Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙනයාම වෙනුවෙන් ඔහුගේ ප්‍රධාන උපදේශකයෙකු මෙන්ම සී.අයි.ඒ. සංවිධානයේ ප්‍රධානියාද වූ විලියම් ජේ කේසි විසින් ප්‍රධාන පෙළේ වෙළඳ ප්‍රචාරණ ආයතන මොළකරුවන් කිහිපදෙනෙකු යොදවා සැලසුමක් නිර්මාණය කළේය. සී.අයි.ඒ. සංවිධානයේ පූර්ණ සහයෝගයෙන් සහ ධවල මන්දිරයේ ආර්ථිකමය දායකත්වය යටතේ මෙකී සැලසුම ක්‍රියාත්මක විය. එය පසුව "සංජානන කළමණාකරනය" (Perception Management) නමින් සංකල්පයක් ලෙස ගොඩනැගුණි. ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමෙන්තුව විසින් ඉදිරිපත්කොට ඇති සංජානන කළමණාකරණය සම්බන්ධයෙන් වන අදහස පහත පරිදිය.

"ඉලක්කගත පිරිසගේ හැඟීම්, එලැඹුම් හා ඉලක්කයයන් වෙත මෙන්ම ඔවුන්ගේ නිල ඇස්තමේන්තු, බුද්ධිමය තොරතුරු පද්ධතියට හා නායකයින්ට බලපෑම් කළ හැකි පරිදි යම් ක්‍රියාකාරකමක් ඇතිකිරීම හෝ වසන් කිරිම සහ ඉන් ලැබෙන ප්‍රතිඵලයක් වශයෙන් අවසානයට ගනු ලබන තීරණයන් හා හැසිරීම් අදාළ මව් පාර්ශවයට වාසිවන ආකාරයෙන් ක්‍රියාත්මක වීමයි."

කොටස් වශයෙන් වෙන්කොට වෙන් වෙන්ව අධ්‍යයනය කළ යුතු කොටස් ගණනාවකින් සමන්විත වූ නිර්වචනයක් වුවද, තේරුම් ගැනීමේ පහසුව පිණිස වඩා සරලව අර්ථදක්වන්නේ නම්, මෙහිදි සිදුවන්නේ වඩා සැලසුම් සහගත ලෙසින් යම් ඉලක්කගත පිරිසකට තොරතුරු පෙරා (‍filter) ඉදිරිපත් කිරීමත්, තවත් පසෙකින් තොරතුරු වසන් කිරීමත් එමෙන්ම සත්‍ය නොවන තත්ත්වයක් ප්‍රසිද්ධියට පත්කිරීමත්ය. අවසාන වශයෙන් එය සැලසුම් සහගත රැවටීමකි (deception).

වඩාත් සැලසුම්ගතවූ අධ්‍යනයන්ට මුල්තැන දෙමින් හා එහි ප්‍රතිඵල අනුව සිය ඉලක්කයන් වෙනුවෙන් වඩාත් පරිසමාප්ත ආකාරයකින් ක්‍රියාත්මක වන සී.අයි.ඒ. සංවිධානය මෙකී සංකල්පයට අනුව ක්‍රියාත්මක ව ඇති ආකාරය තේරුම්ගැනීමට නම් මූලිකවම මෙකී සංකල්පය පිළිබඳව වඩා ගැඹුරු අධ්‍යයනයක් අවශ්‍ය වුව ද, මෙකී සංකල්පය ඇසුරින් ලංකාවේ වර්තමාන තත්ත්වය විග්‍රහ කිරීමට නම් ඒ තරම් ගැඹුරු අධ්‍යයනයක් අවශ්‍ය නොවන බවට මෙම ලියුම්කරු විශ්වාස කරයි. ඊට හේතුව ලංකාවේ භාවිතාව තුළ අධ්‍යයන මත පදනම්ව ගොඩනැගුනු සංකල්ප ඔස්සේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේ දී එහි මූලික සංකල්පයන් වලින් පීලි පැන බුද්ධිමය හෝ විධිමත් උපක්‍රමයන් වලට වඩා හැගීම් වලට හා තමන්ගේ පුරුදු සම්ප්‍රදායන් අනුකූලව කටයුතු කිරීමේ පුරුද්ද යි. ඒ පිළිබදව සිදුකළ යුතු අධ්‍යනය මින් එහා ගිය සමාජ විද්‍යාත්මක හා ඓතිහාසික කරුණු මත පදනම් වූවකි‍.


ඉහත සංකල්පය ඔස්සේ ලංකා රජයේ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීම සදහා පසුගිය කාලය පුරාවට ලංකා රජය විසින් උත්කර්ෂයට නැංවූ ව්‍යාපෘති මොනවාදැයි විමසා බලමු.

1. ජනාධිපතිවරයා සහභාගි වන සියලු විදේශ සංචාර
2. හම්බන්තොට වරාය
3. මන්නාරම් මුහුදු තීරයෙන් තෙල් නිධි සොයාගැනීම
4. මාතර කොළඹ අධිවේගී මාර්ගය
5. නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල


ඉහත නිර්වචනයේ දැක්වෙන "ඉලක්කගත පිරිස" යනු රටේ පුරවැසියන් ලෙස සැළකුවහොත් ඔවුන් මේ වන විට සමාජයේ ගත කරනුයේ විකල්ප නායකත්වයක් නොමැති තත්ත්වයකය. විපක්ෂයේ ඇති දේශපාලන පක්ෂ සියල්ල අර්බුදයන්ට ගොදුරුව හෝ දෙකඩ වී ඇති අතර ඊට අමතරව ශක්තිමත් නායකත්වයක් සැපයිය හැකි සිවිල් සංවිධාන හෝ වෘත්තිය සමිති නායකත්වයක් ද දක්නට නො හැක. මේ නිසාවෙන්ම ජනතාව මුලාවට පත්කිරීම පහසු වී ඇති අතර ජනතාව බලමුළු ගැන්වීම් ද අඩපණ වී ඇත.

ඉහත ව්‍යාපෘති වෙන් වෙන්ව ගත් කළ සමස්තයක් ලෙස එහි ප්‍රතිඵල රටේ බහුතර ජනතාවකට භුක්තිවිදීමේ ඉඩකඩේ සීමාකම් හෝ කාලාන්තරයක් ගතවීමේ ඉඩකඩ වැඩිය. හම්බන්තොට වරාය මේ සදහා වන හොඳම උදාහරණයයි. එය ගොඩනැගීම සදහා වන තීරණයේ සිටම තාක්ෂණික මෙන්ම මූල්‍යමය වශයෙන් වු දෝෂයන් ගණනාවක් තිබුණ ද රජය විසින් අතිශයෝක්තියෙන් යුතුව සිදුකළ වර්ණනා සහ වෙළද ප්‍රචාරයන් ඔස්සේ රටේ බහුතර ජනතාවකට එහි පසුපස වන වැරැදි වසන්කොට තැබිණි. මෙකී ව්‍යාපෘති වන්දනාමාන කිරීමේ සංකල්පය බිහිකිරීම තිරය පසුපස ඇති කාරණා සමස්ත මහජනතාවගෙන් බහුතරයකගෙන් වසන් කොට තැබීමට සමත්විය. මෙම උපක්‍රමය ම දකුණු කොළඹ අධිවේගී මාර්ගයට අදාළව ද, උතුරු කොත්මලේ ජලවිදුලිබලාගාර ව්‍යාපෘතිය තුළදී ද සිදුවිය. මන්නාරම් බොක්කේ වන තෙල් නිධි පිළිබදව වන මුසාව කලක සිටම දේශපාලන වාසි වෙනුවෙන් යොදාගනු ලබන්නක් බව දැන් දැන් බොහෝ පිරිසකට අවබෝධ වී ඇත. සාම්ප්‍රදායික මුලාකිරීමේ උපක්‍රම හා සංජානන කළමණාකරණය පිළිබදව කරුනු දක්වන මොනෑෂ් සරසවියේ ආචාර්ය කාලෝ කෝප් මාධ්‍ය භාවිතය පිළිබද කරුණු මෙසේ දක්වනු ලබයි.


1. දත්ත හා කරුණු මූලික( infotainment) ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සහ ඒ පිළිබදව සිදුකරන අධ්‍යයන හෝ විශ්ලේෂණ ඇතුලත් ප්‍රවෘත්ති මගහැරීම.
2. ප්‍රේක්ෂකයින් වඩාත් ආකාර්ශනය කරගන්නා වූ නාට්‍යානුසාර, හිංසනය හෝ විවාදාත්මක කරුණු කාරණා ඇතුලත් ‍දෑ ප්‍රචාරණය.
3. ජනතාව අතර වඩාත් ප්‍රචලිත අගතිගාමී අදහස් ප්‍රචාරණයට වැඩි ඉඩකඩක් ලබාදීම.


ජීවන වියදම පිළිබදව ඉතා දැඩි පීඩනයක් ජනතාව අතර පවතින විට, රාජ්‍ය ප්‍රතිපත්ති (එළවළු කූඩ භාවිතය අනිවාර්ය කිරීම, පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් නැවත පණගැන්වීම වැනි) පිළිබදව විරෝධයක් රටපුරා පවතින විට තොරතුරු ලෙස මහජනතාවට වෙත ලැබෙනුයේ හුදු වර්ණනා, අතිශෝක්තියට නංවන ලද ප්‍රකාශ, උද්ඝෝෂණය කරනු ලබන මහජනතාව පිළිබදව අගතිගාමී ලෙස ලේබල් අලවනු ලැබූ ප්‍රකාශ පමණි. අනෙක් අතට කිසිලෙසකින් වත් ඵලදායී දෙයක් යැයි පැවසිය නොහැකි පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරු අතර ක්‍රිකට් තරගයට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් ලැබුණි. එක්පසෙකින් මාර්ග කිහිපයක් ද අවහිර කරමින් පැවැත්වුනු මෙකී තරග තුළින් හුදු ජනප්‍රියවාදයත්, දේශපාලන ප්‍රතිරෝධයන් සමනය කිරීම වැනි කාරණා හැරුනු කොට කිසිදු ඵලදායී දෙයක් දක්නට නොමැත.

රටේ නායකත්වය පිළිබදව ජනතාව තුළ නිර්මාණය කිරීමට වෙහෙසෙනුයේ ආගමික භක්තියක් වැනි ස්වභාවයකි. රටේ ජිවන තත්ත්වය දිගින් දිගටම පහළ බසිමින් පවතින විට රටේ ඇති අර්බුද හා යාකොට රටේ ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් කිසිලෙසකින්වත් කියවෙන්නේ නැත. ඒ ‍වෙනුවට දංගෙඩියට යාමට වෙනත් ඇමතිවරයෙකුට හෝ මන්ත්‍රීවරයෙකුට හෝ වෙනයම් රාජ්‍ය නිලධාරියෙකුට සිදුව ඇත. (උදා - පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් වන ප්‍රශ්නයේ දී සියළු චෝදනා එල්ලවූයේ මුදල් අමාත්‍යංශයේ ලේකම් පී. බි. ජයසුන්දර වෙතය. කුඩු වෙළදාම සම්බන්ධයෙන් සියලු වැරදි දුමින්ද සිල්වා වෙත ය. එළවළු කූඩ ප්‍රශ්ණය ජොන්ස්ටන් ප්‍රනාන්දුටය.) එහෙත් කිසියම් ප්‍රශංසනාත්මක කාරණයක් සිදුවේ නම් එහි පූර්ණ ගෞරවය හිමිවන්නේ ජනාධිපතිවරයාටය. (ඒවායේ සංකල්ප වල අයිතිය ද ජනාධිපතිවරයාට ලබාදීමට බො‍හෝ අය පැකිලෙන්නේ නැත. උදා- නෙළුම් පොකුණ රඟහල) මේ සියළු කාරණාවන් ජනාධිපතිවරයා හා ආණ්ඩුවේ ප්‍රතිරූපය වැඩවීමට යොදාගනු ලබන උපාය උපක්‍රම බව මේ අනුව පැහැදිලි ය.


ලංකාවේ තොරතුරු සැපයීමේ ඇති ඉතා පිළිකුල් සහගත ක්‍රියාවක් වනුයේ අගතිගාමී ලේබල්කරණය යි. කිසිදු පිළිගත් සාධක වලින් තොරව සිදුකරන නාමකරණයන් බහුලව දක්නට ලැබේ. එහි ආසන්නත ම උදාහරණය වනුයේ දිනමිණ කතෘ සහ ස්වාධීන රූපවාහිනියේ විමසුම වැ‍ඩසටහනේ රචකයා වන මහින්ද අබේසුන්දර විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් අරභයා සිදුකරන චෝදනාය. තමන් සතුව ඔප්පු කළ හැකි සාධක වේ නම් ඒවා‍ නොබියව හෙළිදරව් කිරීම මෙන්ම තමන්ට ඔප්පු කිරීමට නො හැකි නිශ්චිත සාධක නො මැති කරුණු කාරණා වෙනුවෙන් අදහස් නොදක්වා සිටිම මාධ්‍යකරුවා සතු සදාචාරමය යුතුකමකි.

රැවටීම සඳහා වෙළද ප්‍රචාරණ ආයතන, මහජන සම්බන්ධතා ආයතන වල සහයෝගය රොනල්ඩ් රේගන් වෙත ලබාගැනීමට සී. අයි. ඒ ආයතනය කටයුතු කළාක් මෙන් ම ලංකාවේ ජනාධිපතිවරයා ද බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ මහජන සම්බන්ධතා ආයතනයක් වන Bell Pottinger වෙතින් සහයෝගය ලබාගෙන තිබෙන බවට පසුගියදා බ්‍රිතාන්‍ය පුවත්පතක් හෙළිදරව් කළේය. [Independent.co.uk] Bell Pottinger සමාගම යනු විකීපීඩියා විශ්වකෝෂයේ ආචාරධර්ම කඩකළා යැයිද චෝදනාවකට ලක්වු සමාගමකි. [bbc.co.uk]රොනල්ඩ් රේගන් විසින් ඇමරිකානු ජනතා කැමැත්ත ලබාගැනීමට වෙළඳ සමාගම් වල උපදෙස් අනුව කටයුතු කළාක් මෙන් ලාංකිකයින් විසින් ද මේ මොහොතේ අත්විඳිමින් සිටිනුයේ ලෝක ප්‍රසිද්ධ මහජන සම්බන්ධතා හෝ වෙළද ප්‍රචාරණ ආයතනයක උපාය උපක්‍රමයන්ගේ ප්‍රතිඵල විය හැකිය.

සුමුදු තිවංක ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails