භාරයත් දිගු කාලයත් ප‍්‍රශ්නයක් නොවී ය. තව ද, තම ව්‍යාපාරික ගනුදෙනුවලදී සහ තම ෆැක්ටරි තුල දී කිසිසේත් රැකිය නො හැකි වූ ‘මහත්මා ගති’ ඔවුහු තම කී‍්‍රඩාවට ආරෝපනය කලහ. වැඩි කල් නොයා ම එය එංගලන්තයෙහි ජාතික ගිම්හාන කී‍්‍රඩාව බවට පත් විය.

    රදලවාදය හා පුරුශෝත්තමවාදය

    කෙසේ වෙතත්, වැඩවසම් නශ්ඨාවශේශ සමහරක් ද කි‍්‍රකට් කී‍්‍රඩාවට මුසුව තිබින. මුල දී, එම ක‍්‍රීඩාව හුදෙක් රදල පෙලැන්තියට සීමා විය. 1960 ගනන් වන තෙක් ම ‘මහත්වරුන් සහ ක‍්‍රීඩකයන්’ අතර (gentlemen vs. players ) වාර්ශික තරග පැවැත්වින. මහත්වරුන් ක‍්‍රීඩාගාරයට ඉදිරිපසින් සම්ප‍්‍රාප්ත වන විට ක‍්‍රීඩකයන් ඇතුලූ වූයේ පස්සා දොරෙනි!


    ජෝර්ජ් වොශිංටන්ගේ අනුශාසකත්වය යටතේ, එංගලන්තයට හා ඔස්ටේ‍්‍රලියාවට පවා පෙර ටෙස්ට් කි‍්‍රකට් සෙල්ලම් කල අමෙරිකාව සහ කැනඩාව තුල එය ජාතික ක‍්‍රීඩාව ලෙස ස්ථාපනය නොවූයේ, තම වංශවත්භාවය පිලිබඳව අමෙරිකානු හා කැනේඩියානු ධනපතීන් තුල හට ගත් සැක සාංකාව නිසා බැව් හාවර්ඞ් සරසවියෙහි සමාජ විද්‍යාඥයන් දෙදෙනෙකු විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. ක‍්‍රිකට් සමාජයන්හි සභාපති තනතුර ‘President’ යනුවෙන් හැඳින්වෙයි නම් දේශයේ නායකයාට ඒ නම උචිත නොවන්නේ මන්දැ යි 1780 දී අමෙරිකානු ජනරජයේ දෙවෙනි ජනාධිපති ජෝන් ඇඩම්ස් කොන්ග‍්‍රසයෙන් ප‍්‍රශ්න කලේ ය (එස්. පතිරවිතාන, —How America escaped being a cricketing country? ˜" Sunday Observer" 15/10/2006)

    ජාත්‍යන්තර මට්ටමින් කාන්තා කි‍්‍රකට් ප‍්‍රචලිතව තිබීම නොතකා එම කී‍්‍රඩාව විශයයෙහි ගතානුගතික පුරුශෝත්තමවාදය තවමත් එක්තරා දුරකට බලපැවැත්වෙයි. කි‍්‍රකට් කී‍්‍රඩාවෙහි පැරනිතම හා ප‍්‍රමුඛතම මූලස්ථානය වන මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයෙහි (MCC) සාමාජිකත්වය එදා සිට ම ස්තී‍්‍රන්ට අකැප ය. ‘කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ මක්කම’ ලෙස ප‍්‍රකට සුප‍්‍රසිද්ධ ලෝඞ්ස් කී‍්‍රඩා මන්ඩපයෙහි දිගු ආලින්දය අදටත් ස්තී‍්‍රන්ට තහනම් ප‍්‍රදේශයකි.

    ටෙස්ට් කි‍්‍රකට්

    1877 දී ආරම්භ වූ ටෙස්ට් කි‍්‍රකට් සඳහා නිශ්චිත තරග කාලයක් නොවී ය (එංගලන්තය හා දකුනු අපි‍්‍රකාව අතර 1939 දී පැවති ටෙස්ට් තරගයක් දින නවයකට පසුව අත්හැර දමන ලද්දේ එංගලන්ත පිලට තම රට බලා යන නැව අල්ලාගත යුතුව තිබූ බැවිනි!). දෙවෙනි ලෝක සංග‍්‍රාමයෙන් පසුව, කඩා වැටුනු ජාතික ආර්ථිකයන් පිලිසකර කිරීමෙහි වෑයමක නිරත වූ ධනපතීහු ටෙස්ට් කි‍්‍රකට් දින පහක (පැය 30 ක) උපරිමයකට යටත් කලහ.

    ටෙස්ට් කි‍්‍රකට්හි දී, එක් පිලකට කී‍්‍රඩා වාර (ඉනිම) දෙක බැගින් හිමි වන අතර ඉනිමක් තුල යැවෙන පන්දු වාර ( ඕවර) සංඛ්‍යාවෙහි සීමාවක් නැත. එහෙයින්, පිතිකරුගේ කී‍්‍රඩා ශෛලිය - එහි සියලූ සබලදුබලතා මැනවින් නිරීක්ශනය කරමින් සුදුසු උපමාරු යෙදීමෙහි අවස්ථාව පන්දු යවන්නාට හිමි වෙයි. එසේ ම, දුර්වල පන්දු පමනක් තෝරාබේරාගෙන දීර්ඝ ඉනිමක් කී‍්‍රඩා කිරීමෙහි අවස්ථාව පිතිකරුට හිමි වෙයි. කි‍්‍රකට් කී‍්‍රඩාවෙහි දැකිය හැකි සෑම මනරම් පිති හැසිරවීමක් (stroke play ) සහ සෑම මනරම් පන්දු විශේශයක් ම වර්ධනය කෙරුනේ යට කී අධ්‍යයනයෙහි හා පලපුරුද්දෙහි ප‍්‍රතිඵලයක් වසයෙනි.

    වෙනත් බොහෝ කී‍්‍රඩාවන් මෙන් නොව, ටෙස්ට් කි‍්‍රකට් වානිජ රකුසාගේ ග‍්‍රහනයට හසු වූයේ වඩාත් සෙමෙනි. එයට පැහැදිලි හේතුවක් තිබින. දින කීපයක් මුලුල්ලෙහි පැවැත්වෙන, නිතර ජය පරාජයෙන් තොරව අවසන් වන, විටෙක පේ‍්‍රක්ශකයා අලසභාවයට පත් කරන කී‍්‍රඩාවක් මුලූමනින් වානිජකරනය කිරීම අසීරු කටයුත්තක් විය. ඒ සඳහා සාමාන්‍ය කී‍්‍රඩාවෙහි දැකිය හැකි මෙකී ‘දුර්ගුන’ අහෝසි කල යුතුව තිබින. එය කල හැකි වූයේ කී‍්‍රඩාවෙහි ස්වරූපය මත් වෙනස් කිරීමෙනි.

    සීමිත ඕවර තරග


    කි‍්‍රකට් සඳහා පවතින ඉල්ලුම ශීඝ‍්‍රයෙන් ඉහල ගියේ, 1960 දශකයෙහි, වානිජමය කොන්දේසි මගින් නිර්නිත සීමිත ඕවර තරගවල ආරම්භයත් සමඟිනි. කි‍්‍රකට් කී‍්‍රඩාවෙහි නිජ භූමිය වන එංගලන්තය සම්බන්ධයෙන් වුව මෙය සත්‍යයකි. ඕනෑ ම කී‍්‍රඩාවක මූලාරම්භයට - දරුවන්ගේ ‘හැංගිමුත්තු’ සෙල්ලමට පවා ආර්ථික පදනමක් ද සමාජ- මනෝවිද්‍යාමය පසුබිමක් ද තිබෙන බව පෙන්වා දීම අසීරු නොවේ. එතෙතුදු නොව, දෙන ලද කී‍්‍රඩාවක සෑම නව ප‍්‍රභේදයක් මත් මෙකී සාධකද්වයෙහි ඵලයකි. එබැවින්, කි‍්‍රකට් කී‍්‍රඩාවෙහි සංක්ශිප්ත ප‍්‍රභේදය හෙවත් සීමිත ඕවර තරග බිහි වූයේ කිනම් තතු යටතේ ද?

    පශ්චාත් යුදකාලීන ලෝක පර්යාය වඩවඩා අර්බුදයට යත් ම ධනේශ්වර සමාජ ජීවිතයෙහි කලබලකාරී බව, අවිවේකය, නොසන්සුන්තාව හා නොඉවසිලිමත්කම වඩවඩා උග‍්‍ර විය. මෙහි ප‍්‍රතිඵලයක් වසයෙන්, එතෙක් ආර්ථික ක්ශේත‍්‍රයෙහි කි‍්‍රයාත්මක වූ - වඩා සරලව කියතොත්, භාන්ඩ හා සේවා සම්බන්ධයෙන් බහුලව බලපැවැත්වුනු, සෑම කාර්යයක් ම කඩිනමින් සපුරා ගැනුමෙහි අවශ්‍යතාව නොහොත් ‘ක්ශනික නූඞ්ල්ස්’ සංකල්පය සංස්කෘතික උපරි- ව්‍යුහය තුලට ද කාවැදින. එතෙක් සාපේක්ශ නිදහසක් භුක්ති විඳි කි‍්‍රකට් කී‍්‍රඩාව තුල මේ ප‍්‍රවනතාව ඉස්මතු වූයේ එක් දින කි‍්‍රකට් වසයෙනි. වැඩි පේ‍්‍රක්ශක පිරිසක් ඇද ගැනීම, රූපවාහිනී සජීවී විකාශන අයිතියෙහි විකිනුම් වටිනාකම, අනුග‍්‍රාහකයින් සොයා ගැනුමෙහි පහසුව, ඔට්ටු තැබීමේ ව්‍යාපාරයන්හි සාර්ථකත්වය, නව ගොදුරු බිම් එලිපෙහෙලි වීමෙහි විභවය යනාදී කී නොකී වෙලෙඳ අරමුනු එය පිටුපස පැවතින.

    1963 දී, එංගලන්ත ප‍්‍රාන්ත කන්ඩායම් අතර ජිලට් කුසලානය සඳහා පැවති ප‍්‍රථම අත්හදාබැලීමෙන් ම එහි ශක්‍යතාව පෙනී ගියේ ය. අනතුරුව පැන නැගි එක් දින ජාත්‍යන්තර තරග (ODI) බෙහෙවින් ජනපි‍්‍රය විය. ලෝක කුසලාන තරගාවලියකට පාර කැපුනේ මෙලෙසිනි.


    ටෙස්ට් කි‍්‍රකට් මෙන් නොව, සීමිත ඕවර ප‍්‍රභේදය තුල කී‍්‍රඩා තාක්ශනයෙහි හෝ කෞශල්‍යයෙහි අභිවර්ධනයට හිතකර වාතාවරනයක් නොපවතී. හැකි තාක් වේගයෙන් ලකුනු රැස් කිරීම පිතිකරුගේ අභිප‍්‍රාය වන අතර ප‍්‍රතිවාදී පිලෙහි මූලික අරමුන (පිතිකරු දවා ගැනුම නොව) ඔහුට ලකුනු නො දීම ය. වඩාත් ශෝචනීය වනුයේ පන්දු යවන්නාට අත්වන ඉරනම යි. තමාට නියමිත පන්දු වාර ස්වල්පය තුල දැඩි නීතිරීතිවලට යටත්ව ඔහු පන්දු යැවිය යුතු ය. උපක‍්‍රමික වසයෙන් වුව පා ඉන්නට පිටින් පන්දුව යොමු කිරීමට ඔහුට අවසර නැත. එමතුදු නොව, එක් දින තරග සඳහා නිතර ම තනතිලි සැකසෙනුයේ ද පිතිකරුවන්ගේ වාසියට ම ය. මේ සියල්ලෙන් පැහැදිලි වනුයේ කුමක් ද? සීමිත ඕවර කි‍්‍රකට් යනු හුදු වෙලෙඳාමක්, එනම්, පේ‍්‍රක්ශක පාරිභෝගිකයා පිනවීම ඉලක්ක කර ගත් ව්‍යාපාරයක් බව යි.

    මේ අතර, වානිජමය ව්‍යවසායයක් වසයෙන් මේ නවතම ක‍්‍රීඩාවෙහි ගැබ් වන බලය හඳුනා ගත් කෙරී පැකර් නමැති ඕස්ටේ‍්‍රලියානු ධන කුවේරයා (මාධ්‍ය හිමිකරුවා) කී‍්‍රඩකයන් මිල දී ගෙන පුද්ගලික ලෝක තරගාවලියක් සංවිවධානය කලේ නිල කී‍්‍රඩාවට අභියෝග කරමිනි. එතැන් පටන්, ඉතා කෙටි කලක් ඇතුලත නා නා විධ අංගෝපාංග - වෛවර්න පිජාමා, විදුලි ආලෝකය, ධවල පන්දුව, පවර් ප්ලේ යනාදිය කි‍්‍රකට්වලට එකතු විය. මින් බොහොමයක් කී‍්‍රඩාව මත බලෙන් පැටවුනු ඒවා මිස එය විසින් සැබවින් ම ඉල්ලා සිටින ලද වෙනස්කම් නොවේ. කි‍්‍රකට් කී‍්‍රඩකයන් හට කවදත් ඔබිනුයේ තාපය අඩුවෙන් අවශෝශනය වන සුදෝසුදු වස්ත‍්‍රය ම පමනි. එසේ ම, දිවා- රාති‍්‍ර තරග කී‍්‍රඩකයන්ගේ කායික හා මානසික ආරෝග්‍යයට එතරම් හිතකර නොවන බව වෛද්‍ය මතය යි. නමුත්, රූපවාහිනී නාලිකා ඔස්සේ කෝටි සංඛ්‍යාත ගෘහස්ථ පේ‍්‍රක්ශක සමූහයක් කී‍්‍රඩාවට ආකර්ශනය වීම හමුවේ කී‍්‍රඩකයන්ගේ සෞඛ්‍යය පරදුවට තැබීම වඩා ලාභදායී බව සංවිධායකයෝ තේරුම් ගත්හ. මොවුහු උශ්නාධික අරාබි කතරට පවා ‘පිජාමා කි‍්‍රකට්’ අපනයනය කලහ; එතෙකිනිදු නො නැවතී, හොංකොං සික්සර්ස් නමැති සය- සාමාජික කුඩා ලෝක තරගාවලියක් ද බිහි කලහ (මෙහි අනාගත ඉලක්කය හෙවත් යටි අරමුන, හොංකොං වැටමායිම පැන හැකි නම් ප‍්‍රකෝටි සංඛ්‍යාත පාරිභෝගික ජනතාවක් වෙසෙන චීනය තුලට ක‍්‍රිකට් රැගෙන යෑම යි). අභිනවයෙන් හඳුන්වා දෙන ලද Twenty20 ප‍්‍රකාරය ගැන කුමට කියමි ද?

    දකුනු ආසියානු කි‍්‍රකට්

    බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සිය යටත් විජිතයන් හට කි‍්‍රකට් හඳුන්වා දෙන ලද්දේ ශතවර්ශයකටත් පූර්වයෙන් වුව දකුනු ආසියාව පුරා වසංගතයක් මෙන් ‘කි‍්‍රකට් උන’ පැතිර ගියේ ඉතා මෑතක දී ය. වඩා නිශ්චිතව කියතොත්, 1983 දී ඉන්දියානු කන්ඩායම ලෝක ශූරතාව හිමි කර ගත් පසුව ය. අනතුරුව, 1992 දී පාකිස්තානු පිල ද 1996 දී ශී‍්‍ර ලංකා පිල ද ලෝක ශූරයින් ලෙස අභිශේක ලැබීමත් සමඟ ඉන්දු උප- මහාද්වීපයෙහි කි‍්‍රකට් උන්මාදය පෙර නොවූ විරූ මට්ටමට උත්සන්න වූ අතර මෙකල එය දොරක් දොරක් පාසා රැව් දෙන මාතෘකාවක්ව තිබේ. වෙසක් පුරපසලොස්වක දිනයෙහි ජනතාව ආගමික වත්පිලිවෙත්හි නිරත කරවනු වස් එදින රූපවාහිනියෙන් කි‍්‍රකට් නොපෙන්වීමට පියවර ගන්නැ යි මෙරට බෞද්ධ භික්ශූහු වරෙක රජයෙන් ඉල්ලා සිටියහ (අභිනව කි‍්‍රකට් රැල්ලෙහි තරම පමනක් නොව චිරාගත ආගම මුහුන දී සිටින අර්බුදයෙහි පරිමාව ද ඉන් පෙන්නුම් කෙරේ!).


    විජිත රාජ්‍යයන්හි කි‍්‍රකට් කී‍්‍රඩාව මුල දී බි‍්‍රතානත්‍ ජාතිකයන් හා ඉංගී‍්‍රසි උගත් ස්වදේශීය ප‍්‍රභූ පෙලැන්තිය අත පැවතීමත් වත්මන් කි‍්‍රකට් පිපාසාව එක්තරා දුරකට සිසිල් බීම නිශ්පාදකයන් ප‍්‍රමුඛ බහු ජාතික සංගත කීපයක හා මාධ්‍ය ආයතනයන්හි අනුග‍්‍රහයෙන් නිර්මිත දේශපාලන උපායක් වීමත් කරනකොටගෙන මේ කලාපයෙහි බොහෝ දෙනා තුල කි‍්‍රකට් අරබයා පවතිනුයේ හදිසියේ වගා කෙරුනු, කෘතක රුචිකත්වයකි. පන්දු පිටියෙහි භාවිත වන පරිභාශාවේදයවත් ඔවුහු හරිහැටි නො දනිති.

    ජයසූරිය භූමිකාව

    එක් දින කි‍්‍රකට්හි, මුල දී ඕවරයකට 3.0ක් පමන වූ ලකුනු රැස් කිරීමෙහි දල වේගය නොබෝ කලෙකින් 5.0 දක්වා වැඩි විය. 1990 ගනන්වල, ශී‍්‍ර ලංකා පිලෙහි ආරම්භක පිතිකරුවෝ මෙයට නව මානයක් දෙමින් කී‍්‍රඩාව උඩුයටිකුරු කලහ; එනම්, පන්දු රැුකීම සීමා කෙරුනු මුල් ඕවර 15 තුල විශාල ලකුනු ප‍්‍රමානයක් හඹා ගියහ. ඔවුන් තම පිති ප‍්‍රහාරය දියත් කලේ ඕවරයකට 08-10 නැතහොත් ඊටත් වැඩි වේගයකිිනි. යම්කිසිවෙකු පැවසූ පරිදි, එය ගිනිකෙලි සංදර්ශනයක් විය. ශී‍්‍ර ලංකා පිලට 1996 ලෝක ශූරතාව හිමි වූයේ ද මූලිකව ම මෙකී උපායෙහි ‘සාර්ථකත්වය’ හේතුවෙනි. මෙහි ප‍්‍රධාන භූමිකාව (master blaster& රඟ පෑ සනත් ජයසූරිය තරගාවලියෙහි අනගිතම කී‍්‍රඩකයා ලෙස නම් කෙරින. එක් දින කි‍්‍රකට්හි වේගවත් ම ශතකය, අර්ධ ශතකය, වැඩි ම හයේ පහරවල් සංඛ්‍යාව, ඕවරයක් තුල රැුස් කල වැඩි ම ලකුනු ගනන යන ලෝක වාර්තා ඔහුගේ ගිනුමට බැර විය. ‘ක‍්‍රිකට් කී‍්‍රඩාවේ බයිබලය’ ලෙස සැලකෙන Wisden Cricketers’ Alamanack වාර්ශිකය තම චිරාගත සම්ප‍්‍රදායට පවා පිටුපාමින් එතෙක් එංගලන්ත භූමියෙහි කී‍්‍රඩා නොකල ජයසූරිය වසරෙහි හොඳ ම කී‍්‍රඩකයන් පස් දෙනා අතරට තෝරා ගති.

    ජයසූරිය වීරයෙකු වූයේ පන්දු පිටියෙහි පමනක් නොවේ. ඔහු වෙලෙඳපොලේ ද වීරයෙක් බවට පත් විය. ඉන්දියාවෙහි පෙප්සි සමාගම ඔහු සමඟ ප‍්‍රචාරක ගිවිසුමකට එලඹුනේ කී‍්‍රඩකයෙකු සඳහා තමන් ඒ තාක් නොගෙවන ලද මුදලක් ඔහුට පිරිනමමිනි. "LMD" (ලංකා මන්ත්ලි ඩයිජස්ට්) නමැති මෙරට ප‍්‍රමුඛතම වානිජ සඟරාව ‘වසරේ ශී‍්‍ර ලාංකිකයා’ ලෙස ඔහුට උපහාර දැක්වී ය. වෙලෙඳ ප‍්‍රචාරයට සම්මාදම් වූ ප‍්‍රථම කි‍්‍රකට් කී‍්‍රඩකයා ජයසූරිය නොවෙතත් මෙහි සුවිශේශත්වයක් ඇත. ඔහුගේ ප‍්‍රහාරාත්මක පිති හරඹය කි‍්‍රකට් කී‍්‍රඩාවෙහි වර්ධනයකට වඩා වානිජ ලෝකය ලද ජයග‍්‍රහනයක් හැටියට ව්‍යාපාරිකයෝ ගනන් බැලූහ.


    ශී‍්‍ර ලංකා පිලෙහි ‘සාර්ථකත්වය’ දුටු සෙසු රටවල් ද ජයසූරිය අච්චුවේ ප‍්‍රහාරකයන් සෙවීමෙහි උත්සුක විය. ප‍්‍රතිඵලය ඉතා ප‍්‍රකට ය: පන්දුවට පහර දීමෙහි කලාත්මක තාක්ශනය ‘වල් අඩි’ හා ‘පොල් අඩි’ මගින් විස්ථාපනය කෙරින. එක් දින තරගයට අවතීර්න වන ටෙස්ට් පිතිකරුවන්ට පවා එලෙස ලකුනු ලබා ගැනුමට බල කෙරී ඇත. ධනපති මාධ්‍ය ආයතන මත යැපෙන, කලෙක කි‍්‍රකට් කී‍්‍රඩාව බැබලවූ රිචී බෙනෝ, ඉයන් චැපල්, සුනිල් ගවස්කාර් බඳු ප‍්‍රවීනයන් පවා ඉන් වශීකෘතව කෑ මොර දෙන අතර ඊට හුරේ දමන, විටෙක ප‍්‍රචන්ඩකාරීව හැසිරෙන අති විශාල පේ‍්‍රක්ශක ජනකායක් ද නිර්මානය කෙරී ඇත. මේ වනාහි ජරපත් ධනේශ්වර සමාජයේ සංස්කෘතික ඛාදනයෙහි පැහැදිලි පිලිඹිබුවකි.

    ජාතික විඥානය

    අනෙක් අතට, කි‍්‍රකට් කී‍්‍රඩාවෙහි මෙකී පරිහානිය හුදෙක් වානිජකරනයෙහි විපාකයක් හැටියට සැලකීම වැරදි ය. පන්ති සමාජයෙහි නිර්මිතයක් වූත් කී‍්‍රඩා බලධාරීන්, විස්තර කථකයින්, මාධ්‍යවේදීන්, අනුග‍්‍රාහකයින් හා දේශපාලනඥයින් විසින් නිරන්තරයෙන් උද්දීපනය කෙරෙන්නා වූත් ඉතා ම විසකුරු, ජුගුප්සාජනක මනෝභාවයක් වන ජාතික විඥානය ද ඊට බෙහෙවින් වග කිව යුතු ය. වඩාත් සිත් ගන්නාසුලූ කාරනාව නම්, කලෙක පරගැති කී‍්‍රඩාවකැයි ක‍්‍රිකට් අවඥූාවෙන් බැහැර කල උදවිය - ඇතැම් ජනතාවාදීන් හා ජාතික චින්තනවාදීන් පවා එලිපිට නොවේ නම් රහසිගතව එය වැලැඳ ගැනීම යි.

    ශ‍්‍රී ලංකාවට ටෙස්ට් වරම හිමි වීමට පෙර, මෙරට කි‍්‍රකට් පිටියෙහි පැවති (ලියුම්කරු සියැසින් දුටු) එක්තරා යථාර්ථයක් ඇත: ඵවක සිටි පේ‍්‍රක්ශක ප‍්‍රභූවරුන් තම පිලට මෙන් ම ආරාධිත විදේශීය පිලට ද සමෝසමව අත්පොලසන් දුන්හ. පේ‍්‍රක්ශාගාර තුල ජාතික ධජ ලෙල දුන්නා නම් ඒ ඉතා කලාතුරෙකිනි. හූ හඬක සේයාවකුදු නොවී ය. එහෙත්, මෙතතු වෙනස් වීමට ගත වූයේ එක් රැයකි; ජාතත්‍නුරාගයෙන් මත් කරන ලද අලුත්, ආගන්තුක, ලූම්පිත ප‍්‍රජාවක් පිටිය ආක‍්‍රමනය කිරීමත් සමඟිනි.

    ප‍්‍රකට සමාජ විද්‍යාඥයන් දෙදෙනෙකු වන ඩේවිඞ් ඩන්හැම් හා සිසිර ජයසූරිය පෙන්වා දෙන පරිදි, "වාර්ගික ගැටුම, භීශනය, අසමානතාව, පරිපීඩනය, දරිද්‍රතාව, අයථා දේශපාලනය යනාදියෙන් හෙම්බත්ව සිටි මෙරට ජනතාව කි‍්‍රකට් කී‍්‍රඩාව වෙත ඇදී ගියේ රටක් වසයෙන් ශී‍්‍ර ලංකාව දිනුමක් ලද එක ම ක්ශේත‍්‍රය එය වූ බැවිනි. පුරා දශකයක් ප‍්‍රචන්ඩතාව අත්දුටු සහ ධර්මිශ්ඨ සමාජයක් පිලිබඳ පූර්ව සිහින වාශ්පීභවනය වනු දුටු රාජ්‍යයකට කි‍්‍රකට්වලින් ලැබුනේ මහඟු අස්වැසිල්ලකි. එමගින් මහජනතාවන් හට පලා යෑමෙහි මඟක් විවෘත විය" ("He who pays the piper: Mephistopheles and the opiate of one-day cricket˜" Pravada" 1999, කලාපය 6,1). මෙරටෙහි කි‍්‍රකට් ජනපි‍්‍රය වීමෙහිලා ඉවහල් වූ එබඳු සුවිශේශ සාධක පැවතියේ වුව, කි‍්‍රකට් සමඟ කැලතුනු ජාතිකවාදය (nationalism& කිසිසේත් තනි රටකට සීමා වූවක් නොවේ. සියලු කී‍්‍රඩාවන් විශයෙහි පොදුවේ අවුලුවනු ලබන ජාත්‍යොන්මාදය වැඩී එනුයේ එක ම මූලයකිනි: පරිහානිගත ධනේශ්වර ක‍්‍රමයෙනි. එහෙයින්, මෙය හුදු ශී‍්‍ර ලාංකික ප‍්‍රපංචයක් වසයෙන් සලකා ගැනුමෙහි දී, පූර්වෝක්ත ලේඛක දෙපල පාඨකයාගෙන් වසන් කරනුයේ එම අති මූලික කරුන යි.

    නිශ්පාදනයෙහි භූගෝලීයකරනයත් සමඟ ‘ජාතික රාජ්‍යය’ නමැති යල් පීනු සංකල්පයෙහි පල්ල ගැලවී ගිය ද සංස්කෘතික ක්ශේත‍්‍රයෙහි තවමත් ජාතිකාභිමානය ඔජ වඩවනු ලැබේ. මහජනතාවන් තුල ව්‍යාජ දෘශ්ටිවාදයක් රෝපනය කරමින් ද, ජාතීන් භේදභින්න කරමින් ද (ඉන්දියාව හා පාකිස්ථානය අතර කි‍්‍රකට් තරගයක් යනු කුඩා යුද්ධයකි) ලෝක පරිමානව ධනපති පන්ති පාලනය තවදුරටත් පවත්වාගෙන යෑම මෙහි අරමුන යි. තරගකාරී කී‍්‍රඩාව ජාතිකවාදයට සරු පසකි. කී‍්‍රඩා ලෝලීන් ජාතික කොඩි’ වනමින් ද ජාතික ගී ගයමින් ද ඔල්වරසන් නගන අතරෙහි ව්‍යාපාරිකයෝ තම ලාභ රේට්ටු ඉහල නංවා ගනිති; පාලකයෝ මර්දනය දැඩි කරති.

    ජාතික විඥානය ඒ ඒ භූමියෙහි දී විවිධ ස්වරූප ගනී. කි‍්‍රකට් කී‍්‍රඩාවෙහි පොල්මඃකාර එංගලන්තයෙහි දී එය ඉංගී‍්‍රසි (ඇන්ග්ලෝ සැක්සන්) සංස්කෘතික ජාතිකවාදය වෙයි. ඉන්දියාවෙහි දී එය හින්දු ස්වෝත්තමවාදය සමඟ ද, පාකිස්ථානයෙහි දී එය එක්තරා දුරකට ඉස්ලාම් මූලධර්මවාදය සමඟ ද බැඳී පවතී. දකුනු අපි‍්‍රකාවෙහි (මෑතක් වන තෙක්) එය නිල වර්නභේදවාදය විය. ඇබොරිජීනු ස්වදේශිකයන් හට කි‍්‍රකට් වරම අහිමි කැන්ගරු දේශයෙහි දී එය සුදු ඕස්ටේ‍්‍රලියාවක් පිලිබඳ ස්වප්නයකි. ජාතික කන්ඩායම්වලට ඉඳහිට වෙනස් ජනවර්ගයන්ට අයත් ක‍්‍රීඩකයන් ඇතුලත් වීම නොතකා එය එසේ වෙයි.

    ජාතිකවාදයෙහි ශී‍්‍ර ලාංකික ප‍්‍රවර්ගය සිංහල වර්ගවාදය සමඟ සම්මිශි‍්‍රත ය. මෙරට ක‍්‍රිකට් විශයෙහි පැතිරුනු වර්ගවාදය 1970 දශකය තරම් ඈතට දිව යන බව පෙන්වා දෙනු ලැබ ඇත. එල්. ටී. ටී. ඊ සංවිධානය බිහි වීමටත් පෙර, එංගලන්තයේ ඕවල් පිටියෙහි බෙදාහරින ලද පති‍්‍රකවකින් අයැද සිටියේ වර්ගවාදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල වර්ජනය කරන ලෙස යි (මයිකල් රොබර්ට්ස් හා ඇල්ෆ‍්‍රඞ් ජේම්ස්, Crosscurrents: Sri Lanka and Australia at Cricket, Walla Walla Press, Petersham,1998). මේ චෝදනාවෙන් නිදහස් වනු පිනිස දෙමල ජාතික ක‍්‍රීඩකයෙකු හට ද ඉඳහිට ජාතික කන්ඩායම තුල ඉඩක් ලබා දීමට වර්ගවාදී ධනපති කොලඹ ආන්ඩු වග බලා ගත් අතර මුත්තයියා මුරලිදරන් අඛන්ඩව කුසලතා පෙන්වීම ඔවුන්ට මහත් අස්වැසිල්ලක් විය.

    ජාතිකවාදය, ජාත්‍යන්තර කම්කරු පන්තියෙහි එකමුතුවට බාධාකාරී වන බව ධනේශ්වර ආන්ඩු මැනවින් දනී. ලෝක පරිමානව, ප‍්‍රාග්ධනයෙහි වහලූන් වන වැටුප් ශ‍්‍රමිකයන් හට රටක් ජාතියක් නැති වග කම්කරු ව්‍යාපාරයෙහි නායකයෝ එදා සිට ම පෙන්වා දුන්හ. "ජාතිකාභිමානය නමැති දරුනු ශාපයෙන් ඔබ විමුක්තව සිටින වග මා නිරීක්ශනය කලේ බලවත් සන්තුශ්ටියකිනි" යි වරක් එංගල්ස් මාක්ස්ට ලියා යැවී ය.

    අනෙක් අතට, කි‍්‍රකට් කී‍්‍රඩකයන් වෙත එල්ල වන දූශන චෝදනාවන්ගෙන් (match-fixing) පැහැදිලි වනුයේ මොවුන්ගේ ජාත්‍යනුරාගය අල්ලසට යට වන බව යි. සමහරුන් වැඩි වාසි ගෙනෙන ‘ලීග් ක‍්‍රිකට්’ වෙනුවෙන් ‘ජාතික මෙහෙවර’ පාවා දෙන බවට ද මැසිවිලි නැගේ. මේවායෙහි සැබෑ වරදකරු ඒ හෝ මේ ක‍්‍රීඩකයා නොව ඔවුන් එතැනට ඇද දමන්නා වූ සමාජ ක‍්‍රමය යි.

    පුද්ගලවාදය

    ධනේශ්වර යුගයෙහි දී තියුනු මුහුනුවරක් ගත් පුද්ගලවාදය (individualism) අනෙක් ඕනෑ ම ක්ශේත‍්‍රයක මෙන් ම කී‍්‍රඩා ලෝකය පුරා ද ඔඩු දුවන පිලිලයක්ව තිබේ. කි‍්‍රකට් යනු කාන්ඩ කී‍්‍රඩාවක් වුව පන්දු යැවීම, පන්දු රැකීම හා පන්දුවට පහර දීම යන අංශත‍්‍රයෙහි දී ම එය (පුද්ගලවාදය) ක‍්‍රියාත්මක වනු පෙනේ. කී‍්‍රඩකයන්ගේ පෞද්ගලික කුසලතා හෙවත් ‘ක‍්‍රිකට් වාර්තා’ හුවා දැක්වීම මෙහි පැරනිතම රූපය වන අතර කේවල නිපුනතා මත කී‍්‍රඩකයන් ශ්‍රේනිගත කිරීම (ranking / rating ) මෙහි නවතම, වඩාත් අශෝභන අංගය වෙයි. මෙලෙස, ධනපති ජනමාධ්‍ය හා වෙලෙඳ සමාගම් විසින් නන් අයුරින් පුම්බනු ලබන ‘කි‍්‍රකට් තරු’ අද්‍යතන සමාජය මත පතුරුවනුයේ සුලූපටු ආනුභාවයක් නොවේ. කී‍්‍රඩා ලෝලීහු, විශේශයෙන් ම, බාල හා තරුන පරපුර මේ සේරිවානිජ චරිත පරමාදර්ශ ලෙස සැලකීමට පුරුදුව සිටිත්.

    කී‍්‍රඩකත්වය කෙලෙසීම

    ඕනෑ ම කී‍්‍රඩාවක දී, කී‍්‍රඩකයන්ගෙන් අපේක්ශා කෙරෙන එක් වැදගත් ගුනාංගයක් ඇත. ඒ, කී‍්‍රඩකත්වය (sportsmanship) යි. 1932-33 වකවානුවෙහි එංගලන්ත පිලෙහි නායකයා විසින් යොදා ගැනුනු කුප‍්‍රකට "body line attack" (මේ උපාය පිතිකරුවන්ට අනතුරුදායක විය) බඳු ඇතැම් විරල සිද්ධියක් හැරුනු විට, කලකට පෙර, පොදුවේ කි‍්‍රකට් කී‍්‍රඩකයන් වෙතින් මෙය නොඅඩුව විද්‍යමාන විය. දැවී ගිය පිතිකරුවෙකු විනිසුරුගේ තීරනයට පෙර ම කී‍්‍රඩාගාරය වෙත පිය නැගීම එවක ඉතා සුලභ දසුනකි. එසේ ම, දැවී ගිය බවට තීන්දු කෙරුනු පිතිකරුවන් යලි පිටියට කැඳවීම ද නිතර සිදු විය. එහෙත්, කල් යත් ම, බොහෝ පිතිකරුවන් පෙරලා පැමිනියේ විනිසුරුට රවමිනි. අනෙක් අතට, ජාතිකවාදී විශබීජයෙන් ආසාදිත ඇතැම් විනිසුරන් පක්ශග‍්‍රාහී තීරන ලබා දුන් අවස්ථා ද ඇත. මේ අයුරින්, කලෙක ‘මහත්වරුන්ගේ කී‍්‍රඩාව’ (Gentlemen’s game) ලෙස බුහුමන් ලද කි‍්‍රකට් ‘මහත් හොරුන්ගේ කී‍්‍රඩාවක්’ බවට පෙරැුලීම නිසා මධ්‍යස්ථ විනිසුරන් මතු නොව කැමරා පුනර්රූපන මත යැපෙන තෙවන විනිසුරෙකු යෙදවීමට ද, ආරාවුල් බේරන තරග තීරකවරුන් පත් කිරීමට ද ජාත්‍යන්තර කි‍්‍රකට් සම්මේලනයට සිදු විය. සාමාන්‍යයෙන්, තරග තීරකයන් ලෙස බඳවා ගැනෙනුයේ කී‍්‍රඩකත්වය මැනවින් ප‍්‍රදර්ශනය කල හිටපු ක‍්‍රිකට් කී‍්‍රඩකයන් ය. ඒ සඳහා සුදුස්සන් තේරීම අද කලුනික සෙවීමක් වී ඇත.


    සියලූ මානුශික සබඳතා හුදෙක් ද්‍රව්‍යමය ගනුදෙනු බවට ඌනනය කෙරුනු සමාජයක කී‍්‍රඩාවෙහි ආචාර ධර්ම පමනක් නොනැසී ඉතිරි විය හැකි ද? 1999 ලෝක කුසලාන තරගාවලියෙහි දී, ලකුනු අසූවක් ලබා සිටි පාකිස්ථානු පිතිකරු පාදයෙහි ආබාධයකින් බිම වැතිර ගත් කල්හි ඕස්ටේ‍්‍රලියානු පන්දු රකින්නන් ඔහු දුවද්දී දවා ගැනුමට හසු කර ගත් අශෝභන ලීලාව මත් කී‍්‍රඩාවෙහි වත්මන් ස්වභාවය මොනවට කියාපායි. මෑත ඉතිහාසයෙහි, අභ්‍යන්තර මතභේද හා පුද්ගල ගැටුම් උද්ගත නොවූ එක ද ජාතික කි‍්‍රකට් පිලක් වත් නොමැත. කී‍්‍රඩාව ජීවනෝපායයක් වීමෙහි ප‍්‍රතිඵල එබඳු ය. වර්තමානයෙහි, නිල කි‍්‍රඩාව මත් සූදු කෙලියකි. ඇතැමෙකුට එය ලොතරැයි දිනුමකි. තරගාවලියෙහි වීරයාට පිදෙන සුඛෝපභෝගී රථයෙන් එය සංකේතවත් වෙයි. මෙකල ටෙස්ට් කි‍්‍රකට් වුව තනිකර වෙලෙඳ ව්‍යාපාරයකි. එහි පැවති අතරමැද විවේක දිනය පවා ක‍්‍රීඩකයන්ගෙන් උදුරාගනු ලැබ ඇත.

    ආයෝජකයන්ගේ නවතම ජාවාරම හෙවත් ඉන්දියන් ප්‍රෙමියර් ලීග් කුසලාන තරගාවලිය (IPL Trophy ) 18වෙනි සියවසෙහි වහල් වෙලෙඳාම සිහියට නංවයි. වෙනසකට ඇත්තේ එදා වහලාට හෝ වහලියට කිසිදු පෞද්ගලික ප‍්‍රතිලාභයක් හිමි නොවීම යි. මෙකී තරගාවලිය සඳහා ක්‍රීඩකයන් හට ලන්සු තැබෙනුයේ ඩොලර් මිලියන ගනනිනි. 2008 දී ඇරැඹනු ප‍්‍රථම වෙන්දේසියෙහි දී ම ක්‍රීඩකයන් 75ක් ඩොලර් 36,780,000 මුදලකට අලෙවි වූ අතර එක් ක්‍රීඩකයෙකුගේ සාමාන්‍ය වටිනාකම ඩොලර් පන් ලක්ශයක් පමන විය!

    ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙහි මේ දැවැන්ත පරිහානිය ධනේශ්වර සංස්කෘතියෙහි ශීඝ‍්‍ර කුනු වීමට අනුරූප වෙයි. එදා පැවති සම්භාවනීය කී‍්‍රඩාවත් මෙදා ‘කව්බෝයි’ කී‍්‍රඩාවත් අතර පවතිනුයේ ප‍්‍රගාඪ පරතරයකි. ධනවාදය තම අවධිය තුල පරිපාකයට පත් වාද්‍ය සංගීතය තමන් යටතේ ම පරිහානියට ගොදුරු කලේ යම් සේ ද, එසේ ම, එය තමන් විසින් පෝශනය කෙරුනු කි‍්‍රකට් කී‍්‍රඩාව තමන් අතින් ම දූශනය කරනු ලැබ තිබේ.

    ලිපිය ආරම්භයෙහි දී මා සඳහන් කල ඒ අපූරු කෘතියෙහි කතුවරයා තවමත් ජීවතුන් අතර නම්, තමාගේ මීලඟ පොතට මෙලෙස නම් තබනු සිකුරු ය:
    "Cricket Ugly Cricket"

    [සත්වෙනි ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය නිමිති කොට ගෙන කම්කරු මාවත පුවත්පතට (1999 ජූනි 25 / ජූලි 09 කලාප) මවිසින් ලියන ලද "කි‍්‍රකට් කී‍්‍රඩාවේ අවගමනය: වානිජකරනය, ජාත්‍යනුරාගය හා පුද්ගලවාදය" නමැති ලිපියෙන් ඇතැම් කරුනු මෙහිලා යලි උපුටා ගැනින.]

    [ලිපියෙහි අක්ෂර වින්‍යාසය ලේඛකයාට අභිමත පරිදි යොදා ඇත.]

    දර්ශන මේදිස්



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    නුඹ තමයි ලෝකේ ලස්සනම අක්කා.......
    වියලි තොල් පට විදා කහ ගැහුණු දත් දෙපෙළ පෙන්නලා - හිනා වෙන
    නුඹ තමයි ලස්සනම අක්කා...

    නේක රූ පාන මුදු විලාසිනියන් අතර
    නුඹේ කළු කෙසඟ රුව පෙන්නලා - කියමි මම
    නුඹ තමයි ලස්සනම අක්කා...

    මව් උණුහුමක් නැතිව කඳුළු හා තනි වෙච්ච
    අපට අම්මා වෙච්ච අක්කා
    කිරි සුවඳ අහිමි වුණු මහගෙදර වහල වී
    අප තුරුළු කරන් උන් අක්කා
    ඇස නිල්ල සේදුණත් ලෝකෙන් ම ලස්සනම අක්කා...

    මත් දියට දියව ගිය පිය සුවඳ නොවිමසා
    කඳුළු තරවටු ඇතිව - අප නිසා දුක් වින්ඳ අක්කා
    රත ලවන් නැති වුණත් ලෝකෙන් ම ලස්සනම අක්කා...

    තක්සලා මායිමේ පිපී සිටියත් එකල මලක් වී..
    සියතින් ම එමල සිඳ - අප නිසා ගෙදර බර ඉහ උඩින් තියා ගත් අක්කා
    නීල සිකිපිල් නැතත් ලෝකෙන් ම ලස්සනම අක්කා...

    දුර ඈත අප නොදත් කාලයක - යොවුන් මල් සමය ආවත් පිපී...
    අප නිසා ජීවිතේ කතිර මැස්මෙන් මහපු අක්කා...
    ඒත් තරහක් නොගත් අක්කා..
    ලෝකෙන් ම ලස්සනම අක්කා...

    හෙට උදේ අප පිපෙන'යුරු දකින්නට උදා කුසුම් වී,
    ජීවිතේ බිඳ දමා සළු වියන්නට ඇදුණු අක්කා...
    කලාපේ දූවිල්ල මැද වුණත් පිපෙන්නැති - අපේ ආදරණීය අක්කා
    ලෝකෙන් ම ලස්සනම අක්කා...

    ගම පුරා ඉගිල යන - කටකතා විහඟ කැල
    ඇවිත් රිදවන විටත් ඇහින් කඳුලක් නොහෙලු අක්කා..
    අපේ දුකකට ම විතරක් තාම ඉකි බිඳින
    තමන් ගැන නොදන්නා අක්කා..
    ලෝකෙන් ම ලස්සනම අක්කා...

    හෙටට කිරුලස අරා - අප ගෙදර එන තුරා
    මහගෙදර පාලුවට තනි රකින නුඹ අපේ අක්කා..
    ලෝකෙන් ම ලස්සනම අක්කා...

    රූ රැජිණියන් කුමට - නුඹව පෙන්වා කියමි
    නුඹ තමයි ලස්සන ම අක්කා..
    ලෝකෙන් ම ලස්සනම අක්කා...

    [සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ
    10 වන ශ්‍රේණිය, මධ්‍ය මහා විද්‍යාලය- මහරගම]

    සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    මෝසම් වැසි සහ ඝන නීල තුරුලතා ගහන වියට්නාමය, පසුතලය කර ගත් 'ද සෙන්ට් ඔෆ් ග්‍රීන් පැපායා' චිත්‍රපටිය අපට කියන්නේ සින්ඩරෙල්ලා කථාවකි. එය යුරෝපීය සින්ඩරෙල්ලා කථාවක් නොව මෝසම් ආසියානු සින්ඩරෙල්ලා කථාවකි. දිය සීරාව, පැපොල් ගස් හා මැඩි, පළඟැටි සත්තු මේ සින්ඩරෙල්ලාගේ සොබාවික විශ්වයට ඇතුළත් වන අතර ඇගේ සමාජ විශ්වය නිමවනු ලබන්නේ දිළිඳුකම,-

    පංති විෂමතාව සහ කටුක ළමා ශ්‍රමය මගිනි. චිත්‍රපටිය ආරම්භ වන්නේ මුයී නම් වූ දිළිඳු ගැමි දැරියක් බොහෝ දුරක් ගෙවා පයින් සයිගොන් (වර්තමාන හෝ චිං මිං නගරය) නගරයේ ධනවත් මැඳුරක මෙහෙකාරකමට පැමිණීමෙනි. එය ධනවත් පවුලක් වුවත් සිය පුද්ගලික පරිභෝජනය වෙනුවෙන් තිබෙන ධන අතිරික්තය කුඩා ය. එයින් පෙන්නුම් කරන්නේ චිත්‍රපටියට පාදක කරගෙන තිබෙන හතළිහ දශකයේ වියට්නාම් ධනවාදයේ හැඩරුව විය හැකි ය. නිවස දැවයෙන් තනා තිබේ.

    කරුණාවන්ත සහ වේදනාබර ස්වාමිදුව සහ තවත් මෙහෙකාරියක යටතේ කුඩා දැරිය වැඩ කිරීමට පටන් ගන්නීය. ඉවුම් පිහුම් පමණක් නොව අතින් පොළොව මැදීම වැනි අලාමක වැඩවල නිරතවීමට ඇයට සිදු වේ. ඉවීම, පිරිසිදු කිරීම, ආහාර අනුභවය, නිදා ගැනීම වැනි මූලික මිනිස් ක්‍රියාවන් වෙත අවධානය යොමු කිරීම මගින් වියට්නාමයට ආවේනික සහල් සහ උණ බම්බු සංස්කෘතිය පිළිබඳ මනෝභවයන් අවදි කරන්නට චිත්‍රපටිය සමත් වෙයි. එය කැහැටු මිනිසුන් වෙසෙන, බට පැලැල්ලකින් මෙන් සමාජ ජීවිතය විනිවිද පෙනෙන දිළිඳු දේශයකි.

    ස්වාමිදුව, රෙදි වෙළඳොමක නිරතව සිටින අතර සැමියා නිද්‍රාශීලීත්වයට විවේකයට සහ සුශිර සංගීතයට බර වුණු ජීවිතයක් ගත කරයි. පවුලේ ආර්ථීකය ශක්තිමත් නැත. සැමියා දෙබිඩි චරිතයකි. ඔහු තම බිරිඳගේ කනකර සහ මුදල් රැගෙන අතුරුදන් වෙයි. ස්වාමිදුව ගෙදර මෙහෙකාරියන් දෙදෙනාගේ කුස පුරවන්නේ අපහසුවෙනි.


    මහ පවුලේ අධ්‍යාත්මික ලෝකය සැබැවින්ම දෙදරා ගොස් ඇති අතර පවුලේ අධ්‍යාත්මික ලෝකයේ නටබුන් ආරක්ෂා කැරෙන්නේ ස්වාමිදුව සහ ඇයගේ මහළු මව විසිනි. ඒ මහළු අම්මා මිය ගිය තම සැමියා වෙනුවෙන් ආගමික කටයුතුවල නිරත වී සිටින්නීය. නිවසේ මැණික ලෙස ජීවත් වුණු කුඩා දියණිය මිය ගොසිනි. මේ නිසා ස්වාමිදුවට සිය කුඩා මෙහෙකාරිය තුළින් පෙනෙන්නේ ද මියගිය තම සුන්දර දියණියයි.

    සමාජ පරිසරය තුළ ඇත්තේ ශෝකාකූල විදග්ධභාවයකි. එය සිනමාත්මක වශයෙන් පමණක් නොව සාහිත්‍යමය වශයෙන් ද ගොඩනංවනු ලැබූවකි. ගාබ්‍රියෙල් ගාර්ෂියා මාර්කෝස්ගේ කොලරා කාලේ ආලය නවකථාවේ ෆ්ලොරොන්තීනෝ අරීසා වැනි මහලු පෙම්වතෙක් ස්වාමිදුවගේ මහලු මව කෙරෙහි අකාලික ඇල්මකින් ජීවත් වේ. එය පරාජිත මහලු ප්‍රේමයකි. ඒ මහලු පෙම්වතිය ඔහුගේ ෆර්මිනා ඩාසා ය. එනයින් ගාබ්‍රියෙල් මාර්කෝස්ගේ කොලොම්බියානු ලෝකයේ වියට්නාම් අනුවර්තනය චිත්‍රපටිය තුළ අපට දැකිය හැකිය. දකුණු ඇමරිකානු නිවර්තන කලාපය සහ ආසියානු නිවර්තන කලාපය අතර භෞමික සහ මානව සමතාවක් ගොඩ නැඟීමට චිත්‍රපටිය උත්සාහ කරයි. මේ කලාප දෙකම ඇමරිකානු ආධිපත්‍යයෙන් මෙන්ම යුරෝපීය අධිරාජ්‍යයන්ගෙන් ද පීඩාවට පත් රටවලින් සමන්විත බව කල්පනා කරන විට මේ සංසන්දනය තුළ සැඟවුණු දේශපාලන යථාර්ථයක් අපට හඳුනාගත හැකිය. මෙම චිත්‍රපටිය වියට්නාම් බසින් නිපදවන ලද ප්‍රංශ චිත්‍රපටියක් බවත්, වියට්නාම් ප්‍රභූ නිවසක් ප්‍රංශයේ ඉදි කොට රූපගත කර තිබෙන බවත් සිහිපත් කළ මනාය. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා වන ට්‍රාන් ඇං හුං වියට්නාමීය - ප්‍රංශ පුරවැසියෙකි. 1975 දී සයියොන් නගරය වියට්කොං හමුදා සතු වූ විට ප්‍රංශයට පලා ගිය පවුලක සාමාජිකයකු වූ ඔහු තම වියට්නාම් බිරිඳ ද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය ලෙස යොදා ගෙන තිබේ.


    පැපායා චිත්‍රපටිය අවසන් වන්නේ යටකී දැරිය එම නිවසට ආ ගිය ධනවත් සංගීතඥයකු සමග හාදවීමෙනි. ඇය එම නිවසේ මෙහෙකාර කමට යන අතර කූයෙන් නමැති එම සම්භාව්‍ය පියානෝ වාදකයා ඇගේ ඇසුර පතයි. ඔහු නිසා ඇය ගැබ්බර වන්නීය. ඔහු ඇයට අකුරු උගන්වයි. චිත්‍රපටිය අවසන් වන්නේ ඇය තම කුසේ සිටින දරුවාට ඇසෙන සේ පොතක් හඬ නඟා කියවීමෙනි.

    කුරිරු යුද්ධයක් නිවී ගිය ගිනිදැල් මැදින් ඉපදුණු මේ වියට්නාම් සිහින කුමරිය පශ්චාත් - යුද වියට්නාමයේ ධනේශ්වර ෆැන්ටසිය බව කිව මනා නොවේ. මුළු චිත්‍රපටිය පුරා පංති විසමතාව සවිස්තරාත්මක ලෙස නිරූපණය වන අතරේ වියට්නාම් ගැහැනිය ඒ සියල්ල අතික්‍රමණය කරන්නීය. ඇය වියට්නාම් පිරිමියාගේ සිහින දෙව්දුවයි. ඔහුගේ සිහිනය වෙනුවෙන් ඇය ඔහුගේ මැදුරේ බැලමෙහෙවර කරයි. ගස්ලබු සුගන්ධය සහිත සොබාදහම් තුරුල්ලේ නිදයි. ඔහු හමුවන තුරු ඇය සාක්ෂරතාව පවා නැති හද්දා පිටිසර මෝඩියෙකි. එමෙන්ම පිවිතුරු කන්‍යාවියකි. මදුරු දැල යට නිදා ගන්නා නිසා ඇයට මදුරුවකුගෙන්වත් තුවාලයක් සිදු වී නැත. එනමුත් වියට්නාම් පිරිමියා ඇය වැන්නියක පතන්නේ ඔහුගේ සිහින ලෝකයේ දී පමණි. පහළ පංතික ගැහැනිය ඔහුට දැරිය නොහැකි වියදමකි. ඔහු ඡේන් ඔස්ටීන්ගේ ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුට්ස් නවකථාවේ එන කර්නල් ෆිට්ස්විලියම් කෙනෙකි. එබැවින් පැපායා කුමරියක වියට්නාම් සිනමාව තුළට ප්‍රවිෂ්ට වන්නේ පශ්චාත් යුද සමාජයේ ධනේශ්වර පිරිමියා වෙනුවෙනි. ප්‍රාග්ධනය ඉදිරියේ පිරිමි පෞරුෂයේ ඒකාබද්ධතාව රැක ගැනීම සඳහා ඔහුට පැපොල් කුමාරියක වුවමනා වේ. ඇය නොමැති තැන ඔහුට ප්‍රාග්ධනය සහ ගැහැනිය සමග එක යහනේ රමණය කළ නොහැකිය. ප්‍රාග්ධනයේ කුමරිය අවාහ කර ගන්නා වියට්නාම් ධනේශ්වර කුමරා පැපොල් කුමරියගේ ෆැන්ටසිය තුළ සිය ලිංගිකත්වයේ ඉතිහාසය සටහන් කරයි. වියට්නාම් සිනමාවට ද ස්වකීය සිනමාත්මක ව්‍යුහය ගොඩනගා ගැනීම සඳහා පැපොල් කුමාරියක වුවමනා වේ. වියට්නාම් සිනමාවේ ලිබ්ඩෝ ආර්ථීකය මහ බැංකුව ඇයයි. ජනප්‍රිය සිනමාව තුළ කවදත් ජීවත් වූ ඇය මෙලෙස කලාත්මක සිනමාවට ද අවතීර්ණ වන්නේ ජාතික බුද්ධිමතාව ද ඇයගේ ෆැන්ටසි පහස වුවමනා බැවිනි. ඇය විසින් නියෝජනය කරනු ලබන්නේ පැරණි වියට්කොං දේශපාලනයේ ප්‍රතිවාදී චින්තනයය. ඇය ධනේශ්වර වියට්නාමයේ ස්ත්‍රී ප්‍රතිමාවයි.

    [රාවය| චැප්ලින් කොලම]

    එරික් ඉලයප්ආරච්චි



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    තුංග උතුවන්කන්ද පාමුල
    කෝපි මල් අහුරක් තියා
    මම්මලේ මට ඇහෙනවා බන්
    ඉකිබිඳින හඬ මේනකා...

    බංගලාවක් බින්ඳ දවසක
    හංගගෙන ආ රිදී කූරක්
    කෝපි මල් කළඹක් ම ගැවසූ
    කෙස් රොදක් අතුරින් යවා
    හිඟුල ඔය ළඟ වාඩිකර උඹ
    හැඩ බලන්නට ආයෙ දවසක්
    එන්නෙ නෑ මට මේනකා...

    තුංග උතුවන්කන්ද පාමුල
    කෝපි මල් අහුරක් තියා
    මම්මලේ මට ඇහෙනවා බන්
    ඉකිබිඳින හඬ මේනකා...

    (වර්ෂ 1864 ක් වූ මැයි මස සත් වැනිදා බෝගම්බරදීය)

    රුවන් බන්දුජීව



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    මිලිටරි ටෙරේනිං සමයං දකින කොට
    සිංදුම දෙකක් ආවා පැන පැන කටට...


    1. හතර වරං දෙවි මහ රජ
    හතර වටෙං ඇවිදිං
    'බුලත් කෙළ' ඉසිති පුතුනේ
    පුවක් මල් කිනිත්තෙන්



    2. බුදුන් වඳින මේ දෑතින්
    වැඳලා කියන්නම් ලොක්කෝ
    'අයියලා' මෙන් ඔය හිත නෑ පාරන්නේ මං

    සුරත්



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    සුදු නෙළුමක් පිපෙනු වගේ දෝතට වැඩි දවසේ
    ඇඳි සිතුවම බොඳ වී නැත අදටත් සිත් අහසේ
    සම රැළි වී, හිස සුදු වී නෙතේ අඳුර ගැවසේ
    එනමුත් සිත පිබිදෙයි කිරි සුවඳක් හොර රහසේ

    කුරුලු කැදැල්ලක උණුහුම තිබුණත් අප නිවසේ
    සිහින බිඳුණි, පිය සෙනෙහස නුඹ හැරගිය දවසේ
    ඒ අඩුවක් නො දැනෙන්නට කැකුළු හිතට රහසේ
    තනිවම වෙර දැරුවෙමි මම කඳුළු වසා දෙ ඇසේ

    දින දින ගත වෙලා ගිහින් දිවියේ දින දසුනේ
    අග්ගිස්සේ රැඳුණත් මම, මට තනි නැහැ පුතුනේ
    දුබලව නො දැමෙන අත පය වලංගු නැති මෙ දිනේ
    නුඹට බරක් වූ එක නම් හිතට බරක් පුතුනේ

    නෙත රඳවා, සිතිජ ඉමේ නුඹ සිතුවිලි දැහැනේ
    තනි වෙන වි‍ට මැවෙනා රූ මොනවාදැයි නොදැනේ
    පිපෙනවා ද කඳුළු පියුම් තනිකඩ රෑ යහනේ
    දූ දරු පියබඳ පෙම අද විඳිනවා ද සිහිනේ

    දෙ තන වැහැරුනත් රන් කිරි සුවඳක සිත පැටලේ
    නුඹේ ලෙයින් උපන් පුතෙක් හිනැහෙයි හිත පතුලේ
    මැණිකක් වන් පුතෙක් හදන පින දැරු මගෙ තුරුලේ
    හීන් දුකක් බොඳ වෙනවා රහසෙම නෙත කඳුලේ

    දස මස කුස රඳවා කිරි කල මහිමෙට රුහිරේ
    බුදු වෙනවලු, අම්මාවරු දිනයක මතු සසරේ
    පිය කෙනෙකුගෙ රැකවරණය මට දුන් දිවි කතරේ
    බුදු වරයෙක් නොවෙද නුඹත් පෙරුම් පුරන සසරේ

    මානෙල් ප්‍රනාන්දු



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    වසර කිහිපයකට පෙර බී. ඒ. ගෞරව උපාධියෙන් පළමු වැනි පන්තියේ සාමාර්ථයක් ලැබූ තවමත් ස්ථිර රැකියාවක් නැති, මාගේ දෙටු දියණිය එම්. ඒ. උපාධියක් කරන්නට සති අන්තයේ පන්ති වලට සහභාගි වන්නට තීරණය කළේ ස්ථිර රැකියාවකට එම්. ඒ. එකක් තිබීම වැඩිමනත් සුදුසුකමක් වන බවට තර්ක කිරීමෙන් පසුවය. වසරක් පමණ, විශ්ව විද්‍යාලයේ සති අන්ත දේශන වලට සහභාගි වූ ඇය කුමාරස්වාමි, කුමාරතුංග, වික්‍රමසිංහ-

    හා පරණවිතාන ලියූ පොත පත ගැන විපරම් කරන්නට ගත්තේ ඒවා ගැන පැවරිම් ලියන්නට පැවරී ඇති බවට මැසිවිලි නගමිනි. පැවරුම් ලියන්නට හෝ මේ උගතුන්ගේ පොත්පත් ගැන සොයා බලන්නට ලැබීම සරසවි වරමක් ලැබීමක් යෑයි මා කී විට ඈ මට ද ගස්සා ගෙන ගියත් කොහෙන්දෝ සොයා ගත් පොත් දෙක තුනක් උදවු කර ගනිමින් පැවරුම් ද නියම වේලාවට බාර දුන් බව පස්වනක් ප්‍රීතියෙන් පිනා යමින් පැවසුවාය. ඉන් පසුව විභාගයට පාඩම් කරන්නට ගත්තේ පස්වැන්නේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවකුටත් වඩා උනන්දුවෙනි. විභාගයට දින කිහිපයකට කලින් හොරගල් අහුලමින් මා වෙතට පැමිණි ඇය මගේ හිතමිත්‍ර කථිකාචාර්යවරයකුට කතා කර තමාට උදවුවක් ලබා දිය හැකි දැයි විමසුවාය. ඇයට පිළිතුරු අවශ්‍ය කර තිබුණේ අමුතු විදිහේ ප්‍රශ්නයකට බව මට පෙනී ගියේය. "සර් එම්. ඒ. එකෙයි එම්. එස්. සී. එකෙයි වෙනස තියෙන්නෙ උත්තර බලන විදිහෙද?" යනුවෙන් මගේ මිතුරු කථිකාචාර්යවරයා විමසූ විට ඇයට ඔහුගෙන් ලැබුණ පිළිතුර කුමක් වුවද, මම ඉන් පසුව ඇගෙන් ඒ ගැන විපරම් කර බැලුවෙමි.

    "අපි කරන්නෙ එම්. ඒ. එකනෙ. ටික දෙනෙක් ඉන්නවා එම්. එස්. සී කරන. එම්. ඒ. අයගේ පේපර්ස් යන්තම් බළලා එම්. එස්. සී. පේපර්ස් හොඳට බලනවා කියලා ........... සර්රුයි, ........ සර්රුයි කිව්වා."

    ඇය කිසියම් අන්ධභූතයක පැටලී සිටින බවක් මට පෙනී ගියේය.

    "එම්. ඒ. හරි, එම්. එස්. සී. හරි කියන්නෙ මාස්ටර්ස් ඩිග්රි එකක්. ඕකෙ වෙනස කියන්නෙ අපේ විශ්ව විද්‍යාල වල එක අවුරුද්දෙ මාස්ටර්ස් තියෙනවා taught courses. පේපර්ස් ලියලා ඩිසටේෂන් එකක් කරන්න තියෙනවා. අවුරුදු දෙකේ රිසර්ච් මාස්ටර් එකේදි තියෙන්නෙ පේපර්ස් ලියලා රිසර්ච් ඩිසටේෂන් එකක් ලියන එක. ඒක සුපවයිසර් කෙනෙක් යටතේ කරන්න ඕනෙ." යි මේ ගැන විමසූ විට මගේ මිතුරු කථිකාචාර්යවරයා මට පහදා දුන්නේ ය.

    "ඔය දෙකටම එකම පේපර් එක දෙනවද?" මම පැටලුම ලිහා ගන්නට තැත් කරමින් විමසුවෙමි.

    "සමහර විට දෙන අවස්ථා තියෙනවා. එහෙම වුණහම ප්‍රශ්න පත්‍රයේ උපදෙස් දෙනවා අවුරුද්දෙ කෝස් එක කරන අය ප්‍රශ්න හතරකටයි දෙකේ අය ප්‍රශ්න පහකටයි ලියන්න කියලා. එහෙම නැත්නම් වෙනම වැඩිපුර කොටසක් ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. අවුරුදු දෙකේ කෝස් එක කරන අයට විතරක් පිළිතුරු ලියන්න දීපු."

    ඒ හැරෙන්නට හොඳට බලා ලකුණු දෙන උපාධියක් හා යන්තමින් බලා පාස් කරන උපාධියක් කියා දෙකක් තමා නොදන්නා බව ඔහු මට සහතික ලෙස කියා සිටියේය.

    එසේ නම් අපේ කෙලීට පැටලැවිල්ලක් වෙලා ඇතැයි මම හිත හදා ගත්තෙමි.

    එහෙත් වැඩි හොඳට මේ ගැන සොයා බලන්නට මගේ හිත මට බල කළ බැවින් විශ්ව විද්‍යාල වල ලොකු තනතුරු දරන කිහිපදෙනකු හමු වී මේ පශ්චාත් උපාධි ගැන තව කරුණු දැන ගන්නට මට මඟක් පාදා ගත හැකි විය.

    පශ්චාත් උපාධියක් යනු මුල් උපාධියෙන් නැත්නම් බැචිලර් උපාධියෙන් පසුව කළ හැකි උසස් විභාග ක්‍රමයකි. දැන් බොහෝ රටවල් එක අවුරුද්දේ එම්. ඒ, එම්. බී. ඒ, එම්. එස්. සී ආදිය දෙන්නේ නියමිත විෂය ඒකක ගණනක් හදාරා ප්‍රශ්න පත්‍ර කිහිපයකට පිළිතුරු ලියා ලබා ගන්නා ලකුණු අනුවය. තවත් සමහර රටවල් රිසර්ච් හෙවත් පර්යේෂණ සුදුසුකම් සලකා බලා උපාධි නිබන්ධයක් හෙවත් තීසීස් එකක් ලියවා පශ්චාත් උපාධි පිරිනමයි. ලංකාවේත් මේ ක්‍රම දෙකටම පශ්චාත් උපාධි ලබා ගත හැකිය.

    පශ්චාත් උපාධි ලබා ගැනීමට යොමු වන අය කොටස් කිහිපයකට වර්ග කළ හැකිය. ඇතැම් අය විනෝදයට නැතිනම් ශාස්ත්‍ර කුතුහලයට පශ්චාත් උපාධි හදාරති. ඇතැම් වෛද්‍යවරුන් බෞද්ධ අධ්‍යයනයට අදාළ ආයතන වලින් පශ්චාත් උපාධි ලබා ගන්නා අවස්ථා මේ සඳහා නිදර්ශන වශයෙන් දැක්විය හැකිය. තවත් පිරිසක් සේවා උසස්වීම් සඳහා පශ්චාත් උපාධි සඳහා සූදානම් වෙති. ගුරුවරුන් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන් ද මේ ගණයේ ලා සැලකිය හැකිය. විශ්ව විද්‍යාල වල ආචාර්යවරුන් වශයෙන් සේවය කරන්නවුන් සඳහා ද පශ්චාත් උපාධි ලබා තිබීම අනිවාර්ය වෙයි. අවුරුදු 8 ක් 10 ක් සහකාර කථිකාචාර්යවරුන් වශයෙන් සේවය කර පශ්චාත් උපාධියක් නිම කර ගැනීමට නොහැකිව විශ්ව විද්‍යාල වලින් ඉවත් වන ආචාර්යවරු ද වෙති.

    මේ බොහෝ දෙනාට පශ්චාත් උපාධි සුදුසුකම් ලබා ගැනීම සඳහා ශිෂ්‍යත්ව හා අධ්‍යයන නිවාඩු ආදිය හිමි වෙයි. ඒ සඳහා මහජන මුදල් වැය වන බැවින් මේ පශ්චාත් උපාධි වල තත්ත්වය ගැන කතා කිරීමට මහජනයාට අයිතියක් තිබේ. මේවායේ තත්ත්වය අපට දැක ගත හැකි වන අවස්ථා විරල ය. ඇතැම් ආචාර්ය මහාචාර්යවරුන් ජනමාධ්‍ය වලින් හා ප්‍රසිද්ධ සභා වලදී පවසන දෙයින් අපට ඔවුන්ගේ මට්ටම මැන ගත හැකි වෙයි. තවත් පිරිසක් තමන්ගේ උපාධි නිබන්ධන මුද්‍රණය කරවති. ඒවාහිද ඔවුන්ගේ මට්ටම පිළිබිඹු වෙයි.

    මුද්‍රණය කරවන ලද මෙබඳු නිබන්ධන අතරින්, ඇතැම් ඒවා අති විශිෂ්ට ශාස්ත්‍රීය කෘති සේ පිළිගැනේ. වල්පොල රාහුල හිමියන්, නන්දදේව විඡේසේකර මහතා, ගුණපාල මලලසේකර මහතා හා ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා වැනි අය කිහිපදෙනකුගේ ආචාර්ය උපාධි නිබන්ධන 60 ගණන් වල මුල පටන් උගතුන්ගේ ප්‍රසාදයට පත් වී තිබුණු බව අපගේ මතකයේ පවතී. කොටගම වාචීස්සර හිමියන්ගේත්, ඇම්. බී. ආරියපාල හා හේම එල්ලාවල මහත්වරුන්ගේත් ආචාර්ය උපාධි නිබන්ධන ද 60 ගණන්වල අගදී ද, රණවීර ගුණවර්ධන මහතාගේ නිබන්ධනය 90 ගණන් වල මුලදී ද සිංහලයෙන් කියවන්නට ලැබිණි. මේවා පදනම් කර ගනිමින් ශිෂ්‍යයන් මෙන්ම ආචාර්යවරුන් ද පොත් හා ලිපි ලේඛන සෑහෙන සංඛ්‍යාවක් ලියා තිබීමෙන් ඒවායේ වැදගත්කම මැන ගත හැකිය. ඩී. වී. හපුආරච්චිගේ සිංහල නාට්‍ය ඉතිහාසයත්, විභාවි ශ්‍රී විජයවර්ධනගේ සිංහල භාෂා අධ්‍යයන ග්‍රන්ථත් මෑතදී පළවී තිබෙන හොඳ පශ්චාත් උපාධි නිබන්ධන දෙකක් බව මට පෙනී ගියේය.

    ඒ අන්දමින් විශ්ව විද්‍යාල වලට ඉදිරිපත් කළ පර්යේෂණ මුද්‍රණය කර ඇති තවත් අවස්ථා කිහිපයක් මෑතදී දැකගත හැකි විය. ඉන් දෙකක් විශේෂයෙන් මගේ අවධානයට ලක් විය. එකක් සීගිරි චිත්‍ර පිළිබඳව ලියූවකි. (ගිරි බිතෙහි තී යනු ඒ පොතේ නමයි) එයට පී. එච්. ඩී. හෙවත් ආචාර්ය උපාධිය පිරිනමා ඇත. ශාස්ත්‍රීය අධ්‍යයනයකදී ඒ විෂය පිළිබඳව ලියවුණු වෙනත් ශාස්ත්‍රීය කෘති පදනම් කර ගැනීම මූල ධර්මයකි. එක පොතකින් පමණක් කරුණු ලබා ගනිමින් පොතක් ලිවීම සොරකමක් බව ද, පොත් ගණනාවකින් කරුණු ලබාගෙන ලියූ කල එය පර්යේෂණයක් බව ද කියන්නේ විහිළුවට නොවේ. එහෙත් මේ පොතට කරුණු ලබා ගෙන ඇත්තේ ශාස්ත්‍රීය ග්‍රන්ථවලින් නම් නොවේ. තරුණ ශිෂ්‍යයන් වෙසක් කලාප වලට ලියූ ලිපි ආදියෙනි. සීගිරි ගී ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ලියූ Sigiri Graffiti පොත නොබලන මේ පර්යේෂකයා පරණවිතාන මහතාගේ පොත් වලින් කරුණු ගනිමින් වෙනත් අය ලියූ පොත් මේ උපුටා දක්වයි. මෙය පිළිගත් පර්යේෂණ ක්‍රමය නොවන මෙතුමාට උපදෙස් දුන් ආචාර්ය මහාචාර්යවරුන්ට පවා පෙනී නැත. අනුරාධපුර යුගයේ පිරිවෙන් හා සංඝයා ගැන තොරතුරු ඇතුළත් සෙල්ලිපියක් වන මිහින්තලා පුවරු ලිපි දෙකින් කරුණු දැක්වීමට මේ පර්යේෂකයා යන්නේ ඒ ගැන පළ වී ඇති පුරාවිද්‍යා මූලාශ්‍ර වලට නොවේ. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සඟරාවක පළ වුණු පිටු හත අටක ලිපියකටයි. මේ මගේ අවධානයට ලක්වුණු දෙතුන් පළකි.

    සිංහල සාහිත්‍යයේ හා භාෂාවේ දියුණුවට 19 වන සියවසේදී මහත් දායකත්වයක් දැක්වූ ඡේම්ස් ද අල්විස් පිළිබඳව විශ්ව විද්‍යාලයක ආචාර්යවරියක විසින් ලියන ලද පොතක් ද මෑතකදී මට කියවන්නට ලැබිණි. (නූතන සිංහල සාහිත්‍යයේ පුරෝගාමියා ඡේම්ස් ද අල්විස්) එය පර්යේෂණ ග්‍රන්ථයක් බව කර්තෘවරිය මෙන්ම පසුවදන සැපයූ මහාචාර්යවරයා ද පවසා තිබූ බැවින් මම එය මිලදී ගත්තෙමි. එය පළ කිරීමට විශ්ව විදයාලයෙන් පර්යේෂණ ආධාර ද ලැබුණු බව සඳහන් කොට තිබිණි. මෙහි කර්තෘ සිංහල අංශයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක බව කියා තිබුණත් ඇගේ සිංහල දැනුම ගැන ද මට සැක පහළ වූයේ අක්ෂර වින්‍යාසය මෙන්ම උක්ත ආඛ්‍යාත සම්බන්ධය ද වැරැදි තැන් කීපයක්ම එහි තිබූ බැවිනි. පොත පළ වීමෙන් පසුව දැක ගැනීමට ලැබුණු නිසා හෝ නැත්නම් කවුරුන් හෝ පෙන්වා දුන් නිසාදෝ ඇතැම් වැරදි තැන් "ටිපෙක්ස්" ගා මකා පොත වෙළඳ පොළට දමා තිබූ බව පෙනී ගියේය. එහෙත් එහි ආ කරුණු වල වැරදි නම් ටිපෙක්ස් ගා මැකිය හැකි ඒවා නොවේ. එක් උදාහරණයක් නම් සිදත් සඟරාවට බටුවන්තුඩාවේ පඬිතුමා කළ සන්නසක් ගැන එහි සඳහන් වීමයි. මෙය එකම ඡේදයේ දෙපොළකම එන නිසා මුද්‍රණ දෝෂයක් විය නොහැකිය. සන්නසක් යනු රාජ මුද්‍රාව තැබූ ලියවිල්ලකි. එවැන්නක් දෙන්නේ රජු විසින් ගම්වරයක් පිරිනමනු ලබන අවස්ථාවකදීය. සිදත් සඟරාවට සන්නසක් ලියුවේ ඇයි දැයි පැහැදිලි නැත.

    මෙහි ආ එක් රසවත් වාක්‍යයක් පාඨකයන්ගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරමි. "අල්විස් සිය පද්‍ය සාහිත්‍ය විචාරයට ක්‍රමයෙන් අවතීර්ණ වන්නේ යතෝක්ත සාහිත්‍යය පිළිබඳ හදවත පුරවා ගත් ප්‍රබල හැඟීමෙන් යුක්තවය." (107 පිටුව) පර්යේෂිකාව අල්විස්ගේ හැඟීම් ගැන අධ්‍යයනය කරන්නේ කෙසේද? "හදවත පුරවා ගත් ප්‍රබල හැඟීම්" යනු මොනවාද? හැඟීම් ඇතිවන්නේ හදවතේ යෑයි පවසන්නේ කවර මනෝවිද්‍යාඥයාගේ මතයක පිහිටාද? ඒ සියල්ලමට වඩා මෙහි ඇති ශාස්ත්‍රීය භාවය කුමක්ද?

    මෙවැනි පොත් පශ්චාත් උපාධි පර්යේෂකයන්ට නම් වැදගත් වෙයි. ඒ පර්යේෂණ ග්‍රන්ථයක් නොලිය යුතු අන්දම ගැන මෙයින් උදාහරණ දැක්විය හැකි බැවිනි. පර්යේෂණයකදී ප්‍රාථමික මූලාශ්‍ර පරිශීලනය කළ යුතු යැයි ඉගැන්වෙයි. එහෙත් මේ ලේඛිකාව තමාගේ ප්‍රස්තුතයට අදාළව හෝ ප්‍රාථමික මූලාශ්‍ර පරිහරණය නොකරන බව පෙනේ. මේ කෘතිය ඡේම්ස් ද අල්විස්ගේ සිදත් සඟරා හැඳින්වීම ගැන අධ්‍යයනයකි. එහෙත් සිදත් සඟරා හැඳින්වීමෙහි ඡේම්ස් ද අල්විස් කියූ කරුණු ඇය ලබා ගන්නේ වෙනත් ලේඛකයන්ගේ පොත් වලිනි. මේ එවැනි එක් තැනකි. "අල්විස් ද මේ පුවත ඔහුගේ සිදත් සඟරා ප්‍රස්තාවනෙහි ගෙන හැර දක්වන බව විමල් බලගල්ලේ පෙන්වා දෙයි." (205 පිටුව)

    තවත් තැනක් නම් ඡේම්ස් ද අල්විස් බුද්ධාගම ලක් පොළෝ තලයෙන් අතුගෑවී යන බව කියන තැනයි. කතුවරිය එය පළ වූ මුල් ස්ථානය නොදනී. තමාගේ අධ්‍යයනයට පාදක කර ගන්නා බව කියන පොතේ එය සඳහන් වන ස්ථානය නොදන්නා ඇය ඒ සටහනට අදාළව අධෝලිපියක් දක්වමින් මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ගැන ලියූ ලිපියක එය දැක්වෙන බව පවසයි. (33-34 පිටු)

    මේ නිබන්ධනය සමෝධානය කරන අන්දම ද අපූරුය. මෙන්න ඡේම්ස් ද අල්විස් ගැන ඇගේ නිගමනය:

    "ශත වර්ෂ එකහමාරක් ගතවී ඇතත් වත්මන සාහිත්‍ය අධ්‍යයනයක දී, කවර හෝ පාර්ශ්වයක් නියෝජනය කරන මහඟු මූලාශ්‍රයක් ලෙස අල්විස් තවමත් ජීවමාන බව සඳහන් කළ යුතුය."

    මේ කියන "කවර හෝ පාර්ශ්වය" කුමක්ද? මෙය ශාස්ත්‍රීය නිගමනයක් වන්නේ කෙසේද? ඡේම්ස් ද අල්විස්ගේ දායකත්වය නූතන සාහිත්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ අධ්‍යයනයකදී නිශ්චිතව දක්වා ලීමට නොහැකි නම් මේ පර්යේෂණය කළේ කුමක් අරබයාද? මේ ප්‍රශ්න පාඨකයකු වශයෙන් මාහට ඇති ඒවාය.

    කෙසේ වෙතත් මේ පොත් වලට විශ්ව විද්‍යාල වලින් උපාධි හිමිවී තිබේ. පර්යේෂණ ආධාරද ලැබී තිබේ. මේ "පර්යේෂණ" කරන කාලයේ ලැබුණු නිවාඩු වලටද රටේ දුප්පත් ජනයාගේ මුදල් වලින් වැටුප් ගෙවා තිබේ. මේ වා අවසන් කළ පසු උසස් වීම් හා වැටුප් වර්ධක ද ලැබෙන්නට ඇත. මුද්‍රණය කළ පොත් විකුණා ආදායමක් ද ලබා ගන්නට ඇත. මේ පොත් කොයි තරම් දුර්වල වූවත් දෙන ලද උපාධිය හෝ පර්යේෂණ ආධාර හෝ එකක්වත් ආපසු ගැනීමට විශ්ව විද්‍යාලයේ වැඩපිළිවෙළක් ඇත්දැයි අපි නොදනිමු. මේ අයගේ පර්යේෂණ වල තත්ත්වය මෙයාකාර නම් පිළිතුරුපත් හොඳින් බලා, එම්. එස්. සී. ද යන්තමින් බලා, එම්. ඒ. ද දෙනු ඇත්තේ මෙවැනිම ආචාර්ය - මහාචාර්යවරුන් විසින් විය යුතුය. විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට කතා කරන උසස් අධ්‍යාපන ඇමැතිතුමාගේ මෙන්ම ගරු ජනාධිපතිතුමාගේද අවධානය මේ "පශ්චාත් 1/2 උපාධි" දෙන්නන් හා ඒවා ලබා ගෙන වැජඹෙන්නන් කෙරෙහිද යොමු නොකළ හොත් රටේ අධ්‍යාපන මට්ටම ගැන කතා කිරීමට යමක් ඉතිරි නොවන දිනය වැඩි ඈතක නොවේ.

    ආරියනන්ද සමරසිංහ



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    නිවා ගිනිගත් පොළොව
    අඳුර බර අඩි තබා බසිද්දී පුද බිමට
    කිරි සුද වතළ දාගැබ
    රන් කොත සිඹිත සඳ රැස්
    නෙක ඉසුරු පිරිපත ගෙන
    නකත් ගහ තරු වඩිති නුබ කුසට

    සිනා වියැකුණු දෙතොල්
    බොර පැහැ ගැනුණු යුග නෙත්
    සැඳෑ කල පරව ගිය
    විඩාපත් රතුපුල් වත්
    කෘෂව ගිය
    අඩක් පණ නැති දෙපා
    බැරි කමින් මිරිකෙමින් මුත් ඇදෙත්
    සිතෙහි දුක්
    හඬ් නඟා
    බෝ රජුට කියන්නට

    තැන තැන කහට තැවරුණු
    මල් පොඩි මැකුණු ගවුමක්
    යන්තම් උඩින් පල්ලෙන්
    පීරා බැන්ද වරලක්
    දුක නිවන මඟ විමසන
    බොර පැහැ ගැනුණු දෙනෙතක්
    පෙති තැලුණු මල් කැකුළු
    ඇහැරවන
    කඩිසර කෙසඟ දෑතක්
    පුංචි
    ටකරං කුටියෙහි
    විකුණාය
    තෙල්
    මල්
    සුවඳ දුම්
    නොලැබ අන් හව්හරණක්

    ඈ හිසට ඉහලින් ඇති
    පුංචි බුදුරුව අභියස
    දැල්වේ
    කැළුම් විහිදා
    සිඟිති පොල් තෙල් පහනක්

    සජීවනී කස්තුරිආරච්ච්



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    තැන තැන කොඩි වැල්ය කූඩුය දන්සැල්ය
    දොර දොර ගිනි දැල්ය පඩිපත පරඬැල්ය
    කන් දෙක පිරෙන්නට දන් දීමේ ගුණය
    අමා මහ නිවන දොරකඩ බඩ හිස්ය

    ජීවත් වෙන්න දහදුක් විඳිනා කලට
    අණ බණ දේශනා ඇත මදි නොකියන්ට
    වේලක් කන්න යුද කරනා මිනිසුන්ට
    කොහෙද ඉඩක් ඔය පිළිවෙත් සපුරන්ට

    මරාගෙන මැරෙන්නට රජ ගොස නගනා
    දවල් මිගෙල් රෑ දනියෙල් රඟ පානා
    මැතිඳුනි අපට නම් ඔය සෙල්ලම් වානා
    මැරෙනට නොවෙයි ජීවත් වෙන්ටයි ඕනා

    බඩගිනි වෙලා ගියකල මහ වාසලට
    'නැගුමක්' අතට දුන්නයි හැඩ බලන්නට
    හත් දෙයියනේ ඒ අටමගලේ බරට
    බැස්සා නගින සියලුම දෑ බින්දුවට

    පෙරට කිය කියා රට යන කල දරට
    කඳුළුය තැවරෙන්නෙ දෙතොලේ ලුණු රසට
    උම්බෑ නොකීවත් හරකුන් වී යසට
    කල ගොන්කමට දැන් ගහගනියවු පුකට

    චූලානන්ද සමරනායක



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    මෑත දිනකදි හදිසි මරණ ගෙයකට සහභාගී වීම සඳහා ගමේ ගියෙමි. මළගෙදර රැය පහන් කිරීමට විශාල පිරිසක් නැතත් සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියහ. රාත්‍රිය අමුවෙන් පහන් කිරීමට නොහැකි නිසාම ඇල්​කොහොල් බෝතල් කීපයක් ද අපේ මිතුරන් විසින් රැගෙන විත් තිබුණි. ගෙදරින් මදක් ඇතින් වන්නට පිරිස හා එක්ව මධුවිතින් සප්පායම් වන්නට වූහ. දැන් සංවාදය ඇරඹී ඇත. සුපුරුදු ලෙසම සංවාදයේ මාතෘකාව 'දේශපාලනය' විය. පසුගිය පලාත් පාලන ඡන්දයේ සිදුකළ චන්ඩි කම්, ආණ්ඩුවේ මැරකම්, ජනාධිපතිතුමාගේ අසනීපය, අහවල් ඇමති තුමා​ගේ අහවල් වැඩ ආදිය ගැන සියල්ලන් තොර තෝංචියක් නැතිව කියවා ගෙන යයි.

    මට කථාකරන්නට දෙයක් නොමැත. හදිසියේ මම මැදට පැන ​දමිළ විමුක්ති ව්‍යාපාරය විනාශ කිරීම සම්පූර්ණයෙන් වැරදියි වැනි දෙයක් කිව්වොත් මගේ අම්මා මුත්තා පවා කුණුහරුප වැලකින් බැණුම් අසා, කෑඩු බෝතල් කැබැල්ලක් මගේ පුපු පෙදෙස පසාරු කරගෙන යන්නටද බැරි නැත.

    ඒ නිසා මගේ දේශපාලනය පසකින් තබා ගමේ අයියලාගේ කථාවලට බෙහොම අවධානයෙන් සවන් දෙමින් සිටියෙමි. හදිසියේම මොකද්දෝ කරුණක් අල්ලා ගනිමින් බහින් බස් වීමක් දක්වා සංවාදය දුරදිග ගොස් එකෙක් තවකෙකුගේ බෙල්ලෙන් ඇල්ලීය. මෙතෙක් වෙලා පැවති සංවාද සියල්ල අවසන් කරමින් සංවාස පද වැල නොකැඩී ගලන්නට විය. හිමීට ඇරඹි කථාබහ දැන් මහා රණ්ඩුවක් දක්වා එළඹ ඇත. මළ ගෙදර පිරිස් ද පැමිණ රණ්ඩුවට මැදිහත් වී දැන් සම්පූර්ණයෙන්ම අවුල් ජාලයකි. තවත් ටික වෙලාවකින් එකෙකු පල්ලම් බැස ගියේ හෙට උදේ එළිවෙන්න පෙර "තෝ භාවනවා" යැයි සපත කරමිනි.

    මෙය හුදු කල්පිතයක් නොව සම්පූර්ණයෙන් පාරිශ්‍රද්ධ යැයි කියනා, නැතිනම් ගමයැයි වර්ණනා කරනා ගම තුළ පැවතින යථාර්ථයි. ශ්‍රී ලංකාවම ගමක් වන්නේ ඔය හේතුවෙනි. මන්ද ලංකාවේම යථාර්ථය වන්නේ එයය. සංවාදය ඉවසන්න නොහැකි වූ තැන අවසන් වන්නේ අනෙකා තලා පෙලා නිහඩ කරන්නට උත්සහ දැරීමෙනි. පසුගිය කාල සමය පුරාම මෙහි අභ්‍යාසයේ යෙදුනු නිසාදෝ එය ලාංකීය සංස්කෘතියේ අංගයක් බවට පත්ව ඇත.

    ලංකාවේ පවුල් සංස්ථාව තුළ යම් සංවාදයක් ගියහොත් එය අවසන් වන්නේ බොහෝවිට පවුලේ ස්ත්‍රී පාර්ශවය පහර දීමකට ලක්වීමෙනි. පාසල් සංස්කෘතිය තුළ ගුරුවරයාගේ සංවාදය වෙනත් මතයක් ප්‍රකාශ කළහොත් සමහර විට පාසලෙන් පවා ඉවත් කිරීමට පුළුවන. එහි හොඳම උදාහරණය විශ්වවිද්‍යාලය තුළ කතිකාචාර්ය වරයාගේ සංවාදට වෙනස් මතයක් ප්‍රකාශ කළහොත් අවසන් විභාගයට දෙයියන්ගේම පිහිට පමණි. ඒ තරමට මේ මුග්ධ ක්‍රියාකරම් අප සමාජය විසින් අභ්‍යාසයේ යොදවමින් සිටිති.

    විශාල පිරිසනට තමන් යෙදෙමින් සිටි සංවාද පසෙකලා ජීවිත බේරාගන්නට මෙරට හැරදා යන්නට වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. තවත් පිරිසකට සිටිතැනම තමන්ගේ මුඛයට ඉබි අගුළාගන්නට සිදුවිය. එසේ නොවුනු සියල්ලෙක්ම අඩන්තේට්ටම් වලට මුහුණ දීමට සිදුවිය. පොද්දලගේ අතපය කරද්දී ප්‍රගීත් අතුරුදහන් වන්නේ තමන්යෙදී සිටි සංවාදයන් හි ප්‍රතිඵලයන් ලෙසටය. ලසන්ත ඝාතනය වන්නේ ද සංවාදයේ ප්‍රතිඵලයන් ලෙදය. තමන් එකග නොවන මතවාද සියල්ල කුමන හෝ ක්‍රමයක් මගින් යටපත් කිරීම මේ වන විට ලාංකීය සමාජයට ඉතාම හුරුපුරුදු ශිල්පයකි. එය ජාතික තලයේ දේශපාලනයේ සිට සියලු උප සංස්කෘතින් දක්වා පැමිණි ඇත. පවුල් සංස්ථාවේ සිට රාජ්‍ය පාලනය දක්වා එය කාවැදී ඇත. දැන් එය ලංකීය ජනසමාජයේ ඇගට උරාගෙන අවසන්ය.

    කෙතරම් කැත ලෙස සියලු උප සංස්කෘතීන් පවා ​ගිලගෙන ඇති යථාර්ථය අපි මේ මොහොතේ අත්දකිමන් සිටිමු. උදාහරණ ලෙස අන්තර්ජල මාධ්‍යයේ පවා එය ඉතාම නරක අයුරින් වෙලාගෙන ඇත. විශේෂයෙන් ​ෆේස් බුක් වැන් අන්තර්ජාල උප සංස්කෘතිය තුළද සංවාද අවසන් වන්නේ ග​මේ අයියලා කසිප්පු ටිකක් කටේ ගාගෙන හැසිරෙන ආකාරයට දෙවෙනි නොවෙමිනි. අවසන බොහෝවිට තර්ජනයක් හෝ සංවාස වදන් වැලක් එළිය එවීමෙනි. තමාට පෙ​නෙන්න ඉන්නා අනෙකා ඉවසන්න බැරි තරමටම අන්තර්ජාලය තුළදී නොපෙනෙ අනෙකාවද ඉවසන්නට හික්මීමක් නැත. ඇත්තේ සුපුරුදු තර්ජනාත්මක කථාය. ඒ නිසාම ඒ තුළ සිදුවන කිසිදු සංවාදයක් ඵලදායි ආස්ථානයක් වෙත විතැන් වීමක් සිදුනොවෙති. එහිදී බරපතල ලෙස පහර කෑමට ලක්වන්නේ දමිළ ජනයාට සිදුවන අසාධාරණයට විරුද්ධව තමන්ගේ මතය ප්‍රකාශ කරන්නන්ය. ශ්‍රී ලංකා භූමිය මතදී ඔවුන්ට ත්‍රස්තවාදී ලේබලය අලවන්නේ යම් සේද ඒ ලෙසම සයිබර් අවකාශය තුළදීද ඔවුන්ට ත්‍රස්තවාදී ලේබල් අලවති. සෑම අස්සක් මුල්ලක්නෑරම මෙ කාරණා මුල් ඇද ඇත.

    ඇමරිකාවේ සිට ඔසාමා බින් ලාඩන්ගේ පුතකු හට තම පියා මැරීම යුධ අපරාධයක් යැයි කිව හැකි වූවද ලංකාවේදී ප්‍රභාකරන්ගේ පුතකු නොව අප විසින් කිව්වොත් ප්‍රභාකරන් ඝාතනය කිරීම යුධ අපරාධයක් යැයි කියා ​සමහර විට මේ ලියන අවසන් ලිපිය වන්නට ඉඩ ඇත. ඒ නිසා ලංකාවේ දී සිදුවී ඇත්තේ සංවාද කිරීමට ප්‍රථම ජීවිතය බේරාගැනීම ගැන දෙපාරක් නොව සියයක් වතාවක් සිතීමටය.

    ඒ නිසා යම් කිසිදිනක ලංකා භූමියතුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීමට නම් ලංකීය ජනසමාජය වසා පවතින නරුම ගතිකයන්ගෙන් ඉවත් වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය. එසේ නොමැතිව වෙනත් පක්ෂයක් ලංකාවේ පාලන බලයට පැමිණියද මෙහි කිසිදු වෙනසක් බලාපොරොත්තු විය නොහැක. මේ තත්ත්වයෙන් මිදීමටනම්, ජන සමාජයම ආකල්පමය වෙනසකට මුලපිරීමක් කළයුතුය. ​​මානව ප්‍රේමය සමාජය පුරා බෙදාහැරිය යුතුය.

    නමුත් ගැටලුව මේවා කියූ පවා ගමන් අපව මරා ගන්න එන එකය....!

    නිර්මාල් ඒකනායක



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    සමාජ ක්‍රියාකාරිණියක වන ශානිකා විජේසිංහ සමග සම්මුඛ සාකච්ඡාවකි.

  • ලංකාවේ කාන්තා සංවිධාන සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

  • ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන වශයෙන් සහ ප‍්‍රාදේශීය මට්ටමින් කාන්තා සංවිධාන බොහොමයක් තියෙනවා. නමුත් මේකෙන් සියයට 90ක් -95ක් ම කරන්නෙ කාන්තාව කේන්ද්‍රීයව කෙරෙන සංවර්ධන කටයුතු. ඒත් මේවා කොච්චර හොඳ වුණත්-

    මේවයෙන් කාන්තාව පිළිබඳ ආකල්පමය වෙනසක් සිදුවෙනව අඩුයි. මේක තමයි කරන්න අමාරු ම සහ කරන්න අවශ්‍ය ම දේ. මේ දෙපැත්තම සමබරව තියෙන්න ඕන කියලයි මගේ අදහස වෙන්නෙ. මොකද කාන්තාව ආර්ථික ශක්තියෙන්, රැකියාවෙන්, තනතුරු දැරීමෙන් කොච්චර හොඳ ඉහළ තත්ත්වයක හිට්යත් තීරණ ගැනීමේ කි‍්‍රයාවලිය තුළ දී ඇයට අවස්ථාවක් හිමිවෙන්නෙ නැහැ. අඩු තරමින් තමන්ගේ ජීවිතය ගැනවත් තීරණ ගැනීමේ අයිතිය ඇයට හිමි නොවන අවස්ථා බොහොමයක් තියෙනවා.

  • ලාංකීය ස්ත‍්‍රියගේ "භෞතිකය" හඳුනගන්න මේ සංවිධානවලට හැකියාවක් තියෙනව කියල ඔබ විශ්වාස කරනව ද?

  • අපි නිතරම කතා කරනව කාන්තාව ආරක්ෂා කරගනිමු කියල, ප‍්‍රචණ්ඩත්වයෙන් ඇයව රැකගන්න නීති අණ පණත් ගෙන එන්න ඉල්ලීම් කරනවා, නමුත් මේ වචන පාවිච්චි කිරීම තුළින් ම කාන්තාව සදාකාලික ගොදුරක් බවට පත්වෙනව කියලයි මගේ පුද්ගලික අදහස. කාන්තාව කියන්නෙ රැක බලාගත යුතු, ආරක්ෂා කරගත යුතු දුර්වල කෙනෙක් බවට නිතැතින් ම පත් වෙනවා. මේ දේවල් තුළින් කාන්තාව තවත් පහළ මට්ටමකට වැටෙනවා. එහෙම කරපුවහම එතැනින් එහාට එයාගෙ ජීවිතය වෙනුවෙන් හඬක් නගන්න හයියක් එයාට නැති වෙනව. අපි ඒ ශක්තිය එයා තුළ ගොඩනගන්න ඕනෑ. ඒ හින්ද මට හිතෙනව අපි යන්නෙ වැරදි පාරක කියල. අපට නීති පද්ධතියක් අවශ්‍යයි. ඒත් ඒක විතරක් මදි. කාන්තාව පිළිබඳ ආකල්පමය වෙනසක් ඇති කරන්නත් උත්සාහ කරන්න ඕනෑ. ඒකට ගැහැණු පිරිමි දෙගොල්ලන්ගෙම සහය අවශ්‍යයි. අනිත් එක අපි පාර්ලිමේන්තුවට කාන්තා නියෝජනය වැඩි කරන්න කියල ඉල්ලනව. කාන්තාවත් මේ සමාජයේ යම්කිසි ජන කොට්ඨාසයක් විදිහට සලකල නියෝජනයක් දීම වැදගත්. උදාහරණයක් විදිහට දෙමළ ජනකොටසට නියෝජනයක් දීම වගේ, තරුණයින්ට නියෝජනයක් දීම වගේ. නමුත් මම දකින්නෑ ඒකෙන් කාන්තාවගේ තත්ත්වය වැඩි දියුණු වීමක් වෙනව කියල. තියෙන ක‍්‍රමය නඩත්තු කිරීමක් තමයි මේ දේවල් වලින් වැඩිපුර වෙන්නෙ. ඒකෙන් කාන්තාව පිළිබඳ ආකල්පමය වෙනසක් සිද්ධ වෙන්නෙ නෑ. ඒ ක‍්‍රමය තුළම ඒ කාන්තාවත් ගොදුරක් වෙනව විතරයි වෙන්නෙ.

  • ඔබ කාන්තා සංවිධානයක ක‍්‍රියාකාරිණියක් හැටියට "ලාංකීය ස්ත‍්‍රිය" දකින්නේ කුමන ආකාරයකටද?

  • ලංකාවේ කාන්තාව ආසියානු කලාපයේ අනෙක් රටවල කාන්තාවන්ට වඩා ආකල්පමය වශයෙන් ඉදිරියෙන් ඉන්නව, ඇය ඉතාමත් ශක්තිමත්. ඒත් මම දකින දෙයක් තමයි අපි කොපමණ ස්වාධීනව කටයුතු කළත් අවසානයේදී ‘මම ගැහැණියක්නෙ’ කියල හිතනවා - සවිඥානිකව හෝ අවිඥානිකව එහෙම හිතෙනව. වඩාත් නිවැරදිව කිව්වොත් අපිට එහෙම හිතන්න පුරුදු කරලා තියෙනවා. මෙන්න මෙහෙම අමුතුවෙන් ගැහැණුයි කියල හිතුව ගමන් අපේ සංස්කෘතියෙ නැති දේවල් අපේ ඔලුවට අරගෙන අපි අපිට ම සීමා පනවගන්නවා. අපි අපිව ම බාධාවක් කරගන්නව. මේ හින්ද ගැහැණුන් තමන්ට කියල අභිමානයක් ඇති ආකාරයට ආත්ම ශක්තිය ගොඩනගා ගන්න ඕනෑ. මුලින්ම හිතන්න ඕනෙ තමන් මනුෂ්‍යයෙක් කියලා. මනුෂ්‍යයෙක් විදියට පොළොවේ පය ගහලා ස්වාධීනව ජීවත් වෙන්න ශක්තිය ඇති කර ගන්න ඕනෑ.

  • ඔබ කාන්තා සංවිධානයකට සම්බන්ධ වෙන්න කලින් සමාජ සංවිධානයක අධ්‍යයනයන්වල නියැලුනු කාන්තාවක්. ඔබේ අත්දැකීම්වලට අනුව ලංකාවේ සමාජ - දේශපාලන සංවිධානයන් තුළ ස්ත‍්‍රියගේ භූමිකාව කුමන ආකාරයකටද ක‍්‍රියාත්මක වෙන්නෙ?

  • මම එම සමාජ කණ්ඩායමට අවුරුදු 6ක් විතර සම්බන්ධ වෙලා හිටිය. මම පිළිගන්නව ඒ තුළින් අපේ ජීවිතවලටත් සමාජටත් සාධනීය යමක් එකතු උනා කියල. අද මම ඉන්න තත්ත්වයට එන්න හැරවුම් ලක්ෂ්‍යයක් ඒක. ඒක තනි පුද්ගලයෙකුගේ උත්සාහයක් නෙවෙයි, සාමූහික උත්සාහයක ප‍්‍රතිඵලයක්. නමුත් කාන්තාවන් සම්බන්ධව ඔවුන්ගේ ආකල්පය හරිම ගැටළු සහගතයි. එයාල ඉගැන්වීම් වලදි නිතර ම කියපු දෙයක් තමයි ගැහැණිය කියල දෙයක් නෑ. ඒක පිරිමියාගේ ෆැන්ටසියක් කියල. නමුත් කවුරු හරි එයාලව අභියෝගයකට ලක්කරානම් - ගැහැණියක් හෝ පිරිමියෙක් හෝ වේවා- ඒක ඔවුන් ඌණනය කළේ ගැහැණියගේ ලිංගිකත්වයට. මේක මෙහෙම උනේ ගැහැණියක් නිසා ගැහැණු ලිංගිකත්වයක් නිසා කියල. එහෙම කියලා ගැහැණියක්ව වරදකාරයෙක් කරලා චෝදනා කරනවා. මම අහන්නේ ගැහැණිය පිරිමියාගේ ෆැන්ටසියක් නම් මේ චෝදනා එල්ල වෙන්න ඕනෙ කාටද කියල.

    ඇත්තට ම ගැහැණියගේ ලිංගිකත්වයට ඔවුන් පුදුමාකාර ලෙස බයක් දැක්වූවා. මෙවැනි ම ලක්ෂණ මූලධර්මවාදී සංවිධානවලත් දකින්න පුළුවන්. සමාජයීය වශයෙන් ම ගත්තමත් කාන්තාවගේ ලිංගිකත්වයට බයක් දක්වනවා. මෙමඟින් කරන්නේ කාන්තාව භයානක සත්ත්වයෙක් විදියට සලකලා ඇයව පාලනය කරන්න උත්සාහ ගැනීමක්. මෙන්න මේකත් කාන්තාව ගොදුරක් වශයෙන් නිර්මාණය කිරීමේ තවත් මතයක්.

  • ජාතික මට්ටමේ කාන්තා ව්‍යාපාරයක් පිළිබඳ ඔබේ අදහස පැහැදිලි කරන්න.

  • මෑත අතීතයේ දී ජාතික මට්ටමේ කාන්තා ව්‍යාපාරයක් ලංකාවේ බිහි වෙලා නැහැ. මම දකින්නෙ කොළඹ කේන්ද‍්‍රීය කාන්තා සංවිධානවල ජාලයක් විතරයි. මේ ජාලයට කොළඹින් බාහිර සංවිධාන කීපයකුත් එකතුවෙලා ඉන්නවා. නමුත් ජාතික තලයේ ව්‍යාපාරයක් දක්වා ගොඩනගන්න තරම් ප‍්‍රබල නායකත්වයක්, පැහැදිලි දැක්මක්, දිගුකාලීන සැලැස්මක් තවමත් ඇති වෙලා නැහැ කියලයි මට දැනෙන්නෙ. අගනුවරින් පිට බහුතරයක් කාන්තා සංවිධාන ඉතාමත් ඉහළ ක‍්‍රියාකාරී මට්ටමක හිටියත් එයාලට ආත්ම විශ්වාසයක් ගොඩනැගිලා නැහැ මේ සඳහා නායකත්වයක් දෙන්න. එයාල බලාගෙන ඉන්නවා කොළඹ කේන්ද‍්‍රීය කාන්තා සංවිධාන මෙයට මුලපුරනකල්. එයාලට දැනුමේ නායකත්වයක් අවශ්‍යයි. ඒ නිසා දැනුමත් ක‍්‍රියාකාරීත්වයත් එකතු කරලා පැහැදිලි සැලැස්මක් ගොඩනගන්න පුළුවන් නව නායකත්වයක් අවශ්‍යයි.

    [රන්දිව 03.04.2011]

    සමර පරණවිතාන



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන "දහදිය සිත්තම- වැඩකරන ජනතා කලා උළෙල 2011 පස් වෙනි වරටත් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. කෙටි කතා, ගීත රචනා, කාව්‍ය රචනා, කෙටි නාට්‍ය (පිටපත්) සහ ඡායාරූප යන අංශ යටතේ ඒ සදහා නිර්මාණ කැදවීම ජූනි මස 30 දක්වා සිදුකිරීමට දහදිය සිත්තම සාහිත්‍ය අනුකමිටුව තීරණය කර ඇත.

    වැඩි විස්තර- unionslanka@gmail.com මගින් හෝ 0112 884 644 ඇමතීමෙන් හෝ ලබා ගත හැකිය.



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |





    වාරණය ඉවර ය
    එද තවම අඳුර ය
    ගලවද්දි දනි පනිය
    හයි කොරද්දී නැත හදිස්සිය

    සුරත්



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |
    Related Posts with Thumbnails