Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නුඹේ මේසය මත හිඳ
කවියක් ලියන්නට වෙර දරමි.
ගැට ගැසී සිත
ගෙවී ගිය සමයක
අවි මුවහත් කරමි.
වේ මං තනමි.
සමිති තීරණ
මිටින් ගෙන
එදා කවි කියවමි.
කවි සුමිතුරෝ හමුවෙමි.
දෑස් උහා බලමි.
ම'පුත නුඹ නුඹේ
පැටි කළ සේයා රුවක්
අලවා තිබිණ මේසය අස
බොහෝ වේලා බලා සිටියෙමි.
මගේ පැටි කළ සේයාව
ගෙන ආමි ඒ අසලට
සෙල්ලමට ඉපනැල්ලේ
දිවූ මාමය.
අං අදින කාලෙට
රෑට රෑවෙන කල්
නැටූ මාමය.
මා දෙසම බලා ඉන්නා
නුඹේ ඇස් දෙක
මග හරින්නට නොහැක.
අවි මුගුරු බිම තබමි.
නුඹ කැටුව
ඉපනැල්ලට දුවමි.
නුඹේ ඇස් මා පසුපස
සියක් පැන දරාගෙන
වෙණ තතක් බඳු
නුඹේ හදවත
පෑරෙන තැන් දනිමි මම.
නුඹ සියුම් නෙත් කැළුම්
මෝහනය කරයි මා නිති
හිමි වීමි
සොඳුරු ළඳකට
පිරිමි පුතෙකුට
පිය වීමි
තොටිල්ල වට කොට නුඹේ
රාත්‍රිය නොවෙමි මම
මේ මගේ සුරතය
දායාද එපමණය
අවසන් පිය සටහන
දායාද පිණිස එපමණ.

සුනාපරන්තවාසී අමරසිරි වික්‍රමරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රජයක් සිරිත් පරිදි යුද වියදම් ගණනය කරණු ලබන්නේ ඩොලර්වලින්, අහිමිවූ නිෂ්පාදනයන් මගින් හෝ මියගිය හෝ තුවාල ලැබූ සොල්දාදුවන් ගණනිනි. නමුත්, කලාතුරකින් හමුදාමය සංවිධාන මෙම යුද වියදම්, යුද්ධය හේතුවෙන් පීඩාවිඳින පුද්ගලයන් සම්බන්ධයෙන් මැනීමට කටයුතු කරයි.
-රිචඩ් ගේබ්‍රියල්

වියට්නාම් යුද්ධය හා ඊළාම් යුද්ධය අතර සමානතා හා අසමානතා බොහෝ වෙයි. නමුත් මේ දෙකම 20වන සියවසේ යුද්ධයක ඇති බිහිසුණුකම විදහා දක්වයි. වියට්නාම් යුද්ධය, ඇමරිකාව සම්බන්ධවූ දීර්ඝතම යුද්ධය වූ අතර එය 1963 සිට 1975 තෙක් වසර 12ක කාලයක් පැවතිණි. ඇස්තමේන්තුවලට අනුව පුද්ගලයන් මිලියන 2.5ක් මෙම යුද්ධය සඳහා දායකවී ඇති අතර 58,000 පමණ ඇමරිකානුවන් පිරිසකට ජීවිත අහිමිවී ඇත. තවත් 300,000ක් තුවාල ලබා ඇත. වියට්නාම් යුද්ධය අවසන්වූයේ ඇමරිකාව වියට්නාමය තුළදී පරාජය ලැබීමත් සමගය. නමුත් ඊළාම් යුද්ධයේදී ලාංකික හමුදාවට ජයග්‍රහණය හිමිවිය. වියට්නාමය තුළදී ඇමරිකන් හමුදාවල සම්පූර්ණ පරාජය විවාදාත්මකය. ඇතමුන් පවසන පරිදි “යුද්ධයේ අවසාන පරාජයේ වගකීම පැවරෙනුයේ සටන් කළ මිනිසුන් වෙත නොව, කොංග්‍රසයේ පුද්ගලයන් වෙතයි. (වියට්නාම් යුද්ධය, පසුවිපරම 2009)

ඊළාම් යුද්ධය ආසියාවේ දීර්ඝතම ආයුධ සන්නද්ධ ගැටුමයි. මෙය ආසන්න වශයෙන් වසර 30ක පමණ කාලයක් පැවතිණි. වියට්නාම් යුද්ධය මෙන් නොව ඊළාම් යුද්ධයට වසර සියගණනකට පෙර පැවති ජනවාර්ගික ගැටුම්වල ඓතිහාසික මූලයන් හේතුවෙයි. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව මෙය ක්‍රි. පූ. 205, එනම් දුටුගැමුණු රජ සමයේ සිදුවූ දකුණු ඉන්දියානු ආක්‍රමණය දක්වා විහිදෙයි. ජනවාර්ගික ආතතියක් බිහිවූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමයේදීය (1815-1948). මෙයට හේතුවූයේ “බෙදා පාලනය” කිරීමේ ප්‍රතිපත්තියයි. අතුරුඵලයන් ඉස්මතුවීම ආරම්භවූයේ 1948 නිදහසෙන් පසුවය. රජය හා දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතර ආතතිය 1970 ගණන්වල සිට මතුවෙමින් පැවති අතර මෙය ප්‍රධාන ආයුධ සන්නද්ධ අරගලයක් බවට වර්ධනය විය.

ලාංකික ආයුධ සන්නද්ධ ගැටුම සඳහා බොහෝ අර්ථකථන හා පහදාදීම් ඇත. ඇතමෙක් මෙය ත්‍රස්තවාදී ප්‍රශ්ණයක් ලෙස දකින අතර තවත් සමහරු මෙය විවරණය කරනුයේ ඉතා සංකීර්ණ ගැටලුවක් ලෙසය. යේල් විශ්වව්ද්‍යාලයේ ජොනතන් ස්පෙන්ස්ගේ අදහසට අනුව ලාංකික ගැටුම මෙසේ වෙයි.පසුගිය දශකයේදී ලංකාව දේශපාලනමය ඛේදාන්තයක ගිලී ගියේය. පිළිවෙලින් පැමිණි රජයන් බහුතර සිංහල ජන කොටසට පිළිගත හැකි ආකාරයෙන් දෙමළ සුලුතරයේ දුක්ගැනවිලි විසඳීමට අපොහොසත් වීම මෙයට හේතුවයි. (ලංකා ඉතිහාසය හා අරගල මූලයන්, ජොනතන් ස්පෙන්ස්.) කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ සහකාර මහාචාර්ය කුමාරි ජයවර්ධන අවධාරණය කරනුයේ, ලංකාවේ ජනවාර්ගික අරගලයේ ඉතිහාසය මෙහි බහුතර ප්‍රජාව වන සිංහල ජන කණ්ඩායම, මෙහි ඇති බහුවාර්ගික බව ප්‍රතික්ෂේප කරමින්, සිංහල-බෞද්ධ ලෙස නැගී සිටීමේ ඉතිහාසයම බවයි. ලංකාවේ සුළුතර ජනකොටස් අතර මෙම විඥානය වර්ධනයවීම, ගැටලු පිලිබඳ අභ්‍යන්තර යෝජනාවලීන් අසාර්ථකවන තරමටම ප්‍රබල විය. (ලංකාවේ ජනවාර්ගික ගැටළුව හා කලාපීය ආරක්ෂාව-කුමාරි ජයවර්ධන )


ඊළාම් ගැටුම ආරම්භවූයේ, 1976 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙනම රාජ්‍යයක් පිලිබඳ යෝජනා කිරීමත් සමඟ ය. කෙසේ වෙතත්, 1976ට පෙර දෙමළ සටන්කාමීත්වය ඉස්මතුවූයේ උතුරේ තරුණ කොටස් ගොඩනගන ලද රහස් සංවිධානයක් ලෙසය. මෙම කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් ලෙස යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රෙඩ් දොරෙයප්පා මහතා 1975 දී ඝාතනය විය. එල්. ටී. ටී. ඊ. සංවිධානය 1976 පිහිටුවාගන්නා ලද අතර ඊළාම් යුද්ධයේ ප්‍රධාන භූමිකාව රඟ දැක්වූයේ ඔවුන්ය.

ඊළාම් යුද්ධය නිළ වශයෙන් ආරම්භවූයේ 1983 දී දිවයින පුරා පැවති වර්ගභේදවාදී ගැටුම් සමඟ ය. මෙය එල්. ටී. ටී. ඊ.යට පිරිස් බලය හා ජාත්‍යන්තර පිළිගැනීම ලබාදුණි. මුල් අවදියේදී, ඉන්දියාව විසින් මෙම ආයුධ සන්නද්ධ දෙමළ පිරිස් පුහුණු කිරීම හා ඔවුන්ට ආර්ථික ආධාර ලබාදීම සිදුකෙරිණි. මෙම කණ්ඩායම් අතර එල්. ටී. ටී. ඊ.ය බලවත් හා කාර්යශූර යුද යාන්ත්‍රණය බවට පත්විය. එල්. ටී. ටී. ඊ.ය ලාංකික හමුදාවලට එරෙහිව සටන් කිරීමට ඉතා සාහසික යුද උපක්‍රම යොදාගත්හ. මෙම සටන් බහුතරයක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සිදුවිය. තවද, එල්. ටී. ටී. ඊ. සන්නද්ධ පිරිස් ඉතා ප්‍රබල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් කොළඹට එල්ලකරමින් ලාංකීය සමාජයේ හදවත පීඩාවට පත්කළහ.

යුදමය ගැටුම වර්ධනය වීමත් සමඟ එල්. ටී. ටී. ඊ.ය ලංකාවේ උතුරු හා නැගෙනහිර විශාල භූමි ප්‍රදේශයක් අත්පත් කරගත්තේ ය. 2002 වසරේ සටන් විරාම කාලසීමාව වනවිට, එල්. ටී. ටී. ඊ.ය වර්ග කිලෝමීටර් 15,000ක පමණ භූමිභාගයක් පාලනය කල අතර එම ප්‍රදේශයේ ඔවුන්ටම ආවේණිකවූ බදු ක්‍රම, පාරවල් හා උසාවි පවත්වාගෙන යන ලදී. ඊළාම් යුද්ධය නඩත්තුකිරීමට විශාල මුදල් ප්‍රමාණයක් වැය විය. ලෝක දෙමළ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ජීවත්වන්නේ ලංකාවෙන් පිටතය. මෙම බටහිර රටවල ජීවත්වන දෙමළ ඩයස්පෝරාව ඊළාම් යුද්ධය සඳහා ආර්ථික ආධාර සපයයි. මීට අමතරව එල්. ටී. ටී. ඊ.ය අසාධාරණ ලෙස සහ තැතිගැන්වීම් මගින් ලබාගන්නා මුදල් ආයුධ මිලදී ගැනීම සඳහා යොදවයි. ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය හා වෙනත් බොහෝ රටවල්වල ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස එල්. ටී. ටී. ඊ.ය තහනම් කර ඇත. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යය දෙපාර්තමේන්තුව 1997 වසරේදී එල්. ටී. ටී. ඊ.ය ඔවුන්ගේ ත්‍රස්ත ලයිස්තුවට ඇතුළත් කර ඇත. 2008 ජනවාරි මාසයේදී කොංග්‍රසයේ පර්යේෂණ සේවය ප්‍රකාශ කළේ, මෑතදී විදේශ රටවල් සිදුකල ආර්ථික සහන කපාහරීම් නොසලකමින් එල්. ටී. ටී. ඊ.ය වාර්ෂිකව ඇ. ඩො. 200-300 අතර ඇස්තමේන්තුගත මුදලක් එකතුකරන බවයි.

2009 වර්ෂය දක්වා කෙටි සටන් විරාමයන් සමඟ ඊළාම් යුද්ධය පවත්වාගෙන යනු ලැබූ අතර, 2009 මැයි මාසයේදී ලාංකික හමුදාව විසින් එල්. ටී. ටී. ඊ.ය සමූලඝාතනය කිරීමට සමත්විය.100,000ට අධික පිරිසක් මෙම එල්ටීටීය ට එරෙහිව සටන් කළ අතර, 2009 මැයි මාසයේදී, ජයග්‍රහණය ලබාගැනීමටට සමත් වූහ. අවසානයේදී 2009 මැයි 17වන දින එල්. ටී. ටී. ඊ.ය පරාජය බාරගත් අතර, කැරැල්ලෙහි ජාත්‍යන්තර සම්බන්ධතා පිලිබඳ නායක සෙල්වරාසා පත්මනාදන් වෙබ් අඩවියකට ප්‍රකාශ කර සිටියේ, “මෙම යුද්ධය එහි අමිහිරි අවසානය කරා එළඹ ඇති බවය… අපි අපේ තුවක්කු නිහඬ කිරීමට තීරණය කළා. අපේ එකම කළකිරීම ජීවිත අහිමිවීම සම්බන්ධයෙනි. නමුත් අපිට තව දුරටත් මෙය පවත්වාගෙන යාම අසීරුයි.” (නිව්යෝක් ටයිම්ස් 2009, මැයි 18.)

ඊළාම් යුද්ධය වියට්නාම් යුද්ධය මෙන්ම ගරිල්ලා යුද්ධයකි. වියට්නාම් යුද්ධයට මුහුණුවර කිහිපයක් විය. වරක් එය අසල්වැසි රාජ්‍යයේ ආක්‍රමණයන්ට එරෙහිව ස්වදේශික ගරිල්ලා හමුදාවන් ගෙනගිය කැරැල්ලක් විය. එය ස්නයිපර් හා සැඟව සිට පහරදීම් අතර යුද්ධයකි. මෙම සටන ක්‍රියාත්මක වූයේ බහුතර ජනාවාස සහිත සහල් කූඩය ලෙස හැඳින්වෙන මීකොං ඩෙල්ටාවේ සිට ග්‍රාමීය කැලෑ සහිත කඳුකර ප්‍රදේශයක් වූ මධ්‍යම උස් භූමි ප්‍රදෙශයේය. මෙහිදී පාබල හමුදා කාණ්ඩ උත්සාහ කළේ කුඩා වියට්කොං කණ්ඩායම් ඉලක්ක කරගැනීමවූ අතර, සේනාංක මට්ටමේ මෙහෙයුම්, ප්‍රධාන බළඇණියවූ උතුරු වියට්නාම් හමුදා රෙජිමේන්තු හා හමුදාංශයන් ඉලක්ක කරගෙන සිදු කෙරිණි. (වියට්නාමයේ එක්සත් ජනපද හමුදා – වින්සන්ට් එච්. ඩෙමා) ඇමරිකන් හමුදා වියට්නාමය තුළදී බියකරු සටන් තත්ත්ව අනාවරණය කරගත් හ. එමෙන්ම ලාංකික සොල්දාදුවෝ ද උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලදී අප්‍රසන්න ප්‍රහාර අත්වින්දහ. 1987 විමුක්ති මෙහෙයුමේ සිට 2009 මැයි මස පුතුකුඩුඉරුප්පු අවසන් සටන දක්වා මහා පරිමාණයේ මෙහෙයුම් (1987-2009) 25ක් පමණ එල්. ටී. ටී. ඊ.ය විරුද්ධව මෙහෙයවා තිබිණි. මෙම මෙහෙයුම්වලදී ඉතා විශාල මිනිසුන් පිරිසක් (සටන්කරුවන්/ එල්. ටී. ටී. ඊ සාමාජිකයන්/ සිවිල් ජනතාව ) කායිකව හා මානසිකව තුවාල ලැබීය.

මිලියන 8.5කට අධික පුද්ගල පිරිසක් වියට්නාම යුද සමයේදී ඇමරිකානු හමුදාවේ සේවය කළහ. (1964-1973) අග්නිදිග ආසියාව නියෝජනය කරමින් සේවය කළ පිරිස ආසන්න වශයෙන් මිලියන 2.8 පමණ වේ. මෙම පසු සඳහන් පිරිසෙන් මිලියනයක් පමණ සක්‍රීය අරගලය දුටුහ. නැතිනම් විරුද්ධවාදීන්ට නතුවිය. එසේත් නොමැති නම් ජීවිත තර්ජනයට මුහුණ දුන්හ. (මානසික සෞඛ්‍ය පිළිබඳ ජනාධිපති කොමිසම 1978) ආසන්න වශයෙන් වසර 20ක පමණ කාලයකට පසුව 15.2% ඇමරිකානු හමුදා පසු යුද ආතති තත්වයට මුහුණ පෑහ. (කුල්කා සහ වෙනත් 1990) සමස්තයක් ලෙස වියට්නාම් යුද්ධයේදී ඇස්තමේන්තුගත මිලියන තුනකට අධික ජනතාවක් මියගිය අතර මිලියනයකට අධික ජනතාවක් තුවාල ලැබීය.

දීර්ඝ කාලයක් තිස්සේ පවතින සටන් වාතාවරණය සටන්කරුවන්ට ඉතා ප්‍රබල කායික හා චිත්තවේගාත්මක වෙනස්කම් ළඟාකරදෙයි. ස්වෑන්ක් හා මාචන්ඩ්ගේ දෙවන ලෝක යුද්ධ අධ්‍යනයේදී දින 60ක අඛන්ඩ කාලයකට පසු නෝමැන්ඩි වෙරළේ සිටි ඇමරිකානු හමුදා භටයන් අතුරින් දිවි ගලවාගත්තවුන්ගෙන් 98% පමණ මානසික ව්‍යාධීන් බවට පත්ව ඇත. දෙවන ලෝක යුද සමයේ දකුණු පැසිෆික් ප්‍රදේශයේ සිටි සාමාන්‍ය පාබල හමුදාව වසර හතරක් තුළදී දින 40ක වැනි අරගලවලට මුහුණදෙන ලදී. වියට්නාමයේ සිටි පාබළ හමුදාව වර්ෂයක් තුළ දින 240ක අරගලවලට මුහුණ දෙන ලදී. වියට්නාම් යුද්ධයේදී, විදේශවල සිට නැවත පැමිනෙන දිනය හඳුන්වාදෙන ලදී. ඔවුන්ගේ චාරිකාව මාස 12ක් පැවතිනි. නමුත් නාවිකයන්ට මෙය මාස 13ක කාලයක් විය. මෙම “ආපසු පැමිණීමට නියමිත දිනය කායික හෝ මානසික අනතුරකට වඩා ඔවුන්ට යුද්ධයෙන් මිදිය හැකි දිනය දැක්වෙන පොරොන්දුවක් විය. (කොමොස්, 1978 ) කෙසේ වෙතත්, ඊළාම් යුද්ධයේදී ක්‍රියාන්විතයේ සේවය කළ ලාංකික සොල්දාදුවන් සතුරු ආක්‍රමණවලට මාස 12ක් පමණ මුහුණදුන් අවස්ථා ඇත. බොහෝ අවස්ථාවලදී ඔවුන් ඉතා දීර්ඝ සටන්වල නිරතවූයේ මෙහෙයුම් නොකෙරෙන ප්‍රදේශවලට මාරුවීම් ලබාදෙන දිනයක් හෝ ක්‍රියාන්විත රාජකාරියෙන් නිදහස් කරන දිනයක් පවා නොදැනය. ක්‍රියාන්විතයේ සේවයේ නියුතු පිරිසගේ මවුපියන් අවිනිශ්චිතතාවකින් පසුවිය. වියට්නාමයේ මෙන් යුද්ධයෙන් ආපසු පැමිණීමට දිනයක් ඔවුන්ට නෛතිකව දක්වා නොතිබිණි. මෙහිදී පලායෑමේ ප්‍රතිශතය වියට්නාම් යුද්ධයට වඩා වැඩිවිය.


දෙවන ලෝක යුද සමයේ ඇමරිකන් හමුදාවේ පලායෑමේ ප්‍රතිශතය උපරිම වශයෙන් 6.3% නැතහොත් සොල්දාදුවන් 1000කට 63කි. සොල්දාදුවන් 21,049 දණ්ඩනයට යටත් විය. කොරියන් යුද්ධයේදී පලායෑමේ ප්‍රතිශතය 1000කට 22.5කි. ආසන්න වශයෙන් 50,000 පමණ ඇමරිකන් භටයන් වියට්නාම් යුද්ධයේදී පලාගියේය. 2003 වර්ෂයේදී පේරාදෙණි සරසවියෙන් කළ සමීක්ෂණයකට අනුව ලාංකික සොල්දාදුවන් 49,143ක්, නිළධාරීන් 623ක් ඇතුලත්ව පලාගියවුන්ගේ ලයිස්තුවලට අතුලත් විය. මෙය මුලු හමුදා ශක්තියෙන් 1/3ක් පමණ විය. 2003 වර්ෂයේදී ආරක්ෂක අමාත්‍යාංශය මගින් පලාගියවුන්ට පොදු සමාවක් ලබාදෙන ලදී. මෙහිදී සොල්දාදුවන් 50,000කට පමණ නීත්‍යානූකූලව හමුදාවෙන් ඉවත්වීමට හෝ නැවත හමුදාවට එකතුවීමට අවස්ථාව ලැබිණි. මොවුන් පසුගිය වර්ෂ 3ක කාලය තුළ පළාගිය අය බව ද, ඔවුන්ට විරුද්ධව අපරාධ චෝදනා නොමැති බවද උපකල්පනය කරන ලදී. (හැරිසන්, ෆ්‍රාන්සස් 2003, ලංකාවේ යුද හමුදාවෙන් පැනගියවුන් සඳහාවූ පොදු සමාව’ බී.බී. සී. මාර්තු 4 )

ලංකාවේ යුද්ධයෙහි අවසන් අදියරයන්හිදී ආසන්න වශයෙන් 2000,000ක පමණ හමුදා පිරිසක් (පොලිස් නිළධාරීන්ද ඇතුලුව ) ඒකරාශී කළ අතර බොහෝ දෙනෙක් ක්‍රියාන්විත සේවයේ නියුතුවිය. ලාංකික හමුදාවේ ගොඩබිම් බළකාය ලෙස හමුදාංශ 13ක් යටතේ 140,000ක් වූ (ක්‍රියාන්විතයේ 120,000) භට කණ්ඩායමක් සේවයේ යෙදවීය.ඊළාම් යුද්ධයේදී 90,000කට පමණ ජීවිත අහිමිවිය. දෙමළ සටන්කාමීන් 27,839 ද, 23,327කට අධික ලාංකික සොල්දාදුවන් හා පොලිස් නිළධාරීන් පිරිසක්ද, ඉන්දීය හමුදා භටයන් 1155ද දහස් ගණනින් සිවිල් ජනතාවද මේ අතර විය. යුද්ධයෙහි අවසන් කාලසීමාවේදී 280,000 පමණ පුද්ගලයන් පිරිසක් අවතැන් විය.

දෙවන ලෝක යුද්ධයේදී සටන්කළවුන්ගේ සාමාන්‍ය වයස් සීමාව අවුරුදු 26ක් වූ අතර වියට්නාම් යුද්ධයේදී එය 19ක් විය. ඊළාම් යුද්ධයේදී සාමන්‍ය වයස් සීමාව අවුරුදු 18-25 අතර විය. බොහෝ වියට්නාම් සටන්කාමීන් සමාජයේ පහළ ස්ථරවලින් පැම්ණියවුන් වූ අතර ඊළාම් යුද්ධයේදීද එය එසේම විය. අඩු අධ්‍යාපනයක් ඇති හා අඩු ආදායම් ලාභී බොහෝ තරුණ පිරිස් හමුදාවට එකතුවිය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ නිවාස සෑදීම හෝ බාල සහෝදර සහෝදරයන්ට ඉගැන්වීමයි. මෙම බොහෝ තරුණයින් සිවිල් ජනතාව ලෙස කිසි දිනක උතුරු ප්‍රදේශයට ගොස් නැත. පළමු වතාවට ඔවුන් එහි ගියේ හමුදා සෙබලුන් ලෙස සතුරාට එරෙහිව සටන් කිරීමටය.

යුද සෙබලුන් නැවත යථාතත්වයට පත්කිරීම පිළිබඳව 1983දී කොංග්‍රස් නියෝගයකට අනුව ඇමරිකානු රජය මගින් සංවිධානය කළ අධ්‍යයනයකදී වියට්නාම් යුද්ධයේදී ඔවුන්ට සිදුවී අති මානසික බලපෑම පිළිබඳව සොයාබලන ලදී. මෙම අධ්‍යයනය සිදුවනවිට, මෙම සොල්දාදුවන් ආසන්න වශයෙන් පුරුෂයන් 15%ක් ද ස්ත්‍රීන් 9%ක් ද ලෙස පසු යුද ආතති තත්වයට මුහුණපා සිටියහ. ආසන්න වශයෙන් 30% පමණවූ පුරුෂයන් ද, 27% පමණවූ ස්ත්‍රීන් ද මෙසේ පසු යුද ආතති තත්වයකට යුද්ධයෙන් පසුව ඔවුන්ගේ ජීවිතයේ කුමනහෝ අවධියකදී මුහුණපා ඇත. මෙම අධ්‍යයනය සිදුවන විට වියට්නාම් යුද්ධය හේතුවෙන් 479,000 පමණ පසු යුද ආතති තත්වයකට පත්ව සිටි අතර මිලියනයක් පමණ මුළු ජීවිත කාලය තුළම පසු යුද ආතතියට ලක්වූ සිද්ධි වාර්තාවී අත. (පසු යුද ආතති තත්වයට මුහුණපෑ යුද සෙබලු අනුපාතය, මැතිව් ටල්)

ඊළාම් යුද්ධය හේතුවෙන් ඉතා දරුණු හා නිදන්ගත මානසික සෞඛ්‍ය ගැටළු රැසක් නිර්මාණයවී ඇත. ලාංකික හමුදා භටයන් සම්බන්ධයෙන් සිදුකෙරුණු සවිස්තර අධ්‍යයනයන් නොමැති වුව ද දළ ඇස්තමේන්තු අනුව පසු යුද ආතති තත්වය 8-12% පමණ වනු ඇත.(ලාංකික යුද සෙබලුන් ආශ්‍රයෙන් යුද්ධය සම්බන්ධ පශ්චාත් ආතතිය, නීල් ෆනෑන්ඩු / රුවන් එම්. ජයතුංග)

වියට්නාම් යුද්ධය පැවති කාලයේ හා ඉන් පසුව ඇමරිකානු සෙබලුන්ට සාධනීය මානසික ආධාර සේවාවක් පැවතුණි. බොහෝ පසු යුද ආතති සමීක්ෂණ වියට්නාම් යුද්ධයෙන් පසුව සිදුවිය. ඊළාම් යුද්ධයට සාපේක්ෂව මනෝචිකිත්සක කටයුතු සාධනීය ලෙස සිදුවිය. අවාසනාවන්ත ලෙස ඊළාම් යුද්ධය සඳහා සටන් කළ සොල්දාදුවන් සඳහා මෙවැනි මානසික ආධාර ලබාදෙන සේවාවන් දැකගත නොහැකි විය. ලාංකික හමුදාවලට සම්පූර්ණයෙන් පුහුණු කළ මනෝවිද්‍යාඥයන් නොවූ අතර බොහෝ මානසික රෝගීන්ට නිසි ආකාරයෙන් පිළියම් කර නොමැත. යුද පෙරමුණෙහි මානසික ප්‍රථමාධාර සේවයක් නොමැතිවූ අතර වැඩි අවධානයක් යොමුකරන ලද්දේ කායිකව සිදුවූ තුවාල සඳහා ය. බොහෝ කාලයක් පුරා පසු යුද ආතති තත්වය පිළිගැනුනේ ලාංකික භටයන්ට අදාල නොවන ඇමරිකානු රෝගී තත්වයක් ලෙසිනි. මෙම මිථ්‍යාවෙන් ඊළාම් යුද්ධයේදී ප්‍රධාන සංකූලතවයන් සහිත බොහෝ මානසික රෝගීන් ඇතිවීමට හේතුවිය.

ඇමරිකානු මහජනතාව යුද්ධයට ඍජුව මුහුණ නුදුන්නේ එය සැතපුම් 12,000ක් පමණ දුරින් සිදුවුන බැවිනි. ඔවුන් මෙම බිහිසුනු යුද්ධයේ දෝංකාරය අත්වින්දේ යුද්ධය අවසානයේදී ය. නමුත් ලාංකික සිවිල් ජනතාවට මෙම යුද්ධය හේතුවෙන් ඉතා දරුණු ආතතියකට මෙන්ම බිහිසුණු අත්දැකීම් වලටද මුහුණපෑමට සිදුවිය. ලංකාවේ මෙම යුද වාතවරණය පැවති දීර්ඝ කාලයේ දී, උතුරේ හා දකුණේ සිවිල් ප්‍රජාව සාමූහිකව යුද කම්පන අත්වින්ද හ. එල්. ටී. ටී. ඊ. මරාගෙන මැරෙන බෝම්බ හේතුවෙන් දකුණේ ද ආරක්ෂාකාරී ප්‍රදේශ නොමැති විය.

වියට්නාම් යුද්ධය හා ඊළාම් යුද්ධය යන දෙකම විදහා දක්වන්නේ මානව ඛේදවාචකයන්ය. කෙසේ වෙතත් ළමා සොල්දාදුවන්ගේ ප්‍රපංචය වියට්නාම් යුද්ධයේ කොටසක් නොවූ නමුත් ඊළාම් යුද්ධයේදී එය හද කකියවන යථාර්ථයක් විය. ජාත්‍යන්තර ප්‍රජාවගේ විරෝධතා නොතකමින් එල්. ටී. ටී. ඊ.ය ළමා සොල්දාදුවන් බඳවාගන්නා ලදී. 1996 එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව, අවු.10 පමණ ඉතා ලාබාල ළමුන්, ගම්බද ප්‍රදේශවල ගැහැනුන් හා ළමුන් ඝාතනය සඳහා යොදාගන්නා ලදී. 1990 ගණන්වලදී මියගිය එල්ටීටීයෙන් 40% – 60% අතර ප්‍රමාණයක් අවු. 18ට අඩු ළමුන්ය. ( හියුමන් රයිට්ස් වොච් වාර්තාව 2004 )

ප්‍රජාවිද්‍යාත්මකව වියට්නාම් යුද සෙබලුන් අයත්වන්නේ ඇමරිකාවේ ඉතා විශාල හා ඉතා වදගත් පරම්පරාවෙන් ඉතාමත් සුලුතරයකටය. (බැස්කිර් හා ස්ට්‍රෝස් ) නමුත් මෙහිදී ශ්‍රී ලාංකික යුද භටයෝ සමාජයේ ද ඉතා වැදගත් භූමිකාවක් නිරූපණය කරති. කලින් හමුදා නිළධාරීන්වූ බොහෝ දෙනෙකු වර්තමානයේදී දේශපාලන ක්ෂේත්‍රයේ හා රාජ්‍ය සේවයේ නිරත වෙති. 2010 ජනාධිපතිවරණයේදී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපති ද තරඟකරුවෙකු විය.

දෙවන ලෝක යුද්ධ සෙබලුන් මෙන් නොව, වියට්නාම් යුද්ධයේදී සටන්කළ භටයින් තම මාතෘ භූමියට ඇතුල්වූයේ ජයග්‍රාහක වීරයන් මෙන් නොව ඉතා දුෂ්කරතාවයට හා වෙහෙසට පත්වූවන් ලෙසය. නමුත් යුද්ධයේ අවසාන දිනවල ලාංකික සෙබලුන්ව සමාජය පිළිගත්තේ වීරයන් ලෙස ආචාර සමාචාර දැක්වීමෙනි.

බොහෝ කම්පනයට පත් ලාංකික සෙබලුන්ට නිසි පුනරුත්ථාපනයක් හා මානසික සහයක් නොලැබුණි. මෙය සෙබලුන් විශාල පිරිසක් ආතති තත්වයක් දක්වා ගෙනයාමට හේතුවිය. තවද, යුද චක්‍රය නැවතීමට නම් හිටපු හමුදා සෙබලුන්ට පුනරුත්ථාපනය හා සමාජීය සමෝදායනය අත්‍යවශම වේ. මෙම ඉතා දීර්ඝ ඛේදනීය යුද්ධයෙන් මිදී රට යලිත් එකමුතු කිරීමට ලාංකීය සමාජයට අධිෂ්ඨානය, සමානාත්මතාව හා සාමය ගොඩනැගීමේ වැඩසටහන් අත්‍යවශ්‍ය වෙයි.

අධ්‍යයනයන් කීපයක්ම පෙන්වා දෙන්නේ දරුණු අරගලවලට මුහුණදුන් වියට්නාම් සෙබලුන් නැවත ගොඩනැගීමේ කාලය තුලදී වඩා ගැටලුකාරී රෝග තත්වයන් පෙන්නුම් කළ බවයි.( විල්සන් 1978, ස්ට්‍රැයර් හා එලන්හෝන්, 1975; කොමොස්, 1978; ශටන්, 1978; ෆිග්ලෙ, 1978b ) එසේම හිටපු ලාංකික හමුදා සෙබලුන් අතර ද මෙසේ යථා තත්වයට පැමිනීමේ ගැටලුකාරී තත්වයන්ට මුහුණ දෙන්නන් සැලකිය යුතු පිරිසක් වෙති. මෙම තත්වය අනාගතයේදී ක්‍රමිකව වර්ධනය විය හැක.

යුද්ධයන් දෙකෙහිම ද්‍රව්‍යමය වියදම අපරිමිත වෙයි. කෝනල් විශ්වවිද්‍යාලය සිදුකල අධ්‍යයනයකට අනුව වියට්නාම් යුද්ධය සඳහා වැයකල මුදල ඇමරිකානු ඩොලර් බිලියන 200කි. ඊළාම් යුද්ධය සඳහා වියදම් කළ මුදල රුපියල් ට්‍රිලියන 23කි. (2010 වසරේදී නියෝජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රකාශයකට අනුව -ඇ. ඩො. 1 = රු. 114.15 – 2010 මාර්තු විනිමය අනුපාතය)

වියට්නාම් යුද්ධය ඇමරිකානු සාමාන්‍ය මහජනතාව දෙකට බෙදීමට සමත් විය. ඇතමුන් විවෘතව අග්නිදිග ආසියාතික යුද්ධය හෙලා දකින ලදී. වියට්නාම් යුද්ධයට එරෙහිවූවන් වීදි බැස විරෝධතා දැක්වීමට පවා පෙළඹුනේ යුද්ධයට එරෙහිව දේශපාලන මතයක් ගොඩනැගීමේ අපේක්ෂාවෙනි. ප්‍රසිද්ධ පුද්ගලයන් වන බොබී ඩලන්, ජෝන් ලෙනන්, ජේන් ෆොන්ඩර්, මොහොමඩ් අලි වැන්නන් ප්‍රසිද්ධියේම යුද්ධය ප්‍රතික්ෂේප කලෝය. මහජන උද්ඝෝෂණ දැඩිවූ අතර සාධාරණත්වය අපේක්ෂා කරන බොහෝ සිවිල් ස්වාධීන ව්‍යාපාර ඔවුන්ට ආධාර කළහ. වියට්නාම් යුද්ධයේදී වර්ගවාදී ආතතිය ඉතා තීව්‍රවූ අතර මෙය සුදු මිනිසාගේ යුද්ධයක් ලෙස හැඳින්විය. (වියට්නාම් යුද්ධයේදී මියගිය පිරිසගෙන් 86% සුදු ජාතිකයන් වූ අතර අප්‍රිකානු සම්භවයන් ඇති ඇමරිකානුවන් 12.5%ද, අනෙකුත් ජනවර්ග 1.2% ද විය. (සී.ඒ.සී.එෆ්. හා වෙස්ට්මෝලන්ඩ් පුවත්පත්.)

සමහර රාජ්‍යය නොවන ආයතන ඊලාම් යුද්ධයට එරෙහි විරෝධතා පැවැත්වූ අතර ඉන් මහජනතාවට විශාල බලපෑමක් සිදු නොවිණි. මහජනතාව විශ්වාස කළේ විදේශ ආධාර ලබන බොහෝ රාජ්‍ය නොවන ආයතන ලංකාවේ ස්වාධිපත්‍යටත්, ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් බවයි. යුද්ධයට එරෙහිව ගෙනගිය බොහෝ විරෝධතා හුවා දැක්වූයේ යුද්ධයේ එක් පැත්තක් පමණි. එවැනි උද්ඝෝෂණ මගින් රජයෙන් සිදුකරන ලද පහරදීම් හෙළාදක්නා ලද අතර එල්. ටී. ටී. ඊ.ය සිදුකරන ලද ක්‍රියාකාරකම් මතුකර නොදැක්වීය. සමහර යුද විරෝධී උද්ඝෝෂණවලට එල්. ටී. ටී. ඊ.යට ගැති සංවිධාන ආධාර කළ අතර, එම සංවිධාන පිළිබඳ මහජන විශ්වාසය බිඳී ගියේය. එවැනි රාජ්‍ය නොවන සංවිධානවල සැඟවුනු අභිප්‍රායන් සහ ඔවුන්ගේ සත්‍යය න්‍යයපත්‍ර පිළිබඳව ජනතාව ප්‍රශ්ණ කරන ලදී. ඉතා සුළු පිරිසක් යුද්ධයේ බිහිසුණුකම පෙන්වා දෙමින් ද මනුෂ්‍යත්වය හුවා දක්වමින් ද කතා කළහ. නමුත් දැඩි මතධාරී දේශමාමකයන් ඔවුන් දේශද්‍රෝහීන් ලෙස සැලකූ අතර ඔවුන්ගේ හඬ ජනතාව අතරට නොආවේය. ලංකාවේ මෙම අවුරුදු 30ක යුද්ධය තුළ, දකුණේ හෝ උතුරේ යුද්ධයට එරෙහි කිසිඳු සාධනීය විරෝධතාවක් සිදුනොවිණි.


1973 වියට්නාමයේ ඇමරිකන් හමුදාවල ඍජු මැදිහත්වීම අවසාන වනවාත් සමඟම ස්නායු මනෝචිකිත්සාවට අදාල ගැටළු සහිත සෙබලුන් ගණන ඉතා වේගයෙන් ඉහළ ගියේය. (1978 මානසික සෞඛ්‍ය පිළිබඳ ජනාධිපති කොමිසම.) වියට්නාම් යුද්ධය පාඩම් රැසක් ඉගැන්වීය. යුද්ධයේ බලපෑමට ලක්වූ සෙබලුන්ගේ මනෝවිද්‍යාත්මක කළමනාකරණය සම්බන්ධව පුරෝගාමීවූ වෛද්‍ය ඇල්බට් ග්ලාස්ගේ ක්‍රියාකළාපය හේතුවෙන් කොරියානු යුද්ධයේදී වියට්නාම් යුද්ධයට සාපේක්ෂව මනෝවිද්‍යාත්මක ගැටළු අවම විය. අවාසනාවන්ත ලෙස වියට්නාම් යුද්ධයේදී ඔහුගේ උපදෙස් පිළිබඳව තැකීමක් නොකරන ලදී. මේ හේතුවෙන් ඇමරිකන් සෙබලුන්ට හා ඇමරිකන් සමාජයට විශාල ලෙස වන්දි ගෙවීමට සිදු විය. ලාංකික සමාජයට ද අනිවාර්යයෙන්ම යුද ආතතියට මුහුණදීමට සිදුවූ අතර යුද්ධයට පසු ඇතිවූ නීරස අද්දැකීම්වලට මුහුණදීමට ද සිදුවී ඇත.

ඊළාම් යුද්ධයේදී සිදුවූ මනෝවිද්‍යාත්මක හානිය වියට්නාම් යුද්ධයට වඩා වැඩිය. ඇඩිලේඩ් සරසවියේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහකාර සායන මහාචාර්ය වරයෙකුවූ දයා සෝමසුන්දරම් මහතා පෙන්වා දෙන්නේ ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ආයුධ සන්නද්ධ ගැටුම බොහෝ මානසික සෞඛ්‍ය ගැටළු ඇතිකිරීමට හා 2004 ඇතිවූ සුනාමියේදීටත් වඩා මානසික බිඳවැටීම් අතිකිරීමට සමත්ව ඇති බවයි.

දශක 3 ක ලංකාවේ ජනවාර්ගික යුද්ධයේ යුද ආතති තත්වයන් ට ගොදුරුවූ පිරිස්වලට මානසිකව ද සාමාජිකව ද බලපෑම් එල්ලවී ඇත. මෙම බලපෑම පුද්ගලික වශයෙන් ද, පවුල් වශයෙන් ද, ප්‍රජාවක් ලෙසද දැකගත හැක. අධ්‍යනයනයන් පෙන්වාදෙන්නේ විශාල ලෙස පැතිරුණු ව්‍යාධීන්, විශාල ප්‍රමාණයෙන් දෛහික රෝගාබාධ, භීතිකා, විෂාධි, පසු යුද ආතති තත්වයන්, සබඳතා ගැටළු, මධ්‍යසාර නිසා ඇතිවන ගැටළු මෙයට අයත්වන බවයි. ප්‍රජා මට්ටමෙන් ගත්විට, භීතියේ සාමූහික බලපෑම, සාමූහික කම්පනය, අවිශ්වාසයට ඇති නැමියාව, ප්‍රයත්තතාව, නිහඬබව, ඉවත්වීම, අකර්මණ්‍යතාව හා උද්යෝගය නොමැතිවීම අයත්වෙයි. සමාජීයව සාරධර්ම හා සදාචාරයේ පහලයෑමක් ද ළමා හිංසනයේ ඉහළයාමක් ද, ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, දැකගත හැක.

වියට්නාම් සහලක්ෂණය ඇමරිකාවට බලපෑ ආකාරයෙන්ම ලාංකික සමාජයට ද, යුද කම්පනයේ දෝංකාරයට අනිවාර්යෙන්ම මුහුණපෑමට සිදුවනු ඇත. වියට්නාම් යුද්ධය ඇමරිකාවට වැදගත් යුද්ධයකි. එය ඇමරිකානු භූමියේදී කිසි දිනක සිදු නොවිණි. නමුත්, ඊළාම් යුද්ධය ලංකාව තුළදී සිදුවූ අතර එහි මානසික බලපෑම වියට්නාම් යුද්ධයට වඩා ප්‍රබලය. සෞඛ්‍ය අධිකාරීන්, රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන්, දේශපාලන ධූරාවලීන් යන අය මෙම ආසන්නයේ පැමිණෙන තර්ජනය අවබෝධ කරගතයුතු අතර, මෙම ඊළාම් යුද්ධයෙන් ඇතිවන මානසික හානිය අවම කර ගැනීමට හා එය වලක්වා ගැනීමට කටයුතු කළ යුතුය.

[Based on the article - The Similarities and Differences between the Vietnam War and the Eelam War by Dr. Ruwan M Jayatunge. Translated by A.M Wicramasinghe]

වෛද්‍ය රුවන් එම්. ජයතුංග
පරිවර්තනය - ඒ. එම්. වික්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



....එහෙත් මංජුල වෙඩිවර්ධන කියූ සේ අන්ධකාරය තුළ මිට මෙළවෙන අතක් කවිය ම පතයි. කවිය කිසිදා මරා දැමිය නොහැක. නූතන සමාජ ව්‍යාපාරයකට මේ මොහොතේ කවියට ප්‍රථම වගකීමක් පැවරේ. එනම් තාක්ෂණ ධනවාදී යුගයක අපේ ජීවිතවල ස්වභාවය, අප ගත යුතු දේශපාලනයේ ස්වභාවය, වෙළඳ සංඥාවට ගිනි කන වැටුණු පාරිභෝගිකයා 'මිනිසකු' සේ ප්‍රතිරූපාන්තරණය කිරීම ආදියට වේදයක්, දෘෂ්ටිවාදයක් හා දිශානතියක් සම්පාදනය කිරීමේ මහා වගකීම යි.

එම කටයුත්තේ දී නූතන ම සිංහල කවියා සිය සම්මාදම ප්‍රවේශමෙන් තෝරා ගත යුතු ය. මේ එමිලි ඩිකින්සන්ගේ මොහොත ද? එමිලි ඩිකින්සන් (1830-1886) හඳුන්වන්නේ පෞද්ගලික කිවිඳියක (Private Poet) ලෙස ය. නිර්මාණ 13 ක් පළ කර ඈ මිය ගියා ය. බාල සොයුරිය ලිවීනියා, එමිලිගේ මරණින් පසු ඇගේ මේස ලාච්චුවේ නොපළ කවි 1800 ක් සොයා ගත්තා ය. මහා කිවිඳියක පහළ වූ බව ඇමරිකාව දැන ගත්තා ය. අපගේ තුරුණු කවිය ගත යුත්තේ කිනම් මග ද? කවිය වූ කලී කවිය ම විනා අන් කිසිවක් නොවිය යුතු බවට විවාද නැත. සිත පුරවා දමන විස්මය, අමරණීය තිගැස්ම (Suggestive Function) එහි ගැබ්වුව මනා ය. එහෙත් තීරණාත්මක රයිනෝසරයා ද කවියා ජීවත් වන චතුරස්‍රයට ම පැමිණ ඇත. පලා යාමට කිසිවෙකුට කිසිදු මගක් නැත. නූතන ම සිංහල කවිය මුහුණ දෙන මෙම පරාමිතීන් නිවැරදි මාත්‍රාවෙන් මුසු කර, ප්‍රාමාණික සන්දර්භගත දාර්ශනිකත්වයක් උපදවා ගැනීම, එය අලුත් වටයකින් වටහා ගැනීම නූතන ම කවි කිවිඳියන්ගේ මේ මොහොත වනු ඇත......



['නූතන ම' සිංහල කවිය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් - 2011]

හිනිදුම සුනිල් සෙනෙවි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



යොවුන් සාහිත්‍ය දරුවකුගේ පෞරුෂ වර්ධන කාර්යයේදී ප්‍රබල දායකත්වයක් සපයනු ලබයි. එනම් දරුවාගේ චින්තන, වින්දන ශක්තිය අවුලුවාලන්නට උසස් යොවුන් සාහිත්‍ය කෘතියකින් ලැබෙන පිටු බලය සුඟ පටු නොවේ. තතු එසේ වුවද ශ්‍රී ලංකාව තුළ ඊට වෙන්වන ඉඩහසර පිළිබඳව සතුටු විය නොහැකිය. හාත්පස වැඩෙන ගොරතර විභාග තරගයට ඇද දමා ඇති දරුවාට යොවුන් සාහිත්‍ය කෘතියක් රැගෙන දෙනු වෙනුවට විභාග ප්‍රශ්න පත්‍ර පොතක් ලබා දීම දෙමාපියන්ගේ පුරුද්ද බවට පත්ව තිබේ. හිරු ද ඇහැරවා ගෙන ගෙදරින් නික්මෙන දරුවා රෑ බෝ වී ගෙදරට එන විට දැඩි ලෙස හෙම්බත්ව සිටියි. ඔවුන් අසහනයට පත් කරන විභාග ඉලක්ක මිස ළමා විය සරසන කාල සටහනක් මේ දරුවාට උරුම නැත. යාන්ත්‍රික, අසංවේදී මිනිසෙකු අනාගත ලෝකයට බිහි කරන තිඹිරි ගෙය වන්නේ එයයි.

උක්ත පෙරවදනට නිමිත්ත සපයනු ලැබුයේ ජගත් ඡේ. එදිරිසිංහගේ "ඉස්කෝලේ කාලේ" යොවුන් සාහිත්‍ය කෘතියයි. මෑත කාලයේ මා පැය කිහිපයක් තුළ එකවර කියවා අවසන් කළ සාහිත්‍ය කෘති අතරට, "ඉස්කෝලේ කාලේ" ද අයත් වීම ඒ පිළිබඳව යමක් නොලියා බැරි තැනට මා පත් කළ බව කිව යුතුය. "ඉස්කෝලේ කාලේ" යනු ජගත් පාසල් අවධියේ විඳි අත්දෑකීම් ගොන්නක මියුරු පලයකැයි මට සිතේ. දශක කිහිපයක් ගෙවී ගියද ජගත්ගේ පරිකල්පන ලෝකය තුළ එම යුගය රමණීය සිතුවමක් සේ තැන්පත්ව ඇති අයුරු එය යොවුන් නවකතාවක් ලෙස රූපාන්තරණය කොට ඇති විලාසයෙන්ම පැහැදිලි වෙයි. නිර්මාණකරුවෙකු සුවිශේෂ වන්නේ එසේ තමන් විඳි අත්දෑකීමක් පොදු අත්දෑකීමක් බවට පෙරලීමට ඔහු තුළ වන අපූර්ව කුසලතාව නිසාවෙනි.

මෙම කෘතියේ ප්‍රධාන චරිතය වන්නේ "සමන්" ය. සමන්ට අමතරව එහි අපට මුණ ගස්වන සෙසු චරිත වන්නේ, අනුර, ගුණපාල ඉස්කෝලෙ මහත්තයා, අනුලාවතී ඉස්කෝලෙ හාමිනේ සමන්මලී ඉස්කෝලේ හාමිනේ හා පාසලේ විදුහල්පති වරයා ය. උක්ත චරිත කෘතිය තුළ ගොඩ නැගෙන සිදුවීම් මාලාවෙහි කේන්ද්‍රීය පාර්ශවකරුවන් වේ. කතාවක් විස්තර කිරීමේ ආකෘතියෙන් බැහැරවන ජගත් "සමන්" නම් වූ පාසල් සිසුවා මූලික කොට ගොඩ නැගෙන සිදුවීම් පෙලක් අපගේ අවධානයට ගෙන එයි. ඒවා අතර, වාර අවසාන විවිධ ප්‍රසංගය, සමස්ථ ලංකා කවි ගායනා තරග, සිරිසේන මාමාගේ වෙසක් කූඩුව යන සිදුවීම් ප්‍රධාන කොට සැලකිය හැකිය. මෙම සිදුවීම් මුල්කොට ගෙන උක්ත චරිත හැසිරෙන ආකාරය කෘතියෙන් ඉදිරිපත් කෙරේ. එම චරිත අතර "සමන්" නැමැති ප්‍රධාන චරිතය සිය අභියෝග වලට මුහුණ දෙන ආකාරයත් ඒවා ජයගන්නා ආකාරයත් සියුම් ලෙස විශද කරන්නට ජගත් සමත් වී තිබේ. අද්භූත ලොවක ළමයකුගේ ව්‍යාජ වීරත්වය හුවා දක්වනු වෙනුවට ළමයා ජීවත්වන මහ පොළව මත ඇති සැබෑ යාථාර්ථය ඥාණය කරීමට ඔහු හුරු කිරීම ජගත්ගේ අපේක‍ෂාව වී තිබේ. "ඉස්කෝලේ කාලේ" තුළ ඉන්ද්‍රජාලික ලෝකයක් මවා නැත. එහි ඇත්තේ සැබෑ ලොව දරුවාට හමුවන ගැහැනුන් හා මිනිසුන්ය. ඔහු ජීවිතය ඉගෙන ගන්නේ එම මිනිසුන් තුළ ඇති සංකීර්ණ චරිත ස්වභාවයන් හා ගැටෙමිනි.

ජගත් ඉතා අව්‍යාජ රීතියකින් දිග හරින එම චරිත තුළ ආදරය, කරුණාව, ඊර්ෂ්‍යාව, ත්‍රාසය, හාස්‍යය, ලිංගිකත්වය වැනි මිනිස් චරිත ස්වභාවයන් අපට හමුවේ. ළමයාගේ ජීවිත අවබෝධය වර්ධනය කරනු වස් පිටසක්වල ජීවීන් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවේ. ජගත් ගොඩ නගන සජීව සිදුවීම් තුළින් දරුවා ජීවිතය හොඳින් විඳිතැයි ද උගනිතැයි ද මම සිතමි.

ජගත් සිය අත්දැකීම් ඉදිරිපත් කිරීමට උපයුක්ත කොට ගෙන ඇති භාෂාව පිළිබඳව ද යමක් කිව යුතුව තිබේ. එය අතිශය සජීව බසකි. ගැමි පරිසරයට අනන්‍යව නිරුත්සාහයෙන් ගලා එන එම බස් වහර අදාල චරිතයන්හි විශාවසනීය බව විශද කරනු වස් ප්‍රබල දායකත්වයක් සපයයි. ජගත්ගේ ඇතැම් යෙදුම් ඔහු කවියෙකු බව අපට සිහිපත් කර දෙන්නේ ඒවායෙහි ඇති උත්ප්‍රාසය නිසාමය.

"මේ ළමය දකින්න ඇතිනෙ මම මේ ඉස්කෝලෙ හාමිනේගෙ අත අල්ලාගෙන එයාට සාස්තරයක් කියමින් ඉන්නවා......" ලොකු මහත්තයා මගේ සිහින ලෝකය අතර මැද කතා කළේ ය. "...........ඕක ඉතින් ඔය ළමයා එක එක අයට කියන්නෙ එහෙම නෑ.... තේරුණාද?" අන්තිම වචනය ඔහු කීවේ ටිකක් තදින් ය.

"නෑ මම කිව්වෙ ඕව..... ඒ කිව්වෙ මට අත බලා සාස්තර කියන්න පුඟවනිය කියලා එක එක අය දැන ගත්තහම මට හරිම කරදරයි. එහෙම නේද ඉස්කෝලෙ හාමිනේ... ?"
(උපුටා ගැනීම - පිටුව 60)


"මේ ළමයට තේරෙන්නෙ නෑ. මේ කාව්‍ය සාස්ත්‍රය කියන එක ළමයා හරියට ප්‍රගුණ කරන්න ඕනේ. .. අනෙක මට කවි සාස්තරේ පිහිටියේ මං පොඩි කාලෙ අපේ අම්මා මගේ දිවේ සරස්වතී තෙල් ගෑව නිසයි.. මේ ළමයා සරස්වතී තෙල් බීලා තියනවද ?" මම කල්පනා කළෙමි. සරස්වතී තෙල් නම් අපේ ගෙදර තිබුන බවක් මට මතක නැත. කැටවල තෙල් කියා ජාතියක් නම් තිබෙන නමුත් ඒ තෙල් ගාන්නේ අත පය තුවාල කරගත් විටය. ඒවා බොන්නේ නැත. ඒත් ඉතින් මේ මිනිහාට දෙවෙනි වන්නට මගේ සිත ඉඩ නොදෙයි.

"මම මෝර තෙල් බීලා තියෙනවා....." මම ජයග්‍රාහී ලෙස කීවෙමි.

"මෝර තෙල්.... ? ? ? මගේ උත්තරයෙන් කවි කාරයා කරකැවී ගියේය."
(උපුටා ගැනීම - පිටුව 93)


කෘතිය තුළ ගොඩ නැගෙන මෙවන් සංවාද බැලූ බැල්මට හාස්‍ය රසයක් ජනිත කළ ද එහි ඇති උත්ප්‍රාසය මිනිස් චරිත තුළ ඇති සංකීර්ණ මනෝගතීන් නිරාවරණය කරනු ලබයි. ඇතැම් විටෙක සාධු සම්මත සමාජ චරිත ප්‍රශ්න කරනු ලබයි.

ජගත් සිය කෘතිය තුළ ඉදිරිපත් කරන ගැමි පරිසරය පාඨක මනසෙහි වඩාත් සජීව දෘෂ්‍ය රෑප මවන්නට සමත් වී තිබේ. ඒ සඳහා ඔහු විවිධ පරිසර වර්ණනා ඉදිරිපත් කරමින් වචන වියදම් කරනු වෙනුවට එහි සිදු වීම් ඇසුරෙහිම ඊට උපයුක්ත පරිසරයේ අපූර්වත්වය කැටිකොට දක්වන්නට ජගත් දක්වන සමත්කම අපගේ පැසසුමට බඳුන් වෙයි.

"අපි බෝවිටියා සහ දං පඳුරු ඈත් මෑත් කර ගොඩැල්ලට ගොඩ වූවෙමු. පඳුරු අතර සිටි කුරුලු රෑන ඈතට ඉගිල ගියේ අපේ පා හඟට බියෙන් විය යුතුය. තණ බිස්ස මත අලසව වැතිර සිටි කබරගොයෙක් කඩිමුඩියේ වතුරට පැන ගත්තේය."
(උපුටා ගැනීම - පිටුව 36)


කෙසේ නමුදු මෙහි "තබ්ලා වාදකයා" යන හිසින් විරචිත පරිච්ඡේදය කෘතියට ඇතුළත් නො වූයේ නම් මැනවැයි මම කල්පනා කරමි. මන්ද එහිදී ජගත් තුළ වූ පෞද්ගලික අත්දෑකීම පොදු අත්දෑකීමක් ලෙස රූපාන්තය වී ඇති බවක් නොපෙනෙන බැවිනි. උක්ත පරිච්ඡේදය කෘතියේ හුදකලා පරිච්ඡේදයක් ලෙස දිස් වේ. එය සිදුවීම් දාමයක ලෙස කෘතිය හා ඒකාත්මික වන බවක් දැකගත නොහැකිය.

සයිබර් අවකාශය තුළ ලෝකය කියවන දරුවා වෙනුවට සජීව පරිසරයක අත්දෑකීම් විඳගන්නා දරුවකු මේ ලොවට වඩාත් පෙම් කරන්නකු වන බවත් මම විශ්වාස කරමි. ජගත්ගේ "ඉස්කෝලේ කාලේ" තුළ උස් මහත්වන දරුවන් අයිතිවන්නේ එවන් ඉහළ සංවේදීතාවක් සුපුෂ්පිත කරගන්නා පරපුරටය. ඔවුනට දේශ ප්‍රේමීන් වන්නට පන්ති පැවැත්විය යුතු නැත. ඔවුහු උපන් මහ පොළවට සැබෑ ලෙසම පෙම් බඳින්නෝ වෙත්. ඔවුනට සතා සීපාවාට ගහට වැලට පෙම් බඳින්නට උගන්වන වැඩමුඟ අවශ්‍ය නොවේ. මන්ද ඔවුහු ස්වභාවික පරිසරයේ පවිත්‍ර උනු නැවුම් සුවඳ සජීව ලෙස අත් විඳින පරපුරකට අයිති වූවෝ වන බැවිනි. තතු එසේ වුවද ජගත්ගේ "ඉස්කෝලෙ කාලේ" තුළින් හමුවන "සමන්"ලා නූතන මව් පිය පරම්පරාවේ අපේක්ෂාව නොවීමේ අභාග්‍ය අදට වඩා අනාගාත ලෝකය අත්විඳිනු ඇතැයි මට සිතේ. "ඉස්කෝලෙ කාලේ" තුළින් එම අභාග්‍ය සම්පන්න අනාගත දිනය කල් දමන්නට ජගත් ඡේ එදිරිසිංහ වැනි සාහිත්‍යකරුවන් දරන වෑයම අපගේ සතුටට හේතු වෙයි.

සමස්ථයක් ලෙස ජගත්ගේ අනෙක් සාහිත්‍ය කෘති පිළිබඳ සලකා බැලීමේදී "ඉස්කෝලෙ කාලේ" ඔහුගේ ලේඛන ජීවිතයේ සුවිසෙස් එළැඹුමක් ලෙස මම කල්පනා කරමි. මන්ද එම කල්පනාවට තුඩු දෙන නිර්මාණාත්මක ගුණ රුවින් මෙම කෘතිය සැරසී ඇති බැවිනි.

රවී සිරිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නුඹ පා තබන වෙරළට
මම නෙත් හෙළමි මෙහි සිට
බෝ දුරක් තිබුණට
එහි වැලි පෙනෙයි මෙතැනට

තැබු සඳ දෑත් ඒ මත
තඹ පැහැ වැලිති තැවරිණ
නුබ ගැබ නොපිපි තරු ලස
දුටුවෙද එවැලි කැට මත

සොයා පියවර හඳුනන
ගියා වෙද කවිය අරගෙන
හමා ආ රුදුරු වෙසකින
මහා මේඝයද වැතිරිණ
මග ලකුණු වනසන මෙන

තරු ලකුණු වැරදුණ සඳ
මරු වැල් අතර බිම වැද
දුරු බෝ සිහින පොදි බැඳ
හුරු නැති මගක දෝ අද

ඇඳුණ කව් ගී මනරම්
මැකුණ වෙරළද සිපගම්
කටුක රළ මැද සැනහෙම්
සුවඳ නොසිඳුණ සෙනෙහෙන්

නුඹේ කවි සිත අසලින
තබා යමි පරව ගිය මල
මලක් නොපිදුන මලසුන
සොයා වෙහෙසෙනු කුමටද

ජගත් ඡේ එදිරිසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රජුන් ඇමති මැතිඳුන් රජ කරන රට
කරන වැඩක සුබ සලකුණු නම් නොමැත
උන්ට මිසක රට වැසි හට වැඩක් නැත
ගෙවී ගොස් ය වැඩියෙන් අඩ සියක වස

සරු බිම් නිසරු බිම් කොට යළි සකස්කොට
උන් ගැන හිතා ලොකු පොඩිවට කැබලිකොට
ලාභය පතා කා හට වුව අලෙවිකොට
නම් කොට කියති ඇති බව එය දියුණුකොට

කැබලි කැබලි හැම තැනක ම ඇත බැබලී
මිනිස්කම් ගිහින් ඇත තව ඈතට ඉගිලී
තමා පවුල ගම නගරය රට ම වෙලී
අඳුරු සිහින ඵල නැති සළුවක පැටළී

රටක් හදන්නට හිටිවුන් කළ වැරදී
අනික් උන්ට වැඩියෙන් ඒවා වැරදී
අනුවණ කමින් හැම විට ලාබෙට කෙළෙසී
ඉතිහාසයේ පිටු නැත උන් හට වෙන් වී

වැරදුණු තැනින් එය නිවැරදි කරගන්ට
බැරි තරමට ම ඔඩුදුව දුර ගිහින් ඇත
“මිනිසුන්“ කියන උන් හැංගී ගුහා තුළ
එළියට එන්න කාලය දැන් එළඔ ඇත

උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තාරකා ගැන ලියන්නට සිතෙන විට
සින්ඩරෙල්ලාගේ අනිත් සපත්තුව
පොදු මිනී වළක
තෙත බරිත පස් අතරින්
මතු විය.

මග දිගේ වපුළ මළ කඳන්
ගණන් කරමින් ඇවිද
ආපසු බෝඩිමට පැමිණි විට
සොල්දෙරෙන් බැස ආ
අඟුටු මිටි මිනිස් රූ
බෝල කූඩුවේ එල්ලී මැරී තිබිණි.

අවසාන බෙහෙත් පෙත්තද ගිල දමා
නිදාගන්නට හදන විට
හැමදාම වසන්නට අමතක වන ජනේලෙන්
කොහෙදි හෝ දැක පුරුදු කවුරුදෝ
හිස පුරා ලේ තැවැරි වෙළුම් පටි ඔතාගෙන
අද රෑත් හෙමින් එබිකම් කරයි.

හඳ එළිය විසුළ බඩවැටි අතර
ගී ගයන සිනාසෙන දුව පනින
ළමා අවතාර හා පියාඹන්නට සිතමි.
එහෙත් උන් එක්වරම මා අතැර
මහ හඬින් හඬාගෙන
වල් වැදුණ සොහොන් කොත් අතර සැඟවෙයි.

පාන්දර අවදි වී වේලාව බලන විට
බිත්ති ඔර්ලෝසුවේ තැනූ
ගේ කුරුළු කූඩුවේ මිනී ඔළු
ආහාර අයැද මුව විවර කර
කුරුළු හඬකින් කෑගසයි.

හොඳ මිනිසුන් නොමියන
අවසනදී හැම දෙනා සතුටින්
බොහෝ කල් වෙසෙන
එකමත් එක රටක් ගැන
එකම එක කථාවක් අසා ගන්නට
ආත්තම්මා එන තෙක්
සියවස් පහක පරාජය හිස දරාගෙන
මිහින්තලේ පහළම ගල් පඩියේ
වාඩි වී බලා සිටියෙමි.

එහෙත්
විසි වසක් පමා වී පැමිණි
විදුලි පුවතකට අනුව
දැන් ආත්තම්මාද මිය ගොස්ය.

-නිම්තෙර [හිරු- 1994 දෙසැම්බර් 25]

අජිත් සී හේරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සිහින කාලකණ්ණිය
බිය ගන්වන සුලු ය
හැමදාම අඳුර තුළ
උපරි විඥාණයට තැනක් නැත

රාස්සිගෙ අව්ව ට
පත් සෙමින් සෙලැවෙන
රබර් වත්තට ගොඩ වෙමි
මේ අපේ ඉඩම් යැයි උදම් ඇනූ
ආච්චි ගෙ වැඩවසම් ආදරය
නුරුස්සන හැඟීමක් ඇති කරයි

රබර් ඇට වසාගත්
චන්ඩ කෝෂය බිදිමි
එකින් එක ගණන් කර
පන් මල්ල පුරවමි
ඊට පසු ඉහිරෙන්න ඉඩ හරිමි

බඳ රිඳන විට ගසා පිහි පහර
හැඬූයෙන් සැදි ඔට්ටපාලුය
රබර් ගඳ ඉවසමින්
ප්‍රත්‍යස්ථතාවයට හිස නමමි

වැඩවසම් අයිතිය කෙලවරේ
පුවක් ගස් තනි පයින් වැඩමවයි

කරුංකා රන් බවට හරවමින්
ආච්චී දුන් කණක පළඳනා
නො පළඳින මට කුමට
රබර් මුල් කාල මංජුසාවකි
මිටි මෙළ වූ අත ලිහා නිදන් ලමි

ආදරෙන් වැළඳ ගෙන මුදුන් මුල්
ගස වැටෙන්නට නොදී ඇය නිදයි

යථා වාරී වහා පූරං
පරිපූරෙන්තු සාගරං
සාගරය වන් හැඬුම් මතකය
බෝරිච්චි හැට්ටයට රැළි වැඩිය

විශ්වයක සුමධුර ම ස්වර රැගත්
ධ්වනිය නින්නාද දී මට ඇසෙයි
ඒව මේව ඉතෝ දින්නං
පේතානං උප කප්පතී

ආච්චී ආදරෙන් අත වනයි
ඇගේ උණුහුම ලඟින්
මගෙ දිගට පළල ට
යහන සදමින් වරෙන් යැයි කියයි

මියෙන්නෝ භාග්‍යවන්තයෝය
මක්නිසා ද,නොවිඳවීම ඔවුන්ගේය

අගෝස්තු 2011

සුභද්‍රා ජයසුන්දර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බලගතු දෙවිතුමනි
ඔබ වහන්සේගේ
පින් පිරිහිලා වාගේ
කඩා වැටෙන්නට
බොහොම කිට්ටුයි

එළවලා ගස අයිති දේවතා
මුඳුන් යට ලීය විය
ඔබේ දෙව් විමානේ
අදටත් දේවතා එළි
ඇස් දල්ලාගෙන ඇවිත්
හඬා ගෙන බිම වැටෙනවා

මේ වස්සාන කාලයයි
ඔබ වහන්සේ විමානේ
වැඩ සිටිය යුතු කාලයයි
ඒත් පින් ඉල්ලගෙන
ගෙවල් ගානේ
සැරිය යුතු යාමයයි

පරසතු මල් මැලවිලා
මූණෙ රැල්ලක් මතු වෙලා
ඔන්න ඔබ වහන්සේ
ඇස් පිල්ලමකුත් ගැහැව්වා

සිඳ දමන ලද
පත්තරකාර අත
සොයා ගන්නට
බැරි වුණා තවම
මවු නඟන සාපයේ හඬ
සුදු කොඩිය වේව්ළවා
නඟී ඉහළට

එහෙත් මම යමි දේවාලයට
දෙවියන්ට වඳින පින් දෙන
අලුත්ම ගාථාවක්
රචනා කර ගෙන

ගැමුණු පී. දසනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මෙවර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය, 2011 සැප්. 01 වන දා පස්වරු 4 ට, විශ්ව විද්‍යාලයීය ශ්‍රී සුමංගල ශාලාවේ දී පැවැත් වේ.





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අන්තර්ජාතික සිනමා උළෙලක අත්දැකීම පළමු වරට ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙමින් මහනුවර අන්තර්ජාතික චිත්‍රපට උළෙල ජුනි 22-26 අතර පැවැත්විණි. මනා සංවිධනාත්මක බවකින් යුතු වූ උළෙල මහනුවර නගර සීමාව ආශ්‍රිත තැන්කිහිපයකදීම චිත්‍රපට තිරගත කරන ලදී. උළෙලේ දී ලාකීය මෙන්ම විදේශීය නිර්මාණකරුවන්ගේ චිත්‍රපටද වෘතාන්ත, වාර්තා මෙන්ම කෙටි චිත්‍රපට ආදී විවිධ ශානරයන්ට අයත් කෘතීන්ට උචිත ප්‍රස්ථාවන් උළෙල තුළ ලැබී තිබිණි. මෙහි සඳහන් වන්නේ තිරගත වූ චිත්‍රපට පිළිබඳව දළ හැඳින්වීමකි.

විවිධ රටවලින් නිර්මිත වාර්තා චිත්‍රපට සැලකිය යුතු ප්‍රමාණයක් තිරගත වූ අතර විවිධ විරල සහ සුවිශේෂී මාතෘකා ඔස්සේ නිර්මිත වූ අලුත් සිනමාත්මක අත්දැකීමක් පමණක් නොව දැනුමටද යමක්ද එකතු කළ ඒවා විය. උළෙලේ ආරම්භක දින පේරාදෙණිය විශ්ව විද්‍යාලීය එළිමහන් රඟමඩලේ තිරගත වූ ෆ්ලවර්ස් ඔෆ් ද එවිල් (Flowers of the evil – David Dusa) කාලීන යථාවක් ග්‍රහණය කරගත් වෘතාන්ත චිත්‍රපටයකි. තාරුණ්‍යයේ උණුසුම මැදින් ඇදෙන වේගී ප්‍රවාහයක් පරිද්දෙන් ගලා යන ආඛ්‍යානය තුළ මානව ශිෂ්ටාචාරයේ වර්තමානයෙහි හිස ඔසවන එක්තරා ඛේදනීය තත්වයක් පිළිබඳව දුරින් හිඳිමින් ගැඹුරින් සාකච්ඡාවක නියැළෙන්නකි. ඇතැම් රටවල් වත්මන වන විට වෙලාගෙන ඇති අන්තවාදයේ වියරුව පුද්ගලාභ්‍යන්තරය දවන අයුරු එක් තරුණියක කේන්ද්‍ර කර ගනිමින් විදහා දක්වන්නට අධ්‍යක්ෂක උත්සාහ ගනී. තාක්ෂණය සහ මානව බුද්ධිය එක්ව ගමන් නොයන බවත් දියුණුව යන්න මිනුමට යොදා ගන්නා හරසුන් ක්‍රමවේදයත් නැවත නැවත ප්‍රශ්න කරන චිත්‍රපටය නිමා වන්නේ ෆර්දාව පැළඳගත් තරුණිය පෙරළා ඉරානය බලා පිටත වීමෙනි. ඍජු සබඳතාවකින් හෝ සරල විශ්වසනීයත්වයෙන් ඔබ්බෙහි පවතින නිර්මාණාත්මක අවස්ථා සහ සිද්ධි ආඛ්‍යානයට ගැලපීමෙන් තමන් අත් දකින ප්‍රස්තුතය සාකච්ඡා කිරීමට උත්සාහ දරා ඇති කතුවරයා ස්වාභාවිකත්වය ඉක්මවා රූපකාත්මක බව ඉස්මතු කිරීමට යොමු වී තිබිණි.


මන්ඩේන් හිස්ට්‍රි (Mundane History – Anocha suwichakornpong) නමින් තායිලන්ත ජාතික නිෂ්පාදකවරියක ඉදිරිපත් කළ චිත්‍රපටය පැහැදිලි ආඛ්‍යානමය එළඹුමකට වඩා ජීවිතයේ ගැඹුර පිළිබඳ අරුත සොයා යන වාර්තාවක් බඟය. දෙපා අවසඟ වූ තරුණයෙතු හා ඔහුගේ තරුණ ආවතේවකරු අතර ඇතිවන සබඳතාවක් ඔස්සේ ඔවුන් දෙදෙනාගේ ජීවිතවල වැදගත් ස්ථාන ස්පර්ශ කිරීමට කතුවරිය දරා තිබිණි. මිනිසුන් තුළින් ඌණනය වෙමින් යන සබඳතා සහ ගොඩනැගෙන සබඳතා අතර ජීවිතයේ අර්ථය ගලපා ගැනීමට දරණ උත්සාහය කෘතියෙන් නිරූපණය කිරීමේ අවශ්‍යතාවය පිටුපස නැගී සිටි බෞද්ධ දර්ශනයේ සෙවනැල්ල කෘතිය මත පැහැදිලිවම වැටී තිබිණි.


මෙහෙර්ජාන් (Meherjan – Rubaiyyat Hossain) පැමිණියේ බංග්ලාදේශය නියෝජනය කරමිනි. එය සිය රට තුළ මූලික වශයෙන් ඉස්මතුව පවතින වර්ගවාදී යුද්ධයන් පිළිබඳව ප්‍රතිකථකථනයක යෙදීමේ අවශ්‍යතාව අධ්‍යක්ෂකවරියට මතුවී තිබූ බව පෙණිනි. යුද්ධය තුළ ගිලිහී යන මානුෂීයත්වය කෘතිය තුළ ගොඩනගන්නේ කාන්තා චරිත දෙකක මූලික දායකත්වය ලබා ගනිමිනි.


කුරාන් බයි හාර්ට් (Koran By Heart – Greg Barker) සත්‍ය සිද්ධි දාමයක් රූපගත කිරීමෙන් සකසාගත් වාර්තා චිත්‍රපටයකි. රාමලාන් උත්සවය වෙනුවෙන් කයිරෝහි වසරක් පාසා පැවැත්වෙන කුරාන පාඨ ගැයීමේ තරගාවලියක තමනට වඩා දෙගුණයක් වැඩිමහළු තරඟකරුවන් සමඟ උණුසුම් තරගයක යෙදුණු දස හැවිරිදි දැරියක සහ දරුවන් දෙදෙනෙකු වටා චිත්‍රපටය කේන්ද්‍රගත විය. අසාමාන්‍ය ලෙස දක්ෂතා පෙන්වූ ඔවුන් අතරින් ඇතමෙකු භාෂාවක් ලෙස කුරානය ලියැවී ඇති අරාබි නොදත් අය විය. මාලදිවයින නියෝජනය කරමින් තරඟවැදි දැරිය එකම ස්ත්‍රී නියෝජනය වූවා පමණක් නොව බාධක රැසක් මැද දෙවැනි තැන දිනුවාය. ඇගේ පියා පැවසුවේ ඇය කෙතරම් අධ්‍යාපනයෙන් ඉහළට ගියද අවසානයේ ගෘහණියකම විය යුතු බවයි. ඉස්ලාම් අන්තවාදයේ මුල් සීඝ්‍ර ලෙස නව පරම්පරාවන් මත වැඩෙන අයුරුද චිත්‍රපටය තුළින් මනා කොට විදර්ශනය විය. එය වඩාත් වැදගත් වන්නේ එක් ආගමක් සහ ජාතියක් කෙරෙහි ආදේශ කර ගැනීමට පමණක් නොව ඕනෑම සමාජය මානුෂීයත්වය පෙරළා නැග එන ප්‍රවාහයන් කෙරෙහි ආත්මීය නොවෙමින් විමර්ශනශීලී වන්නට මඟ පෙන්වන බැවිනි.

සිටි ඩාර්ක් (city dark – Ian Cheny) අප රටක් ලෙස මෙතෙක් අවධානය යොමු කරන්නට පෙළඹී නොමැති ආලෝක දූෂණය සම්බන්ධයෙන් කෙරුණු වාර්තා චිත්‍රපටයකි. අපට රාත්‍රියක් ඇවැසි ද? යනුවෙන් ප්‍රශ්න කෙරෙමින් දිගහැරෙන වාර්තා චිත්‍රපටය ආලෝකයේ හැසීරීම මිනිසාට සහ ස්වාභාවික පරිසරයට බාධා පමුණුවන අයුරු විද්‍යානුකූලව විග්‍රහ කරයි. අද තුන්වන ලෝකයේ රටවල් වෙලාගෙන ඇති බොහෝ ව්‍යසන පූර්ව සූදානමක් හෝ දැනුවත්භාවයක් නොමැති බව හේතුවෙන් ඔඩු දුවා ඇති බැවින් මෙය අපේ අනාගතය වෙත එක්තරා ඍෂි දැක්මක් හෙලීමක් ලෙස සැලකීම නිවැරදිය. චිත්‍රපටයේ ආකෘතිය, රිද්මය, රූප සංවිධානය, ප්‍රයෝග භාවිතය, පසුබිම් කථනය සහ සංගීතය ඉතා සංවිධානාත්මක සහ සිත්ගන්නාසුලු විය.


මැරතන් බෝයි (Marathon Boy – Gemma Atwal) ඉන්දියානු සත්‍ය සිද්ධි මාලාවක වාර්තාවක් රැගෙන එන්නකි. මුඩුක්කුවකින් දරුවෙකු රැගෙන එන ක්‍රීඩා පුහුණුකරුවෙක් ඔහු ඔලිම්පික් තරගාවලියක මැරතන් ශූරයා කිරීමේ අරමුණින් පුහුණු කරවයි. තුන් හැවිරිදි දරුවා වටා ජනතාව එක් රැස් වන අතර ඔහු වීරයෙකු බවට පත් වෙයි. රජය මේ සඳහා මැදිහත් වෙමින් දරුවාගේ මානව හිමිකම් පිළිබඳව කතිකාවක් ඇති කරන අතර දරුවාගේ පුහුණුකරු සිය අභිලාශය අත නොහරී. ඉන්දියානු සමාජ ව්‍යූහය තුළ ඇති 'සමාජ කරුණු කෙරෙහි සවිඥාණික නොවන බව' සානුකම්පිතව සහ උපහාසාත්මකව කැටි කරන චිත්‍රපටය මේ සියල්ල යට පවතින ඛෙදජනක බියකරු බවත් නොදරුවෙකු වරින් වර එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා අනුව අලෙවි වන අයුරුත් පෙන්වා දෙයි.

ට්‍රොපිකල් ඇම්ස්ටර්ඩ්‍රෑම් (Tropical Amsterdam – Alex Oona Schuls) සුළුතරයක් ගැන බහුපාර්ශවීය දෘෂ්ටිකෝණයකින් බැලීම තුළින් නිම වූ තවත් වාර්තා චිත්‍රපටයකි. නිමා වී ගිය යටත් විජිත යුගයක ජීවමාන නටඹුන් ලෙසින් දැනුදු මෙරට ජීවත් වන ලන්දේසි ජනතාවගේ පරම්පරාවන්හි වත්මන් තත්වය පිළිබඳව කෙරෙන අධ්‍යනයකි මෙය. එකී සමාජය තුළින්ම හඟනාගත හැකි අනන්‍යතාවයන් සහ විරෝධාභාසයන් පිළිබඳව විමර්ශනයට මෙමගින් උත්සාහ ගෙන ඇත. යටත් විජිත යුගය තුළ ඉහළ වරප්‍රසාද හිමි වූ පන්තියකට අයත් වූ ඔවුන්ට නිදහසින් පසු කෙමෙන් වරප්‍රසාදිත තත්වය අහිමි වී ගිය අයුරුත් ඔවුන් සිය සංස්කෘතික ලක්ෂණ සහිතව ජීවත් වන අයුරුත් මෙහි ප්‍රකාශිතය.


උළෙලේ කෙටි චිත්‍රපට ප්‍රදර්ශනයද සිත්ගන්නාසුළු විය. ෂැඩෝ ඔෆ් ද ලයිට් (Shadow of Silence – Pradeepan Raweendran) නම් කෙටි චිත්‍රපටය හුදකලා මිනිසෙකුගේ අපේක්ෂා භංගත්වයෙන් පිරුණු ජීවිතයත් චිත්‍රණය කරන්නට සමත් විය. ලාංකීය නිර්මාණකරුවෙකු ඉදිරිපත් කළ ට්රෑන්ගල් (Triangel)පසුබිම් කථනයක් සහිත හඩ පටයක් මත රූප ගොනු කරමින් තළ ජීවිතයේ අරුත සහ මානව සබඳතා පිළිබඳව දාර්ශනික ප්‍රශ්න කිරීමකට ප්‍රේක්ෂකයා යොමු කරවන සුලු කෙටි චිත්‍රපටයකි. සජීවීකරණ තාක්ෂණය මගින් ඉදිරිපත් කළ කෙටි චිත්‍රපටයද නැවුම් අත්දැකීමක් ලබා දුනි.


සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් වූ වෘතාන්ත චිත්‍රපට ද එකිනෙකට වෙනස් අත්දැකීම් ප්‍රේක්ෂකාගාරය වෙත තිළිණ කරමින් ඉහළ නිර්මාණශීලීත්වයක් විදහා පාන්නට සමත් විය. චින්තන ධර්මදාසගේ හව් අයි වොන්ඩර් වට් යූ ආ (How I Wonder What You Are) විවිධත්වයකින් යුතුව ගලා යන ආඛ්‍යානයක් ඔස්සේ ගොඩ නැගෙන්නකි. අරමුණක් නොමැතිව ජීවත් වන හුදකලා මිනිසෙකු ගේ ජීවිතයට අනපේක්ෂිත ලෙස කාන්තාවක තට්ටු කිරීම නිසා ඔහු නැවත ජීවිතයේ එල්ලෙන අයුරු කෘතිය තුළ සාකච්ඡාවට බඟන් වේ. චිත්‍රපටය පුරාවට විසිරී තිබුණු මන්දගාමී සහ මලානික ස්වරූපය මෙන්ම විසංගත නාට්‍යයක් සිහි කරවන සුළු එකිනෙකට නොගැලපෙන දෙබස්වලින් සමන්විත වූ අවස්ථා චිත්‍රපටයේ කේන්ද්‍රගත චරිත ද්විත්වයෙහි ජීවිතවල විසීරීගිය ස්වභාවය සංකේතාත්මකව දක්වයි. මෙය නිර්මාණශීලී රූප සැකැස්මකින් සමන්විත වූවකි. සරල වූ කථාව තුළ වැඩි අවධානය යොමු කොට ඇත්තේ චරිතවල මානසිකත්වයන් ගෙනහැර පෑමට බව පෙනේ. ආලෝකය පාලනය මගින් රූපවලට එකතු කරන්නේ මනා ගැඹුරක් සහ අර්ථයකි.


'අහසින් වැටේ' විමුක්ති ජයසුන්දර විසින් උළෙලට ඉදිරිපත් කළ ඔහුගේ නැවුම් කෘතියයි. සිද්ධියෙන් සිද්ධිය එකිනෙක බැදෙමින් ගලා යන රීතියකට අනුව සිදුවීම් පෙළ ගස්වා නැති මෙය ඍජුව ඉදිරිපත් කරන කතාවකට වඩා රූපකාත්මතව සහ සංකේතාත්මකව අර්ථයන් ගොඩනැංවීමට ගත් උත්සාහයකි. සිද්ධීන්හි එකිනෙක ඉඳුරා සම්බන්ධ නොවන අවස්ථා කෘතියේ අර්ථයන්ගේ සීමා විනාශ කොට දමයි. දුර රූපය සහ දිගු කාලයක් පුරා රඳවා ගන්නා රූප සැකස්ම එයටම අනන්‍ය වූ රටාවක් නිර්මාණය කොටගෙන තිබිණි. ඓතිහාසික කතාවක් වර්තමානය සමඟ ඈඳා ගනිමින් කරන නිර්මාණශීලී ආඛ්‍යාන පිරිද්දුම ප්‍රබන්ධ කතා කලාවේ එන පුරාණෝක්ති යථාර්ථවාදය සිහි ගන්වයි.


තිසර ඉඹුලාන නම් නවක අධ්‍යක්ෂකවරයා ඉදිරිපත් කළ 'නිනෝ ලයිව්'(Nino live) ප්‍රේක්ෂක ප්‍රසාදය සුවිශේෂී අයුරින් ඇද ගන්නට සමත් විය. එය සරල හාස්‍යයේ සිට ගැඹුරු සමාජ යථාර්ථයක් ග්‍රහණය කර ගැනීම දක්වා ගමනක යෙදේ. වර්තමාන පුද්ගල ජීවිතය රූපවාහිනිය බවට ඌණනය වී ඇති බව අර්ථ ගන්වමින් ඉදිරිපත්වන කතාව තුළ ලාංකේය තාරුණ්‍යයෙන් පෙත්තක් ද සරල හාස්‍යයේ සිට ගැඹුරු උපහාසයද දක්වාද දිවෙන මනා ලෙස ගැලපූ වෘතාන්ත සිනමා පටයකට උචිත වූ ආඛ්‍යානයක් සහිත වූවකි. රූප සහ සිද්ධි පෙළගැස්ම, රංගනය සහ චරිත නිරූපණය සහ සංවිධානය තුළ වූයේ මනා සංවිධානාත්මක හා දියුණු බවකි. හීන වෙමින් යන ප්‍රේක්ෂකාගාරය මෙන්ම කලාවේ එක් අරමුණක් වන සමාජ සවිඥාණික බව ද වර්ධනය පිණිස දායක වීමට වැඩි හැකියාවක් ඇති සිනමා පටයක් ලෙස එය අරභයා අනාවැකි පළ කළ හැකිය.

චිත්‍රපට ප්‍රදර්ශනයට අමතරව දේශන, වැඩමුළු සහ සාකච්ඡා ආදියෙන්ද උළෙල සමන්විත විය. චිත්‍රපට ඉදිරිපත් කළ දේශීය විදේශීය අධ්‍යක්ෂකවරුන්ගේ සහභාගිත්වයද ලැබූ මෙම වැඩසටහන් උළෙලේ වටිනාකම තවත් ඉහළට රැගෙන ඒමට සමත් විය. සිනමා කලාව පිළිබඳ ප්‍රමාණවත් අවධානයක සහ උණුසුම් කතිකාවක අවශ්‍යතාව මතුව ඇති මෙකල ස්වාධීන සම්පූර්ණයෙන්ම ස්වේච්ඡා කණ්ඩායමක් ලෙස එක්වී උළෙල සංවිධානය කළ දේශීය විදේශීය තරුණ පිරිසට අප බෙහෙවින් කෘතඥ වීම වටී.

බී.ජී.එම්. ජනප‍්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිමිත්ත: පසුගිය දිනෙක කිළිනොච්චියේ කෝවිලක පැවති ආගමික උත්සවයකට කඩා වැදුණ රජයේ හමුදාව ඔවුන්ගේ ආගමික සංකේතය වූ නන්දි කොඩිය ගලවා ගෙන ගොස් තිබුණි. එමෙන්ම දෙමළ ජනතාවගේ උරුමයක් වූ ඉරණමඩු වැවේ බාරකාර කනකාඅම්බි අම්මන් දෙවියන් වෙනුවට රජයේ හමුදාව එහි බුදු පිළිමයක් ගෙන ගොස් තබා ඇත. මේ කවි, සිය හඬ අහිමි වූ උතුරේ ඒ දෙමළ ජනතාව වෙනුවෙනි.

නන්දි කොඩිය බිම වැටිලා ඇත දෙයියෝ
කෝවිල් බිමත් අද පාලූ යි නැත දෙයියෝ
වැන්ද බිමේ හිමි කොහි නුඹ සැඟවීදෝ
කාකි අඳුරු ඇඳුමට හිමි බිය වීදෝ

මුරුගන් සිටී හිරබාරේ කෑම්ප් එකේ
කම්බි කඩා හිමි නිදහස් කරව් සකී
කහ වතුරෙන් බිම නහවා හිඳිව් සකී
කපුරු පහන් දල්වාපන් නිවා ගිනී

ඉරණමඩු වැවේ දිය වුණු කඳුළු කැටී
කනකාඅම්බි අම්මන් දෙවි නොදුටු සැටී
විමානයත් අහිමිව ගිය කඳුළු වැටී
උපන් බිමේ අපි අසරණ වෙලා සිටී

මල්ටි බැරල් ෂෙල් වෙඩි හඬ මැද්දේ
උපන් ගෙයි හීන කවුදෝ ගිනි තිබ්බේ
නොඇසුණත් එළියට වැලපිලි සද්දේ
හදවත හඬයි මර හඬ දී හිත පත්ලේ

සහසක් වසක් සිටියත් නෑ යළි එන්නේ
මදහස් නගන්නට බෑ තවමත් සැනසීමෙන්
උදහස් වෙන්න කලියෙන් හිමි ඉවසීමෙන්
නිදහස් කරව් අපෙ මුරුගන් හිරබාරෙන්

අනූපමා ගනේගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අජිත් තිලකසේනගේ "අරුණැල්ල වැටෙනකොට විතර" කෙටි කතා සංග්‍රහය පිළිබඳ සංවාදයක් 2011 සැප්තැම්බර් 10 පස්වරු 3.30 ට මරදාන සාමාජයීය හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වේ.

සංවිධානය- මංසලක කතිකා කවය
පොත ලබා ගත හැකි ස්ථාන- විදර්ශන හා සරසවි පොත්හල්.
විස්තර සඳහා 718 107 396 හෝ 712 667 592 අමතන්න.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිමිත්ත- ජාතියට සිනහව ප්‍රදානය කිරීමට තමන් සමත් වී ඇති බව පවසමින් දන්තාලේප සමාගම් සිදු කරන ප්‍රචාරක ව්‍යාපාරය.

සඳත් අහසෙ ගැට්ටට වී හති ඇරිය
මලුත් නිදිය පොරවාගෙන පිණි කැටිය
උදෙත් උදේමය මේ නම් සඳුදාය
අපිත් වදිමු දතකට දත විකලාය

උදේ නැතත් කෑමට රොටි පතේයා
දත මැද්දොත් නෑ කුසගිනි සැපේයා
සිනා සිසී දත පෙනෙනා ලෙසේයා
යන විට කාට ආඩම්බර දැනේයා

ඥාති ඥාති ඔරවාගෙන යන කලට
ජාති ජාති සිනා රැගෙන වැඩි පිනට
කාසි කාසි මලු දුන්නත් මදි නුඹට
සාදු සාදු මල් පිපියන් නුඹෙ නමට

ඇට නැති හොද්ද තෝරලා කියන් සකී
මස් නැති කටු වලට දුන් දෙවියන්ගේ නමකී
බෑවත් බලු වුණා මේ නම් උස ගසකී
මෙතුන් පදේ නොතේරුණද සිනහ සෙතී

වෛරස් උණේ ගෙයි දොරකඩ පඳුරු ලලා
ඩෙංගු, මැලේරිය ගැයෙනා ලල්ල ලලා
වකුගඩු දෙකම බට් කරලා මල්ලක ලා
කොම්පැණියේ සිනා පැළඳ ඉන්න බලා

වැදුණත් හිසට හෙණ හිස සත්කඩට පැලී
බලනු ගණන් කර තිස් දෙක තවම ඇතී
ඉතින් කුමට දුක් කරදර තැවුල් පිරී
නොතකා සිනා සෙමු අද නම් හරිම ජොලී

ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බිමට බර වුණු වළාකුළු මුහුණු
හඬන්නට ළං ව දෑල ඉවුරු වසා ගෙන
පරවුණු කුමුදු මල් පෙති-දෙපෙති අහුලා
සේපාලිකා පලස වියයි තිත්තාඳුරට ම
සුවඳ,ළය මත්තෙන් ඇද ඉහිරවා ගෙන

ඇහැරුණු අලුයම දෝතින් විදා ගෙන
සයුරු තෙර වැතිරෙන්නෙ
ඕලන්ද නිල් අහස කිරි ඉද්දමල් ඉහින

ක්ෂිතිජය වුවත් රවටන්නට ඇහැකි
රළ බිඳෙන තැන එ තැන ම නම්
විසල් පොළොවකට පවා ඉඳ හිට
ඉරු එළිය අඳුර ගෙන එනු නැති ද
හස රළ ලිහා හිත බිඳුණු තැන පිරිමැද
මන්ඳ අඳුරක දිලෙනු නැති ද

වකුටු වුණු අතැඟිළි අතර
තීන්ත අහවර පන්හිඳ රුවා ගෙන
වැරදුණු අකුරින් අකුර අමුණා
කඳුළකට මඟ කියන අතරමඟ නතර වුණු
කතා නොකරන කණස්සලු වීථියෙන්
යළි යළිදු මඟ අසන
අකීකරු ඒදණ්ඩක ඉස්මත්තට
හිතුවක්කාර වැහි සිත්තම් තව කුමට

මේ ඕලන්ද අහස යට
කැකෑරෙන හදවත පුරුද්දන
කිසිවෙකුත් නැති නිම්තෙරකි
අපමණ නෑයන් එහා මෙහා ගිය
පාලම වුව ද කැඩී බිඳී ගොස් ය

රළ වෙරළ සිප ගන්නේම නැත
නිල් අහස අමනාප වෙද්දැයි
සිත බිය ගන්නවා මිස
සිළිලාර හඬ නඟන්නේ ද නැත
රහසින් ඉකිබිඳිනු ඇසෙනු මිස
ලවනත සැඟවුණු ලවණ මුසු වුණු
මන්දස්මිතයක්වත් දකින්නට නැත

ඉතිං මේ දුරක් නෑගම් ආවාට
නෑයෙක් කියා කියන්නට කිසිවෙක්
හමු වුණු එකම උදෑසනක්වත් නැත
මනස්කාන්ත සැඳෑවෝ ය
කිළිටි උවනත වසා ගෙන
අහක දමන ආකහේ බදා ගෙන

අමනාප වුණු අමාවකත් පාරවන
රළු තිතකි
ඒ එකම තිත මත ම අභිමුඛව
දුනු හේවායෙකුට පුළුවනි ද
දඩයම හැර දුවන්නට
තෙතබරිත නෙතු සඟල ඉහද්දර රිදුණු
පිනි පොකුරු ඔය තරම් හඬන්නම ඕනි ද
අත්තල මත්තේ ම පා පතුල් දුක විඳින්නේ මන්ද
මැකී යනුයේ ඉතිං මැසිවිලි ද වැලපිලි ද

බලන්න හිස ඔසවා උස් ව
අහසකටත් හීන් කටහඬක් ඇත
සවන් පෙති ඉහත්තේ ඉකිබිඳින

පපු කුහර බිඳ දැම්ම හී පහර සැර නැද්ද
මඳ පවන ඇදෙන කොට හුස්ම තැවරුණෙ නැද්ද
පින්න අතගාන කොට කඳුළු දුටුවෙම නැද්ද
ඕලන්ද අහස යට මැරුණු පැතුමක් නැද්ද

-අහ්ක්ලම් [08.08.11]

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



උඹෙ අතින් අල්ලගෙන
මගෙ හුස්ම බොට දෙන්න
මගෙ අත් - තටු නොවන නිසා
කිණිහිරියෙ දුක් විඳින
කවි කිරිච්චිය රැගෙන
ඇණ ගනිමි හදවතට සුසා...

ඇහැ අගින් ඇහෙනවා අඟුළානෙ මහ මුහුද
නැහැ තුඩග දවනවා දැවෙන රොන්සුණු පුසුඹ
පැහැ 'එරන්වන් පතෙක' තෙමුණු ෆිල්ටර අඩක
පැහැය මං හොයනවා නිහඬ කවියක හඬක

කක්ෂපුට ජීවිතේ රන් තලිය ඉරි තැළුව
ලක්ෂපතියේ ඉද්දි සත පහක්වත් නැතුව
පක්ෂියෙක් සේ පියාඹා ඇවිත් බත් බෙදුව
''යක්ෂයා'' උඹ ය දෙවියන් පවා ගරු කෙරුව

ඈත ඇමතුම් ලැබෙන
එනිටයිම් සෙල් එකට
වචනයක්වත් නොකිය දොසා
ට්‍රේල මත ඉඳගනියි
ඩෙඩ්ලයින් දැනදැනම
පියහඹයි තටු ලැබුණු ලෙසා
සාර සිය ගව් දුරක්
මොහොතකට හකුළන්න
කිසි දිනෙක පාර නෑ අසා
පාර වැරදුණ බවක්
කෙළෙසකින් හිතන්නද
එහෙව් වූ දෙනෙතකට සුසා

මව් පොළොව මව්වරුන්
සිටින පුතුනට ලැබෙන
දිනක අපි පය පොළොවෙ ගසා
ඇවිද ගොස් සැනසිල්ලෙ
බදාගෙන අඬනතුරු
වේදනා උහුලගමු සුසා...

පත්තිරක ලියනු බෑ මුසා
ඇත්තටම ආදරෙයි සුසා

අගෝස්තු 24, 2011

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|





බූන්දි [Boondi.Lk] වෙබ් අඩවියේ තෙවර්ෂ පූර්ණය නිමිත්තෙන්, මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ මේ නිහඬ වෙරළට එන්න කාව්‍ය ග්‍රන්ථය සහ හිනිදුම සුනිල් සෙනෙවි ගේ 'නූතන ම' සිංහල කවිය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් විචාර ග්‍රන්ථය එළිදැක්වීම, 2011 සැප්තැම්බර් 03 සවස 3.00 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.


දෙසුම්-
හිනිදුම සුනිල් සෙනෙවි - සිංහල කවියේ නූතන ම මොහොත
චූලානන්ද සමරනායක - කල්පනා ඇම්බ්‍රෝස්ගේ කාව්‍ය භාවිතය සහ අද්‍යතන කවි පරපුර

සමග

බූන්දි තෙවර්ෂාවලෝකනය - බූන්දියේ ගමන් මග පිළිබඳ ඇසි-දිසි ආවර්ජනයක්.



උළෙල සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා 071 448 8498 දුරකතන අංකයෙන් අමිල අමතන්න.

Facebook Event>>



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මිලිග්‍රෑම් දහසක
ඩොලිප්‍රෑන් පෙත්තකි
හඳ..........

බෙතඩින් ය - ඔව් ඒ සුවඳ පමණි ය
ගත වෙලෙන ස්නේහය ම.
නිකොටින් ය සිහිනයෙ ම.

සේලයින්
පමණෙකි ය
ඔන් ලයින්.

වේදනාවේ
සැනසුම
දුම් උගුරක් ය
මතකෙට.
මාපකේ උණුහුම
ගල් උගුරක් ය
සිසිලට.
රුධිර පීඩන යන්ත්‍රය
මතුරන රුදුරු මන්ත්‍රය
පංච තන්ත්‍ර ය.

ගල් බාගයක
මූඩියක් කැරකේ ය
කන ගාව.
සිහය ඒ - අවසන් ය මුර්ජාව.
මග්දලේනා හඬෙකි.....
ජනිත වූ හදවතේ පිළිරාව.
ජනිත වූයේ එ හඬ
ගල් ගසන
මිනිස්සුන්
හට දාව

දෑසින් සැලෙයි
නන්නාඳුනන හෝඩිය....
නො තේරෙන කවි
පේලි ගන්වයි
පත් ඉරුවක් ව
කොට්ටය....
නිහඬතාව
සෙත් කවියක් ය
නින්දට.

මිලිග්‍රෑම් දහසක
ඩොලිප්‍රෑන් පෙත්තකි
හඳ..........

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails