Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අපර්ණා සෙන්ගේ "The Japanese Wife" සිනමා කෘතිය ප්‍රදර්ශනය කිරීම සහ ඒ පිළිබඳ සංවාදය ජූලි 30 වෙනි සෙනසුරාදා පස්වරු 3.30 ට මරදාන සමාජයීය සහ සාමයික කෙන්ද්‍රයේදි.

සහභාගිත්වය- ධර්මසිරි බණ්ඩාරනායක, අනෝමා රාජකරුණානායක
මූලික අදහස් දැක්වීම- සුනිල් සිරිවර්ධන
සංවිධානය- මංසලක කතිකා කවය

එදින "The Japanese Wife" සිනමා කෘතිය පිළිබඳ විචාරාත්මක ලිපි එකතුවක් ද නිකුත් කිරීමට නියමිතය.

විස්තර සඳහා 718 107 396 හෝ 712 667 592 අමතන්න.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


මංජුල වෙඩිවර්ධනගේ නවතම කාව්‍ය සංග්‍රහය "මාතෘකාවක් නැති මාතෘ භූමිය හෙවත් දෙමළ කවි" එලිදැක්වීම නිමිත්තෙන් 2011 ජනවාරි 30 දින බූන්දි වෙබ් අඩවියේ ආරාධනයෙන් කොලඹ ජාතික පුස්තකාල සේවා මන්ඩලයීය ශ්‍රවනාගාරයේ දී පවත්වන ලද දේශනයෙහි සම්පින්ඩිත පිටපත:

පළමු කොටසට මෙතනින් යන්න

කුසලතාපූර්න අංකුර කවි කිවිඳියො ගනනාවක් මෙදා ප්‍රවනතාමය ක්ශේත්‍රයට අවතීර්න වෙලා හිටියත්, මේ බොහෝ කවීන් හැත්තෑ ගනන්වල "ජනතාවාදී කවිය" කරා පල්ලම් බහිනව දැකීම ශෝචනීය යි. මේ දෘශ්ටිමය මංමුලාව පොදුවේ හකුලා දක්වන නිදසුන් දෙකක් ගෙනහැර පාන්ට මම කැමති යි. මේ නිදසුන් දෙක ම අර ගත්තෙ 2000 පරපුරේ කවියෙකුගෙන් - පියන්කාරගේ බන්දුල ජයවීරගෙ කුලුඳුල් පොතෙන්. මේ විවේචනය මම ඉදිරිපත් කරන්නෙ නව කවීන් වඩා නිරවද්‍ය දෘශ්ටි ආස්ථානයක් කරා වර්ධනය වෙනව දැකීමෙ පරම අභිලාශයෙන් යුතුව.

ලංකාව යනු
රියැදුරු තවමත්
වැඩට පැමිණ නැති
කොන්දොස්තර තැන
අධි වේගයෙන් පදවන
පෞද්ගලික බස් රථයකි

(ලංකාව යනු, තේරා ගත් කෘති, 2010)


සුලු- ධනේශ්වර රැඩිකල් දේශපාලනයෙන් පන්නරය ලබන අද්‍යතන කවීන්ගෙ පොදු අර්බුදය මේ කෙටි කව තුලින් මොනවට පැහැදිලි යි. හුදෙක් රියැදුරා මාරු කෙරුව ම ලාංකික සමාජය නමැති බසය නිසි පරිදි ධාවනය වෙනව ඇති කියලනෙ මේ කියන්නෙ. යල් පැනපු එන්ජිම, දිරාපත් චැසිය, අබලන් මාර්ගය නැතිනම් මගීන්ගෙ තදබදය වෙත ආලෝකයක් විහිදුවනව වෙනුවට හුදෙක් රියැදුරාගෙ නුසුදුසුකම හුවා දැක්වෙනව. "නිවන් දකිත්වා අපගේ ජනනායක තැන!" එහෙමනෙ පවනෙ ගැයුනෙ. වැරදි ආදර්ශයක් නෙව දුන්නෙ. තනි පුද්ගලයෙකුට පද්ධතියක් වෙනුවට ආදේශ වෙන්න පුලුවනි යන [චේ] ගෙවාරා මිථ්‍යාව නෙවෙයි ද මේකෙන් ධ්වනිත වෙන්නෙ? ඊලඟට:

‘.........
තෝරා ගත් කෘතිවල
තමන්ට වාසි තැනින්
තමන්ට කැමති තැනින්
තෝරා ගෙන
වෙන් වූ කඳවුරු තුළ
නුඹත් මමත් සටන් කරමු

නමුත් මිතුර
ලෙනින්ට අපි
අපට ලෙනින්
අයිති නිසා
පෙරමුණ වෙනස් වුව ද
සටන එකක් නම්
පොදු සතුරා පරදවනා
අවි තනන්ට
නිසි මග පෑදෙයි! ’

(‍තෝරා ගත් කෘති, තේරා ගත් කෘති, 2010)


ඉතා ම ප්‍රතිගාමී දෘශ්ටිවාදයක් මේකෙ ගැබ් වෙනව. කවියා පොදු සටන් පෙරමුනකට කැඳවන්නෙ කවර පාර්ශ්වයන් දැයි පැහැදිලි නැතත් මේ වර්ගයෙ ‘පෙරමුනු’ ගැන ලෙනින්ගෙ තුන් හිතකවත් තිබුන ද? ලෙනින් "වෙන්ව ගමන් කරමු - එක්ව පහර දෙමු!" යන සටන් පාඨය ඉදිරිපත් කෙරුවෙ නිශ්චිත ඓතිහාසික දේශපාලනික සන්දර්භයක් ඇතුලෙ. ඔහු සකල සියලු බලවේගවලට ආමන්ත්‍රනය කෙරුවෙ නැහැ. මේ කවියෙන් ප්‍රකට කෙරෙන චින්තාව තත්කාර්යවාදය නැතිනම් අවස්ථාවාදය. කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගන්වනව වෙනුවට දිගින් දිගට ම "මහජන පෙරමුනු" අටවා ගැනීමෙ විපාක නේද අපි දැනටත් අත්විඳින්නෙ? සමාජ විපර්යාසයක් පිලිබඳව කවියා තුල කෑකෑරෙමින් පවතින යහපත් උවමනාව අපට තේරුම් යනව. කවියාගෙ චේතනාව කොතරම් අව්‍යාජ වුනත් අවස්ථාවාදය අවස්ථාවාදය ම යි. බැරි වෙලාවත්, මේ අවිශද කවියෙන් ‘පොදු සතුරා’ පරදවන්ට අඬ ගහන්නෙ (ජවිපෙ වගෙ) මිතුරු වෙසින් පෙනී හිටින සතුරාට ම නම්! එංගල්ස් කල් තියා ප්‍රකාශ කරපු විදියට, ‘අවංක’ අවස්ථාවාදය, අන් සියලු අවස්ථාවාදයන්ට වඩා භයානක යි.

අනෙක් අතට, නව කවීන් බහුතරය සම්ප්‍රදායික කවි මඟ සමතික්‍රමනය කරන්ට අපොහොසත් වන බව පෙනී යනවා. එක අතකට, මේක ඔවුන්ගෙ වරදකුත් නෙවෙයි. චිරන්තන සාහිත්‍යයෙන් හා විශ්ව කාව්‍ය සේවනයෙන් දුරස්ථ වෙන්ට කරුනු යෙදීම හින්ද යි මෙහෙම සිද්ධ වෙන්නෙ. මගේ පරම්පරාව සැලකුවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන යටතෙ පැරනි සාහිත්‍යය අපේ පාසල් විශය ධාරාවෙන් ඉවත් කෙරිල යි තිබුනෙ. නමුත්, කුස්සිය මුල්ලෙ ඉඳගෙන හරි හදාරන්ට කියල යි බර්ටෝල්ට් බ්‍රෙශ්ට් කම්කරු පන්තියෙන් ඉල්ලා හිටියෙ.

අපි හැමෝම තිස් වසරක සිවිල් යුද්ධයක් අත් වින්ද. කොටින් ම, කුදු මහත් පරපුරක් ම හැදී වැඩුනෙ යුද්ධයත් සමඟ. යුද්ධය මෙරට ජන ජීවිතය කෙරෙහි පොදුවේත් උතුරු නැගෙනහිර ජීවිතය කෙරෙහි සුවිශේශයෙනුත් දැවැන්ත බලපෑමක් එල්ල කල බව කවුරුත් දන්නව. මේ යුද්ධයට කලාකරුවන් ප්‍රතිචාර දැක්වුවෙ කොහොම ද? මෙතැන දි, මම අදහස් කරන්නෙ සිංහල කවීන් පිලිබඳව. කෝ. ආනන්ද, ඇල්ලේ ගුනවංශ ඇතුලු පිරිසක් යුද්ධයට පක්ශව කව් ගී ලිව්ව. තව පිරිසක් යුද්ධයට විපක්ශව කවිය පරිහරනය කෙරුව. යුද්ධයට ආවැඩූ අය ගැන අපට කතාවක් නෑ. යුද්ධයට එරෙහිව ලියැවුනු බොහෝ කවි හුදු විරෝධය පෑම් නැතිනම් විලාප තැබීම්. යුද පිටියෙ කටුක අත්දැකීම් කාව්‍යමය ලෙස ප්‍රකාශ වුනා නම් ඒ කලාතුරෙකින්. ප්‍රතිභා සම්පන්න දෙමල කවීන් වැඩි දෙනෙක්, ජාතික පීඩනය හමුවෙ දෙමල වර්ගවාදය වෙත නැඹුරු වුනා. ඔවුන්ගෙ ජීවිතාරක්ශාව තකා මම නම් සඳහන් කිරීමෙන් වැලකී සිටිනව.

ලොව පහල වුන විශිශ්ටතම යුද කවියා හැටියට සැලකෙන්නෙ බ්‍රිතාන්‍ය ජාතික විල්ෆ්‍රඩ් ඕවන් (1893-1918). පලමුවන ලෝක සංග්‍රාමයෙ දි, යුද අගල තුල වෙඩි කා වැටෙන තුරු මේ හිරිමල් සෙබලා යුද්ධයේ සියලූ සංත්‍රාසයන් කලාත්මකව කවිගත කෙරුව. ඒ වර්ගයෙ සෙබල කවියො මෙහෙ හිටිය ද, බ්‍රිගේඩියර් වීරසේකරලා වගෙ කුකවියො මිසක?

කවිය තුල විතරක් නෙවෙයි, මේක අනෙකුත් කලා ක්ශේත්‍රවලත් අපි දැකපු ලක්ශනයක්. යුද්ධය විශයෙහි චන්ද්‍රගුප්ත තේනුවර අතින් සිද්ධ වුන යථාර්ථ ඥානනය සෙසු සිත්තරුන්ගෙන් ප්‍රකට වුනේ නැහැ. සිනමාව සැලකුවොත්, පුරහඳ කළුවර රූගත කිරීම් සඳහා නුවර කලාවියට ගිය අවස්ථාවෙ තිර රචනාව මුලුමනින් ම පාහෙ වෙනස් කරන්ට තමන්ට සිද්ධ වුන අන්දම ප්‍රසන්න විතානගේ පසුව සඳහන් කරල තිබුන. නිර්ව්‍යාජ කලාව බිහි වෙන්නෙ එහෙම යි. මේ උදාහරනය බලන්න:

යුද බිමෙන් උඹ එවපු බරපැනෙන්
සැඟවෙමින් අපේ කටුමැටි ගෙපැල
මැවී ගිය අලුත් නිවහනේ සිට
මගෙ දෙපා ඇදී එයි දොරකඩට

බෝම්බයෙ ගිනි අවියෙ හරඹයෙන්
පරාජය වුණේ අපෙ කුසගින්න
පෙර දවස උඹට දුන් හඹුං කට
දෙකට වී ළඟා විණි දැ යි මවෙත

යළිත් ගෙට එබෙන විට දොරකඩින්
සාලයේ කොනෙක සිට තේජසින්
කාටදෝ ආචාර කරයි උඹ
වෙඩිමුරය මගෙ හදෙන් ඇසෙයි මට

(මොනිකා රුවන්පතිරණ, විසි වසක ශේෂ පත්‍රය, 1992)


මේක නෙවෙයි ද සත්‍යය? කොයි අම්ම ද පපුවෙ ගින්දර නැතිව දරුවො යුද්දෙට යැව්වෙ? යථාර්ථය විසින් කලාකරුවා මෙහෙයවා ගනු ලැබීම යි සිද්ධ වෙන්නෙ. එහෙම නැතිව, "රට ජාතිය" ගැන නැති කැක්කුම් මවා පාමින් කලාකරුවා තමන්ගෙ වාසියට යථාර්ථය මෙහෙයවා ගන්න හැදුවොත් සරෝජා වගේ විකෘත නිර්මාන තමයි නිපදවෙන්නෙ.

වාර්ගික සමගිය කියන්නෙ ජාතීන් බිහි වුන දා ඉඳන් ම කලාවට හුරුපුරුදු තේමාවක්. ශුද්ධ කවියො පවා වාර්ගික සමගියෙ වටිනාකම වනා තිබෙනව; දැනුත් වර්නනා කරනව. රත්න ශ්‍රී රචනා කල කවියකින් කොටසක් මේ:

"දකුණු ඉසව්වෙන් පැමිණිය
පුත නුඹ වැහිළිහිණී
මිහිරි තෙපුල් තුඩ
වැහි පොද සිහිලස ගිහිණී
නුඹට අපේ කැදැල්ල තුළ
ඉඩ කඩ තිබුණී
අපට කුරුල්ලෝ නොදැනුණෙ
නුඹෙ බස පමණී

සිනා කිරෙන් කන්තෝරුවෙ බිම පිරිබඩ දුන්
පිච්ච මල් සුදට දත් ටික නුඹට කවුරු දුන්
තල් ගස් යට වැලි පොළොවට වට වැහි පොද වන්
කවුරු වැදූවත් පුතු ම ය රත්තරන් පුතුන්

පාට එළළුවන් පුත, මෙහි දකුණු කරෙන් වන්
පාට කළු වුණත් මගෙ පුතු සමඟ ‘කෝවලන්’
බෝම සුමිතුරන් වී පසුවුණි ය කෙළිදෙලෙන්
සේම කුරුල්ලන් – ඉපදුණ එකම කැදැල්ලෙන්...

සිද්ද වෙද සෙතක් පඬිරට ගින්දර ලෑමෙන්
ඇද්ද ලොව පුතුන් වැඩු මිස නැසුව මව්වරුන්?
දෙන්න මට මගේ දෙපුතුන් දෙන්න මට ඔවුන්
උන්ට පණ පොවමි මම මගෙ එකම පියවුරෙන්"

(මවුකිරි, සුබ උදෑසන, 1988)


ඉතා අනගි කවියක්. වාර්ගික සහජීවනය අලලා ගත් සියලු කවි අතර වඩාත් පරිසමාප්ත නිර්මානය හැටියට මෙය හඳුන්වන්ට මම පැකිලෙන්නෙ නෑ. මේකෙ සුවිශේශත්වය තමයි, දමිල මවකගෙ කෝනයෙන් ඉදිරිපත් වීම. කවියාගෙ පෞද්ගලික දෘශ්ටිවාදවලට මේ කවිය තුල ඉඩක් නෑ. ප්‍රවනතාමය කවියාගෙ ලෝක දෘශ්ටිය ඉස්මතු වෙන්නෙ "වාර්ගික සමගියෙන්" ඔබ්බට ගිහින් ගැටුමෙ ස්වභාවය වස්තු කර ගන්නා විට. යුද්ධය කියන්නෙ "දේශපාලනය වෙනත් ආකාරයකින් ඉදිරියට ගෙන යෑමක්" බව සුප්‍රකාශිත යි. ඒ හින්ද, යුද්ධය පිලිබඳව කලාකරුවා දරන ආකල්පය මෙහි දී විශාල කාර්යභාරයක් ඉටු කරනව. රත්න ශ්‍රී ගෙන් තවත් නිදසුනක් ගනිමු:

නවත්වන්න ඔල්වරසන් - බිම හෙලන්න බොන ජයපැන්
දිනන්නේ කවුද මෙතැන දි සහෝදරයිනේ?
අම්මලා කිරට හරවන පියවරුන් හෙලූ දාඩිය
ගලයි උණු ලෙයට පෙරැළී යුද්ධ භූමියේ

විනාසව සියලූ ගේ දොර සුවාසක් උතුම් ජීවිත
ලෙයින් පෙඟුණු රණ බිම් මත නැගූ සේසතේ
සෙවණ යට ඉඳිනු කවුරුද නුඹද ඒ මම ද සොහොයුර
නොවෙයි අප නොවෙයි අප හැම එක ම කඳවුරේ

ජාති කුල මතින් වියරුව එදා සිට නඟා ජය ගොස
ගල ලෙයින් පිරූ මදු විත ප්‍රීති සාදයේ
නුඹත් මාත් නැත සකිසඳ දිනුම හිමි නොවෙයි අප වෙත
බලන් ගිනි අවිය වැජඹෙයි සිංහාසනයේ

(වංක ගිරිය අරණේ, 1993)


මේකෙ මාතෘකාව "යුද්ධය හෙවත් කුකුළන් කෙටවීම." ලංකාවෙ පැවතුනේ බොක්සිං සටනක දි වගේ ඔට්ටුවට කුකුල්ලු කෙටවීමක් නෙවෙයි. දේවල් ඒවායෙ නියම නම්වලින් අඳුනා ගන්ට ඕනැයි ලෙනින් අවධාරනය කෙරුව. පීඩිත ජනවර්ගයකගෙ ජාතික ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් පාගා දමමින් ඔවුන් මත කොලඹ ධනපති ආන්ඩුව කඩාපාත් කල සාපරාධී වර්ගවාදී යුද්ධයක් ඒක. ඒ හින්ද, අවි බිම තබන්නැයි කරන ඉල්ලීමක් අර්ථවත් වෙන්නෙ ඒ ඉල්ලීම හුදෙක් පීඩකයාට ඉදිරිපත් වෙන කොට විතර යි. අධිරාජ්‍යවාදී යුද්ධය සම්බන්ධයෙන් නම් මේකෙ මුල් පද දෙක පංකාදු යි.

‘ජාති කුල මතින් වියරුව - එදා සිට නඟා ජය ගොස.’ ‘එදා සිට’ කියන්නෙ කවද ඉඳල ද? දුටුගැමුනුගෙ කාලෙ පටන් ද? එහෙම නම් ඒක බොරුවක්. දුටුගැමුනු - එලාර ගැටුම ප්‍රාදේශීය රජවරුන් දෙන්නෙකු අතර සිද්ධ වුනු බලලෝභී හටනක් මිසක් වාර්ගික යුද්ධයක් නොවුන බව සනාථ වෙලා හමාර යි. ඊයෙ පෙරේදා වෙන තුරු දෙගොල්ලො සාමකාමීව වාසය කරපු බව මොහොතකට කලින් කවියා ම අපට කිව්ව: ‘බෝම සුමිතුරන් වී පසුවුණි ය කෙළිදෙලෙන් - සේම කුරුල්ලන් ඉපදුණ එකම කැදැල්ලෙන්. ’ ඒක යි ඇත්ත. මේ රටේ වාර්ගික විරසකය ධනපති පාලකයො උඩින් අතෑරපු එකක්. අර වගෙ ව්‍යාකූලතා හට ගන්නෙ කවියාට ජාතික ප්‍රශ්නය පිලිබඳව සංයුක්ත අදහසක් නැති විට. මේ ව්‍යාකූලත්වයෙ ප්‍රතිඵලය ලෙස කවියා නතර වුනේ කොතැනින් ද? වර්ගවාදී සිංහල හමුදාවට ගැයුනු ස්තෝත්‍රයකින්:

‘රට රකින ජීවිත රකින
අභිමානවත් මුර දේවතා
ආයු රක්ඛන්තු ආවඩා! ’


ඇස් කන් ඇදහිය නොහේ ය ඇසෙන මෙ අරුමා! පසු කාලෙක, කවියා ම තමන්ගෙ දේශපාලනික පරිහානිය පශ්චාත්තාපීව සිහිපත් කෙරුවෙ මෙහෙම:

"අනූව දශකය ආරම්භයත් සමඟ නොකැමැත්තෙන් වුව ද ක්‍රියාකාරීව පක්ෂ දේශපාලනය වෙත ඇදගනු ලැබූ අප, පසු කළ දශක එකහමාරක තරම් වූ විලෝපන සමයේ දී ඇති කළ ව්‍යසනය සටහන් කිරීමේ සිහින ද දකිමින් සිටි බව කිව යුතු ය. ඒ සියලු සිහින මනෝරාජික බැව් වැටහෙන්නට ගත වූයේ කෙටි කලකි. අපේ පරමාදර්ශී වූ ඇතැම් දේශපාලන චරිත බැක්ටීරියා, වෛරස් ආසාදිත පූතිභවනය වන දේශපාලන කුණප බව වැටහෙන විට ආපසු හැරෙන්නට බැරි තරම් දුරක් අප පැමිණ තිබිණ" (මධ්‍යම යාමය, පෙරවදන, 2005).

තමන් අනුගත වුන කුජීදු දේශපාලනය පිලිබඳව කවියෙකු හද පත්ලෙන් නැඟූ ආත්ම භාශනයක් ඒක. කොයි තරම් සංවේගජනක ද? මොන තරම් අවාසනාවක් ද? කලාකරුවා කියන්නෙ ඉතා ම සංවේදී තැනැත්තෙක්. කවියා ශ්‍රේශ්ඨ වන තරමට ඒ සංවේදීතාව වැඩි යි. රත්න ශ්‍රී ගෙ කවිත්වයෙ ක්‍රමික පසුබෑම අප තේරුම්ගත යුත්තෙ මේ පසුබිම තුල. අනෙක් අතට, මේක ඔහුට විතරක් සීමා වුන කාරනාවක් ලෙස දැකීම වැරදි යි. නමසිය අසූ ගනන් අග සෝවියට් සංගමය බිඳ වැටෙද්දි, පරාක්‍රම කොඩිතුවක්කු ප්‍රමුඛ ජනතාවාදී කවියො පත් වුනෙත් අර වගේ ම මානසික ඇද වැටීමකට. කලකට පෙර, ඔහු ලිව්ව මෙහෙම:

‘නවතන්න නවතන්න
ඔය හටන නවතන්න
එළාර නිරිඳුනි,
ඇතු පිටින් බැස එන්න
දුටු ගැමුණු රජ තුමෙනි
දෙන්න එළාරට පුටුවක්...

නවත්වන්න අත්පොලසන්...
අත්පොලසන් කාට කියන්? ’

(අපේ කෙනෙක්, පොඩි මල්ලියෙ, 1972)


වර්ගවාදී යුද්ධයට කලින් ලියැවුනත් මේක වර්තමානයට කදිමට ගැලපුනා. යුද්ධය ඇරඹෙනවාත් සමඟ, මේක යලි උපුටා දක්වන උවමනාව (සංවාදය කවි කොලය, 1981, ජනවාරි- පෙබරවාරි කලාපය) කෙනෙකුට මතු වුනේ, අවි බිම තබා සාකච්ඡාවට එන්නැයි දෙමල සටන්කාමීන්ගෙන් කෙරුනු ඉල්ලීමක් හැටියට. යථා කාලෙ දි, මේ පැතුම ඉටු වෙනව අපි දැක්ක: ස්තාලින්වාදියො විතරක් නෙවෙයි, සමසමාජ හා නව සමසමාජකාරයොත් ජේ. ආර්. ජයවර්ධනගෙ වටමේසෙට බඩගෑවෙ නැද්ද? ජනතා විමුක්ති පෙරමුන කම්කරු පන්ති පක්ශයකැයි සලකා රෑ වැටුනු වලේ දවලුත් වැටෙන උදවිය ගැන මොන කතා ද?

ස්තාලින්වාදය යනු මාක්ස්වාදය යයි කලක් පොට වරද්දාගෙන හිටපු පරාක්‍රම කොඩිතුවක්කු දැන් මාක්ස්වාදයට බැන අඬගසමින් එක් පයක් ජාතිකවාදී ගොහොරුවෙත් අනෙක් පය ආගම්වාදී ගොහොරුවෙත් ඔබාගෙන ඉන්න හැටි අපිට පේනව. දිවයින ඉරිදා සංග්‍රහයට සපයපු "පැදි මිණි ආර" (1993-1994) ලිපි සරනිය තුල ඔහු ලිව්ව, සෝවියට් දේශයේ කලා මර්දනයට මූලික වුනේ ලෙනින් කියල. හැබැයි, එක ම නිදසුනක්වත් නැතිව. ඔහු ඉදිරිපත් කරල තිබුනෙ තනිකර ස්තාලින් යුගයෙ වධ බන්ධන ලැයිස්තුවක්. මේ අභූත චෝදනාව ධනේශ්වර දෘශ්ටිවාදීන්ගෙන් නයට ගත්ත එකක්.

සුනිල් ආරියරත්නයන්ගෙ "තුන් හෙලේ කැලෑ තුළ සිංහ පැටව්" සහ "කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන නැගෙනු" යන ගීත දෙක නිර්දය විවේචනයට ලක් වුනාට පස්සෙ තවත් නම් ඒ වර්ගයෙ ගී නොලියන බවට ඔහු ශපථ කෙරුව. අනතුරුව, වාර්ගික සමගිය වෙනුවෙන් ඔහු ගීයක් ලිව්ව. ඒකෙ කියවෙනව මෙහෙම:

‘බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනු
සැඩොලා වුණත් සුදනෙකු නම් පුටුව දෙනු
හෙලයා වුණත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනු’


පීඩිත දෙමල ජාතිය කෙරෙහි පතල මහා කරුනාවෙන් ලීවත් ‘දෙමළා වුනත්’ කියන කොට ම ‘හල් තයන්නෙන්’ ගම්‍ය වෙන්නෙ දෙමල ජාතිය පොදුවේ පහත් ජාතියක් බව නෙවෙයි ද? බලන්න, තනි අකුරකට කල හැකි හදිය! මෙහෙම වෙන්නෙ ඇයි? කවියා මව් කිරිත් සමඟ උරා බීපු වර්ගවාදී හැඟීම් ඔහුගෙ උප විඥානයෙන් ලේසියෙන් ඉවත් වෙන්ට සූදානම් නැති නිස යි. මෙහි දී, මට සිහිපත් වෙනව අපූරු සාදෘශ්‍යයක්: ලියෝ තොල්ස්තෝයිගෙ වැඩිමල් සොහොයුරා සම්බන්ධයෙන් ෆෙට් ශෙන්ශින් කවියාගෙ මතක සටහනක්. වරක් ෆෙට් හමු වෙන්ට ආපු ජ්‍යෙශ්ඨ තොල්ස්තෝයිගෙ හස්තය රථාචාරියා විසින් සිප ගනු ලැබුව. බටහිර වැඩවසම් සමාජයෙ මේ සිරිත යටහත්පහත්භාවය අඟවන්නක්. ජ්‍යෙශ්ඨ තොල්ස්තෝයි මේ ක්‍රියාව දැක්කෙ මානව ගරුත්වය කෙලෙසන්නක් හැටියට. ඔහු ෆෙට් අමතා මෙහෙම කිව්ව: "බලන්න, මේ ඌරා කරපු අශික්ශිත වැඩේ!" කොහොම නමුත්, මෙහෙකරුවා නික්ම ගියාට පස්සෙ මේ වදන් තෙපලන්ට තරම් ඔහු විනීත වී යයි ෆෙට් සඳහන් කරනව. දැන් මේ සම්බන්ධයෙන් ප්ලෙහානොව් දක්වන අදහස බලමු:

"... මෙහෙකරුවා තම හාම්පුතාගේ හස්තය සිඹීම මානව ගරුත්වයට නිගාවක් යයි තරයේ තීන්දු කල පසුව පවා සිය රථාචාර්යයාට දිගින් දිගට ම ඌරා යයි ඇමතීමට ඔහු පොලඹවනු ලැබූ මානසික ලක්ශනය යට කී විනීතභාවයෙන් වියැකී ගියේ නැත. යම් හෙයකින්, මෙහෙකරුවා ඌරෙකු නම් හස්තය සිප ගැනුම මගින් නිග්‍රහයට පාත්‍ර වූයේ කාගේ මානව ගරුත්වය ද? නිසැකව ම විනීත හාම්පුතාගේ ය. එහෙයින්, මානව ගරුත්වය පිලිබඳ දැනුවත්භාවය පවා මෙහිලා රදල අගතීන්ගෙන් විශදව වර්න ගැන්වී ඇත" (Karl Marx and Lev Tolstoy, 1911-12)

දැන් බලන්න මේ දෙපදය දිහා:

‘ආනන්ද භවන් එකට වැදී තෝසෙ ගිලිනවා
එලියට ඇවිදින් යාපනෙ දෙමලුන්ට බනිනවා’


හඩු බසින් වුනත් දීපාල් සිල්වා කොයි තරම් හෘදයංගමව සිංහල වර්ගවාදියාගෙ කුහක අධ්‍යාත්මය එලිදරව් කරනව ද? ඊලඟට, චන්ද්‍රකුමාර වික්‍රමරත්නගෙන් ගත්ත නිදසුනක් මේ:

‘එක ම අපායක අප හැම දැවෙන සඳ
වෙන ම අපායක ඉන්නට පතයි නුඹ
අපා දෙකක කිරුළට යුද වදින සඳ
කඳුළ කඳුළ ම ය කාගේ වුණත් මට... ’

(දකුණේ සිට, භූගත කවි සිත, 2010)


කාව්‍යමය ගුනයෙන් යුතු වුනත් මේ කවි පදය සමඟ අව්‍යාජ සහෘදයෙකුට අනන්‍ය වෙන්ට පුලුවන් ද? අපි වෙසෙන මේ කොදෙව්ව එක ම අපායක් වෙන්නෙ කොහොම ද මහ ජාතියට නැති ප්‍රශ්න සුලු ජාතින්ට තියෙන කොට? පීඩිත සිංහල ස්ත්‍රිය දෙවැදෑරුම් පීඩනයකට ලක් වෙන කොට පීඩිත දෙමල ස්ත්‍රිය තෙවැදෑරුම් පීඩනයකට ලක් වෙනව. අනෙක් අතින්, ධනපති එල්.ටී.ටී.ඊයෙ ලේ වැකි කේවලය දියත් කෙරුනෙ තමන්ගෙ ම ශ්‍රම වැයික්කියක් අටවා ගන්ට. සිංහල කුලී හේවායා සහ මරාගෙන මැරෙන දෙමල බෝම්බකරු යන දෙන්න ම පීඩිතයන් වග හැබෑවක් වුනත් විසකුරු වැඩ පිලිවෙලවල් දෙකක් අතැතිව යුධ වැදුනු ඔවුන් දෙදෙනා සමඟ දුක බෙදා ගන්ට අපිට පුලුවන්කමක් නෑ. ගුනදාස කපුගේ අතින් ගැයුන රෝහන දන්දෙනියගෙ තල් වැට අයිනේ ගීයට ද මේ කාරනාව එක සේ අදාල යි:

‘තල් වැට අයිනේ කඳවුරු දොරටුව
ගිනියම් අව්වේ බියකරු නිහඬ රැයේ
දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
වැලි මලු විනිවිද එන මරණය හමුවේ

වැලපෙන මුහුදයි ඈතින් දිස් වන්නේ
වැලි මුසු සුළඟයි සියොළඟ දැවටෙන්නේ
සිනා පොදක් කෙලි කවට බසක් නැති
හෙවනැල්ලයි මගෙ තනියට ළඟ ඉන්නේ... ’


වර්ගවාදී යුද්ධයක නිරත වෙලා හිටපු සිංහල සෙබලාගෙ ජීවන තතු මැනවින් ගීයට නැගිල තියෙන බව හැබෑව. ඒත්, මෙතන පොඩි පරහක් තියෙනව. කුලී හේවායගෙ ශෝචනීය ඉරනම අපට තේරුම් ගියත් ඔහුගෙ වේදනාව සමග අපට අනන්‍ය වෙන්ට බෑ. එහෙම අනන්‍ය වෙන්ට පුලුවන් තවත් වර්ගවාදියෙකුට විතර යි. ගෙදරට නාකි වුන අවිවාහක ස්ත්‍රියකට තමන්ගෙ අතීත ප්‍රේමය පිලිබඳව ගයන්ට හැකි වුනත් මසුරු සිටානෙකුට තමන්ගෙ නැති වුන මුදල් පසුම්බිය ගැන එසේ ගයන්ට බැරි බව ජෝන් රස්කින් පැවසුව. ඇයි? මසුරාට සහානුභූතිය පල කරන කෙනෙක් නැති නිසා. මසුරාගෙ මුදල වගේ ම තමයි සෙබලාගෙ කඳුල.

අපි මෙතෙක් සාකච්ඡා කරපු කාරනාවලින් පෙනී යන්නෙ ප්‍රවනතාමය කලාකරුවා තම කාව්‍යනුභූතිය මෝදු වෙන්ට ඉඩ හැරීමෙ දි ඉතා ම නිරවද්‍ය ලෝක දෘශ්ටියක් අරා සිටීම අනිවාර්ය කොන්දේසියක් වෙන බව යි.

[මතු සම්බන්ධයි]

දර්ශන මේදිස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මිය යන්න පෙරාතුව
මේ කුරුළු පැටවා
බිම වැටී මහ පොළොව මත හැපී
අවසාන පිහාටුව ඔබ ගන්න
ඔබ කැමැති නෑ කියූ
නියඟලා මල යලිත් මට දෙන්න

මගේ පින්තාලියට පුරවාන
මම දුන්න අවසාන දිය බිඳුව ඔබ ගන්න
මළ බැඳුන පලක් නැති
තලිය පමණක් දෙන්න

මහා වැස්සකට හසුව ගසා ගිය
පාට හත මට දෙන්න
දේදුන්න කැමති නම්
ඔබ ගන්න

මහ සයුර හඬාගෙන
වෙරළ මත ගොඩ ගැසූ
පෙන බුබුළු මට දෙන්න
මුතු පබළු ඔබ ගන්න

ඔබ එපා යැයි කියා
විසිකෙරූ ආදරය මට දෙන්න
කාටවත් අයිති නැති
ජීවිතය ඔබ ගන්න....

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තිස්තුන් දාහයි විදුලිය යට
ජීවිතයේ හීන අග කිමිද
සිරිසඟබෝ හිත හොඳ මල්ලියේ
දෑත් තදකර ගන්න පරිස්සමට

නිමේෂයකදීවත් දෑත පැටලුනොත්
පැටලෙයි ජීවිත ගඟුල ද රූටා
නූල් බෝලයක් වෙයි පැටලුණු ජීවිත
ගෙපැළ ම අඳුරු වෙයි එවිට

පොළොවේ පය ගසලා යසට
ඉන්ට බැරුව උඹ ගියාට
අහස බෝ දුර බව මිතුර
මා දුටුවේ ටික දොහොකට ඉහත

උඹ ගියත් උඩ
මම ගියත් බිම
අපි එක දම් වැලේ
ජීවිතය ළඟ හන්දියේ

දමිත් සඳනුවන් කීර්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දැනෙයි නම් ඔබට ‍ඒ
ගොළු බවෙහි නිසල හඬ
වැලි මතින් සීරුවෙන් අඩි තබා
‍මේ නිහඬ වෙරළට එන්න
බිඳුණු බෙලි කටු ඇහිඳින්න
තිබෙයි නම් මඳ ඇසිල්ලක්
එන්න මෙතැනින් ඉඳගන්න

‍මේ‍ වෙරළ ඔබ අද ඉන්න
වැලි බඳුව මිනිසුන් සැරුව
ලෝකයට සෙනෙහස බෙදුව
ගියේ හිත් වාවනු බැරුව

ගොළුව ‍මේ‍ නිදියන සයුර
රළ මතින් රළ බිඳ දැමුව
ගැඹුරු දිය කළඹා සැණින
මුතු ගෙනත් වෙරළත තැබුව

ඉඳහි‍ටක අර කඳු මුදුන
විසූ දෙවිවරු මෙහි පැමිණ
තරු ගෙනෙන්නට දී පිළිණ
මුතු රැගෙන කඳු වෙත ඇදිණ

අහස වෙත නෙත් අයා සිටි මුත්
කිසිදාක තරු නොම ලදින්,
සොඳුරු වෙරළත ගිනි වැදිණ
සයුරු තෙර දියවර සිඳිණ

සුවහසක් ලේ බිඳු සැලී
තැබූ පිය සටහන් මැකිණ
ලියූ කව් ගී, ඇන්ද සිත්තම්
නොකියාම බොඳවී තිබිණ
ඉතිරි වී නම් යම් අයෙක්
සමු ගනුව වත් නොරැඳී ම
නිහඬවම නික්මී තිබිණ

දැන් ඉතිං මෙහි ඉඳගන්න
වැලි තලය මත වැතිරෙන්න
මුතු කඳුළු කැට වගුරන්න
දුක ම නම් ඔබ වැළපෙන්න

ඒ වුණත්,
මතකැතිව ඔබ නැගිටින්න
සැඟව ගිය කව් ඇහිඳින්න
මැකුණු පියවර සිප ගන්න
කවදාක හෝ මතුදාක,
ගොළු මුහුද රළ නංවන්න
නිහඬ වෙරළට පණ දෙන්න

2009 ඔක්තෝබර්

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හොර තෙල් මගඩියෙන් අප වැටුනද නිතිනී
ජාතික ධනය ගිල්ලද මරඟන හෙජිනී
නීතිය ගියද සොහොනට මැර කර පිටිනී
ඔබ දිනූයෙන් අප පින් කළ බව හැඟුනී

පන්නෙ කරපු ඔරු කඳ වැල්ලේ සොවිනී
රටින් ගලන ඩොලරය සිහිනෙන් පෙනුනී
එක්ස්ප්‍රස් වේ එකේ රැස් විහිදෙන බැවිනී
ඔබ දිනූයෙන් අප පින් කළ බව හැඟුනී

දැරුව ද කිරුළ සුවසේ හොරු නඩ පිටිනී
කැරට් අලය එල්ලා තිබෙනා බැවිනී
මහ රජ පිනට අප දුක් දුරුවෙන බැවිනී
ඔබ දිනූයෙන් අප පින් කළ බව හැඟුනී

පොළොන් විෂද සැප යයි සිතනා බැවිනී
සුනඛ දිවිය උරුමය සේ ගත් බැවිනී
හෙටක් කියා දවසක් සිත නැති බැවිනී
ඔබ දිනූයෙන් අප පින් කළ බව හැඟුනී

කුමටද උගත්කම් දෙවියන් ඇති බැවිනී
නාථ දෙවිඳු පිහිටෙන් කරලම පැහුණී
නිලමැස්සන් කසලෙන් සැනසෙන බැවිනී
ඔබ දිනූයෙන් අප පින් කළ බව හැඟුනී

චූලානන්ද සමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හිරු සඳු පවා ඔවුනට
එරෙහිව දිවා රැය දෙක
දේපල දවා අළුකොට
අඳුරින් තෙමූ ජූලිය

මම පොඩිය
හරියට ඒත් මතකය
හේතුවක් නොමැතිව
එදා රැය හරිම දරුණුය

ගෙදර එක කාමරේ
අවදියෙන් රෑ මැදියමේ
කිම ද කාරණ නොදැනේ
නමුදු කිසිවක් නොඇසුවේ

නාග මුත්තු මානික්කම්
සෙල්ලයියා තංගවේලු
වරදක් නොකළවුන්ගේ
බිය වැපිරුණු මුහුණු මතකය

පාර පුරා කෑ ගහගෙන
දෙමළුන් හොයමින් ඇවිදින
ගමේ චණ්ඩි වැට අද්දර
තාත්තා තනි පලිහ වී හිඳ

උගෙ අම්මට දෙමළුන් ජාතක කරලා
කියමින් බැනපි හෙළ බොදු විරුවන්
දෙමල කඩ කඩලා
බඩු අරගෙන ගිනි තියලා
නෑයන් සේ හිටි මිනිසුන්
හිටිහැටි රුපුසෙන් කරලා

දැවුණු අබ තල සහල
බඩු මුට්ටු ඩැහැගෙන
දවා හදවත් සදාකාලික
ඇසළ රැය මළ බතක් කළ

උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"උලකුඩය දේවියට
බබෙක් ලැබිලලු අන්න
සැළලිහිණියෝ උඹට
කොහොම සතුටක් ඇත් ද"

දැන් ඉතින් රජතුමා උඹට සලකයි හොඳට
පොත ලියූ හිමි නමට බොහොම ගරු සත්කාර
අද ඉඳන් දින හතක් කෝට්ටේ හැමතැනම
මහා සැණකෙළි රැසක් පැවැත්වෙයි එක දිගට

කවි පොතේ ඇති තරම් සොඳුරු නැත ඒ ගමන
කන්න නෑ බොන්න නෑ නිදියන්න තැනක් නෑ
ඔය කියන කිසි දෙයක් මගදි මං දැක්කේ නෑ
රාජකාරිය නිසා ඉටු නොකර බැරි කමට
කෝමහරි අන්තිමට පණිවිඩේ දුන්නා මම
විභීෂණ දෙයියන්ට

මේ අසාපන් මිතුර මං ගෙදර නැති අතර
ගැරඬි පතයෙක් ඇවිත් වනසලා මගෙ ගෙදර
පොඩි දුවගෙ පියාපත් බිම තිබුනි හැම තැනම
ඒ දුකට ළය පැලී මිය ගිහින් මගෙ සොඳුර

උලකුඩය දේවියත් - රජතුමත් - හිමි නමත්
සෝක පණිවුඩ තුනක් එවා තිබුනා මිසක
මගේ හිත හැදෙන්නට පුංචියට හරි යමක්
කියා යන්නට කියා ආවෙ නෑ මළ ගෙදර.....

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



“මොකක්ද කොම්රේඩ් වෙනුවට කියන ඉංග්‍රිසි වචනය?”

“කාගෙ හරි පපුවට එන උණ්ඩයකට මම මගෙ පපුව ‍දෙනව නම්, මම එහෙම කරන්නෙ ‍කොම්රේඩ් කෙනෙකු ‍වෙනුවෙන්, වෙන ඉංග්‍රිසි වචනයක් මට හොයා ගන්න බෑ” ක්‍රිෂ්ණා කිව්වා.


දි‍යෙන් කිරි වෙන් කරන සේ
පෙමින් පෙම වෙන්කර ගෙනා
පසට පස එක්වන තුරා
උ‍රෙන් උර වෙලෙනා
මිටින් මිට ගත් අරමුණින් බැඳි - ප්‍රේමයයි

අඳුර තුළ පොත අතින් ගෙන පෙරලා
කනිනිකා එළි වැට සොයද්දී
කලුවරේ ඇස් හුළු දෙ අතු දල්වා
ගොලු පොතට හඬ දී -
කතා කළ - ප්‍රේමයයි

බඹර වැල දෙන්නට නොවේ
ඇස් දෙකම ගලවා දෙමින්
දෙළුම් පැහැ කමිසෙක සාක්කුවකට දමා
ඇවිත් ගන්නම් කියා යන්නට හිත ‍දෙනා
මනස තුළ ඇහැකට ඉඩක් සැදු - ‍ප්‍රේමයයි

සහෝදර හුස්මක් නැතී
බිමක නො නඟී තරුපතී
උණ්ඩයට ළය දෙන්න මේ දුර, දුර වැඩී
පියාපතක ට මුහුදු පසු කර යනු බැරී

මොහොත තුළ මොහොතවල් දහසක් මතු‍වෙනා
මඟහැරුණු උණුසුම දෑස් තුළ දියවෙනා
තියා ගන්නැයි කියා නුඹ දුන් හිත තියේ
බෙදා ‍දෙන්නට ස‍හෝදර සිත් කොහි තියේ

නොනිම් අහසත් නුපුළුල් ය නුඹ ළඟ නැතී
රතු පොත් ම ඇත කියවන්න ඇස් නැත ඇරී
පිතු සෙනේ ළඟ පවා නො නැමුණ හිස නැවී
සෝයුරෙක් අස කුදු ව අඩදැනි විය හැකී

2011 ජූලි

සුභද්‍රා ජයසුන්දර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රාජ සභෙන් හොඳ අවසර ලැබ ගත්තු
CIC කණකොක් සුද ඇඳ ගත්තු
බව බෝගෙට වස විස මුහු කර ගත්තු
ගොවියන්ගේ දුක් ගන්නා සොර පුත්තු!

කර්තෘ අඥාතයි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බය නො හඳුනන මිනිසා - වගා බිම වෙත ගියා
කපාලා මහ කඳන් - උගුළුවා දමා මුල් - ඇරඹුවා වගාවක්
සරු පොළව නිසලයි - ආදරෙයි - සීතලයි
දරුවන්ව පුරවන්න - පළවැලින් - මේ වගාබිම හොඳයි

බලන්නැ'යි බිජු දමන සමනල්ලු - දරුවන්ට කියා දෙන
පියාගේ සොඳුරු හඬ ඇසෙන්නේ - ගීතයක් විලස
වැලින් වැල එති එතී - කොළ අතර සැඟ වෙවී
පළතුරුය එන්නේ හෙමි හෙමින් හපන්නට

අහස් ගැඹ හරි බරයි - හෙට අනිද්දා වහියි
වැටුණොතින් මහ වැස්ස - මුදුන් මුල් සිනාවෙයි
හරි ගොඩයි - කියන්නට තියෙන දේ අනන්තයි
බලන් මගෙ දරුවනේ - ආදරය මග බලාගෙන හිඳියි

නුඹයි මේ හැම දෙයක් ම නුඹ ම යි
නුඹේ ලෙය ම යි - ලෝකයේ හැටි එයයි
සිඹින්නට කටු පඳුරු ඉගෙන ගෙන එන්න පුත
මල් සේ ම කටු පඳුරු සුන්දරයි

නෙක පාට එකවගේ වර්ණයෙන් පිබිදිලා
වෙන්ව පෙනුණත් ඇත්තට ම එක වගෙයි
කජු, පේර, මාදන් - අඹ, හිඹුටු, රබුටන්
හැම දේ ම පළතුරු ය - නොයෙක් රසයෙන් පිරුණු

එළවළු ත් පළතුරු ත් පලා වැල් දහසකු ත්
ගොඩ මසු ත් දිය මසු ත් හැම දේ නුඹ ම යි
රැකගනින් මගෙ දරුව නුඹේ ලෝකය මෙයයි
නොපැකිලව, නුඹේ ම නෙත්වලින් බලනවා නම් හොඳා

වැනෙන මිනිසුන් නුඹ ට සරදම් කරයි - එයත් මට හරි දුකයි
සටන් කළ මළ සිරුරු නුඹේ ළඟ නිඳිවරයි - ඒත් හරි උදාරයි
සමු නො දී වගා බිම රැකගන්න ඕනෙ නම් - හති නොළා
දුර ත් දැක - ළඟ ත් දැක දෙපා ඔසවා බලනවා නම් හොඳා

මහපොළව මත වවන - සමබරව හිනාවෙන
ගොවියෙකුට නැත කිසිම ණය බරක්
හැදෙන පැළයට පොහොරක් ය මැරුණු අය
පිදිය යුත්තේ ගන්නට බලාගෙන නොවේ

කිරිල්ලිය කී වරක් පියාඹා යන්නේ ද
පැටවුන්ගෙ කුඩා නැති ගිණි පුපුරු නිවන්නට
පැටවුන්ට නො ම දී කිරිල්ලිය කෑවා ද කිසිවක්
ඉගිලිලා පැටවුන් යන දිනය එනතෙක්

ඔක්කෝම පුදාපන් දරුවනේ කිසිත් රැස් නො කර
එයයි නුඹ පුදන ආදරය මේ ලොවට
කියයි අර පෙර කීව ගොවියා - උන්නැහැගෙ දරුවන් දෙස බලා
ලෝකෙට ම ඇහෙන්නට දෙපය මිහිමත ඔබා

උදැල්ලේ මඩ පිස දමා, නැවතත් මතු කළේ තලය ම යි
කොටන්නේ මිහි මඩල හිස පීරනා විලසයි
පාදන්නේ මේ පඳුරු උගුලලා
නුඹ යන්න උවමනා මාවතයි

සමරකෝන් පතිරාජ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජනප‍්‍රිය වුනොත් ජනයාට අප‍්‍රිය වෙන්න කලින් මේ ලෝකෙන් චුත වෙන්න උවමනායි. නැත්නම් ජනප‍්‍රිය ස්ටාර් එක තියාගන්න හොඳ වැඩක් ඉඳලා හිටලා හරි කරන්න උවමනායි. ඉඳලා හිටලා කිව්වෙ මාස දෙක තුනකට වරක්වත් මොකක් හරි කොහොම හරි කරන්න වෙනවා ය. මොකද හිංගල මිනිහට එහෙමත් නැත්නම් සිංහලයාට ඒ කියන්නේ ශ‍්‍රී ලාංකිකයාට මොකක් වුනත් මතක තියෙන්නේ සුමාන දෙකයිලූනේ. ඊට පස්සෙ සිද්ධවෙච්ච දේවල් ඔක්කොම සිංහලයට අමතක වෙනවා කියලා පිරිබාහරනුත් කියලා තියෙනවානේ. ඒකනේ තමන්ගේ අම්මා තාත්තා මළත් හත් දවසේ දානෙ ඉවරවුන ගමන් දූලා පුතාලා ටික මඳ පමණින් මත්වෙන්නයි දේපල බෙදාගන්න මරාගන්නයි සෙට්වෙන්නේ. මළාට පස්සෙ අම්මා තාත්තා හිටියාද මළාද කියලාවත් උන්ට මතක නෑ.

එහෙම බැලූවොත් පිරිබාහරනුත් කියලා තියෙන්නේ ඇත්ත. වෙන එකක් තියා ඒ කිව්ව පිරිබාරහන් කියන එකා මළා කියලවත් අපේ මහ කළු සිංහලයාට අමතකයිනේ. ඌ ඉන්න කාලේ නං ඌ තමයි මීනිමරලා හරි නොම්මර එකේ ස්ටාර්. ලංකාවෙ එක හරි දෙක හරි වෙන්න කී දෙනෙක් දැඟලූව ද?

සනා බෝයි හයේ පිට හයේ ඒවා ගැහුවේ ලෝකෙම එක වෙන්න. ඒකත් ඉතින් අෆ්රිඩියා ඇවිල්ලා කෑවනේ. බලනකොට උං දෙන්නටම අංක එකත් නෑ අංක දෙකත් නෑ. අංක තුනත් නෑ. ඒත් අපේ මුරලියා සද්ද නැතුව අංක දෙක ගත්තා. ලංකාවෙ හිටපු එකාගෙ එක උඩින් මුරලියාව තියන්න අපේ සිංහල එවුන් එච්චර දැඟලූවේ නෑ. ඒ මුරලි හොඳට වැඩ පෙන්නපු නිසා. නැත්තං එහෙම එක උඩ දෙක තියලා මුරලිවත් නැත්තටම නැති කරලා අන්තිමට පුනරුත්ථාපනයත් කරන්නේ අපේ උරුමේ සිංහලකමට දාගත්ත වන්දිබට්ටයෝ ටිකයි, විධායකයාට කඩේ යන වම දකුණ මාරුවෙච්ච එවුං ටිකයි තමයි.

කොහොම හරි ගායකයෝ අතරින් ජෝතිපාල තමයි තාමත් එක. ඒක ඉතින් මම කිව්වට වෙන කාටත් ඒක අදාල වෙන්නෑ. මොකද ඔයාලගෙ අංක එක වෙන්නේ වෙන කෙනෙක් නිසා. මට තාමත් ජෝති එක වෙන්නේ ජෝතිගේ හැකියාව හා කියපු සිංදුවල ඇති ගැඹුර නිසා. හොඳ වෙලාවට අකාලෙ නොවුනත් ජෝති ඉක්මනට මේ ලෝකෙන් ගියේ. තවත් හිටියනං ජෝතිටත් වෙන්නේ මල්වලට සිංදු කියන්නයි. ඉවක් බවක් නැතුව දවල්ටත් පායන තරුවලට බණ කිය කියා ඉන්නයි. තරුවලට බණ කියලා ස්ටාර් ෆස්ට් වෙන්න දඟලන ප‍්‍රවීනයොත් අද අඩුවක් නම් නෑ. කරන්න කියන්න තමන් සන්තකයේ මොකවත්ම ටැලන්ට් එකක් නැත්නම් තරු අතරේ වල්ගා තරු හොයන එකත් ටැලන්ටඞ් වැඩක්. මොකද ටැලන්ට් එකක් නැත්තටම නැතුව බොරු කරන්න ගිහිල්ලා ඇදගෙන නාගෙන, හත්පොලක ගාගෙන නිකං චා වෙනවට වැඩිය කොහේ හරි ඉන්න ලොන්තපෝල් තරුවක් හුඹහෙන් ඇදලා අරගෙන වර්ණනා කරලා කීයක් හරි හොයාගෙන තරු චැනල්වලට පිංසිද්ධවෙන්න "තාමත් අපි ජිවතුන් අතර වසන්නෙමු" කියලා අමතක වෙන සිංහලයාට පේන්න පෙනී හිටින එකත් වඩා හොඳ තියරියක් තමයි. මොකද දැන් ප‍්‍රවීනයන්ගේ කියලා කිසිම අලුත් දෙයක් අපිට අහන්න දකින්න ලැබෙන්නේ නැනේ. ඇහුනත් දැක්කත් ඉතින් බොහොම කලාතුරකින් තමයි. එහෙම ඉඳලා හිටලා හරි නාලිකාවලින් ප‍්‍රචාරය වන එකවත් ලොකු දෙයක්. නැත්නම් තව ටිකක් යනකොට දැන් හැදෙන අපේ එවුන්ට ජාතික වීරයෝ වෙන්නේ මේ නාලිකා වලින් දිවා රාත‍්‍රි පායන තරු තමයි.

අපි දැන් තරු අරගෙන බලමු. ඔක්කොම තරු එක වගෙයි. මම කියන්නෙ මේ නාලිකා වලින් දිවා රාත‍්‍රී පායන්නාවු තරු. රාත‍්‍රි අහසේ තරු වගේ ඔක්කොම එක වගේ. ඉඳලා හිටලා වල්ගා තරු පායනවා. බලාගෙන ඉන්දෙද්දිම නැතිවෙලා යනවා. මගේ ප‍්‍රශ්නය මේකයි. තරු විසින් මිනිසුන්ව එපා කෙරව්වාද, නැත්නම් මිනිසුන් විසින් තරු එපා කෙරෙව්වාද? මේක හරියට බිත්තරේ හා කිකිළි තියරි එක වගේ තමයි.

අපේ මිනිස්සුන්ටත් ඉතින් කව්රුහරි මොකක් හරි කලොත් ඒකම කරන්න ඕනේ. මොකද දැන් කාලේ කාටවත් අලූත් කන්සෙප්ට් එකකින් වැඩක් කරන්න බෑ. කරගන්නත් බෑ. ඔරිජිනල් කන්සෙප්ට් කියලා දෙයක් කාටවත් නෑ. කාගෙවත් කන්සෙප්ට් එකක් කොපි කරන එක තමයි දැන් අලූත් පරම්පරාවෙ අලූත්ම කන්සෙප්ට් එක. තමන්ට තමන් ෆස්ට් කියලා කව්රුහරි කන්සෙප්ට් එකක් දාගත්තොත් ඒ කන්සෙප්ට් එකත් කොපි කරනවා. එතකොට හැමෝම ෆස්ට්. කව්රුවත් සෙකන්ඞ් වෙන්නෙ නෑ. සෙකන්ඞ් වෙන්න කැමතිත් නෑ. එහෙම කියන්න කැමතිත් නෑ. හැබැයි කරන කියන වැඩ අනුව නම් ෆස්ට් තියා ලාස්ට් දෙන්නවත් හිතෙන්නේ නෑ. හැමෝම ෆස්ට්. මේක ප‍්‍රශ්නයක්. එක අතකට කමකුත් නෑ කියලා හිතෙනවා. මේක හරියට පවුලක තාත්තා වගේ කන්සෙප්ට් එකක්නේ. පවුලේ තාත්තා තමයි ගෘහ මුලිකයා. නැත්නම් පවුලේ ෆස්ට්. ඒක ඉතින් අල්ලපු ගෙදර පවුලට අදාල වෙන්නෙ නෑනේ. ඒ ගෙදර ෆස්ට් වෙන්නේ ඒ ගෙදර ගෘහ මුලිකයා හෙවත ඒ ගෙදර තාත්තානේ. ඒ කන්සෙප්ට් එකම තමයි අපේ නාලිකාවලටත් තියෙන්නේ. ඒ ඒ නාලිකාව බලන්නාවු පේ‍්‍රක්ෂක ජනයාට හෙවත් ක‍්‍රවුඞ් එකට ඒ ඒ නාලිකා ෆස්ට් වෙනවා. ඒක එයාලගෙ තියරි එක. ඒ ඒ කට්ටිය ෆස්ට් වෙන්න ඒ ඒ කට්ට්ය එයාලා වටේ ඉන්න ක‍්‍රවුඞ් එක එහෙම නැත්නම් ඕඩියන්ස් එකට ඇතෙක් බරට වස්තුව දෙනවා. මේ ඔක්කොම කරන්නේ මාකට් එකේ ෆස්ට් වෙන්නයි. එහෙම නැතිවුනොත් පැවැත්මක් නැතිවෙනවානේ. හැමෝම දඟලන්නේ එක වෙන්න එක දාගන්න එකනේ. කවුරුවත්ම හිතන්නෙ නෑ ලංකාවෙම ෆස්ට් වෙන්න හොඳ වැඩක් කරන්න. එහෙම වුනානං ඔය චැනල් වලින් මිනිස්සුන්ට රැඳි සිටියාට ස්තුතියි කියලා දාන්න වෙන්නෙත් නෑනේ. තමන්ම තමන් ෆස්ට් කියලා දාගන්න ඕනෙත් නෑ. මොකද මිනිස්සු දන්නවා කවුද වැඩකාරයෝ කියලා.

ඒ කාලේ මාතරින් කොළඹට ආව මනුස්සයෙක් මාතර බත්කඩේ දැම්මා. ඒක නැගලා ගියේ ඒ මනුස්සයා බත්එක වංචාවක් නැතුව කටට රහට දුන්න හින්දා. ඒක බලාගෙන හිටපු මරදානේ මනුස්සයෙකුත් දැම්මා මාතර කියලා බත් කඩයක්. මිනිහා දුන්න බත් මෙලෝ බල්ලෙකුට කන්න බෑ. මිනිහා හිතුවේ මාතර නමට මිනිහගෙ බත් එකත් නැගලා යයි කියලා. නම හොඳ වෙන්න වැඩේ හොඳ වෙන්න ඕනේ කියන එක තාමත් අපේ මිනිස්සුන්ට නොතේරෙන හින්දා දැන් රටපුරාම මාතර බත්කඩ. ඒකෙත් නොම්මර එක මොකක්ද කියලා හොයාගන්න බෑ. මොකද ඔක්කොම මාතර බත්කඩනේ. බැරිවෙලාවත් අර නියම මාතර බත්කඩේ මනුස්සයා නොම්මර එකේ මාතර බත්කඩේ කියලා මිනිහගේ කඩේට නම දැම්ම නම් ඒකත් වැඩක් වෙන්නෙ නෑ. එතකොට ඔක්කොම මාතර බත් කඩ ටික නොම්මර එක කියලා දා ගන්නවා. මේකත් හරියට ලංකාවෙ පැටව් ගහපු චයිනීස් රෙස්ටවුරන්ට් වගේ තමයි. ඒකත් බලනකොට අපේ ලංකාව වගේ දහස් ගුණයක් විශාල මහජන චීනයේ තියෙනවාටවත් වඩා දහයක් විතර වැඩියෙන් චයිනීස් රෙස්ටුවරන්ස් මේ පුංචි ලංකාවේ තියෙනලු. මේ ඔක්කොම කරන්නේ රැල්ලට යන එක. ඒක ලේසියිනේ. අලූත් දෙයක් හොයනවාට වඩා හොයලා දීපු එකේ එල්ලිලා ඔහේ යනඑකට තමයි අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ.

කාලෙන් කාලෙට එන ෆස්ට් වීමේ අවශ්‍යතාවය දැන් පන්සල් වලටත් පැතිරිලා. දැන් දැන් ලංකාවේ පන්සල් වලටත් ප‍්‍රමුඛතාවය කෙසේ වෙතත් "එක" ගන්න එක බෝවෙලා. බුදුහාමුදුරුවෝ නං දේශනා කලේ කාටත් පොදු ධර්මයක්. ඒක හොඳ හා නරක විදියට කා අතරත් කරන කියන පින් සහ පව් අනුව බෙදී යනවා. නමුත් දැන් ගමේ පන්සලට මිනිස්සු යන්නෙ නෑ. ගමේ පන්සලේ දායකයො නැතුව හාමුදුරුවන්ට හරියට දානයක්වත් නෑ. ඒත් අර සිදාදියෙන් ආපු අලූත් හාමුදුරුවො අලූතෙන් දාපු අසපුවට ඔක්කොම දායකයො පොරකනවා. දවස් තුන්සිය හැටපහෙන් තුන්සිය හැත්තෑපහක් වෙනකම්ම එතන දානයට දින ගන්න පොරකනවා. ගමේ පන්සලේ දැන් භාවනාව වෙන්නෙ නෑ. ඒක වෙන්නෙ අලූතෙන් දාපු භාවනා මධ්‍යස්ථානයේ. බුදු හාමුදුරුවො දෙසු බණ දෙකට බෙදාගෙන. හරියට වැලි බොරළු වගේ. වැලි ටික අසපුවේ, බොරළු ටික ඉතින් ගමේ පන්සලට තමයි බැර වෙන්නේ.

ඒ මදිවට පෝය දවසට ගමේ පන්සලට වඩා ෆස්ට් වෙන්නේ අලූත් අසපුව. හාමුදුරුවන්ට තියෙන්නේ පුදුම මාධ්‍ය සම්බන්ධතා ටිකක්. අන්න ඒ හින්දම තමයි අංක එකේ අපි ෆස්ට් කියා ගන්නා චැනලූත් පෝය වැඩසටහන් කරන්න අසපුවට ම එන්නේ. එතන ඉඳන් බණ ඇහුවත් සැපයි. බණ පිළිපැදීම කෙසේ වෙතත් පෝය දවසේ බණ සජීවි විකාශයේදී හාමුදුරුවන්ගේ සමීප රූපයත් එක්ක ඊලඟට උපාසක ඇත්තෝ ඇත්තියන්ගේ මධ්‍යම රූපත් එකින් එක පෙන්වනවානේ. අන්න ඊට පස්සේ ඊළඟ පෝය වෙනකං ඒ රූපවාහිනි නාලිකාවේ පෙන්නාපු ඇත්තෝ ඇත්තියෝ තමයි ගමේ ස්ටාර්ස්ලා බවට පත්වෙන්නේ. ඒ කියන්නේ අංක එකේ නාලිකාවේ පෙන්නාපු අංක එකේ ගමේ අංක එකේ භාවනා අසපුවේ හිටපු අංක එකේ පින්වත්තු. හැබැයි ඔය මතකය තියෙන්නේ සුමාන දෙකයි. ඊට පස්සෙ මුළු ගමටම අමතකයි. බලාගෙන ගියාම දැන් පන්සල් අතරත් මාර තරඟයක් තමයි තියෙන්නේ. කොහොම හරි මහන්සිවෙලා ඇති වීරියෙන් දුෂ්කර ක‍්‍රියා කරලා පන්සල අංක එකට ගත්තොත් ඒ කියන්නෙ ටෙම්පල් ෆස්ට් අසපුවක් බවට පත් කරගත්තොත් වැඩේ ගොඩ. හරියට හතරවරිගයක් නිවන් ගියා වගේ. අන්න එදාට බුදුන් වැඩිය තැනකටත් වඩා මහා සෙනගක් පන්සලට ගෙන්න ගන්න පුළුවන් වෙයි. ඒ විතරක් නෙවෙයි අසපුවේ හාමුදුරුවෝ බණට වඩින්නෙත් අලූත්ම අලූත් හයිබි‍්‍රඩි කාර් එකෙන්. ධර්ම ශාලාව ළඟටම කාර් එක වඩිනවා. බණ ඉවරවුන ගමන්ම අපේ හාමුදුරුවෝ ඉක්මන් ගමනින් සක්මන්කොට මෝටර් රථයට සැපත් වෙනවා. සංඝාවාසය ඇත්තේ පයින් යන දුරකින් වුනත් මෙහෙම කරන්නේ ඩිමාන්ඞ් එක වැඩි කරගන්න. උපාසක ඇත්තෝ ඇත්තියෝ පොරකනවා හාමුදුරුවන්ට වඳින්න. හරියට ලෝකේ දකින්න ලැබෙන අන්තිම හාමුදුරුවො වැඩම කරලා අන්තිම බණ කියලා ආපසු වැඩම කරන්න හදනවා වගේ. අනේ අපරාදේ කියන්න බෑ ජපානයෙන් ආනයනය කරාපු, වරායෙන් ටැක්ස් ගහපු, සේල් එකේ මාස ගණන් අව්වේ වේලූණු අලූත්ම අලූත් හයිබි‍්‍රඞ් එකේ ටයර්වලටත් උපාසක ඇත්තෝ ඇත්තියෝ මඩ ගාගෙන වඳිනවා. ටයර් එකේ ඉන්න මිචලින් අප්පු පස්ස හරවාගෙන හිනාවෙනවා. මොනවා කරන්නද රට යන අත. ඔක්කොම කරන්නේ රැල්ලට ගිහිල්ලා එක දාගන්න එක.

අමර සමර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අවුරුදු දහස් ගණනක් තිස්සේ ගොඩනැගුණු මිථ්‍යා ලෝකය පසු ගිය අවුරුදු තුන් හාරසීයක කාලය තුළ විද්‍යාවේ හේතුවෙන් ලෝකය පුරා බිඳ වැටෙමින් පවතිද්දී, ලංකාවේ ජීවත් වන අප තවමත් මිථ්‍යාවම කරතියාගෙන යාම අවාසනාවකි. කිසි වෛද්‍ය සහතිකයන් නැති පුද්ගලයෙකු රටේ විධායක ජනාධිපතිවරයාගේ නිල වෛද්‍යවරයා බවට පත් කරගෙන තිබීමෙන්, මේ ආදර්ශය ඉහළම තැනින් පටන්ගෙන තිබේ. බටහිර විද්‍යාව ප‍්‍රතික්ෂේප කරන සහ කිසි විද්‍යාඥයෙකුට වඩා නාථ නම් වූ දෙවියෙකු බලගතු යැයි විශ්වාස කරන පුද්ගලයෙකු රටේ ඉහළම ශාස්ත‍්‍රාලය වන විශ්වවිද්‍යාලයක විද්‍යා පීඨාධිපති තනතුරට පත් කරගෙන ඇති ලෝකයේ ඇති එකම රටත් ලංකාවයි.

මේ නිසා ආසනික් සම්බන්ධයෙන් දැන් කාලයක සිට පැනනැගී ඇති ආන්දෝලනය මාධ්‍ය හරහා රටට විදාරණය කෙරුණේ විද්‍යාවට අඩු බරක් ද, දෙවියන්ට වැඩි බරක් ද දෙමිනි. එහෙත් මෙය විද්‍යාව හෝ දෙවියන් පිළිබඳ කාරණයක් පමණක් නොවී, දේශපාලනික විෂයයක් ද වූ හෙයින්, දේව බලයෙන් ගොඩනැගූ ආසනික් ප‍්‍රවාදය දැන් දින කිහිපයකට සිට කණපිට හැරෙන්නට පටන්ගෙන තිබේ.

නලින් ද සිල්වාගේ ආසනික් දෘෂ්ටාන්තය පසු ගිය ඉරිදා වන විට හොඳටම හුළං බැස්සේය. ඔහු බොහෝ කලකට පසු, සාධාරණ බුද්ධියෙන් කතා කරන බුද්ධිමතෙකුගේ තත්ත්වයට, එදා පත්ව තිබුණි. ගිය ඉරිදා දිවයින පුවත්පතේ ඔහු මෙසේ ලියයි: "ආසනික් සම්බන්ධයෙන් අප කියා සිටින්නේ, ආසනික් තිබූ පමණින් වකුගඩු රෝගය නොවැළඳෙන බවය." මොන තරම් දැනුම් තේරුම් ඇති කතාවක් ද? එහෙත්, මේ අර්ථය මෙසේ පැහැදිළි අවධාරණයෙන් දනවන එකම වාක්‍යයක්වත් මේ දිනයට කලින් පළ වූ ඔහුගේ කිසි ලිපියක අපට හමු නොවේ. කෙසේ වෙතත්, ඔහුගේ මේ හැව ඇරීම, මොන විදිහකින්වත්, බුද්ධිමය අවංක භාවයක් නිසා ඇති වූ වෙනසක් වශයෙන් කෙනෙකු භාරගත යුතු නැත. බලය නැමති සාධකය තමා ඉදිරියේ ප‍්‍රචණ්ඩ ආකාරයෙන් නැගී සිටින විට දණ නොනමා හෙම්ලොක් වස පානය කළ සොක‍්‍රටීස් වැනි බුද්ධිමත්තු සිටියහ. එසේම, බලයේ අභියෝගය ඉදිරියේ විද්‍යාත්මක සත්‍යයන් පවා ඉල්ලා අස්කර ගත් ගැලීලියෝ වැනි බුද්ධිමත්තු ද සිටියහ. නලින් ද සිල්වා මේ දෙවර්ගයටම අයත් නැත. ඉහත සඳහන් දෙන්නාම, අදාළ කාරණය පිළිබඳ ‘සත්‍යය’ තිබෙන්නේ තමන් සන්තකයේ බව දැන සිටියහ. එහෙත් වෙනත් සෑම කරුණක දී මෙන්ම, ආසකින් විෂයයේදීත් තමා සතුව ඇත්තේ ‘සත්‍යය’ ද යන්න ගැන ඉඳුරා සහතිකයක් නලින් ද සිල්වාට තිබුණේ නැත. ගුත්තිල පඩිතුමා ගුලි තුනක් අහසට වීසි කළා සේ, ‘සම්‍යක් දෙවිවරු’ පවා තමාගේ සහායට කැඳවීමට ඔහුට අවශ්‍ය කෙළේ එබැවිනි.

ඊයේ පැවසූ විෂයයට අදාළ ඉඳුරා වෙනස් මතයක් වෙනුවෙන් අද පෙනී සිටීමට එවැනි අයවළුන්ට අපහසු නැත. "ආසනික් තිබූ පමණින් වකුගඩු රෝගය නොවැළඳෙන බව" මේ මස 10 වැනි දා ‘ඉරිදා දිවයිනට’ ලියන මොහු, ගිය මස 19 වැනි දා ‘ඉරිදා දිවයිනට’ ලීවේ මෙසේය: "රජරට නිධන්ගත වකුගඩු රෝගයට ප‍්‍රධාන හේතුව ආසනික් බවට සියයට 99 ක්ම සහතික බවත්, කෘමිනාශක සහ කෘෂි රසායන බොහොමයක (දැනට අප පරීක්ෂා කර ඇති සියල්ලෙහි) ආසනික් අඩංගු බවත්, රජරට නිපදවන සහල්වල ද ආසනික් අඩංගු බවත්, කැළණිය විශ්ව විද්‍යාලයට සම්බන්ධ රජරට නිධන්ගත වකුගඩු රෝගය පිළිබඳ ගවේෂණය කරන කණ්ඩායම (ඔහුගේ කණ්ඩායම) ප‍්‍රකාශ කර දැන් සති කිහිපයක්ම ගතවී ඇත."

19 වැනි දා මෙසේ ලියූ ඔහු, හාල්වල ආසනික් නැති බව හෝ, ඇතත් එය මනුෂ්‍යයාගේ සෞඛ්‍යයට හානිදායක මට්ටමකින් නැති බව සති කිහිපයක් ඇවෑමෙන් පිළිගත්තේය. "රජරට වකුගඩු රෝගයට හේතුව, ආසනික් අඩංගු බොන වතුර මිස, කන බත් නොවේ. සහල්වල ආසනික් ඇතැ යි යන්න අවධාරණය කෙරුණේ, මෙරටට පලිබෝධ නාශක ආනයනය කරන ආයතන සහ එසේ ආනයනය කිරීමට අවසර දුන් නිලධාරීන් විසිනි." ඒ ආකාරයෙන් ආසනික් කතාවෙන් හාල් ඇටේ නිදහස් කළ ඔහු, දැන් වකුගඩු රෝගයත් ආසනික්වලින් නිදහස් කරයි. ඔහුගේ පෑනෙන් තව ලියැවීමට ඉතිරිව ඇත්තේ එක කාරණයක් පමණි. එනම්, ලංකාවට ගෙන්වන ලද පොහොර සහ පලිබෝධනාශක රසායනික ද්‍රව්‍යවල ආසනික් සක‍්‍රීය මට්ටමකින් නැති බවයි. ඒ සඳහා තව සති ගණනක් හෝ මාස ගණනක් ගත වීමට ඉඩ තිබේ.

වකුගඩු රෝගය සහ ආසනික් මිශ‍්‍ර ජලය, බහුජාතික සමාගම්වල පොහොර සහ සහල්වල ආසනික් අඩංගුව ආදී ඉහත සඳහන් දේශපාලන ප‍්‍රවාදයන් ඔවුන් ගෙන ආවේ ජාතික චින්තනය ඔසවා තැබීමට වුවත්, එය කෙලින්ම වැදුනේ පාලකයන්ගේ දෛනික දේශපාලනයටයි. ඉතිං, මොවුන් අමතා තරවටු කිරීමට ජනාධිපතිවරයාට සිදු විය. නාථ දෙවියෙකුගේ බල පරාක‍්‍රමයට වඩා විධායක ජනාධිපතිවරයෙකුගේ තරවටුව බලසම්පන්න ය. භයානක ය. නලින් ද සිල්වාගේ වර්තමාන ‘සංයමය’ (හෝ හීලෑවීම) එහි ප‍්‍රතිඵලයකි.

ඔහු නැති දවසක ඔහුගේ ලෝගුව හැඳ ගැනීමට ආශා කරන එක ගෝලයෙක් මේ දිනවල ගුරාටත් වඩා සැරෙන් මොරදෙයි. මොහු වෛද්‍යවරයෙකි. සිංහල ආයුර්වේද ක‍්‍රමයට නොව, නලින් ද සිල්වාගේ වචනයෙන් නම් ‘ඊනියා’ බටහිර ක‍්‍රමයට ය. වකුගඩු රෝගය සම්බන්ධයෙන් ඔහු අළුත්ම ‘සත්‍යයක්’ දැන් සොයාගෙන තිබේ. මෙය, ඉහත සඳහන් ප‍්‍රශ්නයටත් දිය හැකි හොඳ පිළිතුරකි. එනම්, පාලකයන් උරන කර ගන්නේ නැතිව, දේශපේ‍්‍රමීව ගෙන ගිය හැකි ප‍්‍රවාදයකි. ආසනික් පිළිබඳ මේ වෛද්‍යවරයාගේ අළුත්ම න්‍යාය වන්නේ, වකුගඩු රෝගය සහ ආසනික් සම්බන්ධතාව පසුපස එල්. ටී. ටී. ඊ. කුමන්ත‍්‍රණයක් ඇති බවයි.

ඔහු එය මෙසේ පහදයි: "මේ වකුගඩු රෝගය, ජෛව ත‍්‍රස්තවාදයක ප‍්‍රතිඵලයක් විය හැකි බවට අළුත් අදහසක් මතුව තිබේ. ජෛව ත‍්‍රස්තවාදයේ සාමාන්‍ය අරුත වන්නේ, ව්‍යාධිජනක ඓන්ද්‍රිකයන් හෝ කෘෂිකාර්මික වසංගත වැනි ජෛවකාරක යොදාගෙන ත‍්‍රස්තවාදී අරමුණු ඉටු කර ගැනීමයි. එවැනි ශක්‍යතාවක් ඇති බව, මේ රෝගය වැඩියෙන් පැතිරෙන්නේ, අර කී දෙමළ නිජබිම් ආසන්නයේ පිහිටි සිංහල බෞද්ධ ප‍්‍රදේශවල වීම සැළකිල්ලට ගත් කල, අපට පෙනී යයි.... වීර සිංහල බෞද්ධ ගැමියන්ව එම පළාත්වලින් පන්නා දැමීමට උන් (දෙමළ ජාතිවාදීන්) අසමත් වූ නිසා දැන් තමන්ගේ උපාය මාර්ගය උන් වෙනස් කර තිබෙනවා විය හැකිය. දෙමළ ජාතිවාදයේ නියෝජිතයන් හෝ අනුග‍්‍රාහකයන්, විද්‍යාගාරවල නිපදවන ලද නෙෆ්රොටොක්සික් සාරය හෝ එම සාරය නිපදවන ඓන්ද්‍රීය වස්තූන් ඒ සඳහා (වකුගඩු රෝගය පැතිරවීම සඳහා යොදා ගන්නවා විය හැකිය."

දැන්, පාලකයා සහ පාලකයාගේ දේශපාලනය වකුගඩු රෝගයේ සමස්ත වගකීමෙන් නිදහස් ය. ආසනික් අඩංගු පොහොර සහ කෘෂි රසායන වර්ග මෙරටට ආනයනය කිරීමේ වරදට විත්තිකරුවෙකු වුණා සේ මේ ව්‍යාධිය සම්බන්ධයෙන් පාලකයන්ට දෝෂාරෝපණය කිරීමට කෙනෙකුට තව දුරටත් හැකි වන්නේ නැත. මෙය ජෛව ත‍්‍රස්තවාදයක ප‍්‍රතිඵලයක් විය හැකි නිසා, අනිත් අතට, අළුත් සටන් පෙරමුණක් ද ගොඩනැගිය යුතුව තිබේ. දේශපේ‍්‍රමය තවත් වටයකින් තිරිහන් කළ යුතුව තිබේ. ආයුධ සන්නද්ධ ත‍්‍රස්තවාදියාට වඩා අදෘෂ්‍යමාන ජෛව ත‍්‍රස්තවාදියා භයානක ය. දෙමළාට එරෙහි යුද්ධය තවම ඉවර නැත.

මේ වෛද්‍යවරයා, බහුජාතික සමාගම්වල පොහොර මාර්ගයෙන් සහල්වලට සහ ජලයට ආසනික් මිශ‍්‍ර වී ඇති බවත්, රජරට වකුගඩු රෝගය එහි ප‍්‍රතිඵලයක් බවත්, ගිය සතිය වන තෙක් මැතිරූ ඉහත කී පිරිසේ එක් සාමාජිකයෙකි. මේ සමස්ත ක‍්‍රියාදාමය සහ චින්තනය පසුපස ඇත්තේ අවිද්‍යාව සහ වෛරය යි. අනිකාට එරෙහි වෛරය, (දෙමළාට සහ බටහිරයාට එරෙහි වෛරය* නඩත්තු කරගත හැක්කේ, වෛරයට අවිද්‍යාව සහ වංචාව එකතු කිරීමෙනි. එක බොරුවක් හෙළිදරව් වන විට තව බොරුවක් නිර්මාණය කර ගැනීමට සිදු වන්නේ එබැවිනි.

නාථ දෙවියන්ගේ පැවැත්ම ප‍්‍රශ්න කරන්නන්ට දමා ගැසීම සඳහා නලින් ද සිල්වා අපූරු ප‍්‍රතිතර්කයක් සොයාගෙන තිබේ. එනම්, දෘෂ්‍යමානය පමණක් සත්‍යයක් වශයෙන් ගන්නා තැනැත්තා ගුරුත්වාකර්ෂණය සත්‍යයක් වශයෙන් සළකන්නේ කෙසේද යන්න යි. දෙවියන් ප‍්‍රතික්ෂේප කරන අප දෘෂ්‍යමානය පමණක් සත්‍යය යැයි කියන්නේ නැත. මට සීතලක් හෝ උණුසුමක් දැනෙන විට එම සීතල හෝ උණුසුම මගේ ඇසට පෙනෙන්නේ නැත. එහෙත් සීතල හෝ උණුසුම යන පදාර්ථය සත්‍යයක් වශයෙන් භාර ගැනීමට එම ස්වභාවය මගේ ඇසට ගෝචර නොවීම මට බාධාවක් නොවේ. ඒ නිසා ඇසට පෙනෙන දෙය (දෘෂ්‍යමානය පමණක් සත්‍යය වශයෙන් භාරගත යුතු යැයි අපි නොකියමු. එහෙත්, ඇසට නොපෙනෙන දෙයත් (අදෘෂ්‍යමානය සහ දෙවියන්) සත්‍යයක් වශයෙන් භාර ගැනීමට නම්, එසේ නොපෙනෙන දෙය පවතින බව සහ එම පැවැත්මෙන් මට බලපෑමක් ඇති බව වෙනත් ආකාරයකින් හෝ මට දැනගත හැකි විය යුතුය. උදාහරණයක් වශයෙන් නලින් ද සිල්වාගේම තර්කය ගතහොත්, ගුරුත්වාකර්ෂණය මගේ ඇසට නොපෙනෙද්දී එය සත්‍යයක් වශයෙන් මා භාරගන්නේ කෙසේ ද? උත්තරය ඉතා සරළ ය. මා උඩ පැන්නොත් බිම වැටෙන බැවිනි. යම් හෙයකින් මා උඩ පැන්නොත් අවකාශයේ රැඳී සිටී නම් මම ගුරුත්වාකර්ෂණය බැහැර කරමි. දෘෂ්‍යමානය හෝ අදෘෂ්‍යමානයට මෙහි අදාළත්වයක් නැත.

ඊළඟට, දෘෂ්‍යමානය යන්නට ‘ඇසට පෙනීම’ යන පටු අර්ථය පැවරුවේ කවුද? දැකීම, ඇස් දෙකෙන් මෙන්ම බුද්ධියෙන් ද කරන අභ්‍යාසයකි. ඇසට නොපෙනෙන දෙයක් වුවත්, බුද්ධියෙන් ග‍්‍රහණය කරගත හැකි නම්, සාරාර්ථ තර්කයට ගෝචර වෙයි නම්, එය ‘දැක්මක්’ වන්නේය. එම බුද්ධිමය දැක්මත් දෘෂ්‍යමානයකි. ගුරුත්වාකර්ෂණය මගේ ඇසට නොපෙනුණත්, උඩක සිට අතහරින දෙයක් බිමට වැටීම නැමති ‘දෘෂ්‍යමානය’, ගුරුත්වාකර්ෂණයේ සත්‍යතාව ඔප්පු කරයි. අනිත් අතට, විනාඩියට සැතපුම් 126,000 ක වේගයෙන් අහසට පියාසර කළොත්, ගුරුත්වාකර්ෂණයෙන් කැඞී, බිම නොවැටී සිටීමට යම් වස්තුවකට හැකියාව ඇති බව, අනිත් පැත්තෙන් එම සත්‍යයම තව දුරටත් ඔප්පු කර පෙන්වයි. එය තවත් ‘දෘෂ්‍යමානයකි.’

දැන්, දෙවියන් දෘෂ්‍යමාන නැතැ යි මම කියමි. එහෙත්, මා දෙවියන් ප‍්‍රතික්ෂේප කරන්නේ එවැන්නෙකු දෘෂ්‍යමාන නොවන නිසා හෙවත් මගේ දෑසට නොපෙනෙන නිසා නොව, මගේ බුද්ධියට ‘නොපෙනෙන’ නිසාය. උදාහරණයක් වශයෙන්, නලින් ද සිල්වාගේ තිස්තුන් කෝටියක් දෙවිවරුන් සේම, ඔහු අවඥාවෙන් බැහැර කරන වෙනත් ආගමික දෙවිවරුන් සම්බන්ධයෙනුත් මට ඇත්තේ එකම විශ්වාසයකි. එනම්, ඒ සියළු දෙවිවරු නලින් සිල්වා වැනි මනුෂ්‍යයන් විසින් නිර්මාණය කරගත් මනෝ ප‍්‍රපංචයන් බවයි. එක දේව කොට්ඨාශයක් (නාථ) සම්‍යක් දෘෂ්ටික වන්නේත්, තවත් දේව කොට්ඨාශයක් (අල්ලා හෝ යුදෙව්=ක‍්‍රිස්තියානි දෙවියන්) නලින් ද සිල්වාට අසම්‍යක් දෘෂ්ටික වන්නේත් එබැවිනි.

(අවරදිග ආවර්ජනා. රාවය. 2010.07.18)

ගාමිණී වියන්ගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මා පියඹ නෙත් සඟළ නොවේ දිවයුරුට සම
පබළ රත තරම් නැත ඇගේ ලවනතෙහි රත‍...
ඉදින් හිම සුදු වුවත් ඈ ළමැද පඬු පැහැය..,
මුහුලස ද තත් වැනිය කළු පැහැති සිරස මත
දැක ඇත ද රෝස මල් පැහැය යුතු රතු ද සුදු
එවන් වූ රෝස මල් නොමැති ඈ දෙ‍කොපුල...

ඇතද නෙක විලවුන් ගඳින් කුල්මත් කරන
මා පියඹ සුසුම රැදි දුර්සුවඳ පරදවන...
අසන්නට ලොබ කරමි ඈ වදන් මම තවම
ඇති නමුත් මියැසි බෝ දෙසවනට සුව ගේන...
දැක නොමැත කිසිදිනක සක්මනක් දෙවඟනක
දකිමි මා පියඹ පා නගා බිම යන දසුන...
එහෙත් මා සිතමි මගෙ පෙම දුලබ පෙමක් ලෙද
ඈ සිතන පරිද්දෙන් සදොස් සැසදුමක් මෙන....

[සොනට් 130]

විලියම් ශේක්ස්පියර්
පරිවර්තනය - දමිත් වැලිකල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දුම්රියක් නික්ම ගිය පසු පාළු වූ දුම්රිය වේදිකාවකි... එහි අසුනක් මත යම් පරතරයක් ඇතිව ඉඳගෙන සිටින කුඩා පිරිමි ළමයෙකු සහ පොතක් කියවන තරුණයෙකි. කැමරාව එල්ල වන කෝණය නිසා මේ දෙදෙනා දුම්රිය වේදිකාවේ කුළුණකින් දෙපසට වෙන්ව ඇති සෙයක් පෙනේ. පොත කියවමින් සිටින තරුණයා එක්වරම සිනාසෙයි. අන්ධ දරුවා ඒ පිළිබඳව විමසයි. කතා බහට අනුව තරුණයා සිනාසී ඇත්තේ පොතේ ඇති යම් හාස්‍යජනක කොටසකට ය. දරුවා ද ප්‍රීතියෙන් සිනාසෙන්නට පටන් ගන්නා මුත් එය මැකී ක්‍රමයෙන් මුහුණ වේදනාබර වෙනු පෙනේ. අමාරුවෙන් වචන ගැට ගසා ගන්නා ඔහු තරුණයා ‍ගෙන් මෙසේ අසයි.

"කියවලා ඉවරවෙලා මටත් දෙනව ද?"

අන්ධ දරුවෙකු කරන මේ ඉල්ලීමෙන් විස්මපත් වන මුත් ආචාරශීලී තරුණයා එය සඟවා ගෙන ප්‍රතිපැනයක් නගයි.

"පොත ද?"

"නෑ..
............. ඇස් දෙක"


මේ ලංකා අක්ෂිදාන සංගමයේ අනුග්‍රහයෙන් ඇස් දන් දීම පිණිස ජනතාව ට මතක් කරනු පිණිස "Pass it on when you're done with it" යනුවෙන් Leo Burnet ආයතනයේ සුභාෂ් පින්නපොල විසින් නිර්මාණය කරන ලද PSA (Public Service Advertizing) ගනයට වැටෙන රූපවාහිනී දැන්වීමකි. වෙළඳ දැන්වීමකින් ඇස් ඇති මිනිස් මනසක් සියුම්ව කම්පනය කොට අප තුළ ඉපැද්දවිය හැකි හැඟීම් සම්භාරය මෙය නරඹා වටහා ගැනීම කියවන ඔබට භාර කරමි.



"වෙළඳ දැන්වීම් යනු මට හමු වූ සියලු සාහිත්‍යයන් අතර අමාරු ම වඩාත් පුදුම එළවන සාහිත්‍යාංගයයි. එහි ප්‍රවීණයෙකු වීම සියල්ලටම වඩා අපහසුය. අති සාර්ථක සොනාටාවන් දහයක් ලිවීම තුළින් ඔබට අවම විවේචන කිහිපයකින් ඒ කාර්යය නිම කළ හැක. එහෙත් වඩා අපහසු දෙය වන්නේ විවේචනයේ නොයෙදෙන්නා වූ දහස් ගණනක් පාරිභෝගිකයින් උදෙසා සාර්ථක වූ එක් වෙළඳ දැන්වීමක් නිර්මාණය කිරීමයි." - ඕඩස් හක්ස්ලි (1894-1963)

සුලභ වෙළඳ දැන්වීම් යනු ඔබ දැන හෝ නොදැන ඔබේ ජීවිතය පුරා ගලා යන ඔබ තුළ අවශ්‍යතා නිර්මාණය කරන පරිභෝජනවාදයේ දූතයා ය. බිරිඳ සැමියා දෙමව්පියන් කෙසේ වෙතත් එය ඒ කාටත් වඩා ඔබට අවශ්‍ය දෙය තීරණය කර දෙන ප්‍රධාන සාධකයක් වී බොහෝ කල් ය. මාධ්‍ය වසා පැතිර ඇති එහි සෙවණැල්ල තාප්ප, බිත්ති පසු කොට අහස ද වසා ගෙන ජංගම දුරකථනය සහ පෞද්ගලික ඊ මේලය හරහා ගැඹුරුම මිනිස් සබඳතා දක්වා රිංගා තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල පටන් මිනිසා හා බැඳුණු සියළු ආකාර නිෂ්පාදන ක්‍රියාවලින් තුළ එහි භූමිකාව තිරය ඉදිරිපිට හෝ තිරය පසු පස රඟ දැක්වෙයි. ඔබේ සින්ක් එක මත තැබිය යුත්තේ සබන් කෑල්ලක් නොව හෑන්ඩ් වොෂ් එකක් බව, ඔබේ මුහුණ සේම සිරුරේ පැහැය ද සුදු විය යුතු බව, ලස්සන වීම සඳහා ඔබ භාවනා කළ යුතු බව, මුළු ලොව ම ඔබේ ඇඟිලි තුඩු අග තිබිය යුතු බව- ඒ සඳහා ඔබ සතුව බ්ලැක් බෙරි එකක් තිබිය යුතු බව , ඔබට ඔස්ටියෝපොරෝසීස් හැදෙන්න ඔන්න මෙන්න බව; ඒ සඳහා අසවල් පිටි වර්ගය උදේ හවා පානය කළ යුතු බව, ඔබ අසවලාට ඡන්දය දිය යුතු බව, ඕනෑම තැනකින් රුපියල් දෙදහසට මිළ දී ගත හැකි ඩෙනිම් කලිසමේ බ්‍රෑන්ඩ් නේම් එක වෙනුවෙන් රුපියල් හත් දහසක් ගෙවා අසවල් තැනින් ම මිළට ගත යුතු බව, කෑම කා අවසන අසවල් බීම වර්ගය නොබී වතුර බිව්වොත් ඔබේ දිව ගිලෙනු ඇති බව... මේ සියල්ල ඔබට ඒත්තු ගන්වන්නේ වෙළඳ දැන්වීම් ය.


වාණිජ්‍යමය හේතු මත බිහි වුව ද වෙළඳ දැන්වීම් ‍කරණය කලාවක් බවට වර්ධනය වන්නේ පාරිභෝගික මනස පොළඹවාලීම යන සංකීර්ණ මානසික ක්‍රියාවලිය නිසා පැන නගින අවශ්‍යතාවය තුළිනි. "වෙළඳ දැන්වීම් යනු තමන්ට අනවශ්‍ය දෙයක් මිළ දී ගැනීම සඳහා මිනිසුන් පොළඹවන කලාවයි." යනුවෙන් විල් රොජර්ස් සාරාංශ කරන්නේ මේ සත්‍යයයි.

වෙළඳ දැන්වීම් කලාවේ ඉතිහාසය

මිනිසුන් එකිනෙකා සමග භාණ්ඩ හා සේවා හුවමාරු කිරීම අරඹන මොහොතේදී ම දැන්වීම්කරණය ද ලොවට බිහිවිය. ඒ වචන හෙවත් කථනය හරහාය. ලෝකයේ බොහෝ දේවල් මෙන් ම විධිමත් වෙළඳ දැන්වීමකරණයට ද සාක්ෂි ලැබෙන්නේ පුරාණ ග්‍රීසියෙන් හා රෝමයෙනි. පැපිරස් පත් මත ලියූ වෙළඳ පණිවුඩ සහ දේශපාලනික ව්‍යාපාරවල දැන්වීම් වලට සාක්ෂි පොම්පෙයි හා පු‍රාණ අරාබි කැණීම් වලින් හමු වී තිබේ. අදටත් දක්නට ලැබෙන බිත්ති වල සහ ගල් වල පාට යොදා කළ දැන්වීම්කරණය අප්‍රිකාවේ ආසියාවේ සහ දකුණු ‍අමෙරිකාවේ සුලබ දසුනක් විය. Rock Painting ලෙස හැඳින්වෙන මෙහි ඉතිහාසය ක්‍රි. පු. 4000 දක්වා දිව යයි.

මුල් කාලයේ දී ප්‍රංශයේ තියෝ‍ෆ්‍රෙස්ට් රෙනෝල්ඩ් ඉතාම ප්‍රාථමික මට්ටමේ එළිමහන් දැන්වීම් පුවරුවක් සුපිරි වෙළඳ සැලක් සඳහා නිර්මාණය කළ අතර 1631 දී "ල ගැසට්" පුවත් පත තුළින් ප්‍රථම වරට පෞද්ගලික දැන්වීම් ප්‍රසිද්ධ කිරීමේ අවස්ථාව බිහිවිය. 1704 දී බොස්ටන් ප්‍රවෘත්ති පත්‍රිකාවෙහි ප්‍රථම පුවත් පත් දැන්වීම පළ වූයේ ය.


1890 දී කරන ලද කොකා කෝලා දැන්වීමක්


1914 පළමු ලෝක යුද්ධයට සෙබළුන් බඳවා ගැනීම සඳහා යුරෝපය වෙන කිසිදාක නොවූ විරූ තරම් පෝස්ටර් යොදා ගත් අතර බ්‍රිතාන්‍යය තවත් ඉදිරියට යමින් යුද්ධය සාධාරණීකරණය කිරීමට මෙන් ම යුද්ධය අරභයා වූ සිය න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කර ගැනීමට ද මෙම ක්‍රමය උපයෝගී කර ගති.


1920 ගණන් වන විට පිහිටුවන ගුවන් විදුලි සේවාවන්ට පිවිසෙන වෙළඳ දැන්විම් කරණය අනුග්‍රාහකයින් විසින් වැඩ සටහන් දුවවන සංස්කෘතියකට මුල පුරන අතර 1940 අග වන විට රුපවාහිනිය ද ආක්‍රමණය කරනු දැකිය හැක. 1980 අග භාගයේ දී හා 1990 මුල කරළියට පැමිණි කේබල් TV සංගීත වීඩියෝ සංකල්පය ද පෙරටු කර ගනිමින් වෙළඳ දැන්වීම්කරණයේ නිම් වළලු තවත් පුළුල් කළේ QVC, Home Shopping Network සහ ShopTV Canada වැනි වෙළඳ දැන්වීම් සඳහා ම වෙන් වූ රූපවාහිනී නාළිකා වල ආගමනයට මග හෙළි කරමිනි. ’90 ගණන් වලදී එදා මෙදා තුර මානව සන්නිවේදනයේ කුඨප්‍රාප්තිය වන අන්තර්ජාලයේ සිදුවන පිබිදීමත් සමග වෙළඳ දැන්වීම් ද එහි පැවැත්මේ මූලිකාංගයක් ලෙස සයිබර් අවකාශයට එක් විය.

අද වන විට වෙළඳ දැන්වීම් උදෙසා වෙන්වූ සුපිරි අන්තර්ජාතික සම්මාන උළෙලවල් බිහි වී තිබේ. කෑන්ස්, නිව්යෝක් ෆෙස්ටිවල්ස්, ඇඩ් ෆෙස්ට් එබඳු උළෙලවල් කිහිපයකි. සති පතා මාස් පතා අවුරුදු පතා හොඳම වෙළඳ දැන්වීම් තෝරන adsoftheworld.com, bestadsontv.com , ihaveanidea.org වැනි විවිධ වෙබ් අඩවි වෙළඳ දැන්වීම් ආයතන අතර ජනප්‍රිය වෙබ් අඩවි ය.

වෙළඳ දැන්වීම් ආයතන වල ආරම්භය

වෙළඳ දැන්වීම් වල අධිවේගී පරිණාමය සඳහා බලපෑ මූලික සාධකයක් වන්නේ වෙළඳ දැන්වීම් ආයතන යි. ලොව ප්‍රථම වෙළඳ දැන්විම් ආයතනය ලෙස සටහන් වන්නේ 1786 පිහිටුවන ලද විලියම් ටේලර් වන අතර දෙවැන්න 1800 දී ලන්ඩනයේ ෆ්ලීට් වීදියේ ඇරඹුණු ජේම්ස් ජෙම් වයිට් ය.

1864 දී විලියම් ජේම්ස් කාල්ටන් නමැත්තා ආගමික සඟරා වල වෙළඳ දැන්වීම් පළ කිරිම සඳහා ඉඩ ලබා ගෙන ආයතනයක් පිහිට වූ අතර 1868 දී ජේම්ස් වෝල්ටර් තොම්සන් අලෙවි නිළධාරියෙකු ලෙස ඔහුට සම්බන්ධ විය. 1877 දී ජේම්ස් වෝල්ටර් තොම්සන් තමන් සේවය කළ ආයතනය මිළ දී ගනිමින් එය සිය නමින් නම් කොට අද වන විට වසර 137 ක ඉතිහාසයක් හිමි JWT ආයතනය ඇරඹුවේය. දැන්වීම් ආයතනයක Creative Department එකක් මුල්වරට ඇති කළේ මේ තොම්සන් ය.

1948 දී ඩේවිඩ් ඔගිල්වි (David Ogilvy) විසින් "ඔගිල්වි සහ මේතර්" (Ogilvy & Mather) මැන් හැට්න් හි දී ඇරඹු අතර 1960 ගණන් වන විට ඔගිල්වි යනු ලොව පුරා ව්‍යාප්ත වූ ආයතනයක් බවට පත් වී තිබිණ. එහි සාර්ථකත්වයේ ප්‍රධාන රහස වූයේ ඔවුන් යොදා ගත් වෙළඳ නාම ගොඩ නැංවීමේ ක්‍රමෝපායයි. ඇමරිකන් එක්ස්ප්‍රස්, බීපී, ෆෝඩ්, බාබි, මැක්ස්වෙල් හවුස්, අයි බී එම්, කොඩැක්, යුනිලිවර් නිෂ්පාදන, පොන්ඩ්ස් සහ ඩව් වැනි නිෂ්පාදන ඔවුන් එසේ ගොඩ නැගූ වෙළඳ නාම කිහිපයකි. දැන්වීම් කරණයේ සාර්ථකත්වය උදෙසා නිෂ්පාදනයේ තොරතුරු යොදා ගත යුතුය යන ක්‍රමය ජනප්‍රිය කොට ඉස්මතු කළ පුද්ගලයා ඔගිල්වි ය. 1989 දී ඔගිල්වි ව්‍යාපාරය WPP ව්‍යාපාර ජාලය විසින් මිළ දී ගන්නා ලදි.

අමෙරිකාවේ වෙළඳ දැන්වීම් ආයතන සංගමය නිර්වචනය කරන පරිදි වෙළඳ දැන්වීම් ආයතනයක් යනු භාණ්ඩ හා සේවා අලෙවි කරන්නන් වෙනුවෙන් පාරිභෝගිකයින් සෙවීම සඳහා වෙළඳ දැන්වීම් නිර්මාණය කොට මාධ්‍යගත කරන්නාවූ නිර්මාණාත්මක සහ ව්‍යාපාරික පුද්ගලයිනගෙන් සමන්විත ස්වාධීන ව්‍යාපාර ආයතනයක් ලෙස යි. ලොව වඩාත් ප්‍රචලිත තවත් වෙළඳ දැන්වීම් ආයතන කිහිපයක් ලෙස BBH (Bartle, Bogle & Hegarty) , Crispin Porter + Bogusky , Wieden + Kennedy , Leo Burnett , The Martin Agency , N. W. Ayer & Son , Saatchi and Saatchi , TBWA යනාදිය හැඳින්විය හැක.

සියල්ල විකිණේ...

"පුවත් පතකට කතු වැකි හතලිහකට වඩා එක් වෙළඳ දැන්වීමක් වටියි."
- විල් රොජර්ස්- (1879-1935)

ඔබ ඉතා වුවමනාවෙන් බලන ‍ටෙලි නාට්‍යය හෝ ක්‍රිකට් තරඟය නැරඹිය යුත්තේ කෙසේද යන්න තීරණය කරන්නේ අනුග්‍රාහක දැන්වීම යි. පුවත්පතක පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ ද දැන්වීම් මිස අනෙකක් නොවේ. ඔබ කවරක් නැරඹුව ද ඔබට ඒ සඳහා හිමි ඔබ මිළ දී ගත් රූපවාහිනී තිරයෙන් තුනෙන් දෙකක් පමණි. ඔබ කැමති ම දෙය නැරඹීමේ දී අකමැත්තෙන් වුවද වෙළඳ දැන්වීම් වෙත අවධානය යොමු නොකර බැරි තරමට එය ඔබේ දෑස් ඉදිරිපිට තැබෙයි.

අද වන විට දැන්වීම්කරණයේ ප්‍රධාන සංකල්පය බවට පත්ව තිබෙන්නේ 1960 ගණන් වල දී මහාචාර්ය ජෙරම් මැකාති විසින් ඉදිරිපත් කරන ලද අලෙවිකරණ සංකලනය (Marketing mix) යි. මෙය 4 Ps යනුවෙන් හැඳින්වෙන ප්‍රධාන අංග 4 කින් සමන්විතය.

1st P – Product (මූලික නිෂ්පාදනය)
2nd P – Prize (නිෂ්පාදනයේ මිළ නියම කිරීමේ ක්‍රියාවලිය)
3rd P – Place (පාරිභෝගිකයාට නිෂ්පාදනය ලබා දීමේ මාර්‍ග- බෙදාහැරීම, අලෙවිකරණ ජාලය)
4th P- Promotion (ඉලක්ක වෙළඳපොළ කරා ළඟා වීම හා නිෂ්පාදනය මිළට ගැනීම සඳහා ඔවුන් පෙළඹවීම)

වත්මන් වෙළඳ දැන්වීම්කරණය ප්‍රධාන කොටස් කීපයකට බෙදෙයි. මුද්‍රිත දැන්වීම් (Print Advertising) , එළිමහන් දැන්වීම් (Outdoor Advertising) , ඉලෙක්ට්‍රොනික මාධ්‍ය දැන්වීම්(Broadcast Advertising) , සිනමා /ටෙලිවිෂන් වෘතාන්ත තුළ සඟවා කරන දැන්වීම්(Covert Advertising) , වක්‍ර දැන්වීම්(Surrogate Advertising - එකම වෙළඳ නාමයකින් වෙනත් නිෂ්පාදන ඉදිරිපත් කරමින් ඒ හරහා බියර් හෝ සිගරට් වැනි නිෂ්පාදන පිළිබඳව වක්‍රව සිහිපත් කිරීම) සහ සමාජයේ යහපත සඳහා කරන දැන්වීම් (Public Service Advertising) එහි දී ප්‍රධාන වේ.

මින් බොහෝ සමාජ සේවා දැන්වීම් (Public Service Advertising- PSA) යැපෙන්නේ ආධාර පිණිස ලබා දෙන කාලයෙන් සහ මුදල් වලිනි. මාධ්‍ය බොහෝවිට කරන්නේ සිය නොවිකුණු ගුවන් කාලය පොදු මහජන සේවා දැන්වීම් සඳහා ලබා දීමයි. නමුත් මෙහි ප්‍රතිඵලය වන්නේ ලාභ බඩුවේ හිලක් ඇති බව සනාථ කරමින් යා යුතු ඉලක්ක කණ්ඩායම වෙත පණිවුඩය ළඟා නොවීමයි.

අද වන විට අළුත්ම ක්‍රමවේදයක් වන්නේ ‘ගරිල්ලා මාකටිං’ (guerrilla marketing) ය. පාරිභෝගිකයාට කලින් අනුමාන කළ නොහැකි විධික්‍රම භාවිත කරන මේ ක්‍රමයට ප්‍රසිද්ධ ස්ථානවල වේදිකා තනා ඒවා හරහා පාරිභෝගිකයින් හමුවීම, වෙළඳ නාම වලින් වැසුණු භාණ්ඩ තෑගි ලෙස ලබා දීම (උදා: මෝටර් රථ) සහ දකින්නා සමග අන්තර් ක්‍රියාකාරිත්වයක් /සංවාදයක් ඒ මොහොතේම ඇති කර ගත හැකි ආකාරයේ Interactive Advertizing වැනි දෑ ඇතුළත්ය. මේ වෙද්දී මේ ක්‍රම බොහෝ ආයතන අතර ජනප්‍රිය වෙමින් පවතින්නේ ඒවා පාරිභෝගිකයා අදාළ භාණ්ඩය හෝ අදහස මිළදී ගැනීමට යොමු කරන්නා වූ නව්‍ය වූ ක්‍රමවේද බැවිනි.

උඩුගං බලා පිහිනීම

මේ සියලු වෙළඳ වුවමනාවන් අතර වුව ද මිනිසා ලෝකයේ යහපත වෙනුවෙන් දායකත්වය සපයන අවස්ථා සඳහා උදාහරණ නැතිවා නොවේ. Public service advertising යොදා ගැනෙන්නේ සමාජයක යහපත වෙනුවෙන් එයට බලපාන කරුණු හෝ ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සඳහා නිරන්තරයෙන් කරන දැනුවත් කිරීම් සඳහා ය. ස්වභාවයෙන්ම එය දේශපාලනික දෘෂ්ටියක්, දාර්ශනික සිද්ධාන්තයක්, ආගමික සංකල්පයක් හෝ මානුෂික ආකල්පයක් ප්‍රතිවර්තනය කරයි. බොහෝවිට මේවායින් අවධානය යොමු කෙරෙන්නේ සෞඛ්‍යය, පරිසර සංරක්ෂණය, ආරක්ෂාව වැනි මාතෘකාය. මේවා ජනතා පණිවුඩ ලෙස ද ප්‍රජා සේවා දැනුවත් කිරීම්ලෙස ද හැඳින්වේ. මේ සඳහා රූපවාහිනිය, ගුවන් විදුලිය, මුද්‍රිත මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍යයන් යොදා ගැනේ. අනුග්‍රහය දක්වන්නේ වෙළඳ සංගම්, පොදු මහජන ආයතන, ලාභ නොලබන සංවිධාන හෝ ආගමික කණ්ඩායම් ය

උක්ත අරමුණු වලින් වෙනස් ව මේ ක්‍රමය පටු අරමුණු යොදා ගැනෙන අවස්ථාවන් ද ඇත. යුධ හමුදාවට සෙබළුන් බඳවා ගැනීම සඳහා ලොව පුරා යුධ හමුදාවන් PSA යොදා ගනිමින් කරන දැනුවත් කිරීම් ඊට එක් උදාහරණයක් පමණි.


සමාජ සේවා දැන්වීම් වල මූලාරම්භය එතරම්ම ප්‍රගතිශීලි එකක් නොවන්නේ එහි මූලික අරමුණ ම ලේ තැවරුණු එකක් වන බැවිනි. 1917 ලෝක යුද්ධය ඇරඹීමත් සමග ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් යුද්ධයට මහ ජනතා සහය ලබා ගැනීම සඳහා සුවිසල් මෙහෙවරක් ඉටු කළ "තොරතුරු සන්නිවේදනය" කිරීමේ කමිටුවක් පත් කළේ ය. වෙළඳ දැන්වීම් ලෝකයේ ද සහය ලබා ගනිමින් එම කමිටුව මහා පරිමාණයේ දැන්වීම් ව්‍යාපෘති රැසක් අති සාර්ථක ව ක්‍රියාත්මක කළේ මහජන සේවා වක් ලෙස කරන ලද පළමු වෙළඳ දැන්වීම් ක්‍රියාවලිය ලෙස බෞතීස්ම ලබමිනි.

1944 ඇමරිකා‍වට හඳුන්වා දුන් "ස්මෝකි බෙයාර්" සංකල්පය යහපත් අරමුණක් සාර්ථක වූ අවස්ථාවක් ලෙස සැලකිය හැක. "කැලෑ ගිනි වැලැක්විය හැක්කේ ඔබට පමණි" යන පාඨය ස්මෝකි බෙයාර් හරහා ජනතාවට දීම තුළින් වාර්ෂිකව ඇමරිකාවට අහිමි වූ මිලියන 22 ක් වන කැලෑ අක්කර ප්‍රමාණය මිලියන 8.4 දක්වා අඩු කිරීමට එම දැන්වීම සමත් වී ඇත. සමීක්ෂණ සඳහන් කරන්නේ මිකී මවුස් සහ සැන්ටා ක්ලෝස් තරමට ම ජනප්‍රිය ස්මෝකි බෙයාර් චරිතය 99% ක් අමෙරිකානුවන් විසින් හඳුනා ගන්නා බවයි.


මේ ලෝකයේ නිර්මාණය වී ඇති තවත් එබඳු විශිෂ්ට දැන්වීම් කිහිපයකි.

1. පරිසරය විනාශය
The "Crying Indian" pollution ad


2. Homeless Birds- Direct Mail

3. අධ්‍යාපන අයිතිය
Education for every one


4. ආසන පටි සහ ජීවිත ආරක්ෂාව
‘Embrace Life/Always wear your seat belt’


නිරන්තරයෙන් සිය ආර්ථික මෙන් ම දේශපාලනික අවශ්‍යතා වෙනත් අයුරකින් සපුරා ගැනීමට යෙදවුණ ද මෙබඳු සමහර උත්සාහයන් ගැඹුරු ගිරි හෙල් කරා පහත වැටෙමින් සිටින මානව සංහතියේ මානව ගුණය ක්ෂුද්‍රාකාරයෙන් සනිටුහන් කරන අවස්ථාවන් බවට පත් වන්නේ ඒවා තුළ ඇති ප්‍රබල බව සහ කලාත්මක ගුණය නිසාම ය. එහෙත් එබඳු උත්සාහයන් ඉතා අල්ප ය.

ලෝකය ගම්මානයක් තුළට නොව පෞද්ගලික දුරකථනය තුළ ලඝු වෙද්දී ගෙවෙන සෑම තත්පරයකට ම ලංසුව තියන්නේ පරිභෝජනවාදයේ හැන්ද අතින් රැගත් වෙළඳ දැන්වීමයි. එය සුළඟ මෙන් අදිසිව මිනිස් ජීවිත තුළ ට මුසු වී ඒ ජීවිත හමන අත තීරණය කරයි. නොපෙනෙන සුළ‍‍ඟෙහි සංයුතිය අවබෝධ කර ගැනීමට තරම් නූතන මිනිසා නැණවත් ද?

ආශ්‍රිත වෙබ් අඩවි:

wikipedia.org
4creatus.com
jhu.edu
adage.com
bestadsontv.com
adsoftheworld.com
ihaveanidea.org

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රාජිත දිසානායක නවතම නාට්‍ය නිර්මාණය, බකමූණා වීදි බසියි- අගෝස්තු 4,5,6 සවස 7:00ට ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී.

Freedom Theatre Group ඉදිරිපත් කිරීමක්.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගල්තලාව ම පැළී යන්නට
කුළුගෙඩියෙන් ගහන
ගිනිහමය.
කරුණාවේ හෙවණැල්ල
බිම පුරා එළන්නට
වැඩබිමේ ඇසතු ගස් නැතිය.
ඈත උල්පතය
එක ම ලේ බිදුවක් උනන.

ඇනුම් බැනුම් බෝර පුපුරණ
ගල්වලේ
ගෙදර බුදුන් වැඩහිඳිති
දරුවන්ට බුදුවෙන්ට
උන්වහන්සේ තවමත්
දුෂ්කරක්‍රියා කරති

මැටල් පද්මාසනය මත
තබාගෙන
ගල්තැලුණු නිර්වස්ත්‍ර ශ්‍රී පතුල්
විශාලා පුරවරයට
පිරිත් සජ්ජායනාවක් කරති

රැගෙන
සිහින ගල් කුඩු තැවරුණ පිරිවටය
තුන් වේලට ම
ඩහදියේ ලුණු සයුර පිහදමාගනිති
ලද කහට කෝප්පෙත්
ගෙදරටම
පාත්‍රයෙන් වඩම්මති.

සිල්ලර කාසි පඩිදාට
ගිජ්ජකූටය මුදුනේ සිට
තවමත් දේවදත්තර
ගල් පෙරළයි.
සල්පිල්වල රැක සිට
දුනුවායෝ
මග දිගට හී විදිත්.
දෙවැට දිග තනි ව ම
ගල්ගෙඩි පාවඩ උඩින් වඩින කල
සුරා බී මද කිපුණු
කැලෑ අලියෝ පන්නත්.

ගඳකිළියේ
කැඳ ඉදෙන ලිප ළඟින් වාඩි වී
දර කෝටු එකතු කොට එකින් එක
ජීවිතය ගොඩනගන
බුදුනි.....
බූරු ඇඳේ
නුඹ වැඩහිඳින ඔය මුද්‍රාව
කිසිවෙකුත්
විහාර සිතුවමක
තවමත් අඹා නම් නැත

මේ සැකිලි වචන හැර
නුඹ ගැන ලියන්නට
වෙනත් මහා ගාථාවක්
ජාතක කථාවක්
කිසිවෙකුත්
මට උගන්වා ද නැත !

(සංසාර මාවත - 2003)

සමිත බී. අටුවබැන්දෑල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වර්තමානයේ මතු වී ඇති සරසවි අර්බුදය සමග ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් තවත් පහළට ඇද වැටී ඇති බව පෙනී යයි. අධ්‍යාපනික තත්ත්වය, විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පර්යේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය පිළිබඳව ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්ව විද්‍යාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ. එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රම ක්‍රමයෙන් පහතට ම වැටී තිබේ.

2010 වසරේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස තේරී ඇත්තේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලබා ඇති දළ ලකුණු ප්‍රතිශතය 96.1 කි. බ්‍රිතානයේ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ලකුණු 91.2 ලබා ගනිමින් හය වන ස්ථානයට පත් වී තිබේ. යුරෝපයේ විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය නියෝජනය කරන ස්විට්සර්ලන්තයේ Swiss Federal Institute of Technology Zurich ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 83.4 ලබා 15 වන ස්ථානයට පත් වී ඇත.

ආසියානු විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 21 වන ස්ථානය නියෝජනය කරන University of Hong Kong ය. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 79.2 කි. ටෝකියෝ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 26 වන ස්ථානයයි. ටෝකියෝ විශ්ව විද්‍යාලය ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 75.6 කි. දකුණු කොරියාවේ Pohang University of Science and Technology විශ්ව විද්‍යාලය ලකුණු 75.1 ලබා 28 වන ස්ථානයට පත් වී තිබේ. 37 වන ස්ථානයට චීනයේ චීනයේ පීකිං විශ්ව විද්‍යාලය පත් වී තිබෙන්නේ ලකුණු 70.7 ලබා ගනිමින්. අප්‍රිකානු රටවල් අතර ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙන්නේ ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලයයි. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 51.6 කි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලය147 වන ස්ථානය නියෝජනය කරයි. 2009 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව රුසියාවේ ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල අතර 155 ස්ථානය නියෝජනය කරයි. යුරෝපිය විශ්ව විද්‍යාල අතරින් ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය 24 වන ස්ථානය දරයි. ඉන්දියාවේ Indian Institute of Science Bangalore විශ්ව විද්‍යාලය 2011 ජගත් විශ්ව විද්‍යාල අතර දරන්නේ 559 වන ස්ථානය යි.

අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය ( Makerere University ) 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1062 ස්ථානයට පත් වී තිබේ. පනහේ සහ හැටේ දශකයේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල වලින් එකක් ලෙස සලකුණු කොළඹ විශ්ව විද්‍යාලය අද අර්බුද සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙන අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයේ අධ්‍යාපනික හා ගුණාත්මක භාවයෙන් අඩු සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයටත් වඩා පහතට වැටී තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයට 2246 වන ස්ථානය ලැබී තිබෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 2690 ස්ථානයයි.( උපුටා ගැනීම webometrics.info ) 2011 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගතකිරීම් අනුව මොරටුව විශ්ව විද්‍යාලය 2324 ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2615 ද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (Open University of Sri Lanka) ඉතාමත් පහළ 4189 ස්ථානයට පත්ව තිබේ. සාක්ෂරතාවයෙන් ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහළින් සිටි අප්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පරාජය කොට තිබෙන අතර ලතින් ඇමරිකාවේ පහතින්ම සිටින වෙනුසිලාවේ Universidad Simón Bolívar Venezuela විශ්ව විද්‍යාලයද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් පහළ‍ට වැටීම පිළිබඳව අදහස් දක්වන කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කරන පරිදි මේ සඳහා ප්‍රධාන හේතු වන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් බඳවා ගැනීමේ දී සුදුසුකම් නොව ඥාති සබඳතා, මිත්‍රකම් බැලීම නිසා දක්ෂයන් විශ්ව විද්‍යාල වලින් ඉවත් වී යාමත් අදක්ෂයන් කථිකාචාර්යවරුන් වීමත් ය. එසේම දේශීය චින්තන ලේබල් ගසා සරසවි සිසුන් ලිං මැඩියන් කිරීමේ ව්‍යාපාරයත් ලංකාවේ සරසවි වලට රිංගා ඇති අන්තවාදී දේශපාලනයත් නිසා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ගුණාත්මකභාවය සීඝ්‍රයෙන් පිරිහී ගිය බව ඔහු වැඩි දුරටත් පවසයි. මෙම තත්වය තව දුරටත් පැවතුනහොත් දේශීය විශ්ව විද්‍යාල අන්තර්ජාතිකව ගණන් ගැනීමකට ලක් නොවන හා නොසලකා හැරෙන මට්ටමකට පත් විය හැකි බව උක්ත මහාචාර්යවරයා පෙන්වා දෙයි.

සුපුන් පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කොම්පැණි දෙක තුනක
මහපුටුව දරාසිට
දුවගේ පෙම්වතාට ගේම ප්ලෑන් කර
සැප රියෙන් ගෙදර එන තාත්තා නොව
හෙට දවසෙ බර හිසින් දරා
බස් රියේ තෙරපී හෙම්බත්ව ගෙදර එන තාත්තාය

ගේදොර කටයුතු කිසිවක් නැතිව
දවසම හතරවටේ ගෝරි දාගන්න
අවුරුදු 10 න් විවාහ වුනු අම්මා නොව
උදේ හිට රෑ වෙනතුරුම
ලිග් ගල් වළං මැද ජීවිතය දිය කරන
වයසට වඩා වයස ගිය අම්මාය

එයාද මෙයාද ගෙදරින් කියන අරයද
සියළුම කටයුතු නවතා දවසේම හිතන
අය්යවත් අක්කවත් නැත
උපාධියට ජීවිතය බොඳවුනු
වට රවුමේ ඉතිරි කාලය ගෙවන
අය්යලාය අක්කලාය

දැන් දැන් සමහර පොඩි එවුන්
රාත්‍රියේ නින්දට පෙර
දසමාසේ උද්දිකාරෝ කියන්නෙත් හොරටලු

අනුෂ්ක තිලකරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


අක්ෂර සෙනග 2009- නිර්මාණ තරගය- විවෘත අංශය- කවි: අවසාන වටයට තේරුණු නිර්මාණයකි.

වෙහෙස බරිතව ආමි
ගිරි බෙයෙදක පිහිටි
'සීගිරිය' වෙත
නොවේ එය පස් වැනි සියවසේ
රජ කසුප් ගේ සීගිරිය
අවන්හලකි මෙය
එකුන් විසි සියවසේ
කසුප් රජු වෙනුවට
කැෂියරය තුල
බුරුසු රැවුලැති මුදලාලියෙකි

අප්සරාවන් වෙනුවට
වේටර් වරියන්ය
තේ හදන
තේ ගෙනෙන
රස මසවුළු පිරි නමන
පිඟන් සෝදන
බුරුසු රැවුළට යටින්
ආඩපාලි දොට්ට පනින
යුවති නෙතු බිමට හරවන

ඒ සියල් මැද
මසට කෑදර නෙතට මැදි වුණා

විජ්ජුලතාවක් නොවේ
නවක වේටර් වරියකි
නිල්මහනෙලක් නොවේ
ඈ අත
සේදු ඉඳුල් නිසාවෙන්
දැවිලි ලන
දෙ අතට මුවින් පිඹිමින
වුවන රතු වී
විළිව ඇඹරෙන

සඳුන් ප්‍රියංකර විතානගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වියපත් තුරක මුදුනත
වසා අතු ඉති පිරෙන්න ට
ඇස් නො පියාන බලා හුන්
එක පාට කුරුල්ලෝ නාඹර
දුරක ඈත සතුරු සේනා එතැයි

නිනව්වක් නැති වෙඩි උණ්ඩ ඇහැරී
දනව්වක් කරා පියාපත් සළා විත්
දුදුඹුරු මළ බඳ මැද්දෙන්
විසල් පපුවක හීනය කැබලි කර
මන්ඳ අඳුරට මුවා කරයි හිස
ළදලු පත් පොඩිති සැලි සැලී
තුරු මුලම වැටී වැතිරී
කඳබඩට අසබඩ ව වැළපෙමින් තවමත්
යෞවන කඳුළු බිඳිති තිබුණා දැයි අසයි
පිනි බිඳු සේයාවෙන් ම යම් දිනෙක

මිටියාවත ඉහද්දරින්
කලු ගැහුණු
මහලු කලුවර ගලයි
සෙමින්.

එකෝමත් එක කාලයක
පලා ගිය ළපටි අරුණලු දකිතැකියි
කැකෑරෙන මතක ඉල්පී උස් වී එබෙයි
නපුරු හීන ම එකිනෙකින් පුරුද්දා ගෙන
කවමදාවත් නුදුටු තරමට

නිල් අහස අයිති නැති
ලේ සායම් දේදුන්න
අතුරුදන් වුණා දැයි හිටි ගමන් අසන්නෙපා
මළ කඳන් කොච්චර ද දුටුවාද දුරුත්තේ
බුදුන් කොයි වැඩියාද සුපුන් සඳ නිදියා ද
මගෙ පුතුන් කොහි යා ද බීරුමේ
මූණු අමතක වුණි ද සිහසුනේ

රතු පාට හීනය ම
සුදු පාට හිම බිමක අතෑරී
සීතලෙන් ගැහේවි දැයි මඟ සොයන
එක පාට කුරුල්ලෝ විගාමික
සුනංගු නොවී හදවත ට
විලංගු ලා ගෙන බලන්නෙපා ඇහිපිය අද්දරින්
මව්වරුන් පියවරුන්
ඉදිකඩුලු උදුරවා මඟ බලන් ඇති
උන් පපුව පැලී යයි හිතුවක්කාර කුරුල්ලෝ

රතු පාට පොත තෙමා පොතේ පිටු මැකුවැකී
ඒ පෙළින් පෙරී ආ අකුරු බොඳ කෙරුවැකී
පද පිරූ කව් දමක් අවියකට ගත හැකී
අලුත් මල් අලුත් ලොව හෙට උදේ නෙළුවැකී

මගියෙකුදු නැති මඟක
ඉම් පෙදෙස් ලකුණු කළ
මළගමත් අයිති නැති අනවසර කුරුල්ලෝ
තටු ගසා ඉගිලියන් මුළු අහස නුඹටමයි
උරුමයක් අහිමි වුණු කුරුල්ලෝ
යුගයක්ම දෙබෑ වුණු පිටුවහල් කුරුල්ලෝ

පෙරදාක මගෑරුණු එ හුස්ම පොද ළඟින්
තියා ගත් මතකය ම චිත්ත චිතකයෙ දැවෙයි
වෙන්දේසි කළ හීන කඩපිල් ය සිල්ලර ට
නන්නාඳුනන දුර පියවරක් තබන්නෝ
නාඳුනන දේශයක දන්නාඳුනන කවියකින්
අඳුනනා හැඩ පළු හිනාවක් නෙළන්නෝ

වැඩිමාලු පන්හිඳෙන්
තුරුණු මුලකුරු බඳින
රැහේ තනි වුණු
එක පාට කුරුල්ලෝ.

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අමෙරිකා එක්සත් ජනපදයේ මිනෙසෝටා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනෝල්ඩ් රෝස් ගේ මෙම රචනාව 1961 දී The Race Question in Modern Science නමින් යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපි එකතුවක අන්තර්ගත විය. මෙම පොත පසුව ඩී. ජේ. ජිනදාස විසින් පරිවර්තනය කරන ලදුව සිංහලෙන් පළවිය. මෙහි යොදා ගෙන ඇත්තේ එම සිංහල පරිවර්තනය වන නමුත් බූන්දිය සඳහා සැකසීමේදී මෙහි ඇතැම් යෙදුම් නැවැත සංස්කරණය කර ඇත්තේ අධ්‍යයනයේ පහසුව සඳහාය. මෙය කොටස් දෙකක් වශයෙන් පළවනු ඇත.

හැඳින්වීම

එක් මිනිස් සමූහයක් කෙරෙහි වෙනත් මිනිස් සමූහයක් තුළ ඇති අගතිය, ඉතිහාසයේ සෑම කාල පරිච්ඡේදයක් තුළම ලෝකයේ බොහෝ ප්‍රදේශ තුළ පැවතුණි. සෑම සංස්කෘතියක් තුළම හෝ මුළු මිනිස් වර්ගයා තුළම හෝ ප්‍රකටවන තරමට අගතිය ලෝක ව්‍යාප්ත නොවූ නමුදු, ජාතීන් අතරත් ජාතීන් තුළ පවතින පන්ති අතරත් ඝට්ටන ඇති කිරීමේ පදනමක් වන තරමට එය ව්‍යාප්ත වී තිබුණු සෑම අවස්ථාවකම වාගේ, වෙන්කොට දැක්වීමක් ඊට අදාළ වන්නේය. ගර්හා ලැබීමට තරම් වරදක් නොකළ මිනිස් සමූහයක් ගර්හාවකට භාජන කිරීම මෙයින් අදහස් කෙරේ.1 එබැවින් අගතිය හටගත් සෑම තැනකදීම සහ සෑම අවස්ථාවකම එය මිනිසා තුළ කණගාටුව සහ වරදවා තේරුම් ගැනීම ඇති කිරීමේ මාර්ගයක් වී තිබේ. දේශපාලන බලය අල්ලාගැනීමට හෝ ආර්ථික අතින් වාසියක් ලැබීමට හෝ ඇතැම් පුද්ගලයන් විසින් අගතිය උපයෝගී කොටගෙන ඇති නමුදු, එය පදනම කරගෙන මුළු ජනතාවක් හෝ ඔවුන්ගේ ශිෂ්ටාචාරය හෝ දීර්ඝකාල පරිච්ඡේදයක් තුළ දියුණුව කරා ගමන් කිරීමක් උදාහරණයක් වශයෙන් දැක්වීමට පවා ‍නොමැත. කවර අංශයකින් බැලුවක් එය පෙනී යන්නේ ව්‍යසනයක් වශයෙනි.

එහෙත්, ප්‍රකට පිටස්තරය හැරුනු කොට, අගතියේ හේතූන් හෝ එහි විපාක පිලිබඳව මිනිසා තුළ තවමත් ඇත්තේ සාපේක්ෂ වශයෙන් අල්ප වූ වැටහීමකි. බියගන්වන සුළු යම් යම් සොයාගැනීම් සහ උනන්දු කරවන සුළු යෝජනා අප ඉදිරියේ ඇති නමුදු, අගතියේ හේතූන් පිළිබඳ නියත වැටහීමක් විද්‍යාඥයන් තුළ ඇතිවීමට ප්‍රමාණවත් වන පරිදි මේ පිලිබඳ කරුණු සොයා බැලීමක්වත් ඔවුන් අතින් සිදු වී නොමැති බව ඉදිරි පිටුවලින් පෙනී යනවා ඇත. සමාජ විද්‍යාඥයන් හැරුණු කොට බොහෝ මිනිසුන් තුළ ඇත්තේ මේ පිලිබඳව බෙහෙවින් සාවද්‍ය වූ අදහස්ය; එනම්, ඇතැම් විට අගතිය නිසාම හටගත්තා වූ සහ ඒවා දරන පුද්ගලයන්ටම අවැඩදායක වූ අදහස්ය. මෙතැන් සිට අපි, වඩා ප්‍රකට වූ හා නිශ්චිත හේතූන්ගෙන් පටන්ගෙන එතරම් පැහැදිලි නොවන සහ අවිඥානික හේතූන් කරා ගමන් කරමින් අගතියේ විවිධ වූ මූල හේතූන් සළකා බලමු.

1. පුද්ගලික වාසිය, අගතියේ හේතුවක් වශයෙන්

අගතිගාමී පුද්ගලයන්ට අගතිය පවත්වාගෙන යෑම මගින් ද්‍රව්‍යමය ප්‍රයෝජන අත්වීම අගතිය ඇතිවීමේ ඉතාම පැහැදිලි හේතුව වශයෙන් හඳුනාගත හැකිය. ආර්ථික වශයෙන් අයථා ප්‍රයෝජන ගැනීමට හෝ දේශපාලන ආධිපත්‍යය පවත්වාගෙන යෑමට හෝ කරුණක් නැතහොත් හේතුවක් අගතිය මගින් සලසාගැනීමට පුළුවන. තමා සාමාන්‍යයෙන් කිරීමට අකැමැති කාර්යයන්හි නියැලීම යුක්ති සහගත යැයි තමාටම නිශ්චය කරගැනීමට එමගින් කෙනෙකුට හැකි වෙනවා ඇත. වෙනත් අය තුළ එය ඇති වූ කල්හි එයින් අයථා ප්‍රයෝජන ගැනීමට සූක්ෂ්ම බුද්ධියෙන් යුත් ආත්මාර්ථකාමී කපටි පුද්ගලයන්ට පුළුවන. සුළු ජාතිවලට අයත් ස්ත්‍රීන්ගෙන් ලිංගික වශයෙන් අයථා ප්‍රයෝජන ගැනීමට එයින් අවස්ථා සළසාගත හැකි අතරම, සුළු ජාතිවලට අයත් පුද්ගලයන්ට වඩා උත්තරීතර තත්ත්වයක් එමගින්, සමාජය නැමැති හිණිම‍ඟේ පහළම පෙත්තේ සිටින පුද්ගලයන්ට අත්කර දීමට ද ඉඩ තිබේ. පුද්ගලයන්ට සහ පුද්ගල සමූහයන්ට අගතිය මගින් තම තමන් වෙනුවෙන් වරප්‍රසාද අත්කරගැනීමට හැකිය යන කරුණම අගතිය ඇතිවීමේ හේතුවක් වී තිබේ.

අධිරාජ්‍යවාදය, විශේෂයෙන් යුරෝපීය ජාතීන් විසින් යුරෝපීය නොවන ජාතීන් කෙරෙහි එල්ල කරන ලද කල්හි එය නිතරම අගතිය හා සම්බන්ධව පැවතුණි. සිය රටෙහි අගතිය සැළකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී නොමැති අවස්ථාවල පවා යටත්වර්ගයා කෙරෙහි කර්කශ වීම සහ තමන් උසස් ජාතියකට අයත්ය යන හැඟීමක් ප්‍රදර්ශනය කිරීම, තම කාර්යය සාර්ථක කරගැනීමෙහිලා ආධාරයක්වන බව, යටත් විජිත පාලකයන්, වෙළෙන්දන් නොහොත් නොදියුණු රටවල ස්වාභාවික ධනය සූරාකන්නන් වශයෙන් එම රටවලට ගිය අයට වැටහිණි. යම් යම් සීමාවන් ඇතුළත, රළු ස්වභාවයක් පෙන්වීමෙන් සහ බල කිරීම් මගින්, තම ආරක්ෂාව සළසාගැනීමේ නොහො‍ත් එකට එක කිරීමේ මගක් නොමැති සේවකයන්ගෙන් අධිකතර වැඩ ප්‍රමාණයක් ඉටුකරවා ගැනීමට හැකිවනවා ඇත. මෙම සේවකයන්ට අඩු වැටුප් ගෙවීමෙන් සහ ඔවුන්ගේ ජීවන අවශ්‍යතාවන් අවම ප්‍රමාණයන්ගෙන් සළසා දීමෙන් වැඩිපුර ලාභ අත්වන්නේය.

පන්ති අතර පවතින විරෝධය මඟහරවාගනු පිණිස වර්ග, ජාති නොහොත් ආගම් පිලිබඳ විරෝධතා ගොඩ නැංවිය හැකිය. තම යටත් වැසියන් භේදකිරීමෙන් සහ එම විවිධ කොටස් ඔවුනොවුන් කෙරෙහි විරුද්ධ වන පරිදි ඔවුන් පෙළැඹවීමෙන් සංඛ්‍යාව අතින් කුඩා වූ, සූරාකන්නන් පිරිසකට තම ආධිපත්‍යය රැකගැනීමට හැකිවනු ඇත. සෙසු සියළුම කාණ්ඩ බලෙන් පෙළැඹවීමේ, සාජන්ට්වරයෙකුට අයත් කාර්යය එක් කාණ්ඩයක් වෙත පැවරිය හැකිය. ඔවුන්ද අයුතු ප්‍රයෝජන ගැනීමට භාජනය වී සිටින්නේ නමුදු තමන් උසස් සමූහයකට අයත්වන්නේය යන තෘප්තිකර හැඟීමක් එමගින් ඔවුන් තුළ බිහිවනවා ඇත. මෙම වැඩ පිළිවෙළ කිසිවෙකුට ප්‍රකට නොවනු වස් සම්පූර්ණයෙන්ම "ස්වාභාවික" ක්‍රමයකින් භාවිතා කළ හැකිය.

අධිරාජ්‍යවාදයේ උපක්‍රමවලට සමාන උපක්‍රම, ස්වාධීන ජාතියක් තුළ උපයෝගී කරගත හැක. වෙන් කරන ලද ඇතැම් කුඩා ප්‍රදේශ තුළ වාසය කිරීමට මිනිසුන්ට උපකාරවීමෙන් නිවාසවල මිල නොහොත් කුලිය ඉහළ මට්ටමක රඳවා ගැනීමට පුළුවන. මිනිසුන්ව සූරාකෑමට ලක් කළ හැකි රැකියාවන්හි හැර අන් කිසිම වැඩක නියුක්ත වීමට මිනිසුනට ඉඩ නොදීමෙන් වැටුප් පහත් මට්ටමක රඳවා තබා ගැනීමට පුළුවන. දැඩි ලෙස වෙන්කර තබා ඇති මිනිසුන් සඳහා වන පොදු පහසුකම් සහ සුභ සාධනය අවම මට්ටමක රඳවා ගත හැකිය.

සූරාකෑම සඳහා මෙම අගතිය සහ වෙන්කොට සැලකීම කෙතෙක් දුර දැනුවත්වම උපයෝගී කරගනු ලබන්නේද, කෙතෙක් දුර නොදැනුවත්වම උපයෝගී කරගනු ලබන්නේදැයි සඳහන් කිරීම දුෂ්කර කරුණක් වන්නේය. උපක්‍රම රහිතව සහ නොදැනුවත්වම කරනු ලැබූවක් මෙන් පෙනී යන සමහර දෑ බොහෝදුරට සිතාමතා කරන ලද්දක් බව කලාතුරකින් හෙළිවන්නේය. ෂෙමික විරෝධය (යුදෙවි විරෝධය/anti- Semitic) පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පැවති සමීක්ෂණයක් සඳහා පිළියෙල කර තිබූ ප්‍රශ්නමාලාවකට පිළිතුරු සැපයූ තරුණයෙකු විසින් මේ සම්බන්ධව කරුණු හෙළිකරන ප්‍රකාශයක් කර තිබේ. ඔහු විසින් මෙසේ සඳහන් කරන ලදි.

"යුදෙව්වන් සම්බන්ධව පක්ෂව හෝ විපක්ෂව හෝ කිසිම ප්‍රබල හැඟීමක් මා තුළ නැත. (ඔහු යුදෙව් විරෝධියෙකු බව පරීක්ෂණයෙන් හෙළි නොවීය.) එහෙත් මා බැංකු නිලධාරියෙකු වීමට ඉගෙනුම ලබන බැවින්, මගේ ස්වාමී පක්ෂය යුදෙව් විරෝධී නම් මමද යුදෙව් විරෝධී වන්නෙමි. මා එසේ වන්නේ මගේ අරමුණු ඉටුකරගත යුතු බැවිනි."

අගතිය කෙතෙක් දුරට සිතා මතා ඇති කරගනු ලබන්නේද නැතහොත් කෙතෙක්දුර නොදැනුවත්වම ඇතිවන්නේද යන්න නියත වශයෙන්ම සොයාගැනීමට අපට ඇතැම් විට නොහැකි වනවා ඇත. එහෙත් එය කවර ආකාරයකින් ඇති වුවත් එහි ආනිසංස සහ එයට මුල්වන හේතූන් එක සමාන බැවින්, එවැනි සොයාගැනීමකින් ලැබෙනුයේ අල්පමාත්‍ර ප්‍රතිඵලයකි. එක් මිනිස් සමූහයක් සූරාකනු පිණිස අගතිය සිතාමතා උපයෝගී කරගැනීමත් අවස්ථාවෙන් හැකි සෑම ප්‍රයෝජනයක්ම ලැබීම පිණිස උපක්‍රම රහිතව හා කිසිම පැත්තකට යොමු නොවන පරිදි මධ්‍යස්ථ ලෙස පෙනී සිටිමින් මිනිස් සමූහයන් අතර වෙනස්කම් උපයෝගී කර ගැනීමත් අතර එතරම් වෙනසක් නොමැත. මේ දෙකම අගතියේ හේතුවක් ලෙස එකට සළකා බැළිය හැකිය.

අත්කරගැනීමට ඇති වාසි දේශපාලන මෙන්ම ආර්ථිකද විය හැකිය. යම් කිසි පක්ෂයක් දේශපාලනය අතින් බලයෙහි රඳවා ගැනීම පිණිස කණ්ඩායම් අතර වෙනස්කම් වැඩි දියුණු කිරීමට පුළුවන. තම දේශය තුළ බලය තහවුරු කර ගැනීම පිණිසත්, විදේශ ආක්‍රමණ ව්‍යාප්ත කරනු පිණිසත් නවීන ආඥාදායකයෝ "බෙදා මැඩ පැවැත්වීමේ" උපක්‍රමය අතින් අති දක්ෂයෝ වූහ. ඒ අවස්ථාවේදී යුදෙව්වන් සතුව තිබූ තනතුරු, දේපල කොල්ලකා තම අනුගාමිකයන්ට පිරිනැමීමෙන් සහ ජාතියක් වශයෙන් තමන් උතුම්ය යන ගුප්ත හැඟීම ඇති කරගන්නා ලෙස ඉල්ලා සිටීමෙන් හිට්ලර් විසින් "පස් වැනි බලකායේ සෙබළුන්" ලෙස දැන් හැඳින්වෙන, තම අනුගාමිකයන් එක්රැස් කරගනු ලැබූ ආකාරය විදහා දැක්වෙන කරුණු අධ්‍යයනයන් රටවල් ගණනාවක් විසින්ම සිදු කර ඇත. අගතිය ප්‍රචලිතව පවතින ප්‍රජාතන්ත්‍රවාදී රටවල සමහර දේශපාලනඥයෝ, බලය අල්ලාගැනීමේ මගක් ලෙස තම දේශපාලන ව්‍යාපාර ජාතික ශ්‍රේෂ්ඨත්වය පිලිබඳ මතයන් මුල්කරගෙන පවත්වාගෙන යති. ජාතීන් අතර වෛරය වැඩි දියුණු කිරීමේ අදහසින් පිහිටුවා ඇති බොහෝ සංවිධානවල අවසාන බලාපොරොත්තුව දේශපාලන ආධිපත්‍යය බව පෙනීගොස් තිබේ.

අගතියේ හේතුවක් වශයෙන්, ආර්ථික හෝ දේශපාලන අයුතු ප්‍රයෝජන ගැනීමෙහි නියත සීමාවක් ඇත. පළමු කොට, ඉදිරියට ඇති ඡේදයකින් විස්තරවන පරිදි අගතියෙන් වන හානි සමග එය සන්සන්දනය කළ යුතුය. අධිරාජ්‍යවාදී රටවල් විසින් අගතිය, වෙනස් ලෙස සැළකීම හා සාහසිකත්වය උපයෝගී නොකරගන්නා ලද්දේ නම් අවසානයේදී ඔවුනට මීටත් වඩා අධික ආර්ථික වරප්‍රසාද ලබාගැනීමට ඉඩ තිබුනේ යැයි කල්පනා කිරීමට පුළුවන. අගතිය යොදාගනිමින් සූරාකෑමෙහි යෙදෙන පුද්ගලයෝ අගතියේ මනෝ විද්‍යාත්මක හානියේ අන්ත පීඩා ලබන්නෝ වෙති. තමන් විසින් සූරාකෑමෙහි සහ රැවටීමෙහි යෙදෙන බව වටහාගැනීම ඔවුන් විසින් කරට ගන්නා තවත් බරක් වන්නේය. තමන් අසාධාරණ සහ වංක නැතහොත් උසස් අදහස් රහිත පුද්ගලයන් වශයෙන් කල්පනා කිරීම බොහෝ බොහෝ දෙනා අප්‍රිය කරති. අසාධාරණය හා වංකභාවය යුක්ති සහගත බවට මනෝ විද්‍යාත්මක මතයක් ගොඩ නැංවීමද සාර්ථක විය හැක්කේ අඩ වශයෙන් පමණි. ඇත්ත වශයෙන්ම එය මිනිසා තුළ දැඩි ස්වභාවයක් බිහි කරයි. ඒ අනුව, අගතියෙන් වන හානිය සමග සන්සන්දනය කිරීමේදී ඉන් අයත්වන වරප්‍රසාද එතරම් විශාල නොවන බව පෙනී යයි. ඒ හැරත්, මෙතෙක් යටත්ව සිටි අය දැන් එය නවතාලීම පිණිස සංවිධානය වී සිටින බැවින් අගතිය මගින් සූරාකෑමට ඇති ඉඩකඩ දැන් කෙමෙන් ඇහිරී යයි. ලොවපුරා අධිරාජ්‍යවාදය පසු බසින්නේය. සූරාකෑම්වලට භාජනය වෙමින් ජාතීන් තුළ ජීවත්වන සුළු ජාතීන්ට අයත් කාණ්ඩද, තම තත්ත්වය වැඩි දියුණු කරගැනීම සහ අයුතු දඬුවම් පැමිණවීම අඩුකරගැනීම අතින් බොහෝ දුර ඉදිරියට ගොස් සිටිති. අගතියෙන් වන හානි සහ එහි ඇති අනතුරු වටහාගත් ප්‍රධාන ජාතියට අයත් බොහෝ දෙනෙකුගෙන්ද ඔවුනට ප්‍රබල ආධාර ලැබී තිබේ. මේ අනුව යටත් පිරිසෙයින් අගතිය මුල්කරගෙන කරනු ලබන සූරාකෑම සහ ආධිපත්‍යය අඩුවෙමින් පවතී. තවද එම කරුණු අගතියේ හේතූ වශයෙන් එතරම් ඵලදායක නොවන්නේය.

අගතියෙන් ලැබෙන වෙනත් ප්‍රකට වාසිද ඇත. ප්‍රබල ජාතියට අයත් මිනිසුන් විසින් සුළු ජාතියට අයත් ස්ත්‍රීන් ලිංගික වශයෙන් සූරාකෑම පිළිබඳ කරුණ මෙහිදී විස්තර කළ හැක්කේ ලුහුඬින් පමණි. මේ ආකාරයෙන් ලැබෙන "වාසි" ඓක්‍යයක් ගත් ප්‍රධාන ජාතියට සිදුවන සමාජයීය හානිවලින් තුලනය වන බව පැහැදිලිය. අනියම් ලෙස සහ ආලයෙන් තොරව ලිංගික සංසර්ගය නිතර සිදුවන සමාජයක්, ඊට අයත් පුරුෂයන් සඳහා හෝ ස්ත්‍රීන් සඳහා හෝ මනාව සංවිධානය වූ නොහොත් තෘප්තිකර වූ සමාජයක් නොවන්නේය.

අවසාන වශයෙන්, ජෝන් ඩොලාර්ඩ් විසින් පෙන්වා දී ඇති පරිදි, සමාජයක් තුළ අගතිය පදනම් කරගෙන ලබාගත හැකි ගරුත්වය සහ පිළිගැනීම පදනම් කරගත් ඇතැම් වාසිද ඇත. ගරුත්වය හෝ පිළිගැනීම පිළිබඳ වෙනත් කිසිදු පදනමක් මිනිසුන්ට නොමැති නම්, ප්‍රධාන ජාතියේ සාමාජිකත්වය දැරීමෙන් පමණක් ඔවුහු එක්තරා තෘප්තියක් ලබති. තම ජාතියට අයත් සමාජ ස්ථරයන්හි පත්ලෙහිම සිටින්නේ වී නමුදු සුළු ජාතීන්ට වඩා තමන් උසස් යැයි හැඟීමක් ඇති කරගැනීමට ඔවුන්ට හැකිවන්නේය. මෙවැනි වාසිය ඇති දුබලතාව ඇත්තෙන්ම පැහැදිලිය. සුළු ජාතියකට වඩා තමන් උසස්ය යන හැඟීමෙන් ගරුත්වය සහ පිළිගැනීම පිළිබඳ තෘප්තියක් ලබා ගන්නා වූ අගතිගාමී පුද්ගලයා , ඊට වඩා වැදගත් වෙනත් ආකාරයේ ගරුත්වයක් සහ පිළිගැනීමක් පිළිබඳ හැඟීම්වලින් ඈත් වේ. යසස්කාමය නැතිකරගන්නා වූ ඔහු, තමා ඇතුළත් වන ප්‍රධාන ජාතිය තුළ, ගරුත්වය සහ පිළිගැනීම අතින් තමාට වඩා උසස් තත්ත්වයක සිටින අය නියම කරන පරිදි ක්‍රියාකරයි. ප්‍රතිසංස්කරණවාදී හෝ විප්ලවවාදී ව්‍යාපාරවලට තමන් සම්බන්ධවීම අපේක්ෂා කරන්නේය යන හැඟීමේ අසතුටුදායක තත්ත්වයන් යටතේ ජීවත්වන පුද්ගලයෝ, සුළු ජාතියට වඩා තමන් උසස් කෙරෙන සුළු ගරුත්වය නැති කරගැනීමට අකැමැතිවීම නිසා එවැනි ව්‍යාපාරවලින් ඈත් වී සිටිති.

2. වෙනත් මිනිස් වර්ග පිළිබඳ කරුණු නොදැනීම, අගතියේ හේතුවක් වශයෙන්

අගතිය නිතරම වාගේ ඇතිවන්නේ එයට භාජනය වන මිනිසුන් පිළිබඳ වැරදි ලෙස නොහොත් කරුණු හරි හැටි වටහා නොගෙන ඇති කරගත් මතයන් සමඟය. වැරදි විශ්වාස බොහොමයක්, සමාජ විද්‍යාඥයන් විසින් පවසනු ලබන "ගතානුගතිකත්වයක" ස්වභාවය උසුලයි. මේවා වනාහි සුළු ජාතියට අයත් පුද්ගලයන් තුළ පිහිටා ඇත්තා වූත්, එම ජාතියට අයත් සියළුම පුද්ගලයන්ගේ පොදු අංගයක් වශයෙන් සැළකෙන්නා වූත් ඇතැම් කායික ලක්ෂණ නැතහොත් සංස්කෘතික විශේෂතාවන්ගේ අතිශයෝක්තීන් ය. ගතානුගතික අදහස් ඇති විට, පුද්ගලයෙකු නිශ්චය කරනු ලබන්නේ ඔහුට අයත් විශේෂ ලක්ෂණ පදනම් කරගෙන නොව ඔහු ඇතුළත්වන වර්ගයට අයත් විශේෂ ලක්ෂණ අතිශයෝක්තියෙන් හුවාදක්වන හා වෙනස්කොට දක්වන ආකල්ප සහ පිළිගැනීම් පදනම් කරගෙනය. ව්‍යතිරේඛයන් නොසළකා හැරීමෙන් නොහොත් ඒවා පවතින බව පිළි නොගැනීමෙන්, එම ජාතියට අයත් සියලුම දෙනා එක හා සමාන යැයි වැරදි ලෙස පිළිගනු ලැබේ.

ගතානුගතික අදහස් අමුතු ආකාර ගනී. සිරිතක් වශයෙන් ඒවා යටත්ව සිටින ජාතියට අහිතකර නමුදු, නිතරම එසේ නොවන්නේය. උදාහරණයක් වශයෙන් ගතහොත්, දකුණු අප්‍රිකාවේ සහ එක්සත් ජනපදයේ නිග්‍රෝ ජනයා, චණ්ඩ, මන්ද බුද්ධික හා අශිෂ්ට වර්ගයන් වන අතරම ඔවුන් ප්‍රීතිමත්, ත්‍යාගශීලි හා භක්තිමත් පිරිසක් වන බව ඔවුන් පිළිබඳ ගතානුගතික අදහස් වලින් පෙන්නුම් කෙරේ. නීග්‍රෝ ජනයා, සේවකයන් සහ නුපුහුණු කම්කරුවන් වශයෙන් යොදවා ගැනීමට දරනු ලබන ප්‍රයත්නයෙන් මෙම ආදර්ශයේ අර්ථය පැහැදිලි වන්නේය. එනම්, ළමයින් වැනි යටත් පහත් සේවකයන් වශයෙන් ඔවුනට සැළකීම යුක්ති සහගත බව ඔප්පු කිරීම සහ එම සැළකීම්වලින් ඔවුන් සෑහීමකට පත්වන බව පැහැදිලි කිරීම " යහපත්" ලක්ෂණ වලින් පෙනී යන්නේය.

එක් කලෙකදී එක් මිනිස් වර්ගයක් සඳහා යොදාගනු ලැබූ ගතානුගතික අදහස් පසු කලෙකදී වෙනත් වර්ගයක් සඳහා යොදාගනු ලැබීමට පුළුවන. දහහත් වැනි සියවසේදී එංගලන්තයේදී එංගලන්තයේ ස්කොට් ජාතික පහතරට වැසියන් රළු, කෲර හා මෘගයන් වැනි පිරිසක් වශයෙන් ගතානුගතිකව අදහස් කරන ලදි. එහෙත් දහනව වැනි සිය වස වනවිට මෙම ගතානුගතික අගතීන් යොදන ලද්දේ ස්කොට් ජාතිකයන් සඳහා නොව අයිරිෂ් ජාතිකයන් සඳහාය. ගතානුගතික අදහස් ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වීමට ඉඩ තිබේ. වර්ෂ 1940ට පෙර බටහිර ජාතීන් විසින්, ජපන් ජාතිකයන් ප්‍රයෝගකාර එහෙත් දුර්වල, දැඩි හා නිර්මාණ ශක්තියකින් තොර ජනතාවක් වශයෙන් කල්පනා කරන ලදි. වර්ෂ 1941දී ජපානයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමෙන් පසු, ජපන්නු ප්‍රයෝගකාර පිරිසක් බව ඔවුන් පිළිබඳ ගතානුගතික අදහස්වලින් පෙන්නුම් කරනු ලැබූ අතර, ඔවුන් ශක්ති සම්පන්න යැයි සහ ප්‍රයෝගකාරී යැයි පැවසෙන අදහස්ද ඊට එකතු විය. වර්ෂ 1945 දී ජපානය පරාජය කොට, සාර්ථක ලෙස එම රට අත්කරගැනීම ආරම්භ කිරීමෙන් පසු, ප්‍රයෝගකාර යන වචනය ඉවත් කොට ඒ වෙනුවට රැවටිලිකාර යන වචනය එක් කරන ලදි.

එක් රටක මිනිස් වර්ගයක් සඳහා යොදන ලද ගතානුගතික අදහස්, වෙනත් රටක එම මිනිස් වර්ගය සඳහා යොදාගත නොහැකි නමුදු, වෙනත් සුළු ජාතික මිනිස් වර්ගයක් සඳහා යොදාගත් ආකාරය දක්නට ඇත. මධ්‍යම යුරෝපයේ යුදෙව්වන් පිළිබඳ ගතානුගතික අදහස්වල, ඔවුන්ගේ ලිංගික ආශාවන් සහ අයථා ලිංගික සේවනය කෙරේ ඇති ඇල්ම ඇතුළත්වේ‍. එක්සත් ජනපදයෙහි ඇත්තේ මීට වඩා වෙනස් තත්ත්වයකි. එහි යුදෙව්වන් පිළිබඳ වෙනත් ගතානුගතික අදහස් ඇති නමුත් ලිංගික හැසිරීම පිළිබඳ ගතානුගතික අදහස් යොදනු ලබන්නේ නීග්‍රෝ මිනිසුන්, විශේෂයෙන්ම දකු‍ණේ පිහිටි ජනපද වල නීග්‍රෝ මිනිසුන් සම්බන්ධ‍යෙනි.

අගතියට රුකුළක් වන අඥානකම බෙහෙවින් පුළුල් වූවකි. එය, මිනිසුන්ගේ ශාරිරික ලක්ෂණ, සංස්කෘතික සිරිත් විරිත් හෝ ඇදහීම් පිළිබඳ වැරදි තොරතුරු වැනි ස්වරූපයකින් පෙනී යාහැකිය. එසේ නැතහොත් එය අධි මානුෂික බලයක් නැතහොත් ළමයින් මෙන් දුබල වීම පිළිබඳ මිථ්‍යා ප්‍රබන්ධවල ආකාරයකින් ඉදිරිපත් විය හැක. වෙනත් ජාතීන් පිළිබඳ ජර්මන්වරුන් තුළ පැවැති අගතියට අනුව ඔවුහු, ප්‍රංශ ජාතිකයන් පිරිහුණු අශිෂ්ට පිරිසක් ලෙසත්, බ්‍රිතාන්‍යයන් ඝෝෂාකාරී මෝඩයන් ලෙසත්, ඇමෙරිකානුවන් පටු අදහස් දරන නිෂ්ඵල පුද්ගලයන් ලෙසත්, රුසියන්වරුන් මෝඩ හා මන්ද බුද්ධික නිවටයන් ලෙසත්, යුදෙව්වන් කූට උපාදත් නිවටයන් ලෙසත් සැළකූහ. නවීන රටක ඇතිවිය හැකි අඥානකමේ විශ්මයජනක විශාලත්වය පැහැදිලි කරන එක් උදාහරණයක් පමණි මේ.

මිනිස් කණ්ඩායම් පිළිබඳ ගතානුගතික අදහස් සහ වෙනත් වැරදි විශ්වාස, තම පෙනුම හා හැසිරීම අනුව එම මිථ්‍යා විශ්වාස අනුමත නොකරන්නාවූ සුළු ජාතියට අයත් මිනිසුන් වැඩි පුර සංඛ්‍යාවක් සිටින විට අවම ප්‍රමාණයකින් පැවතීම අවශ්‍යයෙන්ම සිදු නොවන්නකි. නීග්‍රෝ වර්ගයා පිලිබඳ ප්‍රබලතම අගතිය සහ මිථ්‍යා විශ්වාස වැඩිම සංඛ්‍යාවක් සොයාගත හැක්කේ දකුණු අප්‍රිකාවේ කළු මිනිසුන් අතර ජීවත්වන සුදු මිනිසුන් අතරය. එහි වාසය කරන සුදු මිනිසුන්ගේ සංඛ්‍යාව කළු මිනිසුන් හතර නොහොත් පස්දෙනෙකුට එක්කෙනෙකු තරම් අඩු වේ. එක්සත් ජනපදයේ උතුරු ප්‍රදේශවලට වඩා දකුණු ප්‍රදේශ තුළ ජනගහණයෙන් වැඩි කොටසක් නීග්‍රෝ මිනිසුන්ගෙන් සමන්විතවන නමුදු, නීග්‍රෝ මිනිසුන් පිලිබඳ වූ ගතානුගතික අදහස් උතුරු ප්‍රදේශවලට වඩා දකුණු ප්‍රදේශ තුළ අධික වන්නේය. එහෙත් මෙහි අනෙක් පැත්ත සම්බන්ධයෙන් පොදු අදහසක් දැක් විය නොහැකිය. සුළු ජාතියකට අයත් කුඩා පිරිසක් වාසය කරන ප්‍රදේශවල එම ජනයා, සුළු ජාතියකට අයත් වැඩි පිරිසක් වාසය කරන ප්‍රදේශවල ජනයාට වඩා ගතානුගතික අදහස් පැවතීම අතින් අවශ්‍යයෙන්ම නිදහස් නොවන්නේය. ජර්මනියේ පළමු ලෝක සංග්‍රාමයෙන් පසු, බැ‍වේරියාවේ ජීවත් වූ යුදෙව්වන්ගේ සංඛ්‍යාව අනුපාතික වශයෙන් අල්ප විය. එහෙත් යුදෙව්වන් අධික සංඛ්‍යාවක් වාසය කළ බර්ලින් නගරයට වඩා බැවේරියාව තුළ යුදෙව්වන් පිලිබඳ මිථ්‍යා විශ්වාස පැවතුනි. ඇමෙරිකානු ඉන්දියන් වරුන් බෙහෙවින් අධික සංඛ්‍යාවක් වාසය කරන දකුණු ඇමෙරිකාවට වඩා ඔවුන් අඩු සංඛ්‍යාවක් වාසය කරන උතුරු ඇමෙරිකාවේ ඔවුන් පිළිබඳ මිථ්‍යා විශ්වාස අධික ප්‍රමාණයක් දශක කීපයක් තරම් මෑතක් වනතුරු ම පැවතිණ. සුළු ජාතීන් වඩාත්ම බහුලව වෙසෙන පෙදෙස්වල ඔවුන් පිලිබඳව මහ ජාතීය තුළ ඇති අගතිය ප්‍රබල වන්නේ ය යන මතය වැරදි බව මෙයින් සහ මේ හා සමාන වෙනත් කරුණු වලින් ඔප්පු වේ.

මිනිසුන් කණ්ඩායමක් පිළිබඳ ව තවත් මිනිසුන් කණ්ඩායමක් නොදැන සිටීම බලපාන එක් කරුණක් නම් ඔවුන් එකිනෙකා වෙන්ව ජීවත් වීමයි. නමුත් මිනිස් කණ්ඩායම් අතර ඇසුර සැළකිය යුතු මට්ටමක පවතින විට පවා මෙය සිදු විය හැකිය. මිනිස් කණ්ඩායම් දෙකකට අයත් වූ පුද්ගලයන් යාබද ගෙවල් දෙකක අසල් වැසියන් වශයෙන් වාසය කරද්දී වුව හෝ නැතහොත් එකෙකු අනෙකා‍ගේ නිවෙසේ නැතහොත් වෙළඳසැලේ සේවය කරද්දී වුව හෝ ඔවුහු මිනිසුන් වශයෙන් එකිනෙකා දැන හැඳිනගැනීම අවශ්‍යයෙන්ම සිදු නොවීමට පුළුවන. ශාරීරික වශයෙන් මෙන්ම සාමාජීය වශයෙන්ද වෙන්වීමත් සමගම අගතිය හට ගනී. එමගින් අවිද්‍යාව වැඩි දියුණුවන නිසාත්, අවිද්‍යාව අගතියට රුකුළක් වන නිසාත්, ඒවා එහි විපාක පමණක් නොව හේතූන්ද වන්නේය.

ජනතාව තුළ ඇති අවිද්‍යාව නිසා ආර්ථිකමය වශයෙන් සූරාකෑමෙහි යෙදෙන, එසේත් නොමැති නම් දේශපාලන ආධිපත්‍යය සඳහා ප්‍රචාරයේ යෙදෙන පුද්ගලයාට තම බලාපොරොත්තු වඩා පහසුවෙන් ඉටු කරගත හැකිය. එක් මිනිසුන් කාණ්ඩයක් තුළ තවත් මිනිසුන් කාණ්ඩයක් පිළිබඳ කිසිදු දැනුමක් නොපවතීනම් නොහොත් වැරදි ආකල්ප පවතී නම්, එම කාණ්ඩය සූරාකන්නන්ගේ යටි අරමුණු වලට ගොදුරු වේ. මිනිසුන්ගේ අවිද්‍යාවෙන් ප්‍රයෝජන ගන්නා වූ ප්‍රචාරකයෙකු, තම නියම සතුරා කවරෙකුද යන කරුණ සම්බන්ධයෙන් ඔවුන් නොමඟ යැවීමටද පුළුවන.

(අ) අවිද්‍යාව, දැනුමක් නොමැතිවීමේ නොහොත් වැරදි විශ්වාසයක් ඇති වීමේ ආකාරයකින් පැවතිය හැකි බවත්, (ආ) අවිද්‍යාව අගතිය ඇතිවීමට කලින් ඇතිවන්නා වූ තත්ත්වයක් නොහොත් එය ඇතිවීමට රුකුලක් වන බැවින්, එය කෙලින්ම අගතිය ඇතිවීමේ හේතුවක් නොවන බවත් මෙම ලුහුඬු විස්තරයෙන් පැහැදිලි වන්නේය. මෙයින් පසුව සඳහන් අවස්ථාවේදී අවිද්‍යාව, එක් කාණ්ඩයකට වඩා වෙනත් කාණ්ඩයක් කෙරෙහි අගතිය ඇතිවීමේ වඩා වැදගත් සාධකයක් වනවා ඇත. මෙය සැළකිය යුතු සාධකයක් වන අවස්ථාවේදී දැනුමෙහි අඩුපාඩු සම්පූර්ණ කරන්නා වූ නොහොත් වැරදි විශ්වාස වැරදි බව පෙන්වා දෙන්නා වූ තොරතුරු අගතියට එරෙහිව යොදාගත හැකි අගනා ආයුධයක් වන්නේය. එවැනි තොරතුරු මගින්, අගතියට ආධාර වන කරුණුවලින් එකක් කෙලින්ම දුරුවල කෙරෙනවා පමණක් නොව, අගතිය උපයෝගී කොටගෙන සූරාකෑම නැතහොත් අයුතු ප්‍රයෝජන ගැනීම සඳහා ප්‍රචාරකයා විසින් දරනු ලබන උත්සාහයන් ද අඩ වශයෙන් ව්‍යාර්ථ වන්නේය.

ජාතිවාදය නොහොත් "මහේශාක්‍ය හැඟීම" අගතියේ හේතුවක් වශයෙන්

මිනිස් සමූහයන් අතර සම්බන්ධතා පිළිබඳ ගැටළු, වර්ග තුනක් වශයෙන් කොටස් කළ හැකිය. ඉන් එක් වර්ගයක් අධ්‍යාසය අතින් දේශපාලනික වන්නේය. මිනිස් සමූහයන් අතර පවත්නා වූ මෙම ගැටීමට පදනම් වී ඇත්තේ බලය අල්ලා ගැනීම සඳහා කෙරෙන සටනකි. එවැනි තරඟ අන්තර්ජාතික සම්බන්ධතාවලදී නිතර පැවැති බව පෙනී යන අතර, ප්‍රංශය හා ජර්මනිය අතර කාලාන්තරයක සිට පැවැත එන වෛරය ඒ පිළිබඳ නවීන උදාහරණයක් වන්නේය. සමහර විට එකම රටක් තුළ දේශපාලන බලය සඳහා එකිනෙකා හා සටන් කරන කාණ්ඩ දෙකක් තිබිය හැකිය. යුගෝස්ලාවියාවේ සර්බියානුවන් සහ ක්‍රොඒෂියානුවන් අතර ගැටුම කෙරෙහි ප්‍රචණ්ඩත්වය, විෂම ලෙස සැළකීම් මෙන්ම අගතියද බලපෑ බව පැහැදිලිය.

සමූහ අතර ඇතිවන්නා වූ දෙවැනි වර්ගයක, ගැටීම් වලට හේතුවන්නේ ආගමික විශ්වාස අතර වෙනස් කම්ය. ශත වර්ෂ ගණනාවක් තුළ ක්‍රිස්තියානිවරුන් සහ මුස්ලිම්වරුන් අතරත්, ඊට පසුව කතෝලිකයන් සහ රෙපරමාදුවරුන් අතරත් පැවැති සාහසිකකම්, බටහිර ඉතිහාසයේ කැපී පෙනෙයි. පැසිස්ට්වාදය, කොමියුනිස්ට්වාදය හා ප්‍රජාතන්ත්‍රවාදය අතර දැන් පවත්නා වූ ගැටීමට මූලික පදනම වී ඇත්තේ දේශපාලන බලය සඳහා ගැටීමක් වන නමුත් ඇදහීම පිළිබඳ වෙනස එම ගැටීම සඳහා තරමක් දුර හේතු වී තිබේ. බොහෝ විට, සමූහයන් අතර පවත්නා ඇදහීම් පිළිබඳ වෙනස් කම් හේතු කොටගෙන තම ඇදහීම පිළි නොගන්නා අය, පාපීන්, මිථ්‍යාදෘෂ්ටිකයන්, දූෂණවල නිරතවන්නන්, නොහොත් වෙනත් ආකාරයේ අයහපත් ක්‍රියාවල යෙදෙන්නන් වශයෙන් මතයක් ඇති වේ. ඔවුනට දඬුවම් කිරීම යුක්තිය ඉටු කිරීමක් නොහොත් දෙවියන්ට සේවය කිරීමක් වන්නේය. තම ඇදහීම සෙසු සියලුම ඇදහීම්වලට වඩා උසස්ය යන ප්‍රබල පිළිගැනීමක් එක් කාණ්ඩයක් තුළ ඇති වූ විට, විශේෂයන්ම ඇදහීම් පිළිබඳව වෙනස්කම් ආශ්‍රිතව අගතිය හට ගන්නේය. එවැනි මතයක්, හින්දු, බෞද්ධ, කොන්පියුෂියන් හා වෙනත් බොහෝ ආකාරවල ආගම්වලට වඩා ප්‍රබල ලෙස යුදෙව්, ක්‍රිස්තියානි, මුස්ලිම් හා සින්ටෝ ආගම් සම්බන්ධයෙන් වර්ධනය වී තිබේ. පසුව සඳහන් කළ ආගම්වලින් එකක් අදහන අය වැඩි වශයෙන් ජීවත්වන රටවල අගතිය වඩා බහුල වශයෙන් පවතින්නේ මේ නිසා විය හැක. අසාධරණත්වය සහ සාහසිකත්වය මෙම ආගම්වලින් සමහරක් විසින් පිළිකුල් කොට සළකන්නේ වී නමුදු මෙය සත්‍ය වන්නේය.

[මතු සම්බන්ධයි]

සංස්කරණය- අජිත් සී හේරත්

පාද සටහන්

1. වෙන් කොට දැක්වීම ඇති කරන, එය සනාථකරන නොහොත් එය යුක්ති සහගත බව දක්වා සිටින හැඟීම් පෙළක් හැඳින්වීමට අගතිය යන පදය අප විසින් යොදාගනු ලැබේ. වෙන් කොට දැක්වීමම, නිරීක්ෂණය කළ හැකි හැසිරීම්වලින් යුක්තවන බැවින් එය අධ්‍යයනය කිරීම සඳහා වඩා ප්‍රයෝජනවත් විෂයයක් වන්නේය. එහෙත් හැසිරීමේ හේතුසෙවීම මෙම ලිපියෙහි අදහස වන බැවින්, වෙනස්කම් අනුව විෂම සැළකීම් සිදුකිරීමට පෙළැඹෙන පුද්ගලයන්ගේ සිත කෙරෙහි අප‍ගේ සැළකිල්ලට යොමු විය යුතුය. අගතිය යනු වෙන්කොට හුවදක්වා විෂම සැළකීම් දැක්වීමේ පුරුද්දට අනුරූප මානසික තත්ත්වය ලෙස නිර්වචනය කළ හැකිය.

-THE ROOTS OF PREJUDICE- by Arnold Rose

The Race Question in Modern Science: Race and Science. Contributors: Unesco - author. Publisher: Columbia University Press. Place of Publication: New York. Publication Year: 1961.

Professor of Sociology at the University of Minnesota, U. S. A.

මහාචාර්ය ආනෝල්ඩ් රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails