Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඉන්දියානු සිනමාව තුළින් ප්‍රේක්ෂකයා වෙත සිහින ලෝකයක් මවා පෙන්වන බව බොහෝ දෙනෙකුගේ මතයයි. සමාජ යථාර්ථය නොව රසිකයාගේ ෆැන්ටසිය තිරය මත දිගහරිමින් ප්‍රේක්ෂකයාට විඳවන්නට නොව විඳින්නට ඉඩකඩ සලසා දිය යුතු යැයි ලංකාවේද කතාබහ සිදුවන බව දක්නට ඇත. සිහින ලෝකයක ඇති හින්දි සිනමාව පුපුරවා හරිමින් නිර්මාණය වූ "ස්ලම් ඩෝග් මිලියනර්" චිත්‍රපටයට ලෝක මට්ටමින් ප්‍රතිචාර හිමිවුවද, එය ඉන්දියාවට එරෙහි බටහිර කුමන්ත්‍රණයක් බවට ලඝුකොට දැක්වූ කතිකාවක්ද විය. ඊට ප්‍රධානතම හේතුව එහි අධ්‍යක්ෂවරයා ඉන්දියානුවෙකු නොවීමය. දැන් ඊට නිසි පිළිතුරක් නැවතත් සපයා ඇත. සමාජ යථාර්ථය කලාත්මක ප්‍රතිනිර්මාණය කිරීම කුමන්ත්‍රණයකට ලඝුකොට සිනමා නිර්මාණය නිසි බලධාරියාගේ ගිලටීනයට හසුකරන ආසියාවේ 'බලවන්ත ම' රටට ද ආදර්ශයක් ඉන්දියාවෙන් සපයා ඇත.

"ඩෝබි ඝාත්" චිත්‍රපටය ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂිකා කිරාන් රාවෝ ගේ ප්‍රථම නිර්මාණයයි. සුප්‍රකට බොලිවුඩ් නළු ආමීර් ඛාන් සමගින් මොනිකා ඩොග්‍රා, ප්‍රතීක් බබ්බර්, ක්‍රිටි මල්හෝත්‍රා ඇතුළු නළුනිළියන් මෙහි රංගන දායකත්වය සපයයි. අමීර් ඛාන් විසින් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය නවක නිර්මාණකරුවන් රැසකගේ දායකත්වයෙන් නිමවූවකි.

මේ මුබ්බායි නගරයයි. ඉන්දියාවේ සුපිරිතම ධනවතුන්ගේ සිට කෑමට යමක් නොමැති නිසාවෙන් මිය යන යාචකයින් මෙන්ම ලෝකයට දැනුම සපයන මහා ප්‍රාඥයින්ගේ සිට කළුසල්ලි යහමින් ගැවසෙන පාතාලය දක්වා විහිද යන සමාජ විවිධත්වයේ සකලවිධ තත්ත්වයන්ගේ එකමුතුවකි. ඒ අතරින් අහඹු ලෙස තෝරාගත් ජීවිත හතරකි.


අරුන් - චිත්‍ර ශිල්පියෙකි. තමන්ගේ නිර්මාණ පෝෂණය කිරීමෙහි ලා උදව් වන අත්දැකීම් සොයා සැරසරයි. දික්කසාදය නිසා හටගත් මානසික තැවුලෙන් ගැලවී නැවතත් ජීවිතය සකසා ගැනීමට මං සොයමින් සිටියි.

මුන්නා - වෘත්තියෙන් රෙදි අපුල්ලන්නෙකි. සිය දුප්පත් පවුල නගා සිටුවීමට උත්සාහ දරණ අතර නළුවෙකු වීම සදහා වන උත්සාහය අත් නොහැරගත්තෙකි.

ෂායි - ඇමරිකාවේ වෘත්තියේ නියැලෙන ආයෝජන බැංකුකරණයේ නිරතවන්නිකයි. සිය වාර්ෂික නිවාඩුව ගත කරමින් තමන්ගේ විනෝදාංශය වන ඡායාරූපකරණයේ නිරතවෙයි. මුම්බායි නගරයේ ජීවිතය ගැන කලාත්මක රූපරාමු සොයමින් කල්ගත කරයි.

යස්මින් - විවාහයෙන් පසු මුම්බායි නගරයට ආ තරුණියකි. සිය සොහොයුරා අතහැර ඒම පිළිබදව ශෝකය නිසාවෙන් ඔහුට යැවීම සදහා සිය ජීවිතය ගැන වීඩියෝ ලිපි පටිගත කරයි.

විටෙක මේ චරිත අහඹු ලෙස එකට ගැටගැසේ. ෂායි විසින් අරුන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් නරඹා ඔහු සමග වන ඇසුර ආදරයක් බවට පෙරළේ. අරුන් විසින් කුලියට ගන්නා නව නිවසේ තිබී යස්මින් විසින් රූගත කොට ඇති වීඩියෝ පට හමුවේ. එහි යස්මින් ගේ ජිවිතයේ ගලායාම ගැන විධිමත් නොවන සංවේදී කතාවක් නිර්මාණය වේ. මුන්නා විසින් ෂායි ගේ රෙදි පිරිසිදු කිරිම හරහා ගොඩනැගෙන සම්බන්ධය මුන්නාගේ සැඟව තිබෙන සිනමා තරුවක් වීමේ සිහිනය යළිත් ඉස්මතුවෙයි.


මුම්බායි ජීවිතය බොහෝ සංකීර්ණය. එය චක්‍රාකාරය. ඊට පිරිස් ඇබ්බැහි වෙති. තමා වෙළාගෙන සිටින සමාජ පසුබිම විසින් මුම්බායි හි ජීවිතයක පණ දී කෙළින් සිටුවා ඇත. එනිසාම සමාජ‍යේ ක්ෂණික වෙනස්වීමක් සිය ජිවිතය ක්ෂණිකව වෙනස් කරනු ඇත. සමාජ පසුබිමක් නොමැතිව අහුඹු ලෙස එහි පැමිණෙන කෙනෙක් ‍මුම්බායි පොළොව මත නැගී සිටිය හැකිද?

ඩෝබි ඝාත් සිනමා පටය නරඹන ඔබට මෙක්සිකෝ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ Alejandro González Iñárritu ගේ Amores perros, 21 Grams, Babel යන සිනමා ත්‍රිත්වය සිහිවනු නිසැකය. එයට ප්‍රධාන හේතුව කතා ආකෘතිය හා කැමරාකරණය එකිනෙකට දක්වන සමානාත්මතාවයි. එපමණක් නොව Babel චිත්‍රපටය සදහා සංගීත නිර්මාණය කළ සංගීත අධ්‍යක්ෂවරයා ද මේ වෙනුවෙන් යොදාගැනීමට කිරාන් රාවෝ සහ චිත්‍රපට නිෂ්පාදක ආමීර් ඛාන් තීරණය කර ඇත.

මනුෂ්‍ය ජිවිතය නිරතුරුව චලනය වේ. එහි කෙටිකාලීනව දුක සතුට ගෙන ආවත් බැහැරින් නරඹන්නේ නම් අතිශයින්ම කලාත්මකය. කිරාන් රාවෝ, තරුණ ඉන්දීය සිනමාකරුවන්ට උත්තේජනයක් ලබාදෙනවා පමණක් නොව ඉන්දීය ජනප්‍රිය සිනමාවට අලුත් බලාපොරොත්තුවක් ද ලබා දේ.






නද්යා භාෂිණී අමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලිවීම ලේඛකයාගේ කාර්යය ද, ඇඳීම චිත්‍ර ශිල්පියාගේ කාර්යය ද වන අයුරින් රංගනය නළුවාගේ කාර්යය යි. මෙහිදී කාර්යය නමැති විෂය පථයට බොහෝ දේවල් ඇතුළත් වේ.

පළමුකොටම ඉන් ඇඟවෙන්නේ සමාජ ශ්‍රමයකි. නළුවා වෘත්තීය වශයෙන් වෙනත් නිෂ්පාදන කාර්යයක නොයෙදෙයි. වෙනත් භාණ්‌ඩයක්‌ හෝ සේවයක්‌ හෝ සම්පාදනය නොකරයි. එබැවින් තම ජීවිතය පවත්වාගෙන යැම සඳහා ඔහුට වෙළෙඳ පොළේ දී හුවාමරු කිරීමට සිදු වන්නේ සිය රංගන කාර්යය නමැති නිෂ්පාදිතයයි. එය ද මිල ගණන සඳහන් කර ඇති සේවා භාණ්‌ඩයකි. හොලිවුඩ්, බොලිවුඩ් වැනි කර්මාන්ත කලාපයකදී ඔහු ඒ සමාජ ශ්‍රමය නිෂ්පාදනය කරන අතර තම රංගනයද භාණ්‌ඩයක්‌ ලෙස වෙළෙඳ පොළේ අලෙවි කර සිය ආර්ථික සහ සමාජ ජීවිතයට වුවමනා වෙනත් භාණ්‌ඩ හා සේවා මිල දී ගනියි. රංගනය සමාජ ශ්‍රමයක්‌ වන්නේ ඒ අර්ථයෙනි.

ධනේශ්වර වෙළෙඳ පොළ තුළදී ඕනෑම භාණ්‌ඩයක්‌ විසින් අත්පත් කර ගනු ලබන පාරිභෝගික පූජනීයත්වය හෙවත් වන්දනීය පූජා භාණ්‌ඩයක්‌ ලෙස සුවිශේෂ සංකේතමය වටිනාකමක්‌ ලබා ගැනීම, ඔහුගේ කලාත්මක අභිරූපණය විසින්ද සාක්‌ෂාත් කර ගනු ලබන්නේය. ධනේශ්වර සමාජ ක්‍රමය තුළ වෙසෙන පාරිභෝගිකයා තුළ ඇති වන "භාණ්‌ඩ වන්දනාව" නමැති මේ මානසිකය සිනමා ප්‍රේක්‌ෂකයා තුළද ඇති වන අතර සැලොලයිඩ් පටියේ සටහන් වූ ඔහුගේ කලාත්මක ක්‍රියාව පාරිභෝගික භාණ්‌ඩයක්‌ ලෙස වන්දීය තත්ත්වයක්‌, මහිමාවක්‌, සුරුවම් රූපයක්‌ ලබා ගන්නා බව සඳහන් කළ මනාය. රංගනය ද පාරිභෝගික භාණ්‌ඩ වන්දනාව නමැති නූතන ධනේශ්වර විෂය ක්‌ෂේත්‍රය තුළට අතුළු වන්නේ මෙලෙසිනි. නළුවකුගේ කලාත්මක පෞරුෂය, චරිතාංග නිරූපණයෙහිලා පළ කරනු ලබන කුසලතාව, කැරිස්‌මාව, කාන්තමය ගුණය හා සුපිරි භාවය පසුපසින් යට කී ධනේශ්වර පාරිභෝගික භාණ්‌ඩ වන්දනාව ද ඇදී එන බව කිව මනා නොවේ.

ඒ අනුව භරත මුනිගේ නාට්‍ය ශාස්‌ත්‍රය, ඇරිස්‌ටෝටල්ගේ කාව්‍ය ශාස්‌ත්‍රය හා දිදරෝ, ස්‌ටැනිස්‌ලව්ස්‌කි, අයිසන්ස්‌ටයින් ආදීන්ගේ රංගන කතිකා අතරට පාරිභෝගික පූජාලාංඡනකරණය පිළිබඳ මාක්‌ස්‌ගේ යට කී අදහස්‌ද උචිතානුචිත බුද්ධියෙන් යුතුව ගැලපිය යුතුය. පූජාලාංඡනකරණය ධනේශ්වර නිෂ්පාදනයේ පොදු පැවතුම් විධියක්‌ වන අතර සංස්‌කෘති නිෂ්පාදන වුවද එයින් නිදහස්‌ නොවේ. නළුවකුගේ කලාත්මක ක්‍රියාව සම්බන්ධයෙන් මෙම සංකල්පය තුළ අදට ඇති අදාළත්වය ඉමහත්ය. රූපවාහිනිය, වෙළෙඳ ප්‍රචාරණය ඇතුළු විනෝද කර්මාන්ත හා සංස්‌කෘතික කර්මාන්ත මුළුමනින්ම ගොඩ නැගී ඇත්තේ මෙම ගූඪ ගුප්ත පාරිභෝගික ලාංඡන වන්දනා පදනම මතය. රංගන කර්මාන්තය තේ, පොල්, රබර්, මිනිරන්, විදේශ ගෘහ සේවය වැනි භාණ්‌ඩ හා සේවා නිෂ්පාදන කර්මාන්තයක්‌ නොව කලාත්මක ව්‍යාපාරයක්‌ බව ප්‍රදර්ශනය කිරීමේදීත්, වෙළෙඳ බුද්ධියෙන් යුතුව සංස්‌කෘතිය නමැති මහා ධන ආකරය කර්මාන්ත අමුද්‍රව්‍ය ලෙස භාවිතයට ගැනීමේ දීත්, විනෝද කර්මාන්තකරුවන් විසින් පූජාලාංඡනකරණය හෙවත් සංස්‌කෘතික වස්‌තුන්ට විවෘත වෙළෙඳ පොළේදී ලැබෙන අද්භූත පාරිභෝගික පූජනීයත්වය ප්‍රයෝජනයට ගනු ලැබේ. මෙහි දී රූපවාහිනිය වැනි විනෝද කර්මාන්තමය පර්යායන් තුළට ගොනු කරන ලද සංස්‌කෘතික වස්‌තූන්ගේ සාම්ප්‍රදායික කලාත්මක රැස්‌වළල්ලද ගැලැවී විසි වී යන අතර රූපවාහිනී කලාව ලෙස ඉතුරු වන්නේ අන් කිසිවක්‌ නොව සංස්‌කෘතික වස්‌තූන්ගේ හා කලාත්මක ක්‍රියාවන්ගේ පාරිභෝගික පූජාලාංඡන වටිනාකමයි. එනයින් වාණිජ චිත්‍රපටිය හෝ වාණිජ රූපවාහිනිය හෝ වාණිජ නාටකය හෝ බිහිවන්නේ සංස්‌කෘතික ප්‍රජාවන් රැවටීම සඳහා විනෝද කර්මාන්ත හිමියන් තුළ ඇති දක්‌ෂතාවක්‌ නිසා වත්, සංස්‌කෘතික සෝදාපාලුවට ලක්‌ කිරීම සඳහා ඔවුන් තුළ ඇති විශේෂ දුෂ්ට වුවමානවක්‌ නිසා වත් නොවේ. ධනේශ්වර විනෝද කර්මාන්ත හා ඒවායේ ගුඪ වන්දනීය ස්‌වභාවය මේ සමාජ ක්‍රමයේ ස්‌වභාවයෙන්ම මතු වන අතර එය විනෝදාත්මක හෝ කලාත්මක හෝ නොවන පාරිභෝගික භාණ්‌ඩ සතු පූජාලාංඡනාත්මක ගූඪ රූපය, අලුත් හඳුන්වා දීමක්‌ ලෙස සංස්‌කෘතික ජීවිතය තුළද ස්‌ථාපිත කර වීමකි. මෙය අන් කිසිවක්‌ නොව සංස්‌කෘතියේ ධනේශ්වරකරණය යි කලාවේ ධනේශ්වර කරණයයි. වර්තමාන ටෙලි නාටකය හා නාට්‍යාකාර වෙළෙඳ ප්‍රචාරණය මෙහි මූලික ප්‍රකාශනයකි.

වර්තමාන කලාව, කලාව නොවන දෙයින් වෙන් කර ගැනීමේ දී මෙන්ම කලාව ලෙස ඉදිරිපත් වන දේවල්වල යථා ස්‌වභාවය තේරුම් ගැනීමේදී ද යථෝක්‌ත වන සංස්‌කෘතික හා කලාත්මක තත්ත්වයන් තේරුම් කර ගත යුතුය. එසේ නොවුව හොත් සිදු වන්නේ ප්‍රඥවන්ත රසිකයා පවා විනෝද කර්මාන්තවල අතකොලුවක්‌ වීමයි. යට කී කර්මාන්තමය තත්ත්වයන් විසින් ඇති කරන ලද කතිකාවලට සහභාගි විමට විනා ඊට වැඩිමනත් සංස්‌කෘතික භාවිතාවක නිරත වීමට ඔහුට නුපුළුවන් වේ.


මෙලෙස කලාව හා හුවමාරු ශ්‍රමය අතර සම්බන්ධතා දැක්‌වීම හෝ සංස්‌කෘතික නිෂ්පාදන හා පාරිභෝගික භාණ්‌ඩ වන්දනාව අතර සම්බන්ධතා දැක්‌වීම හෝ සාම්ප්‍රදායික කලා විචාරයට නොගැලපෙන බව කිව මනා නොවේ. එනමුත් වර්තමාන සංස්‌කෘතික ක්‌ෂේත්‍රය තුළ සිදුවන දේවල් සාම්ප්‍රදායික කලා විචාරයට තේරුම් ගත නොහැකිය. සියලු කලාත්මක ක්‍රියා දෙස අලුත් ඇසකින් බැලිය යුතු අවධියකට අද අපි සම්ප්‍රාප්ත වී සිටින්නෙමු. රංගනය නමැති කලාත්මක ක්‍රියාවට ඒ අතින් වැඩි අවධානයක්‌ යොමු විය යුතුය.

උසස්‌ පෙළේ නළුවකු ප්‍රේක්‌ෂකයා ඉදිරියේ 'සමාජ ශ්‍රමය' බවට පත් කරනු ලබන කලාත්මක ක්‍රියාව ශ්‍රේෂ්ඨ ද, දුර්ලභ ද බව අවිවාදිතය, එනමුත් 'රංගනය' නමැති කලාත්මක ක්‍රියාව හුදෙක්‌ නළුවා හා චරිතය අතර පැද්දෙන ඔරලෝසු බට්‌ටෙක්‌ ලෙස පමණක්‌ තේරුම් ගැනීම ප්‍රමාණවත් නැත. නළුවකුගේ මුහුණ මත ප්‍රබන්ධය වන්නේ කුමක්‌ද? අතිවිශාල ප්‍රේක්‌ෂක සංඛ්‍යාවක්‌ විසින් ඔහුගේ මුහුණ මත දකිනු ලබන්නේ කුමක්‌ද? පන්ති සමාජය තුළ නව මුහුණක ඇති සංස්‌කෘතික අරමුණු කුමක්‌ද? යනාදී දුෂ්කර ගැටලු වෙත අපගේ අවධානය යොමු විය යුතුය.

නළුවාගේ කලාත්මක ක්‍රියාව 'රංගනය' වන බැවින් ඒ පිළිබඳ අර්ථකථනයකින්ම අපගේ විමර්ශනය ආරම්භ කරමු. නළුවකු සිය ස්‌වාභාවික මුහුණ මත චරිතයක වෙස්‌ මුහුණ පැළඳීම පිළිබඳ අදහස හෙවත් සමාරෝපණය පිළිබඳ සාම්ප්‍රදායික සංකල්පය පමණක්‌ රංගන කාර්යය විස්‌තර කිරීම සඳහා අද ප්‍රමාණවත් නොවේ. ප්‍රංශ දාර්ශනිකකයකු, නවකතාකරුවකු හා සෞන්දර්යවේදියකු වූ ෂෝන් පෝල් සාත්‍ර ඊට සපුරා වෙනස්‌ අදහස්‌ ඉදිරිපත් කර ඇති අතර රංගනයේදී සිදු වන්නේ කිසි යම් චරිතයක්‌ නළුවා තුළ යථාවක්‌ වීම (real) නොව නළුවා චරිතය තුළ අයථාවක්‌ වීම (Unreal) බව පෙන්වා දෙයි.

හැම්ලට්‌ චරිතය රඟපාන නළුවා තමාත්, මුළු ශරීරයත් එම පරිකල්පිත චරිතය පිළිබඳ සාදෘශ්‍යයක්‌ (analogue) හෙවත් සමරූපයක්‌ සැකසීම වෙනුවෙන් භාවිත කරන නමුත් ඔහු තමා හැම්ලට්‌ ලෙස නොසිතන බව සාත්‍ර පෙන්වා දෙයි. නළුවා තම සියලු හැඟීම්, සියලු ශක්‌තීන් හා සියලු අභින හැම්ලට්‌ගේ හැසිරීමේ හා භාව මණ්‌ඩලයේ සාදෘශ්‍යයක්‌ නිපදවීම සඳහා භාවිත කරන අතරම සැබෑ යථාර්ථය ඒවායින් ඉවත් කරයි. (he takes the reality away from them). එතැන් සිට හැම්ලට්‌ චරිතය තුළ ඔහු ජීවත් වන්නේ යථාව නොපවතින පදනමක්‌ මතයි. (He lives completely in an nreal way). ශේක්‌ස්‌පියරයන්ගේ සුප්‍රකට හැම්ලට්‌ චරිතය රඟපෑමේදී ඔහු ඇත්තටම වැලැපෙන්නේද යන කාරණය තුළ කිසිදු වැදගත්කමක්‌ නැත. හැම්ලට්‌ගේ කඳුළු ලෙස මතුවන කඳුළු නළුවා ද අත්දකින, නරඹන්නා ද අත්දකින ඒ කඳුළු, යථාවෙන් තොර වූ, නොසැබෑ කඳුළුවල සාදෘශ්‍යයකි. (analogue of unreal tears). මෙහි දී නළුවා තුළ ඇති වන මානසිකය සිහිනයකදී සිදු වන දෙසට සමාන බව සාත්‍ර පෙන්වා දෙයි. එහිදී නළුවා සිහිනයක දී මෙන් නොසැබෑව හෙවත් අයථාව තුළ වෙළී ඉන් ආනුභාවයක්‌ ලබා ගනියි. ඒ අනුව සිදු වන්නේ චරිතය නළුවා තුළ සැබෑවක්‌ හෙවත් යථාර්ථයක්‌ වීම නොවේ. නළුවා තමා රඟපාන චරිතයේ භූමිකාව තුළ නො සැබෑවක්‌ හෙවත් අයථාවක්‌ වීමයි. (it is not the character who becomes real in the actor, it is the actor who becomes unreal in his character)

අද රූපවාහිනිය හා වෙළෙඳ ප්‍රචාරණය තුළ නළුවාගේ ක්‍රියාව ද කලාත්මක නොවන අනුකරණාත්මක ක්‍රියාවක්‌ බවට පත් වී ඇති අතර ඔහු කලාත්මක අරමුණු පෙරදැරි කර ගෙන කිසි යම් චරිතයක්‌ තුළ අයථාවක්‌ බවට පත්වීම වෙනුවට වාණිජත්වය හා සමාජ දෘශ්‍යමානය (apperarance) වෙනුවෙන් යථාවක්‌ බවට පත් වන බව පෙනේ. සාත්‍රගේ බසින්ම පවසතොත් ඔහු හැම්ලට්‌ වර්ගයේ චරිතයක්‌ තුළ අයථාවක්‌ වීම වෙනුවට වෙළෙඳ ප්‍රචාරකයකුගේ හෝ සරල චරිතයක හෝ අනුකාරකයකු ලෙස සුලබ යථාවක්‌ බවට පත් වේ. රූපවාහිනි තිරය මත දිග හැරෙන සරල රංගනයන් ලෙස රසිකයා විසින් හඳුනා ගනු ලබන්නේ මේ තත්ත්වයයි. නළුවකුගේ කලාත්මක ක්‍රියාව සිදු විය හැකි පුළුල් රංගපථයක්‌ ඒ මාධ්‍යයන්ට හෝ ඒ මාදිලියේ චරිතවලට හෝ නැත. රූපවාහිනී නාටකය මෙන් ම වෙළෙඳ දැන්වීම් ද ආකෘතික වශයෙන් පුළුල් රංගපථයකට ඉඩ නොසලයි. ඒ මාධ්‍යයන් මඟින් ඉල්ලා සිටිනු ලබන්නේ සරල අනුකරණාත්මක චරිත නිරූපණයකි. ඊට වැඩිමනත් කලාත්මක ක්‍රියාවක්‌ ඒ තුළ සිදු විය නොහැකිය. අදාළ මාධ්‍යයන් විසින්ම ඒවා තුළ බහාලන අන්තර්ගතය හා අර්ථභාවය තීරණය කර ඇත.

සමාජ ඉතිහාසය අතින් පශ්චාත් - කාර්මික තොරතුරු සමාජයකට (post-industrial information society) අයත් වන මේ සරල මාධ්‍ය රූපයෝ ඩිජිටල් තාක්‌ෂණය හා පරිගණක බුද්ධිය ඔස්‌සේ කේතනය (digitally coded) කරන ලද ප්‍රබන්ධිත යථාර්ථයෝ (virtïlrealitual) වෙති. කලාත්මක සමාජයක නොව තොරතුරු සමාජයක රූප ලෙස මේවා තුළ ද ඇත්තේ ප්‍රවෘත්ති වටිනාකමකි. කලා සමාජයක පැවැත්මට හා රසාස්‌වාදයට නුසුදුසු කාල අවකාශ සම්බන්ධතාවකි. ප්‍රවෘත්ති සමාජයේ මාධ්‍ය තුළ ඇත්තේ ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍යය අතින් අද අප ජීවත් වන මේ යුගය පශ්චාත් - සිනමා අවධියක්‌ ලෙස හැඳින්වීම සාධාරණය. ශ්‍රව්‍ය- දෘශ්‍ය කලාවේ වෙනත් උපාංග මෙන්ම නළුවාගේ කලාත්මක ක්‍රියාවද මේ යථාර්ථයට මුහුණ දිය යුතු නිසා ඔහුගේ ක්‍රියාවල කලාත්මක වටිනාකමක්‌ ඇති නැති බව ඒ ඔස්‌සේම නිගමනය කළ යුතුය.

අද රූපවාහිනිය මත රඟන නළුවාගේ පෙරගමන්කරුවා වූයේ සිනමා තුළ රැඟූ නළුවා බව කිව යුතු නොවේ. සිනමා නළුවා සහ ඔහුගේ පෞරුෂය අහඹු කලාත්මක ප්‍රාතිහාර්යයක්‌ නොව සිංහල සිනමා ඉතිහාසය තුළ පියවරෙන් පියවර වර්ධනය වූවකි. ලාංකික මිනිසාගේ මුහුණ රිදී තිරයේ සිනමා මුහුණක්‌ බවට පත් වීමේ ඉතිහාසය, මෙරට නූතන සංස්‌කෘතියේ වැදගත් පරිච්ඡේදයකි. ලාංකික මිනිසාගේ ස්‌වභාවික මුහුණ හා කලාත්මක සිනමා මුහුණ ලෙස ඒ ද්විත්ව ප්‍රතිපක්‌ෂයන් ලෙස වෙසෙසා වෙන් කර දැක්‌විය හැකි නමුත් අපට ස්‌වභාවික මුහුණක්‌ ගැන කතා කළ හැක්‌කක්‌ හුදෙක්‌ කලාත්මක මුහුණකට සාපේක්‌ෂ වශයෙන් පමණි. සිංහල සිනමාවට විෂය වූ ස්‌වදේශික සිංහල මුහුණ ද හුදු ස්‌වාභාවික ප්‍රපංචයක්‌ නොව සමාජ දේශපාලනික යථාර්ථයකි. සිංහල සිනමාව තුළ නිරූපණය වූයේ මුලින් යටත් විජිත හා පසුව පශ්චාත්- යටත්විජිත සමාජයක්‌ තුළ වාසය කරමින් ධනේශ්වර සමාජ සංවර්ධනය ඔස්‌සේ නූතනත්වය කරා පියනැගූ මිනිසෙකි. ජෝ අබේවික්‍රම වැනි සිනමා තාරකාවන්ගේ සම්ප්‍රාප්තිය හා ඔවුන් සිංහල සිනමාව තුළ ස්‌ථාපිත වී එහි සංඥ (sigl) බවට පත්වීමද ඒ සන්දර්භය ඔස්‌සේ තේරුම් ගත යුතුය. මල් කළඹක්‌ ප්‍රේමයේ භාෂාව තුළ අර්ථ මංජුසාවක්‌ හා සංඥවක්‌ වන අයුරින් ජෝ අබේවික්‍රමද සිංහල සිනමා නමැති භාෂාව තුළ අර්ථජනක සංඥවක්‌ බවට පත් විය.

අනාදිමත් කාලයක සිට සිංහල ජන සමාජය තුළ වන්දනාවට පාත්‍ර වූයේ බුදුන් වහන්සේගේ පියකරු වත කමලයි. සිංහල සිනමාවේ මුල් අවධිවල විද්‍යමාන වූ මුහුණ ද අඩුවැඩි වශයෙන් ඒ මූල කලා රූපයට ඥතිකම් දැක්‌වීය. ගාමිණී ෆොන්සේකාගේ මුහුණ දක්‌වා එම සාදෘශ්‍යය දැකිය හැකි අතර සාම්ප්‍රදායික මූල රූපයේ පරිසමාප්ත නියෝජනය ද ඒ තුළ දැකිය හැකි විය. එය හොලිවුඩ් සිනමාව තුළ මුල් තැනට පත් වූ ග්‍රීක හිසට වඩා වෙනස්‌ වූ අතර ඉන්දියානු දේව රූපය මුල් කර ගෙන බිහි වූ දකුණු ඉන්දියානු සිනමා රූපයට වඩාත් සමාන වු බව පෙනේ. මෙලෙස පුරාතනයට දිවෙන මුල් රූපය මඟින් හේතුයුක්‌ත කරනු ලැබූ සුන්දර සිනමා මුහුණ වීරයා, දිනන්නා හා ඛේදාන්ත පිරිමියා වෙනුවෙන් වෙන් කර තිබිණි.

ප්‍රසන්න මුහුණක්‌ සහිත සිනමා වීරයා ධනේශ්වර සමාජ ප්‍රගමනය විසින් ජනප්‍රිය කලාව තුළට ඇතුළු කරන ලද ලකුණක්‌ (sign) විය. එම වීරයා බිහි කරන ලද්දේ ධනේශ්වර සමාජය තුළ ජයග්‍රහණය ලැබීමේ පොදුජන සිහිනය මඟිනි. ඒ ගමනේදී මිනිසා විසින් අත්විඳිනු ලබන දුක්‌ඛදොමනස්‌සයන් හා සුඛප්‍රහර්ෂයන් සටහන් කර ගත හැකි මුහුණකි, නළුවාට තිබුණේ. ජයග්‍රහණය පිළිබඳ අධිපති කතිකාවේ බලය තුළට ඇද ගනු ලැබූ සිනමා ප්‍රේක්‌ෂකයා විසින් පියකරු නළු මුහුණින් අත්විඳින ලද සතුට නව විනෝද කර්මාන්තවල පදනම ද, ලාභ උපයා දීමේ උල්පත ද විය.

සිංහල සිනමාවේ මුල් පිරිමි මුහුණ පුරාතන මූල රූපයන්ට ඥතිකම් දක්‌වන්නේය. යන කාරණය වඩාත් පැහැදිලි වන්නේ සිංහල නිළි මුහුණේ විකාශනය ද විමසා බලන විටය. ඇත්ත වශයෙන් සිංහල ජනයා අතර පාරම්පරික වශයෙන් භාවිත වූ මූල ස්‌ත්‍රී රූපයක්‌ නොවීය. යසෝදරා, මහාමායා බිසව, සුජාතා, විශාඛා, විහාර මහා දේවි වැනි උදාර ස්‌ත්‍රී චරිත සාහිත්යික නිර්මාණ ලෙස විනා දෘශ්‍ය කලා නිර්මාණ ලෙස සමාජය තුළ භාවිත වූයේ නැත. යුරෝපීය සමාජයේ මැඩෝනා රූපය සමඟ සසඳන විට මේ හිඩැස මැනැවින් පැහැදිලි වේ.

ඒ නිසා සිංහල සිනමාවේ ස්‌ත්‍රී රූපය පිරිමි රූපයට කලින් දේශීයකරණයට, ජාත්‍යන්තරකරණයට, මානුෂීයකරණයට හා බහුත්වයට ලක්‌ විය. සිංහල කාන්තා රූපය අතීතයට බැඳ තබන මූල රූපයක්‌ නොවූ බැවින් එය ඉක්‌මනින් සිංහල ලලනාවන්ගේ රූප සොබාව ලබා ගත්තේය. එමෙන්ම සිංහල සිනමාවේ පිරිමි මුහුණ හා යුරෝපීය සිනමාවේ පිරිමි මුහුණ අතර පැවතුණු පරතරයට වඩා අඩු පරතරයකි, සිංහල සිනමා ස්‌ත්‍රිය හා බටහිර සිනමා ස්‌ත්‍රිය අතර පැවතුණේ. එනමුත් සිංහල සිනමාවේ ඉදිරි ගමන සමඟ සිංහල ස්‌ත්‍රී මුහුණ, පිරිමි මුහුණ තරම් ඉක්‌මනින් ප්‍රජාතන්ත්‍රීකරණය නොවීම තරමක්‌ කුතුහලය දනවන කාරණයකි. සිංහල සිනමා නිළිය තවමත් පංච කල්‍යාණියකි. දෙව්ලොවින් බට සුරඟනකි. මෙය සිංහල සිනමාව තුළ ස්‌ත්‍රිය ලද පරාජයක්‌ සහ පිරිමියා ලද ජයග්‍රහණයක්‌ බව පෙනේ. ජෝ අබේවික්‍රමගේ මුහුණ වෙනුවෙන් සිංහල සිනමාව සිය කලාත්මක අවකාශය ලබා දීමෙන් පෙන්නුම් කරන්නේ සාම්ප්‍රදායික මුල රූප ආකෘතියෙන් වෙන් වී වඩාත් ජාතික කාය ලක්‌ෂණ ලබා ගත් බවකි. මෙය සිදු වූයේ සිංහල ස්‌ත්‍රිය සිනමාව තුළ සුන්දර වස්‌තුවක්‌ ලෙස පවතිද්දීම බව සිහිපත් කළ මනාය. ඇය පිරිමියාගේ සෞන්දර්ය ආස්‌වාදය පිණිස වෙන් වූ සිනමාත්මක කලා භාණ්‌ඩය වූවාය. සම්මත කඩවසම් ලක්‌ෂණ ප්‍රකට නොකරන නිර්නළු මුහුණක්‌ ඇති ජෝ අබේවික්‍රම නමැති ප්‍රතිභාවන්තයා සිංහල රිදී තිරය ආක්‍රමණය කළ නමුදු ඔහුගේ ස්‌ත්‍රී ප්‍රතිපාර්ශ්වයට ඒ ජයග්‍රහණය ලබා ගත නොහැකි විය. ඇය සමහර විට මර්සි එදිරිසිංහ වැන්නියක විය හැකි වූවත් රිදී තිරයේ තාරකාවක්‌ නොවූ මර්සි එදිරිසිංහ කෙනෙකු ගැන අපට තවමත් කථා කළ නොහැකිය.


සැබැවින්ම සිංහල ජන සමාජයට ස්‌ත්‍රි කලා රූපයක්‌ කියා දෙයක්‌ ලැබුණේ සිංහල හා ඉන්දියානු සිනමාවෙනි. අද පවා සිංහල හා හින්දි නිළිය ගෙදර බිත්තියේ වර්ෂය පුරා විද්‍යමාන වන ජනප්‍රිය කැලැන්ඩර් රූපයකි.

කළු ගොරහැඩි ජාතික ලක්‌ෂණ සහිත සිංහල පිරිමි මුහුණේ ප්‍රථම ජයග්‍රහණය ජාතික සිනමාවේ ප්‍රගමනය සමඟ උදා වූ අතර දෙවැනි ජයග්‍රහණය ක්‍රිකට්‌ ක්‍රීඩාව සමඟ උදා විය. ටෙස්‌ට්‌ තත්ත්වය හා එක්‌ දින ක්‍රිකට්‌ ජයග්‍රහණ සමඟ සිංහල පිරිමි මුහුණේ නා නා විධ සංකීර්ණත්වය හා බහුත්වය යථා පරිදිම ජන මාධ්‍ය තුළින් නිරූපණය වීම ඇරඹිණි. මෙලෙස සමකාලීන තරුණ පිරිමියා කලාව හා ජනමාධ්‍ය තුළ කලාත්මක අයිතිය ලබා ගනිද්දී තම ස්‌වභාවිකත්වය, ජාතිකත්වය හා බහුත්වය කලා රූපයකට පාවාදීමට සිංහල ස්‌ත්‍රියට සිදු විය. පිරිමියා සිය ස්‌වභාවිකත්වයේ අයිතියෙන් ලොව සිනමා කලාව ආක්‍රමණය කරද්දී, ස්‌ත්‍රිය කලා රූපයන්ගේ විෂයක්‌ හා ගොදුරුක්‌ ලෙස නිර්මාණුෂීකරණයට (dehumanization) ලක්‌ විය. සිනමාවේදී මධුරි ඩික්‌සිත් කෙනකු වූ ඇයට සැබෑ ජිවිතයේදී ද ඒ සෙවණැල්ල තුළ ජීවත් වීමට සිදු විය. ඉන්දියානු චිත්‍ර ශිල්පී හුසේන් සමකාලීන ස්‌ත්‍රීත්වයේ ප්‍රතිරූපය ලෙස මධුරි ඩික්‌සිත් චිත්‍රයට නැඟු බවත්, එහිදී ඇගේ මුහුණ සිතුවම් කිරීම වෙනුවට මුහුණේ ඡායාරූපයක්‌ චිත්‍රයට ඇල වූ බවත් මෙහිදී සිහිපත් කිරීම වටී. එපමණක්‌ නොව හුසේන් විසින් මදර් තෙරේසා සිතුවම් කරන ලද්දේ මුහුණක්‌ රහිත (faceless) ඉන්දියානු කාන්තා රූපයක්‌ ලෙසිනිs.

සිංහල තරුණයා තම ස්‌වාභාවික රූපයෙන්ම වැලැන්ටිනෝ කෙනකු වෙද්දී නූතන සිංහල තරුණිය වඩ වඩාත් අනාගතවාදී (futuristic) වන බව නවීන විලාසිතාවලින් පැහැදිලි වේ. මෙවැනි ප්‍රතිවිරෝධතා මධ්‍යයෙහි වුව සිංහල සිනමාව තුළට ජෝ අබේවික්‍රමගේ ස්‌වාභාවික මුහුණ ප්‍රවිෂ්ට වීම කලාත්මක මෙන්ම මානුෂික ජයග්‍රහණයකි. එය පශ්චාත් - යටත්විජිත (Post-colonial) සන්දර්භය තුළ යටත්විජිතවාදියා ලද ජයකි. ශරීරයේ දේශපාලනය මහ කළු සිංහලයාගේ ප්‍රතිරූපය විදහා පෙන්වීය. එපමණක්‌ නොව යටත් විජිතයුගයේ මෙන්ම පශ්චාත් යටත්විජිත යුගයේද සාගින්න, මැලේරියාව ආදී ලෙඩ රෝග, හිංසනය, සාගත, නියඟය ආදිය නිසා පොදු මිනිසාගේ ශරීරයට සිදු වූ අපල උපද්‍රව හා හානි ද නව ජාතික කලා ප්‍රතිරූපය තුළ දැකිය හැකි විය. මේ ඛේදවාචක අරබයා ඉදිරිපත් කරන ලද ප්‍රතිගාමී කතිකාවලට හා ජාතික මිනිස්‌ දේහයේ සෞඛ්‍යය අරබයා ඉදිරිපත් කරන ලද ජාතිකවාදී හා ජාතිවාදී කතිකාවලට ප්‍රතිවිරුද්ධව මෙරට වාමාංශික බලවේග විසින් ඉදිරිපත් කරන ලද විමුක්‌තිවාදී කතිකා විසින්ද ජෝ අබේවික්‍රම පන්යේ කලාත්මක ශරීරයක බිහි වීම පූර්වාපේක්‌ෂා කරනු ලැබී යෑයි පැවසීම අතිශයෝක්‌තියක්‌ නොවේ.

ජෝ අබේවික්‍රමගේ මුහුණ සිංහල සිනමාව තුළ අලංකාර රූපයක්‌ ලෙස ස්‌ථාපිත කරන ලද්දේ යට කී බලවේග හා කතිකා මඟිනි. එය මුල් සිනමා මුහුණුවලට වඩා චතුර වූත්, මානුෂික වූත් මුහුණක්‌ විය. එහි සම්ප්‍රාප්තිය බටහිර සිනමාවේ චාලි චැප්ලින්ගේ ආගමනයට සමාන කළ හැකිය. ඩී. එච්. ලෝරන්ස්‌ සිය විචාර ලිපියක සඳහන් කළේ බටහිර සිනමාවේ සුන්දරතම නළුවා හා අනංග රූපය ලෙස සැලකුණු වැලැන්ටිනෝගේ මුහුණෙහි නැති සුන්දරත්වයක්‌ චාලි චැප්ලින්ගේ මුහුණෙහි ඇති බවයි.


චාලි චැප්ලින් මෙන්ම ජෝ අබේවික්‍රම ද ප්‍රහසනයේ දොරටුවෙන් සිනමාවට ඇතුළු වූ බවත්, බැරෑරුම් චරිතවලට පසු ද කවටයා ඔහු තුළ විසූ බවත් මෙහිදී සිහිපත් කිරීම වටී. සත්‍ය වශයෙන් බැරෑරුම් චරිත තුළ පවා කවටයා සිටි අතර තම චරිත තුළ අයථාවක්‌ වීමට එමඟින් ඔහුට පහසු විය.

ඔහු රඟපෑ වැලිකතර, දැස නිසා හා බඹරු ඇවිත් චිත්‍රපට තුළ දක්‌නට ඇත්තේ ඒ චරිත තුළ අයථාවක්‌ වි රංගන ප්‍රබන්ධයක්‌ නිර්මාණය කිරීමකි. ඒවා තුළ දක්‌නට ඇත්තේ සරල අනුකරණ නොව ඒ ඒ චරිත තුළ අයථාවක්‌ වීමකි. ඔහු ඒ චරිතවල රඟපෑවේ ඒ චරිත තමාගේ ස්‌වාභාවික රූපයට වඩා විශාල බව දැන ගත් අයුරිනි. ඔහු ඒ චරිත අවබෝධ කර ගන්නට ඇත්තේ සිංහල ශේක්‌ස්‌පියරියානු චරිත ලෙස විය යුතුය. අනුකරණාත්මක නළු බව ඉක්‌මවා යන ඒ අවස්‌ථා ඔහු එළැඹුණු කලාත්මක කූටයන් වූ අතර එය සිංහල සිනමාව තුළ නළුවකු නැඟුණු උස්‌ම කූටයක්‌ බවද නිසැකය.

සිය කලාත්මක ක්‍රියාව මගින් ඒ චරිත ප්‍රබන්ධය කිරීමේ දී ඔහු ස්‌ථිරසාර ලෙස පිහිටා සිටින්නේ සිංහල ගැමියාගේ පෞරුෂ නිර්මාණක මූලාශ්‍ර මතය. ඒවා ජීවිතයේ සැපසම්පත් නොව අනේක විධ දුක්‌ඛ දොමනස්‌සයන් සමඟ බැඳී වර්ධනය වූ ග්‍රාමීය පෞරුෂ නිර්මාණක මූලාශ්‍රයන්ය. නිග්‍රහාත්මක පීඩනය හැර අන් සියල්ල සංසාරය ලෙස පිළිගැනීමට සූදානම් වී සිටි ආදිවාසී ගැමියකු, අධිරාජ්‍යවාදී පීඩනය ඉදිරියේ කුළුමීමකු මෙන් කිපෙන අයුරු අපි බැද්දේගම චිත්‍රපයේදී දකිමු. ඔහු එවැනි පිටිසර ගැමි චරිත තුළ කොයිතරම් සහජාශ්‍රයකින් පිහිටා සිටින්නේද යත් එවැනි ගැමියකු නොවන තාක්‌ දුරට ඔහු කවටයෙකි. ගැමියාට හා කවටයාට වැඩි ප්‍රකෘති සිහියක්‌ ඔහුට නැති බවකි, අපට සිතෙන්නේ. එනමුත් ඔහුගේ රංගන පෞරුෂයට බල ශක්‌තිය පොම්ප කරන ගැමියා හුදෙක්‌ පාරම්පරික සිංහල ගොවියා නොවන බවත්, මුහුදුබඩ ධීවර ගැමියා ද ඇතුළත් පශ්චාත් යටත් විජිත මෝසම් ආසියාතික ගැමි ප්‍රජාවක්‌ ඔහුගේ තර්කනයට ජීවන හුස්‌ම ලබා දෙන බවත් සඳහන් කළ මනාය.

ඔහුගේ ඒ රංගනය ආංගිකාභිනයට සීමා වන්නේ නැත. කථාබහ හෙවත් වාචික අභිනයද ඊට ඇතුළත් වේ. ඔහුගේ කටහඬ ද රංගනයෙහිම දික්‌ ගැස්‌සුණු අවස්‌ථාවකි. ඔහුගේ ස්‌වරය අපට ඇසෙන්නේ ඒ හෝ මේ චරිතයේ සංවාද ඛණ්‌ඩයක්‌ ලෙසට නොවේ. වඩාත් විශාල කතිකාවක (discourse) අංගයක්‌ ලෙසිනි. ඒ අනුව ඔහුගේ දෙබස්‌ කතිකාමය දෙබස්‌ (discursive dialogues) ලෙස හැඳින්වීම සාධාරණය. තමා රඟපාන්නේ ගැමි චරිතයක්‌ නම් ඔහු එහි වචන උච්චාරණය කරන්නේ සිංහල ගැමියාගේ පීඩිත තත්ත්වය පාදක කර ගනිමින්, යටත්විජිත යුගයේදී ආරම්භ වූ විමුක්‌තිවාදී කතිකාවේ වාක්‍ය, අන්තර්- වාක්‍ය, වාක්‍ය ඛණ්‌ඩ හා වචන ලෙසිනි. එනයින් වඩාත් විශාල කතිකාවක්‌ සමඟ අන්තර් ඡේදනය වන අයුරින් දෙබස්‌ හැසිරවීමට ඔහු සමත් වේ. වත්මන් රූපවාහිනි නාටකය තුළ ගැමියාගේ උච්චාරණයට ලැබී ඇති විසුළුසහගත තත්ත්වය තුළ ජෝ අබේවික්‍රමගේ ගැමි උච්චාරණය, වාචිකාභින කලාවේ මුතු ඇට ලෙසින් හැඳින්වීම සාධාරණය.

මේ කලාත්මක ප්‍රතිපාදනය කොයි තරම් විශිෂ්ට වුවත් එයද ධනේශ්වර සමාජයේ වර්තමාන අවධිය තුළ ප්‍රබන්ධමය යථාර්ථයක්‌ නිර්මාණය කරන්නා වූ ප්‍රබන්ධමය මුහුණකි. (Virtual face). එනම්, යථාර්ථයක්‌ ලෙස පෙනෙන ප්‍රබන්ධමය මුහුණකි. අනෙක්‌ අතට පාරිභෝගික සමාජය තුළ වෙළෙඳ යථාර්ථයක්‌ බවට පරිවර්තනය වන්නෙකි. වෙනත් ප්‍රබන්ධමය මුහුණුවලට මෙන්ම මෙවැනි කලාත්මක මුහුණුවලටද විශාල සංස්‌කෘතික බලයක්‌ හිමි වන අතර පංති සමාජය තුළ එමඟින් දනවන ප්‍රහර්ෂය පැරණි ආගමික සංකේත ඉදිරිපිටදි පැරණි මිනිසා අත්විඳින ලද ආගමික හැඟීමට සමාන වේ. මෙවැනි සුවිශාල ප්‍රතිරූපවල ධනේෂ්වර භූමිකාව විස්‌තර කරන රෝලන්ඩ් බාතර් නමැති ප්‍රංශ කලා විචාරවේදියා පෙන්වා දෙන්නේ මෙවැනි ප්‍රතිරූප අතර සැරිසරන නූතන සාමාන්‍ය මිනිසා මහා වනයක සැරිසරන්නකුට සමාන වන බවයි. නළුවන්. දේශපාලනඥයන්, ක්‍රීඩකයන්, ආගමික නායකයන් වැනි පුරුෂ සිංහයෝද, නිළියන්, ගායිකාවන්, ක්‍රීඩිකාවන්, විලාසිනියන්, මාධ්‍යවේදිනියන් වැනි සිංහධේනුන්ද ඔහුට එහිදී හමුවේ. වෙළෙඳ, දේශපාලන, ආගමික ආදී ප්‍රචාරක මාධ්‍යයන්ගේ මහා ඝෝෂාව ඒ වනාන්තරය තුළින් නිකුත් වෙයි. නූතන මිනිසා ඒ ඝෝෂාව අසමින් මාධ්‍ය රූපයෙන් රූපයට පිය නඟයි.

නූතන බටහිර සාන්තුවර රූපයක මුහුණේ සටහන් කර ඇති ශාන්ත භාවයේ හා යටහත්පහත් භාවයේ හා ලොකෝත්තර භාවයේ සංකේත සංඥ හෙවත් හැඟවුම්කාරක (signifiers) විමසන රෝලන්ඩ් බාර්ත පෙන්වා දෙන්නේ සාන්තුවර භාවයේ සංඥ වනාන්තරයක්‌ (forest of signs of sintlioness)) එම සාන්තුවර මුහුණේ සටහන් වි ඇති බවයි. තමා පුදුමයට පත් වන්නේ සාන්තුවර භාවය පිළිබඳ ඒ තරම් සංඥ සංකේත හෙවත් සලකුණු සංඛ්‍යාවක්‌ ඒ තනි සාන්තුවර මුහුණේ සටහන් වීම ගැන නොවන බවත්, මහජනයා විසින් ඒවා මෙතරම් විශාල ලෙස පාරිභෝaජනය කිරීම (enormous consmption of such signs by the public ) ගැන බවත් ඔහු පවසයි.

කොයි තරම් මානුෂික වූවත්, කොයි තරම් කලාත්මක වූවත්, ජෝ අබේවික්‍රමගේ ප්‍රබන්ධ මුහුණ ද අද දවසට අදාළ වූ ඒ පොදු න්‍යායෙන් නිදහස්‌ වන්නේ නැත. ආගමික ප්‍රතිරූප හා මානවවාදී ප්‍රතිරූප පවා අද සමාජය ඉදිරියේ විද්‍යාමාන වන්නේ සමාජ සාධාරණත්වය හෙවත් සාධාරණත්වය පිළිබඳ යථාර්ථය (reality of justice) වෙනුවෙන් ආදේශ කර ගත හැකි හුදු රූපමය ප්‍රබන්ධ යථාර්ථයන් වශයෙනි.

එනයින් ජෝ අබේවික්‍රමගේ කළු සිංහල මුහුණ මත ඇඳුණු ගැමි සංස්‌කෘතියේ හා පීඩිත භාවයේ සංකේත වනාන්තරය, ධනේශ්වර සමාජ විසින් භාවිත කරන්නේ යථාවක්‌ නොවූ සමාජ සාධාරණත්වය වෙනුවෙන් ආදේශ කර ගන්නා ලෙස පොදු මිනිසාට ඇණවුම් කරන්නා වූ සංකේත වශයෙනි. යථාවක්‌ නොවූ සමාජ සාධාරණත්වය වෙනුවෙන් ආදේශ කර ගත් සංඥ සංකේත ලෙස ෙච් ගුවේරාගේ, ලෙනින්ගේ, ජෝන් ලෙනන්ගේ, බොබ් මාලේගේ රූප හා පච්ච සිරුරේ ගසා ගන්නා අවධියක අද අපි ජීවත් වෙමු. යට කී සාන්තුවර රූපය පිළිබඳ නිදර්ශනයේදී රෝලන්ඩ් පෙන්වා දෙන්නේ එම රූපය දෙස බැලීමෙන් සාන්තුවර භාවය හෙවත් ශුද්ධත්වය පිළිබඳ සැබෑ අනුභූතියක්‌ මහජනයා ලබා ගන්නේ නැති බවයි. සාන්තුවර භාවය ප්‍රදර්ශනය කර ඇති කවුළුවක්‌ ඉදිරිපිට ඔවුන් විසින් තම හෘදය සාක්‌ෂියේ ගැටලු විසඳා ගන්නා බවයි, රෝලන්ඩ් බාර්ත පවසන්නේ.

ඒ සංස්‌කෘතික කුමන්ත්‍රණය වෙනුවෙන් ඔහු භාවිත කරන්නේ ඇලිබයි (Alibi) නමැති නෛතික හා දණ්‌ඩනාත්මක වචනයයි. ඇලිබයි වූ කලි කිසියම් අපරාධයක්‌ සිදු කළ කපටි අපරාධකාරයකු තමා ඒ නිශ්චිත මොහොතේ වෙනත් ස්‌ථානයක රැඳී සිටි බව ප්‍රකාශ කිරීමකි. අද සාන්තුවර පින්බර මුහුණද, දේව රූපද නළුනිළි රූප ද ධනේශ්වර සමාජය විසින් පරිහරණය කරනු ලබන්නේ එවැනි සමාජ කුමන්ත්‍රණයක සංස්‌කෘතික ප්‍රකාශන ලෙසිනි. සමාජ සාධාරණත්වය යථාර්ථයක්‌ කිරීම වෙනුවට සමාජ සාධාරණත්වය ඉල්ලා සිටින හෝ සමාජ අසාධාරණය පෙන්නුම් කරන හෝ සුවිශාල මාධ්‍ය ප්‍රතිරූපයක්‌ ප්‍රදර්ශනය කරමින් සැබෑ අපරාධකාරයා අද ඇලිබයි උපායෙන් සමාජයෙන් සැඟවෙයි.

එබැවින් ප්‍රබන්ධමය මුහුණ හා ප්‍රබන්ධමය යථාර්ථය කලා විචාරයෙහි හා සමාජ විචාරයෙහි ආරම්භය මිස අවසානය නොවන බව සඳහන් කළ මනාය. සාරවිටේ හෝ වැලිකතරේ සිට බඹරු ඇවිත් හා පුරහඳ කළුවර දක්‌වා සිංහල චිත්‍රපට මාලාව තුළ ජෝ අබේවික්‍රමගේ ප්‍රබන්ධිත මුහුණ විදග්ධ විචිත්‍රත්වයකින් යුතුව ප්‍රදර්ශනය වූ අතර ඔහුගේ මුහුණ ප්‍රදර්ශනය කර සැඟවෙන අපරාධකාරයා කවරෙක්‌ දැයි එම චිත්‍රපටි තුළින්ම නරඹන්නාට හඳුනාගත හැකිය. සාක්‌ෂාත් නොවූ සමාජ සාධාරණත්වය පිළිබඳ යථාර්ථය සිංහල සිනමාවේ යථාර්ථවාදී භාවිතාව තුළ යථාවක්‌ බවට පත් වන සැටි අපි දකිමු. ජෝ අබේවික්‍රම වෙත අපගේ අභිනන්දනය යොමු කරන්නේ ඒ වෙනුවෙන් සිය රංග කලාවේ මුළුමහත් ශක්‌තියෙන් දායක වීම නිසාය.

-දිවයින 2011.09.29

එරික් ඉලයප්ආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වැඩි පඩි ඉල්ලා සරසවි ආචාර්යවරුන් මෑතකදී එලියට බැස්සේය. ඔවුන් එසේ එලියට බැස්සේ සරසවි සිසුන්ට හෝ මෙරටේ ජනතාවට ඇති ආදරයකින් නොවන බව අප දනිමු. ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය කඩා වැටී තිබේ. ලංකාවේ විශ්ව විද්‍යාලවල සිසුන්ට පුස්තකාල, සෞඛ්‍ය, ක්‍රීඩා යනාදී පහසුකම් නොව පෙට්ටි කඩෙන් ලාබෙට ගන්නා ඉටි කොලේ ඔතපු එක ව්‍යංජනයේ නීරස බත් එක කා අත හෝදගන්නට හරි හමන් ටැප් එකක් පවා නැත. එවැනි පහසුකම් සිසුන්ට ඇති කර දීමට සරසවි ආචාර්යවරුන් එලියට බැස්සේ නැත. එලියට බැස්සේ තමන්ගේ ආත්මාර්ථකාමී අභිලාෂයන් සඳහාය.

පිටරට විශ්ව විද්‍යාල වල මෙන් ලංකාවේ විශ්ව විද්‍යාල වල සරසවි ආචාර්යවරු සහ සරසවි සිසුන් අතර දැනුම , අනාගත වෘත්තිය දැනුම වර්ධනය කර ගැනීමේ කතිකා නැත. ඇත්තේ හූව, කැලෑ පත්තර සහ ගුටි ඇන ගැනීමේ සන්නිවේදන කලාවයි. එම නිසා අපේ විශ්ව විද්‍යාල වලින් ගැඹුරු මිනිසුන් බිහි වෙන්නේ නැත. ලිංගික අසහනය , පන්ති වෛරය සහ හීනමානය යන තුන් කලාව පිරි ඇති ලංකාවේ විශ්ව විද්‍යාලවලවලට සුදුසුකම් ලැබුවද දැන් ඇති හැකි එවුන් එන්නේ නැත. උන් යන්නේ ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවලටය. හීනමානය සහ අසහනය ඇති එවුන් සිත් සේ නවක වධ කියා අමු අමුවේ මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කරති. (මෙවැනි පරිසරයක් විශ්ව විද්‍යාලවල තිබීම ජෙප්පන්ට නම් කල්ල මරේය) ඒවා නැවැත්වීමටවත් සරසවි ආචාර්යවරුන්ට දැක්මක් නැත. අන්තිමේදී එයත් භාර ගත්තේ මිලිටරියයි. ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණි ගත කිරීම අනුව සාක්ෂරතාවය අඩු අප්‍රිකාවේ රටවල විශ්ව විද්‍යාල වලටත් වඩා පසු පස සිටින නිසා පෞද්ගලික අංශයේ රැකියා පවා ලැබෙන්නේ බටහිරට ගොස් ව්‍යාපාර කළමනාකරණය ඩිප්ලෝමාවක් හෝ ලබාගත් තැනැත්තාටය. අවශේෂයන් ඉසුරුපාය හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගොඩනැගිල්ල ඉදිරියට ගොස් පිනට ආණ්ඩුවෙන් රැකියාවක් දෙන තුරු උපවාස කල යුතුය. ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන් 40,000 රැකියා දුන් නමුත් ඔවුන්ගෙන් රාජ්‍ය කාර්යක්ෂමතාවට වූ පිටුවහලක් නැත. ගිරා දැනුම මිස ප්‍රයෝගික දැනුම බහුතරයකට නැත. මෙය අමිහිරි නමුත් සත්‍ය යථාර්තයයි.

ලංකාවේ විශ්ව විද්‍යාලවල මෙවැනි පහත් තත්වයකට වැටී ඇති බව එස්. බී පමණක් නොවේ රජතුමාද හොඳින් දනියි. එම නිසා එලදායිතාවක් නොමැති අපගේ විශ්ව විද්‍යාල තව අවුරුදු පහක් වසා තැබුවත් එය රටට පාඩුවක් නොවන බව මේ දෙපොල හොඳින්ම දනිති. එම නිසා අවශ්‍ය වුවහොත් විශ්ව විද්‍යාල තව අවුරුදු පහක් වුවද වසා තබන බව එස් .බී පාරම් බෑවේය. වෙනත් රටක ඇමතිවරයෙක් (විශේෂයෙන් උසස් අධ්‍යාපන ඇමතිවරයා ) එසේ කිවේ නම් මුළු විශ්ව විද්‍යාල ප්‍රජාවම විරෝධතාව දැක්වීමට ඉඩ තිබුණි. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාලවල කෙරෙන්නේ සහ තමන්ද කරන්නේ බොරුව බව සරසවි ආචාර්යවරු දනිති. එම නිසා එස් බී ගේ කතාවට කිසිම විරෝධතාවක් නාවේය.


සරසවි ආචාර්යවරුන් තමන්ගේ පර්මිට් වාහනයට දක්වන්න සැලකිල්ලෙන් සහ අවධානයෙන් සියයට එකක් තමන්ගෙන් ඉගෙන ගන්නා සරසවි සිසුවාට යොමු කළේ නම් ලෝක ශ්‍රේණි ගත කිරීම අනුව ලංකාවේ විශ්ව විද්‍යාල මෙතරම් පහලට වැටෙන්නේ නැත. බොහෝ සරසවි ආචාර්යවරුන් තමන්ගේ ළමුන්ව උසස් අධ්‍යාපනය සදහා ඇමරිකාවේ , ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවලට යැවීමට සැලසුම් හදනවා මිස තමන් උගන්වන විශ්ව විද්‍යාල වලට තම දරුවන් ඉගෙන ගැනීමට එනවා දැකීමට අකමැතිය. ඊට හේතුව මෙතන සිදුවන්නේ බොරුව බව හොඳාකාරවම දන්නා බැවිනි.

සරසවි ආචාර්යවරු උගන්වන්නේ පරණ දැනුමය. ඔවුන් අලුතින් යමක් නොකියවති. ටියුෂන් දීමට හා දේශපාලන පක්ෂ වලට කඩේ යාමට තිබෙන නිසා එසේ කියවීමට කාල වේලාවද නැත. තමන්ගේ ගුරා තමුන්ට දුන් නෝට්ස් ටික ගෝලයන්ට දෙති. ගෝලයන්ද ඒවා ගිරවුන් මෙන් කටපාඩම් කර ගනිති පරිගණක යුගයට ගැලපෙන නවීකරණයක් නැත. යමක් අධ්‍යනය කරන්නේ හෝ බුද්ධි කලම්බනයක් ප්‍රොජෙක්ට් එකක් කිරීමට හෝ උත්සහයක් නැත. වෙනත් රටවල විශ්ව විද්‍යාල වල මෙන් තමන් උගන්වන විෂයේ විෂය පාඨමාලා ප්‍රසිද්ධ කරන්නේ නැත. ඒවා රස රහස් ය. ඇතැම් සරසවි ආචාර්යවරු සිසුන් ගේ ප්‍රශ්න පත්‍ර ලකුණු කරන ක්‍රමය අපුරුය. කාමරයේ විදුලි පංකාව උපරිමයට දමා පිළිතුරු පත්‍ර උඩ දමති. මධ්‍යට වැටෙන පිළිතුරු පත්‍ර වලට වැඩි ලකුණුද ඈතට පාවී යන ඒවාට අඩු ලකුණුද ලැබේ. බොහෝ විට පන්ති සාමාර්ථයක් ලැබීමට ආචාර්යවරයා සමග යහන් ගතවිය යුතුය. සමහර කථිකාචාර්යවරු සිසුවියන්ගෙන් ප්‍රසිධියේ ලිංගික අල්ලස් ඉල්ලති. වැඩි පඩි ඉල්ලා මිස විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය වර්ධනය කිරීමට සහය වෙයව් කියා සරසවි ආචාර්යවරුන් එලියට බසින්නේ නැත. එසේ ගුණාත්මකබව වැඩි කිරීමට ඔවුන්ට උවමනාවක් ද නැත. අවසානයේදී අයිවෝ ජෙනිග්ස් සහ අයිවෝ ඩෙනිස් අතර වෙනස නොදන්නා බුද්ධිමය අතින් ලාමක ගිරා පෝතකයන් පරපුරක් පමණක් බිහි කිරීමට දායක වී තිබේ. මෙය අද දවසේ අපි හමුවේ ඇති කටුක සහ විපරිත සත්‍යයි.

අමිල ගුණරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



1956 දී සිදු වූ දේශපාලන පෙරැළිය බරපතළ ලෙස සාර්ථක වීමට ඉවහල් වූ ප්‍රධානම සාධකය වූයේ ශ්‍රීමත් ජෝන් කොතලාවල අගැමැති වීමය. ඔහු කොපමණ ඉංග්‍රීසිවාදී වූයේ ද යත් ඔහු එංගලන්තයේ වංශාධිපතීන් අතර ජනප්‍රිය විනෝදාංශයක් වූ නරි දඩයමේ යාම එනම්, අශ්වයින් පිට නැගී දඩ බල්ලන් ද සමඟ දඩයක්කාර පිරිසක් විනෝද ගමනක ස්වරූපයෙන් දඩයමේ යන අතර නරියෙකු වට කොට මරා දැමීමකට ද සහභාගි විය. ඒ පමණක් නොව එළවස්සෙකුට බඩපුරා කිරී බොන්නට හැර එවේලේම මරා පුළුස්සා (බාබකිව් කොට) උගේ බඩ පලා බොක්කේ කැටි ගැසුණු කිරි සමඟ උගේ මස් බෙදා ගෙන කෑමකට ද ප්‍රසිද්ධියේම සහභාගි විය. 56 මහ මැතිවරණයට එක්සත් භික‍ෂු පෙරමුණේ භික‍ෂුවක් විසින් පිළියෙළ කරනු ලැබූ 'මාර යුද්ධය' නම් කාටූනයට මෙම එළවස්සාගේ රුව ද ඇතුළත්ව තිබුණි. ජෝන් කොතලාවල කාන්තාවන් ප්‍රසිද්ධියේ සිප වැළඳ ගත්තේය. සෑම සෙනසුරාදාවකම කඳවල වලව්වේ බාල් නැටුමක් පැවතුණි. එවකට පුවත්පත් වල වර්ණවත්ව ඡායාරූප ද සමඟ පළ විය. එය බෞද්ධ ජයන්තිය පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබූ රටේ අගමැතිගේ ක්‍රියා කලාපය විය. එහෙයින් ලංකාවේ සිංහල බෞද්ධ මධ්‍යම පාන්තික උගතුන්ගේ පිළිකුළ හා වෛරය පුපුරා උතුරා දෝර ගලා ගියේය. බණ්ඩාරනායක ජය ගත්තේය.


ජෝන් කොතලාවල


1955 ඔක්තොම්බර් මස 19 වෙනි දින 'සිංහල සහ දෙමළ යන භාෂා ද්විත්වයටම මුළු දිවයින පුරාම සමතැන් ලැබෙන පරිදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශේධනය කළ යුතුය.' යන යෝජනාව රුවන්වැල්ල ල.ස.ස.ප. මන්ත්‍රී ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විසින් ගෙන එන ලදී. එය ස්ථීර කරන ලද්දේ දෙහිඕවිට සම සමාජ පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්මන් සමරක්කොඩි විසින් ය. ආචාර්ය ඇන්.ඇම්. එම විවාදයට සහභාගි වෙමින් මෙසේ කීවේය.

ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා (පා.ම.)- "මම ගරු මන්තීවරුන්ට පෙන්වාදීමට වෑයම් කළේ සුළු ජාතික කොටස් වලට බහුතර ජනයා අතින් කිසිදු අතවරයක් වන්නේ නැතැයි කොපමණ කියා සිටියත් එය ප්‍රමාණවත් නොවන බවයි. අතීතයේ දී අපි හොඳින් ජීවත් වූයෙමු. ඉදිරියටත් අපි එලෙසම ක්‍රියා කරන්නෙමු. කිසිදු බියක් ඇති කරගන්නට එපා යැයි අද කියා සිටීම ප්‍රමාණවත් නොවේ. අද තත්වය ඊට වඩා ඔබ්බට ගොස් ඇත. ක්‍රමයෙන් වර්ධනය වන මේ බිය තුරන් කිරීමට අපි කිසියම් නිශ්චිත ක්‍රියා මාර්ගයක් ගත යුතුය. අපි එසේ නොකළහොත් සිංහල අන්තවාදීන්ට ඔවුන්ගේ විනාශකාරී පියවර ගැනීමට එයින් ඉඩ ලැබෙනු ඇත. මේ ප්‍රශ්නය ගැන නිවැරදි විසඳුමක් අති වුවහොත් මතුවටත් එය එක්සත් ලාංකික ජාතියක් පවත්වා ගෙන යාමට මහත් සේ ආධාර වන බව ප්‍රකාශ කරමි. නමුත් අපි වැරදි පියවරක් ගත හොත් භයානක තත්ත්වයක් ඇතිවිය හැකිය.
(1955.10.19 - හැන්සාඩ්)


කොල්වින් ආර්. ද සිල්වා


1952 දී තෝරා පත්කර ගත් ශ්‍රී ලංකාවේ දෙවන පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට තිබුණේ 1957 වර්ෂයේ දී ය. නමුත් මැතිවරණය නියමිත වකවානුවට අවුරුද්දකුත් මාස 4ක් කලින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ මෝරමින් පැවති භාෂා ප්‍රශ්නය නිසා පැන නැගුණ උණුසුමින් ප්‍රයෝජන ගැනීමට බලයේ සිටි එජාපය තීරණය කළ හෙයිනි. මේ සඳහා 1956 මැතිවරණයට කලින් තමන්ගේ කැළණිය සම්මේලනයේ දී මෙතෙක් සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂා විය යුතු යැයි මතය දැරූ එක්සත් ජාතික පක‍ෂය 'සිංහල පමණක්' රාජ්‍ය භාෂාව විය යුතු යැයි තීරණය කළේය. මෙයට පිළිතුරු ලෙස ශ්‍රීලනිප ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ පැය 24න් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවට පොරොන්දු විය. මැතිවරණ ප්‍රතිඵලවලදී මහජන එක්සත් පෙරමුණ ආසන 51ක් දිනා ආණ්ඩුව පිහිටු වූ අතර එජාපයට විපක‍ෂ නායක ධූරයවත් ලබා ගත නොහැකි ලෙස ආසන 8 ට බැස්සේ ය.


අමිර්තලිංගම්


ලංකා සමසමාජ පක‍්ෂයේ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සහ ඔහුගේ දෙවැනියා වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා 1930 මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය සුපිරි විශ්ව විද්‍යාලවලින් උපාධිය ලබා ගත්හ. එවකට මෙබඳු උපාධි දිනාගත්තෝ ලංකාවේ බොහෝ දුලබ වූහ. තමන් 'රත්‍රං මොළකාරයන් ' බව ඔව්හු තම කථාවල සහතික කොට පැවසූහ. අවසානයේ දී එම කතා සමච්චලයට ලක්වූයේ 1972 ව්‍යවස්ථාව නිර්මාණය කිරීමෙන් පසුය. 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට ආචාර්ය කොල්වින්ට පැවරිණි. විශාලතම සුළු ජන කොටස වූ ලාංකීය ද්‍රවිඩ නායකයෝ නව ව්‍යවස්ථාව සමඟ කිසිඳු සම්බන්ධයකට අකමැති වූහ. එය ක්‍රියාත්මක වීමත් සමඟ ම පෙඩරල් පක්ෂයේ නායක ඒ අමිර්තලිංගම් ප්‍රසිද්ධ දේශනයකදී කියා සිටියේ 'ද්‍රවිඩයන්ට ආයුධ අතට ගැනීමට සිදුවන දිනය ළඟාවන බවත්, විදේශ රටවල සමහර සංවිධාන සමඟ සුහද සම්බන්ධතා පවත්වා ගැනීමේ අවශ්‍යතාවක් ද මතු වී ඇති බවත් ය. 1972 ව්‍යවස්ථාව තුළින් 1955 ඇන්. ඇම්. ගේ සහ එඩ්මන්ගේ යෝජනා නොසළකා හැරීම ලංකා සමසමාජ පක‍ෂයට ඉතිහාසයෙන් වැදුණු යෝධ කුළුගෙඩි පහරක් නොවන්නේද?

දේවක සිතාර ජයසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිමිත්ත- "සංහිදියා කොමිසමේ වාර්තා බාර දුන්නට පස්සෙ මොනවද වෙන්නෙ? අපිත් සාක්කි දුන්නා." උතුරෙ මිතුරියක් දුර ඇමතුකින් ඇසුවාය.

මහත්වරුන් වඳවී ගෙන යන බිමක
මහ කරුණාවෙන් ආවයි උන් මේ බිමට
දෙමළ කදුලු මිටි බැදගෙන ගියේ කදට
මහත්වරුනි කෝ මිල කඳුලේ බරට

තල් අරණට මල් සුවඳක් ගෙනත් කියා
අපිත් බලා හිටියා උඩ දෙඇස් තියා
දෙමළේ දුක් ගන්ට ඒ ඇත්තෝ ඇවිත් ගියා
තාමත් තල් කරටි දලු ලෑවෙ නැතුවා

අඩියෙන් අඩිය මුරපොළවල් හුගක් ඇතී
ඇවිලෙන ගිනි නිවන්නට ඒ කවුරුවත් නැතී
සීයට දාහක්ම හිත රිදුණෝ සිටිති
රජෙක් තියා දෙයියෙක්වත් අපට නැතී

හුස්ම ගන්නවත් බැරි වී ගිය රටක
යකඩ සපත්තුවෙ අඩියට ගිය දිවිය
ඒ නිදහස් පතා අවි ගත්තෝ අතට
මහතුනි ඔවුන් විරුවන් නොවුණිද තොපට

අසා බලා විමසිල්ලෙන් අවනඩුව
වාසල දොරට මෙපිටින් හිඳගත් බිමෙක
රොසා නැතුව ඇති තතු ඇති දේ විලස
කියන් සකියනේ දෙමළට වැරදුණෙ කොතැන

අනූපමා ගනේගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"මම මගේ සියලුම සතුරන් ඝාතනය කළෙමි. ඔවුන්ගේ මළ සිරුරු කාන්තාරයේ දස දිග්භාගයේ ම විසිරී ගියේ ය. ඔවුන් ගේ මළ මිනී කෑමෙන් මාංශ භක්ෂණයෙහි ගිජු පක්ෂීහු ද වෘකයෝ ද මා පසු පස දහස් ගණනින් ගමන් කළහ. මගේ නම ඇසූ සැණින් සියලු ගම් නියම්ගම් කැළඹී ගියේ ය. මා තරම් සතුරන් ඝාතනය කළ වීර වරයෙකු මිහිපිට නොසිටි නිසා ඔවුහු මට "රුද්ද්‍ර" යැයි නමක් ද පට බැන්දහ. මගේ ප්‍රශ්වාසය මරණ සුසුම විය. මා ස්නානය කළේ සතුරන්ගේ ලෙයිනි. එහෙත් කාලයක් යන විට සතුරන් මට පිළිකුල් විය. ඔවුන් ගේ මළමිනීවල දුගඳින් මගේ ආත්මය දුර්ගන්ධ විය. සුළඟ පවා බියපත් විය. සෑම පිණිදිය බිඳුවක් ම කඳුලක් විය. මගේ ලෙය තිත්ත වී ඇත. පළිගැනීම මහත් වූ සොම්නසක් විය. එහෙත් එහි ප්‍රතිඵලය මගේ චිත්ත අභ්‍යන්තරයෙහි පැතුරුණා වූ පශ්චාත්තාපයේ ගින්න සහ වේදනා ව යි!"

රාජිණිය මෙසේ කීවා ය.

"අසන්තෝෂයක් හදවතින් මකාලිය හැක්කේ සන්තෝෂයකිනි. වහා ම නැවත ආපසු යන්න. ඔබේ සතුරන් ද මිතුරන් ද නෑයන් ද නොනෑයන් ද ඇතුළුව සියලු ප්‍රජාව පාලනය කරන්න. පාලනය කිරීමේ සන්තුෂ්ඨිය භුක්ති විඳ, සුවසේ තෘප්තිමත් ජීවිතයක් වැසියාගේ තෘප්තිය තුළින් විඳින්න."

තවත් කාලයකට පසු ඔහු රාජිණිය සොයා එයි. මෙවර ද ඔහු පැමිණියේ කලකිරීමෙන් බර වූ හදවතිනි. ඔහු මෙසේ කීවේ ය.

"අහෝ රාජිණියනි, ඔබ තුමියගේ අණ පරිදි මම අනේක විධ ගෝත්‍රයන්ගේ නායකයා වූයෙමි. මගේ සේසත ද හෙල්ල ද කඩුව ද වටා ඉතා ශක්තිමත් සමෘද්ධිමත් ජාතියක් වශයෙන් එම ගෝත්‍ර සමගි සම්පන්න කළෙමි. සේනාපතියෝ ද, ඥානවන්තයෝ ද, වීර පුරුෂයෝ ද මා වටා ගෞරවයෙන් රැස් වූහ. දස දහස් ගණන් මනුෂ්‍යයන් ඔවුන්ගේ ස්වාධිපත්‍යයේ උල්පත වූ මා කරා රැස් වී සිටිනවා දකින විට අධිරාජයකු වශයෙන් මම, පුදුමාකාර චිත්ත ආත්ම තෘප්තියක් භුක්ති වින්ඳෙමි. මම ඔවුන් සියල්ලන්ට ම අධිපති ව ඔවුන් ගේ හිස මත නැගී සිටියෙමි. මෙම උද්ධච්ඡභාවය නිසා ම කාටත් පරිත්‍යාගශීලී වීමට මට හැකි විය.

නමුත් කාලයක් ගත වූ විට මා සිත දොම්නස් සහගත වන්නට විය. මා බලාපොරොත්තු වන උදාර පුරුෂාර්ථයන්ගේ අභිමතාර්ථ පරිදි හැසිරීමට ඔවුන්ට නොහැකි විය. ඔවුහු කුසීත වූහ. අකාර්යක්ෂම වූහ. මගේ ගෞරවයට නොසුදුස්සෝ වූහ. පණුවන් හා මැස්සන් මෙන් මගේ සිහසුන වටා ඔවුහු බයාදු ව සිටියහ. මගේ කිසියම් දුබලතාවක් දුටහොත් මගේ අතුණුබහන් පවා කෑමට ඔවුහු බලා සිටිය හ. මෙයින් මම වෙහෙසට පත් වූයෙමි. ඉන්පසු අසීමිත අතෘප්තිය මට ද හොරා මගේ හදවතට ඇතුළුව එය උලා කන්නට විය. මට තව දුරටත් මගේ වැසියාගේ අසීමිත ආශාවන් තෘප්තිමත් කරන්නා වූ උල්පතක්ව සිටීමෙහි තෘප්තියක් නැති විය. මගේ අන්තඃපුර කාන්තාවන් පවා ස්පර්ශ කළේ මා නොව, ඔවුන් සිතින් මවා ගත් අධිරාජයකු වූ මහා පුරුෂයෙකි. මට ඔවුන්ගේ අමන බයාදු වැඳුම් පිඳුම් වලින් සන්තෝෂයක් නොවී ය. එය අනුව ඒ සියලු රාජශ්‍රීීය අභිනිෂ්ක්‍රමණය කොට ඔබ සොයා පැමිණියෙමි.

සයිමන් නවගත්තේගම | සාපේක්ෂනී - දෙවන භාගය 1992

සයිමන් නවගත්තේගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වාසනාවන්ත කාලයේදී මෙන්ම අවාසනාවන්ත කාලයේදීද , මනා සෞඛ්‍යයේ දී මෙන්ම රෝගී අභාග්‍යයේදී ද , හැර නොයන බවටත් , ගෞරව අප්‍රමාණව ප්‍රේම කරන බවටත් දිව්රා පොරොන්දු වෙමි.
-විවාහ ගිවිසුම


දුම්මල ගසා එලවන්න හැකි යක්කුන්ව
ආදරේ නොකර රිදවන්න හැකි මිනිසුන්ව

කොහිද නුඹ එංගල්ස්
මේ සොඳුරු ප්‍රාථමික න්‍යෂ්ඨිය
ප්‍රකෘතිය නොවේනම්
මෙතරම් ම හිත නිවෙන්නේ මන්ද

ඉවරවුන පසු සියලු පෙම් වචන
ලඟ තියෙන බූමරංගය ගනිමු
හැරී කැරකී එතැයි දැන දැනත්

ප්‍රේමයම දෙපැත්තට විසිකරන
පිලිමලුන් හිලෑ කල යුද පිටිය
මොහොතකින් මඟුල් උයනක් වේය

සිප වැළඳ ගැනීමෙන් නොනැවතී
කිසිවෙකුට කිසිවිටක මේ දියත
කල නොහැකි අපරිමිත කැපවීම්
වචන වල ඔතා සිරසේ තබමු

එවිට හිස බරවේය
එහෙත් ළය සැහැල්ලුය

ඒ මොහොත ඝනීභවනය කරන්
සදාකල් රකින්නේ කව්රුන්ද
හිම දියව , දිය ඝනව.....ඝන දියව
චක්‍රයක කරකැවෙන මේ ගෙදර
සසරටත් වඩා වැඩියෙන් දිගය

බිම සදන කාලයත් දලු දමන කාලයත් දෙකක්මැයි
අස්වැන්න නෙලන විට මල් සුවඳ නෑ තමයි
මකරන්ද ඵල දරා ඇති නිසයි

ඒත් ඒ සියල්ලම , එක ඉරක දිගුවකී
මහලු පත් අතර වුව තුරුණු පෙම් සුවඳකී

සැප්තැම්බර් 28

සුභද්‍රා ජයසුන්දර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
නොව පැරණිය වන රමණිය විටින් විට
සැලලිහිණිය වඳු කැලණියට පුරවරට

-සැලලිහිණි සංදේශය-


එන විට කැලණි නගරය වෙත පියා සලා
දුම් රොටු ගෑස් ඇත පවනට මුදා හෙළා
නාසය වසාගෙන තටුවෙන් පමා වෙලා
සැලලිහිණියා පැමිණුණි කළු පාට වෙලා

මේ බර හසුන ගෙන හිස පිරි මදින්නට
නැත ඇඹණියක් එනතුරු මග බලන්නට
හැමගෙම සුන්දරිය අඳුරෙහි විටින් විට
සැරසෙයි පැයක් ඔහු හට තනි රකින්නට

ඉගිලෙන අතර සුවිසල් නුග සෙවණ වෙත
හමුවුණ මිතුරු කැල විගසින් වනා අත
පෙන්වා තමන් ලද මාසික වැටුප් පත
අමතන ලදී සැනහෙන්නට සුරා විත

ටෙලි නාටකය සාලය මැද රැව් දෙන්නා
සැලලිහිණියා ඒ හඬ අහගෙන උන්නා
අඹ මාළුව ඉදී ලිප උඩ රොස් වෙන්නා
කියමින් පුතෙකු මව වෙත බෙරිහන් දුන්නා

ඔහු පසු කරන තව නිවසකි වීදි කොනේ
අඹු සැමි හබයකට සැරසෙන ලකුණු පෙනේ
මොන කරුණකට බිඳ ගත්තද බැඳපු සෙනේ
මණි අක් රජුන්ගෙන්දෝ ගති උරුම උනේ

දුටු එම දසුන් බිඳවා සැලලිහිණි තෙද
සසැලී මැරී වැටුණා බිම පැලී හද
අවසිහියකින් මෙන් මහමග යනෙන ලද
ලක් වී තිබුණි මගියෙකු පා පහරටද

සඳමාලි ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිමිත්ත- පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ කොළොම්-පුරවැසියන්ට "තොරතුරු දැනගැනීමේ" අයිතිය ප්‍රදානය කරන බවට මැතිවරණ ප්‍රතිඥාවක් දෙයි.

කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
තොරතුරු මම දෙන්නම්
පුරපති මැඳුරේ ඇති මගෙ කුටියට
ගෙනගොස් පෙන්වන්නම්
ඔබ හට තොරතුරු පෙන්වන්නම්....//

බස බස ගාලා එළියට ඇද ඇද තොරතුරු පෙන්වන්නම්
හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් සේරම පෙන්වන්නම්
සොඳුරියෙ අක්මාවත් දෙන්නම්....//

කුමටද සොබනියෙ ඔබ එළවන්නේ
හේතුව මම නොදනිම්
අහසේ ඉදිවන ලක්සරි නිවසක
ගෙන ගොස් රඳවන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්....//

ඉන්ටර්නැෂනල් පයිප්ප වතුරෙන් ඔබෙ ඇඟ දෝවන්නම්
පාරේ දුව දුව ලාම්පු කණුවල ඉර හඳ එල්ලන්නම්
කොමලියෙ ආධාරත් දෙන්නම්....//

ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ග්ලාස් එක ගනිං - ඉතිං දා ගනිං
අහස දිහා බලපං
උඹට පේනවද හඳ. ඔව්වොව් බං අර පේන්නේ- ඕකා මං පොඩි කාලෙත් ඔය වගේම පාණ්ඩු පාටයි.
හරි ගමු. හිටපං.
චියර්ස්.
නෑ බං අද පෝයනේ. හොර පොට් එහෙකිං ගෙනාවේ. එච්චර අවුලක් නෑනේ. බයිට් එක ෂේප් නේ?
පුංචිම කාලෙ තාත්තා මාව වඩා ගෙන බෝක්කුව ගාවට යනවා. ඔවු බං නිකං හීනෙං වගේ මතකයි. ඒ කාලෙත් ඕකා ඔය අහසෙ ඔය විදිහටම හිටියා. මූසලයා.
නෑ බං අම්මා එන්නෙ හෙට උදේට. වරු තුනක් සිල් සමාදං වෙනවා.
ඉතිං තාත්තගෙං මං මහ විකාර ප්‍රශ්න අහනවා. හඳ කෝමද එතනට ගියේ? හඳේ වයස කීයද? හඳේ හාවට කන්න උඳුපියලිය කොහෙන්ද? උගෙ හාවි කොහෙද? හඳ ගෑණුද- පිරිමිද?
හරි ගනිං.
ඉතිං මගෙ වදකාර ප්‍රශ්න වලින් බේරෙන්න බැරුවද කොහෙද හැමදාම හවසට තාත්තා බීලා එන්න ගත්තා. ඔව්වොව්. කෝච්චියෙ ප්‍රෙන්තොත් එක්ක සෙට් වෙලා නද වෙන්ඩ දාලා අලුව කප කප ඕං ඔය පාණ්ඩුවා ඉන්න අහස යටිංම එනවා.
එදායිං පස්සෙ හඳ ගැන මම කාගෙන්වත් ඇහුවෙ නෑ. මට හඳ පාහර බල්ලෙක් වගේ පේන්න ගත්තා. මචං මං ඔය කාලෙ පොඩි පොඩි රචනා ලියලා මිහිර පත්තරේට යවනවා. තාත්තා මිහිර පත්තරේ ගේනකල් මමයි හඳයි බෝක්කුව උඩ බලන් උන්නා හැමදාම. තාත්තා බීල එන්ඩ වුනාට පස්සෙ මොන පත්තරද?
ග නිං කෝ - යකෝ උඹ ඔය සැන්ඩිනෙ බොන්නෙ-
මං බෝක්කුව උඩ අඬ අඬ ඉන්නව. එච්චර අඬද්දිත් ඔය මල මූසලයා හිනා වෙවී අහසේ ඉන්නවා. ඌට මොකද?
මාළු වල කටු නේ බං? මේ නංගිගෙ වැඩ ඔහොම තමයි.
එතකොට මට ගේ දිහායිං ඇහෙනවා තාත්තා අම්මට ගහනවා. අම්මා කැලේ දිගේ පණ කඩා ගෙන දුවගෙන ඇවිත් මාවත් කිහිල්ලෙ ගහගෙන ගිහිං හැංගෙනවා. තාත්තා ගම පුරාම අම්මව හොයනවා.
මං හෙමීට අම්මව කොනිත්තලා අහනවා අම්මෙ හෙටවත් තාත්තා මිහිර පත්තරෙ ගෙනෙයිද?
අම්මා මගෙ ඔළුව අත ගානවා.
නෑ නෑ මොන පිස්සුද? ඌ නෙමේ හෙලවෙන්නේ. කාලකණ්නියා ඌ උගෙ පාඩුවෙ අහසෙ ඉඳන් බලන් ඉන්නවා.
ඇත්තටම මේ ඇමරිකන්කාරයට පිස්සු බං මේ විකාරෙකට ගියේ අච්චර වියදං කරලා.
කඩල එක කාහං. ඒක ෂේප්.
මිහිර පත්තරේ කවදාවත් රචනාව ගියෙ නෑ.
අම්ම ගාව කඳුළු ඉතුරු වෙලා තිබුනෙ නැති කාලෙක නංගිත් ආවා.
හඳ බලන්න බැරි තරම් බොර පාට වුනා.
අපි ලොකු වුනා.
ඔයවු අස්සෙ මට කෙල්ලෙක් හම්බවුනා. ඒකි මුස්ලිම්.
ඔන්න මදුරුවෙක්. ගහපං.
දැං සීන් එක. මම කෙල්ල පස්සෙ. තාත්තා බොනවා. අම්මා කැලේ. අරූ අහසෙ.
කෙල්ලට පළවෙනි ලියුම ලිවුවෙ බෝක්කුව උඩදි. මෙන්න බොලේ අරූ හොඳට බලං ඉන්නවා. මං උඩ බැලුවා. මේං මට මේ පාණ්ඩුවාව එදා ඉඳං මගෙ කෙල්ල වගේ පේන්න ගත්තා.
ඔවු. මං ලියපු හැම කවියක්ම කෙළවර වුණේ මූගෙන් එදා ඉඳං- හරි ගහපං සිංදුවක්.

සඳ මිදුලට එනවා- ඇගෙ වත සිහිවෙනවා - ආ ආ ආ
සඳ වතුරේ නලවා සතපා - ඇය රෑ එළියේ සැඟවී යනවා

හිටහංකො ඉතුරු ටික කියනකං. දැන්නං ටිකක් බඩු වගේ බං. හූ. අනෙ අනෙ පොඩි ෂොට් එකක් ගනිං තව. අඩො අඩො- ගනිං.

අපි අවුරුදු තුනක් ලවු කෙරුවා. මුස්ලිම් හින්දා ගෙවල්වල බර බරේ. යකෝ ඒකි හඳක් වගේ තමයි. උන්ගෙ එවුං මාව මරන්ඩ හෙවුවා. අපේ එවුං මාව ගෙදරිං එලෙවුවා. ගනිං. තව කාලයි.
දවසක් පාන්දරක අපි යට ඇඳුම් හතරක් සිලි උරේක දාගෙන පැනලා ගියා. අපේම ලෝකයක් හොයා ගෙන. හරියට හරි. මේං මූ. ඔව්වොව් ඕං ඕකා අපි දෙන්නගෙ තනියට කැලේ මැද්දෙං ආවා.
මොනව වුනත් වෙලාවකට හොඳ එකා.
අපි කාත්තන්කුඩියෙ ඒකිගෙ යාළුවෙකුගෙ ගෙදර හැංගිලා හිටියා. එහෙත් මේ හඳම තමයි. අපි දන්න කෙනෙකුට හිටියෙ මූ විතරයි.
ගනිං.
බයිට්නං නෑ මචං.
ඔන්න ඔහෙ ගහමු.
එකිගෙ බඩට දරුවෙක් ආව. අපි හැංගි හැංගි හිටියා. ඔය කාලෙ මං අතට අහු වෙච්චි රස්සාවක් කෙරුව. කවදහරි මගෙ පුතා හඳ ගැන ප්‍රශ්න අහයි කියලා මං බයේ උන්නෙ.
බයිට් නැතුව අප්සෙට් නේ?
බබා හම්බවෙන්ඩ ගිහිං ඒකි මැරුණා. පුතා දවස් තුනයි හිටියෙ. හඳ දකින්නත් කලිං පුතා යන්න ගියා.
මං මළගෙදර ඉවර වෙලා කොළඹ බස් එකක නැග්ගා. මං ජනේලෙං අහස බලං ආවෙ. මෙන්න මූ. මට ආයෙමත් මූව වදකාරයෙක් වගේ පේන්න ගත්තා. ඌ මාත් එක්ක කොළඹ ආව.
හැම දෙයක්ම වුනේ ඌ හන්දා.
නෑ මං අඬන්නෙ නෑ මචං. ගම්මු ලාස්ට් ෂොට්.
මං ගෙදර එද්දි අම්මා හිටියා බෝක්කුව උඩ අඬ අඬ. කොට්ටං ගහේ වැස්සට පාණ්ඩු පාට ගැහිච්චි තාත්තගෙ මරණ දැන්වීම අලෝල තිබුණා. බීල බීල තාත්තා මැරිලා. හඳ ගැන රහස් ඔක්කොම හංගගෙන එයා යන්ඩ ගිහිං.
හඳ අහසෙ හිටියා - වගක්වත් නෑ - තුප්පහියා හතර වටේ තරු වට කර ගෙන මහරජා වගේ ආඩම්බරෙං...
දෙයි හාමුදුරුවනේ.
නැගිටපං
අහසට නැගලා අපි මූව මරමු.
නැ ගි ට පා ං.
අ පි මූ ව ම ර මූ.

2007-06

කූඹියා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සන්තුෂ්ටිය විඳ ගැනීමේ ආනිසංස සහ ආදීනව අපි කෙසේ නම් වෙන් කොට හඳුනා ගනිමු දැයි නුඹලා සිය හදවත් වෙතින් මෙම මොහොතේ ප්‍රශ්න කරමින් සිටින්නෝය.

නුඹලාගේ
කෙත්වතු කරා යන්න
උයන් වතු කරා යන්න
සුපිපි කුසුම කරා ළං වී මකරන්දය රැස් කිරීම
වන බඹරාගේ සන්තුෂ්ටිය වන බව
එහි දී නුඹලා ඉගෙන ගන්නෝය.

එ පරිද්දෙන් මල
පැණි උපදවමින් බඹරා වෙත පුද කිරීම
සුපිපි කුසුමේ ත් සන්තුෂ්ටිය වන්නේය.
බඹරා හට සුපිපි කුසුම ජීවන උල්පතක් වන්නේය.
කුසුම කරා බඹරා ආදරයේ පණිවුඩය රැගෙන එන්නේය.
කුසුමට සේ ම බඹරාට
සන්තුෂ්ටිය පිදීම
සන්තුෂ්ටිය ලැබීම
අවශ්‍යතාවක් සේ ම ආනන්දයක් ද වන්නේය.
ඹර්ෆිලීස් වාසීනි
සන්තුෂ්ටිය විඳ ගැනීමේ දී නුඹලා
කුසුම සහ බඹරා සෙයින් ක්‍රියාකාරී විය යුත්තේය.

ඛලීල් ජිබ්රාන් - ''මුනිවරයා''

ඛලීල් ජිබ්රාන්
පරිවර්තනය - මණ්ඩාවල පඤ්ඤාවංස හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හිරු මඬල පලාගෙන
මහ බඹුගෙ වරම් ගෙන
මහා බල පැරකුමෙන්
පෙර පින් ද දෙමිටි කර
දුරුත්තේ එක් දිනක
පැමිණි කුමරෙකු නොවේ

අවලාද විසුරුවන
රැවුම් ගෙරවුම් මැද්දෙ
ලොව උතුම් බුදුවරුන්
විළි රුදාවෙන් හඬන
එකුන් සියවස් පැරණි
අබලන් වු තිඹිරි ගෙයි
දුබල වූ පටු ඇඳට
සපැමිණි කුමරෙකි

සත් පියුම් නොපිපිනිය
නොගැයුනිය උදම් ගී
මොර දිදී වියරුවෙන්
පළමු හඬ නැගූයේ

ඉල්ලන්න අයිතියයි මිනිසෙකුට ජීවිතේ
වෙස්සන්තරව දරුවන් නොම දන් දුන්නේ
අල්ලට සිඟුවෙ නැත දහඩිය කැප කෙරුනේ
දෙවියෙකු නොවෙයි මං පෙත් සකසා දුන්නේ
පියෙකුගෙ සෙනෙහසයි නැණ බල ලැබ දුන්නේ

මහා බල පැරකුමෙන් - යුතුවු කුමරෙක්ය දැන්
මේ උඹේ කාලයයි
දුරුත්තේ එක් දිනක
නැගූ ඒ සටන් හඬ
අරුත් බර රිද්මෙකින්
නැවත ගයපන් පුතේ

මර්ලින් චන්ද්‍රරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



යාළු කරගෙන ගාලු මුවදොර
හවසක ගියෙමු අපි ඉඳහිට
කතා බහ කරන දහසක් අතර
කතා නොකරම බලා ඉන්නට.

ඉර බිත්තරය රැක්මට
තටු යටට ගන්නී - සයුරු කිකිළී.
අනඟ අඳුර පෙම්වතුනට
විදිත-තරු හී.

දෑත්වත් නොඅල්ලා - නොදොඩා
බලා සිටිමු අපි දෙදෙනා
විඳිමින් වෙන් වෙන්ව,
සිනිඳු වෙරළස - පිපෙන පෙණ රැස
සුළඟ දුර'හස - සරැළි අනුහස.

ශාන්තියෙන් නෙත් පියැවී
ළා හුස්මෙන් පපුව පිරෙන
සෞම්‍ය වූ අලුත් රැයෙක
නිසල ඈත ක්ෂිතිජය සේ
නිසල ව තනි රේඛාවෙක
සිත් පිහිටන හෝරාවෙක
නැඟිටිමු සිහිනයකින් ලෙස
යනු රිසියෙන් නවාතැනට
නිල් පැහැදිලි මිණි දිය සේ
බබළන සිත් දෙක ද රැගෙන.

නො එන්නෙ ද ඔබ දෙදෙන හවසක
යාළු කරගෙන ගාලු මුවදොර
කතා බහ කරන දහසක් අතර
කතා නොකරම බලා ඉන්නට.

[අමාවකේ සඳක් සිඹිමි-2006]

ලක්ශාන්ත අතුකෝරල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මෑතකදී මගේ මිත්‍රයෙකු මට දුරකතනයෙන් කතා කළේය. ඔහු පැවසූ පරිදි ගුරුවරියක වූ ඔහුගේ නැගණිය වැඩිදුර අධ්‍යාපන සුදුසුකම් අපේක්ෂාවෙන් රුපියල් 50,000 අසන්න මුදලක් ගෙවා උපදේශනය පිළිබඳව පාඨමාලාවක් මහාචාර්ය D.S. රණවක යටතේ ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනයේ හැදෑරු බවත් එම පාඨමාලාව නිම කොට අදාල සහතිකයද ලබාගත් නමුදු මෑතකදී කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති රැකියා සම්මුඛ පරීක්ෂණයකදී එම සහතිකය ඉදිරිපත් කල විට එම සම්මුඛ පරීක්ෂණයේ සිටි පරීක්ෂකවරු D.S. රණවකගේ ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය විසින් දෙන සහතිකය පිලි නොගන්නා බවත් කියා තිබේ. මෙම පාඨමාලාව සඳහා ඇයව උනන්දු කරන ලද්දේ ඇය සේවය කල පාසලේ උප විදුහල්පතිවරයා විසිනි. මෙම පාඨමාලාව අධ්‍යාපන අමාත්‍යංශය අනුමත කරන සහ එය කොළඹ විශ්ව විද්‍යාලය සමග අනුබද්ධිතව සිදු කරන බව ඇයට කියා තිබේ. මෙය පාඨමාලාව ආරම්භයේ මහාචාර්ය D.S. රණවක මහතා විසින් ද මෙය පවසා ඇත. මේ නිසා එම විශ්වාසය උඩ ඇය සහ ඇයගේ පාසලේ තව ගුරුවරියන් පස් දෙනෙකු මුදල් ගෙවා සති අන්තයේ පවත්වන ලද ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනයේ පාඨමාලාවට සහභාගී වුහ. අතිරේක දේශන පවත්වන ලද දින වලදී පාසල විසින් ඔවුනට රාජකාරි නිවාඩු ද ලබා දී තිබේ. පසුව කරුණු සොයා බැලීමේදී මෙම පාඨමාලාව කොළඹ විශ්ව විද්‍යාලය සමග අනුබද්ධිතව සිදු නොකරන බව ද එය අධ්‍යාපන අමාත්‍යංශය සමග අවබෝධතාවකින් හෝ අනුමැතියකින් තොරව පවත්වන බවද හෙළි වී තිබේ.

පසුගිය වසර දෙක තුන තුල මහාචාර්ය D.S. රණවක යටතේ ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනයේ පාඨමාලා වල සිදු කරන අක්‍රමිකතා රාවය වැනි පුවත්පත් විසින් හෙළි කරනු ලැබිය. නමුත් මුදල් අතින් ගෙවා අමාරුවේ වැටෙන පිරිස ඉහල යයි. එයට එක හේතුවක් වන්නේ මෙම ආයතනය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය, හමුදාව, පොලිසිය වැනි ආයතන වල ලොක්කන් මිලට ගෙන ඔවුන් හරහා තම ප්‍රචාරණ යාන්ත්‍රනය ගෙන යාමයි. මෙය සැබවින්ම දරුණු වංචනික ක්‍රියාවකි. එහෙත් ලංකාවේ බොහෝ වංචනික ආයතන මෙන් මෙම ආයතනයද නිරුපද්‍රිතව තම මගඩිය කරගෙන යයි. ඒ සඳහා ආයතනය වෙනුවෙන් කතා කරන සිවිල් බලය හිමි පිරිසක් ද විවිධ අල්ලස් මාර්ගයෙන් නතු කරගෙන තිබේ. එබැවින් ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතන විසින් සිදු කරන වංචනික ක්‍රියා වලට එරෙහිව නැගෙන හඬවල් යටපත් කරනු ලබයි.

වෛද්‍ය ලලිත් පෙරේරා ඇතුළු කොළඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ ආචාර්යවරියන් දෙදෙනෙකු විසින් මහාචාර්ය D.S. රණවක පිබඳව විමර්ශනයක් කරනු ලැබිය. ඔවුන් විසින් සොයාගත් තොරතුරු අනුව D.S. රණවක මහතාට මහාචාර්ය යන නාමය භාවිතා කිරීමට අයිතියක් නොමැත. තවද D.S. රණවක ඔහුට ඇතැයි කියන MICP, FICP යන උපදේශන මනෝවිද්‍යා උපාධි ව්‍යාජ උපාධි බව ඔවුන් පෙන්වා දෙන ලදී.

වෛද්‍ය ලලිත් පෙරේරා විසින් ලියන ලද Counselling or Playing with Mental Health ලිපිය කියවීමෙන් පසුව අප විසින් එහි සඳහන් කරුණු පිලිබඳව අපක්ෂපාති විමර්ශනයක් කළෙමු. අපගේ විමර්ශනාත්මක සහායක ප්‍රමිල වික්‍රමනායක මහතා විසින් රණවක මුණගැසී ඔහුගේ MICP, FICP මනෝ විද්‍යා උපාධි වල පිටපත් ඉල්ලා සිටියද ඔහු දිගින් දිගටම එය මග හරිමින් අවසානයේ දී ප්‍රමිල වික්‍රමනායකගේ දුරකථන ඇමතුම් වලට පවා උත්තර දීමට ආවේ නැත. D.S. රණවක මහතා ඔහුගේ ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතන ලියාපදිංචි කොට ඇත්තේ අධ්‍යාපන ආයතනයක් වශයෙන් නොව පුණ්‍ය ආයතයක් [Charity Organization] වශයෙනි. පුණ්‍ය ආයතයක් ලෙසට ආයතනය ලියාපදිංචි කොට ව්‍යාජ සුදුසුකම් පෙන්වා සිසුන් නොමග යවා ඔවුන්ගෙන් මුදල් ගෙන උපාධි විකුණන D.S. රණවක, No. 3A, 1st Floor, Dharmaraja Mawatha, Off Alfred House Avenue, Colombo 03 යන ස්ථානයේ නීතියට පටහැනිව මානසික ප්‍රතිකාර කරන බවද තහවුරු වී තිබේ. දැනට ලංකාවේ හොර වෙදුන් 50,000 පමණ සිටින බව කියන සෞඛ්‍ය අමාත්‍යවරයා තමන් එවැනි හොර වෙදුන්ට විරුද්ධව නීති මාර්ගයෙන් ක්‍රියා කරන බව කීවද සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ගේ අමාත්‍යංශයේ සිට කිලෝමීටර් 5-6 දුරකින් පිහිටා ඇති මෙම නීති විරෝධී ප්‍රතිකාර මධයස්ථානය තවමත් ක්‍රියාත්මකය.

D.S. රණවකගේ ව්‍යාජ උපාධි කඩයේ අනෙක් බරපතල කරුණ නම් මෙම MIPC, AMPC Dip in Counseling, PGDE Dip in Counseling යන කිසිදු ප්‍රමිතියක් නැති මනෝ විද්‍යා උපාධි මගින් බොහෝ පිරිසක් රජයේ නිලධාරීන් නොමග යවා රැකියා සහ උසස්වීම් ලබාගෙන තිබීමයි. මෙම කරුණ ගැන කොළඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ මහාචාර්යවරියක ගෙන් විමසු විට ඇය ප්‍රකාශ කලේ මෙය ඉතා බරපතල තත්වයක් බවයි. මෙම රැකියා සහ උසස්වීම් ලබාගත් පිරිසට නිසි දැනුමක් සහ පුහුණුවක් නැති බවත් ඔවුන් දැන් වසර ගණනාවක් පුරා අධ්‍යාපන සහ උපදේශන කටයුතු වල නිරතවන අතර බරපතල ගැටළු ඉන් මතු වී ඇති බවද එම මහාචාර්යවරිය ප්‍රකාශ කලාය.

අප විසින් කල විමර්ශනයේදී D.S. රණවක මහතාගේ පුණ්‍යයතනයෙන් උපාධි ලබා ව්‍යාජ උපාධි සහතික මත රජයේ රැකියාවන් සහ උසස්වීම් ලබාගත් පිරිසක් පිළිබඳව කරුණු අනාවරණය කර ගනීමට හැකි විය.

වෛද්‍ය ලලිත් පෙරේරා විසින් ලියන ලද එම ලිපියේ සිංහල පරිවර්තනය-
මනෝ චිකිත්සක උපදේශනයේ ඛේදවාචකය

[වෛද්‍ය ලලිත් පෙරේරාගේ හෙළිදරව්වෙන් පසු රණවකගේ profdsr.com වෙබ් අඩවිය අක්‍රිය කොට තිබේ.]

පසු සටහන

ශී‍්‍ර ලංකාවේ සිටින ජනතාවගෙන් 9% කුමන හෝ මානසික රෝගයකින් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කර ඇති සමීක්‍ෂණයකින් අනාවරණ වී තිබේ. විවිධ සමාජ ආර්ථික ගැටළු වලට මුහුණ දෙමින් ජිවත් වන ජනතාවකගේ මානසික සෞඛ්‍යය ව්‍යාපාරික අභිලාෂයන් පෙරදැරි කරගෙන සූරා කෑම නොහොබිනා ක්‍රියාවකි.

අමිල ගුණරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිමිත්ත- ජවිපෙ දෙදරයි- පුවතක්

සුර අසුර යුද්ධයෙන්
ගලා ගිය
රුධිරයෙන් පෙඟී ගිය අරගලබිමේ
පාළු වුනු ලැම උකුල් මතිනි
රන් දෙවොල ඉදි වුනේ

කම්හලේ ගොවිපලේ
දෑකැති මිටි පෙළු දෑත්වල
පිපුණු කරගැට මලින් පුදනට
ගතන් හෙන දා පිණි දියෙන් දොවනට
රන් දෙවොල ඉදි කළේ

දහස් ගණනක් අසුර කග පතට දිවි දී
සිප් හලෙන් බට සියක් ගණනක්
නිදි නැතිව තුන් තිස්පැයේ
අව් වැසි රෑ දාවල් වල
දිය කළ ජීවිත මතිනි
රන් දෙවොල හැඩ වුනේ

යුධ දිනූ අසුරයන්
මෙල්ල කළ රණ හඬ පතල
රන් දෙවොල
වල් වැදී ඉරි තලා
දෙකඩකට පැලී යයි

නිදිවදින අසුරයන්
අවදි කළ සීනු
විසිරිලා දෙවොල් බිම

දා පිණි මල් කරගැට අමතකව
අසුර වසුරෙන් පිනා ගිය
ලිඟු ලොවනා
රන් දෙවොලේ කපුවෝ
දොර හරියි

රන් දෙවොල තැනූ දෑත්ය
එක හුයක ගැට ගසා
අසුර සේනා මැදට විසි කළේ
ආත්මයම රන් දෙවොල වූ ජීවිත
මරා බිලි දී
සුනඛ පොරයට වැදී
රන් දෙවොල කෙළෙසති
රන් දෙවොලේ කපුවෝ

අසුරයන් රජ කිරුළු පළඳින දිනේ
වීදි සරනා පෙරහරේ
අලි නහවා සළු අන්දා
රනින් වැඩ දැමූ සළු පිළි දරා
හෙළුවෙන් ඒත් සිනහව
වඩිනු ඇත
ගරා වැටුනු රන් දෙවොලට
රන් දෙවොලේ කපුවෝ

ධනංජය තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සාරියක රැඳි මල් වැලක් සේ
සිනා මල් වැල් මූණෙ පටලා
යනෙන වුන් සිත පළන්දන්නී
සාරි විකුණන සුගන්ධී

සාරි පෙන්නන කතා බහ කරන
සිනාසෙන කෝල වෙන
දුව පනින කෙළිදෙලෙන
තරප්පු පෙළ පාළු නොකරන

ඉස්කොලෙ නොගිය සාරි ගැන බෝ උගත්
සිංහල නොදත් කොන්ජුම් කොන්ජුම් තෙරියුම් කියන
සුවඳ විලවුන් නොතවරන සාරි කඩේම සුවඳ කරන
සාරි නොඅඳින සාරි විකුණන සුගන්ධිනී

නුඹ වෙනුවෙන් ගීයක් මට හමු වී නැත
නුඹේ නමට සාරි පොටක් වෙන් වී නැත

නුඹ ගීයකි, නුඹ කවියකි
සුවඳ හමන නුඹ කුසුමකි
සාරි දිලෙන මිණි පහනකි

සාරි පුරා රැඳි මල් වැල් දුටුවෙද යුවතිය දෙනෙතින?
සාරියක්ය ජීවිතයත් රැළි පිට රැළි නැඟී ලිහෙන
සාරියකින් ගත සරසා සාරි පොටට මුවා වෙමින
සාරියකට නවතම මල් සිතුවම දෙන දිනය කෙදින?

[හිරුත් හිම පියල්ලක -2010]

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


Black Miracle තරුණ නිර්මාණකරුවෙකු තැනූ කෙටි චිත්‍රපටයක්. සරත්චන්ද්‍ර අමරතුංග, තිලිණි කෞශල්‍යා සහ සහන් අමරතුංග රංගනයෙන් දායක වන මෙහි පිටපත සහ අධ්‍යක්ෂණය ලක්ශාන් වල්පිටගෙන්. මේ එම චිත්‍රපටය පිළිබඳ විපුල සුමනසේකර කළ කෙටි ඇගයීමක්.

"කෙටි චිත්‍රපට" අප රටේ විරලයි. මෙයිනුදු මෙවැනි සාර්ථක නිර්මාණ ඉතා විරලයි. ඉතා හොඳ උත්සාහයක්. තෝරාගත් තේමා කතාව හා සංසිද්ධිය කාලීන තේමාවක් වීම පැසසිය යුතුයි. එය සෑම කලාකරුවෙකුම තුළ තිබිය යුතු අවධානය හා එළඹසිටි සිහිය නිරූපණය කරයි. එය ඉතාම වැදගත්. ඒ වගේම මෙවැනි ජීවන සංසිද්ධීන් 'කෙටි' යන සිනමා මාධ්‍ය ප්‍රකාශනයට උචිතවන අයුරින් සංක්ෂිප්තව ඉදිරිපත්කිරීම සිනමා මාධ්‍යය පිළිබඳ ලක්ෂාන් තුළ ඇති දැනුම, අවබෝධය, ඇස හා ඉව අපට මැනවින් පැහැදිලි කරයි.

ප්‍රවෘත්ති නිවේදනයක් මුලින්ම ඇසෙන්නට සලස්වා, එයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ පුවතක් අපට දිගහැරීම අපේ කුතුහලය හා අවධානය යොමුකරගැනීමට සමත්වන්නා සේම, මව සිය දියණියට අත්වූ ඉරණම දැනගැනීමෙන් පසු, අනාගතයේ ඇතිවිය හැකි ව්‍යසනයක් කරා ද අපට පූර්ව අනාවැකියක් පලකිරීම හොඳ නිර්මාණාත්මක උපක්‍රමයකි. චිත්‍රපටයේ දිගහැරෙන ඛේදනීය නිමිත්තට අනුව තෝරාගත් සිදුවීම් ඉතා සංයමයෙන්, විචිත්‍ර කැමරා කෝණ තුළින්, මානා අවස්ථාවෝචිත ආලෝකකරණයකින් යුතුව ඉදිරිපත්කිරීම, සිනමාරූපී කැමරාකරණය මේයැයි අපට කියාදෙයි. එය ද මගේ සිත වඩාත් ඇද බැඳ තබාගත් කරුණකි.

සිනමා සංගීතය ගැනද ඔහු තුළ කිසියම් අවබෝධයක් ඇති බව, නිහඬතාව, ශබ්ද හා නාද සංකලනය තුළින් මනාව පැහැදිලි වෙයි. අනවශ්‍ය ලෙස පෙරට නොඑන සංගීතය තේමාවට හා චිත්‍රපටයේ දිගහැරෙන කතා පුවතට සාධාරණයක් කරතැයි මට සිතේ.

චිත්‍රපටයේ අනෙකුත් වැදගත් අංගයක්වන සංස්කරණය ද චිත්‍රපටයේ ආත්මීය ගැටුමට සරිලන පරිදි සිදුකර තිබීමද ප්‍රසංශනීයය. කලා අධ්‍යක්ෂණය, වේශනිරූපණය ආදී අංග මෙන්ම දියණිය හා දරු දෙදෙනාගේ රංඟපෑම්ද කිසියම් ප්‍රශස්ථ මට්ටමක ඇත. එහෙත් ඒ රඟපෑම් වඩාත් සිනමාරූපි ලෙස කැමරාවට හසුකරගැනීමට තිබුනා නේද යයි මට සිතෙයි. පියාගේ බීමත් බව නම් සිනමාත්මක බවකට වඩා ළංවන්නේ නාට්‍යයක මෙන් කිසියම් අධිතාත්වික රංගනයකටය. එසේ වී ඇත්තේ ලක්ෂාන් කැමරාවෙන් උපරීම ප්‍රයෝජනය ගෙන සමීප හා අති සමීප රූප වලට නොයෑම හේතුවෙන්ය.




මධ්‍යම හා දුර රූප සිනමාවේදී මෙවන් විටෙක මතුකරන්නේ 'වේදිකා නාට්‍යයමය' ස්වරූපයක්. ඉතාම සමීප රූප තුළින් මේ පියාගේ හැඟීම් හා දරුවන්ගේ හැඟීම් මෙයටත් වඩා ප්‍රබලව, සිනමා මාධ්‍යයට අනුකූලව පැවසීමට අවස්ථාව තිබුනු බව මට හැඟේ. එසේ වූවා නම් මෙය මෙයටත් වඩා ප්‍රබල, හැඟීම් දනවන විශිෂ්ටම නිර්මාණයක් විය හැකිව තිබින. බොනපාට් දමන්නෝ සිනමා මාධ්‍යයට අනුකූලව, කිසියම් සංයමයකින් මෙහෙයවීමට මින් ඉදිරියට සිතන්නේ නම් මැනවි.

කෙසේ වුවද මෙය සැමදෙනාගේම අවධානය ලැබිය යුතු සාර්ථක නිර්මාණයකි. එයින් අප රටට නව සිනමාකරුවෙකු පහළ වී ඇත. අනාගතයේදී විශිෂ්ට සිනමාකරුවෙකු පහළවෙන බව මම නියත වශයෙන්ම කියමි.

විපුල සුමනසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මේ හාදයා කවුද?
මේ හාදයට මේ හැටි කේන්ති ගිහින් ඉන්නෙ මොකද?
මේ අපූරු ඡායාරූපය ගත්තේ කවුද?




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සහෝදරයා
වීදියේ සිටින විට ඔබ
කීවේ විප්ලවය ගැනයි
මුඩුක්කුවේ ගෙවල්වලට යන විට
ඔබ කීවේ විමුක්තිය ගැනයි
ජනතාව අතර ඔබ සිටින විට
දියේ සිටි මාළුවෙක් වගෙයි

මාක්ස් ලෙනින් මා ඕ ගැන
ඔබ කතා කළා මතකයි
සමාජවාදය කොමියුනිස්ට්වාදය
ඔබේ වචන අතර තිබුණා
ඒත් දැන් ඔබ
පාර්ලිමේන්තුවේ අසුනක
වීදියේ උන් කියන කිසිවක්
ඔබට දැන් නෑසෙයි

ඔබ ඔබේ දිව්‍යමය මැදුරේ
මුඩුක්කුවල උන් ජීවතුන් අතරද?
මැරිලද?
බලන්න ඔබ නොපැමිණෙයි
එත් සහෝදරයා
මාලිගාවේ සිටින විට
ජනතාව මුන නොගැසේ
උන්ගේ දුක නම් නොදැනේ

ඇත්තම කියනවාට
තරහ ගන්නට නම් එපා
ඔබ නම් එදා සිටි
සහෝදරයා නොවේ

අවසර දෙනවානම්
කෙලින්ම ප‍්‍රශ්ණයට බහින්නම්
සහෝදරයා තවමත් ඔබ
අපේ සහෝදරයෙක්ද
එහෙම නැත්නම්
ඉතිරිවී තිබෙනවාද සියල්ලම
සහෝදරකම හැර

උපුටනය- ලංකා පුවත්පත මුදාහරින්නැයි ඉහළින් නියෝග යන පුවතින්
| SannasaNews.Lk
පරිවර්තනය - චන්දන සිරිමල්වත්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මාතෘකාව අල්ලා ගත්තේ මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරණ කවියකිනි. කවිය ලියනු ලැබ ඇත්තේ පසුගිය දා පැවැත්වුණ ගොඩගේ ජාතික සාහිත්‍ය උළෙලට සහභාගි වී ගිය වසරේ පළවූ 57 කට අධික කවි පොත් අතරින් එකක් වත් සම්මානයට නුසුදුසු යයි අමන තීරණයක් දුන් ඊනියා විනිශ්චය මණ්ඩලයකට සවන් දීමෙන් ඇති වූ කම්පනය නිසා එක්තරා තරුණ කවියකු විසිනි. සම්පූර්ණ කවිය මෙසේ ය.

කවියට වඩා ඇමතිගෙ එක ලොකු හන්දා
දේශකයකුත් නැතුව හරියට දුක් වින්දා
ඇස් ගොඩගේ නමුත් ඇස් දෙක නැති හන්දා
දෙවන වසරටත් කවියේ ගෙල සින්දා


වරද ඇතේ ගොඩගේ මහතා අතේ නොවේ. ගොඩගේ සාහිත්‍ය උළෙල ස්වාධීන සාහිත්‍ය උළෙලකැයි වරදවා වටහා ගත් නිර්මාණකරුවන් හා තමන්ගේ තීරණයට පසුබිම් වූ සත්‍ය කතාව හෙළිදරව් කරන්නට තරම් පිට කොන්දක් නැති ඊනියා විනිශ්චය මණ්ඩලය අතය.

මෑත වසර වල වැඩිම කවි පොත් සංඛ්‍යාවක් නිකුත් වූ වසර 2010 වසරයි. මේ වසර තුළ 57 ක් පමණ කවි පොත් සංඛ්‍යාවක් නිකුත් වූ බව දැනගන්නට ඇත. මේ කවි පොත් අතරින් පොත් 5 ක් සම්මාන ප්‍රදානය සඳහා ප්‍රශස්ත පොත් ලෙස නිර්දේශ වී තිබුණි.

මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි - මංජුල වෙඩිවර්ධන
රාජාලි පියාපත - ජගත් ඡේ. එදිරිසිංහ
සඳක් නැතිවෙන්න ඉඩ ඇත - ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න
සන්ධ්‍යා තීර්ථය - රත්න ශ්‍රී විජේසිංහ
හිරුත් හිම පියල්ලක - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල


ඒ කවි පොත් පහයි. පොත් 57ක් අතරින් පොත් පහක් නිර්දේශ වී නම් ඊළඟ කාරිය විය යුත්තේ මේ පොත් පහ අතරින් සම්මානය සඳහා පොතක් තෝරා ගැනීමයි. එකඟතාවකින් පොතක් තෝරාගත නොහැකි වීමේ අඩුපාඩුව වසා ගන්නට "මේ වසරේ සම්මාන සඳහා සුදුසු ප්‍රශස්ත කවි පොතක් නැත" යි සාහසික ප්‍රකාශයක් කර සමස්ත කවියන්ගේම සිත් බිඳවන්නේ නැතිව පසුබිමේ ඇති සැබෑ කතාව හෙළිදරව් කරන්නට තරම් පිට කොන්දක් විනිශ්චය මණ්ඩලයේ සිටි එක් අයෙකුට හෝ නැතිවීම කණගාටුවට කරුණකි.

2010 වසර තුළ ප්‍රකාශිත කවි පොත් අතරින් එකක් වත් ප්‍රශස්ත මට්ටම (මේ මිම්ම ඇත්තේ කා අතේ දැයි දන්නේ දෙවියන් පමණකි.) සපුරා නැත්නම් ඒ බව හඳුනාගත යුතුව තිබුණේ අවසන් මොහොතේ නොව - ප්‍රශස්ත පොත් පහක් තෝරා ගත් පළමු වටයේදීම ය. එසේ කළා නම් ඊනියා විනිශ්චය මණ්ඩලයට තම සෙළුව වසා ගන්නට යන්තමින් හෝ හැකියාවක් තිබුණි. දැන් සිදුව ඇත්තේ ඒ සඳහා දෑතත් මදිවීම පමණකි.

සම්මානය සඳහා නිර්දේශිත පොත් පහෙන් මගේ පොත පසෙක තබමු. ඒ ගැන කතා කරන්නට මට අයිතියක් නැත. ඉතිරි පොත් හතර වන මංජුලගේත්, රත්න ශ්‍රී ගේත්, ලක්ෂාන් ගේත්, මහින්දගේත් පොත් පසුගිය වසර වල බොහෝ සාහිත්‍ය උත්සව වලදී සම්මානිත පොත් වලට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින බව කවිය පිළිබඳ අවදියෙන් සිටින සැවොම දනිති. නොදන්නේ සම්මාන දීම සඳහා පමණක් කවි කියවන විනිශ්චය මණ්ඩල වලට රිංගාගෙන සිටින බහුබූතයන් පමණකි.

වෙඩිවර්ධනගේ දෘෂ්ඨිය ඒක පාර්ශ්වික බැවින් ඔහුට සම්මානයක් දීම සුදුසු නැතැයි මේ කරුණ අරභයා මා හා අදහස් දැක්වූ ප්‍රවීණ ලේඛකයෙක් කිවේ ය. වෙඩිවර්ධනගේ දෘෂ්ඨිය නිවැරදිද නැද්ද යන්න තීරණය කරන්නට අපට අයිතියක් තිබේ ද? යම් කරුණක් අරභයා කෙනෙකුගේ දැක්ම වෙනත් කිසිවකුගේ දැක්මට වඩා වැරදි වන්නේ හෝ නිවැරදි වන්නේ හෝ නැත. දැක්ම එකිනෙකාට සාපේක්ෂ ය. නිර්මාණයකදී සළකා බැලිය යුත්තේ ලේඛකයාගේ නිර්මාණ භාවිතාව නොවේ ද? සිය දැක්ම ඉදිරිපත් කිරීමේදී නිර්මාණය තුළින් ඔහු විශධ කරන ප්‍රතිභාව නොවේද? (පරිවර්තිත කෘති සඳහා සම්මාන දීමේදී ද වසරක් පාසා අප දකින්නේ මේ වරදම ය. පරිවර්තිත කෘති තෝරා ගැනීමේදී අද ලංකාවේ සළකා බැලෙන්නේ මුල් කෘතිය සිංහලයට නැගීම කෙතරම් සාර්ථක ලෙස සිදුවී ඇද්ද යන්න නොවේ. එනම් පරිවර්තනයේදී පරිවර්තකයා දක්වා ඇති ප්‍රතිභාව නොවේ. සළකා බැලෙන්නේ මුල් කෘතියේ ස්වභාවයයි. වැරදි සිංහලයෙන් පිරුණ දුර්වල පරිවර්තන වලට වසරක් පාසා සම්මාන ලැබෙන්නේ ඒ නිසා ය)

මංජුලගේත්, රත්න ශ්‍රීගේත්, ලක්ෂාන් ගේත්, මහින්දගේත් පොත් පරිසාධන මට්ටම ඉක්මවා නැතැයි කියන්නේ කුමන මිණුම් දණ්ඩකින් මැන බලා දැයි තේරුම් ගන්නට අපට නම් නොහැකි ය. ගෞරවණීය විනිශ්චය මණ්ඩලය මේ මිණුම් දණ්ඩ කුමක් දැයි ප්‍රසිද්ධ කරන්නේ නම් එය නිර්මාණකරණයේ යෙදනෙ දහස් ගණන් නිර්මාණකරුවනට සේවයක් ම වනු ඇත. ආත්ම ප්‍රකාශනය කෙසේ වෙතත් විනිශ්චය මණ්ඩලයක් සතුටු කරන්නට කවි ලියන්නේ කෙසේ දැයි තේරුම් ගන්නට එවිට ඔවුනට හැකියාවක් ලැබෙන බැවිනි.

ශ්‍රී ලංකාවේ අද සිදුවන සමස්ථ සාහිත්‍ය සම්මාන ක්‍රියාවලියම ප්‍රෝඩාවකි. සම්මාන ලබා ගැනීමේ ඉලක්කයෙන්ම පොත් ලියන බවට ප්‍රසිද්ධව සිටින ලේඛක ලේඛිකාවන් කීපදෙනාට සිය පොත් වලට වැඩි වෙළඳ වටිනාකමක් ලබා දෙනවා හැරෙන්නට වෙනත් සාහිත්‍ය සේවාවක් මේ සම්මාන උත්සව හරහා සිදුවන්නේ නැත. අපේ ගෞරවයට පාත්‍ර වන රත්න ශ්‍රි වැනි ප්‍රවීණයකු මේ සිල්ලර සම්මාන පසුපස හඹා යා යුතු යයි මම නොසිතමි. ගොඩගේ සම්මාන උළෙලට සහභාගි වූ තරුණ කවියකු මට එවූ ඊමේලයකින් කියවුණේ ද ඒ කාරණයයි. ඊනියා විනිශ්චය මණ්ඩලයෙන් කන පුරවා පහරක් ලද රත්න ශ්‍රී මුහුණත් ඇඹුල් කරගෙන පිටව යනු තමා බලා සිටියේ දැඩි කම්පාවකින් යයි මේ තරුණ කවියා ලියා තිබුණි.

මේ සම්මාන උළෙල සඳහා අප කවි පොත් ඉදිරිපත් කළේ සම්මාන ලබා ගැනීමේ උණකින් නම් නොවේ. ඉතිහාසය පුරාත් අදත් සෑම කාල වකවානුවකම සිදුවන්නේ තම තමන්ගේ අභිමතය පරිදි තෝරාගත් නිර්මාණකරුවන් කීපදෙනෙකුගේ නිර්මාණ ගැන පමණක් කතා බහ කරන සංස්කෘතියකි. එක් යුගයක බුද්ධදාස ගලප්පතිය මොණිකාරුවන් පතිරණ ය. පරාක්‍රම කොඩිතුවක්කු ය. තවත් යුගයක රත්න ශ්‍රි විඡේසිංහ ය. ඉන්පසු නන්දන වීරසිංහ ය. අද තවත් කීපදෙනෙකි. තමන් තෝරාගත් නිර්මාණකරුවන් ලියන අවර ගණයේ නිර්මාණ ගැන පවා කතා කරන්නට සැදී පැහැදී සිටින බුද්ධිමතුන් අපමණ ය. මේ තෝරාගත් නිර්මාණකරුවන් දෙතුන් දෙනාගෙන් පිට ලියවෙන කිසිම නිර්මාණකරුවකුගේ නිර්මාණයක් පුවත්පත් වලට ලියන බුද්ධිමතුන්ගේ ඇස ගැටෙන්නේවත් නැත. සෑම යුගයකම අර තෝරාගත් නිර්මාණකරුවන්ට ආරෝපනය කර උත්කර්ශයට නංවන රැස් කදම්බයට වැසී වැනසී යන නිර්මාණකරුවෝ අපමණ සංඛ්‍යාවක් සිටිති.

එසේ වුව ද මේ ඊනියා සම්මාන ප්‍රදානය අපට ඉගැන්වූ වටිනා පාඩමක් ඇත. අපේ නිර්මාණයක් කියවා ඊමේලයකින් ලිපියකින් දුරකතනයෙන් කතා කරන අහිංසක රසිකයකුගේ සහෘදයකුගේ එක වදනක් මේ සියලු සම්මාන වලට වඩා වටිනා බව ගොඩගේ සම්මාන උළෙල අපට දැන් උගන්වා ඇත. මින් මත්තට මගේ කිසිම නිර්මාණයක් කිසිම සම්මාන ප්‍රදානයකට ඉදිරිපත් නොකරන බව මෙයින් ශපථ කර සිටිමි.

ජගත් ඡේ එදිරිසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


Boondi.Lk වෙබ් අඩවියට අවුරුදු තුනක් පිරීම නිමිත්තෙන් ‛මේ නිහඬ වෙරළට එන්න’ කාව්‍ය සංග්‍රහය එළිදැක්වුණු හැන්දෑවේ මාලතී කල්පනා ඇම්බ්‍රෝස් සමඟ මනෝරි කලුගම්පිටිය කළ පිළිසඳරක්. [උපුටනය සමබිමෙන්]

  • කල්පනා "මේ නිහඬ වෙරළට එන්න" පොත ගැන පොඩි හැඳින්වීමක් කළොත්....

  • මේ පොතේ තියෙන්නෙ මම අවුරුදු 15 ක් තිස්සෙ ලියපු කවි. මම කවි ලියන කාලෙ යුග දෙකකට බෙදනවා. පුංචි කාලේ ඉඳන් විශ්වවිද්‍යාල ජීවිතේ මුල් කාලය වෙනකන් එක්තරා කාලයක්. ඊට පස්සේ අවුරුදු 10 ක් විතර පෞද්ගලික හා විවිධ හේතුන් නිසා ලිවීමෙන් ඈත්වෙලා ඉඳලා බූන්දියත් එක්ක මීට අවුරුදු එකහමාරකට කලින් සම්බන්ධ වෙනකොට තමයි ආයි ලියන්න ගත්තෙ. එය මුල් යුගයේ සහජයෙන් ලිවීමට තිබුණ හැකියාව. නමුත් දෙවෙනි වතාවේ ලිවීම කියන කාරණය දේශපාලනිකයි. ඒ පවතින සමාජ සහ දේශපාලනික වටපිටාව එක්ක තමයි ලියන්න පටන් ගන්නේ. ඒ ලිවීම් මිනිස්සු අතරට ගියේ සයිබර් අවකාශයෙන්, බූන්දියේ සහ වෙනත් පළවීම් සිදු වුණා. නමුත් ඒ ලිවීම් මිනිස්සු අතරට යයි කියන විශ්වාසය තිබුණා. මගෙත් එක්ක ළඟින් හිටපු කිහිප දෙනෙකුට ඇති වෙච්ච වුවමනාව නිසා තමයි පොතක් හැටියට "මේ නිහඬ වෙරළ" එළියට එන්නේ. ඒ වැඩේ පෞද්ගලිකව මාලතී ගේ පොතක් එළි දැක්වීමට වඩා පොදු වැඩක්. ඒකෙ ඇතුළෙ තියෙන දේශපාලනය සමාජගත වීමක් හැටියටයි මම මෙය දකින්නේ.

  • ඔයාගෙ පැහැදිලි කිරීම ඇතුළෙ බූන්දිය ගැන කියවුණා. බූන්දිය කියන්නෙ මොකක්ද? බූන්දියට සම්බන්ධ වුණේ කොහොමද?

  • බූන්දිය කියන්නෙ කවියට, කලාවට සහ සාහිත්‍යයට හිතැති සාහිත්‍යකාමීන් පිරිසක් එකතුවෙලා තමන් ලියාගෙන තමන්ම සතුටුවෙලා තමන්ම වින්දනය ලබන එකෙන් එහාට ගිහිල්ල යම්කිසි සමාජ දේශපාලන කාර්යයක් වෙනුවෙන් එකතු වෙච්ච පිරිසකගේ ව්‍යායාමයක්. ඒක වර්ධනය වෙලා බූන්දිය අද තියෙන තත්ත්වයට ඇවිත් තියෙනවා. මම බූන්දිය දැනගන්න කොට බූන්දියට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙලා තිබුණේ. දැන් ඒක ලංකාවේත් විදේශයන්හිත් විශාල පිරිසක් කියවන වෙබ්සයිට් එකක් බවට පත්වෙලා තියෙනවා. ඒ තුළ කලාව, සාහිත්‍ය, දේශපාලනය මේ සියලු දේ තියෙනවා. මීට අවුරුදු එකහමාරකට දෙකකට කලින් යුද්ධයේ අවසන් අවස්ථාව වෙනකොට කවුරුත් කතා කරන්න බය වෙලා හිටපු කිසිම දෙයක් ගැන සැලකිලිමත් නොවිච්ච වෙලාවක අපි මොනවද කරන්නෙ කියලා මමත් මගේ පෞද්ගලික මිත්‍රයන් කිහිප දෙනෙකුත් හැමදාම මුණගැහිලා කතා කරන පුරුද්දක් තිබුණා. ඒක ඇතුළෙ අපි මොකක්ද කළ යුත්තේ කියලා සමාජය සහ අපවම ප්‍රශ්න කරමින් හිටියේ. ඒ වෙලාවේ තමයි බූන්දි මගේ යාළුවෙක් මට හඳුන්වලා දුන්නෙ. පැහැදිලිවම ඒක සමාජ දේශපාලනික අවශ්‍යතාවයක් මත සිද්ධවෙච්ච දෙයක්.

  • සාමාන්‍යයෙන් මේ වගේ කාලෙක කාන්තාවක් මෙවැනි ක්‍ෂේත්‍රයක් තුළින් ඉදිරියට ඒම තරමක් විරලයි.

  • මම මීඩියා මනුස්සයෙක් හැටියට මාව අඳුනගන්නෙ නැහැ. මම මේක ලියන්න ඕනෙ කියලා හිතල ලියන්නෙ නැහැ. මට ඉතාම තදින් දැනෙන දේකදී මට ලියවෙනවා. අන්තර්ජාලය සමඟ මම සම්බන්ධයි. මම කරන රාජකාරිය සහ මගේ පරිසරයත් සමඟ මම අන්තර්ජාලය හා සම්බන්ධයි සහ ඒක අවශ්‍යතාවයක්. අන්තර්ජාලයේ හුඟක් කාන්තාවො ඉන්නවා. නමුත් ලියන කාන්තාවො අඩුයි. අපේ සමාජයේ කාන්තාවක් හැටියට පැවරිලා තියෙන කාර්යභාරය අනුව කාන්තාවන් දේශපාලනිකව සහ සමාජයීය කාරණාවලට එළැඹීමේ සංස්කෘතියක් අපට නෑ. එවැනි ප්‍රවේශයක් ගන්නා කාන්තාවන් නිදහස්කාමී ඕනෑවට වඩා වැඩි යමක් භුක්ති විඳින හැටියට තමයි සමාජය විසින් අඳුර ගන්නේ. නමුත් වාසනාවකට වගේ මම හැදිච්ච වැඩිච්ච පරිසරය, විශ්වවිද්‍යාලය තුළ, Practical Action ආයතනය ඇතුළු මෙතෙක් කල් රැකියාව කරපු සමාජ සංවර්ධනය සඳහා දායක වන ආයතනවලින් සමාජයත් එක්ක ගැවසීමේ වැඩි අවකාශයක් ලැබුණා.

  • බූන්දිය මහජනයාට මොනයම් හෝ ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කරනවද? අපිට එවැනි දර්ශනයක් දකින්න නැහැ. එහෙමනම් ඔබ කරන්නෙ සයිබර් අවකාශයේ යම් ඉඩක් පවත්වාගෙන යාමක් විතරද?

  • මනෝරි ප්‍රකාශ කළා එහෙම පේන්න ඉදිරිගාමී දර්ශනයක් බූන්දියට නෑ කියලා. අපි දේශපාලන පක්ෂයක් නොවන නිසා ස්ලෝගන් එකක් ඉස්සර කරගෙන යන ගමනක නෙවෙයි ඉන්නේ. දෙවෙනි කාරණය තමයි මනෝරි කිව්වෙ එහෙම එකක් ඒ කියන්නෙ ඉදිරි දර්ශනයක් තියෙනව ද? ඔව්, එහෙම එකක් තියෙනවා. ඒක අතිශයින් ඉදිරිගාමී එකක්. බූන්දිය වෙබ් බේස් වුණත් ඒක මාධ්‍යයක්. ඒ මාධ්‍යයේ පළමු දේ තමයි අපි මාධ්‍යයක් හැටියට මධ්‍යස්ථව ඉන්න ඕනෙ කියන එක. අනික් කාරණය තමයි අපි දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේ නෑ. වෙනත් කිසිම කණ්ඩායමක හෝ වෙනත් කිසිම කෙනෙකුගේ මතවාදයක් අපි නියෝජනය කරන්නේ නෑ. අපේ කණ්ඩායමේ අයට බොහෝම සමාන හැඟීම් දේශපාලන අදහස් තියෙන හින්දා තමයි අපි එකට වැඩ කරන්නේ. ඉදිරිගාමී දර්ශනය කියන එක අපි විශ්වාස කරනවා. මේ සමාජය තියෙන විදිය හරි නෑ. මේ සිස්ටම් එක තුළ දේශපාලනමය, සංස්කෘතිමය, ශිෂ්ටාචාරමය, ආකල්පමය වශයෙන් මිනිසුන්ව තියලා තියෙන තැන හරි නෑ. මේක වෙනස් වෙන්න ඕන. ඒක තනි මනුස්සයෙකුගේ, සමාජ, දේශපාලන ව්‍යාපාරයකින් වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මෙය විවිධාකාර වූ පිරිස් විවිධ මාවත්වලින් ඇවිල්ලා එක තැනකට එකතු වෙලා කරන්න ඕන වැඩක්. මේක එක රැයකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අර මම කියපු සමාජ දේශපාලනික දැනුම කියන එක මිනිස්සුන්ට සම්පාදනය කිරීමේ එක අදියරයක තමයි බූන්දිය ඉන්නෙ. බූන්දිය කියන්නෙ දැනුම සම්පාදනය කරන්නෙක්, මිනිසුන්ගේ ඇස් අවදි කරන්නෙක්. කවියක් කියවීමෙන්, සාහිත්‍ය අංගයක් කියවීමෙන් එහෙම නැත්නම් සමාජ දේශපාලනික ලිපියක් කියවීමෙන් මනුෂ්‍යයා අවදි වෙන්න ඕන. මේ මොහොතේ නිද්‍රාශීලිව ඉන්න මිනිස්සුන්ට තට්ටුවක් දැමීම වගේ දෙයක්. සමහර වෙලාවට මේ මොහොත තුළ ඒ දැක්ම ලොකු ස්ලෝගන් එකක් හැටියට නොයනවා වෙන්න පුළුවන්. නමුත් මේක පරිණාමය වගේ දෙයක්. දැනුම කියන එක මිනිසුන්ගේ පරම්පරාවලින් ඇතිවෙන්න ඕන දෙයක්. වෙනස් වූ ඉදිරිගාමී සමාජයකට අවශ්‍ය දැනුම සම්පාදනය කිරීම කියන කාරණයේ තමයි අපි නියැලිලා ඉන්නේ.

  • ඔයා කියන විදිහට මේ පද්ධතිය සහ සමාජය වෙනස් කරන්න වෙබ් අඩවියකින් විතරක් පුළුවන්ද?

  • වෙබ් එකේ විතරක් බූන්දිය ඉන්නවා කියන තැන අපි ඉන්නෙ නෑ. බූන්දිය මේ දක්වා විවිධාකාරයේ මහ පොළව මත කරපු වැඩසටහන් දියත් කරලා තියෙනවා. බූන්දිය වෙබ් අඩවියක් හැටියට ඉදිරිපත් කිරීම, ‛අක්ෂර සෙනඟ’ පොත එළි දැක්වීම, තෝරාගත් කවි කිවිඳියන්ගේ කවිපොත් එළිදැක්වීම්, ඉතා මෑත කාලයේ මංජුල වෙඩිවර්ධනගේ දෙමළ කවි පොත සමාජගත කිරීමට දායක වීම, හිනිදුම සුනිල් සෙනවිගේ විචාර ග්‍රන්ථය එළි දැක්වීම, "මේ නිහඩ වෙරළට එන්න" කවි පොත එළිදැක්වීම සහ බූන්දිය අවුරුදු තුන සම්පූර්ණ කිරීමත් ඒ සාමූහික ප්‍රයත්නයන්. ඒ අනුව අපි මහ පොළවේ දේවල් තුළ ඉන්නවා. මේ මොහොත තුළ පවතින දේශපාලනික දේවල්වලට අපි සංවේදියි. අපි ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වනවා.

  • ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔයාගෙ අදහස මොකක්ද?

  • ජනවාර්ගික ප්‍රශ්නයේදී මගේ අදහස වෙන්නේ එක ජනවර්ගයක් තව ජනවර්ගයකට වඩා උසස් කියන එකවත් පහත් කියන එකවත් නෙමෙයි, සියලු ජනවර්ගවලට සමානව සැලකිය යුතුයි කියන එක. ජනවර්ග කියලා හඳුන්වන්නෙ කුල වශයෙන් ගෝත්‍ර වශයෙන් ජාතීන් හා ආගම් වශයෙන්. මනෝරි මට වඩා බඩගින්නේ ඉන්නවා නම් මට කලින් මනෝරිට කෑම දෙන්න ඕනෙ. වැඩිපුර පල්ලෙහට වැටිලා තියෙන කෙනා වැඩිපුර ශක්තියක් දීලා උඩට ගන්න ඕන. ඒ වගේ සුවිශේෂි මොහොතවල් තියෙනවා. ඒ වගේ සුවිශේෂි මොහොතකදී අපි අනෙකාව සුවිශේෂි ලෙස රැක බලා ගත යුතුයි. එහෙම නැතුව කිසියම් ජනකොටසක් අනෙක් ජනකොටසට වඩා සුවිශේෂියි කියන එක නෙවේ. මගේ පෞද්ගලික අදහස මේ වෙනකොට උතුරේ මිනිස්සු දුක් විඳිමින් ඉන්නවා. දකුණේ ඇතැම් කොටසකුත් දුක් විඳිමින් ඉන්නවා. බහුතරයක් හැටියට මේ මොහොත වෙනකොට උතුරේ පීඩකයාගෙනුත් දකුණේ පීඩකයාගෙනුත් පීඩා විඳින්නෙ සිවිල් වැසියෝ. එතනදී පීඩක යාන්ත්‍රණය ගත්තම දෙකටම එකයි. නමුත් වෙනස් වෙන්න ඕන දේ තමයි මේ පීඩක යාන්ත්‍රණය විසින් පීඩිත සාමාන්‍ය මහජනයා පෙළීම අවම වෙන්න ඕන. ඉවර වෙන්න ඕන. ඒ ඉවර වීමට උදව් දෙන්න මිනිස්සු සවිඥානික කරන්න බලවේග ඇතිවෙන්න ඕන. එහෙම නැතිව එක පීඩකයෙකුගෙන් තව පීඩකයෙකුට වැඩේ බාර දෙන එකෙන් ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ.

  • ඔබේ පොත එළි දක්වන අවස්ථාවේ බූන්දිය පිළිබඳ කළ හඳුන්වා දීමේදී ප්‍රකාශ වුණා බූන්දිය කියන්නෙ හිමිකරුවෙක් නැති, මෙහෙයවන්නෙක් නැති පිරිසක් එකතු වෙලා වැඩක් කරන තැනක් කියලා. ඒ වගේ මෙහෙයවන්නෙක් නැති වැඩසටහනක් සමාජ වෙනසක් කරා ගෙනයන්න පුළුවන් ද? යම්කිසි දේශපාලන හෝ සමාජ වෙනසක් කිරීමේදී මෙහෙයවන්නෙක් සහ මෙහෙයවීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි? ඇත්තටම බූන්දියට එහෙම එකක් නැද්ද?

  • මෙහෙයවන්නෙක් නැහැ කියන එක හරි. නමුත් මෙහෙයවීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒක සාමූහිකයි. එතනදි අදහස් කළේ ඇත්තටම දේශපාලනික ව්‍යාපාරයක් වගේ එහෙම නැත්නම් මොකක් හරි සංගමයක්, සභාපති කෙනෙක් ලේකම් කෙනෙක් එහෙම නැත්නම් නායකයෙක් වගේ එහෙම කෙනෙක් වටේ පස්සෙන් යන, කාවහරි වන්දනා කරන එකක් නෙමෙයි කියන එක. මේක ඉතාම ස්වාධීන මත දරන, සමාන අදහස් දරන පිරිසක් එකතු වෙලා යම් යම් තීරණාත්මක අවස්ථාවලදි සාමූහික තීරණ ගනිමින් යන ගමනක්. එහෙම දේවල් ඉතිහාසයේ වෙලා තියෙනවා, ඉතිහාසයේ තිබිලා තියෙනවා සහ සාර්ථක වෙලා තියෙනවා. ඒක පුද්ගලීකරණය වෙන්න ගිය අවස්ථාවලදී මහා පරිමාණයෙන් බිඳ වැටිලත් තියෙනවා රුසියාව වගේ රටවල. නමුත් මෙතන අපි ඉතාම පොඩි පිරිසක් ඉන්න කණ්ඩායමක් හැටියට එකතු වෙලා කතාබහ කරලා තීරණ ගන්න බැරිකමක් නෑ.

  • මේ වගේ පරිභෝජන රටාවක් තියෙන කාලයක යම් කෙනෙක් හෝ පිරිසක් එකතු වෙලා යම්කිසි අවකාශයක් පවත්වාගෙන යාම ඉතා අපහසුයි. පවතින ආර්ථික රටාව තුළ බූන්දිය කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නෙ?

  • මනෝරි මෙතනදී අදහස් කරන්නේ මූල්‍යමය දෙයක් ද එහෙමත් නැත්නම්… ඔව් මූලිකවම මූල්‍ය ශක්තියක් තියෙන්න ඕන. ඒ වගේම දිරිමත් කිරීම ලැබෙන්න ඕන සහ උද්ගත වෙන ප්‍රශ්නවලදි මුහුණ දෙන්න තමන් තුළ ක්‍රමවේදයක් තියෙන්නත් ඕන. මූල්‍යමය කාරණය ගැන කිව්වොත් වෙබ් සයිට් එකක් පවත්වාගෙන යන්න මහා ලොකු මුදලක් අවශ්‍ය නැහැ. මූලිකවම වෙබ් හොස්ටින් සඳහා ඉතාම සුළු මුදලක් විතරයි අවශ්‍ය.

  • නමුත් ඔබ කලින් කිව්වා බූන්දිය මහ පොළවේ වැඩ ගොඩක් කරනවා කියලා. ඒ සඳහා යම්කිසි වියදමක් දරන්න වෙනවා.

  • ඇත්තටම අපි එහෙම කරන්නෙ පෞද්ගලිකව මුදල් එකතු කරලා. ඒක ටිකක් තේරුම් ගන්න අමාරු කටයුත්තක්. ඕනම කෙනෙක් සමාජ වැඩක නිරත වෙන්න හේතු තියෙනවා. සමහර විට හැංගිච්ච එකක්, සමහරවිට තියෙන එකක්. හැබෑ සමාජ ක්‍රියාකාරිකයෙක් වෙන්න මනුෂ්‍යයින්ට ලොකු දේවල් ඕනෙ නෑ. ආදරය කියන එක විතරයි ඕනෙ. මේ තියෙන දේ මම විතරක් විඳලා මැරිල යන්නෙ නැතිව ලෝකෙ තව ටිකක් යහපත් කරන්න පුළුවන් ද? මම සහ අපේ කණ්ඩායමේ සියලු දෙනා එයට කොන්දේසි විරහිතව දායකත්වය දෙන්න කැමතියි. මෙතන අපිට කිසිම මුදල් ප්‍රතිලාභයක් ලැබෙන්නෙ නෑ. ලෝකයට වෙනසක් අවශ්‍යයි කියන එක බූන්දි කණ්ඩායමේ සාමාජිකයින්ට දැනෙන දෙයක්. ඒ වෙනුවෙන් අපිට සුදුසු පරිසරයක් හමුවෙනවා. කණ්ඩායමක් හමුවෙනවා. සමාන අදහස් එක්ක අපි ඒ කණ්ඩායම එක්ක එකතු වෙලා අර විදිහට ඒ ගමන යනවා. නමුත් එතනදී පෞද්ගලික න්‍යාය පත්‍ර අඩුකම ගොඩක් බලපානවා. කොහොමටත් අපි කරන වැඩේට කැමති පිරිසකුත් අපිත් එක්ක ඉන්නවා.

    මනෝරි කලුගම්පිටිය



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    |
    Related Posts with Thumbnails