Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එලිසබෙත් ඔබට මතක ද
කලු පැහැ අතක එල්ලී සිටි යුගය?
ගමේ පැහැයත් බිණූ බසත් අතරින්
හද සුවඳ පමණක් ම වෙන් කරගෙන
අබතුරෙහි රඳවාගෙන සිටි යුගය?

එලිසබෙත් ඔබට මතක ද
වේරම්භ වාතය හමා ගිය දවස?
තේ දල්ලක් මෙන් නැඟී ආ ප්‍රේමය
''කටස්'' ගා කැඩී ගිය මොහොත?
මට නම් පැහැදිලි ව මතක ය
හමේ පැහැයත් බිණූ බසත් ඔබත්
අමතක කර දමා මුළුමණින්
හද සුවඳ පමණක් ම ම තුළ රඳවා ගත හැකි වෙතැ'යි
අඥාන පැතුමකින් ඔබට සමුදුන් ඒ මොහොත

බොහෝ කලකට ඉහත
එ ලෙස සමුගෙන ගිය එලිසබෙත් ඔබ
සැබැවින් ම වෙන් වී නො ගොස් ම වෙතින්
මා යන එන කන ඔන හැම තැන
ප්‍රාදුර්භූත ව අදට ද
සුදු පැහැති අවතාරයක් විලස
පුන පුනා මේ කියන්නේ එක ම කතාව ද?
හමේ පැහැයත් බිණූ බසත්
ඔබත් ඔබ හද සුවඳත්
මට වෙන් කළ නොහුණු බව ද?

-නොසොඳුරු පෙදෙසක (2010)

ප්‍රදීප් සාරංග කුමාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිදි
අතරෙදි
ඔවුන්
රාත්‍රියක ම
යන්න
සඳ
මුදුන් වූ
පසු
නේරංජනාවෙන්
එතෙරට
බොලිවියාවේ
මහ වනයට

උඩුමහලට
විත්
බලා සිටීවි
ඔවුන්
එදා සිට
නිරතුරු ව

ඇඟිල්ලේ
එල්ලිලා
යන්න

ඔබ
දිනාගත්
විජිතයට

-එළිමහන් කවි සහ ගුහා කවි (2003)

ආරියවංශ රණවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සිඳී ගිය අතු ඉති අතර
තවමත් වේය
තුරු පතක් දෙකක්;
හේමන්තයට
සමුදෙන්න නොහැකිව,
වැරෙන් පණ නළ
අල්ලා සිටින.

බැලු බැලූ අන් අත
පොළොවට හාදු දෙන
රත්රන් ය;
තුරු හිසෙන් වෙන්ව ගොස්
සිසිරයට,
දෙ-අතම දිගු කරන.

මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කොණ්ඩය බොකොටු ගැහැණු ළමයකු ගැන
ඇගේ හිසකේ රන්වන ගැන
නිතරම කියවන
මිතුරකු සිටියා මට

මග තොටක රැක පිළිවෙලට
කොයි ගැහැණු ළමයටත් සෙනෙහසින්
හෝරා ගණන් දියකරපු
පාසල් අසල, හන්දි ගානේ
ඔහුත් හිටියා අප අතරම
බොකොටු කොණ්ඩය ගැනම කියවමින

කාලයේ කරදඬු උස්ව
මිතුරු සමාගම් රැස්වන
අඳුරු සීතල සිකුරාදා දිනවල
බීර තොලගාන අප අතර
ඔහුත් සිටියා එක පසක

කවියෙන් ඇරඹිලා
ගීතයෙන් නිමාවන
අරුත් සුන් නුසුන් කතා දැල්වල
පැටලුනා අප
එකම අයිනේ මාලුවන් ලෙස
එ’අතරම වරින් වර
එකම කවියක් විය ඔහු විඳින
රන්වන් බොකොටු කොණ්ඩය

කවමදාවත් අප දැක නොතිබුණ
අප පවා මුළු හදින් පෙම්කළ
එ’රන්වන් බොකොටු කොණ්ඩය
අපටත් අමතකව ගිය හැටි
කාලයේ දිගු සිහින මැද

සීතලට වතුර බිඳු බේරෙන
එක’මෙක වැසි දිනක
බස් නැවතුමක
තනිව හිඳින සඳ ඉස්පිරිතාලය අසල
ඔහුව දුටුවෙමි අහම්බෙන්
ඔහුත් දුටුවා මාව ද

හෝරා ගනණක් තරම් දිගු
තත්පර කිහිපයකට පසුව
වාහනෙන් බැස ඇවිත්
ඔහු අතේ එල්ලුනා
බූ ගෑව හිසක් ඇති
ඇස් ගිලුණ යුවතියක්

ඔහු ද මා ද අතර
පරතරය තිබෙද්දී එලෙසම ගල්ව
ඔහු අත වූ ලේන්සු කොනක
තැවරෙන අතීතයක් දුටිමි මම
නමුදු කිසි ගානක් නැතිව
පාසල් දැරිවියක ලෙස
ඔහු අසල ඇගෙ හුරතලය
සදාකාලික කවියකට
අර අඳින පෙර නිමිතිද

නිරාෂ ගුණසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නන්දන වීරසිංහගේ අට වැනි කවි එකතුව "සහස් රැස් යට" සමග "පස්වණක් කවි ලකුණු" සංගෘහිත කාව්‍ය කෘති පංචකය එළි දැක්වීම, 2011 දෙසැම්බර් 01 වන දින සවස 3:00 ට කොළඹ 01 මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී.

ප්‍රමුඛ දෙසුම- ලියනගේ අමරකීර්ති





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



2011 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ 2010 වසරේ හොඳ ම සිංහල නවකතාව ලෙස සුනේත්‍රා රාජකරුණානායකගේ 'කවි කඳුර' හා ජයතිලක කම්මැල්වීරගේ 'චුම්බන කන්ද' නවකතා සම්මානයෙන් පිදුම් ලැබිණි. මෙම කෘති දෙක අතරින් 'චුම්බන කන්ද' ලේඛකයා විසින් කියවන ලදී. මෙවැනි කෘතිවලට සම්මාන ලැබීම ලංකාවේ සුලබ තත්වයකි. ආධුනික මට්ටමේ නවකතාවක් වන 'ස්වයංජාත' එක් වසරක ලංකාවේ සම්මාන පිට සම්මාන ලැබුවේ ය. එබැවින් මෙවැනි කෘති පිළිබඳ ලියනවාට වඩා ඒවා සම්මානයට පාත්‍ර වන ආකාරය පිළිබඳ විශ්ලේෂණය කිරීම රසවත් ය. පසු අවස්ථාවක ඒ පිළිබඳ ලියමි.

එරික් ඉලයප්ආරච්චිගේ ලලිත සමය ගොඩගේ සාහිත්‍ය උළෙලේදී සම්මානයට පාත්‍ර කරන ලද නවකතාවකි. ලේඛකයා විසින් ලියන ලද 'ශාස්තෲ' නවකතාව ද ඔහු එම නවකතා තරගය සඳහා ඉදිරිපත් කළේ ය. එය අඩු තරමේ අවසාන සලකා බැලීම සඳහා තෝරා ගත් කෘති අතර හෝ නො තිබිණි. ලේඛකයා මහත් උනන්දුවෙන් 'ලලිත සමය' කියැවූයේ ඔහුගේ ම ලේඛන කලාවේ අසාර්ථකත්වය හඳුනා ගැනීමේ මානයක් සොයමින් ය.

එවැනි මානයක් හඳුනා ගැනීමට තරම් විශිෂ්ට ලක්ෂණ එරික් ඉලයප්ආරච්චිගේ 'ලලිත සමය' නවකතාවේ නො තිබිණි.

එය ඔහුගේ තුන් ඈඳුතු නවකතා වන බගන්දරා, විතණ්ඩ සමය හා ආදරයේ සිමෙන්ති වැනි නවකතා සමග එක පෙළට තැබිය හැකි නවකතාවක් නොවේ. එහි බොහෝ චරිත පැතලි ය. වැඩිපුර ම විවරණය වන සමදරාගේ චරිතය පවා අබ්බගාත ය. නිදසුනක් ලෙස මනෝ විශ්ලේශනය කෙරෙහි මහත් අවධානයක් යොමු කරන එරික් ඉලයප්ආරච්චිට සමදරාගේ චරිතය ගොඩනඟීමේදී අතුරුදහන් වී මළගිය ප්‍රාණකරුවකු බවට පත් වන ඇගේ පියා හා ඇය අතර ඇති සම්බන්ධයේ කිසිදු ගැඹුරක් ස්පර්ශ වන්නේ නැත.

අප මෙහි උත්සාහ කරන්නේ එහි වස්තු විෂය විසින් මතු කරන කරුණු අරභයා යම් සංවාදයක් මතු කර ගැනීමටයි. මන්ද, කලා කෘතියක් සම්බන්ධයෙන් මේ රටේ සිදු නො වන ම හා සිදු විය යුතු ම දෙය එය වන බැවිනි. එරික් ඉලයප්පාරච්චි සිළුමිණ පත්තරය සමග කරන මාකට් සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කියයි.

[’ලලිත සමය’ හරහා ඔබ සමාජයට ගෙන එන්නට උත්සාහ කළ පණිවුඩය කුමක්ද?

මේ කෘතියෙන් නියෝජනය වෙන්නේ අපි මේ ගෙවන ඓතිහාසික යුගයයි. සිංහල ජන මනස විපරිත වීම, තමයි මෙහි මූලිකම තේමාව වෙන්නේ. පසුගිය දශක කිහිපයේ අපි පහළ මට්ටමකට වැටුණා. විනෝදාත්මක කර්මාන්තවල බොහෝ දේ සිදුවෙන්න පටන් ගත්තා. ලෝකයේ වෙනත් රටවල ලබාගන්නා කලාත්මක ජයග්‍රහණ පවා අන්ධව වැලඳගන්නට හුරුවුණා. පුරාතන සාහිත්‍යය, නූතන සාහිත්‍යය ගත්තත් රසවාදී උසස් මට්ටමක සිටි අප පොල්කුඩු කන තත්ත්වයට වැටුණා. මීවදවල සිට පොල්කුඩු රැලි දක්වා වෙච්ච සංක්‍රමණය විශ්ලේෂණාත්මකව නවකතාව තුළ තිබෙනවා.]

ලලිත සමය ඊට වඩා ගැඹුරු සාහිත්‍යමය පරිකල්පනයකැයි අපි පළමුකොට ම උපකල්පනය කරන්නෙමු. ලලිත සමය යනු එරික් ඉලයප්ආරච්චිගේ සංගීතය හා කලාව ගැන කියවීම්, විශ්ලේෂණ, පරමාදර්ශ හා පරිකල්පන ඔස්සේ ගොඩනඟන ලද කතාවකි. එහි විවිධ චරිත නම් ඔහු ම ය.

දීප්ත එරික්ගේ රැඩිකල් මුහුණයි. සත්‍යාපෝල් එහි යථාර්ථවාදී මානුෂවාදියායි. මාස්ටර් නම් මහා සංගීත පෞරුෂය වනාහි ඔහුගේ පරමාදර්ශයයි.

මාස්ටර් යනු අස්පර්ශ චරිතයකි. එසේ ම සංගීතය හෝ වඩා පුළුල්ව ගතහොත් කලාව පිළිබඳ එරික්ගේ පරමාදර්ශය ද අස්පර්ශ එකකි. කොටින් ම කිවහොත් ඒ කුමක්දැයි ඔහු ම නො දනී. එහෙයින් ඔහු සිය දැක්ම, පරමාදර්ශය සංවාද තලයකට ගෙන ඒම සඳහා මාස්ටර්වාදී අන්තවාදියකු නිර්මානය කරයි. ඒ දීප්ත ය.

ධනවත් මානුෂවාදී අර්ථපතියකු වන සත්‍යාපෝල් පරමාදර්ශ හා ඒවා සාධනය කිරීම සඳහා අරගලය මහපොළවට ගෙන එන යථාර්ථවාදියාගේ භූමිකාව නිරූපණය කරයි.

සත්‍යාපෝල් මහ මුහුද හා නැව් ආශ්‍රිත ව්‍යාපාර හිමි, යුරෝපය බලා යන නීති විරෝධී සංක්‍රමණිකයන් විෂයෙහි මානුෂවාදී‍ලෙස කටයුතු කරන, ඒ ඔස්සේ ශ්‍රමයේ නිදහස් සංචලනය වෙනුවෙන් සැබෑ විප්ලවීය දේශපාලනික අරගලයක් කරන සටන්කරුවෙකි. එසේ ම, ලිංගිකත්වය හා අදාල පුද්ගල නිදහස වෙනුවෙන් සටන් කරන්නෙකි. සියල්ලට ම වඩා ගාන්ධි කීවාක් මෙන්, තමන් බලාපොරොත්තු වන සමාජ වෙනස තමන් තුළ ජීවත් කරවන කෙනෙකි. (ලංකාවේ ගාන්ධිවාදීන් තුළ මෙය ගෑවිලාවත් නැති නිසා මාක්ස්වාදීන්ට හිරිකිතයකින් තොරව භාවිතා කිරීමට පුළුවන)

ඔහු ඇසුරේ සිටින ඩග්ලස් වැනි ප්‍රවීණ බුර්ෂුවා පංතික සංගීතකරුවෝ ද, දීප්ත වැනි රැඩිකල් සංස්කෘතික දේශපාලන සටන්කරුවෝ ද, සංගීතා වැනි අංකුර කලාකරුවෝ ද යන මේ කවුරුත් යුරෝපය සිය මාලිමාවේ උතුර ලෙස සලකා‍ ගමන් කරමින් සිට අවසානයේදී එකී උතුරට ම ජීවිතය සොයා යන්නෝ ය.

ලංකාවේ බහුතර ජනයා අයත් වන සමාජ පංතිය වෙමින් මේ වන විට දේශපාලන හා සංස්කෘතික බලය ද අත් පත් කරගෙන සිටින සිංහල ගැමි මධ්‍යම පංතියට අයත් සමදරා නම් ස්ත්‍රී ශරීරය හෙවත් කටහඬ ලලිත සමය කතාවේ කේන්ද්‍රීය චරිතයයි. සමදරා වනාහි මාස්ටර්ගේ, දීප්තගේ, ඩග්ලස්ගේ සංගීත සිහිනවල උපයෝගී භාණ්ඩයකි. පරමාදර්ශවාදී පිරිමි සංස්කෘතික දේශපාලන සිහින සැබෑ කර ගැනීමේ ලා හුදු උපයෝගී භාණ්ඩයක් පමණක් වී සිටින සමදරා 'මට කියලා නිදහසක් නැද්ද?' කියා අසන නිමේෂය ලලිත සමයේ කූටප්‍රාප්තියයි.

දීප්ත‍ගේ සංස්කෘතික දේශපාලන සිහිනය හා මාස්ටර් පරමාදර්ශය සුණුවිසුණු කර දමන එකී ප්‍රකාශය සමග සත්‍යාපෝල්ගේ යථාර්ථවාදී දේශපාලන අරගලය හමුවේ ධනවාදයේ පරිවාරයේ සංස්කෘතික දේශපාලන අරගල මුළුමනින් ම නිස්සාර දේ බව ප්‍රකාශ කර දමයි. දීප්ත නම් සංස්කෘතික සටන්කරුවා අපට අවසානයේදී හමු වන්නේ සිහින රුසියාවේ සීතලේ මියැදෙන අසරණ නීති විරෝධී සංත්‍රමණික ශ්‍රමිකයකු ලෙස ය. ධනවාදයේ පරිවාරයේ රටවල පීඩිත පංතියේ අරගලය ඇත්තේ සංස්කෘතික තලයේ නොව ශ්‍රමයේ නිදහස් සංචලනය වෙනුවෙන් කරන දේශපාලන සටන තුළ බව එරික් ඉලයප්ආරච්චි අපට පවසයි.

ධනවාදයේ පරිවාරයේ ජාතික රාජ්‍යවල දුබල හෝ නො පවතින බුර්ෂුවා පංතියක සෙවණ සොයමින් සිටින ඩග්ලස් ද අවසානයේදී ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් ඇත. වෙනස ඔහු එහි ගොස් ඇත්තේ නීත්‍යනුකූලව වීම පමණි. එහෙත්, දීප්තගේත්, ඔහුගේත් අරමුණ එක ය. ලංකාවේ ජනප්‍රියවාදී සංගීත නවරැල්ලක නිර්මාතෘ වන රූකාන්ත ගුණතිලක ඇමරිකාවට ගොස් පල්ලියක ඕගන් ගහයි. නො කීවාට, සමහර විට ඔහු ෂෙඩ් එකක පෙට්‍රල් ගහන්න ද ඇත.

දීප්ත එරික්ගේ ලෝකයේ පරිකල්පිත දීප්ති කුමාර ගුනරත්න කෙනෙකි. ලංකාවේ රැඩිකල් සංස්කෘතික දේශපාලනයේ නියමුවකු වන දීප්ති කුමාර ගුනරත්නට අත් වූ ඉරණම ද දීප්තගේ ඉරනම ම ය. ඔහුගේ එක්ස් කණ්ඩායම දෙදරා දමන ස්ත්‍රීවාදී හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාව දීප්ත ඉදිරියේ සමදරාගේ නැගිටීම වැනි එකකි. දීප්ති කුමාර ගුනරත්න එක්සත් ජාතික පක්ෂයේ ඉඳුල් කන්නට පටන් ගැනීම දීප්තගේ රුසියානු දිනපොතට සමාන ය. ඔහුගේ ඊනියා පෙරටුගාමී පක්ෂය ද දීප්තගේ පරිකල්පිත රුසියාව වැනි එකකි.

ඔහුගෙන් කැඩී ගිය ප්‍රජාතන්ත්‍රවාදී ස්ත්‍රීවාදී සමදරාලාට ද ධනවත් අර්ථපති සත්‍යාපෝල්ලා හමු වන්නේ නැත. ඔවුන්ට හමු වන්නේ සාක්කු හිස් වෙමින් ඇති එන්.ජී.ඕ. පමණි. ලංකාවේ පොළවේ සත්‍යාපෝල්ලා නැත. ගෝවෙන්, අරෙහෙන් මෙහෙන් කෑලි එක් කළ සත්‍යාපෝල් කෙනෙකු පරිකල්පනය කරන්නට එරික් ඉලයප්ආරච්චිට සිදු වන්නේ ඒ නිසා ය.

ලංකාවේ අර්ථපතියන් වන්නේ විප්ලවීය මහා කලාකරු හා විචාරක සුචරිත ගම්ලත්ට අනුග්‍රහ දක්වන ටයර් හවුස් වැන්නෝ ය. නැතිනම් උපුල් ශාන්ත සන්නස්ගල වැන්නෝ ය.

ලලිත සමයේ විචිත්‍රවත් ම චරිතය හා වීරයා සත්‍යාපෝල් ය. ඔහු ජාත්‍යන්තරවාදී සටන්කරුවෙකි.යථාර්ථවාදී දේශපාලනඥයෙකි. අව්‍යාජ මිනිසෙකි. අපේ පරමාදර්ශය විය යුත්තේ ඔහු ය.

අජිත් පැරකුම් ජයසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දිවේය බස් රිය
පොඩි පුතු උකුළේ
ඔබේ මුහුණේ තෙහෙට්ටු ඇසි පිය
වැසී යයි සෙමෙන්
නිදි මැලියමකින්

මස් පිඩු හැකිලී
හකු පෑදී එන
මැදි වයස් මැද
තරගයක් අග
මහා වෙහෙසකි
ඔබේ මුහුණේ

එහෙත් බලන්න
ඔබගෙ උකුළේ
නලියන පුතුගේ
කුමර මුහුණේ
මල් මහිමයක්ය
දඟ දෙන පොපියන

මල් පොහොට්ටුවක්ය
මට පෙනෙන්නේ
තව ඩිංගකින්,
පනින අහසට

පෙත්තෙන් පෙත්තට පොහොට්ටුවේ
ලියා තිබෙන්නේ
ලියැවී ඇත්තේ
මර නින්දක කිරා වැටෙන
ඔබේ මුහුණේ
සියළු හැඩ රූ

අරුම පුදුමය
මෙලොව හැර දා
ගියෙද කිසිවෙකු
අනුරුවක් මෙහි තබාලා මිස?

[ආලෝක මිනිසා]

පරාක්‍රම කොඩිතුවක්කු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



යම් කිසි රටක නීතිය සහ එහි ආධිපත්‍යය හරියාකාරව ක්‍රියාවට නැංවේ නම් එම රටේ ජනතාවට තම ජීවිත වලට ආරක්ෂාවක් ඇති බවට විශ්වාසක් ඇති වෙයි. රාජ්‍යය සහ පාලකයන් නීතියේ අධිපත්‍යයට අනුව විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක වේ නම්, එම රට තුළ ජීවත් වන ජනතාවට තම ජීවිත සහ අයිතීන් සුරක්ෂිත බව හැගේ. ඒ ඇති වන විශ්වාසය සමාජයක සමබර බව ඇති කරන අතර එතුළින් එම සමාජයේ ජීවත් වන මිනිසුනට තම ජීවිත වලට ඇති අනාරක්ෂිත බව නිසා ඇති වන අසහනය ඇති නොවේ. මෙය ඕනෑම රටකට, සමාජයකට පොදු මූලධර්මයකි. එහිදී එම රට පාලනය කරන්නේ, ජනතාව තෝරා ගත් රජයකින් ද, නැතිනම් වෙනත් ආකාරයකින් බලයට ආ පාලකයින් ද යන්න වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ නීතියේ ආරක්ෂාව (ඔහුගේ තරාතිරම නොබලා) පුද්ගලයකුට ලැබෙන්නේ ද යන්න පමණකි.

පළමුවෙන් ලංකා සමාජය තුළ මෙසේ විවිධත්වයට ඉඩ තිබේ ද? තමන් දරන මතය හෝ දේශපාලනය සඳහා තම මතය ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේ ද? තම මත ඉදිරිපත් කිරීම නිසා අතපය අභිමි වූ, ජීවිත අහිමි වූ දේශපාලන හෝ වෙනත් පුද්ලයන් ගැන අපට කොතරම් දැන ගැනීමට ලැබේ ද? උදාරහණ ලෙස ගන්නේ නම් දේශපාලන ක්‍රියාදාමයක් නිසාවෙන් ලංකා සමාජයේ "යුද වීරයකු" වූ ෆොන්සේකා හිරකර තිබීම ගත හැක. ලංකා රජය ඔහුව හිරකර ඇත්තේ ඔහු යුද අපරාධ වලට සම්බන්ධ නිසා නොව ඔහු පවතින බල අධිකාරයට අභියෝග කළ නිසාවෙනි. මෙයින් සමාජයට දෙන පණිවිඩය නම් "අපට විරුද්ධ වුණොත් මොකාව උනත් අපි විනාශ කරනව" යන පණිවිඩයයි.

ලංකාවේ පවතින අධිකරණය සහ එහි විනිශ්චයකරුවන් කෙරෙහි මිනිසකුට විශ්වාසයක් ඇති වේද? අධිකරණය සම්පූර්ණයෙන්ම රාජ්‍ය බල අධිකාරය විසින් දූෂණය කරමින් පවතින බවට උදාරහණ කොතරම් තිබේද? භාරත ඝාතනය, සැකකරුවකු ජනාධිපති සහ ආරක්ෂක ලේකම්ගේ ආරක්ෂාව සහ අනුහස යටතේ රටින් පිටව යාම, ඒ වගේම ෆොන්සේකාට දෙන නඩු තීන්දුව මේවා නීතිය වල්වැදී ඇතිබව පසක් නොකරයිද? ඉතින් නීතිය ඉදිරියට ගිය පුද්ගලයකුට සාධාරණයක් ඉටුවේය යන විශ්වාසය මිනිසුන් තුළ ඇතිවේද?

වෙනත් දේශපාලන මත දරන අයට තර්ජන ගර්ජන සහ මැර ප්‍රහාර වලින් සංග්‍රහ කරද්දී පොලීසිය මැරයින්ගේ සහයට සිටීම තුළ පිළිබිඹු කරන රාජ්‍ය පාලන මාදිලිය කුමක්ද? රට තුළ සියලුම අමාත්‍යාංශ පහේ දූෂණයෙන් කුණු වී ගඳ ගහන අතර ඇමතිවරුන් ලෙස නම්කර සිටින අයගෙන් සමහරු අමාත්‍යාංශ තම පුද්ගලික දේපළ බවට පත් කරගෙන නොමැතිද? එක අමාත්‍යාංශයක දුෂණ පරදවා අනෙක මතු වෙද්දී මුළු කැබිනට්ටුවම සිනා මුහුණින් ජනයා ඉදිරියේ පෙනී සිටින්නේ කුමන සදාචාරයක් ගැන රට වැසියාට ඉගැන්වීමට ද?

තම මත ඉදිරිපත් කිරීම නිසා මාධ්‍යවේදීන් කීදෙනකුට තම අතපය සහ ජීවිත අහිමි වූවාද? ලසන්ත, සිවරාම්, කීත්මෙයාර්, එක්නැලිගොඩ, පෝද්දල, ගුගනාදන් කොපමණ නම් ප්‍රමාණයක්ද?

මාධ්‍යකරුවන්ට ප්‍රසිද්ධියේ පහර දී කැමරා උදුරා ගන්නා ඇමතිවරු මාධ්‍යවේදීන්ට තමන්ට එරෙහිව අදහස් ලීවොත් මරා දමන බවට ප්‍රසිද්ධ තර්ජනය කරන්නේ ජනාධිපති සහ ආරක්ෂක ලේකම්ගේ ඔඩොක්කු කුක්කන් වී සිටිමින් බව රහසක් නොවේ.

සැකකරුවන් ලෙස අත් අඩංගුවට ගන්නා අයගෙන් කී දෙනකු පොලිස් අත්අඩංගුවේදී "පැනයාමට තැත් කළා" යන පාඨය යටතේ මරා දමා තිබේද? මා මේ ඉදිරිපත් කළේ, ලංකාව නම් බල ඒකකය තුළ නිදහස් මත (මෙහිදී නිදහස් මත යනු රාජපක්ෂගේ බල අධිකාරයට අභියෝග වන) ඉදිරිපත් කරන මිනිසුනට අත්විඳීමට සිදුවන ඉරණම ගැන සුළු කොටසකි.

මගේ මිතුරු වික්ටර් අයිවන් පසුගිය රාවය කලාප දෙකකම මාධ්‍ය සදාචාරයක් ගැන කියමින් සයිබර් කැලෑ පත්තර ගැන චෝදනා කළ අතර, වල් බූරු නිදහසින් මුදවා මොවුන්ව හීලෑ කළයුතු බව පවසා තිබුණි. ෆැසිස්ට්වාදී ඒකාධිපති පාලකයින්ට සයිබර් අවකාශය යනු පාලනය කර ගැනීමට අපහසුව ඇති තලයකි. ඒ නිසා වික්ටර් වැනි අය (ලව්වා) මෙවැනි සදාචාරාත්මක සංස්කෘතියක් ගැන ලියති. "සියලුම දෙයට මිලක් ඇත" යන නියාමයට අවසානයේ දී බොහෝ දෙනකු යටත් වේ.

ඔබට සයිබර් අවකාශයේ ඇති "මෙවැනි සමාජ විරෝධී" ක්‍රියාවන් පෙනේ. ඔවුන් අයාලේ ගිය වල්බූරු නිදහසක් තුළින් සදාචාරයකින් තොරව කටයුතු කරන අයුරු පෙනේ. නමුත් ලංකාවේ පවතින මාධ්‍යන් හි ඇති ඒකපාක්ෂීක බව තුළින්, පවතින බල අධිකාරයට උඩගෙඩි දෙමින් කරන මාධ්‍ය සදාචාරය උල්ලංඝනය නොපෙනේ. සමහර විට මෙම මාධ්‍ය ආයතන වල මාධ්‍යවේදීන් තම ජීවිත වලට ඇති ආසාව නිසා, තම අතපය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නිසා, තමන් විසින්ම තමන්ව වාරණය කර ගැනීම තේරුම් ගත හැක. නමුත් ඒකපාක්ෂිකව, ඇස් පනාපිට පෙනෙන දෙය, එසේ නොවේ යයි බල අධිකාරයට පක්ෂව කරන වන්දි බට්ට ස්තෝත්‍ර ගායනය තුළ ඇති සදාචාර විරෝධී බව ඔබට නොපෙනීම කනගාටුවට කරුණකි.

රට තුළ මාධ්‍යවේදීන් මරා දැමූ ප්‍රමාණය අනුව විවෘත වාර්තාකරණය යනු සියදිවි නසා ගැනීමක් බව පැහැදිලිය. මෙයින් පෙන්නුම් කරන්නේ ලංකා සමාජය තුළ බිය රජයන බව නොවේද? සෑම ෆැසිස්ට් සමාජයක්ම, බිය එම සමාජය තුළ සමාජගත කර යටපත් කිරීමේ උපකරණයක් ලෙස එය ප්‍රයෝජනටය ගනී. මෙයට හොඳ උදාහරණයක් නම් නාසි ජර්මන් සමාජයයි.

වික්ටර්, ඔබ සයිබර් අවකාශයේ සරන අයට චෝදනා කරන්නේ ඔවුන් සදාචාරයකින් තොරව පුද්ගලයින්ට මඩගසන "කැලෑ" පත්තරකරුවන් ලෙසයි. එක උදාරහණයක් ගනිමු. ඔබත් මමත් දන්නා පරිදි ජර්මනියේ වර්ගවාදී ෆැසිස්ට් රජයට එරෙහිව එහි සිසුවන් කණ්ඩායමක් (ඔබ කියන විදියට නම් කැලෑපත්තරයක්) "සුදු රෝස" නමින් පත්‍රිකාවක් බෙදා හරිනු ලැබීය. ඔවුන් කලක් තිස්සේ හිට්ලර් රජයට එරෙහිව මේ (නාසින් මේ "සුදුරෝස" හැඳින්වූයේ "කැලෑපත්‍ර" කරුවන් ලෙසිනි) ක්‍රියාදාමයේ යෙදුන අතර පසුව අත්අඩංගුවට ගෙන "ජාතීද්‍රෝහීන්" ලෙස නම් කර මරා දමනු ලැබීය.

බොහෝ විට ලංකාව් අද මේ "සුදු රෝස ව්‍යාපාරය" ගැන කවි ආදිය ලියවෙති. ෂොල් සොයුරියන් ගැන වර්ණනා ලියවෙයි. ඒත් එදා ඒ "සුදු රෝස" ව්‍යාපාරය විසින් අභියෝගයට ලක් කළ ආකාරයේ දුර්දාන්ත රාජ්‍යයක් ලංකාවේ පවතිද්දී ඒ පිළිබඳ වචනයක් නොලියයි.

ඉතින් වික්ටර් ඔබගේ දෑස මීට වඩා විවිර විය යුතු බව මගේ හැඟීමයි. ලංකාව තුළ මාධ්‍යවේදීන්ට අත් වූ ඉරණම මාධ්‍යවේදියකු වශයෙන් මට වඩා හොඳින් ඔබ දැන ගත යුතුය. හැබැයි මිනිසුන් කරුණු දැනගත්තාට පමණක් මදිය. එම කරුණු තම අවධානයට ද හසු කරගත යුතුය.

ඉතින් ඉහත දක්වා ඇති අගතිගාමී අත්තනෝමතික බලය අයුතු ලෙස පාවිච්චි කරන බල අධිකාරයක පාලනයක් ලංකාවේ පවතිද්දී, ඉල්ලුම් පත්තර දමා මරණයට, වදයට පත් වීමට කෙනෙකු ඉදිරිපත් වේද? නිදහසේ මත ප්‍රකාශ කිරීමට ඉඩ ඇති සමාජයක මිනිසුන් සැඟ වී "කැලෑ" පත්තර නොලියති. නිදහස් අදහස් වලට ඉඩ නැති සමාජයක ඇති වන අනිවාර්යය තත්ත්වය නම් සැඟ වී අදහස් ප්‍රකාශ කිරිමයි. මෙහිදී ඔබ විවේචනය කරන්නේ රෝග ලක්ෂණ මිස රෝග නිධානය නොවන බව ඔබට නොසිතේද? නිදහස් අදහස් මර්දනය කරන රාජ්‍යයේ සාපරාධී බව ඔබට නොපෙනීම මට නම් ප්‍රශ්නයකි. ලෝකය පුරා අත්තනෝමතික පාලනයක් පවතින රාජ්‍යයන්හි ඔවුන්ගේ බලය දූෂ්‍ය ලෙස පරිහරණය කිරීමට එරෙහි වන අයට චෝදනා කර ඇත්තේ ඔවුන් සදාචාරය, සංස්කෘතිය, රට, ජාතිය, ආගම කෙළෙසන බව කියමිනි. ඒ මදිවාට ඔවුනට "දේශද්‍රෝහී" යන ලේබලය ද අලවති.

තමාගේ හිතවත් මාධ්‍ය පාවිච්චි කරමින් තමන් ලස්සන නගර, මංමාවත් පිළිසකර කර ඇති හැටි ගැන ස්තෝත්‍ර ගයවති. ෆැසිස්ට්වාදීන් තම බලය තහවුරු කළ සෑම රටකම පාරවල් තනා ඇත. ඒ තුළින් ඔවුන් ලොවට ප්‍රචාරයක් දෙන අතරම ඉක්මන් මර්දනයකට අවශ්‍ය යටිතල සකස් කරති. ජර්මනියේ අධිවේගී මාර්ග තනනු ලැබුවේ හිට්ලර් ජර්මනිය තුළයි. මුසෝලීනිගේ ෆැසිස්ට් ඉතාලියේ නගර අලංකාරය සහ මාර්ග සැකසීමේ වැඩසටහන් ප්‍රකට ඒවා විය.

රටක නිදහස නොමැති නම් ඒ තුළ ඉල්ලූම් පත්තර දමා තමාව මර්දනය කරවා ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවෙනු ඇත. නිදහස් මාධ්‍යකරුවන් ලෙස පෙනී සිටිමින් ඒකපාර්ශ්වික මාධ්‍යක් රටක් තුළ පවත්වා ගන්නා මාධ්‍යය ප්‍රශ්න කළ යුතු නේද? ලිවීමට නිදහස යනු අනෙකුත් මත ලිවීමට ඇති නිදහස මිස බලයේ පවතින මතයට ආවැඩීම නොවේ.

ලංකාවේ පවතින මාධ්‍ය නොකරන එකම කාර්යය වන්නේත්, පවතින බල අධිකාරය, දූෂණ සහ වල්වැදී ඇති නීතිය ගැන ප්‍රශ්න නොකිරීමයි.

මේ නිසා නිදහසේ මත ඉදිරිපත් කිරීමට, යම් රාජ්‍යයක් විසින් ඉඩ නොදෙන තාක්, සැඟ වී අදහස් ඉදිරිපත් කිරීම පැවතීම අනිවාර්යය සාධකයකි.

රංජිත් හේනායකආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


මෙම ලිපිය මුල් වරට රාවය පුවත්පතෙහි කොටස් වශයෙන් පළ විය. [2011 ඔක්තෝම්බර්-නොවැම්බර්]

”වාමාංශයට බොහෝ වැරදි සිදුවී තිබේ. අපගේ වැරදි ජනතාව ඉදිරියේ පිළිගැනීමට තරම් අප ධෛර්යමත් විය යුතුය.” ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පසුගියදා කොළඹ නව නගර ශාලාවේදී පැවති මහජන සම්මන්ත‍්‍රණයකදී එසේ පැවසීය. ජනතා විමුක්ති පෙරමුණ අති සරල ලෙස ෆැසිස්ට්වාදය සමග හෝ එල්.ටී.ටී.ඊ. ය සමගින් සාම්‍ය කරමින් දේශපාලන විස්තර රචනා පළ කරන ඊනියා දේශපාලන විශ්ලේෂකයන් වටහා නොගන්නා, නැතහොත් ඔවුන් මගහැර යන වැදගත් පණිවුඩයක් ඉහත ප‍්‍රකාශයේ ගැබ්වී ඇත. එනම්, ස්වකීය වැරදි පිළිගැනීම, ඒවා මහජනයා සමග සාකච්ඡා කිරීම සහ නිවැරදි කරගැනීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ බලගතු කණ්ඩායමකට මෙවැනි ප‍්‍රකාශයක් කළ හැකි වන්නේ කෙසේද යන්නයි. ප‍්‍රභාකරන්ගේත් විජේවීරගේත් ඡායාරූප එක ළඟ පළ කරමින් ඔවුන් නායකත්වය දුන් ව්‍යාපාර දෙකෙහි අනුභූතික සමානකම් විස්තර කරන ලේඛකයන්ට මෙවන් සංකල්පීය ප‍්‍රශ්ණ කිසිදාක අභිමුඛ වී නොමැත. ඔවුන්ගේ දේශපාලන විස්තර රචනා වල නිරතුරුව දක්නට ලැබෙන්නේ ජ.වි.පෙ. සහ එල්.ටී.ටී.ඊ. ය ප‍්‍රචණ්ඩත්වය දේශපාලන උපක‍්‍රමයක් ලෙස භාවිතා කළේය, නායකත්ව ශ්‍රේණීන් වල පහළ කුල නියෝජනය වීය, නායකත්වය අසහාය ස්වරූපයකින් යුක්ත වීය යනාදී අති සරල අනුභූතිකවාදී කරුණු ය. නමුත් කෙනෙකු ගැඹුරු දේශපාලන විශ්ලේෂණයක් සඳහා පමණක් නොව සාධාරණ සන්සන්දනයක් සඳහා වුවත් යම්කිසි සංකල්පීය වැදගත්කමක් ගන්නා ප‍්‍රශ්ණ මතු කිරීමට උගත යුතුය.

ජ.වි.පෙ. ට අදාලව මතු කළ හැකි එවන් මූලික ප‍්‍රශ්ණ දෙකක් සඳහන් කරන්නට මම කැමැත්තෙමි. පළමුවැන්න නම්, ප‍්‍රචණ්ඩ සන්නද්ධ අරගල දෙකකට පසුව යළිත් මැතිවරණ දේශපාලනයේ නිරත වීමට පමණක් නොව 17 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැනි ප‍්‍රතිසංස්කරණාත්මක යෝජනා වලට නායකත්වය දීමට ජ.වි.පෙ. සමත් වූයේ කෙසේද යන්නයි. දෙවැන්න නම්, සිංහල බෞද්ධ වර්ගෝත්තමවාදී දෘෂ්ටිවාදයේ ප‍්‍රකාශකයෙකු ලෙසත් කර්තෘකාරකයෙකු ලෙසත් පැවති ජ.වි.පෙ. කේඩරයන් අතුරින්ම එම වර්ගෝත්තමවාදය අභ්‍යන්තරිකව ප‍්‍රශ්ණ කරන සමාජවාදී සහ වාර්ගික-සමානාත්මතාවාදී ප‍්‍රවණතාවක් මතු විය හැකි වූයේ කෙසේද යන්නයි. ජ.වි.පෙ. එල්.ටී.ටී.ඊ. ය සමග අති සරල ලෙස සාම්‍ය කොට දක්වන දේශපාලන විස්තර රචකයන් නොතකා හරින්නේ සන්නද්ධ අරගලයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මාරු වීම සඳහා අවශ්‍ය අභ්‍යන්තර ගතිකයන් උපදවා ගැනීමට එල්.ටී.ටී.ඊ. ය අසමත් වූ බවයි. ජ.වි.පෙ. සහ ජාතික හෙළ උරුමය අති සරල ලෙස එක් ගොඩකට දමන විස්කර රචකයන් නොඅසන්නේ සිංහල බෞද්ධ වර්ගෝත්තමවාදයට අභ්‍යන්තර විවේචනයක් කිසිසේත්ම හෙළ උරුමය තුළින් පැන නොනගින්නේ මන්ද යන්නයි.

කෙනෙකු මෙහිදී වහාම පෙරට විත් විස්තර කරනු ඇත්තේ ජ.වි.පෙ. ට සන්නද්ධ නොවන දේශපාලනයට පිවිසීමට බල කෙරුනු සහ පසුබිම් වූ ඓතිහාසික තත්ත්වයනුත් එල්.ටී.ටී.ඊ. යට බලපෑ තත්ත්වයනුත් අතර වෙනසයි. ජ.වි.පෙ. සහ හෙළ උරුමය බිහිවීමේදී තීරණාත්මක වූ සමාජ පදනම් වල සහ ඓතිහාසික පසුබිම් වල වෙනස්කම් තවෙකෙකු විස්තර කරනු ඇත. ඉහත සන්දර්භීය වෙනස්කම් වල වැදගත්කම මා කිසිසේත්ම ප‍්‍රතික්‍ෂේප කරන්නේ නැත. නමුත් මා අසන්නේ මෙම ව්‍යාපාර වලට බලපෑ එබඳු වෙනස් පරිබාහිර සාධක පිළිබඳව නොව, සන්නද්ධ දේශපාලනයෙන් සන්නද්ධ/නොවන (සහ එම නිසාම නොවූවත්) ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයටත්, වර්ගෝත්තමවාදයෙන් සමාජවාදයටත් දෘෂ්ටිවාදීව විතැන්වීම සඳහා යම් ව්‍යාපාරයක් සතුව පැවතිය හැකි අභ්‍යන්තර පරිවර්තනීය ශක්‍යතාවන් අප තේරුම් ගන්නේ කෙසේද යන්නයි. මගේ අවධාරණය වන්නේ විජේවීරගේත් ප‍්‍රභාකරන්ගේත් පෞර්ෂත්වයන්ගේ සමාන අසමානකම් ගැන කියවමින් ලියැවෙන දීර්ඝ විස්තර රචනා වලින් ඔබ්බට ගොස් ජ.වි.පෙ. පිළිබඳ දේශපාලන විග‍්‍රහයක් සම්පාදනය කරන්නට නම් මා ඉහත මතු කළ ප‍්‍රශ්ණ පිළිබඳව න්‍යායිකව සිතීම වැදගත් වනු ඇති බවයි.


මේ සඳහා න්‍යායික ආලෝකයක් සපයා ගැනීම සඳහා නාසිවාදී ඒකාධිපතීත්වයත්, ස්ටාලින්වාදී ඒකාධිපතීත්වයත් අතර පවත්නා මූලධාර්මික වෙනස අරභයා ස්ලේවෝයි ශීසෙක් ලියූ කදිම ලිපියක් උපුටා දක්වන්නට මම කැමැත්තෙමි. “The Two Totalitarianisms” යන කෙටි නමුත් නව විදර්ශනයන්ගෙන් පිරුණු ලිපියේදී ශීසෙක් විවේචනයට ලක් කරන්නේ ස්වස්තිකය ඇතුළු නාසිවාදී සංකේත මෙන්ම දෑකැත්ත සහ මිටිය පමණක් නොව තරු ලකුණ ද ඇතුළු කොමියුනිස්ට්වාදී සංකේත ද මහජනයාට ප‍්‍රදර්ශනය කිරීම තහනම් කළ යුතු යැයි කොන්සර්වේටිව් මන්ත‍්‍රී කණ්ඩායමක් යුරෝපීය පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාවකි. ඔහු පෙන්වා දෙන්නේ මෙම යෝජනාවෙන් යුරෝපීය දෘෂ්ටිවාදීමය අනන්‍යතාවයේ ගැඹුරු වෙනසක් ඉල්ලා සිටින බවයි. මන්දයත් නාසිවාදය තරමටම (ඇතැම් විට ඊටත් වඩා) හිංසාකාරී සහ අමානුෂික වූ ස්ටාලින්වාදී ප‍්‍රචණ්ඩත්වය හෙළා දකින අතරම උවත් මෙතෙක් කලක් යුරෝපීය සිවිල් සමාජයේ බහුතරයක් විසින් හිට්ලර් ස්ටාලින් සමග සාම්‍ය කොට නොසැලකුණි. ජර්මානු දාර්ශනික ‍‍හෛඩගර් නාසිවාදීන්ට සහාය දීම සැමදා අපහාසාත්මකව සිහිපත් කෙරුණ ද, ජෝර්ජ් ලූකාෂ් සහ බර්ටෝල්ට් බ්‍රෙක්ට් ස්ටාලින්වාදය සමග දැක්වූ සබඳතාවට සමාව දෙනු ලැබීය. මන්දයත්, ස්ටාලින්වාදය වටහා ගනු ලැබූයේ යුරෝපීය ප‍්‍රබුද්ධත්වය තුළින් පැන නැගුණු නමුත් එහි ඓතිහාසික අත්වැරදීමක් ලෙසය. ඊට වෙනස්ව නාසිවාදය හා ෆැසිස්ට්වාදය වනාහී විමුක්ති දේශපාලනයේ ප‍්‍රබුද්ධත්ව උරුමයට එරෙහි වූ වර්ගෝත්තමවාදයන් බවට සැකයක් නොවීය. ස්ටාලින්වාදයේ දී කොමියුනිස්ට් පක්‍ෂය සහ එහි නායකයා ද ඇතුළු සියල්ලන්ම ඉතිහාසයේ ප‍්‍රගතිය පිළිබඳ විශ්වීය තර්කණයකට යටත්ය. නමුත්, නාසි ජර්මනියේ හිට්ලර් සහ ඔහුගේ ඊනියා ආර්ය ජාතිය ඉතිහාසයේ ප‍්‍රගතියේ ස්වයංමූර්තිමත්කරණයක් ලෙස පෙනී සිටිය අතර යුදෙව්වන් (ඔවුන් යුදෙව්වන් වීම නිසා ම පමණක්) ප‍්‍රගති-විරෝධීන් නොහොත් වරදකරුවන් ලෙස සැලකුණි. ඔවුන් කළ වරද ඔවුන් යුදෙව්වන් වීමය!

ස්ටාලින්වාදය තමන් ප‍්‍රබුද්ධත්ව සම්ප‍්‍රදායේ කොටස්කරුවකු ලෙස සැලකූ අතර, එහෙයින් කොතරම් පහත් තලයකට ඇද වැටුණු මනුෂ්‍යයෙකුට උවත් ස්වකීය තර්ක ඥාණයෙන් සත්‍යාවබෝධය ලැබිය හැකි යැයි විශ්වාස කළේය. ශීසෙකියානු නිදසුනකට අනුව හිට්ලර් ඔහුගේ දේශනයකට පසුව නැගෙන අත්පොලසන් නාදය පුද්ගලිකව භාරගන්නා අභිනයක් දක්වන විට, ස්ටාලින් මෙම සමූහයා සමග අත්පොලසන් දීමට එක් වෙයි. ස්ටාලින්වාදී පාලනයට එරෙහිව එයින් බිඳී ගිය සෙසු මාක්ස්වාදී කණ්ඩායම් විරෝධතා ව්‍යාපාර දියත් කළ ද නාසිවාදයෙහි වඩා යහපත් නොහොත් මානුෂික මුහුණුවරක් ගත් ප‍්‍රවණතාවක් ගැන සිතිය නොහැකිය. කොටින්ම ”ගුඞ්බායි ලෙනින්!” යනුවෙන් චිත‍්‍රපට තැනුන ද ”ගුඞ්බායි හිට්ලර්!” යනුවෙන් චිත‍්‍රපට නොතැනෙයි.

දැන් මා මේ ලිපියේදී ආරම්භයේදී ඇසූ මූලික ප‍්‍රශ්ණයට යළි ප‍්‍රවේශ උවහොත්, මගේ තර්කය වන්නේ ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩට සුවිශේෂීව තම පක්‍ෂයේත් පොදුවේ වාමාංශික ව්‍යාපාරයේත් අතීත වැරදි පිළිබඳ ප‍්‍රසිද්ධියේ කතා කළ හැකි වූයේත්, ජ.වි.පෙ. ට සන්නද්ධ දේශපාලනයෙන් ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණාත්මක ප‍්‍රවේශයකට මාරුවීමට හැකි වූයේත්, සිංහල වර්ගෝත්තමවාදයෙන් ස්වයං-විවේචනාත්මකව වාර්ගික සමානාත්මතාවාදයකට මාරුවීමට හැකියාව තිබෙන්නේත් ජ.වි.පෙ. සතු මාක්ස්වාදී ප‍්‍රබුද්ධත්ව උරුමය නිසා බවය.

වුල්ෆ්බෑන්ක් බෙකර් නමැති ජර්මානු අධ්‍යක්‍ෂකවරයා තැනූ “Good Bye, Lenin!” චිත‍්‍රපටය දිවෙන්නේ 1989 ඔක්තෝබර් මාසයේ සිට බර්ලින් තාප්පය බිඳ වැටීම සහ ජර්මනිය එක්සත් වීම ආශ‍්‍රිත වේගවත් සිදුවීම් ජාලය සිදුවන වසරක පමණ කාල පරිච්‍ඡේදය ඔස්සේය. චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය වන ඇලෙක්ස්ගේ මව දරුණු හෘද කම්පනයක් හේතු කොටගෙන දීර්ඝ සිහිසුන් (කොමා) තත්ත්වයකට ඇද වැටේ. ඒ බර්ලින් තාප්පය බිඳ වැටීමට පෙරය. ඇය යළිත් සුවය ලබා පියවි සිහිය ලබන විට බර්ලින් තාප්පය බිඳ වැටී නැගෙනහිර ජර්මානු සමාජය පරිභෝජනවාදයට සහ වේගවත් වාණිජකරණයකට ලක් වෙමින් පවතී. හාත්පස ලෝකයේ සිදුවෙමින් පවතින්නේ දැඩි කොමියුනිස්ට් පාක්‍ෂිකයෙකු වන ඇලෙක්ස්ගේ මව යළිත් දැඩි ආතතියකට ළක් කළ හැකි සිදුවීම්ය. ඇය යළිත් කොමාවකට ඇද වැටීම වළක්වනු සඳහා ඇලෙක්ස් නැගෙනහිර ජර්මනියේ සිදුවෙමින් පවතින පරිවර්තනය ඇයගෙන් වසන් කරයි; ඇය වටා ව්‍යාජ කොමියුනිස්ට් ලෝකයක් ගොඩනගයි; පැරණි නැගෙනහිර ජර්මානු ලේබල් ඇලවූ නව බටහිර ජර්මානු ආහාර ඇයට පිළිගන්වයි; තම මිතුරෙකුගේ සහායෙන් පැරණි නැගෙනහිර ජර්මානු ආකෘතියේ ප‍්‍රවෘත්ති විකාශයන් පවා වීඩියෝගත කර එම ව්‍යාජ ප‍්‍රවෘත්ති ඇයට ප‍්‍රදර්ශනය කරයි; නිදසුනක් ලෙස බර්ලින් තාප්පය බිඳ වැටී ඇති බව ඇය අහම්බෙන් දැනගත් විට ඇලෙක්ස් කරන්නේ බටහිර ජර්මනියේ දරුණු ආර්ථික අර්බුදය හමුවේ බටහිරින් එන සරණාගතයන් බාරගන්නට නැගෙනහිර කොමියුනිස්ට් රජය තීරණය කළ බව දැක්වෙන විශේෂ ප‍්‍රවෘත්තියක් වීඩියෝගත කර ඇයට එය ප‍්‍රර්ශනය කිරීමයි! චිත‍්‍රපටයේ අවසාන භාගය වන විට බිඳවැටුණු නැගෙනහිර කොමියුනිස්ට් පාලනය පිළිබඳ මතක-වේදනාත්මක (Nostalgic) හැඟීමක් පැතිර යනවා පමණක් නොවේ. ”මිනිස් වර්ගයාගේ ප‍්‍රගතිය පිළිබඳ ඓතිහාසික තෝරා ගැනීම් මෙයට වඩා වෙනස් වූවා නම්!” යන පසුතැවීම් සහගත වූ නමුත් බලාපොරොත්තු දනවන ප‍්‍රශ්ණයක් ද මතු කරයි. බර්ලින් තාප්පය බිඳ දමා නැගෙනහිර ජර්මානුවන් ලෞකික සන්තුෂ්ටිය සොයා බටහිරට ඇදී යාම වෙනුවට, ධනවාදයේ හුවමාරු භාණ්ඩ අධිවන්දනාවේ (Commodity Fetishism) නිස්සාරත්වය වටහා ගත් බටහිර පාරිභෝගිකයන් සමාජවාදී වටිනාකම් සොයා නැගෙනහිරට ඇදී ආවා නම්? තම ජාතික-රාජ්‍ය අධිවන්දනාවෙන් (Nation-state Fetishism) මිදී බටහිර සහෝදර ජනයාට තම නිවහනේ දොරටු විවෘත කිරීමට තරම් නැගෙනහිර සමාජවාදීන් පරමාදර්ශ ගරු කරන්නන් වූවා නම්? කොමියුනිස්ට් පාලනයේ ඓතිහාසික වැරදි නිවැරදි කරගන්නට තරම් ඉතිහාසය විසින් එයට තවත් අවස්ථාවක් දෙනු ලැබුවේ නම්? ”ගුඩ්බායි ලෙනින්!” චිත‍්‍රපටය අප හමුවේ මතු කරන මූලධාර්මික ප‍්‍රශ්ණ එබඳුය. එය ලෙනින්ට ‘ගුඩ්බායි’ යැයි පවසන්නේ ලෙනින්ගේ මානුෂීය උරුමය පිළිගන්නට නම්, එය පෙරට ගෙන යන්නට නම්, එය යළි අර්ථ කථනය කරන්නට නම් කොමියුනිස්ට් පාලනය විසින් ආගමික වස්තුවක් බවට පත් කළ ලෙනින්ට සමු දිය යුතුය යන අරුතිනි.


ශීසෙක්ගේ අවධාරණය වන්නේ මෙවන් මතක-වේදනාත්මක ප‍්‍රබුද්ධත්ව එළඹුමක් නාසිවාදය සම්බන්ධයෙන් කිසිදාක ඇතිවිය නොහැකි වූ බවයි. තම වැරදි නිවැරදි කරගත් වඩා මානුෂීය, ප‍්‍රජාතන්ත‍්‍රීය සහ විමුක්තිවාදී නාසිවාදයක් ගැන අපට කල්පනා කළ හැකිද? ස්ටාලින්වාදී හිංසනය සහ නාසිවාදී හිංසනය පිළිබඳ අනුභූතිකවාදී සමානකම් අවධාරණය කරන විට කෙනෙකු මග හැර යන්නේ කොමියුනිස්ට්වාදයේත් ෆැසිස්ට්වාදයේත් ඉහත කී මූලධාර්මික වෙනසයි. මෙහි අරුත නම් එක් හිංසනයක් අනෙකට වඩා යහපත් බව නොවේ. කොමියුනිස්ට් බලාධිකාරයන් තුළ පැවති අතිශය මානුෂ-විරෝධී දරුණු ප‍්‍රචණ්ඩත්වයන් යුක්ති සහගත කරන්නට කිසිසේත්ම මේ විශ්ලේෂණය යොදා ගත නොහැකිය. නමුත් සරලව කිවහොත් නාසිවාදයේදී අවාසනාවකට වාර්ගික හිංසනය සොබාවිකකරණය කරන්නට ප‍්‍රබුද්ධත්වයට එරෙහි පාලන තන්ත‍්‍රයක් සමත් වූ අතර, කොමියුනිස්ට්වාදයේ දී විමුක්තිවාදී අරමුණු සහිත වූ ප‍්‍රබුද්ධත්ව ව්‍යාපෘතියක් ඓතිහාසිකව වැරදි මාවතකට යොමු විය. විශාලතම බුද්ධිමය අභියෝගය වන්නේ ඉහත කී පළමුවැන්න නොව දෙවැන්න එසේ වූයේ මන්දැයි තේරුම් ගැනීමය.

ලාංකේය සන්දර්භය තුළ ජ.වි.පෙ. බිහි වුණේ 1930 දශකයේ පටන් මෙරට ගොඩනැගුණු මාක්ස්වාදී විමුක්ති කතිකාව තුළින්ය යන්න මගේ තර්කය යි. එහෙයින් විමුක්තිවාදී දේශපාලනය පිළිබඳ ප‍්‍රබද්ධත්ව සම්ප‍්‍රදාය එයට උරුම විය. සැබැවින්ම මෙහිදී මගේ අවධාරණය වන්නේ ජ.වි.පෙ. නම් පක්‍ෂයට වඩා එම පක්‍ෂය පදනම් වන සමාජ කතිකාව නොහොත්, මමත් මා මිත‍්‍ර විදර්ශන කන්නන්ගරත් පසුගිය වසරකට ආසන්න කාලය පුරා ‘ලංකා’ පුවත්පතේ ගොඩනැගූ සංවාදයකදී ”ජනතා විමුක්ති කතිකාව” ලෙස සංකල්පගත කළ දෙයයි. (මෙම ලිපි පෙළේ ඉදිරි ලිපියකදී මෙය තවදුරටත් විදාරණය කරන්නට අපේක්‍ෂා කරමි). සරලව කිවහොත් 1960 දශකයේ සිට අද දක්වාම ජ.වි.පෙ. ක‍්‍රියාධරයන් පමණක් නොව ජනතා විමුක්ති කතිකාව තුළ නියෝජනය වූවන් පොදුවේ සමාජ විමුක්තිය පිළිබඳ යම් යම් පරමාදර්ශයන් විශ්වාස කළහ. ජ.වි.පෙ. සිංහල වාර්ගික-ජාතිකවාදයේ ප‍්‍රධානතම ප‍්‍රකාශකයෙකු හා කර්තෘකයෙකු වන විටදීත් මෙම සමාජ විමුක්තිය පිළිබඳ කතිකාමය සංඝටකය එය තුළ (ඇතැම් විට වාර්ගිකව නිර්වචනය වූ සමාජවාදයක් ලෙස වුවත්) පැවතිණි. 1987-89 ඊනියා දේශපේ‍්‍රමී අරගලය එහි වාර්ගික අරුතින් පමණක් තේරුම් කරන්නට යන, බොහෝ විට ඉංග‍්‍රීසි ලේඛකයන්, නොතකා හරින්නේ එම අරගලය තුළ දකුණේ ග‍්‍රාමීය තරුණ ජනයාගේ විමුක්ති අභිලාශයන්, 1980 දශකයේ සංස්කෘතික විවාදය තුළ වර්ධනය වූ විවෘත-ආර්ථික විරෝධය, ජයවර්ධන පාලනයේ ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයට වූ විරෝධය යනාදිය නියෝජනය වූ බවයි. ”කොළඹට කිරි-ගමට කැකිරි” යන සුප‍්‍රසිද්ධ සටන් පාඨයෙන් ගම්‍ය වන්නේ සිංහල වාර්ගික දේශපේ‍්‍රමයක් නොව ධනවාදී අසමාන සංවර්ධනය පිළිබඳ විරෝධයකි. ජ.වි.පෙ. වාර්ගික යුද්ධයේදී සිංහල වාර්ගික-ජාතිකවාදය වැළඳගන්නා විටත්, එහි ක‍්‍රියාකාරීන්ට එය යුක්ති සහගත කර ගත හැකි වූයේ එය පක්‍ෂයේ උපක‍්‍රමික තෝරා ගැනීමක්ය යන තර්කණය අනුසාරයෙනි. ජ.වි.පෙ. සතු මාක්ස්වාදී ප‍්‍රබුද්ධත්ව උරුමය හේතුකොටගෙන එයට ජාතික හෙළ උරුමය මෙන් සිංහල වර්ගෝත්තමවාදය අවිවේචනාත්මකව වැළඳගත නොහැකි විය. වාර්ගික ජාතිකවාදයත් විමුක්ති දේශපානයත් පිළිබඳ අභ්‍යන්තර විවාදය ජ.වි.පෙ. තුළ දිගින් දිගටම පැවතිණ. එය දැන් ස්වකීය ඉතිහාසය පිළිබඳව නාසිවාදීන් මෙන් ස්වාභිමානී මිථ්‍යාවක් ගොඩනගනවා වෙනුවට තම අතීත ගමන් මග දෙස ස්වයං-විවේචනාත්මකව යළි හැරී බලන්නට ප‍්‍රයත්න දරයි. පුබුදු ජයගොඩ ඇතුළු ජ.වි.පෙ. වාමාංශික මතධාරී කණ්ඩායමෙන් නියෝජනය වන්නේ මෙම මාක්ස්වාදී ප‍්‍රබුද්ධත්ව එළඹුමයි.

[මතු සම්බන්ධයි]

සුමිත් චාමින්ද



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අතුල පතිරණගේ "දොළහක්" වේදිකා නාට්‍යය 2011 දෙසැම්බර් 01 වෙනිදා සහ 02 වෙනිදා සවස 6.45 ට කොළඹ ලයනල් වෙන්ට්ඞ් රංග ශාලාවේදී.

රංගනය- විශ්වජිත් ගුණසේකර, ඩබ්ලිව්. ජයසිරි, ලක්‍ෂ්මන් මෙන්ඩිස්, ධර්මප‍්‍රිය ඩයස්, සම්පත් ජයවීර, තුමිඳු දොඩන්තැන්න, ජගත් මනුවර්ණ, පූජිත ද මෙල්, ගාමිණී විජේසිංහ, ගිහාන් ද චිකේරා, සමන් ලියනගේ, සංජය හෙට්ටිආරච්චි



"දොළහක්", රෙජිනෝල්ඞ් රෝස් විසින් රචිත Twelve Angry Men නැමැති කෘතියෙහි පරිවර්තනයකි.






මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කලාව ලෝක සමාජ හැසිරීමෙන් වියුක්ත කොට - ඒකලනය කොට හදුනාගත හැක්කක් නොවේ. එය අත්‍යන්තයෙන්ම සමාජ විපර්යාසය හා බැදී ඇත්තේ කලාව නිසා සමාජයත්-සමාජය නිසා කලාවත් ඉදිරියට තල්ලු වන දයලෙක්තික සම්බන්ධයක් ඇතිවය. මේ ලියමන අරමුණු කරන්නේ 19 වන සියවසේ කරළියට ආ යථාර්ථවාදය, ස්වභාවිකවාදය වැනි දාර්ශනික ආස්ථානයන්හි ප්‍රභාවෙන් ජන්මය ලබා හැදී වැඩී ප්‍රජනන කාර්යයේ නියැලුණු සුසාදිත නාට්‍ය කලාවට එරෙහිව කැරළි ගැසූ ප්‍රති-යථාර්ථවාදීමය එළඹුම - විසංගත නාට්‍ය කලාවට බලපෑ න්‍යායික පසුබිම ඇසුරින් නව යටත්විජිතකරණයට ලක් වූ ශ්‍රී ලංකාවේ අප ගත කරන මේ මොහොත ස්පර්ශ කර බැලීමයි.

යථාර්ථවාදය - ස්වභාවිකවාදය හා සුසාදිත නාට්‍ය කලාව

ස්වභාවධර්මය දේවත්වයට නැංවූ - මිනිස් පරමාදර්ශී බව පිළිබඳ සිහිනයක එල්බගත් රෝමාන්තිකවාදයේ අර්ථශූන්‍යත්වයට පහර දෙමින් අළු දූලි ගසා එළියට පැමිණි යථාර්ථවාදීන් මනුෂ්‍යයාගේ ප්‍රකෘති තත්වය විද්‍යාත්මකව හා වඩාත් නිවැරදිව ගවේෂණය කරමින් අනාවරණය කරගනු පිණිස වෙහෙසිණ. විශේෂයෙන්ම ඔගස්ට් කොම්තේගේ යථානුභූතිවාදී දර්ශනයත්, චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයත්, කාල් මාක්ස්ගේ ඓතිහාසික භෞතිකවාදයත් යන මූලික සිද්ධාන්තයන්ගේ එළිය උදුරා ගත් යථාර්වාදී නාට්‍ය කලාව සැබෑ ජීවිතය සත්‍යවාදීව ප්‍රතිනිර්මාණය කරන්නට පෙළඹුණේය. කනිෂ්ඨ ඇලෙක්සැන්ඩර් ඩූමා, එමිල් ඕගියර් ආදීන්ගෙන් ඇරඹුණු මේ නාට්‍ය කලාව හෙන්රික් ඉබ්සන්, ඇන්ටන් චෙකොෆ්, ආතර් පින්රෝ, හෙන්රි ආතර් ජෝන්ස්, ජෝන් ගැල්ස්පර්දි, ජෝර්ජ් බර්නාඩ් ෂෝ ආදී ප්‍රධාන කලාකරුවන්ගේ කර මතින් දුර ගමනක යෙදිණි. එහි වර්ධනය හා සමාන්තර එමිල් සෝලා වැනී ප්‍රවීන නාට්‍යකරුවන්ගේ ස්වාභාවිකවාදී ප්‍රවේශයත් සමගින් එක්තරා තීර්ණාත්මක මොහොතක් කරා මේ නාට්‍ය කලාව ළගා වෙයි.

මනුෂ්‍ය ජීවිතයේ එදිනෙදා සිදුවීම් හා අවස්ථා තත්වාකාරයෙන් නිරූපණය කරමින් - මනුෂ්‍ය ගැටුම් හා එම ගැටලු වලට තාර්කික හේතු ඵල දක්වමින් - තර්කානුකූල හා විශ්වසනීය නිගමනාත්මක අවසානයක් කරා එළඹීම සුසාදිත නාට්‍ය කලාවේ ස්වභාවයයි. නමුත් තත්‍ය යථාර්ථය මිනිසා විසින් සංජානනය කරගෙන එය යළි ප්‍රතිනිර්මාණය කරන්නාවූ මේ කලාවේ සීමාත්මකබවට එරෙහිව විවිධාකාරයේ කැරළි මතුවන්නට විය. “පරම සත්‍යය තර්කයෙන් අවබෝධ කළ නොහැකි හෙයින් එය තර්කානුකූල භාෂාවෙන් ප්‍රකාශ කළ නොහැකි බවත් එය හුදෙක් සංකේතාත්මක වස්තු වලින් හා ක්‍රියා වලින් ධ්වනිත කළ හැකිය”1 යන මතය දැරූ සංකේතවාදීන්, “යථාර්ථයේ බාහිර පෙනුම ප්‍රතිනිෂ්පාදනය කිරීම නොව සියලු වස්තු ක්‍රියා හා අත්දැකීම් මානුෂික විලාසයෙන් නිරූපණය කිරීම”2 කලාකරුවාගේ කාර්ය ලෙස වටහා ගත් ප්‍රකාශනවාදීන් හා “නිෂ්පාදනාත්මක සහභාගීත්වයක්” මගින් කෘතිය හා සජීවි විය යුතු යැයි පැවසූ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ රංග ක්‍රමය ඒ හා සමකාලීනව පැතිරී ගිය සමාජවාදී ආරේ “සමාජ ක්‍රියා රංගය”මේ සදහා සාක්ෂි සපයයි. මේ සියලු ආකාරයේ එළඹුම් අතික්‍රමණය කළ කලා භාවිතයක් ලෙස 1950 දසකයේ අසංගත නාට්‍ය කලාවේ ආගමනය සිදු වෙයි.


විසංගත නාට්‍යයේ න්‍යායික පසුබිම

විසංගත නාට්‍ය කලාවෙහි අඩිතාලම වැටෙන්නේ ෂෝන් පෝල් සාත්‍රෙ, ඇල්බෙයා කැමූ වැනි දාර්ශනිකයන්ගේ/සාහිත්‍යකරුවන්ගේ අදහස් ගැබ් වුණු සාංදෘෂ්ටිකවාදී- existentialism- දර්ශනය වෙතිනි. එය නාභිගත වී ඇත්තේ “මිනිස් පැවැත්ම” වෙතය. මිනිසා සම්පූර්ණයෙන්ම නිදහස් පැවැත්මක් ඇත්තෙකු බවත් - අරුත් සුන් ලෝකය තුළ වසන මනුෂ්‍යයාගේ සියලු ක්‍රියාකාරකම් වලට වගකිව යුතු වන්නේ ඔහු මිස වෙනත් කිසිවකු නොවන බවත් මෙම දර්ශනයේ හරයයි. විශේෂයෙන්ම මේ න්‍යායික පසුබිම පළමු ලෝක යුද්ධයෙන් පසුව රෝපණය වී දෙවන ලෝක යුද්ධයෙන් පසුව වැඩී වර්ධනය වෙයි. සමකාලීන ලෝක දේශපාලනික හා සමාජ හැසිරීම් මත පදනම් වෙමින් ඔවුන් ප්‍රකාශ කලේ ලෝකයේ සිදුවීම් හා ඒ මත බැදුණු කරුණු වල කිසිදු අර්ථයක් නැති බවයි. ඒවාට අර්ථ කවන්නේ මිනිසා විසින් වන අතර එකී අර්ථ කෙරෙහිද කිසිම ආකාරයකින් හේතුඵලවාදී සම්බන්ධයක් නොමැති බවත් ඒවා හුදු මිනිස් ප්‍රබන්ධ පමණක් වන බවත් ඔවුන් ප්‍රකාශ කරයි. මෙම දාර්ශනික ප්‍රවේශය හරහා නිර්මාණකරණයට එළඹෙන විවිධ කලාකරුවන් විසින් එහි විෂය පථය තවත් පළල් කරනු ලැබිණ. සැමුවෙල් බෙකට්, ඉයුජින් අයනෙස්කෝ, පිරැන්දලෝ, හැරල්ඩ් පින්ටර්, ආතර් ඇඩොමොව්, එඩ්වඩ් ඇල්බී, ජීන් ජෙනට් ආදීන් ඒ අතරින් කැපී පෙනෙයි.

ලාංකේය “මේ මොහොතේ” සංදිග්ධ ගතිකත්වය ඇස ගා බැලීම හා විසංගත න්‍යායේ එළියෙන් එහි ප්‍රතිබිම්බය දැකීම

නව යටත්විජිතකරණයේ ගොදුරක් වන මේ කුඩා දූපතෙහි ආර්ථික-සමාජයීය-දේශපාලනික ආදී වූ සියලූම සංස්කෘතික ව්‍යුහයන්ගේ ගතිකත්වය දෙස යන්තම් - උඩින් පල්ලෙන් ඇස ගහගෙන යාමෙන් පමණක් එහි ඇති අසංගතිකබව-අභූතරූපිත්වය වටහා ගැනීමට හැකිය. මේ වනවිට ඕනෑ තරම් සාකච්ඡාවේ පවතින පශ්චාත් යුද වාතාවරණය තුළ සිංහල-දෙමළ අති-සමාන්‍ය පුරවැසියාගේ සිට සියලු රාජත්‍රාන්තිකයින් හරහා පළමු පුරවැසියා දක්වා හැසිරීම තීව්‍ර කරන්නේ ඒ අභූතරූපිත්වයයි.

ප්‍රාථමික පවුල තුළට එබී අම්මා-තාත්තා-දරුවන්-සහෝදර සහෝදරියන් යන මානව සම්බන්ධතා ජාලයේ දැන් තත්වය පිළිබඳව වචන වියදම් කිරීම අවශ්‍ය කටයුත්තක් නොවේ. මෙය තවදුරටත් ප්‍රසාරණය කරන විට එදිනෙදා තත්‍ය යථාර්ථය තුළ මුණගැසෙන මේ චරිත (යහළුවෝ-නෑදෑයෝ-ගුරුවරු-වෛද්‍යවරු ආදී)-භූමිකා වෙත පවත්නා කාරකත්වයන්ගේ හැසිරීම් වල අතාර්කිකබාවය අපට විද්‍යමාන වෙයි. මිනිස් සම්බන්ධතා වල ද්‍රවශීලතාවයේ අගය එන්න එන්නම ඉහළ යන අතර තම වෘත්තීයමය භූමිකා (පොලීසිය, හමුදාව, වෛද්‍ය, අධිකරණ, ගුරු, සිවිල් පරිපාලන අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික වෘත්තීන්) තම සම්බන්ධතා ජාලය මත අවුල්ව යමින් තර්ක යුක්තියක් නැති කමත්, නිශ්චිත පැහැදිලි-සම්මුතිගත සාරධර්ම හා ආචාරධාර්මික ආස්ථාන තවදුරටත් නැති බවත් අපට මතක් කර දෙයි.

දේශපාලනයේ පවත්නා විසංගතිකත්වය කියාපානු වස් මර්වින්, එස් බී, දුමින්ද, අනර්කලී, උපේක්ෂා, සනත්, රංජන් ආදී ප්‍රසිද්ධ චරිතයන්ගේ විවිධාකාර ක්ෂේත්‍රගත හැසිරීම්-වැඩිහිටි දේශපාලන නායකන්ගේ හා රාජපක්ෂලාගේ ඇතුලු කී නොකී දේශපාලනික බල ව්‍යුහයේ උපරි කොටසේ සිටින්නන්ගේ සියලු හැසිරීම් ගැන මේ වන විට බොහෝ මාධ්‍ය මගින් ලාංකිකයා වුවමනාවටත් වඩා දැනුවත් බැවින් මෙහි පුනර්-රචනය නොකළද ඒ ගැන නැවත අවධානය යො‍මු කරනවිට අපේ උක්ත එළඹුම හා එය සමගාමී බව අමුතුවෙන් කිව යුතු නැත.

ක්‍රීඩාව, වෙළදාම, ජන මාධ්‍යය, කලාව හා ආගම ආදී වූ සියල්ල විසින් අපට මේ අභූතරූපිත්වය උගන්වනු ලැබේ. විශේෂයෙන්ම ජන මාධ්‍යය හා කලාව ගැන නැවත නැවත කතා කිරීමම ඒ විකාරරූපිත්වයේ ඇමිණීමකි. මාධ්‍යයෙහි එම හැසිරීම වෙත අප විසින් කැඩපත් අල්ලන්ට ගියහොත් සිදු වන්නේ රාජ්‍යය වේවා පුද්ගලික වේවා මාධ්‍යය වෙතම එල්ලී සිටින්නටය. (මෙහිදී වඩා කැපී පෙනෙන්නේ රූපවාහිනී මාධ්‍යයි.) ආගම නමැති දෘෂ්ටිවාදීමය උපකරණයද අපට මේ ගැන අන් සියල්ලකටත් වඩා හොදින් පැහැදිලි කර දෙයි. ඉතාම දුෂ්කර ගමක පන්සලක විහාරාධිපතිවරයෙකුගේ සිට ශ්‍රී මහා බෝධිය- අටමස්ථානාධිපති වැනි තනතුරු හරහා ඉහළ පෙළේ සංඝනායකාරකාදීන් ඇතුලත් වන සග පරපුර නිශ්චිත තනි සත්‍යය-පොදු සාර ධර්ම-ශික්ෂිතබව යන සියල්ලෙහි අතාර්කිකත්වය පිළිබදව ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටිති. ඒ අතරින් වෙනස්ව යමින් ඒ ගොඩේම ඇද වැටෙන “අසපු” භාවනාකරුවන්ගේද භාවිතාව මෙයින් වෙනස්ව නොයයි. “නිවන” වෙනු‍වෙන් සමකාලීන හාමුදුරු පැවැත්මට කැරළි ගසන මේ අසපු භාවනාකරුවෝ ගම් වලට යන්නේ තම මුහුණු මත රූප ලාවන්‍යයේ රහස් අතුල්ලාගෙනය.

මීට මාස කිහිපයකට ඉහතදී කහටගස්දිගිලිය ප්‍රදේශයේ අති දුෂ්කර ගම්මානයක් වන මගේ උපන් බිමෙහි මේ ආකාරයේ “අමුතු” ධර්ම දේශනාවක් පැවැත්විණි. මුළු පංසලම සුර පුරයක් මෙන් සරසා තිබිණි. එහි ආලෝකකරණය සදහා පමණක් බල්බ තිස් තුන් දහසක් ගෙනා බව සංවිධාක-මගේ තරුණ ඥාති සොයුරා මට පැහැදිලි කළේය. (දැන් ඔහු මහමෙව්නා අසපුවේ පැවිදි වීමේ අපේක්ෂාවෙන් අනගාරික-උපාසක ජීවිතය ගෙවයි.) සවුන්ඩ්ස් සෙට් උපරිම තාක්ෂණයෙන් යුක්ත විය. සියල්ලටම වඩා මා පුදුම වූයේ හාමුදුරුවන්ගේ බණ කියන ආසනය සරසා තිබූ අයුරිනි. (මම රජවරුන්ගේ ආසනයක් සියැසින් දැක නැතත් එය මෙසේ වන්නට ඇතැයි පරිකල්පනය කර ගත්තෙමි.) කෙසේහෝ නියමිත වේලාවට සුඛෝපබෝගී වාහනයකින් පැමිණි හාමුදුරුවෝ පාවඩ මතින් - ශ්‍රද්ධාසම්පන්න ගැමි උපාසක උපාසිකාවන්ගේ සාධුකාරය මැද්දේ ධර්මාසනයට වැඩම කර ධර්ම දේශනය පටන් ගත්හ. සංවිධායක මණ්ඩලයත් ශ්‍රාවකයෝත් හාමුදුරුවන්ගේ රූපශ්‍රීය හා දේශනා විලාසය ගැනත් පංසල් භූමියෙහි අලංකාරය ගැනත් බොහෝ කාලයක් යන තුරු සෑහෙන අමන්දානන්දයෙන් කතා කළහ. තම කටහඩ පවා වෙනස් කරමින් බණ කියන මේ භාවනාකරුවන් ගැන මම නම් කිසිදු අයුරකින් නොපැහැදුනෙමි. නමුත් අද වන විට අපේ ප්‍රදේශය පුරාම මේ ව්‍යාධිය බෙහෙවින්ම පැතිරී යයි. එහි අහිතකර බලපෑම ගැන මෙහිදී සාකච්ඡා කිරීමට ඉඩක් නැති අතර එය වෙනමම දීර්ඝව සාකච්ඡා කළ යුතු විෂයකි. කෙසේ හෝ ඒ ගැන මේ තරමක් දීර්ඝ ලෙස වචන මිඩංගු කරනු ලැබුවේ ඔවුන්ගේ මුවින් ප්‍රකාශ වන අභිමතාර්ථයන්ගේ ව්‍යාජත්වය ඔවුන්ගේ භාවිතාව තුළින් මතු වන හැටි පෙන්වීමටය. එනම් තමා දරන්නාවූ ලෝක දෘෂ්ටිය හා එම පරම සත්‍යයේ සාවද්‍යතාව දෙසට තමාගෙන්ම එල්ලවන ප්‍රතිපක්ෂ ක්‍රියාවන් මගින් තමා පරාජය වන සැටි පෙන්වීමටය. මේ පරස්පරය මගින් තවදුරටත් තහවුරු කරන්නේ මිනිසා තමාගේ තත්වය දියුණු කර ගැනිම පිණිස යොදන්නාවූ සෑම ආකාරයක්ම යුක්ති රහිත බවත් - තර්කානුකූල පදනමක් නැති බවත්ය.


පරම සදාචාර නීති හෝ සාරධර්ම නැති බවත් මිනිසා අරමුණක් නැති ලෝකයක එහාට මෙහාට පාවෙන සත්වයෙකු බවත් ෂෝන් පෝල් සාත්‍රෙ ප්‍රකාශ කොට ඇත. සාත්‍රේගේ දෘෂ්ටිය වඩාත් පළල්ව දකින්නට ඇල්බෙයා කැමූ නමැති විශිෂ්ට සාහිත්‍යකරුවාට - දාර්ශනිකයාට හැකි විය. ඔහු විසින් මිනිසුන්ගේ අභිමතාර්ථ, ආශාවන් හා තමා ජීවත් වන අර්ථ ශූන්‍ය ලෝකය අතර ගැටුමින් අභූතරූපිභාවය මතු වන බව ප්‍රකාශ කළේය. එවිට මේ දෙදෙනාගේම අදහස් වලින් කියවෙන්නේ මේ “පඹ ගාල්-ලෝකය” තුළ පරම හා නිශ්චිත සාරධර්ම හෝ නීති පැවතිය නොහැකි බවයි. එය විවිධ සංස්කෘතීන්හි - විවිධ පුද්ගලයන්ට ආවේනික වූ - සාර ධර්ම පද්ධතියක් සොයා ගැනීමේ අවශ්‍යතාව කියාපායි. නමුත් මෙහිදී තමා හුරු වූ සාරධර්ම ද පරම තත්වයක් නොවන බවත් එය අනෙකාගේ ද පැවැත්ම විය යුතු යැයි නොසිතිය යුතු බව වටහාගත යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ දාර්ශනික සෙවනේ සිට නාට්‍යකරණයේ නියැලුණු විශිෂ්ට කලාකරුවෙකි සැමුවෙල් බෙකට්. ඔහුගේ භාවිතාව වූයේ ජීවිතයේ සියලු අත්දැකීම් වල අර්ථයන්ගේ පවත්නා සංදිග්ධතාව තම ආකෘතිය හා අන්තර්ගතය තුළින් පිළිබිඹු කිරීමයි. මිනිසුන්ගේ අත්දැකීම් වල පවත්නා සංදිග්ධතාව ඒ ආකාරයෙන් නිරූපණය කිරීම “කලාව” තුළ නිරූපණය කරන්නේ ඇයි යන්න වැදගත් ප්‍රශ්නයකි. විශේෂයෙන්ම ඉයුජින් අයනෙස්කෝගේ (ඔහු ඔහුගේ නාට්‍ය කලාව හැදින්වූයේ ප්‍රති-නාට්‍ය/anti-theatre යනුවෙනි.) නාට්‍ය භාවිතාව මෙයට කදිමට පිළිතුරු සපයයි. ඔහුගේ නාට්‍ය වල වස්තු විෂය අර්ථ ශූන්‍යය. ඒ හා සමාන්තරව නාට්‍ය විධි ක්‍රමයද සකසා ගනියි. නාට්‍යයේ චරිත මුහුණ දෙන අත්දැකීම් සුසාදිත නාට්‍යයන්හි මෙන් තාර්කික - විශ්වසනීය අවසානයකින් කෙළවර වන්නේ නැත. (ඒ අර්ථයෙන් විසංගත නාට්‍ය ක්‍රමය සියල්ලට වඩා තථ්‍ය-යථාර්ථවාදී වෙයි.) නාට්‍ය සංවාද වල ගලා යෑම එකකට එකක් පටහැනිව යයි. මෙසේ විසංගතික ආකෘතියක් තුළ පිහිටුවන්නේ බෙහෙවින්ම විසංගතික අන්තර්ගතයක් නිසා ආකෘතිය හා අන්තර්ගතය අතර ඇත්තේ අතිශය සමීප සම්බන්ධයක් බව පෙනේ. මෙම ආකෘතියේ සංදිග්ධතාව හරහා ප්‍රේක්ෂකයා ඇද වැටෙයි. ඔහු වෙත නාට්‍ය හරහා නිශ්චිත - තනි - නිගමනාත්මක පණිවිඩයක් ලැබෙන්නේ නැත. ප්‍රේක්ෂකයා හා කෘතිය අතර ඇතිවන්නේ සජීවි සම්බන්ධයකි. ඔහු ඒ දෙස බලාසිටින්නෙක් නොවේ. ඔහු ඒ අත්දැකීමෙහි හවුල්කරුවෙකි.

මෙම භාවිතාව මගින් සම්මුතිගත - ව්‍යුහයන්ගේ පරමෝත්කෘෂ්ටත්වයට නැංවූ දෘෂ්ටිවාදාත්මක සාරධර්ම ප්‍රශ්න කරන නිසා ප්‍රේක්ෂකයා ඒවා මිනිස් පැවැත්මේ නියත සහ අනිවාර්ය අංග නොව එක් එක් සංදර්භයට අදාළව ඒ තුළින්ම ගොඩ නැගෙන්නාවූ කාරණාවන් බවට තේරුම් ගනියි. මේ කාරණා අපේ සංස්කෘතික ව්‍යුහ හා සසදන විට (පොලිසිය, හමුදාව, සිවිල් පරිපාලන ආයතන ඇතුලු රාජ්‍ය ආයතනිකගත ව්‍යුහයන් සේම අනෙකුත් ආර්ථික, සමාජයීය, ආගමික, දේශපාලනික ආදී සියලු සංස්කෘතික ව්‍යුහයන් ඇතුළත්ව) මිනිස් පැවැත්ම කිසියම් සංවෘත පැවැත්මක සිරකොට ඇති බවත් එමගින් ඇතිවන්නාවූ අනිෂ්ට ප්‍රතිවිපාක වෙතත් ඉගි කරන බවත් පෙනේ. මේ සාරධර්ම හෝ “පැවැත්මේ කොන්දේසි” අපට ලැබෙන්නේ අපේ පැවැත්මට අදාළව ඒ හා සමගාමීව ඒ තුළින්ම නොව වෙනත් කිසියම් දෘෂ්ටිවාදාත්මක-උපකරණමය තර්කණයක් යටතේ බව පෙනී යයි. එහි ඛේදය අපි විදිමින් සිටිමු. එබැවින් මේ න්‍යායාත්මක ප්‍රවේශය අපිට ඒ ගැන කතිකාවකට එළඹෙන්නට ඉතාම සුදුසු වටපිටාවක් සපයයි. ඕනෑම සමාජ ව්‍යුහයකට අදාළ ආචාර ධර්ම ආගමික හෝ රාජ්‍ය හෝ වෙනත් සංස්කෘතිමය උපකරණයක් මගින් බලාත්මක කිරීමට ගන්නා උත්සායන් නිසා ඇතිවන්නාවූ විකාරරූපිත්වය අපි ඕනෑතරම් අත් දකිමු. ඊට එරෙහිව කතිකාවට ගොඩ වෙමින් මිනිස් පැවැත්ම පිළිබදව මීට වඩා ගැඹුරින් හා වඩාත් සාධාරණ එළඹුමක් වෙනුවෙනුත් මේ විසංගත (absurdism) න්‍යායික ආලෝකයෙන් ඉදිරිය‍ට ගමන් කිරීම ප්‍රයෝජනවත් බව මම දකිමි.

1- සුචරිත ගම්ලත්, බටහිර නාට්‍ය හා රංග කලාව,229 පිටුව
2- එම,238 පිටුව


සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අන්තර්ජාලයේ මූලාරම්භය 1960 දක්වා විහිදී ගිය ද එහි ලෝක ව්‍යාප්ත ජාලය (www - World Wide Web) නමැති සංකල්පය මුල්වරට ඉදිරිපත්වන්නේ 1982 වසරේදීය. නමුත් අන්තර්ජාලය ශ්‍රී ලංකාවට පළමුවරට හඳුන්වා දෙන්නේ 1990 වසරේදී මොරටුව විශ්ව විද්‍යාලයේ මූලිකත්වයෙනි. ලංකාව පුරා විහිදී ඇති අධ්‍යාපනික හා පර්යේෂක නියෝජිතයන් එකට එකතු කරමින් මෙම ව්‍යාපෘතිය ඇරඹුනි.

ලංකාවේ දැනට අන්තර්ජාලය පරිහරණය කරන්නන්ගේ සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන දෙකක් පමණ වන වන බවද එය සමස්ත ජනගහනයෙන් 14% ක් වන බව ලංකා බිස්නස් රිපෝට් (www.lbr.lk) සඳහන් කරයි. මොවුන්ගෙන් 46% ක් දෙනා අන්තර්ජාලයට පිවිසෙන්නේ ජංගම දුරකතන මගින් වන බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

අන්තර්ජාලය සම්බන්ධතා පිළිබඳව සංඛ්‍යාත්මක දත්ත ගෙන බැලීමේදී, එය අන්තර්ජාලය පරිහරණය කරන පිරිසට වඩා අඩු බවක් දැක ගත හැකිය. එසේ වීමට හේතුව එක් සම්බන්ධතාවයක් හරහා කිහිපදෙනෙකු අන්තර්ජාලයට පිවිසෙන බැවිනි. තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනය සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත වලට අනුව 2010 දක්වා ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සම්බන්ධතා පිළිබඳ දත්ත සටහන පහත දැක්වේ.


source:internetworldstats.com


එම සටහනට අනුව, 2007 න් පසු ගතවූ කාලය තුල අන්තර්ජාලය වේගයෙන් ව්‍යාප්ත වීම සිදු වී ඇති අතර 2010 වර්ෂයේදී වැඩිම වර්ධන වේගයක් සටහන් කරමින් ලක්ෂ 6 කට වැඩි පිරිසක් අළුතෙන් සම්බන්ධතා ලබාගෙන ඇත.

විකිපීඩියා (www.wikipedia.com) වෙබ් අඩවිය විසින් රටේ ජනගහනයට අනුව අන්තර්ජාලය භාවිත කරන සංඛ්‍යාව පෙළ ගස්වා ඇති සටහනට අනුව ලංකාවට හිමිව ඇත්තේ 137 වන ස්ථානයයි. ලංකාව සහ තවත් රටවල් කිහිපයක අන්තර්ජාලය භාවිත කිරීමේ ප්‍රමාණයන් පිළිබඳ පහත සටහන මගින් අන්තර්ජාල සිතියමේ ලංකාවේ තත්වය අවබෝධ කර ගැනීමට ඉවහල් වනු ඇත.


අන්තර්ජාලයට පිවිසෙන්නේ කුමක් සඳහාද?

ආරම්භයේදී ඊමේල් යැවීම, තොරතුරු ලබා ගැනීම, වෘත්තිමය අවශ්‍යතා සඳහා ආදී කරුණු කිහිපයකට සීමා වුවද වර්තමානය වන විට අන්තර්ජාලයට පිවිසෙන අරමුණු වඩා සංකීර්ණ වී ඇත. එම සංකීර්ණත්වය විග්‍රහ කළ නොහැකි තරම් පුළුල් ක්ෂේත්‍රයක් පුරා පැතිරී ඇත.

ලංකාවේ අන්තර්ජාලය භාවිත කරන්නේ කුමක් සඳහාද යන කාරණය සෙවීම සඳහා වැඩිම පිවිසුම් ඇති වෙබ් අඩවි 200 ඇසුරින් කරන ලද අධ්‍යයනයකදී හෙළිවූයේ අන්තර්ජාලයට බහුතරයක් දෙනා පිවිසෙන්නේ ව්‍යාපාරික තොරතුරු හා සේවාවන් ලබා ගැනීමට බවයි. එය සෑම පස්දෙනෙකුටම එක් අයකු (19.5%) ලෙසින් වාර්තා වේ. දේශීය හා අන්තර්ජාතික ව්‍යාපාරික ආයතන හා සමාගම් සඳහා ඇති වෙබ් අඩවි මෙම කාණ්ඩයට ඇතුළත් විය. ඊළඟට වැඩිම පිරිසක් (17.5%) අන්තර්ජාලය හා සම්බන්ධ වන්නේ පුවත් ලබා ගැනීමේ අදහසිනි. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වාර්තා නොකරන පුවත් ලබා ගැනීමට හැකි වීමත්, පුවත් ඉක්මනින් හා පහසුවෙන් අඩු පිරිවැයකින් ලබාගැනීමට හැකි වීමත්, පුවත් සඳහා වැඩි ඉල්ලුමක් අන්තර්ජාලයේ ඇති වීමට හේතු වී ඇත.

භාගත කිරීම (download) හා ගොනු හුවමාරුව (file sharing) කිරීමේ අරමුණින් තෙවන වැඩිම පිරිස (15%) අන්තර්ජාලය හා සම්බන්ධවන බව දැකිය හැකිය. නොමිලේ ලබාදෙන මෘදුකාංග, වීඩියෝ හා ටොරන්ට් භාගත කිරීම් සඳහා සුවිශේෂි ඉල්ලුමක් ඇති බව දැකිය හැකිය. ගූගල් ප්‍රධාන සෙවුම් යන්ත්‍ර (search engines) භාවිත කරමින් හා වෙනත් තොරතුරු ලබා ගැනීමට ඇති වෙබ් අඩවි භාවිත කරමින් තොරතුරු ලබා ගැනීමේ අරමුණින් ඊළඟට වැඩිම පිරිසක් (11%) අන්තර්ජාලය හා සම්බන්ධ වන බව දැකිය හැකිය. අන්තර්ජාලයට පිවිසෙන සෑම දහදෙනෙකුගෙන් එක් අයකුම (10%) විනෝදාත්මක කටයුතු සඳහා අන්තර්ජාලය පරිහරණය කරන්නන් වේ. පරිගණක ක්‍රීඩා, ගීත ශ්‍රවණය වැනි විනෝදාස්වාදය සඳහාම ඇති වෙබ් අඩවි මෙම කාණ්ඩයට අයත් විය.

මේ අතර අධ්‍යාපන කටයුතු වල නියැලීමේ අරමුණින් අන්තර්ජාලයට පිවිසෙන සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් ලිංගික දර්ශන ඇතුලත් වෙබ් අඩවි නැරඹීමටම අන්තර්ජාලය භාවිත කරන බව දැකිය හැකිය. එය සංඛ්‍යාත්මකව වෙබ් අඩවි 10 ක් වන අතර ප්‍රතිශතයක් ලෙස 5% ක් බැගින් වේ. මෙහි සුවිශේෂත්වය වන්නේ අසභ්‍ය යැයි පවසා උසාවි නියෝග ලබාගෙන පුළුල් ප්‍රචාර දෙමින් කලක් දිනකට 50-60 වෙබ් අඩවි තහනම් කිරීමයි. එමගින් සිදුවූයේ එම වෙබ් අඩවි වල ලිපිනයන් ව්‍යාප්ත වීම තුළ තවත් ඒවා ජනප්‍රිය වීම පමණි. එසේම ලොකුම හාස්‍යය වන්නේ හරසුන් තර්ක ගෙන එමින් පුවත් අඩවි වාරණයට ලක් කරද්දී ලිංගික දර්ශන ඇතුළත් වෙබ් අඩවි තවදුරටත් නිදහසේ ක්‍රියාත්මක වීමයි.

ෆේස්බුක් අඩවිය ඇතුළු සමාජ ජාල සමග සම්බන්ධ වීමට මෙන්ම අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ අරමුණින් සමාන පිරිසක් (4.5% බැගින්) අන්තර්ජාලයට පිවිසෙන බව පැහැදිලි වේ. අන්තර්ජාලයට පිවිසෙන අනෙත් අයගේ අරමුණු අතර බ්ලොග් ලිවීම හා කියවීම (2.5%), භාණ්ඩ මිලදී ගැනීම (2%), සන්නිවේදනය (2%) දැක්විය හැකිය. ප්‍රධානම ෆ්‍රොක්සි වෙබ් අඩවි දෙකක් මේ අතර තිබීම සුවිශේෂි කරුණක් ලෙස දැකිය හැකිය. මෙයට හේතුවක් ලෙස වාරණයට ලක් වූ වෙබ් අඩවි සඳහා පිවිසීමට මෙම ෆ්‍රොක්සි වෙබ් අඩවි යොදා ගැනීම යැයි අනුමාන කළ හැකිය.


ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිත කිරීමේ අරමුණු ප්‍රතිශතයක් ලෙස



ශ්‍රී ලංකාවේ හා ලෝකයේ අන්තර්ජාලය භාවිත කිරීමේ අරමුණු
සන්සන්දනාත්මක ප්‍රතිශතයක් ලෙස


අන්තර්ජාලය භාවිතය පිළිබඳ විශ්ලේෂණය කරනු ලබන ඇලෙක්ෂා (www.alexa.com) වෙබ් අඩවියට අනුව ලංකාවේ වැඩිම පිරිසක් අන්තර්ජාලයට පිවිසෙන්නේ ෆේස්බුක් (www.facebook.com) වෙබ් අඩවිය සඳහා වන අතර එය ආසන්න වශයෙන් මිලියන 1.13 ක් පමණ වේ. තොරතුරු ගවේෂණය පිණිස, ලංකාව සඳහා වන ගූගල් (www.google.lk) වෙබ් අඩවිය දෙවන වැඩිම පිවිසුමක් වාර්තා කරන අතර ගූගල් (www.google.com) වෙබ් අඩවිය තෙවන වැඩිම පිවිසුමක් වාර්තා කරයි. වීඩියෝ නැරඹීම සඳහා ජනප්‍රිය වෙබ් අඩවියක් වන යූටියුබ් (www.youtube.com) වැඩිම පිවිසුම් ඇති ලැයිස්තුවේ හතරවන ස්ථානයට පත්ව ඇත. ඊමේල් ඇතුළු තවත් සේවා නොමිලයේ ලබාදෙන යාහු (www.yahoo.com) වෙබ් අඩවිය 5 වන ස්ථානයේත් බ්ලොග් සඳහා වන බ්ලොගර් (www.blogspot.com) වෙබ් අඩවිය 6 වන ස්ථානයෙත් රැඳී ඇත. හත්වන ස්ථානයට වැඩිම පිවිසුමක් වාර්තා කරන්නේ විකිපීඩියා (www.wikipedia.org) වෙබ් අඩවියයි. එම වාර්තාවට අනුව ගොසිප්ලංකානිවුස් (www.gossiplankanews.com) වෙබ් අඩවිය වැඩිම පිවිසුම ඇති වෙබ් අඩවි ලැයිස්තුවේ 8 වන ස්ථානයේ ඇති අතර එය වැඩිම පිවිසුම් ඇති වෙබ් අඩවි 10 ට අයත්වන එකම ලාංකික වෙබ් අඩවියයි. ක්‍රිකට් තොරතුරු දැන ගැනීම සඳහා වන ක්‍රික්ඉන්ෆෝ (www.cricinfo.com) වෙබ් අඩවිය 9 වන ස්ථානයේ ඇති අතර ක්‍රීඩා තොරතුරු ලබා ගැනීම සඳහා අන් කිසිදු වෙබ් අඩවියක් වැඩිම පිවිසුම් ඇති වෙබ් අඩවි 200 දක්වා වාර්තා නොවීම විශේෂත්වයකි.


ලෝකය පුරා වැඩිම පිවිසුමක් වාර්තා කරන වෙබ් අඩවි 10 අතුරින් 6 ක්ම ලංකාවේද වැඩිම පිවිසුමක් ඇති වෙබ් අඩවි වන බව දැකිය හැකිය. ලෝකයේ වැඩිම පිරිසක් භාවිත කරන වෙබ් අඩවිය ගූගල් වන අතර එහි දිනක පිවිසුම් ප්‍රමාණය මිලියන 253 පමණ වේ.

වෙබ් අඩවි වර්ගීකරණයට ලක් කිරීමේදී සමහර වෙබ් අඩවි සේවාවන් රැසක් සළසන නිසා වඩාත් ජනප්‍රිය සේවාව මත වර්ගීකරණයට ලක් කළ බව සැළකිය යුතුය.

කුමුදු ප්‍රියංකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගෙනවිත් තියා ඉර
කඳු මුදුනක් මත
උදේ පාන්දර
පයින් ගහනවා අහස
කැරකැවී වැටෙන්නට
මහ සයුර මැද්දට

එලාර්ම් එක තියා
හවස හතරට
හොඳටෝම නිදි
හෙන්දිරික්කා පඳුර

දැලි පිහියක් තියා
තුරු පතක බෙල්ලට
කෑ ගහනවා සුළඟ
"දෙනවද නැත්ද පිනි බිඳ"

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



යහපත් අධ්‍යාපනයක් සඳහා වූ ව්‍යාපාරය මගින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණය "ලාංකීය අධ්‍යාපනයේ වර්තමාන අර්බුදය" යන මැයෙන් දෙසැම්බර් 3 වෙනිදා පස්වරු 3.00ට නව නගර ශාලාවේදී පැවැත් වේ.

ප්‍රධාන දේශනය- අධිනීතිඥ සමරසිංහ ගුණසේකර

විද්වත් මණ්ඩලය-
මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක
මහචාර්ය එස්. සන්දරසේකරන්
ආචාර්ය ජී.බී. ගුණරත්න

වැඩි විස්තර සඳහා- 0778503078/ 0777961111




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සොයිසා :

කාටත් තියෙන ලෙඩක් ඕක
මටත් තියෙන
ඉස්සර කාලෙ ඉඳලම.
මොකක් නමුත් හිතට අඩුයි.
මං හිතුවා.
රස්සාවක් වෙන්ඩ ඕනෑ.
රස්සාවක් ලැබුණත් හිතට අඩුයි.
ප්‍රමෝෂන් එකක් වෙන්ඩැති.
ප්‍රමෝෂන් එකක් ලැබුණත් ඒත් අඩුයි.
කසාදයක් වත්ද කියලා
හෙලේනාට බින්න බැස්ස.
ටික දවසෙකට පස්සෙ ආයෙත් ලෙඩේ හැදුණ
ගෙයක් වද්ද
ගෙවල් හැදුව
ළමයි වද්ද
ළමයි හැදුව.
මොනව කළත් අන්තිමේදි හිතට අඩුයි
බලාපොරොත්තුවෙන් උන්නු දේ ලැබුණම
බලාපොරොත්තුවෙන් උන්නෙ ඒක නෙමෙයි
වෙනින් දෙයක්.
ඔය විදියට
මොකක් නමුත් කොච්චරවත්
හිතට අඩුයි.

මම යනවා කිරි හොයන්ඩ.

බෝඩිම - 1970 (පි.32)

මහගම සේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"ඔබ වහන්සෙ මොනවා හරි හිතමින් ඉන්නෙ. "

"මට දෙයක් මතක් වුණා. "

"මං අනුමාන කරන්න ද? "

"සුමේධ නැවතත් විමතියට පත් විය. ඔහුගේ නිහඬතාවම ඔහුට පිළිතුරක් විය. "

"සිද්ධාර්ථ ගැන ද ඔබ වහන්සේ සිතමින් ඉන්නෙ? "

"ඔයා කියන්නෙ නවකතාව ගැන ද? "

"ඔව්. "

"සුමේධ නැවත වතාවක් විමතියට පත් විය. වාසුදේව වැනි සාමාන්‍ය තොටියකු ඒ ගැන දන්නෙ කෙසේ ද? මේ වනාහි වැරහැලි හැඳගත් දාර්ශනිකයකු නොවිය හැකි ද? "

"අවුරුදු ගණනාවකට උඩ දි මේ වගේ වෙලාවක, මේ ගඟ ඔබවහන්සේ වගේම හාමුදුරුනමක් එගොඩට තරණය කළා. උන්වහන්සේ නම්, ඔබවහන්සේ ට වඩා ටිකක් වයසයි වගේ. . . මගේ මතකෙ හැටියට. දවස් තුනක් ම පාරුවෙන් එගොඩට, මෙගොඩට වැඩම කළා. මං මගේ නම කිව්වම, ඔබවහන්සෙ වගේම මං දිහා උන්වහන්සෙත් බලාගෙන හිටියා. ඊළඟ දවසෙ සිද්ධාර්ථ පොතේ සිංහල පිටපතක් මට ගෙනැවිත් දුන්නා. මං ඒක කියෙව්වා. හරිම රසවත් පොතක්. "

"ජීවිතේ හරි අමුතු දේවල් නේද සිද්ධ වෙන්නෙ වාසු? "

-දිදුලන දුහුවිල්ල [2011]

සචිත්‍ර මහේන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඉලුක් මානා පවා නොරඳන
අතැර ගිය මුඩු හේන් මූණත
විජලනය වී පිපාසාවෙන්
වියළි දෙතොලින් යදී ප්‍රේමය

බිරම් වැසි තරවටුව නොලැබුණ
නියං රකුසා ගිජුව ලෙව කන
ඉරි තැලුන තැනිතලා සූරන
වියළි සුළඟින් දූලි ඉහිරෙත

සිඳුණු උල්පත් කෙවෙනි වල අග
අලුත් කඳුළක පැතුම දල්වන
ලෝකයේ මෘදුම පෙති දරා
කෙලෙස නුඹ පිපුණාද මේ බිම

විසල් වනයක පැතුම පුබුදන
මෙ'මුඩු බිම නිකලැල්ම සලකුණ
කටුක උල් කටු පොකුරු අතරෙහි
ජීවයේ නව කළල වපුරත...

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලතා ලපලු සේ සිරසට සෙවණ සදන්නෙම්මා
ඉතා නපුරු හීන යටින් මල් පෙති අහුලම්මා
රටා පැදුර ජීවිතයේ අහුමුළු පුරවම්මා
වටා කැකුළු මල් පිරිවර මමයි ගෙදර අම්මා

අඬා කඳුළු පැන්කොතලය කරවට ඉතිරෙන්නේ
කුඩා එවුන් රජවරු සේ පතුලෙන් හිනැහෙන්නේ
විඩා නිවන ඇල් පවනක් නෑ ගිනි දැල්වෙන්නේ
කඩා ගන්න පෙර මල් පෙති නටුවෙන් ගිලිහෙන්නේ

ඉර අවුදින් ඉපල් ඉරටු මිටියෙන් තලමින්නා
සඳ අවුදින් නැගි පලු වල කල්කය තවරන්නා
ගිර මහමෙර බර හිස මත නොසැලී ඉඳ ඉන්නා
අර ඈතින් කණා මැදිරි එළියන් දිස්වෙන්නා

හතුරු වෙසින් රකුසු ලෙසින් ඉරණම හිනැහෙන්නේ
කතුරු යටින් මහගිරිදඹ නැගගෙන අපි යන්නේ
අකුරු තරහ මාත් එක්ක දරුවන් යාලුයි නේ
ඉතුරු ටිකත් ඉවසන්නම් උන් එතෙරව යයිනේ

පද්මිණි ශ්‍රියාලතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අසංක සායක්කාරගේ ''ඇම්ඩන්ගේ කතා'' කෘතිය එළි දැක්වීම 2011 නොවැම්බර් 28 වන දින සවස 3:30 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී.

දෙසුම්-
ශිෂ්ටාචාරය සහ එහි අසභ්‍ය වසතුව නොහොත් ගුදීය පුතුන්ගේ ව්‍යාභිචාර ෆැන්ටසිය - විදර්ශන කන්නංගර
ඇම්ඩන් විද්‍යාව - සුධීර ජයවීර
ඇම්ඩන් අවශ්‍යමද? - විමල් කැටිපෙආරච්චි




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



විදෙස් රටක සිට ලංකාව දෙස විමසිලිමත් වීමේදී නිරතුරුවම අහන්නට දකින්නට ලැබෙනුයේ රට තව තවත් පරිහානියට යන තත්ත්වයකි. එය හුදු ආණ්ඩු විරෝධී මඩ යැයි සම්මත වෙබ් අඩවි ඇසුරුකොට ගෙන දැනෙන හැගීමක් නොව ආණ්ඩුවේ පුවත්පත්, වෙබ් අඩවි සහ ආණ්ඩුවට පක්ෂපාතී ප්‍රවෘත්ති සපයන්නන්ගෙන් ලැබෙන ප්‍රවෘත්ති හරහා ද එක ලෙස දැනෙන තත්ත්වයකි. සැබැවින්ම ලංකාව රටක් ලෙස ව්‍යූහාත්මක වශයෙන් දියුණුවේ මාවත තබා ඒ දිශාවට වත් පැමිණ නොමැති බව විවෘත මනසකින් යුතුව අසන, බලන ඕනෑම අයෙකුට වැ‍ටහෙන දෙයකි. ආර්ථික ක්‍රමය සම්බන්ධයෙන් වන සුප්‍රකට විරෝධය පසෙකලා "ධනවාදය" පිළිබදව සලකා බැලුව ද, ප්‍රාග්ධනය ගලාගෙන යාම සදහා අවශ්‍ය යටිතල පහසුකම්, අධ්‍යාපන ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, නීතිය සාධාරණය ක්‍රියාත්මක විම් වැනි කාරණාවත් නිසිලෙස ලංකාව තුළ ක්‍රියාත්මක නැත. ඒ අතර මෙතෙක් කාලයක් බලාපොරොත්තු කඩවූ මනසකින් යුතුව ලංකාව දෙස බැලූ මට යම් හෝ බලාපොරොත්තු සහගත ධනාත්මක දෙයක් ලංකාව සම්බන්ධයෙන් අහන්නට, දකින්නට වූ නිසාවෙන් මේ ලිපිය ලිවීමට පොළොඹවන ලදී.

ජවිපෙ දෙකඩ වීම සම්බන්ධයෙන් අතිශෝක්තියෙන් සිදුවන වෙබ් අඩවි වල කතිකාව, සැර බාල වීමකින් පසුව ලංකා සමාජය තුළ ද කතිකාවක් බවට පත්ව ඇතැයි මා උපකල්පනය කරමි. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් තුළින් විවිධාකාරයේ අදහස්, මතවාද පළවන අයුරු දක්නට ලැබුණි. පිරිසක් එකී දෙකඩ වීම සම්බන්ධයෙන් අදහස් පළකිරිම තුළ වඩා වෛරී, තරහ පිරිමසාගැනීමට කටයුතු කරන බවක් දක්නට ලැබෙන අතරම, තවත් පිරිසක් තමන්ගේ සහයෝගය ලබාදී තිබුණේ තමන්ගේ සතුරා නියෝජනය කරන පිළට ප්‍රතිපාර්ශවයටය. (පෙරටුගාමී පක්ෂයට ලැදි ත්‍රිමාන වෙබ් අඩවිය අර්බුදය මාධ්‍ය වෙත පැමිණි මුල්සමයේදී කුමාර පාර්ශ්වය විවේචනය කර ති‍බුණේ ඔවුන් සුමිත් චාමින්ද සමග කරමින් ඉන්නා සංවාදය හේතු කොට ගෙනය. එනිසා ඔවුන්ගේ සහයෝගය ටිල්වින් පාර්ශ්වයට ලැබී තිබුණි). තවත් පිරිසක් ජවිපෙ ගැටුම පිළිබදව සාකච්ඡා කරමින් තමන් එම ගැටුම තුළ ස්ථානගත වන ආකාරය පිළිබද වඩා වැඩි අවධානයක් යොමු කර ගැනීමට උත්සාහ කර තිබුණි. විශේෂයෙන් ජවිපෙන් ඉවත් ගොස් දේශපාලනික වශයෙන් හෝ පුද්ගලයින් වශයෙන් හුදෙකලාවූ පිරිස් මේ අතර විය. සුමිත් චාමින්ද [පහත වීඩියෝව], අජිත් පැරකුම් ජයසිංහ [ජවිපෙන් කැඩුණු වමට අපේ සහෝදරාත්මක සුබ පැතුම්!] වැන්නන් මෙම දෙකඩ වීමේදී කුමාර පාර්ශ්වය වෙත වඩා සාධනීය විවේචන අතුලත්ව අදහස් පළකර තිබූ අතර දීප්ති කුමාර ගුණරත්න [ගෝලීය ධනවාදයට එරෙහිව දහසක් මල් පිපේවා ! පිළිතුරක්ද? වංකගිරියක්ද?], ටිල්වින් පාර්ශ්වය සම්බන්ධයෙන් සිය සහයෝගය පළකරමින් අදහස් පළකර තිබුණි.



තත්ත්වය මෙසේ වන විට, මා සිටින රටට පැමිණි ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු සහ පළාත් සභා මන්ත්‍රීවරයෙක් ද වන වරුණ දීප්ත රාජපක්ෂගේ දේශනයකට සවන් දීමට මා හට ඉඩකඩ ලැබුණි. ඔහු නියෝජනය කරන්නේ ජවිපෙහි "වාම ප්‍රවණතාව" වුවත් ඔහුගේ අදහස් දැක්වීමේදී පළකළ වඩාත් සාධනීය ලක්ෂණ හේතුවෙන් මේ ලිපිය ලිවීමට හේතුවිය. ජවිපෙ දෙකඩ වීම සම්බන්ධයෙන් එක්තරා ආකාරයක පාර්ශ්වික අදහස් දැක්වීමක් වුව ද, එය ඇසුරුකොට ගෙන යම් කතිකාවක් ගොඩනැංවීම මෙහි අරමුණයි. පැරණි ජවිපෙ භාවිතාව සම්බන්ධයෙන් වූ මාගේ විවේචනයන් වලට වෙනස් වෙමින් නව ජවිපෙ "වාම ප්‍රවණතාව" දක්වන නම්‍යශීලී බව මේ කරුණු පෙළගැස්සවීමට හේතු වූ අනෙක් හේතුවය.

ලංකාව වැනි පසුගාමී ධනේෂ්වර රටක ‍දේශපාලන පක්ෂයක තිබිය සංවිධානාත්මක බව ඉක්මවමින් වඩා සැලසුම්ගත හා ක්‍රියාත්මක පක්ෂ ව්‍යූහයක් (බොල්ෂෙවික් පක්ෂ ව්‍යූහය) ජවිපෙ තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින් පවතින (පැරණි ජවිපෙ සිටම) බව මා විශ්මයට පත්කළ පළමු කරුණයි. මේ සම්බන්ධයෙන් මා අසා තිබුණද, යම්කිසි දේශපාලන පක්ෂයක මධ්‍යම කාරක සභාවක් ‍විසින් රටට හෝ පක්ෂයට බලපාන යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් දින ගණනක් විවාද කිරීම ලංකාව වැනි කසිකබල් දේශපාලන තීරණ ගනු ලබන රටක තිබිය හැකි අ‍නපෙක්ෂිත තත්ත්වයකි. තමන්ගේ සතුරාගෙන් පළිගැනීමට නීතිය‍ වෙනස් කරන, තමන්ට අවශ්‍ය වාහන ආනයන කිරීමට වාහන බද්ද අඩුකිරීමට විශේෂ ගැසට් නිවේදන නිකුත් කරන හා පොත් ගණනක් වුවද ලිවිය හැකි තරම් ගොන් තීරණ ගනු ලබන දේශපාලන සංස්කෘතියක් හිමි රටක මෙවැනි භාවිතාවක් සම්බන්ධයෙන් අපගේ කෘතඥතාව පළනොකිරීමට තරම් අප කුහක විය යුතු නැත.

අප දන්නා ජවිපෙ යනු තමන්ගෙන් වෙන්ව ගිය පුද්ගලයා යනු තමනගේ ප්‍රධානතම සතුරා බවට පත්කරගන්නා දේශපාලන පක්ෂයකි. එසේ වුවද තමන්ගේ මතය වෙනුවෙන් පැමිණ සිටි ජවිපෙ හිතවතුන් එකග කරවාගැනීමට උත්සාහ කරන අතරතුර වරුණ රාජපක්ෂ විසින් තමන්ගෙන් වෙන්ව සිටින පිරිසට වෛරයෙන් හෝ අවමානයට ලක්කළ කිසිදු අවස්ථාවක් හෝ දක්නට නොලැබුනි. ඔහු විසින් සෑම විටෙකම පාහේ තමන්ගෙන් වෙන්ව සිටින පක්ෂ නායකයින් ආමන්ත්‍රණය කිරීමට සුපුරුදු "සහෝදරයා" යන යෙදුම භාවිතා කළේය. පුද්ගලයින්ට වරද පැටවීම වෙනුවට ඔහු විසින් නිරතුරුවම භාවිතාවේ හා ගනු ලැබූ තීරණ වල වරද අවධාරණය කරනු ලැබීය. මෙය එක්තරා ආකාරයක ජවිපෙ සම්බන්ධයෙන් වන සාධනීය වෙනසකි. විමල් වීරවංශ සම්බන්ධයෙන් පවා වරුණ පළකළේ මෙවැනි අදහසකි. එනම් එවැනි පුද්ගලයෙකු බිහිවීමේ දේශපාලනික පසුබිම හා ඒ සම්බන්ධයෙන් වන ජවිපෙ වගකීමයි. මීට හාත්පසින්ම වෙනස්වෙමින් තමන්ගෙන් වෙන්ව ගිය පිරිසට වෛරී ලෙස පහර දෙන අයුරු පැරණි ජවිපෙ විසින් සංවිධානය කළ රැස්වීම් වලදී දක්නට ලැබුණි.

පසුගිය කාලය පුරාවට ලංකාව පුරා විප්ලවවාදීන් හෝ රැඩිකල්වාදීන් වෙමින් සමාජය වෙනස් කිරීමට පිරිස් පෙළගැසුනද තමන් විසින් ඉදිරිපත් කරන දර්ශනයට අදාළ වූ වෙනස තමන් තුළින් විද්‍යාමාන නොවීම එහි කැපී පෙනෙන ලක්ෂණයක් විය. සරලව ගතහොත් මනුෂ්‍යත්වය ‍එරෙහිව යමින් තිබෙන සමාජ ක්‍රමය වෙනස් කිරීමට යෝජනා කළවුන් තුළ එකී යෝජිත මනුෂ්‍ය ලක්ෂණ දක්නට නොලැබුණි. ‍ තමන් සමග එකට කා බී දේශපාලන ව්‍යාපාර වල නියුක්තව සිටිය වුන් කිසියම් හේතුවකට ඉන් ඉවත්ව ගිය පසු ඔහුගේ ජීවිතය විනාශ කරලීමට තරම් එය ප්‍රබල විය. තවත් පිරිසක් තමන් විසින් ගොඩනැගූ සංවිධානය විසිර ගිය පසු එහි ඉතිරිවූ භාණ්ඩ බෙදා ගැනීමට මරාන්තිකව සටන් කළහ. එය ජවිපෙ මෙන්ම ජවිපෙට විවේචන එල්ල කරමින් බිහිවූ කුඩා කණ්ඩායම් වලට ද එකසේ පොදුය. රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ වෙනුවෙන් දිවි දුන්නවුන් ඇසුරින් සිදුකළ දේශනය ඇතුළත දී වරුණ රාජපක්ෂ මෙන්ම ඉල්මහ සමරු දේශනය සිදුකළ චමීර කොස්වත්ත ද මෙකී කරුණ අවධාරණය කළේය. එකී කාරණය සම්බන්ධයෙන් වන "වාම ප්‍රවණතාව"යේ නැඹුරුවෙන් සමාජ වෙනසක් කරන්නට ගොස් විමල් වීරවංශලා බිහිවීම පසෙකලා මනුෂ්‍ය හැගීම්, දැනීම් වලට සංවේදී මිනිසුන්වත් සමාජයට දායාද වෙතැයි වන බලාපොරොත්තුව තැබිය හැක.

පසුගිය කාලය පුරාවට අප අත්දුටු ජවිපෙ සාමාජිකයා යනු නම්‍යශීලී අයෙකු නොවේ. ඔවුන් තමන්‍ට එරෙහිව නැගෙන තර්කය කොන්දේසි විරහිතව පරාජය සදහා නැඹුරු වූවෙකි. අජිත් පැරකුම් [ජවිපෙ ගිරා පෝතකයකු සමග පැයක්] ලිපියේදී ද මෙම කරුණ අවධාරණය කරයි. නව ප්‍රවණතාව තුළ අප විසින් මෙතෙක් අත්දුටු තත්ත්වයන් වලදී මෙකී කරුණ සම්බන්ධයෙන් අවධාරණයට ලක්කළා පමණක් නොව භාවිතය තුළදී ද යම් යම් නම්‍යශීලී තත්ත්වයන් දක්නට ලැබුණි. නව ප්‍රවණතාවයේ වෙබ් අඩවිය [lankaviews.com] තුළ පිටස්තර අදහස් සඳහා ද ඉඩකඩ ලබාදීමත්, දේශපාලන සංවාද සදහා ඉඩවිවර කරමින් මෙතෙක් කලක් පැවති තිරය පසුපස සාකච්ඡා තිරය ඉදිරියට ගෙන ඒමත් එවැනි උදාහරණයකි. ජවිපෙ විසින් 71 හා 89 සන්නද්ධ අරගල සදහා මෙතෙක් කාලයක් ලබාදුන් අපැහැදිලි පිළිතුර පසෙකලා ජනතාව යනු සිහිබුද්ධිය ඇති පිරිසක් ලෙස ගෙන ඔවුන් හා එය විවෘතව සාකච්ඡා කිරීමද තවත් එවැනි තත්ත්වයකි.

අනු කරුණු වශයෙන් වෙන වෙනමම ලැයිස්තු ගත කිරීම අනවශ්‍ය වුවද ජවිපෙ නව ප්‍රවණතාවය සම්බන්ධයෙන් සාපෙක්ෂව සාධනීය මතයක් තහවුරු කිරීමට මෙතෙක් ඔවුන් විසින් ක්‍රියාකර ඇති ආකාරය සමත්ව ඇත. එය එහි අනාගත භාවිතාව සම්බන්ධයෙන් සහතියක් දීමට තරම් ප්‍රමාණවත් නොවුනද, ලංකාව මේ මොහොත වන විට අත්ව ඇති පරිහානිය ඇතුලත නව බලාපොරොත්තුවක් එක් කරලීමට ප්‍රමාණවත්ය. 2005 වසරේ සුනාමි ඛේදවාචකය සම්බන්ධයෙන් ලංකා සමාජය ක්‍රියාකරන විට එහි ජවිපෙ භූමිකාව සම්බන්ධයෙන් ද මෙවැනිම බලාපො‍රොත්තුවක් ඇතිවුව ද, එකළ ජවිපෙ අත්කරගෙන තිබූ සියළු සමාජයීය ජයග්‍රහණයන් මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවීම වෙනුවෙන් දියකර හරින ලදී. අද තත්ත්වය බොහෝ වෙනස්ව නව ජවයක් සහිත තරුණ පෙළක් ඇතුළු නව දැක්මකින් යුතු නව ප්‍රවණතාවක් ජවිපෙන් බිහිව ඇත.

ජවිපෙ ක්‍රියාකාරීත්වය ප්‍රායෝගිකව විවේචනය කළ හැකි තත්ත්වයන් බො‍හෝ ඉස්මතු විය හැක. පුබුදු ජායගොඩ විසින් පසුගිය දා ප්‍රකාශ කර තිබූ පරිදි ජවිපෙ සිදුකරන වැරදි යනු ජනතාව සිදුකරන වැරදිය. මන්ද ජවිපෙ යනු මහජනතාව අතරින් පත්ව මහජනතාව අතර ක්‍රියාත්මක පක්ෂයක් නිසාය. එය හුදු මතවාදයක් දේශනා කරමින් කාමරයකට වී ලියමින්, කියවමින් පමණක් සිටින පක්ෂයක් නොවන නිසාය. වැරදි සිදුවිය හැක්කේද, ප්‍රායෝගිකත්වය තුළදීමය.

විවේචන අත්‍යාවශ්‍යය. එය ඕනෑම සමාජ සංවිධානයක දියුණුවට අත්‍යාවශ්‍ය වූවකි. එහෙත් එකී පුද්ගලයාට හෝ සංවිධානයට එකී විවේචනය අවශෝෂණය කරගත හැකි පරිදි එකී විවේචනයේ විවෘතභාවය රැදී තිබිය යුතුය. ද්වේෂ සහගත විවේචනයකින් අනෙකා යටපත් වනවා මිසෙක ගොඩනැගීමක් වන්නේ නැත.

බලාපොරොත්තු බිඳ වැටීම් බොහෝමයක් ඇතුලත නව බලාපොරොත්තුවක් ඉපිද ඇත. එයද ඉටුවන බලාපොරොත්තුවක් ද යන්න පුරෝකථනය කිරීමට කල් මදිය. බලාපොරොත්තු සහගත සුභපැතුම් සමගින් අප බලාසිටිමු.

සරත් දිසානායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ඉල් මහ විරුසමරු සහ හෘද සාක්ෂිය ලිපියට ලැබුණු පාඨක ප්‍රතිචාර සම්බන්ධයෙන් එම ලිපියේ ලේඛකයා විසින් එවන ලද ප්‍රතිචාර සටහන.

මහත්වරුනි, කේන්තියකින් තොරව මා ලියා ඇති කරුණු නැවත සංයමකින් කියවන මෙන් මම ඉල්ලා සිටිමි. මා ලියා ඇති කරුණු වල අන්තර්ගතය වටහා ගැනීමටනම්, එහි පේලි අතර කියවීම නොව එහි අඩංගුව විමසිය යුතුවේ.

පළමුවෙන්ම ඔබ කියා සිටින ආකාරයට ජ.වි.පෙ හෝ ඉන් කැඩීගිය කිසිවෙකුට නිවැරදි විය නොහැකි බවක් මා පවසා නොමැත. මා පවසා ඇත්තේ ඊට හාත්පසින්ම විරුද්ධ අර්ථය වන වැරදි නිවැරදි කර ගන්නා ලෙස සඳහන් කිරීමයි. හොඳින් කියවා බලන්න ජ.වි.පෙට සහ ඉන් ඉවත් වූ කණ්ඩායමටත් මා ඉදිරිපත් කර ඇත්තේ කළ වැරදි විමසන්න යනුවෙනි. ඒවා ගැන ස්වයං විවේචනයක් කරන්න- එතුළින් නිවැරදි දේශපාලන භාවිතාවකට යොමුවන්න- නැතිනම් ඔබ කරනුයේ බොරු වංචාවක් බවයි. ඒ වාගේම එම වංචාව තුළින් දහස් ගණනකගේ ජීවිත බිළිගත හැකි බවයි.

නමුත් අතීතේ වැරදි කළා තමයි කියා බොරුවට ප්‍රකාශ කළාට එය තමන්ම රවටා ගැනීමක් බවත්, නිවැරදි භාවිතාවකට නම්, ස්වයං විවේචනාත්මකව ඒ වැරදි මොනවාද කියා පවසා ඒවා හදාගත යුතු බවයි. ජ.වි.පෙ බිඳිගිය අතීත කණ්ඩායම් හා පුද්ගලයින් ගැන මා පොදුවේ සඳහන් කරන්නේ පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොමැති බව පැහැදිලි කිරීමටයි.

හිරු හෝ වෙනත් දේශපාලන කණ්ඩායමකට මගේ සම්බන්ධයක් නැති අතර හිරු කණ්ඩායමේ බෙදී යාම ජ.වි.පෙ සංධිස්ථානයකි. ඒ එතෙක් ජ.වි.පෙ තුළ තිබූ ජාතිකවාදය ඉන්පසුව ජාතිවාදය දක්වා වෙනස් ගමනක් යාම ආරම්භකරන සංධිස්ථානය වන බැවිනි.

ජ.වි.පෙ විසින් මුලු සමාජයම තම අත්අඩංගුවට ගෙන මෙලෙස විනාශයක් කරන තුරු ඔබ වැනි මහා පඬිවරු කළේ කුමක්ද?

පළමුවෙන්ම මම ඉතා සරල පුද්ගලයෙක් මිස පඬිවරයෙකු නොවේ. මා කිසියම් හෝ උපාධියක් ලද අයෙකු ද නොවෙමි. මෙහිදී ඔබ සිතන අයුරු හා සිදුවීම සිදුවී ඇති අයුරු පහදා ගනිමු. ජ.වි.පෙ මුලු සමාජයම අත්අඩංගුවට ගත්තා නොව සමාජයේ තිබූ වැඩවසම්, පසුගාමී ජාතිවාදී මනෝභාවයන්ගේ අත්අඩංගුවට ජ.වි.පෙ. පත්වීමේ ප්‍රතිඵලයයි අපි සමාජය 87-89 දක්වා අත්වින්දේ. එහිදී මගේ දිවි රැකුනේ මා ලංකාවෙන් පිටත ජීවත් වූ බැවිනි. නමුත් අපි ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ලංකාවේ සිදුවන මරාදැමීම් වලට එරෙහිව විරෝධතා දැක්වූවෙමු. පෙත්සම් අත්සන් කර එවකට තානාපතිනිය වූ මානෙල් අබේසේකරට භාරදුන්නෙමු.

යුධ විරෝධීන් යනු අතලොස්සකි. රාජ්‍යය සහ සියලුම දේශපාලන පක්ෂ සමඟ එක්ව ජ.වි.පෙ සහ එහි පෙරමුණු විසින් සිංහල වර්ගවාදය උලුප්පමින් අමුම අමු ජාතිවාදය වපුරන ලද සමාජයක මේ සුළුතරයට ජීවිත බේරාගැනීමට පවා අසීරු වූ බව නැවත මතක් කළ යුතුද? 1933 - 1939 දක්වා ජර්මන් ෆැසිස්ට්වාදී සමාජය මෙන්ම 1919 සිට 1933 දක්වා ඉතාලි ෆැසිස්ට් සමාජය තුළද එම මතයන්ට එරෙහි පිරිස සුළුතරයක් වූ අතර ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට අත්වූ ඉරණම ඔබ හැදැරිය යුතුයැයි මගේ හැඟීමයි.

මා දැනටමත් පවසා ඇති පරිදි හිරු හෝ වෙනත් දේශපාලන කණ්ඩායමක් සමඟ මට දේශපාලනික ගණුදෙනුවක් හෝ සම්බන්ධතාවයක් නොමැත.
හතර වන ප්‍රශ්ණයට පිළිතුරු එක්තර ප්‍රමාණයකට පළමු හා දෙවන ප්‍රශ්ණ සඳහා වන පිළිතුරු වෙතින් ලබා දී ඇති අතර හිරු හෝ වෙනත් දේශපාලන කණ්ඩායමක භාවිතාවක් ගැන මට පිළිතුරු දිය නොහැකිය.

මා මුලින්ම ලිපියේ සඳහන් කළ ආකාරයට ජ.වි.පෙ තම අතීත වැරදිවලින් පාඩම් ඉගෙන නොගැනීම ඔබේ පස් වන ප්‍රශ්ණයට පිළිතුරයි. චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමතිකම් පවා ජ.වි.පෙ දැරූබව මගේ දැනීමයි.

මගේ අතීත භාවිතාව ගැන ඔබ ප්‍රශ්ණ කරයි.

මම 71 ට ප්‍රථම ජ.වි.පෙ ගොඩනැගීමට මුල්වූ අයෙක්මි.
යාපනය කොටුවේ පවුර මතදී තවත් 16 දෙනෙක් සමඟ ලංකා හමුදාවට යටත් වුනෙමි.
යාපනය හිරගෙය තුළදී විජේවීර සමඟ අපේ පක්ෂය ස්වයං විවේචනයක් කළයුතු බව ගැන මතබේද ඇති කර ගත්තෙමි.

එදා මගේ සහ මා සමඟ සිට සොහොයුරන්ගේ වැටහීමට අනුව අපට තිබූ සරල ප්‍රශ්ණ මේවායි.

අප කළ පන්ති පහේ තිබූ ඉන්දීය ව්‍යාප්තවාදය පන්තිය ජාතිවාදී එකක් නොවේද?

ආර්ථීක අර්බුදය පන්තිය තුළින් අපි වැඩවසම් රාජ්‍යය (අතීත ශ්‍රී විභූතිය ගැන වර්ණනා කිරීම තුළින්) හොඳ සමාජයක් ලෙස හුවාදැක්වූවා නොවේද?

වාමාශික ව්‍යාපාරය පන්තිය තුළින් ලංකාවේ අනෙක් වාමාංශික කණ්ඩායම් ගැන රාජ්‍යයට හෙළිකලා නේද?

ඒවාගේම අප්‍රේල් නඩුවේදී ජා.වි.පෙ ගත් "අපි නොවේ ගැහුවේ අතුලගේ බෝම්බ කල්ලිය" යන ස්ථාවරයට එරෙහිව "අපි රැජිණගේ ආණ්ඩුවට ගැහීමට අපට අයිතියක් ඇත. ඒනිසා අපි නිවැරදිකරුවන් වෙමු" යන ස්ථාවරය ගත්තෙමු.

මෙහිදී විජේවීර ඇතුළු ජ.වි.පෙ උසාවියේදී 71 කේ කැරුල්ල ජ.වි.පෙ විසින් කළ එකක් නොව අතුලගේ බෝම්බ කල්ලිය යැයි කීම තුළින් එදා 71 කැරුල්ලේදී මිය ගිය දහස් ගණනක් සොයුරු සොයුරියන්ව පාවා දෙමින් ඔවුන්ගේ මිනීවලට පවා ජ.වි.පෙ. අපහාස කරන බව එදා අපගේ තර්කය විය. (ඔබට මේවා මෙවා හැදෑරීමට අවශ්‍යනම් අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභා නඩු වාර්තා කියවන්න.)

ඔබ විජේවීර පිදුවාට ඔහුගේ සැබෑ ස්වරූපය දැනගැනීමට අවංක උවමනාවක් ඔබට ඇත්නම්, 71 එකේදී අපරාධ විමර්ශණ ඒකකය වෙත ලබාදුන් පිටු 400 කට අධික කට උත්තරය කියවා බලන්න.

ලංකා රාජ්‍යයේ සහ ජ.වි.පෙ තර්ජන නිසා 1980 දී රටින් පිටවී ජර්මනියට පැමිණියෙමි. 1980 වැඩවර්ජනයට සහය දීමේ සිට අද දක්වා ලංකාවේ සිදුවන මිනිස් අයිතීන් කෙලෙසීමට එරෙහිව හඬනගන්නෙමු. ජාතියක් පාගා දමන යුද්ධයට එකහෙලා විරුද්ධ වූ අතර බලය බෙදාහල දේශපාලන විසඳුමක් සඳහා පෙනී සිටිමින් ඒ සඳහා ක්‍රියාත්මක වූයෙමි. ඒ නිසාම 2003 සිට ලංකා ට්‍රෘත්, ලංකා පත්තරය සහ දිවයින ඇතුළු පුවත්පත් වලින් පහර කෑමට ලක්වූයෙමි.

යුධ අපරාධ ගැන හෙළිකිරීමේ වරදින් ලංකා පුවත් පත (වීරවංශ සිටින අවධියේ) මගේ හැබෑ අතීතය රාජ්‍යයට හෙළිකළ අතර පාර්ලිමේන්තුවේදී මගේ නම ප්‍රකාශ කරමින් මට ලංකාවට නැවත පැමිණීමට නොහැකි (අඩුම වශයෙන් මගේ මවගේ මළගමටවත්) තත්ත්වයක් ඇති කරනු ලැබීය.

මා මිනිස් අයිතීන් වෙනුවෙන් පෙනී සිටි අතර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙන් පෙනී සිටියෙමි. පවතින වැඩවසම් රාජ්‍යයට එරෙහිව වන අතරම ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටිමි. විප්ලවයේ සිහිනයෙන් මිදී මා බොහෝ කල්ය. ඒ වැඩවසම් සමාජයක, සමාජවාදී සමාජ පරිවර්තනයක් සිදු නොවිය හැකි බැවිනි. ඒ තුළ ඇතිකළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ය යන්න මගේ වැටහීමයි.

අවසානයේ පැවසිය යුත්තේ ජ.වි.පෙ. තම වැරදි නැවත නැවත කළ පක්ෂයකි. ඒ වැරදි හඳුනානොගැනීමෙන් ලංකා සමාජයට ගෙවීමට සිදුවූ වන්දිය අති විශාලය. නව කණ්ඩායම වෙත ද මගේ විවේචනය තදින් කියා සිටින්නේ ඔවුන් තවමත් පැරණි වරදම කරමින් සිටින බැවිනි.
මගේ ලිපිය පුරාම මා පවසා තිබුණේ කළ වැරදිවලට ස්වයං විවේචනයක් කර තම පක්ෂය විසින් මරාදැමූ (වෙනත් මත දැරීම නිසා) මිනිසුන්ගෙන් සමාව නොඉල්ලා දේශපාලනයක් කිරීම වැරුද්දක් බවයි.

වැරදි නිවැරදි කරගන්නවාද නැතිනම් අප වැනි විචේචකයින්ට "ද්‍රෝහීන්" කියා සිත් සනසා ගන්නාවද යන්න ඔබට අයිතිය!

රංජිත් හේනායකආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අහස සේ ඔබ අනන්තයි - සයුර සේ ඔබ අනන්තයි [සුනිල් ආරියරත්න, නන්දා මාලනී, රෝහණ වීරසිංහ] - ගීතය අහන්න.

මානව සෞන්දර්යයේ උල්පත නම් ප්‍රේමය යි. ඉ'නුදු පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර ඇතිවන කායික මෙන් ම ආධ්‍යාත්මික බැඳීම, අතිශය සුපසන් මෙන් ම උත්කෘෂ්ට ද වේ. සැබෑ ප්‍රේමයේ පවත්නා සුන්දරත්වය පිළිබඳ මේ මනරම් හැඟීම, අපූර්ව සංකල්ප රූප පද්ධතියක් ඔස්සේ ශ්‍රාවක සිත්හි රංජනය කිරීමෙහි ලා පද රචක සුනිල් ආරියරත්න මැනවින් සමත්වෙයි;

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ ඔබ මැ පමණයි
ඔබ අනන්තයි....


සැබෑ පෙම තුල පවත්නා පරම රමණීයත්වය මේ යැයි වචනයෙන් කිවහැකි නොහේ.

එය අහස මෙන් අනන්ත ද සයුර මෙන් අපරිමිත ද වෙයි. අසංඛ්‍ය වූ විශ්වය කැටිව ඇත්තේ ද ඒ තුළ ය. අනතුරුව සියලු වස්තූන් මෙන් ම ජීව අජීව ක්‍රියාදාමයන් තුළ ද, පවත්නා සුන්දරත්වය ප්‍රේමය වෙතට ආරෝපණය කරන පද රචකයා, විශ්ව සෞන්දර්යය පවා පෙරළා මුළු මහත් මානව සංහතියේ ම කායික - ආධ්‍යාත්මික සුපරිපූර්ණත්වය හා බැඳීම හරහා ම ආස්වාදනය කළ හැක්කක් වන බව ඉඟි කරයි;

වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
මධු විතක් උතුරන තැනත් ඔබ
තෙලි තුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ

අඩ සඳක් සැඟවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරළෙන තැනත් ඔබ
සිසිලසක් දනවන තැනත් ඔබ
උණුසුමක් ගෙන දෙන තැනත් ඔබ


සැබැවින් ම එවන් පරමාදර්ශී තථ්‍ය, සුන්දර ප්‍රේමයක් පංති සමාජය නම් ගවර වළෙහි එරී සිටින අසමාන කායික, ආධ්‍යාත්මික වර්ධනයෙන් යුතු ස්ත්‍රී පුරුෂයන් හට කිසිසේත් ම අත්පත් කර ගත නො හැක්කේ ම ය.

එබැවින් මේ පද සරණියේ සමස්ත වේදිතය හරහා, එවන් සුපරිපූර්ණ කායික හා ආධ්‍යාත්මික බැඳීමකට සතුරුව පවත්නා සමාජ කොන්දේසි ඉක්මවා යාමෙහි උත්තේජනයක්, නිරායාසයෙන් ම අප හදවත් හි ජනිත වේ.

සත් කලා කෘතියක් ඇසුරු කිරීමෙන් සහෘදයා තුළ සැබැවින් ම ඇතිවිය යුත්තේ ද එවන් විමුක්තිකාමයක් ම ය.

සුනිල් ආරියරත්නගේ, අන්‍ය පෙම් ගී හා සසඳන කල්හී, පණ්ඩිතමානී සකු-සක්ක පදවලින් තොර සරල සුගායනීය වදන් මාලාවක් උපයෝගී කොට තිබීම ද, මේ පද සරණියෙහි රුව වඩවාලන්නක් ම වේ.

සුනිල් ආරියරත්නගේ ව්‍යායාමය බබළවාලනු සඳහා නන්දා මාලනීගේ මියුරු හඬ ද රෝහණ වීරසිංහගේ අපූර්ව සංගීත නිර්මාණය ද සැපයූ දායකත්වය අපමණි.

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ ඔබ මැ පමණයි
ඔබ අනන්තයි

වෙණ තතක් හැඬවෙන තැනත් ඔබ
මධු විතක් උතුරන තැනත් ඔබ
තෙලි තුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ

අඩ සඳක් සැඟවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරළෙන තැනත් ඔබ
සිසිලසක් දනවන තැනත් ඔබ
උණුසුමක් ගෙන දෙන තැනත් ඔබ


[Painting - Woman in Love 1856 By Henry Nelson O'Neil]

විජය නන්දන පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


සටහන - චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි යනු සිංහල සාහිත්‍යයට අනුපමේය සේවයක් කළ, අප‍්‍රකටව විසූ, ලේඛිකාවකි. ඈ සිංහලයට නගන ලද මහඟු විශ්ව සාහිත්‍ය කෘති ගණනාවකි. එහෙත්, ඇගේ ඒ කාර්යයට කිසිදු ඇගයීමක් නොලබාම, ඈ සමුගෙන ගිය අන්දම පිළිබඳ සරත් විජේසූරිය ලියූ සටහනකි මේ; අප උපුටා ගත්තේ, චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චිගේ "ගෝ දානය" නම් පරිවර්තනයෙනි.

චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි ඉතා කෙටි කාලයක් තුළ දී ඉතා දීර්ඝ කාලයක් පවතින උසස් සාහිත්‍ය කෘති රැසක් පරිවර්තනය කළ දුර්ලභ ගණයේ ලේඛිකාවකි. පරිවර්තිකාවකි. ඇගේ සාහිත්‍ය පරිවර්තන කාර්යභාරය අද්විතීය වේ. ඉංග‍්‍රීසි භාෂාවෙන් සිංහලයට පරිවර්තනය කිරීස අද සාමාන්‍ය දෙයකි. චින්තා, වංග - උර්දු- හින්දි යන භාෂාවන්ගෙන් පරිවර්තන කටයුතු කළ නිසා ඇයට නූතන සිංහල පරිවර්තන ක්‍ෂේත‍්‍රයේ උරුම වූයේ ඉතා වැදගත් පෞරුෂයකි. නූතන සිංහල සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ නිර්ව්‍යාජ ලේඛිකාව චින්තා ලක්‍ෂ්මී බව මගේ අවංක පිළිගැනීමයි. එනිසාම ඇගේ මරණය නූතන සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයට බලවත් පාඩුවකි.

ඉතාම සරල ජීවිතයක්, ඉතාම අහිංසක ජීවිතයක් ගත කළ චින්තා ලක්‍ෂ්මී ගේ මරණය හා සම්බන්ධ ඇතැම් දේ අපගේ සංස්කෘතික ජීවිතයේ ශෝචනීය බිඳ වැටීම සංකේතවත් කළේ යයි මට සිතේ. ඇය මිය ගිය බව ඇගේ රසිකයන්ට දැනුම් දීමට තරම්වත් අපගේ සන්නිවේදන මාධ්‍ය ඇය ගැන දැන සිටියේ නැත. අගනුවරින් බැහැරව ගැමි කාන්තාවක ලෙස ජීවත් වීම, ඇගේ සැමියා සරම කමිසය හඳින ගැමියකු වීම නිසා ඈ වටා සිවිල් පවුරක් ඉදිවුණේ නැත. තතු කෙසේ වෙතත්, ජාතියේ අප‍්‍රමාණ කෘතවේදීතාව හිමිවිය යුතු, ස්වාධීන අනන්‍යතාවක් හා පෞරුෂයක් තිබූ කාන්තාවක් ලෙස ඇයට බුහුමන් දැක්වීම වැදගත් බැවින් ප‍්‍රමාද වී හෝ මේ ලිපිය ලියන්නට අදහස් කළෙමි.

චින්තා ලක්‍ෂ්මී වෘත්තියෙන් ගණිත ගුරුවරියකි. ඇගේ මළගමට වැඩියෙන්ම ආවේ ඇගෙන් ගණිතය ඉගෙන ගත් සිසු දරු දැරියන්ය. ගණිතය ඉගැන්වීමේ ඇගේ සහජ දක්‍ෂතාව ගැන ඇසූ බොහෝ දේ මට පසක් කළේ පරිවර්තන කාර්යයේදී මෙන්ම ගුරු වෘත්තියේ දී ද ඇය අද්විතීය පෞරුෂයක් හිමි කරගෙන තිබුණේය යන්නයි. ජනප‍්‍රිය පාසලක ගුරුවරියක් වීම බැහැර කරමින් ගම්බද කුඩා පාසලක ඇය කළ සේවය ගුරු වෘත්තියේ නිරත බොහෝ දෙනෙකුට ආදර්ශයකි.


චින්තා ජීවිත කාලයට, ගුවන්විදුලියට පැමිණ ඇත්තේ එක වතාවකි. රූපවාහිනියට පැමිණ ඇත්තේ එක වතාවකි. ඇය ජනමාධ්‍ය වලින් ප‍්‍රතිරූපයක් තනා ගැනීමට කිසිවියෙක කල්පනා කළේ නැත. කරන කටයුත්ත හැකි තරම් හොඳින් කිරීමට ඇය වගබලා ගත්තාය. සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයට මේ තැනැත්තිය පා තබා ඇත්තේ දැඩි අසීරුතා හා තාඩන පීඩන හිංසන මධ්‍යයේ ය. හින්දි - වංග - උර්දු යනාදී භාෂා ඈ ප‍්‍රගුණ කර ඇත්තේ ස්වශක්තියෙනි. මේ භාෂාවන් හොඳින් ඉගෙන ගැනීමට කිසිදු පහසුකමක් නොතිබුණ ද, සසර පුරා පතා ගෙන ආ බැඳීමක් නිසාදෝ, මේ භාෂාවන් හැදෑරීමේ නොතිත් ආශාව ඈ තනිවම මුදුන්පත් කර ගත්තාය. ඉන්දියාවට ගොස් භාෂා ඥානය ඔප මට්ටම් කර ගැනීමට ඈ නොයෙකුත් උත්සාහයන් දැරුව ද, උදව් පතා ගෙන ගිය සෑම ආයතනයකටම ඈව පෙණුනේ පිස්සු ගැහැණියක ලෙසිනි. ඇගේ භාෂා දැනුමට ගෞරවයක් ලෙසින් අවම වශයෙන් ඉන්දියාවට යන්නට ලේඛක භවතුන්ට ලැබුණු ඇයට ලබා දීමටවත් සංස්කෘතික අමාත්‍යංශය කිසිවිටෙක කල්පනා නොකළේ ය. අවසානයේදී, ඇය ඉල්ලා විශ‍්‍රාම ගෙන තමන් අතට ලැබුණු මුදල වියපැහැදම් කරගෙන ඉන්දියාවට ගියාය. එසේ ගොස් අදාළ විශ්ව විද්‍යාල සොයාගෙන ස්වකීය පරිවර්තන කාර්යභාරයට අවශ්‍ය ශික්‍ෂණය ඉමහත් වගකීමකින්, කැපවීමකින් හා හැඟීමකින් අත්පත් කර ගත්තාය.

ඇගේ පළවෙනි පරිවර්තනය වූයේ සත්‍යජිත් රායි මහා සිනමාකරුවකු බවට පත් කළ අපූ ත‍්‍රිත්වයට පාදක වූ විභූති භූෂණ බනද්‍යෝපාධ්‍යයාගේ ශ්‍රේෂ්ඨ වංග නවකතාවයි. කොටස් තුනකින් (මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය) පරිවර්තනය කළ මේ නවකතාවේ පළවෙනි කොටස මුද්‍රණය කර ගන්නට ඈ දැරූ වෑයම වෙනම පොතකට කරුණු සපයයි. එයට හැඳින්වීමක් ලියා දෙන්නට එක් ප‍්‍රවීණ ලේඛකයෙක් රුපියල් පන්දාහක (5000/-) අල්ලසක් ඉල්ලා සිටියේය. පොත මුද්‍රණය කරන්නට ප‍්‍රකාශකයකු සොයා දෙන්නට ඇය ගොදුරක් කර ගන්නට තවත් ප‍්‍රවීණයකු උත්සාහ කළේය. වයෝවෘද්ධ වියත් ලේඛකයකු මේ අත් පිටපත ප‍්‍රකාශයට පත් කරන්නට භාර ගෙන එය අස්ථාන ගත කළේය. මේ ආදී වශයෙන් අපේ සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ සිවිල් බලය හිමි උදවිය මේ තැනැත්තියට දොරගුළු වැසූ, නින්දිත හිරිහැර කළ කාලය වසර දහයකි. ඈ නොමරා මැරූ කාලය වසර දහයකි. සැබැවින්ම ඇයට මුල් අවස්ථාවේදීම නිසි අනුග‍්‍රහයක් ලැබුණේ නම් ඇගෙන් සිංහල සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයට උරුම වන අස්වැන්න කෙතරම් විශාල එකක් විය හැකිද?


සාහිත්‍ය ලෝකයේ දැවැන්තයෝ ඇයට කළ හැකි හැම හතුරුකමක්ම කළහ. බොහෝ විට ඇය ගැහැණියක වීමත් එබඳු සිදුවීම් වලට හේතු වූ සේය. එහෙත් ඇය වෙනුවෙන් ඉදිරිපත් වන්නට කිසිම කාන්තා සංවිධානයක් නොවීය. ඇය තමාගේ ශක්තිය ගැන පරම විශ්වාසයෙන් සියලූ බාධක වලට අභීතව මුහුණ දෙමින් මාවතේ ගීතය යළිත් පරිවර්තනය කොට ජාතික පුස්තකාල සේවා මණ්ඩලයට ඉදිරිපත් කොට මුද්‍රණ අනුග‍්‍රහයක් ලබා ගත්තාය. එහෙත් ඇයගේ පොත් පළ කළ ආයතන ඇයට තව දුරටත් පරිවර්තන කටයුතු තව දුරටත් එපා කරවන තරමේ අශෝභන ප‍්‍රතිචාර දැක්වීම නිසා ඈ කෙටි කලක් යළි නිහඬ වූවාය. එහෙත් අපූ ත‍්‍රිත්වය සම්පූර්ණ ඇයට ප‍්‍රථම වතාවට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් ප‍්‍රදානය කෙරිණි. ඇගේ සාහිත්‍ය ජීවිතය ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණය ඉක්බිතිවද මතු වූ නමුත් ඈ තරගයට බට හෝ ප‍්‍රතිරූපයක් තනා ගැනීමට හෝ වෙර නොගත් ලේඛිකාවක් නිසා ශක්තිමත්ව සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ දෙපා රඳවා ගත්තාය.

ඇගේ දෙවන ප‍්‍රයත්නය වූයේ වංග සාහිත්‍යයේ මහා පුරුෂයෙකු ලෙස සැළකෙන ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ ”ශ‍්‍රී කාන්ත” නවකතාව පරිවර්තනය කිරීමය. මේ දීර්ඝ නවකතාව ”ශ‍්‍රී කාන්ත” යනුවෙන් එක් කොටසක්ද ”ශ‍්‍රී කාන්ත හා රාජලක්‍ෂ්මී” යනුවෙන් අනෙක් කොටසද වශයෙන් කොටස් දෙකකින් අසංක්‍ෂිප්තව පරිවර්තනය කළාය. එම කෘතියේ පළවෙනි කොටසටම රාජ්‍ය සාහිත්‍ය සම්මානය ප‍්‍රදානය කෙරුණි. එය සැබැවින්ම මේ ලේඛිකාවට කළ බුහුමනක් ලෙස කිසිසේත් සැළකිය යුතු නැත.

චින්තා ලක්‍ෂ්මී නිතරම උනන්දු වූයේ ජනප‍්‍රිය කෘතියකට වඩා ගුණයෙන් පොහොසත් කෘතියක් පරිවර්තනය කිරීමටය. උර්දු බසින් ඇය සිංහලයට නැඟූ ඛලීල් ජිබ්රාන්ගේ ”ඉසිවරයා” ඇගේ සාහිත්‍ය දෘෂ්ටිය හොඳින් විදහා දැක්වීය. දාර්ශනික ගැඹුරකින් පොහොසත් කෘතියක් පරිවර්තනය කිරීම අසීරු කාර්යයකි. එහෙත් ඇය පරිවර්තනය කළ ඉසිවරයා ආයාසයෙන් තොරව කියවිය හැකි රමණීය ගද්‍ය කාව්‍යයක් ලෙස සම්භාවනාවට ලක් විය.

චින්තාගේ පරිවර්තන කාර්යයේ රමණීය සන්ධිස්ථානයක් සළකුණු වූයේ ”අරණකට පෙම් බැඳ” නම් වූ කෘතිය පළවීමෙන් යයි සිතමි. විභූති භූෂණ බන්ද්‍යෝපාධ්‍යායගේ ”ආරණ්‍යයක්” නම් වූ වංග නවකතාවේ අසංක්‍ෂිප්ත පරිවර්තනයක් වූ ”අරණකට පෙම්බැඳ” සිංහල පාඨකයන් විශ්මයට පත් කළ අසාමාන්‍ය ගද්‍ය කාව්‍යයකි. මිනිසා හා පරිසරය අතර ඇති අධ්‍යාත්මික බැඳීම පසුබිම් වූ මෙම නවකතාවෙන් නිරූපිත ජීවිත විවරණය කතුවරයාගේ ලෝක දෘෂ්ටිය විදහා දක්වයි. විභූති භූෂණ මෙයින්, මිනිසා, මිනිසාට ආදරය කිරීම හෙවත් මානව භක්තිය මහා ඝන වනාන්තරයක් ඇතුළට ගෙන ගොස් අපට විස්තර කරන්නේ මුනිවරයකු ලෙසිනි. ”අරණකට පෙම්බැඳ” විචාරකයන්ගේ අවධානයට ලක් නොවුණද ලංකාව පුරා අසාමාන්‍ය රසික පරපුරක් චින්තාගේ සාහිත්‍ය දිවියට එකතු කළ අන්දම අසිරිමත්ය. අගනුවරින් චින්තාට අවසන් ගෞරව දැක්වීමට ගිය එකම ලේඛිකාව වූ අනුලා විජේරත්න මැණිකේ මට කීවේ, ...මම මේ දුර තනියම බස් එකේ ආවේ ”අරණකට පෙම්බැඳ” කියවලා මම ලබපු වින්දනය මට වචනයෙන් විස්තර කරන්ඩ බැරි හින්දා. ඉංග‍්‍රීසියෙන්වත් කියවන්න නැති ඒ පොත කියවන්ඩ ලැබුණ එකට ගෞරව කරන්නයි... යන්නයි.

චින්තාගේ ජීවිතය කෙළවර වූයේ ඇය පරිවර්තිකාවක ලෙස මුහුකුරා ගිය අවස්ථාවේදී යයි මට සිතේ. ඇය බරපතල වැඩ කරන්නට අත ගැසුවා පමණි. රවින්ද්‍රනාථ ඨාකුරයන්ගේ ”ගෝරා” නවකතාව චින්තා පරිවර්තනය කළේ එයින් කුළු ගන්වන සමාජ, දේශපාලන අරුත අදට අන් කවරදාකටත් වඩා අදාළ වන හෙයින් යයි මම සිතමි. ගෝරා පරිවර්තනය අතරමඟදී චින්තා රෝගාතුර වූවාය. සැත්කමකට භාජනය වී ඉක්බිතිව සුවය ලබා පැමිණි ඇය ගෝරා පරිවර්තනය සම්පූර්ණ කළාය. ගෝරා එක අතකින් දරුණු යුද්ධයකට මැදි වී සිටික අපට මානව වර්ගයා පිළිබඳ ගැඹුරු මානයකින් ඉදිරිපත් කළ දාර්ශනික පණිවිඩයක් වැන්න.

”ගෝරා” නිසා අරණකට පෙම්බැඳ කෘතිය හරහා ගොඩ නැඟුණු රසික ප‍්‍රජාව වඩාත් පෘථුල වී යයි මට සිතේ. චින්තා දෙවන වතාවට අසනීප වූයේ පේ‍්‍රම් චාන්ද්ගේ ”ගෝදාන” නවකතාවේ පරිවර්තනය සම්පූර්ණ කිරීමෙන් ඉක්බිතිවය. එහෙත් එහි මුද්‍රිත පිටපතක් ඇගේ දෑසට ලක් නොවීය.


පරිවර්තන කාර්යයට චින්තාගේ අවුරුදු පනස් තුනක් (53) වූ ආයු කාලයෙන් වසර විස්සක් වෙන් විය. එහෙත් ඒ වසර විස්සෙන් දහයක්ම සාහිත්‍ය ලෝකයේ බලපුළුවන්කාරයෝ සොරකම් කළහ. ඇය තව වසර දහයක් ජීවත් වූයේ නම් ඉංග‍්‍රීසියෙන් කියවන්නට නොලැබෙන, වංග, උර්දු, හින්දි භාෂා වලින් නිර්මිත ගද්‍ය කාව්‍ය අප දෝතට තිළිණ කරනු නියතය. ඈ කළ කාර්යය කරන්නට හැකි කිසිවකු නොවීම කෙතරම් අභාග්‍යයක්ද? ඇගේ මරණය එක් අතකින් ජාතියේ අවාසනාවය.

චින්තා සිංහල පාඨකයාට තිළිණ කළේ අපූරු සාහිත්‍යයකි. ඇගේ කෘති සියල්ලෙන් උද්දීපනය වන්නේ මානව සම්බන්ධතා පිළිබඳ ගැඹුරු දහමකි. ස්ත‍්‍රී - පුරුෂ සම්බන්ධය, දාරක පේ‍්‍රමය, පුරුෂෝත්තම සමාජයෙහි ස්ත‍්‍රියට අත්වන ඉරණම, අධ්‍යාත්මික පේ‍්‍රමය, චින්තාගේ කෙටි ජීවිත කාලය තුළ පරිවර්තනය කළ කෘති හරහා අපගේ කල්පනයට නතු කෙරේ. ඇය මිය ගියේ අපිට ගැඹුරු දහමක් දෙසූ මුණිවරියක සේය. මිනිස්සුන්ට ආදරය කිරීම තරම් වටිනා තවත් දෙයක් මනුෂ්‍ය ලෝකයෙ නැත යන්න ඇගේ සාහිත්‍ය ජීවිතයෙන් දේශනා කෙරුණ දහමයි.

මේ ශ්‍රේෂ්ඨ ලේඛිකාව තම වගකීම් හා යුතුකම් උපරිම වශයෙන් ඉටු කළාය. එහෙත් ඇයට අප සැලකූ අන්දම කෙතරම් මානුෂිකද??

මේ ශ්‍රේෂ්ඨ ලේඛිකාව වෙනුවෙන් සුදු කොඩියක් එල්වා එන්නටවත් සංස්කෘතික අමාත්‍යංශය සංවේදී නොවීය. සංස්කෘතික අමාත්‍යංශය ඇයට කළ හැකි අවමන් උපරිම අයුරින් ඉටු කළ බව කිව යුතුය. ”රවීන්ද්‍රනාථ ඨාකූර් සහ බෞද්ධ සංස්කෘතිය” නම් වූ ඇගේ ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය සංස්කෘතික අමාත්‍යංශයේ පරිවර්තන ව්‍යාපෘතිය විසින් බාර ගෙන ඈ මිය යන තුරුම ඈට ආපසු නොදෙන්නට තරම් සාහසික වී ඇත.

ඇගේ මරණය, මම අමාත්‍යංශයේ ලේකම් ආරියවංශ රණවීර මහතාට දැනුම් දුනිමි. ඊට මුල් වූයේ රණවීර මහතා දරන තනතුරම නොවේ. ඉතා අප‍්‍රකට, අහිංසක ජීවිතයක් ගත කළ චින්තා ලක්‍ෂ්මී ගැන ඔහුට යම් අවබෝධයක් ඇතැයි සිතීම එක හේතුවකි. සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් වීමට පෙර ලංකා ලේඛක සංවිධානයේ සමලේකම් වූ ආරියවංශ රණවීර මහතාට චින්තා ලක්‍ෂ්මී අමතක වන්නට නොහැකිය. ලේඛක සංගමයේ ආරම්භයේ සිටම ඇය කාරක සභාව නියෝජනය කළාය. දුර බැහැර සිට පැමිණ ඈ හැම කටයුත්තකටම සහභාගී වූවාය. ඒ කෙසේ වෙතත්, ලේඛකයකු - පරිවර්තකයකු ලෙසින් රණවීර මහතා තුළ කිසියම් අවබෝධයක් මේ ලේඛිකාව පිළිබඳව ඇතැයි මම අවංකවම කල්පනා කළෙමි. එහෙත් රණවීර මහතාට කතා කළ මොහොතේ මට එක දෙයක් පැහැදිලි විය. එය නම් ඔහු අවම වශයෙන් ශෝකය පළ කොට ආණ්ඩුවේ වියදමෙන් විදුලි පණිවුඩයක්වත් නොයවන බවයි.

සංස්කෘතික අමාත්‍යංශය මේ වැදගත් ලේඛිකාවට කළ හැකි ඉහළම අවමානය සිදු කළ බව සංවේගයෙන් වුව කිව යුතුය. මීට එකම හේතුව චින්තා ලක්‍ෂ්මී, ගැමි කාන්තාවක ලෙස ජීවත් වීමය. ඇගේ සැමියා, සරම කමිසය හඳින ගැමියකු වීමය. මළ ගෙදරට සංස්කෘතික අමාත්‍යංයේ නිළධාරියකු ගොස් කළ දේ රටවැසියන්ගේ දැන ගැනීම පිණිස මෙහි සඳහන් කරනු වටී.

ඒ නිළධාරියා මිය ගිය ලේඛිකාවගේ සැමියාට කතා කොට නියෝගයක් නිකුත් කර තිබේ. එය නම් චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි මිය ගිය බව පවසා ආධාරයක් ඉල්ලා ලිපියක් ලියා ඊට මරණ දැන්වීමක් ද, කසාද සහතිකය ද අමුණාගෙන සංස්කෘතික අමාත්‍යංශයට බාර දෙන ලෙසයි.

මේ පහත් ක‍්‍රියාව ගැන මට බොහෝ දේ ලියන්නට ඇතිමුත් නොලියමි. සංස්කෘතික අමාත්‍යංශයේ කලා මණ්ඩලය, සංස්කෘතික දෙපාර්තුමේන්තු, සාහිත්‍ය අනුමණ්ඩලය යන ආයතන මෙරට කලාවට, සංස්කෘතියට ඕනෑම අවමානයක් කළ හැකි පහත්, නින්දිත ආයතන බව පමණක් නැවත නැවතත් කියමි.

ජීවිත කාලය තුළ ඉතා ස්වාධීනව, උදාරව ජීවත් වූ මේ වැදගත් ලේඛිකාවගේ මරණය සංස්කෘතික ලේකම්වරයාට දන්වා මා මේ ලේඛිකාවට කළ අවමානය ගැන මම මටම සාප කර ගනිමි. මා බෙහෙවින් අගය කරන ඇගේ ලේඛක දිවියට හැකි සෑම අනුග‍්‍රහයක්ම දැක්වූ මා ඇගේ මරණය සම්බන්ධයෙන් මේ නොමනා කටයුත්ත කළේ කවර පාපයක් නිසාදැයි මටම සිතා ගත නොහැකිය.

සරත් විජේසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails