Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පිපාසාවට වතුර බිඳුවක්
නොදෙන
කරාමේ ළඟ හිස බිම ගසා සිටියද
නාමල
සුසුවඳ රැහැනින්
මා බදාගනියි

පෙති පියගැට මතින්
කළු කුහුඹු කෙමියට එබෙයි
වටපිට බලා තවකෙක්
පිය ගැට මතින් බැසයයි
කුහුඹු සහයක දෙපා මත වුව
මලෙහි සුසුද නොවියැකෙයි
මා සිත් සළුව පමණක්
කළු ලප සහයකින් විසිරෙයි

මල පාගාදැමිය යුතුමයි
පාවහන් ගළවමි
වටපිට බලා පාගමි
සලිත සිරුරෙන් ආපසු හැරෙමි

නොමළ නාමල් සුවඳ
ඉකිගසමින් ඇවිත්
ආපසු හැරෙන්නට බලකරයි

දිලිප් කුමාර ලියනගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගැහැණුන් ප්‍රේමය නිසාම අනුරාගයේ බැ‍ඳෙති. පිරිමින් අනුරාගය නිසාම ප්‍රේමයේ බැ‍ඳෙති
- කමලදාස්


කමලදාස් නුඹ කව්රුන් ද

සඳුන් දර දැමූවත් දැවෙන්නට
ගින්දරක් සෑහෙතියි සිතනව ද

අහිංසක විල් දියෙන්
පෙඟී සංතෘප්ත යැයි සිතාගෙන
ළඳක් සිය දෑත් ගෙන
ගින්න මත අතුරාවි නිවෙන්නට
අත්ල මැද ජ්වලණ උණුසුම වතල
ප්‍රේමයේ ඔක්සිකාරක විනැයි
නොදැන සිටියා කියා ලියමු අප

තෙත පෙඟී දියවෙලා
වැගිරෙන්න හදන කපු
පෑහෙන්න බැරි විලස
දැල්ල අසලින් තබමු

උණුහුමට ටිකෙන් ටික
දිය පාට දියව යනු දැකගන්න
මොහොතකට ලංවෙලා නරඹන්න

ස්වේත වර්ණය සමග
කපු - කපු ම වී පැමිණ
ගිණි ගන්න රන් මොහොත - කමලදාස් !

නි‍වෙන හැටි දැන දැනත්
දැ‍වෙන තුරු මඟ බලා හිටියා ම
දැ‍වීම ම පැතූ බව අප ‍දෙ‍දෙන
ලියන්නට ‍නොසිතු‍වෙ ද හැමදාම

නිසල විල අසල හිඳ
සලන සුසුමන් වලට
නොසැලි දිය සසල වන වෙලාවට
හිතෙන ‍දේ සදාකල් රහසක්ය
නො කිව්වා, නො ලිව්වා උනත් අප

ගැහැණියක නිවුණු සිත් දරයි නම්
ගින්දරක් පැතිය යුතුමයි කියා
දර කෙතෙක් දැමූවත් දැවෙන්නට
ගින්දරක් ඇති කියන්නෑ කියා
හිතුවා ද කවදහරි......කමලදාස්!

සුභද්‍රා ජයසුන්දර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දිලිප් කුමාර ලියනගේ ගේ නවතම කාව්‍ය සංග්‍රහය "හදවතක් නැති අයිඩින්ටිය" එළිදැක්වීමේ උළෙල 2011 දෙසැම්බර් 28 වන බදාදා සවස 3:00 ට කොළඹ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛනාගාර ශ්‍රවණාගාරයේ දී.

දෙසුම්- ආචාර්ය ලියනගේ අමරකීර්ති සමග ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කරමළ සුදු සහසක් සිහිනා'තර
ඉඳහිටක ඇවිලී හිටිවනම නිවීයන
එකමෙ'ක සොඳුරු
අඳුරු සිහිනයක් ඔබටත් ඇති

නිද්‍රා රළ රැළිති අතරේ
ගොළුගැහුණු පාලු මැදියමේ
පිටු පසින් අදින
කෙස් වැටියෙන් සොලවන
ඈත කළුවර ගල් ගුහාවක
සිරගත අතීතයකට අත වනන
එකමෙ'ක සිහිනයක් ඔබටත් ඇති

ඈතින් ඈතින් ඇසෙන
බලු උඩුබිරුමකට
උලලේන් ගීයකට
කන් යොමාගෙන
නින්දේ නොනින්දේ තනිවම සුසුම්ලන
අපව හඬවා සිහිනය සිනාසෙන
එකමෙ'ක සිහිනයක් ඔබටත් ඇති

දින සති මාස අවුරුදු
ඕවිටි බඩවැටි ලඳු කැලෑ
දෙණිපෙත් මිටියාවත්
පසුකරන් ගොස් නතරවන
නතරවී කුමක්දෝ විමසන
මෙතැන සිට හඬන
එතැන සිට සිනාසෙන
එකමෙ'ක සිහිනයක් ඔබටත් ඇති

සිහිනයෙන් විඩාබර හිත අසල
හුදකලා සිහිනි'කිබිඳුම් ළඟ
රැයේ අවදිව ළඟට අවුදින්
දයාවෙන් හිස පිරිමදින
උපේක්ෂාවෙන් නෙත් පිසදමන
සිහිනයක් නොව
අතැඹුලක් වන් යතාවක්
ඔබටත් ඇති

එ'ආදර මුදු සඳ දිය ළඟ
බාගෙට නිවුණු කිහිරඟුරක්ව
මොහොතකට නිහඬවන
රක්තතප්තව යටින් දලු ලන
එකම එක සිහිනයක්
තවමත් ඔබ ළඟම ඇති

නිරාෂ ගුණසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඇතෙක් බරට වස්තුව නොතිබුණි දෙන්ට
හිතක් බරැති පෙම පිදුවා හිමියන්ට
ගතේ රුහිරු වැල් දියවී යන කලට
අතේ සැත් පිහිය තබා ඔහු ගියෙ යන්ට

සිතේ සවිය සියුමැලි අත් දෙකට කවා
අතේ තැබූ සැත අදරින් අරන් වඩා
මළවුන් හොඳය ජීවත්වන වුන්ට වඩා
සිතමින් නොනිමි ජීවන අරගලය කළා

පලා පපු කුහර හදවත් උඩට ගෙන
තබා සැත් පිහිය සියුමැලි තැන් හැඳින
බලා විසල් දෑසින් එහි සියලු තැන
සොයා බලනවද මනු දහම් සැඟවුණ

වසා උතුරු සළුවෙන් ගඳ ගහන සිත
දෙසා වැදෑරූ සුචරිත දහම් පද
පලා බැලුම් බඩවල් ඇතුළෙ පිරිසිඳ
ජරාව කෑවුන්වත් නුඹ සොයනවද

'මිනී කපන ගෑනී' විරුදාවලිය ලැබ
අම්මා කියනු බැරි දරුවන් නොයනා ගෙදර
උදේ හවා බුදු පානට වැඳ පතන
පැතුම කියනවද අක්කණ්ඩිය මෙමට

ගසමින් කෙළ බිමට මහ පිළිකුලෙන් බලා
මඟ යන්නවුන් දැක කිසි අහිතක් නොසිතා
දපා උඩුකුරුව උන් ආ දවසට ළඟටා
වසා සියලු කැත උන් සැරසුවෙ කුමටා

[ගබ් පෙරහැර - 2010]

ආනන්ද බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සයිමන් නවගත්තේගමගේ 'සංසාරණ්‍යයේ දඩයක්කාරයා' පිළිබඳ කතිකාවක් කේ.කේ. සමන් කුමාරගේ නිර්මානාත්මක ලේඛනය පාඨමාලාවේ පළමු කණ්ඩායම විසින් සංවිධානය කොට ඇත. මෙය 2012, ජනවාරි 08 වන ඉරිදා නුගේගොඩ Art Way හි දී පැවැත්වේ.

අදහස් දැක්වීම්- චන්ද්‍රසිරි බංඩාර, සුජිත් අක්කරවත්ත, කේ.කේ. සමන් කුමාර




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



විලියම් ශේක්ස්පියර් ගේ රෝමියෝ ජුලියට් කෘතිය ඇසුරින් නිර්මිත පර්යේෂණාත්මක වේදිකා නාට්‍යය "රෝමියෝ ජුලියට්ලා" 2011 දෙසැම්බර් 18 ප‍. ව. 6.30 ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හි දී වේදිකාගත කෙරේ‍. ජගත් ජයසේකර සහ නදීකා බණ්ඩාර ගේ සම නිෂ්පාදනයක් වන මෙය "ජෙනී තියටර්" ඉදිරිපත් කිරීමකි.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පඳුරු ලූ වේදනා කුරුළු පෙඳකින් පිසින
අඳුරු රැය මව් ළැමේ හිස හොවා දුටු සිහින
අතරමැද අවදි වී සඳු පවා ඉකිබිඳින
අලුයමේ ඇරැඹි තව දිනකි පරවී වැටෙන

ගොනු කුමට සෙක්කුවේ බැදී එහි කරකැවෙයි
සියක් නොව දහස් වැඩ අත් දෙකෙන් නිම කරයි
හිරවෙවී තෙරපෙමින් බස් එකෙන් බැස ගනියි
එකම රඟ මඬළ මුත් භූමිකා මාරු වෙයි

බරට කරදර දමා රත්තරං කිරන්නිය
කඳුළු කැට හිනාවට හුවමාරු කරන්නිය
හද බිතෙන් වෑස්සෙන තෙතමනය ඉසින්නිය
දුකට පත් කෙනෙකු හිත සරතැසය නිවන්නිය

බිංදුවෙන් බිංදුවට බර තැබෙන මොණර කොළ
කිතිකැවි හිස නමයි ඇගේ අතැඟිලි අතර
පෝලිමේ මුහුණවල නොසන්සුන් ඇස් අතර
කඩුකිණිසි පිටවෙතත් හිනාවකි වත මඬළ

මෙරක් බර හිස දරා මුදු සිනා නගන්නිය
ඉලක්කමි කටු ඇනී වේදනා විඳින්නිය
තරුවලින් ගෙදර යන මංලකුණු අසන්නිය
තරු නිවුන දොරකඩ ම කඳුඑ පැන් ඉසින්නිය

උදෑසන නතර වූ තැනින් යළි පුරන්නිය
කාමරෙන් කාමරේ සඳ එළිය සොයන්නිය
සඳ පලුව මුවා කළ කළු වළා දකින්නිය
මුණිවතින් ලිපේ ගිනි සිළට දුක කියන්නිය

ජීවිතේ හර වෙලා බැංකුවට බැර වෙලා
උකස් කළ හීන මල් සින්නෙට ම හැරවිලා
දරුසෙනේ හිමි සෙනේ ගිණුම අයිරා වෙලා
ඇයට නොදැනී ඇයව රහසේ ම විකිණිලා

පද්මිණි ශ්‍රියාලතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"මිනිසුන්ට ජීවත් වීමට , නිදහසට සහ දේපළ රැස් කිරීමට ස්වභාවික අයිතියක් තිබේ. තම අයිතිවාසිකම්වලින් කොටසක් ඔවුන් සිය කැමැත්තෙන් රජය නම් තම අභිමතය පරිදි පිහිටුවාගත් පාලනාධිකාරයට පවරනු ලැබේ. ඒ, ජීවත්වීමේ, නිදහසේ විසීමේ සහ දේපළ රැස්කරගැනීමේ සිය අයිතීන් වඩා හොඳින් සුරැකීම සඳහා ය."
- ජෝන් ලොක් (1632–1704)


ඒ දෙසැම්බර් 12 වෙනිදා රාත්‍රිය යි.

අවුරුදු දාසයක මිනිහෙකුට (මෙතන මිනිහෙක් කියන්නේ හෝමෝ සේපියන් කෙනෙක් කියන එකය.) මරණීය දඬුවම ට තීන්දුව ලැ‍බෙන්න ඔන්න මෙන්න ය.

අන්තිමේ දී ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ප්‍රේක්ෂකාගාරය අසුන්වලින් නැගී අත්පොළසන් දීමට පටන් ගනියි. එය තීරණාත්මක මොහොතක අවසානයකි. තර්ක ගොඩක්, සාධාරණ සැකය පිළිබඳ සැකය, ජීවිතය සහ මරණය- හදවත් තුළ කකෑරෙන වේදනාවන් මේ සියල්ල වේදිකාව මතත් ප්‍රේක්ෂක මනස් තුළ ඊට ටිකක් වැඩියෙනුත් රඟ දැකුවුණු පසු..... රෙජිනෝල්ඩ් රෝස් විසින් රචිත අතුල පතිරණ ගේ අනුවර්තනයක් ලෙස නිර්මාණය වුණු "දොළහක්" වේදිකා නාට්‍යයයෙන් මුළු රඟහළ ම කම්පිත වෙයි. මිනිහෙකුගේ ජීවිතය ගැනීමට, නැතහොත් වරදකරුවෙකු කිරීමට ඔබ කොතෙක් සුදුසු ද? ඒ තීරණය කොතෙක් නිවැරදි විය යුතුද? ඊට ඔබේ බුද්ධියේ පරිමාව, නියෝජනය කරන පංතිය, ඔබේ ආශාවන් සහ වුවමනාවන්, ඔබ තුළ ඇති සහකම්පනයේ ධාරිතාව, පුද්ගලික තුවාල, වෛරය, අගතීන් සහ අකාරුණික බව අවිඥානිකව කරන බලපෑම ; සියුම් සැතකින් සාරා පාරා හදවත විනිවිද කෙමෙන් කෙමෙන් මතුකර ගන්නා ඒ මරණීය හෘද සාක්ෂිය කෙතරම් කම්පනීය ද?

වැදගත්ම පැනය නම් අපට එසේ කම්පනය විය හැක්කේ සහ අප එසේ විය යුත්තේ රඟහලක දී පමණ ද යන්න යි.

පුද්ගලයෙකුගේ ජීවිතයට ඇති අයිතිය නැති කිරීම කොතෙක් බරපතල ද යන්න සිතමු. මේ රටේ පහුගිය දශක හතර , එනම් ඉතිහාසයේ ස්ථානයක් සළකුණු කළහොත් 1971 සිට මේ දක්වා ජීවත් වීමට ඇති අයිතිය යන කාරණයට තබා ඇති බර කොපමණ ද? 1776 අමෙරිකානු නිදහස් ප්‍රකාශනයෙන්, 1948 එක්සත් ජාතීන්ගේ විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයෙන්, 1966 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රකාශනයෙන් සහ අන්තිමේ දී 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදයෙන් සහ එකී මෙකී නොකී සියලු ප්‍රකාශන සහ සංශෝධන වලින් ස්ථාපිත කරන ලද මූලික මිනිස් අයිතිවාසිකම් වලට නිදහස හිමි වීමේ සිට මේ දක්වා පුරවැසි ඡන්දයෙන් පත්වුණු ආණ්ඩු දුන් වැදගත්කම කුමක්ද? ඒ අයිතිවාසිකම 400,000 ක හමුදාවක්, දහස් ගණණක් පාතාලයන් සහ ජරාජීර්ණ නිළධාරි පංතියක් ලවා නිර්දය ලෙස පැහැර ගැනෙද්දි සාක්ෂරතාවය 94.2% වන ලංකාව නම් බුද්ධිමත් රාජ්‍යයේ වැසියන් කළේ මොනවාද?

මේ දෙපාර්ශවය අතර ඇත්තේ දශක ගණනාවක සිට නොබි‍ඳෙන අපූරු නිහඬ සුන්දර එකඟතාවකි. ඒ, ආණ්ඩුව මොනවා කළත් ‘සාමාන්‍ය’ මහ ජනතාව (කොන්දේසි විරහිතව) සහ ඇකඩමියාව (මුලින් කොන්දේසි සහිතව සහ පසුව රහිතව) ඊට එකඟ වීම යි. එහි ප්‍රතිඵලයක් ලෙස මාරුවෙන් මාරුවට එක වගේ(අයිඩෙන්ටිකල්) ආණ්ඩු පත් වේ. එකම ෆැසිස්ට්වාදී පාලකයාම ය. (ලංකාවට එහෙම නැතුව බැරි බවට අලුත්ම මතයක් ඇතිවෙමින් පවතී). මේ ෆැසිස්ට්වාදී පාලකයා ගේ සළුපිළි ඒ පුද්ගලයාගේ හැකියාව සහ ජනතාවගේ අද්‍යතන ආශාවන් අනුව වෙනස් වෙයි. ඇතැම්විට එය බුද්ධිමත් ව්‍යවස්ථාවාදී වංශවත් එකක් වන අතර විටෙක ස්ත්‍රීවාදී වැන්දඹුකරණය වූ සානුකම්පිත එකකි. තව විටෙක නිර්ධන පාංතික, ‘පොඩි මිනිහාවාදී’ එකකි. හොඳම එක නම් ජාතිකවාදී (ඕනෑම විටෙක රෙද්ද ලිහා සිංහල බෞද්ධ අඳනය පෙන්විය හැකි), පීතෘ ස්නේහයෙන් අනූන (ළමයි වඩාගෙන සිඹීම ද මීට ඇතුළත් ය.) සිය පවුළට අසීමිත ලැදියාවක් ඇති , කිසිදා ජාතිය තනි නො කර ශතවර්ෂ ගණනාවක් රැකවල් සදනු රිසි රාජාභරණවලින් ආඪ්‍ය වූ ඇඳුම යි. මීට ආවඩන නිළධාරි පංතිය රාජ්‍ය සහ මහජන දේපළ හප කර උරා බොයි. කැරළි සහ ත්‍රස්ත මර්ධනයේ නාමයෙන් දහස් ගණනක් මිනිසුන් බල්ලන් බළලුන් සේ මරා දැමෙයි. අතුරුදහන් වෙයි. මේවා ප්‍රශ්න කිරීම අතුරුදන් කරවනු ලැබිය හැකි වරදකි.

අතුරුදහන්ව ඇති මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරිකයින් සහ සිවිල් පුරවැසියන්ගේ ඉරණම සහ ඒ ගැන ආණ්ඩුව දක්වන දියාරු ආකල්පය ඛේදනීය වන අතර ඒවා පිළිබඳ ප්‍රශ්න කරන විට ලැබෙන පිළිතුරු විස්මයාවහ ලෙස හාස්‍යජනකය. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කොට වසර දෙකකට ආසන්න වන අතර ඒ ගැන මේ තාක් මායාමය උපකල්පන මාධ්‍යගත කළ ආණ්ඩුවේ පිළිවෙත තවත් උත්කර්ෂයට නංවමින් ඊයේ පෙරේදා ජනාධිපති නීති උපදේශක මොහාන් පීරිස් සන්ධ්‍යා එක්නැළිගොඩගේ හිසෙහි අත ගසා දිවුරුවේ එක්නැළිගොඩ විදෙස් රටක ජීවත් වන බවයි. පීරිස් ගේ හස්තය සිය හිසෙන් මදක් ඉවත් කළ සන්ධ්‍යා ඒ ඉන්නා තැන හෙළිදරව් කරන මෙන් ඉල්ලා ජාත්‍යන්තරයට ගියා ය . මීළඟ ට ආසන්නතම තවත් උදාහරණයක් වන්නේ නොබෝදා ජනඅරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් කුමාර් වීරරාජු සහ එම ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් සාමාජික කුගන් මුරුගන් අතුරුදන් කරවීම යි. ලංකාවේ අච්චාරු වුණ වුණ වම වෙනුවෙන් පෝස්ටර් ගහනවාට වඩා පීරිස්, එක්නැළිගොඩව යවා ඇති රටේ සතුටින් ජීවත් වීම හොඳ යැයි ඇතැම් විට ඔවුන්ට සිතුණායයි හෙට මහින්ද අබේසුන්දර කීවොත් අප පුදුම විය යුතු නැත.

රෙජිනෝල්ඩ් රෝස් ට අනුව අනෙකෙකුගේ ජීවිතය පිළිබඳ තීරණ ගන්නා මොහොතේ දී උපරිම බලය සහිත අධිකරණය හෙවත් නෛතික බලය පවා ඒ පිළිබඳව යළි යළිත් විමසිය යුතුය. රෝස් (ලංකාවේ දී අතුල) සිය නාට්‍යයෙන් ප්‍රේක්ෂකයා (හෙවත් බුද්ධිමතා, කලාකරුවා සහ සාමාන්‍ය හුදී ජනයා) කම්පනය කොට අවදි කිරීමට දරණ උත්සාහයට සමාන්තරව ලංකාව දෙස බලමු. එහි ජීවත් වීමට ඇති අයිතිය හේතු කිහිපයක් නිසා අහිමි කරනු ලැබෙයි.

1. රෙජීමය පවත්වාගෙන යාමේ අනිවාර්ය කොන්දේසියට යටත්ව, ඊට බාධකයක් වන ඕනෑම කෙනෙකු ඉවත් කිරීමේ පදනමේ සිට (ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග, 71,89,83-2009 යන යුගයන් හි තරුණ නැගිටීම් වලට පිළිතුරු ලෙස කළ මහා ඝාතන සහ පාතාලය හරහා කරවනු ලැබූ දේශපාලන ඝාතන මීට ඇතුළත් කළ හැක.)

2. රෙජීමයේ අවශ්‍යතාව මත ජනතාව මත පටවනු ලැබූ මිලිටරිකරණයේ ප්‍රතිඵලයක් ලෙස (භාරත ඝාතනය මෙන්ම දකුණු පළාතේ හම්බෙගමුව ප්‍රදේශයේ ආරක්ෂක අංශ සාමාජිකයා එකම පවුලේ තිදෙනෙකුට වෙඩි තබා තමන් ද වෙඩි තබා සිය දිවි හානි කරගැනීම ද එප්පාවල කඩිගාව ගම්මානයේ ආරක්ෂක අංශ සාමාජිකයෙකු තරුණියන් දෙදෙනෙකු සමග අඩි 50 ක් උස ගසක එල්ලී දිවි නසා ගැනී ම, නොබෝදා සිය උසස් පොලිස් නිළධාරියාට වෙඩි තබා තමන් ද වෙඩි තබා ගත් පොලිස් නිළධාරියාගේ සිද්ධිය වැනි මෙතෙක් සිදුව ඇති එවැනි සියලු ඛේදවාචක මීට ඇතුළත් ය.)

3. පිළිසිඳ ගැනීමේ සිට ම ජීවිතයට බද්ධ කරනු ලැබූ විපරීත ජරාජීර්ණ මනෝභාවයන්ගෙන් යුතු, කුණුවූ බලාපොරොත්තු විරහිත පොදු ජන ජීවිතවල කාළකණ්නිකමේ ප්‍රථිඵලය ලෙස (නාට්ටාමි "පූ" නමැත්තා විසින් හිඟන්නන් 15 ක් ම්ලේච්ඡ ලෙස මරා දැමීම, පාසල් දරු දැරියන් ටයි පටියෙන් එල්ලී වස බී සිය දිවි නසා ගැනීම මෙන්ම පවුල් ව්‍යභිචාරය, ප්‍රේමය , ඉඩම් ආරවුල් යනාදී සකල විධ හේතූන් මත එකිනෙකා මරාගැනීම උදාහරණ ලෙස සිහිපත් කරගත හැකිය.)

මේ ලැයිස්තුව තව දීර්ඝ විය හැකිය.

මේ මරණ සිදුවූයේ ඉතා සාමාන්‍ය ලෙස ය. සමාජය විසින් ඒවා භාර ගැනුනේ ක්ෂණික කම්පනයකිනි. ඉන් පසුව ඒවායේ වැදගත්කම හීන වී ගොස් පොළේ "රතු ළූණු මිල ඉහළ යාම" ටත් වඩා පහතට වැටුණි. ඒවාට එරෙහිව ඇති වූ විරෝධතා නින්දිත ලෙස නොසලකා හැරෙමින් තිබෙයි. ඒ මරණ වලට "අනේ අපොයි" කියන මහ ජනතාව විපරීත දේශපාලනික සූත්‍රය යළි යළිත් සාධනය කරමින් අනෙක් පැත්ත හැරී ඡන්දය දමා ගෝඩ් ෆාදර් ලා දිනවයි.

ලොක් ට අනුව "මිනිසුන්ට ජීවත් වීමට , නිදහසට සහ දේපළ රැස් කිරීමට ස්වභාවික අයිතියක් තිබේ. තම අයිතිවාසිකම්වලින් කොටසක් ඔවුන් සිය කැමැත්තෙන් රජය නම් තම අභිමතය පරිදි පිහිටුවාගත් පාලනාධිකාරයට පවරනු ලැබේ. ඒ, ජීවත්වීමේ නිදහසේ විසීමේ සහ දේපළ රැස්කරගැනීමේ සිය අයිතීන් වඩා හොඳින් සුරැකීම සඳහා ය." මෙහි ඛේදය වන්නේ මිනිසා සිය බලය පවරා දුන් පාලනාධිකාරය වන ආණ්ඩුව නම් ක්‍රමවේදය නිර්මාණය කර දුන් මේ කුණු ඇපල් ගෙඩිය ජනතාව සර්පයාගෙන් භාර ගන්නේ පැරණි වහල් යුගයේ මානසිකත්වයෙන් ම වීම යි. ධාර්මික යුද්ධ පිළිබඳ සුසුදු පෙම් බස්, දේශයේ ගෞරවය පිළිබඳ රොමෑන්තික දෙසුම්, කැපකිරීම (වහල්බව වෙනත් වචනවලින්) පිළිබඳ ගෞරවණීය මතවාද විසින් මේ පිළිලය ඔතමින් තිබෙයි. විකල්ප ඇකඩමියාව අතිශයින් බරපතළ ලෙස විවාදවල පැටළී පැටළී කෙස් පලයි. ජනතාව කුණුවූ ජීවිත පිරිමැදගනිමින් ස්වප්නමය නිද්‍රාවේ සෞන්දර්යය ද විඳියි. ඒ මොහොතේ දී ම කෙනෙකු අසල සිටින අනෙකාගේ ජීවත් වීමේ අයිතිය මහ දවල් උදුරා ගැනෙයි. මතක ඇතිව අප අමතක කළ යුත්තේ වෙන කිසිවක් නොවේ. රොස් විසින් තට්ටු කර අවදි කරන්නට තනන අපේ හෘද සාක්ෂිය යි.





ආලෝක රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඔද තෙජ බල නැණ ජන කැල
එක් රැස් කර ගෙන සවි බල
සැක බිය හිත් මුවහත් කර
හමුවෙමු සැම රැය දහවල

මුග්ධ අවිදු හීන මාන
නිති පුද දෙන වන්ද මාන
බිඳ සිඳ විෂ ඇති රුපු දළ
ජන බල ගොස නද අවැසිය

අල දෙල් කොස් ඇති වී පොල්
ජනයා නොසිතති නිවහල්
ජාතිය ආගම හැමකල්
අබිං කවති රෑ දහවල්

දියත පුරා ගරා වැටෙන
අධිපතියට අඳුර රැගෙන
සදිසාවෙන් හමාන එන
අරගල කැල කැඳවනු මැන

ජනයාගේ කර මත යන
සීනිබෝලයෙන් රවටන
හාල්පාරු ජන නායක
අම්බරුවෝ බිම හෙල මැන

වෙඬරු වගේ දිය නොවෙනා
පාලන ක්‍රම දැන හැඳිනා
නිසිකල තැන දුර බලනා
ජන බල මුලු ගොඩ නගනා

නපුරු සිහිනයක් නොවෙනා
පීඩිත ජන සිත් තලනා
උතුර දකුණ හද හඳුනා
අත්වල් බැඳ පා තබනා

මමත්වයට ගිණි බිඳ හැර
මනුස්සයට හද ඉඩ හැර
විවාදයට නිසි දොර හැර
සමූහයම එක් වනු මැන

උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගෙදරදි දවසටම
වචන දහයක්
නොදෙඩුවට
වෙසක් එකට
හන්දියේ
පොල්කොට
වේදිකාවේ
රජෙක් වුන අපූරුව….

කිය කියා
දෙබස් එක දිගට
තිය තියා
රජ අඩි බරට
ගන්න විට
සුරතට
පුවක් පටි
කඩුව
අප්පොඩි ගැහුනෙ
ඉබේටම සෙනගට

හැන්දෑවේ
දලු මඩුවේ
බුලත් විට
රා අතර
නුඹ මුවෙන්
විසිවුණු
කතන්දර ඇහිඳගෙන
තප්පර ගණනට
පිටු බාග කාලට
විකුනනවා මම

දිලිසෙන සම්මාන
ලැබෙන තරමට
ඒජන්සියට
වැඩිවෙනවා
පඩිය මට

සාරි ඉටි රෙදි
පොල්කොට
රජ මැදුරේ
ඔටුනු පළදින්න
කුමරෙක් නැති කමට
නුඹ තවම
රඟනව
මහලු බඹදත්
චරිතේ

නොමිලේම
බෙදනව
ගමටම
නුඹේ හිත
වදින අප්පොඩිය
අඩුවුනත්
ටික ටික

කෞශල්ය පතිරණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හිත සැහැල්ලුවෙන් තියෙන වෙලාවක කවුරුහරි කෝපි කෝප්පයක් බොනවනම් ඒකෙ තියෙන්නෙ හරියටම කෝපි උගුරු දා හතක් විතරයි. බොන කෝපි උගුරු ගාණ මීට වඩා එහාට මෙහාට වෙනවා කියන්නෙ හිත සැහැල්ලුවෙන් නෑ කියන එකයි. මං දැන් බීපු කෝපි කෝප්පෙට උගුරු විසි තුනක් තිබ්බා. සාමාන්‍ය ප්‍රමාණෙට වඩා උගුරු හයක්ම වැඩී. කෝපි බීලා ඉවර වුණාට පස්සෙ ඒකට ආපහු කෝපි කෝප්පයක් කියන්න බෑ. ඊට පස්සෙ ඒක නිකම් කෝප්පයක් වෙනවා. ඒ නිසා මං ඒ නිකම් කෝප්පෙ මේසෙ උඩින් තියලා සිගැරැට් එකකුත් පත්තු කර ගෙන ඇවිත් ඇඳේ දිගා වුණා.

පළවෙනිම දුම් වළල්ල තොල් අස්සෙන් විසිවෙලා ගිහින් බිත්තියෙ වැදිලා ඇදගෙන වැටුණා. ඒත් ඒ එක්කම වගේ ඒ දුම් වළල්ල ආපහු නැගිට්ටා. එහෙම නැගිටලා කාමරෙන් එළියට යන්න තැනක් හොය හොය ටික වෙලාවක් කාමරේ පුරාම ඇවිදලා ඇවිදලා අන්තිමටම ජනෙල් පලුවක් ඇරලා දාලා තිබිච්ච තැනකින් එළියට පැන ගත්තා. සිගැරැට් එකක පළවෙනිම දුම් වළල්ලට ලොකු වගකීමක් තියෙනවා හැමතිස්සෙම. හුඟක් වෙලාවට ඊට පස්සෙ පිටවෙන දුම් වළලු කරන්නෙ පළවෙනි දුම් වළල්ල කරපු දේම තමා. වෙන දෙයක් අලුතින් හිතන්න අලුත් දුම් වළලු පෙළඹෙනවා හරිම අඩුයි.

මං ඉන්න කාමරේට තියෙන්නෙ බිත්ති හතරක් විතරයි. මගෙ ඉස්සරහින් එකයි . දෙපැත්තෙන් දෙකයි. පිටිපසෙන් එකයි. ඔක්කොම ගාණ හතරයි. මට ඉස්සරහින් තියෙන බිත්තියෙ මැද්දට වෙන්න එල්ලලා තිබ්බ චිත්‍රෙ දිහා මං ටිකක් වෙලා බලා ගෙන හිටියා. මේක මං ගත්තෙ විහාරමහාදේවි පාර්ක් එකේ පිටිපස්සෙ තියෙන චිත්‍ර විකුණන තැනින්. කැන්වස් රෙද්දක ඇඳල තිබ්බ ඒ චිත්‍රෙ මහ මූසල ගතියක් තිබ්බත් ඒක දැක්ක ගමන්ම වගේ මට ඒක ගන්න ආස හිතුණා. ඒකෙ තිබ්බෙ නිල් පාට වර්ණයේම විවිධ ප්‍රභේද සහිතව පින්තාරු කරපු ඇතුළට කැකෑරෙන විදිහට බොහොම තාත්විකව ඇඳලා තිබ්බ දිය සුළියක්. නිදිමතක් කියලා දේකුත් නැති හින්දා මං සිගැරැට් එකත් අරගෙන කාමරෙන් එළියට ඇවිත් ඇට්ටෙරියා ගහ ගාව තියෙන පොඩි ගල් බංකුව උඩ වාඩි වෙලා පුරුද්දට වගේ උඩ බැලුවා. අඩ හඳේ අග්ගිස්සෙන් පිනි බිංදු වැක්කෙරෙනවා . කැටි වලාකුළු වගයක් අහසෙ හිරවෙලා තැන් තැන් වල. ඒ කියන්නෙ අනිවාර්යෙන්ම ඉස්සරහින් යනවා ඇති ලොකුවයින් වලාකුළක් . තනි තනියෙන් ඉන්න එකේ තේරුමක් නෑ කියලා හිතන පුංචි පුංචි වලාකුළු සේරම ගිහින් අර ලොකු වලාකුළට එකතු වෙනවා ඇති.
මං දිහා තණකොළ පෙත්තෙක් බලාගෙනම ඉන්නවා ඇට්ටේරියා ගහේ ඉඳගෙන එක දිගටෝම. ඇත්තටම ඌට මාව කොහොම පේනවා ඇත්ද. දැන් මට ඕනෙ තණකොළපෙත්තට මාව පේන විදිහට මාව දකින්න. ඌට පේනවා ඇති අඬු හතරක් තියෙන , කටින් දුම් පිට කරන සතෙක්. මහ රෑ මැද්දෙ වුණත් බයක් සැකක් නැතිව එළියෙ ඉන්න නිසා මට විලෝපිකයන්ගෙන් වැඩිය තර්ජනයක් නෑ කියලා ඌට හිතෙනවා ඇති. මං මේ දැන් කියපු විලෝපික කියන වචනෙ මට මතක් වුණේ සෑහෙන්න කාලෙකින්. ඒක හරිම ලස්සන වචනයක්. ඒත් මේකනම් තව දුරටත් මේ විදිහට දිගටම ලියාගෙන යන්න සෑහෙන්න අමාරුයි වගේ. ඇත්තම කිව්වොත් මට දැන් ඕනෙ ලාවට හරි ප්‍රේමය තැවරිච්ච කෙටි කතාවක් ලියන්න. මං මේ තාම කතාව වටේ ඔහේ කැරකෙනවා ඇතුල් වෙන්න තැනක් හොයාගන්න බැරිව. සිගැරැට් එකක් පත්තු කරගත්තු කතාව ඇරෙන්න මං කලින් කියපු හුඟාක් එව්වා බොරු. මං කාමරෙන් එළියට ආවෙත් නෑ. තණකොළපෙත්තෙක් එළියෙ කෑගහනවා වගේ ඇහුනට එහෙම එකෙක් මං දිහා බලන් හිටියෙත් නෑ. මගේ කාමරේ බිත්තියෙ අර කලින් කිව්වා වගේ චිත්‍රයක් එල්ලලත් නෑ. හවස් වෙලා කලාභවන පැත්තෙන් එනකොට පාර්ක් එක ළඟදි ඔය චිත්‍රෙ විකුණන්න තියෙනවනම් මං දැක්කා. මෙහෙමයි , මං එහෙනම් කෙළින්ම කතාව ලියන්න පටන් ගන්නවා දැන්.

කතාවෙ විදිහට මේකෙ පළවෙනි පිටු කිහිපය වෙන් වෙන්නෙ පොඩි අතු ගංඟාවක් දිගේ බොහොම ප්‍රීතියෙන් ඔරුවක් පැදගෙන එන දෙන්නෙක් අතර හුවමාරු වෙන දෙබස් කාණ්ඩ කිහිපයකට. දෙන්නගෙන් එක්කෙනෙක් මම. අනිත් එක්කෙනා එයා. දෙබස් සේරම ලියන්න ගියොත් කතාව අනවශ්‍ය විදිහට දික්ගැහෙන නිසා ඒවා මෙතන සඳහන් වෙන්නෙ නෑ.

මේ කියන අතු ගංඟාව වැඩිය ගැඹුරු එකක් එහෙම නෙවෙයි. රැළි වුණත් හරිම සිනිදුයි. හීනියි. ගඟේ හරි මැද්දෙන්ම ඔරුව පැදගෙන ගියත් ඉවුරු දෙකම තිබ්බෙ වැඩි දුරකින් එහෙම නෙවෙයි. අපි සැරින් සැරේ ගඟට නැමිලා තිබිච්ච ගස් වල තිබ්බ පලතුරු ජාති කඩාගෙන කෑවා. ගං ඉවුරු දිගට පිපිලා තිබ්බ කැලෑ මල් පොකුරු කඩලා ඒවගෙ පාට පාට මල් පෙති අපෙ ඔරුව වටේටම වැටිලා පාවෙන විදිහට ගඟට දැම්මා. ඒ මල් පෙති අපේ ඔරුව වටකරගෙන අපිත් එක්කම ගඟ දිගේ පල්ලෙහාට එන්න පටන් ගත්තා.

මෙහෙම පහළට යනකොට තමයි අතු ගඟ ටිකෙන් ටික පළල් වෙන්න පටන් ගත්තෙ. රැළිත් එන්න එන්නම රළු වුණා. වතුරෙ තිබිච්ච පැහැදිලි ගතිය අඩු වෙලා ටිකක් බොර පාටක් ගත්තා. කෝමහරි එක දවසක් හැන්දෑවෙච්චි වෙලාවක අපේ ඔරුවයි, අතු ගඟයි, මල් පෙති ටිකයි කියන සේරම මහ ගංඟාවකට ඇදගෙන වැටුණා.. මහ ගඟ සෑහෙන්න ගැඹුරුයි. රැළි හරිම මහතයි. ප්‍රචණ්ඩයි. හැමතැනකම ගල් කුළු. වැලි පර. එක එක විදිහෙ වාරි යෝජනා ක්‍රම. පාලම්. විදුලි බලාගාර. ජල පොම්පාගාර. නාන තොටුපොළවල්. එකක් කියලා නෙවෙයි. හුළං හමන අත නිතරෝම වෙනස් වෙනවා. මෙච්චරකල් අපෙ පස්සෙන්ම ඔරුව වටකරගෙන ආපු මල් පෙති ටිකත් සැඩ පාරට ඔරොත්තු දෙන්නෙ නැතිව අපෙ ඔරුවත් පහු කරගෙන පල්ලෙහාටම ගහගෙන ගියා. ගල් පරේක හප්පගන්නෙ නැතුව ඔරුව පදින එක හරිම අමාරුයි, අන්තරාදායකයි කියලා අපි ඉක්මනටම තේරුම් ගත්තා.

ඔරුව තවත් ගඟ දිගේ පහළට පදින්නෙ නැතිව ඔරුව හරෝගෙන ඉවුරු දෙකෙන් එක පැත්තකට පදින්න අපි තීරණේ කළා . අපිට තිබුණෙ එක හබලක් විතරයි. අපි දෙන්නා මාරුවෙන් මාරුවට හබල් ගෑවා. මේ කියන වෙලාවෙ හබල තිබ්බෙ මගෙ අතේ. මං මුලින්ම ඔරුව හරෝලා අරන් ගඟේ වම් ඉවුර පැත්තට පදින්න පටන් ගත්තා. මේක මහ පුදුමාකාර ගඟක්. මං අපේ ඔරුව ගං ඉවුර පැත්තට පදින්න, පදින්න ගං ඉවුර ටිකෙන් ටික පස්සෙන් පස්සට යනවා. කොයිතරම් වේගෙන් ඔරුව ඒ පැත්තට පැද්දත් ඉවුර එන්න එන්නම අපේ ඔරුවෙන් ඈත් වෙනවා. ඒ පැත්තට පැදලා පැදලා හති වැටිච්චි නිසා මං හබල අරන් එයාගෙ අතට දුන්නා. එයා ඔරුව අනිත් පැත්තට හරෝගෙන එහා ඉවුර දිහාට පදින්න පටන් ගත්තා . ඒත් මේ පාරත් කලින් පාර වගේමයි. කොයිතරම් පැද්දත් ඒ පැත්තෙ තිබ්බ ඉවුරත් ටිකෙන් ටික පස්සට යනවා විතරයි. කරකියාගන්න දෙයක් නැතිම තැන එයත් ඔරුව පදින එක නවත්තලා හති අරින්න පටන් ගත්තා. මේ වෙනකොට අපිට තිබ්බ එකම හබලත් ගඟටම දියවෙලා ගිහින් හීනි කූරක් වගේ වෙලා තිබුණා.

අතු ගඟ දිගේ ඔරුව පැදගෙන එද්දි කඩාගත්තු වල් අඹයක් අරගෙන හීනියට පෙති ගහලා එයාටත් දීලා මාත් කෑල්ලක් හප හප කල්පනා කරන්න පටන් ගත්තා. අපේ ඔරුව ඉවුරක් පැත්තට පැදගෙන යද්දි ඉවුර එන්න එන්න අපෙන් ඈත්වෙන එක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ. එහෙමනම් ඉතින් වෙන්න පුළුවන් දේකට කියලා තියෙන්නෙ තව එකම එක දෙයක් විතරයි. ඒ කියන්නෙ අපේ ඔරුව මුලින් තිබුණට වැඩිය ප්‍රමාණයෙන් පොඩි වීගෙන යනවා ඇති. මං කෝකටත් කියලා ඔරු බඳේ දිග වියත් වලින් මැනලා බැලුවා. මං හිතුවා හරි. අපි අපේ ඔරුව මුලින්ම දියත් කරද්දි තිබ්බ දිගට වඩා සෑහෙන්න ඔරුව පොඩි වෙලා. අපේ ඔරුව දිහා මිනිස්සු පාලම් උඩට වෙලා බලාගෙන ඉන්න හැටි මං දැක්කා. සමහරු ඇඟිල්ල දික් කර කර අපෙ ඔරුව පෙන්නලා ළඟ හිටපු අයට මොනාහරි කියනවා කියලා ඒ අයගෙ ඉරියව් වලින් තේරුණා. ඒත් අපේ ඔරුව තිබ්බෙ ඒ කියන කිසි දෙයක් ඇහෙන තරම් ළඟ පාතක නම් නෙවෙයි.

ඔරුව අපි කැමති විදිහට නෙවෙයි හුළඟ කැමති විදිහට එහාට මෙහාට පැද්දි පැද්දි තිබුණා. එක දවසක් අපි දෙන්නා උදේ ඇහැරලා බලද්දි අපේ ඔරුව වටේටම තැන් තැන් වල තව ඒ වගේම ඔරු මහ ගොඩක් පාවෙවී තිබුණා. ඒ ඔරු වල හිටපු අයත් උදේට කකා හිටියෙ අපි කාපු ජාතියෙම වල් අඹ ගෙඩි තමයි. ඒ හින්දා මේගොල්ලොත් අපි ආපු අතු ගඟ දිගේම පහළට ගහගෙන ආපු අය වෙන්න ඇති කියලා අපි අනුමාන කළා.

තව දවසක් උදේ බලද්දි ගඟේ වතුර පාර සෑහෙන්න බොර වෙලා කියලා එයා නිරීක්ෂණය කරලා තිබුණා . ඒ වෙනකොටත් අපෙ ඔරුව වටේ තිබ්බ ගඟේ රැළි වගේකුත් හෙමින් පටන් අරගෙන වේගෙ වැඩි කර කර උඩ පනින්න පටන් අරන්. ඈත කඳු මුදුන් වල වාඩිවෙලා හිටපු යෝධ කළු වලාකුළු මහ හයියෙන් කෑ ගහගෙන අහස මැද්දට කඩාගෙන පනින හැටි අපි දැක්කා.

ගං ඉහත්තාවට මහ වැහි පටන් ගෙන කියලා අපිට ප්‍රත්‍යක්ෂ වෙන හේතු එක දෙක පිට පිටම වගේ පහළ වුණා. එයා මගෙ අතක් පුළුවන් තරම් හයියෙන් අල්ලගෙන ගඟේ සැඩ පාර දිහා හිස් බැල්මකින් බලාගෙන හිටියා. ගඟ තමන්ගෙ අවසාන අනතුරු හැඟවීමේ ලියුමත් අපිට එවලා පැය තුනකට විතර පස්සෙ පැත්ත පළාතම දෙදරගෙන ගඟේ අපි හිටපු හරියටත් මහ වැහි වැටෙන්න පටන් ගත්තා. එයා ඇස් පියාගෙන මගෙ අත තවත් හයියෙන් අල්ලගන්නවත් එක්කම ගඟේ දිය රැළි වගයක් එකතු වෙලා අපේ ඔරුව අල්ලගෙන අපිට ටිකක් එහයින් තිබ්බ දිය සුළියක් මැද්දට වීසි කළා. එයයි, මමයි, අපේ ඔරුවයි, හීනි කූරක් වගේ වෙලා තිබ්බ හබලයි, වල් අඹ ගෙඩි ටිකයි කියන සේරම ඒ දිය සුළියෙ අස්සෙන් වට හත අටක්ම කැකෑරිලා ගිහින් පතුලටම කිඳා බැස්සා.

දිය සුළියෙ පතුලෙන් මතුවෙලා එළි‍යට ඇවිත් බලද්දි මං හිටියෙ ගංඟාව පේන නොපෙනෙන මානෙ තිබ්බ පොඩි කඳු ගැටයක් උඩ තිබිච්ච ඉස්කෝලෙක චිත්‍ර කර්මය උගන්වන ගුරුවරයෙක් විදිහට වැඩ භාර අරගෙන. අර හීනි කූරක් ගාණට ගෙවිලා තිබ්බ හබල මගෙ අතේ පින්සලක් වෙලා තිබුණා. මං ඇඳපු හුඟක් චිත්‍ර ඇතුළට ගඟක් ගලාගෙන යන දර්ශනයක්, ඔරුවක්, දිය සුළියක් වගේ දේවල් බලෙන් හරි ඔබ්බවන්න මං නොදැනුවත්වම පුරුදු වුණා. මට හොඳයි කියලා හිතෙන චිත්‍රයක් දෙකක් තෝරගෙන ඉඳලා හිටලා වගේ අගනුවර තියෙන චිත්‍ර ප්‍රදර්ශන වලටත් ඉදිරිපත් කළා. ඒත් එහෙම යවන චිත්‍ර වලින් වැඩි හරියක් කලාභවන හරියෙ තියෙන තැනක පාර අයිනෙ තියාගෙන විකුණනවා කියලා මට දැනගන්න ලැබුණෙ පස්සෙ. වාර විභාගෙදි ළමයි අඳින චිත්‍රෙක වුණත් මාතෘකාව මොකක් වුණත් කොහෙහරි තැනක ගඟක් හරි ඔරුවක් හරි ඇඳලා තිබ්බොත් ඒ ළමයින්ට මගෙන් වැඩිපුර ලකුණු හම්බ වුණා.

මේ පාරත් ඔන්න අඹ වාරෙ ඇවිල්ලා. ඉස්කෝලෙ වත්තෙ කොණක තියෙන වල් අඹ ගහේ මල් පිපිලා. පොඩි පොඩි අඹ ගැටත් එක දෙක මෝදු වෙලා. දෙක තුනක් පැහිලා. ඒවා ටික කඩාගන්න කියලා කැඩිච්ච ඩෙස් කකුලකුත් අරගෙන අඹ ගහ යට කුරුමානම් අල්ල අල්ල හිටපු කොල්ලෙක්ගෙ කනක් අද උදේ මං මහ හයියෙන් මිරිකුවා. ඌ නම් ඇස් රතු කරගෙන පන්තියට දිව්වා. ඒත් මං ඇස් රතු කරගෙන ඒ වල් අඹ ගහ යටම ටිකක් වෙලා නැවතිලා හිටියා....

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



භාව සන්සිඳුවන
භාවනාවක කෙළවර
සිනා කඳුළින් තොර
මහා සයුරක් ලෙස
බොහෝ කල් ඔබ සිටින්නට ඇත.

වියපත් තුරුහිසෙක
නරකෙසක් සේ සෙළවෙන
තුරුපතෙක මතුපිට
පිනි නොරඳනු ඇතැයි
එකල ඔබට ද සිතෙන්නට ඇත.

ආකාස පතුළෙම
ජනිතව මිය ඇදෙන
නම් නැති තරුවකට
ජීවිතාශා ඇති වග
ඔව් ඔබ නොහිතන්න ඇත.

දෙසැම්බර් නින්දට කටු ඇන
ඇහැරවන්නට සැරසෙන
ජනවාරි රෝස මල් පොකුරක
කොපුල මත ලේ රත
ඇතැම් විට ඔබ නොදකින්න ඇත.

13.12.2011

රසික ජයකොඩි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



‘කතා පුවත් තුනකට කිසිදු ආයාසයකින් තොරව සමීපරූප කැඳවන ප‍්‍රසන්න විතානගේ එල්.ටී.ටී.ඊ.ය මෙම චිත‍්‍රපටය පුරාවට ම දුරස්ථ රූපයක් බවට පත්කරලා තියෙනවා.... ’

රෝහිත භාෂණ එහෙම කීවේ ‘ඉරමැදියම’ චිත‍්‍රපටය වෙනුවෙන් කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණයකට සහභාගී වෙමිනි.

‘මං චේගේ සුරුට්ටුව අයින් කරලා පිංතූරෙ ආයෙමත් ප‍්‍රින්ට් කරා. සුරුට්ටුව අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ... ’

කඩුල්ලේ ප‍්‍රියන්ත එහෙම කීවේ කැලණිය විශ්ව විද්‍යාලයේ (වත්මන්හි නාථ දේවාලයකි.) පොත් ප‍්‍රදර්ශනයක් පවත්වමින් සිටියදීය. 2004 අවුරුද්දේ එක්තරා දවසක ස්වර්ණ සංඛ පදනම මගින් සංවිධානය කරන ලද ‘ඉරමැදියම’ චිත‍්‍රපටය පිළිබඳ ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණයක ආරම්භක දේශනය පවත්වමින් රෝහිත භාෂණ තම අදහස වඩාත් පැහැදිලි කළේය. චිත‍්‍රපටයේ චමරිට ආරක්ෂක අංශයේ නියුතුව සිට අතුරුදහන් වූ තම සැමියා නිරෝෂන් හමුනො වන්නාක් මෙන්, කුඩා අර්ෆත් ට තම සුරතල් බල්ලා හමු නො වන්නාක් මෙන් ප‍්‍රසන්නට කිසිදාක එල්.ටී.ටී.ඊ.ය හමු නො වනු ඇති බවත් එහිදී භාෂණ පෙන්වා දුන්නේය.

එම අවුරුද්දේම දවසක "දුම්බීම අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ. විප්ලවීය ප‍්‍රතිරූප වුණත් ලාංකීය සමාජ විප්ලවයක් වෙනුවෙන් අපේ දැනුමට භාවිතයට උකහා ගන්නකොට ලාංකීය ජාතිකත්වයට ගලපාගන්නට ඕන. එහෙම නැතුව කවදාවත් ලංකාවේ විප්ලවයක් කරන්න බෑ" කඩුල්ල නමින් පොත් ප‍්‍රකාශන ආයතනයක් පවත්වාගෙන ගිය ජ.වි.පෙ ක‍්‍රියාධරයෙකු වුණු ප‍්‍රියන්ත රණසිංහ ඔහුගේ මතය තහවුරු කළේය.

ගෙවීගිය කාලය වසර හතකි. අද වෙද්දී භාෂණ සිය ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ලංකාවේ භූගෝලීය දේශසීමාව පසුකර ගොස් ඇත. කඩුල්ලේ ප‍්‍රියන්ත ‘කඩුල්ල’ අතහැර බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සම්බන්ධීකාරකයකු වී තිබේ. 30 වසරක යුද්ධයක ජය සිංහල දකුණට හිමිව ඇත. යුධ ජයග‍්‍රහණයට නායකත්වය දුන්නු සරත් ෆොන්සේකා හිරගෙදර ය. කේ.පී. විසුම්පායේ ප‍්‍රභූවරයෙකි... කරුණා අම්මාන්, පිල්ලෙයාන් ආණ්ඩුවේ අමාත්‍යවරුන්ය. දෙවන ජනරජ ව්‍යවස්ථාව සම්මත කළදා සිට 2/3 ක බලයක් කවදාවත් ගන්න බෑ කියූ ඔස්තාර්ලාගේ අර්ථදැක්වීම් හමස් පෙට්ටියට වැටී 2/3 ක බලයක් සහිත ආණ්ඩුව ශක්තිමත් වී ඇත. ඉදිරිපත් කරන ඕනම පනතකට අත උස්සන මැති ඇමතිලා තොගයක් පැටව් ගසා තිබේ. දෑත ඔසවා යුද්ධයට ආ වැඩූ සහ යුදකාමය දැල්වීමේ අනගිභවනීය වගකීමක් ඉටුකළ ජ.වි.පෙ. යුද්ධයෙන් අනාථ වූවන් ගැන වේදනාවෙන් කතා කරයි. දේශපේ‍්‍රමී කවි ලියූ ජ.වි.පෙ. කවියන් පශ්චාත් යුද විරෝධී කවි ලිවීම අරඹා තිබේ. සිනමාව ගැන මෙලෝ හසරක් නො දන්නා ටෙලි මුදලාලිලා, හමුදා ලොක්කෝ, සංස්ථා සභාපතිවරුන් සිනමාකරුවන් බවට පත් වී ඇත. ඒ නිසාම අන්තවාදී දේශපාලකයින්ගේ ප‍්‍රචාරණවාදී ව්‍යාපෘතීන්වලට රූප රාමු ටිකක් පෙළ ගස්වා චිත‍්‍රපටයක් ලෙස නමක්දීම මේ මොහොතේ මෝස්තරයකි. මහින්දාගමනයට, ගාමනීට පසුව සෙල්වම්...


අපේකම හෙවත් හීලෑකරණය

රැවුල වවපු, සුරුට්ටුව කටේ ගහගත්, ස්ත‍්‍රීන් දෙනුන් දෙනකු ඇසුරු කළ, ලිංගිකත්වය දේශපාලන කතිකාවකට ගෙනෙන්නට උත්සාහ දැරූ, මිනිසුන් මැරූ, තුවක්කුව අතින් ගත් චේ අප කෙතරම් බියට පත්කරනු ඇත්ද...? ඒ වෙනුවට රුවුල ට්‍රිම් කරපු, තුවක්කුව අ‍‍තේ නැති, සුරුට්ටුව නැති, මිනී නොමරන, තොප්පිය විතරක් ඇති චේ, අපේ සිතට කෙතරම් සහනයක්ද? තමා පීඩාවට පත් කළ ඇදුම රෝගය නොතකා, වෛද්‍යවරයකු ලෙස ගත කළ හැකිව තිබූ සුපිරි ජීවිතය අතහැර, කියුබානු විප්ලවයෙන් පසුව ලැබුණු කර්මාන්ත අමාත්‍ය පදවියද පසෙකට දමා පරාජය පෙනි පෙනී බොලීවියානු විප්ලවයට නායකත්වයදීම සඳහා ජීවිතය පරදුවට තබා සියෙරාමියෙස්ට‍්‍රා කඳුයායට ගිය චේ කෙතරම් දඩබ්බරද? අර්ථදක්වාගත නොහැකි තරම් කරදරකාරීද...? ඒ වෙනුවට රතු හීන පැටවුන්ට විකුණමින් ඉණි මගේ ඉහළටයාමට පිඹුරුපත් සකසමින් කාංසිය මකා ගන්නට සවසට අඩියක් සප්පායම් වී චේ ගැන කතා කිරීම කෙතරම් සැහැල්ලූවක්ද...? කඩුල්ලේ ප‍්‍රියන්ත නො කීවේ එයයි. ඉදින් අන් යමක් අපේකරණය කිරීම යනු කරදරකාරී යථාර්ථයෙන් ගැලවී අප විසින් තනාගත් මායාවක ස්ථානගත කළ ප‍්‍රතිරූපයක සැහැල්ලුවයි. සෙල්වම් චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරණ ව්‍යාපෘතියේ මුලින් ඇලවුණු පෝස්ටරය "ඔව් , මම කොටියෙක්" යන්නයි. දෙවැන්න "මම පුනරුත්ථාපනය වුණා" යන්නයි. තෙවැන්න "මම දැන් සෙල්වම් සිංහල චිත‍්‍රපටයේ නළුවෙක්" යන්නයි. සැබෑ කොටියා යනු කාලාන්තරයක් තිස්සේ පාගාදැමූ ජනවර්ගයක යටපත්කර දැමූ දෙමළ හෘදසාක්ෂියට උත්තේජනයක් සැපයූ, ඡන්දය ප්‍රෝඩාවක් වූ පසු උණ්ඩය කෙරෙහි විශ්වාසය තැබූ, මිනී මැරූ, කැලෑ ඇඳුමෙන් සැරසුණු, අපිරිසිදු, නො තේරෙන කර්කශ භාෂාවක් කතා කරන, පොලොවේ අයිතිය ඉල්ලා සටන් කරන ත‍්‍රස්තවාදියෙකි.

පුනරුත්ථාපනය වූ කොටියා යනු මහ ආණ්ඩුවට හීලෑවුණු, හොඳින් සිංහල උච්චාරණය කරන, කෝවිලට අඩුවෙන් ද වැඩියෙන් පන්සල් ද යන, සටන් කිරීම වෙනුවට නාඹර කෙල්ලක සමග ඩාන්ස් කරන, සුදු- පිරිසිදු, සිරියාවන්ත පෙනුමකින් යුතු එකෙකි. ඉදින් පළමු කොටියා අප බියට පත්කරවයි. කොළඹ බස්වල බෝම්බ අටවා සිංහලයාගේ ආතල් කඩයි. දෙවැන්නා අපට සහනයක් ගෙනෙයි. ඌ කරන්නේ අපි කියන දේ පමණයි. මොන තරම් සැහැල්ලූවක්ද.. ? ‘සෙල්වම්‘ චිත‍්‍රපටයේ නළුවෙකු වග නො කියා "සෙල්වම් සිංහල චිත‍්‍රපටයේ" යනුවෙන් "සිංහල" අවධාරණය කරන්නට සංජය ලීලාරත්නට සිදුවෙන්නේ ‘දෙමළ’ ඔහු බියට පත්කරවන නිසාමය. දෙමළ සටන්කරුවන් සිංහල චිත‍්‍රපටවල නළුවන් බවට පත්වීම හුදු කලාත්මක භාවිතයක් නොව ගැඹුරු තක්කඩි දේශපාලනයක හරස්කඩකි. උතුරේ කෝවිල්වල ‘බෞද්ධ නටඹුන්’ මතින් ‘පන්සල් ’ ඉදිවෙයි, ද්‍ර විඩ නාමපුවරු ගැලවී සිංහල නම් තහඩු එල්ලෙයි, ද්‍රවිඩ ගම්බිම්වල සිංහල ජනපද ඉදිකිරිමට උත්සාහ කෙරෙයි. අත්පත්කරගත් ඉඩකඩම් කුණු කොල්ලයට විදෙස් ආයෝජකයින්ට විකුණා දැමෙයි. ඉතිරි ඉඩම්වල අඟලින් අඟලට හමුදා කඳවුරු ඉදිවෙයි. බිත්ති හතරෙන් එළියට බසින විට හමුදාව හමුවෙයි. අසල්වැසියෙක් ගෙදරට පැමිණිවිට හමුදාවෙන් ඇවිත් දොරට තට්ටු කර ගෙදර සාමාජිකයින් ගණන් කරයි. මේ සියල්ල මැද සෙල්වම් රටපුරා තිරගතවෙයි.

සෙල්වම් නම් සෙලෝලයිඩ් රූප පෙළ

‘සෙල්වම්’ හි රූප පෙළ දිගහැරෙන්නේ සත්‍යවේල්ගේ නිවස තුළ සකස්කොට තිබුණු බංකරය වසාදැමූ බව කියන සංවාදයකිනි. අනතුරුව එකිනෙකට සමාන්තරව එකිනෙක හා සම්බන්ධ වෙමින් කතා තුනක් ඉදිරියට ගලයි.

01. යුද්ධය නිමවීමෙන් පසු යාපනයේ ඉදිකළ ‘මාතර බේකරියේ’ මුදලාලි ගුරුතුමියට කිඹුලා බනිස් කැවීම.
02. එන්.ජී.ඕ. එකක උපදේශිකාවක හා නැටුම් ශිල්පිණියකවූ තරුණියගේ ආදර කතාව (එය පුනරුත්ථාපනය වූ කොටි තරුණයාට වීම විශේෂය.)
03. චිත‍්‍රපටයේ කතානායකයා වූ කුඩා සෙල්වම්ට මහින්ද රාජා දැකීමේ ආශාව ඉෂ්ඨවීම.

මාතර බේකරියේ මුදලාලිගේ ඇත්ත වුවමනාව කුමක් වුවද ගුරුතුමියට කිඹුලා බනිස් කැවීමෙන් ඔහු තෘප්තියට පත්වේ. එල්.ටී.ටී.ඊ තරුණයාගේ දෙමළ විමුක්ති අරගලය සිංහල තරුණියක විවාහ කරගැනීමෙන් පරිපූර්ණ වේ. කුඩා සෙල්වම්ට තිබූ ජනාධිපතිවරයා හමුවී කතා බහ කිරීමේ උණ ජන රැළියකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැකීමේ සෙම්ප‍්‍රතිශ්‍යාවකින් අමන්දානන්දයට පත්වේ. අවසානයේ ‘සභාතොමෝ සතුටින් විසිර ගියහ’යයි කිව හැකිය. ‘මයි නේම් ඊස් ඛාන්’ චිත‍්‍රපටයේ ශාරුක් ඛාන් ට අමෙරිකානු ජනාධිපතිවරයා හමුවී කිව යුතු දෙයක් තිබිණි. ‘මිස්ටර් ප‍්‍රසිඩන්ට්, මයි නේම් ඊස් ඛාන්. අයෑම් නොට් අ ටෙරරිස්ට්’යයි ඔහු කියයි. සෙල්වම්ට එහෙව් දෙයක් කියන්නට තිබුණාදැයි නොදනිමි. එහෙත් ලීලාරත්නට වුවමනාවී නම් කුඩා සෙල්වම්ට ජනාධිපතිවරයා හමුවී කතා බහ කිරීමේ අවස්ථාව උදාකර දිය හැකිව තිබුණි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි මාලනී ෆොන්සේකා මහත්මිය හරහා හෝ එකී අවශ්‍යතාව ඉටුකරගත හැකිව තිබුණි. මන්දයත් ලීලාරත්න තරමටම රංගන හැකියාවක් මහින්ද රාජපක්ෂ මහතාට හිමිව තිබීමත්, ලීලාරත්න අඳින ලද නිල ඇඳුම සිංහල සිනමාවේ සක්විති වූ ගාමිණී ෆොන්සේකා ලවා ‘නොමියෙන මිනිසුන්’ හි අන්දවාගෙන තිබීමත් නිසාම ඔහුට තම ප‍්‍රතිරූප වන්දනය මනාව ඉෂ්ඨ කරනා කෘතියකට සහයදීම මහ ලොකු කජ්ජක් නො වන බැවිනි. එය එසේ වීනම් සියල්ල හොඳින් යයි කියන්නට හැකියාව තිබිණි. නැතත් කම් නැත. සියල්ල හොඳින් ම ය.


කරුණු දක්වන ආකාරයට මෙහි සෙල්වම්ට මවත් පියාත් අහිමිවී ඇත. ඔවුන් ඝාතනය කර ඇත්තේ එල්.ටී.ටී.ඊ.ය විසිනි. සෙල්වම් නිවසේ භූ ගත බංකරයක සඟවා තබන්නේ ද එල්.ටී.ටී.ඊ.ය විසින් පැහැරගෙන යනු ඇතැයි බියෙනි. පුෂ්පා නම් වෛද්‍ය සිසුවා පැහැරගෙන යනු ලබන්නේද එල්.ටී.ටී.ඊ.යෙනි. ගුරුතුමියගේ සැමියා මරාදමන්නේ ද එල්. ටී.. ටී. ඊ යෙනි. යාල්දේවිය පුපුරුවා හැර අමු අමුවේ මිනිසුන් හා හමුදා සෙබළුන් ඝාතනය කරන්නේද එල්.ටී.ටී.ඊ.ය ම ය. ආරක්ෂක හමුදා විසින් සිදුකර ඇත්තේ දෙමළ ජනතාවටත්, මුළු මහත් රටටත් යහපත්දේ ම ය. කොයිතරම් නම් අස්වැසිල්ලක්ද...? චන්දික නානායක්කාර වැනි පියරු බබාලාගේ රෝස පැහැ මුහුණු දකිනවිට යුද්ධය කෙතරම් සෞන්දර්යාත්මකදැයි කෙනෙකුට හිතෙන්නට බැරි නැත. නිළි රැජින මාලිනිගේ රංගනයේ සමබරතාව කඩින් කඩ බිඳ වැටෙයි. ඇතැම් සංවාදවල (සත්‍යවේල් සමග සෙල්වම් ගැන කතා කරන රූප රාමු/සෙල්වම්ට බත් කවන රූප රාමු) ඉතා පැහැදිලිව සිංහල බස හසුරුවන ඇය තවත් තැනක දෙමල සංස්කෘතියේ මිශ‍්‍රණය කියා පාන්නට ගොස් කැඩිච්ච සිංහලෙන් කතා කරයි. මානසික ආතතියෙන් පීඩා විඳින ද්‍රවිඩ තරුණයකු වූ රාජන් තමා විඳි අමිහිරි අත්දැකීම් සිහිපත්වී රෝගී වුවත් මාතෘකාව වෙනස් කොට තරුණිය විසින් ඩාන්ස් කිරීම අරඹද්දී ක්ෂණයකින් රෝගය නිවාරණය වීම කෙතරම් භාග්‍යයක්දැයි සිතේ. ඇය සමග ඩාන්ස් කරන්නට හැකි වෙතොත් බොහෝ ආතතීන් සමනය වෙතැයි උපකල්පනය කළ හැකි තරමට සංස්කෘතික ශරීරයක් ඇයට හිමි වුවත් යුද ආතතියෙන් පීඩා විඳින්නකුගේ මනෝභාවය ඊට වඩා බොහෝ සංකීර්ණ බැව් ලීලාරත්නලා නොදනියි. සෙල්වම් හි අවසානය සලකුණු වන්නේ ද්‍රවිඩ ත‍්‍රස්තවාදයෙන් මුදාගත් ගම්බිම් එකී ජනයාට ම යළි ලබාදී දකුණ බලා එන හමුදා ජීප් හා ට‍්‍රක් රථ පෙළකට මග අවුරා ගම්මුන් සිටගැනීමෙනි. තමන්ව අතහැර නො යන ලෙස ගම්මුන් හමුදාවෙන් ඉල්ලා සිටියි. ‘දැන් තියෙන්නේ සිවිල් පාලනය.. කැලෑ නීතිය ඉවරයි’ කර්නල් කියයි. හමුදාවට සමුදෙන්නට සිදුවීමේ වේදනාත්මක මුහුණු රූප රාමු තුළ බොඳ වෙද්දී උතුරේ සිවිල් පාලනය ස්ථාපිත කළ හමුදාවෝ දකුණ බලා ඇදෙති. තක්කඩි න්‍යාය පත‍්‍රයක කොයිතරම් නම් අවිහිංසක ප‍්‍රාර්ථනාවක්ද.. ? චිත‍්‍රපටය පුරාවට සිනමාත්මක රංගනයක් දැක ගත හැකිනම් ඒ අති විශිෂ්ට රංගධරයා වූ ජෝ අබේවික‍්‍රමයන් පණ පොවන ‘සත්‍යවේල්’ගේ චරිතය පමණි.

අහසින් පොලොවට

ත‍්‍රස්තවාදය පීඩිතායාගේ සුසුමකැයි පෙන්වා දුන්නේ අල්ලපු රටේ දේශපාලන චින්තකයකු වූ අයිජාස් අහමඩ් ය. යුද්ධය හා ඒ ආශ‍්‍රිත තේමා ඔස්සේ සිනමාකරණයේ යෙදුණු සියල්ලන්ට ම පාහේ එල්.ටී.ටී.ඊ.ය මගහැරුණි. එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදියා ගැන බොහෝ සිනමා කෘති ඔස්සේ රූප පෙළගැසුණ ද ඔවුන් ත‍්‍රස්තවාදී මාවතට ඇද දැමූ දකුණේ දේශපාලන ක‍්‍රියාවලිය සියලූදෙනා අවිඥනාකව හෝ සවිඥානකව අමතක කරදමා තිබේ. ශ‍්‍රී ලංකාවේ ජාතික රාජ්‍ය ගොඩනගන විට ‘ද්‍රවිඩයා’ බැහැර කරලීමත්, එසේ බැහැර කරලූ දෙය, එසේ නැතිනම් මර්දනය කළ දෙය යළි ‘රෝග ලක්ෂණයක්’ ලෙස මතුවීමත් නොතකා හැර තිබේ.


එබැවින් සෙල්වම් රූප රාමු අතර නොකියවෙන කතාවේ අංශු මාත‍්‍රයක් කෙරෙහි අපගේ අවධානය යොමුවිය යුතුවේ. ‘සෙල්වම්’හි ප‍්‍රධාන චරිතයකට පණ පොවන පුනරුත්ථාපනය කරන ලදැයි කියන එල්.ටී.ටී.ඊ. සැකකරු වන්නේ ශාන්තිලිංගම් ගෝකුලන්ය. පුනරුත්ථාපන කඳවුරක දී හමුවන ගෝකුලන් එල්.ටී.ටී.ඊ.යට එරෙහි චිත‍්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා සංජය ලීලාරත්නට බාරදෙනු ලබයි. ඒ අනුව දැඩි ආරක්ෂක රැකවල් මැද දැඩි කොන්දේසි මධ්‍යයේ රූගත කිරීම් සිදුකෙරෙයි. අධ්‍යක්ෂවරයාගේ අවසරයකින් තොරව කිසිදු බාහිර පුද්ගලයකු හමුවීමට ගෝකුලන්ට නො හැකිය. අධ්‍යක්ෂවරයා විසින් දෙනු ලබන පිළිතුරු මිසක වෙනත් කිසිදු ස්වයං මතයක් ප‍්‍රකාශ කිරීම සපුරා තහනම් ය. රූගත කිරීම් සිදුකෙරුණු මෙන්ම තිරගත කෙරෙන කාලයේ පවුලේ උදවිය හෝ වෙනත් බාහිර කිසිවෙකු හමුවීම තහනම් කර තබේ. තාමත් රැඳවුම් නියෝග මත සිටින බව කියන ඔහුට යාපනයේ සිය ඥාතීන් බැලීමට යාමට හෝ අවසරයක් නැත. එපමණක් නොව මෙම චිත‍්‍රපටයට අදාළ පළමු පූර්ව ප‍්‍රචාරක පෝස්ටරය වූ "ඔව් මම කොටියෙක්" යන්නෙහි යටින් තමාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා තිබීම පිළිබඳ විරෝධයපෑම හේතුවෙන් ශාන්තිලිංගම් ගෝකුලන්ට ලීලාරත්න විසින් තර්ජනය කර ඇතැයි කියැවෙයි. ඒ සෙලෝලයිඩ් රූප රාමුවෙන් පිටත ඔහුට අත්දකින්නට ලැබී ඇති යථාර්ථයයි.

ද්‍රවිඩ තරුණයෙකු හා විවාහවී දෙණියායෙන් යාපනයට ආ බව කියන මධූ යාපනයෙන් මධුවනී වීමෙන් ද (ගුරුතුමිය අඟවනු ලබන්නේ තමා එල්.ටී.ටී.ඊ.යේ හිටපු පොලිස් ප‍්‍රධානියා මෙන්ම පසුව දේශපාලන අංශ ප‍්‍රධානියා බවට පත්වූ එස්.නඬේසන්ගේ සිංහල බිරිඳ වන බවයි.) ‘ඔයා ත‍්‍රස්තවාදීද.. ඔයාගේ මහත්තයා නඬේසන් ප‍්‍රභාකරන්ගේ යාළුවානේද.. ඔයාලා ඔක්කොම ත‍්‍රස්තවාදීන්ද..?’ යනුවෙන් කුඩා සෙල්වම් උද්වේගාකාරී ස්වරයකින් හඬ නැගීමට කටයුතු කිරීමෙන්ද ඒ බව සනාථවේ. චිත‍්‍රපටයට අනුව ගුරුතුමියගේ මෙම සැමියා මරාදමන්නේ ද එල්.ටී.ටී.ඊ.ය යි. ඒත් සැබෑ මහ පොලොවේ සිදුවූ දේ ඊට හාත්පසින් ම වෙනස්ය. රත්න ශ‍්‍රී ‘සිංහල සිංදුකියන නළලේ තිලක තියන කිරිල්ලී’ කීවේ ද නඬේසන්ගේ සිංහල බිරිඳ වූ විනීතා ගුණසේකරටය. ඇගේ කසාදයට අත්සන් තැබූ වාසුදේව නානායක්කාර මහතා ම අද ඇයට මරණය කැඳවූ හමුදාවක් මෙහෙයවූ ආණ්ඩුවේ ම රාජ්‍ය භාෂා හා සමාජ ඒකාබද්ධතා කැබිනට් අමාත්‍යවරයා ය.


"මේ හමුදා නිල ඇඳුමෙ සැඟවිලා ඉන්නේ සුන්දර මිනිහෙක් බව මුළු ලෝකය ම දැකලා ඉවරයි" සෙල්වම් හි කැප්ටන් අපට කියයි. 71 දී 10,000 ක් ද, 88-89 වකවානුවේ දී 60,000 ට අධික පිරිසක් ද, 2009 වන විට 100, 000 ට ආසන්න පිරිසක් ද අකලට මිහිදන් කරනු ලැබුවේ ද එකී සුන්දර මිනිසා ම බව කැප්ටන් නො කියයි. 2000 දශකයේ මධ්‍යයේ හයිටියේ සේවයට ගොස් ස්ත‍්‍රී දූෂණය හා ලිංගික අපචාර චෝදනා ලබා යළි ශ‍්‍රී ලංකාවට පිටමං කරනු ලැබූ හමුදා කණ්ඩායම පිළිබඳ අදහස් දක්වමින් එවක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වූ විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ එය අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක් බවයි. පුරුෂ ලිංගය සෘජුවීම ද අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක් බවට අපට පසක් කළ ඔහු පසු කලෙක අමාත්‍යවරයකු වීමේ අපේක්ෂාවෙන් මැතිවරණයට තරග කරන විට පාර්ලිමේන්තු කතා එකතුකොට ප‍්‍රකාශයට පත් කළ ‘ගරු කතානායකතුමනි’ කෘතියේ කුමක් හෝ හේතුවක් නිසා මෙම කතාව ඇතුළත් කර නො තිබිණි. පශ්චාත් යුද ශ‍්‍රී ලංකාව තුළ සීඝ‍්‍රයෙන් ඉහළයන අපරාධ රැල්ල සීරුමාරුවට පරීක්ෂා කර බලන්නේ නම් මෙම සුන්දර මිනිසා ඊට දක්වා ඇති දායකත්වය මනාව පැහැදිලි වෙයි.

යුද්ධයකදී යුද ආතතිය දනවන්නේ එක් පාර්ශවයකට පමණක් නොවේ. එහෙත් ‘සෙල්වම්හි’ ආතතියට ලක්වෙන්නේ එල්.ටී.ටී.ඊ.යේ රාජන් පමණි. ඊට නිසි ප‍්‍රතිකාර ලබාදීම වෙනුවට කර්නල් (ලීලාරත්න) පවසන්නේ 'හොඳ කසාදයක් කරගෙන, රස්සාවක් කරගෙන යනකොට ඔය තත්ත්වය ඉබේ ඇරිලා යයි’ කියා ය. එය ආගම දහමට අනුව යුද්ධ කළ නිසා පශ්චාත් යුද මනෝ චිකිත්සක ප‍්‍රතිකාර හමුදාවට අවශ්‍ය නැතැයි එවක හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසූ අදහසට සමානය.


පශ්චාත් යුද උතුරේ ස්ත‍්‍රීන්ට සිදුවන ලිංගික පීඩා, ඉඩම් අත්පත්කරගැනීම්, අපචාර, පැහැරගෙන යාම්, ඝාතන, ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිවාසිකම් උදුරාගැනීම පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් එම්.ඒ. සුමන්දිරන් මන්ත‍්‍රීවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සංවර්ධනයට මුවාවී උතුරු- නැගෙනහිර පළාත්වල සිදුවන සිංහල ජනපදකරණයට එරෙහිව ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් පසුගිය ඔක්තෝම්බර් 17 වන දින වව්නියාව නගරසභා ක‍්‍රීඩාංගණ භූමියේ සත්‍යග‍්‍රහයක් පවත්වන ලදී. එම සත්‍යග‍්‍රහයට කොටි සංවිධානය යනු ද්‍රවිඩ ජනයාගේ එකම නියෝජිතයා යයි පැවසූ මාවෙයි සේනාධිරාජාගේ සිට එම සංවිධානය තුරන් කිරීම සඳහා රජය සමග අත්වැල් බැඳගත් ආනන්ද සංගරී දක්වා නායකයින් සහභාගී විය. එහෙත් ලීලාරත්නගේ ‘සෙල්වම්’ හි ආරක්ෂක හමුදාවන් ද්‍රවිඩ ජනයාගේ ඉඩකඩම් හා වතුපිටි ඒ අයට ම යළි බාරදී එකී ප‍්‍රදේශවල සිවිල් පාලනය ස්ථාපිත කොට ජනයා යන්නට එපා කියද්දීත් හැරී එයි. වෙනස කෙතරම්ද...? සෙල්වම්ට මහින්ද රාජා උතුරේදී හමුවීම ඔහුත් මහින්ද රාජාත් දෙදෙනාම අමන්දානන්දයට පත්කරයි. එහෙත් යුද්ධය නිමවීමෙන් පසු පළමු වරට උතුරේ සංචාරය කළ ජනාධිපතිවරයා වව්නියාවේදී පැවැත්වූ ජන හමුවේදී ද්‍රවිඩ භාෂාවෙන් වචන ටිකක් හරඹ කරන්නට දැරූ උත්සාහයේ දී අත්දකින්නට ලැබුණේ ‘සෙල්වම්’ හි දක්වන ප‍්‍රීති ඝෝෂා නොව සෙල්වම්ලාගේ සමච්චල් සහගත ඝෝෂාවයි. එහිදී ජනාධිපතිවරයා ද කෝපයෙන් වෛරී සහගතව ශුද්ධ සිංහලෙන් කතා කළ අයුරු මෙරට ජාතික මාධ්‍ය වලින් වාරණය කළ ද අන්තර්ජාලයෙන් දැකබලා ගත හැකිය.

මා හට කොළඹ රීගල් සිනමාහලෙන් ’සෙල්වම්’ නරඹන්නට හැකිවූයේ පසුගිය 27 වනදාය. එදින ශ‍්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව කරන්දෙණියේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා අපූරු කතාවක් කළේය. දක්ෂිණ- කොළඹ අධිවේග මාර්ගය සේම යාපනය- කොළඹ අධිවේගී මාර්ගය සෑදූ පසු බෙදුම්වාදී අවශ්‍යතා පැන නොනගිනු ඇති බවයි. පාරවල් වසන්නට වසන්නට බෙදුම්වාදය පෝෂණය වන බවත්, පාරවල් හදන්නට හදන්නට එකාවන්ව නැගී සිටින්නට අවස්ථාව උදාවන බවත් ජනාධිපතිවරයා එදින අවධාරණය කළේය.

සිනමාශාලව තුළදී මාගේ ජංගම දුරකථනය ක‍්‍රියා විරහිත කර තිබුණු බැවින් එළියට පැමිණි වහාම එය සක‍්‍රීය කළෙමි. එකෙණෙහිම ලැබුණු කෙටි පණිවිඩයේ සටහන් වූයේ අනුරාධපුර බන්ධනාගාරයේ ද්‍රවිඩ සැකකරුවන්ට බන්ධනාගාර නිලධාරීන් විසින් අමානුෂික ලෙස ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇති බවයි.

කිව යුත්තේ සරල වැකියකි. ‘ඔහෙලට සුබ අනාගතයක්!’ එහෙම කියන්නේ මා නොව සෙල්වම් චිත‍්‍රපටයේ කර්නල් භාතියයි. එහෙමත් නැත්නම් සංජය ලීලාරත්නයි.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පුරාන වැව් ගම්මානයන් හි පාරිසරික සංකල්ප පිළිබඳ රවීන්ද්‍ර කාරියවසම්ගේ "පුරාන වැව් ගම්මාන" පර්යේෂණාත්මක ග්‍රන්ථය එළිදැක්වීම, 2011 දෙසැ. 15 වන දා, සවස 3.00 ට, කොළඹ විශ්ව විද්‍යාලයීය, දේශීය වෛද්‍ය විද්‍යායතනයේ දී පැවැත් වේ.

විස්තර- 0718368642, 0772363747




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වයස අවුරුදු දෙකක් හා හතරක් වන සිය දියණියන් දෙදෙනා දූෂණය කිරීමේ වරදට වරදකරු වූ පුද්ගලයකුට ජනාධිපති සමාවක් ලබාදීමට ගෙන තිබූ තීරණය, මාධ්‍ය මගින් අනාවරණය වීමත් ඒ පිළිබඳව ප‍්‍රශ්න කිරීමත් සමගම අහෝසි කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.
-රාවය. මුල් පුවත. දෙසැ. 04




වර පට කපා හයිනාවෙක් මිදුවා ය
අතේ කෝට් වී දා බිඳු නැගුණා ය
"බෝසත් සිරිත!" අපි නම් දැන හිටියා ය
දැක්කොත් නම් බුවා නැත්නම් එබුවා ය!

පින්තූරය- ලයන් කිං චිත්‍රපටයේ ස්කා සහ හයිනාවෙක්. ස්කා රජු ඉතිරි බුදින්නන් හෙවත් හයිනාවුන් සමග සහවාසී ආණ්ඩුවක් පිහිටුවීය!

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



14-ප්‍රකාශනයට අවකාශයක්, සිනමා සඟරාව යුරෝපා සිනමා ඇකඩමිය සමග එක්ව සංවිධානය කරන Agenda 14 කෙටි චිත්‍රපට උළෙල, 2001 දෙසැම්බර් 10-12 දක්වා කොළඹ 07, ග්‍රෙගරි පාරේ අංක 39 දරණ ස්ථානයේ පිහිටි ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. පසුගිය දෙවසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කෙටි චිත්‍රපට මෙහිදී තරගකාරී අංශය තුළ ප්‍රදර්ශනය කෙරෙනු ඇත. දෙසැම්බර් 12 වන දින රාත්‍රීයේ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වෙන සම්මාන රාත්‍රීයේදී හොඳම කෙටි චිත්‍රපටය, ජූරි සම්මානය, මානව හිමිකම් සම්මානය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී කෙටි චිත්‍රපටය වෙනුවෙන් සම්මාන පිදෙනු ඇත.

දෙසැම්බර් 10,11 දෙදින තුළ පෙ.ව 9.30 සිට රාත්‍රී 9.30 දක්වා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී මෙම කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙයි. එහිදී යුරෝපා සිනමා ඇකඩමියේ 23 වන යුරෝපා සිනමා සම්මාන සඳහා නිර්දේශිත කෙටි චිත්‍රපට 15 ක්ද ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. ඊට සමගාමීව කාන්ස් චිත්‍රපට උළෙලේ සම්මාන දිනූ චිත්‍රපට මෙන්ම ජර්මන් සිනමා පාසල් තුළ නිර්මාණය වූ සම්මාන ලාභී සජීවිකෘත කෙටි චිත්‍රපටද මෙම උළෙලේදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය පුපුරා මේ වන විට ටිල්වින් කණ්ඩායම හා කුමාර කණ්ඩායම වශයෙන් කණ්ඩායම් දෙකක් බිහි වී තිබේ. දැනට දෙකඩ වී ඇති ජවිපෙ පාර්ශව දෙක තරඟයට විජේවිරගේ පොල්ම:කාර අයිතිය තමන් සතු කරගන්නට වෙර දරන අයුරු පැහැදිලිවම දැකිය හැකිය. ඔවුන් තරගයට රැස්වීම තබමින් , පොත් ලියමින් විජේවීර ගේ උරුමය පිළිබඳව විවිධ මත ප්‍රකාශ කරති. මෙම කණ්ඩායම් දෙකම රෝහණ විජේවීර ශාස්තෘවරයෙක් ලෙසට ඔසවා වන්දනාමාන කරන අතර සැබෑ විජේවීර කවරක්ද යන්න මෙම පාර්ශව දෙකේ සාමාජියකයන් නොදන්නවා හෝ දැනගෙන යම් යම් වාසි තකා නිශ්ශබ්දව සිටිනවා විය හැකිය. මාක්ස්වාදී ශාස්තෘවරයෙක් ලෙසට විජේවීරව ඔසවා තැබීම මගින් අල්තාරය පහල සිටින පූජකයන්ටද යම් ආකාරයක පුජනීයත්වයක් සහ පිළිගැනීමක් ලැබෙන අතර ක්‍රිස්තුස්ගේ සහ බුදුන්ගේ නම් විකුණා යැපෙන පුද්ගලයන්, සංවිධාන මෙන් බඩ වියත සොයාගැනීමට දේවත්වයට පත් කරන ලද විජේවීර ගැන අති මානුෂික කතා ගොතමින් පහල ස්ථරයේ අන්ධ අනුගාමිකයන්ව නිබඳ රැවටීමකට ලක් කරන අයුරු පෙනේ. රෝහණ විජේවීර යනු සංකීර්ණ චරිතයකි. ඔහුගේ අන්ධානුගමිකයන් විසින් අර්ධ දෙවියෙකු කරන ලද මෙම මිනිසා ඔහුගේ විරුද්ධවාදින්ට මිනීමරුවෙකි, ත්‍රස්තවාදියෙකි. නමුත් සැබෑ රෝහණ විජේවීර පිළිබඳව කතිකාවක් තවමත් ගොඩනැගී නැත.

සැබෑ විජේවීර

විජේවීර උපත ලබන්නේ පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර ලෙසටය. ඔහුගේ පියා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ භක්තිමත් ආධාරකරුවෙකි. 1947 මැතිවරණයේදී දෙනියාය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ මැර ආධාරකරුවන් විසින් උසිගන්වනු ලැබූ වතු කම්කරු පිරිසක් විසින් පහර දීම නිසා විජේවීරගේ පියා සදාකාලික ආබාධිතයෙකු වෙයි. මේ නිසා කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර එස් ඒ වික්‍රමසිංහ සහ ඊලියන් නානායක්කාර යන මහතුන්ගේ ආධාරය ඇතුව අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබූ විජේවීරට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට මොස්කව් හි ලුමුම්බා මිත්‍ර සරසවියේ ශිෂත්වයක් ලැබේ. 1960 දී මොස්කව් ගිය විජේවීර වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට වඩා තැන දෙන්නේ මාක්ස්වාදය ඉගෙනගැනීමටය. මේ නිසා ඔහුගේ අධ්‍යාපනය කඩා වැටේ. මේ නිසා ඔහු බයෝ කෙමිස්ට්‍රි විෂය අසමත් වේ. විඩාවට ලක් වීම නිසා විශ්ව විද්‍යාල වෛද්‍ය ඒකකය විජේවීරව සැනටෝරියම් හෙවත් සුඛස්ථානයකට යොමු කරයි. මෙය පසුකාලයක ඔහුගේ විරුද්ධවාදීන් අර්ථ දක්වන්නේ විජේවීර මානසික රෝහලක ප්‍රතිකාර ලැබුවා ලෙසටය. එය සහමුලින්ම වැරදි මතයකි.


විභාගය අසමත්වීම නිසාත් පියාගේ අයහපත් සෞක්‍ය තත්වය නිසාත් 1964 දී විජේවීර ලංකාවට පැමිණේ. මොස්කව්හිදී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඇතැම් සාමාජිකයන් විසින් කල හොරට ඩොලර් මාරු කිරීම , පිටරට භාණ්ඩ සෝවියට් දේශයට ගෙන ගොස් විකිණීම වැනි ක්‍රියා විවේචනය කිරීම නිසා විජේවීරට එරෙහිව පක්ෂය තුල කුමන්ත්‍රණ ඇතිවේ. මේ හැර ඔහු චීන පිලේ රැස්වීම වලට සහභාගී වීමද විවේචනයට ලක් වේ. කේ පී සිල්වා විසින් කොළඹ රුසියානු තානාපති කාර්යාලයට කරන ලද දැනුම් දීමක් නිසා ඔහුට යලි සෝවියට් දේශයට යාමට විසා නොලැබේ. මේ නිසා විජේවීරගේ වෛද්‍ය ශිෂත්වය අවලංගු වේ. මෙම කරුණ අශ්‍රිතව විශාල මිථ්‍යාවන් තිබේ. අන්ධ භක්තිකයන් විශ්වාස කරන්නේ විජේවීර සෝවියට් දේශයේ වැරදි සෝවියට් කොමියුනිස්ට් පක්ෂය හමුවේ විවේචනය කිරීම නිසා ඔහුගේ ශිෂත්වය අවලංගු කල බවයි. නමුත් මෙය සහමුලින්ම ප්‍රබන්ධ කරන ලද්දකි. තවත් මිත්‍යාවක් නම් අනාගත සෝවියට් දේශයේ බිඳවැටීම 1964 වැනි කාලයකදී විජේවීර ටක්කෙටම අනාවැකි කියූ බවයි.

විජේවීර සෝවියට් දේශයට ගිය කාලයේදී ස්ටාලින්ගේ ග්‍රහණය බිඳ වැටී ස්ටලින්වාදය එළිපිට විවේචනය කල සමයක් ඇතිවී තිබුණි. නිලධාරිවාදයේ දඬු කඳට අසුවී තිබු සෝවියට් දේශය බිඳ වැටෙන බව කීමට අනාගත වක්තෘ කෙනෙකු අවශ්‍ය නොවිය. තර්කානුකුලව සෝවියට් සමාජය හැදෑරු විදේශිකයන් බොහෝ දෙනෙකු සෝවියට් දේශයේ බිඳ වැටීම ගැන පවසා තිබුණි. විජේවීරට දේශපාලන අනාවැකි කීමට හැකියාවක් තිබුනේ නම් 1971, සහ 1988 කැරළි විනාශකාරී අවසන් වන බව දැනගැනීමේ අන්තර්ඥානයක් නොතිබුනේ මන්ද සහ 1982 ජනධිපතිවරණයේදී සහමුලින්ම වැරදි අධිතක්සේරුවකට ගියේ මන්ද යන ප්‍රශ්න මතු වේ.

ශිෂත්වය අවලංගු වීමෙන් පසු ශන්මුගදාසන්ගේ චීන පිලට බැඳුනු විජේවීර එම පක්ෂය කඩාගෙන 1965 මැයි මස 14 වන දින අක්මීමන දී ජනතා විමුක්ති පෙරමුණ සැදීමට මුල්ගල තියයි. නමුත් මෙම කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණ නමින් ක්‍රියාත්මක වන්නේ පසුවය. විජේවීර ප්‍රමුඛ මෙම කණ්ඩායම ලංකාවේ අයුධ සන්නද්ධ විප්ලවයක් කිරීමට තීරණය කරති.

විජේවීරගේ හැකියාවන් සහ සීමා

විජේවීර යනු දක්ෂ සංවිධායකවරයෙකි. ඒ බව ඔහුගේ විරුද්ධවාදින්ද තර්ක රහිතව පිළිගනිති. ඔහු දක්ෂ දේශකයෙකි. කතා කිරීම මගින් පුද්ගලයන් දිනා දැනීමට විජේවීරට සමකල හැකි දේශපාලකයෙකු තවමත් පහල වී නැත. ඔහුගේ බොහෝ අනුගාමිකයන් ඔහු සමග සාකච්ඡා කල ප්‍රථම දියේම ඔහු කෙරෙහි පැහැදී ඔහුගේ අනුගාමිකයන් වූ පුද්ගලයන් වීම විශේෂත්වයකි. වෙනත් සම්ප්‍රදායික දේශපාලකයන් මෙන් රැකියා, නිවාස වැනි භෞතික දෑ දීමට පොරොන්දු වීමෙන් ඔහු අනුගාමිකයන් දිනා ගත්තේ නැත. ඔහු අදාල පුද්ගලයා අධ්‍යනය කොට ඔහුට හෝ ඇයට ඔබින ආකාරයට කතා කිරීම, කරුණු පැහැදිලි කිරීම මගින් ඔහු අනුගාමිකයන් ඇති කර ගත්තේය. විජේවීරගේ සන්නිවේදන හැකියාව කොතරම් ප්‍රබලද යත් ඔහුට එදිරිව පවතී නඩු විභාගයේ දී අපරාධ විනිශ්චය කොමිෂන් සභාවේ විනිසුරන් ද ඔහුගේ කතාවෙන් වශී වුහ.

මෙම දක්ෂතා තිබුනද විජේවීරට ආවේනික වූ දුබලතා සහ හැකියාවන් වල සීමා දක්නට ලැබුණි. මිනිසුන් දිනා ගත්තද එම මිත්‍රත්වය දිගටම පවත්වා ගැනීමට විජේවීරට නොහැකි විය. එයට එක හේතුවක් වුයේ ඔහු තුල පවතී සැකයයි. ඔහු සැකය නිසා කල්ලිවාදයෙන් අනුගාමිකයන්ට චෝදනා කළේය. 1971 වන විට පක්ෂය තුල කල්ලි චෝදනා නිසා අභ්‍යන්තරය දුර්වල වෙමින් තිබුණි. විජේවීර තුල තිබු සැකය හා ඊර්ෂ්‍යාව නිසා ඔහු ධර්මසේකර, සරත් විජේසිංහ වැනි හැකියාවක් තිබු පුද්ගලයන් කපා දමා තමන්ට එරෙහි විරුද්ධවාදීන් ඇති කරගෙන සිටියේය. දත් බොල්ලෑව නිසා විජේවීර සිටියේ දැඩි හීනමානයකිනි. ඔහු තමන්ට ගැහැණු ළමයි කැමති නොවන බව සිතුවේය. මේ නිසා ව්‍යාපාරයේ ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන සිටි අනුගාමිකයන්ට ඒවා නවතා දමන ලෙස උපදෙස් දුන්නේය. මුල් කාලයේදී විජේවීර ගැහැණු ළමයින්ට පන්ති පැවැත්වුයේ බිම බලාගෙනය. ව්‍යාපාරයට ගැහැණු ළමුන් ආකර්ෂණය වන විට එම ආකර්ෂණය විජේවීර කෙරෙහිද බලපෑවේය. මේ නිසා තමාට ගැහැණු ළමයි ආකර්ෂණ හැකියාවක් තිබෙන බව දැනගත් පසු ඔහු යසෝමාට සහ ටී . ඩී සිල්වාගේ දුව මලී වෙත කිට්ටු විය. මේ අනපේක්ෂිත වෙනස නිසා ඔහුගේ අනුගාමිකයෝ කැළඹී ගියහ. 1971 කැරැල්ලට පෙර පක්ෂයේ අර්බුද ඇතිවීමට මෙයද හේතු කරණා වේ.


විප්ලවවාදී ගරිල්ලා භටයා

විප්ලවය ගැන කථා කලද විජේවීරට මාක්ස්වාදය ගැන ගැඹුරු දැනුමක් තිබුනේ නොමැත. මෙය ඔහුගේ වර්තමාන අන්ධ අනුගාමිකයන් නොපිලිගනිතත් පන්ති 5 තුල සහ විජේවීර විසින් ලියන ලද ලිපි වල හා කෘති වල (උදා- අවස්ථාවාදයද නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයද ?) මාක්ස්වාදී න්‍යායාත්මක ඌනතා බහුලව දක්නට ලැබේ. ඔහු ලෙනින්ගේ ඇතැම් ලිපි වලට ලංකාවේ දේශපාලකයන්ගේ නම් ආදේශ කොට ස්වතන්ත්‍ර ලේඛන ලෙස ඉදිරිපත් කළේය. පසු කාලයක මේ ගැන පොඩි අතුල (වික්ටර් අයිවන්) දැඩි විවේචන කරන ලදී. චීන විප්ලවය කල මාඕ ගැන සහ කියුබානු විප්ලවය කල කැස්ත්‍රෝ ගැන අභිරුචියෙන් කතා කලද ඔහු තමන්ගේ ඇතැම් අනුගාමිකයන් හෙලා දැක්කේ හෝ කපා දැමුවේ ඔවුන්ට චීන ලයින්කාරයා හෝ කියුබන් ලයින්කාරයා යන ලේබල ඇලවීමෙනි. "අප ගොඩනැගිය යුත්තේ අප පසුපස එන මිනිසුන් නොව අපව පසුකර යන මිනිසුන්" යැයි රෝහණ විජේවීර පවසා තිබේ. නමුත් ඔහුගේ ජීවිත කාලය තුල ඔහු ගොඩනැගු එසේ පසුකර ගිය එක් මිනිසෙකුගේ නමක් කිව හැකිද ? විජේවීරගේ නාමය භාවිතා කොට දේශපාලන ව්‍යපෘති අරඹා මුල්‍යමය අතින් ඔහු පසුකර ගිය මිනිසුන් නම් බොහෝ සිටිති.

ගරිල්ලා භටයෙකුගේ දිවිපෙවත ගැන දේශනා කලද විජේවීරට ආයුධ ගැන දැනුම සහ ආයුධ භාවිතය ගැන දැනුමක් තිබුනේ නැත. ඔහුට පිහිනීමට නොහැකි විය. ඔහුගේ පැරණි සගයන් කියන පරිදි විජේවීරට බයිසිකලයක් පැදීමට පවා නොහැකි විය. පන්ති සතුරා ඉදිරියේ කිසිවක් හෙළිදරව් නොකර සිටීමේ ධෛර්යය සහ නිර්භීතකම ඔහු සතු නොවිය. මුල් වරට හම්බන්තොටදී අත්අඩංගුවට පත් වූ විට සර්නි විජේසුරියගේ බැටන් පොල්ල ඉදිරියේ ඔහු ව්‍යාපාරයේ රහස් වැමෑරුවේය. අම්පාරේදී අත් අඩංගුවට පත් වීමෙන් පසුව රහස් පොලිසිය ඉදිරියේ ඔහු ව්‍යාපාරයේ සගයන්, ඒ ඒ දිස්ත්‍රික්වල ක්‍රියාකාරීන් ගැන සඳහන් කරමින් පිටු සිය ගණනක කට උත්තරයක් දුන්නේය. රහස් පොලිසියේ නිලධාරීන්ට ඉන්පසු 71 කැරැල්ලේ දැඩි මතධාරී විජේවීරවාදින් බිඳ දැමීමට අමුතු ආයාසයක් දැරීමට සිදු වුයේ නැත. ඔවුන් කලේ අත්අඩංගුවට ගත් අනුගාමිකයන්ට විජේවීරගේ මාගලක් බඳු කට උත්තරය කියවීමට දීම හෝ පටිගත කල කට උත්තරය විජේවීරගේ කටහඬින් ඇසීමට සැලැස්වීමය. මේ නිසා 71 කැරැල්ලේ ඉදිරිපෙළ සිටි විජේවීරවාදින් සංවිධානය අතහැර ගියහ. මෙම කට උත්තරය ඇසු ප්‍රේමපාල හේවාබටගේ සී. අයි. ඩී යේ මේසයක හිස රුවාගෙන ඉකි ගසා ඇඬුවේය.

1988 - 89 භීෂණ සමය

1983 ජූලි 30 වනදා ජේ. ආර්. ජයවර්ධන රජය ජවිපෙ තහනම් කිරීම නිසා විජේවීරට යටිබිම් ගත වීමට සිදු විය. අනෙකුත් විකල්ප දේශපාලන ධාරාවල නායකයන් වූ වාසු, බාහු සැඟවී අප්‍රසිධව සිටිය ද විජේවීර ආයුධ සන්නද්ධ ක්‍රියාදාමයකට අවතීර්ණ විය. 1971 දී බොහෝ කැරලිකරුවන් ක්‍රියා කලේ ශික්ෂණයකින් යුතුවය. නමුත් 1988 -89 භීෂණ සමයේදී තමන් විප්ලවාදීන් යැයි කියාගත් අමනයන් මංකොල්ලකෑම්, මිනීමැරීම් මෙන්ම ස්ත්‍රී දුෂණ ද රිසි සේ කළහ. හිටපු අනුගාමිකයන්ටද භිෂණය මුදා හැරීමටද අමතක නොකළහ. මරාදැමුවන් අතර විජේවීර කෙරෙහි අසීමිත භක්තියෙන් ලේ දහඩිය වැගිරූ නන්දන මාරසිංහ ද විය.

ජවිපෙ විසින් මරාදමන ලද හිටපු ක්‍රියාධරයෙකු වූ නන්දසේන සිල්වා ගේ දියණිය වන රුවන්දි සිල්වා තමා පියා ගේ මරණය ගැන මෙසේ කියන්නීය.

වාමාංශිකයෙකු වූ මාගේ තාත්තා 1988 නොවැම්බර් 08 දා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරන ලදී. ඔහු නමින් නන්දසේන සිල්වාය. ජීවිතයේ තිස් නම වැනි අවුරුද්දේදී ඔහු මරා දමන විට මා කුඩා දැරියකි. මා දන්නා පරිදි ඔහුගේ දේශපාලනය ආරම්භ වන්නේ 1971 කැරැල්ලට සමගාමීවය. ඒ 1971 කැරැල්ලට සම්බන්ධ වුවන් හා ඔහු අතර වූ දේශපාලන මිතුදම් නිසාවෙනි. මාගේ මතකයන් අතරේ ඔහු ඉතාමත් ප්‍රිය ජනක, සමාජයේ අනිත් මිනිසුන් උදෙසා වැඩ කළ පුද්ගලයෙකි. ජනතා විමුක්ති පෙරමුණ විසින් 1988 නොවැම්බර් 08 දින මාගේ තාත්තා සාහසික ලෙස මරා දැමීමට ප්‍රධාන හේතුව වුයේ වාමාංශික මත දරන්නෙක් ලෙස එවකට ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය ඔහු ප්‍රසිද්ධියේ හෙළා දුටු හෙයිනි. ඔහු ජාතිවාදයට සහ පුද්ගල ඝාතනයට එරෙහිව විවෘතව කතා කළේය. නන්දන මාරසිංහ සහ විජය කුමාරතුංග ඝාතනයන් ඔහු ප්‍රසිද්ධියේම හෙළා දැක්කේය. මාරසිංහ ඝාතනයෙන් පසු, තාත්තා නන්දන මාරසිංහයන්ගේ විශාල සේයාරුවක් ගේ ඉදිරිපස එල්ලා ඒ ගැන ශෝකයෙන් කතා කළ බව මට මතකය. ළදැරියක වූ මම මාරසිංහ යනු කවරෙක්දැයි ගැඹුරින් දැන නොසිටියෙමි. නමුත් තාත්තාගේ වේදනාව තුළින් ඔහු පිළිබඳව මා තුළ චිත්‍රණය වූ රුව දැනුදු මතකයේ තැන්පත්ව තිබේ.

මා සහ අක්කා අවසන් වරට තාත්තා දුටුවේ නොවැම්බර් 03 වෙනිදා පාසැල් නේවාසිකාගාරයේදීය. ඉන් පස් දිනක් ඇතුළත ඔහු මරා දැමිණ. ඔහු සමඟින් තවත් 04 දෙනකු ඝාතනයට ලක් විණ. දෙදෙනකු යාබදව තිබූ ගොවිපලවල් හී අයිතිකරුවෝ වූහ. ඒ දෙදෙනාම දෙමළ ජාතිකයන් වූ අතර කිසිදු කි්‍රයාකාරී දේශපාලනයක් නොකළවුන්ය. ඔවුන් දෙදෙනා ඝාතනය කරන ලද්දේ කුමන හේතුවක් නිසා දැයි මම අද ද නොදනිමි. අනෙක් දෙදෙනාගෙන් අයෙක් ගොවිපොළේ කටයුතු සඳහා අත් උදව්වට හොරණ ප්‍රදේශයේ සිට ආ වඩු කාර්මිකයෙකු වූ රෝහණය. දෙවැන්නා වුයේ ජයවර්ධන අන්කල්ය. (ඔහු වාමාංශික කි්‍රයාකාරිකයෙකු වූ වසන්ත දිසානායකයන්ගේ බාල සොහොයුරාය.) ජයවර්ධන අන්කල් එවකට කටුබැද්ද විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙක් විය. සරසවි වසා දැමීම හේතුවෙන් ගෙදරට වී සිටි ඔහු වෘත්තියෙන් ගෘහ නිර්මාණ සැළසුම්කරුවෙකු වූ මගේ තාත්තාගෙන් ප්‍රායෝගික දෑ උගෙනීමට අපේ ගෙදරට විත් සිටි බව මට මතකය. ඔවුන් සියල්ලෝ අපේ නිවස තුළදීම අමු අමුවේ මරා දැමිණ. අනතුරුව නිවස මුළුමණින්ම ගිනිබත් කරන ලදී. සුරතලයට ඇති කරන්නට යැයි කියා රාවණඇල්ලේ තාත්තාගේ මිතුරෙකු මට ගෙනවිත් දී තිබූ මුව පැටවාද මරා දමා තිබිණ. මරණයට පෙර තාත්තාට වධ දුන්නා දැයි මම නොදනිමි. ජයවර්දන අන්කල් ගේ දකුණු අත කපා වෙන් කොට, තාත්තාගේ කඳින් වෙන් කළ හිස සමග අප නිවසට එන ප්‍රධාන පාරේහි ගසක එල්ලා තිබිණ. ඔහු වෙනුවෙන් අවමගුල් චාරිත්‍ර තහනම් කළ ඝාතකයින් එසේ කළහොත් අපෙන් පළිගන්නා බවට තර්ජනාත්මකව දන්වා තිබිණ. මටත්, අක්කාටත් තාත්තාගේ අවමංගල්‍යය තහනම් අඩවියක් විණ. ඔහු අපෙන් සමු නොගත්තේය. ඔහුගේ මුහුණ සිඹ සමු දෙන්නට මටත් අක්කාටත් නොහැකි විය. මට ලෝකය සහ ආදරය ගැන කියා දුන් තාත්තා ඒ තරම් බිහිසුණු මරණයක ගොදුරක් වූයේ ඇයි? ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගෙන් මට අදත් අසන්නට ඇති ප්‍රශ්නය එයයි.

ගිනිබත් කොට දැමූ ගේ දොරට යට වී ළමා විය පිළිබඳ මාගේ සියළු මතක සටහන් දැවී හළු විය. අඩුම වශයෙන් තාත්තාගේ සේයාරුවක් හෝ අපට ඉතිරි නොවිණ. එදා ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය විවේචනය කළ පුද්ගලයින්ට ඔවුන් දුන් දඩුවම් එබඳු ය. ඒ ඝාතකයෝ අද වුවද නිදැල්ලේ හැසිරෙමින් සිටින බව මම දනිමි. ඒ රුධිරයේ වගකීමෙන් වත්මන් ජවිපෙ නායකයින්ට ගැළවී ගත හැක්කේ අප සමාජයක් වශයෙන් ශිෂ්ඨත්වයක් නොපෙනෙන මානයක ජීවත්වන බැවිනි. මගේ තාත්තාගේ ඝාතකයන්ට එරෙහිව නැගි සිටිය යුත්තේ කෙසේ දැයි මම අදටත් නොදනිමි.


-(තාත්තා ගැන මගේ මතකය - රුවන්දි සිල්වා)

ඉල්මහ විරු සමරුව

ජවිපෙ ඉල් මහා සමරුව එක්තරා ආකාරයක උභතෝකෝටියකි. විරුවන් සහ ද්‍රෝහියන් යන ලේබල් දෙක පමණක් භාවිතා කරන ජවිපෙට මේ නිසා බලවත් ගැටළු ඇති වෙයි.

රුවන්දි සිල්වා ගේ පියා මෘග ආකාරයෙන් ඝාතනය කල ජවිපෙ සාමාජිකයන් ආරක්ෂක අංශ අතින් පසුව මැරුම් කෑවේ නම් ඔවුන්ද අද ඉල්මහ විරු සමරුවේ උපහාරයට ලක්වන්නන් ය. 71 කැරැල්ලේ දී මිය ගිය සාමාජිකයන් විරුවන් වන අතර නොබියව හමුදාව සමග සටන් කල සහ වසර ගණන් ඝන කැලයේ සැඟවී ගරිල්ලා ජිවිත ගත කල බෝල සමරේ, ගරුසිංහ, රාහුල, කැප්ටන් සෙනෙවි, ඉලුක් සේනාරත්න වැන්නවුන් ද්‍රෝහියන්ය. 71 කැරැල්ල ලොකු අතුලගේ කුමන්ත්‍රණයක් නිසා ආරම්භ වූ බව කියා එහි වගකීම විජේවීර අත් හැරියේය. ඒ මතය අනුව කැරැල්ලට පෙර ඇසළමුල්ලේ බෝම්බ පිපිරීමෙන් මිය ගිය සාමාජිකයන් කුමන්ත්‍රණකරුවන් වේ. එසේම කැරැල්ලේ දී මියගිය සනත්, සුසිල්, සරත් විජේසිංහ, සුජාත හඳගම, සුභසිල කොඩිකාර ඇතුළු 5000 පමණ තරුණ තරුණියන් ද ද්‍රෝහීන් හෝ කුමන්ත්‍රණකරුවන් යැයි කියා ජවිපෙට වගකීමෙන් නිදහස් විය හැකිද?

ද්‍රෝහීන්ගෙන් සහ සහෝදරයන්ගෙන් පමණක් සමන්විත වී ඇති ලොව

අනෙකුත් දේශපාලන පක්ෂ වල මෙන් නොව ජවිපෙ සාමාජිකයන් බොහෝ විට (සෑම දෙනෙකුම නොවේ) අවට ලෝකය දෙස බලන්නේ අමුතු කණ්නාඩියකිනි. මේ කණ්නාඩියට අනුව ලෝකය සමන්විත වන්නේ ද්‍රෝහීන්ගෙන් සහ සහෝදරයන්ගෙන් පමණි. යම් කෙනෙක් පක්ෂය හැර ගියේ නම් ඒකාන්ත වශයෙන් ඔහු හෝ ඇය විනාශ කල යුතු ද්‍රෝහී පුද්ගලයෙකි. ඔහු හෝ ඇය මෙතක් කල කැප කිරීම් වලංගු නැත. පෙරදා සහෝදරයා සහ වීරයා වූ තැනැත්තා ද්‍රෝහියෙකු වීමට යන්නේ නිමේෂයකි. මේ ගැන රංජිත් හෙන්නායකආරච්චි මෙසේ කියයි.

71 සිටම ජනතා විමුක්ති පෙරමුණ තුළ මත ගැටුම් නිසා ඉන් ඉවත්ව ගිය කණ්ඩායම් සහ පුද්ගලයින් විශාල ප්‍රමාණයකි. ඉවත්ව ගිය අය ගැන පක‍ෂය සැමදාම කීවේ "ද්‍රෝහීන්", "පාවාදෙන්නන් සහ ප්‍රතිගාමීන්" කියායි. එමෙන්ම අලූතින් පක‍ෂයට එක්වන ලා බාලයන් අර පැරණි දෙයම වැමෑරූහ. එපමණක් නොව 87-90 දක්වා කාලය තුළ මෙසේ ඉවත්ව සිටි විශාල පිරිසක් කපාකොටා මරාදමනු ලැබීය. 71 ට ප්‍රථම පක‍ෂය ගොඩනැගීමට මුල් වූ අය සටන්වල අත්දැකීම් සහ දැනුම සම්භායරක් මේ සමගම වලපල්ලට යවනු ලැබීය. මඩම්පැල්ලේ සෙල්ටන් සිරිපාල, ෙජ්මිස් ඇතුගල, ටී. බී. , මාරසිංහ, නන්දසේන, ආදීහු මේ අතරය. නමුත් පක‍ෂයේ නව සාමාජිකයන්ට මේ මරා දැමීම ප්‍රශ්නයක් නොවීය. එය සාධාරණීකරනය කරනු ලැබීය. නමුත් මේ ද්‍රෝහීන් කීම සහ ද්‍රෝහීන් විනාශ කිරීම අහම්බ සිදුවීම් නොව මෙය පක‍ෂයේ සම්ප්‍රධායයි. මෙය පක‍ෂයේ සංස්කෘතියයි. ඇත්තෙන්ම මෙය ලංකාවේ මෙවැනි දේශපාලනය තුළ උඩුදුවා තිබු පිළිකාවකි. දෙමළ 'විමුක්ති' කණ්ඩායම් තුළද මෙය මේ අයුරින්ම පැවතිණි. එදා 1969දී ධර්මසේකර, කුරුණෑගල ජයකොඩි, රත්නපුරේ පරාක්‍රම ආදීන්ට විෙජ්වීර, ලොකු අතුල, පියතිලක ආදීන් විසින් ද්‍රෝහීන්ය පැවසීය. පසුව ලොකු අතුල ආදින්ටද මේ ඉරණමම අත්විය.

-(ඉල් මහ විරුසමරු සහ හෘද සාක්ෂිය- රංජිත් හෙන්නායකආරච්චි)

අන්ධ අනුගාමිකයන් බිහි කිරීම

විචාරශිලිභාවයෙන් තොර අන්ධ අනුගාමිකයන් බිහි කිරීම ජවිපෙ තුල දක්නට ලැබෙන තවත් ප්‍රවණතාවයකි. පක්ෂයේ සැබෑ ඉතිහාසය සැඟවීම , සංස්කරණය කල ඉතිහාසයක් අනුගාමිකයන්ට ඉගැන්වීම, ප්‍රශ්න ඇසීම වෙනත් හැදෑරීම කිරීම අධෛර්ය කිරීම මගින් අනුගාමිකයන් අඳුරේ තබා ගැනීම සිදු කෙරේ. ජවිපෙ අනුගාමිකයන් අතර මුග්ධභාවය නඩත්තු කිරීම ගැන ජවිපෙ හිටපු සාමාජිකයෙකු වූ අජිත් පැරකුම් ජයසිංහ මෙසේ කියයි.

සිංහල බස පමණක් දත්, සාමාන්‍ය උගතුන් වන, වැඩිය පොත පත නො කියවන, කියවීමේදී පක්ෂය විසින් නිර්දේශ කර ඇති ලේඛන පමණක් තෝරා ගන්නා මේ තරුණයෝ පක්ෂ පංති, කඳවුරු ආදියට සහභාගි වී තමන් පක්ෂයේ සාමාජිකයින් හැර ලෝකයේ අන් කිසිවකු විසින් අත් පත් කරගෙන නැති අවබෝධයකින් යුක්ත පිරිසකැයි තමන් ගැන අධි විශ්වාසයක් හා මානයක් ඇති කර ගනිති. ඉන් පසු ඔවුන් කියවන්නේත්, සවන් දෙන්නේත් පක්ෂය හරහා ගලා එන දැනුමට පමණි. පක්ෂය ඔවුන්ට ආගමක් වන්නේ එසේ ය. මේ ආගමික විශ්වාසය මත පදනම්ව ඔවුහු ලොව අන් සියලු දෙනා මිත්‍යා දෘෂ්ටිකයන් සේ සලකති. මේ පක්ෂවල නායකයෝ මීට වඩා බුද්ධිමත්තු ය. එහෙත්, ඔවුන්ගේ ගැටලුව වන්නේ ඔවුන් සාමාජිකයන් අතර මෙම මුග්ධත්වය නඩත්තු කිරීමයි. විශ්වාසවන්ත අනුගාමිකයන් පිරිසක් බිහි කර ගැනීම සඳහා මෙම මුග්ධත්වය නඩත්තු කිරීම හැර අලුත් ක්‍රමයක් ගැන අදහසක් ඔවුන්ට නැත. එහෙයින්, දැන දැන ම මේ ආගමික අන්තවාදීනට ශාස්තෲ භූමිකාව රඟපාති. මේවායින් බිහි වන්නේ හිට්ලර්ගේ නාසි පක්ෂයට ව්‍යූහාත්මක වශයෙන් වෙනස් නැති පක්ෂ ය.

-(ජවිපෙ ගිරා පෝතකයකු සමග පැයක් - අජිත් පැරකුම් ජයසිංහ )

ජවිපෙ ක්‍රියාකාරිකයා නම් අප දන්නා මිනිසා වෙනුවට සුන්දර නව මිනිසකු පරමාදර්ශගත කිරීම වම හමුවේ ඇති අභියෝගයකි. අප මෙසේ කියූ විට, ජවිපෙ බැතිමතුන් කුපිත වනු ඇත. තාත්තලාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වන, සහෝදරියන් හෙවත් බිරියන් රෙදි මසා හම්බ කරන මුදලින් පවුල් නඩත්තු කරන, අනුන්ගෙන් ඉල්ලාගෙන කමිස අඳින, පුළුවන් නම් බස් එකේ ඉබ්බාට යන, ‍හැම දේම නිකම් බලාපොරොත්තු වෙන, කට්ටියක් එක්ක ගොස් තේ බිවූ විට කිසිදාක බිල ගෙවීමට ඉදිරිපත් නො වන, ඉල්ලා ගත් පොතක් කිසිදා ආපසු නො දෙන, සමහර විට වැඩිය නො නාන, ව්‍යායාම නො කරන, ක්‍රීඩා අරහං, මත් පැන් නො බීම දැවැන්ත පෞරුෂ ලක්ෂණයක් ලෙස හුවා දක්වන, මානසික ගැටලුවලට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට පක්ෂ දේශපාලනය ආදේශ කරන, තමන් මාර පොරකි ය යන භින්නොන්මාද ලක්ෂණයෙන් පෙළෙන, පක්ෂ සාමාජිකයන් නො වන සෙසු මිනිසුන්ට ගේම් ගහන, පක්ෂ‍ නායකයන් කියනවා නම් ඕනෑම බලු වැඩක් කරන ආදී ලක්ෂණ අඩු වැඩි වශයෙන් ඇති අප දන්නා ජවිපෙ ක්‍රියාකාරිකයා ඔබ සිතන තරම් සුන්දර, ආකර්ශනීය මිනිසකු නො වන බව වටහා ගැනීම අලුත් වීමේ දොරටුව වෙත ඔබ ගෙන යයි. ජවිපෙන් ගැලවුණු විගසින් ඔවුන් නින්දිත අන්දමින් නිරුවත් වන්නේ ඒ නිසා ය.

-(ලංකාවේ දෙමළ ජනයාගේ අරගලය හා දකුණේ සහෝදර වාමාංශිකයන්ගේ අරගල හෘදය සාක්ෂියකින් තොරව ධනපති ආණ්ඩුවලට පාවා දුන් ජවිපෙ මහත්වරුනි, චේ ගුවේ‍රාගෙන් ඉගෙන ගන්න! - අජිත් පැරකුම් ජයසිංහ )

අන්තරේ සහ සිසු අරගල

සිසු අයිතීන් ලබා ගැනීම පිණිස වඩා පුළුල් ශිෂ්‍ය ව්‍යාපාරයක් හිමි ජවිපෙට විශාල කාර්යභාරයක් කල හැකිය. නමුත් ඒ වෙනුවට සිසු අධ්‍යාපනය කඩාකප්පල් කිරීම තුලින් බොරදියේ මාළු බෑමේ ක්‍රමවේදය ජවිපෙ විසින් දිගින් දිගට කරගෙන යනු ලැබේ. මෙය දැන් යල් පැන ගිය ක්‍රමයක් පමණක් නොව මෙම විනාශකාරී ක්‍රමය ගැන මධ්‍යස්ත මතධාරී සිසුන් ද සිටින්නේ අවබෝධයෙනි. ජවිපෙ මොටිසෝරිය හෙවත් අන්තරයට බඳවා ගන්නේ අව වරප්‍රසාධිත, හීනමානය පහසුවෙන් වගා කල හැකි, පන්ති වෛරය මත ඕනෑම දෙයක් කිරීමට නොපසුබට සිසුන්ය. අන්තරයේ සිසුන් විභාග අසමත් අධ්‍යාපනික වශයෙන් කුජිත වුවන්ය. එබැවින් මොවුන් නායකත්වය දෙන සිසු අරගල ගැන අවශේෂ සිසහු සිටින්නේ හොඳ සිහි කල්පනාවෙනි. එම නිසා බොහෝ විශ්ව විද්‍යාලවල අන්තරය සහ එහි සාමාජිකයන් සැලකෙන්නේ තම අධ්‍යාපනය විනාශ කරගෙන අන්‍ය සිසුන්ගේ අධ්‍යාපනයට වින කැටීමට එන මාරයන් පිරිසක් ලෙසටය. එම නිසා සිසු අරගල එල රහිත මැර සංදර්ශන බවට පත් වේ. එසේම අන්තරයේ අමන වැඩ නිසා එම නිසා එස්. බී. වැන්නවුන්ට රිසි සේ විශ්ව විද්‍යාලවල තම න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමද සිසු මර්දනයට පිඹුරුපත් සකස් කිරීමටද මාර්ගය සැකසී ඇත. පාලකයන් සිසු මර්ධනයට අවශ්‍ය සියලුම පනත් සම්මත කර ගන්නේ අන්තරය විසින් කරන මරිකම් වලට පින්සිද්ද වන්නටය. අන්තරයේ අශික්ෂිත මෝඩ වැඩ අතර නවක වධය ද විශේෂයෙන් සඳහන් කල යුතුය. එය සිසුන් නම්මවා ගැනීම සඳහා භාවිතා කල යල් පැනගිය කෙමනකි. දැන් මෙම කෙමනට විශාල ප්‍රචාරය දෙමින් පාලකයන් සියලු විශ්ව විද්‍යාල වල බුද්ධි අංශ පවා ස්ථාපිත කොට තිබේ. සාමාන්‍ය ජනයා දැන් විශ්ව විද්‍යාල අරගල දෙස බලන්නේ වපර ඇසෙනි. මෙම තත්වය ලඟා කර දුන්නේ අන්තරයි. මේ අනුව අන්තරය යනු පාලකයන්ට වෙස් වෙලාගත් ආශීර්වාදයකි.

විවේචන ඉවසීම සහ අතීත වැරදි ගැන සමාලෝචනය

විවේචන ඉවසීම සහ අතීත වැරදි ගැන සමාලෝචනය පිලිබඳ ජවිපෙට අත්තේ යහපත් ඉතිහාසයක් නොවේ. අතීත වැරදි ගැන සමාලෝචනය විශේෂයෙන් 1988, 89 කාලයේ මුදා හරින ලද මෘග ප්‍රචණ්ඩත්වය ගැන ෆ්ලැට් න්‍යායෙන් උත්තර දී ගැලවී යාම හැර ශ්‍රී ලංකික සමාජය ඉදිරියේ පිළිගත හැකි ස්වයන් විවේචනයකට ජවිපෙ යොමු නොවීම තුලින් තවමත් පක්ෂය පොදු ජනතාවගේ සැකයට පත්‍ර වී තිබේ. මේ ගැන සරත් දිසානායක මෙසේ සඳහන් කරයි.

අප දන්නා ජවිපෙ යනු තමන්ගෙන් වෙන්ව ගිය පුද්ගලයා යනු තමනගේ ප්‍රධානතම සතුරා බවට පත්කරගන්නා දේශපාලන පක්ෂයකි.... විවේචන අත්‍යාවශ්‍යය. එය ඕනෑම සමාජ සංවිධානයක දියුණුවට අත්‍යාවශ්‍ය වූවකි. එහෙත් එකී පුද්ගලයාට හෝ සංවිධානයට එකී විවේචනය අවශෝෂණය කරගත හැකි පරිදි එකී විවේචනයේ විවෘතභාවය රැදී තිබිය යුතුය. ද්වේෂ සහගත විවේචනයකින් අනෙකා යටපත් වනවා මිසෙක ගොඩනැගීමක් වන්නේ නැත.

-(ජවිපෙ නව වාම ප්‍රවණතාව පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් - සරත් දිසානායක)

ද්‍රෝහීන්ට දඬුවම් කිරීම යලි පුනරුක්තියේ

ජනතා විමුක්ති පෙරමුණට ද්‍රෝහී වූවන්ට කිසිදු සමාවක් නොදෙන බවත් ඔවුන් නිසි දඬුවම් දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගිය දා චේ සමරු උත්සවය අමතමින් ජයවර්ධන කේන්ද්‍රයේදී පැවසිය. මෙම දඬුවම කුමක්ද යන්න ඔහු පවසා නැත. එය 1988 , 89 දී මෙන් බෙලි කපා ප්‍රදර්ශනය කරන අන්දමේ එකක් ද යන්න ටිල්වින් සිල්වා පැහැදිලි කොට නැත. මේ ගැන මහාචාර්ය සුචරිත ගම්ලත් අදහස් දක්වන්නේ මෙසේය.

ද්‍රෝහීන්ට දඬුවම් කිරීම යනුවෙන් ජ. වි. පෙ. අදහස් කරන්නේ ඔවුන්ට පහර දීම හා ඔවුන් මරා දැමීමයි. මෙයයි. පන්ති අරගලයට ද්‍රෝහී පිළිවෙත. මෙය ජ. වි. පෙරමුණේ උපන් ගෙයි ගතියකි. ඔවුහු 1971 දී විරුද්ධ මත දැරූවන්ට පහර දුන්හ. 1989 දී ඔවුන් මරා දැමූහ. දයාපතිරණ නන්දන මාරසිංහ, බදුල්ලේ පිටවල, පේරාදෙණියේ ගුණපාල හා තවත් අය එසේ විරුද්ධ මත දරා ජ. වි. පෙන් මැරුම් කෑවත් අතර වෙති.

-(ජවිපෙ විමතික සහෝදරවරුන් වෙතයි මහාචාර්ය සුචරිත ගම්ලත්)


ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් දේ කුමක්ද ?

මෙතෙක් ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් සාධනීය දේ කුමක්ද යන්න විමසීමට කාලය එළැඹ තිබේ. ලංකාවේ දේශපාලන ක්‍රියාවලියට සහභගි වූ පුද්ගලයන් / පක්ෂ තම තමන් විසින් කල විනාශයන් වලට අමතරව යම් යම් ප්‍රතිලාභ ජනතාවට ලබා දී ඇති බව ඉතිහාසය විමසා බැලීමේදී පෙනී යයි. ඩී එස් සේනානායක ගොවි ජනපද ඇති කළේය. ඩඩ්ලි වගා සංග්‍රාමය දියත් කළේය. බණ්ඩාරනායක දෙමහල්ලන් ජනසතු කිරීම් කොට යම් යම් ප්‍රතිලාභ ජනතාවට දීමට උත්සුක වුහ. එන් එම් හා කොල්වින් වැඩකරන ජනතාවට සහන ලබා දුන්නේය. ජේ ආර් මහවැලිය කළේය. ප්‍රේමදාස උදාගම කළේය. මහින්ද රාජපක්ෂ යුද්දය නිම කළේය. නමුත් ජවිපෙ මෙතෙක් උද්ගෝෂණ , වර්ජන කොට ජනතාවට ලබා දුන් දෙය කුමක්දැයි හෙළි කිරීම පක්ෂයේ වගකීම වේ. ඝාතන කිරීම්, තරුණයන් ධනපති දන්ගෙඩියට ගෙනයාම, කෝටි ගණන් වටිනා ගොඩනැගිලි දේපොළ ගිනි තැබීම, බස් ගිනි තැබීම වැනි අසහනාධාර හැර සාධනීය යමක් ජනතාවට දුන්නේද යන්න ජවිපෙ හමුවේ ඇති ප්‍රශ්නයයි. ආර්ථික ඝාතකයෙකු ලෙස 1988-89 සමයේදී ජවිපෙ බස් රථ දහසකට වඩා ගිනි තබා විනාශ කළේය. ගොඩනැගිලි විනාශ කළේය. දේපොළ විනාශ කිරීම් අතින් ජවිපෙ දෙවැනි වූයේ ප්‍රභාකරන්ගේ එල්ටීටීයට පමණි.

ජවිපෙ පුනරුත්තාපනය කිරීම

ජවිපෙ පුනරුත්තාපනය කිරීමට ගිය සැමටම සිදු වුයේ අත පුලුස්සා ගන්නටය. මුලින්ම ජවිපෙ පුනරුත්තාපනය කොට එහි ජාතිවාදී ප්‍රවණතා නිශේධනය කිරීමට උත්සහ කලේ සුසිල් සිරිවර්දනයි. නමුත් ඔහුගේ උත්සාහය ඔහුටම පරාවලල්ලක් විය. ඉන්පසු ගතවූ කාලය තුල සුනිලා අබේසේකර ද මෙම කාර්යට අත ගැසුවාය. ඇයටද සුසිල්ට මෙන් ජවිපෙ ගිරා පෝතකයන්ගේ සී අයි ඒ කුමන්ත්‍රණ භිතිකා වලට මුහුණ දීමට සිදු වුවාය. පක්ෂය විසින් සුනිලා අබේසේකර ගැන ඔත්තු බැලීමට යොදවන ලද්දේ නන්දන මාරසිංහගේ බිරිඳ වූ පද්මා මාරසිංහයි. ජවිපෙ විසින් නන්දන මාරසිංහ මරා දැමීමෙන් පසුව අසරණ වූ පද්මා මාරසිංහට සෙවන දුන්නේ සුනිලා අබේසේකර සහ කෙලි සේනානායකයි.

ජවිපෙ සාධනීය දේශපාලන බලවේගයක් ලෙසට

ජවිපෙට සාධනීය දේශපාලන බලවේගයක් ලෙසට තවමත් පෙරමුණට පැමිණිය හැකි ජවය සහ ශක්තිය තිබේ. නමුත් මෙම ජවය සහ ශක්තිය විනාශකාරී ලෙස නොව එලදායි ලෙස යොදා ගැනීම පක්ෂයේ නායකයන්ගේ කාර්යභාරයකි. මෙතෙක් කල් කලේ අන්ධ ලෙස අනුගමිකයන් රවටා පුස් වෙඩි වැනි විරෝධතා පවත්වා පොලිසියට ගල් ගසා පොලිසිය කුපිත කොට වෙඩි තබ්බවාගෙන ඉදිරි පෙළ සිටින මෝඩ අනුගමිකයෙකුගේ ජීවිතය බිල්ලට දී ඉන්පසු ඔහුගේ මළකුණ කරතබාගෙන රට වටේ යාමය. එය යල් පැන ගිය සහ අමන ක්‍රමවේදයකි. එසේම දුෂණයේ සහ සදාචාරය වැහැරීමේ ජීවමාන උදාහරණය වන හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා පෙරට දමාගෙන ආණ්ඩුවේ වංචා දුෂණ සෙවීමට පත් කල සෝඩා බෝතල් ව්‍යාපෘතියටද සිදු වූ දෙයක් දැන ගැනීමට නොමැත. ජවිපෙ කල යුත්තේ මෙවැනි ගොබ්බ සංදර්ශන, මිනීමැරුම්, ආර්ථික ඝාතක පසුගාමී ක්‍රියා වලින් මිදී නව ප්‍රගතිශීලි බලවේගයක් වීමය.

මේ වන විට ජනතාව තුල ඇති දේශපාලන සවිඥානික බව ඉතා තදින් වැහැරී තිබේ. ජනතාවට දේශපාලනික වශයෙන් සවිඥානික භාවයක් ලබා දීමේ නොහැකියාව නිසා අද පබාලා , අනර්කලීලා වැනි දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදන්නා පියර බබුන් පාර්ලිමේන්තුවට පිවිස ඇත. ජනතාවගේ දේශපාලන සවිඥානික බව මොට කිරීමට ජවිපෙ ද දායක වී තිබේ. එම නිසා තම වැරදි වලින් පිරි අතීතය අතහැර නව වර්තමානයකට, සාධනීය දේශපාලනයකට අවතීර්ණ වීමට ජවිපෙ උත්සහ ගත යුතුව ඇත. එයට තවමත් ප්‍රමාද නැත.

ඩී . සුගත් රාජපක්ෂ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලාංකීය සමාජයේ පරිධියට තල්ලු කරන ලද මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ ජීවිත වල අහුමුළු ස්පර්ශ කරමින් නිර්මාන චාරිකාවේ යෙදී සිටින ගුණරත්න වික්‍රමගේ විසින් රචිත නවතම කෙටිකතා සංග්‍රහය 'සූදු කෙළින්නිය' නමින් ගෙවුණු සැප්තැම්බරයේදී එළි දැක්විණි. ඔහුගේ කුළුඳුල් කෙටිකතා සංග්‍රහය 2003 දී 'ගිනි බණ්ඩාර සඳ එළියෙහි සරණපාල කුමාරයා' නමින් ප්‍රකාශයට පත් වූ අතර අනතුරුව 2006 වසරේදී 'මකරා' සහ 2008 වසරේදී 'ගිනිකූර' නමින්ද කෙටිකතා කෘති ද්වයක් ලියා පළ කරන ලදී. කෙටිකතාකරණයේ දී රුසියානු රහෝගත සාහිත්‍යයේ හෙවනැලි හොල්මන් කිරීම කතුවරයාගේ බොහෝ නිර්මාණ වලට ආගන්තුක නොවූවද, 'ගිනිකූර' මෙන්ම 'සූදු කෙළින්නිය' ද, තමන්ටම ආවේණික නිර්මාන භාවිතයක් සොයා යාමට දැරූ උත්සාහයන් ලෙස හඳුනා ගැනීම වඩා සුදුසු බැව් මාගේ පුද්ගලික හැඟීමය.

ගුණරත්න වික්‍රමගේ ගේ නවතම කෘතිය සූදු කෙළින්නිය, මුද්‍රණකරුවා, නිල නොලත් දේවගැතිවරයා නම් වූ කෙටිකතා නිර්මාණ ත්‍රිත්වයකින් හෙබිය. 'බේබි කැපීම' නොහොත් 'බූරුවා ගැසීම' හෝ එසේත් නැතිනම් බජාර් එකේ භාෂාවෙන් කියතොත් 'දෙපැත්තට බෙදීමේ සෙල්ලම'කරනා කලාතුරකින් හමුවන ගැහැණියකගේ ඉරණමක අංශුමාත්‍රයක් 'සූදු කෙළින්නිය'ට විෂය වී තිබේ. තමා සිටගන්නා පොළොවේ වර්ග අඩියක සීමාවේ සිට සමස්තය මෙපමණකැයි පිඩුකොට ගන්නා ඇතැමෙකු මෙවැනි ගැහැණුන් සිටිය හැකිදැයි ද, එබැවින් මෙය තාත්වික ප්‍රතිනිර්මානයක් විය හැකිදැයි ද ප්‍රශ්න කරනු ඇත. එහෙත් මගේ රස්තියාදුකාර ජීවිතයේ අවස්ථා ගණනාවකදී මට මෙවැන්නියන් හමුවී තිබේ. ඔවුන්ගේ ජීවිත වල දිග පළලින් මා බොහෝ දේ උගෙන තිබේ. ඒ නිසාම කෘතියේ එන සූදු කෙළින්නිය වන 'ජානා'ගේ ඉරණම මා තුළ උපේක්ෂාවක් ජනිත කරයි.

ජානා. . , ඇය සූදු කෙළින්නේ කාඩ් කුට්ටම ආශ්‍රය කරගනිමින් පමණක් නොවේ. විටෙක ඇය තම ජීවිතය සමඟ ද, අනුන්ගේ ජීවිත සමඟ ද, හරි හරියට සූදු කෙළියි. 'ළිඳට වැටුණු මිනිහා ළිං කටින්ට ගොඩට ආ යුතු බව' ප්‍රසිද්ධ ගැමි කියමනකි. එය සූදු අන්තුවන්ගේ ජාතික තේමා පාඨයයි. ඒ නිසාම වටයක් දෙකක් පරදිමින් අත ඇති මුදල් සේදී යන විට සූදු පොලේ ඔට්ටු පරදින්නන් ඇතැම් විට තම වස්තු, දේපළ පමණක් නොව ඇඳිවත පවා මුදල් කර ඔට්ටුවට තබන අවස්ථාවන් සුලබය. ජානා. . , ඇය කාගේ කවුරුන්ද කොහේ සිට පැමිණියේද. . , ඇගේ පවුල් පසුබිම කෙබඟද යන්න කතුවරයා නොකියයි. එහෙත් කතා රසයට හෝ එහි අන්තර්ගතයට බාධාවක් නොවන පරිදි නිර්මාණශීලිත්වය අබමල් රේණුවක තරමට හෝ පළුදු නොකොට ඇය කෙබඳු චරිතයක්ද යන්න අඟවයි. ඔට්ටු පරදින විට මුදල් කළ හැකි වත්කමක් ඇයට ඇත්නම් ඒ ඇගේ සිරුර පමණයි.

ජානා. . , සූදු පොලෙන් ම තම සේවාදායකයා සොයාගන්නා අතරම ගනුදෙනුව නිමා වූ වහාම ගනුදෙනුකරුගේ පිරිමිකම හෑල්ලුවට ලක්කරයි.

ජානා විසින් කෙසඟ සිරුරට එල්ල කරන ලද ඇනුම්පද වලින් නම් කෙලවරක් නැතුවා සේය. එම රළු වූ ඇනුම්පද වලට කිසිදු ආකාරයේ පිළිතුරක් නොසැපයෙනුයේ නම් අඳුරු ගුහාවක සිරකර ඇතිවාක් මෙන් කාසි පනං ඉල්ලන පසුම්බිය වූ ජානාගේ යෝද තන් ගෙඩි අතර ඇති කුහරයේ, හිසබර ගති දනවන වසඟකමේ හොඳම එක වන රාග මතට ගොදුරුව ඇති ඔහුගේ මුහුණ පිටතට නොපෙනී යන පරිද්දෙන්ම සැඟවී ඇති බැවිනි.

"හා. . හා. . මහ ලොකු කෙරුමා. . දැන් ඉතිං උඩ බලාගෙන තරු ගණන් කරන්නේ නැතිව ගනු. . ගනු පනං අටක්"

(පිටුව. 59)

සමාජයේ දැවැන්ත චරිත ලෙස හිසඔසවා සිටින්නන් බොහෝ දෙනකු ස්ත්‍රී රහසඟ අබිමුව හෑල්ලු වීම අහම්බයක් නොවූවද, සූදු කෙළින්නිය යනු ස්ත්‍රීත්වයේ ප්‍රතිමූර්තියක් නොවේ. ඇය පියාගේ සංකේතීය ලෝකයේ පිළිවෙලට නතුවී ස්ත්‍රීයක ලෙස නම සටහන් කළ තැනැත්තියක නොවේ. ස්ත්‍රී- පුරුෂ සමාජභාවයේ පුරුෂෝත්තම අර්ථයෙන් ගත් කළ ඇය ස්ත්‍රීත්වයේ විකෘතියකි. එසේ වුව ඇයට තමාගේ සිත්ගත් පුරුෂයෙක් සිටියි. ඒ රාජකීය ආභරණවලින් ගැවසීගත් කාඩ් කුට්ටමේ ඉහළ වංශයකට හිමිකම් කී හේරාය. ඒ ඇගේ ආශාවයි. කැමැත්තෙන් මුදලට තෝරාගන්නා සහකරු සමග ලිංගික සහවාසය හිස්කමක් ජනිත කරවන විට බලහත්කාරයෙන් ඇයව දූෂණය කරන තැනැත්තාගෙන් ඇය ප්‍රමෝදයට ලක්වෙයි. තමා දූෂණය කරන්නාට ආදරය කිරීමට පෙළඹෙන ස්ත්‍රියක් කේ. කේ සමන් කුමාරගේ 'අපබ්‍රංස කතාවක්' කෙටිකතාවේ ද අපට හමුවේ.

කෙසේ වෙතත් ජානා. . , ඇය ඔහු තුළින් තම ආසාවේ ප්‍රතිමූර්තිය වූ හේරා දකියි. ඇය ඇගේ ආසාව හඹා යයි. කියවන්නන් ඇගේ ආසාවේ ආසාව හඹා යයි. සැබවින්ම තල කිහිපයක කියවීම් කිහිපයක් ඔස්සේ රසවිඳිය හැකි කදිම නිර්මාණයක් ලෙස 'සූදු කෙළින්නිය' අගය කළ හැකිය.

'මුද්‍රණකරුවා'නම් නිර්මානයේදී අපට හමුවන්නේ නිසි ලෙස කල්තියා මුදල් පියවූවද තම ගනුදෙනුකරුගේ අවශ්‍යතාව පිරිමැසිය නොහැකිවූ මුද්‍රණකරුවාත්, තම බිරිඳගේ අවසාන යුතුකම පවා ඉටුකරන්නට නොහැකිවුණු ගනුදෙනුකරුවාත් එකිනෙකාට අභිමුඛ වීම හා දෙදෙනාගේම ජීවිත තීරණාත්මක කරනා නමුත් දෙදෙනාගේම අන්‍යෝන්‍ය අවබෝධයෙන් බොහෝ දුරස්ථ රාජ්‍ය පීඩක තන්ත්‍රයයි. අවසානයේ සියල්ලන්ම තම චරිතය තුළම පවා හිස්කමක් ජනිත කරන්නා වූ පරාජිතයන්ය. ඉතිරි කරන්නේ කාංසාවක් පමණි. ඇල්බර්ටෝ මොරාවියාගේ නිර්මාන කෙරෙන් හමුවන චරිතයන් හා ඔවුන්ගේ හැසිරීම් විටෙක 'මුද්‍රණකරුවා' තුළ හොල්මන් කරනු පෙනෙයි.

ජෝර්ජ් වැල්කොලොම්බස් නම් ලංසි ජාතිකයා නිතැතින්ම මුඩුක්කු ජනපදයක නිල නොලත් දේවගැතිවරයා බවට පත්වෙයි. බීමත්කම, පවුල් නඩත්තුව, රස්තිවාදුව, වංචාව, හොරකම, මැරකම. . ආදී සියල්ල ඔහුගේ ජීවන විලාසය බවට පත් වෙයි.

'පලයං සිංහලයා උඹ යන්න. . ගිහිල්ලා. . . කැවුම් කාපන්. . උඹ දැනගනින් පාදඩ බල්ලෝ. . මං හොයන සල්ලි ශතයක් නෑර. . මගේ කට සැර අඹූ සිඟිත්තියගේ අතට දෙනවා. . දෙවියන් වහන්සේ විසින් මට ලබා දෙන වාසනාවන්ත කාසි වලින් මං. . . බඩ පිරෙන කල් අරක්කු බොනවා. . '
(පිටුව- 126)

කෘතියේ හමුවන නිළ නොලත් දේවගැතිවරයා අපට එලෙසින් කියා සිටියද මහ පාරේදී හමුවන නිළ ලත් දේවගැතිවරුන් අපට එසේ නොකියයි. එහෙත් නිළ නොලත් මෙන්ම නිළ ලත් සර්ව ආගමික පූජකයන්ගේ ජීවන විලාසය ජෝර්ජ් වැල්කොලොම්බස්ලාට කිසිසේත්ම දෙවෙනි නොවේ. වසා ඇති මිථ්‍යා දෘෂ්ටියේ සුදු පිරුවටය ලිහා දමන්නට අප තුළ ඇති නොකැමැත්ත නිසාම ආවරණයම උත්කෘෂ්ඨත්වයට පත් කෙරෙයි.

'ඕනෑම සාහිත්‍ය කෘතියක් ලෝකය සමඟ රූපකමය සම්බන්ධයක් පවත්වන්නේය. . යන්න පොදුවේ පිළිගත යුතු කාරණයකි. නමුත් කෙටිකතාවේදී පඨිතය හා ලෝකය අතර වාච්‍යාර්ථමය සම්බන්ධයට වඩා රූපකාර්ථමය සම්බන්ධය ප්‍රබලය. . '
(ලියනගේ අමරකීර්ති, පහන සහ කැඩපත, පිටුව- 183)

අමරකීර්ති විසින් මතුකර දක්වන අයුරින්ම වික්‍රමගේ ගේ කෙටිකතා ඇසුරු කරන්නන්ටද එදිනෙදා සමාජ ජීවිතය පිළිබඳ හුදු වාච්‍යාර්ථයෙන් ඔබ්බෙහි ප්‍රබල රූපකාර්ථයකින් හෙබි සබඳතාවක් ස්පර්ශ කළ හැකිය. යථාර්ථයක් පසක් කරගත හැකිය. ඒ නිර්මානය අභිමුඛව සංස්කෘතිමය වශයෙන් තමන් කෙතරම් පොහොසත්ද යන කාරණයට සමගාමීවය.

'නිළ නොලත් දේවගැතිවරයා' නම් නිර්මානයෙන් අප අමතන හර්තාල් මාමා සිය හඬ මෙසේ අවදි කරයි.

'ලෝකය එන්න එන්නම පුංචි වෙනවා. . ඒත් අපේ කාලකණ්ණි බඩවල් නම් එන්න. . එන්නම ලොකු වෙනවා. . . හොර තක්කඩියනි නැගිටපල්ලා. . ඉර මල පිපිලා. . පාහර බැල්ලිගේ පුතුනේ නැගිටපල්ලා. . නැගිටපල්ලා. . ලෝකය එහා කෙලවරේ. . අපේ කළු අශ්වයා පිම්මේ දුවනවා. . නැගිටපල්ලා. . නැගිටපල්ලා. . ඌ කවදා හරි. . කවදා හරි. . අපට වාසනාව අරන් ඒවි. . '

අශ්වයා කළු වුවද, සුදු වුවද, තලෙළු වුවද කම් නැත. තිස් වසරක ශාපලත් යුද්ධයෙන් පසුව ද වාසනාව රැගෙන කිසිවෙකු හෝ පැමිණ දොරට තට්ටු කරන තෙක් බලා සිටින දීන ජාතියක සාඩම්බරකාර උරුමක්කාරයෝ වෙමු.


ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මල් පීදුනු චීත්තය යි, බෝරිචි හැට්ටෙනු යි, සැරහිලා
ගිගිරි නගන සුරත ගැටී හිසේ රැඳුන,
හැම් බේකන් ඇඹුල අරන්,
නියර දිගේ ටිකිරි මැණිකෙලා...

වප් මඟුලට පි‍්‍රන්ට් කරපු, සරම බැනියමට ගත ඉඩ ලා
සුද්දෝදන රජ මැතිවරු අස්වද්දති කුඹුරට බැහැලා....

නුහුරු කෙවිටි පහර කකා පස්සට යන අම්බරුවෝ
ලවුඩ්ස්පීකරේ සද්දෙට, කුලප්පුවෙනවා..

අමාරුවෙන් නඟුල අරන්, පොටෝ එකට වැදුනු මූණු,
පහුවෙනිදා මුල් පිටුවේ ඉඩ අහුරනවා..

සුවයංපෝෂිත යි මගෙ රට - යවනවා සහල් පිටරට,
පුරන් කුඹුරු මුලූ රටේම අස්වද්දනවා...

කිළුටු අමුඩ කෙටි ඇඳගෙන - උදළු කෙටිය උඩ ඉඳගෙන,
ගොවි රාල ල වප්මඟුලේ සිරි නරඹනවා...

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බුදු රදුන් විසින් දේශනා කරන ලද සංසාරය පිළිබඳ අදහස අපේ ලේ, මස් නහර ඇතුළට කාවැදිලයි තියෙන්නේ, මොන විදිහේ software දැම්මත් මේ මුලික අදහස අපෙන් delete වෙන්නේ නැහැ. සයිමන් නවගත්තේගමත් මේ පොළොවේ කෙනෙක් නිසා ඔහුටත් මේ තත්ත්වය පොදුයි. ඒ වගේම ඔහුගේ මාක්ස්වාදී අතීතය ගැන අප කවුරුත් දන්නවා. අද ඉන්න මාක්ස්වාදීන් කියාගන්නා අයට වඩා දාර්ශනික අතින් සයිමන් මාක්ස්වාදීයි. ඒබ ව මේ නවකතාව පුරාම මතුවෙනවා. ඉතිහාසය පිලිබඳව මාක්ස්ගේ ඓතිහාසික භෞතිකවාදයත්, ආසියාතික නිෂ්පාදනවාදය පිළිබඳ සංකල්පයත්, සංකේතාත්මකව මේ නවකතාව තුළට ඔහු ගෙන එනවා. එමෙන්ම, සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණය ද “සංසාරණ්‍ය යේ දඩයක්කාරයා” නවකතාව තුළ දක්නට ලැඛෙනවා.

ෆ්‍රොයිඩ් ඔහුගේ “TOTEM AND TABOO” පොතේ සඳහන් කරනවා, අපි අපේ සත්ව රාජධානියෙන් උරුම වෙච්ච ආශයන් මර්දනය කර ගන්නවා කියලා. මේ මර්දනය කර ගැනීම තුළින් තමයි අපි සභ්‍යත්වයට, ශිෂ්ටාචාරයට ඇතුල් වී තිඛෙන්නේ. අපේ ආශයන් මර්දනය කිරීම නිසා ස්නායු ආතති තත්වයකට හෙවත් “නියුරෝසි” තත්ත්වයකට අප පත්වෙලා කියලා ඔහු කියනවා. අප කයින්, මසින් රෝගී වෙනවා, අපට ආපසු සත්ව රාජධානිය කරා යන්නත් බැහැ. කොතරම් ඉදිරියට ගියත් මේ රෝගී තත්ත්වය නැති වෙන්නේ නැහැ.

ෆ්‍රොයිඩ්ගේ මේ ආශයන් මර්දනය කිරීමේ සංකල්පය සසිමන් බුදුන්ගේ දර්ශනයේ ඇති මහා ක්ලේශයන් සමඟ බද්ධ කරනවා. මේ බද්ධ කිරීම ලංකාවේ කිසිම දාර්ශනිකයෙකුවත්, කිසිම ලේඛකයෙකුවත්, කිසිම කන්ඩායමක් වත් කළේ නැහැ. මේ කථාව ආගමික තැනකට නොවෙයි. සයිමන් රැගෙන යන්නේ. ඓතිහාසික විකාශනය ඉතා පැහැදිලිව ඔහු සංකේතාත්මකව පැහැදිලි කරනවා. දැන් නූතනව ගොඩනැගී ඇති මතයක් තියනවනේ ඉතිහාසය ගොඩනැංවීමක් කියලා. එවැනි මත සියයට සීයක් නිවැරදියැයි ඔලූවේ දරාගෙන මේ “සංසාරරණ්‍ය යේ දඩයක්කාරයා” විඳින්න ලැඛෙන්නේ නැහැ. අපේ ඉතිහාසය මූලික තැනකින් තමා මේ නවකතාව ආරම්භ කර තියෙන්නේ.


අපේ ගමේ සිට තම්මැන්නා - අනුරාධපුරු මහාමාර්ගය දක්වා ප්‍රමාණ කළ නොහැක්කා වූ යොදුන් ගණන් භූමිය, මහා වනාන්තරයෙන් වැසී තිබුනේය. එය කොතරම් දිග පළල වුවද, ගව් සොළසකට එහා මුල්ලේගම කන්ද අවට වනාන්තර ඉසව්ව පමහණක් අපේ පුරාණයට වැදගත් වන්නේය. මක්නිසාද, දඩයක්කාරයා වාසය කරන්නේ එහේ නිසාය.තම්මැන්නාව යනු විජය ගොඩබැස්සා වු ස්ථානයයි. මේ දිවයිනේ පැවති මාතෘ මූලික ශ්ෂ්ටාචාරයට ඉන්දියානු සංග්‍රමණය සිදු වූයේ තම්මැන්නාවෙනුයි. අනුරාධපුරය යනුවෙන් අපි හඳුන්වන්නේ අපේ ශිෂ්ටාචාරයේ ශ්‍රී විභූතියයි.

සයිමන් නවගත්තේගමත් මේ නවකතාව තුළට ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහු තුල සැඟවී ඇති මාක්ස්වාදී දෘෂ්ටිය හෙළන අයුරු පෙනෙනවා. එය මාක්ස්ගේ ඓතිහාසික භෞතිකවාදී අදහස නම් නොවෙයි. ආසියානු නිෂ්පාදනවාදය පිළිබඳ මාක්ස්ගේ අදහසයි. මාක්ස් පැහැදිලිව සඳහන් කරනවා. ඉතිහාසයේ පීලි පැනීමකින් නොවෙයි ආසියානු ඉතිහාසය ගොඩනැගෙන්නේ. බලය එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට මාරු වීමෙන් කියලා. එක තැන කාල් ගෑවෙන විපරිණාමයක් තමයි ආසියානු ඉතිහාසයේ පවතින්නේ කියලා ලංකාවේ සාහිත්‍යය තුල මේක දැකපු එකම සාහිත්‍යකරුවා සයිමන් නවගත්තේගම පමණයි. නමුත් ලෙන්ඩ් වුල්ෆ් නැමති විදේශීය ලේඛකයාගේ “බැද්දේගම” කෘතියේ මෙයට සමපාත වන අවස්ථා මුණගැසෙනවා. ලාංකික ජීවන දහම පිලිබඳව ඒ තුළ තිඛෙන උපේක්ෂා සහගත බව පිළිබඳව ඔහු තම බැද්දේගම කෘතිය තුළ නිරූපනය කරනවා. “බැද්දේගම” කෘතියේ ඉන්නවා උපාසක කෙනෙක් ඔහුට හැමෝම කියන්නේ පිස්සා කියලා. ඔහු කියනවා, මම පාරේ යනකොට ඇතෙක් සිටියා, මම ඔහුට අතවැනුවා. මොකද අප දෙන්නම එකම සංසාරේ ඉන් හින්දා, ඌත් ඒක දන්න හින්දා හොඬේ වනලා ආපසු දළු කඩාගෙන කෑවා. දැන් මේ ඇතුන්ගේ උපෙක්ෂාව, නොසෙල්වෙන සුලූ බව “සංසාරරණ්‍යයේ දඩයක්කාරයා” කෘතිය නිමා කරන්නත් සයිමන් යොදා ගන්නවා.

“හැන්දෑවේගන එන විට පැටවා පස්සේ ලාගත් ඇතින්න පෙරදා රාත්‍රියේ ඇය හා මගින්ම ආපසු කන්ද බහින්න පටන් ගත්තා.”

ඇතුන් ආපසු යන්නේ ද පෙරදා හාමදාම ආ එකම මඟ දිගේය. ඉතා විශාල වූ දිග පළල වූ ගන වනාන්තරවල පවා එකම ආගිය මගෙහි නිශ්චිත අඩිපාරක් වැටෙන්නේ ද එය ඇත් පාර යැයි ව්‍යාවහාරයට යන්නේ ද මේ නිසාය.

සංකල්පනාත්මකව ගත්තහමත් දඩයක්කාරයි, හාමුදුරුවොයි එකයි. දඩයම්කරුවා දඩයම් කරන්නේ කෙලෙස්, දඩයම් කරනවා කියන්නේ වෙඩිතියාගෙන, වෙඩිතියාගෙන යන එකට නොවෙයි. එවැනි ක්‍රමයක් ආශයන් මර්දනය කිරීමේදීත් හරියන්නේ නෑ. උවමනා තැනදී විතරක් සතාට වෙඩි තියනනේ, කෙලෙස් ආශයන්ටත් එහෙමයි. සයිමන් සංසාරය ඔහේ තිබුණාවේ කියලා ඉන්නේ නෑ. ඔහු එය විශ්ලේෂනය කරනවා. අර තම්මැන්නාවෙන් පටන් ගන්නා ඉතිහාසය ද විශ්ලේෂණය කරනවා. ඔහු එහිදී ප්‍රයෝජනයට ගන්නේ පවුල, පෞද්ගලික දේපල කෘතිය තුළ එංගල්ස් විසින් ඇති කරනු ලබන මානව වාදයාත්මක මතයි. එක් තැනකදී දඩයක්කාරයා පොකුණක් දකිනවා. එයින් කිලි පොලායන ඔහු පොකුණට බහිනවා. එතනදි තමයි ඔහුට නාග කන්‍යාව හමුවන්නේ. ඒ නාග කන්‍යාව තමයි එංගල්ස් තම කෘතිය තුල සඳහන් කරන පැරැන්නාගේ සෘංගරය, එහිදී ඔහු පැහැදිලි කරනවා මුල් කෘතියේ පවුල තුල ලිංගික ආලය වර්ධනය වී තිබුණෙ නැහැ කියලා. දඩයක්කාරයාගේ කුල තුළ දරන ගැසී සිටි නාග රාජයා ද අවදිවන්නේ අර නාග ගනයාව දැකීමෙන්. ඔහුට ඛෙරකාරයාගේ දුව තමයි හමුවන ප්‍රථම කාන්තාව එතෙක් ඔහුට හමුවෙලා තිබුණේ පැරැන්නාගේ සෘංගාරය සංකේතවත් වූ නාග කන්‍යාවයි.

දඩයක්කාරයා ඛෙරකාරයාගේ දුව සමඟ පඩි පෙළ දිගේ කන්ද නැග්ගත් ආපසු බහින්නේ පඩි පෙළෙන් නොවෙයි. ඛෙරකාරයාගේ දුවට කෑම රැගෙන ඔහු පඩිපෙළේ හමුවීමට පෙර මෙන් රූටාගෙන යයි. පහළට එන්නේ පවුල කියන දෙයට පිටින් ඉන්න කොට එයට ආදලා ගන්න කෙලෙස් කරන අරගලය සයිමන් බෞද්ධ දර්ශනය මත ඉඳගෙන පැහැදිලි කරනවා. දඩයක්කාරයා සභ්‍යත්ව හතක් පොළොව තුලට යනවා. එහිදී ඔහුට තම රූපයට සමාන රූපයක් ඇති ඇට සැකිල්ල ලඟ වැටී ඇති හැඩි දැඩි පොරවක් දඩයක්කාරයා දකිනවා. එහි තලය සෙල්මුවා. මිට වානේ. ඔහු කරතබාගෙන එන මේ පෙරොව අතහරින්නේ තරබාරුවා හා කෘෂයා අතර අරගලයේ දී තුවක්කුව ගත්තට පස්සේ, මාක්ස් කියූ නිෂ්පාදන බලවේග මත පීලිපැනීම හා සංවර්ධනය මත පීලිපැනීම හා සංවර්ධනය පිළිබඳ ප්‍රවාදය සයිමන් සංකේතාත්මකව මේ කෘතියේ දක්වනවා.


සයිමන්ට මේ කෘතිය රචනා කිරිමේ දී අනුභාවයත් පෑ තින්තන ධාරාවන් තමා ලාංකික සම්භාව්‍ය සාහිත්‍යයත්, වන්නි හත්පත්තුවේ ජන සාහිත්‍යයත්, සමස්ත ලාංකිකයාගේ ආධයාත්මය මේ කෘතිය තුලින් හෙළිකරලා තියෙනවා. නමුත් ගැටලූව වන්නේ මේ කෘතිය විඳින්නට දඩයක්කාරයා වෙලා පමණක් බැහැ. හාමුදුරුවන් වෙන්නත් ඕනේ. මොකද දඩයක්කාරයා පවතින්නේ හාමුදරුවන් නිසයි. දඩයක්කාරයා තුළමයි හාමුදුරුවෝ ඉන්නෙත්.

දඩයක්කාරයාගේ දුවව අරන් ආවට පස්සේ තමා දඩයක්කාරයා පවුල සංස්ථාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ. මේ කාලයේම බට්ටිත්තාත්, බට්ටිත්තීත් කාක බෝධි පැළයෙහි කූඩුවක් හදනවා. මේ සමාජයේ ඇති තත්වාරෝපිත බව තුළ තමා අපි පවුල් සංස්ථාව ගොඩනංවන්නේ. මේක සයිමන් අතින් ලියැවුණු ඉසිවර දැක්මක්. බෂෙයීස් සිංගර් කිව්වා එක සියවසකට එක කෆ්කා කෙනෙක් ඇති කියලා. ඇති වුනත් මදි වුනත් සයිමන් නවගත්තේගමලාත් පහළ විය හැක්කේ ඉතිහාසයට එක්කෙනෙක් විතරයි. ලාංකික විචාරයේ මිණුම් දඬුවල දිග පළල මදි වීම නිසා සයිමන්ගේ කෘතිවලට වුනේ ලොකු අසාධාරණයක්.

නිහාල් රත්නායක


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල [සුහර්ෂනී ධර්මරත්න, නන්දා මාලනී, එම්. ආර්. චූලසිංහ] - ගීතය අහන්න.

සුහර්ෂනී ධර්මරත්නගේ පද රචනයෙන් ද එම්. ආර්. චූලසිංහගේ ස්වර රචනයෙන් ද සමලංකෘත මේ ගීතය නිල- ධනේශ්වර ගීත විචාරය විසින් ඉහලින් ම වර්ණනයට පාත්‍ර කරනු ලැබූවකි.

"බලා එන්ට මහ පෙරහැර
සිදාදියට මං ගිය කළ..."


ගීතයෙහි කථකාව නගරයට පැමිණෙනුයේ හුදෙක් සංස්කෘතික සංදර්ශනයක් නරඹා ආපසු ගමට යනු පිණිස නො හේ.

පංති සමාජය තුළ දිවිගෙවන්නන්ට තම ජීවන පැවැත්ම තහවුරු කරගනු වස් ස්වකීය කැමැත්තට පිටින් නිශ්චිත සමාජ සම්බන්ධතාවන්ට ඇතුල්වීමට බල කෙරෙයි. මේ ගීතයෙහි කථකාව ද එසේ ධනේශ්වර සමාජ කොන්දේසි යටතේ ගමෙන් නගරයට ඇද දමනු ලබන්නියකි.

එබැවින් පද රචිකාව පෙරහැර නම් රූපකය මෙහි දී යොදා ගනුයේ නාගරික ධනේශ්වර සමාජ ජීවිතයෙහි යථාර්ථය රූපනය කරනු පිණිස විය යුතුය.

එහෙත් වැඩවසම් සමාජ පරිසරයී ය ධ්වනිතාර්ථ ගැබ්කොට ගත් පෙරහැර වන් රූපකයක් තුළින් නාගරික ධනේශ්වර සමාජ ජීවිතයෙහි රිද්මය කිසිසේත් ම මතු ව නො යේ.

නාගරික පරිසරය තුළදී කථකාව ලිංගිකව සූරා කැවෙයි.

එනමුදු මෙකී අත්දැකීම හා බැඟනු සමාජික විෂය තවදුරටත් සූක්ෂ්මාත්මතාවයෙන් යුතුව ගවේෂණය කරනු වෙනුවට, සුළු ධනේශ්වර රැඩිකල්වාදී දෘෂ්ටියක් වන ස්ත්‍රීවාදයෙහි පීඩනයෙන් මැඩී ගිය පද රචිකාව, කථකාව සමග අනන්‍ය වෙමින්, එම දෘෂ්ටිවාදාත්මක කුණපය යථාර්ථය මත බලෙන් පටවයි:

"පිලේ කඩ පිලේ අගුවල
දොලේ තොටුපොලේ බැදිවල
පැලේ වැඩපොලේ ඇවිලී
රාග ලැව්ගිනී..."


රචිකාවට අනුව කුදු මහත් සමාජ දේහය ම රාගාග්නියෙන් ඇවිලෙයි. සෙයිලමේ මතු නොව ගම් මැද්දේ ද බමර පිරිවර රොන් සොයා ඇදෙති. පන්ති පීඩා නැත. වාර්ගික පීඩා නැත.

'ග්‍රාම ධර්මය ම' ජීවිතය කොටගත් මේ පුරවරය (පුරිස සංහතිය) දවා හළු කරන ලෙස අවසන ඇය සිද්ධ පත්තිනිය යාදින්නී ය:

"කඩා තන මඩල සරොසින
දවා ගිනි ගැනුන පුරවර
දවාලනු මෙපුර සැනෙකින
සිද්ධ පත්තිනී..."


එපමණකුදු නොව මෙහි දෙවන හා තෙවන පාදයන් හි:

"දවා ගිනි ගැනුන පුරවර
දවාලනු මෙපුර සැනෙකින..."

යන තන්හි භාවය වනුයේ ගිනි ගැනුනු පුරවර දවාලනු යන්නයි. ගිනි ගැනුනු පුරවර යලි දවාලන්නේ කෙලෙසක ද? මෙය අර්ථ පුනරුක්තිය හෙවත් ඒකාර්ථ දෝෂය යි.

පුරුෂෝත්තමවාදය මෙන්ම ස්ත්‍රීවාදය ද පාලක පන්තික ව්‍යාජ විඤ්ඤානයකි.

ස්ත්‍රීවාදී විඤ්ඤානවාදීන්ට අනුව පන්ති සමාජයී ය ස්ත්‍රී පීඩනය යනු හුදෙක් පුරුෂෝත්තමවාදී සමාජයට හා පුරුෂයන්ට නෛසර්ගිකව ම ආවේනික දුෂ්ට චෛතසිකයක ප්‍රතිඑලයක් නිසා ඇතිවන දුගතියකි. එසේ ම පුරුෂෝත්තමවාදී විඤ්ඤානවාදය ද, ස්ත්‍රීය නෛසර්ගිකව ම පවිටු, චපල ආධ්‍යාත්මයකින් යුත් අධම ගණයේ සත්ව විශේෂයකැයි ද එහෙයින් ම ඇය දඬු ගසා යටත්කොට තබාගැනීම යුක්තියුක්ත වේ යැයි ද පවසයි.

ඊට විපරීතව ස්ත්‍රී පීඩනයෙහි මෙන් ම පුරුෂෝත්තමවාදයේ ද විෂයබද්ධ මූලයන් පවතිනුයේ මානව ඉතිහාසයේ පුද්ගලික දේපල ක්‍රමය බිහිවීමත්, එහි විකාශනයත් තුළ ය.

එබැවින් පන්ති සමාජයී ය ස්ත්‍රී පීඩනය නිරවශේෂයෙන් ම අහෝසි කළ හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්ති පෙරටු බලඇණිය යටතේ සංවිධානය වෙමින් පුද්ගලික දේපල ක්‍රමය මිහිමතින් අතුගාදැමීමෙන් පමණකි.

කරුණු මෙසේ වන හෙයින් සුහර්ෂනී ධර්මරත්නගේ මේ පද සරණියෙන් පන්තිසමාජයී ය ස්ත්‍රියගේ ඛේදවාචකය පිළිබඳ තථ්‍ය ඥානය අප හමුවෙහි සම්පාදනය නොවේ.

එහෙයින් ම, එම්. ආර්. චූලසිංහගේත් නන්දා මාලනීගේත් ප්‍රයත්නය ගැන කියනු ම කවරේ ද?

බලා එන්ට මහ පෙරහැර
සිදාදියට මං ගිය කල
පෙරළා එන්නට නොහැකිව
පාර වැරදුනි
සෙයිලමේ බමර පිරිවර
උදව්වට ඇවිත් කළ වින
කියන්නට ගියේ දෙවොලට
ගයා යාදිනි

ගොහින් මව්පියන් සමගින්
වැටී අඩදනින් බැතියෙන්
වඳින කල දෙවොල හිසමත
කැඩී පෙරලුනී
සිව්වරම් පතා ළසොවින
තිරෙන් මුවාවට ගිය තැන
අනේ ඳෙවිඳු පාමුල
ඉන සළුව ගිලිහිනී

පිලේ කඩ පිලේ අගුවල
දොලේ තොටුපොලේ බැදිවල
පැලේ වැඩපොලේ ඇවිලී
රාග ලැව්ගිනී
කඩා තන මඩල සරොසින
දවා ගිනි ගැනුන පුරවර
දවාලනු මෙපුර සැනෙකින
සිද්ධ පත්තිනී


විජය නන්දන පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails