Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


ජනතා විමුක්ති කතිකාව සහ විජේවීර උරුමය පිළිබඳ පශ්චාත්-මාක්ස්වාදී විශ්ලේෂණයක්| 2 කොටස| කියවන්න මෙතනින් යන්න. [මෙම ලිපිය මුල් වරට [2011 ඔක්තෝම්බර්-නොවැම්බර්] රාවය පුවත්පතෙහි ලිපි හයකින් පළ විය. මේ අවසන් කොටසයි.]

V ලිපිය|

"විජේවීර සංසිද්ධිය" වටහා ගැනීමට ස්ලේවෝයී ශීසෙක් "ලෙනින්ගේ ක‍්‍රියාව" පිළිබඳව පවසන දෙයට යළිත් සවන් දීම ප‍්‍රයෝජනවත් වනු ඇත. ලෙනින්ගේ ශ්‍රේෂ්ඨත්වය රඳා පවතින්නේ කුමක් මතදැයි යන ප‍්‍රශ්ණයට Repeating Lenin රචනාවේදී ශීසෙක් ප‍්‍රවේශ වෙයි. ලෙනිනියානු ක‍්‍රියාව එහි අද්විතීය රැඩිකල්භාවයෙන් යුතුව පැන නගින්නේ 1914 අඳුරු සීතල සිසිරයේදී යුරෝපයේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරය තීරණාත්මකව බිඳ වැටෙන නිමේශයේදී ය. පළමුවන ලෝක යුද්ධයේ ආරම්භය සළකුණු කෙරුණු ඒ නිමේෂය ඉතිහාසයේ කවර නම් හැරවුම් ලක්‍ෂයක් ද යත්, යුරෝපීය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ පංති අරගලය ද්විතීයික කොට තම තමන්ගේ රටවල ජාතිකවාදී රණකාමීත්වය සමග සම්මුතිගත වීමට තීරණය කිරීමෙන් දෙවන ජාත්‍යන්තරය සීසීකඩව විසිර ගියේය.

මේ ක්‍ෂතිමය අත්දැකීමෙන් ලෙනින් කොතරම් කම්පනයට පත් වූවා ද යත් ජීවමාන පශ්චාත් මාක්ස්වාදී දාර්ශණිකයෙකු වන ඇලන් බදියු එය "මහා ව්‍යසනයක්" ලෙස හඳුන්වයි. දෙවන ජාත්‍යන්තරයේ විශාලතම පක්‍ෂය වූද, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයේ කීර්තිමත් චින්තකයන් රැසකට සෙවණ සැපයූවා වූද ජර්මන් සමාජ ප‍්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය ජර්මනියේ යුධ ණය සඳහා වූ යෝජනා වලට සහාය පළ කළ බව ඇසූ ලෙනින් එය මුලින් විශ්වාස කළේ නැත. ඔහු පැවසුවේ එය රුසියානු කම්කරුවන් රැවටීම සඳහා රජයේ ඔත්තු සේවාවන් විසින් ප‍්‍රචලිත කළ ව්‍යාජ ප‍්‍රවෘත්තියක් බවයි. ඔබ Margarethe Von Trotta විසින් අධක්‍ෂණය කළ "රෝසා ලක්සම්බර්ග්" නමැති චිත‍්‍රපටිය නරඹන්නේ නම්, ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් යුධ අයවැයට පක්‍ෂව ඡන්දය දුන් පසුව කම්පනයට පත් වන ලක්සම්බර්ග් රයික්ස්ටාගයේ (ජර්මානු පාර්ලිමේන්තුවේ) පිය ගැට පෙළ බසිමින් යන දුරස්ථ රූප රාමුව ඔබගේ මනසේ සටහන් වනු ඇත. නමුත්, වෙනස් සන්දර්භයක ලක්සම්බර්ග්ගේ සේම ලෙනින්ගේ ද අද්විතීය විෂය පැන නැගීම සිදු වනුයේ මේ ව්‍යසනය විසින් විවෘත කළ අතීරණාත්මක අවකාශය තුළම ය. එක් අතකින් ලෙනින්ට එතෙක් ඔහුගේ අර්ථාන්විත ලෝකය වූ දෙවන ජාත්‍යන්තරය අහිමි විය. මේ අහිමි වීම ගත් කළ ඔහුගේ විෂයීය පැවැත්මට බාහිර (සංකේතීය) ආධාරකය සැපයූ අර්ථාන්විත යථාර්ථය (නොහොත් අනෙකා - the other) අහිමි වීමකි. අනෙකාගේ නොපැවැත්ම අභිමුඛ වූ මෙකී නිමේෂයේදී සත්‍යය කෙරෙහි එකම සාක්‍ෂි දරන්නා වන්නේ ලෙනිනියානු විෂය යි. අනෙක් අතින් දෙවන ජාත්‍යන්තරය විසින් ප‍්‍රචලිත කළ සමාජවාදය කරා දිශානත වූ ඉතිහාසයේ පරිණාමීය වර්ධනය පිළිබඳ තේරුම් කිරීම ද ලෝක යුද්ධයේ පැන නැගීම සමග බිඳ වැටුණි. මන්දයත් න්‍යායිකව සමකාලීන ඉතිහාසයේ කර්තෘත්වය ගත යුතුව තිබූ කම්කරු පංති ව්‍යාපාරය ජාතිකවාදය ඉදිරියේ පරාජයට පත් වූ බැවින් ය. ලෙනින් "ඇද වැටුණේ" මාක්ස්, එංගල්ස්, ප්ලෙකනොෆ් ඇතුළු ඔහුගේ කිසිදු අතීත ගුරුවරයෙකුගේ සහායක් හිමි නොවන භවසත්තාවාදී (existentialist ) මොහොතක් මතට ය; ජේසුස් "පියාණෙනි, නුඹ මා පාවා දුන්නේ මන්දැ" යි ඇසූ මොහොත මෙන්ය.


ශීසෙක් පෙන්වා දෙන්නේ මෙකී "සත්‍යයේ මොහොත" තුළ ලෙනින් ඔහුගේ "රාජ්‍යය සහ විප්ලවය" කෘතිය ලිවීමට මුළුමනින්ම කැප වූ බවයි. ඔහු තම සමීපතම සටන් සගයෙකු වූ කමනෙෆ්ට දන්වා යවන්නේ තමන් මරා දැමුවහොත් මේ කෘතිය පළ කරන ලෙසයි. රුසියානු මාක්ස්වාදයේ පියා ලෙස සැළකුණු ප්ලෙකනෙෆ්ට පමණක් නොව දෙවන ජාත්‍යන්තරයේ විශිෂ්ටතම න්‍යායවේදියා ලෙස සැළකුණු කෞට්ස්කිට ද වැරදී ගොස් ඇතැයි ලෙනින් මේ කෘතියෙන් පවසයි. ගතානුගතික මාක්ස්වාදයෙන් ව්‍යවහාරිකව සහ න්‍යායිකව කැඞී වෙන් වන ලෙනින් පළමු ලෝක යුද්ධය ආශ‍්‍රිතව ගොඩ නැගෙමින් යන සුවිශේෂී තත්ත්වයන් හමුවේ සහ බිඳ වැටුණු දෙවන ජාත්‍යන්තරයේ සංකල්පීය නටඹුන් අතරින් රුසියානු විප්ලවයේ "විය හැකිභාවය" දැක ගන්නට සමත් වෙයි.

ලෙනින්ගේ ශ්‍රේෂ්ඨත්වය සළකුණු වූයේ පවත්නා යථාර්ථය තුළ "විය හැකිභාවයක්" නොවූ රුසියානු විප්ලවය ඔහුගේ ක‍්‍රියාව මගින් විය හැකිභාවයක් බවට පරිවර්තනය කිරීම මගින්ය. 1917 අපේ‍්‍රල් මාසයේදී ස්විට්සර්ලන්තයේ සිට රුසියාවට පැමිණි ලෙනින් "බොල්ෂෙවික්වරුන් දැන් රාජ්‍ය බලය අත්පත් කරගත යුතු" යැයි ඔහුගේ "අපේ‍්‍රල් තිසීස" නම් ලියැවිල්ලෙන් තර්ක කළ විට පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයේ අති බහුතරය ඔහුට එරෙහි විය. ලෙනින්ගේ සමීපතම සගයන් පමණක් නොව ඔහුගේ බිරිඳ පවා ඔහු මනෝ ව්‍යාධියෙන් පෙලෙන්නේදැයි සැක පහළ කළාය. නමුත්, ඔහුගේ ක‍්‍රියාව විසින් යථාර්ථය ඉක්මවනු ලැබූ එම මොහොතේදී රුසියානු ඉතිහාසය පමණක් නොව මානව ඉතිහාසයම විමුක්ති දේශපාලනයේ මැදිහත්වීමෙන් යළි සන්දර්භගත කළ හැකි විය.

1960 දශකයේ මැද භාගයේදී විජේවීර අභිමුඛ වූයේත්, 2011 දී ඔහුගේ විමුක්තිවාදී උරුමය සොයා යන නව පරපුර අභිමුඛ වී සිටින්නේත් 1914 දී ලෙනින් මුහුණ දුන් ආකාරයේ "බදියානු ව්‍යසනයකට" යැයි පැවසීම අතිශයෝක්තියක් විය හැකිද? ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයෙකු වූ විජේවීර ඉපැරණි වාමාංශය විසින් ස්වකීය පරමාදර්ශයන් සම්මුතිගත කරනු සියැසින් දුටුවේය. 1964 සභාගය විසින් එන්. එම්. - කොල්වින් පරපුරේ වාම ප‍්‍රතිසංස්කරණවාදී ගමනක අවසානය සළකුණු විය. පරමාදර්ශයන් අත් නොහළ සෙසු වාමාංශිකයන් පවා පොතේ ගුරුවාදයක හිර වී ස්වයං- හුදෙකලාවට හෝ ස්වයං- විනාශයට ගමන් කරමින් තිබිණි. මේ බදියානු ව්‍යසනයේ නටඹුන් අතරින් "කොල්වින්ට පමණක් නොව ශන්ට පවා වැරදී ඇතැයි" නිගමනය කරන විජේවීර "මාක්ස්වාදය ලංකාවේ සුවිශේෂී තත්ත්වයන්ට ගැලපිය යුතු" ය යන ප‍්‍රවාදය මුල් වරට සංකල්පගත කරන්නට සමත් වේ. මේ ප‍්‍රවාදය ක‍්‍රියාවට නැංවීමේදී සිදුවූ සියලූම වැරදීම්, දුර්වලතා, විනාශයන් සහ වර්ගෝත්තමවාදී මංමුලාවීම් විවේචනය කරන අතරම අපට මේ ප‍්‍රවාදයේ ගැඹුරු, දාර්ශනික සහ දේශපාලනික අරුත ආරක්‍ෂා කළ නොහැකිද? ලංකාවේ අන්ත පිටිසර ගම්වල කුප්පි ලාම්පු එළියෙන් කොමියුනිස්ට් ප‍්‍රකාශණය කියවූ ක‍්‍රියාධරයන් තනන්නට සමත් වූයේ ඉහත කී ප‍්‍රවාදයේ ආලෝකයෙන් නොවේද? ලූවී අල්තුසර් "ලෙනින්ගේ උසස් දාර්ශණික ප‍්‍රවාද" පිළිබඳව Philosophy and Other Essays (1971) කෘතියේදී සාකච්ඡා කළේ නම්, අප විජේවීරගේ මේ ප‍්‍රවාදය ගැන කතා කරන්නට සහ එය අපගේ සමකාලීනත්වය තුළ පුනර්- අර්ථකථනයට ලක් කරන්නට ශාස්ත‍්‍රීයව පසුබට විය යුතුද? "ලංකාවේ සුවිශේෂී තත්ත්වයන්ට මාක්ස්වාදය ගැලපීම" යනු, අනිවාර්යයෙන්ම මෙරට වාර්ගික සහ ආගමික බහුතරයේ දෘෂ්ටිවාදය සමග අනුගත වීමක් අදහස් කරන්නේද? නොඑසේනම්, ග‍්‍රාම්ස්චි පැවසූ පරිදි ජනයාගේ පොදු දැනීම (common sense) බවට පරිවර්තනය වී තිබෙන ජනතා සම්ප‍්‍රදායන් සමග විවේචනාත්මකව ගැටෙන සහ පොදු ජන ජීවිතය සමග ඓන්ද්‍රීයව ගොඩ නැගෙන සමාජවාදී චින්තාවක් ගැන විජේවීර පරිකල්පනය කළා විය නොහැකිද? මේ අනුව ග‍්‍රාම්ස්චියානු දේශපාලන සාහිත්‍ය සමග ගණුදෙනු නොකළ ද ලංකාවේ ප‍්‍රථම අකාල- පරිණත ග‍්‍රාම්ස්චියානු චින්තකයා සහ ක‍්‍රියාධරයා විජේවීර යැයි කිව නොහැකිද? ග‍්‍රාම්ස්චියානු චින්තනයේ අරටුව වන න්‍යායේ සහ භාවිතයේ ඓන්ද්‍රීය එකතුව එනම්, ප‍්‍රයුක්තිය නොහොත් ප‍්‍රැක්සිසය (praxis) ලාංකේය සන්දර්භයක් තුළ ප‍්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූයේ විජේවීරගේ දේශපාලන ලියැවිලි සහ භාවිතයන් මගින් යැයි තර්ක කළ නොහැකිද?


මේ විජේවීර ආගමික සුරුවමක්, ප‍්‍රශ්ණ නොකර පිළිගන්නා වෘක්තෘවරයෙක් හෝ සැරසිලි භාණ්ඩයක් බවට පත් නොකර ඔහුගේ චින්තනයත්, ක‍්‍රියාකාරීත්වයත් යළි විමසා බලන (සහ එය විවේචනාත්මකව අගයන) පරපුරක් හමුවේ මතු කළ යුතු න්‍යායික ප‍්‍රශ්ණ රාශියකින් බිඳක් පමණි.


VI ලිපිය|

"සියල්ල මුල පටන් යළි අරඹන්න."

මේ විජේවීර ඔහුගේ මරණයට සුළු මොහොතකට පෙර ස්වකීය ව්‍යාපාරයේ ක‍්‍රියාකාරීන්ට/ ක‍්‍රියාකාරිනියන්ට දුන් පණිවිඩය යි. මේ ප‍්‍රකාශය එහි මතුපිට අරුතින් පමණක් සැලකිල්ලට ගෙන එය ආකර්ශණීය උධෘතයක් ලෙස උපුටා දක්වනු අප කොතෙකුත් දැක තිබේ. නමුත් මේ කෙටි වාක්‍යයෙන් සැබැවින්ම ඔහු ලාංකේය අනාගත තරුණ සමාජවාදීන්ට දුන් න්‍යායික හා දේශපාලනික පණිවිඩය කුමක්දැයි අප විමසා බැලූවහොත් අපට එහි ගැඹුරු අරුත් කරා සේන්දු වීමට හැකිවනු ඇත. මන්දයත්, විජේවීරගේ මෙම ප‍්‍රකාශය සිදුවන්නේ ලාංකේය වාමාංශික දේශපාලනයේ එක් යුගයක අවසානය මෙන්ම ගෝලීයව බර්ලින් තාප්පයේ බිඳී යාමෙන් සලකුණු වූ "සුසමාදර්ශීය විතැන්වීමක්" (paradigm shift - මෙයින් අදහස් වන්නේ දේශපාලනය පිළිබඳව පැවති මූලික පෙර සිතා ගැනීම්, න්‍යායන්, වටිනාකම් යනාදිය පැවතුණේ යම්කිසි සංකල්පීය රාමුවක් තුළද, එම සංකල්පීය රාමුව බිඳ වැටීමයි; නව සංකල්පීය රාමුවක් කරා අවතීර්ණ වීමයි.) සනිටුහන් වූ නිමේෂයකදීය.


"සියල්ල මුල පටන් යළි ඇරඹීම" යන්නෙහි අරුත තමන් එතෙක් පැමිණි මාවත ඔස්සේ එතෙක් පැමිණි විලාශයෙන්ම දිගටම ගමන් කිරීම විය නොහැකිය. යමක් යළි ඇරඹිය යුතු වන්නේ එය කොතැනකදී හෝ වැරදී ගොස් තිබීම නිසා නොවේද? ඉතිහාසයේ එකම සිදුවීම දෙවරක් සිදුවිය නොහැකි බව දන්නා මාක්ස්වාදියෙකු, වෙනස් වූ තත්ත්වයන් හමුවේ පැරණි ක‍්‍රියාමාර්ගයම යළි අනුගමනය කරන ලෙස උපදෙස් නොදෙනු ඇත. ස්වකීය ක‍්‍රියාවේ අග‍්‍රඵලය වූ ව්‍යාපාරයම පෙරළා ස්වකීය ගුරුවරයා විය යුතු බව ව්‍යවහාරිකව දන්නා "ප‍්‍රැක්සිසයේ දර්ශණය" (philosophy of praxis - ග‍්‍රාම්ස්චි මාක්ස්වාදය හැඳින්වීම සඳහා මෙම යෙදුම භාවිතා කළේය) අනුගමනය කරන්නෙකු එවන් උපදෙසක් කිසිසේත්ම නොදෙනු ඇත. විජේවීර ඔහුගේ දේශපාලන භාවිතය තුළ දී කිහිප වරක්ම ස්වකීය ව්‍යාපාරයේ අසමත්වීම් වලින් යළි උගෙන "සියල්ල මුල පටන් යළි ඇරඹූ" අවස්ථා කිහිපයක්ම පසු කළ නායකයෙකි; ඇතැම් විට ලංකාවේ සිටි එවන් එකම නායකයා ඔහුය. 1971 සමාජවාදී අරගලයේ (එය කැරැල්ලක් ලෙස නම් කළේ බි‍්‍රතාන්‍ය රැජිනගේ ආණ්ඩුවයි) පරාජයෙන් පසුව තමන් පැමිණි මග දෙස ස්වයං- විවේචනාත්මක අවලෝකනයක යෙදෙන්නට ඔහු සමත් විය. 1980 දශකයේ මුල් භාගයේදී "නිර්ධන පංතික ජාත්‍යන්තරවාදය" පිළිබඳ ඔහුගේ ප‍්‍රවේශය හැඩ ගැසුණේ එම යළි ඇරඹීමේ මග සළකුණු සටහන් කරමින් ය.

නමුත්, පක්‍ෂ තහනමින් පසුව සහ නිව්ටන් ගුණසිංහ ලාංකේය දේශපාලනයේ නව සමතුලිතතාවක් (new political equilibrium) ලෙස හැඳින්වූ 1983 ජූලි මාසයෙන් පසු යුගය තුළ විජේවීර "යටත් විජිත විරෝධී ජාතික විමුක්ති අරගලයෙන් සමාජවාදය කරා" යන ප‍්‍රවාදය යළි සන්දර්භගත කළේය. මෙහිදී සිහි තබා ගත යුතු කාරණය නම් කොමියුනිස්ට් රාජ්‍ය පද්ධතියක් පැවති සහ වාමාංශික දේශපාලනයේ විවිධ ප‍්‍රවණතා තෘෂ්ණි යුද්ධයෙන් හැඩ ගස්වනු ලැබූ යුගයක ඉහත කී ප‍්‍රවාදය ත්‍රෛයිමහද්වීපික රටවල සමාජවාදී ව්‍යාපාරයන් අතර පොදුවේ පිළිගැනුනු එකක් බවයි. පශ්චාත්- මාක්ස්වාදී න්‍යායික භාෂාවෙන් කිවහොත් ජාතිකවාදය නමැති දෘෂ්ටිවාදී සංඝටකය (ideological category ) සමාජවාදී පරිකල්පනාවක් (socialist imagination ) තුළ ස්ථානගත කරන්නට සහ එනයින් ජාතිය සමාජවාදයට යටත්ව යළි අර්ථකථනය කරන්නට හැකි වූ ඓතිහාසික තත්ත්වයක් යටතේ විජේවීර මෙම සූත‍්‍රය වර නැගීය. නමුත් ජාතිකවාදය වාර්ගික හා ආගමික අනන්‍යතා මගින්ද අර්ථකථනය කෙරුණු ඓතිහාසිකත්වයක් තුළ ජ. වි. පෙ. පමණක් නොව ලාංකේය වාමාංශයේ සියලූම ධාරාවන් මෙම කාරණයේදී ප‍්‍රශ්ණකාරී ප‍්‍රවේශයන් අනුගමනය කළහ. මෙරට ප‍්‍රථම කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ 1940 දශකයේදී කොළඹ නගරයේ සිංහල වර්ගවාදයේ ප‍්‍රමුඛ පෙළේ ප‍්‍රකාශකයෙකු බවට පත් වූ අතර 1956 දී ස්ව- භාෂා ප‍්‍රතිපත්තිය වෙනුවෙන් දෘඪතරව පෙනී සිටි ල.ස.ස.ප.ය සහ කො.ප.ය 1960 දශකයේ මැද භාගය වන විට සිංහල- බෞද්ධ වාර්ගික- ජාතිකවාදී ජනප‍්‍රියවාදයේ ප‍්‍රකාශකයන් බවට පත් වූහ. 1967 දී සේනානායක- චෙල්වනායකම් ගිවිසුමට එරෙහිව "ඩඩ්ලිගේ බඩේ- මසල වඩේ" යැයි මොර දෙමින් පෙළපාලි ගියේද 1972 "සිංහල- බෞද්ධ ජනරජ ව්‍යවස්ථාව" කෙටුම්පත් කළේද ඔවුන්ය. (එහෙයින් ජාතික- ජනප‍්‍රියවාදය සහ සමාජවාදය අතර සම්බන්ධතාව පිළිබඳ ගැටළුව ජ.වි.පෙ.ට පමණක් සීමා කොට වටහාගත නොහැකි අතර එය සමස්ත වාමාංශයේම ගැටළුවක් ලෙස විමසා බැලිය යුතුව පවතී ).

කෙසේ උවත්, 1989 නොවැම්බරයේදී විජේවීර සිටියේ ජාතික විමුක්ති අරගලය පිළිබඳ සූත‍්‍රය ලාංකේය සුවිශේෂ තත්ත්වයන්ට ගැලපීමට දැරුණු ඔහුගේ සුවිශේෂී ප‍්‍රයත්නය අසමත් වීමේ අත්දැකීමට සාක්‍ෂි දරමින් පමණක් නොවේ. එම සූත‍්‍රයට ලෝක පරිමාණව වලංගුතාවක් ලබා දුන් කතිකාමය තත්ත්වයන් ග්ලාස්නොස්ට් සහ පෙරෙස්ට්‍රොයිකා කුණාටුවේ සැඩ පහරට ලක්ව බිඳ වැටෙන ආකාරය ද ඔහු දකිමින් සිටියේය. එය ඇතැම් විට වාමාංශික සන්නද්ධ දේශපාලන උපාය මාර්ගයේද අසමත්භාවය සලකුණු වූ නිමේශයකි. නව- ලිබරල් ධනවාදය ගෝලීය බලාධිකාරයක් බවට පරිවර්තනය වෙමින් ද, ත්‍රෛයිමහද්වීපික රටවල ඊනියා ජාතිකවාදී ධනේෂ්වරය (හාඞ් සහ නෙගි‍්‍රගේ වචනයෙන් කිවහොත්) "නව- ලිබරල් අධිරාජ්‍යයේ" ස්වදේශීය ඒජන්තයින් බවට පරිවර්තනය වෙමින් ද, ඇමරිකානු- විරෝධී ජාතික විමුක්ති අරගලය පිළිබඳ සටන්පාඨය පරිවාරයේ රටවල වාමාංශික සළු පොරවාගත් අන්ත දක්‍ෂිණාංශික නව- කොම්ප‍්‍රදෝරු බලාධිකාරවලට යුක්ති සහගතභාවයක් ලබාදෙන සූත‍්‍රයක් බවට පරිවර්තනය වෙමින් ද පැවතිණ. විජේවීර, බිහිවන නව අධිරාජ්‍යය දකින්නට තරම් කාලයක් ජීවත් නොවීය. නමුත්, දේශපාලන- ආර්ථිකය විෂයට ලූමුම්බා විශ්ව විද්‍යාලයෙන් විශිෂ්ට සාමාර්ථයක් හිමිකරගත් ඔහුගේ බුද්ධිමය දෑසට ගොඩ නැගෙන නව ඓතිහාසික තත්ත්වයන්ගේ සංකල්පීය හැඩතලයන් දිස් වන්නට ඇත. එසේනම්, "මුල පටන් යළි අරඹන්න" යැයි ඔහු පවසන්නට ඇත්තේ මිනිස් වර්ගයා පොදුවේද, ලාංකිකයන් සුවිශේෂීවද නව ඉතිහාස- කාල රාමුවකට, එනම් නව සන්දර්භයකට අවතීර්ණ වෙමින් සිටින බව ඔහු වටහා ගත් නිසාත්, එම නව ඉතිහාස- කාල රාමුව තුළ නව උපායමාර්ගික ප‍්‍රවේශයක් ගත යුතුය යන විදර්ශනාත්මක කල්පනාව ඔහුගේ මනසේ විදුලි ඉරක් සේ ඇඳීගිය නිසාත් වන්නට පුළුවන. (එම නව උපායමාර්ගික ප‍්‍රවේශය "ප‍්‍රජාතාන්ත‍්‍රික අරගලයෙන් සමාජවාදය කරා" යන්න විය නොහැකිද? )

විජේවීර ඉහත පණිවිඩය ලබාදී දෙවිසි වසරකට පසුව ලංකාවේ අප වෙසෙන්නේ කවර නම් වටාපිටාවකද? නව- ලිබරල් ධනවාදය තදින්ම වැළඳගත් (නමුත් එයට වචනයෙන් බැණ වදින) බලාධිකාරයක් නිර්මාණය වී ඇත; මෙම බලාධිකාරයේ කේන්ද්‍රය බවට පත් වූ නව- කොම්ප‍්‍රදෝරු පාලක ස්ථරයක් ගොඩ නැගෙමින් තිබේ; සිංහල- බෞද්ධ රණකාමී ජාතිකවාදය රාජ්‍ය දෘෂ්ටිවාදය බවට පත්ව තිබේ; "අධිරාජ්‍ය විරෝධය" සහ "ජාතික විමුක්ති අරගලය" මෙම නව- ලිබරල් සහ නව- කොම්ප‍්‍රදෝරු පාලනයේ සූත‍්‍රපාඨ බවට පත්ව තිබේ; ව්‍යවස්ථාමය, අධිකරණමය සහ විධායක බලතල අන් කවර කළෙකවත් නොවූවිරූ පරිදි කුඩා පුද්ගල කවයක් අත සංකේන්ද්‍රණය වී ඇත; මේ භයංකර සත්‍යය ප‍්‍රගතිශීලීත්වයේ සළුපිළි වලින් සරසන වාම වේෂධාරී ඇමතිවරුන් පිරිසක් ද, මාධ්‍ය- තහනම සදාචාරමය ලෙස යුක්ති සහගත කරන විකල්ප- වේෂධාරී ආණ්ඩු ගැති පුවත්පත් කතුවරුන් පිරිසක් ද, "සතුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදය" යැයි දේශණා කරන (සහ එනයින් "සතුරාගේ සතුරා" ට කඩේ යාම සඳහා න්‍යාය සම්පාදනය කරගන්නා) බුද්ධිමය හෙංචයියන් පිරිසක් ද පහළ වී සිටිති.


ඉදින්, මේ එළඹෙමින් ඇත්තේ ‘සියල්ල මුල පටන් යළි අරඹන්න’ යන විජේවීරගේ අවසන් පණිවිඩය එහි ගැඹුරු දේශපාලනික සහ දාර්ශණික අරුතින් යළි වටහා ගන්නට ලාංකේය තරුණ සමාජවාදීන් උත්සුක විය යුතු කාල පරිච්ඡේදයක් නොවේද?

[ලිපි පෙළ අවසන්. ]

සුමිත් චාමින්ද



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails