Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බලය යනු මිනිසුන් ගිල ගන්නා මකරෙකු බඳු යයි කියමනක් අපි අසා ඇත්තෙමු. එය සාමාන්‍ය මිනිසා සුගතියෙන් දුගතියට ද විචක්ෂණභාවයෙන් අගතියට ද පිටුවහල් කරයි. එහි ප්‍රතිඵලය වනාහි අවුල් වියවුල් , මිනිස් ඝාතන සහ සකලවිධ මුග්ධකම් වලින් පිරුණු පිරිහුණු සමාජ යාන්ත්‍රනයකි.

උසස් පෙළ ප්‍රතිඵල ගැටළුව ප්‍රමුඛව මේ මොහොත වන විට මෙරට අත්විඳින්නාවූ දුක්ඛ පීඩාවන් වලට ලංකාවේ දේශපාලන බලධාරීන් සහ නිළධාරීන් වගකිව යුතු බව කුඩා දරුවෙකුගෙත් ඇසුව ද කියනු ඇත. එහෙත් ඊට ඇහුම් කන් දෙන්නේ කවුද? එහි ප්‍රතිඵලය කුමක්ද? සිය මුග්ධ විශ්වාසයන් නිසා ජනතාව අඳුරින් අඳුරට හෙලූ නායකයින් නම් ඕනෑ තරම් ය. 'උගත් පාඩම්' ඊටත් වැඩිය. එහෙත් ලංකාවේ පාලකයින් නම් කවදාවත් පාඩම් ඉගෙන ගන්නේ නැත. ඊට හොඳම උදාහරණය මේ දිනවල අලියාට උදව්වට ගිය වඳුරා ගේ භූමිකාව රඟපාමින් සිටින ලංකාවේ අධ්‍යාපන ඇමති සහ උසස් අධ්‍යාපන ඇමති ය. අනෙක් චරිතය වන ‘හිටපු’ විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ සභා තොමෝ හඬවා නික්ම ගොසිනි.

කෙසේ වෙතත් මේ වෙද්දී,
• උසස් පෙළ ප්‍රතිඵල අසාමාන්‍ය ලෙස පමා වී නිකුත් වී ඇත.
• පමා වූ ප්‍රතිඵල අවුල් සහගත ය. (වැරදි විෂයය ප්‍රතිඵල, වරින් වර එය වෙනස් කිරීම, වැරදි කුසලතා මට්ටම්, එක් විෂය ධාරාවකින් විභාගයට පෙනී සිටි දරුවන්ට වෙනත් විෂයය ධාරාවකින් ප්‍රථිඵල නිකුත් කිරීම.)
• මේ බරපතල වැරදි අදාළ බලධාරීන් සහ නිළධාරීන් විසින් අශිෂ්ට ලෙස ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කෙරෙයි.
• විභාග ප්‍රතිඵල නිවැරදිය යන පදනමේ සිට නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් කැඳවා ඇත.
• මේ කරුණ සම්බන්ධයෙන් නැගෙන මාධ්‍ය, කණ්ඩායම්ගත සහ පුද්ගලික විරෝධතා ආණ්ඩුව තඹ දොයිතුවකට ගණන් ගන්නේ නැත.

ලංකාවේ අධ්‍යාපනයේ පරිහානිය එක රැයින් උසස් පෙළ ප්‍රතිඵල නිසා ඇතිවූවක් නොවේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ (මෙය වෙනම කතා කළ යුතු පුළුල් විෂයයකි.) පිළිබඳ දිගින් දිගටම චෝදනා සහ යෝජනා එල්ලවෙද්දී ආණ්ඩුව දිගින් දිගටම කළේ උමතුවෙන් මෙන් හිතුණු හිතුණු තැනින් විෂය නිර්දේශ වෙනස් කිරීම පමණි. මේ ප්‍රතිසංස්කරණ යෝජනා ඉතාම ප්‍රගතිශීලි ශිෂ්‍ය කේන්ද්‍රීය ඒවා වූ අතර, ඒ අතර වූ වැදගත්ම යෝජනාවක් වූයේ ජනප්‍රිය පාසල් ක්‍රමය අහෝසි වන ලෙස දරුවා ජීවත් වන ප්‍රදේශය ඉලක්ක කරගෙන ප්‍රාථමික පාසල් පද්ධතිය සංවර්ධනය කිරීම යි. මේවා පොත් ගණන් ලියා ඇමතිවරුන් සමග ද සාකච්ඡාකොට විද්වතුන් විසින් භාර දුන්න ද කිසිවක් සිදු වූයේ නැත. කුඩා පාසල් වසා දැමුණා පමණි. සාමාන්‍ය පෙළ ගණිතය සහ ඉංග්‍රීසි විෂයයන් සිසුන් 50% කට වඩා වසරක් පාසා අසමත් වෙද්දී ඒ වෙනුවෙන් ගත් පියවරක් නැත. පෙළ පොත්වල සඳහන් විෂය කරුණුවල වැරදි සිය ගණන් ඔප්පු වෙද්දී ඒවා නිවැරදි කෙරුණේ ද නැත. බොහෝ පාසල්වලට වැරදි සහිත පෙළ පොත් වුවද ලැබෙන්නේ මුල් වාරයත් අවසන් වූ පසුව බවට නිරන්තරයෙන් ම විදුහල්පතිවරු සහ ගුරුවරු මැසිවිලි නගති. කිසියම් වරදක් දිගින් දිගට සිදුවෙද්දී ඒවාට නිසි පියවර නො ගැනෙන විට සිදුවන්නේ වරද සාමාන්‍යකරණය වී සම්ප්‍රදායයක් බවට පත්වීමයි. ඉදින් ලංකාවේ අධ්‍යාපනයට ද සිදුව ඇත්තේ එය යි.

සිසුන් දෙලක්ෂ තිස් නව දහසක් පෙනීසිටි උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල අවුල යනු එහි තවත් එක් විපරීතවූ කූට ප්‍රාප්තියක් පමණි. සිසුන් නිර්දේශ දෙකකින් විභාගයට ලියන බව අවුරුදු දෙකක් තිස්සේ අධ්‍යාපන අමාත්‍යංශය ද විභාග දෙපාර්තමේන්තුව ද දැන සිටියේය. නමුත් ඒ දෙකට ‘z අගය’ ගණන් බැලිය යුතු අයුර සිතන්නේ ප්‍රතිඵල නිකුත් කළ යුතු දිනය පමාවී මසකුත් ඉක්ම ගොස් ජනතාව ප්‍රශ්න කරද්දී ය. උසස් පෙළ විභාගයේ ‘z අගය’ යනු පරණ බංගලාවක තිබෙන හොල්මන් වැනි අද්භූත දෙයකැයි කවුදෝ අන්තර්ජාලයේ ලියා තිබුණි. ‘z අගය’ සදන ආකාරය හෙවත් සූත්‍රය ඉල්ලූ විට ලැබුණු පිළිතුරු තවම කාටත් ග්‍රීක් ය. මේ ගැන කතා කරන්නට රූපවාහිනියට ආ විභාග කොමසාරිස්වරයා තමන් වෙත එල්ලවූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් ආකාරය දුටු එක් පියෙකු නැගූ ප්‍රශ්නය වූයේ "මෙතරම් අපරාධයක් සිදුව තිබියදී ත්‍රස්තවාදියෙකු සේ හැසිරෙන්නේ මන්ද?" යන්නයි. ප්‍රතිඵල පිළිබඳව රට ගිනි ගනිද්දී විභාග කොමසාරිස්වරයා, බන්දුල ගුණවර්ධන සහ එස්. බී. ඇමතිවරයා හැසිරුණ ආකාරය මවිත කරවන සුළු වුවද අප සිහි විසඥ නොවූයේ දුමින්ද සිල්වාටත් රාජ්‍ය අනුග්‍රහය සහිතව යහතින් සිටින්නට හැකි රටක විභාග ප්‍රතිඵලයක් යනු මොන කජ්ජක්දැයි සිතා සිහි එලවා ගනිමිනි.

අධ්‍යාපනය සම්බන්ධ ගැටළුව හෝ වෙන කිසියම් ම ගැටළුවක් වියුක්තව ගෙන විසඳිය හැක්කක් නොවන බව අපි දනිමු. විටෙක පගාව ගැනීම අතින් ශ්‍රී ලංකා පොලිසිය ද අභිබවා ගිය අධ්‍යාපන නිළධාරීන්ගේ පටන්, විෂය නිර්දේශ, ඉගැන්වීමේ ක්‍රමවේද, විභාග ක්‍රමය, උමතු ඇමතිවරුන් යන සියල්ල නිසි පරිදි සකස් කළද ජරාජීර්ණව ව්‍යාධියක් බවට පත්වූ ජරපත් සමාජ දේහයක සියලු කොටස් සුව නො කොට අපේක්ෂිත ප්‍රථිඵල නෙළා ගත නො හැකි වනු ඇත. එහෙත් එතෙක්වත් පවතින ක්‍රමය තුළ හෝ සවිඥානිකව කටයුතු කිරීම බලධරයින්ගේ වගකීමක් වන අතර ඒ වගකීම පැහැර හැරෙන පළමු තැනදී ඊට එරෙහි වීම ජන මාධ්‍යවල ද ජනතාවගේ ද වගකීමකි.

සිය අත්තනෝමතික මනෝ භාවයන් සහ ඒවායේ භෞතික ප්‍රතිඵල ලෝක වේදිකාව මත රඟ දක්වා මුලු මිනිස් සංහතියම ගොඩ එනු බැරි විපත් මුදායක ගිල්වා දැමූ කුප්‍රකට චරිත බොහෝ ඇත. එබඳු විපරීත ක්‍රියාකලාපයන් වෙත ඔවුන් තල්ලුකරනු ලැබූයේ අන් කිසිවක් නොව ඔවුන් තමන්ට ම ඒත්තු ගන්වාගත් අතිශය සාවද්‍ය වූ විශ්වාසයන් ගොන්නයි. 'විශ්වාසයක්' යනු නිශ්චිත හෝ ආසන්න අත්දැකීමකින්, සාක්ෂියකින් තොරව යම් දෙයක් මානසිකව පිළිගැනීම යි. පුද්ගලයෙකු සතු විශ්වාසයන් රැසක් නො එසේ නම් සමාජයක් හෝ කණ්ඩායමක් විසින් එකඟ වූ සහසම්බන්ධිත විශ්වාසයන් රාශියක්, 'විශ්වාස පද්ධතියක්' (Belief System) ලෙස සැළකෙයි. මෙය ආගමික, දාර්ශනික හෝ මතවාදීමය විය හැකිය.

හිට්ලර් සතු වූ ඒ විපරීත සහ දෘඨ එනම් ‘පිරිසිදු ආර්යයන් පමණක් ලොව විසිය යුතුය, ඒ වෙනුවෙන් අන් සියල්ලන් දිවි පිදිය යුතුය’ යන මතවාදීමය විශ්වාසය කෙළවර වූයේ මානව ඉතිහාසයේ මෙතෙක් සිදුවූ කෲරතම විනාශය වූ දෙවන ලෝක යුද්ධයට මුල පුරමින් මිලියන හැත්තෑවක් මිනිස් ජීවිත ම්ලේච්ඡ ලෙස විනාශ කරමිනි. 70 දශකය ලෝකයේ අනෙක් බොහෝ රට වලට බලාපොරොත්තුවේ මොහොතක් සලකුණු කරද්දී උගන්ඩාව වසා සිටි කුරිරු සෙවණැල්ල බවට පත්වූ යේ ජනාධිපත් ඉඩි අමීන් ය. ඔහු තමා රජෙක් බවට විශ්වාස කරමින් හා එය අන් අයට ඒත්තු ගන්වන්නට රැඟූ රැඟුම ‍අවසන් වන විට උගන්ඩා වැසියන් ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් ඔහු විසින් මරා දමා තිබුණි. මේ ලැයිස්තුව තව බොහෝ දිග ය. ඊට ඉතිහාසය පුරා බිහිවූ උම්මත්තක රජවරුන් ද බහුතරයක් ආගමික සංස්ථාවල නායකයින් ද ලොව බේරා ගැනීමට පැමිණි ගැලවුම්කාරයා තමන් බව විශ්වාස කළ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න් ද අධිරාජ්‍යවාදීන් ට එරෙහි විප්ලවයේ කුමාරයා තමන් බවට විශ්වාස කරමින් මහ මඟ මරා දමන තෙක් 1977 සිට 2011 දක්වා වසර තිස්හතරක් රජ කළ ගඩාෆි වැනි බොහෝ බලවන්තයින් ද ඊට ඇතුළත් ය.

ඉහත සඳහන් කළ සියලු ගැටළුවලට බලපාන පරිදි ඇදහිය නොහැකි තරම් මෝඩ ලෙස හැසිරෙන ලංකාවේ පාලකයින්ගේ නො එසේනම් මේ කාරණයට අදාළ ඇමතිවරුන්ගේ සහ අනෙක් නිළධාරීන්ගේ ද විශ්වාස පද්ධතිය ද එබඳුම ය. ඒවා මායාමය මිථ්‍යාවන්ගෙන් පිරී ඇති තරම කෙතරම් ද යත් තමන් තරම් මේ කාර්යයන් කළමණාකරණය කිරීම සුදුසු අන් කිසිවෙකු නොමැති බව ඔවුහු දැඩිව විශ්වාස කරති. එනිසාම ‘ඉල්ලා අස්වීම’ සඳහා කෙරෙන ඉල්ලීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී(?) ඉල්ලීම් සදය සිනහවකින් බැහැර කරති. උසස් පෙළ ප්‍රථිඵලවල කිසිදු වරදක් නැති බව මොර ගසමින් ප්‍රකාශ කරති. මාධ්‍යවලින් සහ විවිධ කණ්ඩායම්වලින් අනේක සාක්ෂි සහ විරෝධතා එල්ලවෙද්දී කිසිවෙක් ඒ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කර නැති බව දිවුරා කියති. අනෙක් අතට මේ මොහොත තුළ නැගී එන සියලු ජනතා විරෝධතා යනු ‘නිකම් ඉන්න බැරි පිස්සන් දෙතුන් දෙනෙකුගේ’ ‘කඩාකප්පල්කාරී’ වැඩ බවත් ‘රටට ආදරය කරන අය’ කොහොමත් ‘රට වෙනුවෙන් අපි එක්ක’ බවත් ඔවුහු දනිති.

මේ නො සැලෙන පරම පවිත්‍ර විශ්වාසයේ උපරිමය නම් තමන් කොහොම පොට වරද්දාගත්තත් ජනාධිපතිතුමා ඇවිත් වැඩේ ගොඩදමන දමන බවට ඇති දැනුමයි. මේ විශ්වාස පද්ධතිය තුළ නම් ඇමතිවරුන් පමණක් නොව ජනතාව ද සිටී. ජොන්ස්ටන් ඇමතිවරයාට දවසක් රෑක ගෙදර ගෙන ගොස් කිළුටු සාටක සෝදන ගමන් තනියෙන් කල්පනා වූ පරිදි එළවළු ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් කූඩ නීතිය ගෙන ආ විට ‘අපේ ජනාධිපතිතුමා’ ඉදිරිපත් වී ගොවීන්ගේ සහ වෙළෙන්ඳන්ගේ ගැටළුව විසඳූ පරිදිම උසස් පෙළ ප්‍රතිඵල පමා වන විට එක දුරකථන ඇමතුමකින් ප්‍රතිඵල නිකුත් කෙරෙව්වේ ද එතුමා ය. ඉතිං එපරිදි ම එතුමා මේ ගැටළුව ද විසඳනු ඇත. අලුත් විභාග කොමසාරිස්ගේ විශ්වාසය කුමක්දැයි දන්නේ අයියනායක දෙවියන් පමණි. එය අනෙක් අයගෙන් වෙනස් වීමට හේතුවක් නැත.

එහෙත් මේ විශ්වාස පද්ධතියේ ගැටළුව නම් මේ පාලකයින්, බලධාරීන් සමඟ සමස්ත ජනතාව ම පරිහානියට යාමයි. කෙබඳු ගැටළු තිබුණ ද මේ රටේ දරුවන්ට ඇති එකම ගැලවීම, සැනසීම සහ වරප්‍රසාදය අධ්‍යාපනය පමණි. මේ අහිමි කරමින් සිටින්නේ ඒ අයිතියයි. අධ්‍යාපන අයිතිය අහිමි වූ දරුවන් පුරවැසියන් වූ රටක අනාගතය ගැන ලිවීමට වඩා නො ලියා සිටීම හොඳය.

බලය තුළින් හිමිවන සුඛාස්වාදය වළඳන සුදු බණ්ඩලාට සහ ටියුෂන් මාස්ටර්ලා ට ඉහළින් සිටින ජනාධිපතිවරයාට ද තමන් ගේ ම වූ පරම විශ්වාසයක් තිබේ.

ඒ, ඉතිහාසය පුනරාවර්තනය නොවන බවට ඇති දැඩි විශ්වාසය යි!

ආලෝක රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails