Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජනමාධ්‍ය යනු ජනතාවට තොරතුරු සපයන්නා පමණක් නොව දුකට, පීඩාවට සහ හිංසාවට පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින සහ පෙනී සිටිය යුතු ආයතනයකි. මෙය වඩාත් බලපානු ලබන්නේ මුද්‍රිත මාධ්‍යය වෙත බව විශේෂයෙන් කිව යුතු නොවේ. එහෙත් එබඳු ආයතනයක් තම පුවත්පත එළිදැක්වීමටත් ප්‍රථම එම ආයතනයේ සේවයේ නියුතු මාධ්‍යවේදීන් ගේ පළමු පඩිපත කොල්ලකා ගන්නේ නම් ඔවුන් රටේ ජනතාවගේ දුක වේදනාව වෙනුවෙන් ඉදිරිපත්වේ යැයි කෙසේ නම් විශ්වාස කරන්න ද?

එක්වතාවක් නවතා දැමූ ''මව්බිම'' පුවත්පත දෙවන වතාවට මාධ්‍යවේදීන් විශාල පිරිසක් අතරමං කළ අතර තෙවන වතාවට ද රටට ම අඬබෙර ගසා නැවතත් ආරම්භ කිරිමට සූදානම්ව සිටී. සැප්තැම්බර් මස පළමු දින සිට නිශ්චිත වැටුපක් ගෙවන බවට වාචික පොරොන්දු දී සේවයට බඳවාගත් ඇතැම් සේවකයින්ට එම මස අග දී වැටුප් නොලැබුණ අතර ඔවුන්ගේ වැටුප් ලබා දීම ඔක්තෝබර් මස 10 වන දිනට කල් දැමූව ද එය 12 වන දිනත් නොලැබුනි. 13 වන දින සවස 6.30 ද ඉක්ම ගිය පසු වැටුප් නොලද මාධ්‍යවේදීන් ගේ වැටුප් ලබාගන්නා ලෙස දන්වන ලදී. වැටුප් ලබාගන්නට ගිය විට රුපියල් දස දහසක් ගෙවන බවට පොරොන්දු වි සේවයට බඳවාගත් ඇතැම් සේවකයින්ගේ වැටුප රුපියල් පන්දහස දක්වා අඩු කොට තිබුණි. ඒ පිළිබඳව ප්‍රධාන කර්තෘ තුෂාර ගුණරත්න මහතා ගෙන් විමසීමේ දී ඔහු පවසා සිටියේ රුපියල් දස දහසක් ගෙවන බවට පොරොන්දු නොවූ බවයි. වැඩි දුරටත් ප්‍රශ්න කිරිමේ දී ඔහු අදාළ වැටුප් කප්පාදුව පිළිබඳ විවිධ හේතු ඉදිරිපත් කළ අතර අවසානයේ පවසා සිටියේ, ''ඔයිට වැඩිය ගෙවන්නෙ නෑ. ලබන මාසෙ ඔයිටත් වැඩිය අඩුවෙන්න පුළුවන්. ඒ නිසා කැමති තීරණයක් ගන්න පුළුවන්'' යනුවෙනි.

මාධ්‍ය ඔස්තාර්ලා ලෙස වෙස් පැළඳ සිටින මොවුන් තම සහෝදර මාධ්‍යවේදින්ට සලකන්නේ මේ ආකාරයට නම් ඔවුන් රටේ ජනතාව වෙනුවෙන් පෙනි සිටිනවා යන්න කෙතරම් විහිළු සහගතද?

තුෂාර ගුණරත්න, උපුල් ජෝසප් ප්‍රනාන්දු ප්‍රමුඛ අතලොස්සක් මාධ්‍යවේදීන් ගේ වැටුප ලක්ෂ දෙකකට ආසන්න වන අතර සිංගප්පූරු චාරිකා ඇතුළු වෙනත් වරදාන රැසක් ද ඔවුන් ගේ ප්‍රතිලාභ ගොන්නට අයත් ය. අසරණ අපේ පඩිපත් සොරකම් කරන්නේ මෙවැනි එවුන් ය.

මාසයක් සේවය කොට තවත් දින දහතුනක් කල් මරා තම වැටුප ලබාගන්නට යන විට එය අර්ධයක් මංකොල්ලකා ඇති විට ඔවුන් කෙතරම් අසරණ වන්නේ ද? තම සහෝදර මාධ්‍යවේදියාගේ ගැටලු පිළිබඳ සංවේදී නොවන මෙවන් මාධ්‍ය ඔස්තාර්ලා රටේ දුක්විඳින, පීඩනයට පත්ව සිටින ජනතාවගේ දුක වේදනාව හඳුනන්නේ කෙසේ ද? පොරොන්දු ඉටු නොකරන, වූ පොරොන්දුව අමතක කරන, තම මුග්ධ භාවය වසාගන්නට බේගල් ඇදබාන මෙවන් ''ජඩ'' මාධ්‍යවේදීන් යටතේ සේවය කරනු ලබන අපගේ අනෙක් සහෝදර මාධ්‍යවේදීන් ගේ රැකියා සුරක්ෂිත භාවය පිළිබඳ කෙසේ නම් විශ්වාසයක් තබන්න ද?

වෙනත් ජනමාධ්‍ය ආයතන රැසක ආත්ම ගරුත්වයක් ඇතිව සේවය කළ අප, සදාචාරාත්මක මාධ්‍ය කලාවක් ස්ථාපිත කරන බවට දුන් පොරොන්දුව හා වැඩි වැටුපක් ලබා දෙන බවට දුන් ප්‍රතිඥාව මත කලින් සේවය කළ ස්ථානවලින් ඉවත්ව පැමිණ මේ වන විට ක්ෂේත්‍රයේ අනාථයින් වී සිටිමු. මේ වන විට මෙම ආයතනයේ සේවයේ නියුතු තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් වෙත ඉල්ලා අස්වන ලෙස බලපෑම් කොට ඇත. ඉදිරි කාලයේ දී ඒ පිළිබඳව කරුණු හෙළිදරව් කිරීමට සූදානම්ව සිටින බව අවධාරණය කරමි.

මෙම කරුණු සියල්ල කැටි කොට ගත්විට පැහැදිලි කළ යුතු එක් කාරණයක් ඇත. එනම් ජනමාධ්‍යවේදියා ''ජඩ''මාධ්‍යවේදීන්ගෙන් ගලවා ගත යුතුය. ජනමාධ්‍යවේදීන් ලෙස පෙනී සිටින දේශපාලන සූදුකරුවන් ගේ නිරුවත හෙළිදරව් කළ යුතුය. ඒ සඳහා පෙළ ගැසෙන ලෙස සියලු ප්‍රගතිශීලි ජනමාධ්‍යවේදීන් ගෙන් ඉල්ලා සිටිමු. මේ පිළිබඳව හැකිතාක් පාඨකයින් දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමු.

-අසාධාරණයට ලක්වූ ''මව්බිම'' ජනමාධ්‍යවේදියෝ
මීට - විශ්වාසී,
නිමල් අබේසිංහ - 077 986 8010
ජයසිරි අලවත්ත - 075 530 9699



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අද්‍යතන කවීන් එකොළොස් දෙනෙකුගේ කාව්‍ය ග්‍රන්ථ විචාරය කෙරෙන, විචාර විලාස 1 කෘතිය ජනගත කිරීමේ උළෙල, 2011 නොවැ. 19 සෙනසුරාදා ප.ව. 2:30-5:30 දක්වා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මුලසුන- මහාචාර්ය ජිනදාස දනන්සූරිය.
දෙසුම්- මහාචාර්ය ගාමිණී දෑල බණ්ඩාර, තිඹිරියාගම බණ්ඩාර.

ශිල්ප ප්‍රකාශනයකි.
සම්පාදක- විමලදාස මුදාගේ.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පුතේ නුඹ නමට තැනූ බිම මත
අලුත් මල් දැන් පිපෙනවා
දනන් ඇවිදින් මල් අතර සරනවා
මල් පුසුඹ විඳිනවා
හරි හැඩයි කියනවා

නුඹට පෙවු යදම් ගුළි
මගේ හෘදය
තවම ගිනියම් කරනවා

කෙවෙනි අද්දර නොනිදා ගලන
කදුළු උණුසුම දන්න
හදවත් පත්ලේ
සිරවුනු ඉකි වැලක
අප්පච්චිගේ හීල්ලුම
තවමත් රැයපුරා නොනැවතී නැගෙනවා

පුතේ නුඹ
අද එයිද හෙට එයිද
කියා උන්දෑ තවම
මළවුන්ගේ හැන්දෑවේ
කඩුල්ල තනි රකිනවා

අඳුරු මූසල මරණීය රාත්‍රියේ
පැමිණ රැගෙන යන්න ගිය
මගේ අහිංසක මල
තලා පොඩිකළ ලෝකයම
අහිංසකාරාමයේ අලුත් සුවඳැති මල් සොයනවා

පුතේ නුඹ අද හෙයිද හෙට එයිද
අපි තවම මඟ බලනවා

[සටහන- අතුරුදහන්වූවන් සිහිකර පාර්ලිමේන්තු වටරවුම අසල ඉදිකළ අහිංසකයන්ගේ ආරාමය ආසන්නයේ මල් පැළ ප්‍රදර්ශන පැවැත්වෙන බවත් මේ වන විට අහිංසකාරාමය මල් වෙළෙන්ඳන්ගේත් මල් පාරිභෝගිකයන්ගේත් පොදු වැසිකිළියක් බවට පත් වී ඇති බවත් පසුගිය දා රාවය පුවත්පත හෙළි කළේය.]

ක්‍රිශාන් රාජපක්ෂ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දුර ඈත අහස විනිවිද
තරු කඩා වැටෙනු දුටු සඳ
ඒ සොබා අසිරි පිරිසිඳ
ඈ ලියයි මිහිරි කව් පද

තුරු විටප කැදලි තුරුලත
සුව ලබන විහඟ පුතු වෙත
දරු පෙමින් සුවඳ මෙත් සිත
මට මෙන් ම පුදන පිං කෙත

ජීවිතේ සුපිපි මංසල
ළඟ ගිමන නිවන නිම්සල
ආදරේ පුදන දන්සැල
අම්මාය මගේ පින්බර

[සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ
10 වන ශ්‍රේණිය, මධ්‍ය මහා විද්‍යාලය- මහරගම]

සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අවසානයේදී හරිම තැනට පැමිණ ඇත. දේශීය අනන්‍යතාවක් සහිත සැබැවින්ම ශ්‍රී ලාංකික යැයි කටපුරා කිවහැකි නිෂ්පාදනයක් ලංකාවෙන් ලෝකයට ඉදිරිපත් කිරීමට අදහසක් පාර්ලිමෙන්තුවෙන් මතුව තිබේ. අදහසේ පේටන්ට් අයිතිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයාට හිමිවුවද ඒ අදහස නැවත වරක් පාර්ලිමෙන්තුව තුළට ගෙන ඒමට ආචාර්ය සරත් අමු‍ණුගම පසුගිය දා කටයුතු කර ඇත. ඒ දුප්පත් ශ්‍රී ලාංකික පිරිමින්ගේ සුමිහිරි පානය වූ වූ "කසිප්පු" නීතිගත කිරීමේ අදහසයි.

කුමන කෝණයෙන් බැලුවද මෙම තීරණය වාසි සහගතය. එය කදිනම් ආයෝජනයකි‍. එක් පසෙකින් එය ලාංකික යැයි කිවහැකි දේශීය නිෂ්පාදනයක වර්ධනය සදහා ලබාදෙන කදිම ආයෝජනයකි. අනෙක් පැත්තෙන් මිනිසුන් තිතට මත් කර තැබීම මගින් ආණ්ඩුවට එහෙන් මෙහෙන් නැග එන විරෝධතා මඳක් හෝ සමනය කරගත හැක. අවුරුදු තිහක් ගොඩනැගුණු ත්‍රස්තවාදයට වඩා ඉදිරි අවුරුද්ද තුළ මතුවිය හැකි ත්‍රස්තවාදය ගැන බියට පත්ව සිටින ආණ්ඩුවේ (2009 වසරේ සිට ක්‍රම ක්‍රමයෙන් ආරක්ෂක ආමාත්‍යංශ වැය ප්‍රමාණය ඉහළ දමා ඇති අතර මේ වසරේදී 7% කින් ඉහළ නංවා ඇත!) සිහියෙන් සිටින මිනිසුන්‍ට වඩා මත්ව සිටින මිනිසුන්ගෙන් සිදුවිය හැකි සංවිධානාත්මක ප්‍රතික්‍රියාවල අඩුවීම ගැන සහනයකට පත්විය හැකිය.

ලංකාව රටක් ලෙස පරිභෝජනයට සාපේක්ෂව නිෂ්පාදනයෙහි නිරත නොවන රටකි. මහ බැංකුවට අනුව ලංකාව ආසන්න වශයෙන් පිටරට යවන භාණ්ඩ මෙන් දෙගුණයක් පිටරටින් මෙරටට ගෙන එයි. එය පසුගිය දශකය තුළ පමණක් තුන්ගුණයකින් පමණ වැඩිවී ඇත. මෙම පරතරය පියවා දෙනුයේ පිටරටවලට ගොස් වහල් සේවයේ නිරත වන පිරිස්ය. (මැදපෙරදිග හා මෑතක සිට දකුණු‍ කොරියාවේ‍ සේවයේ නියුතු පිරිස් මුදල් උපයන්නේ මූලික මානව අයිතීන් පිළිනොගැනෙන තත්ත්වයන් යටතේය.) ඉතිරි හිඟය පියවා ගැනීමට ණය ගැනීමට ලංකාවට සිදුව ඇත. ලංකාව ණය සදහා වන ඇබ්බැහිය කොපමණද යත් ලංකාවේ ආණ්ඩුව විසින් සිදුකරන ලබන පුනරාවර්තන වියදම් වලින් අඩකටත් ආසන්න ප්‍රමාණයක් වෙන්කරනුයේ ලබාගත් ණය සදහා වන පොලිය ගෙවිම සදහාය.

මේ තත්ත්වය යටතේ "කසිප්පු" යනු අපට ගොඩඒමට තිබෙන මහඟු අවස්ථාවකි. ඒ සදහා තාක්ෂණික දැනුම ලබා දීමේ හෝ පුහුණු වැඩසටහන් තබමින් දිරිමත් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. පවතින තාක්ෂණය යටතේ පමණක් නොව නවීනතම සොයාගැනීම් හරහා සිය නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට ලංකාවේ නීති විරෝධී ලෙස නම් කර ඇති කසිප්පු නිෂ්පාදකයින් සමත්ව ඇති බවට පසුගිය කා‍ලයේ කළ වැටලීම් වලින් මොනවට ඔප්පු කර ඇත. රට පුරාම නිෂ්පාදනාගාර බිහිව ඇති බැවින් සහ බෙදාහැරීමේ හා පාරිභෝජනයේ යාන්ත්‍රණ මැනවින් සකස්ව ඇති බැවින් යටිතල පහසුකම් වෙනුවෙන් වද වීමට ද අවශ්‍ය වන්නේ නැත.

අවුරුදු 30ක යුද්ධය අවසන් කොට සිංහල ජාතිකවාදීන්ගෙන් නොමඳ පැසසුමට ලක්වු ජනපති සහ සන්ධාන ආණ්ඩුව ආර්ථික උපාය මාර්ගය ලෙස තෝරාගත්තේ වැඩිපුර ඇඟ රිදවා නොගනිමින් මුදල් ඉපයිය හැකි සංචාරක ව්‍යාපාරයයි. ඊට අදාළ වන ආකාරයෙන් නීති සංශෝධන ගෙන එමින්, නව ලිබරල්වාදී ආර්ථික උපාය මාර්ග භාවිතා කරමින් ජාතිකවාදින් කිසිලෙසකවත් බලාපොරොත්තු නොවුනු ආර්ථික ගමන් මගක් සංධාන ආණ්ඩුව තෝරා ගත්ත ද, එය දියුණු කරලීමට කොතරම් අවංක වෙහෙසක් දරන්නේ ද යන්න සැකයකි. නොඑසේනම් සංචාරකයින් බලෙයෙන් හම්බන්තොටට ඇදගෙන යාමට වලිකන්නේ නැත. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොටට ගන්නට උත්සාහ කිරීමත්, පසුගිය දා අවසන් වූ වෙරළ ක්‍රීඩා සැනකෙළිය හම්බන්තොට පැවැත්වීමත්, ‍අනෙක් අතට සියළු ආර්ථික මර්මස්ථානයන් හම්බන්තොට වටා කේන්ද්‍ර කරලීමටත් කටයුතු කරමින් සිටිනුයේ "තමන්ගේ පැත්තට ඇදීමේ" පටු වැඩවසම් මනෝභාවය හේතුවෙනි. අවසාන වශයෙන් ඒවා අසාර්ථක උත්සාහයන් බවට පත්වීම පමණක් නිශ්චිතව කිව හැක. එහෙත් "කසිප්පු" වැනි නිෂ්පාදනයක් රාජ්‍ය අනුග්‍රහය යටතේ දියුණු කරන්නේ නම් හම්බන්තොටට දුක් නොවිඳ ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රීය ස්ථානයක් බවට පත්වීමේ ඉඩකඩ තවම විවෘතය.

ලංකාව රටක් ලෙස නිෂ්පාදන ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට පසුගිය දශක ගණනාව තුළම පැහැදිලි හා නිශ්චිත උත්සාහයක් දරා නැත. අධිරාජ්‍යවාදී පාලන සමයේදී දියුණු කෙරුනු තේ, රබර්, පොල් පමණක් විවිධාකාර දුෂ්කරතා රාශියක් මධ්‍යයේ තවමත් ලංකාවේ ප්‍රධාන නිෂ්පාදන බවට පත්ව ඇත. ඇගළුම් නිෂ්පාදනය රට තුළ සැළකිය යුතු ක්‍රියාදාමයක නිරත වුව ද, ඇගළුම් කෝටා ක්‍රමය, නිෂ්පාදන පිරිවැය, අමුද්‍රව්‍ය ආනයනය, සමාජ පරිහානිය වැනි කරුණු කාරණා අනුව සළකා බැලූ කළ එය ලංකාවේ අනන්‍යතාව ආරක්ෂා කරන්නක් හෝ ඊට වැයකරන පිරිවැයට සාපේක්ෂ ලාභයක් රටේ ජනතාව වෙත ලබා නොදෙන ආකාරයේ නිෂ්පාදනයක් ලෙස සැලකිය හැකිය.

වසර 30ක කාලයක් පුරාවට ලංකාවේ ධනය විනාශ කළ යුද්ධය ආශ්‍රිත ආර්ථිකයක් ලංකා‍වේ බිහිවුණ ද ඊට සාපේක්ෂව නිෂ්පාදනයක් බිහිවුවේ නැත. යුද්ධය සදහා භාවිතාකරන එකදු පතොරමක්වත් ලංකාවේ නිෂ්පාදනය කළේ නැත. සමහර ශරීරාරක්ෂක උපකරණ ලංකාවේ නිෂ්පාදනය කළ ද ඒවා මිලදී ගැනීමට කැදවුණු ටෙන්ඩර් වලදී කොමිස් මුදල් වලට ඒවා යටවී ගිය බවට පලවූ පුවත්පත් වාර්තාද පසුගිය කාලයේදී පළවිය. එල්ටීටීය සම්බන්ධයෙන් මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වූ අතර ඔවුන් විසින් නූතන ඉංජිනේරු තාක්ෂණය ඇසුරින් අත්හදා බැලීම් ද සිදුකොට නිෂ්පාදනය කර තිබූ ආයුධ ඇතුළු උපකරණ දකුණින් උතුරට යන නන්දිකඩාල් 'වන්දනා කරුවන්' මවිතයට පත්කර ඇත. බොහෝ අයගේ ඇගේ මවිල් කෙළින් වන්නට ඇත්තේ එල්ටීටීය විසින් මෙකී තාක්ෂණය යෙදවීමට නියමිතව තිබුණේ තමන් විනාශ කරලීමට බව සිහිවන විටය. යුද්ධය පැවති වර්ෂ වලටත් වඩා යුධ වියදම් එන්න එන්නම වැඩි වුවද ඒකී මුදල් දියුණු රටවලින් ආයුධ ගැනීමටත්, ඒවා නිර්දේශ කරන අයට කොමිස් ලබාගැනීමටත් වැය කරනවාට වඩා වෙනස් සැලැස්මක් දක්නට නොමැත.

වසර දහස් ගාණක ඉතිහාසයක් ගැන පාරම්බෑව ද මෑත අතීතයේ දී දේශීය අනන්‍යතාවයකින් යුතුව සිදුකළ ආඩම්බරකාර වැඩක් මතකයට එන්නේ නැත. ලෑන්ඩ් මාස්ටර්ටරයේ සංකල්පය ලංකාවෙන් බිහිවූවා යැයි කීව ද ඒවාට ලංකාවේ දී ගිය කලක් නැත. පුද්ගලයින් වශයෙන් මහාචාර්ය කුලසිංහ වැන්නන් කිහිපදෙනෙකු හුදෙකලා මෙහෙයක් සිදුකලද රට තුළ නව නිපැයුම් හෝ ව්‍යවසායකත්වයක් පිළිබදව සංස්කෘතියක් වර්ධනය වි නොමැත. එහෙත් ලාංකික විද්වතුන් ලොව පුරා නවීන තාක්ෂනය හා සම්බන්ධ නිෂ්පාදනය ක්‍රියාවලින්හි සාර්ථක ලෙස නියැලෙමින් සිටිති. හැදෙන්නට නියමිත ගස නියපොත්තෙන් කඩා දැමීමට සූදානම් දූෂිත දේශපාලන හා නිලධාරී පැලැන්තියේ දුෂ්‍ඨ ඇස් නිරතුරුව හතර අත සක්මන් කරයි. ලංකාවට අඩු වියදමකින් යුතු දුම්රියක් නිෂ්පාදනය කිරීමට උත්සාහ කළ මයික්‍රෝ සමාගමට අත්වූයේ ඒ දුෂ්ඨ බලවේගයට යටවන්නටය.

ලංකාවේ නිෂ්පාදනය සම්බන්ධයෙන් ගත්කළ "කසිප්පු" යනු සංකේතයකි. මතට තිත යැයි කීවද වක්‍රාකාරයෙන් තිතට මත් කරන්නට සියළු කටයුතු සූදානම්ය. ඒ භෞතික වශයෙන් පමණක් නොව සමාජයීය, ආර්ථික වශයෙන් යන සෑම ආකාරයන් වලින්ය. ෆුඩ් සිටියෙන් මත්පැන් ගන්නට තහනමක් නොමැති වුව ද, කසිප්පු උගුරක් බොන්න අස්සකට මුල්ලකට යා යුතුය. අන් සෑම සංකල්පයක් දෙස මෙන්ම "කසිප්පු" දෙසද අගතීන් ඉවත්කළ ඇස් දෙකකින් බැලිය යුතුය. එමගින් මත්පැන් පිළිබදව නොව රටේ ආර්ථිකය පිළිබදවම පැහැදිලි පෙනුමක් ලබාගත හැකිය.

ආශ්‍රිත වෙබ් සබැඳි
‘සංවර්ධනයේ ඇත්ත සහ බොරුව’ – වසන්ත බණ්ඩාර
මහ බැංකුවේ සංඛ්‍යා දත්ත
කසිප්පු නිත්‍යානුකුල කරමුද?

සුමුදු තිවංක ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එකල්හි...
ගිගුම් දුන් අහස අසණි එළි සුවහසක් දැවී
පතිත විය ආලෝක දහරාවක් කවුළුවෙන්
ගලවා එක සැණෙන් විද්‍යුත් හෘද ස්පන්දන
ස්වසන යන්ත්‍රයේ නාලිකා
නැගී සිටියේය ඔහු
මරණයේ සීතල සයනයෙන්

යාගහෝම ද නෙක මන්ත්‍ර ස්තෝත්‍ර
දේව ගීතිකා ද නෙක පිරිත් ගායනා
උච්චාවචන නාද මාලා අතර
වැසී ගිය සුධවල වතෙහි හිම පැහැ ලෝගුවකි
අතක් අහසට දිගු කළ සඳ
වළාකුළු ද සැණෙකින් නතර වුණි
සුරත් ඇස් දල්වා අවසඟ වතින් යුතු ව
අඩ දණියෙන් නමස්කාර කළෝය
මානවක මානවිකාවෝ ඔහුට

කිමැයි නොලියන්නේ මේ මහා ප්‍රාතිහාර්යය
විමසුවෝ පුවත් කතුවරු
උනුන් අතවැසි වාර්තාකරුවන්ගෙන්
දල්වා ගත් කැමරා කාච
තැනීය අපූර්ව ටෙලි නාටක
වීරයෙක්... ඔහු වීරයෙක්
නැත... ශාන්තුවරයෙක්
සුර ලොවින් බිමට බට

එකල්හි... අත දිගු කලහ ඔවුහු
අයැද කෑමට හා බීමට යමක්
රතු මුද්‍රික පානයද විභූති ද
බෙදා දුනි ඔහු උනුන් අතර
ශාන්තියක්ම වේවා තෙපි හට

නොදුටුවෙද ඔහු මුව දෑල
සැඟැවුණු නල දත් යුග
නොදුටුවෙද ඔහු උල් සවන් පත්
ත්‍රිශුලයක් බඳු වල්ගය
ඔහු අත සැඟවි චුම්බක අවිය
ප්‍රති උට්ඨානය විය
මරණයේ ශාන්තුවරයාණෝ
තිරසර කෙරුමට මරණය
කම්කරුවෙනි... ගොවියෙනි...
සමාජ ක්‍රියාකාරිකයෙනි...
හඳුනා ගනු මැනව
මේ අඳුරු නිමේෂය
නැග සිටිය යුතුය මෙ'මොහොත
මෙ අඳුරු මරණයට එරෙහිව

උපුල් සේනාධීරිගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කොළඹ ''ගමක්'' කර නොම ගත් කුරුල්ලා
කොළඹදි ගම හීනෙන් දුටු කුරුල්ලා
කොළඹ අතැර යන මං සෙවු කුරුල්ලා
ගම විත් කොළඹ ගැන හඬනා කුරුල්ලා

මකුණු, මදුරු, මූසික මිතුරන් පිරුණ
තනිකඩ බෝඩිමේ යහනට ගොඩ වදින
රෑ මැද උදා වෙන්නට පෙර ගෙවා යන
දුගු සන්ධ්‍යාව මධු බඳුනකි මඳ පමණ

නාටක, චිත්‍රපට, පොතපත එළි දකින
තැන, නෙක මිතුරු ඇසුරෙහි උණුසුම විඳින
සිත ලද සතුට ධනයකි මිල කළ නො හෙන
එද එම සතුට සුරකින්නට පින නො විණ

මාසේ පඩිය අඩ මාසෙන් දියව යන
''තෝසේ කඩය'' පිහිටෙන් නො මැරී රැකුණ
බෝසේ දුක් වින්ද දිවියෙන් ගැල වෙමින
රා.සේ. පිණිස! ගම ආවෙමි සිත් තුටින

ගම කොළඹක් කරගන්නට වෙර දරමි
කුටුම්භ හිර ගෙදර සතුටින් දිවි ගෙවමී
සකල කලා ඇසුරට ලොබ බැඳ සිටිමී
සකිසඳ කොළඹ! සිහිකර මේ කව ලියමී

[තෝරාගත් කෘති - 2010]

පියන්කාරගේ බන්දුල ජයවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දොර වසා ගත් නමුත් තද කර
පොදු කුටීරයකි මෙය සොඳුර
කුලියට දුරකථන ඇමතුම් අපට දෙන

පෝලිමේ සිටිති තව ඈයෝ
කුටියෙන් පිටත
දිගු කර ගත් වන ම බෙලි
කුටිය වෙත

මා හද ගැස්ම ඇසේ දැ යි
මා ඔබෙන් ඇසූ ඒ වේලේ
ඇත්ත ම ද කීවේ මට සැකයි සොඳුරී
බඩගින්නට කාසි කන ඇලුමිනියම් ආමාශ
කාසි ගිල දමන හඬ හා සැසඳූ කල
මොන කෙඳිරිල්ලක් ද මේ හද ගැස්ම

[කුසුමක් හා සුසුමක්- 2005]

ප්‍රදීප් සාරංග කුමාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



[ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ දෙන අබියස හිඳ ලියමි.]

දඹ රන් යැයි කියා පෙන්වා යකඩ තැටී
ඩැහැගැනුමට දුගී සිරුරත රුහිරු කැටී
ඔබ සිටිනා තුරා නොහැකිව සිටිය වැටී
කැණහිල් රැළම සෝ සුසුමන් හෙළන සැටී

මූසිලයින්ට ජනහද මොට කරනු නොදී
පීඩිත දනන් රැකි ගුත්තිල ඇදුරු නිදී
ඔහු මග නොසිටි ඔහු දෙන වට සිටි සුසැදී
දුක්බර වෙස් මුහුණු සිනහව වසන ලදී

ස රි ග ම නොමැතිවුව කිසි දවසක අල්ලා
උපතින් ගෙනා බව සිතු එය මිට මොල්ලා
හැඳිවත ලිහා එමගින් තරුවල එල්ලා
සිටි නරි නටනු ඇත අද සිට රට හොල්ලා

මියැදෙන තුරු මතක ජන සිත් අතර රැඳී
ඔබ නොමියෙනා බව දත් වුන් එක්ව සැදී
මතකය මකන්නට දහසක් පිඹුරු ඇඳී
උන් වනසා මියෙමු ඔබ හට මියෙනු නොදී

[ඔක්තෝබර් 24 දිනට යෙදෙන කේමදාස ගුණ සැමරුම වෙනුවෙනි.]

නුවන් තොටවත්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අනේ සුසානෝ බලපන් උන කරුමේ
හිතේ දුකෙන් ඉන්නා මේ වෙලාවේ
දුක නිවනා කූරට මුන් කෙලලාය
සිකැරට් වැඩි කරලා දෙකකින් රුපියල්

ඕන ඕන තැන බෑ ලබනට පහස
වහන් වෙලා අප ලබනා ඒ සැපත

දෙකෙන් නෙමෙයි දහයෙන් වැඩි කරපල්ලා
උඹෙයි මගෙයි රමණය නෑ නවතින්නේ

මාතලන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|





"සොමි ගුණ සපිරි හොඳ ළමයෙකි දුමින්ද
දහස් ගණන් පිරිවර අරගෙන ආව"

කියනවා ඇසුණි රාජිත ඇමැතිතුමා
රූපවාහිනී සාකච්ඡාවක දී

නැහුදුන එවුන් පන්නා දැමිය යුතු කියා
සිහනද කළත් සතියක දෙකකට කළියෙන්
හම තුළ හිටිය සිවලා එළියට පැනලා
මේවා අහල පණ පළයන් පෙරේදා

[කාටූනය- රාවයෙනි.]


ජහ-මනෝරිස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"තේ ගස් යට වැටුණ
උම්බලකඩ මසුන් අහුලන
හීනයක සතපා එක්ක ආවෙලු
ඇගේ අම්මාගෙ අම්මා..."


අපේ ගෙයි එළිපත්තේ හිඳ
පොල් කට්ටෙන් කහට බොන
"සුන්දරී ආච්චි" ගේ ඇහේ
බිමට නොවැටෙන කඳුළක්......

මුං දෙමළු - පර දෙමළු
බාලාංශෙ හිටි මගෙන්
ඈට පා පහරක්.

"පාවොං රාජා පාවොං...."

රිදවයි හිතට තවමත්
දුප්පත් වතු දෙමළ කඳුළක්

වල ගැසුනු දෑසක්
කලු ගැසුණු නළළක්
කහටට ම රළු වුණු,
මට වැන්ද දෑතක්....

විකුම් ජිතේන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මාටින් ලුතර් කිං ගේ විශාල ප්‍රතිමාවක් නොබෝදා ඇමරිකාවේ නිරාවරණය කෙරුණි. මාටින් ලුතර් කිං ඇමරිකාවේ වර්ගවාදය නිසා පිඩාවට පත්ව සිටි කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් ලබාගැනීම පිණිස අවිහිංසා සටනක යෙදුනේය. මෙම සටනේදී මාටින් ලුතර් කිං සුදු ජනතාවට මිත්‍රත්වයේ හස්තය දිගු කළේය. ගැටළු නිරාකරණය සඳහා සුදු ජාතිකයන් සමග සහයෝගීතාවෙන් ක්‍රියා කල යුතු බවට කළු ජාතිකයන්ට කරුණු පෙන්වා දුන්නේය. ඔහුගේ සටන සැලකිය යුතු මට්ටමකට ජයග්‍රහණය කලේ වර්ගවාදය ඇමරිකානු නීති පොතෙන් ඉවත් කිරීමෙනි. එදා මෙන් නොව අද කළු ජාතිකයෙකුට අවන්හලකට ගොස් සුදු ජාතිකයන් සමග එකට වාඩි වී කෝපි කෝප්පයක්‌ පානය කල හැකිය. අනෙකුත් ජාතින් යන පාසලකට රැකියාවකට යා හැක, උසස් රැකියාවක් කල හැක. වර්ගවාදය තවමත් ඇමරිකාවේ ඇතත් අවසානයේදී කළු ජාතිකයෙකු ජනාධිපති පුටුව දක්වා ගෙන ඒම ලුතර් කිං ගේ බහුජන ව්‍යාපාරය සමත් විය.

ඇමරිකාවේ කළු ජාතිකයන්ට හමේ වර්ණය නිසා අවන්හල්, පාසල්, රැකියා ස්ථාන තහනම් අඩවි බවට පත් වෙද්දී එම කාලයේදී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට එවැනි පීඩනයක් සිංහල ජනතාවගෙන් තිබුනේ නැත. ද්‍රවිඩ ජාතිකයන් රජයේ උසස් තනතුරුවල සිටියහ. ශ්‍රී ලංකා යුද හමුදාවේ මුල්ම හමුදාපතිවරයා වුයේද ද්‍රවිඩයෙකි. ඉංග්‍රීසි පාලනයෙන් පසු මහා ජාතිය රටේ පාලනය අතට ගත් විටද පොලිසිය, හමුදාව, පරිපාලන සේවය, ආදී ක්ෂේත්‍ර වල ද්‍රවිඩයන් උසස් තනතුරු දැරුහ. නමුත් සිංහල වර්ගවාදීන් පිලිනොගත්ත ද ද්‍රවිඩයන්ට ලංකාව තුල යම් යම් ගැටළු තිබුනේය. ඒම ගැටළු සාමකාමිව විසඳා ගැනීම වෙනුවට මෙම ජාතින් දෙක කළේ විනාශකාරී යුද්දයකට අවතීර්ණ වීමය. එහි ප්‍රතිපල අප අද සියැසින් දකිමු.

ද්‍රවිඩ ජනතාවට මාටින් ලුතර් කිං වැනි දුරදිග දකින නායකයෙකු සිටියේ නම් ඔවුන් මෙලෙස අනාථ වන්නේ නැත. කිසිම ද්‍රවිඩ නායකයෙකු අවංකව සිංහලයන් සමග සහයෝගිතාවක් අපේක්ෂා කළේ නැත. ඔවුන් සිංහල මහා ජාතිය සමග සහයෝගීතාවෙන් සහෝදරත්වයෙන් වාසය කිරීමට ද්‍රවිඩ ජනතාව සුදානම් කළේ නැත. ඔවුන්ට අවශ්‍ය වුයේ දෙමල ජනතාව කුපිත කොට සිංහල දෙමල සාමයේ පාලම කඩා බිඳ ඈත් කිරීමයි. ඉන් ඔවුන් කෙටිකාලින වාසි ලබා ගැනීම, පවත්නා ආණ්ඩුව සමග හෙට්ටු කිරීම් කොට ලාභ ආදිය ලැබුවද සමස්ත වශයෙන් ද්‍රවිඩ ජනතාවට සෙතක් වුයේ නැත. ඔවුන් කළේ විකාර රූපී විරෝධතාවයන්ය. අවිහිංසාවාදී විරෝධතා එනම් උපවාස කළේ අහාර ගැනීමට උපවාස අතරමග නවත්වමිනි. සිංහල පාලකයන් සමග සන්ධානයේ අසීරුතාව යම් කෙනෙකුට මෙහිදී ප්‍රශ්න කල හැකිය. එහෙත් මතක තබාගන්න මාටින් ලුතර් කිං ගනුදෙනු කළේ වර්ගවාදය ආගම ලෙස සැලකු සුදු ඇමරිකානු දේශපාලකයන් සමගය. මාටින් ලුතර් කිංගේ අවංකත්වය, කැපවීම, අවිහිංසාව, සුදු ජාතින් සමග සහයෝගිතාවේ ඇති අවංක අභිලාශය නිසා ඔහු වර්ගවාදී ගෝත්‍රවාදී සුදු ඇමරිකානු දේශපාලකයන් ජයගත්තේය.

එවැනි අවංක, කැපවූ සහයෝගීතාවයට අත වැනූ ද්‍රවිඩ නායකයෙක් ද්‍රවිඩයන්ට නොසිටි නිසා ඔවුන් අද විනාශකාරී යුද්දයක සුන්බුන් අතර වැතිරී සිටිති. ද්‍රවිඩ ජනතාව තරම් දේශපාලන වශයෙන් ගණිකා වෘතියේ යෙදවූ ජාතියක් මිහිපිට නොමැති තරම්ය. ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න නිරාකරණය කිරීමට කියා ඉන්දියාව කළේ කලාපයේ තම ආධිපත්‍ය පැතිරීමය. ඉන්පසු ඉන්දියානු හමුදාවක් එවා උතුරේ තන්ගම්මලා දුෂණය කළහ. LTTE සංවිධානය ද්‍රවිඩ ජනතාවගේ මුදල්, දේපොළ, ළමුන් පමණක් නොව අවසන් හුස්මපොද ද උදුරා ගත්තේය. දෙමල ඩයස්පෝරාවේ නායකයන් යුරෝපයේ හා ඇමරිකාවේ සීතලේ කුණු අදින දෙමළාගෙන් පවා මුදල් බලාත්කාරයෙන් ලබාගෙන සුරසැප වින්දේය. දකුණේ එන්ජිඕ කාරයන් ද දෙමල ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නයක් බවට පත් කරගෙන ඉන් තම බඩ වියත සොයා ගත්තේ උතුරේ දෙමල ජනතාව මන්දපෝෂණයෙන් සිටින විටය.

සුදු ජාතිකයන්ගෙන් කළු ජාතිකයන්ට පිඩා තිබුනද මාටින් ලුතර් කිං එම ප්‍රශ්න රැගෙන ලෝකේ වටේ ගොස් ඇමරිකාව වර්චස් කළේ නැත. ඔහු ඇමරිකාවට ආදරය කළේය. නමුත් අපගේ දෙමල නායකයන් පිටරට ගොස් ලංකාවේ ප්‍රතිරූපයට හානි කළහ. එය උඩ බලාගෙන කෙල ගැසීමක් විය. අද යුරෝපයේ හා ඇමරිකාවේ ලාංකිකයෙකු කියූ විට බලන්නේ වපර ඇසිනි. කොතරම් උගත් විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු වුවද දෙමල නම් ගුවන්තොටේ සුදු ආරක්ෂක නිලධාරීන් ඔහු දෙස බලන්නේ කොටි ත්‍රස්තවාදියෙකු දෙස බලන බැල්මෙනි. මෙතරම් විනාශයකින් පසු වුවද සිංහල දෙමල ජාතින් දෙක අතර සාමය සහයෝගිතාවය වර්ධනය කිරීමට කිසිදු නායකයෙකු උත්සහ ගන්නේ නැත. තුවාල තව තවත් පාරවමින් ජාතින් දෙක අතර වෛරය වගා කරනවා මිස දකුණු අප්‍රිකාව උදාහරණයට ගෙන මෙම ජාතින් දෙක සහයෝගිතාවේ මේසයට කැන්දාගෙන යාමට නායකයෙකු තවම පහල වී නොමැත.

චෙල්වනායගම්ගෙන්, අමිර්තලිංගම්ට ද අමිර්තලිංගම් ගෙන් ප්‍රභාකරන්ටද අතිනත ගිය ද්‍රවිඩ ජනතාව දැන් සම්බන්ධන් අත්පත් කරගෙන සිටයි. මාටින් ලුතර් කිං වැනි දුරදර්ශි අවංක නායකයෙකු පහල වන තුරු මෙසේ ද්‍රවිඩ ජනතාව නන්නත්තාරව ඔහේ යනු ඇත.

අමිල ගුණරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පාසල් සමය එලැඹෙන
හැම දුරුත්තක දි ම
මව්වරු ඇවිත් නගරෙට
පොත්හල් පීරමින
මිල දී ගනිත් යමරෙට
පෙල පොත් - ඇබෑසි පොත්
තම දරුවනට.
වැය කරත්
අන්තිම සතයත්
කඩමාලු අත්බෑග දිගහැර
මැසිවිලි නගත්
දැනුම බෝ මිලැ'යි
නොහැඟේ ද ඔවුනට
නිර්දේශිත පොතපත
අවැඩ දැයි කොතරම්
දූ පුතුනට?

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
පරිවර්තනය - දර්ශන මේදිස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මනමේ පළමුවෙන් බිහි වු අවදියෙහි සිංහල නාට්‍ය කලාව කෙබඳු තත්ත්වයක තිබුණිදැයි වටහා ගැනීමට උපකාර වන එක්තරා සිද්ධියක් කියන්නට කැමැත්තෙමි. දෙවෙනි රාත්‍රියෙහි නැතහොත් තුන්වන රාත්‍රියෙහි "මනමේ" රඟ දැක්වෙන අතර මම බරාඳයට (foyer) විත් වාඩි වී හුන්නෙමි. රැඟුම පටන්ගෙන පැය බාගයක් පමණ ගත වන්නට ඇත. මැදි වියෙහි ස්ත්‍රියක් රඟහලට පැමිණියා ය. ඇගේ ඇඳුම් පැළඳුම්වලින්ත් තුනු හැසිරීමෙනුත් ඈ කොළඹ හතේ කාන්තාවක් විය යුතු යැයි මම සිතුවෙමි. ඈ කිසිවක් දැනගනු අටියෙන් මෙන් බරාඳයෙහි ඔබ මොබ ඇවිද්ද බැවින් ඈ නාට්‍යය බලන්නට ආවා වන්ට ඇතැයි මම සිතුවෙමි. ශාලාව තුළ ඉඩ තිබූණු බැවින් මම ඇය ටිකට් නැති ව හෝ ඇතුල් කරන්නට අදහස් කළෙමි.

"මහත්මියට නාට්‍ය බලන්ට ඕන ද? එහෙමනම් යන්න ඇතුළට."යි මම කීවෙමි.
"මොකක්ද මේ පෙන්නන්නෙ?"යි ඈ ඇසුවාය.
"මනමේ නාට්‍යය"
"මොකක්ද ඒ? සිංහල නාට්‍යයක් ද?"
"ඔව්. සිංහල නාට්‍යයක්"
"කීයටද ඉවර වෙන්නෙ?"
"අට වෙන කොට ඉවරයි."
ඈ නාට්‍ය ඉවර වන වෙලාව ඇහුවේ තමාට වෙන කටයුත්තක් යෙදී ඇති බැවින් නාට්‍ය බැලීමට අවකාශයක් තිබේ දෝ යන සැකයෙන් යයි මම සිතුවෙමි.

"අටට ඉවරයි? වෙන්න බෑ"යි ඈ කීවාය.
මම සිනාසුණෙමි. නාට්‍යය ඉවර වෙන වේලාව මම දන්නෙ නැත්නම් කවුද දන්නේ? යි මම සිතුවෙමි.

"මම හොඳට දන්නව, මේ නාට්‍යය අටට ඉවරයි."
කාන්තාව අවඥාසහගත බැල්මකින් මා දෙස බැලුවාය.
"සිංහල නාට්‍යයක් ඔච්චර ඉක්මනට ඉවර වෙන්නෙ කොහොම ද? අඩු ගානෙ නවය දහයවත් වේවි."
කිව යුත්තේ කුමක්දැයි මම නොදත්තෙමි.
"ඉතින් කලින් යන්න ඕන නං යන්න බැරියැ?" යි මම කීවෙමි.
"කැමති නං නාට්‍යය ගිහිල්ලා බලන්න. ටිකට් ඕනෙ නෑ."
යළිඳු කාන්තාව මා දෙස අවඥාවෙන් බැලුවාය.
"චිං! මං යන්නෙ නෑ සිංහල නාට්‍ය බලන්න. මං මේ ඇහුවෙ මගේ වැඩකාරිව එවන්න. ඒකිට මේවයෙ ඇවිල්ල දහය දොළහ වෙනකල් ඉන්න දෙන්න පුළුවන් යැ."
මෙසේ කියමින් කාන්තාව යන්ට ගියා ය.

[පිං ඇති සරසවි වරමක් දෙන්නේ]

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

PANA BOONDIYA | පැන බූන්දි | 037

Posted by BoondiOnLine 10.20.2011



පහත දැක්වෙන ජනප්‍රිය ගීත අඩංගු වූ නාඩගම් සහ නූර්ති මොනවාද?

1. උත්තම වන් ලොව පතලා - එංගලන්ත නමින් යුත් විපුලා
2. මගෙ මද්‍රි නම් බිසෝගේ - යාච්ඤාවෙ බෝය වේගේ
3. අද වෙස්සන්තර රාජ පුතා මද්‍රි කුමාරි බඳී
4. දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා
5. අඹ දඹ නාරං කෙසෙල් දෙල්
6. සුවඳ පත්ම ඕලු ආදි නොයෙක පුෂ්පයෙන් සැදී
7. දැක්කොත් පත්මාවතී ආලේ නොකරා බැරී
8. ආරණ්යේ ඉන්නා මේ රම්‍යා කතේ
9. ඇස ප්‍රීති කරන රූපා නැති වී යතී නොහැඟී
10. මෙම ගිම් හාන ග්‍රීෂ්ම වූ කාලේ - අපේ උද්‍යානෙ ක්‍රීඩා සැපාවේ




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගඩාෆි මැරෙයි... "අර උන්නැහේ" හඬයි....!



සිත හඬයි
මා තනි වෙයි
මා දවාලයි
මේ සෝකේ....

මෙහෙම ගියොත්
මං විතරයි
ඉතුරු වෙන්නේ
මේ ලෝකේ....

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සිකුරු තරුව රන් මුදුව
සුදු ඇතු හා සුදු නෙළුම
අකැප වස්තූන්ය
බිම් මහලේ මා පටු ජීවිතයට

කිචි බිචියෙන් දිවා කල’රින
මනමාල සියොතුන් දෙපළ
මෑත දවසක පැමිණියෝ
දෙවැනි මහලේ කැදලි බඳිනට

උනුන් ගේ දිවා ගී අහවරව
සඳ ඒකාලෝක සුයාමයන් හි
හීන් සීරුවේ දොර’රිමි මිදුලට

බොර දම් සඳ දියෙන් තෙමෙමින
ගන්ධදාම පුෂ්පදාම කළතා
හමන නලමුදු සුවඳිනු’මතු ව

විටින් විට උඩ මළුවෙන් අනුරාවදෙන
නුහුරු අපැහැදිලි
හීන් කෙඳිරිලි ස්වර
තැනින් තැනින් ඇහිඳගමි
අඳුර ගිලගන්න පෙරාතුව

අනතුරුව දිගු සුසුමක් හැරපියා
රෑ කුසුම් සුවඳකින්
ඇතුළාන්තයම පුරවගමි

බිම නිදා උන් සේපාලිකාවක්
ඇහිඳගෙන සිඹ
ම’හිස රිදී රේඛා මැද පළඳගමි

නිරාෂ ගුණසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


[කවිය කොයිබට ද? ප්‍රවනතාමය කලාකරුගේ දිශානතිය] දර්ශන මේදිස් ට පිළිතුරක් යන ලිපිය සමග බැඳේ.

දර්ශන මේදිස් සහෝදරයාගේ දේශනයක් (කවිය කොයිබට ද? ප්‍රවනතාමය කලාකරුගේ දිශානතිය - දර්ශන මේදිස් [පළමු කොටස | දෙවැනි කොටස | තෙවන කොටස])ඇසුරෙන් බූන්දියේ පළ වූ ලිපියේ වූ ඇතැම් කරුණු සම්බන්ධයෙන් මතු වූ ගැටළු කීපයක් පිලිබඳව මගේ අදහස් දැක්වීම දෙවන වරට ලිපියක් ලෙස පළ කිරීම මෙම සංවාදය නැවැත මතුවීමට හේතු විය. දර්ශන වරෙක පැවැසූ අයුරු කාර්ය බහුලකම නිසා හෝ ඔහු පමණක් දන්නා වෙනත් හේතුවක් නිසා හෝ මෙම සංවාදයෙන් ඈත්ව සිටීමට තීරණය කර ඇති බවක් පෙනී යයි. එසේ වුවද වෙනත් අය විසින් දැක් වූ කරුණු වලට පිළිතුරු දීමට අවශ්‍ය වූ නිසාවෙන් මෙම සංවාදයට දිගටම මැදිහත් වීමට මට සිදු විය. කොස් ඇට මීයා විසින් ඔහුගේ පළමු කොමෙන්ටුවේ දක්වා ඇති දේශපාලනික කරුණු කෙරෙහි පමණක් මම මෙහි අවධානය යොමු කරමි.

කොස් ඇට මීයා මා සුළු ජාතික ජාතිවාදයට ජැක් එකක් ගසාගෙන ඇතැයි පවසයි. ඔහු මෙයින් අදහස් කරනුයේ පීඩක මහජාතිවාදියාගේ වර්ගවාදී සංහාරක මර්දනය සහ එයට එරෙහි පීඩිත සුළු ජාතියේ විමුක්ති අරගලය අතර ගැටුමේදි මා සිටිනුයේ පීඩිත සුළු ජාතික විමුක්ති අරගලය පැත්තේ යැයි යන්න නම් එය ප්‍රතික්ෂේප කිරීමට මට අවශ්‍ය නැත. මගේ එම ස්ථාවරය ඔබගේ සංස්කෘතික මට්ටම සහ දැනුම සහ දේශපාලන උවමනාව අනුව ඕනෑම ආකාරයකට ඔබට නම් කළ හැකිය.

"ඔහු නැවත නැවත පුනරුච්චාරණය කරන "දෙමල ජනතාවගේ ස්වයං තීරණ අයිතිය පිළිගනු" යන්න පවතින සංයුක්ත තත්වයන් තුලට ආදේශ කල විට එහි අදහස කවරක්ද? දෙමළ ජාතික සන්ධානයේ දෙමළ ධනපතීන්ගේ නායකත්වයෙන් වෙනම රාජ්‍යයක් අටවා ගැනීමට දෙමළ පීඩිතයින්ට අවස්ථාව ලබා දෙනු යන්නයි."

ඔහුගේ ලිපිය පුරාම දක්නට ලැබෙන ස්වෝත්තමවාදී ආකල්ප මෙම වැකිය තුළින් ද මනාව විශද වෙයි. සිංහල වම තුළ ස්වයංතීරණ අයිතිය පිළිබඳ සංවාදය මතුවන සෑම විටෙකම එය යටපත් කිරීම මාක්ස්වාදී වෙස්මූණු ලාගත් ජාතිවාදි අවස්ථාවාදීන් ගේ ලාබ සටන්පාඨය වන "දෙමළ ධනපති පන්තියක් ගැන ජාතිවාදී මනෝභ්‍රාන්තියට" පිළිතුරු මවිසින් මීට පෙර දර්ශන මේදිස්ට දුන් පිළිතුරෙහි ද අඩංගු කෙරී ඇති බැවින් ද, ඒ ගැන දර්ශන මේදිස් හෝ කොස්ඇට මීයා හෝ පිළිතුරු දී නැති බැවින්ද ඒ ගැන යළිත් සාකච්ඡා කිරීම අනවශ්‍යයැයි ද සිතමි.

ස්වයං තීරණය පිළිගැනීම පවත්නා සංයුක්ත තත්ත්වයට ආදේශකළ විට එයින් අදහස් වන්නේ දෙමළ පීඩිතයන්ගේ අනුමැතියෙන් දෙමළ ජාතික සන්ධානය විසින් වෙනම රාජ්‍යයක් "ඇටවීමට" අවස්ථාව ලබා දීම බව කොස් ඇට මීයා පවසයි.

ඔහුගේ ප්‍රධාන තර්කයට පිවිසීමට පෙර යමක් පැවසිය යුතුය. ඒ කොස් ඇට මීයාගේ "ඇටවීම" නම් වචනය සම්බන්ධයෙනි. බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කර දුන් ඒකීය රාජ්‍යය ස්වාභාවික ප්‍රපංචයක් යැයි පිළිගනු ලබන මාක්ස්වාදී වෙස්මූණු ලාගත් ජාතිවාදීන්ට ස්වයංතීරණය අයිතිය පිළිගැනීම විසින් දෙමළ ජනයාට හිමිවන ස්වයං පාලන අයිතිවාසිකම හැදින්වීම‍ට "ඇටවීම" යන ගර්හාත්මක වදන යොදාගැනීම පුදුමයට කරුණක් නොවේ. ඒකීය රාජ්‍යය ගැන ජාතිවාදීන් කතාකරන විට එය "සුරැකීමක්"වන අතර එය වඩාත් අර්ථාන්විත සහ ගෞරවාන්විත කිරීමට "සු" යන්නද යොදා ගනිති. එහෙත් දෙමළ ජනයාගේ ස්වයංතීරණ අයිතිය පිළිගැනීම මගින් දෙමළ සමාජය විසින් බිහිකරනු ඇති ස්වයංපාලනය "ඇටවීම" යන ගර්හාත්මක වදනින් හැඳින්වේ. 4 ජාත්‍යන්තරයේ සසප සහෝදරවරුනට එය වෙනම "ශ්‍රම වැයික්කියක් අටවාගැනීමකි". දැන් උදා වී ඇත්තේ සිංහල ජාතිවාදී ජවිපෙට සහ සසපයට ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් තම සමාන නිවුන් ස්ථාවරයන් තොරොම්බල් කිරීමට අවශ්‍ය න්‍යායික දැනුම, පාරිභාෂික ශබ්ද කෝෂ හුවමාරු කර ගැනීමට කදිම අවස්ථාවකි.

"පවත්නා සංයුක්ත තත්ත්වයන්ට අනුව" ස්වයංතීරණ අයිතිය දීමෙන් පීඩිත දෙමළ ජනයා විසින් දෙමළ ජාතික සන්ධානය බලයට පත්කරනු ඇතැයි ඔහු පවසයි. දෙමළ ජාතික සන්ධානය වූකලී දෙමළ ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික තෝරාගැනීම නම් එයට එරෙහි විය හැක්කේ මහ ජාතික අධිපතිවාදයේ කැමැත්ත දෙමළ ජනයා මත බලහත්කාරයෙන් පැටවීමට වලිකන ජාතිවාදීන්ට පමණි. ලංකාවේ එකම අව්‍යාජ විප්ලවවාදී වම යනුවෙන් තමන්ව හඳුන්වා ගන්නා ගමන් විටෙක චන්ද්‍රිකා ද තවත් විටෙක මහින්ද රාජපක්ෂ හෝ සරත් ෆොන්සේකා ද යන ධනපති නායකයන් බලයට ගෙන ඒමට තමන්ට ඇති අයිතිය සම්බන්ධයෙන් දමන තියරි, දෙමළ සමාජයට තමන්ට කැමැති පාලනයක් තෝරාගැනීම සම්බන්ධයෙන් දීමට කොස් ඇට මීයා සුදානම් නැති බව මෙයින් පැහැදිලි වේ. "පවත්නා සංයුක්ත තත්ත්වය" යටතේ ස්වයංතීරණය හිමිවන දෙමළ ජනයා ජනතා විමුක්ති පෙරමුණේ හෝ සසපයේ නායකත්වය තෝරා නොගනු ඇති බවට ඔවුන් තුළ පූර්ව නිගමනයක් ද පවතින බව පෙනී යයි. එහි තේරුම වන්නේ මේ සිංහල සමාජවාදීන්ගේ සමාජවාදය කෙරෙහි විශ්වාසයක් දෙමළ සමාජය තුළ නොමැති බව මේ සිංහල සමාජවාදීන් ද හොඳාකාරව අවබෝධ කර ගෙන ඇති බවයි. එසේ නම් ඔවුන් තම "සමාජවාදයට" දෙමල ජනයා අනුගත කරවීමට තැත් කරනු ලබන්නේ තමන්ගේ තුවක්කු බලයෙන්ද, නැතහොත් සිංහල ධනපති හමුදාවන්ගේ තුවක්කු බලයෙන් ද, යනුවෙන් ප්‍රශ්නයක් පැන නගී.

"පවත්නා සංයුක්ත තත්ත්වය" වූකලී ආකාස්මිකව බිහිවූවක් නොව ධනපති ජාතිවාදී රාජ්‍යයේ ජාතිවාදී ප්‍රතිපත්තීන් සහ ජන සංහාරක මිලිටරි මර්දනයේ ප්‍රතිඵලයකි. ඒ සදහා සිංහල වම ද විවිධ ආකාරයෙන් සිය සෘජු හෝ වක්‍ර සහාය ලබා දී තිබේ. වර්තමානයේ පවත්නා සංයුක්ත තත්ත්වය යනු කුමක්දැයි කෙරෙමි මඳකට අවධානය යොමු කරමු.

වත්මන් රජය යටතේ යුද්ධය ආරම්භවන අවස්ථාව වනවිට ජීවතුන් අතර සිටි දෙමළ ජනයාගෙන් 146000කට අධික සංඛ්‍යාවක් අතුරුදන් වී තිබේ. මෙය එම ප්‍රදේශ වල සිටි ජනගහණයෙන් තුනෙන් පංගුවකි. අවසන් දින කීපය තුළ යටත් වූ විමුක්ති කොටි සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් වධබන්ධන පමුණුවා ඝාතනය කරන ලදි. එකී ප්‍රදේශවල සිටි ජනගහණය මුළු මණින්ම රැඳවුම් කඳවුරුවලට ගාල්කරනු ලැබිණි. තවමත් රහසිගත සිරකඳවුරුවල විශාල සංඛ්‍යාවක් රඳවා ඇත. රජයේ හමුදා සහ පැරා මිලිටරි ඒකක විසින් සිදු කරන අතුරුදන්වීම් සහ ඝාතනයන් තවමත් අඛන්ඩව සිදුවෙමින් පවතී. පවුල් සී සී කඩ විසිරි යාමෙන් අනාරක්ෂිතභාවයට පත් කාන්තාවන් සහ ළමුන් නිරන්තර ලිංගික අතවරයන්ට ලක් කෙරෙයි. අත්අඩංගුවට පත් විමුක්ති කොටි සාමාජිකාවන් ද ඇතුළුව තවත් කාන්තාවන් විශාල පිරිසක් බලහත්කාරයෙන් රඳවාගෙන සෙබලුන්ගේ මෙන්ම ව්‍යාපාරික සහ ඉදිකිරීම් කටයුතු සඳහා දකුණෙන් එහි යන පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් සදහා බලහත්කාරී ගණිකා වෘත්තියේ යොදවා තිබේ.

දැවැන්ත හමුදා සංකීර්ණ සහ ඒවාට අනුබද්ධ කුඩා කඳවුරු ජාලය විසින් මෙම ප්‍රදේශයේ ජනතාවට තම උපන් ගම්බිම් සිවිල් සහ දේශපාලන අයිතීන් අහිමි එළිමහන් සිරකඳවුරු බවට පත් කර ඇත. රාජ්‍ය අනුග්‍රහයෙන් කොල්ලකනු ලබන ඉඩම් දකුණෙන් එහි යන සිංහල සුළු ධනේෂ්වරය අතර ‍බෙදාහැරීම මෙන්ම බහුජාතික සමාගම්වලට විකිණිමද සිදු වෙයි. මෙම අකටයුතුකම්වලට යමෙකු එරෙහි වුවහොත් පසු දිනම ඔහු හෝ ඇය අතුරුදන් කිරීම්වලට ලක්වෙයි. තමන්ට අත්විඳීමට සිදු වූ බරපතල සංහාරයෙන් පසු යටත්ව සියල්ල විඳ දරාගැනීමට බල කෙරී ඇති නමුදු දෙමළ සමාජය තම දේශපාලන අරගලය අත්හැර දමා නැත. ඒ බව පසුගිය පළාත්පාලන මැතිවරණයෙන් ප්‍රතිපලවලින් පෙන්නුම් කෙරිණි. ඔවුහු අවස්ථාව ලද පළමු අවස්ථාවේම ආණ්ඩුවේ නග්න මිලිටරි සිංහල අධිපතිවාදයට මෙන්ම "වමේ" කපටි මෘදු සිංහල අධිපතිවාදයටද සිය විරෝධය පළ කළහ. සටන් විරාම ගිවිසුම අහෝසිකර දැමීමටත් මිලිටරි බලය යොදා දෙමළ සමාජය යටපත් කිරීමටත් දිගටම ධනපති ආණ්ඩු සමග සහයෝගයෙන් කටයුතු කළ ජවිපෙය අනතුරුව තමන්ගේද දායකත්වයෙන් සිදු වූ අපරාධවල ගොදුරු බවට පත් පුද්ගලයන් හමුවට ගොස් හෙළූ කිඹුල් කඳුළු වලට ද දෙමළ සමාජය රැවටීමට නොහැකි වූ බව උතුරෙන් ඔවුන් ලද ඡන්ද ප්‍රමාණයෙන් පැහැදිලි විය.

මෙම "පවත්නා සංයුක්ත තත්ත්වය යටතේ" දෙමළ පීඩිතයන් තමන්ගේ විමුක්ති අරගලයේ නියාමක සංවිධානය විනාශ වී ඇති තතු යටතේ වුව තමන්ට ඊළඟට සාපේක්ෂ වශයෙන් විශ්වාසය තැබිය හැකි සංවිධානය වෙත යොමුවීම පුදුමයක් නොවේ.

සිංහල වාමාංශිකයන් "දෙමළ ධනපති පන්තියට" එරෙහිව සිංහල ධනපති පන්තිය සමග සන්ධානගත වීම තමන් ස්වයංතීරණ අයිතියට විරුද්ධ එය පිළිගැනීම මගින් දෙමළ ධනපති පන්තියට වාසි දීමට තමන් විරුද්ධ නිසා බව මේ "සිංහල සමාජවාදීන්" දිගින් දිගටම හුවා දක්වයි. හුදෙක් ඒ, තමන්ගේ ධනපති විරෝධය නිසා මිසක තමන් ජාතිවාදීන් වන නිසා නම් නොවන බව ද කියාපෑමට ඔවුන්ට අවශ්‍ය වී තිබේ. හාස්‍යයට කරුණක් වන්නේ මේ ධනපති විරෝධය සිංහල ධනපති පන්තිය කෙරෙහි නම් ඔවුන් තුළ දක්නට නොවීමය.

"කොස් ඇට මීයා සහ එවැනි වෙනත් මීයන්ගේ" ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාල වකවානුව පුරාම සිංහල ධනපති පක්ෂ සමග සන්ධානගත වූවා පමණක් නොව ධනපති රාජ්‍ය බලයේ හවුල්කරුවන් බවටද පත්වූහ. ඔවුන් 1995 දී චන්ද්‍රිකා සමග සන්ධානයකට එළැඹ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව මත ඇය සමග නිතරග ගිවිසුමකට එළැඹ සිය අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් ඉවත්කරගනිමින් මේ ධනපති නායිකාවට ඡන්දය දෙන ලෙස සිය "විප්ලවවාදී සාමාජිකත්වයට " දැනුම් දුන්හ. ඉන්පසුව ඇය සිය පොරොන්දු කඩකරමින් විධායක ජනාධිපති ක්‍රමය දිගටම පවත්වාගෙන යන විට නාහෙන් අඬමින් ගතකළ වසර කීපයකට පසුව නැවත එම නායිකාව සමගම 1999 දී පරිවාස රජය නමින් සන්ධානයකට එළැඹුණෝය. 1994 දී ජවිපෙ චන්ද්‍රිකා සමග එළැඹි සන්ධානයේදී ඔවුන්ගේ කොන්දේසි වල අඩුතරමින් ප්‍රජාතාන්ත්‍රික හරයක් ගැබ් වුනා යැයි කිව හැකි වුවද 1999 දී එළැඹී සන්ධානයේ මූලික කොන්දේසිය වූයේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීම සඳහා සාකච්ඡා නොකළ යුතුය යන දක්ෂිනාංශික සටන්පාඨයකි. වෙනත් වචනවලින් කිවහොත් 1999 දී ඔවුන් පරිවාස සන්ධානයට එළැඹුණේ චන්ද්‍රිකාගේ ධනපති ආණ්ඩුව දෙමළ ජනයාට එරෙහිව ගෙන ගිය යුද්ධයේදී ඇගේ මර්දන හැකියාවන් ශක්තිමත් කරනු සඳහාය. 2003 මහමැතිවරණයේදීත් 2005 ජනාධිපතිවරණයේදීත් නැවත නැවත මෙය සිදුවිය.

මේ සෑම අවස්ථාවකවම තම ස්ථාවරය සාධාරණීකරණය සඳහා ජවිපෙ ‍විසින් පෙරට ගත් සටන් පාඨ සහ සිංහල ධනපති පක්ෂ සමග ඇතිකරගත් සම්මුතියේ කොන්දේසිවල මූලික හරය වූයේ සටන් විරාම ගිවිසුම අහෝසිකිරීම සහ දේශපාලන විසඳුමකට එරෙහිවීමයි. මේ වකවානුවේ ජවිපෙ උද්ඝෝෂණ සහ ප්‍රචාරක ක්‍රියාමාර්ග වල ඉලක්කය වූයේ සිංහල ධනපති ආණ්ඩුවේ යුද ක්‍රියාමාර්ග අනුමත කිරීම පමණක් නොව එය වඩාත් තීව්රව කරන ලෙසට රජයට බලකිරීමද විය. ලාල්කාන්තගේ නායකත්වයෙන් යුතු වූ වෘත්තීය සමිති විසින් රජයේ යුද අරමුදල්වලට වැඩකරන ජනයාගෙන් කප්පම් එකතු කරනු ලැබූ අතර, ලංකා පුවත්පත ඇතුළු ජවිපෙ මාධ්‍ය ධනපති ආණ්ඩුවේ යුද ප්‍රචාරක ව්‍යාපාරයේ උද්‍යෝගීමත් හවුල්කරුවෙකු වෙමින් සිංහල පීඩිතයන් ජාතිවාදයෙන් දූෂණය කිරීමේ වැඩ කොටස සිදු කරන ලැබිණ.

සෝමවංශ අමරසිංහ ඇමෙරිකානු රජයේ නියෝජිතයන් හමු වූ සෑම විටෙකම බෙදුම්වාදයට එරෙහිව රජය ගෙන යන යුද්ධයට ඇමෙරිකාව සිය සහාය ලබා දිය යුතුය යැයි අවධාරණය කළේය. පැහැරගෙන යාම්, වධබන්ධන පැමිණවීම් සහ අතුරුදන්කිරිම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජිතවරිය හමු වූ විට සෝමවංශ අමරසිංහ පැවැසුවේ ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවනුයේ ගණන් ගත නොහැකි තරම් සුළු ප්‍රමාණයකින් බවයි. ඒ අතරම ඔහු "ඇෆ්ගනිස්ථානයේදී ඇමෙරිකාව තලිබාන් ත්‍රස්තවාදය විනාශකිරීම සදහා කඳු සමතලාවන්නට බෝම්බ දමමින් යුද්ධය කරන ආකාරයටම ශ්‍රි ලංකා රජය ද යුද්ධය පවත්වා ගෙන යා යුතු බවයි. මේ හුදෙක් අපගේ චෝදනාවක් නොව ජනතා විමුක්ති පෙරමුණේ සෝමවංශ ටිල්වින් ඇතුළු ජවිපෙ ප්‍රභූ කල්ලිය විසින් පමණක් නොව මේ ඊයේ පෙරේදා හදිසියේ නින්දෙන් අවදිවූ ජවිපෙ කැරැලිකරුවගේ පාර්ශ්වයත් විසිනුත් කිසිවිටෙක ප්‍රතික්ෂේප නොකළ සහ නොකරන ඔවුන්ගේ මෑත ඉතිහාසයයි. ඒ ගැන සැකයක් ඇති යමෙකු කළ යුත්තේ තමන්ගේ නායකයන්ගේ ප්‍රකාශ, නිවේදන සහ ප්‍රවෘත්ති ඇතුළත් පරණ පත්තර පිටු පෙරලා බැලීම පමණකි.

සිදුව ඇත්තේ කුමක්දැයි පැහැදිලිය. එනම් පීඩිත දෙමළ සුළු ධනේෂ්වර පන්තිය මත පදනම් ව දියත් වූ දෙමළ ජාතික විමුක්ති අරගලය පොඩි පට්ටම් කර දෑමීම සදහා සිංහල සුළු ධනේෂ්වරයේ ඊනියා "මාක්ස්වාදීන්" ධනපති විරෝධයේ නාමයෙන් සිංහල ධනපති පන්තිය සමග සන්ධානගත වීමකි. මෙය නම් අපූරු ධනපති විරෝධයකි. තමන් අයත්වන ජාතියේ ධනපති පන්තියේ සහ රාජ්‍යයේ මර්දනකාරී ආධිපත්‍යයෙන් මිදීමට යත්න දරන පීඩිත ජාතියේ "ධනපති" පන්තියට එරෙහිව තමන්ගේම ජාතියට අයත් ධනපති පන්තිය සමග සන්ධාන ගත වීම හැඳින්විය හැක්කේ ජාතිවාදය ලෙසින් නොවේ නම් අවස්ථාවාදය ලෙසින් මිසෙක මාක්ස්වාදය හෝ සමාජවාදය ලෙසින් නම් නොවේ.

යටත් විජිත බෙදාගැනීම සදහා දියත්වුණු පළමු ලෝක යුද්ධයේදී තම තමන්ගේ රටවල ධනපති ආණ්ඩු සෙසු රටවල ධනපති ආණ්ඩුවලට එරෙහිව යොදාගත් ප්‍රචාරක පාඨයන් පුනරුච්චාරණය කළ අධිරාජ්‍යවාදී රටවල නිල වාමාංශයේ ක්‍රියාකාරිත්වය ද මෙයට සමාන විය. එහිදී එංගලන්ත නිල සමාජවාදීන් ජර්මනියේ සහ ප්‍රංශයේ යටත් විජිත වලට එරෙහිව සිය සටන්පාඨ ඉදිරිපත් කළ අතර එංගලන්තයේ යටත් විජිත ගැන නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. ජර්මනියේ සහ ප්‍රංශයේ අවස්ථාවාදී නිල වාමාංශයේ ස්ථාවරයද එංගලන්ත සමාජවාදීන්ගේ ස්ථාවරයට මුළුමණින්ම සමාන විය. ඔවුහු තමතමන්ගේ ආණ්ඩු විසින් පවත්වාගෙන යන යටත් විජිත පාලනය සහ ආක්‍රමණික යුද්ධ සම්බන්ධයෙන් නිහඬ වූ අතර සෙසු රටවල අධිරාජ්‍යවාදී පිළිවෙත් විවේචනය කරමින් ලෝකය යළි බෙදාගැනීම සදහා අධිරාජ්‍යවාදී රටවල් අතර වූ යුද්ධයේදී තම තමන්ගේ රටවල ධනපති ආණ්ඩු පිටුපස තම තමන්ගේ නිර්ධන පන්ති ගාල් කිරීමට කටයුතු කළහ. නිලවාමාංශික පක්ෂවල මෙම පිළිවෙත ලෙනින්ගේ දැඩි විවේචනයට බඳුන් විය.

නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය යනු තමන්ගේ ජාතිය විසින් පීඩනයට පත් කරන ජාතිය හැරෙන්නට සෙසු සියළු ජාතින් ගැන පෙනී සිටීම නොවේ. වඩාත් අසීරු අරගලය වනුයේ තමන් අයත් වන ජාතියේ ජාතිවාදයට එරෙහිව සටන් වැදීමයි. එය සමග අංශුමාත්‍රයක හෝ සම්මුතියකට යන පීඩක ජාතියේ සමාජවාදීන්ට කළ හැක්කේ ධනපති ආණ්ඩු වල වර්ග සංහාරක පිළිවෙත් යුක්ති යුක්ත කරමින් තමන් අයත්වන ජාතියේ නිර්ධනීන්ව ජාතිවාදයෙන් දූෂණය කිරීම පමණකි. එවැන්නන් සමාජවාදය ගොඩනැගීමට සමත් වෙතැයි හෝ ඔවුන්ට ඊට සැබෑ අවශ්‍යතාවක් ඇතැයි සිතීම මුග්ධකමකි.

"..ලක්ෂාන් අපේක්ෂා කරනුයේ දෙමල ජාතික සන්ධානයේ නායකත්වයෙන් වෙනම රාජ්‍යයක් බිහි වූ කල්හි දෙමළ පීඩිතයෝ සිය ධනපති නායකයන් අත්හැර එක රෑනට සිංහල පීඩිතයන් සමග එක්සත් වීම සදහා දිව විත් සමාජවාදය සදහා සටන් කිරීම ආරම්භ කරනු ඇති බවයි.මෙය හුදු පොතේගුරුවාදියෙකුගේ විහිලු කල්පනාවකට වඩා ඇත්තටම වැඩි දෙයක් නොවේ.එය හරියටම අධිරාජ්‍යවාදයට එරෙහි සටනේ නායකත්වය දේශීය ධනපති පංතියට දෙමු - එයාල අධිරාජ්‍යවාදය සුන් කරාවි.එතෙක් අපි දේශීය ධනපති පංතිය යටතේ කම්කරු ශ්‍රේණීන් පෙලගස්වමු.දේශීය ධනපතියො ගේම දුන්නට පස්සේ අපි ඊලග අවදියෙදි දේශීය ධනපතියොන්ට ගේම දීල සමාජවාදය ගොඩනගමු යනුවෙන් නොපෙනෙන ඈත අනාගතයකට සමාජවාදය ගොඩනැගීමේ සටන කල්දමන අවදි දෙකේ න්‍යාය හා සමාන තත්වයකි. දෙමල ධනපතින්ගේ නායකත්වයෙන් වෙනම රාජ්‍යය කෑල්ලක් ඇටවෙන තුරු සිංහල - දෙමල නිර්ධන පංතිය අතර සහයෝගයක් ගැන කතා කරන්න බැහැ, ඒ හින්ද වාමාංශිකයා කරන්න ඕනෙ සිංහල හා දෙමල නිර්ධනීන් එක ධජයක් යටතට සමගි කරන්න සටන් කරන එක නෙමෙයි. හැකි තාක් දුරට දෙමල ධනපතියොන්ගේ ප්‍රොජෙක්ට් එකට සපෝට් කරල දෙමල කම්කරුවන්වට එ ධනපතියොන්ගේ ධජය යටතේ රදවන්න උදවු කරන එක.පස්සෙ දවසක විප්ලවය කරන එක ගැන සලකල බලන්න පුලුවන්. ලක්ෂාන්ගේ තර්කය එවැනිය. දැන් අපට පෙරලා ඇසිය හැක, වෙනම රාජ්‍යයකට ගොනු වූ පසු දෙමල පීඩිතයාගේ ජාතිවාදී අගතීන් දුරුව ගොස් එක්වරම එම සමාජය තුල පංති අරගලය නිදහසේ දළු දමන බවට ලක්ෂාන්ට දිය හැකි සහතිකය කුමක්ද?"

මෙම සටහන මගින් කොස් ඇට මීයා කරනුයේ මා ඉදිරිපත් කළ අදහස විකෘති කිරීමට අමතරව දෙමළ සමාජය සම්බන්ධව ගතානුගතික සිංහල ජාතිවාදින් තුළ පවතින අගතීන් හා දෙමළ භීතිකාව තමන් තුළද ඇති බව ප්‍රදර්ශනය කිරීම පමණකි. මගේ අදහස පොතේ ගුරු වාදියෙකුගේ විහිලු කල්පනාවක්ය යන්නට පිළිතුරු දීම මඳකට කල් තබමි. මේ "ප්‍රායෝගික මාක්ස්වාදීන්" දෙමළ ජනතාව දිනාගනීම සදහා සිදු කර ඇත්තේ කුමක්ද යන්න මම මීට ඉහත ජේදයේ විස්තර කළෙමි. එජාප සහ ශ්‍රිලනිප ධනපති ආණ්ඩු දෙමළ ජනයා ගේ අයිතීන් එකිනෙක උදුරාගනිමින් පැරණි වම මුල් යුගයේදී දැක් වූ විරෝධය ක්‍රමයෙන් හකුලාගත්තා පමණක් නොව පසුකාලීනව එකී ජාතිවාදි පිළිවෙත්වල හවුල්කරුවෙකු ද විය. ඒ ස්වකීය පාර්ලිමේන්තුවාදී දේශපාලනයත් සිංහල ධනපති පන්තිය සමග සන්ධානයත් සිංහල සුළු ධනේෂ්වර ඡන්ද පදනමත් ආරක්ෂා කරගැනීම සදහාය. මේ ක්‍රියාදාමය තුළ ඔවුන් දෙමළ සමාජයේ විශ්වාසය මුළුමණින්ම අහිමි කරගත්තේය. වසර දෙකකට ඉහත ලක්ෂයකට අධික ජනතාවක් සංහාරය කරමින් මුළුමහත් ජාතියක් කඩා බිඳ විසුරුවා හරිමින් මේ ක්‍රියාදාමය කූටප්‍රාප්තියට පත්වන විට පැරණි වම මෙන්ම "වාමාංශික විප්ලවවාදී" ජනතා විමුක්ති පෙරමුණ සිටියේ ද ධනපති ජාතිවාදී ගහලයන්ගේ ලේ තැවැරි අමුඩ අපුල්ලමිනි.

හුදෙක් ස්වයං තීරණය සදහා දෙමළ ජනතාවට ඇති අයිතිය වම විසින් පිළිගැනීමෙන් පමණක් සිංහල වාමාංශයේ මේ පාවාදීමේ ඉතිහාසය අමතක කොට ඔවුන් සමග සමාජවාදය ගොඩ නැගීමට දෙමළ ජනතාව එනු ඇතැයි යන විහිළු කල්පනාව මා තුළ නැත. සිංහල වම ස්වයංතීරණ අයිතිය පිළිගත් පමණකින් දෙමළ ජනයාට එය හිමි වන්නේ ද නැත. ඔවුන්ට එය දිනාගැනීමට සිදුව ඇත්තේ සිංහල ධනපති රාජ්‍යය සමග සිදු කරන අරගලයකිනි. සිංහල වම එය පිළිගැනීමෙන් සිදුවන එකම සාධනීය දෙය සිංහල ධනපති රාජ්‍යයේ අධිපතිවාදී සහ ජන සංහාරක පිළිවෙත්වලින් තමන් වෙනස් වන්නේ කෙලෙසදැයි දෙමළ සමාජය හමුවේ සළකුණු කිරීමට සිංහල වමට හැකි වීම පමණකි. එය පිළිගැනීමම සිංහල වමේ ගුණාත්මක ඉදිරිපිම්මකි. සිංහල වම තුළ එවැනි ගුණාත්මක වර්ධනයක් ඇතිවන්නේ නම් පමණක් දෙමළ පීඩිතයන් එක්සත් භාවය පිළිබඳ යෝජනාවන් සළකා බැලීමට පෙළැඹෙනු ඇත. ඒ විශ්වාසය දිගුකාලීන වෙහෙසකර සහ අව්‍යාජ ව්‍යායාමයන් මගින් දිනාගත යුතු ප්‍රතිඵලයකි. නමුත් ඇත්තෙන්ම විහිලුව කල්පනාව වනුයේ සිදු වූ දමිල සංහාරයට මුලු හදින් සහාය පළකළවුන් එකී සංහාරයෙන් යම්තමින් දිවි ගලවා ගත්තවුන් සමග ඡායාරූප ගෙන ඒවා ප්‍රචාරය කිරීම හෝ සමූහ මිනීවලවල් මත පාපන්දු ගැසීම වැනි බාල උපක්‍රම මගින් දෙමළ තරුණයන්ට අඬගැසීමෙන් ඔවුන් තමන් වෙත දිනාගත හැකියැයි සිතීමය. අද සිංහල වම සහ දෙමළ පීඩිතයා අතර පවතින පරතරය අන් සැමදාටම වඩා පුළුල්ය. පැරණි වම මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද එම අවස්ථාව තමන් විසින්ම විනාශකරගෙන ඇති අතර එම පරතරය පියවීම ඔවුනට යළි කිසිදාක කළ නොහැකිය. එය දෙමළ ජනතාවගේ සහජ ප්‍රතිගාමීත්වයක් නිසා සිදුවන්නක් නොව නුඹලාගේම ප්‍රතිගාමී ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන්නකි.

ජනතා විමුක්ති පෙරමුණ සැමදාම තම ජාතිවාදී සහ අවස්ථාවාදී ආස්ථානයන්ට මාක්ස්වාදී නිර්වචන දීමට හපන්කම් දක්වන සංවිධානයකි. කළු ජූලියේ අපරාධකරුවන්වූ ඇල්ලේ ගුණවංශලා සමග එක්ව රජයේ යුදවාදී ව්‍යාපෘතියට සහාය දීමට සිංහල ජාතිවාදීන් ගොනුකරන අතර ජවිපෙ තුළ සිටින සමාජ වෙනසක් අපෙක්ෂා කරන රැඩිකල් බලවේග හමුවේ ඔවුන් ඉදිරිපත් කළේ වෙනම තර්කයකි. එනම් දෙමළ විමුක්ති අරගලය (ඔවුන්ගේ වචනවලින් "බෙදුම්වාදී ත්‍රස්තවාදය") ලංකාවේ සමාජවාදය ගොඩ නැංවීමට බාධාවක් බැවින් පළමුව එය පරාජය කිරීම සදහා සිංහල ධනපති පන්තියට සහාය දිය යුතු බවකි. එම අර්ථයෙන් ගත් කළ පසුගිය වකවානුව පුරාම ජවිපෙය රජයේ යුද ව්‍යාපෘතියට සහාය දෙමින් ලක්ෂයකට අධික දෙමළ වැසියන් ළමා ලපටින් ද සමග මරා දමනතෙක් එම වැඩ පිළිවෙළට සහාය දැක්වා ඇත්තේ "සමාජවාදයට" ඇති බාධාවක් ඉවත්කිරීම සඳහාය. මේ අනුව ජවිපෙ නායකයන් කටයුතු කර ඇත්තේ සමාජවාදය සඳහා තමන්ට ඇති බාධාවක් ඉවත් කිරීම සදහා ලක්ෂයකට අධික පිරිසක් ධනපති හමුදාවන් ලවා සංහාරය කරවීමය. සමාජවාදය වෙනුවෙන් සටන්කළ තරුණ තරුණියන් 71දී 20000කුත් 89 දී 60000කුත් රජයේ හමුදාවන් විසින් මරා දමන ලද අතර 2007/2009 කාලයේදී එකී ධනපති හමුදාව ලවාම එකී පක්ෂය විසින්ම එකී සමාජවාදය වෙනුවෙන්ම ලක්ෂයක් මරවා තිබේ. මේ නම් "දෙමළ සහ සිංහල නිර්ධන පන්තිය අතර සහයෝගය ගොඩ නැංවීමේත් ඔවුන් එක ධජයක් යටතට එකතුකිරීමේත්" කදිම නිර්මාණාත්මක සහ ප්‍රායෝගික උපාය මාර්ගයකි.

"වෙනම රාජ්‍යයකට ගොනු වූ පසු දෙමල පීඩිතයාගේ ජාතිවාදී අගතීන් දුරුව ගොස් එක්වරම එම සමාජය තුල පංති අරගලය නිදහසේ දළු දමන බවට ලක්ෂාන්ට දිය හැකි සහතිකය කුමක්ද?"යැයි කොස් ඇට මීයා ප්‍රශ්න කරයි. ප්‍රශ්නය මෙලෙස ඉදිරිපත් කිරීම තුළම පන්ති අරගලය සහ මාක්ස්වාදය යනු කුමක්දැයි ඔහු තුළ වන වැටහීම පෙන්නුම් කරයි. දර්ශන මේදිස්ට දුන් මගේ පළමු පිළිතුරෙහි මම දෙමළ සමාජය තුළ ධනපති සහ නිර්ධන පංතික වශයෙන් පන්ති අරගලයක් වර්ධනය වීමට තරම් විභේදනයක් එහි ‍ඓතිහාසික සංවර්ධනයේ මට්ටම අනුව සිදුව නැති බව පෙන්වා දුනිමි. දෙමළ සමාජයේ පවතිනුයේ පහල පීඩිත සුළු ධනේශ්වරය, අතරමැදි සහ ඉහළ ප්‍රභූ සුළු ධනේශ්වරය වශයෙන් හඳුනාගත හැකි ආකාරයේ සුළු ධනේශ්වරයේම ප්‍රභේදයන්ය. මේ ඉහළ සුළු ධනේශ්වරය සහ පහළ පීඩිත සුළු ධනේශ්වරය අතර පවත්නා අතුරු ප්‍රතිරෝධයන්ට සාපේක්ෂව සිංහල ධනපති පන්තිය සහ දෙමළ පීඩිත සුළු ධනේෂ්වරය අතර ප්‍රතිවිරෝධය ප්‍රමුඛ සහ තීරණාත්මක සාධකයකි. ඒ සිංහල ධනපතිය විසින් සමස්ත දෙමළ සමාජය මත එල්ල කළ ජාතික පීඩනයෙන් වඩාත් පීඩාවට පත් වූයේ එම ස්ථරයන් හේතුවෙනි. අනෙක් අතට දෙමළ සුළු ධනේශ්වරය ධනපති පන්තියක් බවට පත්වීමේ ඓතිහාසික ක්‍රියාදාමය සම්පූර්ණ වූයේද නැත. ගොවි සහ ධීවර ආදි සමාජ පන්තීන්ගෙන් සැදුම් ලද දෙමළ පීඩිත සුළු ධනේශ්වර ස්ථරයන් ඉහත දැක් වූ දෙමළ ඉහළ සුළු ධනේශ්වරයේ සෘජු සුරාකෑමකට එනම් අතිරික්ත ශ්‍රමය සූරාකෑමකටද ලක් නොවේ. එහෙයින් එකී පීඩිත පන්ති ස්ථරයන් හමුවේ දෙමළ ඉහළ ප්‍රභූ සුළු ධනේෂ්වරය පීඩක පන්තියක් ලෙස පන්ති ගැටුම් වලට හේතුවන මට්ටමින් දිස් නොවේ.

මෙම කරුණ වඩාත් පැහැදිලි කරගනු පිණිස ප්‍රශ්න කීපයක් යොමු කරමි.

1. ඔබ ඔය පවසන " දෙමළ ධනපති පන්තිය" සතුව කර්මාන්ත ශාලා කීයක් පවතීද?
2. එකී කර්මාන්තශාලාවල තම ශ්‍රමය වගුරන දෙමළ කම්කරුවන්ගේ සංඛ්‍යාව කොපමණද?
3. පසුගිය දශක කීපය තුළ මෙම" දෙමළ ධනපති පන්තිය" සතු කර්මාන්ත ශාලාවල සූරා කෑමට එරෙහිව දෙමළ කම්කරුවන් අතරින් පැන නැගි වැඩ වර්ජන හා වෙනත් උද්ඝෝෂණ ක්‍රියාමාර්ග පිළිබදව ඇති වාර්තාමය දත්ත මොනවාද?


"දෙමළ ධනපති පන්තියකට" එරෙහිව දෙමළ නිර්ධනීන් වෙතින් නැගිටීමක් සිදු වීමට නම් එකී පන්තීන් අතර භෞතික ගැටුමක් පැවතිය යුතුය. එහෙත් ධනපති හෝ නිර්ධන යනුවෙන් ‍භෞතිකව පන්ති විභේදනයක් දැකිය හැකි තරමට ධනේෂ්වර නිෂ්පාදන සබඳතා වර්ධනය නොවූ දෙමළ සමාජය තුළ "දෙමළ ධනපති පන්තිය"ට එරෙහි "දෙමළ නිර්ධනීන්" පෙළ ගැස්වීමට "ලාංකේය වමේ වගකීම" ගැන කෙරෙන වාගාලාපයන් හුදෙක් සිංහල ආධිපත්‍යවාදී මැදිහත්වීම සමාජවාදයේ නාමයෙන් සාධාරණීකරණයක් පමණි. සිංහල ධනපති පන්තිය විසින් මෙහෙයවන රාජ්‍යයයෙන් දෙමළ පීඩිතයාට එරෙහිව දියත්වන වර්ග සංහාරක මර්දනයට සාපේක්ෂව දෙමළ ප්‍රභූ පෙළැන්තිය සහ දෙමළ පීඩිත සමාජ ස්ථරයන් අතර සාමාජීය තලයේ පවතින ආතතිය ඉතා අල්පය. එපමණක් නොව කොටි සංවිධානය බිහිවීමට පෙරත් එහි විනාශයෙන් පසුවත් දෙමළ පීඩිතයන් විසින් ඉහත දෙමළ ප්‍රභූ ස්ථරය සළකනුයේ තම ආරක්ෂකයන් ලෙස මිසෙක සතුරන් ලෙස නොවේ. කොස් ඇට මීයාගේ අමන තර්කවල ඇති විහිළුව නම් දෙමළ පීඩිතයන් ‍භෞතිකව විනාශකරන සිංහල රාජ්‍ය සමග මතවාදී සහ ද්‍රව්‍යමය සන්ධානයක නිරත සිංහල වාමාංශිකයන් එකී විනාශයේදී දෙමළ සමාජය තම ආරක්ෂකයන් ලෙස සළකන දෙමළ සුළු ධනේෂ්වර නායකත්වයට එරෙහිව දෙමළ පීඩිතයන්ව "එක්සත්" කිරීමට තැත් කිරීමයි. සිංහල ආධිපත්‍ය විසින් මෙහෙයවන රාජ්‍යය විසින් අල්පමාත්‍රයකදු ජාතිවාදී පීඩනයක් පවතිනතාක් කල් සහ "ලාංකේය වම" සිංහල කේන්ද්‍රීය එකක්ව පවතිනතාක් කල් ඔවුන්ගේ "සමාජවාදී ධජය" වටා දෙමළ පීඩිතයන් එක්වනු ඇතැයි සහතික දීමට මා හට නොහැකි බව කණගාටුවෙන් වුවද පැවසිය යුතුය. එමෙන්ම මේ සිංහල වමේ සමාජවාදය යටතේද දෙමළ පීඩිතයා ලේ වැකි ජාතිවාදී මර්දනයකට ගොදුරු නොවේ යැයි සිතීමට ඉඩක් පැරණි වමේ මෙන්ම , ජවිපෙයේ ද ජාතික ප්‍රශ්නය අරබයා භාවිතාව විසින් ඉතුරු කර නැති බැවින් එවන් එක්සත් භාවයක් සඳහා දෙමළ පීඩිතයන් වෙත "සිංහල වාමාංශිකයන්" විසින් කරන ආයාචනාවල අව්‍යාජ බව ගැන දෙමළ සමාජය හමුවේ සහතික වීමටද මා හට හැකියාවක්ද නැත.

එවන් එක්සත් භාවයක පදනම විය යුත්තේ බහුතර ජාතියේ ආධිපත්‍යවාදී බලය නොව ජාතීන් දෙක අතර දේශපාලන සමානාත්මතාව පිළිබඳ මූලධර්මයයි. ඒ සඳහා පළමු කොන්දේසිය විය යුත්තේ ස්වයංතීරණයට දෙමළ ජනයාට ඇති අයිතිය හෙවත් සිංහල අධිපතිවාදී රාජ්‍යයේ පීඩනයෙන් මිදී තම ඉරණම තීරණය කිරීමට ඇති අයිතිය පිළිගැනීමයි. එක්සත්භාවය සඳහා කෙරෙන සියළු ආයාචනාවන්ගේ අව්‍යාජ බව සහ සිංහල අධිපතිවාදයේ කපටි ප්‍රචාර අතර වෙනස දෙමළ සමාජය හමුවේ සළකුණු කළ හැක්කේත් එමගින් පමණකි. එසේ නොමැති නම් සිංහල වාමාංශිකයන්ට කළ හැක්කේ සමාජවාදයේ නාමයන් ජනගහණයෙන් තුනෙන් පංගුවක් සිංහල ධනපති හමුදාව ලවා විනාශ කර දැමුවාක් මෙන් තමන්ගේ සමාජවාදයට එකඟවෙතැයි සිතිය නොහැකි අවශේෂ දෙමළ ජනයාද "සිංහල රතු හමුදාවක්" ලවා සංහාරය කර දැමීමයි.

"සිංහල ධනපතියා දක්වා හැමෝම දෙමල අයගෙ රීරි මාංස උරා බොන්න බලාගෙන ඉන්න පිසාචයන් සෙට් එකක් ලෙස හෙතෙම නිරූපනය කරනවා.දැන් මේ ප්‍රශ්නයට අනිත් අතට හරවමු.සිවිල් යුද්ධය කාලෙ දකු‍ණේ පීඩිතයන්ව මැරුවෙ කවුද? අරන්තලාවෙදි,පිටකොටුවෙදි,මායිම් ගම්මාන වලට පැනල - ඒ අපරාධ කලේ කවුද? දෙමල පීඩිතයො නෙව.ඒවගෙ සිද්දි ඉස්සරහ දෙමල සමාජය දක්වපු ආකල්පය සිංහල සමාජය යුද්ධය ඉදිරියේ දක්වපු ආකල්පයට ගොඩක් වෙනස්ද? දැන් ඒ සිදුවීම් මත පදනම්ව දෙමල පීඩිතයා කියන්නෙත් සිංහලයව මරාගෙන කන්න බලාගෙන ඉන්න ලේ පිපාසිතයො සෙට් එකක් කියල මම කීවොත් ලක්ෂාන් එකගද? ලක්ෂාන් මග හරින වැදගත්ම කාරනේ මේකයි.මේ අවස්ථා දෙකේදිම මරාගත්තෙ පීඩිතයො තමයි.නමුත් ඒ මොන පීඩිතයොද? ධනපති පංතීන්ගේ ජාතිවාදී දෘෂ්ටිවාදය මගින් නොමග යවන ලද පීඩිතයො! සුලු ජාතින් වෙනුවෙන් ෆයිට් කරන එක ඒ අයගෙ ධනපති ගස්ගෙම්බන්ට භාර දීල වම වැට උඩට වෙලා අත පය හකුලගෙන බලාගෙන හිටියම වෙන්නෙ ඔය දේ තමයි.ජාතිවාදයේ ගොදුරක් බවට දෙපාර්ශවයම පත්වීම.වම කරන්න ඕනෙ මහජාතියේ වගේම සුලු ජාතියේත් ධනපති පංතියේ ජාතිවාදී දෘෂ්ටිවාදයට චැලෙන්ජ් කරන එක.එහෙම නැතිව සුලු ජාතියේ ධනපති පංතියට එම ජනතාව සිය ජාතිවාදී දෘෂ්ටිවාදයේ ගොදුරක් බවට පත්කරගන්න දීලා - ඒ තුරුලට එම ජනතාව දක්කන එක නෙමෙයි.සිංහල දෙමල කම්කරුවන්ගේ සමගිය වෙනුවෙන් ආයාචනා කරන මේදිස් (මම මේදිස් සමග සියයට සියයක් එකග නැත) ඇලජික් වෙලා ජාතිවාදිය අවුස්ස අවුස්ස චන්දෙ ගන්න එක හැර ඉතිහාසයේ වෙන දෙයක් නොකල සම්බන්ධන් වගේ ධනපති මහල්ලන්ගේ "නිදහස් ව්‍යාපාරය" ලක්ෂාන්ට සිරා වෙන්නේ මේ නිසා."

සිංහල ධනපතියා දක්වා හැමෝම දෙමළ අයගේ රීරි මාංශ බොන්න බලාගෙන ඉන්න අය ලෙස මා විසින් නිරූපණය කරනවායැයි කොස් ඇට මීයා ප්‍රකාශ කරයි. සිංහලයන් නියෝජනය කරන දේශපාලන බලවේගයන් සහ සහ පුද්ගලයන් අතළොස්සක් සම්බන්ධයෙන් හැරෙන්නට සෙසු සියළු සිංහල අධිපතිවාදී දේශපාලන පක්ෂ සහ ඒවායේ ආධිපත්‍යයට නතු වූ රාජ්‍යය සම්බන්ධයෙන් නම් නැවතත් කිව යුත්තේ මේ සියවසේ පළමු සහ බිහිසුණු ජන සංහාරය ඒවා විසින් මෙහෙයවනු ලැබ ඇත යන්න ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයක් බවය. මෙම අන්ත දක්ෂිණාංශික බලවේග විසින් මෙහෙයවුණු සිංහල සමාජයෙන් අති බහුතරයක්ද දෙමළ අරගලය මර්දනය කිරීම කිරීම අනුමත කරනු ලැබිනි. මා මගේ පළමු අදහස් දැක්වීම්වලදී ද අවධාරණය කළ පරිදි මෙම මර්දනයට එරෙහි නමුදු එය වැළැක්වීමට අසමත් වූවන් මේ ලියන මා ද ඇතුළුව එහි ඓතිහාසික වගකීමෙන් ගැලවිය නොහැකිය. අප සියළු දෙනා විවිධ පරිමාණයන් සිදු වූ දෙයට වගකිව යුතුය. එහෙත් මේ බව තේරුම් ගනු ඇත්තේත් එය පිළිගනු ඇත්තේත් හෘදය සාක්ෂියක් සහිතවුන් මිසෙක එම අපරාධවලට හවුල් කරුවන් වූ අය නොවේ. කොස් ඇට මීයාගේම වචනවලින් කිවහොත් ධනපති ජාතිවාදී හමුදාවක "රීරි මාංශ පානයට" හුරේ දමන තත්ත්වයට සිංහල සාමාන්‍ය ජනයා පත් කළේ මේ කොස් ඇට මීයන්ගේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි.

ජාතික ප්‍රශ්නය වැනි සංවේදී විෂයයකදී මාක්ස්වාදීන් තමන් බහුතර සහ පීඩක ජාතියට අයත්වන විට කිසිවිටෙකත් තම ජාතිය විසින් පවත්වාගෙන යනු ලබන ආයතනගත ජාතිවාදී ප්‍රචණ්ඩත්වය යුක්තියුක්ත කිරීමට පීඩිත ජාතියේ ප්‍රතිප්‍රචණ්ඩත්වය හුවා දක්වමින් පීඩක මිලිටරි යන්ත්‍රයේ ප්‍රචාරක සහායකයෙකු බවට පත් නොවේ.

1987/89 වකවානුවේ තමන් විසින් දියත් කරනු ලැබූ ප්‍රචණ්ඩ ක්‍රියාවන් යුක්ති සහගත කිරීමට ජනතා විමුක්ති පෙරමුණ එක්තරා තර්කයක් ඉදිරිපත් කළේය. ඒ අතපය බැඳ ලිඳට දැමූ පුද්ගලයෙකු නොගිලී සිටීමට ගන්නා උත්සාහයේදී ලිඳේ වතුර බොරවීම සම්බන්ධයෙන් චෝදනා කිරීම යුක්ති සහගත නොවන බවයි. මේ ආකල්පය දෙමළ විමුක්ති අරගලයට අදාළ ප්‍රති ප්‍රචණ්ඩත්වයට බල පෑ සාධක තේරුම් ගැනීමෙහිලා යොදාගැනීමට ජවිපෙ "කොස් ඇට මීයන්" උත්සාහ නොකරනුයේ හිතාමතාමය. එයට හේතු කීපයක් තිබේ. පළමුවැන්න දෙමළා අතපය බැඳ ළිඳට දැමීමට ජවිපෙද හවුල්කරුවෙකු වශයෙන් ඉටු කළ කාර්ය භාරයයි. දෙවැන්න අරන්තලාව වැනි සිදුවීම් දිගින් දිගටම ජාතික වෛරය ඇවිස්සීමට යොදාගනිමින් තම ඡන්ද ඡන්ද පදනම වැඩිකරගැනීමට ඔවුන්ට යොදාගැනීමට අවශ්‍ය වීමය. තුන්වැන්න එවැනි සිදුවීම් උළුප්පා දක්වමින් දෙමළ ජනයාට එරෙහි ජන සංහාරක යුද්ධය පිටුපස සිංහල පීඩිතයන් ගාල්කිරීමට ජවිපෙ විසින් කටයුතු කිරීමයි. කොස් ඇට මීයාද සුපුරුදු ලෙස මේ සිදුවීම් හුවා දක්වනුයේ ජවිපෙ අපරාධ හවුල්කාරීත්වය සාධාරණී කරණය කිරීමටය.

1987/89 කාලවකවානුවේදී රාජ්‍ය මර්දනයට එරෙහි වූ මාක්ස්වාදීන් කිසි විටෙකත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචණ්ඩත්වය සහ රාජ්‍යයේ ප්‍රචණ්ඩත්වය එක සමාන ප්‍රපංචයන් ලෙස නොසැළකුහ. ඒ ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔත්තුකරුවන් සහ දේශද්‍රෝහීන් ලෙස හඳුන්වමින් නිරායුධ වගා නිලධාරීන්, ග්‍රාමසේවකවරුන්, සහ ඇතැම් වාමාංශිකයකයන් මරා දැමීම, රජයේ දේපොල ගිනි තැබීම් අනුමත කළ නිසා හෝ ඔවුන්ගේ අරගල මාදිලිය සම්බන්ධව තමන්ගේ එකඟත්වයක් තිබූ නිසා නොවේ. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කල පීඩිත සිංහල තරුණ බලවේගයේ දේශපාලන ඉල්ලීම්වල යුක්ත සහගත භාවයක් දුටු නිසාවෙන් සහ රාජ්‍යයේ මර්දනයට එරෙහිව ඔවුන්ට සටන් කිරීමට ඇති අයිතිය පිළිගත් නිසාවෙනි. මාක්ස්වාදීන් කිසිවිටෙකත් පීඩිතයාගේ කැරැළිකාරි ප්‍රචණ්ඩත්වය සහ පීඩකයාගේ අධිපතිවාදී ප්‍රචණ්ඩත්වය එක හා සමාන ප්‍රපංචයන් ලෙස දකිමින් ගැටළුව වෙත ප්‍රවේශ නොවේ. මක් නිසාද යත් එහි දෙශපාලන සන්ධාරය වෙනස් වන බැවිනි.

සිදු වූ දෙමළ සංහාරය සම්බන්ධයෙන් අධිපති බලවත් ජාතියට අයත් සහ සිංහලයන් වන අප සියළු දෙනා විවිධ පරිමාණයන්ගෙන් වගකීම පිලිගත යුතු යැයි මා අවධාරණය කරද්දී මාක්ස්වාදියෙකු ලෙස පෙනී සිටින කොස් ඇට මීයා "...ඒ අපරාධ කලේ කවුද? දෙමල පීඩිතයො නෙව. ඒවගෙ සිද්දි ඉස්සරහ දෙමල සමාජය දක්වපු ආකල්පය සිංහල සමාජය යුද්ධය ඉදිරියේ දක්වපු ආකල්පයට ගොඩක් වෙනස්ද? දැන් ඒ සිදුවීම් මත පදනම්ව දෙමල පීඩිතයා කියන්නෙත් සිංහලයව මරාගෙන කන්න බලාගෙන ඉන්න ලේ පිපාසිතයො සෙට් එකක් කියල මම කීවොත් ලක්ෂාන් එකගද? යනුවෙන් ප්‍රශ්න කරයි. ඔහු මෙලෙස තර්ක කරන විට පොරවාගෙන ඇති මාක්ස්වාදී රතු සළුවට යටින් සැඟව ඇති සිංහල ජාතිවාදියාගේ හෙලුව නිරාවරණය වීම වැළැක් විය නොහැකිය. ඔහු සිංහල අධිපතිවාදයේ ප්‍රචණ්ඩත්වය යුක්ති සහගත කරනු වස් දෙමළ පීඩිතයාගේ ප්‍රතිප්‍රචණ්ඩත්වය හුවා දක්වයි. තමන් අයත්වන ජාතියේ අධිපතිවාදී ප්‍රචණ්ඩත්වයේ සංස්ථාපිත,මිලිටරි සහ අන් සියළු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සාධාරණීකරණය කරනු වස් තමන් අතින් පීඩාවට පත්වන ජාතියේ ප්‍රතිප්‍රචණ්ඩත්වය හුවා දක්වන්නවුන් මාක්ස්වාදීන් ලෙසද පෙනී සිටීමට තැත්දැරීම තරම් විහිළුවක් තවත් නැත. මෙවැනි තත්ත්වයකදී මාක්ස්වාදීන්ගේ ප්‍රවේශය වනුයේ පීඩිතයාගේ ප්‍රචණ්ඩ ප්‍රතික්‍රියාවන් පිටු පස ඇති දේශපාලන මූල සාධක පිලිබඳව අවධානය යොමු කරමින් ඒ පිළිබඳව තමන් අයත්වන ජාතියේ පීඩිතයන් දැනුවත් කිරීම මිසෙක එවැනි සිදුවීම් හුවා දක්වමින් ධනේෂ්වර ජාතිවාදී ප්‍රචාරක යන්ත්‍රයේ හවුල් කරුවන් වීම නොවේ. ඔහු සිංහල පීඩිතයන් බහුතරයක් ඇතුළු සිංහල සමාජය ධනේෂ්වර රාජ්‍ය යන්ත්‍රයේ මර්දන ක්‍රියාවලිය අනුමත කිරීම සහ සහාය පළකිරීමත් දෙමළ පීඩිතයන් සිය විමුක්ති අරගලයට සහාය දැක්වීමත් සමාන තත්ත්වයක ලා සැළකීමට තරම් "මාක්ස්වාදීය".

දැන් ඒ සිදුවීම් මත පදනම්ව දෙමල පීඩිතයා කියන්නෙත් සිංහලයව මරාගෙන කන්න බලාගෙන ඉන්න ලේ පිපාසිතයො සෙට් එකක් කියල මම කීවොත් ලක්ෂාන් එකගද? යනුවෙන් හේ තම සැබෑ ආකල්පය ප්‍රශ්නයක් තුළ දවටා ඉදිරිපත් කර තිබේ. මේ වූකළී මේ වර්ගයේ "මාක්ස්වාදීන්" එල්ලෙන අවසන් පිදුරු ගසයි. සිංහල භාෂාවෙන් සිදුවන මේ සංවාදය කියවන්නේ සිංහල පාඨකයන්ය. එම සිංහල පාඨකයන් ගේ කෝපය වෛරය මා සහ මා ඉදිරිපත් කරන අදහස්වලට යොමුකිරීමේ බාල උපක්‍රමයක් ලෙස "සිංහලයව මරාගෙන කන්න බලාගෙන ඉන්න ලේ පිපාසිත" වැනි වචන දැනුවත්ව යොදාගනියි. ඔහුට සිංහල සමාජයේ බහුතරයකගේ ජාතිවාදී මනෝභාවය ගැන අවබෝධයක් මෙන්ම සිය මතවාදී සතුරන් නිහඬ කිරීමට එය යොදාගත හැකි ආකාරය පිලිබඳවද මනා පළපුරුද්දක් ඇති බව පෙනෙයි.

"..මේ අවස්ථා දෙකේදිම මරාගත්තෙ පීඩිතයො තමයි. නමුත් ඒ මොන පීඩිතයොද? ධනපති පංතීන්ගේ ජාතිවාදී දෘෂ්ටිවාදය මගින් නොමග යවන ලද පීඩිතයො! සුලු ජාතින් වෙනුවෙන් ෆයිට් කරන එක ඒ අයගෙ ධනපති ගස් ගෙම්බන්ට භාර දීල වම වැට උඩට වෙලා අත පය හකුලගෙන බලාගෙන හිටියම වෙන්නෙ ඔය දේ තමයි.ජාතිවාදයේ ගොදුරක් බවට දෙපාර්ශවයම පත්වීම...."

අහා! කොතරම් විප්ලවකාරී ප්‍රකාශයක්ද? කොස් ඇට මීයාට මෙහිදී කිව යුත්තේ ඔබ ඔය "වම" යනුවෙන් හඳුන්වන "සිංහල වම" සුළු ජාතින්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වැදීම ඒ අයගේ "ධනපතියන්ට" බාර දී වැට උඩට වී නොසිටි බවයි. ඔබගේ ජනතා විමුක්ති පෙරමුණ සිටියේ සිංහල ධනපතින්ගේ පැත්තේ දෙමළ සංහාරයට අනුබල දෙමිනි. සිංහල පීඩිතයන් සිංහල මහජාතිවාදය විසින් දූෂණය කරවීමෙහිලා ජවිපෙය විශාල කාර්ය භාරයක් ඉටු කළේ අපක්ෂපාතී නිරීක්ෂකයෙකු ලෙස වැට උඩ ට වී බලා සිටිමින් නොවේ. "දෙමළ සුළු ජාතියේ ගස්ගෙඹි ධනපති පන්තිය" කෙරෙහි ඇති "මාරාන්තික පන්ති වෛරය" සිංහල මහජාතියේ ධනපති පන්තියට එරෙහිව ඔවුන් සමග සභාග පල්වලේ ලගින විට පළ නො‍වීම පුදුම සහගතය.

"....වම කරන්න ඕනෙ මහජාතියේ වගේම සුලු ජාතියේත් ධනපති පංතියේ ජාතිවාදී දෘෂ්ටිවාදයට චැලෙන්ජ් කරන එක.එහෙම නැතිව සුලු ජාතියේ ධනපති පංතියට එම ජනතාව සිය ජාතිවාදී දෘෂ්ටිවාදයේ ගොදුරක් බවට පත්කරගන්න දීලා - ඒ තුරුලට එම ජනතාව දක්කන එක නෙමෙයි.සිංහල දෙමල කම්කරුවන්ගේ සමගිය වෙනුවෙන් ආයාචනා කරන මේදිස් ( මම මේදිස් සමග සියයට සියයක් එකග නැත ) ඇලජික් වෙලා ජාතිවාදිය අවුස්ස අවුස්ස චන්දෙ ගන්න එක හැර ඉතිහාසයේ වෙන දෙයක් නොකල සම්බන්ධන් වගේ ධනපති මහල්ලන්ගේ "නිදහස් ව්‍යාපාරය" ලක්ෂාන්ට සිරා වෙන්නේ මේ නිසා."

මෙම ජේදයේ ද "මාර සිරා" පොර ටෝක් එකක් හැරෙන්නට කිසිවක් නැත. යළිත් වතාවක් සුළු ජාතියේ ධනපති පන්තියෙන් එම ජාතියේ ජනතාව බේරාගැනීමේ මෙහෙයුමකි. මේ සඳහා කොස් ඇට මීයන් ගේ ජාත්‍යන්තරවාදී සගයන් වූයේ ඇල්ලේ ගුණවංශ වැනි දෙමළ කඩ ගිනි ලෑ පුද්ගලයන් සහ අමරසේකර වැනි ජාතිවාදී න්‍යායචාර්යවරුය. ක්‍රියාමාර්ග වූයේ සිංහල ජාතිවාදී ධනපති පක්ෂ සහ නායකයන් සමග ජාතිවාදී සන්ධාන ඇටවීම සහ ඔවුන්ගේ මර්දන අණපනත් වලට සහාය දීම සහ මිනීමරු මර්දනය යුක්ති සහගත කිරීමය. මේ සියල්ලේම අරමුණ වනුයේ" දෙමළ සුළු ජාතියේ ධනපති පන්තියේ ජාතිවාදී දෘෂ්ටියෙන් එම ජනතාව මුදා ගැනීමය." ‍කොතරම් නිර්මාණාත්මක ලෙස මාක්ස්ලෙනින්වාදය සහ නිර්ධනපන්ති ජාත්‍යන්තරවාදය භාවිතයට යෙදවීමක්ද?

අද නැවතත් දෙමළ පීඩිතයන්ට සම්බන්ධන් වැනි ප්‍රතිසංස්කරණවාදී (කොස් ඇටමීයාට අනුව ධනපති මහල්ලන්) නායකයන් පිටුපස යාමට සිදුව ඇත්තේ සිංහල වමේ ජවසම්පන්න තරුණ විප්ලවවාදීන් සිංහල ධනපති පන්තිය සමග එක්ව පීඩිත දෙමළ ජනයාගේ තරුණ නායකත්වය සමූළ ඝාතනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. කෙසේ වුවද තමන්ගේ ජනතාව මූණ දෙන වර්ග සංහාරයේ තර්ජනය හමුවේ සම්බන්ධන්ලා ඉටුකරන කාර්යභාරය කවර අඩුපාඩු සහිතව වුවද සිංහල වමේ අවස්ථාවාදී ස්ථාවරයන්ට වඩා කොහොමටත් මා හට "සිරාය."

ලක්ෂාන් චාමර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අකාකි නුඹ
යන්න ගියා සදහටම
හොයා ගත්තම උඹේ කබාය
පාළු වීදියක සොරාගත්
උඹේ අගනා හිම කබාය
පොලිස් කාරයොත් බය වුනා
උඹේ අවතාරයට

අදත් මහ දවාලේ
හොරකම් කරනවා හිම කබා
පොලිස් කාරයෝ බලන් ඉන්න කොට
ඉන්නවා සීතලට ගැහි ගැහී
හොයා ගන්නට බැරිව
හොයා දෙන්නට කෙනෙක් නැතිව
හොරකම් කරගත් උන්ගේ හිම කබා

පුලුවන්නම් ඇවිත්
සොයා දීපන්
හීතලට පෙරවූ හිම කබා
පොලිස්කාරයොත් බය නිසා
උඹේ අවතාරයට

අනුෂ්ක තිලකරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"අපි යමු. එක දිගටම යමු. ආපහු "ලා දොරදා" නුවරටම යමු."

එය ඇසුණු විට ෆර්මිනා දාසා ගේ ඇඟ කිළිපොලා ගියේ ය. ඔහුගේ කටහෙඬ් තිබු ඒ මහානුභාවසම්පන්න තේජස ඈ හැඳින්නා ය. අනතුරුව ඈ බැලුවේ කපිතාන්වරයා දෙස ය. ඔවුන්ගේ ඉරණම ඔහු විය. එහෙත්, ෆ්ලොරෙන්තිනෝ අරීසාගේ ඒ ආනුභවික බලපරාක‍්‍රමයෙන් තුෂ්නිම්භූත වී සිටි කපිතාන්වරයා, ඇය තමා දෙස බලනු නොදුටුවේ ය.

"ඔය ඇත්තම ද කියන්නේ?" ඔහු ෆ්ලොරෙන්තිනෝ අරීසාගෙන් විමසුවේ ය.

"මං ඉපදුණු දා ඉඳලා කිසි දෙයක් ආවට ගියාට කියලා නැහැ." ෆ්ලොරෙන්තිනෝ අරීසාගේ ක්ෂණික පිළිතුර විය.

කපිතාන්වරයා ෆර්මිනා දාසා දෙස බැලුවේය. සිසිර තුෂාරයේ ප‍්‍රථම දිස්නය ඇගේ ඇස් පිහාටු මත කාන්තිය දෙන සැටි එවිට ඔහුට පෙණුනි. ඉන්පසු ෆ්ලොරෙන්තිනෝ අරීසා දෙස, ඔහුගේ අපරාජිත බල මහිමය සහ ධීර - වීර ආලය දෙස සිය සිත එල වූ ඔහු, කල්ගත වී හෝ ජීවිතයේ අවර භාගයේ දී තමා වෙත ආ ඒ කුළුඳුල් කල්පනාවෙන් පිනා ගියේය. "අසීමිත වන්නේ, මරණයට වඩා ජීවිතය යි."

"මේ උඩු ගං යන එකයි, යටි ගං යන එකයි කොච්චර කල් කරන්න පුළුවන් වෙයි කියල ද හිතන්නෙ?" අන්තිමේ දී ඔහු ෆ්ලොරෙන්තිනෝ අරීසාගෙන් විමසුවේ ය.

ඒ පැනයට පිළිතුර අවුරුදු පනස් තුනකුත්, මාස හතක් සහ දින එකොළහක් තිස්සේ ඔහුගේ හද පත්ලේ සූදානම් ව තිබුණේ ය.

"ජීවිතේ තියෙන කල්."

-Love In The Time Of Cholera | කොළරා කාලේ ආලේ

ගාර්ෂියා මාර්කේස්
පරිවර්තනය - ගාමිණී වියන්ගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හැඟීමක් ඇති
දැනීමක් නැති
කති බොති
හුස්ම ගනිති
මළ පහ කරති
ඉරට හඳට අවනත
කළුවරට වැඩියෙන් කැමති
ලාදුරු මිනිස්සු.

මිය ගිය උන්ට වැඩියෙන්
දිවි ගෙවන වුන්
අත්හැර දමා ඇත
මුලා වි වන රොදක

උන්ටත් වැඩියෙන්
උපදින්ට ඉන්න වුන්
නන්නත්තාරය
අඳුර ඝනකම් වැඩි බැවින්

එදාට වැඩිය අද
කරන තක්සේරුවක ශේෂ පත්‍රය
නරකාදියක් නම්
අනාගත ගිණුම
අඳුරු හෙවනැල්ලක්මය
හෙට උපදින එකා
නරුමයකු වීම වැලකිය නොහැකිය

දැනීම පමනක්ම නොව
හැඟීමට ද ලාදුරු වැළඳ
ඉන්න මිනිසුන් වෙනුවට
තියෙන මිනිසුන් වීම
නොවැලැක්විය නොහැකිය.

පුනරුද මිනිසාගේ
තර්ක නැණස නැසූ සාතන්ලා
අදටත් වැඩිය නග්නව
තුටු සැණකෙළි
සව්දිය පුරවාවි
සර්ව ලාදුරු මිනිස්
ජීවිත පයින් පාගා

ඒ වෙත ඉදි වෙන
අධි වේගි මඟ
වේගයෙන් කපන ඒජන්ත කපුවන්ට
සාදුකාරයක් දෙන්න
ශිෂ්ටාචාර අන්තයට
කාලය කෙටි කරන
සසරක් වන මේ ක්‍රම කර්මයට.

උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කඳු ගැටයක් මුදුනේ ෆයින් ගස් වලින් වටවුණු කළු ගලින් තැනූ කුඩා දෙව් මැදුරකි. දෙව් මෙහෙය අවසන්ව සීනුව නාද වෙත් ම එළියට පනින කුඩා පැටවුන් දෙදෙනෙකි. පූජක තැනගේ නිවසෙහි කුඩා කළු සුදු රූපවාහිනිය මත දොස්තර හොඳ හිත පාන පෙළහර බලන්නට ගෙදර නො ගොස් බඩගින්නේ ම බෙලි දික්කරමින් සිටින උන් දෙදෙනාගේ ඉරිදා රෑ කල සිහින පිරුණේ අප්‍රිකාව දෙසට කතා කරන සතුන් රැගෙන යන නැවකිනි.

අන්තිමේ දී එපුවත පැමිණියේ ය.

ඔබ ඒ නැවෙහි නැග
පී-පී, ගබ්-ගබ්, චී-චී සමග
අප්‍රිකාවෙන් එහා පාරාදීසයකට
ලිලිපුට්ටන්ගේ දේශයෙන්
ගලිවරයන්ගේ දිවයිනකට

සාවුන්ට කන්නට තරම්
පිරිසිඳු උඳුපියලිය ඇති
නිසල තණ බිමකට
පිස්සු පූසන්ට පවා
ගී ගයන්නට අයිතියක් ඇති
ලී වලින් සැදූ
එක්තරා නිම්නයක ඇති ගෙදරකට

රජවරුන්ගෙන් ගෙන් උදුරා
දුප්පතුන්ට දන් දෙන වීරයින්
රිදී පැහැ ගංගා අසල
පෙම්වතියගේ රන් හිසකේ අතර මුහුණ සඟවන
ෂර්වුඩ් වනයට
........................
නික්ම ගිය බව

පොලිනීසියා පියාඹා විත්,
ෆයින් ගස් තරමට ම ලොකු මහත් වී
තාත්තා ද අහිමිව උන්
එක් පොඩි එකෙකු අත තැබූ
රෝල් කරන ලද තඩදාසියක
වැල් අකුරින් ලියා තිබුණි.

මහ දුකින් ඉකි ගැසූ
ඒ පොඩි උන් ඔබට
හැමදාම ණය ගැති බව කියා
බදා වැළඳ
හඬා වැළපෙන්නට
ඉපැරණි ෆයින් ගස් සොයා නික්ම ගියහ.

ටයි මාමේ,
හමුවුනොත් උන් මගක දී
වයා තණකොළ පෙත්තන්ගේ සංගීතයක්
බොහෝ කලකට පෙර මෙන්
තව එකම එක වරක්
මොහොතකට නැවතී
සනසන්න.

ඔබට සුබ ගමන්!

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"ඔබට සුව කළ නොහැකි අසනීපයක්. ගෙදර ගිහින් ඔබේ එදිනෙදා වැඩ කරගන්න."

අද හවසට රටේ සිටින දක්ෂතම වෛද්‍යවරයා ඔබට එසේ කීවොත් ඔබ කරන්නේ කුමක්ද?

ස්ටීව් ජොබ්ස් (Steve Jobs), එසේත් නැත්නම් ඇපල් මැකින්ටොෂ් (Apple Macintosh) පරිගණකයේ නිර්මාතෘ , Apple ආයතනයේ සහ Pixar Animation Studios හි ප්‍රධාන විධායක නිළධාරියා පහුගිය ඔක්තෝබර් මස පස් වෙනිදා කැලිෆෝනියාවේ පිහිටි සිය නිවසේ දී මෙලොවින් ‘සාමකාමීව’ නික්ම ගියේ තමන් පිළිකාවක් හේතුවෙන් මිය යන්නට නියමිත බැව් දැනගෙන හරියට ම වසර හයකට පසු යි‍.

"ගෙදර ගිහින් ඔබේ එදිනෙදා වැඩ කරන්න." මරණය ස්ථිර කරමින් වෛද්‍යවරුන් 2003 ඔක්තෝබර් මාසයේ දිනෙක ඔහුට පවසා තිබුණි. එදිනෙදා වැඩ කිරීම කෙසේ වෙතත් ඔහු ඉන්පසු ගෙවුණු වසර හය තුළ ඇපල් අයිපොඩ්, අයි පෑඩ් (Macbook Air, iPod, and iPhone) ඇතුළු තාක්ෂණයේ සුවිශේෂ සොයා ගැනීම් තමන් හැර යන්නට නියමිතව සිටි ලොවට දායාද කළේ තමන් සැබවින් ම විශිෂ්ටයෙකු (Genius) බව ඔප්පු කරමිනු යි. වෛද්‍ය විද්‍යාවේ හාස්කමකින් ම තවත් වසර කීපයක් ජීවත් වූ ස්ටීව් ගේ අවසන් කාලයේ පෙනුම, ඔහු ළඟින් දැන සිටි බ්ලොග්කරුවෙකු සහ තාක්ෂණික සන්නිවේදකයෙකු වන ජෝන් ග්රූබර් මෙසේ විස්තර කර තිබුණි.

"ඔහුට තිබුණේ වයසට ගිය පෙනුමක්. එය වසර වලින් හෝ දශක වලින් මැනිය හැකි වයස්ගත වීමක් නොවෙයි. නමුත් විය නොහැකි අකාරයට ඔහු වයස්ගත වී තිබුණා. ගිලාන වූ බවක් නොවෙයි. නමුත් වෙහෙසකර බවක් තිබුණා. අසනීප හෝ හරි නැති ගතියක් නොවෙයි, නමුත් කුමක් හෝ පෞරාණික ගතියක්. ඒත් ඔහුගේ ඇස්... ඒවා තරුණව දීප්තිමත්ව බබලමින් තිබුණා."

මිහිතලය මත එහි ඉතිහාසය තුළ බිහි වූ කිසිවකට සම කළ නො හැකි විස්මිතම දෙය නම් මානවයා සතු බුද්ධිය යි. තමන් විසින් ම කලක් වැඳ පුදනු තැබූ තරු කරා යම් දිනෙක යන ගමනේ ප්‍රථම පියවර වූයේ මිනිසා විසින් ගින්දර සොයා ගැනීම යි. ඉන්පසු මේ පොළව මත විවිධ සංස්කෘතීන්ට අදාළව යුද්ධයන් සහ ආගමික විශ්වාසයන් විසින් චින්තනය සිරකරනු ලැබූ ජන සමාජයන් අතර විසුව ද ඉන් සුවිශේෂී වූ අල්පයක් මිනිසුන් මිනිස් වර්ගයා ‍ ඒ තරු අතර දෙවිවරුන් බවට පත් කරනු ලැබීය. පෘථිවිය යනු කෙළවරට ගියවිට බිමට වැටෙන හතරැස් වස්තුවක් බව විශ්වාස කළ ලෝකයට එය ගෝලාකර වස්තුවක් බව වටහා දීමට සොක්‍රටීස් ට වස බොන්නට සිදුවිය. රයිට් සහෝදරයින් ලොව ප්‍රථම ගුවන් යානය නිපදවන විට ඔවුන්ට බුද්ධිමත්තු සිනාසුණහ. ඇදහිල්ලෙන් ඔබ්බට ගොස් ඇත්ත ඇති සැටියෙන් සොයාගන්නටත් ඉනුත් ඔබ්බට ගොස් විශ්වයෙහි මෙතෙක් නොවූ විරූ දේ නිපදවන්නටත් සමත් වූ එබඳු මිනිසුන්, මහ පොළව, බලය හෝ ඇදහිල්ල වෙනුවෙන් තම වර්ගයා සේම සොබා දහම ද වනසා දමන; ඒ වෙනුවෙන් ධජ පතාක නංවන එසේ නැතහොත් ලද ජීවිතය එසේම ගෙවා පොළවට පස් වන මිලියන ගණනක් කණාමැදිරියන් වන පෘථිවි වාසීන් අතර සූර්යයන් බවට පත් වන්නේ ඔවුන් දල්වා ගිය ඒ හිරු පහන් වල දීප්තිය මානව ප්‍රගමණය තුළ කිසිදා මැකී නොයන නිසා නොවේද?

1954 දී අවිවාහක උපාධි අපේක්ෂිකාවකට දරුවෙකු පිළිසිඳුණු අතර ඇගේ විවාහයට සිය පියාගෙන් එල්ල වූ බාධා නිසා කළ හැකි හොඳම දෙය ඒ දරුවා හදා වඩා බව තීරණය කෙරිණි. ඇයට අවශ්‍ය වුණේ මේ දරුවා යම් දවසක උසස් විද්‍යා‍ලයක අධ්‍යාපනය කරා යොමු කිරීමේ හැකියාවක් ඇති උපාධිධාරී මව් පිය යුවළකට හදා වඩා ගැනීමට දීමට යි. සිය දරුවාගේ අනාගතය ගැන එතරම් සැලකිලිමත් වුණත් ඒ දරුවා ඉන් හරියට ම අවරුදු පණහකට පසු ලෝකයේ සුප්‍රසිද්ධ ම විශ්වවිද්‍යාලයක් වන ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයක දි අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා 2008 දි වෙස්ලියන් විශ්වවිද්‍යාලයෙදි කළ දේශනය, 1997 දි එලී වයිසල් ඩිපෝල් විශ්වවිද්‍යාලයේ දී කළ දේශනය සහ 1947 දි ජෝර්ජ් මාෂල් හාවඩ් විශ්වවිද්‍යාලයෙදි කළ දේශනය වැනි ලෝක පූජිත දේශනයන් අභිබවා යන ලෝ ප්‍රකට දේශනයක් කරන මහා නිමැවුම්කරුවෙක්, ව්‍යාපාරිකයෙක් බවට පත්වීමට නියමිතව සිටි බැව් ඇය මොහොතකටවත් දැන නො සිටින්නට ඇත. මේ ලිපිය සඳහා පදනම් වන එක් මූලාශ්‍රයක් වන්නේ 1955 පෙබරවාරි 24 වැනිදා මෙලොවට පැමිණ මානව බුද්ධියේ ආකාශ අන්තයන් පරයා ගිය ස්ටීව් ජොබ්ස් නම් වූ පරිගණක දැවැන්තයා තමන්ට පිළිකාවක් වැළඳී ඇති වග වෛද්‍ය විශේෂඳයන් විසින් සොයා ගැනීමෙන් වසරකට පසුව 2005 ජුනි මස 12 වන දින ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධිලාභීන් අමතමින් කරන ලද සරළ, ඍජු එහෙත් මානව ගුණයෙන් උත්කෘෂ්ට වූ දේශනය යි.

"මම ඔබට ලොකු දෙයක් කියන්නෙ නෑ. මට කියන්න තියෙන්නෙ කතන්දර තුනක්." ඔහු සිය කතාව අරඹන්නේ එසේයි.

ඔහුගේ පළමු කතාව "තිත් යා කිරීම " ගැන යි. ස්ටීව් ගේ ජීව විද්‍යාත්මක මවට අවැසි වූ පරිදිම ඔහු හදා වඩා ගැනීම නියමිතව තිබුණේ නීතිඥ පවුලකට වුවද අවසන් මොහොතේ ඔවුන්ට "දියණියක" අවශ්‍ය වූ නිසා ලැයිස්තුවේ ඊළඟට සිටි, උසස් විද්‍යාලයකින් උපාධියක් නොලද එහෙත් නිශ්චිතවම ස්ටීව්ට උසස් අධ්‍යාපනය හිමි කර දෙන බවට වූ පොරොන්දුව මත පෝල් හා ක්ලාරා ජොබ්ස් යුවළට ඔහුගේ මාපිය තනතුරු හිමිවිය. ස්ටීව් හැදී වැඩී උස් මහත් වූ පසු උසස් අධ්‍යාපනය සඳහා රීඩ් විද්‍යාලයට ඇතුළු වූවද මාස 18 කට පසු ඉන් ඉවත් වන්නේ වැඩ කරන පන්තියට අයත් තම දෙමාපියන්ට ස්ටෑන්ෆර්ඩ් තරමට ම මිල අධික රීඩ් විද්‍යාලයේ වියදම් දැරීම අපහසු බව මෙන්ම එය ඵලක් නැති දෙයක් යැයිද ඔහුට හැඟුණු නිසාවෙනි.

"මට කිසිම අදහසක් තිබුණෙ නෑ මම මගේ ජීවිතයේ මොකක්ද කරන්න යන්නෙ, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයෙන් මට කොහොමද ඒකට උදව් කරන්නෙ කියලා. මගේ දෙමව්පියෝ තමන්ගෙ ජීවිතේ ඉතිරි කාලේ ගෙවා ගන්න තියෙන හැම සතයක්ම මට වියදම් කරමින් හිටියා. ඒ වෙලාවෙ හැටියට මම පාසලෙන් අයින් වෙන්න ගත්ත තීරණය ටිකක් භයානක වුණත්, අද හැරිලා බලද්දි මට හිතෙනවා ඒ මම මගෙ ජීවිතේ දි ගත්ත හොඳම තීරණ වලින් එකක් කියලා. විශ්ව විද්‍යාල ගමන නවත්තපු පළමු මිනිත්තුවෙම මට පුලුවන් වුණා මම අකමැති පන්ති නවත්තලා දාලා මට ආස දේවල් ඉගෙන ගන්න.

හැබැයි ඒක ඒ තරම් සුන්දර වුණේ නෑ. මට නවාතැනක් තිබුණෙ නැති නිසා මම නිදා ගත්තෙ යාළුවන්ගෙ කාමරවල බිම පොළවෙ. කොකා කෝලා බෝතලයකට දෙන සත පහේ තැන්පතු මුදල් ලබා ගන්න හිස් කොකා කෝලා බෝතල් විකුණලයි මම කන්න සල්ලි හොයා ගත්තෙ. සතියකට එක වරක් හොඳ කෑම වේලක් කන්න හැම ඉරිදා රෑකම හැතැප්ම 7 ක් පයින් ගියා හාරේ ක්‍රිෂ්ණා කෝවිලට. මම ඒවා කරේ කැමැත්තෙන්. ආසාවෙන්. ඒ වගේම මගේ කුතුහලය සහ ඇතුළාන්ත ඥානය මාව පොළඹවලා කරපු දේවල් ජීවිතයේ පසු කාලයක මිල කළ නොහැකි තරම් වටිනා දේවල් බවට පත්වුණා. මම ඔබට ඊට එක් උදාහරණයක් දෙන්නම්.

රීඩ් විද්‍යාලය සතුව තමයි ඒ වන විට රටේ හොඳම යයි කිව හැකි අභිලේඛන පාඨමාලාව (විචිත්‍ර අක්ෂර කලාව- Calligraphy) තිබුණේ. මුලු විශ්ව විද්‍යාලය පුරාම තිබුණු හැම පෝස්ටරයකම හැම ලියවිල්ලකම ඒ ලස්සන අක්ෂර කලාව තිබුණා. සාමාන්‍ය පන්ති වලින් ඉවත්වූ නිසා මම තීරණය කළා ඒ පාඨමාලවක් හදාරන්න. මම "සෙරීෆ්" සහ "සැන් සෙරීෆ්" අකුරු මුහුණත් ගැන ඉගෙන ගත්තා. අක්ෂර කලාවේ විවිධ රහස් ඉගෙන ගත්තා. එහි විද්‍යාවට හසු නොවන ලස්සනක්, ඓතිහාසික බවක් , කලාත්මක වූ සියුම් බවක් තිබුණා. මම එයින් විස්මයට පත්වුණා.

නමුත් මේ කිසිවක් ප්‍රායෝගිකව මගේ ඉදිරි ජීවිතයට වැදගත්වන බවට සළකුණක් වත් තිබුණෙ නෑ. ඒත් ඉන් අවුරුදු 10 කට පස්සෙ අපි පළමු මැකින්ටොෂ් පරිගණකය නිපදවද්දි ඒ සියල්ල නැවත වුවමනා වුණා. ඒ දැනුම අපි ‘මැක්’ (Mac පරිගණකය) තුළ ස්ථාපිත කළා. ඒක තමයි ලෝකයේ එකිනෙකට වෙනස් ලස්සන අක්ෂර රටාවන් සහිත පළමු පරිගණකය වුණේ. මම එදා ඒ පාඨමාලාව හැදෑරුවේ නැත්නම් අද තිබෙන වෙනස් වූ අක්ෂර රටාවන් හෝ සමානුපාතික අවකාශයන් සහිත මුද්‍රණ අකුරු මැක් පරිගණකය තුළ කවදාවත් අඩංගු වෙන්නෙ නෑ. වින්ඩෝස් ( Windows) කළේ මැක් (Mac) කළ දෙය අනුකරණය කිරීම පමණ යි. ඉතිං මම එදා ඒ පන්තියට නිකමට වගේ නොගියා නම් අද කිසිම පෞද්ගලික පරිගණකයක ඒ අපූරු අක්ෂර රටාවන් අතුළත් වෙන්නේ නෑ. ඇත්තටම මම විශ්වවිද්‍යාලයේ ඉඳිද්දි මේ තිත් පේළිය ඉදිරියට ගළපන්න මට බැරිවුණා. නමුත් අවුරුදු දහයක් ඉදිරියට ඇවිත් ආපහු බලන කොට එය ඉතාම පැහැදිළිව කරන්න හැකිවුණා.

නැවත කිව්වොත්, ඔබට බෑ ඉදිරි අතට මේ තිත් ගළපන්න. ඔබට එය කරන්න පුලුවන් වෙන්නේ ආපස්සට යි. ඉතිං ඔබට සිදුවෙනවා විශ්වාස කරන්න අනාගතයේ යම් දිනෙක මේ තිත් යාවෙන බව. ඔබට සිදුවෙනවා යමක් පිළිබඳව විශ්වාසය තබන්න. ඔබේ ආත්ම විශ්වාසය, දෛවය, කර්මය මේ ඕනෙ දෙයක් ගැන. එයින් මට කිසිදාක වැරදිලා නෑ. මගේ ජීවිතයේ සියලු වෙනස්කම් සිදුකළේ මගේ ඒ ක්‍රමය යි."


ඔහුගේ දෙවන කතාව ‘ආදරය සහ අහිමිවීම’ ගැන යි.

තමන් ආදරය කළ දේවල් ජීවිතයේ මුල් කාලයේ දී ම කරන්න ට ඉඩ ලබා ගනීමට තරම් වාසනාවන්ත වූ ස්ටීව්, විසි වියේ සිටිය දී සිය දෙමාපියන්ගේ ගරාජයේ සිය මිතුරා වොස් සමග Apple ආයතනය ඇරඹීය. අධිකතර වෙහෙසකාරී වූ වසර 10 කට පසු ඔවුන් දෙදෙනා 400 කට වඩා අධික සේවක සංඛ්‍යාවක් සහ ඩොලර් බිලියන දෙකක් වටිනා ආයතනයක් ගොඩ නගා තිබුණි. ඉන් හරියට ම වසරකට පසුව ඔවුන්ගේ විශිෂ්ටත ම නිර්මාණය වූ Apple Macintosh පරිගණකය වෙළඳපොළට නිකුත් කෙරුණු අතර ඒ වන විට ස්ටීව් ගේ වයස අවුරුදු 30ක් විය.

"ඉන් පසුව මාව අස්කළා" ඔහු කියයි.

එය සිදු වී ඇත්තේ ඔවුන් විසින් පසුව සේවයට බඳවා ගන්නා ලද තැනැත්තෙකු හේතුවෙනි. ඔහු බඳවාගෙන වසරක් යන තුරු සියල්ල හොඳින් සිදු වී ඇති අතර ක්‍රමයෙන් දේවල් වෙනස් වී අධ්‍යක්ෂ මණ්ඩලය ද තමන්ගේ කීමට නම්මවා ගැනීමට සමත් වූ ඔහු විසින් ප්‍රසිද්ධියේ ම ‘ස්ටීව් ජොබ්ස්’ නොහොත් Apple ආයතනයේ නිර්මාතෘව එයින් නෙරපවා හරිනු ලැබිණි. සියලු බලාපොරොත්තු සහ සිහින බිඳ වැටුණු ස්ටීව් කිසිවක් සිතා ගත නො හැකිව ගත කළ මාස කිහිපය ඉතා පීඩාකාරී වූ කාලයක් වූයේ ඔහු අසාර්ථකත්වයට ප්‍රසිද්ධ උදාහරණයක් බවට තමන් ගොඩ නැගුණු පරිසරය තුළ ම පත්වීම නිසා ය. ඔහු තමා කළ දෙයට දැඩි සේ ආදරය කළ අතර අවියෝජනීය ලෙස ඒ හා බැඳී සිටියේ ය.

"මට ඒ වෙලාවෙ තේරුණෙ නෑ. නමුත් මම පසු කාලෙක තේරුම් ගත්තා. Apple වලින් ඉවත් කිරීම තමයි මට සිද්ධ ‍වුණ හොඳම දෙය. නැවතත් ආරම්භකයෙකු වීමේ ‘සැහැල්ලුව’ විසින් සාර්ථකත්වයේ ‘බරින්’ මාව නිදහස් කරනු ලැබුවා. ජීවිතයේ දී එළඹුණු වඩාත් ම නිර්මාණාත්මක යුගය අරඹන්නට මට නිදහස හිමිවුණා."

ඔහුට ඔහුගේ ජීවන සහකාරිය වන ලෝරන්ස් හමුවන්නේද මේ කාලයේ දී ම ය. බීට්ල්ස් ගායක කන්ඩායමට හා බොබ් ඩිලන් ට දැඩිව ඇලුම් කළ ඔහු තමන් ඇපල් ආයතනය නො ඇරඹුවේ නම් ජපානයට ගොස් සෙන් භික්ෂුවක් විය හැකිව තිබුණු බැව් පවසා තිබුණි. ඔහු ලෝරන්ස් හා 1991 දී විවාහ වන්නේ ද සෙන් බෞද්ධ භික්ෂුවක ඉදිරිපිටය.

ඊළඟ වසර 05 තුළ NeXT නම් ආයතනය ඇරඹූ ස්ටීව් Pixar නමින් තවත් ආයතනයක් ආරමිභ කළේය. ලෝකයේ ප්‍රථම සජීවි පරිගණක වෘත්තාන්ත චිත්‍රපටය වන ‘Toy Story’ Pixar හි නිපදවනු ලැබූ අතර වත්මන් ලෝකයේ අති සාර්ථකම සජීවිකරණ ස්ටුඩියෝව ලෙස සැළකෙන්නේ එය යි. අමතක කළ නොහැකි සිදුවීම් පෙළකින් පසු Apple විසින් NeXT මිළ දී ගැනීමත් සමග ස්ටීව් නැවත Apple හා සම්බන්ධ විය. පසු කලෙක Appleහි ඇතිවූ පුනරුදයේ හදවත බවට පත්වන්නේ NeXT හි සිටියදී ඔහු දියුණු කළ තාක්ෂණය යි.

තමන් Apple වෙතින් ඉවත් කරනු නො ලැබුවේ නම් කිසිදෙයක් මේ තරම් යහපත් ලෙස සිදු නො වනු ඇති බැව් ඔහුගේ විශ්වාසය යි. එය ඔහුට අවශ්‍ය ම වූ මොහොතක දී ලැබුණු තිත්ත රසැති ‍‍ඖෂධයක් විය.

"ජීවිතය ඇතැම් විට ඔබේ ඔළුවට ගලකින් ගහනවා. නමුත් විශ්වාසය නැතිකරගන්න එපා. මගේ ගමනේ රහස මා කළ දෙයට මා ආදරය කිරීම යි. වැඩ කියන දෙය ඔබේ දිවියේ විශාල කොටසක් පුරවනවා. එයින් ඇත්තට ම තෘප්තිමත් විය හැකි ක්‍රමය නම් තමන් කරන දෙය උසස් දෙයක් බවට පත් කරගැනීමට වෙහෙස වීම යි. ඒ වෙනුවෙන් කළ හැකි දෙය නම් කරන දෙයට ආදරය කිරීම යි. එය ඔබට තවම හමුවී නැත්නම් හොයන්න. නතර වෙන්න එපා. ඔබට එය හමු වූ විට ඔබේ හදවත එය ඔබට ස්ථිර කරාවි. ඕනෑම ශ්‍රේෂ්ඨ සම්බන්ධතාවක දී සිද්ධ වෙන ආකාරයට වසරින් වසර එය වඩාත් යහපත් වෙයි. ඉතිං එය හමුවන තුරු සොයන්න. නවත්වන්න එපා."

කෝටිපතියෙකු වූ ඔහුට සිය ඩෙනිම් කලිසම්වල හිල් තිබීම ගැන වගේ වගක් නොවී ය. ඔහු කිසිදාක සිය ඇඳුම් ගැන සුවිශේෂ සැලකිල්ලක් නො දැක්වූවේ ය. ඔහුව කොතෙකුත් දක්නට ලැබුණේ ඩෙනිම් කලිසමකින් හා ටී ෂර්ට් එකකින් නැතහොත් කොට කලිසමකින් සැරසී ය. ඔහු ඇපල් ආයතනයේ ප්‍රධානියා ලෙස ලබා ගත් වැටුප වූයේ වසරකට එක් ඩොලරයක් පමණි. එහෙත් ඔහු සතුව තිබුණු කොටස් හිමිකම් සහ වත්කම් අනුව ඔහු අමෙරිකාවේ පොහොසතුන්ගේ ලැයිස්තුවෙහි 42 වැනි ස්ථානයේ ද ලොව පොහොසතුන් අතර 110 වන ස්ථානයේ ද සිටියේ ය. 2011 ඔක්තෝබර් නම වැනිදා කරන ලද ලැයිස්තුගත කිරීම් වලට අනුව ස්ටීව් ජොබ්ස් තනිව සහ සාමූහිකව හිමිකරගෙන සිටි පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව 342 ක් වූ අතර ඒ සියල්ල තාක්ෂණික සහ පරිගණක කෙෂ්ත්‍රයට අදාළ වූ ඒවා විය.

මරණයේ සෞන්දර්යය ජීවිතයට වඩා කිසිසේත් නරක දෙයක් නොවන බැව් වටහා ගැන්මට අසීරු මිනිස් මනස සදාකාලික ජීවිතයක් වෙනුවෙන් නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරයි. තමන්ට ස්ථිරසාරවම මරණය සම්මුඛ වී ඇති ස්ටීව් සිය තෙවන කතාව ලෙස මරණය ගැන කතා කළේ ය. මේ ඔහුගේ ම වචන යි.

"මට අවුරුදු 17 දි මම මෙන්න මෙහෙම දෙයක් කියෙව්වා. ‘ඔබ ජීවත් වන හැම දවසක් ම එය ඔබේ ජීවි‍තයේ අවසාන දවස ලෙස ගත කළහොත් යම් දිනෙක ඔබ වඩාත් නිවැරදි පුද්ගලයෙකු වනු ඇත.’ එය මා තුළ වෙනසක් ඇති කළා. එදා පටන් පසුගිය වසර 33 පුරාවට ම හැම උදෑසනක ම කණ්නාඩිය ඉදිරිපිට හිටගෙන මම මෙහෙම අහනවා. ‘අද මගේ ජීවිතයේ අවසාන දවස නම් මම කරන්නේ අද මම කරන්න හිතාගෙන ඉන්න දේවල් ම ද?’ බොහෝ කාලයක් ඊට පිළිතුර වුනේ ‘නැහැ’ කියන එකයි. දේවල් වෙනස් විය යුතු බව එවිට මම තේරුම් ගත්තා.

මගේ ජීවිතයේ කළ බරපතල තේරීම් වලට මට උදවු වුනේ මා ඉතා ඉක්මණින් මිය යන්නට සිටින මිනිසෙකු බව මතක් කරගැනීම යි. මන්ද, මරණය ඉදිරිපිට දී සියලු බාහිර බලාපොරොත්තු, ආඩම්බරය , දුෂ්කරතා හෝ පරාජයන් ගැන ඇතිවන බය - මේ සියල්ල නැතිවෙලා යනවා. ඉතිරිවෙන්නේ ඇත්තට ම වැදගත් දේවල් පමණ යි. ඔබ මැරෙන්න ඉන්න බව මතක තියා ගැනීම ඔබට උදව් කරනවා ඔබට නැතිවෙන්න දේවල් තියෙනවා කියන සිතුවිල්ල නමැති උගුලෙන් ගැළවෙන්න.

වසරකට පමණ කලින් සොයා ගැණුනා මට පිළිකාවක් වැළඳී ඇති බව. එක්තරා උදෑසනක 7.30 ට පමණ කරන ලද ස්කෑන් එකකින් මගේ අගන්‍යාශයේ ගෙඩියක් පෙන්නුවා. මම ඇත්තටම දැනගෙන හිටියෙ නෑ අගන්‍යාශය කියන්නෙ මොකක්ද කියලවත්. වෛද්‍යවරු මට කිව්වා මෙය අනිවාර්යයෙන් ම සුව කළ නො හැකි, මරණය නියත පිළිකාවක් බවත් මට ජීවත් වීමට ඇත්තේ තව මාස තුනත් හයත් අතර කාලයක් බවත්. ඔවුන් මට කිව්වා ගෙදර ගිහින් සුපුරුදු ලෙස වැඩ කරන්න කියලා. වෛද්‍ය භාෂාවෙන් කියනවා නම් ඔවුන් මට කිව්වෙ මැරෙන්න ලෑස්ති වෙන්න කියලා. තව අවුරුදු 10 ක් තිස්සෙ ළමයින්ට කියලා දෙන්න හිතන් ඉන්න කතන්දර මාස කීපයකින් කියලා ඉවර කරන්න කියලා. පවුලෙ කටයුතු හරියට ලෑස්ති කරලා තියන්න කියලා. කොටින්ම සමු ගැනීම පටන් ගන්න කියලා.

එදා දවසම ඒ සොයා ගැනීම එක්ක ගත වුණා. එදා හවස නැවත මගේ පටක විශ්ලේෂණයක් කළා. ඔවුන් මගේ අගන්‍යාශයේ ඇති ගෙඩියෙන් සෛල කිහිපයක් රැගෙන එය පරීක්ෂා කළා. මම හිටියේ සිහිනැතිව. නමුත් මගේ බිරිඳ පසුව මට කියූ පරිදි ඒ පිළිකාව ශල්‍ය කර්මයකින් ඉවත් කළ හැකි දුර්ලභ ගණයේ එකක් බව තේරුම් ගත් වෛද්‍යවරුන් සතුට දරා ගනු බැරිව හඬා වැළපී තිබුණා. ඔවුන් ශල්‍ය කර්මය කළා. මම දැන් හොඳින්.

ඒ මට මරණය සම්මුඛ වූ ආසන්න ම අවස්ථාව යි. මම බලාපොරොත්තු වෙනවා තව දශක කීපයකට ඒක එහෙම ම වෙයි කියලා. ඒ මොහොත පහු කළාට පස්සෙ කලින් බුද්ධිමය වශයෙන් පමණක් ප්‍රයෝජනවත් සංකල්පයක්ව පැවතුණු මරණය ගැන යමක් ස්ථිරව මට ඔබට කිව හැකියි.

කිසිවෙක් මැරෙන්න ආස නෑ. අඩුගානෙ ස්වර්ගයට යන්න හිතන් ඉන්න අයවත් කැමති නෑ මරණය හරහා එතනට යන්න. නමුත් මරණය කියන්නෙ අපි හැමෝට ම පොදු ගමනාන්තය. කිසිවෙක් එය මගහැරලා ගිහින් නෑ. ඒක එහෙම ම තමයි වෙන්නෙ, මොකද මරණය තමයි ජීවිතයෙදි කරන්න පුලුවන් හොඳම සොයා ගැනීම‍. එය යි ජීවිතයෙ විපර්යාසකාරකයා. එය පැරණි දෙයට අලුත් වෙන්න මග පාදලා දෙනවා. මේ මොහොත දි ඔබ අලුත්. නමුත් කාලය ගතවෙද්දි ඔබ පරණ වෙනකොට ඔබව ඉවත් කරනු ලබනවා. මේ කරම් නාට්‍යානුසාරීවීම ගැන සමාවෙන්න. නමුත් ඇත්ත ඒකයි.

ඔබේ කාලය සීමිත යි. ඒ නිසා එය වෙන කාගෙ හරි ජීවිතයක් ගත කරමින් නාස්ති කරන්න එපා. අනෙක් අයගේ චින්තනයන් වල ප්‍රතිඵල සමග ජීවත්වෙන දෘෂ්ටිමය උගුල්වලට අහුවෙන්න එපා. ඔබේ ඇතුළාන්තයෙන් නැගෙන ස්වරය අනෙක් අයගේ මතවාදවල හඬට යටවෙන්න දෙන්න එපා. වඩා වැදගත් දෙය වන්නේ ඔබේ හදවතට සහ ඇතුළාන්ත ඥානය ට ඇහුම්කන් දීමට තරම් ධෛර්ය සම්පන්න වීමයි. ඒවා කෙසේ හෝ දන්නවා ඔබ කවරෙක් විය යුතු ද කියලා. අනෙක් සියල්ල ද්විතීයික යි.

මම තරුණ වියේ දී ‘The Whole Earth Catalogue’ කියලා අපූරු ප්‍රකාශනයක් නිකුත් වුණා. එය මා අයත්වන පරම්පරාවට බිහි වූ බයිබල්වලින් එකක්. එය නිර්මාණය කළේ මෙතන ඉඳලා වැඩි දුරක් නැති තැනක ජීවත් වුන ස්ටූවර්ට් බ්‍රෑන්ඩ් කියලා පුද්ගලයෙක්. ඔහු ඒ ප්‍රකාශනය සඳහා තමන්ගේ කාව්‍යමය ප්‍රතිභාවත් යොදා ගත්තා. මෙය සිද්ධ වුණේ 1960 ගණන්වල මුල් කාලේ, ඒ කියන්නෙ පෞද්ගලික සහ ඩෙස්ක්ටොප් පරිගණක එන්න කලින්. එහි සියලු කටයුතු කෙරුණේ යතුරුලියන, කතුරු සහ පොලොරොයිඩ් කැමරා භාවිත කරමින්. එය හරියට ගූග්ල් (Google) මුද්‍රිත මාධ්‍යකට දැම්මා වැනි දෙයක්. ගූග්ල් එන්න වසර 35 කට කලින් ඔහු කළ ඒ දෙය එය පරමාදර්ශී, පිරිසිදු ක්‍රමවේද සහ උසස් සංකල්ප වලින් පිරුණු දෙයක් වුණා.

ස්ටුවර්ට් සහ ඔහුගේ කණ්ඩායම ‘The Whole Earth Catalogue’ කිහිපවරක්ම මුද්‍රණය කළා. සිය අරමුණ ඉටු වූ පසු ඔවුන් එහි අවසාන මුද්‍රණය පිට කළා. ඒ 1970 මැද භාගය යි. මම හිටියේ හරියට ම ඔබේ වයසේ. ඒ අවසාන මුද්‍රණයේ පිටුපස කවරයේ ඔවුන් ගම්බද පළාතක පාරකට හිමිදිරිය එළඹෙන පින්තූරයක් මුද්‍රණය කරලා තිබුණා. ඔබ ඉතා ගවේශනශීලී අයෙකු නම් ඔබව නවත්ත ගන්න අන්දමේ දර්ශනයක් ඒක. ඊට යටින් මෙන්න මේ වචන ටික ලියලා තිබුණා. "කුසගින්නේ සිටින්න. මෝඩයෙකු වී සිටින්න." ඒ ඔවුන්ගේ සමුගැනීමේ පණිවුඩය යි. කුසගින්නේ ඉන්න. මෝඩයෙකු වී ඉන්න. මම මා වෙනුවෙන් හැමදාම ප්‍රාර්ථනා කළේ එය යි. දැන් ඔබ නව මිනිසෙකු ලෙස උපාධිධරයෙකු වන මේ මොහොතේ මම ඔබ වෙනුවෙනුත් එය ම ප්‍රාර්ථනා කරනවා.

"කුසගින්නේ සිටින්න. මෝඩයෙකු වී සිටින්න."

"Stay hungry; stay foolish"

ඔබ සැමට ස්තූතියි."




ආශ්‍රිත වෙබ් අඩවි:
allaboutstevejobs.com
wikipedia.org
tech.fortune.cnn.com
youtube.com

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඇත්තටම ලංකාව කියන්නේ මහා අවාසනාවන්ත රටක්‍. හා බොරුද මං අහන්නෙ? එක පැත්තකින් රට ආශ්චර්යයක් කරන්න බර කතාවක්. හැබැයි අනික් පැත්තට නීතිය, සදාචාරය, සංස්කෘතිය වනචාරී වෙලා, ගන්න දෙයක් නැහැ. ඉන්දියන් සාගරෙන් වටවෙලා, කොටුවෙලා ඉන්න මිනිස්සු මේක තමයි ආසියාවේ ආශ්චර්යය කිය කියා බයිලා ගගහා ඉන්නවා.

සිද්ධි සිද්ධි ගත්තොත් වෙනමම පොතක් ලියන්න තරං තියෙනවා. ඒත් ආසන්නයෙන්ම සිද්ධ වුණු ජනාධිපති උපදේශකවරයාගෙයි, ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රීගෙයි ආයුධ සට‍නට දවස් ගානක් ගිහිං මොකුත් සිද්ධ වුණේ නැති ගානට තමයි කටයුතු සිද්ධ වෙන්නේ. බීබීසී මාධ්‍යවේදියා ඇහුවම ගත්ත පියවර මොනවද කියලා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා ස්වාධීන පරීක්ෂණ කරනවලු. දැන් අලුත්ම ආරංචිය තමා උපදේශකයට වෙඩි තියලා තියෙන්නෙ මෝල් ගහක් ලු!

මේ සිද්ධියේදි එළියට එන‍ ලොකුම ගැටළුව තමයි මේ සිද්ධියට සම්බන්ධ එක පුද්ගලයෙක් ලංකාවේ ජනාධිපතිවරයාගේ උපදේශකයෙක් වීමත් අනෙකා පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙනෙක් සහ ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්රීකවරයෙකු වීම. හැංගි හැංගි නටපු නැටුම් වල හෙළුවැල්ල එළියට එන්නෙ දැං. රටේ ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී තුමාට පාතාල සම්බන්ධකම්, ස්ත්‍රී දූෂණ චෝදනා විතරක් නෙවෙයි මත් ජාවාරම් චෝදනාත් තිබුණා කියලා නොදන්නේ ආරක්ෂක අමාත්‍යාංශ ලොක්කා විතරයි මං හිතන්නේ. ඒ කොහොම වුණත් මේවා සිද්ධ වුනාට පස්සේ කිසිම ප්‍රකාශයක් නිකුත්කරන්න ආණ්ඩුව ක්‍රියා නොකිරීමෙන් පේනවා මේ සියල්ල බොහෝම අවැදගත්, බලාපොරොත්තුවිය හැකි දේවල් කියලා. රට කරනවන ආණ්ඩුව පාතාලය, මැරකම, ස්ත්‍රී දූෂණ නිල නොවන වශයෙන් පිළිගන්න එකද ලංකාව අළුතින් පියනගන ආශ්චර්යය?

පහුගිය කාලේ ආයුධ පෙන්නන්න ගිහිං මරලා දැම්ම, වතුරෙ ගිගිලා මැරුණු පාතාලේ එවුන්ගේ ලොක්කා මේ අතර ඉන්නවද? එහෙම සැකයක් තියෙනවනම් ඒවට පරීක්ෂන කරලා දඩුවම් දෙනවට වඩා උන්ට තව තව ආණ්ඩුවේ උපදේශක තනතුරු දෙන එක කොච්චර ලැජ්ජා නැති කමක්ද? මේ ඔක්කොමත් කරලා ඉවරවෙලා කවුරුහරි ඇහුවොත් ඇමති කෙනෙක් ගෙන් මේවා වැරදියි නේද කියලා, ඌ බල්ලෙක් වගේ හපන්න පැනල කියනවා" පුළුවන්නං ඔප්පු කරලා පෙන්නන්න" එහෙමත් නැත්තං "ඔය බොරු මඩකතා, ඡන්දෙන් මිනිස්සු ඔප්පු කරලා තියෙනවා සාමාන්‍ය ජනතාව ඔය බොරු කතාවලට රැවටෙන්නේ නෑ කියලා". මං කියන්නේ මෙච්චර කරුණු පෙනී පෙනී ඔප්පු‍ වෙලත් මුංට රැවටෙන වෘෂභ මිනිස්සු ලෝකේ අවාසනාවන්තම ජාතියක් කියලා කිව්වම වැරදිද?

අවංකවම කතා කරොත් මේ මැරයන්ගෙන් (කැළණියෙ එකා සහ සුදු රෙදි පෙරවං ඉන්න එවුන්ද ඇතුළව) ඇත්තටම වැඩ ගන්නේ කවුද කියන එක කල්පනා කරන එක මොළේ තියෙන මිනිස්සුන්ට තියෙන ගෙ වගකීමක්. රටේ බහුතර ජනතාවක් අන්තෙටම ප්‍රතික්ෂේප කරපු මේ ජාවාරම්කාරයො ටිකට සැපදීලා ආණ්ඩුවේ ඇතුලේ තියාගෙන ඉන්නේ කාගේ වුවමනාවටද? ආණ්ඩුව ඔච්චර පාතාල මර්දනයට ආසයිනං මොන මගුලකටද පාතාලේ එවුන්ට ශ්‍රී ජයවර්ධනපුර රෝහල වටකරන්න දීලා තියෙන්නේ? ඇයි ඔය මහලොකු පාතාල මර්දන චන්ඩින්ට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි? හේතුව සරලයි. ඔය මහලොකු පොරවල්ගේ, ලොක්කොන්ගේ කැත චරිතෙ හැංගිලා තියෙන්නේ මුං අස්සේ. මොන මොන ප්‍රශ්ණ තිබුණත් සිවිල් පුරවැසියෙක්ට තවත් සිවිල් පුරවැසියෙක් (සිවිල් තිරි‍සනෙක්) පහර දීම වීඩියෝ කරලා දුන්නටත් පස්සේ ඌව අත්අඩංගුවට අරං නිතිය ක්‍රියාත්මක කරන්න බැරි ඒකයි.

දැං ඔය ඇල්වතුරත් නිවලා බොන ජාතියේ ආගම විකුණගෙන කන අයියලයි, අධෝවාතයක් ගියත් බටහිර කුමන්ත්රලණ ගැන කියවන ස්කිසොෆීනීයාකාරයොයි, ලෝක සමාජවාදී අධිරාජ්යන ලංකාවෙන් ගොඩනගන්න දත කන මේ ආණ්ඩුවේ සුදෝ සුදු බකමූණන්ට මේවා පෙන්නේ නැද්ද? එහෙමත් නැත්තං දැක්කේ නෑ ව‍ගේ ඉන්නවද? මහලොකුවට "මතට තිත" කියලා පන්සිල් රක්කවන්න දගලන කට්ටිය කුඩු කාරයෙක් ආමාත්‍යාංශයක් අධීක්ෂණය කොරනකල් උඩ බලාගෙන හිටියද? පිස්සුද!!! මුං ඔය ජඩ වැඩ ඔක්කොම දන්නවා. ඒත් උංට සැපයි මස්ටික සූප්පු කරලා එළියට දාන කටු ලෙවකන එක‍. මොකද නිකං ඉදලා කටු කෑවට එළියට ඇවිත් මස්කට්ටක් කන්නත් ඇග මහන්සි කරවන්න ඕනනේ. දැන් ඉතිං කරන්න තියෙන්නේ ඉදලා හිටලා එළියට ඇවිත් වචන ටිකක් හපලා ජනතාවගෙ මූණට එවුවයෙන් කෙළ ගහන එක විතරයි.

ඉතිං තව දුරටත් අපි ආශ්චර්යයක් බලාපොරොත්තු වෙනවද? එහෙම බලාපොරොත්තු වන චූටි බබාල තුනෙන් දෙකට (දැන්නං ඊටත් වැඩියි මං හිතන්නේ) අපිට කියන්න තියෙන්නේ "සොරි" කියලා විතරයි. ලංකාව ආශ්චර්යය කරන්න නං මහා ලොකු වැඩ ඕන නෑ. වැඩිපුර කොමිස් ගහන්න පුළුවන් අධිවේගී මාර්ග, සුපිරි ආයුධ ඕන නෑ. අංක එකටම අධිකරණය, නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. ඒවාට අවස්ථාවාදී නොවී හැමෝටම එක විදිහට සලකන්න. ගේන අණපනත් අවංකව රටේ සුබසිද්ධියට බලපාන විදිහට ගේන්න. කොමිස් වලට, ජරාවට යට නොවී දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන දේශපාලන සංස්කෘතියක් තහවුරු කරන්න. එතකොට තව අවුරුදු ගණනාවකින් හරි උදාවෙන ඇත්තටම ලෝකෙ දියුණුතම රටකට අවශ්‍යවන සමාජයීය පසුබිම ලංකාවේ ගොඩනැගේවි. එතකොට ජනප්‍රිය වෙන්න පෝස්ටර් ගහන්න, කටවුට් ගහන්න, ඉතිහාසය අළුතින් ලියන්න ඕන නෑ. මිනිස්සුන්ගේ හිතේ තියෙන ගෞරවය ඒ මිනිස්සුන්ව සදා අමරණීය කරාවි. මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා කැලේදි මරලා දැම්ම "චේ" කියන නම ‍ලෝකෙ හැමතැනම මිනිස්සුන්ගේ හදවත් වල ඉතිරිවෙලා තියෙන්නේ කටවුට් ගහලා, ඇඩ් දාලා නෙවෙයි.

එළිපිට කරන මේ තක්කඩි කරන දේවල් මිනිස්සු නොදන්නවා නෙවෙයි. අවිහිංසාව ආගමෙන් කියලා දෙන රටේ මිනිස්සු මරා දාන එක තියා තිරිසනෙක්ට හිංසා කරන එක වත් ශිෂ්ඨ නැතිවුණත් මිනිහෙක් මරණාසන්නයි කියල යන නිව්ස් වලට අන්තර්ජාලේ පළකරන කමෙන්ට්ස් වලින් පේනවා මිනිස්සු මේ යක්කු එක්ක කොච්චර තරහයිද කියලා. සාමාන්‍ය මිනිස්සු කොච්චර ශිෂ්ඨ වුණත් මේ යක්කු අනිත් මිනිස්සුන්ගේ ජීවිත වලට මොනතරං පහත් වටිනාකමක්ද දීලා තියෙන්නේ. මුං තමයි රටකරවන ආණ්ඩුවේ උපදේශකවරු! ඔන්න ආශ්චර්යේ තරම.

යකුනේ, මේවා ඉවරකරන්න පු‍ලුවන් ලිපි නෙවෙයි. වැරදි පාරේ එන්න එන්නම යන්නේ නොදැන නෙවෙයි. තමන්ට, තමන්ගේ පවුලට, තමන්ගේ පැත්තට කෑදර විදිහට රටේ තියෙන සම්පත් ගොඩගහගන්න තියෙන කෑදර කමට. බළල්ලු ලවා කොස්ඇට බාවන න්‍යායෙන් අනෙක් එවුන් බළල්ලු කරගෙන ඉන්න අවසාන ඇම්ඩා කවුද කියන එක මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන. එහෙම තේරුං අරං කනෙන් අල්ලලා එළියට දාන්න ඕන. ඒත් අවාසනාවන්ත අපේ රටේ එහෙම වෙන පාටක් වත් පේන්න නෑ. අන්න ඒක හින්දයි අපි මහා අවාසනාවන්ත රටක් වෙන්නේ.

අපි පෝයට හාමුදුරුවරු වඩම්මලා බණ කියනවත්, සංඝ ශාසනයෙන් ගෞරව නාම ගන්න වත් සුදුසු ඈයෝ නොවුණත් ඔය මහතැන්වලට මතක්කරලා දෙන්න තියෙන බණ පදයක් බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා කියලා මතකයි.

"තණ්හාය ජායතී ශෝකෝ - තණ්හාය ජායතී භයං"


සමහරු හිතන් ඉන්නේ ඔය ආයුධ පෙන්නන්න ගොහිං පැනලා යන්න ගිහිං වෙඩි කන අයයි, මුල්ලේරියාවේ දි වෙඩිකාපු අයටයි විතරයි "දිට්ඨ ධම්ම වේදනීය" කර්මේ පටිසන් දෙන්නේ කියලා. ඒත් බුදුහාමුදරුවෝ කියපු බණ ඇත්තනම් ඔය ඔක්කොටම අනික් එවුන් බළල්ලු කරවලා උන් ලවා පව්කරවන ඈයොන්ට ඉස්සෙල්ලම පව් පටිසන් දෙන්න ඕන.

විමල් දාස



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails