Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සක්මන් කරන සිත ඇවිදින සිර මැදුර
සිත්තම් කරන පෙර සිතිවිලි ඝණ අඳුර
යන්තම් පෙනෙන එළියට යන බොහෝ දුර
සැනෙකින් පැමිණ සිත නවතින සුසුම් බර

යකඩ කූරු අත ගාලා සිත ගෙවුණී
සවිබල හිතට හිටි හැටියෙම වෙඩි වැදුණී
බියකරැ අඳුර එනවිට නින්දට වැටුණී
නින්දක් නොවේ කෙටි කලකින් මහලු වුණී

අකුරු කළ ද ඇතුල අරුත මග හැරුණී
නරක ඇසුර හැමටම පෙර මගට වුණී
බැහැයි කියන තරමට හිත වෙඬරු වුණී
මිනිහෙකු මරන එක සිල්ලර කාසි වුණී

එල්ලා මරන්නට අත්පොළ සන් වැදුණී
කිසිවක් නොදත් අම්මා ඇදගෙන වැටුණී
අත්සන නැතිව දින දින දිවි කල් මරණී
මරණය රමණීය හිමිනැති පෙම සොවිණී

උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කවිකම මා සොයා
පැමිණි ඒ යුගයේ
එය පැමිණියේ කොහෙන්දැයි
නොදැන සිටියෙමි මම
කවර වේලාවක,
කුමන විදියකින්
පැමිණියේදැයි එය
නොදත්තෙමි කියන්නට
සිසිරයෙන් හෝ ගංගාවකින්
කොහේ සිට පැමිණියේදැයි

වදන් නොදෙඩීය එය
හඬක් නොනැගීය එය
එහෙත් කැඳවනු ලැබිමි මම
අඳුරු වීදියක සිට
සෙස්සන් කෙරෙන් සැණෙකින්
වියරු ගිනිදැල් මැදින්
තනිව සරනා විටදි
නාඳුනන්නෙක් වීමි මම
කවිකම පැමිණ ස්පර්ශ කරන තුරු

කුමක් පවසන්නදැයි
නිනව්වක් නොවිය මට
දෑස් අඳ විය මගේ
මුව ගොළු වී තිබිණි
එනමුදු ආත්මය තුළ
ගිනි පුළිඟුවක් ඇවිලිණි
පෙරළුවෙමි ඒ ගිනි පුළිඟු
වදන්වැල්වලට මම
ලියැවුණි පළමු වදන් පෙළ
නොපැහැදිලි ලෙසටම
එතුළ වූයේ පුහුදුන් බවය මා සතු
එනමුදු එසැණින්ම
දුටිමි මම දෙව්ලොව
ග්‍රහතරු විවර වී මා දෙනෙත් ඉදිරිපිට

හී සර, ගිනි, කුසුම්
අඳුරු රැය හා මුළු මහත් විශ්වයම
මේ මහා විශ්වයේ
ලේශමාත්‍ර ප්‍රාණියකු වූ මම
තරු පිරුණු මහා අවකාශයම
උරා බී මත් විණිමි
දැනිණි මට මා විශ්වයේ කොටසක්ම බව
තරු අතර දිව ගියෙමි මම
බැඳුමෙන් මිදුණු හදවත
සැරිසරයි විසල් නුබගැබ

පැබ්ලෝ නෙරුඩා
පරිවර්තනය - නිලූක කදුරුගමුව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සුදු ම සුදු තනි කුරුල්ලෙක් පියඹා අවුත්
පාළු රෑ සිහිනෙක නිසොල්මන් වී වසා
කවම කවදාකත් ඉතින් නෑසූ හඬින්
හැඬුම්බර ගීයක් කියාගෙන ඇද වැටේ....

ඈත අධිකාරීගමෙන් හැල්මේ ඇවිත්
අඳුර, සැරසූන්තැන්න පොළොවේ දිග ඇදේ...
ගිරිසිඛර රෑ සීතලෙන් වෙවුලා සැළී
"පාළුදැයි පුත" ආදරෙන් විමසත් මගෙන්...

පාළුවට ඉහ ඉද්දරින් තරුවක් තියා...
ඇස්පියා උස කඳු මුදුන් නොසැලී හිඳිත්..
ගස්මුදුන් රෑ ඇහැරන් බොහෝ රෑ මැදියමේ
අත්වලින් දුක් පිසදමා හිස පිරිමදී

මව්බිමේ නොහඳුනන මිටියාවත් පුරා
ඇස් වසා හදවත් බොහෝ සාමෙන් නිදයි
මැදියමේ මයියංගණේ මිණිකොත'යුරා...
හරි මැදින් අහසේ කඳුළු පායා තියේ...

දුරු රටින් සුළඟක් ඇවිත් මිතුරෙක් වාගේ
කඳුවලින් බැස වාඩියට කරබාන එයි....
ඈත රණ්දෙණිගල පොළෝ පතුලේ නිධන්
කඳුළු දිය සීරා බොහෝ මේ රෑ ගලත්

මව් ළයත් පෑරී රිදී හැඬූ මේ රැයේ
පා මුලින් ලන්තෑරුමක් දල්වා තියා..
වන්දනාවට එනතුරා පේවී යළී...
සහෝදරවරුනේ මමත් නොනිදා හිඳිමි.

-දිවයින "කව්මුතු"| 23 දෙසැම්බර් 1990

කවියාගේ සටහන:

මේ කවිය මා ලියු‍වේ උසස් පෙළ පන්තියේ උගන්නා කාලයේදී ය. මගේ තාත්තා නික්ම ගිය ජූනි 29 වෙනිදාවේ මට තහනම් වූ මළගමට ළඟ සිටත්, දුර ඈත සිටත් විත් තාත්තා ළඟ හිඳ මා නැති අඩුව මැකූ හදවත් සහිත මගේ සහෝදර පිරිවර වෙනුවෙන් පිදු මේ කව ජයතිලක බණ්ඩාර හඬ ගා කියනු මම දුරකත‍නයෙන් අසා සිටියෙමි.
-භාෂි

රෝහිත භාෂණ අබේවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



යට ඇඳුම් ඇඳ නැති පුද්ගලයින් අත් අඩංගුවවට.
-පුවතක්.


මිසයිල් තුන හතර කි
ආටි ද හත අට කි වැදී
ඉනට ඇන්ද විට
දණහිස ළඟ නතර වෙවී

වැටටත් නියරටත්
එක ජොකාම ය
ඇන්දත් නෑන්දා
වැනි සොබාවය

තුන්වෙනි සිල් පදේ
රැකගෙන මුවාවෙලා
වත නැති නිසයි
සිටියේ මං නිහඩ වෙලා

උඳුවප් සීතලේ
උණුහුම නැති ව පියා
හුන්න ද නූන්නා සේ
හිරිවැටිලා ගියා

කලකට පසුව අද
මද ගින්නේ තම්බා
පසළොස්වක සඳේ
සිල් ගන්නට ඇරියා

අනේ!මහතුනේ මට වුණු වියෝයා
මගේ එකා හොරු අරගෙන ගියෝයා
අතපත ගා බිය ගැන් වූ සැරේයා
දෙයියෝ බුදු වෙන්ඩ අමුඩෙත් වැලේයා

නිර් වස්තරේ ඇඳ නටනා රජුන්නේ
අල්ලා බලන්නේ කවුරුද යටින්නේ
බිය වී නොදුවන්න කල් ඇතිවයි කියන්නේ
ජොක්කු ඇඳලා උන් මොනවද රකින්නේ

ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තාත්තගෙ
නිශ්ශබ්ද
පාඩම
සද්ද කර කියාදෙන
පුතෙක් අපට ඉන්නවා
නොලියවුන ලොකු අකුරු
මාත් දැන් දන්නවා

විසල් හදවතකට - නමක් දුන්
අප්පුච්චාට...


මහේෂ් මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බොහෝ සෙයින් ගිලානව පැවති නව සිංහල කවි කෙත පසුගිය දිනවල සාධනීය කවි ලකුණැති නිර්මාණ එකතූන් කිහිපයක් මගින් අස්වැද්දුනු බව නිරීක්ෂණය කළ හැකිය. රෝහණ පොතුලියද්ද ගේ "අහස හැඩි වී ඇත", උපුල් සේනාධිරිගේ "සියොතුනට එනු පිණිස","වැසි දිය බඳුන්", නඳුන් යසිත දසනායක ගේ "බිම් ගෙයට සඳ ඇවිත්", ඉසුරු චාමර සෝමවීරගේ "තාණ්ඩව" යන කෘති සහ වෙසෙසින් මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ "හිරුත් හිම පියල්ලක" වැනි නිර්මාණ කෘති එයට දෙස් දෙයි.

නමුදු මා මෙහිදී සංවාදගත කිරීමට උත්සාහ ගන්නේ කෘති ලෙස නොව පුවත්පත් කවි පිටු සහ අන්තර්ජාල මිතුරු හවුල්, සාහිත්‍ය වෙබ් අඩවි බ්ලොග් අඩවි ආදිය තුල ප්‍රචලිතව පවතින නව කවියේ ඉදිරි ගමනට හතුරු එක් ප්‍රවණතාවයක් පිළිබඳවය.

මෙම කවි පශ්චාත්තාපී යුධ කවි ලෙස හැඳින්විය හැකිය.

යුධමය තත්වයක් අවසානයේ දී ඒ හා සම්බන්ධ ප්‍රස්තූත සහිත නවකතා, කෙටිකතා, සිනමා නිර්මාණ ආදී සාහිත්‍ය කලා නිර්මාණ බිහිවීම ලොව නන්දෙස සිදුව ඇත්තාක් මෙන්ම එය සහෘද දන මන කම්පිත කොට යුධ විරෝධී වීමට පෙළඹවීම සඳහා ද මහඟු මෙහෙවරක් ඉටු කොට ඇත. පෙරදිග සාහිත්‍යයේ දී රාම රාවණ යුධ කථාව පදනම් ව වාල්මිකී රාමායණය ලියූ බව සඳහන් වේ. මහා භාරතය වැනි කෘතියක් ද යුධ කතාවක් පදනම් වූවකි. ක්‍රි. පූ.5 වන සියවසේ පමණ සිදුවූ බව සැළකෙන මහා වහල් කැරැල්ල පදනම්ව පවා සාහිත්‍යාංග විශාල ප්‍රමාණයක් බිහි ව ඇත."ස්පාර්ටකස්"කෘතිය, 'කර්ක් ඩග්ලස්'නම් නළුවා ස්පාර්ටකස් ලෙස රඟපෑ "ස්පාර්ටකස්" සිනමාපටය ඒ ඇසුරින් බිහිවූ නිර්මාණය. තවදුරටත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඒ තුල ඍජුව පීඩාවට පත්වූවන් නිමැවූ කලා කෘති දැක්විය හැකිය. බෲනෝ ආපිට්ස් ගේ "Naked among wolfs" (වෘකයන් අතර නග්නව), ජුලියස් ෆුචික් ගේ "පෝරකයේ සටහන්"ඈන් ෆ්‍රෑන්ක් දැරිගේ දින සටහන් ආදී වශයෙන් බොහෝ ගණනකි. චිර ප්‍රසිද්ධ ලියෝ ටෝල්ස්ටෝයි ගේ "යුද්ධය හා සාමය" නවකතාව නැපෝලියෙන්ගේ රුසියානු ආක්‍රමණය පසුබිම් කර ගත්තක් බව ද සඳහන් වේ. කර්ට් වොනෙගට් නම් අමෙරිකානු කතුවරයාගේ MotherNight(මෙය ගාමිණී වියන්ගොඩ මහතා අතින් "රෑ මාතා"යනුවෙන් සිංහලයට පරිවර්තනය වී ඇත) එවැනි කතාවකි. රුසියන් විප්ලවය පදනම්ව වෙනම සාහිත්‍යයක් පවා බිහිවිය.

මෙහිදී ලාංකීය සන්දර්භය මෙයට වඩා වෙනස් ස්වරුපයක් ගනී. පොදුවේ සන්නද්ධ අරගල තුනක අත්දැකීම් ඇති සාහිත්‍ය සමාජය ඒවා ප්‍රතිනිර්මාණය කලේ ඉතා අඩුවෙනි. නිර්මාණය වූ බහුතරයක් ඒවා පවා එකී සංකීර්ණ අත්දැකීම් මතුපිට අත පත ගෑ ලාබ සිල්ලර ඒවාය. එබැවින් එකී අරගල වල කම්පිත හද ගැස්ම නොඇසුණු තරම්ය. අප ප්‍රස්තුත කාරණයෙහි ලා නන්දිකඩාල් කලපුවෙන් අවසන් වූ එල්.ටී.ටී.ඊ.ය සහ ශ්‍රී ලංකා හමුදාව අතර යුද්ධයද සෑම යුද්ධයක් මෙන්ම මහත් ජීවිත හානි, දේපල හානි, වස්තු හානි ගෙනදුන්නක් බව අවිවාදිතය. යුද්ධයක් යනු දේශප්‍රේමි ඈ නෙක ලේබල ඇලෙව්වද ම්ලේච්ඡ තුච්ඡ ක්‍රියාවලියකි. අපට මතක ආකාරයට මෙකී තත්වය ප්‍රස්තුත කර නිර්භයව පෑන මෙහෙයවා නිර්මාණ කළ කවීන් කිහිප පොලකි. සමහර අවස්ථාවන් වලදී නොඑකඟතාවයන් සහිතව අප බාර ගත්තද මංජුල වෙඩිවර්ධන වැනි කවියෙකු ඒ අතර සුවිශේෂ වේ. ඔහු විසින් 2002 තරම් ඈතක පළ කළ "පිළිහුඩුවී"කෘතියේ එන මෙම කව විමසන්න.

ටෙක්නිකල් මංසලේ මුරපොලේ දී ය

ඇසල සඳ පිපුණේ
අධිකරණ කඳු මුදුනේ
ටෙක්නිකල් මංසල
අන්ධකාරෙනි පිරුණේ

විනයක් නොමැති වාහන
ඉඳහිට යනෙන රෑ කල
බංකර් සොහොන තනි වුණ
රණවිරුවනේ පාළු ද ?

නිවී සැනහෙන සිහිනෙක
වෙලී පවනේ පාවෙන
ලන්තෑරුමේ රාගය
පෙනේ ඈතින් ඈතට

හදවත තෙමී නැහැවෙන
සල්ලාල සීතල
නිලැ'ඳුම් ඉරා දා ගෙන
අවදි කෙරුවෙද ආයුධ?

බංකර් සොහොන පාමුල
කළුගල් පවුරු යහනත
ගලන උණුහුම් ලේ මත
රැඳුණෙය සුනඛ කේසර

කිසිවෙක් නෑඳුනුව
හැඳුනුම් පතින් වෑහුණ
කඳුළින් දෑත සේදුව
රණවිරුවනේ ප්‍රීතිද?


පිළිහුඩුවී - මංජුල වෙඩිවර්ධන (2002)

මහේෂ් හපුගොඩ, අජිත් සී. හේරත් ආදී කවීහු මෑත යුධමය වකවානුවේ ප්‍රබල කවි ලියූහ. අජිත් සී. හේරත් කවියාගේ "මේ ලේ පිළී ගඳ" වැනි කවියක මැදිහත් වීම ඉතා ප්‍රබලය. උහු යුද්ධයට පෙර සිටම හා යුද්ධය දරුණු ලෙස ඇවිල ගිය වකවානුවේ පවා තම නිර්මාණ ජන ගත කළෝය. නමුත් වර්තමානයේ බිහිව ඇති මේ යුධ විරෝධී සමහර කවීහු යුද්ධය තදින් ඇවිල ගිය වකවානුවේ මල්ටි බැරල්, ෂෙල් වෙඩි මල් වෙඩි ලෙසින් හිස් මත පතිත වූ දින වල මෞන වෘතය පිරූවන් ය. එකල වෙබ් පිටු, විශේෂයෙන් පුවත්පත් කවි පිටු පෙරළා බැලීමෙන් මේ බව වටහා ගත හැකිය. සිනහවට කාරණය නම් තම අන්තර්ජාල මිතුරු හවුල් ගිණුම් වල ජාතික කොඩි දමාගෙන යුද්ධයට ආවැඩුවන් යුධ විරෝධී කවි වෙත එළැඹීමය. ජාතික චින්තන මතවාදය කරට ගනිමින්, මානෙල් මල් ව්‍යාපාර ආදිය නිර්මාණය කරමින්, පාසල් සිසුන්ට පවා යුධකාමය පතුරවා, මානෙල් මල් විකුණා හමුදා කටයුතු වලට ප්‍රදානය කරමින් යුද්ධය වෙත රටක් පෙළ ගැස්වූ ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයේදී උපයෝගිතාවය අනුව යමින් මරාදැමූ, මියැදුණු, සිරගත, කඳවුරු ගත දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළීම මේ හා සමපාත වේ.

මෙවැනි ව්‍යාජ දුක් ප්‍රාප්ති පශ්චාත්තාපී යුධ කවි බොහෝ ලියූ නූතන කවියෙකු කළ අදහස් දැක්වීමක දී හෙළිවූයේ ඔහු සැබෑවට දරන මතවාදය කවියෙන් පවසන අදහසට වඩා සපුරා වෙනස් එකක් බවය. ජනපති මහින්ද යුද්ධය අවසන් කිරීම හොඳ දෙයක් බවත් ඔහුට අවස්ථාවක් දිය යුතුය වැනි අදහසකි, ඔහු විසින් මතු කරනු ලැබුවේ.

මෙසේ වන්නේ ඇයි?

ප්‍රධාන අරමුණ නම් කාව්‍ය අවකාශයේ ඉඩක් පහසුවෙන් ලබා ගැනීමයි. කෙසේද යත් මෙකල කාව්‍ය අවකාශයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු විරෝධී කවියට වැඩි ඉඩක් ලැබී ඇත. යුධ විරෝධය සහ ලාබ සිල්ලර වචන අහුරකින් මහින්දට දමා ගැසීම තුලින් එකී අවකාශ ගත වීම පහසුය. මේ ව්‍යාජ දුකවි විසින් පුරවාලන්නට උත්සාහ දරන්නේ එකී අවකාශයයි. එසේම යුද්ධයට ඡන්දයෙන්, නිහඬතාවයෙන් සහය දීම නිසා දැනෙන වරදකාරී හැඟීමද පශ්චාත්තාපී බව ද (පශ්චාත්තාපී යුධ කවි) ව්‍යාජ රැඩිකල් භාවයද මෙකවි වල උප්පත්තියට හේතු වූවා විය හැකිය.

ඕනෑම සමාජයක රජයන මහා මතවාදය එකී පාලක පංතියේ මතවාදය වේ. එහිදී සිහිපත් වන අතුරු කතාවක් ද තිබේ. දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මනියේදී මිලියන ගණනක් යුදෙව්වන්, අවුෂ්විට්ස් වැනි වධකාගාර වල ගෑස් කාමර තුල මිය යද්දී, දස වධ වේදනාවන්ට ලක් වෙද්දී සමස්ත සාමාන්‍ය ජර්මන් ජනතාව නිෂ්ක්‍රියව සිටියේ මන්ද යන්න මනෝවිද්‍යාඥයන් අතර පවා කතා බහට ලක්වූවකි. මෙම සමස්තය නතු වීම පිළිබඳව "මෝර්ටන් රේ "නම් ලේඛකයා සිය "රැල්ල" නම් (සිංහලට පරිවර්තනය වූවකි) නව කතාව තුලින් සංවාදයට ලක් කරයි. ලාංකීය යුධ වකවානුවේ සිදු වූයේද අනෙකක් නොවේ. එනයින් බලන කල මේ සියල්ලට හේතුව කොල්ලකාරී ධනවාදය මිස අන් කවරක්ද?

එහෙත් මේ බොහෝ කවි තුල ප්‍රශ්න කරනු ලබන්නේ සමස්ත සිංහල ප්‍රජාවයි. මේ මහත් ගැටළුවට සිංහල ප්‍රජාව වගකිව යුතු ප්‍රමාණයක් ඇත. එපමණක් නොව දෙමළ ප්‍රජාවද මුස්ලිම් ප්‍රජාවද වගකිය යුතු ප්‍රමාණ තිබේ. නමුදු සකලවිධ වරද වලට සිංහල ප්‍රජාවට ඇඟිල්ල දිගු කරන විට මේ සියල්ලටම සැබෑවටම වගකිය යුතු ජරපත් ධනේශ්වරය සහ එහි නියෝජිත පාලක රෙජිමය සුජාතකරණය වේ. එබැවින් මෙම පශ්චාත්තාපී යුධ කවි ව්‍යාජ කවි බවට පත් වේ. සිල්ලර මාධ්‍ය අවකාශයක් වෙනුවෙන් මතවාදී අංග විකලතා සහිතව බොහෝ කොට ලියැවෙන මේවා විසින් නව කවිය එක් ස්ථානයක සිරගත කොට ඇත. මේ ව්‍යාජ පශ්චාත් යුධ කවි ප්‍රවණතාවයෙන් ලාංකීය නව කවිය විතැන් විය යුතු කාලය පැමිණ ඇත. හෘදයාංගම, සැබෑ පණ ගැහෙන, තවමත් අනාථ කඳවුරක දරුවකුගේ ඇස ලියවී ඇති කවිය, පුතු අහිමි ව වළැපෙන මවකගේ දුක්බර නෙතක කවිය උත්පත්තිය ලැබිය යුතුය. එය කෙසේවත් අලස සුවයෙන් හාන්සි පුටුවක වැතිර ලිවිය හැක්කක් නම් නොවේ. පහත දැක්වෙන්නේ 1988-1928 කාලයේ එංගලන්තයේ ජීවත් වූ තෝමස් හාඩි නම් කවියාගේ යුධ විරෝධී කවියක ඡායානුවාදයකි.

ඔහු මරා දැමූ මිනිසා

කොතැනක හෝ
පැරණිව ගිය අවන්හලක
හමු වී නම් ඔහුත් මමත්
තිබුණි, අපට තොල ගාන්න
මධුවිත ගෙන ඇති පදමට..

එනමුදු අප මුණගැසුනේ
යුධපිටියක
දෙපල - දෙපිළ
ඔරවාගෙන
මුහුණට මුහුණ..

වෙඩි තැබුවෙමි මම ඔහු හට
වෙඩි තැබුමට පෙර ඔහු මට
හෙලීමි මම ඔහු දෙරණත
සතුරෙකි ඔහු මැරිය යුතුම..

ඉදින් සියල්ලම
පිරිසිදුයි පැහැදිලියි

නමුත්...

අප යමක් කළා පමණක් නොවේ ද?
නොකර සිටිනු නොහැකි නිසා
අපට අවැසි නැතිව වුවත්..

ඔව්..
කෙතරම් අරුමැසි
කෙතරම් පුදුමැති
දෙයක් ද යුද්ධය..

වෙනත් දිනෙක
අවන්හලක
මධුවිත ඔඩමක් පුරවන
මිතුරෙකු හට ගිනි බිඳිනා...

(ඉංග්‍රීසි ජාතික කවි තෝමස් හාඩිගේ The man he killed කවියේ ඡායානුවාදයකි)

සඳුන් ප්‍රියංකර විතානගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කොණ්ඩ කඩල - තම්බපු එක - මෙන්න ගෙනාවා
බැදපු වඩේ - උළුදු වඩේ - උණු උණු ඒවා
බොන්ඩ කලින් - අරන් යන්ඩ - රෂ රෂ මේවා
වදින පදං - අමර පදං - කට දන ඒවා

පරණ එකට - අලුත් එකට - දෙකට ම සැප දේ
කට පුච්චං - බඩ පුච්චං - යනකොට ගුණ දේ
හපල ගිලිමු - රෂ කර කමු - කාටද ඕනේ
වඩේවලට - බැඳපු මිරිස් - මේ මං ගානේ

තිතට ගහමු - අගේට බොමු - වංගු ද ඕනේ
හොඳ එක නෑ - ඩයි දාලයි - ඇසිඩ් ගෙනාවේ
ගහපු ගමං - වැදුණු කරන්ට් - කට් වුණ වාගේ
රජු බොනකොට - අපි මොකටද - අමුවට ඉන්නේ ?

තිත මොකටද - ලප ලොකු නම් - යටිබඩ අයිනේ
අත වෙව්ලයි - වැඩ නාතයි - ෂොට් එක ඕනේ
මනි ඉවරයි - රටට ණයයි - මැරෙන්ඩ ඕනේ
බොන්ඩ බොන්ඩ - නියම වඩේ - මේ මං ගානේ

ඔළුව කචල් - බඩ ෂූටිං - රඟන්ඩ ඕනේ
එහෙට වැනී - මෙහෙට වැනී - වැටෙන්ඩ ඕනේ
ගෑනි බනී - ළමයි රෑට - මොනවද කෑවේ
දුක ම තමයි - බිංදු ගොඩයි - ඒකද දයිවේ?

කොණ්ඩ කඩල - උළුදු වඩේ - හෙට මං ගානේ
බඩු ඉවරයි - දැන් දහයයි - යන්ඩයි ඕනේ
රෝද හොදයි - ග්‍රීස් ගොඩයි - තල්ලුයි ඕනේ
වංගු දෙකයි - බාර් දෙකයි - බොන්ඩයි ඕනේ

සමරකෝන් පතිරාජ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මහා දුග්ගින්දරට
පර්යාය වූ රුවක් හින්දා.....
එ රුව එහි සෙවනැල්ල
මූදු හතකට දුරින් ඇන්දා.
ගණ අඳුර හිරුට දුන් නින්දා
හදවතේ රුවාගෙන
ඔබ කොහොම හිනැහුණි ද මංදා.
ඔබේ දිගු සෙවනැල්ල දෙ පාමුල අඩදැණිව
තාත්තේ අපි ඔබට වැන්දා.

පැහුණු ඉහ ඉද්දරින්
අතීතය රාමු කර තිබුණා.
ආදරේ රාමු කළ නොහෙන සේ
අවසාන වතාවට ජීවිතේ
සෙවනැල්ල උරෙන් උර ගැටුණා.

පොසොන් සඳ ඔරු කඳට
හබල මඟ හැරුණා.
මඟ දන්න සියොතුන්ට සමුදෙන්න
නිම්තෙරට අහස් ගඟ ඇදුණා.
පුපුරු ගසනා දිගැටි නෙත් කෙවෙනි කකියමින්
කවිකමට වැඩි යමක් සැළුණා.

කඳුළු මල් වඩම් ගෙන
මකුළ කඳු තරණයට පෙළ ගැසෙන
නාඳුනන වන්දනා නඩ අතර
දන්න හඳුනන මුහුණු තිබුණා.
වමට බරවී තිබුණු
බිමට බරවුණු මුහුණු
මග හැරුණු මග දෙපස පිරුණා.

පිය බිමේ පිය නගන සිහිනයේ
පිය වදන් ගොළුව ගිය යාමයේ
පිය හඹන්නට පුතුට අත්තටුත් දන් දුන්න
පියකු වේ උත්තුංග ස්නේහයේ

පුතු සෙනේ සම් මස් නහර ඇට මිදුළු විනිවිද ගලනා
නෙතු ඉමේ සංසාරයම එක මිටට ගුලි කර තබනා
පිතු බිමේ නින්නාදයට මතු දිනෙකි ඇසි පිය ඇරෙනා
සකියනේ සංතාපයට පිතු දෙතොල පිළිතුරු නැගෙනා

ජූනි 29, 2011

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලංකාවේ ජනප්‍රිය සංස්කෘතියට එකතුවුණු අළුත් වගේම ටිකක් බරසාර වචනයක් තමයි "ත්‍රස්තවාදය" කියන වචනය. තමන්ගේ දේශපාලන මතය, දැනුම ප්‍රකාශ කිරීමට වගේම විවිධ සිද්ධීන් හා ක්‍රියාකාරකම් නිර්වචනය කරන්නටත් මේ වචනය යොදා ගැනෙනවා. ලෝකයේ දරුණුතම "ත්‍රස්තවාදී සංවිධානයක්" යැයි පැවසුණු එල්ටීටීඊය හා පැවති වසර තිහකට අධික අතිශය දරුණු යුද්ධයත් එය යුධමය වශයෙන් ජයග්‍රහණය කිරීමට ලංකා ආණ්ඩුව සමත්වීමත් සමඟම මේ වචනයට අගයක් එකතු වීමත් ඊට සමාන්තරව එය ජනප්‍රිය තලයේ භාවිතා කිරීමේ පරාසයත් වැඩිබව පෙනෙන්න තියෙන දෙයක්.

මේ වචනය විවිධාකාර අර්ථදැක්වීම් වලින් යොදා ගත් අවස්ථා ගණනාවක් එදිනෙදා අත්දකින්න පුළුවන්. මේ තියෙන්නේ "ත්‍රස්තවාදය" කියන වචනය ඒ ආකාරයෙන් යොදාගත් අවස්ථාවන්.

  • ෆාමසි ත්‍රස්තවාදය

  • සයිබර් ත්‍රස්තවාදය

  • මාර්ග ත්‍රස්තවාදය (පාරේ ත්‍රස්තවාදය)

  • රාජ්‍ය ත්‍රස්තවාදය

  • කලවා ත්‍රස්තවාදය

  • එළවළු ත්‍රස්තවාදය


  • "ත්‍රස්තවාදය" කියන වචනය විවිධාකාර අරමුණු සඳහා යොදාගෙන තිබෙන බව මේ අනුව පැහැදිලියි. ජනප්‍රිය වචනයක් බවට පත්වුණාම සමහරවිට ඒ වචනය යොදාගන්නේ කිසිමාකාරයක බුද්ධිමය වටපිටාවක නෙවෙයි කියන එකත් පේන්න තියෙන දෙයක්.

    තමන්ට හතුරු කෙනෙක්, හානි දායක දෙයක්, තමන්ගේ අදහසට විරුද්ධ දෙයක්, කිසියම් විනාශකාරී දෙයක් වැනි අදහස ශබ්ධ රසයෙන් යුතුව ප්‍රකාශ කරන්නට "ත්‍රස්තවාදය" කියන වචනය භාවිතා කරලා තියෙනවා. දැනටමත් භාවිතා වන වගේම ඉදිරියට භාවිතා කරයි කියලා හිතෙන ත්‍රස්තවාදයේ ප්‍රභේද කිහිපයක් තමයි මේ. "මදුරු ත්‍රස්තවාදය", "කුණු ත්‍රස්තවාදය", "බලු ත්‍රස්තවාදය", "අල්ලපු ගෙදර ත්‍රස්තවාදය", "ගංවතුර ත්‍රස්තවාදය", "ඩෙංගු ත්‍රස්තවාදය", තමන්ට හතුරු යම් පුද්ගලයෙක්ගේ නමින් යුතු "ත්‍රස්තවාදය" වගේ බොහෝම පටු තැනක් දක්වා ත්‍රස්තවාදය කියන වචනය විතැන් වුණත් එච්චර පුදුමයක් නෙවෙයි.

    අනෙක් පැත්තට ආණ්ඩුව විසින් එල්ටීටිඊ ත්‍රස්තවාදය පරාජය කළ පරිදිම ආණ්ඩුව වෙත එන අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවන් "ත්‍රස්තවාදී" ලේබලය යටතේ ප්‍රචණ්ඩත්වය යොදා විනාශ කිරීම සාධාරණීයකරණය කරන්නට යොමු වීමයි. මේ වචනයට තියෙන බලයට අනිසි වටිනාකමක් ලැබෙන්නේ ඇත්තටම මේ පිළිබඳව නිවරැදි දැනුමක් සමාජගතව නොතිබීම නිසයි.

    මේ ලියවිල්ල තුළ දී ත්‍රස්තවාදය කියන සංකල්පය අපිට තේරුම් ගත හැකි මානයන් පිළිබඳව කිසියම්‍ සංවාදයක් කිරීමට මා බ‍ලාපොරොත්තු වෙනවා. අඩුම වශයෙන් ඉදිරි කියැවීමක් සඳහා අවශ්‍ය දිශාව හා ඒ වෙනුවෙන් ‍වන ආරම්භයක මෙතුළින් ලබාගත හැකි වෙතැයි මා බලාපොරොත්තු වෙනවා.

    මූලිකවම අපි ත්‍රස්තවාදය යනු කුමක්දැයි සළකා බලමු. මේ වචනයත් එක්ක තියෙන පසුබිම කිසියම් ශාස්ත්‍රීය පසුබිමක් එක්ක කතාකළොත් එහි අදහසේ විශ්වාසනීයත්වයට හේතුවේවි.

    යම් සංකල්පයක් හඳුනාගැනීමට ඇති පහසුම ක්‍රමය ඊට වෙන්වී තියෙන නිර්වචනයන් අවබෝධකර ගැනීමයි. එසේ වුණත් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් නිශ්චිත නිර්වචනයක් සැපයීම අපහසු බවට ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන විද්වත් ආයතන හා සංවිධාන ගණනාවක් ප්‍රකාශයට පත්කර කොට තියෙනවා. (Banlaoi, 2009)

    මෙච්චර ප්‍රසිද්ධ වචනයකට නිශ්චිත අර්ථකථනයක් දෙන්න බැරි ඇයි? ඇත්තම තත්ත්වෙ නම් ලංකාවේ වෙලා තියෙන දේ ලෝකෙදිත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ත්‍රස්තවාදය කියන වචනය විශාල නිර්වචනයන් ගණනාවකට ලක්වෙලා තියෙනවා. එක්දහස් නමසිය අනූගණන් වලදි විශේෂඥයෝ පිරිසක් එකතු වෙලා විවිධ නිර්වචන 109ක් ඇසුරුකරලා කරුණු 22ක් යටතට ගෙන නිර්වචනයක් සම්පාදනය කරත්, අවසානයේදී ඊටත් අභියෝගයක් එල්ල වුණා. ( Schmid and Jongman, 1988)1


    ලංකාවේ අපි ඉතාමත් සරලව තේරුම් අරං ඉන්න මේ වචන‍යට තේරුමක් හොයාගන්න ඇත්තටම විශේෂඥයින්ටවත් නොහැකි වුණේ ඇයි? මේ ප්‍රශ්නයට පිළිතුරු හොයාගන්න උත්සාහ කළොත් මේ වචනයේ සැබෑ අරුත අවබෝධකරගැනීමත් පහසුවක් වේවි.

    මේ සඳහා මූලින්ම අපි යම් විද්වත් අදහසක් විමසා බලමු.

    අර්ථදැක්වීම - 01

    "ත්‍රස්තවාදය පිළිබඳව වන අර්ථ දැක්වීම තීරණය වනුයේ පුද්ගලයෙකුගේ හෝ ජාතියකගේ දැක්ම මතයි. ඒ නිසා ත්‍රස්තවාදය පිළිබඳව නිවරැදි අර්ථදැක්වීම එකිනෙක පුද්ගලයාගේ දැක්ම මත තීරණය වේ."

    - මහාචාර්ය පැමලා ග්‍රිසෙට්, මධ්‍යම ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලය.


    අර්ථදැක්වීම - 02

    ත්‍රස්තවාදය යන වදනට විශ්වීය එකඟත්වයක් ඇති අරුතක් නැත. එසේ කිරීමේ අපහසුතාව ප්‍රතිවිරුද්ධ ස්ථාවරයන් තෝරා ගැනීමේ අවදානම මත රඳා පවතී. අද මෙම යෙදුමේ දේශපාලනික වටිනාකම එහි නෛතික අගය වසන්කර තිබේ. දේ‍ශපාලනික අර්ථයෙන් සැලකූ කල, ත්‍රස්තවාදය යම් යම් කාලාන්තරයන් හිදී යම් යම් රාජ්‍යයන් ගේ උවමනා එපාකම් මත ඉතා පහසුවෙන් උඩු යටිකුරු කෙරෙන්නාවූ වදනක් ව තිබේ. කලකට පෙර තලේබාන් වරුන් හා ඔසාමා බින් ලාඩන්, ඇෆ්ගනිස්තානයේ සෝවියට් ආක්‍රමණයට විරුද්ධව සටන් කරන කල සී. අයි. ඒ. සංවිධානය විසින් විමුක්ති සටන්කරුවන් (මුජහදීන්) ලෙස හඳුන්වන ලද මුත් අද ඔවුහු ජාත්‍යන්තර ත්‍රස්තවාදී ලැයිස්තුවේ ඉහලින්ම සිටිති. අද, එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීන ජාතිකයින්, ඊශ්‍රායලය විසින් නීති විරෝධීව තම භූමිය අත්පත් කරගෙන සිටීමට විරුද්ධව දීර්ඝ කාලීන අරගලයක නියුතුව සිටින විමුක්ති සටන් කරුවන් ලෙස දකින මුත්, ඊශ්‍රායලයට ඔවුහු ත්‍රස්තවාදී හු වෙති. ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ද ත්‍රස්තවාදී කල්ලියක් ලෙස සලකන මුත්, ජාත්‍යන්තරයේ සැලකිය යුතු ‍රටවල් ගණනාවකට ඔවුහු දකුණු ලෙබනනයේ ඊශ්‍රා‍යෙල් අත්පත් කරගැනීමට විරුද්ධව සටන් කරන සාධාරණ විප්ලවී‍යයෝ වෙති. සත්‍යය නම්, වසර 2000 දී හිස්බුල්ලා කණ්ඩායම විසින් දකුණේ බහුතරයක් ප්‍රදේශ වලින් ඊශ්‍රායල් සේනාංක පලවා හැරීම තුලින්, ලෙබනනය ඊශ්‍රායල් හමුදාවට මුහුණ දී පරාජය කල එකම අරාබි දේශය බවට පත්ව තිබීමයි. මෙලෙස ත්‍රස්තවාදයේ නෛතික අර්ථය වසන් කරමින් එය දේශපාලනික වාසීන් සඳහා විකෘති කිරීමේ ප්‍රතිවිපාක අතිශයින් අවාසිදායක වන අතර, එය නූතන "ත්‍රස්තවාදය තුරන් කිරීමේ සංග්‍රාමය", සීමිත අසම්පූර්ණ සහ අසාර්ථක ප්‍රයත්නයක් බවට පත්කර තිබේ.

    - සැමී සේඩන්, ලෙබනන් රාජ්‍යතාන්ත්‍රික.2

    අර්ථදැක්වීම - 03

    ත්‍රස්තවාදය සම්න්ධයෙන් වන එකිනෙකට වෙනස් වු මානයන් තුනක් ඇත.
    එනම්,
    1. ත්‍රස්වාදියා, 2. ත්‍රස්තවාදයෙන් පීඩාවට පත්වන්නා නොහොත් වින්දිතයා 3. සාමාන්‍ය මහජනතාව.

    "එක් පුද්ගලයෙකුට ත්‍රස්තවාදියෙකු ලෙස පෙනෙන පුද්ගලයා තවත් අයෙකුට විමුක්තිකාමී සටන්කාමියෙක් ලෙස පෙනී යයි" යන වාක්‍යය ත්‍රස්තවාදීන් විසින් පිළිගනු ඇත. ත්‍රස්තවාදීන් තමන් යක්ෂයින් ලෙස දකින්නේ නැත. ඔවුන් විශ්වාස කරනුයේ ඔවුන් සාධාරණ සටන්කරුවන් බවත්, ඔවුන් විශ්වාස කරන දේ වෙනුවෙන් සටන්කරන බවත් එය කවර හෝ මිලක් යටතේ ඉටුකරගැනීම වෙනුවෙන් කැපවී සිටින බවත්ය. ත්‍රස්තවාදයෙන් හිංසනයට පත්වන්නා ත්‍රස්තවාදියා පිළිබඳ විශ්වාස කරන්නේ ඔහු මානව ජීවිත පිළිබඳව කිසිම හැඟීමක් නැති අපරාධකරුව‍කු ලෙසයි. සාමාන්‍ය ජනයාගේ දැක්ම ස්ථාවර වූවක් නොවේ. ත්‍රස්තවාදීන් විසින් තමන්ව "රොබින් හුඩ්" ගණයෙහිලා පෙන්වීමට උත්සාහ කරමින් සාමාන්‍ය ජන මතය තමන් වෙත තබාගැනීමට උත්සාහ කරති. මෙම මතය ඔවුන් (ත්‍රස්තවාදීන් හෝ විමුකතිකාමීන්) විසින් මෙහෙයවන මනෝවිද්‍යාත්මක සටන්ක්‍රම (Psychological warfare) තුළින් පවත්වාගෙන යනු ලබන අතර ඒවා කඩාදැමීම වෙනුවෙන් සුක්ෂමව කටයුතු කළ යුතුවේ.3


    ඉහත දැක්වෙන්නේ, ත්‍රස්තවාදය සම්බන්ධයෙන් වන අධ්‍යයනික තලයේ භාවිත වන නිර්වචනයන් කිහිපයක්. එහි දිගින් දිගටම ත්‍රස්තවාදයට සෘජු නිර්වචනයක් දීමේ නොහැකියාව පෙන්නුම් කරනවා. ඉහත අර්ථදැක්වීම් ත්‍රිත්වය තුළම කියවෙන විදිහට "ත්‍රස්තවාදය" ට ඇත්තේ දේශපාලන අර්ථදැක්වීම්. ඒ කියන්නේ තම තමන්ගේ අවශ්‍යතාවන්ට අනුව ඒ ඒ පාර්ශවයන් ත්‍රස්තවාදය තමන්ට අවශ්‍ය විදිහට අර්ථදක්වනවා.

    ත්‍රස්තවාදය කියන්නේ මොකද්ද කියලා හරියටම කියන්න බැරි මොකද කියන එකත් තවදුරටත් පැහැදිලි කරගන්න ඕන. ඒකට ප්‍රධානතම හේතුව තමයි ත්‍රස්තවාදියෙක් යැයි අපි නම් කරන කෙනෙක් තවත් කෙනෙක්ට විමුක්තිකාමියෙක්, නිදහස වෙනුවෙන් අරගල කරන්නෙක් කියලා නම් කරන්න පුළුවන් වීම. ත්‍රස්තවාදී සංවිධාන යැයි නම් කරලා තිබූ සංවිධාන ඉතිහාසය විසින් විමුක්තිකාමී සංවිධාන කියලා වෙනස්වීම මේ සඳහා හේතුවයි. බීබීසීයේ මේ පුවත [මෙතන කොටන්න] මඟින් දැක්වෙන්නේ නෙල්සන් මැන්ඩෙලා කියන සුවිශේෂී කළු අප්‍රිකානු විමුක්ති නායකයා ඇමරිකාව විසින් ත්‍රස්තාවාදී ලේඛණය තුළ තැබූ බවට වන සාක්ෂියයි. මේ තත්ත්වයම පලස්තීනයේ ෆාටා සංවිධානය, අයර්ලන්තයේ IRA සංවිධානය සම්බන්ධයෙනුත් අදාළ කරගත හැකියි. ත්‍රස්තවාදය කියන ලේබල් කිරීම කරලා තියෙන හැම සංවිධානයක් ම වගේ තමන්ගේ හිංසාකාරී ක්‍රියා සිදුකරන්නේ සමූහයකගේ පීඩනයට එරෙහිව කිසියම් හෝ විමුක්තිකාමී දෘෂ්ටිවාදයක් ඉදිරිපත් කරමිනුයි. මේ බව විශේෂයෙන් දකින්න පුළුවන් මුස්ලිම් ත්‍රස්තවාදය ඇතුළේ. විශේෂයෙන් විවිධ නිකායන් අතර වන ගැටුමත්, රාජ්‍ය මඟින් එල්ලවන තර්ජනත්, රට රටවල් අතර වන අසාධාරණකම් හේතුපාදක කරගෙන තමයි මේ ත්‍රස්ත සංවිධාන ගොඩනැඟෙන්නේ. ආගමික භක්තිය විසින් පොදුවේ මේ හැම ප්‍රචණ්ඩකාරී ව්‍යාපාරයකම හිංසාවේ ප්‍රමාණය තීව්ර කිරීමක් සිද්ධවෙනවා. (Juergensmeyer,2005)4

    මේ සියළු කාරණා වලින් මම කියන්න උත්සාහ කරන්නේ හැම හිංසාකාරී වැඩක්ම, ත්‍රස්තවාදයට ලේබල්ගත වැඩක්ම සාධාරණයි කියන එක නෙවෙ‍යි. ඒ වුණත් මේ සියළු සමාජ සිද්ධි සඳහා ඉවහල් වන සමාජ පසුබිමක් තියෙන බවයි. ඒ ගැන වන පළල් අවබෝධයයි වැදගත්. මේ පිළිබඳව විස්තරාත්මක විග්‍රහයක් Addressing the Causes of Terrorism The Club de Madrid Series on Democracy and Terrorism කියන තිසීසය තුළ අන්තර්ගත වෙනවා.4

    දැන් ඇත්තටම ත්‍රස්තවාදය කියන එක අර්ථදක්වන්න ඕන කාටද? මේ ප්‍රශ්නයේ දී, ඇත්තටම ත්‍රස්තවාදය කියන්නේ මොකද්ද කියලා හරියටම අර්ථගන්වන්න ඕන ඊට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍යනම් විතරයි. කාර්යාලයේ, කඩපිල්වල, මිතුරු හමුවලදි සිද්ධවෙන කතා බස් වලදි ‍එහෙම අවශ්‍යතාවයක් තියෙනවද? එහෙමනම් වෙන්කරලා හඳුනාගැනීමටත් අපහසු මේ සංකල්පයට නිශ්චිත අර්ථකතනයක් දීලා තියෙන්නේ කවුද කියලා දැන් බලමු.

    මේ තියෙන්නේ ත්‍රස්තවාදය කියලා නිශ්චිතව අර්ථයක් ලබාදීලා තියෙන තැන් කිහිපයක්.

    ඇමරිකානු රජයේ අර්ථදැක්වීම-

    "ත්‍රස්තවාදය යනු දේශපාලන හා සමාජයීය අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා බලය හා හිංසාව නීතිවිරෝධීව යොදාගනිමින් පුරවැසියන්ට, එහි කොටසකට හෝ දේපළකට හානි කිරීම තුළින් රජයක් බය ගැන්වීම් හෝ රජයට බලපෑම් කිරීමයි. (28 C. F. R. Section 0.85)

    සී. අයි. ඒ අර්ථදැක්වීම

    1. ත්‍රස්තවාදය යනු කිසියම් සංවිධානයක සාමාජිකයින් හෝ එහි ඒජන්තවරුන් විසින් හිතාමතා සැලසුම් සහගහතව සිදුකරන ලබන, දේශපාලනික අරමුණක් සහිතව සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගත් හිංසාකාරී ක්‍රියාවකි.

    2. ජාත්‍යන්තර ත්‍රස්තවාදය යනු, එක් රටක භූමි ප්‍රමාණයකට හෝ ප්‍රමාණයක් සම්බන්ධ වූ ත්‍රස්ත ක්‍රියාකාරකම්ය.

    3. ත්‍රස්ත කණ්ඩායමක් යනු ත්‍රස්ත කටයතු ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදවන, එක් සංවිධානයක් හෝ සංවිධානයක අනුකමිටු ය.5

    ආචාර්ය බොයස් ගානර්ගේ අර්ථදැක්වීම -

    සිවිල් ජනතාව හෝ සිවිල් ජනතාව ඉලක්ක කොටගත් දේශපාලන අරමුණක් සහිත වූ හිතාමතා සිදුකරන හිංසාව හෝ හිංසනය සඳහා බලකිරීම. මෙහි ප්‍රධාන ලක්ෂන තුනකි.

    1. මෙය හිංසාව පාදක වූවකි. අවිහිංසාව පදනම් ‍කොටගත් සාමකාමී උද්ඝෝණ, වර්ජන, විරෝධතා ව්‍යාපාර ත්‍රස්තවාදී වන්නේ නැත.
    2. අරමුණ දේශපාලනිකය. එනම් එහි අරමුණ රාජ්‍ය පෙරළීම, බලය අත්පත් කරගැනීම, දේශපාලන තීන්දු තීරණ වෙනස් කරලීම වැනි. අරමුණ දේශපාලනික නොවේ නම් එය ‍ත්‍රස්තවාදී ගණයට අයත්වන්නේ නැත. (මේ තුළ ආගමික හෝ මතවාදීමය අරමුණු ද දේශපාලන ගණයට අයත්ය)
    3. ත්‍රස්තවාදය අනෙකුත් දේශපාලන හිංසාකාරී ක්‍රියාවන්ගෙන් වෙනස් වන්නේ එය සෘජුවම සිවිල් ජනයා ඉලක්ක කොට ගන්නා නිසාය. එමඟින් සිවිල් ජනතාව හිංසනයට, අපහසුවට, භීතියට පත්කරලීම සිදුකරයි. සිවිල් ජනයා මිනිස් පළිහක් ලෙස තබාගැනීමෙන් ද වක්‍රාකාරව මෙය සිදුවේ.6

    බ්‍රිතාන්‍ය රජයේ ත්‍රස්වාදය පිළිබඳව අර්ථදැක්වීම

    "දේශපාලනික ක්‍රියා සඳහා හිංසාව භාවිතය, ජනයා සංවිධාන කිරීමට හිංසනය භාවිතය හෝ ජනතාව බියකොට තැබීම, භීතිය ඇතිකිරීම්‍ සඳහා හිංසාව භාවිතයයි"

    ශාස්ත්‍රීය තලය ඇතුලේ බොහෝ වෙලාවට නිශ්චිතව අර්ථදැක්වුවෙ නැතිවුණාට යම් යම් තීරක ආයතන විසින් ත්‍රස්තවාදය අර්ථදක්වා තියෙනවා නිශ්චිත අර්ථයක් ගම්‍ය වන විදිහට. මේ අර්ථදැක්වීම් වල විශේෂ ලක්ෂණ මොනවාද?

    මෙහි දක්වා තියෙන ත්‍රස්තවාදයේ ලක්ෂණ වල යටි පෙළ තේරුම්ගැනීමට නම් වැදගත් කොට සැළකිය යුතු කරුණු දෙකක් තියෙනවා. එනම්

    1. දේශපාලන අරමුණක් සහිත වීම
    2. රාජ්‍යයට එරෙහිව ක්‍රියාත්මක වීම.

    ත්‍රස්තවාදය කියන කාරණයත් එක්ක හිංසාව, ප්‍රචණ්ඩත්වය කියන කාරණා බැඳි තියෙන දෙයක් බව අපි දන්නවා. එහෙමනම් කොහොමද මේ තවත් අනිවාර්ය ලක්ෂණ දෙකක් ඇවිත් තියෙන්නේ? සැබැවින් "ත්‍රස්තවාදය" අර්ථදැක්වීමේ ‍සැඟවූ දේශපාලනය තියෙන්නේ මෙතන.

    දේශපාලන අරමුණක් තියෙනවා කියන්නේ මිනිස්සු ක්ෂණික කෝපයෙන් පොළු මුගුරු වලින් ගහන එකවත්, පොලීසි වලට ගල් ගහන එකවත් නෙවෙයි. ඒක ඊට වඩා සංවිධානාත්මක වූවක්. ඒ කියන්නේ නිශ්චිත අරමුණක් සහිතව සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියාවක්. උදාහරණයක් ගත්තොත් එල්ටීටීය විසින් කොළඹ බෝම්බ පිපිරෙව්වේ ඔය කියන විදිහෙ සිංහල ජාතිය සමූල ඝාතන ඉලක්කයක් හින්දා නෙවෙයි. ඔවුන්ට අවශ්‍ය එතනදි රටේ ජන ජීවිතය අඩාල කරලන්නට. ආර්ථිකය අඩපණ කරලා කේවල් කිරීමේ ශක්තිය වැඩි කරගන්න.

    ත්‍රස්තවාදය කියල හඳුන්වනු ලබන හිංසන ක්‍රමයේ තියෙන්න ඕන කියලා තියෙන දෙවෙනි කොටස තමයි ඉන් රාජ්‍ය බලය අභියෝගයට ලක්කිරීම. මින් පෙර දැක්වූ දේශපාලන අරමුණ කියන එකෙන්ම පටන්ගත්තොත් ඒ කියන දේශපාලන අරමුණ පෙළගැහිලා තියෙන්නේ රාජ්‍ය බලය අත්පත්කරගැනීම කියන කාරණයත් එක්කයි. ත්‍රස්තවාදී ක්‍රියා භාවිතා කරලා තමන් කැමති බාහිර දේශපාලන ව්‍යාපාරයන්ට සහයෝගය ලබාදෙන අවස්ථාත් තියෙනවා.

    රාජ්‍යය විසින් තමන්ගේ බලයට අභියෝග කරන්නට සැරසෙන පිරිසකට එරෙහිව තමන් සතු "හිංසනයේ නීත්‍යානුකූල අයිතිය" පාවිච්චි කිරීම සාධාරණීකරණය කරන්න තමයි ත්‍රස්තාවදය කියන මේ රාමුව හදලා තියෙන්නේ කියලා දැන් පැහැදිලියි. ඕනෑම කෙනෙක්ට මේකේ අසාධාරණයක් ‍එක්වරම පේන්නේ නැහැ. ඒත් තිරයෙන් වැසුණු පැති තව තියෙනවා.

    රාජ්‍යයන් විසින් ත්‍රස්තවාදය කියන ලේබල්ගත දේශපාලනික වචනය හඳුන්වා දෙන්නේ සැබැවින්ම ඒ වචනයත් එක්ක මානව සමාජය ඇතුලේ සිද්‍ධවෙන තවත් පැතිකඩක් වසාලන්න. තව දුරටත් කිව්වොත් රාජ්‍ය පාලනය විසින් දිගින් දිගටම සිදුකරන නොසළකාහැරීම්, වංචා දූෂණයන්, වෙන්කොට සැළකීම්, වාර්ගික නොසැළකීම්, ඉවසීමේ සීමාවෙන් ඔබ්බට යන මොහොතකදි තමයි ආයුධ අතට ගැනීම සිද්ධවෙන්නේ. මෙවැනි ආයුධ සන්නද්ධ එළැඹුම් සඳහා යම් ආකාරයක කලාපීය බල දේශපාලනය හෝ දෘෂ්ටිවාදීමය බලපෑමක් ති‍බිය හැකි වුණත් ඊට වඩා ප්‍රබලව බලපාන සාමාජයීය මූලබීජයන් වර්ධනය විය යුතුව ‍තියෙනවා. එවැනි බීජයක් සරුසාර ලෙස වැවෙන්න වෙනස් කාරණා බලපාන බව නොරහසක්. (මේ පිළිබඳ විස්තරාත්මක ලිපියක් www.meteck.org වෙබ් අ‍ඩවියේ තිබෙනවා.)

    අනෙක් අතට රාජ්‍යය වෙත තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න තියෙන අවසාන විකල්ප විදිහටත් නොයෙකුත් ජන කණ්ඩායම් ආයුධ අතට ගන්නවා. සමහර ප්‍රශ්න තමන්ට ම විසඳගන්න පුළුවන් වුණත් රාජ්‍ය පාලනය යටතේ අසාධාරණයට ලක්වෙන සමහර කරුණු කාරණා තමන්ට ම විසඳාගැනීම කළ නොහැකි දෙයක්. උදාහරණයකට ඉඩම් බෙදීම, පොලිස් බලතල, අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි පොදු ප්‍රතිපාදන, පරිපාලන ක්ෂේත්‍රය වැනි දේ රාජ්‍යයේ ඉහළ මැදිහත් වීමෙන් ඉටුකළ යුතු කර්තව්‍යයන්.

    තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ ගණන් නොගෙන අනිත් මිනිහගේ ඇහේ ඉඳිකට්ට ගැන කතා කිරීමයි බොහෝ විට සිද්ධ වෙන්නේ. ආයුධ අතට ගන්න කං සිද්ධ වුණු සියළු කාරණාවන් පසෙකට දාලා ආයුධ ගත්තු එකේ වරද විතරයි "ත්‍රස්තවාදය" ඇතුලේ අර්ථකථනය කරන්නේ. ටිකකට නැවතිලා යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් ආයුධ අතට ගැනීම ගැන කල්පනා කරන්න. මිනිහෙක් හෝ ගැහැණියක් ආයුධයක් අතට ගන්නේ තමන්ගේ අවසාන විකල්ප විදිහට. මොකද ආයුධ ගැනීම කියන්නේ ආපසු හැරෙන්න බැරි පියවරක් බව ඔවුන් නොදන්නවා නෙවෙයි. තමන්ගේ මුළු ජීවිතේම කැපකරලා ආයුධයක් අතට ගන්න තරං හිතන්න කොච්චර සමාජ හේතූ තියෙන්න ඕනද?

    මේ සියළු කාරණාවන් අමතක කරලා "ත්‍රස්තවාදය" කියන නාමකරණය කරලා මනුෂ්‍ය වෙස් ගත් යක්ෂයින් පිරිසක් මවන්න හැදුවත් අපි හිතන්න ඕන ත්‍රස්තවාදීන් කියලා කියන්නෙත් මිනිස්සු කියන එක. එම නිසා ත්‍රස්තවාදීන් මුලිනුපුටා ගැනීම කියන වචනයත් එක්ක සාධාරණීකරණය කරන මනුෂ්‍ය ඝාතනය "මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ" නොවන්නේ කොහොමද? ඒවා තුළින් සිද්ධ වෙන්නේ මිනිස් සමූල ඝාතන නොවේද?

    සී. අයි. ඒ සංවිධානය වගේම නේටෝව, ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමෙන්තුව වගේම ‍රාජ්‍යයන් වැනි අන් පාර්ශව වෙත බලය පතුරුවන ව්‍යූහ හරහා ක්‍රියාත්මක වන තමන්ගේ ක්‍රියාකාරකම් නීතිගත කිරීමට මෙන්ම පිළිගැනීමක් ලබාදීමට බිහිවූ මෙම සංකල්ප විනිවිද දැකීමට අප පුරුදු විය යුතුයි. තමන් වෙත පැමිණෙන තෙක් නොඉඳ සමස්ත මානව වර්ගයාට වින කරන මෙවැනි සංකල්ප මඟින් කරන්නේ යහපත් මානව සමාජයකට පාර කීමක් වෙනුවට තව තවත් සමාජය අමානුෂික තැනක් බවට පත්කිරීමයි.

    ත්‍රස්තවාදය යැයි නම්කර ඇති සංකල්පයට පිළිතුරු ලබාදීම සඳහා ඉදිරිපත්කරන ත්‍රස්තවාදය ඉවත් කිරීම හෙවත් "සමූල ඝාතනය"ය කියන උපක්‍රමය වැරදි නම් ඊට එරෙහිව කළ යුත්තේ මොකද්ද? මේක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක්. ලෝකයේ බොහෝ රටවල් මෙවැනි ප්‍රශ්න සාර්ථකව විසඳාගත්තු අවස්ථා තියෙනවා. එසේ වුණත් ලෝක ඉතිහාසය තුළ ලියැවී ඇත්තේ යුද්ධ හා ලේ වලින් නිසා සාමකාමී ලෙස ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් තියෙන්නේ අඩු නැඹුරුවක්. මානව සමාජය හිංසාවෙන්, ප්‍රචණ්ඩත්වයෙන් ඉවත්වෙලා කිසියම් සාමකාමී සංහිඳියාවකින් යුතුව ගැටළු විසඳීමට යොමුවීම මානව ශිෂ්ඨාචාරයේ දියුණුව කියාපාන සාධකයක් ලෙසයි මට හැ‍ඟෙන්නේ.

    අවසාන පිළිතුරක් සෙවීමට ඉස්සෙල්ලා අප විසින් කළ යුත්තේ ත්‍රස්තවාදය නැමැති ප්‍රචණ්ඩ ක්‍රියා බිහිවීමට හේතූ වූ කාරණා තේරුම්ගැනීමයි. ඒ තේරුම් ගැනීම ම ඒ සඳහා වන පිළිතුරක් වෙනුවෙන් සැළකිය යුතු ඉඩකඩක් සපයනවා. යම් ආකාරයක දේශපාලන ව්‍යූහමය වෙනස්කම්, ව්‍යවස්ථාපිත වෙනස්කම්, වගේම දේශපාලන විසඳුම් වැනි දේ මේ සඳහා යොදාගත හැකියි. කෙසේ වුණත් ආයුධ අතට ගන්නා තත්ත්වයට පත්වීම ම යම් ආකාරයක ව්‍යාකූල තත්ත්වයක් දක්වා පරිවර්තනය වීමක් ලෙස හඳුනාගත හැකි වුණත් ඒ ඒ ප්‍රශ්න සඳහා ඊට අනන්‍යවූ විසඳුම් පවතින බවත් අමතක කළ යුතු නෑ.

    මෙච්චර වෙලා මගේ සටහන තැබුණේ ත්‍රස්තවාදය පිළිබඳ යම් ආකාරයකට ව්‍යාප්ත වී තියෙන මත දෙකක් පිළිබඳවයි. ඉන් එකක් වුණේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් වන ශාස්ත්‍රීය මතයක්. අනෙක් මතය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් යම් රාජ්‍ය හිතවාදී වුවක්. දැන් අපි හැරෙමු ලංකාවේ ත්‍රස්තවාදය පිළිබඳව අර්ථකථනය දිහාවට.

    ලංකාවේ ඉහත දක්වලා තියෙන උදාහරණය හරහා පේන දෙයක් තමයි මේ වචනය භාවිතය ඇතුළේ කිසිම බුද්ධිමය බැඳීමක් නැහැ කියන එක. ඒ කියන්නේ ඉහත දක්වලා තියෙන අර්ථදැක්වීම් ඇසුරෙන් බැලුවොත් පේනවා කිසිම විදිහකට ගලපන්න බැරි ආකාරයේ භාවිතාවන් සිද්ධ වෙලා තියෙනවා කියලා. උදා- එළවළු ත්‍රස්තවාදය, මාර්ග ත්‍රස්තවාදය. (දැන් දැන් ආසනික් ත්‍රස්තවාදයක් ගැනත් කියවෙනවා)

    ත්‍රස්තවාදය වචනය තමන්ගේ සිතැඟි පමණින් යොදාගනිමින් සිටින විට රජය විසින් සිදුකරන දෙයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ඇතුලේ සිද්ධවෙන විරෝධතාවන් "ත්‍රස්තවාදී" ලේබලය යටතට දැමීම. මේක එක්තරා ආකාරයක අධිපතිවාදී මතවාදයක්. යම් ආකාරයක රාජ්‍ය හිතවාදී මතවාදයක් දරන ආචාර්ය බොයෙස් ගානර් ගේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් වන නිර්වචනයට ඇතුලත් "හිංසාව" යන පදය අර්ථදැක්වීමෙදී ඔහු විසින් විශේෂයෙන් දක්වා තියෙන්නේ උද්ඝෝෂණ, පිකටින් ව්‍යාපාර, වැඩවර්ජන ත්‍රස්තවාදී ගණයට අයත් වන ඒවා නොවෙයි කියලයි. (හිංසාකාරී නොවන උද්ඝෝෂණ හා උපක්‍රම සඳහා www.aeinstein.org වෙත පිවිසෙන්න.)

    සමහර සංකල්ප විවිධාකාරයේ අර්ථකතනයන්ට හසුව තිබෙනවා. "ත්‍රස්තවාදය" කියන්නේ එහි තවත් එක් උදාහරණයක්. ඒත් මේ අර්ථකතන වෙනුවෙන් කිසියම් හෝ පදනමක් තිබිය යුතුයි. මහජනතාවගේ නොදැනුවත් බව හේතුවෙන් යම් පුද්ගයින් හෝ කණ්ඩයාමකට මේ සංකල්පයකට වැරදි අර්ථකථනයක් දෙන්න උත්සාහ කරනවා නම් එය කෙසේ හෝ පරාජය කළ යුතුයි. මේ ඒ වෙනුවෙන් වන කුඩා උත්සාහයක්.

    යුද්ධය, ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය, දේශපාලනය වැනි සංකල්ප එකිනෙකට බැඳී පවතින ඒවා. මේවා තනි තනියෙන් ගෙන අධ්‍යයන කිරීම අපහසු වුණත් යම් අවබෝධයක් ලබාගැනීම වෙනුවෙන් එය එසේ කළ යුතුව තිබෙනවා. මේ ලිපිය "ත්‍රස්තවාදය" යන වචනය කේනද්‍රකොටගෙන ලියවුණත් ඊට අදාළවන සංකල්ප ගණනාවක් සාකච්ඡා කළ යුතුව තිබෙනවා. මේ එහි ආරම්භයක් විතරයි. රාජ්‍ය ත්‍රස්තවාදය, ගරිල්ලා සටන්, ප්‍රති ත්‍රස්තවාදය (Counter Terrorism) වැනි දේ ඊට අදාළයි. එවැනි තවත් සාකච්ඡාවක් සමඟින් නැවතත් හමුවෙමු.

    විමර්ශක-

    1. http://declassifiedrommelbanlaoi.blogspot.com/2011/01/defining-terrorism-conceptual-problems.html

    2. Sami Zeidan, Desperately Seeking Definition: The International Community's Quest for Identifying the Specter of Terrorism, 36 Cornell International Law Journal (2004) pp. 491-492 - via www.wikipedia.org

    3. http://www.terrorism-research.com/ via Rommel C. Banlaoi, Counter- Terrorism Measures in Southeast Asia: How Effective Are They? (Manila: Yuchengco Center, 2009)

    4. Addressing the Causes of TerrorismThe Club de Madrid Series on Democracy and Terrorism

    5. https://www.cia.gov/news-information/cia-the-war-on-terrorism/terrorism-faqs.html

    6. http://www.citizenwarrior.com/2007/07/definition-of-terrorism.html
    http://portal.idc.ac.il/en/faculty/ganor/Pages/profile.aspx
    Dr. Boaz Ganor - Executive Director of the International Policy Institute for Counter- Terrorism

    මේ ලිපිය සඳහා පාදක වූ තවත් වෙබ් සබැඳි

    1. http://en.wikipedia.org/wiki/Definitions_of_terrorism
    2. http://www.nytimes.com/books/first/h/hoffman-terrorism.html
    3. http://www.jcpa.org/brief/brief004-26.htm
    4. http://www.unodc.org/unodc/terrorism_definitions.html
    5. http://www.icj.org/IMG/UK- Carlile- DefTer.pdf
    6. http://www.guardian.co.uk/world/2001/may/07/terrorism
    7. www.meteck.org/causesTerrorism.html

    සංඛ කිරිඳිවැල



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |


    [ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සභාපති ආනන්දසංගරී ජී.ටී.එන්. වෙබ් අඩවියේ නඩරාජා ගුරුපරන් සමඟ ජූනි 28 දින කරන ලද සංවාදය ඇසුරෙන් සකස් කරන ලද්දේ, එස්. ඩී.]

    ශ‍්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අනුව රට ඉක්මණින්ම හමුදාකරණය වූ රටක් බටට පත්වනු ඇතයි සිතමි. එමගින් උදාවෙමින් තිබෙන්නේ භයානක තත්ත්වයකි. දෙමළ ජනතාව ජනතාව නිදහසේ ජිවත් වූ ඉඩම්වල හමුදා කඳවුරු ඉදිකරමින් තිබෙනවා. ඉන් සිදුවන්නේ ඔවුන්ගේ සංවර්ධනයට බාධා කිරීමක්. එයින් ඇතිවන යහපතක් හෝ සංවර්ධනයක් නැත. හමුදාව ඇතැම් ඉඩම් අත්පත් කරගෙන ඒවා රජය කොටින්ගෙන් අත්පත් කරගත් ඉඩම් බව කියනවා. එබැවින් ඒවා දෙමළ ජනයාගේ නොවේ යැයි පැවැසීම කිසිසේත් සාධාරණ නොවේ. මේ ඉඩම් බොහෝමයක් ඉතා වටිනා ඉඩම්ය. විශේෂයෙන් සඳහන් කරන්නේ නම් කිලිනොචිචිය නගරයේ පිහිටි ව්‍යාපාරික ස්ථානය එවැන්නකි. හමුදාව ඇත්ත දැනගෙන නොදැනුවත් සේ රඟපානවා යැයි සිතෙයි. කොටි සංවිධානය ද බොහෝ ඉඩම්, නිවාස ගොඩනැගිලි බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබුණි. එය සත්‍යයි. නමුත් එය දැන දැනත් රජය දැන් කරන අපරාධය කුමක් ද? කොටි සංවිධානය අහිංසක ජනතාවගෙන් බලයෙන් ගත් ඉඩම් හා නිවාස දැන් මේවා නුඹලාගේ නොවේ යැයි ජනතාවට කියමින් හමුදාව අත්පත්කර ගනී. මා අවසන් කාලයේ ජීවත් වූ ඉරණමඩු වැව ආසන්නයේ පිහිටි නිවස පවා දැන් ඔවුන් (හමුදාව) අත්පත් කරගෙන තිබේ. දැන් බලන විට තිබුණු තත්ත්වයට වඩා වත්මන් තත්ත්වය බරපතල ය. මෙය කබලෙන් ලිපට වැටුණු කතාව වැනි ය.

    ජනතාවට කිසිම සැනසීමක් නැත. කිලිනොච්චියේ කෝවිල් උත්සවයක් පැවැත්වුණි. එහි සිටුවන ලද නන්දි කොඩියද ගලවා ගෙන ගියෝ ය. දෙමළ කෝවිලක මුරුගන්ට පවත්වන උත්සවයක දී නන්දි කොඩිය ගලවා ගෙන යනවා නම් එහි කුමන උත්සවයක් පවත්වන්න ද? අනෙක කිලිනොච්චියේ කන්දසාමි කෝවිලේ මුරුගන් (දෙවියන්) තවමත් සිටින්නේ කටුකම්බි වැටට පිටුපසින් සිරභාරයේ ය.

    ඉරණමඩු වැවට ආරක්‍ෂක දෙවි කෙනෙක් සිටී. ඒ ඉරණමඩු කනකාම්බිකයි අම්මන් නමිනි. කිලිනොචිචියේ සිටින ඉරණමඩු වැවෙන් ප‍්‍රයෝජනය ලබන සියළු දෙනාම වසරකට වරක් එහි පැමිණෙති. නමුත් දැන් එම ස්ථානයට වෙනත් දෙවි කෙනෙක් පැමිණ සිටියි. (බුදු) පිළිමයක් ගෙනත් තැබීම ගැන අපට කිසිම ගැටළුවක් නැත. නමුත් එම පිළිමය එතැන තබා ඇත්තේ අපගේ අයිතිවාසිකම උදුරා ගෙන ය. මෙවැනි මර්ධනකාරී දේවල් ගැන උදාහරණ බොහෝමයක් කිව හැකිය. ඒවා කීමට පැය දෙක තුනක් ගත වේවි.

    ජූනි 23දා ජනතාව තම දරුවන් අතුරුදහන් වී ඇතැයි කිලිනොච්චියේ දී විරෝධතා පවත්වා තිබේ. විරෝධතා කළ පිරිස තුවක්කු රැගෙන වෙඩි තැබුවා ද? බෝම්බ ගැසුවා ද? ගල්මුල් ගැසුවා ද? තම වේදනාව කදුළු වලින් පෙන්වා සිටියා පමණ යි. ඔවුන්ට ද හමුදා පහර දී තිබේ ලූ. අපි කොහේද යන්නේ? මෙය තමයි අද ප‍්‍රශ්නය. ජාතික ප‍්‍රශ්නය අද වැදගත් නැහැ. මෙවැනි මර්ධනයන්ගෙන් නිදහස් වී මුරුංගා සහ මංඤ්ඤොක්කා ටිකක් කාලා සැනසීමෙන් අපට ජීවත්වීමට තිබුණ නම් ඒත් සැනසීමක්.

    පීඩාවන් එකක් ද දෙකක් ද? වන්නියේ රැස්වීමක් පැවැත්වීම තහනම් ය. හතර දෙනෙක් එක් වී කථා කරන්නට අවසර නැත. සියලු දේවල් හමුදාවට කිව යුතු ය. විවාහ මංගල්‍යක් පැවැත්වීමටත් හමුදාවට දැනුම් දිය යුතුයි. මළ ගෙයක් වුවත් එසේම යි. කෝවිල් උත්සවයක් වුවත් හමුදාවට දැනුම් දිය යුතුය. මෙහි කුමක්ද සිදුවන්නේ ? ඔවුන් කවුරුන්ද? දෙවිවරුන් ද? දැන් මෙම ජනතාවගේ හැඟීම කෙසේද කිවහොත් මොවුන්ට (හමුදාවට) වඩා කොටින් හිටියත් කමක් නැහැ වගේයැයි පවසන තත්ත්වයක් තිබේ. "මෙවැනි මර්දනයන් කොටින්ගෙන් නම් අපි විඳලා නැහැ" යැයි ජනතාව පැවැසීමට පෙළඹෙන්නේ නම් අප අසා ගත යුතු ප‍්‍රශ්නය නම් ශ‍්‍රී ලංකාව ගමන් කරමින් සිටින්නේ කොයිබට ද කියා ය.

    අපට අවසර දීමට ඔවුන් (හමුදාව) කවුරුන් ද? අද ඇතැම් (දෙමළ) පිරිසක් ඔවුන්ට පක්‍ෂපාතිව සිටින හෙයින් මෙවැනි දේවල්වලට මුහුණ දීමට සිදු වී තිබේ. පසුගිය දිනෙක පලවූ පුවතක මා පැවැසූ කරුණු සියල්ල ඉවත්කර "ඔහු හොඳ ළමයා" යැයි පැවැසීයැයි සඳහන්කර තිබේ. එහි දී මා රජයට ප‍්‍රශංසා කළ බව වාර්තාකර තිබුණි. මා කොහිදී ද රජයට ප‍්‍රශංසා කළේ? රජය ජනතාවගේ අයිතිවාසිකම් උදුරාගෙන පාගා දමමිනුයි ඉන්නෙ. ඒ බවයි මා කියන්නෙ. එවැනි තත්ත්වයක මෙම ආණ්ඩු හිතවාදීන් අපට ලොකු හිසරදයකි. ඔහු සමග පැමිණියේ නම් සියලු දේවල් කරදෙන බව කියයි. අපට කිසිවෙකුගේ සහතික අවශ්‍ය නැත. අපට අතරමැදියකුත් අවශ්‍ය නැහැ. ඔවුන්ගේ මේ කතා කොතරම් කල් අසා සිටින්න ද?

    ඉතිහාසය යළි හැරේවි. වසර 30කට පෙර කුමක් ද සිදු වුනේ? එය දැන් නැවැත සිදුවෙමින් තිබේ. මෙවැනි තත්ත්වයක වසර 300ක් ගියත් නිදහස ලැබෙන්නේ නැහැ. අපි අද ජීවත්වන්නේ නිරන්තර වහලූන් ලෙස ය.

    රජයට පක්‍ෂපාතිව රට තුළ හෝ විදේශයේ හෝ සහතික දෙන අයට මා කියන්නේ නොදැනුවත්ව කිසිවක් පවසන්න එපා කියළයි. මෙහි ඇවිත් බලන්න. කිලිනොච්චියේ නිවසක නිදහසකින් සැනසීමෙන් ජීවත්වීමට හැකිද? ජනතාව මෙහි දුක් විඳිමින් සිටින විට රජය ජාත්‍යන්තරයට පෙන්වීමට කරන දේවල් බලා ඔවුහු සහතික දීමට සැරසෙමින් සිටිති. නමුත් දිනෙන් දින වර්ධනය වෙන්නේ හමුදාකරණය යි. මේ අතරතුර ඇස් බැඳීමට මැතිවරණයක් පැවැත්වීමට යයි. නමුත් මැතිවරණ රැස්වීමක් පැවැත්වීමට නොහැක. හතර දෙනෙක් එක්වී කථාකල නොහැක. හදිසි නීතිය තිබා ගෙන සියලු සෙල්ලම් පෙන්වයි. හදිසියක් තිබුණත් නැතත් මෙය තමයි සත්‍යය.

    යමකු රජයට විරුද්ධව කථා කිරීමට බයනම් කට පියාගෙන සිටීම වැදගත් ය. නිකම් බොරුවට රජය පසසන්න එපා. රජය ප‍්‍රශංසා ලැබිය යුතු අන්දමට කටයුතු කරන්නේ නම් මම ප‍්‍රශංසා කරන්නෙමි. මම රජයට ප‍්‍රශංසා කර ඇත්තෙමි.

    අද පුවත්පතක පලවූ දේ බලන්න. හමුදාව ජන සංඛ්‍යාලේඛන ගැනීමට විරුද්ධව නඩු පවරා තිබේ. නමුත් හමුදාව දිගටම තොරතුරු සංඛ්‍යා ලේඛන රැස් කරයි. හමුදාවට කුමකට ද අපගේ ජන සංඛ්‍යා ලේඛන? යුද්ධය නිමාවී ඇත්නම් හමුදාවට උතුරේ කුමක්ද කරන්නේ? හැම දිස්ත‍්‍රක්කයට ම දිසා ලේකම් සහ ප‍්‍රදේශීය ලේකම්වරු සිටිති. නමුත් හමුදාව පුනරුත්ථාපන කටයුතු කරති. දහස් ගණන් ග‍්‍රාම සේවකයින් ද සිටින විට හමුදාව ද එය කළ යුත්තේ? යාපනය කොහි තිබෙන්නේද යැයි නොදන්නා පිරිස් යාපනයට පැමිණ අපට සේවය කරනවාලූ. මෙය සේවයක් නොවේ. අපට වද දීමකි. අපට ඔවුන්ගේ සේවාවන් කිසිවක් අවශ්‍ය නැත. ජනතාවට තම පාඩුවේ ඉන්න දෙන්නේ නම් එය ඇති. රජය පැමිණ අපට ගොවිතැන් කරන්නේ මෙහෙම යි, පාර දාන්නේ මෙහෙම යි, ගේට්ටුව අරින්නේ මෙහෙම යි කියා යැයි උගන්වන්න ඕනේ නැත. අප අහසින් කඩා පාත්වුන ජනතාවක්ද? අපට ශිෂ්ටාචාරයක් නැද්ද? ජනතාව සැනසීමෙන් ජිවත්වීමට හරින්න. ඇයි ඔවුන් පාගා ගෙන ඉන්නේ? හමුදාවට කුමකටද ලියා පදිංචියක්? ඇයි රජය කී දෙනෙක් මරුනේ දැයි සංඛ්‍යාලේඛන ගැනීමට දන්නේ නැද්ද? දැන් ප‍්‍රකාශ කරන්නේ අතුරුදහන්වූ පිරිසගේ තොරතුරු රහසිගතව ඥාතීන්ට පමණක් ලබාදෙන බවයි. පරිගණකයේ දන්ත සටහන් කළ විට සියළු දෙනාට ම සොයා බලන්න පුලූවන් නේද?

    ආණ්ඩුවට සහයෝගය දක්වන දෙමළ පිරිස්වලට අපි කියන්නේ අපව විනාශකරන පිරිසට එක් වී ගින්දරට තෙල් වත්කරන්නේ නැතුව පැත්තකට වී සිටීම හොඳයි කියලයි.



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |
    |



    බාලසිංහම්
    මේක පුදුම රටකි
    මරණ ඇතත්
    තැන් තැන් වල
    ඔනෑ තරම්
    මරපු කෙනෙක් නැත
    පෙනෙන තෙක් මානයක

    ආඩම්බරයකි අපට
    බාලසිංහම්.....!!
    ප්‍රථම අගමැතිනිය අප රටේය
    තරුණයෝ දහස් ගණනින්
    මිය පරලව ගිය ද
    දුටුව කෙනෙක් නැති

    දුප්පතාගේ හිතවතා
    අපේ සගයෙකි
    බාලසිංහම්....!!
    දස දහසක් තරුණයෝ
    ලයිට් කණු වල
    අවසන් සුසුම් හෙලපු

    ප්‍රථම ජනපතිනිය
    සියලු මිනිසුන් කරමතින් වඩින
    බාලසිංහම්....!!
    පොළව හාරා ඇට කටුම සොයන
    තැන තැන මරණ
    දින දින වැඩි වුණු

    දේශමාමක කම්කරු නායක
    පීඩිතයන් කරමතින් වඩම්මන
    බාලසිංහම්....!!
    මිනි කන්දකට
    සාදුකාරයෙන් ගිණි දැල්වු

    බාලසිංහම්....!!
    උඹ තාම එල්ලිලා
    මොකද ඔතැන....???

    අරවින්ද පෙරේරා



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    මහරු අකුරු වැල් ඇමිණූ සකියාන
    දමිළ කඳුලු කැට ඇහිලූ කවියාන
    පංති සගයිනට පෙම් බැඳි කොවුලාන
    අහිමිව උපන්බිම සරණා මගියාන

    බිජුවට අහිමි කෙත දැවෙනා නියං සමේ
    නොම දැක පුතුගෙ වත නික්මුණි එ පිය තෙමේ
    බිතු සිතුවම් ද පිටුපානා උතුම් බිමේ
    තනියට ඉතින් තනිකමමයි ඉතිරි හිමේ

    වෙරළු ගෙඩිය අටකට කඩ කොට බුදින
    රටක ගියෙමි තනියම සුදු කොඩි මැදින
    නුඹ අප යලිත් හමුවන දින දුර බැවින
    පියකුට සමු දුනිමි බරවූ හදවතින

    ගගන උරුම නැති සකි සඳ දුක බුදින
    නොබිඳ පියාපත් අරුණට සුබ පතන
    දිනක් එනු නියත සිරවුණු කවි ගැයෙන
    මලක් තිබේ එදිනට නුඹ පිය පිදෙන

    [පසුගිය දා අප අතරින් වියෝ වූ රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයාගේ පියතුමා වෙනුවෙනි.]

    චූලානන්ද සමරනායක



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    ඔහු යුගයක් විය. මයිකල් ජැක්සන්...... සුවහසක් හදවත් සංගීතයෙන් මුසපත් කල ගායකයෙකු, වෙසෙසින් නව්‍ය නර්තන සම්ප්‍රදායක් හඳුන්වාදුන් නර්තන ශිල්පියෙකු වශයෙන් පමණක් නොව ගැඹුරු දර්ශනයකින් හෙබි සුන්දර මිනිසෙකු ලෙස ද ලොවම සිය වසඟයට ගැනීමට ඔහු සමත් විය. 2009 ජූනි 25 දින සිදුවූ ඔහුගේ හදිසි අකල් සමුගැන්මේ දී ලොව ම මඳකට නතර වී කඳුලු සැලීමට තරම් අනුවේදනීය වූයේ එහෙයිනි.

    ලොව පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත මයිකල් ජැක්සන් රසිකයන් දෑස් දල්වා බලා සිටි මොහොතක් පසුගිය දිනයක උදා විය. ඒ "Behind the mask" ගීතයේ රූප රචනයයි. මෙය අනෙකුත් සෑම ගීත රූප රචනයකටම වඩා විශේෂත්වයක් ඉසිලුවේ, මෙමගින් the Estate of Michael Jackson and Sony Music විසින් ඔහුගේ රසිකයන්ට ද සිය ආදරණීය ගායකයාගේ නිර්මාණයට තම නිර්මාණශීලී හැකියාව ද එක් කිරීමට ඉඩ සලසා දී තිබූ බැවිනි. මෙයට දායක වීමට රුචි ඕනෑම අයෙකුට තම නර්තනයක්, රංගනයක් හෝ මොනයම් ආකාරයක ඉදිරිපත් කිරීමක් රූපගත කොට එකතු කිරිමට ආරාධනා කර තිබිණි.

    මෙම එක් කිරීම් සරල හා පහසුවෙන් සිදු කිරීමට නිෂ්පාදකයන් කටයුතු සම්පාදනය කර තිබුනේ ලොව පුරා ඕනෑම වයස් මට්ටමක රසිකයන්ගේ දායකත්වය මේ සඳහා ලබා ගැනීමටයි. පළමුව අදාළ ගීතයේ චලනයක්, පදයක් හෝ සමූහ ඉදිරිපත් කිරීමක් තෝරා ගත යුතු වූ අතර මයිකල් ජැක්සන්ට ආවේණික නර්තනයන් වන moonwalk, anti-gravity lean හෝ toe stand වුව ද එක් කිරිමට ඉඩ සලසා දී තිබිණි. ඉන් පසු වෙබ් අඩවියේ දෙබෙදුම් තිර උපාංගය ආධාරයෙන් එවෙලේම සිය ඉදිරිපත් කිරීම රූපගත කිරීමට හෝ කලින් රූපගත කල ඉදිරිපත් කිරීම ගීත රූප රචනයේ අදාළ තැනට එක් කිරිමට හැකි විණි.


    මෙම අවස්ථාව අන්තර්ජාලයට එක් කල ක්ෂණයෙන්ම පාහේ දහස් සංඛ්‍යාත රසික පිරිසකගෙන් අති විශාල එක් කිරීම් ප්‍රමාණයක් ලැබුණු බව වාර්තා වේ. නිෂ්පාදන කණ්ඩායමේ සාමාජික ඩෙනිස් ලූ පවසන ආකාරයට,

    "මා මෙතෙක් දායක වුණ උද්‍යෝගිමත් ම හා විනෝදාත්මක ම ව්‍යාපෘතිය මෙයයි. මුලු ලොව ම එකා මෙන් ඉදිරිපත් වී මයිකල්ගේ මතකයන් වෙනුවෙන් තම කටහඬවල් හා හැකියාවන් එලි දක්වනු නැරඹීමට මෙම වටිනා අවස්ථාව ලැබීම මා ලැබූ භාග්‍යයක්. සහරා කාන්තාරයේ සිට වැනීසියේ වෙරළ දක්වාත්, කඳු මුදුන් වල සිට නිවෙස් වල මිදුල් දක්වාත්, ඇතැම් ඉදිරිපත් කිරීම් වල දී සියයකට අධික කණ්ඩායම් වලිනුත් මේ සඳහා ඇතුළත් කිරීම් ලැබුණු බව මා පවසන්නේ සතුටින්."

    මෙලෙස එක් වූ අති විශාල ප්‍රමාණයක රසික නිර්මාණ අතුරින් හොඳම නිර්මාණ 1600, අධ්‍යක්ෂක විසින් තෝරා ගෙන සංස්කරණය කරන ලදී (කුඩා ළමුන් 50ක හා සතුන් 36ක ඉදිරිපත් කිරීම් ද ඇතුළත්ව. 2011 ජූනි 14 දින මිලියන 35ක Facebook රසිකයන්ට මෙම නිර්මාණය මුලින් ම දැක ගැනීමට අවකාශය ලැබිණි.

    "මයිකල් ජැක්සන් සිය නිර්මාණයන්ට රසිකයන්ව සහභාගී කරගත්තේ බොහෝ කලකට පෙර සිටමයි. ඒ සමීප සබඳතාවට උපහාර දැක්වීමට මෙම ව්‍යාපෘතිය අනගි අවස්ථාවක්...." තාක්ෂණික මාධ්‍යවේදිනියක වන නැටලි මොරිස් පවසයි.

    Behind the Mask යනු Sony Music විසින් පසුගිය දෙසැම්බරයේ එළි දැක්වූ "Michael" ඇල්බමයේ අතුළත් සුවිශේෂ වශයෙන් විචාරක හා රසික සම්මානයට පාත්‍ර වූ ගීතයකි. මෙම ඇල්බමය මිලියන 3කට අධික ප්‍රමාණයක් අලෙවි වෙමින් අති සාර්ථකත්වයකට පත් වූවකි. එය ගායකයෙකු වශයෙන් අදටත් මයිකල් ජැක්සන්ට මුලු ලොවේම රැඳුනු ආදරයේ හා ගෞරවයේ පිළිබිඹුවක් සේ දැක්විය හැකිය.

    [www.xtreamyouth.com ඇසුරිනි.]

    වින්ධ්‍යා විතාන



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    නිහඬබාවයෙ හඬ හඬාගෙන
    හැපෙනකොට ඇවිදින් හදේ
    ඈඳිගෙන ගල් බැම්මෙ සමර්හට්
    බිත්ති වල පිනි පිපෙන කණිසමේ
    සෙනේහයේ බීර පෙව් පෙම්බරී...

    ඇස් ඇලූණු කෝලයන්
    හද බිතේ පිපුණු පිනි
    හේදිලා යනකම්ම
    නුරාවේ රස්නයෙන්
    සෙනෙ බීර වක්කළෙමි
    ඔරොත්තුත් නැති තරම්
    ඇස් දෙකෙන් හදිසියෙන්...

    ආලයෙන් වෙරි වෙලා
    බෙල්ටෙකත් බුරුල් කළ
    ඩෙනිමෙ ඔබෙ ඉන දිගේ
    දහංගලෙ පානකොට
    කඩිමුඩියෙ දෑත් මගෙ
    පිටිපස්සෙ බැඳන් උන්
    සැහැල්ලූවෙ දෑත් ඔබෙ
    සුනංගුවෙ දිගෑරල
    මැවුවෙ ඇස් ඉස්සරහ
    කේක් රූ සරසවන
    අයිසිං වලින් තැනු
    හීනි මල් තොගයක්
    ඇමිණුව කම්බියක බකට්...

    ඇඳ ඉහද්දර මේසෙ
    ගුරුලෙත්තු බිම්කඬේ
    පණ කෙන්ද ගැට ගැහෙන
    ලා කහ පාට හුරු
    ප්‍රොප්ලින් රෝස ගහ හබඩ
    ග්‍රොසරියක ඔතල තව
    අයිසිං මල් මිටිය
    ඇස් හෙවන යටට වී
    ඉන්නවා බලාගෙන
    දිය වෙලා නෑ තවම....
    පුංචිම වෙනසකුයි
    උනේ මේ වෙනකම්ම
    සිකරට් දුං ගැහිල
    අළු පාට හුරු වීම.
    උඩඟු නෑ මල් දැන්
    කලූත් නැති සුදුත් නැති
    කැඩපතයි පපුවෙ මගෙ...

    දුම් බෝල රාමුවක මැද මැවෙන
    ඔබෙ රූප ඡායාව
    මං දිහා බලාගෙන
    ඇහිපියන් නොගහාම...
    වැද්දෙක්මි දනුද්දර
    නුඹෙ රූප ඡායාව
    පන්නන්න හතිදමන
    දුමෙන් මම හී විදින
    නුඹ වතට
    දුම් බෝල රාමුවක මැද මැවෙන...

    පේනවා නෙව
    නුඹ දුන්නු දඬුවම ලොකුම
    නොකවියෙක් දැන් මම බොළඳ
    අකුරු අහුරක
    ”අපි හිටපු හැටි”
    විතරක්ම අමුණන
    නිහඬබාවයෙ හඬ හඬාගෙන
    හැපෙනකොට ඇවිදින් හදේ....

    සුදර්ශන සමරවීර



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    දුලන
    සඳ පහනක් ය,
    පෙර අඹර
    තරුවක් ය,
    ලොවට නුඹ
    දුන් එපුතු !

    ගොස නඟා
    මහ සයුර
    වලප්නේ නුඹට ම ය
    ඇස තෙමා
    මේ අහස
    හෙළන්නේ ලෙහි දුක ය

    ලේ වලට වඩා
    මේ
    උණු කඳුළු ඝනකම ය !

    මුව පුරා කියන්නෙමු
    අපෙ තාත්තා
    නුඹ ය !

    සටහන - රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයාගේ සෙනෙහෙබර පියතුමා පසුගිය දා අප අතරින් වියෝ විය. මේ කව එතුමා වෙනුවෙනි.

    විජය නන්දන පෙරේරා



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    ලියන්නට හදනකොට මිනිහෙක්
    අරගෙන සුදුපාට කොළයක්
    ගන්නවා ඉහළට මහා හුස්මක්
    ලියන්නට ගලපලා අදහසක්

    පහත හෙළනා විටදි සුසුමට
    හසුවෙලා සුදුපාට කොළ කෑලි
    ඉරි ඉරි විසිවෙලා වැටෙනවා
    තමන්ගේ පාමුළට

    වැගිරෙන්නේ ඇඟ ඇතුලෙ කුණුවෙච්ච ලේ නම්
    පිපාසිත උගුරකින් වමාරා කනවනම්
    හොය හොයා ලියන්නට මළ දෙයක්
    සොයන්නේ කුමකටද මිනිහෙක්

    අකුරුවල ඇමිනිච්ච
    අදහස්වලින් වැළලී
    "ජීවිතය ලැබුවාද කිසිවෙක්...."
    අසයි ඔහු ළඟින් දැවටි දැවටී
    මැරුණු මිනිසුන්

    වාරු නැති කවියෙක්
    ඇත්තටම මැරෙන්නට මත්තෙන්
    ලෙඩ ඇඳක නැවතිලා
    හඬනවා කවියක්
    කඳුළු නැති කවියක්

    කෲර දූපතක සිරවී
    නිදහසක් නොදන්නා මිනිසුන්ට මිතුරු වී
    මැරෙන්නට කිසිදාක නැවතත්
    ඉපදෙන්න හිතන්නෑ ආයෙත්

    පිහදමා අතීතය සුදුපාට කොළයෙන්
    මිනිහෙක් ඉරයි බොර පාට කොළයක්
    තවකෙක් සොයයි ඒකෙන්
    ගලපලා කියවන්න කවියක්

    සමරකෝන් පතිරාජ



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    පුවත-
    "පතලට යට වී තරුණෙක් මිය යයි."

    කවිය-

    දබර කෙරුවෙමු පොළොව සමගින්
    ගැඹර සැඟවුණු ඉසුරු ඉල්ලා
    කඳුළු වතුරෙන් සොඳට ඔපකොට
    දෙනෙත් රතු කැට නිතර දල්ලා

    සෙනෙහින් අප අතර දිලිසුණ
    තවත් මැණිකක් නුඹ ම ගිල්ලා
    දබර කරනෙමු හෙටත් නුඹ හා
    උදුරගත් අපෙ මැණික ඉල්ලා

    [තුන්සිත් රටා- 1996]

    ඊ. එම්. ඞී. උපාලි



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |


    -ආචාර්ය සාලිය කුලරත්න | පේරාදෙණිය විශ්වවිද්‍යාලය

  • ජනශ්‍රැතිමය වශයෙන් ජාතක කතාවක සම්භවය පිළිබඳ අතීතයට යෑමේදී පේන්න තියෙන්නේ මොනවාද?

  • සැදැහවත් බෞද්ධයන් ජාතක කථාව කියන එක සලකන්නේ බුදුන් වහන්සේගේ පෙර උපන් කථා කියලා. ඇත්ත වශයෙන්ම බලපුවාම හැම ජාතක කථාවකම අතීතකථාව වර්තමාන කථාව ආදී වශයෙන් ඒ විදිහට කල්පනා කරන්න පුළුවන් ව්‍යුහාත්මක අංගලක්ෂණ තියෙනවා. නමුත් විදිමත් ලෙස මේ කථාවන් විග්‍රහ කරලා බැලුවොත් අපිට පේන්න තියෙන දෙයක් තමයි මේවා එක්තරා ඉන්දියානු ජනකථා සම්භාරයකට අයිති වෙන බව. අපිට කාල වශයෙන් නිර්ණය කරන්න බැරිතරම් ඈත ක්‍රිස්තු පූර්ව යුගයක, මිනිසාගේ ජන ජීවිතයේ නොයෙක් සංසිද්ධීන් සමග බැඳී පැවතිලා නිර්මාණය වුණ කථා විශේෂයක් තමයි ඒ කියන ජනකථා. මේවා මූලික යුගය තුළ හොඳින් වැඩිලා තිබුණේ නෑ. ඒ යුගය තුළ ඒවා තියෙන්න ඇත්තේ තරමක් ප්‍රාථමික වශයෙන්.

  • ජාතක කථාව වැනි දෙයක සම්භවය න්‍යායාත්මකව තේරුම් ගැනීමේ කාර්යය තුළ 'බහු උපත් සිද්ධාන්තය'වගේ දේවල් ජනශ්‍රැති පර්යේෂකයින් අතින් ඉතා වැඩි වශයෙන් භාවිත වනු දක්නට ලැබෙනවා?

  • ඔව්, ඒක ඇත්ත. මොකද අපි ජනකථා පිළිබඳ ඉතා සියුම්ව සොයා බැලුවොත් ඉතා පහසුවෙන් පේන්න තියෙන දෙයක් තමයි එක කථාවක තියෙන එකම සංසිද්ධිය තවත් බොහෝ කථාවල පුනර්පෝෂණය වෙලා තියෙන එක. උදාහරණයක් විදිහට ගත්තාම අපේ ඉතිහාසයේ සඳහන් උන්මාද චිත්‍රා පුවත හෙවත් පණ්ඩුකාභය පුවත ඉන්දියානු ජනප්‍රවාදවලත් දක්නට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි උන්මාද චිත්‍රා පුවත අපේ ගත ජාතක කථාවේ පුවතට ඉතාමත් සමීපයි. ඒකෙ ඉන්නෙත් උන්මාද චිත්‍රාව වගේම එක් ටැම් ගෙයක රැඳ වූ දේවහරහා කියන කුමාරිකාවක්. ඇය එක්ටැමක රඳවන්නේ උන්මාද චිත්‍රා කථාවේ මෙන් ඇයට උපදින දරුවකු අනාගතයේ සහෝදරයකුට විරුද්ධ වනවා කියලා. ඒ වගේම ඔය කථාවට ඉතාම සමාන ග්‍රීක කථාවකුත් දක්නට ලැබෙනවා.

    ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සමහරවිට එකම මානව සංසිද්ධිය එකම මානව ඇම්බැහිකම, එකම මානව ක්‍රියාකාරීත්වය සංස්කෘතික සහ සම්බන්ධතා නැතිව වුණත් ලෝකය තුළ විවිධ තැන්වල හටගත හැකියි කියන ඔබ කියූ බහු උපත් සිද්ධාන්තයේ මූලික හරය තමයි ඒක. ඊට අමතරව ලෝකය තුළ යම් කිසි සිද්ධිමලාවක් ඇතිවීමත් පසුව, ඒ සිද්ධිය කිසියම් ආකාරයේ තිසරණයක් තුළින් ලොව තුළ ව්‍යාප්තවීමට ඉඩ තියෙනවා. සමහරවිට ඒ කටින් කට වෙන්න පුළුවන්. පරම්පරාවෙන් පරම්පරාව වෙන්න පුළුවන් නොයෙක් ආකාරයේ දේශාඨකයින් සහ වෙළෙන්දන් හරහා වෙන්නත් පුළුවන්. ඒ තත්ත්වය ජනශ්‍රැති විද්‍යාව තුළ හඳුන්වන්නේ බහු උපත් න්‍යායට වඩා වෙනත් ක්‍රමවේදයක් විදිහටයි. මොනවා වුණත් මේ දෙවිදියටම අයත් පුවත් ජාතක කථා සංග්‍රහය තුළ තියෙන්න ඉඩ තියෙනවා. ජාතක කථාව කියන එක පසෙකට තියලා අපි ආයෙත් පණ්ඩුකාභය පුවතට ගියොත් අපිට ඊට සමාන කථා මහා භාරතය වගේ පොත්වල පවා දක්නට ලැබෙනවා. උදාහරණයක් විදිහට ශ්‍රී ක්‍රිෂ්ණ කථා පුවත දකින්නට පුළුවන්. ශ්‍රී ක්‍රිෂ්ණ කියන්නේ තම මාමාවරුන් විසින් ද්වේශ කරනු ලැබූ දරුවෙක්.

    ට්‍රෝජන් කථාව වැනි පුරාණ ග්‍රීක කථාවක් දිහා බලද්දී ඒ කථාවට සමාන ජාතක කථාවක් පවා තියෙනවා. ඒ ජාතක කථාවේ ට්‍රෝජන් අශ්වයා වෙනුවට ඒ වගේම අලියෙක් ඇතුළට සොල්දාදුවෝ දාලා ඒ අලියා සතුරු දේශයට යවනවා. ඒ විතරක් නෙමෙයි මේ ට්‍රෝජන් කථාවේ ඇතැම් සිද්ධිවලට සමාන සිද්ධි සමපාතවීමත් මහා භාරත ආඛ්‍යානයේත් දක්නට ලැබෙනවා.

    ඉන්දියාවේ මහා කාව්‍ය ආදිය සඳහා බෞද්ධ ජාතක කථා පදනම් වූ අවස්ථා අපිට දක්නට ලැබෙනවා. රාමායන මහාකාව්‍ය පිළිබඳ පුවත මේ සඳහා හොඳ උදාහරණයක්. අපේ ජාතකකථා සංග්‍රහයේ එන දශරථ ජාතකය මේ සඳහා වාල්මිකීට වස්තුබීජ සපයලා තියෙනවා. දශරථ ජාතකයේ තියෙන්නේ අයෝධ්‍යා දේශයේ රජකරන දශරථ කියන රජ කෙනෙකුගේ පවුලේ කථාවක්. ඔහුට ඉන්නවා රාම ලක්ෂ්මන් භාරත කියලා පුතාලා තුන් දෙනෙකුයි, සීතා කියන එක් දුවෙකුයි. දශරථ රජුගේ එක දේවියක් තම දරුවා ඉපදෙද්දී රජුගෙන් වරයක් ඉල්ලනවා වැඩිමල් පුතා වන රාමට රජකම නොදී බාල මලනුවකුට රජකම ලබාදීමට. එහිදී දශරථ රජු රාමට මේ පුවත කියලා තියෙනවා. රජමාලිගාවේ නුඹ සිටීම සුබ නෑ. ඒ නිසා වහාම කැලේට යන්න කියලා. මේ නිසා රාම වනගත වෙනවා. අවසන දශරථ රජු මියගිය පසු රාම නැවතත් තම රටට එනවා. ඒ ආවත් ඔහුගේ සොහොයුරා ඔහුව ආදරයෙන් පිළිගන්නවා. ඔහුට රාම පිළිබඳ ප්‍රශ්නයක් නෑ ඔහු රාමව සලකන්නේ තම පියෙක් විදිහට. ඒ විතරක් නෙමෙයි ඔහු රට පාලනය කරන්නේ පවා රාමගේ මිරිවැඩි සඟල සිංහාසනයේ තබලා.

    මේ මූලික යුගය තුළ අන්තර් ගෝත්‍රික විවාහ ක්‍රම සිදු වුණේ අඩුවෙන්. ඒ නිසා එක පවුලේ සොහොයුරා සහ සොහොයුරිය අතර විවාහ සිදුවුණා. සිංහබාහු කථාවේ සිංහබාහු සහ සිංහසීවලී එකිනෙකා අඹුසැමියන් වශයෙන් වාසය කරනවා. ශාක්‍ය වංශයේ උපතට තුඩුදුන්නායැයි පිළිගැනෙන කථාවේ තියෙනවා එක්තරා පුවතක් තමාගේ වැඩිමල් සොහොයුරිය බිරිඳ වශයෙන් තබාගෙන සොහොයුරන් සියල්ල එක්තරා සම පාලනයක් අරගෙන ගිය බවට.

    පසුකාලීනව වාල්මිකී ඉතාමත් රමණීය ලෙස රාමායන මහාකාව්‍ය ගොඩනගන්නේ මේ දශරථ පුවත අරගෙන. ඔහු හදන විදිහට සීතා ජනක නම් වෙනත් රජකුගේ දියණියක්. රාවණා සීතාව පැහැරගෙන එනවා තම රාජ්‍යයට. ජාතක කථාවේ සිදුවන සියලුම සිද්ධිදාම රාමායනයෙත් සිදුවනවා. ඊට අමතරව රාවණ, හනුමාන් සුග්‍රීව වගේ චරිත කිහිපයක් වාල්මිකී යොදා ගන්නවා. මේ රාවණ ආදී පුරාවෘත්ත ඇතැම්විට එරට පැවැති වෙනත් පුරාවෘත්ත එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. වාල්මිකී කරන්නේ මේ පුරාවෘත්ත අරගෙන අතිරමණීය විදිහට ගලපන එක.

    වෙනකක් ඕනෙ නෑ. දැන් බලන්න අපේ විජය කථා පුවතේ සහ ජාතක කථා සංග්‍රහයේ එන වලාහකස්ස ජාතකය අතර තියෙන සමානත්වය. විජය පුවතෙන් කියවෙන්නේ ක්‍රි. පූ.6 වෙනි සියවසේ දී පමණ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි පුද්ගලයෙක් ගැන. ඔහු ගේ නම විජය. ඔහු සිංහබාහු රජුගේ පුත්‍රයා. ඔහුගේ නොහික්මුණුකම නිසා ඔහුට ඔහුගේ පෙම්වතියන් සමග රටින් පිටුවහල් කරනවා. අන්තිමේට විජය ලංකාවට ඇවිත් කුවේණිය නම් රාක්ෂස රැජිණ සමග වාසය කරනවා. ඔහුගේ පෙම්වතියන් මහිලාදීප් කියන වෙනම රටකට ගොඩ බහිනවා. කුවේණිගේ සනුහරය ඝාතනය කරමින් ඇය සමග වාසය කරන විජය එම කථා පුවත තුළ අවසන කුවේණිය සහ ඇගේ දරු දෙදෙනාද පළවා හරිමින් පසුව බද්දකච්ඡායනා නම් ශාක්‍ය වංශික කුමරියක් ඉන්දියාවෙන් ගෙන්න ගන්නවා.

    වලාහකස්ස ජාතකයේ කථා පුවතත් මීට ගොඩක් සමානයි. ඒකෙ විස්තර වන්නේ සිංහල කියලා කුමාරයෙක් ගැන. ඔහු ඉන්දියාවේ සිට ලංකාවට වෙළඳොමේ පැමිණ රාක්ෂයන් විසින් අධිගෘහිත ප්‍රදේශයකට එනවා. එතකොට ඒ රටේ ඉන්න රාක්ෂ කුමාරිකාවන් සුන්දර තරුණියන් විදිහට වෙස් අරගෙන සිංහල කුමරා ඇතුළු පිරිස සමග එන පිරිස හා මිත්‍ර වෙමින් ඔවුන් සමග අඹු සැමියන් විදිහට ගත කරනවා. එසේ නමුත් ඔවුන් අතර කිසියම් ගැටලුවක් ඇතිවුණ දවසට ඒ පිරිස මරාගෙන අනුභව කරන්න මේ යක්ෂණියන් කටයුතු කරනවා. අන්තිමේට බෝසතාණන් වහන්සේ මේ පිරිසට කරුණු වටහා දීලා ඉන්දියාවට අරන් යනවා. බෝසතාණන් වහන්සේ මේ කථාව තුළ පියාඹන අශ්වයෙක්. වලාහකස්ස ජාතකය තවදුරටත් දීර්ඝ වුවත් මෙහි මූලික පුවත අපේ විජය කථාවට ඉතාමත් සමීපයි.

    හෝමර්ගේ ඔඩිසි කථා පුවතෙත් තියෙනවා මීට සමගාමී කථාවක්. මේකෙදි වෙන්නේ ඔඩීසියස් එක්තරා දූපතකට ගහගෙන ගිහින් සර්සි කියලා යකින්නක් මුණගැහීම. සර්සි කරන්නේ ඔසීසියස් සමග එන පිරිස කෝටුවකින් තට්ටු කරලා ඌරන් බවට පත් කිරීම. කුවේණි කථාවෙත් කුවේණි විජයගේ පිරිස කිසියම් තැනක හංගන බව සඳහන් වෙනවා. එතනින් පස්සේ එන සිදුවීම් සියල්ලත් අපේ විජය පුවතේ එන සිදුවීම්වලට ඉතා සමානයි. මේ තුළින් අපිට ඉතා පැහැදිලි වෙනවා අපේ ජාතක කථා සංග්‍රහයත් ලෝකයේ පැවති ඉපැරණි ජනශ්‍රැතීන් ආශ්‍රයෙන් නිර්මාණය වුණු බව. මේ කථාවල මූලික ආරම්භය කවදා කොතැනකදී සිදුවුණාද කියලා නිශ්චිතව කියන්න බෑ.

    ඒ නිසා බුදුන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහස්සේලා තමන් වහන්සේලාගේ අතීත ස්මරණ ජනශ්‍රැති සමග ගළපා ජාතක කථා තුළ ගොනු කරන්න ඇති. ඒ ස්මරණ ඇතැම්විට අන්තර්ඥානය තුළින් පසක් කළ ඒවා වීමට හෝ විචක්ෂණව සමාජමය වශයෙන් ගැලපූ සිද්ධි වෙන්න පුළුවන්. මෙතනදි ඉතාම වැදගත් වෙන්නේ වර්තමානයේ තමන්ට ආචාරධර්මීය ලෙස විසඳන්න තිබුණු ප්‍රශ්න සඳහා අර කියූ අතීත පුරාවෘත්තීන් ඉතා හොඳින් ගැළපීම. අනෙක් කරුණ තමයි ඒවා සියයට සියයක් ගැළපෙන පරිදි ප්‍රතිනිර්මාණය කරන්න බුදුන් වහන්සේ ඇතුළු ශ්‍රාවක පිරිස ඉතා විචක්ෂණශීලී වීම.

  • මේ කියන විචක්ෂණශීලීත්වය ඇතැම් විට සමකාලීන යුගය ඉක්මවා ගොස් නූතන යුගය කරා පවා කොන්දේසි විරහිතව බද්ධ වීමට තරම් පුළුල් එකක් නේද?

  • ඇත්ත වශයෙන්ම ඔව්. මේ කියන විචක්ණශීලීත්වය තියෙන්නේ ජාතක කථාව තුළ විතරක් නෙමෙයි. දැන් බලන්න අග්ගඥ සූත්‍රයේ දී බුදුන් වහන්සේ දේශනා කරන දේ. එහිදී මිනිස් සම්භවය පිළිබඳ බුදුන් වහන්සේ කියන කථාව ලෝකෙටම වලංගු වුණු එකක්. එතනදි බුදුන් වහන්සේ දේශනා කරන්නේ මිනිසුන් වනාහි එක්තරා යුගයකදී ඈත ග්‍රහලෝකයකින් මේ ලෝකයට සංක්‍රාන්ත වුණු පිරිසක් කියලා. අද වන විට ඇතැම් විද්‍යාඥයින් මේ තත්ත්වය පරීක්ෂණ මගින් ඔප්පු කරලා තියෙනවා. ඒ අතර ආචාර්ය විලියම් ගොඩ්වින් වැනි විද්‍යාඥයින් ප්‍රමුඛ වෙනවා. විලියම් ගොඩ්වින් ඉතා පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා මිනිස් ශිෂ්ටාචාරය වසර හතළිස්දාහකට එහා දිවෙන්නෙ නෑ කියලා. එතනින් එපිට සිටි සත්වයා ජානමය වශයෙන් අපරිනත වානර ලක්ෂණ සහිත පුද්ගලයෙක්. ඔහුට මිනිස් ලක්ෂණ තිබිලා තියෙනවා. නමුත් දියුණු නෑ. ඔහු පිටසක්වලකින් පැමිණි එක්තරා දියුණු ජීවියෙක් සමග මිශ්‍ර වීමෙන් පසුව දියුණු මිනිසා ගොඩ නැඟුණු බව තමයි මොවුන්ගේ අදහස. මේ මතය ගොඩනගන්න ඔහු පරිණාමවාදය සහ මෑත ඉතිහාසය වැනි දේවල් ඉතා දැඩි ලෙස සැලකිල්ලට ගෙන තිබෙනවා.

    අද යුගයේ ඉංජිනේරු ශිල්පය පවා පුදුම කරවන සුලු මිනිස් ශිෂ්ටාචාරයක් අතීතයේ එක්තරා යුගයකදී ගොඩ නැගෙන්න මේ තත්ත්වය බලපාලා තියෙන බව ඒ අනුව ඉතා පැහැදිලි වෙනවා. විද්‍යාඥයින් පවසන්නේ ලෝකයේ අර්බුදයට පත් ග්‍රහලෝකයක සිටි දියුණු ජීවීන් පිරිසක් විශ්වය පුරා විසිර යන්න ඇති බවත්, ඉතා දියුණු මානුෂික හැකියාවක් තියෙන ඔවුන්ගේ කොටසක් පෘථීවියට ඇවිත් එහි වාසය කළ නොදියුණු ජීවීන් සමග මිශ්‍ර වන්න ඇති බවයි. බුදුන් වහන්සේ අග්ගඥ සූත්‍රයේදී දේශනා කරන, ආපස්වර බ්‍රහ්ම ලෝකයෙන් දීප්තිමත් ජීවීන් පිරිසක් ඇවිත්, ඒ අයගේ ශරීර ටික ටික රලු වීමෙන් ඔවුන් මිහිතලයේ වාසයට හුරු වුණා කියන දෙය මේ තත්ත්වයත් එක්ක ඉතා තදින් සාම්‍යය වෙනවා. මේවා බුදුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ විද්‍යාවේ භාවිත වන තාක්ෂණික වචන භාවිත කරමින් නෙමෙයි. සාමාන්‍ය සමාජයේ ඉන්න නූගත් මිනිසුන්ට පවා තේරෙන සරල භාෂාවෙන්. මේ අතර තියෙන්නේ ඒ භාෂාමය වෙනස විතරයි.

    ඒ නිසා ජාතක කථාව වගේ විශිෂ්ට ආඛ්‍යානයන් ගත්තාම, මේවා කොයි කාලයට අයත්ද, ඇත්තටම මේවා බෝධි සත්වයින්ගේ ආත්ම ප්‍රකාශනද නැත්ද කියන කරුණු නෙමෙයි අපිට වැදගත් වෙන්න ඕන. අපිට වැදගත් වෙන්න ඕනේ මනුෂ්‍යත්වය පිළිබඳ සමාජයේ ඇති නොයෙක් අගාධ නිරවද්‍ය කිරීම සඳහා ඒවා කොයිතරම් දුරට සූක්ෂ්ම ලෙස භාවිතයට ගෙන තියෙනවාද කියන එක.

  • මානව චිත්ත චෛතසික සන්තානයන් විවරණය කෙරෙන ආඛ්‍යානයක් හැටියට ජාතක කතාව සතු නූතන වලංගුතාව ඔබ කොහොමද විග්‍රහ කරන්නෙ?

  • මාර්ටින් වික්‍රමසිංහ වගේ වියතෙක් ගත්තාම ඔහු ප්‍රකාශ කරන දෙය තමයි නූතන මනෝවිද්‍යාවේ පියා ලෙස අපි සලකන සිග්මන් ප්‍රොයිඩ් කථා කළ බොහෝ සංකල්ප ඔහු කථා කරන්න ශතවර්ෂ ගණනාවකට කලින් ජාතක කථාව තුළ නිරූපණය කරලා තියෙනවා කියන එක. බොහෝ ජාතක කථා පිළිබඳ විමර්ශනශීලීව බලනකොට වික්‍රමසිංහ මහතා මේ කියන ප්‍රකාශය සත්‍ය බව ඉතා පහසුවෙන් තහවුරු වෙනවා. ජාතක කථාකරුවා ඒ දේවල් ප්‍රකාශ කළේ ඔහු නූතන මනෝ විද්‍යාත්මක සංකල්ප ගැඹුරින් දැනගෙන නෙමෙයි. ඔහුගේ නිර්මාණ තුළ මේ සංකල්ප හඳුනාගන්න පුළුවන් වෙන්නේ ඔහු මිනිස් සිත පිළිබඳ ධර්මතාවන් ගැඹුරින් හදාරලා තියෙන නිසා.

    උදාහරණයක් විදිහට නූතන මනෝවිද්‍යාව තුළ විග්‍රහකෙරෙන පරපීඩා කාමුකත්වය, හිංසක කාමුකත්වය සහ කාමුක සහජාශ්‍රය වගේ සංකල්ප ගත්තාම මේ කරුණු පිළිබඳ ගැඹුරින් විග්‍රහවන කථා ඕන තරම් ජාතක පොතේ දකින්නට තියෙනවා. කාමුක සහජාශ්‍රය හෙවත් ලුබ්ධිය කියන තත්ත්වය පිළිබඳ නූතන මනෝවිද්‍යාවේදී සරලව විග්‍රහ කෙරෙන්නේ මිනිසා කොතරම් වයසට ගියත් ඔහුට කාමය පිළිබඳ සහජාශ්‍රයක් තියෙන බව. අපිට අද පුවත්පත් වගේ මාධ්‍යවලින් නිතරම දක්නට තියෙනවා ඉතාමත් වයස්ගත පුද්ගලයින් විසින් විවිධ ලිංගික අපරාධ සිදුවෙන තත්ත්වයක්. මේ කරුණු තුළ පිරිමි අය ප්‍රමුඛයි. නමුත් කාන්තාවන් තුළත් මේ තත්ත්වය ඉතාම තදින් දක්නට තියෙනවා.

    ජාතක කථා සංග්‍රහයේ එන අසාතමන්ත්‍ර ජාතකය මේ කියන ලිංගික සහජාශ්‍රය කියන කරුණ සම්බන්ධයෙන් දක්වන්න පුළුවන් ඉතාම වැදගත් උදාහරණයක්. ඒ ජාතක කථාව තුළ කියැවෙන්නේ දිසාපාමොක් ඇදුරුතුමාගේ මහලු මව පිළිබඳ පුවතක්. දිසාපාමොක් ඇදුරු තුමාගේ මේ ඉතාමත් මහලු මව සඳහා උවටැන් කරන්නේ දිසාපාමොක් ඇදුරුතුමාගේම තරුණ ගෝලයෙක්. මේ මහලු මව ඒ තරුණයාගෙන් නිතර අහනවා පුතේ උඹට උඹේ ගුරුවරයා අසාතමන්ත්‍ර ඉගැන්නුවේ නැද්ද කියලා. මේක මේ ශිෂ්‍යයා දිසාපාමොක් ඇදුරුතුමාට ප්‍රකාශ කළාම ඔහු කල්පනා කරනවා තම ශිල්පයේ තම මව කියන ආකාරයේ මන්ත්‍රයක් නැති බව. අන්තිමේට දිසාපාමොක් ඇදුරුතුමාට කල්පනා වෙනවා මැය මේ කියනවා ඇත්තේ ස්ත්‍රීන්ගේ කාමුකත්වය පිළිබඳ ගැඹුර උගන්නන්න කියලා වෙන්න ඇති කියලා. අන්තිමේට දිසාපාමොක් ඇදුරුතුමා කල්පනා කරනවා මේක උගන්නන්න මම මගේ මවම උදාහරණයක් කොට ගන්න ඕන කියලා.

    ඔහු තම ගෝලයාට කියනවා තම මවට හොඳින් උවටැන් කරලා ඇයව හොඳින් නාවලා ඇගේ තරුණ කාලේ රූපය ගැන වර්ණනා කරන්න කියලා. දැන් වයසට ගියත් ඔබගේ රූපය ඒ විදිහටම තියෙනවා කියලා ඇයට නිතර කියන්න කියලා දිසාපාමොක් තම ශිෂ්‍යයාට උපදෙස් දෙනවා. ශිෂ්‍යයා මෙසේ තම ගුරුවරයාගේ උපදෙස් අනුව කටයුතු කරනවා. එතකොට මේ මහලු කාන්තාව කල්පනා කරන දෙය තමයි මේ තරුණයා තමා සමග ලෝකාස්වාද රතියෙහි යෙදෙන්න කැමති ඇති කියලා. ඇය මේ තරුණයාගෙන් අහනවා තමං සමග ලිංගිකව එක්වෙන්න කැමතිද කියලා. මේ තරුණයා ප්‍රකාශ කරනවා මම කැමතියි. නමුත් ඔබේ පුතා වන මගේ ගුරුවරයා මේකට බාධාවක් කියලා. අන්තිමේ මේ මැහැල්ල සියුම් ආයුධයක් අරන් තම පුතාව ඝාතනය කරන්න ඔහුගේ සයනය ළඟට ගිහින් ඇනගෙන ඇනගෙන යනවා. තම මවගේ සියුම් හැසිරීම දැනගෙන සිටි දිසාපාමොක් ඉතා සූක්ෂ්ම ලෙස තම ඇඳ මත දර ගොඩක් තබලා ඔහු ඉවත්ව බලාගෙන සිටිය නිසා ඔහුගේ ජීවිතය බේරෙනවා. නමුත් තමා මේ ඇන්නේ දරගොඩකට කියලා දැනගත් ඔහුගේ මව මේ පශ්චාත් තාපය නිසාම මිය යනවා.

    අද සමාජයේ වුණත් තම අතදරුවා ගඟට දාලා හරි, ඔහුගේ බෙල්ල මිරිකලා හරි වෙනත් සැමියන් සමග පලා යන මව්වරුන් ඕනෑ තරම් දක්නට ලැබෙනවානෙ. අසාත මන්ත්‍ර ජාතකයෙන් විග්‍රහ වෙන්නේ මේ තත්ත්වය. මේක කාන්තාවන් තුළ තියෙන පොදු තත්ත්වයක් නෙමෙයි. ඉතා දුර්ලභ මානසික තත්ත්වයක්.

    ක්ෂාන්තිවාදී ජාතකය වගේ කථාවක් ගත්තාම පරපීඩා කාමුකත්වය වගේ නූතන මනෝවිද්‍යාත්මක සංකල්ප මේ තුළින් ඉස්මතු වෙන බව පේන්න තියෙනවා. අනුන්ට පීඩා කිරීමෙන් කාමුක තෘප්තියක් ලැබීම මෙහි මූලික හරය. ක්ෂාන්තිවාදී ජාතකයේදී තියෙන්නේ තම පරිවාර ස්ත්‍රියට ධර්මය දේශනාකරන ක්ෂාන්තිවාදී තවුසා කෙරේ ඉරිසියාවක් ඇති වෙලා බ්‍රහ්මදත්ත රජු ඔහුගේ අත් පා කපා දැමීම. තමා කාමුකව එක්වන ස්ත්‍රීන්ගේ හික්මීම පිළිබඳ තවුසා බණ දෙසීම නිසා තමාට ඒ තෘප්තිය නැතිවෙයි කියලා බියකුත් තමා සමග යහන් ගතවන ස්ත්‍රින් තාපසයා ඉදිරියේ හික්මී ඔහුට කීකරු වී දණින් වැටී සිටිනු දුටු විට සියුම් ඊර්ෂ්‍යාවකුත් රජු තුළ ඇති වෙනවා. අන්තිමේදී ක්ෂාන්තිවාදී තවුසාගේ අත්පා කැපීම තුළින් රජු තම වෛරයත්, පරපීඩා කාමුකත්වයත් එකවර පිරිමහගන්නවා.

    මීට අමතරව අසනග ජාතකය වගේ කථාවක් තුළ මිනිසාගේ මේ ලිංගිකත්වය පිළිබඳ තමන් මනෝවිද්‍යාත්මක උදාහරණත් දක්වනවා. කාන්තාවන් අප්‍රිය කිරීම නිසා තම මවගෙන් කිරි බීම පවා ප්‍රතික්ෂේප කරන එක කුමාරයෙක් තරුණයෙක් වුණාට පස්සෙත් කොතරම් රූමත් කුමරියක් දැක්කත් මුණට කෙළ ගහලා ඉක්මනට ඈත් වෙනවා. අවසන මේ තරුණයාට රජ කමේ උරුමය පවරන්න බැරිවෙයි කියලා කල්පනා කරන පිය රජු මොහුව ස්ත්‍රීන් කෙරේ පොළඹවාගන්න පුළුවන් කෙනෙක් හොයනවා. අවසානයේ එක ස්ත්‍රියක් විවිධ මායම් දාලා බොහොමත් අපහසුවෙන් මොහු ලිංගික කටයුත්තක් සඳහා පොළඹවා ගන්නවා. අවසන ස්ත්‍රීන් සමග තමා ලැබූ වින්දනය කෙරේ ඇලීමත්, මෙතෙක් කල් මේ දේ තමාට නොදීම පිළිබඳ පිරිමින් කෙරේ වෛරයකුත් මොහුට හටගන්නවා. අවසන ඔහු කඩුවක් අරන් වීදියට බැහැලා මම හැර වෙන කවුරුත් ස්ත්‍රියකගෙන් මේ සැපත ලැබිය යුතු නැතැයි කියමින් දකින දකින පිරිමියා මරන්න පටන් ගන්නවා. ඇත්ත වශයෙන්ම මේ කථාව තුළින් මිනිස් ලිංගිකත්වය පිළිබඳ දක්වන්නේ සංකීර්ණ අදහසක්. එය නූතන මනෝවිද්‍යාවේ ඉගැන්වෙන හිංසක කාමයට හොඳම උදාහරණයක්.

    ඒ අනුව මිනිස් මනසේ තියෙන සාමාන්‍ය උපරි තලවලට වඩා අභ්‍යන්තරික ගැඹුරු තල විනිවිදීමට ජාතක කතාකරුවා දක්වන සුවිශේෂී චාතුර්යය අතිශය ප්‍රශංසනීයයි.

  • උත්තර ධාර්මීය සහ මනෝ චෛතසික තත්ත්වයන් පමණක් නොව ඒ ඉක්මවා ගිය පුළුල් සමාජ දේශපාලනික ආඛ්‍යානයන් ජාතක කථා සංග්‍රහය තුළ ඕනෑ තරම් දක්නට ලැබෙනවා?

  • ජාතක කථාවක් කියන්නේ ඔබ කියූ පරිදි උත්තර දහම් පැහැදිලි කරන ධර්ම ආඛ්‍යානයක් හෝ මනෝ විද්‍යාත්මක ආඛ්‍යානයක් පමණක් නෙමෙයි. මේවා අති සංකීර්ණ විෂය පරාසයකට බෙදන්න පුළුවන් තරම් බොහෝම පොහොසත් ආඛ්‍යාන.


    ආචාර්ය සාලිය කුලරත්න


    ජාතක කථාව තුළ තියෙන සමාජ දේශපාලනික කරුණු විග්‍රහ කරන්න හොඳම උදාහරණයක් තමයි උම්මග්ග ජාතකය. උම්මග්ග ජාතකයේ මුළු කථාව ගත්තාම ඒක මිනිස් සමාජයේ හැම දෙයක්ම වගේ විග්‍රහ කරනවා. ඒ කථාවට පසුබිම් වෙන්නේ යව මැදුම්ගම මහෞෂධ පඬිවරයාගේ ළමා කාලයේ සිට පුවත පෙන්වීම. අවසන ඔහු වේදේහ රජුගේ උපදේශකයෙක් වෙනවා. වේදේහ රජු කියන්නේ කිසිම විචාරයක් නැති අයෙක්. සේනක, පුක්කුසාදි අනෙක් පඬිවරු ඇවිත් යම් දෙයක් රජ්ජුරුවන්ට කිව්වොත් ඔහු කිසිම විචාරයක් නැතිව ඒ දේ සිදුකරනවා. වේදේහ රජුව බොහෝ අතුරු අන්තරාවලින් බේරාගන්නේ මහෞෂධ පඬිවරයා. නමුත් රජු ඔහුගේ ජීවිතය විනාශ කරන්න පවා පෙළැඹෙනවා. අන් අය කියන දේ පිළිගනිමින්. ඒ අනුව බලද්දී වේදේහ රජු වර්තමාන ශ්‍රී ලංකාවේ අවිචාරවත් දේශපාලනයේ ඉතා හොඳ ප්‍රතිමූර්තියක්. මේ දේශපාලනය තුළ කවදාවත් තම සැබෑ හිතෛෂීන්ගේ වැදගත්කම දකින්නේ නෑ. එහෙම දේවල් අතීතයේ තිබුණත් ඒවා විනාශ කරලා දාලා ඒ වෙලාවට වාසියි කියන පුද්ගලයින් සහ දේවල් මේ දේශපාලනය තුළ වැළඳගන්නවා. අනෙක් අතට මහෞෂධ ඉතා වැදගත් උදාහරණක් ශ්‍රේෂ්ඨ රාජානුශාෂකයකුට. ඔහු අවස්ථාවාදී වළ ඉහගෙන කන, මහාපරිමාණ හොරමැරකම්වලට සම්බන්ධ කපටි උපදේශකයින් අතර කැපී පේනවා. අනෙක් අතට මහෞෂධ රජුට වුණත් අනවශ්‍ය විදිහට පක්ෂපාතී වන ගැත්තෙක් නෙමෙයි.

    සමාජ දේශපාලන කරුණු ඉදිරිපත් කිරීම අතින් ජාතක කථා සංග්‍රහය තුළ තියෙන ඉතා වැදගත් කථාවක් තමයි මහා සුපින ජාතකය. සුපින ජාතකය දිග හැරෙන්නේ හුදු කේවල ආඛ්‍යානයක් ලෙස නෙමෙයි. ඒක දිගහැරෙන්නේ කොසොල් රජු දුටු සිහින දහසයක් පිළිබඳ. බුදුන් ආනිසංශ සහ ආදීනව දේශනා කිරීම තුළ. අනෙක් පැත්තෙන් මේ ජාතකය වැදගත් වෙන්නේ ඒ ප්‍රකාශ කරන සිහින පලාඵල එදා සිදු වූ ඒවා නෙමෙයි. සමහර සිහිනවල ඵල ලැබෙන්නේ ඊට ශතවර්ෂ ගණනාවකට පසුව එලැඹෙන අද වගේ දවසක වෙන්න පුළුවන්.

    ඒ යුගය අම්ල වැසි වැටුණු, ඉඩෝර ඇතිවුණු, පරිසර විපත් සිදු වුණු යුගයක් නෙමෙයි. නමුත් අද සිදුවන පරිසර විපර්යාසයන් අමතන ව්‍යංගයන් එහි තියෙනවා. කොසාල් රජු දකිනවා බත් මුට්ටියක එක පැත්තක් ඉදෙනවා. අනික් පැත්ත ඉදෙන්නේ නෑ. බුදුන් වහන්සේ කියනවා මේකෙන් පේන්නේ පරිසරයේ එකපැත්තකට වහිනව. අනික් පැත්තට ඉඩෝරය. එක පැත්තකට බාගෙට වහිද්දී අනිත් පැත්ත ජලයෙන් යටවෙනවා. එහි කරුණු කියලා ඒ විතරක් නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරනවා මේක ඒ යුගය නෙමෙයි ඊට ශතවර්ෂ ගණනාවකට පසුව සිදුවන දෙයක් කියලත්. කොසොල් රජු දකිනවා සඳුන් ගැටයකට කුණු මෝරු හුවමාරු කරගන්නවා. සමහර භික්ෂුන් සඳලුතල පාමුල ඉඳන් බණ කියද්දී රජු උඩ ඉඳන් අහන් ඉන්නවා වගේ තත්ත්වයන් තමයි මේකෙන් පෙන්නන්නේ. ඒ කියන්නේ භික්ෂූන් ඇතුළු පිරිස සුළු ලාභයක් උදෙසා තම ආත්මය වුණත් කැප කරන්න අනාගතයේදී සූදානම් වග. සමහර චීවරධාරීන් තමන්ගේ ආත්ම ගෞරවය, භික්ෂූත්වය, සිල්වත්කම උගස් තියලා තමාට ලැබෙන යාන වාහන සහ සිව්පසට ළැදි වෙන තත්ත්වයක් අද තියෙන්නේ. ඒ නිසා සමහර භික්ෂූන් මහා සුපින ජාතකයෙන් බණ කියන්නත් අද කැමති නෑ.

    [රාවය 2011.06.12]

    ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    වෙනදාට උසම උස කඳු නගින
    කාත් කවුරුවත් නැති අහිංසක තරු එළිය
    බිඳුණු ගල් පෙළේ වාඩි වී
    ඇඬුම්බර හඬින් මට අඬ ගසයි
    'ඇවිත් මේ පඩි පෙළින් ඉඳගන්න'
    සීත ඉවසාන විත් අඩවන්ව තබා දොර
    මගේ සුමිතුරු තාරකාව යට වාඩිවෙමි...

    වළහමුල්ලට එලුව බස්පාර පාමුලින්
    වැතිර රෑ කළුවරේ ඇහැරගෙන
    හැඬූ ඇස්වල කඳුළු පුරෝගෙන උන්නා ය
    බොහෝ ආදරණීය අපේ ගම

    මේ ඌව පරණගම නිල් අහස
    මට තාත්තා කෙනෙකු වාගේය
    මගේ ලොව පුරාවම වසාගෙන
    යෝධ බා යුගින් සෙවණ‍ළු සදන

    මේ ඌව පරණගම මහ පොළොව
    උතුම් අම්මා කෙනෙකු වාගේය
    සමුද්‍රය සා පිරුණු ආදරෙන්
    ඵලාපල කවා රෑ ඇහැරගෙන තනි රකින

    මකුළ කන්දේ සිරස සිට පෙනෙන
    බොහෝ මරණාසන්න පැට්‍රෝල් මැක්ස් එළිය
    මට නැකත් තරුවක්ය මග කියන

    උඩුහාවරින් රෑ දෝර දී ගලා එන
    මල් සුවඳ සෙමින් පඩිපෙළ නගින මහ රෑට
    නැගිට ගල් පඩි පෙළින් ඇවිද එමි
    තවම නොනිවී තියෙන මල් පහන් පැළ යටට

    හෙට මකුළ කන්ද කරුණා කරන
    නාඳුනන අලුත් බැතිමත් නඩය
    තුංග කඳු මඩල පය පාමුලේ වැඳ වැටී
    මේ රැයේ ගමෙන් අවසර ගනිත

    අද රාත්‍රිය මගේ ළඟ හිඳින තරු එළිය
    මගේ මළගම පැමිණි කල්‍යාණ මිතුරෙක් ය
    උදෑසන සමුඅරන් නික්ම යන තුරාවට
    සිරස අද්දරින් නොනිදා හිඳින

    හෙට පාන්දර දොරකඩින් එන හිරු එළිය
    නම නොදන්නා සහෝදරයෙක් ය
    මගේ ළය මඩල මත වාඩි වී
    බොහෝ පැණසර ඇරත් නැණින් පහදා කියන

    ඉදින් බස්නාහිරට පිටුපාන
    හෙට ප්‍රාණවත්වන උතුම් බිම
    දණ ඔබා නැඹුරැ වී දෙතොළින්ම සිපගනිමි
    මා හැදූ සදාදාර මගේ ගම

    (1991 ජනවාරි 12 'ලක්මිණ' පත්‍රයේ 'භාවගීත' කවි පිටුව)

    රෝහිත භාෂණ අබේවර්ධන



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    යහපත් වී නොමැත ලෝකය කිසි ලෙසක
    අයහපත් බවම වැඩි වෙනවා මිසක
    එහෙත් පිය කිවිඳ ඔබ ලියනා කවිය
    එදාටත් වඩා අවැසිය අද අපට

    ජයලත් මනෝරත්නගේ "ලෝකය තනි යායක්" නාට්‍යයෙන්.

    ජයලත් මනෝරත්න



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    ....උන්දැව මම අල්ලාගෙන
    මං හන්දියෙ තියාලා
    මඩු වලිගෙන් තළාලා
    ඇට කටු ටික පොඩි වෙන කල්
    මෝල් ගහෙං බෙදාලා-
    දන්නව මං කරන වැඩේ......


    1. මේ ගායනය ඇතුළත්, ජන කතාවක් ඇසුරින් තැනූ වේදිකා නාට්‍යය කුමක්ද?
    2. එය රචනා කොට නිපැයූවේ කවුද?
    3. එහි එන ප්‍රධාන චරිත තුන මොනවාද?




    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    විලියම් ශේක්ස්පියර් ගේ රෝමියෝ ජුලියට් කෘතිය ඇසුරින් නිර්මිත පර්යේෂණාත්මක වේදිකා නාට්‍යය "රෝමියෝ ජුලියට්ලා" 2011 ජුලි 30 ප‍. ව. 6.30 ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හි දී වේදිකාගත කෙරේ‍. ජගත් ජයසේකර සහ නදීකා බණ්ඩාර ගේ සම නිෂ්පාදනයක් වන මෙය "ජෙනී තියටර්" ඉදිරිපත් කිරීමකි.




    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    එක්තරා කාලෙක එක්තරා රජ කෙනෙක් හුරතෙලේට ගිරවෙක් හැදුවා. මේ ගිරවා එසේ මෙසේ ගිරවෙක් නොවෙයි. හොඳට කතාකරන්න පුළුවන් වගේම අහන ඕනෑම ප්‍රශ්නයකට රජ්ජුරුවන්ට ඕනෑ උත්තරය දෙන්න ඌට පුරුදු කරල තිබුනා. රජ්ජුරුවො යන හැම තැනම මේ ගිරවා අරගෙන යනවා. හැම රැස්වීමකටමත් රජතුමා මේ ගිරවා අරගෙන යනවා. ඇමති රැස්වීමට පවා මේ ගිරවා අරගෙන එනවා. හරියට ඌත් ඇමති කෙනෙක් වගේ රජතුමාගේ ප්‍රශ්නවලට උත්තර දෙනවා. හැම තැනකදීම ගිරවාගේ උත්තර වලට රජතුමා ප්‍රශංසා කරනවා. වැඩි දවසක් යන්න මත්තෙන් හැමෝටම තේරුණු දෙයක් තිබුණා. ඒ තමයි හරි උත්තරය ගිරවාගෙ උත්තරය කියල. රජතුමාට අවශ්‍ය ඒ උත්තරය කියලත් හැමෝම තේරුම් ගත්තා. කවුරුත් දැන් ගිරවාගෙ උත්තරයට අනුවයි උත්තර දෙන්නෙ. රජතුමාට හරි ලේසියි. එයාට අවශ්‍ය දේ ඒ විදිහටම වෙනවා.

    රජතුමා මෙහෙම දිගටම පාලනය කරගෙන යනවා පමණක් නොවෙයි එයාට අවශ්‍ය සියලුම දේ ගිරවා හරහා කරගන්නවා. ගිරවාත් අකුරට ම වැඩේ කරනවා. රජතුමායි ගිරවායි දෙන්නම හරිම සතුටින් කාලය ගෙවනවා. කාලයක් යද්දී ගිරවාට මේක ඇති වෙනවා. ගිරවා කල්පනා කරනවා රජතුමාට අවශ්‍ය උත්තරය නොවෙයි හරි උත්තරය දෙන්න ඕනෑ කියල. එහෙම හිතල එක රැස්වීමකදී ගිරවා උත්තර දෙනවා. රජතුමාට හොඳටම කේන්තියි. හැමෝම ගිරවා අනුගමනය කරන නිසා සේරම එකම පැත්තක. රජතුමාට කරගන්න දෙයක් නැහැ. රජතුමා හිතනවා, ගිරවාව කවුරු හරි තමාගෙ විරුද්ධකරුවෙක් නොමග යවල කියල. කොච්චර කීවත් ගිරවා අහන්නෙත් නැහැ. රැස්වීම්වලට එන එක නතර කරගන්නත් බැහැ. ප්‍රශ්නය විසඳා ගන්න ම බැහැ. අන්තිමට රජතුමා කල්පනා කළා ගිරවා මරල දමන්න. එතකොට ගිරවා නැති නිසා ප්‍රශ්නය විසදෙයි කියල හිතුව. පසුවදා උදේ ගිරවාගේ මළකඳ මාළිගාව ඉදිරිපිට තිබුණා.

    රජතුමා කිසි දෙයක් නොදන්නා විදිහට බොහෝ සෙයින් ශෝක වෙලා විශේෂ ගරු සරු ඇතුව ගිරවා භුමිදාන කළා. රජතුමා හිතුවා එතනින් ප්‍රශ්නය ඉවරයි කියල. පසුවදා උදේ තිබුණු රැස්වීමට රජතුමා ගියේ සියලු ප්‍රශ්න ඉවරයි කියල හිතාගෙන ඉතාම සතුටින්. ඒත් රැස්වීම පටන් ගන්නකොටම කොහෙන්ද ගිරව් රෑනක්ම එතනට කඩාගෙන වැදිල රජ්ජුරුවන්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න පටන් ගත්තා. එක ගිරවාගෙ ප්‍රශ්නය නැති කරන්න ගිහින් මට වෙච්ච දේ කියල තනියම කල්පනා කරමින් රජතුමා රැස්වීම ඉක්මනට හමාර කළා. රජතුමාට බේරෙන්න ම විදිහක් නැහැ. යන යන හැම තැනකම මේ ගිරා රෑනම එනවා. ටික ටික දවස් යන්න යන්න ගිරා රෑන් තව තව වැඩි වෙන්නත් පටන් ගත්තා. මෙක නම් මරල ඉවර කරන්න බැරි බව රජ්ජුරුවන්ට තේරුණා. අර ගිරවා මැරෙන්න කලින් මේ ගිරා රෑන් හදන්න ඇති බවත් පස්සෙ තේරුණා. නමුත් එතකොට ප්‍රමාදයි.

    පලි: මරල ප්‍රශ්න විසඳන්න යන සෑම රජ කෙනෙකුට ම මේක හොඳ පාඩමකි.

    උපාලි තෙන්නකෝන්



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |



    බාලා
    සැකකාර කොටියා
    ඒ ගැන යමක් නොකියා
    කාගෙත් හොඳම
    සගයා

    සිංහල ටිකක් තේරෙයි
    හෝඩිය ලියා උගනියි
    ඉංගිරිසි හඬ නගයි
    දුංකොල බීඩිය ද
    බෙදාගෙන බොයි

    සිනහව හරිම සොඳුරුයි
    දෙමළ ද කියා නොදනියි
    පෝලිමෙන් නොපනියි
    ඉවසීම පුරුදුයි

    වධ දුන් මහතුන්ට
    වෛර නොකරයි
    සොඳුරුයි
    නිහඬයි
    ගැඹුරුයි
    සරළයි

    ලාභ නැති
    බාල නැති
    ආදරණීය බාලා

    ගෙදරක් නොමැති
    සිර ගෙදර
    ජීවිතය අදියි.

    උදය ආර්. තෙන්නකෝන්



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |
    Related Posts with Thumbnails